ඔන්න කොළොම්පුරයාගේ හිතාදර ගුරුජී අන්දුබයියාගේ විර වික්‍රම ඇඟපත සුලලිත වෙලා කිලිපොලා යන අති සුන්දර කතන්දරයක් අරන් ආවා.
ඔන්න එක්තරා සෙනසුරාදා දිනයක කොළොම්පුරයාගේ ඔපිසියට අසුබදායි සුබ ආරංචියක් ආවා. ඒ කොළොම්පුරයා රාජකාරිකොරන ආයතනයේ හා අංශයේ GM ලොක්කෙකුගේ පියානන් කළුරිය කළ විත්තිය. දන්නවානේ කට්ටියට මළගෙදරකට යෑම කියන්නේ ට්‍රිපක් ගියාසේ තමයි. අනික කාගේ මළගෙදරකට නොගියත් මේ මළගෙදරට සහභාගිවෙන්නම ඕනේ. මොකද කොළොම්පුරයාත් එම GM යටතේ ඇති අංශයේ වැඩ රාජකාරිකරන උදවිය හින්දා. කොළොම්පුරයාගේ ඔපිසියේ දෙවැනි බොසාගේ පදිංචිය නුවර. එයාට නුවර ඉදන් දිනපතා කොළොම්පුරයට එන්න යන්න බැරි නිසා බෝඩිමක තමයි නතරවෙලා උන්නේ. මේ කියන කාලේ අපේ දෙවැනි බොසාට තිබුනා ටවුන්එස් වෑන් රථයක්. ඒකෙන් සති අන්තයට නුවර ගොහින් ආපහු සදුදා උදේම කුකුලත් අතින් අරන් සෙකංඩගලින් සල්පිටි කෝරලේ ගෙන්දගම්පොළාවට නැත්නම් කොළොම්පුරයට මංගච්චනවා. එයාත් ලෑස්තිවුනේ සෙනසුරාදා දිනයක්වුන හින්දා මළගෙදරට සහභාගිවෙලා ඒගමන්ම ගෙදර යන්න පුලුවන් නිසයි. අපිත් එයාගේ වෑන් රථයෙන්ම කුරුණෑගල යන්නයි දැන් ලෑස්තිය. ලොකු බොසා තියෙන වැඩ ටිකත් ඉවරකරගෙන හවස්වෙලා එන විත්තියක් කිව්වා. එයත් එක්ක එන්න එයාට මුට්ටි අල්ලන කිහිප දෙනෙක් නතරවුනා. අපි කට්ටිය දවල්ට කාලා එහෙම වෑන් රථයට ගොඩවැදුනා.
කොහොමත් බීමට ලැදි අන්දුබයියා පෑලියගොඩට එන්නත් පෙරම කොළොම්පුරයා ඇතුලු කිහිප දෙනාට කොදුරන්න ගත්තා. ඒ ඉතිං මළගෙදරට යන්න ඉස්සර මේ සොකජනක අවස්තාව සමරන්න. මේ වැඩේ නොකෙරුවෙත් අන්දුබයියාගෙන් බේරිලා ආපහු ඔපිස් එකේ වැඩකරලා හමාරයි. අපිත් අනුමැතිය දීලා අහවරවෙලා බොසාට කියලා දැල් කඩයක් අසළ නවත්වාගත්තගෙන දැල් කඩේ ලඟට ගිහින් සම්මාදම්ක් දැම්මා. එත් ඉතිං අන්දුබයියා සාක්කුවට අත දැම්මාට අත එළියට එන්නෙත් නෑ සල්ලි එන්නෙත් නෑ. අපේ අන්දුබයියා කවදාවකත් මුදල් පසුම්බියක් නැතිනම් පර්ස් එකක් පාවිච්චි කරන්නේ නෑ. අත දැම්මාම එළියට ආපහු නොඑන හින්දා අන්දුබයියාට තියෙන්නේ රබර් සාක්කුයි කියලයි සමහරුන් එහෙම කියන්නේ. කොළොම්පුරයා නම් එහෙම කියලා නෑ ඔහේලා පල්ලා සත්තයි. අන්දු බයියාගේ සාක්කුවට ගිය අත එහෙමම තියෙද්දී වැඩිපුර සල්ලිය බාගේ තියෙන උන්ගේ අනුග්‍රහයෙන් බියර් කෑන් කිහියක් වෑන් රථයට වැඩැම්මෙව්වා. ගෙනාපු හැටියේම