Saturday, August 1, 2020

Posted: 16 Oct 2019 04:48 AM PDT

හැන්දෑවේ බිම් කරුවලත් එක්ක ගෙට ගොඩවුන මගේ දෙනතට අහුවුනේ අමනාපයෙන්මෙන් මුහුනෙන් විහිදාගෙන හිටිය පුතාගේ අම්මා. පුතත් හිටියේ එච්චර හිත් හොදින් නොවන බව එයාගේ හැසිරිමෙනුත් පෙනුනා. හිත් නරක් වෙන්නට හේතුව මොකක්ද කියලා ඇසිල්ලකින් හිතේ ඇදුනා. ඒ තමයි සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනේ පැවැත්වෙච්චි සමස්ත ලංකා කරාටේ ශූරතාවලිය. ඒකට පුතාත් එයාගේ පාසල නියෝජනය කරගෙන සහභාගිවුනත් මගේ රාජකාරිය එක්ක ශූරතාවලිය බලන්න යන්න බැරිවුනා. එන්න නොලැබෙනවා කියලා වේලාසනින්ම කිව්ව නිසා මේච්චර අප්සෙට් එකක් වෙන්න බෑ. පුතා පැරදිලාද? බිරිඳගේ ඔනෑ කමට කරාටේ වලට ගියාට පුතා ලොකුවට ඒ කි‍්‍රඩාවට ආසාකල බවක් පෙනුනේ නෑ.
"මොකද ඇයි මේ?"
බැගය මේසය මතින් තියලා පුටුවේ වාඩි ගත්තේ සපත්තු දෙක ගලවලා දාන්න බලාගෙන. ලේස් දෙක ගලවන ගමන් බිරිඳගේ කලු ගැහිච්චි මුණ දෙස හොදින් බැලුවා.
"මොකද කියන්නේ? මෙයාට මෙච්චර දෙයක් වත් කරගන්න බෑ."
"ඇයි?"
"ඇයි? .......  මෙයා අදත් පරාදයි. බලන්නකෝ අර කැහුටු  මලිත් දෙකයි දුන්නේ මෙයා පරාදයි."
"නෑ අම්මේ එයාගේ පාරවල් ඩිෆෙන්ස් කලාට හරිගියේ නෑ."
"ඒ කොල්ලා හරියට පංතියට එන්නෙත් නෑ. 
මෙයාව පංතියට එක්කන් යන්න එන්න මම කොච්චර මහන්සි වෙනවාද? මෙයාට බෑ මෙඩල් එකක් ගන්න. මෙයත් එක්ක ගිය අනික් අය ඔක්කෝම වාගේ මෙඩල් අරගත්තා."
"හරි ඊලග පාර මම මෙඩල් අරගෙන පෙන්නන්නම්."

