Tuesday, August 4, 2020

පළිගු කිරිල්ලී - හතරවන කොටස

https://kolompure.blogspot.com/


රැකියාවක් නොකල බැවින් තමාලිට නිවසේ අඟහිඟකම් දැනෙන්නටවූයේ අතමිට ගැවසුණු මිලමුදල් අවසන්වෙද්දීය. ඇය ජයවීර රැකියාව කල ඩිපෝවට ගොඩවූයේ ඔහුගේ අවසන් මස වැටුප් ලබාගැනිමේ හා ඔහුගේ නඩුවට රැකියාව කල ස්ථානයෙන් ලැබෙන පිටුවහල කුමක්දැයි සොයාබලන අටියෙනි. මුදල් අංශයේ කැෂියර්ගෙන් ජයවීරගේ අවසන් මස වැටුප ලබාගත් ඈ ඩිපෝ අධිකාරි හමුවීමට ගියා ය. විශාල උඩු රැවුලක් හිමි මැඳිවිය පසු කරමින් සිටි ඩිපෝ අධිකාරිතුමා දුටු තමාලිට ජයවීරලා ඔහුව අමතන බුරුසුවා යන විකට නාමය මතකයට නැගුණි. ඇය දුටු මනින්ම තම මනමාල සිනහව පෑ බුරුසුවා ඇයට අසුන්ගන්නා ලෙස කීවේය. 

“ඔව් ? ” 
“මගේ මහත්තයා තමයි ජයවීර.”
“ජයවීර කිව්වේ? අර ඇක්සිඩන්ට් එකේ ඩ්‍රයිවර් ජයවීරද?”
“ඔව් එයා තමයි.” 
“අපි එයාගේ ගිය මාසේ පඩි ගන්නයි කියලා පණිවිඩයක් එව්වා. එක ලැබුණාද?”
“ඔව් මහත්තයා එක ලැබුණා.” 
“එහෙනම් එකවුන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා පඩි ගන්න.” 
“මම එක අරගෙනයි ආවේ.” 
“එහෙනම් මොකද්ද ප්‍රශ්නේ?”
“දැන් ජයවීර රිමාන්ඞ් එකේ. එයාව ඇප දීලා බේරාගන්න ඩිපෝ එකෙන් කවුරුවත් ආවේ නෑ.” 
“ජයවීර වෙනුවෙන් ඩිපෝ එකට පෙනි සිටින්න බෑ.” 
“ඇයි ඒ මහත්තයෝ?”
“එයා කරලා තියෙන්නේ බරපතල වැරද්දක්නේ. එයා ඩියුටි වේලාවේ ඉදලා තියෙන්නේ බීමත්ව. එක නිසා අපේ පැත්තෙන් ඒකට කරන්න දෙයක් නෑ. මේ සිද්ධිය ගැන පත්තරවලත් ලොකුවට ගිය බව ඔයා දන්නේ නැද්ද? අපේ ඩිපෝවේ කිර්තිනාමයට විශාල කැළලක් මේ සිද්ධියෙන් උනා.” 
“එතකොට මහත්තයො ජයවීරගේ රස්සාව?” 
“රස්සාව. .... මෙහෙමයි ජයවීර එයාගේ රැකියාවේ වගකීම් පැහැර හැරලා තියෙනවා. විශේෂයෙන් රියදුරෙක්. අපේ හෙඞ් ඔෆිස් එකෙන් මේ ගැන මගෙන් කරුණු විමසලා ලිපියක් එහෙම එවලා තිබුණා. සමහරවිට ආයතන මට්ටමෙන් විනය පරික්ෂණයක් තියන්නත් සිද්ධවෙයි.”
“විනය පරික්ෂණයෙන් වැරදිකාරයා වූනොත්?”
“වැරදිකාරයා බවට ඔප්පු වූනොත් ජයවීරගේ වැඩ නවත්තන්න සිද්ධවෙනවා.” 
“අනේ එහෙම කරන්න එපා මහත්තයෝ අපිට ඉස්කෝලේ යන දරුවෝ දෙන්නෙක්ම ඉන්නවා.” 
“ඒක ඉතිං තියෙන්නේ මණ්ඩලේ අතේ තමයි. අනික ජයවීර හැම තිස්සේම බීලා ඉන්නවා කියලාත් අපිට පැමිණිලි ඇවිල්ලා තියෙනවා.” 
“සර්ට බැරිද ජයවීරගේ රස්සාව බේරලා දෙන්න.” 
“බැරිකමක් නම් නෑ. . .බලමුකෝ,  මම උත්සාහ කරලා බලන්නම්. මට ඔයා දිහා බලාගෙන මේකට උදව් නොකරත් බෑ. මෙහෙන් බැරිවූනොත් ජයවීරට වෙනින් තැනකින් හරි මම රස්සාවක් හදලා දෙන්නම්.” 