කෑන් එකක් කඩාගෙන චියර්ස් නොකියාම ඇදලා ඇරිය අන්දු බයියා ඉදලා තියෙන්නේ මාර තිබහකින් කියලා දුකකුත් ඇතිවුනා. GM ලොක්කා හින්දා වැඩිය ගසලා මළගෙදරට යන්නත් බෑ. අන්තිමේදි යන්නතම් සන්තම් ප්‍රමාණයකින් අපිට සැනසෙන්නට උනත් අන්දුබයියා අපේ ඒවාටත් වග කිව්වා නෙව. කුරුණෑගල නගරය පහුකරන් අනුරාධපුර පාරේ මාස්පොතට ගිහින් මළ ගෙදරටත් සෙන්දුවුනා. අපේ කට්ටිය කදුක්මුසු මුහුණක් දාගෙන මළගෙදරටත් ගොඩවෙලා GM ලොක්කාටත් ආචාරකෙරුවා. ගෙදරින් එළියට ඇවිත් ප්ලාස්ටික් පුටු ටිකක වාඩිවුන සෙට් එක උන්නේ කතා කරන්න මාතෘකාවක් නැතිවයි. GM ලොක්කාත් අපේ උදවිය ලඟට ඇවිත් කතාවකට මුලපිරුවා. ලොක්කාට වැඩිය මුහුණ දෙන්න බැරි හින්දා අන්දුබයියා කොළොම්පුරයාවත් අඩගහගෙන ගේට්ටුව පැත්තට ගියා.
"ඇයි අන්දුබයියේ මෙහෙට ආවේ? අතන උන්නා නම් මාරි එකක් කාලා නෙස්කැෆේ එකක් බෙන්න තිබ්බා නේ."
"බම්බු නෙස්කැෆේ යකෝ අතන හිටියා නම් GM ගේ කතාවට සෙට් වෙන්න වෙනවානේ."
"ඉතිං මොකෝ?"
"මොකෝ තමයි ඇයි උකන්නෝ අපි බීලා කියලා ඌට දැනෙනවානේ."
අන්දුබයියා බීලා හිටියත් මාර මිටරයකින් නෙව ඉදලා තියෙන්නේ.
පාරට ආපු අපි ට කරන්න දෙයකුත් නෑ දෙන්නා එක්ක එහා වත්තේ පොල් ගස්වල පොල්වලූ ගනිනවා ඇරෙන්න. ඒ අස්සේ අපේ පියන් කොලුවාත් දෙවැනි බොසාගේ වෑන් එකෙන් බාගත්තු ශොකාප්රකාශ බැනර් මිටියක් උස්සාගෙන එතනට කඩාවැටුනේ නැතැ.
"අන්දුබයියා මහත්තයා මේ බැනර් ටික මේ පේන හරියකින් එල්ලන්න කියලා බොස් මහත්තයා කිව්වා."
"කිව්වා නම් උඹම එල්ලා ගනිං. මේ ඇදුම් පිටින් උඹ කියන්නේ අපිට ගස් බඩගාන්න කියලාද?"
අන්දුබයියා කොලුවාට කඩාගෙන පැන්නා. ඌත් අන්දුබයියාට බයවෙච්චි පාර බැනර් මිටියත් එතැන අතහැරලා මළගෙදර දිහාට දිව්වා. ටික වේලාවකින් මෙන්න අපේ දෙවැනි බොසාත් අපි දිහාට ආවේ අනෙක් උන් දෙන්නාවත් අරගෙනයි.
"අන්දුබයියා මේ බැනර් ටික එල්ලන්න හොද තැනක් කියන්න කෝ."
"මෙව්වා එල්ලන්න කෝ ලණු? කට්ටියට දෙන්නා දෙන්නා දෙපැත්තෙන් අල්ලාගෙන තමයි ඉන්න වෙන්නේ."
"හරි මම ලණු ගෙනත් දෙන්නම් ඔයා මළගෙදරට එන අයට පේන තැනක් බලලා තියන්නකෝ."
අන්දුබයියාගේ හැටි දන්නා දෙවැනි බොසා එහෙම කියලා පියන් කොලුවක් අරන් කඩයක් හොයාගෙන පාර පැත්තට ගියා.
"ගනිං අන්දුබයියේ ඔය බැනර් එකක් මෙන්න මෙතන එල්ලන්න."
"පකෝ ඔතැන හරියන්නේ නෑ. පාරට පෙන්නේ නෑ. මෙන්න මෙතැන උඩින් එල්ලාපං."
