Wednesday, August 24, 2022

ස්ටේෂන් පෙන්නීම


   

ඔන්න කොළොම්පුරයාගේ හිතාදර ගුරුජී අන්දුබයියාගේ විර වික්‍රම ඇඟපත සුලලිත වෙලා කිලිපොලා යන අති සුන්දර කතන්දරයක් අරන් ආවා.
ඔන්න එක්තරා සෙනසුරාදා දිනයක කොළොම්පුරයාගේ ඔපිසියට අසුබදායි සුබ ආරංචියක් ආවා. ඒ කොළොම්පුරයා රාජකාරිකොරන ආයතනයේ හා අංශයේ  GM ලොක්කෙකුගේ පියානන් කළුරිය කළ විත්තිය. දන්නවානේ කට්ටියට මළගෙදරකට යෑම කියන්නේ ට්‍රිපක් ගියාසේ තමයි. අනික කාගේ මළගෙදරකට නොගියත් මේ මළගෙදරට සහභාගිවෙන්නම ඕනේ. මොකද කොළොම්පුරයාත් එම GM යටතේ ඇති අංශයේ වැඩ රාජකාරිකරන උදවිය හින්දා. කොළොම්පුරයාගේ ඔපිසියේ දෙවැනි බොසාගේ පදිංචිය නුවර. එයාට නුවර ඉදන් දිනපතා කොළොම්පුරයට එන්න යන්න බැරි නිසා බෝඩිමක තමයි නතරවෙලා උන්නේ. මේ කියන කාලේ අපේ දෙවැනි බොසාට තිබුනා ටවුන්එස් වෑන් රථයක්. ඒකෙන් සති අන්තයට නුවර ගොහින් ආපහු සදුදා උදේම කුකුලත් අතින් අරන් සෙකංඩගලින් සල්පිටි කෝරලේ ගෙන්දගම්පොළාවට නැත්නම් කොළොම්පුරයට මංගච්චනවා. එයාත් ලෑස්තිවුනේ සෙනසුරාදා දිනයක්වුන හින්දා මළගෙදරට සහභාගිවෙලා ඒගමන්ම ගෙදර යන්න පුලුවන් නිසයි. අපිත් එයාගේ වෑන් රථයෙන්ම කුරුණෑගල යන්නයි දැන් ලෑස්තිය. ලොකු බොසා තියෙන වැඩ ටිකත් ඉවරකරගෙන හවස්වෙලා එන විත්තියක් කිව්වා. එයත් එක්ක එන්න එයාට මුට්ටි අල්ලන කිහිප දෙනෙක් නතරවුනා. අපි කට්ටිය දවල්ට කාලා එහෙම වෑන් රථයට ගොඩවැදුනා. 
       කොහොමත් බීමට ලැදි අන්දුබයියා පෑලියගොඩට එන්නත් පෙරම කොළොම්පුරයා ඇතුලු කිහිප දෙනාට කොදුරන්න ගත්තා. ඒ ඉතිං මළගෙදරට යන්න ඉස්සර මේ සොකජනක අවස්තාව සමරන්න. මේ වැඩේ නොකෙරුවෙත් අන්දුබයියාගෙන් බේරිලා ආපහු ඔපිස් එකේ වැඩකරලා හමාරයි. අපිත් අනුමැතිය දීලා අහවරවෙලා බොසාට කියලා දැල් කඩයක් අසළ නවත්වාගත්තගෙන දැල් කඩේ ලඟට ගිහින් සම්මාදම්ක් දැම්මා. එත් ඉතිං අන්දුබයියා සාක්කුවට අත දැම්මාට අත එළියට එන්නෙත් නෑ සල්ලි එන්නෙත් නෑ. අපේ අන්දුබයියා කවදාවකත් මුදල් පසුම්බියක් නැතිනම් පර්ස් එකක් පාවිච්චි කරන්නේ නෑ. අත දැම්මාම එළියට ආපහු නොඑන හින්දා අන්දුබයියාට තියෙන්නේ රබර් සාක්කුයි කියලයි සමහරුන් එහෙම කියන්නේ. කොළොම්පුරයා නම් එහෙම කියලා නෑ ඔහේලා පල්ලා සත්තයි. අන්දු බයියාගේ සාක්කුවට ගිය අත එහෙමම තියෙද්දී වැඩිපුර සල්ලිය බාගේ තියෙන උන්ගේ අනුග්‍රහයෙන් බියර් කෑන් කිහියක් වෑන් රථයට වැඩැම්මෙව්වා. ගෙනාපු හැටියේම කෑන් එකක් කඩාගෙන චියර්ස් නොකියාම ඇදලා ඇරිය අන්දු බයියා ඉදලා තියෙන්නේ මාර තිබහකින් කියලා දුකකුත් ඇතිවුනා. GM ලොක්කා හින්දා වැඩිය ගසලා මළගෙදරට යන්නත් බෑ. අන්තිමේදි යන්නතම් සන්තම් ප්‍රමාණයකින් අපිට සැනසෙන්නට උනත් අන්දුබයියා අපේ ඒවාටත් වග කිව්වා නෙව. කුරුණෑගල නගරය පහුකරන් අනුරාධපුර පාරේ මාස්පොතට ගිහින්  මළ ගෙදරටත් සෙන්දුවුනා. අපේ කට්ටිය කදුක්මුසු මුහුණක් දාගෙන මළගෙදරටත් ගොඩවෙලා GM ලොක්කාටත් ආචාරකෙරුවා. ගෙදරින් එළියට ඇවිත් ප්ලාස්ටික් පුටු ටිකක වාඩිවුන සෙට් එක උන්නේ කතා කරන්න මාතෘකාවක් නැතිවයි. GM ලොක්කාත් අපේ උදවිය ලඟට ඇවිත් කතාවකට මුලපිරුවා. ලොක්කාට වැඩිය මුහුණ දෙන්න බැරි හින්දා අන්දුබයියා කොළොම්පුරයාවත් අඩගහගෙන ගේට්ටුව පැත්තට ගියා.
"ඇයි අන්දුබයියේ මෙහෙට ආවේ? අතන උන්නා නම් මාරි එකක් කාලා නෙස්කැෆේ එකක් බෙන්න තිබ්බා නේ."
"බම්බු නෙස්කැෆේ යකෝ අතන හිටියා නම් GM ගේ කතාවට සෙට් වෙන්න වෙනවානේ."
"ඉතිං මොකෝ?"
"මොකෝ තමයි ඇයි උකන්නෝ අපි බීලා කියලා ඌට දැනෙනවානේ."
අන්දුබයියා බීලා හිටියත් මාර මිටරයකින් නෙව ඉදලා තියෙන්නේ.  

