Thursday, August 24, 2017

ඕයී යකා




"නැගිටපං බං වොච් එකට වේලාව හරි. "
එහෙම කියාගෙන කැබින් කාමරයට ඇතුලුවෙච්චි හැටියේම විජේරත්න කාමරයේ ලයිට් එක ඔන්කෙරුවා. ඇස් නිලංකාරවෙලා ගියේ තද නින්දක හිටපු මම නිදිමතයේම අමාරුවෙන් ඇස් ඇරලා බලපු හැටියේමවාගේ ලයිට් දැමුව හින්දයි.  
"මෙන  ..........  දක්ද ඔය ලයිට් එක නිවපං. ඇස් දෙකත් ඇරගන්න අමාරුයි."
"මේ උඹ ආයෙමත් නිදා ගන්නේ නැතිව ඉක්මනට වරෙන්."
"හරි බං නෑවිත් ඉන්නයෑ. දැන් ඉතිං පලයං."
කොට්ටේ අස්සට අත දාලා  අත් ඔරලෝසුව ගත්තු මම වෙනදා විදිහටම වේලාව බැලුවා. වේලාව 11.40
"යකෝ තව වේලාව තියේනවා. මොන ...... ටද මාව කලින් ඇහැරෙව්වේ?"
"මාරවැඩක්නේ බං උනේ. උඹ විස්වාස කරන එකකුත් නෑ."
ඒ පාර විජේරත්නකාරයා කැබින් කාමරයෙන් යන්නේ නැතිව කියවනවා. 
"පලයන් බං යන්න බොරු කෙබරයක් ඇදගෙන එන්නේ නැතිව."
මම කොට්ටේ බදාගෙන ඇනිත් පැත්තට හැරුනා.
"නෑ බං තාමත් ඇගේ මයිල් කෙලිං වෙනවා ඒක මතක් වෙනකොටත්. මේ බලපං."
අතේ පිපිනු හිරිගඩු පෙන්නන්නට විදුලි පන්දම අතට අල්ලලා පෙන්නනවා.
"ඔය සීතලට ආපුවා වෙන්නැති බං. පලයන්කෝ වද නොදි."
"නෑ බං දරුවෝ පල්ලා සත්තයි. වෙන එකෙක් නම්  නම් බයවෙලා නූල් බදින්න වෙන සීන් එකක් තමයි උනේ."
"ඇයි බං? හොල්මන්ද?"
"හොල්මන් සීන් එකක් වගේ තමයි. "
"මොන හොල්මන්ද බං මේ නැව් වල."
"උඹ නැව් වල තියෙන හොල්මන් දැකලා නෑ. මේවාගේ පරන ලදරං නැව් වල මැරිච්ච උන් කොච්චර ඉන්නවාද? "
"අනේ පලයන් ප... යෝ යන්න. මාව බය කරන්න හදන්නේ නැතිව. උඹට බෑ මාව තම්බන්න. "
"එහෙනම් අර හිටපු කැප්ටන් ස්ටුවට් කියලා මොකද හවසට නැව පුරාම දුම් අල්ලන්න කියන්නේ?"
"ඒ යකාට කොහොමත් පිස්සුනේ. අනික මිනිහා දෙමළ හින්දා කැබින් එකේ තිබුන දේව රූප වලට අල්ලලා ඉතුරුවා ස්ටුවාට නිකං අල්ලන්න කියන්නැති." 
"නිකං නොවෙයි බං ඔකා නැවකදි හොල්මනකට බයවෙලා තියේනවා ඒකයි."
"හරි දැන් උඹට මොකක්ද උනේ කියපං?"
මෙන්න විජේරත්නයා ඒ පාර කැබින් එකේ  තිබුන සැටියේ හොදට හරිබරිගැහිලා ඉදගත්තා.
"උඹලා ඊයේ ඉමර්ජෙන්සි ජෙනරේටර් එකේ ටැපට් කවර් වල පැකින් මාරුකලා නේද? "
"ඔව් ඉතිං."
"ඔන්න දැන් ඒවායින් තෙල් ගහන්න පටන් අරන්."
"ඉතිං හවස එහෙම ලෙඩක් තිබුනේ නෑනේ? හවස ස්ටාර්ට් කරද්දි හොදට දිව්වා නේ."
"එන්ජිම රත්වෙද්දි තමයි ලෙඩේ ආවේ. මම  චිෆ් ඉන්ජිනියර්කාරයාටත් කිව්වා. දැන් ජෙනිය මාරුකරන්න බෑ කියලා  සැරෙන් සැරේ තෙල් බලලා අඩුතෙල් දාන්න කිව්වා. අනික කොහෝටවත් යන්නේ නැතිව ජෙනිය ලගටම වෙලා ඉන්නත් කිව්වා."
 