කොහු ලණු ගෙනාවට පස්සේ අපිත් මිනිහාට මුල් තැන දිගෙන බැනර් ටිකත් එල්ලා අහවර කළා. දැන් හවස පහටත් කිට්ටුකරලා අපේ ලොකු බොසා තාමත් නෑ. ලොක්කා එක්ක එන්න හිතාගෙන නතරවුනු එකෙක් අපිට කොල් එකක් අරන් කියපි තාමත් බොසා එක්ක ඔපිස් එකේ ඉන්නේ පොඩි වැඩක් ඉවරකරලාම යනවා කිවිවා කියලා. මිනිහාත් එක්ක එන්න හිටියා නම් අපිටත් වෙන්නේ මළගෙදර නයිට් එකක් අදින්න. අන්දුබයියා බැලුවේ ලොකු බොසා ආවානම් එයාගේ වාහනේ ආපහු කොළඹ එන්නයි. දැන් ඒකත් හබක්. කොළඹට එන්න ඉන්නේ කොළොම්පුරයයි අන්දුබයියායි විතරයි. පියන් කොලුවාත් ලොකු බොසා ආවාම එන්නම් කියලා මළගෙදරට සපෝට් එකටත් එක්ක නතරවුනා.
"බොසා එනකම් ඉන්නේ නැත්නම් උඹලාව කුරුණෑගල ටවුමෙන් දාන් යන්නම්. "
මළගෙදරට ආයුබොවන් කියලා දෙවැනි බොසා නුවර යන්න ලෑස්තිවෙනගමන් කීවා. ඔන්න ඔහේ කියලා වෑන් එකට ගොඩවුන අපි දෙන්නාවත් කුරුණෑගල ටවුමෙන් හලාගෙන දෙවැනි බොසා ඉගිල්ලුනා.
"ඒයි අන්දුබයියේ කොහේද මේ යන්නේ? මේ බස් ස්ටෑන්ඩ් එක පැත්තට නොවෙයි නේද?"
"බජ්ජහුරස් බං මං මේ පොඩි පොට් එකක් හොයනවා."
"අයියෝ අර මළගෙදරින් දාලා එන්නයි නේ තිබුනේ."
"ඔය ලැට් හොයන් ගෙවල් අස්සේ රිංගන්න බෑ."
"හොයන්න බැරිනම් GM ලොක්කාගේ ගෙදරට එහා පැත්තේ පොල්වත්තට ගියානම් නිදහසේ හුළං වැදීගෙනම කරන්න තිබුනා නේ."
"මේ උඹ පොඩ්ඩක් හිටපං කෑගහන්නේ නැතිව."
මිනිහා රිචඩ් පොත් සාප්පුව පැත්තට පිස්සුවෙන් වාගේ ඇවිදන් යනවා.
"මේ මිනිස්සු ඉන්න අස්සේ කොහේද ලොක්කා තාප්ප? හොටලයකට ගිහිල්ලා දැම්මා නම් ඉවරයිනේ."
අන්දුබයියා ගාල කඩාගත්තු මී හරකාවාගේ හයියෙන් හයියෙන් පාර දිගේ ඇවිදින්න ගත්තා. කොළොම්පුරයාත් මිනිහා පස්සේ දුවනවා. අන්තිමේදි පොත් සාප්පුව ලඟ තිබුණ හදන කඩ කැල්ලක් අස්සට පැනලා අන්දුබයියාගේ බර හෑල්ලු කරගත්තා. කොළොම්පුරයා ඇගේ ලේ වතුරකරන් බලන් හිටියේ අනුන්ගේ කඩ කෑලි අස්සේ මුත්‍රා කරන එකාට නෙලන ජවනිකාවක සාක්කිකරුවෙක් වෙන්න ලැබෙන එකට.
"ඒයි උඹට බඩගිනි නැද්ද?"
බජ්ජහුර හෑල්ලුකරන් කඩ කෑල්ල අස්සෙන් එළියට ආපු අන්දුබයියා ඇහැව්වා.
"බඩගිනියි තමයි කොහේද මාරි එකක් කාලා නෙස්කැෆේ බොන්න තිබුනු චාන්ස් එකත් නැති කළානේ."
"තෝ මාරියි නෙස්කැෆෙ බොන එක ගැනමයි ඈඩියාව. ඔච්චර මාරි කන්න පෙරේතද?"
"නෑ බිස්කට් කෑවානම් මෙහෙ හොටල් ගානේ රිංගන්න ඕනේ නැනේ. බියර් බීලා අතේ සල්ලිත් නෑ. බස්එකේ යන්න මදි වෙයිද මන්දා?"
