Tuesday, October 15, 2019

රන් පදක්කම


හැන්දෑවේ බිම් කරුවලත් එක්ක ගෙට ගොඩවුන මගේ දෙනතට අහුවුනේ අමනාපයෙන්මෙන් මුහුනෙන් විහිදාගෙන හිටිය පුතාගේ අම්මා. පුතත් හිටියේ එච්චර හිත් හොදින් නොවන බව එයාගේ හැසිරිමෙනුත් පෙනුනා. හිත් නරක් වෙන්නට හේතුව මොකක්ද කියලා ඇසිල්ලකින් හිතේ ඇදුනා. ඒ තමයි සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනේ පැවැත්වෙච්චි සමස්ත ලංකා කරාටේ ශූරතාවලිය. ඒකට පුතාත් එයාගේ පාසල නියෝජනය කරගෙන සහභාගිවුනත් මගේ රාජකාරිය එක්ක ශූරතාවලිය බලන්න යන්න බැරිවුනා. එන්න නොලැබෙනවා කියලා වේලාසනින්ම කිව්ව නිසා මේච්චර අප්සෙට් එකක් වෙන්න බෑ. පුතා පැරදිලාද? බිරිඳගේ ඔනෑ කමට කරාටේ වලට ගියාට පුතා ලොකුවට ඒ කි‍්‍රඩාවට ආසාකල බවක් පෙනුනේ නෑ.
"මොකද ඇයි මේ?"
බැගය මේසය මතින් තියලා පුටුවේ වාඩි ගත්තේ සපත්තු දෙක ගලවලා දාන්න බලාගෙන. ලේස් දෙක ගලවන ගමන් බිරිඳගේ කලු ගැහිච්චි මුණ දෙස හොදින් බැලුවා.
"මොකද කියන්නේ? මෙයාට මෙච්චර දෙයක් වත් කරගන්න බෑ."
"ඇයි?"
"ඇයි? .......  මෙයා අදත් පරාදයි. බලන්නකෝ අර කැහුටු  මලිත් දෙකයි දුන්නේ මෙයා පරාදයි."
"නෑ අම්මේ එයාගේ පාරවල් ඩිෆෙන්ස් කලාට හරිගියේ නෑ."
"ඒ කොල්ලා හරියට පංතියට එන්නෙත් නෑ.
මෙයාව පංතියට එක්කන් යන්න එන්න මම කොච්චර මහන්සි වෙනවාද? මෙයාට බෑ මෙඩල් එකක් ගන්න. මෙයත් එක්ක ගිය අනික් අය ඔක්කෝම වාගේ මෙඩල් අරගත්තා."
"හරි ඊලග පාර මම මෙඩල් අරගෙන පෙන්නන්නම්."