මුලින්ම කියන්න ඔනේ නැවක අපි කරන ඩියුටි වොච් එක ගැන. නෞකාවක වොච් එක නමින් හැදින්වු සේවාමුර තුනකට බෙදෙනවා. උදේ 8 සිට දහවල් 12 දක්වාත් රාත‍්‍රි 8 සිට මධ්‍යම රාත‍්‍රි 12 දක්වාත් පැය හතර බැගින්ද ඊළග තැනැත්තා 12 සිට 4 දක්වාත් අනෙකා 4 සිට 8 දක්වාත් සේවා මුරය සකස්වෙලා තියේනවා. මාගේ සේවා මුරය වුයේ 12 සිට 4 දක්වායි. විජේරත්න විසින් මා අවදි කරවන්නේ මධ්‍යම රාති‍්‍රයේ වොච් එකටයි. 
               මා සේවය කරපු නෞකාවන් අතරින් විශේෂයෙන්ම සදහන් කල හැකි කුඩා නෞකාවක් වු මෙහි නංගුරම් දා තිබියදි රාත‍්‍රි කාලයේ එන්ජින් කාමරයේ ඇති සියලු ජෙනරේටර් අක‍්‍රිය කර හදිසි ජෙනරේටරය මගින් මුළු නැවටම විදුලිය හැකි ලෙසින් සකසා තිබුනා. නැව ධාවනයේ නොවන නිසාත් පොම්ප හා  මොටර් ආදියත්  දොඹකර වැනි යන්ත‍්‍ර සුත‍්‍ර කි‍්‍රයානොකරන නිසාත් ප‍්‍රධාන ජෙනරේටර් මගින් විදුලිය නිපදවන්නට කි‍්‍රයාකරවිමදි වැයවන ඩිසල් ප‍්‍රමානය ඉතිරිකරගැනිමට හැකිවන සේ හදිසි ජෙනරේටරය (Emergency Generator) කි‍්‍රයාත්මකරන්නට පටන්ගෙන තිබුනි. මෙම විදුලි ජනක යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කරවන්නේ සවස 6 සිට පසුදා උදයේ 8 වනතෙක් කාල සිමාවේ පමනකි. 

      වායු සිසිලන එන්ජිමක් මගින් කි‍්‍රයාත්මකවු මේ හදිසි ජෙනිය සහිත කාමරය පිහිටා තිබුනේ නැවේ ඉදිරිපස බෝසන් ස්ටොරු කාමරය අසළය.  එන්ජින් කාමරයේ කිසිදු යන්ත‍්‍රයක් කි‍්‍රයානොකරන බැවින් වෙනදා ඝෝෂාවෙන් පිරුනු එහි දැන් ඉදිකටුවක් වැටුනත් ඇහෙන තරමට නිෂ්ශබ්දතාවයෙන් යුක්තවිය. ඉදහිට බිමට ගන්නා ජල පොම්පය පමනක් ඉදහිට කි‍්‍රයාත්මක විම පමණක් එහි සිදුවුනි.
                 
           නැව ඉදිරියේවු වායු සිසිලන ජෙනියේ ඉන්ජිමේ  (Air Cool Engine) උෂ්නත්වයත් ඩිසල් ටැංකියේ තෙල් ටැංකියේ ප‍්‍රමානයත් පරික්ෂාකරන්නට පමණක් සිදුවුන නිසාත්  යාන්ත‍්‍රසුත‍්‍ර වැඩ නොකරන එන්ජින් කාමරයේ කරන්නට වැඩක් නැති නිසා විදුලි පන්දමත් රැගෙන ප‍්‍රධාන නැව් තට්ටුව මතට වි මුහුද දෙස බලාගෙන ඉදිමත් පමණක් එවැනි දිනෙක අපහට කරන්ට සිදුවුනි. කෙටි වේලාවකට නෞකාව නැංගුරම් දැමිම බොහෝවිට සිදුවුත් දින දෙකතුනක් නැංගුරම් දාගෙන සිටින්නට සිදුවන අවස්ථාවන් විරලවිමත් එසේ ලැබෙන අවස්ථාවක හදිසි ජෙනිය කි‍්‍රයාත්මක කිරිම මගින් ලැබෙන නිදහස් විවේකී කාලසීමාවන් අප සියල්ලන්ම අසාවෙන් විදගන්නේ ඉතා කැමැත්තෙනි.  
               
        මේ 2003 වසරේ මැද දිනයක කොළොම්පුරේ වරායට ආ අප නෞකාව දින කිහිපයකින් යළිත් ගමන ආරම්භ කර නැංගුරම් දැම්මේ එකල  බොම්බාය නමින් හැදින්වු මුම්බායි වරාය පිටත නැංගුරම් දමනා මුහුදු සිමාවේදිය (Outer Anchorage).  නැව වික්ටොරියා ඩොක් එකේ (ඉන්දියාවේ දැඩිව පවතින වඩදිය  හා බාදිය  තත්වයන් නිසා මුම්බායි වරායේ ජැටියන් වැසිය හැකි දොරටු සහිතව සකසා ඇත) ජැටියට ගන්නාතෙක් බලාසිටින්නට සිදුවිය.
 
     විජේරත්න පැමිණ කියු සේම එදින දහවල් කාලයේදි හදසි විදුලිජනක යන්ත‍්‍රයේ සුළු අළුත්වැඩියාවන් කල අතර මද පමනින් තෙල් කාන්දුවක් සහිතවු එන්ජින් ටැපට් කවරයන්ගේ (Tappet Covers) පැකින් ගලවා අලුත් පැකින් කපා සවිකර දැමුවෙමු. 

