Wednesday, December 30, 2020

පළිගු කිරිල්ලී - අවසාන කොටස

 බදුල්ල බස් නැවතුමේ නතර කෙරූ බසයෙන් බැසගත් විගසමවාගේ ඇඟපතෙන් නැඟ ආ විඩාව ඉවසිය නොහැකි සේ දැනෙන්නට විය. ගතට ප්‍රාණයක් නොමැතිව අබල දුබලවූයේ දෙදිනකින් කුසට හරිහමන් කෑමක් නොවැටනු හෙයිණි. නැගෙන මහන්සි සහගත තෙහෙට්ටුව හා හිස රුදාව අප්‍රාණික සිරුරට ගෙන දුන්නේ දැඬි අපහසුතාවයකි. යටපත්වූ උණ යළිත් මතුව එන්නට වෙර දරන්නාක් සේ දැනුනායින් කඩයකින් ගත් පැනඩොල් පෙති දෙකක් මුවට දමාගත්තා ය. බෝඩිමෙන් පිටව නිවසට අවුත් ගතවන දෙවන දිනයේදී උණ රෝගය අඩුවූවත් සිරුර වසාගත් අප්‍රාණික කෙඩෙත්තුව අඩුව ගොස් නොතිබුණි. කිසිම දෙයකට නොනැමනෙන තම චිත්ත ධෛර්යත් දැඬි අධිෂ්ටානයත් පෙරදැරිකරගත් ඉන්දිරා තම අරමුණ කරා ගමන් කරන්නට උත්සාහ කළා ය. ගත පමණක් නොව සිතද දැඬිව ගිලන්ව තිබූ මෙහොතක හල්දුම්මුල්ලේ නිවසට ආ ඉන්දිරාගෙන් උණ රෝගය බෝ නොවෙන්නට අම්මා සිටින කාමරයට නොයන ලෙසින් සුදු නැන්දා කොතෙක් අවවාද උපදෙස් දුන්නද මල්ෂා ඒවා ගණන් නොගෙන තමා වටා දැවටෙන්නට වූ අයුරු සිහියට ආවේය. 

        ඈ තම දෙපා ඉක්මන් කළා ය. කිහිප දෙනෙකුගෙන් මඟතොට අසාගත් පසුව නියමිත ස්ථානයට ඉක්මනින් ළඟාවන්න ඈට හැකිවුණි. ගොවිජන සේවා මධ්‍යස්ථානය පිහිටා තිබූ ගොඩනැගිල්ල ඉදිරිපිට සිටගත් ඈ ඒ දෙස මඳක් බලා සිටියා ය. සිත තුළ ව්‍යාකූල නොසන්සුන් කමක් හටගත්තේ මානෙල්ට මුහුණ දීමේ අපහසුතාවය හේතුවෙන්ය. නිලන්ත කියූ පරිදි මානෙල් මාන්නාධික සැරපරුෂ ගැහැණියක් විය හැකියැයි සිතුණි. තම සැමියා සමඟින් යහන්ගතවූ වෙසඟනක් ලෙසින් ඇගේ ද්වේෂයට හා මධ්‍යස්ථානයේ සියල්ලන්ගේ සමච්චලයට ලක්වන්නට සිදුවෙතැයි උපවිඥානයේ සිතුවිලි තර්ක කරන්නට විය. මෙපමණ දුරක් පැමිණ හැරීයන්නට නොකැමැත්තෙන් වෙන දෙයක් සිදුවෙද්දෙන් සිතාගත් ඉන්දිරා මධ්‍යස්ථානය දෙසට දෙපා එසැව්වා ය. පිළිගැනීමේ නිලධාරිනියගේ සුහදශීලි සිනහව ඇගේ චකිතය මඳක් අඩු කෙරිණ. 

“මිස් මේ ඔෆිස් එකේ මානෙල් ගමගේ කියලා මිස් කෙනෙක් ඉන්නවාද?”

“මානෙල්? මානෙල් ගමගේ කියලා කෙනෙක් නම් නෑ ඒත් මල්ලිකා ගමගේ කියලා ඇග්රිකල්චර් ඇසිස්ටන් කෙනෙක් ඉන්නවා.”

“ආ මට වැරදුනා මල්ලිකා ගමගේ තමයි. මට එයාව මුණ ගැහෙන්න පුළුවනිද?”

“මෙතන දොරෙන් ඇතුලට ගිහිල්ලා දෙවන කාමරේට යන්න එතැන තුන්වන මේසේ මල්ලිකා මිස් ඉන්නේ.”

“බොහෝම ස්තුතියි.”

ඉන්දිරා ඈට සිනහවකින් සංග්‍රහ කර ඉදිරියට ඇදුණි. දෙවන කාමරයට අසළට එද්දීම හෘද ස්පන්දනය වේගවත් වී යනු දැනෙන්නට විය. මල්ලිකා මිස්ට තම අනන්‍යතාවය කෙසේ පවසන්නදැයි ඉන්දිරාට සිතාගත නොවී ය. බදුල්ලට එන්නට තිබූ ඕනෑකමත් උනන්දුවත් ධෛර්යත් මේවන විට සිඳිගොස් ඇති බව ඉන්දිරාට පසක්වුණි. ආපසු හැරී යන්නට සිතුනත් දැන් එයට අවස්ථාව නොවන බව දැනුනේ එකා දෙන්නාගේ විමසිල්ලට ඈ ලක්වූ බැවින්ය. ඈ හිමිහිට තුන්වන මේසය අසළට ඇවිද ගියා ය. කහපැහැති කුඩා මල් වැටුනු සාරියක් ඇද සිටි මල්ලිකාගේ තළෙලු බව ඉන්දිරාගේ නෙතට අසුවිය. ඉන්දිරා මේසය අසළට පැමිණ සිට ගත්තත් එවගක් නොදැන මල්ලිකා පෙරළාගත් ෆයිල් කවරයක රාජකාරි කටයුත්තක යෙදී සිටියා ය.

“මේ මල්ලිකා මිස්ද?”

ඈ තම කුඩා වටකුරු මුහුණ ඔසවා බැලීය. ඇගෙන් දිස්වූයේ ප්‍රියමනාප සුහදශීලිභාවයකි. 

“ඔව්.”

ඈ ප්‍රශ්නාර්ථයක් මුහුණට නගා ගනිමින් සුහඳව සිනාසුණි.

“මම ආවේ මිස්ව මුණගැහෙන්න.”

“වාඩිවෙන්න.”

ඉන්දිරා ඇගේ මේසය ඉදිරිපිට තිබූ පුටුවේ වාඩිගත්තේ අවට දෙස බලමින්ය. වෙනත් මේසයන්ගේ රාජකාරි කරන මැදිවියේ ගැහැණු පිරිමි එකා දෙන්නාගේ විමසුම් දෙනෙත් වලට තමන් නිරික්ෂණයට අසුවෙනවා ඉන්දිරාට පෙනුණි.

