Monday, October 8, 2018

නැංගුරම්ලාගෙන සැමරූ සිංහළ අවුරුද්ද - සයුරේ දසවසක් - 6

ගනදුර පලවා හරිමින් අළුයම් හිරු නැගෙනහිර අහසින් පායා ආවේය. නිල්ල පිරුනු ගහකොලත් මද රැළි නංවන සයුරත් දෙස කොපමන වේලාවක් බලාසිටියත් දෑසට ගෙන දෙන්නේ අපුරු සුවදායි බවකි. මහා වනාත්තරයකින් වටවි ඇති සේ ගස්කොලින් පිරුනු ති‍්‍රකුණාමලය වරායේ පිහිටි පිටි කම්හල් ජැටියේ අප නෞකාව නවතා තිබුනි. කොළඹ ගොස් යළි නැවට ආ දිනට පසු දින උදයේම අසන්නට ලැබුනේ අසුබ ආරංචියකි. නැවේ කපිතාන්වරයා ඇද වැටී අත කැඞී ඇතැයි කඩ්ඩා කිවේය. පාන්දර වැටෙනා පින්නට පෙගුණු පාන්පිටි විසිරුනු නැව් තට්ටුවේ උදෑසන ඇවිදිමට ගිය ඔහු ලිස්සා වැටිමක ලක්වි තිබුනි. ඉක්මනින් නැවෙන් බස්සවා වෛද්‍යවරයෙක් වෙත යැවුනු අතර පසුව දැනගන්නට ලැබුනු පරිදි ඔහුගේ අත කැඞී නොතිබු නමුත් ඇඹරීමකට ලක් වී ඇත. කපිතාන් පෙරේරාට සිදු වූ එම  හදිසි අනතුර නිසාවෙන් එදිනම ඔහු නැවෙන් සයින්  ඕෆ් වී කොළඹ බලා පිටත් වී ගියේය. පිටව ගිය කපිතාන්වරයා වෙනුවට වෙනත් කපිතාන්වරයෙකු අප නැවට එවන්නට කාලයක් නොතිබුනේ ඒවන විටත් පිටි පැටවිම් අවසානයට ලඟාවිම නිසාය. නැවට පිටි පටවා අවසන් වූ පසු අප ත‍්‍රිකුණාමලයෙන් පිටත් වීමු. අපගේ ගමනාන්තය වූයේ ගාල්ල වරායයි. අප ගාල්ල බලා යාත‍්‍රාකලේ කපිතාන්වරයෙකු නොමැතිවයි. 



                   ගාල්ල වරාය දක්වා යළි ආ ගමනද ප‍්‍රථම මුහුදු ගමනසේම මාහට සිත්පිත් නොමැති මුහුද රළෙන් පිඩා විදින්නට සිදුවුනි. නෞකාවේ සිටි වඩුකාර්මිකයා ගැලවු කැබින් කාමර යලි ප්ලයිවුඩ් ලෑලී යොදා සකසමින් සිටියේ බොහෝ මන්දගාමි ලෙසින්ය. (පසුකාලිනව මෙම නෞකාවට එල්ලවු මුහුදු කොටි ත‍්‍රස්තවාදි ප‍්‍රහාරයේදි ඔහු අතුරුදහන්විය.) අහිකුන්ටකයෙකු සේ නිදාගන්නට  තැනක් සොයමින් තැනින් තැන ගිය කාලය හමාර කරමින් බාගෙට පිලිසකරකරවු කැබිනයක් අත්පත්කරගන්නට මටත් කඩ්ඩාටත් හැකිවුනි. දෙවනි නිලධාරියා විසින් එක් දිනෙක මා කැදවා මට නියමිත මස්ටරින් ඩියුටිස් (Mustering Duty) ටිකත් මස්ටර් ස්ටේෂන් (Muster Station) එකත් පැහැදිලි කලේය. සෑම කැබින කාමරයකම දොරහි ඇතුල් පැත්තේ  මස්ටරින් කාඩ් පතක්  (Mustering Card) අලවා ඇති අතර එහි තමන්ට අදාල මස්ටර් ස්ටේෂන් එකත් හදිසි අවස්ථාවකදි (Emergency) කලයුතු රාජකාරියත් ලියා ඇත. එහෙ මෙහේ වැටිවැටි නිදා ගන්නා අපට අදාල ඩියුටිස්  කියා දුන්නේ ලියා තබන්නට නියමිත කැබින් කාමරයක් නැති හෙයිනි. ගාල්ලට එන අතර මගදි හදිසි අවස්ථාවකදි  ජිවිතාරක්ෂක යාත‍්‍රාව දියත් කිරිමේ පුහුණුව පෙරහරුවක්  (Life Boat drill) සිදුකල අතර පෙරදිනයකදි දෙවන නිලධාරියා විසින් දුන් හදිසි අවස්ථාවකදි මා විසින් කලයුතු වැඩ කොටස මෙහිදි කරපෙන්වුයෙමි.

