Thursday, May 13, 2021

හෝරස්ගේ දරුවා - දහතුන්වන දිගහැරුම Son of Horus -13

 


“මේ මොකද්ද මේ මුට්ටිය?”

මංජු සුදු මහත්තයාගෙන් ඇසුවේය.

“ඔන්න බලාපල්ලා තොපිලා වාගේ ගොන්නු රැලක්. ඉතිං උඹලාත් මෝඩයින් වාගේ මුට්ටියකුත්  උස්සාගෙන ඇවිල්ලා.”

අමනාපයෙන් සිටි මංජු මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රංග ඇතුලු සියල්ලන්ටම දෝෂාරෝපණය කරන්නට විය. 

“තොපිලාත් වටින දේවල් අඳුරන්නේ නැද්ද? මේකෙන් මොන කෙන්ගෙඩියක් කරන්නද බං?” 

“රංග අයියායි කිව්වේ සේප්පුවේ තියෙන ඔක්කෝම බෑග් වලට දාගන්න කියලා. මේක වටින්නේ නැතිනම් සේප්පුවේ දාලා තියයිද?”

එය ඇසුනු රංග එළියේ තබා තිබුණු බඳුන තම දෑතට ගත්තේය. එහි පියනේවූ මුහුණ දෙස මඳක් පරික්ෂාවෙන් බලා සිටින්නට විය.

“මූ කියන එකෙත් ඇත්තක් තියෙනවා. මේක වටින්නේ නැතිනම් සේප්පුවේ දාන්නේ නැහැනේ. පරිස්සමට අරන් තියාපං.”

සුදු මහත්තයා අතට පත්කළ එය යළිත් බෑගයට දැමීමට සැරසෙද්දී මංජු වහා උදුරාගත්තේය. 

“ඔන්න ඕක මෙහෙන් තියාපං. මේක හොඳයි ලස්සනට තියන්න.”

සුදු මහත්තයා යමක් කීමට තැත්කර රංග දෙස බැලුවේය. රංග විසින් කළ ඉඟියකින් සුදුමහත්තයාගේ කට වසා දැමුවේ මංජුට එය තබා ගැනීමට ඉඩ සලසාදෙමිනි. වැඩි මුදලක් ඉල්ලා වස්තු තණ්හාවෙන් සිටින මංජුට බඳුන ලබා ගැනීම වළක්වාලීමට ගියහොත් ගැටුමකට එය හේතුවක් වන බවත් එය තමාගේ නායකත්වයට විශාල ලෙස බලපාන්නක් බවත් අවබෝධ වූ රංග එය ඔහුට ලබා ගැනීමට ඉඩහැරියේය. ඉක්මන් ප්‍රකෝපාකාරි ගතිපැවතුම් වලින් පරිපුර්ණ වූ මංජු නායකත්වයේ වගකීම් දැරීමට කිසිවිටකත් කැමත්තක් නැතුවාසේම සමහර අවස්ථාවලදී නායකත්වය අභිබවායමින් එයට තර්ජනයක්ද වූවේය. වගකීම් සහිත අවදානම් ක්‍රියාවලියකදී ඔහු පසුබට වූවත් අනෙකුත් ජයග්‍රහනයන්හිදී ඉදිරියෙන් හිඳ රංගටත් උපදෙස් දුන්නේය. සුදු මහත්තයාගෙන් උදුරාගත් බඳුන මංජු තම නිවසේ කැබිනේට්ටුව මත තැබීය. මුදල් සමසේ බෙදා දුන් පසුත් රංග යළි යළිත් තම අවවාදය මතක්කර දුන්නේය.

“උඹලා පරිස්සමෙන් ඉදපල්ලා එකපාරටම සල්ලි වීසිකරන්නේ නැතිව. නැත්නම් අපි සෙට් එකටම මහඋළුගෙදර කූරු ගනින්ට පුළුවන්වෙයි.” 

