Monday, November 21, 2016

ඩියුටිය




අඬක් පිලිස්සුනු මදුරුකොයිල් දඟරයෙන් පිටවෙන සුදු පැහැති සිහින් දුමාරය අහිකුන්ටයකුගේ නලා හඬින් පෙනගොබය පුප්පාගෙන නටන නයෙකු සේ දෙපසට වැනෙමින් ඉහල නගියි. සිකුරිටි කුටිය තුලට හමා ආ සුළං රැල්ලක් නිසාවෙන් මඳකට හැකිලීගිය දුමාරය යළි තම කඳ කෙලින් කරගත්තේය. ටික දුරක් ඉහළ නගුන සිහින් දුමාරය කැරලි නංවාලමින් වාතලයේ අතුරුදහන්වි යන්නට විය. රෑ මැදියමේ දැඩි නිහඬතාවය බිඳහෙලමින් වාතලය කපාගෙන ඉඳහිට දිවෙන රථයක හඬක් මිස වෙනත් කිසිදු හඬක් නොනැගෙන්නේ සියල්ලන්ම නිදිලොවේ පසුවෙන බැවිනි. සිකුරිටි කුටියේ මදුරු දඟරය දෙස බලාසිටි අනුරුද්ධ නොනිදා සිටින්නට කොතරම් උත්සාහ කළද දෙඇස් බරකරමින් නින්ද ඔහුට ළඟාවෙමින් පැවතියේය. කණ ළඟින් සුපුරුදු සංගීත රාවයක් නංවා වටයක් දෙකක් කරකැවුනු මදුරුවෙක් වම් කම්මුල මත වැසීය. අනුරුද්ධටත් නොදැනී ඉහල එසවුනු වම් අතින් ඌව වසාගත්තේ මදුරුවාගේ අවසන් රාත‍්‍රී ආහාර වේල ගැනීමට සැරසෙද්දීය. මෙතෙක් වෙලා අනුරුද්ධව වෙලාගනිමින් සිටි නින්ද කම්මුල හරහා වැදුනු පහරේ සැරකමෙන් මඳකට පසුබෑවේය. අත්ලේ පොඩිවී ගිය මදුරු කුණ දෙසවත් නොබැලූ අනුරුද්ධ ලෑලි බංකුවේ ගැට්ටක එය අතුල්ලා දැමීය. ලෑලි බංකුවේ දිගුවේලාවක් සිටිය නිසාවෙන් හිරිවැටීමට ආසන්න වූ දෙකකුල් දෑතින්ම අතගාගත් ඔහු නැගිට හිරි ඇරගත්තේ මදුරු දශ්ටයකින් පලූ නැග තිබු තට්ටමක් කසමින්ය.
බෙල්ටයේ ගාංචුව බුරුල් කල අනුරුද්ධ බංකුව පසෙක තිබු කලූ පාට ෂොපින් බැගයේවු සරමක් පටලාගෙන උඳේ සිට ඇදන් සිටි කලිසම ගලවා දැමීය. දහඩියෙන් පෙඟී ගොස් තිබූ යටකලිසමද ගලවා පසෙකට කළ හේ බාල නයිලෝන් රෙද්දෙන් මැසු දුඹුරු පැහැ කලිසම දෙවරක් ගසා දමා  බිත්තියේ වූ ඇණයක එල්ලා දැමිය. ලෑලි බංකුව උඩ දෙකට නවා තිබූ කාඞ්බෝඞ් පෙට්ටි පියන හරිහැටි සකසා යළි වාඩිගත් අනුරුද්ධට දින දෙකකට පෙර රෝහල් ගතකළ සෝමපාල අයියාව සිහිපත්විය.

‘‘මේ යන විදිහට මට වැඩිකාලයක් මේ රස්සාව කරන්න බැරිවෙයි මල්ලියේ. ”
‘‘ඇයි සෝමපාල අයියේ?”
‘‘මගේ ප්‍රෙෂර් එක නැගලාලූ.”
‘‘ඒ මොකද?”
‘‘ නිදිමරන්න එපා කියලා ඉස්පිරිතාලේදි දොස්තර මහත්තයා කිව්වා. එත් නයිට් කිරිල්ලක් නැතිව මොන සිකුරිටි රස්සාවල්ද බං? මොන තරම් ප්‍රෙෂර් නැග්ගත් කෙල්ල විභාගේ කරලා ඉවරකරනකං මේ රස්සාව කරන්නම වෙනවා.”
අනුරුද්ධට කුප්පි ලාම්පුවක් අසල තියාගෙන පාඩම් කරන තම පොඩි නංගියාවත් ඒ ඇසිල්ලෙන් සිහියට නැගින.
‘‘මල්ලියේ උඔට පුළුවන්නම් ටික දවසකට නයිට් ෂිප්ට් එක ඇදපන්.”