 "අපොයි ගිය පාරත් කිව්වේ ඔ්කම තමයි."
"මේ තාම මේ දරුවා හතරේ පංතියේ ඉන්න පොඩි එකෙක් ඔය කරාටේ වලට වඩා පොත පතක වැඩක් කරගන්න එක හොද නැද්ද?"
"පොත පතක විතරක් නොවෙයි ඇගපත මහන්සිවෙලා කරන ක‍්‍රිඩාවන් වලටත් යන්න ඔනේ. "
බිරිඳගේ පියාත් අපේ කතාව  මැද්දට පැන්නා.
"කොහේද මෙයා හරි හමන් කෑමක් කනවැයි. කොටු කිතයියා වාගේ ඉන්නකොට කොහොමද අනෙක් ළමයාට අතක් පයක් උස්සලා කරාටේ පාරක් ගහන්නේ?"
"එක තමයි අම්මේ හැමෝම මෙඩල් ගද්දි මෙයා විතරයි හිස් අතින් ආවේ."
ආච්චිත් එක්ක කියවපු අම්මාගේ නොක්කාඩුවට හිත රිදෝගත්තු පුතා හිටියේ බිම බලාගෙන. පුංචි අම්මාත් පුතාට සවුත්තුව දාන්න පටන්ගත්තා. ගෙදර හිටපු හැමෝම පොඩිඑකාට එක එක දේවල් කියලා අරියාදු කරන්න අරන්. මේස් දෙක සපත්තුවට ඔබලා පුටුව යටට තල්ලු කරලා දැම්ම මම පුතාගේ රිදුන හිත පොඩ්ඩක් හරි හරිගස්සන්න බලාගෙන එයාට කතා කලා.
"පුතේ එන්න මෙහාට."
පුතා හිමිහිට මං ලඟට ඇදුනේ මගෙනුත් බැනුමක් අහන්න වෙයිදෝ කියලා බයෙන් වාගේ. මගේ තුරුලට ඇදගත්තු පුතාගේ හිස හිමිහිට අතගෑවා.
"පුතේ කරාටේ කියන්නේ එක සෙල්ලමක් විතරයි. ඒකෙ කවුරු හරි දිනනවා කියන්නේ තවත් කවුරු හරි පරදිනවා කියන එකත් තමයි. අපිට හැමදාමත් දිනන්න බෑ. පරදින දවසකුත් එනවා. හැබැයි අද පැරදුනාට හෙට පරදින්න බලාගෙන වැඩ කරන්නත් බෑ. අපිට මහන්සි වෙන්න වෙනවා දිනන්න. අපේ ජිවිතෙත් ඔය වාගෙම තමයි. හැබැයි පුතේ  දිනන්න ඔනේ හරි විදිහට මනුස්සකමින් මිසක් හොර වංචාවෙන් නොවෙයි. මම කැමති නෑ කෙනෙක්ට ගහලා දිනන ක‍්‍රිඩාවන්ට. අපි දිනන්න ඔනේ හොඳ ක‍්‍රම වලින් විතරයි හොදද?"
පුතා මගේ දිහා බලන් හිටියේ පුදුමයෙන් වාගේ. මං කියපු කතාව පිලිගත්තු බව පෙන්වන්න එයා හිමිහිට ඔලුව හෙළෙව්වා.
සමස්ත ලංකා කරාටේ ශූරතාවලියෙන් පස්සේ එකට සහභාගිවුනු ක‍්‍රිඩක යන්ගේ දෙමවිපියන්ට කරාටේ සර් පොඩි රැස්විමක් තිබ්බේ දවස් කිහිපයකට පස්සේ. මේ රැස්විම ආරම්භ කරපු සර් දිනපු ක‍්‍රිඩකයින්ට සුබ පතලා එහෙම පොඩි කතාවක් කරන්න පටන්ගත්තා.

"මම මේ කතාව කරන්නේ මේ දරුවන්ට විතරක් නොවෙයි මේතනට ඇවිල්ලා ඉන්න හැම දරුවෙක්ගේම දෙමව්පියන්ටත් එක්කලා. ඔයාලා මේ දරුවන්ට කරාටේ පන්ති එවලා කරන්නේ ගහගන්න එක විතරක් උගන්නනවා කියලා හිතනවා නම් වැරදියි. මේ පුතාලගේ ඔය වයසට සෙල්ලම් කරන්න ඔනේ හැබැයි තව කෙනෙකුට රිද්දලා ගහලා කරන සෙල්ලම් නොවෙයි. තව කෙනෙකුට ගහලා දිනනවා කියන්න මගේ කැමත්තකුත් නෑ. කරාටේ කියන්නේ හොද විනයක් තියෙන කි‍්‍රඩාවක්. අපිට දරාගන්න පුලුවන් විමත් මේ ක‍්‍රිඩාවේ උගන්වනවා. දිනිම වාගේව පැරදිමත් එක හා සමානව මේ ළමයින් දරාගන්න වෙනවා. අම්මලා තාත්තලාට කියන්නේ මේක රේස් එකක් නොවෙයි. ඒක හිතට අරන් තමන්ගේ ළමයින්ට හොදින් ආදරයෙන් උගන්වලා මනුස්ස කමින් පිරිච්ච ළමයෙක් අනාගතයට දායක කරන්න. "