බුරුසු උඩු රැවුල අතගාමින් කාමුක බැල්මක් තමාලි දෙස හෙලා අසුනින් නැගිටගත් හේ පසෙක තිබූ ෆයිල් කබඩයක් වෙත ඇවිදයන්නට විය. 
“ජයවීරට බැරිවූනත් මම ඔයාට හරි රස්සාවක් හොයලා දෙන්නම්. මාව පස්සේ මුණ ගැහෙන්නකෝ. ඔයාට සුදුසුකම් එහෙම තියෙනවාද කියලා බලන්නත් ඕනේ නේද?” 
තමාලිටත් නොදැනී පිටු පසින් ආ ඔහු ඇගේ උරහිසට අත තබමින් ඇසීය. විදුලි සැරයක් සිය සිරුර පුරා දිවගියාක් මෙන් ගැස්සී ගිය ඈ එක්වරම ඔහුගේ අත උරහිසින් ගසා දැම්මා ය. තමාලි කලබලවූ බව දැන දැනත් තම කාමයෙන් දැල්වෙන දෑසින් තමාලි දෙස බලමින් යළිත් අසුනේ වාඩිගත්තේ ය. තමාලිගේ දෙකන්පෙති රත්වෙමින් පිටදිගේ දහඩිය ගලන්නටවිය. ඉවසාගත නොහැකි කේන්තියකින් ඇය වෙවුලන්නට පටන්ගති. කෑගසා බනින්නට තරම් කෝපයක් සිතට නැඟ ආවත් තම යටි සිත මුරගෑවේ මේ මිනිසා තරහා කරගැනීම හොඳ නැති බවය. එම නිසාම නැගෙමින් ආ ආවේගය ඈ පාලනය කරගත්තා ය.

“ජයවීර නම් කීයටවත් මම රස්සාවක් කරනවාට කැමති නෑ. මම ජයවීරගෙන් අහලා බලන්නම්. අනික ළමයින්ගේ වැඩ නිසා රස්සා කරන්න වේලාවකුත් නෑ.”
ඈ වෙව්ලන හඬින් කීවාය. 
“ජයවීරට කෙහොමත් මේ කේස් එකෙන් ගැලවෙන්න අමාරුයි මගේ උදව් නැතිව.”
“ඒක දන්න නිසා තමයි මම මහත්තයා ළඟට ආවේ. මහත්තයා ලොකු උදව්වක් ජයවීරගේ රස්සාව බේරලා දෙන්න.”
“ජයවීරගේ රස්සාව බේරගන්න පුළුවන් විදිහක් අපි බලමු. කෝකටත් පස්සේ හෙට අනිද්දා දිහාට මාව මුණ ගැහෙන්න එන්නකෝ. මෙතන ඔය වැඩි විස්තර කතා කරන්න පුළුවන් කමක් නෑ.”
“එහෙනම් මහත්තයෝ මම ගිහිල්ලා එන්නම්.” 
“හොඳයි. හැබැයි මතක තියාගන්න ජයවීරගේ රස්සාව තියෙන්නේ දැන් ඔයාගේ අතේ.”
“ජයවීරට රස්සාව නැතිවූනත් එයාගේ රස්සාව බේරගන්න ජයවීරට fදාා්හිකමක් කරන්නේ නෑ මහත්තයා.”
ඇය එසේ කී සුනංගුවෙන් පුටුව පස්සට ඇද ඩිපෝ අධිකාරි කාර්යාලයෙන් ඉවතට පැන ගත්තාය. කෝපයෙන් ගැහෙන්නටවූ ඇය අසළ තිබූ කණුවකට හේත්තුවූවා ය. පුපුරා යන්නට මෙන් දැඩි හිසේ කැක්කුමක් දැනෙන්නට විය. එතැනින් යන්නට ආ කාර්යාල ලිපිකාරිණියක්