 නයිට් ෂිප්ට් එක අනුරුද්ධ සමගින් මාරුවුවත් නිදිමැරිල්ලත් සමඟම ශරිරයට ගොඩවු සෝමපාලගේ අසනීප පහව ගියේ නැත. දින දෙකක් තිස්සේ අනුරුද්ධ මෙම සිකුරිටි කුටියේ සිරකරුවෙකු වුයේ ප්‍රෙෂර් වැඩිවී පෙරේදා රාත‍්‍රියේ සෝමපාල අයියා රෝහල් ගත කරන්නට සිදුවීමෙන් පසුවය. නයිට් ෂිප්ට් එකෙන් පසුව අනුරුද්ධගෙන් දිවා වැඩ මුරය භාරගන්නට සෝමපාල අයියා පැමිණියේ නැත. සෝමපාල අයියා වෙනුවට තවකෙක් එවන ලෙසින් තම සිකුරිටි ඒජන්සිය පොරොන්දු වුවත් ඔවුන් කී පරිදි වෙන අයකු ප‍්‍රධාන ගේට්ටුවේ රාජකාරිය භාර ගැනීමට නොආවේය. දුම් නගින මදුරු දඟරය දෙස බලා සිටි අනුරුද්ධගේ දෙනෙත් බර කරමින් යළිත් නිදිමත කඩා හැලෙන්නට විය.

‘‘නැගිටිනවා  ඕයි. නැගිටිනවා”
සිහිනෙන් මෙන් ඇසුනු හඬින් අනුරුද්ධ ඉද්ද ගැසුවාක් මෙන් නැගී සිටියේය.
‘‘අයිසේ ඔහොමද තමුසේ ඩියුටි කරන්නේ? එ් මදිවට තමුසේ සරමකුත් ඇදන්?”
අනුරුද්ධට තමා සරමක් හැඳ සිටන බවක් සිහියට නැගුනේ එවිටය. කිසිවක් කරකියා ගැනීමට නොහැකිව හෙතෙම තම යටිකය දෙසට නෙත් යොමු කළේය.
‘‘තමුසේ මේ බුදියන් ඉන්නේ ගෙදර කියලා හිතලාද? මේක රස්සාවක් කියලා දන්නේ නැද්ද? මම තමුසෙට ඇක්ෂන් එකක් ගන්නවා. මේවා හේනට පනින වල් අලි එලවන්න පැල් රකිනවා වාගේ වැඩ නෙමෙයි. වන්නි හත්පත්තුවේ ඉඳලා ආපු උන් රස්සාවල් ගැන මොනාද දන්නේ. ”

විසිටින් ඔපිසර් නිවුටන්ගේ ගෝරනාඩුවේ ඉතිරි ටික අනුරුද්ධට නොඇසුනේ ඔහුගේ ඉහමොල රත් කරමින් කෝපය ඉහවහා ගිය බැවිනි.

‘‘මේ නිවුටන් සර්,  ඕනෑ ඇක්ෂන් එකක් ගන්නවා හෙට උදේටවත් වෙන එකෙක් මෙහෙට එවලා. දැන් දවස් දෙකක් තිස්සේ මම එකම ඇඳුම ඇදන් රෑ දවල් කියලා බලන්නේ නැතිව මෙතන ලැගගෙන ඉන්නවා. ඒ මදිවට මේකා ගාව කන්නවත් සල්ලි තියෙනවාද කියලා හොයලා බැලූවාද? මම සරමක් ඇදගත්තේ නහයක් තියෙන එකෙකුට මේක ඇදන් ඉන්න බැරි නිසයි.”
කෝපයෙන් පිපිරුනු අනුරුද්ධ ඇණයක එල්ලා තිබු කලිසම ගෙන නිවුටන් දෙසට විසිකළේය. දහඩිය දුගදින් පිරුනු සිකුරිටි කලිසම නිවුටන්ගේ මුහුණේ වැදී ඔහුගේ කරමත රැදුනි. අනුරුද්ධගේ වාග් ප‍්‍රහාරයෙන් කිසිවක් කර කියාගත නොහැකිව පසුබැස්ස ඔහු කලිසම කුණුමාලූ කෑල්ලක් අල්ලන්නාක් මෙන් ඇගිලි තුඩින් අල්ලා බංකුව මතට විසිකළේය.
‘‘හරි හරි තමුසේ කලබල නොවී ඉන්නවා. මම කිව්වේ මේකේ ලොක්කා බැරිවෙලා හරි ආවොත් අපි ඔක්කෝම අමාරුවේ වැටෙන නිසයි. මම හෙට උදේම වෙන කෙනෙක් මේකට එවනවා. දැන් හිටිය එකේ හෙට උදේ වෙනකං පොඞ්ඩක් ඉවසලා ඉන්නවා.”