        පාරට ආපු අපි ට කරන්න දෙයකුත් නෑ දෙන්නා එක්ක එහා වත්තේ පොල් ගස්වල පොල්වලූ ගනිනවා ඇරෙන්න. ඒ අස්සේ අපේ පියන් කොලුවාත් දෙවැනි බොසාගේ වෑන් එකෙන් බාගත්තු ශොකාප්‍රකාශ බැනර් මිටියක් උස්සාගෙන එතනට කඩාවැටුනේ නැතැ.

"අන්දුබයියා මහත්තයා මේ බැනර් ටික මේ පේන හරියකින් එල්ලන්න කියලා බොස් මහත්තයා කිව්වා."
"කිව්වා නම් උඹම එල්ලා ගනිං. මේ ඇදුම් පිටින් උඹ කියන්නේ අපිට ගස් බඩගාන්න කියලාද?"
අන්දුබයියා කොලුවාට කඩාගෙන පැන්නා. ඌත් අන්දුබයියාට බයවෙච්චි පාර බැනර් මිටියත් එතැන අතහැරලා මළගෙදර දිහාට දිව්වා. ටික වේලාවකින් මෙන්න අපේ දෙවැනි බොසාත් අපි දිහාට ආවේ අනෙක් උන් දෙන්නාවත් අරගෙනයි.

"අන්දුබයියා මේ බැනර් ටික එල්ලන්න හොද තැනක් කියන්න කෝ."
"මෙව්වා එල්ලන්න කෝ ලණු? කට්ටියට දෙන්නා දෙන්නා දෙපැත්තෙන් අල්ලාගෙන තමයි ඉන්න වෙන්නේ."
"හරි මම ලණු ගෙනත් දෙන්නම් ඔයා මළගෙදරට එන අයට පේන තැනක් බලලා තියන්නකෝ."
අන්දුබයියාගේ හැටි දන්නා දෙවැනි බොසා එහෙම කියලා පියන් කොලුවක් අරන් කඩයක් හොයාගෙන පාර පැත්තට ගියා.

"ගනිං අන්දුබයියේ ඔය බැනර් එකක් මෙන්න මෙතන එල්ලන්න."
"පකෝ ඔතැන හරියන්නේ නෑ. පාරට පෙන්නේ නෑ. මෙන්න මෙතැන උඩින් එල්ලාපං."
කොහු ලණු ගෙනාවට පස්සේ අපිත් මිනිහාට මුල් තැන දිගෙන බැනර් ටිකත් එල්ලා අහවර කළා. දැන් හවස පහටත් කිට්ටුකරලා අපේ ලොකු බොසා තාමත් නෑ.  ලොක්කා එක්ක එන්න හිතාගෙන නතරවුනු එකෙක් අපිට කොල් එකක් අරන් කියපි තාමත් බොසා එක්ක ඔපිස් එකේ ඉන්නේ පොඩි වැඩක් ඉවරකරලාම යනවා කිවිවා කියලා.  මිනිහාත් එක්ක එන්න හිටියා නම් අපිටත් වෙන්නේ මළගෙදර නයිට් එකක් අදින්න. අන්දුබයියා බැලුවේ ලොකු බොසා ආවානම් එයාගේ වාහනේ ආපහු කොළඹ එන්නයි. දැන් ඒකත් හබක්. කොළඹට එන්න ඉන්නේ කොළොම්පුරයයි අන්දුබයියායි විතරයි. පියන් කොලුවාත් ලොකු බොසා ආවාම එන්නම් කියලා මළගෙදරට සපෝට් එකටත් එක්ක නතරවුනා.

"බොසා එනකම් ඉන්නේ නැත්නම් උඹලාව කුරුණෑගල ටවුමෙන් දාන් යන්නම්. " 
මළගෙදරට ආයුබොවන් කියලා දෙවැනි බොසා නුවර යන්න ලෑස්තිවෙනගමන් කීවා. ඔන්න ඔහේ කියලා වෑන් එකට ගොඩවුන අපි දෙන්නාවත් කුරුණෑගල ටවුමෙන් හලාගෙන දෙවැනි බොසා ඉගිල්ලුනා.