ගාල්ල වරායට ආසන්න වෙමින් තිබියදී සිංහල අලූත් අවුරුද්ද ලැබීය. මා නිවසින් පිටව ගතකළ ප‍්‍රථම සිංහල අවුරුද්ද මෙවර උදාවිය. නිවසේ මෙන් චාරිත‍්‍ර වාරිත‍්‍ර නොකෙරුනත් කිරිබත්, ලූණු මිරිස් මෙන්ම ති‍්‍රකුණාමලෙන් පිටත් විමට පෙර ලබාගත් කැවුම් හා අතිරසද වලින් සපිරි කෑම මේසයක් චීෆ් කුක් හා ස්ටුවඩ් විසින් පිලියෙල කලහ. ප‍්‍රධාන නිළධාරිතුමා හා ප‍්‍රධාන ඉන්ජිනේරුතුමා විසින් නියමිත වේලාවට කෑම මේසය විවෘත කර සියල්ලන්ටම සුබ පැතුවේය. සී සික් වලින් අඩුවක් නැතිව පිඩා විදිමින් සිටි මාහට තදින්ම තිබු කෑම අරුචිය නිසා අවුරුදු කෑම මේසය දෙස බැලූවේද නැත. අවුරුදු දිනය කියා වැඩකිරිමේ අඩුවක් තිබුනත් තමන්ට නියමිත රාජකාරි කලයුතුවිය. එදින දහවල් වන විට අප ගාල්ල වරායට ආසන්න වීමු. සවස හතර වන විට අළුත් අවුරුදු සාදය ආරම්භකලේද නිලධාරිතුමාගේ ප‍්‍රාධානත්වයෙනි. බෝට් ඩෙක් හි  (Boat Deck) පිලියෙල කල අපගේ මේසය වූයේ විසිවි නොයන ලෙසින් හොදින් බැද ඇති බැරල් දෙකක් උඩට දැමූ විශාල ප්ලයිවුඞ් ලෑල්ලකි. එය මතට දැමූ සුදු පැහැති බෙඞ්ෂීට් එක මත තැබූ විස්කි බෝතල් හා බ‍්‍රැන්ඩි බෝතල් කිහිපයකුත් කටගැස්ම පීරිසි කිහිපයකුත් විය. එකිනෙකා මත්පැනින් සප්පායම් වෙමින් සිටියහ. අපගේ නැව ගාල්ල වරාය ආසන්නයේ නැංගුරම්ලන විටත් සාදය ජයටම කෙරීගෙන යමින් තිබුනි. නැංගුරම්ලූ නැව පොල්ලෙල්ලක් සේ දෙපැත්තට පැද්දෙන්නට විය. නැවේ පැද්දිල්ල එන්න එන්නම වැඩි වෙද්දී මේසය මත වූ බෝතල් නොවැටී තබාගැනීමට අපට විශේෂ වෙහෙසක් දැරිමටද සිද්දවිය. දෙපසට පැද්දෙන නැවේ එහාට මෙහාට ගමන් කිරීමද ආයාසයෙන් කළයුත්තකි.
”මූට දැන්නම් සී සික් නෑ.”
බක සිල්වා මා පෙන්වා කීවේය.
”මූට තියෙන්නේ අට පහ සී සික්.”
තවත් එකෙක් කීවේය. අට පහ සී සික් යනුවෙන් ඔවුන් අදහස් කළේ උදේ අටට නැවේ වැඩ පටන් ගෙන හවස පහට වැඩ අවසන් වන වෙලාව දක්වා පමණක් බොරු සී සික් එකක් ගෙන රඟපෑමක් කරන පුද්ගලයෙකු ලෙසින්ය. ඔවුන් කී දේ සිනාසී බැහැර කළෙමි. මත් ගතිය වැඩිවෙද්දි නැවේ පැද්දිම හා කෑම අරුචිය පහව ගියාක්මෙන් විය.
”දැන් උඹට ඔය සී සික් දැනෙන්නේ නැත්තේ උඹ බිලා ඉන්න නිසා. බිව්වාම අපිත් පැද්දෙනවා නැවත් පැද්දෙනවා.”
කී පබ්බතයා ලෙසින් නැවේ කවුරුත් හැදින්වු ඔයිලර් ඔහු අත තිබු විස්කි විදුරුව මාවෙත පෑවේය. එ්වන විටත් තරමක මත්ගතියෙන් යුතුව සිටි මා ඔහුගේ විස්කි විදුරුව ප‍්‍රතික්ෂේප කලෙමි.