 අනුරුද්ධගේ කෝපාවිෂ්ට හැසිරිමෙන් බියවූ නිවුටන් ඉක්මනින් සිකුරිටි කූඩුවේ වූ පොතේ අත්සනක් දමා එතැනින් එළියට පැන ගත්තේය. තවත් තම කට වාචාල කමට කියවන්නට ගියහොත් දවස් දෙකක් එක දිගට මෙහි රැඳී සිට කෝපයෙන් පසුවන මේ කොල්ලාගෙන් අනිවාර්යෙන්ම ගුටිකන්නට සිදුවන බව ඔහුට නිරායාසයෙන් අවබෝධ විය. අවුරුදු විස්සක තරුණ ගැටයෙකුගෙන් ගුටිකෑමට තරම් හයියක්වත් මේ රාති‍්‍රයේ තමාව බේරාගැනීමට කිසිවෙක් නොමැති බවත් දන්නා නිවුටන් තම මොටර් සයිකලය ඉක්මනින් පණගන්වා ගත්තේ එතැනින් පිටවිම නුවනට හුරු බැවිනි. කෝපයෙන් වෙවුලමින් සිටි අනුරුද්ධට තම සිහි කල්පනාව ලැබුවේ නිවුටන්ගේ මෝටර් සයිකලය පිටත්ව ගිය පසුවය. දැස් පුරවා තිබු කඳුළු පටලය පිටිඅල්ලෙන් පිසදාගත් ඔහු දැන් වෙන්න තියෙන දෙයක් උනාවේ කියා සිතා ලෑලි බංකුවේ හිඳගෙන දෑස් පියා ගත්තේය. ඇඟට දැනෙන තෙහෙට්ටුවත් සිතේ ඇති වූ කෝපයත් නිසාවෙන් දෙනෙත් පියාගත්තත් නින්ද අහලකවත් නොවීය.
              දෑ අවුරුද්දකට පෙර හේනට යන පාරේදිම බයිසිකලය සමගින් තලා පොඩිකරදැමු අප්පච්චිගේ කේඩෑරි ගැසුණු සිරුර මනසට යළිත් ආවර්ජනය විය. නිවුටන් සර්ගේ වල් අලි කතාවට අනුරුද්ධගේ කෝපය ඇවිස්සුනේ එබැවිනි. තවදුරටත් මෙසේ එක එකාගේ පලිච්චි කතා අසමින් සිකුරිටි රස්සාවක් කරනවාට වඩා වල් අලි සමගින් ඔට්ටුවෙමින් හේන් කෙටිල්ල හොඳ යැයි ඔහුගේ සිතට නැගින. ගෙදර අගහිඟකම් පලවාහරින්නට මහපොළව සමඟින් පොර අල්ලා අතපය කේඩෑරි ගැසුනු අම්මාගේ මලානික මුහුණත් තවමත් නොතේරෙන වයසේ වූ පොඩි මල්ලිත් මෙවර සමාන්‍ය පෙළ විභාගයට සැරසෙන නංගිත් ඔහුට සිහියට නැගින. සල්ලියභාග ඇතිහැකි පවුලක කෙනෙකුවූවා නම් මෙසේ සිකුරිටි කූඩුවක මදුරුවන් තලමින් තව එක මොහොතක්වත් රැඳී නොසිටින්නට ඉඩ තිබුනි. සිතේ ළතැවුල් මැද කඩින් කඩ අනුරුද්ධට නින්ද ගියේය. 
                   පසුදින උදෑසන සිරිත් පරිදි ඩියුටි භාරගැනීමට කිසිවෙකුත් නොවීය. අවසාන රුපියල් දහයෙන් මදුරු දඟරයක් මිලදීගත් බැවින් උදෑසන ආහාරයත් ගන්නට කෙසේ වෙතත් තේ උගුරක් වත් බොන්නටවත් අතේ මුදලක් නොවීය. මදුරු විමානයක් වූ මෙම පැක්ටේරියේ විනාඩියක්වත් හරියට ඇහැපියාගන්නට ඉඩක් නොලැබුන නිසාවෙන් අප‍්‍රානිකත්වයෙන් යුතු තෙහෙට්ටුවක් ගතපුරා දිවයන්නට විය. ඔෆිසීය පිටුපසට වෙන්නටවු තිබු වැසිකිළිය අසල පයිප්යෙන් වතුර පොදක් ගෙන මුහුණට දමාගත් ඇසිල්ලෙන් දෑස් පුරා සියුම් දැවිල්ලක් නංවමින් සිසිල් ජල බිංදු පහලට ගලායන්නට වුනි. වැසිකිලි ගොස් මුහුණකට සෝදාගත් හෙතෙම යළි ගේට්ටුව වෙත පියමැන්නේ නිදිමැරීම නිසා ඉදිමුනු ඇස්වලට වැලි දමා අතුල්ලන්නාක් මෙන් එතුලින් නැගෙන වේදනාවට අත්ලෙන් පිසදමමිනි. මෙතෙක් වේලා මැසිවිලි නගමින් වැසු ගේට්ටුවේ රැඳී සිටි වාහන වල රියදුරෝ අනුරුද්ධට බැනවදිමින් ඇතුලට එන්නට විය.

‘‘කොහේද මෙච්චර වෙලා හිටියේ තව ටිකෙන් පොලීසියෙන් ලියනවා පාර බ්ලොක් කළා කියලා.”
‘‘යන මලදානයක ගේට්ටුව ඇරලා යනවා.”
‘‘කොහේ මකබෑවෙලා හිටියද දන්නේ නෑ මෙච්චර වෙලා.”
‘‘ඩියුටියවත් හරියට කරන්න දන්නේ නෑ, කොහෙන් හොයා ගන්න එවුන්ද මන්දා.”

