Saturday, August 1, 2020

වැරදුන බඩේ අමාරු ප්ලෑන හා සමුගැන්ම - සයුරේ දසවසක් - 18

Posted: 12 Mar 2020 05:25 PM PDT


පාන්පිටි තොගයක් පටවාගත් නෞකාව යළිත් ති‍්‍රකුණාමයල වරායට සමුදි ගමන් ඇරඹුවේ අපගේ සුපුරුදු ගමනාන්තයවු කන්කසන්තුරේ වරය වෙතය. කොන්ඩය කපා නැවියෙක් වශයෙන් බෞතිස්ම කිරිමේ නවක වද සාදයෙන් පසුව තැන තැනින් කපා දැමු හිස කෙස් නිසි පරිදි කපා ගැනිමට කාල අවකාශයක් තිබුනේ නැත. ක්ලීන් සූට් එකක් හැද උදේ හවස දුම්රියේ බස් රථයේ තෙරපිගෙන යන රැකියාවක් නොවන නැව් රස්සාවේ හිටියේ හැමදා මුණ ගැහෙනා එකම කන්ඩායමකි. ස්ත‍්‍රි පාරණයක් දකින්නට නැති නෞකාවේ අපට තැන තැනින් කපාගත් කොන්ඩයක් සහිතව එහි සිටින්නට ලැජ්ජාවක් නොතිබුනි. කන්කසන්තුරය වරායට එකවරම පිවිස බඩු ගොඩබාන්නට නොහැකිවුයේ කලකින් වැලි පිරුනු එහි පත්ල හරා ගැඹුරු කර නොතිබුනු හෙයිනි. දිනපතා රාත‍්‍රි කාලයේ වරායෙන් පිටත නැංගුරම් යොදාගෙන සිටින්නටත් සෑම උදයකම වරාය මුවවෙත අපට යාත‍්‍රා කරන්නට සිදුවුනි. වරාය අධිකාරියෙන් සිදුකල යුතු වරාය මෙහෙයුම් උතුරු කොනේ සිදුකලේ නාවික හමුදාවයි. කන්කසන්තුරය වරායේ ආරක්ෂාව හා මෙහෙයුම් ඇතුලු සියල්ලම නාවික හමුදාවට බාරව තිබුනේ යුද්ධය නිසා වරායේ අධිකාරියට අයත් කිසිවෙකු එහි සේවය නොකල බැවිනි. ඵුස්සදේව නම්වු බොහෝ සෙයින් දිරාපත්වු වරාය අධිකාරියට අයත් ටග් යාත‍්‍රාවක් අපගේ නෞකාව හැසිරවිමේ නාවික මෙහෙයුමට භාවිතා කලේය. මේ ටග් යාත‍්‍රාව හසුරවමින් අපගේ නැව තල්ලු කිරිමට පැමිනිමේදි එහි සිටි නාවික භටයින්ගේ උකුසු ඇසට අසුවන්නේ පලින් පල කපාදැමු අපගේ කොන්ඩයයි. මුලදී ඔවුන්ට මුහුණ දෙන්ට පොඩි පහේ චකිතයක් ඇතිවුවත් පසුව මේ අපේ අලුත් කොන්ඩා මොස්තරය ලෙසින් පෙනෙන්නට කිසිත් නොවුන ගානට හැසිරිමට හැකි විය. නෞකාවේ සිටි බොහෝමයක් සතුරන් අතරින් හිතවතෙකුට සිටියේ කඩ්ඩා වෙනුවට ආ එකනායක පමණි. අප දෙනොගේ සේවා මුර දෙක අනුව ඔහුටත් මටත් එකවිට හමුවන වේලාවක් නොතිබුනි. කොන්ඩය කෙටිවන්නට කපා දමන්නට වැඩ රාජකාරි අස්සේ නිවාඩුපාඩු වේලාවක් සොයාගන්නටත් අපහසුවත් එකනායක අල්ලා ගැනිමට නොහැකිවිමත් නිසා කොන්ඩය කපා දැමිම දිනෙන් දින කල් ගියේය. තවද එයට මාගේ අලසකමත් බලපාන්ට ඇත. 