 "අපොයි ගිය පාරත් කිව්වේ ඔ්කම තමයි."
"මේ තාම මේ දරුවා හතරේ පංතියේ ඉන්න පොඩි එකෙක් ඔය කරාටේ වලට වඩා පොත පතක වැඩක් කරගන්න එක හොද නැද්ද?"
"පොත පතක විතරක් නොවෙයි ඇගපත මහන්සිවෙලා කරන ක‍්‍රිඩාවන් වලටත් යන්න ඔනේ. "
බිරිඳගේ පියාත් අපේ කතාව  මැද්දට පැන්නා.
"කොහේද මෙයා හරි හමන් කෑමක් කනවැයි. කොටු කිතයියා වාගේ ඉන්නකොට කොහොමද අනෙක් ළමයාට අතක් පයක් උස්සලා කරාටේ පාරක් ගහන්නේ?"
"එක තමයි අම්මේ හැමෝම මෙඩල් ගද්දි මෙයා විතරයි හිස් අතින් ආවේ."
ආච්චිත් එක්ක කියවපු අම්මාගේ නොක්කාඩුවට හිත රිදෝගත්තු පුතා හිටියේ බිම බලාගෙන. පුංචි අම්මාත් පුතාට සවුත්තුව දාන්න පටන්ගත්තා. ගෙදර හිටපු හැමෝම පොඩිඑකාට එක එක දේවල් කියලා අරියාදු කරන්න අරන්. මේස් දෙක සපත්තුවට ඔබලා පුටුව යටට තල්ලු කරලා දැම්ම මම පුතාගේ රිදුන හිත පොඩ්ඩක් හරි හරිගස්සන්න බලාගෙන එයාට කතා කලා.
"පුතේ එන්න මෙහාට."
පුතා හිමිහිට මං ලඟට ඇදුනේ මගෙනුත් බැනුමක් අහන්න වෙයිදෝ කියලා බයෙන් වාගේ. මගේ තුරුලට ඇදගත්තු පුතාගේ හිස හිමිහිට අතගෑවා.
"පුතේ කරාටේ කියන්නේ එක සෙල්ලමක් විතරයි. ඒකෙ කවුරු හරි දිනනවා කියන්නේ තවත් කවුරු හරි පරදිනවා කියන එකත් තමයි. අපිට හැමදාමත් දිනන්න බෑ. පරදින දවසකුත් එනවා. හැබැයි අද පැරදුනාට හෙට පරදින්න බලාගෙන වැඩ කරන්නත් බෑ. අපිට මහන්සි වෙන්න වෙනවා දිනන්න. අපේ ජිවිතෙත් ඔය වාගෙම තමයි. හැබැයි පුතේ  දිනන්න ඔනේ හරි විදිහට මනුස්සකමින් මිසක් හොර වංචාවෙන් නොවෙයි. මම කැමති නෑ කෙනෙක්ට ගහලා දිනන ක‍්‍රිඩාවන්ට. අපි දිනන්න ඔනේ හොඳ ක‍්‍රම වලින් විතරයි හොදද?"
පුතා මගේ දිහා බලන් හිටියේ පුදුමයෙන් වාගේ. මං කියපු කතාව පිලිගත්තු බව පෙන්වන්න එයා හිමිහිට ඔලුව හෙළෙව්වා.
සමස්ත ලංකා කරාටේ ශූරතාවලියෙන් පස්සේ එකට සහභාගිවුනු ක‍්‍රිඩක යන්ගේ දෙමවිපියන්ට කරාටේ සර් පොඩි රැස්විමක් තිබ්බේ දවස් කිහිපයකට පස්සේ. මේ රැස්විම ආරම්භ කරපු සර් දිනපු ක‍්‍රිඩකයින්ට සුබ පතලා එහෙම පොඩි කතාවක් කරන්න පටන්ගත්තා.

"මම මේ කතාව කරන්නේ මේ දරුවන්ට විතරක් නොවෙයි මේතනට ඇවිල්ලා ඉන්න හැම දරුවෙක්ගේම දෙමව්පියන්ටත් එක්කලා. ඔයාලා මේ දරුවන්ට කරාටේ පන්ති එවලා කරන්නේ ගහගන්න එක විතරක් උගන්නනවා කියලා හිතනවා නම් වැරදියි. මේ පුතාලගේ ඔය වයසට සෙල්ලම් කරන්න ඔනේ හැබැයි තව කෙනෙකුට රිද්දලා ගහලා කරන සෙල්ලම් නොවෙයි. තව කෙනෙකුට ගහලා දිනනවා කියන්න මගේ කැමත්තකුත් නෑ. කරාටේ කියන්නේ හොද විනයක් තියෙන කි‍්‍රඩාවක්. අපිට දරාගන්න පුලුවන් විමත් මේ ක‍්‍රිඩාවේ උගන්වනවා. දිනිම වාගේව පැරදිමත් එක හා සමානව මේ ළමයින් දරාගන්න වෙනවා. අම්මලා තාත්තලාට කියන්නේ මේක රේස් එකක් නොවෙයි. ඒක හිතට අරන් තමන්ගේ ළමයින්ට හොදින් ආදරයෙන් උගන්වලා මනුස්ස කමින් පිරිච්ච ළමයෙක් අනාගතයට දායක කරන්න. "