“ඇයි නංගි මොකද? කලන්තයක්වත් ආවාද?” 
“ඔ...ඔව්  ඔව්.” 
“එන්න මෙහෙන් වාඩි වෙන්න.”
ඇය තමාලිව අතින් අල්ලාගෙන අසළවූ පුටුවක වාඩි කරවිය. 
“ආ මෙන්න මේ වතුර ටික බොන්න. ඇයි උදේට කාලා නෙමෙයිද ආවේ? ”
“කෑම කාලා ආවේ.” 
“ඉන්න මම තේ එකක් ගෙන්නලා දෙන්නම්.” 
“නෑ මිස් ඕනේ නෑ. මේක ඇරිලා යයි.” 
“ඔයා ඩිඑස් ගේ කාමරේ ඉඳලා නේද ආවේ. ඇයි මිනිහා මොකක් හරි අවලං වැඩකට ආවාද?”  
ලිපිකාරිණිය තම අතේවූ ෆයිල් කවරයෙන් නොනවත්වා තමාලිට පවන් ගසමින් ඇසුවා ය.
“ඔය යකාට ගෑණු පේන්න බෑ. මහ මනමාලයා.” 
තමාලිට අවශ්‍යවූයේ ඉක්මණින් ඩිපෝවෙන් පිටවීයාමට ය. තවදුරටත් මෙහි රැඳි සිටීමට නොහැකි ලෙසින් ඇගේ ධෛර්්‍යය හීන වෙමින් පැවතියා සේය. දෑස ඉදිරියේ බැඳුණු කඳුළුදැල්ල සාරි පොටින් පිහිදාගත් ඕ වියළි සිනහාවකින් ලිපිකාරිණියට සංග්‍රහකරමින් පුටුවෙන් නැගී සිටියා ය. 
“ඔයා නැගිට්ටේ යන්නද? ඔයාට යන්න පුළුවනිද?”
“යන්න පුළුවනි. දැන් ගිහිල්ලා ළමයින්ට කෑම උයන්නත් ඕනේ. මිස්ට බොහෝම ස්තුතියි.”
තමාලි සාරි පොටින් බෙල්ලත් උඩු තොලත් පුරා දා තිබූ දහඩිය පිහිදාගෙන කාර්යාලයෙන් පිටවූණි.