 තවත් දිනදෙකක් පමණ මෙසේ රූමස්සල කන්ද පෙනෙනා මානයේ නැංගුරම්ලාගෙන ගත කරන්නට සිදුවුනි. පසු දින දහවලට ආසන්න වෙමින් පවතිද්දි අපගේ නැව වරාය ඇතුළට ගන්නා බව ආරංචි විය. නෞකාව ජැටියේ ගැට ගසන විට අප සමාගමට අයත් වෙනත් නෞකාවන් දෙකක් ගාල්ල වාරයේ නවතා තිබුනි. ඉන් එක නැවක මාගේ මිත‍්‍ර නදිෂ් පෙරේරාද අනෙක් නෞකාවේ කුමුදු ලොකුගේ හා ඉන්දික යන දෙදෙනා සේවය කරමින් සිටියහ.


           වරායට පැමිණි පසුව දිගු වෙහෙසකර ගමනකින් පසුව හති හරින්නාක් මෙන් නැව පැයක්  පමණ කාලයක් නිසොල්මනේ තිබුනි. නැව් තට්ටුවේ කාර්්‍යය මඩුල්ල පහතට හෙලා තිබු ඩෙරික් එකින් එක ඉහිලට ඔසවන්නටත් අපි ගෙනා තිරුගු පිටි ගොඩ බෑමට අවශ්‍ය කටයුතු සුදානම් කරන්නට වුනි. වරාය අධිකාරියේ සේවකයින් එකා දෙන්නා බැගින් නැවට නගිමින් හැච් කවර (Hatch covers)  විවර කරමින් බඩු ගොඩ බෑමට සුදානම් වේ. නෞකාව නවතා තිබෙන සිමිත දින ගනන අනුව නාවිකයින් හට නිවසට ගොස් එන්නට ”ෂෝ ලීව්” (Shore Leave) ලබාදෙන්නට විය. මෙහිදි තිදෙනෙකු විසින් පැය හතර බැගින් සිදු කරන සේවා මුරය එකෙකු නිවසට ගිය පසුව පැය හයක් බැගින් දෙදෙනාට බෙදාගෙන කල යුතුවිය.  නැව ජැටියේ බර්ත් කල සවස් වරුවේ කඩුගන්නාවේ පදිංචිව සිටින කඞ්ඩාට ගාල්ලෙන් නුවර යවා පසුදින උදයේ අටට නැවට එන්නයි කිම ප‍්‍රායෝගික කි‍්‍රයාවක් නොවිය. චිෆ් ඉන්ජිනියර් මහට කතාකර අවශ්‍ය නම් මාහට ”ෂෝ ලීව්” යා හැකි බවත් හෙට උදයේ අටට කලියෙන් ආපසු නැවට වාර්තා කලයුතු බවත් පැවසුවේය.  ඉක්මනින් හැදපැලදගත් මා ”කෘ ලිස්ට් ” (Crew List) එකත් රැගෙන වරාය අරක්ෂක අංශයට ගොස් මාගේ දෙරටු අවසර පත‍්‍රය ලබාගත්තෙමි. 