ඉවසන්නට බැරි 


 කොන්ඩය කැපීමේ නවක වද සාදයෙන් පසුව මාහට දරුණු උදරාබාදයක් හට ගැනුනි. වරින්වර අඩු වැඩි වෙමින් දිගින් දිගටම පැවතියත් කන්කසන්තුරයෙන් ගොඩබිමට යවා වෛද්‍යවරයකුට පෙන්විමට හැකියාවක් තිබුනේ නැත. යළිත් අප ති‍්‍රකුණාමලය වරායට පැමිනෙන තෙක් ඉවසා සිටින්නට සිදුවිය. අප කොතරම් අසනිප වුත් කිසිසෙත්ම කලයුතු වැඩ රාජකාරිවල අඩුවක් සිදුනොවින.
 දෙසතියක් පමණ ගෙවිගොස් අප යළිත් ති‍්‍රකුණාමල වරායේ සුන්දර සිරගෙදර නමින් මා හඳුන්වන ප‍්‍රීමා පාන්පිටි කර්මාන්ත ශාලාවේ ජැටියට සෙන්දුවිමු. රාජකාරි වැඩ වලින් හෙම්බත්ව සිටි සියල්ලන්ම බලා සිටියේ ඉන් මදකට හෝ මිදෙන්නටය. එහෙත් සියල්ලන්ටම ඒ අස්වැසිල්ල ලැබ ගන්නට හැකි නොවේ. පාන්පිටි පැටවිම හා අනෙකුත් රාජකාරි අධික්ෂණය කරන්නට නෞකාවේ සේවය කරන්නන් කිහිප දෙනෙකු රැුදි සිටිය යුතු බැවිනි. ලැබු කෙටි විවේකයෙන් කොටසක් බලා සිටියේ ටවුම පැත්තේ රවුමක් ගසා ගෙදරට දුරකථන ඇමතුමක් දී හෝ ලිපියක් තැපැල් කර එන්නටත් තව සමහරුන්ගේ් කොන්ඩ රුවුල් කපා ගන්නටත්ය. ගොඩබිමට යන අය අතරේ අසනිපකාරයෙක්ට සිටියේ මා පමණි. පලින් පල කපා දැමු කොන්ඩය සමගින් ටවුමට යන්නටත් වෛද්‍යවරයෙකු ඉදිරියට යන්නේ කෙලෙසකදැයි සිහිපත්වන විට කිසිවක් කරගන්නටත් ප‍්‍රමාද වැඩිය. හිසට පලදාගෙන යන්නට කැප් තොප්පියක් සෙව්වත් තීන්න පැල්ලම් වැදුන කිලිටි කැප් තොප්පි මිසක් හොද තත්වයේ කිසිවක් හමුනොවින. තිබුනත් එවා නොදි ඉන්නට ඔවුන් තීරණය කර සිටියා වෙන්නට ඇත. අවසානයේ තියෙන අයුරින්ම ගොඩබිමට යනවා යැයි සිත දැඬි කරගතිමි. වෙනදා මෙන් බොහෝ ප‍්‍රමාදවන ති‍්‍රකුණාමලේ එජන්ට්ගේ කබල් ලෑලී බෝට්ටුව එනතෙක් ලක ලෑස්තිවු අප මෙස් කාමරයේ ලෑලී බංකුවට වි මැසිවිලි කියන්නට විමු. ආඩම්බරකාර බෝට්ටුකාරයාගේ කබල් බෝට්ටුවෙන් මගි ජැටියට පැමිණ සියල්ලන්ම විසිර ගියේ එතැන මා පමණක් තනිකරවිමින්ය. බෝට්ටුකරුවා මගි ජැටියට මදක් ඔබ්බෙන් වු