ඒ සර් තව ගොඩාක් ක‍්‍රීඩාවට අදාල දේවල් කිව්වා. මගේ මතකයේ හිටියේ අන්න අර කිව්ව දේවල් විතරයි. අනික එයත් මගේ අදහස්ම  ඉදිරිපත් කලානේ. පුතාට ටුනමන්ට් එකෙන් රන් පදක්කමක් ගන්න බැරිවිල්ලත් ටික දවසකින් කාටත් අමතකවෙලා ගියා. ඉරිදා දවසක හවස්වරුවේ නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න කොටයි දැක්කේ කාරයක් අපේ වත්තට හරවනවා. එකෙන් බැහැලා ආවේ මම නොදන්නා ගැහැණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි එයාලා දෙන්නත් එක්ක පුතාගේ වයසේ දරුවෙකුත් රථයෙන් බැහැලා ආවා.
"මේ දිසස් ගේ ගෙදරද?"
"ඔව්. එන්න වාඩිවෙන්න."
"කෝ පුතාගේ අම්මා නැද්ද? පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?"
ඒ අතරේ බිරිඳත් සාලයට ආවේ පුතා මොකක් හරි මගොඩි වැඩක් කරලා එකට පැමිණිල්ලක් කරන්න ආපු පන්තියේ ලමයෙක්ගේ අම්මලා කියලා හිතාගෙන.
"ආ මේ සඳරුගේ අම්මානේ. ඇයි අපේ එක්කෙනා මොකක් හරි සඳරුට කරලාද?"
පුතාත් දොර රෙද්ද අස්සෙන් එබිලා බැලුවේ බයෙන් වාගේ.
"අනේ නෑ. එහෙම දෙයක් නෙමෙයි. අපි ආවේ දිසස්ට ස්තූති කරලා යන්න."
මට එකපාරටම බැලුනේ පුතාගේ දිහායි. එයා තාමත් දොර රෙද්දට මුවාවෙලා ඉන්නවා. එයාගේ මුහුණට පොඩි එලියක් වැටිලා.
"එන්න පුතේ පොඩ්ඩක් එළියට."
"ඔව් දිසස් පුතේ  පොඩ්ඩක් මෙහෙට එන්න."
සඳරුගේ අම්මාත් පුතාට කතාකලා. දොර රෙද්ද අස්සෙන් එළියට ආපු පුතා මගේ ලඟ නැවතුණා. සඳරුගේ අම්මා පුතාගේ අතින් ඇදලා එයාගේ ලඟට අරන් ඔලුව අතගාන්න පටන් ගත්තා.
"දිසස් පුතේ ඔයාට බොහෝම ස්තූතියි  අපේ සඳරුට අසනීපවෙලා  වමනේ ගිය වේලාවේ කරපු උදව්වට. "
"ඒ මොකක්ද ඒ කතාව."
මම ඇහැව්වා.
"අපේ සඳරු ඊයේ ඉස්කොලේදි අසනිප වෙලා පන්තියේදි වමනේ ගිහිල්ලා. ඇගපුරාත් එයාගේ පුටුවෙත් හැමතැනම වාගේ ගෑවුනාලු. පන්තියේ අනෙක් ළමයි සඳරුට වමනේ දැම්මා කියලා විහිලු කරද්දි එයාට උදව්කරන්න ආවේ මේ දරුවා විතරයි. මෙයා සඳරුව ටැප් එක ලගට ගෙනහින් කමිසේ ගලවලා හොඳට හොදලා එයාව පිරිසිදු කෙරුවා විතරක් නොවෙයි පන්තියේ තිබුන වමනේ ගොඩටත් වැලිදාලා එවාත් අහක් කරලා තිබුනා. බලන්න අනෙක් අය අප්පිරියාවෙන් මෙයාව කොන් කරද්දි මේ දරුවා විතරයි එහෙම දෙයක් කෙරුවේ."
"ඇත්ත පුතා?"
විස්මයට පත්වුනු මාගේ බිරිඳ පුතාගෙන් ඇහැව්වා. කිසිම දෙයක් නොකිව්ව පුතා පොඩි සිනහවක් දැම්මා. ඇත්තටම මට ආවේ ලොකු ආඩම්බරයක්.
"පුතා සඳරු අරක ගෙන්න."
මෙච්චර වෙලා කිසිම දෙයක් නොකියා හිටපු සඳරුගේ තාත්තා ඔහුට කිව්වා. සඳරු කාරයට දිව ගිහිල්ලා අරන් ආවේ ලොකු පාර්සලයක්.
"දෙන්න පුතා යාලුවට ඒක."
"අනේ පුතා කරපු ඒ පුංචි දේට තෑගි ඔනේ නෑ."
මටත් ඉස්සරවෙලා පුතාගේ අම්මා කිව්වා.
"එක තමයි."
සඳරු එයා ගෙනාපු තෑග්ග පුතාට දුන්නා. පුතා එක පිළිගන්න මැලිවෙද්දි
"නෑ පුතා  ඕක ගන්න. මේ තෑග්ග ඔයා කරපු හොඳ වැඩේටයි. එකෙන් මගේ සඳරු පුතාත් ඉගෙන ගනියි තව කෙනෙකුටත් උදව් ඔනේ වෙලාවට උපකාර කරන්න. දිසස්ගේ තාත්තේ මේ පුංචි අයට උනත් හොඳ දේවල් කියලා දෙන්න ඔනේ එයාලා තමයි මේ ලෝකය ඉස්සාරට ගෙනියන්න ඉන්න අය. ඔයාලා පුතාව හොඳට හදලා තියෙනවා. "
මට හිතාගන්නත් බැරිවුනා පුතා කරපු වැඩය ගැන. පුතාටත් මටත් ස්තූති කරපු සඳරුගේ දෙමව්පියන් අපේ ගෙදරින් ගියේ පුංචි මිතුරෝ දෙන්නා විතරක් නොවේ අපේ පවුල් දෙක අතරත් නොබිදෙන මිතුදමක් ඇති කරගෙනයි. එදා කරාටේ ශූරතාවලියෙන් පදක්කමක් ගන්න බැරිවුනා කියමින් පුතාව සම්චලේට ගත්තු බිරිඳගේ පියාත් අම්මාත් ඇතුලු පුංචි අම්මලාගේ කටවල් වහන්න මගේ පුතංඩියා සමත්වුනා. පුතා මේ කරපු වැඩේ පන්තියේ ටිචර් විදුහල්පතිටත් කියලා ඉස්කෝලේ රැස්විමේදි පුතාව වේදිකාව උඩට නංවලා එයාගේ කි‍්‍රයාව අගයකරපු එකත් සිදුවුනා.
පුතාව මගේ තුරුල්ලට අරගෙන එයාට මං කිව්වා. "ඔයා කරාටේ වලින් තව කෙනෙකුට ගහලා පදක්කමක් නොගෙනාවට හොඳ යහපත් ක‍්‍රියාවක් කරලා ජිවිතේටම වටිනා රන් පදක්කමක් දිනාගත්තා කියලා."   