         ”ෂෝ ලීව්”  ලැබුනත් වරායට ඇතුල් විමේ පුද්ගල අවසර පත‍්‍රයන් ටික නැවට ලැබෙන තුරු කිසිවෙකුටත් යා ගත නොහැකිය. මන්ද ආපහු වරායට ඇතුල්විමට එම අවසර පත‍්‍රය අප අත තිබිය යුතු බැවිනි.  අප නෞකාව මද්දහන පසුවි වරායට ඇතුල්විමත් නැවේ කාර්්‍ය මන්ඩලයේ නම් ලැයිස්තුව ”කෘ ලිස්ට් ” වෙලාසනින් එක වරාය ආරක්ෂක අංශයට යවා වරාය ඇතුල්විමේ අවසර පත් ගැනිමට සලසා නොතිබුනි. දින ගනනාවක් මුහුද මැද ගෙවු නාවිකයින්වු අපට ලැබුන කෙටි කාලයට තම නිවෙස් බලා දුවන්නට තිබෙන තදියම මන්දගාමි වරාය ආරක්ෂයින්ට නොමැත.  පාස් ලියා දෙන්නට පුළුවන් තරම් ප‍්‍රමාදකරවන්නේ ඔවුන් අපගේ ඉවසීමේ සිමාව කොතරම් දැයි පරික්ෂාවකට පත්කරන්නට මෙන්ය. ආරක්ෂක අංශයේ අධික කාර්්‍යක්ෂමතාවය නිසා විනාඩි හතලිස් පහකට ආසන්න කාලයක් නිරපරාදේ කාදමා සවස පහට පමණ අවසරය පත‍්‍රය අතට ගන්නට හැකිවිය. 