“ඔව් මොකක්ද උවමනාව?”

“මට මිස් එක්ක පොඞ්ඩක් කතා කරන්න ඕනේ. එත් මෙතන කතා කරන්න බෑ. මේක පෞද්ගලික කතාවක්”

ඈ හිමිහිට කීවාය. එම වදන් ඇසූ විගසින්ම මල්ලිකාගේ කුඩා වටකුරු මුහුණ හැකිලී කලුව යනු අයුරු ඉන්දිරා දුටීය. 

“එහෙනම් අපි එළියට ගිහිල්ලා මොනවා හරි බොනගමන් කතා කරමු.”

කී මල්ලිකා තම අසුනින් නැගිටගොස් මේස කිහිපයක් එහායින් සිටි තැනැත්තෙක්ට කුමක්දෝ පවසා ඉන්දිරාට අතින් සන් කළේ ඈ හා එන ලෙසිණි.  ඉන්දිරා ද මල්ලිකා පිටුපසින් ගමන් කළේ හිතේ දෙගිඩියාවෙන් යුතුවය. ගොවිජන සේවා මධ්‍යස්ථාන ගොඩනැගිල්ලෙන් පිටතට ආ ඔවුන් පාරෙන් එහා පැත්තේ තිබුනු කුඩා හෝටලයකට ගොඩවීය. එකෙකු දෙන්නෙකු හැරෙන්නට වැඩිය සෙනගක් නොවුන හෝටලයේ නිසකලංක තැනක් සොයා එහි වාඩිගත්හ. වේටර් එනතෙක් ඉන්දිරා තම කතාව ප්‍රමාද කළ අතර මල්ලිකා තේ ඇනවුම් කළා ය. තම කතාව කෙසේ පටන්ගන්නදැයි සිතාගත නොහැකිව කැළඹිල්ලෙන් හුන් ඉන්දිරා මේස රෙද්දේ වූ ඉරක් උඩින් තම ඇඟිල්ල එහා මෙහා කරන්නට විය.

“ඔයා කව්ද? මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ?”

තවදුරටත් නිහැඬියාව දෙස බලා නොහැකිවූ මල්ලිකා ඇසුවාය. සිතේ මෙතෙක් වේලාවක් දරාගෙන තිබූ සියලු දුක්ඛ දෝමනස්සයින් පිටකරවන්නට මෙන් ඉන්දිරාගේ දෙනෙත් කඳුලින් පිරීගියේය. ඉන්දිරා තමා කවුදැයි හඳුන්වාදෙමින් නිලන්ත කොළඹ යන බසයේදී හමුවූ අහඹු ආකාරයද විස්තර කළා ය. ඔහු මෙතෙක් කරන කියන කරන ලද සියල්ල බොරුබව සැක කිරීමත් සමඟින් මෙම සම්බන්ධය නවතාලන්නට උත්සාහ කළද නිලන්තගේ අයාචනා කරදර කිරීම් මෙන්ම තර්ජනය කිරීම්ද මල්ලිකාට පැවසීය. ඉන්දිරා එක හුස්මට කියාගෙන කියාගෙන ගිය කතාව අවසානයේදී මල්ලිකාගේ දෙනුවන් ද කඳුලින් තෙමීගොස් තිබුණි. ගැඹුරු හුස්මක් ගත් ඕ තම දෙනෙත් පිසදාගත්තීය.  

“ඉන්දිරා නංගි”

මල්ලිකා ඉන්දිරාගේ දෑත් තදින් අල්ලා ගනිමින් ඈ කරුණාවන්ත ලෙසින් ඇමතුවා ය. 

“ඔයාට කවුද කිව්වේ මම මෙහේ වැඩකරන බව.”

“ප්‍රසාද්.” 

“ප්‍රසාද් මාව දන්නවා. එයා අපේ ගෙදරත් ඇවිල්ලා තියෙනවා කිහිප සැරයක්. එයත් දැනුවත්වද මේ කැත වැඬේට හවුල් වෙලා තියෙන්නේ?”

“එයාට මුකුත් කියන්න එපා. ප්‍රසාදුත් අසරණයි නිලන්ත කරන වැඩ හින්දා.”

“ඒත් එයාට තිබුනා නිලන්ත කරන්නේ වැරදි වැඩක් නිසා ඒවාට උදව් නොකර ඉන්න. එහෙම නැත්නම් ඔයාට හරි මට හරි මේ ගැන හොරෙන් දන්වන්න. කමක් නෑ දැන්වත් ඔයා ඇත්ත දැන ගත්තානේ.”

“එත් මට බයයි මල්ලිකා මිස්. ”

“මොකට බයවෙන්නද?”

“මට බය ප්‍රසාද් මිස් ගැන විස්තර කියලා තියෙනවා නිලන්ත දැනගත්තොත් මේවා කොහෙන් කෙලවරවෙයිද කියලා.”

“නෑ ඔයා බයවෙන්න එපා. මම ඔයාට කරදරයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. අනික ප්‍රසාද්වත් මේකට ගාවන්නෙත් නෑ. මේ නිලන්තගේ කපටි කැත වැඬේට අහුවෙච්චි පළවෙනි කෙල්ල ඔයා නෙමෙයි.”

ඉන්දිරාගේ සිත පාරවාගෙන යන්නට එම වදන් සමත්විණි.

“පළවෙනියා මම නෙමෙයි නම් මීට ඉස්සරත් එයා කෙල්ලන්ව රවට්ටලා අමාරුවේ දාලා තියෙනවා? එහෙනම් මිස් ඔයාත් දන්නවා නිලන්ත මේ වාගේ කැත වැඩකරනවා කියලා?”

“ඔව්. මටත් මීට ඉස්සරින්නුත් මේ වගේ දේවල් දැනගන්න ලැබුණා. මම එයාගෙන් අයින්වෙලා දික්කසාද කරන්නයි හැදුවේ. ආයෙමත් ඒවාගේ වැඩ කරන්නේ නෑ කියලා දිවුරලා කිව්ව නිසා තමයි එයාට සමාව දුන්නේ. මම මේතරම් හරි ඉවසලා ඉන්නේ මගේ දරුවාට තාත්තා කෙනෙක් ඕනේ හින්දයි.”

“ඔයාලට දරුවෙකුත් ඉන්නවා.”

“ඔව් ඉන්නවා. අවුරුදු හයක.”