ඔහුට ඔවුන්ගේ රැවුම් ගෙරවුම් දෙසවන අසලින් පාවී ගියා මිස මනසට නොවැදුනේ ප‍්‍රධාන ගේට්ටුවේ රාජකාරි පවරාගැනීමට කවුරුන් හෝ පැමිණීමේ බලාපොරොත්තුව ඇතිව සිටි හෙයිනි. ටිකෙන් ටික උදෑසන ගෙවීයමින් මධ්‍යහනයට ළංවෙද්දි අනුරුද්ධගේ ඉවසීමද තුහින පොදක් සේ වියලීයන්නට විය. එන්න එන්නම උදරයෙන් නැගෙන බඩගිනි ඇඬියාව වලක්වන්නට මෙගා බෝතලයේ වතුර භාගය එක හුස්මට හිස්කර දැම්මේය. උදරය පුරවාදමමින් නැගඑන බඩගින්න වතුර බීමෙන් මට්ටු කරන්නට හැකි නොවුනි. සිතට නැගෙන කලබලකාරි සිතුවිලි හා තනිවම සටන් කළ හෙතෙම සිකුරිටි කූඩුවෙන් නැගිට කාර්යාලය දෙසට පිය නැගීය. 
වත්සුනු තවරා ගිලිහියන තම තාරුණ්‍ය රැකගන්නට අසාර්ථක උත්සාහයක යෙදී සිටි මැදිවියට ආසන්නවු පිළිගැනීමේ නිලධාරිනිය තමන් කරමින් සිටි වැඩයට බාධා කළ සිකුරිටිකාරයා වෙත නුරුස්සනා බැල්මකින් සංග‍්‍රහ කළාය.

‘‘ටෙක්ලා මිස් මැනේජර් මහත්තයා කාමරේ ඉන්නවාද?”
‘‘ඉන්නවා ඇයි මොකටද?”
‘‘නැ මේ මට පොඞ්ඩක් හම්බවෙන්න.”
‘‘දැන්නම් එයාව මුණගැහෙන්න බැරිවෙයි.”
‘‘ඇයි මිස්?”
‘‘ඔයා ආපු කාරණාව කිව්වානම්.”
‘‘එක මගේ පෞද්ගලික කාරණාවක් මට එයාට කතාකරන්න  ඕනේ.”
‘‘එහෙම එක එක්කෙනා මැනේජර් ළ`ගට යවන්න මට බෑ. ඔයාට අවශ්‍යය කාරණාව කිව්වානම්  මට පුළුවන් යන්න දෙන්න.”

මෙතෙක් සැගවි තිබු අනුරුද්ධගේ කෝපය ක්ෂණිකව පුපුරා ගියේය.

‘‘මේ මිස් මට ඔයත් එක්ක තෙපරබබා ඉන්න විදිහක් නෑ. ඔයා යන්න එපා කිව්වත් මම යනවා.”

කී ඔහු ඇගේ රිසෙප්ෂන් මේසයට පසෙකින්වු දොර හැරගෙන මැනේජර්ගේ කාමරයට පිවිසුනේය.
අනුරුද්ධගේ ආගමනයෙන් තීගැස්සුනු මැනේජර් මහතා තමා බියට පත් වූ බව නොපෙන්වීමට මෙන් ආරූඬ කරගත් හඬකින්.

‘‘ඇයි?”
‘‘මැනේජර් මහත්තයා මම තමයි මේන්ගේට් එකේ සිකුරිටි.”
‘‘ඔව් මම දන්නවා ඉතිං එ් නිසාද තමුසේ කවුරුන්ගෙන් වත් අවසරයක් නැතිව මගේ කාමරයට කඩාබිඳගෙන ආවේ?”
එ් සමඟම කලබලයෙන් මෙන් කාමරයට බියටපත් වෙසක් මවාපාමින් දිව ආ ටෙක්ලා අනුරුද්ධට පසුපසින් සිටගත්තේය.

‘‘ඇයි ටෙක්ලා මෙයාව මගේ කාමරයට එව්වේ? මම කියලා තියෙනවා නේද මට දැනුම් නොදී කවුරුවත් කාමරයට එවන්න එපා කියලා?”
‘‘මම යන්න එපා කිව්වා සර්. මම කියන එක අහන්නේ නැතිවයි මෙයා ආවේ.”
අනුරුද්ධ වචන ගලපාගන්නට ප‍්‍රථම ඈ කීවාය.