ඒ සර් තව ගොඩාක් ක‍්‍රීඩාවට අදාල දේවල් කිව්වා. මගේ මතකයේ හිටියේ අන්න අර කිව්ව දේවල් විතරයි. අනික එයත් මගේ අදහස්ම  ඉදිරිපත් කලානේ. පුතාට ටුනමන්ට් එකෙන් රන් පදක්කමක් ගන්න බැරිවිල්ලත් ටික දවසකින් කාටත් අමතකවෙලා ගියා. ඉරිදා දවසක හවස්වරුවේ නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න කොටයි දැක්කේ කාරයක් අපේ වත්තට හරවනවා. එකෙන් බැහැලා ආවේ මම නොදන්නා ගැහැණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි එයාලා දෙන්නත් එක්ක පුතාගේ වයසේ දරුවෙකුත් රථයෙන් බැහැලා ආවා.
"මේ දිසස් ගේ ගෙදරද?"
"ඔව්. එන්න වාඩිවෙන්න."
"කෝ පුතාගේ අම්මා නැද්ද? පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?"
ඒ අතරේ බිරිඳත් සාලයට ආවේ පුතා මොකක් හරි මගොඩි වැඩක් කරලා එකට පැමිණිල්ලක් කරන්න ආපු පන්තියේ ලමයෙක්ගේ අම්මලා කියලා හිතාගෙන.
"ආ මේ සඳරුගේ අම්මානේ. ඇයි අපේ එක්කෙනා මොකක් හරි සඳරුට කරලාද?"
පුතාත් දොර රෙද්ද අස්සෙන් එබිලා බැලුවේ බයෙන් වාගේ.
"අනේ නෑ. එහෙම දෙයක් නෙමෙයි. අපි ආවේ දිසස්ට ස්තූති කරලා යන්න."
මට එකපාරටම බැලුනේ පුතාගේ දිහායි. එයා තාමත් දොර රෙද්දට මුවාවෙලා ඉන්නවා. එයාගේ මුහුණට පොඩි එලියක් වැටිලා.
"එන්න පුතේ පොඩ්ඩක් එළියට."
"ඔව් දිසස් පුතේ  පොඩ්ඩක් මෙහෙට එන්න."
සඳරුගේ අම්මාත් පුතාට කතාකලා. දොර රෙද්ද අස්සෙන් එළියට ආපු පුතා මගේ ලඟ නැවතුණා. සඳරුගේ අම්මා පුතාගේ අතින් ඇදලා එයාගේ ලඟට අරන් ඔලුව අතගාන්න පටන් ගත්තා.
"දිසස් පුතේ ඔයාට බොහෝම ස්තූතියි  අපේ සඳරුට අසනීපවෙලා  වමනේ ගිය වේලාවේ කරපු උදව්වට. "
"ඒ මොකක්ද ඒ කතාව."
මම ඇහැව්වා.
"අපේ සඳරු ඊයේ ඉස්කොලේදි අසනිප වෙලා පන්තියේදි වමනේ ගිහිල්ලා. ඇගපුරාත් එයාගේ පුටුවෙත් හැමතැනම වාගේ ගෑවුනාලු. පන්තියේ අනෙක් ළමයි සඳරුට වමනේ දැම්මා කියලා විහිලු කරද්දි එයාට උදව්කරන්න ආවේ මේ දරුවා විතරයි. මෙයා සඳරුව ටැප් එක ලගට ගෙනහින් කමිසේ ගලවලා හොඳට හොදලා එයාව පිරිසිදු කෙරුවා විතරක් නොවෙයි පන්තියේ තිබුන වමනේ ගොඩටත් වැලිදාලා එවාත් අහක් කරලා තිබුනා. බලන්න අනෙක් අය අප්පිරියාවෙන් මෙයාව කොන් කරද්දි මේ දරුවා විතරයි එහෙම දෙයක් කෙරුවේ."  
"ඇත්ත පුතා?"
විස්මයට පත්වුනු මාගේ බිරිඳ පුතාගෙන් ඇහැව්වා. කිසිම දෙයක් නොකිව්ව පුතා පොඩි සිනහවක් දැම්මා. ඇත්තටම මට ආවේ ලොකු ආඩම්බරයක්.
"පුතා සඳරු අරක ගෙන්න."
මෙච්චර වෙලා කිසිම දෙයක් නොකියා හිටපු සඳරුගේ තාත්තා ඔහුට කිව්වා. සඳරු කාරයට දිව ගිහිල්ලා අරන් ආවේ ලොකු පාර්සලයක්.
"දෙන්න පුතා යාලුවට ඒක."
"අනේ පුතා කරපු ඒ පුංචි දේට තෑගි ඔනේ නෑ."
මටත් ඉස්සරවෙලා පුතාගේ අම්මා කිව්වා.
"එක තමයි."
සඳරු එයා ගෙනාපු තෑග්ග පුතාට දුන්නා. පුතා එක පිළිගන්න මැලිවෙද්දි
"නෑ පුතා  ඕක ගන්න. මේ තෑග්ග ඔයා කරපු හොඳ වැඩේටයි. එකෙන් මගේ සඳරු පුතාත් ඉගෙන ගනියි තව කෙනෙකුටත් උදව් ඔනේ වෙලාවට උපකාර කරන්න. දිසස්ගේ තාත්තේ මේ පුංචි අයට උනත් හොඳ දේවල් කියලා දෙන්න ඔනේ එයාලා තමයි මේ ලෝකය ඉස්සාරට ගෙනියන්න ඉන්න අය. ඔයාලා පුතාව හොඳට හදලා තියෙනවා. "
මට හිතාගන්නත් බැරිවුනා පුතා කරපු වැඩය ගැන. පුතාටත් මටත් ස්තූති කරපු සඳරුගේ දෙමව්පියන් අපේ ගෙදරින් ගියේ පුංචි මිතුරෝ දෙන්නා විතරක් නොවේ අපේ පවුල් දෙක අතරත් නොබිදෙන මිතුදමක් ඇති කරගෙනයි. එදා කරාටේ ශූරතාවලියෙන් පදක්කමක් ගන්න බැරිවුනා කියමින් පුතාව සම්චලේට ගත්තු බිරිඳගේ පියාත් අම්මාත් ඇතුලු පුංචි අම්මලාගේ කටවල් වහන්න මගේ පුතංඩියා සමත්වුනා. පුතා මේ කරපු වැඩේ පන්තියේ ටිචර් විදුහල්පතිටත් කියලා ඉස්කෝලේ රැස්විමේදි පුතාව වේදිකාව උඩට නංවලා එයාගේ කි‍්‍රයාව අගයකරපු එකත් සිදුවුනා. 
පුතාව මගේ තුරුල්ලට අරගෙන එයාට මං කිව්වා. "ඔයා කරාටේ වලින් තව කෙනෙකුට ගහලා පදක්කමක් නොගෙනාවට හොඳ යහපත් ක‍්‍රියාවක් කරලා ජිවිතේටම වටිනා රන් පදක්කමක් දිනාගත්තා කියලා."   