“මමත් දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. මට සමාවෙන්න මල්ලිකා මිස්. මමත් වැරදිකාරියෙක් තමයි ඒත් එයා මගේ අසරණකමෙන් ප්‍රයෝජන ගත්තා. මම ඔයාට ද්‍රෝහිවුනේ නෑ. නිලන්ත කියපු දේවල් ඔක්කෝම ඇත්තයි කියලා විශ්වාස කළා. ඒ මදිවට නිලන්ත අපේ අම්මාව මුණගැහිලා එයාගෙනුත් අවසර ගත්තා අපේ සම්බන්දෙට.”

ඉන්දිරා තම දෙකපුල් දිගේ රූරා හැලෙන කඳුළු වැල් පිසදමමින් කීවා ය.

“ඔයා වැරදිකාරියෙක් කියලා මම කියන්නේ නෑ. මගේ කසාද මිනිහා වුනත් නිලන්ත කියන සල්ලාලයා ගේ වනචරකමට මට ඔයාත් එක්ක තරහාවෙන්නවත් වෛරකරන්නවත් ඕනේ කමක් නෑ.”

“මම හිතුවේම නෑ ඔයා මෙච්චර හොඳ කෙනෙක්ය කියලා. ඔයා හමුදාවේ ඉහළ නිලධාරියෝ එක්ක බුදියන මහ වනචර ගෑණියෙක් විදිහටයි එයා කියලා තිබුනේ.”

“නිලන්ත හැසිරෙන්නේ බෝධිසත්වයෙක් ගාණට එත් එයා කරන වැඩවලට හමුදාවටත් ලැජ්ජාවක් අවනම්බුවක්. ඔයා කොහොමද දැන ගත්තේ මෙයා කියන්නේ බොරු කියලා?”

“නිලන්තගේ කතාවල් එක එක දවසට වෙනස්වෙන්න ගත්තා. මගේ අම්මාත් යාළුවොත් නිලන්ත කියන කතා ගැන තේරිලාද කොහේද එයාව විශ්වාස කරන්න එපා කිව්වා. අන්තිමේදී හමුදාවෙන් නිලන්තට අණ කළ නිසා ආපහු ඔයාව භාරගත්තායි කිව්වා. එහෙනම් ඔයාව භාරගෙන ඉන්නවා නම් තවත් මොකටද මම අනුන්ගේ පවුල් කඩා හීරවන්නේ කියලා තමයි එයාගේ සම්බන්දේ නතර කරන්න හැදුවේ. මේ ළඟදී ඇවිල්ලා කරදර කරලා කිව්වා එයා එක්ක සම්බන්දේ නතරකොලොත් මාව උස්සනවා කියලා.”

“මේ වාගේ දහජරා මිනිහෙක් එක්කයි මම මෙච්චර දවසක් පවුල් කෑවේ. අන්තීම සැරේ දරුවාගේ ඔළුවට අත තියලා දිව්රුවා ඒත් කරලා තියෙන්නේ ඒ ජරා වැඬේමයි. ඇත්තමයි මම ආයෙත් නම් සමාව දෙන්නේ නෑ. මේ පාර නිවාඩුවට ආවදෙන්කෝ. නිලන්තගේ කටින්ම මම අල්ලගන්නම්.”

“අනේ මල්ලිකා මිස් ඔයාලා අතර ප්‍රශ්න ඇති කරන්න නෙමෙයි මම ආවේ. මගේ මේ ගමනින් තවත් පවුල් අවුල් කරන වැඩක්වෙයිද මන්දා. අනික ප්‍රසාද්ටත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවනි.”

“ඔය මිනිහා මාව බැඳගත්තෙත්  වංචාවෙන් තමයි. මගේ අයියා හිටියෙත් හමුදාවේ. අයියාගේ යාළුකමට එයා ඒකාලේ මෙහේ කිහිප සැරයක් ඇවිල්ලා ගියා. අයියා ඔඞ්ඩුසුඩාන් වලදි මැරුනට පස්සෙත් අපේ ගෙදර එයා ආවා ගියා. මාරවිල එයාට ඇති දේපලක් නෑ. එයා දන්නවා අයියා මළාට පස්සේ අම්මලා තාත්තලාගේ දේපල වලට ඉන්න එකම උරුමක්කාරයා මම කියලා. මට ලැබෙන්න තිබුනු දේපල දැකලා ඒවාට වහ වැටිලා තමයි මාව රවට්ටගෙන බැඳගත්තේ. ඒ නිසා මෙයා මොන ගෑණි ළඟට ගියත් මාව අතහරින්න කැමති නෑ.”

“ඒත් මට බයක් දැනෙනවා මිස්.”

“ඉන්දිරා ඔයා බයවෙන්න එපා. මේ ජරා වැඬේ දැන්ම නතර නොකෙරුවොත් ඔයා වාගේම තවත් අසරණ ගෑණු ළමයෙක් දෙන්නෙක් අහුවෙයි.”

පාරේ ගමන් කරනා මිනිසුන් දෙස බලාගෙන ඉන්දිරා නිහඬව තේ කොප්පයේ අවසන් තේ උගුරු කිහිපය පානය කළාය. 

“එයා නිතරම නිවාඩුවට දියතලාවේ සමන්ලාගේ ගෙදර යනවා කියනවා. මම ඇහැව්වා ඇයි ඔයා ගෙදර යන්නේ නැතිව සමන්ගේ ගෙදර යන්නේ මොකටද සමන්ට නංගියෙක් වත් ඉන්නවාද කියලා? ”

“නිලන්ත මොකද කිව්වේ?”

“සමන්ගේ නංගි නම් එයත් එක්ක යාළුවෙන්න ආවාලු. එයා හරිම ෆාස්ට් කේස් එකක් දැඟලිල්ල වැඩියි. එයත් එක්ක යාලුවෙන්න හැදුවට ඒවගේ කෙල්ලන්ට කැමති නැති හින්දා කැමැතිවුනේ නෑ කිව්වා.”

“බලන්න ඉන්දිරා එතැනත් කියලා තියෙන බොරුව. මම තමයි සමන්ගේ නංගි. සමන් කියන්නේ මැරිච්ච මගේ අයියා.”

ඈ කේන්තියෙන් දත්කූරු සැපුවා ය.

“අනේ මිස් නිලන්ත ආයෙමත් කරදර කරන්න බෝඩිමට ආවොත් මට එතැනින් යන්නයි වෙන්නේ.”

“ඔයා බයවෙන්න එපා මම ඔයාට එයාගෙන් ආයෙත් ප්‍රශ්නයක් ඇති වෙන්න දෙන්නේ නෑ.”