“අර ගෑණුකෙනාට ඩිඑස් කාරයා මොනවා හරි වලත්ත කතාවක් කියන්න ඇති නැත්තම් ඔහොම බයවෙයිද? ඇහැට කණට පේන ගෑණු පෙන්නන්න බැරි සල්ලාලයා.” 
ඉක්මන් ගමනින් පිටවී යන තමාලි දෙස බලා සිටි ලිපිකාරිණිය මේ සිද්ධිය දෙස බලා සිටි තවත් ලිපිකාරිණියකට කියමින් ඇගේ මේසය වෙත පියනැගීය. 
බස්නැවතුමට දිව ආ තමාලි ඉක්මණින් බසයක නැග ගෙදර ආවේ ළමයින්ට කිසිවක් රත්කරදිමේ බලාපොරොත්තුවෙනි. දහවල් සිද්ධිය මතක්වෙන මතක්වෙන වාරයක් පාසා ඇගේ ගත කෝපයෙන් වෙවුලන්නටද විය. පෙලෙමින් සිටි දැඩි හිසේ රුදාවට පැනඩෝල් පෙති දෙකක් බි ඇඳට වැටුන ඕ යළි අවදිවූයේ ඉන්දිරා පැමිණ ඇගේ නළලට අත තබා උණ බලද්දිය.
දහවල් නිදාගැනිම නිසා ඇයට රාත්‍රියේ නින්ද අහලකවත් නොවීය. නිවෙස අසල පිහිටි ගස්මණ්ඩියෙන් නොනවත්වා ඇසෙන රැහැයි නාදය ඇගේ දෙසවන් සිසාරා දෝංකාර දෙන්නට විය. ඩිපෝ අධිකාරි බුරුසුවාගේ තෙල් බේරුණු මුහුණෙන් මතුව ආ කාමූක බැල්ම යළි යළිත් මනසේ හොල්මන් කරන්නට පටන් ගති. මෙතෙක් වේලා යටපත්ව තිබූ හිසේ රුදාව යළිත් නැග එන්නාක්මෙන් ඇයට දැනුණි. කොතරම් තදින් දෑස පියාගෙන සිටියත් ඇයට නින්ද අසළකවත් නොවිය. තමාලිට නොදැනීම නින්ද ඇයව වෙලාගන්නා ලද්දේ අළුයමට ආසන්න වෙද්දීය.  