ග‍්‍රීන් පාරේවු නැව් සමාගමේ නියෝජිතයාගේ කාර්යාලයට රැගෙන ගියේය. දමිළ උරුවට සාදනු ලැබු පැරණි නිවසේ විසිත්ත කාමරයේ ඔහුගේ කාර්්‍යාලය විය. පෙරවතාවකදි කොළඹ ගොස් විශාල විදුලි මොටර දෙකක් රැගෙන ආවේද මේ නිවසටමය. රාජ් නම්වු ඔහු ඇතුල් කාමරයක සිට පැමිණ එහිවු පුටුවක හිදගති.
”ආ ඔයාද අසනිපයක් තියෙන්නේ?”
”ඔව්.”
”මොකද තියෙන අසනිපේ?”
”බඩේ අමාරුවක්.”
ඔහු මාගේ හිසේ සිට දෙපතුල දක්වා බලා සිට.
 ”ටිකක් ඉදගෙන ඉන්න මම ඩොක්ට ගාවට යවන්නම්.”
පසෙක තිබු අවපැහැගැන්වුනු පැරණි සැටියක හිද ගත්තෙමි. සැටියේ පැරණිකම වැඩි නිසාදෝ තද ගතියක් නොමැති කුෂන් කොට්ටය තුලට ගිලිගියේ යටින්වු ලී පොලුවල රළු පහස තට්ටම් වලට ලැබගනිමින්ය. දුරකතන ඇමතුමක් ගත් ඔහු දමිල බාෂාවෙන් මොන මොනවාදෝ කියවන්නට විය.
තප්පර විනාඩි වෙමින් කාලය ගතවෙද්දි තව දුරටත් කරබාගෙන සැටියට වි ඉන්නට නොහැකි කමින් මා පෙලන්නට විය. අඩහොරාවකට වඩා කාලය ගතවුනි. මෙපමන වේලාවක් ඔහු මා දොස්තරවරයෙකු වෙත යවන්නට ගත කරන්නේ ඇයි දැයි සිතාගත නොහැකිවුනි. එක තැන වාඩිගෙන ඉන්නට බැරිවිම නිසා කිහිප වාරයක් නැගිට දොරකඩට අසලට ඇවිද ආවේ සිතේ නැග එන නොරිස්සුම වැඩි බැවින්ය.  
”ඩොක්ට මෙහෙට එනවාද?”
තවත් බලාගෙන ඉන්නට බැරිව ඔහුගෙන් ඇසුවෙමි.
”පොඩ්ඩක් ඉන්න ඔයාව යවන කම්.”
මාදෙස නොරිස්සුම් බැල්මක් හෙලු ඔහු කීවෙය.
මද වේලාවකින් ඔහුගේ කාර්්‍යාලයේ සිටි ලිපිකරු තරුණයෙකුට මා පෙන්වා දමිල බසින් මොනවාදෝ කියන්නට වුනි. පුටුවෙන් නැගිට ගත් තරුණයා ඇතුල් කාමරයකටත් යළිත් විසිත්ත කාමරයටත් එහෙට මෙහෙට ඇවිදින්නට ගත්තේ ඉන් අනතුරුවය. එය මෙතෙක් වේලාවක් බලාසිටි මාගේ නොවසිල්ල තවත් වැඩි කරවන්නක්ම විනි. ඇතුල් කාමරයක සිට එළියට පැමිණ ඔහු හා එන ලෙසින් අතින් සන් කල ඔහු මා සැටියෙන් නැගිට ගන්ටත් කලියෙන් නිවසින් එළියට ගියේය. තවත් විනාඩි කිහිපයක් බලා සිටින්නට සිදුවුයේ ත‍්‍රිරෝද රථයක් එන තෙක්ය. 