මේ කතාවට පසුබිම්වුනේ මාගේ මිතුරෙකුගේ දිසස් වන්නිආරච්චි නම්වු පුංචි පුතා  විසින් කල හොඳ යහපත් ක‍්‍රියාවක්   
දිසස් වන්නිආරච්චි

2 comments:

  1. තරඟකාරී ලෝකයේ දිනුම පැරදුම උපේක්ෂා සහගතව පිළිගැනීම පිලිබඳ හොඳ උදාහරණයක්. සඳරුගේ දෙමාපියන් කළගුණ සැලකීම සඳහා ගත්‍ පියවර බොහෝ වැඩිහිටියන්ට ආදර්ශයක්. දිසස්ගේ වරක් පරාජය දෝෂ දර්ශනයට ලක් කළ වැඩිහිටියන්ට දෙවරක් සිතීමට යමක් ඉතිරි වීමත් හරි අගෙයි.

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

පළිගු කිරිල්ලී - හතරවන කොටස

රැකියාවක් නොකල බැවින් තමාලිට නිවසේ අඟහිඟකම් දැනෙන්නටවූයේ අතමිට ගැවසුණු මිලමුදල් අවසන්වෙද්දීය. ඇය ජයවීර රැකියාව කල ඩිපෝවට ගොඩවූයේ ඔහුග...