මල්ලිකා අවසාන වශයෙනුත් කීවා ය. මල්ලිකා සමඟින් කළ කතාබහෙන් ඇගේ හදට යම් සැනසීමක් ලැබුණත් සිතේවූ බරගතියත් අවිනිශ්චිතභාවයත් තුරන්වූයේ නැත. මල්ලිකාට ස්තූතිකළ ඉන්දිරා හෝටලයෙන් එළියට බැස්සා ය. සිත්පතුලේ ශේෂව තිබෙනා නිලන්තගේ අවසාන මතක සැමරුම් සියල්ලත් බදුල්ලේදී මිහිදන් කරදමා එන්නට ඉන්දිරා උත්සාහ කළා ය. හල්දුම්මුල්ලෙන් බසයෙන් බැසගන්නාවිට ඉර හැරී වරු තුනක්ද පසුවී ගොස් තිබුණි. උදේට හරිහමන් කෑමක් ද නොමැතිව බදුලු ගිය ඉන්දිරාට දහවල් ආහාරයද අතපසුවූ බව මතක් විය. දැඬිව නැඟුනු කුසගින්න අඩුවීගොස් බඩ පපුව සිසාරා ඇසිඞ් හැලූ ලෙසින් අධික පිච්චිල්ලක් දැනෙන්නට පටන්ගෙන ඇති සෙයකි. වැස්සට පස් සේදීගොස් ගල් බුරුල්ව ඇති බෑවුම් පාරේ ආයාසයෙන් කන්ද නැගගත්තා ය. ඇඟපත රිදුම්දෙන අධික තොහෙට්ටුවද අප්‍රාණිකත්වයද මැදින් ඉන්දිරා නිවසට ඇවිද ආවේ ඉවසිය නොහැකි අපහසුවකිනි. ඉස්තෝප්පුවේ වේවැල් පුටුවට ඇඳවැටුනු ඈ මල්ෂාට කතාකර වතුරටිකක් ඉල්ලාගත්තා ය. මුවට ගත් වතුරටිකත් ගලනාලයෙන් පහලට ගලාගොස් කුසට එක්වූයේ දැවිල්ලක් එක්කරවමින්ය.

“උඹ කොහේ රෝන්දයක්ද ගියේ? උණ පොඞ්ඩක් අඩුවෙලා කකුල් දෙකට පණ එනකොට එක විදිහකට ඉන්න බෑ. මේ දැරිවියත් හදාගන්න බෑ උඹලාගේ නාඩගං හින්දා.”

සුදු නැන්දාගේ සිතේ පැසවමින් තිබුනු කේන්තිය ඉන්දිරා නිවසට ගොඩවූ බව දැනගත් විගසින් ඉස්තෝප්පුව පැමිණ පිටකරවන්නට පටන්ගත්තා ය. 

“අනේ සුදු නැන්දේ පොඞ්ඩක් කෑ නොගහා ඉන්නවාද මට නිකං කැරකිල්ල වගේ”

“ඇයි මොකද?උඹ උදේට කාලත් නෙමෙයි නේද ගියේ? දවල්ට කෑවද?”

ඉන්දිරා හිස සෙලෙව්වා ය. මුළු ඇඟම දහඩියෙන් තෙමුනු ඉන්දිරාගේ රත් පැහැගැන්වුනු දෑස් දෙස බලා සිටි සුදු නැන්දා පිටි අත්ල නලළට තබා ඇගේ රස්නය බැලුවා ය. 

“ඇග පොඞ්ඩක් රස්නෙයි වගේ. ඇගත් මහන්සි වෙලා තියෙන එකේ උණද කියලා කියන්න බෑ.”

“මට පැනඩෝල් පෙත්තක් දෙනවාද?”

“දවල්ට කාලත් නෑ නේද? කෑම නොකා බේත් බෙන්න හොඳ නෑ. බත් ටිකක් කාලම බොන්න.”

සුදු නැන්දා ඉන්දිරාගේ බ්ලවුසයේ උඩ බොත්තම් දෙකක් විවර කරවීය. 

“මල්ෂා දරුවෝ ඉක්මනට ඔය පත්තරයක් හරි මොකක් හරි ගෙන්න.”

මල්ෂා දුන් පත්තරය ගෙන ඉන්දිරාට පවන් සලන්නට විය.

“මට බඩගින්නක් නෑ සුදු නැන්දේ. පොඞ්ඩක් මෙහෙම හිටියාම හරියයි.”

මල්ෂාගේ වදයට බත් කටවල් දෙකක් පමණ කෑ ඉන්දිරා ඇඳට වැටී නිදන්න විය. ගමන් මහන්සිය හා ඇගේ පතේ වූ අප්‍රාණිකත්වය ඉක්මනින් නින්ද කැඳවාගත්තා ය. සුදු නැන්දා ඉක්මනින් වෙනිවැල් ගැට කෑල්ල කුඩා කැබලි වලට කපන්නට පටන්ගත්තේය. කොත්තමල්ලි කටුවැල්බටු දැමූ මුට්ටියට වෙනිවැල් ගැට කැබලි එක්කර ලිපේ තැබුවේ ඉන්දිරා අවදිවූ පසුව බොන්නට දෙන්නටය. එහෙත් කොත්තමල්ලි කොප්පය බොන්නටවත් අවදි නොවුන ඉන්දිරා තදින් නිදන්නට විය. මඳක් යටපත්ව තිබුනු උණ රෝගය ගමන් මහන්සිය නිසාවෙන් යළිඳු මතුව අවුත් රාත්‍රියේදී සහලෝලා උණගැනුන ඉන්දිරා තදින් වෙව්ලන්නට විය. සුදු නැන්දා දොස් නගමින් තබමින් තැම්බූ කොත්තමල්ලි කෝප්පය ඈ අතට දුන්නා ය. එහෙත් වෙනිවැල්ගැට කොත්තමල්ලි තැම්බු වතුරෙන් ඈ පෙලු උණ අඩුවූයේ නැත.

“උඹට මං කිව්වා ටිකක් ඇඟට පණක් එනකම් ඇඳට වෙලා ඉන්නය කියලා. කෝ ඇහැව්වායැයි. මම එපා කියද්දීම ගියා රෝන්දේ. මේක හරි යන්නේ නෑ. උඹ ලැස්තිවෙයන් ඉස්පිරිතාලේටවත් යන්න.”

“ඕනේ නෑ සුදු නැන්දේ උණ අඩුවෙලා යයි.”

“මොන අඩුවක්ද දැන් පෙන්නේ නැද්ද උඹ වේවලන හැටි. කොළඹ ඉදලා වසංගත හදාගෙන එනවා. පොඩි එකීටත් බෝවෙයිද කියලා මම බයේ ඉන්නේ.” 