‘‘සර් මේ මිස්ගේ වැරුද්දක් නෑ. මමයි ආවේ. අවසර නැතිව ආපු එක වැරුද්දක් වෙන්න ඇති එ්ත් සර්ට කියන්න  ඕනේ එක මේ මිස්ට කියලා වැඩැක් නෑනේ. දැන් අදටත් එක්ක දවස් තුනක් මම මේ සිකුරිටි සුට් එක ඇඳන් රෑ දවල් නොබලා සේවය කරනවා. සර් දන්නවාද අද උදේට කෑම තියා තේ වතුර උගුරක්වත් බිව්වේ නැති බව?”
‘‘වට්?”
‘‘හැමදාම කියන්නේ හෙට උදේට වෙන කෙනෙක් එවන්නම් කියලා. මේ රස්සාව දමලාගහලා යන්න ඉස්සරවෙලා ආවේ නොකියා යන එක හරි නැති හින්දා සර්ට කියලා යන්නයි.”
‘‘අයිසේ මම දන්නේ නැහැනේ. කෝ තමුසෙලාගේ අනෙක් සිකුරිටි ඔපිසර් සෝමපාල?”
‘‘එයා දැන් ඉස්පිරිතාලේ. එයා ඉස්පිරිතාලේ නතර කරපුදා ඉඳලා තමයි මේ ඩියුටිය කරන්න වෙලා තියෙන්නේ. ”
‘‘හරි මම මේ ගැන හොයලා බලන්නම්. කෝ දැන් මේන්ගේට් එක ඇරලා දාලාද ආවේ ? ”
‘‘නැහැ සර් ලොක් කරලා.”
‘‘එහෙනම් දැන් ගේට්ටුව අරිනකම් ආපු වාහන හෝන් කරනවා ඇති. එහෙනම් ආයෙත් එතන ඩියුටියට යනවා.”
‘‘දැන් දවස් දෙකක් තිස්සේ නිදිමරලා හිටගෙන ඉන්න බැරි තරමට තෙහෙට්ටුයි.   ඇගේපතේ පණක් නැතිව මේ විදිහට ඩියුටි කරන්න බෑ සර්. මෙහෙම ගියොත් මටත් වෙන්නේ සෝමපාල අයියා වාගේ ඉස්පිරිතාලේ ඉන්නයි. මම මෙතැනින් අස්වෙලා ගෙදර යනවා සර්.”
‘‘තමුසේ කලබල නොවී තව පැයක් විතර ඉවසලා ඉන්නවාකෝ මම මේක විසදනකම්, එතකම් ගිහින් තමන්ගේ ඩියුටිය කරනවා. දැනටමත් අරහේ ගේට් එක කඩන්න හදනවාද දන්නේ නෑ.”
‘‘නෑ සර්, මම හිත හදාගෙන ඉන්නේ ගෙදර යන්න. කවුරු හරි එහෙන් එවනකං මේ වැඩ පොලේ කවුරුහරි ගේට්ටුවට දාන්න.”
‘‘අයිසේ මම දැන් එක සැරයක් කිව්වානේ මම මේක විසදන්නම් කියලා. තමුසේට  ඕනේ  ඕනේ වෙලාවට රාජකාරි දාලා යන්න බැහැ, හරි දැන් යනවා ඩියුටියට.”
අනුරුද්ධ නොකැමැත්තෙන් වුවත් හිස සලා ප‍්‍රධාන ගේට්ටුවේ සිකුරිටි කූඩුවට පිය නැගීය.
‘‘ටෙක්ලා මේ දැන්ම මට සිකුරිටි සර්විස් එකට කොල් එකක් අරගෙන දෙන්න. එ් ගමන්ම වීරසිරි අතේ අර ළමයාට කන්න මොනවා හරි ටිකකුයි තේ ටිකකුයි අරින්න.”

                 ඉඳි ආප්ප මුල හා ප්ලෙන්ටියෙන් අනුරුද්ධගේ ඇඟට පණක් එන්නට අඬපැයක් පමණ ගතවිය. හෝරාවක් ගතවෙන්නට මත්තෙන් මැනේජර් මහත්තයාගෙන් හොඳහැටි බැනුම් ඇසු විසිටින් ඔපිසර් නිවුටන් ඩියුටි භාරදීමට කෙනෙකුක් නංවාගෙන පැමිණියේ මේ අතරවාරයේදිය.

‘‘තමුසේ හරි මිනිහෙක් තමයි ඇයි  ඕයි මැනේජර්යාට  ඕනේ නැති එවා කියන්න ගියේ? මම කිව්වානේ තමුසෙව රිලිස් කරන්න උදේට කෙනෙක් ගේනවා කියලා.”
‘‘දැන් කොහෙද උදේ? තව පැයකින් දවල් දොලහයි.”
‘‘හරි අයිසේ තාම දවල් වුනේ නැහැනේ.”
‘‘මම එහෙම කිව්වේ නැත්නම් නිවුටන් සර් මෙයාව අරගෙන මේ වේලාවටවත් එයිද? තවත් මට බොරු කරන්න එපා.”
‘‘තමුසෙලාත් පොඞ්ඩක් ඉවසන්න පුරුදුවෙනවා. පොඞ්ඩ බැරිවෙන්න දඟලන්නේ. මම කියලා මොනවා කරන්නද  ඕයි ගෙදර ගිය උන් ඇවිල්ලාත් නෑ. අකුරු දන්න එකෙක් නැතිව වෙන එකෙක්ව මේකේ ගේට්ටුවට දාන්න බැහැනේ. අයිසේ ගුණදාස තමුසේ මෙයාගෙන් ගේට්ටුවේ යතුර භාරගන්නවා. මෙයා හවසට එයි, එ් ආවාම තමුසේ  ඕෆ් වෙනවා. හරිද? අනුරුද්ධ තමුසේ දැන් ගිහින් හවසට වරද්දන්නේ නැතිව නයිට් ඩියුටියට එනවා.”
කී නිවුටන් මොටර් සයිකලයේ නැගි ඉක්මනින් පිටත්වුනි. හීන්දෑරි වියපත් මිනිසෙකු වූ ගුණදාස නිදි මැරීමෙන් තඩිස්සි වූ දැසින් අනුරුද්ධ දෙස බැලීය.