"ඒයි අන්දුබයියේ කොහේද මේ යන්නේ? මේ බස් ස්ටෑන්ඩ් එක පැත්තට නොවෙයි නේද?"
"බජ්ජහුරස් බං මං මේ පොඩි පොට් එකක් හොයනවා."
"අයියෝ අර මළගෙදරින් දාලා එන්නයි නේ තිබුනේ."
"ඔය ලැට් හොයන් ගෙවල් අස්සේ රිංගන්න බෑ."
"හොයන්න බැරිනම් GM ලොක්කාගේ ගෙදරට එහා පැත්තේ පොල්වත්තට ගියානම් නිදහසේ හුළං වැදීගෙනම කරන්න තිබුනා නේ."
"මේ උඹ පොඩ්ඩක් හිටපං කෑගහන්නේ නැතිව."
මිනිහා රිචඩ් පොත් සාප්පුව පැත්තට පිස්සුවෙන් වාගේ ඇවිදන් යනවා.
"මේ මිනිස්සු ඉන්න අස්සේ කොහේද ලොක්කා තාප්ප? හොටලයකට ගිහිල්ලා දැම්මා නම් ඉවරයිනේ."
අන්දුබයියා ගාල කඩාගත්තු මී හරකාවාගේ හයියෙන් හයියෙන් පාර දිගේ ඇවිදින්න ගත්තා. කොළොම්පුරයාත් මිනිහා පස්සේ දුවනවා. අන්තිමේදි පොත් සාප්පුව ලඟ තිබුණ හදන කඩ කැල්ලක් අස්සට පැනලා අන්දුබයියාගේ බර හෑල්ලු කරගත්තා. කොළොම්පුරයා ඇගේ ලේ වතුරකරන් බලන් හිටියේ අනුන්ගේ කඩ කෑලි අස්සේ මුත්‍රා කරන එකාට නෙලන ජවනිකාවක සාක්කිකරුවෙක් වෙන්න ලැබෙන එකට.  

"ඒයි උඹට බඩගිනි නැද්ද?"
බජ්ජහුර හෑල්ලුකරන් කඩ කෑල්ල අස්සෙන් එළියට ආපු අන්දුබයියා ඇහැව්වා.
"බඩගිනියි තමයි කොහේද මාරි එකක් කාලා නෙස්කැෆේ බොන්න තිබුනු චාන්ස් එකත් නැති කළානේ."
"තෝ මාරියි නෙස්කැෆෙ බොන එක ගැනමයි ඈඩියාව. ඔච්චර මාරි කන්න පෙරේතද?"
"නෑ බිස්කට් කෑවානම් මෙහෙ හොටල් ගානේ රිංගන්න ඕනේ නැනේ. බියර් බීලා අතේ සල්ලිත් නෑ. බස්එකේ යන්න මදි වෙයිද මන්දා?"
"අනේ තොගේ සල්ලි. කොයි වෙලාවෙත් නෑ කියාගත්තු ගමන්. යකෝ සල්ලි තියෙන්නේ වියදම් කරන්න මිසක් පොදි ගහන්න නෙමෙයි."

අන්දුබයියා මංතුමාට බැන බැන කන්න හොටලයක් හොයන් එහෙට මෙහෙට කැරකෙනවා. අන්තිමේදි පැරකුම්බා විදියේ රන්සිළු හෝටලයට ගොඩවෙලා  අන්දුබයියාගේ ජාතික ආහාරය වුනු කොත්තුවක් අරන් දෙන්නාත් එක්ක බෙදාගෙන රසබැලුවා. අපරාදේ කියන්න බෑ කොන්තුවේ බිල ගෙව්වේ අන්දුබයියාම තමයි.  ප්ලෙන්ටි දෙකකුත් බීලා අහවරවෙලා දෙන්නාත් එක්ක ආයෙමත් පාරට වැටුනා. දැන් හවස හයටත් කිට්ටුවෙලා තාමත් කොළොම්පුරයා කුරුණෑගල ටවුමේ.
  
"මේ ලොක්කා අපිට කොච්චිය නැග්ගානම් ඉක්මණට කොළඹ යන්න තිබුනා. මෙහේ බස් එනකම් බලන් ඉන්නේ නැතිව ස්ටේෂමට යමුද? දැන් මේ වෙලාවට කොළඹට කොච්චියක් නැතිවෙන්න බෑ. ස්ටේෂම තියෙන තැන ඔයා දන්නවානේ?"