මේ කතාවට පසුබිම්වුනේ මාගේ මිතුරෙකුගේ දිසස් වන්නිආරච්චි නම්වු පුංචි පුතා  විසින් කල හොඳ යහපත් ක‍්‍රියාවක්   
දිසස් වන්නිආරච්චි

27 comments:

  1. කියන්න වදන් නැහැ, අසංග!

    මට නම් බොක්කටම වැදුණා! පෝස්ටුව කියෙව්වේ කඳුළු අතරින්. දුකට නෙවෙයි, පහන් සංවේගයෙන් උපන් කඳුළු අතරෙන්.

    මගේ යහළු ඩොකෙකු ළඟට ගිය, මගේම මිතුරෙකුගේ බිරිඳයි දුවයි ගැන මනුස්සයා අපට කිව්වා. එයාලා ඩොක්ටර්ව හම්බ වෙන්න ගිහින් තියෙන්නේ දෝණිට තව ශක්තිජනක ආහාර දෙව්වන්න. දුව පිහිනුම් තරඟවලදි පෙන්වන දස්සකම් මදිය කියලා අම්මා කියලා.

    'දුවට නෙවෙයි මචං, බෙහෙත් කරන්න ඕනේ. අම්මට. මානසික වෛද්‍යවරයෙක් ලව්වා. ඒ අම්මණ්ඩි හිතන්නේ හැම ළමයෙක්ම තරගවලින් දිනන්න ඕනි කියලයි.' Dr. අපට කිව්වේ පස්සෙයි.