ත‍්‍රි රෝද රථය ප‍්‍රධාන මාර්ගයේ මද දුරක් ගමන් කල එය අතුරුපාරක් ඔස්සේද අප රැගෙන ගියහ. කලකින් තීන්ත ආලේපයක් නොකෙරු පැරණි නිවසක තිබු වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටියේ වයස අවුරුදු හැටකට ආසන්න පෙනුමැති දමිළ වෛද්‍යවරයකි. පලින් පල කැපු කොන්ඩය සහිතව දිස්පැන්සරිය වෙන ගිය මා දෙස අගහරු ලෝකෙන් පැමිනි අයෙකු දෙස බලන්නාක් මෙන් එහි සිටි සියල්ලන්ම බලන්නට විය. ඔවුන්ගේ බැල්මවල් සිතට නුහුරු ගතියක් ගෙන ආවත් සිතේ ඇතිවු හැගුමන් පිටතට නොපෙන්නාගෙන සිටියෙමි. දිස්පැන්සරියට ඇවිත් සිටි  කාන්තාවන් හා ළමයින් දෙදෙනෙක් පමණ බෙහෙත් ගෙන පිටත්ව ගිය පසුව මාගේ වාරය පැමිණි අතර නියෝජිතයාගේ ලිපිකරු සේවකයා සමගින් වෛද්‍යවරයා හමුවන්නට කාමරයට ඇතුල්විමු. නියෝජිතයාගේ සේවකයා තම බසින් මා පෙන්වා කිසිවක් කී අතර වෛද්‍යවරයාද සිතුවේ මාද දමිළයකු ලෙසිනි. ඔහු මාගෙන් ඇසු කිසිවක් නොතේරුනු අතරම නියෝජිතයා පසුව මා සිංහලයෙකු බව කීවේය.  
”ආ මොකක්ද අසනිපේ?”
”බඩේ අමාරුවක්. සැරින් සැරේ රිදෙන්න අල්ලනවා.”
වැඩි සැලකිල්ලක් නොදක්වා උඩින් පල්ලෙන් පරික්ෂාවට ලක් කල ඔහු බෙහෙත් කිහිපයක් නියම කරවීය. ආධුනිකයින් වු අපට ඉල්ලා නැවෙන් බැසයන්නට බැරිය. ඒ අපගේ නැව් සමාගමෙන් පාලනය වන නාවික පුහුණු පාසලක පුහුණුවන්නන් වන අප එසේ බැස ගියොත් පුහුණුව අතහැර ගියාසේ සලකන බැවිනි. මගේ අරමුණවූයේ මෙම අසනීපය මුල්කරගෙන මිහිපිට අපායක් බදුවු මේ කබල් නැවෙන් බැස යන්නටය. මාස කිහිපයකට පෙර උදරයේ සිදුකල ඇපෙන්ඩික්ස් සැත්කම ගැන ඔහුට පැවසුවෙමි. එහෙත් වෛද්‍යවරයාගෙන් එයට හොඳ ප‍්‍රතිචාරයක් නොලැබුන අතර ඔහු ඒ කතාව ගනනකටවක් ගත්තේ නැත. මාගේ බලවත් ඉල්ලීමවූයේ සැත්කම සිදුකල රෝහලට ගොස් උදරය පෙන්නාගත යුතු බවය. නොරිස්සුම් සහිත බැල්මක් මාවෙත හෙලූ ඔහු      
”එහෙම ලෙඩක් බවක් පෙන්නේ නෑ.”
”නෑ ඩොක්ටර් මගේ බඬේ  පැත්ත රිදෙන්න ගන්නවා.”
”ටික දවසක් යනකම් එහෙම දැනෙනවා තමයි.”
”කොළඹ ගිහිල්ලා හොස්පිටල් එකට පෙන්නුවොත් හොඳයි නේද?”
” ඕක මේ පොඩි ලෙඩක්. ඔයාට ලොකු අමාරුවක් නෑ.” 
”එ්වුනාට මට හිතෙන්නේ මෙහේ බර වැඩකරන හින්දා රිදෙන්න ගන්නවා කියලා. ඔපරේෂන් එක කරපු ඩොක්ටර්ලා කිව්වේ අමාරුවක් තිබුනොත් ආපහු හොස්පිටල් එකට ඇවිත් පෙන්නන්න කියලා.”
”මොන හොස්පිටල් එකේද ඔපරේට් කලේ. ප‍්‍රයිවෙට් එකකද?”
”නෑ ගවර්මන්ට්. කළුබෝවිල හොස්පිටල් එකේ.”
”ඔයාට ගෙදර යන්න  ඕනේ නම් එජන්ට්ට කියල කතා කරන්න. මට බෑ ඔයාව ගෙදර යවන්න කියන්න.”
කී ඔහු දුරකථනයෙන් කවුදෝ ඇමතීය. ඔහු පවසන්නේ කුමක්දැයි මාහට නොතේරුනේ දමිළ බසින් සංවාදය කෙරුනු බැවින්ය. මා හට තේරුනු පරිදි ඔහු කතා කරන්ට ඇත්තේ නැව් සමාගමේ නියෝජිතයා සමගින් විය හැකිය.  
”ඔයාට බෙහෙත් වගයක් දෙනවා මේ ටික බිව්වාම හරියයි. ”
දුරකථන සංවාදය අවසන්කල ඔහු කිවේය. අපායෙන් මිදි ගෙදරයන්නට ගැසු අන්තිම තුරුම්පුවත් වියැකි ගියේ සිතට දැඩි අසරණ කමක් ඉතිරි කරමින්ය. අසුනින් නැගිට වෛද්‍යවරයාගේ කාමරයෙන් පිටව ආවේ සිත තුල නලියන හැගුමන් දැඩිව හිරි කරගනිමිනි. 