මගේ යෝජනාවට අන්දුබයියාත් කැමතිවුනා. දැන් දෙන්නාත් එක්ක ස්ටෙෂම බලා ගමනේ යෙදෙන්න ගත්තා. සියල්ල දන්න මිනිහා වගේ අන්දුබයියා යනවා යනවා නවතින පාටක් නෑ. ස්ටෙෂම මේ ලඟ ඇතියි හිතපු කොළොම්පුරයාත් අන්දුබයියා පස්සෙන් යනවා.
"මේ ලොක්කා ස්ටෙෂම තව දුරද?"
කිලොමිටරයක් විතර ඇවිදපු කොළොම්පුරයා ඇහැව්වා.
"නෑ මේ ලඟ."
කොළොම්පුරයාට ඉස්සරවෙලා ගිය අන්දුබයියා පාරේ ගිය මනුස්සයෙක්ගෙන් මොනවාදෝ අහලා ආයෙමත් ඇවිදින්න ගත්තා.
"ස්ටේෂම තියෙන තැනද ඇහැව්වේ?
නෑ මේ ලඟ ඉස්පිරිතාලයක් තියේනවාද ඇහැව්වා උඹව ඇඩ්මිඩ් කරන්න. කට වහන් වරෙන්."
තවත් කිලොමිටරයක් විතර ඇවිද්දාත් ස්ටේෂමක් තියා රේල් පාරක් වත් කොළොම්පුරයා දැක්කෙ නෑ. දැන් කුරුණෑගලට ඇඳිරියත් වැටිලා ඉවරයි තවම දෙන්නා ඇවිදිනවා.
"අන්දුබයියේ තව දුරද?"
"අර ලයිට් හරියේ."
මිනිහා ඈත තියෙන විදුලි බුබුලු ගොඩාක් දැල්වෙන හෝටලයක් පෙන්නුවා. ආපහු ඇවිදින්න ගත්තා. ඈතින් දැක්ක විදුලි බුබුලු තියෙන හොටල් කිහිපයකුත් පහුකරන් තවත් කිලෝමිටරයක් විතර ගියා එත් ස්ටේෂම නෑ. කොළොම්පුරයාට දැන් හොදටම මහන්සියි තොහෙට්ටුයි. ඒ අස්සේ සපත්තුවකින් කකුල කැපෙන්නත් අරගෙන.
"මේ ලොක්කා ඔයා දන්නවාද ස්ටේෂම තියෙන තැන. මේ යන්නේ හරි පාරේද? මෙහෙම ගියොත් කොළඹට ඇවිදින්න පුලුවන්වෙයි."  
මිනිහා කිසිම සද්දයක් දැන් නෑ. කතාකලත්  ඇහුනේ නැති ගානට අන්දුබයියා යනවා. මෙච්චර දුර ආපු එකේ ආයේ හැරිලා යන්නත් බෑ. දැන් කොහොම හරි ස්ටේෂමට ගිහින් කොළඹට යනවා යන දැඬි අධිෂ්ඨානයෙන්  කකුලත් නොන්ඩි ගසමින් කොළොම්පුරයාත් ඉදිරියට යනවා.
එන්න එන්නම අන්දුබයියා හා කොළොම්පුරයා අතර පරතරය වැඩිවෙලා ගිහින් කොළොම්පුරයාට වඩා මිටර් 150ක් විතර ඉදිරියෙන් අන්දුවා ඇවිදිනවා. දහඩියෙන් නෑවුනු කොළොම්පුරයාට මලේ උපරිම ඇවිල්ලා හිටියේ. මේ අතරේ ප්‍රධාන පාරෙන් හැරුනු අන්දුබයියා තවත් පාරක් ඔස්සේ යන්න ගත්තා. තවතා තිබූ තෙල් බවුසර් පෝලිමක් පසුකර ගියාට පස්සේ කුරුණෑගල තෙල් සංස්ථාවේ තොග ගබඩාවේ විශාල තෙල් ටැංකි කිහිපයකුත් කොළොම්පුරයාට දකින්න ලැබුනා. එතැන හිටිය කෙනෙකුගෙන් යමක් ඇසූ අන්දුබයියා කුඩා දෙවටක් අස්සෙන් රිංගුවා. ඔහු පස්සෙන් ගිය කොළොම්පුරයාට හැතැක්ම ගානක් ඇවිද ගිය පිනෙන් රේල් පාර දකින්න ලැබුනා. රේල් පාර දිගේ ආපස්සට ඇවිදආ පසුව කුරුණැගල දුම්රිය ස්ථානය දර්ශණය වුනේ ටවුමට වඩා ගොඩාක් ඈතින් ස්ටේෂම හදපු උන්ගේ මව්ගුණ සිහිකරමින්. නොන්ඩි ගසමින් ආපු කොළොම්පුරයා වඩා ඉදිරියෙන් හිටිය අන්දුබයියා ස්ටේෂමටත් ගොඩවෙලා අවසන්.

"ඒයි  කොළඹ කොච්චිය දැන් පැය භාගෙට කලින් ගිහිල්ලා ආයේ එකක් තියෙන්නේ රෑ එකලොහටලු."
එකේ හිටපු කාගෙන්දෝ අහලා අන්දුබයියා කිව්වා. කොළොම්පුරයාගේ ඉවසීමේ සිමාව පැන්නා.
"මේච්චර දුර මේ ස්ටේෂම තියෙනවා කියලා ඔයා දන්නේ නැද්ද?"
"නෑ මම දන්නවා."
"දන්නවා බම්බුව. දන්නවා නම් තොගේ ආච්චිගෙ අහවල් අවයවයකටද  මෙච්චර දුර පයින් ආවේ?"
"උඹනේ කිව්වේ කොච්චියේ යන්න ඕනේ කියලා ඉතිං මම ආවේ උඹට ස්ටේෂම තියෙන තැන පෙන්නන්න."
උපරිම කේන්තියෙන් හිටපු කොළොම්පුරයා අන්දුබයියාගේ හත්මුතු පාරම්පරාවේ අටවෙනියාව මතක් කර කර ආපහු ප්‍රධාන පාරට ඇවිත් කුරුණෑගල බසයක නැගලා ටවුමට ඇවිත් කොළඹ එන බසයකට ගොඩවුනා. දැන් මේක කියවන උන්නැහෑලාට පුලුවන්නම්  හත්මුතු  පරම්පරාවේ අටවෙනියා නම් කරලා අල කොමසාරිස් ඩ්‍රැස්කියා  හාමු මහත්තයාගේ  ඇන්ටික් පන්නයේ භාවිතයෙන් ඉවත්කරන ලද  මොටවූ උල්දත් යුගල දිනාගන්න.
අන්දුබයියා ඇවිදපු දුර

ගුගල් දෙයියාගේ සිතියම් පොජජෙන් බැලුවාම අන්දුබයියා කොළොම්පුරයාට කුරුණෑගල ස්ටේෂම පෙන්වන්න කිලෝමිටර් දෙකහාමාරක් පමණ  පයින් ඇවිද්දවලා තියේනවා.  අදටත් අන්දුබයියා පවසන්නේ එයා කුරුණෑගල  ස්ටේෂම තියෙන තැන දන්නා බවත් කොළොම්පුරයාව ඇවිද්දුවේ සරිර සවුක්කිය උදෙසා යහපත් පරමාර්ථයෙන් හා ස්ටේෂම තියෙන දුර පෙන්නීමට පමණක් බවයි.

අන්දුබයියාගේ ස්ටේෂන් පෙන්නීම මෙතැනින් නිමියේයැ.

.

Wednesday, August 10, 2022

කොළොම්පුරයාගේ සැවුල් අන්දරය


පාද යාත්‍රාවේ ගිහින් ආපු නිදි ලොක්කාගේ සැප දුක අසන්නට දුරකතන ඇමතුමක් දුන් කොළොම්පුරයාට ලියන්නේ නැද්දයි අසමින් සොඳුරු තගත් දැම්ම බැවින් කප්පරක් රාජකාරි වැඩවල එරිලා හෙම්බත්වි ඉන්න අතරේම මේක ලියන්නට පටන් ගත්තා. කියවන සුවහසක් කොළොම්පුරේ සහෘදයින් හැමෝම නිදි ලොක්කාට මේ පොස්ටුව වෙනුවෙන් ස්තුතිය පුද කරන්න ඔනේ.