එළිවෙන තෙක් සැරින් සැරේ ඉන්දිරා සීතලෙන් වෙව්ලමින් කෙඳිරි ගාන්නට විය. එළිවෙන තෙක් අවදියෙන් පසුවූ සුදු නැන්දා විනාකිරි පෙඟවූ පාන්කඩ කැබැල්ලක් ඇගේ නළල්තලය උඩ වරින් වර තබමින් සාත්තුසප්පායම් කළා ය. පාන්දරින්ම ඉන්දිරාව රැගෙන රෝහලට යන්නට ලෑස්තිවුනු සුදු නැන්දා මල්ෂාව බලාගැනීම දිනේෂ්ට පවරා නිවසින් එළියට බැස්සාය. කෙලින් සිටගන්නටවත් ප්‍රාණයක් නොමැතිව ගිය හෙයින් සුදු නැන්දාට වාරුවී කෙඳිරිනගමින් පාරතෙක් ගමන් කළේද දැඬි අපහසුවකිනි. ත්‍රීරෝද රථයක් කතා කරගත් ඈ ඉන්දිරාව කැටුව හාල්අටුතැන්නේ පිහිටි හල්දුම්මුල්ල රෝහලට පිටත්වුනි. දෙවුර පොරෝනාවකින් වසාගත් ඉන්දිරා ත්‍රීරෝද රථයේ දොරටුවෙන් එන සිසිල් සුළං පහරට දැඬි ලෙස වෙව්ලන්නට විය. උත්සන්නවූ ඇගේ රෝග තත්වය විනිශ්චය කළ දොස්තර මහතා නේවාසිකව ප්‍රතිකාර ලබන්නට සිදුවන බව පවසා ඈව දියතලාව රෝහලට ඇතුලත් කරවන්නට කටයුතු කරවීය. තවත් රෝගින් දෙදෙනෙකු සමඟ ඉන්දිරාව ගිලන් රථයකින් දියතලාව රෝහල වෙත පිටත්කර හැරියේය.  

“සුදු නැන්දේ යනින් ගමන් වැඩපලට ටෙලිග්‍රෑම් එකක් යවන්න මට උණ හින්දා ඉස්පිරිතාලේ නැවැත්තුවා කියලා” 

වාට්ටුවට ඇතුලත් කර පිටවයන්නට සැරසෙන සුදු නැන්දාගෙන් අසීරුවෙන් මෙන් දෑස් විවර කරගෙන ඈ ඉල්ලුවා ය. වාට්ටුවේ ඇඳක් මත වැතිර සිටිනා ඈට ජීවිතයේ බොහෝ සුන්දර තැන් යළිත් මතකයට නගා ගන්නට උත්සාහ කළාය. එහෙත් තම ජීවිතයේ සුන්දර මතකයන්ට වඩා අසුන්දර ගද ගහන තැන් බොහෝ ඇති බව සිහිපත්වුණි. උණ අඩුවනතෙක් රෝහලේ ටිකට් කැපීමක් නොමැති බව දන්නා ඉන්දිරාට සැර බෙහෙත් ගඳ ඉවසාගෙන අකමැත්තෙන් වුවත් එහි රැඳෙන්නට සිදුවිය. දෙදිනක් ගතවෙද්දී ඉන්දිරාගේ උණ අඩුව ගොස් තිබූ නිසා තුන්වන දිනයේදී ටිකට් කැපීය. රෝහලෙන් නිවසට ආ පසු ඉන්දිරාට අවැසිවූයේ ඇගපතේ වූ කිලිටි කුණු සෝදා යවා නා කියා ගැනීමටය. උණ සුවවී දිනක් ගතවන්නට පළමුව නාන්න හොඳ නැතිබව සුදු නැන්දාගේ අදහස වුනි. එහෙත් ඉන්දිරාගේ බලවත් ඇවටිල්ල මත ඈ වතුර මුට්ටියක් ලිප තැබුවේ ඇගපත ටිකක් සෝදා ගන්නයැයි පවසමින්ය.

“මල්ෂා ඔය වතුර හැලියට ගින්දර ටිකක් දාන්න.”

සුදු නැන්දා මල්ෂාට කීවාය. මල්ෂා ලිප් බොක්කටවී ඇවිලී යන දර පතුරු කැබලි අතරට අලුත් දර කැබලි ලිපට ඔබන්නට විය.  

“දරත් ඉවරවේගෙනයි එන්නේ සුදු ආච්චියේ.”

“දර ඉවර නොවී තියෙයිද උණුවතුර නාන්න වතුර රත් කරන්න ගියාම. හවසට වත් පයිනස් කැලේ පැත්තෙ ගිහින් දර ටිකක් එකතුකරගන්න ඕනේ.”

පවසමින් සුදු නැන්දා බැරලයෙන් වතුර පුරවාගත් බාල්දියක් එළියෙන් තැබීය. විටෙක ඈනුම්පද කියමින් සිත රිදවන සුදු නැන්දා විටෙක ඉතා කරුණාවෙන් සලකන අන්දම ගැන ඉන්දිරාට සිතා ගැන්මට අපහසු විය.  

“ඇත්තට උඹ එදා කොහේද ගියේ?”

උණු වතුර හැලිය ඇල් වතුර පිරවූ බාල්දියට හලනා ගමන් සුදු නැන්දා ඇසීය. සුදු නැන්දා නිසැකයෙන්ම තමන් ගිය ගමන් බිමන් ගැන හාරා අවුස්සන විත්තිය දැන සිටි ඉන්දිරා සිය බදුලු ගමන ගැන ඈට නොකියා සිටින්නට සිතා ගෙන තිබුණි. නිහඬව සිටිනා ඉන්දිරා දෙස විමසිලිමත් බැල්මක් හෙලූ සුදු නැන්දා ඇගේ ඇට්ටර කම ගැන සිතෙන් බැන වදිමින් බාල්දියට දැමූ උණු ජලය නියමිත ලෙසින් මිශ්‍රවි දැයි බලන්නට වුණි.

“උඹට ආයෙත් උණ වැඩිවුනේ ඔය අනවශ්‍ය ගමන් නිසා. හොඳ වේලාවට දරුවට බෝ වුනේ නැත්තේ. අපරාදේ මේ දවස් ටිකේ වැඩට යන්නත් බැරිවෙනවා.”

“එක අතකට හිතෙනවා ආයෙත් වැඩට නොගිහින් ඉන්න.”

ඉන්දිරා දිය රෙද්ද තන මත්තට ඔසවා ගනිමින් කීය. 

“ඒ මොකද? උඹට ඇතිවුනාද රස්සාවල් කිරිල්ල? නැත්තම් අර කොලුවා එපා කිව්වාද?”

“මොන කොලුවාද?”

“අර ආමිකාරයා.”

“එයත් එක්ක ඇති ගනුදෙනුවක් නෑ සුදු නැන්දේ.” 

“ඒ කියන්නේ?”

“ඌ මහ බොරුකාරයෙක්.”