‘‘මල්ලි මොකද වුනේ?”
‘‘මොනා වෙන්නද ඔයාව එක්කන් ආවේ නැත්නම් මම අදත් මෙතන.”
‘‘ඒ කියන්නේ ඔය මල්ලි දිගටම ඩියුටිය ඇද්දාද?”
‘‘නැතිව. අදටත් එක්ක දවස් තුනයි.”
‘‘මමත් මේ ඊයේ උදේ ඩියුටියට ආපුගමන්. නයිට් එකත් කරන්න උනා.”
‘‘කොහේද? ”
‘‘අර බොරලැස්ගමුවේ නිව් ලයින් ගාමන්ට් එකේ.”
කතාබහ අතරතුරේදි ගේට්ටුවේ යතුරත් වාහන අංක ලියු පොත්පත් ආදියත් ගුණදාසට ලබාදුන් අනුරුද්ධ පිටවයාමට පෙර මනේජර් මහත්තයා හමුවිය.
‘‘සර් වෙන කෙනෙක් ආවා. මම  ඕෆ් වෙන්න කියලා.”
‘‘ආ හරි තමුසේ ගිහිල්ලා එනවා.”
‘‘සර් මේ සර් තරහා නැතිව මට කීයක් හරි දෙනවාද? බෝඩිමට යන්න බස් වියදමවත් නෑ.”
අනුරුද්ධ දෙස විමසිලිමත් බැල්මක් හෙලූ මැනේජර් මහත්තයා
‘‘කීයක්ද  ඕනේ?”
‘‘රුපියල් දාහක් විතර.”
‘‘ඇයි අයිසේ දැන් ඉල්ලූවේ බස් වියදම විතරයිනේ? ඇයි දැන් දාහක් ඉල්ලන්නේ. තමුසෙලාගේ සිකුරිටි සර්විස් එකෙන් ඇඞ්වාන්ස් දෙන්නෙ නැද්ද?”
‘‘සල්ලි ගන්න ඔපිස් ගානේ යන්න වෙලා මදි සර්. අද දවල්ට කන්නවත් මා ගාව සල්ලි නෑ. සර්ට පුළුවන්නම් දෙන්න.”
‘‘යනවා යනවා ගිහිල්ලා එකවුන්ට්ස් එකේ කැෂියර් මහත්තයාගෙන් රුපියල් දාහක් ඉල්ලගන්නවා. ඔය සල්ලි පිනට දුන්නා නෙමෙයි. මම තමුසෙලාගේ සර්විස් එකෙන් අඩුකරගන්නවා. ඒක තමුසෙගේ පඩියෙන් කපාගනියි.”
‘‘කමක් නෑ සර්. සර්ට බොහෝම ස්තුතියි.”

               ඉක්මනින් පැක්ටේරියෙන් පිටවු අනුරුද්ධ බසයක නැගී බෝඩිම වෙත ගියේ හොඳින් නාගෙන නිදාගැනීමටය. මඟින් මඟට ඔහුගේ සිතේ විවිධාකාර සිතුවිලි පහළවී පෙරලි කරන්නට විය. සිතුවිලි අරගලයකට මැදි වී සිටි හෙතෙම තම නවාතැන්පොල වෙත ළඟාවෙද්දි තීිරණයකට එළැඹියේ පෙරලිකාර සිතුවිලි වලින් එක් පාර්ශවයකට ජයග‍්‍රහණය අත්කර දෙමිනි. යුනිෆෝමය බාර දී මාසයේ වැඩකළ දින ගණනටවත් පඩි සල්ලි ගැනීමට සිකුරිටි එ්ජන්සියට ගියහොත් අද දින මෙයින් ගැලවී ගෙදරයාමට හැකි නොවන බව ඔහුට අවබෝධ විය. දහඩිය වැකුනු යුනිෆෝමය නවා මේසය මත තැබු එන අතරමගදි ගත් බත් පාර්සලයෙන් බඩකට පුරවාගත් ඔහු තම බෑගයට අනෙක් ඇඳුම් අසුරවා තැබුයේ රෑ   බසයෙන්  ගෙදරයාමටය. බූරු ඇඳේ ඇලවූ අනුරුද්ධ නිදිමත එනතෙක් මකුණුදැල් පිරුණු රටඋළු වහලය දිහා බලාගෙන කල්පනාවක නිරත විය. ඇෙඟ්පතේ තෙහෙට්ටුව විසින් නින්ද පලවාහැරියා සේය. අනුරුද්ධට යළිත් අම්මා හා නංගි මතක් විය.

‘‘උඔ ගෙදර වරෙන් පුතේ. ඔය රට රාජ්ජවල නොකානොබී නිදිමරලා වැඩැක් තියේද උඔට මොනාහරි උනොත්. පිරිමියෙකුට කියලා උන්නේ උඔ විතරයි.”
‘‘අයියා ගෙදර එන්න. මෙච්චර ඉගෙනගත්ත අයියාට ගැලැපෙන්නේ නෑ ඔය සිකුරිටි රස්සාවල්. පහල ගෙදර නැන්දත් පහුගියදාක ආවේලේ සිකුරිටි රස්සාවල් කරන්න ඔච්චර ඉගෙන ගත්තේ මොකටදැයි කිව්වේ ”

             අඬ නින්දේ සිටි ඔහුට තව තවත් විවිධාකාර පුද්ගලයින්ගේ මුහුණු මැවී නොපෙනීයන්නට විය. එ්වා සිහිනයන්ට එකතුකරමින් නින්ද විසින් අනුරුද්ධව වෙලාගත්තේය. තද පිපාසයක් දැනි ඔහු අවදිවන විටත් බිම්කලූවර වැටෙමින් තිබුනි. ඉක්මනින් ඇදපැලදගත් අනුරුද්ධ පසෙක නවා තිබු සිකුරිටි යුනිෆෝමය අතට ගත්තේය. තමා එනතෙක් පාරදිහා නෙත් යොමාගෙන සිටින ගුණදාසගේ තලෙලූ තෙල් වැකුණු මුහුණ සිහියට නැගුනි.