         මේ පොස්ට් එකේ මාතෘකාව වෙන්නේ සැවුල් අන්දරය නෙවැ. දන්නේ නැති උන්නෑහැලාට දැන ගන්න කියන්නේ සැවුලා කියන්නේ කුකුලා හරිද? ඉස්සර ආදිකාලේ අපේ කවිකාර උත්තමයෝ එක එක කුරුල්ලන් අතේ දෙවියන්ට සංදේශ ඇරියා. එවාට කියන්නේ සංදේශ කාව්‍ය කියලා. සීතාවක රාජසිංහ රජුගේ කාලයේ අලගියවන්න මුකවැටිතුමාත් ලිව්වා නොවැ සැවොල් සංදේශය හෙවත් සැවුල් අස්න කියලා සංදේශ කාව්‍යක්. සීතාවක රාජසිංහ රජුට සෙත් පතලා සපරගමුවේ සමන් දේවාලයේ වැඩසිටිනා සුමන සමන් දෙවිදුට සැවුලෙක් අත මේ සංදේශය ලියා යැවීමයි පරමාර්ථය වුනේ. වැඩි විස්තර මෙන්න මෙතනට කොටලා මේ බ්ලොගයෙන් බලා ගන්න පුලුවනි. 

Coat of arms of Galle


                ඔහේලා දන්නවාද පෘතුග්‍රිසිකාරයෝ ගාල්ලට දුන් ලාංජනයේ ඉන්නේ ගලක් උඩ ඉන්න කුකුලෙක්. පෘතුග්‍රිසිකාරයෝ කුණාටුවකට අසුවෙලා ගාල්ලට ආවාම මුලින්ම දැක්කා කියන්නෙ කුකුලෙක්ලු. ඔය ගාලු කොටුවේ තියෙන සමහර ස්මාරක ගොඩනැගිලි වල කුකුල් සලකුණ තියෙනවා. පැට්‍රල් තියේනවා නං ගාල්ල කොටුවත් සමුද කෞතුකාගාරයත් දැක බලාගෙන සැවුල් සලකුණ බලාගෙන ආවානම් හොදයි නේද? අදටත් ගාල්ල මහනගර සභාවේ ලාංජනයේ කුකුලා ඉන්නවා. ගාල්ල නැතිනම් ගොල් "Galle" කියන නම හැදෙන්න ඇත්තෙත් ලතින් බාසාවෙන්  "Gallus" කුකුලාට කියන  නම හින්දා වෙන්නැති. 




ලංකාවේ ජාතික පක්සියා වෙන්නෙත් වලි කුකුලා . "Sri Lankan Jungle Fowl / Ceylon Jungle Fowl" වඳවෙමින් පවතින අපේ රටට පමණක් ආවේණි්ක ආරක්ෂිත සත්වයෙක් තමයි වලි කුකුලා කියන්නේ. 

 කවුද ඩෝ චන්ඩි.....වලියට බර නැති අහිංසක වලි කුකුලා


කුකුල් කෙටවිල්ල "Cock fighting"   ලොවේ පැරණිම ක්‍රිඩාවක්. දේශගවේෂක ෆ්‍රඩිනන්ට් මැගලන් පිලිපීනය සොයාගන්ද්දි පවා එහි කුකුල් කෙටවිල්ල තිබුනා කියවෙනවා. කුකුල් කෙටවිල්ල හෙවත් පොර කුකුල් ක්‍රීඩාව ලංකාවේ තහනම් ක්‍රීඩාවක් උනත් තාම හොර රහසේ මේ වැඩේ කොරනවා. සැවුල් ඉතිහාසය දැනට ඇති නේද? ඔන්න ආපහු කතන්දරේට යමු.

කොළොම්පුරයාට පොඩි ඇගේ අමාරුවක් ආවා කොළොම්පුරේ නාගරික ජිවිතයෙන් මිදෙන්න. නාගරික පරිසරයෙන් වැඩිය ඈතකට නොවි පොඩ්ඩක් ඈතට ගිහින් අලුත් නිවසකට ගෙවැදුනු හින්දා ඉඩකඩ ඇති වත්ත පිටියකුත් ලැබුනා. සකල කළා කම්මැලි කොළොම්පුරයාට වැඩත් ලැබුනා ඉදහිට දනක් උසට වැඩෙන තණකොල කපලා සුද්ද ප්‍රවිත්‍ර කරන්න එහෙම. ඒ ඉන්න අතරේ කොළොම්පුරයාගේ අකලට පහළ වෙච්චි මොළේට ආවා අපුරු අයිඩියාවක් ගෙදර ආරක්සාවට කෙසේවෙතත් බොරුවට හරි ගෙදර බල්ලෙක් ඉන්න ඔනේ කියලා බලු තඩියෙකුත් හදන්න. ඔන්න කොළොම්පුරයා ඔපිස් ආව වෙලාවේ ඉදන් අන්තර්ජාලේ සැරි සරන්නේ බලුපැටියෙක් හොයමින්. අන්තිමේදි කදානේ බලුපැටව් විකුණන්නෙක් ගෙන් අරන් ආපු බිගල් වර්ගයේ සුනඛයා ටෙරි නාමය පටබැදගෙන ගෙදර සාමාජිකයෙක් උනා. මිනිස්සු එක්ක උන්නත් බල්ලා බල්ලාමයි හින්දා උගේ බලුගතිය වැඩිවෙලා අහුවෙන අහුවෙන එක කාලා දාලා අන්තිමේදි කොළොම්පුරයාගේ පුතන්ඩියා බංචියාගේ ඇස්කන්නාඩි දෙකත් විකලා දැම්මා. උගේ නැට්ටෙන් අල්ලලා විසික් කරන්න තරම් කේන්තියක් ආවට කොළොම්පුරයාම කරගත්තු මෝඩකමක් හින්දා ඉවසාවදාරාගෙන ඉන්නවා වෙන මක්කරන්නද?
ලැජ්ජාවට හැංගිලා