මුට තියෙන්නේ බොරු ලෙඩක්


”මේ ලග පොස්ට් ඔෆිස් එකක් නැද්ද?”
යළි ග‍්‍රීන් පාරට එන අතරේදි ලිපි කවර කිහිපයක් රැගෙන එන ලෙසින් එකනායකගේ ඉල්ලීම මතක්වු සැනින් වැඩි කතා බහක් නැති මා රැගෙන ගිය ලිපිකරුවාගෙන් ඇසුවෙමි.
”මොකටද?”
”ඇන්විලොප් ටිකක් ගන්න.”
”ඉක්මණට අරන් එන්න බොට් එක ගිහිල්ලාද දන්නේ නෑ.”
ත‍්‍රිරෝද කරුවාට යමක් කී මෙන් පසුව තැපැල් හලක් අසළ නතරකෙරුනු අතර ඉක්මනින් පාර පැන දිවගියේ ඊලග සේවා මුරයට එක්වන්නට නියමිත අයට නැවට යන්නට තිබෙන බොට්ටුව ප‍්‍රමාද කිරිමටත් දෝශාරෝපන එල්ලවිය හැකි බැවිනි. දිස්පැන්සරියේදි මෙන්ම තැපැල් හලේ හුන් සියල්ලක්ම බැලුයේ මාගේ හිසකේ විලාසිතාව දෙසය. ඒකනායකටත් එක්කම මුද්දරය මුද්‍රණය කල ලිපිකවර දහයක් මිලදීගත් අතර නෞකාවේ සේවයෙන් මිදි නිවසට ගොස් තවත් නැව් කිහිපයකම සේවයට එක්ව බෑගය අබලන්වි අයින්කරනා තෙක්ම ඒ ලිපි කවරවලින් මාගේ කොටස කිසිදු ප‍්‍රයෝජනයකට නොගෙන බෑගයේ පැති සාක්කුවක රැදී තිබුනි. 
දිස්පැන්සරියට ගොස් යළි නියෝජිතයාගේ කාර්්‍යාලයට අප වාර්තාකලත් ටවුමට ගිය අපේ කන්ඩායම යළි ඇවිත් තිබුනේ නැත. මා අනුමාන කල අයුරින්ම වෛද්‍යවරයා විසින් නියෝජිතයා හට මාගේ අසනිපය ගැන වාර්තා කර තිබුනි. ඔහු මා ඔහුගේ කාමරයට කතාකලේය. 
”ඩොක්ටර් මොකද කිව්වේ. ඔයාට බෙහෙත් දුන්නා නේද?”
”ඔව් ඒ උනාට මිස්ටර් රාජ් මට හිතෙන්නේ කොළඹ ගිහින් හොස්පිටල් එකට පෙන්වුවොත් හොදයි කියලා.”
”ඒ ඇයි?”
”මට මේ නැවට එන්න මාසයකට කලින් බඩේ ඔපරේෂන් එකක් කෙරුවා. මට හිතෙන්නේ ඒක නිසා තමයි මේ බඩේ අමාරුව එන්නේ.”
”ඩොක්ටර්ට කිව්වේ නැද්ද ඒක?”
”කිව්වා. එයා කිව්ව දේවල් මට තේරුනේ නෑ. මට හිතෙන්නේ ගෙදර ගිහිල්ලා හොස්පිටල් එකට පෙන්නුවොත් හොදයි කියලා.”
”ඔයාට බහින්නද ඔනේ?”
”නෑ බහිනවා නොවෙයි. මේ අසනිපයට බෙහෙත් ගන්නයි.”
”ඩොක්ටර් කියන්නේ හොස්පිටල් යන්න තරම් ලොකු අසනිපයක් නැහැයි කියලා නේ.”