මිල්ටන් පසුදා උදේ තමාලි හමුවිමට ආවේ තවත් අසුබ ආරංචියක් සමඟින්ය.
“අක්කා දන්නවාද අර හැප්පුනු ළමයා ඊයේ රාත්තිරියේදි අන්තරාවෙලා කියලා.” 
“අපොයි දෙයියනේ අහිංසක ළමයා. දැන් අපි මොකද කරන්නේ?”
“මොනවා කරන්නද අක්කේ. ඒක ඒ ළමයා ගෙනාපු ආයුෂ එච්චර වෙන්න ඇති.” 
“ඒවූනාට එක ජයවීර අයියාට නරකට බලපාන්න පුළුවන් නේද?”
“ඒකනම් ඇත්ත තමයි. අයියාගේ නඩුව තවත් හිරවෙයිද මන්දා. සමහරවිට ඒ ළමයාගේ දෙමව්පියන්ට වන්දියකුත් ගෙවන්න සිද්ධවෙන්න පුළුවනි.”
“වන්දි ගෙවන්න? වන්දි ගෙවන්න කොහේ තියෙන සල්ලිද මල්ලියේ. අපිත් මේ ලෙවකාගෙන අමාරුවෙන් තමයි ජිවත් වෙන්නේ.” 
“ඒක එහෙම කියලා හරියන්නේ නෑ අක්කේ. උසාවියෙන් නියම කරන වන්දි මුදල ගෙවන්න බැරිවූනොත් ජයවීර අයියාට හිරේ යන්න සිද්ධවේවි.”
ඒ කතාව ඇසූ තමාලිගේ දෑස් කඳුළින් පිරිණ. 
“මල්ලිට පේනවා නේද මේ දරුවෝ දෙන්නෙක් එක්ක අපි ජීවත් වෙන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා? දැන් ඉතිං උඩ ඉන්න දෙයියෝ තමයි පිහිටට ඉන්නේ.” 
ඇය තම ගවුම් අතෙන් දෑස්වලට ඉණූ කඳුළු පිසදා ගත්තා ය. 
“මේ ජයවීරගේ බේබදුකම තමයි හැමදේකටම මුල. කෝ මේ මිනිහා මම කියන කිසිම දෙයක් කණකට ගත්තේ නැහැනේ.” 
“අක්කාට කියන්න මමත් කොච්චරවත් එයාට කියලා තියෙනවාද? දැන්වත් හැදුනොත් හොඳයි.  ඒක නෙමෙයි අක්කේ ඔයා ජයවීර අයියාගේ පඩි සල්ලි ගන්න ගියාද?”
“ආ ඔව් මල්ලියේ. මම ඊයේ ගිහිල්ලා අරගත්තා. මම ඔයාට කියන්න ගියේ නැත්තේ මොකටද කරදර කරන්නේ කියලා.” 
“මොන කරදරයක්ද අක්කේ.” 
“හොඳ වෙලාවට මල්ලි ළමයි දෙන්නා නැති වේලාවේ ආවේ.” 
“ඇයි අක්කේ?”
“මම මේ සිද්ධිය මල්ලිට කියනවාද නැද්ද කියලා සිත සිතා සිටියේ.” 
“මොකක්ද මේ අක්කා කියන්නේ?”
“ඊයේ මම පඩි සල්ලි ගන්න ගිය වෙලාවේදී ලොකු මහත්තයා මුණ ගැහෙන්නත් ගියා.”
“බූරුසුවා මුණ ගැහෙන්න?..... ”
“ඔව්.” 
“ඉතිං?”
“මම ඇහැව්වා ජයවීරව බේරගන්න ඩිපෝවෙන් මොකවත් කරන්නේ නැද්ද කියලා. එයා කිව්වේ මේක ජයවීරගේ ප්‍රශ්නයක්. මේකට මණ්ඩලේ මැදිහත් වෙන්නේ නැතෙයි කියලා.” 
“මමත් ඔය කතාව අක්කාට කියලා තියෙනවා නේද? ඉතිං?”
“රිමාන්ඞ් එකෙන් එළියට ආවම විනය පරික්ෂණයක් එහෙම තියන්න වෙනවාලූ . ඒකෙන් වැරදිකාරයා වූනොත් වැඩ නවත්තන්න සිද්ධ වෙනවාලූ.”
“ඒකනම් ඇත්ත තමයි.” 
“ඊට පස්සේ මම ඇහැව්වා අයියාගේ රස්සාව බේරලා දෙන්න පුළුවන්ද කියලා. මිනිහා කියපි ජයවීරට බැරි නම් මට හරි රස්සාවක් හොයලා දෙන්නම්. මුලින්ම සුදුසුකම් තියෙනවාද කියලා බලන්න වෙනින් දවසක එයාව හම්බවෙන්න එන්නය කියලා පිට අතගාන්නත් ආවා.” 
ඇගේ කතාවෙන් කළබලටය පත්වූ මිල්ටන්
“ඇයි අක්කේ ඌගේ කම්මුල පුපුරන්න පාරක් දුන්නේ නැත්තේ?”
“එහෙම් කරන්න තරම් ලොකු කේන්තියක් ආවා මල්ලියේ. ඒත් මම එහෙම නොකලේ මේ දරුපැටවු දෙන්නා ගැන හිතලා. මම කිව්වා ජයවීර අයියා මාව රස්සාවකට යවන්න කැමැත්තක් නැති විත්තීය. ඊට පස්සේ ඌ කියනවා ජයවීරගේ රස්සාව තියෙන්නේ මගේ අතේ කියලා.”
“ඉතිං අක්කා මොකද කිව්වේ?”
“මම කිව්වා ජයවීරගේ රස්සාව නැතිවූනත් එයාට fදාා්හිවන වැඩ කරන්නේ නෑ කියලා.”
“අක්කත් මහ මෝඩ වැඩ තමයි කරන්නේ. ඇයි ඔය බුරුසුවා ළඟට ගියේ? ඕකා මහ වනචරයා, ගෑණු පෙරේතයා.” 
“මම බැනලා හරි ආවා නම් ඔය මිනිහා පළිගන්නේ මගේ ජයවීරගෙන්. ඒක නිසා මම මිනිහාව තරහා කරගන්නේ නැතිව පැනලා ආවේ.” 
“එක අතකට එහෙම කල එකත් හොඳයි. නමුත් මට බය ඔය වනචරයා මෙහෙටත් බඩගාන්න ගනීද දන්නේ නෑ.”
“එහෙම කොහෙද මාත් එක්ක. ඔය මිනිහා නිකං හරි මෙහෙට ආවොත් ජයවීරගේ මහඋන් මට තවත් කයිකතන්දර හදයි. කොහොමත් එයාලා ඉන්නේ මාත් එක්ක නයි වෛරන්නේ.”
“මම දන්නවා නම් අක්කා ඔය ගමන යනවා කියලා, කීයටවත් බුරුසුවා ළඟට යන්න දෙන්නේ නෑ. කමක් නෑ වෙච්චදේ උනා. මීට පස්සේවත් පරිස්සමෙන් වැඩකරන්න.” 
ඔහු පුටුවෙන් නැඟි සිටින ගමන් පැවසීය. 
“ඇයි මල්ලි නැගිට්ටේ  යන්නද? ඉන්න තේ ඩිංගක් බීලා යන්න.” 
“නෑ අක්කේ දැන් ඕනේ නෑ. පොඩිඋන් නැති අතරේ මම මෙහෙට එන එක ජයවීර අයියාලාගේ අයට කතන්දර හදන්න මාතෘකාවක් වෙන්න දෙන්න නරකයි.”   
ඔහු ඉස්තෝප්පුවෙන් එළියට බැස්සේ එසේ කියමින්ය. තමාලිට ඔහු ගැන ඇතිවූයේ විශාල ගරුත්වයකි.
“මම එහෙනම් යන්නම් අක්කේ. ඊළග නඩුවේදිවත් කොහොම හරි ජයවීර අයියාව ඇප දීලා එළියට ගන්න බලමු.” 
කී ඔහු ඉස්තෝප්පුවේ පඬියට පැඩලය හිරකර තබා තිබූ බයිසිකලය උස්සා අනෙක්පසට හරවාගෙන පිටව ගියේය.