"උඹලා හරියට පැකින් දමලා නෑ. තෙල් ලීක් වෙනවා නොමෙයි බං තෙල් විදිනවා."
"මොන? එහෙම වෙන්න බෑනේ."
"වෙන්න බෑ නෙමෙයි. රූම් එකට යන්න බෑ තෙල් හැමතැනම. මම තෙල් කෑන් එකක් අර ගිහින් එතැන තිබ්බා. ජෙනියේ තෙල් අඩුවෙලා සීස්වුනොත් මල ලෙඩක් නිසා. උඹ කොළඹදි ගෙදරින් අරන් ආපු නවකතා පොත්වලින් එකක් මම අරගත්තා. නිකං ඉන්න එකේ ජෙනරේටර් රූම් එක ළඟ ඩෙක් එකේ පුටුවක් තියාගෙන  කියවන්න ගත්තා."
"උඹ ජෙනිය ළඟද හිටියේ?"
"ඔව් ඩෙක් එකේ. පිටු දෙකක් විතරයි කියවලා ඉවරකරන්න පුලුවන්වුනේ."
"ඇයි මොකදවුනේ?"
"එක පාරටම උගුර යටින් එන මහ සද්දෙන්  
යී කිව්වා. මගේ මයිල් කෙලින්වුනා බං. මනුස්සු කටකින් ඒ විදිහට කියන්න බෑ. එත් මම ගනන් ගන්නේ නැතිව හිටියා. විනාඩි 20කට විතර පස්සේ ආයෙමත්  ඕයි කිව්වා."
"අනේ පලයන් හු....’....’ බොරු කියන්නේ නැතිව."
"නෑ බං ඇත්ත. මම හිතුවේ උඹලා මාව බය කරන්න හදනවා කියලා. ෆෝකාසල් (Forecastle Deck) එක පැත්තෙන් තමයි ඇහුනේ. මම ගිහිල්ලා බැලුවා කවුරුත් නෑ. ඒ පාර ආයිමත්  
යී කිව්වා එක ඇහුනේ බෝසන් ස්ටොරුව (Boatswain Store) පැත්තෙන්. බෝසන් ස්ටොරුව අතුලට ගිහිල්ලා බැලුවා. කවුරුත් නෑ.  ඒ පාර එකේ යට තියෙන රූම් එක ඇතුලෙන් යී සද්දේ ආවා මම ඒ කාමරේට වර්ටිකල් ලැඩර් එකෙන් බැහැලා බැලුවා. ඒ පාර   ඕයි කියන්නේ බොසන් ස්ටොරුව ඇතුලෙන්." 

"ඉතිං උඹට ඔය  
යී කියන එකාව අල්ලා ගන්න බැරිවුනාද?"
"කොහේවත් එන්න එකෙක් නෑ බං. මම ෆෝකාසල් එකට යනකොට බොසන් ස්ටොරුවෙ පැත්තන්  
යී  කියනවා. එහෙට ගියාම ෆෝකාසල් එක පැත්තෙන්  යී ගානවා. ඒ කියන විදිහට නම් මිනිහෙක්ට කියන්න බෑ බං."
විජේරත්න කියන විදිහට දැන් මගේ හිතටත් පොඩි චකිතයක් එනවා. එත් මූ හදන්නේ දැන් ? දොළහට වැඩ භාරගන්න ඉන්න මාව බයකරන්නද දන්නෑ. මුට මම බය වෙලා ඉන්න බව පෙන්නුවොත් එක විජේරත්නකාරයා වාසියට ගන්නවා.
 
"මම හිතන්නේ ඩෙක් එකේ වොච් එකේ ඉන්න උන් උඹව බය කරන්න හැදුව වැඩක් වෙන්න ඇති."
"නෑ ඔය  
යී කියන සද්දේ එනකොටත් අර ඩෙක් එකේ වෙච් එකේ ඉන්න මල්ලියා බි‍්‍රජ් එකේ තමයි හිටියේ. මම දැක්කා ඒකා නැවේ බෙයාරිං ගන්නවා."
"ඔය ජෙනියෙන් එන සද්දයක් වෙන්නැති එහෙනම්. "
"නෑ බං මමත් එහෙම හිතුවා මුලින්. එත් ඒක ජෙනියෙන් එන සද්දයක් නෙමෙයි. මුලින් ඒ 
යී කියන සද්දේ ආව් වෙලාවකට පස්සේ එත් ටිකෙන් ටික මට එක විනාඩියක් පුටුවේ ඉදගෙන පොත බලන්න දුන්නේ නෑ බං. විනාඩි පහෙන් දහයෙන් ඌ මට  ඕයි කියන්න ගත්තා. "
"උඹ බයවුනාද ?"
"පිස්සුද බං මම දැන් අවුරුද 20ක් මීටත් වඩා පරන ලදරං නැව් වල හොල්මං එක්ක හිටියා. උඹ දන්නේ නෑ එක සැරයක් මම හිටපු නැවක ඒ කැබින් එකේ හිටපු එකා මැරිලා දවස්දෙකකට පස්සේ තමයි නැවේ උන් දන්නේ මිනිහා මැරිලා කියලා. එතකොටත් මිනිය කුණුවෙලා. රෑට කැබින් එකේදි මිනිහා සැටියේ ඉදගෙන ඉන්නවා සමහරක් දාට දකිනවා. ඔයවාගේ කේස් එක්ක මේ  ඕ
යී යකා යකෙක්ද බං?"
"පුදුමයි ඌ උඹත් එක්ක ඒ කැබින් එකේ හිටියා. උඹවාගේ හොල්මනක් එක්ක මටත් මේ කැබින් එක ෂෙයාර් කරගෙන ඉදලා එපාවෙලා තියෙනකොට."
"අනේ පලයන් ප.... යන්න." 