                   යහුසුලූව ගේට්ටුවෙන් එලියට ආ මා සම්බෝදිය ඉදිරිපිට බස්නැවතුමට වි කොලඹ යන බසයක් එනතුරු බලා සිටියෙමි. මාතර තංගල්ල හෝ කතරගම සිට පිම්මේ එන කිසිදු බසයටකට ඇගිල්ලක් ගහන්නවත් ඉඩක් නොමැත. අවුරුදු කන්නට ගමරට ගියවුන් අවුරුදු සමරා හමාරකර කොළඹ රටට සෙන්දුවන දවස් බැවින් සියලූම බස් රථ පිරි ඉතිරි ගොසිනි. මාතර දෙසින් පිම්මේ එන බසයන්ට පාරට පැන අත දැමුවත් මා දෙසවත් නොබලා ආ පිම්මේම ඉගිලගියේ සම්බෝදිය ඉදිරිපිට බස් නැවතුමේ මා තනිකර දමමින්ය. මෙතන සිට තවත් කාලය කාදමමින් නොනවත්වන බසයන්ට අත දිගු කිරිමෙන් ඵලක් නොවන බව තේරුම් ගතිමි. ගාල්ලට යන හිනිදුම සිට ආ බසයකට ගොඩවි ගාලූ ටවුමට පැමිණියේ එහිදිවත් කොළඹයන බසයකට ගොඩවිමට හැකිදැයි බලනු පිනිසය. ඉතා දිගු පොලිමක් තිබුනද එය අගලක්වත් ඉදිරියට ගමන් නොකරයි. බස් නැවතුමේ කොළඹ දක්වා ගමන් අරඹන කිසිදු බසයක් නොතිබුනි. පොලිමේ තැප කොළඹ යන බසයකට ගොඩවන්නට හැකිවන්නේ කීයටදැයි කිව නොහැකිය. උදේ රැයින් අවදිය යළිත් ගාල්ලට පැමිනිය යුතුව තිබුනායින් රාත‍්‍රියට නිදන්නට පමනක් ගෙදර ගොස් කුමටදැයි මාගේ සිත විමසන්නට වුනි. සැන්දෑ අඳුර ගාලූ ටවුම වෙලාගනිමින් ඇත. කලයුතු දෙයක් සිතාගත නොහැකිව සිත දෙගඩියාවට පත්වි ගාල්ල බස් නැවතුම මැද අතරමංව ගියාක් සේය. ගාල්ලේ නාවික පුහුණු පාසලට යන්නත් සිතුනත් මේ වනවිට එහි ඇත්තේ අළුත් කාන්ඩයක් බැවින් එහි යාමටත් නොහැකිය. යලි බසයකට නැගගත් මා තොන්තුවාක්මෙන් මෙන් සම්බෝධිය අසලින් බැසගෙන වාරයට ඇතුල්විමි.

”එයි අසංගයා, කොහේද බං යන්නේ?”
ගාලුවරායේ තිබු අනෙක් නෞකාවේ සිටි මා නාවික පුහුනු පාසලේ සගයෙකුවු ලොකුගේ අහම්බයෙන් මෙන් වරාය තුලදි මුන ගැසුනි.
”ෂෝ ලීව් දුන්නා බං බස්වලට නගින්න තියා හිතන්නවත් බෑ. අනික උන් නවත්වන්නේ නෑ.”
” උඹට පිස්සුද මේ වෙලාවට කවුද බං ෂෝ ලීව් යන්නේ? අනික මේ දවස්වල බස්වලට කිට්ටු කරන්නවත් බෑ.”
”දවල් නේ බං නැව ආවේ. කඞ්ඩාට දුර හින්දා මට ගිහිල්ලා එන්න කිව්වා. පාස් හදලා ඉවරවෙලා යන්න බලනකොට හවස්වෙලා. කවුද දන්නේ මේ වගේ දෙයක් වෙයි කියලා.”
”උඹත් මෝඩයාවාගේ ෂෝ ලීව් යන්න හැදුවා. දැන් යන්න බෑ කියලා හෙට  උදේම යන්නම් කිව්වානම් හරිනේ.”
”දැන් ගිහිල්ලා කියන්න බෑ බං. අනිත් උන් ලෙඩක් දායිද දන්නේ නෑ උඹට යන්න දිලත් ගියේ නෑ කියලා. ”
”එක නම් ඇත්ත තමයි. දැන් මේ කොහේද යන්නේ? ”
”මම දැන් නැවට යන්න තමයි හැදුවේ.”
”වරෙන් මගේ නැවට අපේ ඉන්දිකයා ගෙදර ගියා. එහෙනම් උඹ මගේ කැබින් එකේ ඉදලා හෙට උඳේට පලයං.”
”පිස්සුද බං උඹලගේ උන් අපේ නැවේ අයට නියමෙට ඔත්තුව දිලා තිියෙයි.”
”බයවෙන්නේ නැතිව වරෙන්. අපේ නැවේ භාගයකටත් වැඩිය ගෙවල් වලට ගිහිල්ලා.”