බාල්දියෙන් කෝප්පයකට පුරවාගත් වතුර ඔළුවට හලා ගන්නා ගමන් ඉන්දිරා කීවා ය.

“ඔය මොකක්ද ඔය කරගත්තේ? මම කිව්වා නේද නාන්න එපා කියලා? ආයෙමත් උණ හදාගනින්. ඉක්මනට ඔළුව පිහිදාගනින්.”

“ආ... මට අමතක උනා. දැන් කමක් නෑ නාලම ඉන්නවා.”

“උඹේ ඔය ඇට්ටරකම තාම අඩුවෙලා නෑ. අම්මාගේම දුවනේ. උඹලාට හිතෙන හිතෙන දේවල් කරන හින්දා තමයි ඔයවාගේ බොරුකාරයින්ටත් රැවටෙන්නේ? හොඳ වේලාවට උඹට එක වෙලාසනින් තේරුනේ නැත්නම් තවත් එකෙක් දෙන්නෙක් එල්ලගෙන තමයි ඉන්න වෙන්නේ.”

කී සුදු නැන්දා උණුවතුර මුට්ටිය කුස්සියට රැගෙන ගියාය. උණුවතුර ස්නානයෙන් පසුව ඉන්දිරාට දැනුනේ කිව නොහැකි සනීපයකි. ඉවසිය නොහැකි කුසගින්නක්ද ඈට දැනෙන්නට විය. සුදු නැන්දා ඉක්මණින් ලුනු මිරිසක් කොටා පරිප්පු හොද්දක් සමඟින් බත් පිඟානක් ඈ අතට දුන්නා ය. දින ගණනාවකින් නොකෑ අයෙකු මෙන් බත් පිඟානම කා අවසන් කළ ඕ තවත් බත් ටිකක් ඉල්ලීය. 

“එපා දැන් ඔය ඇති. එක පාරමට ගොඩක් කන්න හොඳ නෑ. බඩ පත්තියම් වෙන්න දෙන්න ඕනේ.” 

උණුවතුර නෑමෙන් ඇතිවූ ප්‍රබෝධයත් අහරින් කුසත් පිරුනු පසු ඉන්දිරාට ඇතිවූයේ දැඬි නිදිමතකි. කෑමෙන් පසු නින්දට වැටුණු ඉන්දිරා අවදිවන විට සවස් වන්නට ආසන්න වෙමින් පැවතිණි. තවමත් පහව නොගිය නිදිමත නිසාවෙන් ඇඳේ සිටම ඈනුමක් යවා නිදිගැට හැරියා ය. තවත් ඇඳට වී සිටින්නට කුසීත කමක් දැනෙන්නට වූ නිසාම තේ එකක් බිව්වානම් හොඳයැයි ඈට සිතුණි. ඇඳෙන් බැසගත් ඕ කුස්සිය දෙසට පිය නැගුවා ය. මුළු නිවසම පාළු ස්භාවයකින් නිහැඬියාවක ගිලගෙන ඇති සෙයකි.  මුළුතැන්ගෙට යාබද කාමරයට හිස පොවා බැලූ ඈට නිදාගෙන සිටිනා පොඩි මල්ලි, දිනේෂ්ව දුටුවේය. කුස්සියට හා පිළිකන්න දෙසට ගොස් බැලුවත් මල්ෂා හා සුදු නැන්දා දක්නට නොලැබුනි. කුස්සියේ මිටි බංකුව උඩ හිදගත් ඈ දරකෝටු කිහිපයක් ළිපට ඔබා ගිනි දැල්වීය. කේතලය ළිප උඩින් තබා යකඩ බටෙන් හුලං පිඹ ගිනිදැල් වැඩි කරවූ ඈ සුදු නැන්දා හා මල්ෂා කොහේ ගියාදැයි සිතන්නට විය. නින්දෙන් අවදිවූ දිනේෂ් අලස ගමනින් පැමිණ කුස්සියට එබී බැලීය. 

“ආ නිදි කුම්බා නැගිට්ටාද? තේ හදනවා ඕනේද?”

“එපා.”

“කෝ සුදු නැන්දා?”

“ඇයි ගෙදර නැද්ද? එහෙනම් පයිනස් කෑල්ලට යන්නැති. දර ඉවර කතාවක් කිව්වා.”

“ඉතිං නරකද ගිහිල්ලා උදව්කළානම්.”

“තමුසෙට උණුවතුර නාන්නනේ තියෙන දර ටිකත් පිච්චුවේ. ඉතිං ගිහිල්ලා දර එකතු කරන් එන එකයි තියෙන්නේ. දර ටිකත් ඉවරකරලා තව එනවා මට කියන්න.”

දිනේෂ් ඉන්දිරාට බැණ වදිමින් කුස්සිය පැත්තෙන් එළියට බැස්සේය. කුඩා දැරිවියක් වූවත් මල්ෂාව තනිපංගලමේ නිවසේ රඳවා කිසිවිටෙකත් සුදු නැන්දා බැහැරව නොයන බව ඉන්දිරාට සිතුණි. මල්ෂා මෙන්ම තමාගේ කුඩා කාලයේදීත් සුදු නැන්දා විසින් ආරක්ෂාව රැකවරණය දුන් අයුරු තම මතකයෙන් ගිලිහී නොයන බව සිහිපත් කළා ය. මහන්සිවී එන සුදු නැන්දා හා මල්ෂාට තේ පිළියෙල කර තැබුවොත් හොඳ බව සිතූ ඈ තවත් වතුර ටිකක් කේතලයට එකතු කරවීය. තේ මණ්ඩි ටික පිළිකන්නේ දෙහිගස මුලට වීසිකර තේ ගොටුව අලුත් කළා ය. නිවසේ ඉදිරිපස දොරට තට්ටු කරනා හඬ ඇසුනු ඉන්දිරා ළිපට තවත් කොටු කැබැල්ලක් ඇතුලු කර මිටි බංකුවෙන් නැගිට ගත්තේය. නිදාගෙන සිට අවුල් වූ කොණ්ඩය අතින් සකසමින් සාලය දෙසට ඈ හිමිහිට ඇවිද ආවා ය. ඉස්තෝප්පුවට ගොඩවී සාලයේ දොර අභියස සිටිනා රුව දුටු ඉන්දිරා එකෙනිම ගල් ගැසුණි. ගත සිත වෙලාගෙන තිබූ ප්‍රහර්ෂිත ප්‍රබෝධය එකවරම අතුරුදහන්වී ගියා ය. මෙතැනින් පලායාමටවත් තම දෙපා අවසඟව සිරුරේ සියලු සංවේදනයන් අකර්මණය වී ගොසින් බව ඉන්දිරා අවබෝධ කරගත්තීය. ඔහු තම දිඳුලන දෙනෙත් තමන්වෙත රඳවාගෙන සිටිනුයේ ගොදුරකට කුරුමානම් හෙලන වන සතෙකුසේ යැයි ඈට සිතුණි. තම දිවියේ යළිත් දකින්නට අකමැතිවූ අමිහිරි පුද්ගලයා තම දොරකඩ නොසිතූවිරූ ලෙසින් රැඳී සිටිනු දුටුමනින්ම වේගවත්වූ හෘදයේ රුහිරු මුළු සර්වාංගය පුරා දිවයනු දැනිණ. ඔහු තම බරති අඩි තබමින් තමන් ඉදිරියට පැමිණෙමින් සාලයට ඇතුල්වනවා දුටු ඈට කළයුතු කිසිවක් සිතාගත නොවීය. ඉන්දිරා තම සිතට දිරිගත්තා ය. වෙව්ලන දෙතොල් අතරින් වචනයක් පිටකරගන්නට ඈ අපමණ වෙහෙසක් දැරීය.   