මිනිහාට මලත් පැන්නා.  දැන් මේ විජේරත්නයා මාත් එක්ක තව නැව් වල හොල්මන් කතා කිහිපයක් එහෙම කියවා කියවා ඉදලා මට ලෑස්තිවෙලා ෆෝකාසල් ඩෙක් එකේ ඉමර්ජන්සි ජෙනිය ළගට එන්න කියලා යනකොටත් ? දොළහ පහුවෙලා විනාඩි පහලොවක් ගෙවිලා ගිහිල්ලා. දඩි බිඩිගාලා මුහුන එහෙම හෝදාගෙන මමත් දැන් එහෙට මෙහෙට පැද්දෙන නැවේ බදේ වැදිලා නැගෙන මුහුදු රැල්ලේ ශබ්දයත් එහෙම අහගෙන ප‍්‍රධාන තට්ටුව දිගේ නැව ඉදිරියට ගියා. ඉමර්ජෙන්සි ජෙනිය තියෙන කාමරේ ඉදිරිපිට පුටුවක් තියාගෙන එකේ මම එනකම් බලාගෙන හිටපු විජේරත්න ඉක්මනට එයාගේ අතේ තිබුනු විදුලි පන්දම මට දිගු කරලා    
"එහෙනම් මම යනවා සැරෙන් සැරේ තෙල් එහෙම බලලා දාපං දැන් තෙල් ලීක් වෙනවා වැඩියි." 

එහෙම කිව්ව විජේරත්නයා අඩියට දෙකට ඇකඩමෙෂන් එක පැත්තට ඇවිදගෙන ගියා. ඩියුටිය භාර ගන්න කියලා දෙයක් නැති නිසා ජෙනියේ තෙල් බලලා. ඩිසල් ටැංකියේ තෙල් මට්ටමත් එන්ජිමේ උෂ්නත්වයත් බලාගෙන ආපහු එන්ජින් කාමරේ පැත්තටත් ඇවිල්ලා එකෙත් රවුමක් ගහලා බැලුවා. දැන් ඉතිං වෙන වැඩක් නැති නිසා පුටුව උඩ තිබුන නවකතා පොත අතර අරන් පිටු කිහිපයක් කියවලා ඉවර කලා විතරයි මෙන්න බොලේ අර විජේරත්නයා කියපු විදිහට යටි උගුරෙන්  ඕංංයී කියලා කවුද එකෙක් මරහඩ දුන්නා. 

නැව් තට්ටුව සිසාරා යන දැඩි සුළං පාරට දැනෙන සීතලත් පරදවාගෙන හී ගඩු පිපුනේ ඇගේ මයිල් එහෙමත් කෙලින්කරගෙනයි. එත් මේක මාව බය කරන්න විජේරත්න කාරයාගේ ගේමක්ද දන්නේ නැති නිසා ඉක්මනට ඩෙක් එකේ වම් පැත්තෙන් පොර්ට් සයිඩ් එකට දුවලා ඇවිත් බැලුවා කවුරු හරි මට  ඕංංයී කියලා කෑගහලා හැංගෙන්නට දුවනවාද කියලා. එත් කවුරුත් පේන්න නෑ. ඒ පාරට දකුණු පැත්තේ ස්ටාරබර්ට් සයිඩ් පැත්තටත් ගිහිල්ලා බැලුවා. 

එත් නෑ. ඔන්න ඒ පාර ආයෙමත් ෆෝකාසල් ඩෙක් එක පැත්තෙන්  ඕංංයී සද්දේ ආවා. මම එහෙටත් පඩිපෙලෙ නැගලා ගිහින් බැලුවා. කවුරුත්ම නෑ. භාගෙට බැටරි බැහැපු ටොර්ච් එකේ මාලානික එළියෙන් හැංගිලා ඉන්න මෙන මළ යකෙක්වත් පෙන්නේ නෑ. ටොර්ච් එක එහෙට මෙහෙට අල්ලා බලලා බෝසන් ස්ටොරුවත් එක යට තියෙන ලණු තියෙන කාමරේටත් ඔලුව දලා බැලුවා. දැන් මට හිතෙන්නේම මේක  විජේරත්නයාගේ ගේමක්ම තමා කියලා. 