    තරගවලට සහභාගී වීමයි වැදගත් කියන එක අපේ හැම දෙමව්පියන්ටම තේරෙනවා නම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිමල් අයියා. මේ කතාව සත්‍ය සිදුවිමක් මං කලේ පොඩ්ඩක් රස ගැන්වුවා පමණයි.

      Delete
  2. ඔබ විසින් මාගේ බ්ලොගයේ දැමූ කමෙන්ටුවකින් සොයා ආවෙමි! මේ කතාන්දරය ගැන කීමට ඇත්තේ සරල දෙයක්ය! බොහෝ මව් පියවරුන් ඔබ වාගේ සිතන්නේ නැත. අනෙක් අතට දැන් ලාංකික දරුවාව ගොන් කරත්තයේ බැද ඇති සේ රේස් ඒකක දුවවන්නේද වර්තමාන අම්මලා තාත්තලා මිස ඒය ලමයාගේ උවමනාව නොවන්නේය. කරන්නට දෙයක් නැත. ඒය රට විසින්ම සාදා ගත් පිලිලයකි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි m7vidu ගොඩවැදුනාට. මේ ක‍්‍රමය වෙනස් කරගතයුත්තේ අප විසින්මයි.

      Delete
  3. මහත්මයා කරාටේ පුහුණුකරුවෙක්ද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ ඔබවාගේම සාමාන්‍ය මනුස්සයෙක්.

      Delete
    2. https://bestselfdefenseknife.com/the-best-knife-fighting-styles/

      Delete

  4. අදත් ආවෙ නැව් කතාවක් කියවන්න හිතාගෙන.අන්තිමට ඇස් දෙක් කඳුලු.මිනිස්කම ගැන හොඳ කතාවක්.

    ReplyDelete
    Replies
    1. නැව් කතා කියවලා හැමෝටම බෝරිං වෙලා ඇතියි කියලා හිතුනා. වෙනසකට එක්කලා මේක ඇතුලත් කලේ. බොහෝමත්ම ස්තූතියි ඔබට.

      Delete
  5. නැවි කථා බෝරිං නැත. දරුවන්ට යහපත් ලෙස ජීවිතය ගෙන යාම ගැන කියා දුන් විට ඹවුන් අවස්ථාව පැමිණි විට නිසි පරිදි සිද්ධීන් වලට මුහුණ දේවී. එම පුතාව අගය කරමි. ඔබට ස්තූතියි මෙවැනි දේ අකුරු කිරීම ගැන.

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි බන්දුල විතානගේ මහත්මයා ඔබට. නැව් කතා ඉදිරියටත් ලියවේවි.

      Delete
  6. ඇස් දෙකට කඳුලක් ගෙනාවා, මම ත් ඒ දරුව ගේ අම්මා වගේ වෙච්ච අවස්ථා මතක් වෙලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට. නෑ මේක ලිව්ව මටත් එහෙම වෙච්චි අවස්ථාවන් තියෙනවා. වැරදි නිවැරදි කරගැන්මයි වැදගත් නේද?

      Delete
  7. රසවත් කියැවීමක්, ස්තූතියි. මොනම හේතුවකටවත් ලමයින්ට අරියාදු කරන එක මහා පවක්.

    ReplyDelete
    Replies
    1. කොළොම්පුරේ ඔබව සාදරෙන් පිලිගන්නවා ගොඩවැදුනාට. ස්තූතියි ඔබටත්. සමහර අවස්ථාවලදි දෙමව්පියන්ටත් නොදැනිම ඒ දේවල් සිදුවෙනවා. වරද නිවැරදි කරගන්මයි කලයුත්තේ.

      Delete
    2. ඔව් ඒක ඇත්ත. නැවත අලුත් ලිපියකින් හමුවෙනතෙක් ආයුබෝවන් නැව් මල්ලී.

      Delete
  8. කියවගෙන යනකොට වරු නතුව කඩුලක් වටුනා. එ රන් පඩක්කම ලෙය්සියෙන් කටවත් ගන්න බරි බව ඩනුන. එහෙම උනොත් ලොකය තවත් ලස්සන වෙවි. අසන්ග උබට මගෙ හිස නමා ආචාරය.