"අනේ තොගේ සල්ලි. කොයි වෙලාවෙත් නෑ කියාගත්තු ගමන්. යකෝ සල්ලි තියෙන්නේ වියදම් කරන්න මිසක් පොදි ගහන්න නෙමෙයි."
අන්දුබයියා මංතුමාට බැන බැන කන්න හොටලයක් හොයන් එහෙට මෙහෙට කැරකෙනවා. අන්තිමේදි පැරකුම්බා විදියේ රන්සිළු හෝටලයට ගොඩවෙලා අන්දුබයියාගේ ජාතික ආහාරය වුනු කොත්තුවක් අරන් දෙන්නාත් එක්ක බෙදාගෙන රසබැලුවා. අපරාදේ කියන්න බෑ කොන්තුවේ බිල ගෙව්වේ අන්දුබයියාම තමයි. ප්ලෙන්ටි දෙකකුත් බීලා අහවරවෙලා දෙන්නාත් එක්ක ආයෙමත් පාරට වැටුනා. දැන් හවස හයටත් කිට්ටුවෙලා තාමත් කොළොම්පුරයා කුරුණෑගල ටවුමේ.
"මේ ලොක්කා අපිට කොච්චිය නැග්ගානම් ඉක්මණට කොළඹ යන්න තිබුනා. මෙහේ බස් එනකම් බලන් ඉන්නේ නැතිව ස්ටේෂමට යමුද? දැන් මේ වෙලාවට කොළඹට කොච්චියක් නැතිවෙන්න බෑ. ස්ටේෂම තියෙන තැන ඔයා දන්නවානේ?"
මගේ යෝජනාවට අන්දුබයියාත් කැමතිවුනා. දැන් දෙන්නාත් එක්ක ස්ටෙෂම බලා ගමනේ යෙදෙන්න ගත්තා. සියල්ල දන්න මිනිහා වගේ අන්දුබයියා යනවා යනවා නවතින පාටක් නෑ. ස්ටෙෂම මේ ලඟ ඇතියි හිතපු කොළොම්පුරයාත් අන්දුබයියා පස්සෙන් යනවා.
"මේ ලොක්කා ස්ටෙෂම තව දුරද?"
කිලොමිටරයක් විතර ඇවිදපු කොළොම්පුරයා ඇහැව්වා.
"නෑ මේ ලඟ."
කොළොම්පුරයාට ඉස්සරවෙලා ගිය අන්දුබයියා පාරේ ගිය මනුස්සයෙක්ගෙන් මොනවාදෝ අහලා ආයෙමත් ඇවිදින්න ගත්තා.
"ස්ටේෂම තියෙන තැනද ඇහැව්වේ?
නෑ මේ ලඟ ඉස්පිරිතාලයක් තියේනවාද ඇහැව්වා උඹව ඇඩ්මිඩ් කරන්න. කට වහන් වරෙන්."
තවත් කිලොමිටරයක් විතර ඇවිද්දාත් ස්ටේෂමක් තියා රේල් පාරක් වත් කොළොම්පුරයා දැක්කෙ නෑ. දැන් කුරුණෑගලට ඇඳිරියත් වැටිලා ඉවරයි තවම දෙන්නා ඇවිදිනවා.
"අන්දුබයියේ තව දුරද?"
"අර ලයිට් හරියේ."
මිනිහා ඈත තියෙන විදුලි බුබුලු ගොඩාක් දැල්වෙන හෝටලයක් පෙන්නුවා. ආපහු ඇවිදින්න ගත්තා. ඈතින් දැක්ක විදුලි බුබුලු තියෙන හොටල් කිහිපයකුත් පහුකරන් තවත් කිලෝමිටරයක් විතර ගියා එත් ස්ටේෂම නෑ. කොළොම්පුරයාට දැන් හොදටම මහන්සියි තොහෙට්ටුයි. ඒ අස්සේ සපත්තුවකින් කකුල කැපෙන්නත් අරගෙන.
"මේ ලොක්කා ඔයා දන්නවාද ස්ටේෂම තියෙන තැන. මේ යන්නේ හරි පාරේද? මෙහෙම ගියොත් කොළඹට ඇවිදින්න පුලුවන්වෙයි."
මිනිහා කිසිම සද්දයක් දැන් නෑ. කතාකලත් ඇහුනේ නැති ගානට අන්දුබයියා යනවා. මෙච්චර දුර ආපු එකේ ආයේ හැරිලා යන්නත් බෑ. දැන් කොහොම හරි ස්ටේෂමට ගිහින් කොළඹට යනවා යන දැඬි අධිෂ්ඨානයෙන් කකුලත් නොන්ඩි ගසමින් කොළොම්පුරයාත් ඉදිරියට යනවා.