මුං සෙට්වෙලා දේන්න හදන  ඕයී යකා ගේම ගැන කල්පනා කරකර ආපහු ඇකමඩේෂන් එක පැත්තට ඇවිල්ලා කැබින් එකට එබිලා බැලුවා. විජේරත්නයා පස්ස උඩ දාගෙන හොදටම ගොරවා ගොරවා බුදි. එහෙනම් කවුද යකෝ මට හැංගිලා  ඕයී කියන්නේ? දැන් නම් හිතේ පොඩි චකිතයක් එක්කම බයකුත් එනවා. මෙච්චර වෙලා ඔනේම යකෙකුට ගහන්න බයක් නැතිව හිටපු මම ආපහු නැවේ ඉස්සරට යන්න පැකිලෙන්න ගත්තා. ඔනේ මගුලක් කියලා ආයෙමත් ඉස්සරාට ගියා. නවකතා පොත අතට අරන් කියවලා නවත්තපු පිටුව පෙරලා ගත්තා විතරයි ආයෙමත් අර යකා  ඕංංයී කියාගෙන මරහඩ දුන්නා. හිතත් ගැස්සිලා ගියා විතරක් නොවෙයි පොඩි පහේ මුත්තරා බරකුත් හැදුනා. ජෙනිය තෙල් නැතිව සීස් වෙලා නතරවුනත් ආයෙමත් ඒ පැත්තට නම් යන්නේ නෑ  කියලා ටෝර්ච් එකත් අරන් නැවේ පිටිපස්සේ පූප් ඩෙක් එකට ෆුල් සිපිඩ් එකේ ඇරලා ආවා.

දමලා ගහලා ආවත් හිතත් අප්සෙට්. ඇයි ලෙඩ දෙන ජෙනිය ගැන හොයලා බලන්නේ නැතිව නැවේ පිටිපස්සට වෙලා ඉන්න වුන එකත්. ඉතුරු පැය තුනත් ගෙවිලා ගිහිල්ලා පාන්දර තුනත් පහුවුනා. දැන් ඉතිං ගස් නැගපු යක්කුත් ගෙවල් වලට ගිහිල්ලා හින්දා ලෙඩ ජෙනිය බලන්න ඔන මගුලක් වෙන්ඩ කියලා ආපහු නැව ඉස්සරාට ගියා. පපුවත් පොඩ්ඩක් ඩිගිඩිගි ගාලා ගැහෙන්නත් පටන් අරන්. භාගෙට බැටරි බැහැපු ටොර්ච් එක හැම පැත්තට අල්ල අල්ල හිමිහිට නැවේ ඉස්සරාට ගියා නෙමෙයි හිමිහිට ගෑටුවා. ජෙනරේටර් කාමරේට ඔළුව දාලා බැලින්නම් මුළු ජෙනරේටර් කාමරේම තෙල් වලින් නහවමින් ජෙනිය යකාවගේ වැඩ. සම්ප් එකේ තෙල් මට්ටම එහෙම බලලා අඩුතෙල් ආපහු පුරවලා දැම්මා. 

         ඒ අස්සේ දිගින් දිගටම ගිරිය යටින්  ඕංංයී කියලා උගුර රිදෙන්න අල්ලලා වගේ අඩු සද්දෙන් ආපහු සැරයක් යකා  ඕයී කිව්වා. සද්දේ ආවේ ෆෝකාසල් එක පැත්තෙන්. ඔ්න මළ යකෙක් උන්නාවේ කියලා මරාගෙන මැරෙන්න හරි ඔය  ඕයී යකා හොයාගන්නවා කියලා මම පුරුෂ දයිරිය හිතට අරගෙන පඩිපෙල නැගලා ෆෝකාසල ඩෙක් එකට ගොඩවුනා. මලානික ටොර්ච් එලියෙන් නැංගුරම් දම්වැල සවිකෙරනු වින්ඩ්ලස් එක හා නැව ගෙටගසන මෝරිං වින්චිත් අතරින් ගමන් කරමින් මේ හැම තිස්සෙම  ඕයී කියමින් මහ හඩින් කෑ ගසනා මළයකා සෙව්වා.
       
ඔන්න ආයෙමත් සැරයක් මේ යකා කෑ ගැසුවේ නැතැයි.හැබැයි මුලින් මාව බයකරපු තරමේ දරුණු කෑගැහිල්ලකින් නම් නොමෙයි. මෙච්චර වෙලාවක් අපි කාගේවත් ඇසට අසුනොවුනු අපි කවුරුත් හදුනා නොගත්තු ඒවාගෙම යකෙකුටවත් බය නැති විජේරත්නකාරයාවත් බයකරපු  ඕයී යකා මගේ අතටම අහුවුනා.

 මම මුලින්ම කිව්වා නේ අපි නැංගුරම් දමාගෙන හිටිය බොම්බායේ පිටත නැංගුරම් මුහුදු සීමාව හරහා දැඩි සුළං තත්වයක් තිබුනා බව. දැඩි සුළං පහරටත් මෙන්ම රළ පහරටත් ලක්වෙන නෞකාවක් නැංගුරම වටා කැරකැවෙන්නට පටන් ගන්නවා. දැඩි සුළඟට නැව හැරවෙද්දි නංගුරමේ දම්වැල නැව් බඳ හරහා පිටත පැමිනෙන හවුසි පයිප්පය (Hawse Pipe) තුල ඇතිල්ලීමත් එක්කම එය තුලින් සුළඟ ගමන් කිරිමත් නිසා හුම්මානයෙන් හුම් සද්දයක් එනවා වාගේ ගැඹුරු හඬකින්  ඕයී ශබ්දයක් හටගන්නේ. 