රෑ එළි වෙද්දි ලිං කැනලා කුඹුරක් සේ හාලා තියෙන සුපියල් වලින්ම බර ගානක් වියදම් කරලා මැලේසියන් තණකොල පිඩැලි අල්ලපු මිදුල දකින කොට ඇතිවෙන්නේ පට්ටම දුකක්. දම්වැලක් ගෙනවිල්ලා බැදලා දම්මාම බඩ පැලෙන්න බත් කාලා ගෙරෙවා ගොරවා නිදා ගැනිල්ල තමයි ටෙරියාගේ රාජකාරිය. ඕනෑම දෙයක් හිතට අල්ලලා තියෙන්නේ ටික දවසයි නොවැ ඉතිං බලු සුරතල් දැන් ඉවරයි. යකඩෝ මෙන්න කොළොම්පුරයත් අර නිදහස් සිතුවිලි එකේ රවි ලොක්කා වාගේ පදුරු තලන්නත් අරන් නෙව. හා හා යමුකෝ ආපහු කතාවට....

           සල්ලි වියදම් කරලා එකෙන් වියදමවත් පියවාගන්නට බැරි අහක යන ගොන් වැඩකට අත දාන්න ලඟදි ඉදන් කොළොම්පුරයාගේ අහවල් එකේ ඉත්තෑවෝ දුවන්න ගත්තා. වත්තේ ඉඩකඩ තියෙන එකේ ගම්කිකිලියෙක් හැදුවොත් බිත්තරයක් වත් කන්න පුලුවන්නේ කියලා මංතුමාට හිතුනා. හිතුනොත් එක කරලා කෙලෝගන්න කම් ඉවසිල්ලක් නැති කම තමයි කොළොම්පුරයාගේ තියෙන එකම මෝඩකම. ඕං ආපහු අන්තර් ජාලෙන් ගම් කිකිලියන් ගැන හොයා බැලිල්ල තමයි පළමු රාජකාරිය කොරගත්තෙ. ඒ අතරේ කොළොම්පුරයාගේ රාජකාරි ස්ථානයේම උසස් නිලධාරියෙක් වෙච්චි පරණ යාලුවෙක් මුණ ගැහුනා. බැලින්නම් එයත් මිට පෙර කුකුල් ගොවිපොලක් කරපු කෙනෙක්. යාලුවා ඉන්නෙත් කොළොම්පුරයාගේ අලුත් නිවාසයට කිලෝමිටර් පහක් විතර ඈතින්. කොළොම්පුරයාගේ කුකුල් ආසාව ඇහුවා විතරයි ඔන්න යාලුවාගේ සැඟවුනු කුකුල් ඇතිකිරීමේ ආසාවත් ආපහු පණ ගැහිලා ආවා නොවැ. එදා ඉදන් දෙන්නාගේම වැඩේ ගම් කිකිලියන් සොයන එකයි. කිකිලියන් ගෙනාවට දාන්න කූඩුවක් තියෙන්නත් එපැයි. වැඩ රාජකාරි අස්සේ කොහෙන්ද කුකුල් කූඩු හොයන්නේ? ආවා මරු අයිඩියාවක් කොළොම්පුරායේ කාබාසිනියාකාර ලිං හාරන බලු ටෙරියාගේ බලු කූඩුව මේ වැඩේට හරියටම හරි යනවා. ඉතිං සිනිදු සියුමැලි හාඩ්වෙයාර් එකට දුවලා ගිහින් ගෙනාව කුකුල් දැල් මිටර් කිහිපයක් ගැහැවා වටේටම දැල්. දැන් බලු කූඩුව කුකුල් කූඩුවක් උනා. අනේ අසරණ ටෙරියාගේ නිවහන නැතිවුනා.   මේ අස්සේ මුහුණු පොතේ තිබිලා පානදුරේ මාලමුල්ලේ ගම්කිකිලියන් වගයක් විකුණන්න තියෙනවා කියන ඇඩ් එකක් යාලුවා දැක්කා. එදා හවසම දෙන්නත් එක්ක ඒකත් බලන්න ගියා. යන කොට කලුවරත් වැටිලා ඒ මදිවට ලයිටුත් නෑ. එතැන තිබුනා පළමු මුරය බිත්තර දමාපු කිකිලියන් 9ක් විකුණන්න. දෙන්නාත් එක්ක කතාවෙලා එකෙක් රුපියල් එක්දාස් පන්සියය ගානේ කොළොම්පුරයා කිකිලියන් තුනක් හා ඉතිරි හයදෙනා මිතුරාත් මිලදිගත්තා. ගෙදර ගෙනාවට පස්සේ කොළොම්පුරයාගේ රාජකාරිය තමයි උන්ගේ සැපදුක් බැලිල්ල. සතුන්ට ලැදියාවක් දක්වන කොළොම්පුරයාගේ පුතන්ඩියා බංචි කුකුල් වැඩේ ස්වෙච්චාවෙන්ම බාරගත්ත නිසා කොළොම්පුරයා ඒ වැඩෙන් නිදහස් වෙලා ගියා.
කිකිලියන් තුන්දෙනා

දාපු පළමු බිත්තරේ




 ගෙනල්ලා දවස් දෙකකට පස්සේ කලුපාට කිකිලි දැම්මා බිත්තරයක්. ඊට පස්සේ දවසක තවත් බිත්තර දෙකක් ලැබුනා. අනේ දවසක සවස කලු කිකිලියව බංචිට කුඩුවට දාන්න අමතකවිමෙන් ඌ අතුරුදහන් වෙලා. කොළොම්පුරයා වැඩ ඇරිලා ඇවිත් රෑ වෙනකම්ම කළු කිකිලිව හෙව්වා නමුත් ආයෙමත් ලැබුනේ නෑ.