එකපිට එක ගලාගෙන එන දුක් පීඩා කන්දරාව තවමත් අහවර වී තිබුනේ නැත. කවූරුන් හෝ හයියෙන් කහින හඬක් මිදුල දෙසින් ඇසිණ. ඉන්දිරාගේ පාඩම් වැඩක් කියා දෙමින් සිටි තමාලි කර ඔසවා මිදුල දෙස බැලීය. ජයවීරගේ මව කෝපාග්නියෙන් දැවෙමින් සිටියේ තම පුතු රවටාගත් සැතිරිය දෙස බලා සිටින්නාක් මෙනි. 

“මගේ කොල්ලා රිමාන්ඞ් එකේ ඉන්නවායි කියන්න උඹට බැරිවූනාද ගෑණියේ?”
“අම්මා ගෙට ඇවිල්ලා හිටියානම්.”
“උඹලාගේ ගුබ්බෑයම් වලට රිංගන්න නෙමෙයි මම ආවේ.”  
තමාලි නිහඬව ඇය දෙස බලාසිටනු විනා කලයුතු හෝ කිවිය යුතු කිසිවක් සිතට නොනැගුණේය.
“මේච්චර දවසක් යනකම් අපි දන්නේ නෑ මයේ කොල්ලා අතින් ළමයෙක් හැප්පුනා කියලා. මුන්ට හෙණද අපිට පණිවුඩයක් එව්වා නම්. කොල්ලා රවට්ට ගත්තා මදිවට ඌගේ ජීවිතේ කාළකන්ණිත් කළා. උඹේ තියෙන මූසල කමට තමයි මයේ කොල්ලාට මෙහෙම දේවල් වෙන්නේ.” 