බොහෝ කලාතුරකින් මෙවැනි ශබ්දයක් අසන්නට ලැබෙන්නේ දැඩි සුළං සහිත දවස් වලම නැංගුරම් දැමිමක් සිදුවන්නට තිබු ඉඩකඩ අඩුබැවිනි. පහුවදා මේ නැවේ  ඕයිී කියලා කෑ ගසමින් මරහඬ තලනා හොල්මනක් ඉන්නා විත්තියත් මහ රෑ සිද්ධවුන සියල්ලත් විජේරත්නයා ගෙන් හැමෝටම දැනගන්නට ලැබුනා. තවත් ලුණු ඇඹුල් එකතුකරමින්  ඕයී යකාගේ කතාන්දරය ස්ථිරකලත්  ඕයී යකා විදිහට සද්දේ දාපු නැංගුරම් දම්වැලේ සිද්ධිය ගැන මම මේ වනතෙක් ඔන්න කාටවත් කිව්වේ නම් නෑ. 



 

Forecastle Deck

Tuesday, August 1, 2017

මුහුද හාරමුද?


අපේ පොලෝතලයෙන් තුනෙන් දෙකක්ම සාගරය අයිති කරගෙන ඉන්න කොට මිනිසාට ජිවත් වෙන්න තියෙන්නෙත් ඉතිරි තුනෙන් එකේ කොටසෙයි. එන්න එන්නම වැඩිවන ලෝක ජනග‍්‍රහනයත් ගෝලිය උණුසුමත් නිසා ධ‍්‍රැවආශි‍්‍රත අයිස් ග්ලිසිර දියවෙන්නට පටන් ගැන්මෙන් මේ තුනෙන් එකත් අහිමි වෙන්න පටන් අරගෙන. එහෙම නම් මොකටද මුහුද හාරන්නේ? අයිස් කදු දියෙවලා පහත්බිම් හා කුඩා දුපත් යටවෙන එක නවත්වන්නද? නෑ එහෙම කරන්න නම් බෑ. මොකටද මුහුද හාරන්නේ? එහෙම පැනයක් කාටත් හිතෙනවා.  මුහුදට වැටුනු ලෙන් පැටියාව හොයා ගන්න තමන්ගේ නැට්ටෙන් සාගරය ඉහලා ගොඩකරන්න තැත් කරපු ලේනියක් ගැන කියවෙන ජාතක කතාවක් ඉස්සර අහලා තියේනවා. පුළුවන් නම් මුහුද ගොඩ කරන්න හදනවා මිසක් තවත් හාරලා ගැඹුරු කරන්නේ මොකටද? හැබැයි මේ දවස් වල අපේ රටේ ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් වෙලා තියෙන හම්බන්තොට
වරාය  ගොඩ නංවද්දි ගොඩබිම කැණලා කරගම් ලේවාය මුහුදට බිලිදුන්නා අමතක නැතිව ඇති.

 


මුහුද ගොඩකරන්නත් මුහුද හාරන්න වෙනවා. කොළොම්පුරේ ගාලුමුවදොර අසලට ගියොතින් මුහුද ගොඩකරනඑක දැක බලාගන්න පුළුවන්. අළුතින් ඉදිවන පෝට් සිටි (Port City) නම් වරාය නගරය මුහුදේ ඉදිකරන්න ගල්බොක්ක නැත්නම් ලන්දේසින් ගොල්බෙක් නමින් හැදින්වු මුහුදු ප‍්‍රදේශයට නැවකින් වැලි පොම්ප කරනවා ගාලු මුවදොර අසළින් යන එන ඔනේම කෙනෙකුට බලාගන්න හැකියි. මේ වැලි පොම්ප කරන්නේ නැවකින්. මේ විශේෂ නෞකාවන් හදුන්වන්නේ සමුදුරු කැණිම් නෞකාවන් නැතිනම් ඩෙජර්ස් (Dredger) නමින්.  අද කොළොම්පුරෙන් කතා කරන්නේ මේ මුහුද හාරමින් වැලි හා මඩ පොම්ප කරනා සමුදුරු කැණිම් නෞකාවන් හෙවත් ඩෙජර්ස් ගැනයි.    
මේ කැණිම් කරන නෞකාවන් වලින් බොහෝවිට කරන්නේ වරායන් හා නාවික සමුදුරු මාර්ග ගංගාවන් හා වැව් ගැඹුරු කිරිමත් හා ගොඩබිම් තැනිමත්ය.