”මට ඔනේ මගේ ලෙඩේ මාව ඔපරේට් කරපු ඩොක්ටර්ට පෙන්නන්න. එයා කියලා තියෙන්නේ මොකක් හරි අමාරුවක් තියේනවානම් අනිවාර්්‍යයෙන්ම එයාව කන්ටැක් කරන්න කියලා.”
”ඔයාට බහින්න ඔනේ නම් කොම්පැනියට කතාකරන්න. මට පුලුවන් ඔයා සයින් ඔෆ් වෙන්න ඉල්ලනවා කියලා කොම්පැනියට කතා කරන්න. ”
”නෑ බහින්න නොවෙයි. මට ඔනේ මගේ ලෙඩේට බෙහෙතක් ගන්නයි.”
”ඔයාට බහින්නේ නැතිව කොහෝමද කොළඹ යන්නේ. ”
”කොළඹ ගිහිල්ලා බෙහෙත් අරගෙන ඊලග වොයේජ් එකේදි ටි‍්‍රන්කෝ වලින් ආපහු ජොයින් වෙන්න පුලුවනි නේ. ඒකයි මං අහන්නේ.”
”මට ඒ ගැන ඩිසිෂන් එකක් ගන්න බෑ. ඔනේ නම් මම කොම්පැනියට කතාකරලා කෲ මැනේජර් කැප්ටන් ......... ට කතාකරන්නම්.”
ඔහු දුරකථනය ගෙන අංක කිහිපයක් එබිය. මා දෑස් ඉදිරිපිට සිදුවන්නේ සැලැස්මේ සියල්ලම වැරදිගෙන එන සෙයකි. නැවේ සේවයෙන් මිදියන්නට නොහොත් ඉල්ලා බහින්නට නොගොස් බඩේ අමාරුව පිට දමා ඔවුන් විසින්ම සේවයෙන් මුදවා යැවිම මාගේ සැලැස්ම විය. සමාගමේ පිරිස් කලමණාකාර කැප්ටන් .......ට කතාකරන්නට එපා කියන්නට නොහැකිය. එවිට මාගේ සැලසුම නියෝජිතයා ඉදිරියේද එලිදරව් වෙයි. වෙන දෙයක් වෙච්චාදෙන් කියා කිසිවක් නොකියා කරබාගත්තේමි. ඔහු කැප්ටන් ....... හා සම්බන්ධවෙමින්  මාගේ අසනිපයත් ෙවෛද්‍යවරයාගේ නිරිදේශයත් මෙන්ම ඉල්ලිම ගැනත් සදහන් කලේය. අනෙක් පසින් කැප්ටන් මොනවා කීවාදැයි නොදන්නා නමුත් මාහට ඉන් ලැබෙන යහපතක් නොවන බව රාජ්ගේ කතාවත් අංග චලනයත් අනුව සිතාගත හැකිවුනි. 
”කැප්ටන් මෙයාට දෙන්නද ෆොන් එක? කැප්ටන්ට පුලුවනිනේ එයත් එක්ක කතා කරන්න.”
එහා කෙලවරින් කිවේ කුමක්දැයි නොදන්නා මුත් ඔහු දුරකථනය තබා මා විනිවිද යන බැල්මක් හෙලිය.  
”කැප්ටන් කියනවා ඔයාට ආපහු නැවට යන්න කියලා. දැන්ම ඔයාට රිලිවර් කෙනෙකු එවන්න බෑලු.”
හොරකමකට අසුවුවෙකු සේ අධික ලැජ්ජාවක් සිත වෙලාගනු දැනින. යළිත් අපායක් බදු නැවට යන්නට වෙනවා මිසක වෙන කරන්නට දෙයක් නොමැත්තෙන් කරබාගෙන නියෝජිතයාගේ කාර්්‍යාල කාමරයෙන් එළියට බැස්සෙමි. 