    ReplyDelete
  9. ඇස් දෙකට කඳුළු එන සිදුවීමක්. දුකට නෙමෙයි සතුටට.
    තරඟකාරී ආධ්‍යාපන රටාවත් එක්ක දැන් ගොඩක් ළමයින්ගෙ හොඳ ගතිගුණ දුරස් වෙලා තියෙනව. ක්‍රීඩාවකදි උනත් අනිවාරයෙන් දිනන්න ඕන කියන අදහසත් ඒකෙන් එකක්. ඒකට වගකියන්න ඕන ළමයි නෙමෙයි දෙමව්පියොයි.

    ඒ අතර මේ වගේ යහපත් ගතිගුණ ඉස්මතු වෙන ළමයින්ව ඇගයීම කල යුතු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප‍්‍රසන්න. මෙයට ගොඩාක් හොද ප‍්‍රතිචාර ලැබුනා ඇත්තෙන්ම සතුටුයි දෙමව්පියන් වශයෙන් අපිටත් හිතන්න හැදෙන්න යමක් ලැබුණා නම්.

      Delete
  10. අසංග මම දියනියට දෙන උපදෙසුත් මේ වගේම තමයි. ලකුණු අඩු වුණාට මොනවත් කියන්නේ නෑ. ඔය වගේම ප්‍රතිඵල එයගෙනුත් ලැබුණා.

    ReplyDelete
    Replies
    1. එදා ඔබත් එක්ක කල කතාබහෙන් එය දැනුනා. ඇත්තෙන්ම එය බොහෝ දරුවන්ට නොලැබෙන්නක්. පියෙක් වශයෙන් ඔබට අනාගතයේදි තවත් ආඩම්බර විය හැකියි.

      Delete
  11. කියන්න වචන නෑ අසංග අයියේ .

    දරුවන් ගේ ලෝකේ මහ පුදුම තැනක් නේද. ඉගෙනීම තුලින් වගේම වගේම ක්‍රීඩාව තුලිනුත් ළමයින්ගේ විනය අනෙකා ට උදව් කරන ගතිය , ගරුකිරීම උගන්නන්න ගුරුවරුන්ට පුළුවන් නම් ලෝකේ , අපේ රට කොච්චර ලස්සන තැනක්වෙයි ද අනාගතයේ .

    ReplyDelete
    Replies
    1. එදා අපි නොදැකපු අද දකිනා එදා විදපු සුන්දරත්වය අපේ දරුවන්ට ලැබෙනවාද කියලා හිතෙනවා. එය ලබා දිමයි අපේ යුතුකම. ස්තූතියි ඔබට.

      Delete
  12. අසංක ඔබ මාගේ 150 වැනි Blog සටහනට ලියා ඇති ප්‍රතිචාරය බලා ඔබගේ පිටුවට ආවා. මේ සංවේදී කතාව ඉතා ආසාවෙන් කියවූවා. සමහර අවස්ථා වලදී පාසලෙන් ලබා දිය නොහැකි ප්‍රායෝගික ජීවිතාවබෝධය ලබාදිය හැක්කේ ගෙදරදී. දිසස් දරුවාට වැඩිහිටි කිහිප දෙනෙකුගෙන් සමච්චලයක් ලැබුනාට ඔහුගේ පියා අවස්ථාව තේරුම් ගෙන ක්‍රියා කිරීම අගය කළ යුතුයි. සමහරවිට ඔහුට ඒ ලැබුණු තල්ලුව නිසාම විය හැකියි පසු අවස්තාවේදී මිතුරාට උදව් කිරීමට සිතුවේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයාවි මහත්මයා. මේ කතාව මාගෙත් දෑස් අරවන්නට සමත්වුනා.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

එඩිසන්ගේ වැසිකිලි කෝපය - සයුරේ දසවසක් - 16

ලංකාවේ උතුරු කොනේ වරාය වන කන්කසන්තුරය වාරය වෙත අපගේ නෞකාව ලගාවුනි. ප‍්‍රමාණයෙන් කුඩා නෞකාවන් වුවත් අපගේ නෞකාවන් කෙලින්ම වරාය තුලට ගෙන බඩු බ...