(channels and harbors, bottom of lakes, rivers, harbors, and other water bodies) මෙසේ කලින් කලට වරායන් හා නාවික සමුදුරු මාර්ගවල කැණීම් සිදුකරන්නට වන්නේ සාගරයේ ඇතිවන වඩදිය බාදිය හා අභ්‍යන්තර දිය රළ මගින් පත්ලේ එකතුවන රොන් මඩ හා වැලි නිසා ඇතිවන ගැඹුර අඩුවිම නිසයි. නෞකාවන් වැනි  විශාල යාත‍්‍රා ගමන් ගන්නා සුවිශාල වැව් හා ගංගාවන් නොමැති බැවින් අපේ රටේ මේ වාගේ කැණිම් කරනා නෞකාවන් යොදාගන්නේ වරායන් කැණිම් කරන්නට පමණයි.
යාන්ත‍්‍රික කැණිම් හා ද්‍රාව බලයෙන් කරනා කැණිම් ක‍්‍රම දෙකක්

(mechanical and hydraulic) මත පදනම් කරගෙන මෙම කැණිම් කරනා යාත‍්‍රාවන් නිපදවා තිබෙනවා. 
එහෙනම් මේ විවිධ වර්ගයේ සමුදුර කණින නෞකාවන් මොනවාදැයි කියලා බලමුද?



Trailing suction hopper Dredger

ද්‍රාව බලයෙන් කැණිම් ක‍්‍රමය භාවිතාවන මේ වර්ගයේ ඩෙජර්ස් හැඩයෙන් නෞකාවක් වැනියි. නාවික සමුදුරු මාර්ග ගැඹුරු කරමින් යාත‍්‍රා කරන්නට මේවාට හැකියි. පෝට් සිටි වරාය නගරය නිර්මාණය කරන්නට සයුර ගොඩ කරමින් වැලි පොම්ප කරන්නේ මේ වර්ගයේ ඩෙජරයකිනි.



 

 


 නැව් බද හරහා ඇති ගයිඩ් රේල් එක (Guide rail)  ඔස්සේ නැව් බද හරහා සවි කරමින් කැණිම් කරනා චූෂණ බටය  (Suction pipe)  සාගර පත්ලට පහත් කරයි. (ඉහල රූප සටහනේ ඇති පරිදි ) මෙම චුෂන බටය නෞකාවේ පොම්ප කාමරයේ ඇති සුවිශාල (Dredge Pump) හරහා සම්බන්ධවෙනවා. 

Dredge Pump


  Drag Head

මේ චුෂන බටය හා සමගාමිව දිවෙන ජෙට් වොටර් (Jet water pipe)  නමින් අධි පිඩන ජල නල මාර්ගයක් එහි අන්තයේ ඇති ඩ‍්‍රැග් හෙඩ් (Drag Head) එකට සම්බන්ධවෙනවා. පොම්ප කාමරයේ ඇති ජෙට් පොම්පය  (Jet Pump) මගින් නිකුත් කරනා අධිපිඩිත ජලය ඩැග් හෙඩ් (Drag Head)  හි ඇති නොසල් මගින් මුදාහැරිමේදි සාගර පත්ලේ මඩ හා වැලි කැලඹිමකට පත්කරවයි.  ඩැග් හෙඩ් සාගර පත්ල මතින් ඇදගෙන යාමෙදි චුෂන නලයෙන් සාගර පත්ලේ කැලැඹිමක පත්වු ජලය සමගින් වැලි හා රොන් මඩ ඉහලට ඇදගැනිමක් කරනු ලබනවා. මෙසේ සුවිශාල පොම්ප මාර්ගයෙන් ඇදගන්නා ජලය හා මිශි‍්‍රත වැලි හා පස් නැව තුල ඇති හොපරය (Hopper)  හි ගබඩා කරගන්නවා. 

හොපරය ඇතුලත දර්ශණයක්




  Overflow Duct


 


  Bottom Doors


මඩ හා වැලි පමණක් හොපරයේ තැම්පත් කරගනිමින් වැඩි ජලය සීරුමාරු කල හැකි පිටාර නලයක් (Overflow Duct)  මගින් මුහුදට පිටාර කරවන්නට හැකියි. මෙසේ හොපරයේ තැම්පත් කරගත් මඩ හා වැලි ඉවත් කිරිම සිදු කරන්නේ හොපරයේ පතුලේ ඇති දොරටු  (Bottom Doors) විවෘත කිරිමෙන් තැම්පත් කරගත් වැලි හා මඩ කැණිම් කරනා ඉසව්වෙන් බැහැරව වෙනත් මුහුදු ප‍්‍රදේශයකට ගොස් මුදා හැරිම සිදු කරනවා. එසේ නැත්නම් ඉදිරියේ ඇති නොසලය මගින් හෝ බව් කප්ලිනයට (Bow coupling)  සම්බන්ධ කරගත හැකි සාගරය මතුපිට පාවෙන නල (Floating Pipe lines)  මාර්ගයෙන් ගොඩබිමකට  හෝ වෙනත් ස්ථානයකට පොම්ප කිරිමට හැකිවෙනවා.