“ඇයි විජිත මෙහේ ආවේ?”

“මට මල්ෂාව බලන්න ඕනේ.”

“මොකට මල්ෂාව බලන්නද?”   

“මම එයාගේ තාත්තා නිසා.”


නිමි...


කතාව මෙතැනින් අවසන්වන්නේ නැත. මෙහි අවසානය කෙසේ විය යුතුදැයි ඔබගේ සිතුවිල්ල කුමක්ද? 



2014 වසරේදි ලියා අවසන් කරන ලද මෙම නවකතාව එහි සේදුපත් බැලීමට තිබුණු අළසකම නිසා බොහෝ කාලයක් පරිගණකයේ සිරවී තිබුනි. නිදි ගේ පංචත්‍රන්තය බ්ලොග් අඩවියේ මා මිතුරු නිමල් දිසානායකයන්ගේ උනන්දු කිරීම නොවන්නට තවත් මෙය පළනොවන්නට තිබුනි. අවසාන කොටස දක්වා කතාව රසවිදි හා ප්‍රතිචාර දැක්වූ ඔබ සැමට ස්තුතියි.  


කෙරුවා  නිදි කවි ගෙත්තම් ලස්සන    වැඩ 

ගැසුවා    ප්‍රා වැට බ්ලොග් දෙවටේ         හැඩ 

බැරුවා   පනිනට ලලිත් අනුමානෙට      සැඩ 

දැමුවා    අජිත් හා ඩ්‍රැකීයා කෙමෙන්ටු ගොඩ



17 comments:

  1. අවදි වුණිද පියෙකුගෙ සෙනෙහස් දිනිඳා
    නැතිනම් දරණ ගහලද විසකුරු පනිඳා
    ගැලවිජ්ජාව යහපත් වෙනවා සැමදා
    මොනවා කළත් කළ යුතු නුවණින් විසඳා

    ReplyDelete
    Replies
    1. නැති පිය සෙනහේ ආවද පුබුදා
      බියක-ුරුය කිසිවෙකු ලග නැතිදා
      ගතවුවත් නැණ නුවනින් විසදා
      හැගුමන් පෙරට එවිද සියල්ල පරදා

      ස්තූතියි නිදි ලොකු අයියේ...

      Delete
  2. Replies

    1. කම්බි පොටක්
      කණු මිටියක්
      වැටට වැටක්
      මල් දෙවැටක්

      ස්තූතියි ප්‍රා.....

      Delete
  3. මට හිතෙන්නේ මේකය
    නිර්මාණයට මෙය කාලය
    වෙනස් කර ඇත්ත සිද්ධිය
    ගැහැණියට පණ දීම මැනවිය

    මට හිතෙන්නෙ ඉන්දිරා තර්ක කරලා අජිත්ට හරි වැරැද්ද පෙන්නලා, උන්දැව පන්නා ගෙන, දරුවා ආරක්ෂා කර ගන්න මට්ටමට ශක්තිමත් වෙලා ඉන්න බව අන්තිමේ පෙන්නුවනම්, කතාවට පොඩි ගැම්මක් එයි කියල හිතෙනව. ඇත්ත සිදුවීම එයිට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේකයි වඩා හොඳ කියලා පෙන්නන්න මේක අවස්ථාව. ගෑණුන්ට හැමදාම වලේ වැටෙන්නැතුව ඔලුව උස්සන්න පුළුවන් කියලා පෙන්නුවොත් ඒක ධනාත්මක වෙනව.

    එහෙමත් නැත්තං ඔතන මිනි මැරුමක් වෙලා ඉන්දිරා ජීවිතාන්තය තෙක් හිරේ යන්න පුළුවන්. එයිට පස්සෙ මල්ෂා ත් පරණ වලටම වැටිලා, මේක කෙළවරක් නැති විෂම චක්‍රයක් බව පෙන්නන්නත් පුළුවන්.

    මං කැමතියි ඔය විකල්ප දෙකෙන් උඩ එකට. ඒ වගේ කතාවක් දකුණු අප්‍රිකාවෙ නුගුගි වා තිඔන්ගෝ ගෙ පොතක තිබුණා මට මතකයි. ඒකෙ ඔය වගේම අමාරුවෙ වැටිලා දුක් විඳපු කෙල්ලෙක් අන්තිමේ ගරාජ් එකක වැඩ කරනව. එතනදි කොල්ලෙක් පාට් එකක් දාලා, ඒකි ගහනව ඌට කුංෆු ෂොට් ටිකක්...

    ReplyDelete
    Replies
    1. 'ඉන්දිරා තර්ක කරලා අජිත්ට හරි වැරැද්ද පෙන්නලා': ඩ්‍රැකී, මේ අජිත් නෙවෙයි විජිත නේද. අජිත්ට මේ දවස්වල tier 4 restrictions මන් හිතන්නෙ, මෙච්චර දුර එන්න බැරි වෙයි.

      Delete
    2. මදැයි. අජිත් අයිය මාව කයි

      Delete
    3. කතාවේ අන්තර්ගතය විතරයි සත්‍ය සිද්දියක් වෙන්නේ. පොරණුවෙන් එළියට ගත්තු බටර් කේක් ගෙඩියට අයිසින් දාලා හැඩවැඩ ගන්නවලා රසකරලා ගැනීම මගේ නිර්මාණයක්. හැම නිර්මාණයක්ම ධනාත්මකව අවසන් වෙන්න ඕනේද? ඛේදවාචකයෙකින් අවසන් කරන්න බැරිද? අපේ අයගේ ආසාවක් නෙව හැමදේම හොදින් අවසන් වෙනවා දකින්න....

      ස්තූතියි ඩ්‍රැකි......