මෝටර් සයිකල්වල නැගගත් සුදු මහත්තයා හා රංග ඉතිරි බඩු භාණ්ඩ රැගෙන පිටත්ව ගියේ මංජුගේ නිවසේ චුට්ටා හා කපිලත් රදවමිනි. තරුණ මදයට හමුදාවට බැඳී උතුරු ප්‍රදේශයේ ක්‍රියාන්විතයන් හි සේවය කළ රංග නිවාඩු අවුත් යළි සේවයට එක්නොවීය. ඇබ්සන්ට් වී සිටි කාලයේදි අහම්බයෙන් මිතුරුවූ මංජු සමඟින් එකතුව සුලු සුලු මංකොල්ලයන් කිහිපයක් සිඳුකළෝය. ඔවුන් දෙදෙනාගේ සමාගමට තවත් රැකියා විරහිත රංගගේ ඥාති සහොදර සුදු මහත්තයාද මංජුගේ මිතුරෙකුවූ චුට්ටාත් කපිලත් එක්විය. මෙසේ එක්වුනු පස්දෙනාගේ කල්ලියෙන් සිඳුකළ විශාලතම සැලසුම් සහගත මංකොල්ලය වූයේද ස්ටැන්ලි වික්‍රමපාලගේ නිවස කොල්ලකෑමයි. 

“මං අරූව මැරුවා කියලා ඒක පිටට දාලා මු අපේ ගේමෙන් ගාන කපන්නයි බැලුවේ. බලපන් රංගයා අපිට පනස් දාහ ගානේ දීලා ඉතිරි ටික පස්සේ දෙන්නම්ලු. ඒවා කොහේද මාත් එක්ක.”

“මංජු අයියා කට දැම්ම නිසා තමයි අපිට දෙක ගානේ ලැබුනේ.”

“තෝ නිසා තමයි මේ ඔක්කෝම. තව ඩිංගෙන් ස්ටැන්ලියා මාවයි මරන්නේ. තොට ලණු කෑල්ලක් ගේන්න පැය ගාණක් ගියානේ. ඌ බෙල්ල මිරිකුව විදිහට මං හිතුවෙම ඉවරයි කියලා.”

“එතන ලණු තියා නුල් කෑල්ලක්වත් තිබුණේ නැහැ. වේලාසනින් ලණු ඕනෙයි කිව්වානම් කඹයක් අඹරන්න තරමට හරි ලණු අරගෙන යනවා.”

“දැන් පණ්ඩිත ටෝක්ස් නොදී හිටපන්. මුං දැන් අර බඩුටිකටත් විද්ද. බලමුකෝ ඒවා සල්ලි කරන හැටි. මට මගේ වැඩිපුර ගාන ඕනේ, දුන්නැත්නම් තමයි රංගයා දැනගන්නේ මේ මංජු කවුද කියලා.”

තම කෝපය පිටකරන්නට මෙන් ඔහු මිට මොලවාගත් වමතින් සිය දකුණතේ අල්ලට ගැසුවේය. 



      ස්ටැන්ලිගේ මරණයට අදාළ පොලිස් පරික්ෂණ මන්දගාමීව සිදුවන බව පුවත්පත් වලින් මෙන්ම ස්ටැන්ලිගේ සම්බන්ධකම් තිබුනු දේශපාලනඥයින්ගෙන්ද පොලිස් දෙපාර්තුමේන්තුව වෙත අවලාද නැගෙන්නට විය. ඉහළ තනතුරු දරන නිලධාරින්ගෙන් එස් එස් පි මනෝජ් වෙත දැඬි ලෙස දෝෂාරෝපණ එල්ලවන්නට පටන් ගැනීමත් සමඟම ඔහු කඩිනමින් නාරද ඇමතුවේ වාර්තාව ඉක්මනින් ලබා දෙන ලෙස ඉල්ලමිනි. පසුදින උදේ අටට පමණ මහාචාර්ය නාරද බණ්ඩාර කොළඹ පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වාර්තා කළේ වාර්තාව බාරදී තමා හෙලිදරව් කරගත් ඉපැරණි බඳුනේ අරුම පුදුම විස්තරය පැවසීමටය. එහෙත් ඒ වන විට පොලිස් අධිකාරි මනෝජ් පෙරේරා කාර්යාලයේ නොසිටියේය.

“මහත්තයා ඔතනින් වාඩිවෙලා ඉන්න. ලොකු සර් දැන් ඒවි.” 