ස්පිලිට් හොපර් ඩෙජර්ස් -   Spit Hopper Dredgers
මෙම වර්ගයේ ඩෙජර් යාත‍්‍රාව  පෙර කියු ආකාරයෙන් කි‍්‍රයාත්මකවුවත් හොපරයේ මඩ තැම්පතු ඉවත් කිරිමට බොටම් දොරවල් නොමැති අතර නෞකාව දෙපලු විමෙන් හොපරයේ ඇති දව්‍ය මුහුදට මුදා හරිනු ලබනවා. බද (Hull) දෙපලුවුවත් නෞකාව කිසිවිටෙකත් ගිලියන්නේ නෑ.



 

කටර් සක්ෂන් ඩෙජර්ස්    Cutter Suction Dredger


 

මේ වර්ගයේ ඩෙජර්ස්වලට යාත‍්‍රා කිරිමට අවරපෙති (Propellers)  නොමැති අතර වෙනත් ටග් යාත‍්‍රා (Tug Boats)  මගින් ඇදගෙන ගොස් කැනිම් කලයුතු ආදාල ස්ථානයේ නැංගුරම් යොදාගෙන රදවා තබයි. මෙම ඩෙජරයේ ඇති කටර් හෙඩ් (Cutter Head) එක කැරකීම මගින් ගල්වැනි රළු පෟෂ්ඨයන් හා තද මතුපිටක් ඇති මුහුදු පත්ල කැනිමට යොදා ගනියි. මේ කටර් හෙඩ් එක දෙස බලද්දී අතින් කරකවමින් පොල් ගාන ඔදිරිස් හිරමනය තලය සිහිපත් වෙනවා. කටර් සක්ෂන් ඩෙජර් වල වැලි හා මඩ රදවාගැනිමට හොපරයක්(Hopper) නොමැති බැවින් චූෂණ නලය මගින් ඉහලට ඇදගන්නා මඩ හා වැලි වෙනත් බත්තල් වලට හෝ සාගර මතුපිට පාවෙන නල (Floating Pipe lines)   මගින්  වෙනත් ඉසව්වකට පොම්ප කර දමයි. මෙම ඩෙජර්ය පිටුපස ඇති ස්පඩ්  (Spud)   මගින් සාගර පත්ලේ ඇනිමෙන් ඩෙජරය නවතා ගන්නා අතර දෙපසට දෝලණය වෙමින් කැනිම් කරන්නට ඩෙජරයේ දෙපසින්  දමාගන්නා නැංගුරම් දෙක උපකාරි කරගන්නවා. මේ ස්පඩ් මගින් ග‍්‍රමණය වන කැපුම් තලය මගින් එන පසු තෙරපුම වලක්වා ගැනිමද  සිදුකරනවා. 

 



බකට් ලැඩර්  ඩෙජර්ස්    Bucket Ladder Dredger
මෙය යාන්ති‍්‍රක ක‍්‍රමයෙන් කි‍්‍රයාත්මක වන කැනිම් යාත‍්‍රාවක් වන අතර   එක පෙලට සවි කර කරකැවිමට ලක් කරන බකට් සහිත කොටස  මුහුදු පත්ලට පහත් කිරිම මගින් කැනිම් කරනු ලබයි. බකටයට එකතුවන වැලි ඉහලට එසවි ඇවිත් යාත‍්‍රාව් පසුපස කොටසට වැටෙයි.   


 
 
ග‍්‍රැබ් හොපර් ඩෙජර්ස්  Grab Hopper Dredger
මෙයත් යාන්ත‍්‍රික ක‍්‍රමයෙන් කැණිම් කරනා යාත‍්‍රාවන් වෙනවා. ග‍්‍රැබ් බකට් එකක් මගින් මුහුදු පත්ලේ ඇති වැලි හා මඩ ඉහළට ඔසවාගෙන හොපරයේ තැම්පත් කරගනි. 



 

සයුරු

2014 වසරේ නිපදවු  සයුරු නම්වු  ටොන් 624 (Gross tonnage 624 T ) බරති Grab Hopper Dredger 


රුහුණු පුතා
1989 වසරේ නිපදවු රුහුණු පුතා  නම්වු ටොන් 361(Gross tonnage 361  T ) බරති Grab Hopper Dredger 

  වැලිගොව්වා
වැලිගොව්වා හා සලාපුර කිදුරි නම්වු Cutter Suction Dredger දෙකක්ද ධිවර වරාය සංස්ථාව සතුව තිබෙනවා.


ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතුව
1972 වසරේ නිපදවු  දියකාවා නම්වු  ටොන් 1169 (Gross tonnage 1169 T ) බරති Trailing suction hopper Dredger 
2003 වසරේ නිපදවු  දියකොවුලා නම්වු  ටොන් 820  (Gross tonnage 820 T ) බරති Grab Hopper Dredger   හා
2001 වසරේ නෙදර්ලන්තයේ නිපදවු  හංසකාවා නම්වු  ටොන් 1503 (Gross tonnage 1503  T )බරති Trailing suction hopper Dredger 

අපේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ඩෙජර්ස් තුනක් තිබෙනවා. 

  හංසකාවා

 


ඡයාරූප අන්තර් ජාලය මගින්
මෙහි නොලියවුනුු තවත් වැදගත් දෑ හෝ වැරදි ඇත්නම් මා  නිවැරදි කරත්වා.