 කිකිලියන්ට බිත්තර දාන්න කුකුලෙක් ඔනේ නැතිවුනත් කුකුලෙක් හිටියොත් බිත්තර දැමිල්ල වැඩි වෙනවා කියලා අර කුකුල් උපදේශක යාලුවා කිව්වා. දැන් දෙන්නා ආපහු කුකුලෙක් හොයනවා. ඔන්න පානදුරේ මාලමුල්ල පැත්තට වෙන්න කුකුල් ඇති කරන කෙනෙක් ගාව පැටවු ඉන්නවා කියලා යාලුවා සමගින් කොළොම්පුරයා පිටත්වුනා. එදත් එහෙට යද්දි කලුවර වැටිලා විදුලිය විසන්ධිවෙලා. කුඩු දෙකක හිටපු කිකිලි හා කුකුල් පැටවුන් දොලොස් දෙනෙක් සයිස් දෙකකින් ඉන්නවා. හැබැයි එකා දෙන්නා දෙන්නේ නෑ විකුණන්නේ ඔක්කෝම එකවරටයි. උන් ඔක්කෝම රුපියල් දහදාහයි. ඒ පාර දෙන්නා හය දෙනා බැගින් බෙදාගෙන උන් අරන් ආවා. තව බිත්තර දමන උන්ට දෙන හා පැටවුන්ට වැඩෙන කුකුල් කෑම කිලෝ පහ බැගින්ද වතුර දාන හා කෑම දාන භාජන දෙක බැගින්ද අරගත්තා. අරන් ආපු කිකිලි පැටවුන් පරණ කිකිලි දෙන්නා ඉන්න කුඩුවට දැම්ම ගමන් පටන් ගත්තා කොටන්න. උන් බේරෙන්න දුවනවා. හැංගෙන්න තැන් හොයනවා. රෑට විතරයි සාමකාමිව ඉන්නේ. ඊට පස්සේ දෙගොල්ලෝ වෙන් කළා. සතෙක් අරන් යයි කියලා එළියෙන් තියන්නත් බෑ නොවැ. 
                පහුවෙනිදාම ගියා ලී මඩුවට ගෙනාවා දෙකේ දෙකේ පොලු හා රිප්ප තොගයක්. සිනිදු සියුමැලි හාඩ්වෙයාර් එකෙන් ගෙනාවා අඩියක් රුපියල් 300 ගානේ ප්ලාස්ටික් කොටඩ් දැල් අඩි විසි පහකුත්. කපන්න කොටන්න ඇනගහන්න පටන් ගත්තා යුද්දේ. මේ අස්සේ විදුලිය කැපිල්ලත් ආවත් වැඩේ නතර නොකර විදුලි පන්දමක් දල්වාගෙනත් වැඩ ටිකත් කරගෙන ගියා. අන්තිමේදි අලුත් කූඩුව හදලා ඉවරවෙද්දී රාත්‍රි දොලහත් පහුවෙලා ඉවරයි. අලුත් කූඩුවත් බලුකූඩුවට වඩා ලස්සනට හා ඉඩකඩත් වැඩියෙන් හැදුනා. එත් බොලේ අලුත් කිකිලි පැටවුන් හය දෙනා දැම්මාමත් ලොකු තුන්දෙනා පොඩි තුන්දෙනාට කොටනවා අමර කෙටිල්ලක්. පස්සේ යාලුවෙයි කියලා තිබ්බත් උන් පොඩි සේට් එකට බරපතල විදිහට තුවාල කරලා. දැන් කොහේද මුන්ව දාන්නේ? බැරිම තැන උන් තුන්දෙනාව අරන් බෙටඩින් ගාලා එළියේ තියේන සේවක වැසිකිලියේ ඇතුලට දැම්මා. පහරදිම් වලින් බරපතල තුවාල ලබපු එක පැටියක් දින කිහිපයකින් නිවන් සුව සොයාගෙන යන්නම යන්න ගියා. 