තවත් ඇගේ කතාවන් අසා සිටිමට තමාලිට නොහැකිවූණි. ඈට තදබල කෝපයක් මෙන්ම ලැජ්ජාවක් ඇතිවිය. මුළු සියෝලඟම වෙවූලනවා සේ ඇයට දැනෙන්නට පටන් ගත්තේය. දරාගත නොහැකි පීඩනයක් මෙන්ම ආවේගයක්ද මතුව ආවත් ඇය කේන්තිය පාලනය කරගන්නට ඉවසුවා ය. පාරේ යන එන අය මෙන්ම අසල්වාසි එකා දෙන්නා තමාලිගේ ගෙවල් දෙස එබිකම් පාන්නට පටන්ගෙන ඇති සේය. ජයවීරගේ අම්මාට පිළිතුරු දීමට කටට වචන ගලා ආවත් එයින් සිදුවන්නේ තමාටත් දරුවන්ටත් තවත් අවැඩක් බව ඇයට වැටහුණි. ජයවීරගේ අම්මාගේ අවකැපෙන දොස් මුරයෙන් ගැලවී පලායන්නට ඇයට ඇවැසි වීය. තමාලි ඉක්මනින් ඉදිරිපස දොර වසා දැමුවා ය. 

“පරට්ටි තෝ මට දොර වැහුවා. අඩුකුලේ හරි හමන් ජම්මයක් නැති මූසල බැල්ලි. තෝ මගේ කොල්ලා නැති කළා.” 

දොර වසා සාලයෙ පුටුවක හිඳගත් තමාලි දෙසවන් දැතින්ම තදකර වසාගත්තේ ජයවීරගේ අම්මා මිදුලේ සිට දෙසන කුණු බැනුම් අසාගත නොහැකිවය. තමාලිට තවත් බනිමින් සිටි අම්මා එහා ගෙදර ඇසිලින් ඇන්ටි එබිකම් කරනවා දුටු විගසම ඇය හා කියවමින් දොස් නගන්නට විය. තමාලිට තවත් මේ අවලාද නැගිල්ල අසා සිටිය නොහැකිව දැස කඳුලින් තෙත් වන්නට වුණි. ඈ දිව ගොස් ඇඳේ වැතිරුනා ය. ඇසිලින් ඇන්ටි සමගින් තමාලිගේ නුගුණ පවසමින් සිටි ජයවීරගේ අම්මා මඳ වේලාවකින් යන්නට ගියා ය.  

ජයවීර නිදහස්වේයිද? .... මතුසම්බන්දයි ........

7 comments:

  1. ලස්සන ඇත්තං - රූපෙ තියේ නං
    නාකිත් නැති නම් - උදව්ද පඤ්ඤං

    තරහ වුනොත් හෙම - බුරුසුව වගෙ අය
    මිනිහට හිරේම - වේවි ලගින්නම!

    ReplyDelete
  2. නියමයි....දිගටම ලියන්න...

    ReplyDelete
  3. මට සෑහෙන කාලයක් තිස්සෙ කියවන්න මගෑරුණා වගේ දැනෙනව. පස්වෙනි කොටසත් කියවලම එන්නං

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවක් නැතිකොට බැලුවේ ඩ්‍රැකියාට සුදු ළුනු වාෂ්පේ වත් වැදිලාද කියලා.....

      Delete
  4. පව් ඉතින් ඔය මිනිස්සු , ආසන්න ඇත්ත කටහ්වක් දන්නවා කඩවත ඩිපෝවේ සිද්ධ වුන හැබැයි අසූ ගණන්වල.

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

පළිගු කිරිල්ලී - එකළොස් වන කොටස

 අම්මා ඇඳේ වැතිර පොඩි මල්ලි දිනේෂ්ට කිරි පොවනා දෙස බැලූ ඉන්දිරා කාමර දොරේ තිර රෙද්ද හිමිහිට පහළට දමා කාමරයෙන් පිටට ආවා ය. ලොකු මල්ලි කෝලිත ම...