          ලොකුගේ බලවත් ඇවටිල්ල මත ඔහුගේ නෞකාවේ කැබින් කාමරය වෙත ගියේ කවුරුන්හෝ දකිවිය බියෙනි. එකම සමාගමට අයිති නෞකාවක්වු එය මාගේ නැවට වඩා අළුත් වුද ප‍්‍රමාණයෙන් තරමක් කුඩාවුද එකක් විය. කැබින් කාමර පිහිටා තිබු ඇකමඬේෂනය (Accommodation) වායුසමිකරනය කර හොඳ පිරිසිදු තත්වයෙන් තිබුනි. මා සිටි නෞකාවේ තත්වයත් හා සසදත්දී මෙහි පිරිසිදු තත්වයත් සුව පහසුවත් දැක්කේ අපායක සිට දිවිය ලොවකට පිවිසියාක් මෙන් හැගුමකි. ලොකුගේ හා ඉන්දික ලබන සුව පහසුව දැක මා සිතට යම් තරමක ඊර්ෂාවක්ද හටගත්තේය. සියල්ලන් කෑම කා අහවර වන තෙක් කුසගින්නේ කාමරයට වි සැගවි සිට තවත්  රැබෝවු පසුව මෙස් රූම් එකට ගොස් රාත‍්‍රි ආහාරය ගතිමි. යළිත් හොරෙකු සේ කාමරයට රිංගාගෙන ඉන්දිකගේ ඇදට නැග සුව පහසුවට නිදාගන්නට උත්සාහ කළේ ලොකුගේ ලබාදුන් කොට කලිසමක් හැදගෙනය. සුළං පොදක්වත් නොඑනා ප‍්‍රධාන නැව් තට්ටුවෙන් යට පිහිටි අඳුරු උමගක පිහිටි කැබින් කාමරවල මේසයට තබා තදින් බැද දමා තිබු ඉන්දියාවේ නිෂ්පාදිත කබල් මේස විදුලිපංකා වලින් එන වියළි සුළගින් තැම්බෙමින් නිදාගත් මාහට වායුසමිකරනය කල කාමරයේ සීතල වැඩි නිසාදෝ නින්ද ලගාවිම ප‍්‍රමාද විය. පාන්දර වන විට අධික සීතල නිසාවෙන් අයිස් පෙට්ටියක සිටි අයෙකුමෙන් ගැහෙන්නට විනි. සිසිල් වායුව කාමරය තුලට පැමිනෙන වා කවුලූව කරකවා වසා දමා යලිත් නිදන්නට විමි. පසුදා වෙනදා නැගිටින වෙලාව වු පාන්දර පහට අවදිවු නමුත් මෙතරම් පාන්දරින් මෙම නැවෙන් පිටමං වි මාගේ නැවට යා නොහැකිය. වෙන කල හැකි දෙයක්ද නොමැත්තෙන් ඇඳට වි ඉතිරි පැය එකහාමාරක් පමණ කාලයත් ගතකරන්නට සිදුවිය. විවිධාකරවු සිතුවිලි වලින් මා සිත පෙලන්නටවුයේ මේ නැවෙන් කාටවත් නොපෙනි පිටමං වන්නේ කෙලෙසකදැයි සිතන්නට වු පසුවය.


              උඳේ හයට පසුවි තම ඩියුටිය අවසන් කර ලොකුගේ කැබින් කාමරයට ආ පසුව මෙතෙක් මා පෙලූ විශාලතම ප‍්‍රශ්නය ඉදිරිපත් කලෙමි.
”උඹ බය නැතිව හිටපන්. මම ගානට උඹව එළියට දාන්නනම්.”
ඔහු කි ලෙසින්ම කාටවත් නොපෙනි තම නෞකාවෙන් එළියට බසින්නට හැකිවිය.  වට පිට බලමින් කවුරුන් හෝ දකිවිදැයි බලමින් යුහුසුලූව ගැන්වේ එකෙන් ජැටියට බැසගත් මා මාගේ නෞකාවට ගොඩවුයේ ගෙදර ගොස් එන අයෙකුමෙනි. මෙතරම් පාන්දරින් ගෙදර සිට මෙහි එන්නට හැකිවිම ගැන කිහිප දෙනෙක් සේම කඩ්ඩාද තම විමතිය පලකර සිටියෝය. ගෙදර ගොස් එන්නට ලැබුන අවස්ථාව මග හැරිම ගැන දුක්විමට සිදුවුවත් තවත් දෙදිනකට පසුව යළිත් පැය විසි හතරක කාල සීමාවක් සදහා ෂෝ ලීව් එකක් ලැබුනායින් සිත පෙලූ දුක වියැකි ගියේය. 