ඉතිරිවුනු දෙන්නා


                      තව ඉරිදා දිනයක කොළොම්පුරයා විවේක සුවයෙන් ඉන්නා අතරේ කුකුල් උපදේශක යාලුවාගෙන් දුරකතන ඇමතුමක් ලැබුනා එළුවිල හංදියේ කඩයක කුකුල් නාම්බෝ වගයක් විකුනන්න ඉන්නවා ගන්නවා නම් ගිහින් එමුයි කිවිවා. ඔන්න කොළොම්පුරයාගේ ඉත්තෑවා ආයෙත් කුලප්පු වෙන්න ගත්තා. යාලුවා එක්ක ගිහින් රුපියල් දෙදහක් ගෙවලා කුකුල් නාම්බාවත් මොටෝසයිකලේ ගැටගහන් ගෙදර අරන් ආවා. දන්නවා නේ කොළොම්පුරයාගේ මොට්ට මොළේ තරම ගෙදර ගෙනාපු හැටියේම එළියේ උන්නු කිකිලියෝ දෙන්නා ගාවට කුකුල් නාම්බාව අත හැරියේ මෙන්න උඹලාට හස්බන්ඩෙක් අරන් ආවා කියලා. ටික වේලාවක් නිදැල්ලේ හිටපු නාම්බා බලන්න බංචි දුවගෙන ආවා විතරයි මෙන්න එක පාරටම ඌ කුඩුව උඩට පියඹලා ගියා. ඌව අල්ලන්න හදනකොටම අඩි දොලහක් විතර උස තාප්පෙට පියබලා ගිය කුකුල් නාම්බා පැන්නෙ නැද්ද අල්ලපු ගෙදරට. අඩි දොලහක් විතර උස තාප්ප බඩ ගාන්න බැරි කොළොම්පුරයා අල්ලපු ගෙදරට වටේ පාරෙන් යද්දි බංචිත් දුවගෙන ආවා. ඒ ගෙදරට ගිහින් අල්ලන් හදනකොට මෙන්න මේකා ඊට අල්ලපු ගෙදර වත්තට තාප්පේ උඩින් පියඹලා ගියා. දැන් මොකද කරන්නේ? ඒ ගෙදරට යන්න ඔනේ එහා පැත්තේ පාරෙන්. අනවසරෙන් තාප්ප උඩින් පනින්නත් බෑ නොවැ. ඔන්න දෙන්නා එක්ක ආයෙමත් වටයක් ගහලා ඒ ගෙදරටත් ගියත් මේ කැ% නාම්බා ආපහු පැන්නා ඉස්සෙල්ලා හිටපු වත්තට. ආයෙමත් වටයක් යන්න බැරිකමට අතපය විතරක් නොවේ බඩත් හුරාගෙන තාප්පෙන් පැන්නා ආයෙමත් අල්ලපු ගෙදරට. මේකා මංතුමා මෙහෙට ආපු ගමන් ආයෙමත් පැන්නා අල්ලපු වත්තට ගිහින් ඒ ගෙදර කොන්ක්‍රීට් ස්ලැබ් එක උඩටත් ඉගිලුනා. එතැන ගිහින් නිකං ඉන්නෙත් නැතිව කොචෝක් එකට හඬලන්නත් වුනා. දැන් කොළොම්පුරයා පැන්නා ආපහු ඒ වත්තට. දැන් ගෙවල් දෙකේ ඇන්ටිලා අංකල්ලා කොළොම්පුරයාගේ කුකුල් මෙහෙයුම නරඹනවා. බංචියත් බැරි බැරිගාතේ තාප්ප උඩින් පනිනවා. කුකුල් නාම්බා ඉගිලෙනවා කොළොම්පුරයා තාප්ප දිගේ අනුන්ගේ වතුවලට පනිනවා. කොළොම්පුරයා දවල්ට කාලත් නෑ බඩගින්න උපරිමේට ගිහින් දැන් මලේ මල පැනලා උන්නේ. රුපියල් දෙදහාට කෙලවුනත් කමක් නෑ උඹ පුලුවන් වේලාවක වරෙන්කෝ කියලා මංතුමා ගෙදර ගියා. ස්ලැබ් එක උඩට වෙලා හඬල හඬලා හිටපු කුකුල් නාම්බා කිකිලියන් හින්දා හවස්වෙලා ආපහු අපේ වත්තට බැස්සා විතරක් නොවේ කලුවර වෙද්දි කිකිලියෝ දෙන්නාත් එක්ක කුඩුවටත් රිංගුවා. යාන්තම් කෙළොම්පුරයාගේ සැවුල් මෙහෙයුම ඉවරකරගත්තා.
මේ ඉන්නේ කෑ%#  කුකුලා  

                     ඒ අස්සේ තවත් මිත්‍රයෙක් එයාගේ තාරා ජෝඩුවක් කොළොම්පුරයාට තෑගි කළා. කොළොම්පුරේ කියවන අය දන්නවානේ කොළොම්පුරයා නිකං දෙනවා නම් පිහි පාරක් උනත් බාරගන්න උත්තමයෙක් කියලා. ඉතිං තාරවන් ගෙනාවට පස්සේ තමයි ඊළග කේස් එක පත්තුවුනේ. මේකා කිනං තාරාවෙන් නොවෙයි අමුම අමු වලේ වල් තාරාවෙක්. මේකා කිකිලියන් පස්සේ පන්නගෙන ගිහිල්ලා උන්ට අතවර කරන්න ගත්තා. කුකුල් නාම්බා බලන් ඉන්නැද්දී මූ කිකිලියන් බලහත්කාරයෙන් දුෂණය කරන්න ගත්තා නොවැ. අන්තිමේදි බැරිම තැන තාරාවන් දෙන්නා ආපහු යාලුවාටම දීලා දැම්මා.

                එක ගම් කිකිලියක් අරන් ඇවිත් බිත්තර කන්න බලාගෙන හිතපු  කොළොම්පුරයා ගෙඩි සුපියල්ම තිස්දාහක් විතර වියදම් කරලා කූඩු හදලා  කිකිලියන් නමයකුයි (මියගිය  පැටවා හා අතුරුදහන්වූ කිකිලි ඇතුලුව) කුකුලෙකුයි  ගෙනාවා. මුලින් දාපු බිත්තර තුනට පස්සේ උන් තාම කිසිම බිත්තරයක් දැම්මේ නැත. කොළොම්පුරයා අතින් වියදම් කරමින් උන්ට කන්ඩ බොන්න දීලා කඩෙන් බිත්තර ගෙනවිත් කනවාය. බිත්තර දමන්නේ නැති එකට කුකුල් උපදේශක යාලුවා මේ ලඟදි ජීනියස් අයිඩියාවක් දුන්නා. ඒ කිකිලියන්ට බිත්තර දමන්නට අමතක වෙලා ඇති බැවින් බිත්තර මේ වාගේ කියලා හිතා ගන්නට කඩෙන් බිත්තර ටිකක් ගෙනවිත් කුඩුවේ ඇතුලින් තියන්නටය. අද හෙටම ඒ වැඩයත් කරලා බලන්නට කොළොම්පුරයා හිතා ගත්තා.

සැවුල් අන්දරය මෙතැනින් නිමියේය.