‘‘ඩියුටියට පෙරේද උදේ ආවට පස්සේ රෑ එකත් අදින්න වුනා. ඊට පස්සේ උදේ එකත් අදිනකොට තමයි මාව මෙහෙට ගෙනත් දැම්මේ. තාම මට ගෙදරට කියන්නත් බැරිවුනා අදත් ගෙදර එන්නේ නෑ කියලා. ගෙයි හරියේ උයන පිහින දේවලූත් තිබුනේ නෑ. පොඩිවුන් දෙන්නා දවල්ට මොනවා රත්කරන් කෑවද මන්දා.”
‘‘ඇයි අයියාගේ පවුල නැද්ද?”
‘‘එයාට පිලිකාවක් හැදිලා දැන් ඉන්නේ මහරගම පිලිකා රෝහලේ. ඊයේ හවස බලන්න යන්නයි හිතාගෙන උන්නේ. කමක් නෑ මල්ලි අද හවසටවත් යනවා. අනේ මල්ලි හවසට එනවා නේද?”

අනුරුද්ධ දෙසට බැගෑපත් බැල්මක් හෙලමින් ඉල්ලා සිටිය ගුණදාසගේ වදන් අනුරුද්ධගේ දෙසවන පුරා දෝංකාර දෙන්නට පටන්ගත්තේය.
කරේ එල්ලාගෙන සිටි ඇඳුම් බෑගය මේසය මත තැබු අනුරුද්ධ සිකුරිටි යුනිෆෝමය කලූපැහැති ෂොපින් කවරයේ රුවාගෙන කාමරයෙන් එළියට බැස්සේය.    
   

27 comments:

  1. ඔය පින්තූරේ ඉන්නේ ලෝකයේ සතුටින්ම සිටිනා මිනිසා...

    මෝනිස් එකේ ආතල් සිකියුරිටි...

    ReplyDelete
    Replies
    1. ලෝකෙට පෙන්න සතුටින් ඉන්නවා වෙන්න පුළුවන්. මොන ආතල් එකේ උනත් හිනාව යටින් ඇතුලෙන් එන ගැඹුරුශෝකාකූල බැල්මක් තියෙනවා නේද?

      ලිපියට සිකුරිටි ගාඩ් කෙනෙකුගේ පින්තුරයක් හොයද්දි මේක දැකලයි දැම්මේ.

      Delete
    2. https://www.youtube.com/watch?v=kIwk5M6fp-g

      Delete
  2. කතාව මරු බං , පල්ලෙහා ලෙවල් එකේ හැම එකාගෙම ජීවිතවල තියන අසරනකම

    ReplyDelete
    Replies
    1. ඉහළ පහළ වෙනසක් නෑ බං අපි හැමෝම අසරණ වෙන වේලාවල් ගොඩාක් තියෙනවා. මිනිස්සුන්ගේ අසරණකම් ගැන අවබෝධයක් අනුකම්පාවක් ඇතිව ජීවත්විම තමයි වටින්නේ.

      Delete
  3. https://kolompure.blogspot.com/2016/11/blog-post_20.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed:+-Colombo+(+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B7%8A+-+Colombo)

    හෙන දිග එකක් එන්නේ මොකැ බං එඩ්රස් එකේ

    ReplyDelete
  4. පෞද්ගලික ආරක්ෂක සේවයේ යෙදෙන බොහෝ දෙනෙකුගේ මේ ඉරණම ගැන මා දැනගත්තේ සෑහෙන කලකට ඉහතදී.

    ReplyDelete
    Replies
    1. මේකත් එක්තරා වහල් සේවයක් තමයි. රාජ්‍ය ආරක්ෂක අංශයේ රස්සාවෙන් පස්සේ බොහෝ දෙනෙකුට උරුම වෙන ඉරනම තමයි මේ සිකුරිටි ජොබ් එක. විචාරකතුමා දන්න දේවලුත් ලිපියක් විදිහට පලකොරෙත් නරකද?

      Delete
  5. ගමෙන් ඇවිල්ල කොළඹ රස්සාවල් කරන බොහෝ දෙනෙක්ගෙ ඉරණම ඔයාකාර තමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. නැති බැරි කමට රස්සාවක් කරන්න ආවත් ඔය ඉන්නෙත් මනුස්සයෙක් කියලා හිතන අයත් අඩුයි.