සයුරේ ආ මඟ 


 



අටුවාව

 ජිවිතාරක්ෂක  යාත‍්‍රා (Life Boats -
a double-ended ship's boat, constructed, mounted, and provisioned so as to be readily able to rescue and maintain persons from a sinking vessel.)
නෞකාවේ වම් හා දකුණු පැත්තහි ජිවිතාරක්ෂක යාත‍්‍රා දෙකක් ස්ථානගත කර ඇති අතර එක යාත‍්‍රාවකට නෞකාවේ ගමන් ගන්නා සියලුම නාවිකයින් පටවාගත හැකිවිය යුතුවේ.  මින් අදහස් කරන්නේ හදිසි අවස්තාවකදි එක බෝට්ටුවක් මුහුදට පහත් කිරිමට නොහැකිව අපදාවකට ලක්වුවහොත් අනෙක් යාත‍්‍රාව මුහුදට බා ගෙන ජිවිත ගලවාගැනිමයි. 





මස්ටර් ලිස්ට් ( Muster List  - 
The Muster List consists of duties and responsibilities in case of such mishaps, designated and assigned to each person on the ship; in other words, it is a list of the functions each member of a ship crew is required to perform in case of emergency.)
නෞකාවේ  ඇකමඩේෂන් තුල ප‍්‍රදර්ශණය කෙරෙන පොස්ටරයක්. හදිසි අනතුරු සංඥාව හෝ ගිනි අනතුරු සංඥාව ඇතුලු මෙහි නැවේ සියලු දෙනාගෙම් නම් හා තනතුරුද ඔවුන්ට අදාල හදිසි අවස්ථාවකදි කලයුතු රාජකාරි කොටස දක්වා තිබේ. 


MUSTER LIST 


Muster Card

මස්ටර් ස්ටේෂන් (Muster Station - an area of a ship where passengers are directed to assemble in an emergency.)
හදිසි අවස්ථාවකදි රැස්වෙන ස්ථානය.
හදිසි අවස්ථා සංඥා නිකුත් කල විට ජිවිතාරක්ෂක  කබා (Life Jackets) පැලද  තමන්ට අදාල මස්ටර් ස්ටේෂන් හි රැස්විය යුතුය. බොහෝවිට මේ මස්ටර් ස්ටේෂන් නම්කර ඇත්තේ බෝට් ඩෙක් හි ජිවිතාරක්ෂක යාත‍්‍රා දෙක අසලය. මසකට වරක්වත් නෞකාවේ  සියළු නාවිකයින්  කන්ඩායම් දෙකට බෙදා නැව දෙපස තිබු බෝට්ටු  අසල රැස්වි නාවිකයින් තම පෙරහුරු පැවත්විම සිදුකල යුතුවේ. 




ෂෝ ලිව්  (Shore Leave -  permission to spend time ashore, usually 48 hours or more, granted a member of a ship's company)

නාවිකයින්ට ගොඩබිමට ගොස් නැවත නෞකාවට පැමිනිමට දෙන කෙටි නිවාඩුව.