ආපසු නැවට ගොස් පැය කිහිපයක් යන්නට මත්තෙන් මා කැප්ටන්........ ගෙන් ගෙදරයන්නට ඇසු විත්තිය කුක් ඇසිය. මා විමතියට පත්වුයේ මේ සිදුවිම දන්නේ මා හැරෙන්නට නැව් සමාගම් නියෝජිතයාත් කැප්ටන් .......... පමණි. එහෙත් අසුබ ආරංචිවලට තටු තිබෙනා බව පසක් කරමින් මාගේ සතුරන් අතටද එය දැන ගන්නට ලැබි තිබුනි. 
”ආ උඔ බොරු බඩේ ලෙඩක් අරන් ගෙදර යන්න හැදුවා නේද?”
පසුදින දහවල් ආහාරයට එක්වන්නට මෙස් කාමරයට ගියවිට බක සිල්වා ඇසීය. අතේ තිබු බත් පිගානෙන් දමා ගසන්නට තරම් කේන්තියක් ඇතිවුවත් කිසිවක් නොකියා බත්පත දිහා බලාගෙන කරබාගත්තෙමි. 



දින සති බවට පත්වෙමින් ගෙවි ගිය අතර අප ත‍්‍රිකුණාමලයෙන් පිටව කන්කසකන්තුරයට තව වතාවක් යාත‍්‍රා කල අතර එහි පාන්පිටි ගොඩබා ආපසු ති‍්‍රකුණාමලය වරායට ආවේය. එහිදි මා බලාපොරොත්තු නොවු අයුරින් මාගේ රිලිවර් හෙවත් ඒකනායකගේ බැජ් එකේ ආධුනිකයෙකු පැමිණ සිටි අතර සිත පුරා සංතෝෂය උඩු දුවන්නට විය.  මාස හයකට ආසන්න කාලයක් මාගේ නිවහන වෙමින් අනන්ත දුක්විදිමින් ජිවිත පන්නරය ලබාගත් ලබාදුන් නෞකාවෙන් සමුගත්තේ සිතේ තරමක දුකක්ද ඉතිරිකරමින්ය. 

මුහුදේ අවසන් ගමන් යෑම

පසු සටහන. 
ඉන් මාස අටක් හෝ දහයකට පසුව උතුරු අර්ධවිපයේදි මුහුදු කොටි ත‍්‍රස්තයින්ගේ ප‍්‍රහාරයකට ලක්වුනු එම නෞකාව මුහුදුබත්ව ගිලීගියේය. ඒ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් නෞකාවේ කාර්්‍යය මන්ඩලයේ තිදෙනෙකු හා නිවාඩු ගොස් යළි යාපනයට යන තෙක් නැවට ආරක්ෂාවට යෙදු නාවික සෙබලුන් දෙදෙනකුද අතුරුදහන් විය. ඔවුන් අතර මා සමගින් ඒ නෞකාවේ සේවයේ සිටි කාපෙන්ටරයාද විය. 

No comments:

Post a Comment

අදහස් මෙතන නිදහස් කරන්න

පළිගු කිරිල්ලී - හතරවන කොටස

රැකියාවක් නොකල බැවින් තමාලිට නිවසේ අඟහිඟකම් දැනෙන්නටවූයේ අතමිට ගැවසුණු මිලමුදල් අවසන්වෙද්දීය. ඇය ජයවීර රැකියාව කල ඩිපෝවට ගොඩවූයේ ඔහුග...