      Delete
  6. සිකුරුටි ජොබ් නම් හම්මෝ... ලොක්කො හිතන්නෙ ඔය එකතැන ඉඳගන ඉන්න එක ඕන ගොනෙකුට කොරන්න පුළුවන් නෙ.ඉතින් මොකටද ගෙවන්නෙ කියලා.ඉතින් මනුස්ස සරීරෙකට ඔරොත්තු නොදෙන තරම් ශිෆ්ට් අදින්න ඕනෙ ගානක් අතට එන්න නම්.
    ඒ මදිවට වෙන හොරකම්?
    එව්ව නවත්තන්න ගියොත් අඩි.කරන්න දුන්නොත් පොලිසි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි ගස්. වහල් සේවය හා ශ‍්‍රමය සුරා කෑමේ එක් අංශයක රැකියාවක් .

      Delete
  7. ලිපියක් මඟඇරිලා මට... මේ දවස්වල විභාගෙ හන්දා මොකවත් කියවන්න බැරි උනා... සිකියුරිටි ජොබ් එකත් හිතන තරන් ලේසි නෑ... ලොකු වගකීමක්...

    ReplyDelete
    Replies
    1. විභාගේ හින්දා වෙන්නැති වාසිතය අප්ඩේට් වුනේ නැත්තේ. විභාගෙන් ජය වේවායි පතනවා.

      Delete
  8. මේ මිනිසුන්ගේ කතා බොහොම සංවේදියි. මේ රස්සාව කරන අයව මම ආශ්‍රය කරලා තියෙනවා. ඒ වගේ අමතක නොවෙන මිනිසුන් කිහිප දෙනෙක් ඉන්නවා. දෙපැත්තකින් බැට කනවා.

    ReplyDelete
    Replies
    1. ආශ‍්‍රය කරලා බැලුවොත් සමහරුන් හොදට ඉගෙන ගත්තු උදවිය. රස්සාවක් නැති කමට තමයි කිසිම පහසුකමක් නැති ගාඩ් පොස්ට් එකකට වෙලා මදුරුවෝ කකා දුක්විදින්නේ.

      Delete
  9. අදයි දැක්කේ. බොහොම අපූරුයි. A/L ඉවර කරලා ගන්දබ්බ කාලේ කුලියාපිටියේ ගාමන්ට් එකක් අයිති කොරියන් කාරයෙකුට ඩ්‍රයිවින් ජොබ් එකක් කරපු විදිහ මතක් උනා. උදේ පාන්දර ලොක්කව ගාමන්ට් එකට ගෙනත් දැම්මයින් පස්සේ කාලේ ගෙව්වේ සිකුරිටිගේ කාඹරේ.

    මුල ඉඳලා කියෝලා එන්නම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙලොම්පුරේට ගොඩවැදුනාට. අත්දැකිම් ටිකත් පාරදිගේ ලිපියක් විදිහට පලකෙරුවෙත් නරකද?

      Delete
  10. හදවතට දැනෙන කතාවක්. ගුණදාස වගේ අසරණයෙක් දිහා බලන්නේ අනුරුද්ධ - ඒ වගේම අසරණ වුන ටහ්ව්ටැහැ අයෙක්.

    ReplyDelete
    Replies
    1. මාගේ පියාගේ යහළුවෙක් ආර්ථික අතින් පහතට වැටුන කාලයක රස්සාවක් විදිහට කලේ සිකුරිටි ජොබ් එක. ඔය විදිහට දවස් ගානක් ජොබ් එක තනියම කරන්න වුන නිසා රස්සාව දාලා ආව විත්තිය මාත් එක්ක කිව්වා. ඇත්තටම මේක කතාවක් විදිහට ගෙතුවේ දහදිය සිත්තම් නිර්මාණ තරගයට. තරගෙන් නම් ජයක් ලැබුනේ නැතිවුනත් අජිත් මහතානෙනි ඔබගේ හදවතට දැනුනානම් මගේ නිර්මාණය සාර්ථකයි. ස්තූතියි.

      Delete
    2. අර උඩ වචනේ තවත් කියල ලියවෙන්න ඕනේ. මට හිතෙන විධිහට මේ නිර්මාණය සාර්ථකයි. මේක මුලින්ම දැකල තිබ්බේ අටමා. මම හිතන්නේ අපි දෙන්නම මේක නිර්දේශ කරනවා කියල 2017 ට.

      Delete
    3. දිරිගැන්විම තමයි තවත් සාර්ථක නිර්මාණයන්ට මග පෙන්වන්නේ.
      ඔබ දෙපලටම බොහෝම ස්තූතියි.

      Delete
  11. හැම තැනම පේන ඒත් හිතන්නෙ නැති කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඔබගේ කතාව ඇත්ත තමයි. පෙනුනත් හිතන්න වේලාවක් නෑ මද්දා, අපි ඔක්කෝම මේ පාරිභෝජන සමාජයේ ෆුල් බිසී වෙලා නේද?

      Delete
  12. බොහොමයක් ජීවිත අස්සේ හැංගිලා තියෙන ඇත්ත..................

    අදයි මේ පැත්තට ආවේ කොලොම්...... සින්ඩියට දා ගත්තා.... ජයවේවා

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. කුරුටුවත් බොහෝම සාදරෙන් පිලිගන්නවා. සින්ඩියට දාගත්තාට බොහොම ස්තූතියි.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න