22 comments:

  1. අසංග, මට මේ ලිපිය කියවද්දීත් හිතෙන්නේ අපේ ඇත්තන් වැඩි දෙනෙක් අනෙක් අයට කෙළවන්නට, නොතකා හරින්නට දක්වන රුචිය කොච්චරද කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් අපේ උදවිය තමන්ගේ ජිවිතේ වැරදුන තැන් අසහනේ කේන්තිය පිටකරගන්නේ තව කෙනෙකුගෙන් බොහෝ වේලාවට නිලයෙන් කුලයෙන් උසස් උන්ට නොවෙයි පහල උන්ට. මතකනේ එස් මහින්ද හිමි කියලා තියෙන්නේ උස් තැන් දැක ඇකිලෙන්නේ මිටිතැන් දැක පුප්පන්නේ කියලා.

      Delete
  2. නැවත් නිකං ආණ්ඩුවේ කාර්යාලයක් වගේ නේ බං. ෂෝ ලීව් එක හැබෑටම පහු වෙන්දා උදේට ගන්න තිබ්බ නේ. නියමයි පුතා දිගටම මේ සීරිස් එක ඇදහං

    ReplyDelete
    Replies
    1. දෙන වේලාවට ගන්න ඔනේ. ඇද පැලදගෙන යන්න හදද්දී මොකක් හරි වැඩක් සෙට් වෙලා ෂෝ ලීව් කැන්සල් කරලා නැවේ ඉන්න සිද්දවුන අවස්ථාවල් තියේනවා. අනික කොයි වේලාවේද ගෙදර යන්නේ කියලා බලාගෙන නේ ඉන්නේ.

      Delete
  3. ඔය දාල තියෙන්නෙ. අවුරුදුද්දට පෙර හා පසු බස්වල යන එකනං කරන්න අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි දෙයක්.
    පස්සෙ හරි දවස් දෙකක් නිවාඩු හම්බඋනා මදැයි.

    ReplyDelete
    Replies
    1. ගෙදර යාගන්න බැරිව පාරේ අතරමං වුනාම එන හැගීම් කියලා වැඩක් නෑ.

      Delete
  4. සුපිරි.

    බස් අත්දැකීීී ගැන නම් කතා කරල වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. බස් විතරක් නම් මදැයි ඇයි දුම්රිය සේවේ.

      Delete
  5. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොළොම්පුරේට ගොඩ වැදුනාට.

      ඔබේ බ්ලොග් අඩවියේ ලින්ක් එක දැම්මා නම් පහසුයි එයට ගොඩවැදෙන්න.

      Delete
  6. machan.. Nadeesh Perera Kalutharinda..

    ReplyDelete
  7. නැව පිටත් උනාට පස්සෙද බං මස්ටර් ඩියුටි දෙන්නෙ ? මට හිතාගෙන හිටියෙ ඒ වගේ දේ ගමන පටන් ගන්න කලිං පුහුණු කරල ඉවර කරන්න ඕන කියල ? 😲 දවසම රස්තියාදු නොවී ගාල්ල අවට සවාරියක් දාන්න තිබ්බෙ සී සික් මග ඇරෙන්නත් එක්ක.

    ReplyDelete
    Replies
    1. නැවට නැග්ගාම තමයි මස්ටර් ඩියුටි දෙන්නේ. සමහරවිට මේ ඩියුටිය කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ තමන්ගේ කැබින් කාමරයේ දොරේ ඇතුල් පැත්තේ කාඩ් එකක ගහලා තියේනවා. නැවෙන් නැවට තමන්ට ලැබෙන ඩියුටිය වෙනස් වෙනවා.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

සුන්දර සිරගෙදර දී හමුවු සිල්වා - සයුරේ දසවසක් - 11

සිරගෙයක සිරවනතුරුත් නිදහසේ අගය කිසිවෙකු නොදන්නා සේම සිරගෙයක් කිසිසෙයිත්ම සුන්දර වන්නේ නැත. සිරකුටි හෝ බරපතල වැඩ සහිත දඩුවම් නොමැති එහෙත් පිට...