එන්න එන්නම අන්දුබයියා හා කොළොම්පුරයා අතර පරතරය වැඩිවෙලා ගිහින් කොළොම්පුරයාට වඩා මිටර් 150ක් විතර ඉදිරියෙන් අන්දුවා ඇවිදිනවා. දහඩියෙන් නෑවුනු කොළොම්පුරයාට මලේ උපරිම ඇවිල්ලා හිටියේ. මේ අතරේ ප්‍රධාන පාරෙන් හැරුනු අන්දුබයියා තවත් පාරක් ඔස්සේ යන්න ගත්තා. තවතා තිබූ තෙල් බවුසර් පෝලිමක් පසුකර ගියාට පස්සේ කුරුණෑගල තෙල් සංස්ථාවේ තොග ගබඩාවේ විශාල තෙල් ටැංකි කිහිපයකුත් කොළොම්පුරයාට දකින්න ලැබුනා. එතැන හිටිය කෙනෙකුගෙන් යමක් ඇසූ අන්දුබයියා කුඩා දෙවටක් අස්සෙන් රිංගුවා. ඔහු පස්සෙන් ගිය කොළොම්පුරයාට හැතැක්ම ගානක් ඇවිද ගිය පිනෙන් රේල් පාර දකින්න ලැබුනා. රේල් පාර දිගේ ආපස්සට ඇවිදආ පසුව කුරුණැගල දුම්රිය ස්ථානය දර්ශණය වුනේ ටවුමට වඩා ගොඩාක් ඈතින් ස්ටේෂම හදපු උන්ගේ මව්ගුණ සිහිකරමින්. නොන්ඩි ගසමින් ආපු කොළොම්පුරයා වඩා ඉදිරියෙන් හිටිය අන්දුබයියා ස්ටේෂමටත් ගොඩවෙලා අවසන්.
"ඒයි කොළඹ කොච්චිය දැන් පැය භාගෙට කලින් ගිහිල්ලා ආයේ එකක් තියෙන්නේ රෑ එකලොහටලු."
එකේ හිටපු කාගෙන්දෝ අහලා අන්දුබයියා කිව්වා. කොළොම්පුරයාගේ ඉවසීමේ සිමාව පැන්නා.
"මේච්චර දුර මේ ස්ටේෂම තියෙනවා කියලා ඔයා දන්නේ නැද්ද?"
"නෑ මම දන්නවා."
"දන්නවා බම්බුව. දන්නවා නම් තොගේ ආච්චිගෙ අහවල් අවයවයකටද මෙච්චර දුර පයින් ආවේ?"
"උඹනේ කිව්වේ කොච්චියේ යන්න ඕනේ කියලා ඉතිං මම ආවේ උඹට ස්ටේෂම තියෙන තැන පෙන්නන්න."
උපරිම කේන්තියෙන් හිටපු කොළොම්පුරයා අන්දුබයියාගේ හත්මුතු පාරම්පරාවේ අටවෙනියාව මතක් කර කර ආපහු ප්‍රධාන පාරට ඇවිත් කුරුණෑගල බසයක නැගලා ටවුමට ඇවිත් කොළඹ එන බසයකට ගොඩවුනා. දැන් මේක කියවන උන්නැහෑලාට පුලුවන්නම් හත්මුතු පරම්පරාවේ අටවෙනියා නම් කරලා අල කොමසාරිස් ඩ්‍රැස්කියා හාමු මහත්තයාගේ ඇන්ටික් පන්නයේ භාවිතයෙන් ඉවත්කරන ලද මොටවූ උල්දත් යුගල දිනාගන්න.
|
අන්දුබයියා ඇවිදපු දුර |
ගුගල් දෙයියාගේ සිතියම් පොජජෙන් බැලුවාම අන්දුබයියා කොළොම්පුරයාට කුරුණෑගල ස්ටේෂම පෙන්වන්න කිලෝමිටර් දෙකහාමාරක් පමණ පයින් ඇවිද්දවලා තියේනවා. අදටත් අන්දුබයියා පවසන්නේ එයා කුරුණෑගල ස්ටේෂම තියෙන තැන දන්නා බවත් කොළොම්පුරයාව ඇවිද්දුවේ සරිර සවුක්කිය උදෙසා යහපත් පරමාර්ථයෙන් හා ස්ටේෂම තියෙන දුර පෙන්නීමට පමණක් බවයි.
අන්දුබයියාගේ ස්ටේෂන් පෙන්නීම මෙතැනින් නිමියේයැ.