      Delete
    4. මේ ඩ්‍රැකී ට මාව මයි පේන්නේ. බ්‍රිටිෂ් මියුසියම් එකත් හිරවෙලා යාන්තන් එලියට ආවේ

      Delete
  4. ඩ්‍රැකී කියලා තියෙන 'empowering women' theme එක හොඳයි. ඉන්දිරා වගේම නිලන්තගේ බිරිඳ මල්ලිකාත් මෙතනදි පෙන්වන ආත්ම ශක්තිය සහ එකිනෙකා තේරුම් ගැනීම (empathy) අගය කරන්න ඕනෙ. මම නම් හිතන්නෙ කාන්තාවො විතරක් නෙවෙයි පිරිමි අයත් empower වෙන්න/කරන්න ඕනෙ. උදාහරනයකට, නිලන්තට තමන්ගෙ සහකාරියත් සමඟ තමන්ගෙ ප්‍රශ්න සහ කායික, මානසික අවශ්යතා ගැන විවුර්තව කතා කරන්න හිතේ ශක්තියක් නැද්ද. 'මට ඔයා නැතිව ඉන්න බැහැ' කියාගෙන තවත් vulnerable කාන්තාවක් පස්සෙ යන එක දුර්වලකමක් නෙවෙයිද.

    ප්‍රායෝගිකව කරන්න බැරි වෙයි, නමුත් පොඩි දෙයක් හිතුනා, මේ කතාවෙ ඉන්න පිරිමි අයගෙ point of view එකත් පොඩ්ඩක් ඇතුල් කලානම් හොඳ නැද්ද කියලා. උදාහරනයකට නිලන්තගෙ සිතුවිලි. ඊට අමතරව ඉන්දිරාගෙ තාත්තා (නම මතක නැත) ඇයි තමන්ගෙ අවශ්යතා ඉටු කරගන්න තමන්ගෙ දුවම පාවිච්චි කලේ, ඉන්දිරාගෙ අම්මත් එක්ක තරහටද, එහෙම නැත්නම් එයාව පාලනය කලේ එයාගෙ අම්ම (ඉන්දිරාගෙ ආච්චි) නිසා ජීවිතේ තමන්ට ඕනෙ දේ එලිපිට කරන්න ශක්තියක් නැති නිසාද. මේ කතාව වින්දිතයො පැහැදිලිවම ඉන්දිරා, තමාලි වගේ කාන්තාවො වුනත්, ඒගොල්ලන් ඒ තත්වයට පත් කරපු පිරිමි අයත් යම් විදිහක වින්දිතයො වෙන්න පුලුවන්, සමාජයේ තියෙන විෂමතාවල.

    අසන්ගට බොහොම ඉස්තුතියි මේ 'රසවත්' කතාව අපිට කියවන්න දුන්නට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලෝටස් ඔබගේ ප්‍රතිචාරයට. ඔබ මේ කතාවේ ගැඹුර හා වෙනත් මානයක් ගැන අපිට හිතන්නට අවකාශයක් ලබාදුන්නා. ඇත්තෙන්ම ආසියානු සාම්ප්‍රදායික පවුල් වල ලිංගිකත්වය කතාවෙනවා අඩුයි නැත්නම් කොහොමත්ම නෑ. නිලන්ත විජිත හා ජයවීර යන පිරිමි පාර්ෂව තුනේ ඇතුලාන්තය ලියන්න ගියා නම් කතාව තව දිග වෙනවා වාගේම එකාකාරි වෙයි. නිලන්ත එහෙම තත්වයකට පත්වෙන්න එයාගේ තියෙන අධික කාමාශාව හෝ බිරිදගෙන් නොලැබෙන ලිංගික සතුට වාගේම බිරිද හා සැමියා දෙතැනක සිටිම වැනි දේවල් බල පාන්න ඇති. ඉන්දිරාගේ පියා වාගේම බොහෝ බිරිද රට රැකියාවලට පවුල්වල දරුවන් හිංසනයට පත්වීම ලිංගික සතුට සපුරා ගන්නට මගක් නොවීම වැනි සරල එහෙත් ජිවිතයක මූලික කරුණක දුර්වලතාවයක් නිසයි. ඔබ කිව්වා හරි කාන්තාවන් විතරක්ම වින්දිතයෝ නොවේ පිරිමිත් එලෙස පත්වෙන්නට යම් කිසි පැත්තකින් වින්දිතයෝ වූ නිසයි. තව කතාවක් ලියන්නට හොද මාතෘකාවක් සැපයුවා. නැවත් වාරයක් ස්තූතියි.

      Delete
    2. 'තව කතාවක් ලියන්නට හොද මාතෘකාවක්' කොච්චර හොඳයිද, looking forward to the next one.

      Delete
  5. මං නම් පැන්ටසියට කැමති මනුස්සය නිසා, දෙන්න දෙමහල්ලෝ එකතු කරලා,,,, සභාතුමෝ සතුටින් විසිර ගියහ... කියල අවසන් කරනවට මනාපයි......

    ReplyDelete
    Replies
    1. පැන්ටසි ඇත්තටම සිදුවෙනවා අඩුයි නේ... සාම්ප්‍රදායික කතා විලාසයෙන් වෙනස්වෙලා ඛේදවාචකයකින් අවසන්වුනොත්???????

      Delete
  6. කතාව දිගටම කියෙව්වා...සාම්ප්‍රදායික ඛේදාන්තයක් හෝ සුඛාන්තයක් නැතිව අවසන් උන එක හොඳයි අර රවියා අපි මේ වගේම ආසාවෙන් කියවපු අනන්‍යගේ කතාව එක පාරටම අතුරුදහන් කළා වගේ කරනවට වඩා..ඒත් ලේඛකයා එකපාරටම ලොක් වුනා වගේ හැඟිමකුත් මට දැනුනා පෞද්ගලිකව.. කොහොම උනත් හොඳ කතාවකින් බ්ලොග් පාඨක අපි පිනෙව්වාට ස්තූතියි අසංග! අයෙත් වෙන කතාවක් බලාපොරොත්තු වෙනවා.. ජයවේවා!

    ReplyDelete
  7. මේ කතාව මෙතනින් නතර් නොකර ගෑනු දෙන්නම් එකතු වෙලා නිලන්තට වැඩේ දෙනවා නම් හොඳයි. ඉන්දිරා ඊට පස්සේ උත්සාහයෙන් ඉගෙන ගෙන ළමයත් හදාගෙන පස්සේ දවසක විජිතට ගේම් එකක් දීලා ලරනර් සල්ලි වලට ගණන්ව වගේ කතාවක් එනවා නම් හොඳයි. ඒ වගේ Russian ෆිල්ම් එකක් තියනවා. Moscow does not believe in tears කියල

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න