කොස්තාපල්වරයෙකු අසුනක් පෙන්වා කීවේය. පැයක් පමණ රැඳී සිටිය මුත් ඔහු එන පාටක් නැත. හේ අතේ බැඳ තිබූ ඔරලෝසුව දෙස කිහිපවරක් බැලුවේ නොවසිලිමත්බව මැඩගැනීමටය. තවදුරටත් කාලය කාදමමින් මෙහි රැඳීසිටිමේ තේරුමක් නැතැයි සිතූ නාරද අසුනින් නැගිට්ටේ වෙනත් වෙලාවක පැමිණීමේ බලාපොරොත්තුවෙනි. අලසකමින් එහා මෙහාවෙමින් සිටි පොලිස් කාර්යමණ්ඩලය එකවරම නිශ්ශබ්ද වෙමින් තම තමන්ගේ රාජකාරි කටයුතුවල නියැලෙන්නට විය. නාරද තම හිස ඔසවා විමසිලිමත් වූයේ එකවරම සිඳුව ගිය වෙනස කුමක්දැයි බැලීමටය. නිලයෙන් පහළ පොලිස් නිලධාරින් ගේ ආචාරය මධ්‍යයේ ගාම්භිර ගමනින් පැමිණි එස් එස් පි මනෝජ් ප්‍රොපෙසර් නාරද දැක තම ගමනේ වේගය මඳක් අඩාලකිරීය.

“ගුඩ් මෝර්නින් ප්‍රොපෙසර්, ඇවිල්ලා ගොඩාක් වෙලාද?”

“ඔව්, මම යන්නයි නැගිට්ටේ.”

“ඕ වෙරි සොරි ප්‍රොපෙසර්. යමුකො මගේ රූම් එකට. මම හිතුවේ නැහැ ප්‍රොපෙසර් මෙච්චර ඉක්මනටම උදෙන්ම ඒවිය කියලා. අද ස්ටැන්ලිගේ මර්ඩර් කේස් එකේ ඉන්වෙස්ටිගේෂන් වල ප්‍රෝග්‍රස් එක ගැන පොලිස්පතිතුමාගේ මීටින් එකක් තිබුනා. ඒකයි මට එන්න පරක්කු වුණේ. මේ මර්ඩර් එකට තාම කිසිම සැකකාරයෙක්වත් අත්අඩංගුවට ගත්තේ නැහැ කියලා පත්තරවලින් අපිට චෝදනා එල්ල කරලා තිබුනා. අනික ස්ටැන්ලිගේ රිලේෂන්ස්ලාත් ෆ්‍රෙන්ඩ්ලාත් ලොකු ලොකු පොලිටීෂන්ස්ලා. එයාලගෙන් පොලීසියට ලැබෙන බලපෑම් ගොඩාක් වැඩියි. ”

තම පුටුවේ හරිබරි ගැසී වාඩිවූ මනෝජ් නාරද දෙසට හැරින.

“මම ප්‍රොපෙසර්ට වාර්තාව ඉල්ලලා කතාකළෙත් මේ කේස් එක ඉක්මනටම ඉවරකරලා දාන්න අවශ්‍යය නිසා. මට කියන්න ප්‍රොපෙසර් මේ නැතිවුනු භාණ්ඩ ගැන කියන්න පුළුවන් මොනවාද?” 

“ඇත්තටම ඉන්ස්පෙක්ටර් මේ ෆයිල් එකේ විස්තරවලින් ෆොටෝ වලින් පුළුවන් වෙන්නේ අනුමාන කරන්න විතරයි. මේවා ඇත්තටම පුරාවස්තුද කියලා හොයා බලන්නනම් විශේෂ පරික්ෂණ කිහිපයක්ම සිඳුකරන්න වෙනවා. සමහර විට සරල පරීක්ෂණ වෙන්නත් පුළුවන්. ඒවාගේම සමහරවිට ඒවා විශේෂ පරීක්ෂණවලට ලක් කරන්නත් සිද්ධ වෙනවා.”

“ඔව් පරික්ෂණ කරන්න මේවා අපි ළඟ නෑනේ?”

“ඔව් ඒක තමයි ප්‍රශ්නේ. මේ ෆයිල් එකේ තියෙන බොහොමයක් ඒවා පුරාවස්තු ගණයට වැටෙන්නේ නැහැ. ඒත් ඒවා ඉහළ වටිනාකම් තියෙන පැරණි භාණ්ඩ වගයක් බවයි පෙන්නේ. මම පුරාවස්තු විදිහට සැක කරන කිහිපයක් මෙතන තියෙනවා. ඒත් පැරණි භාණ්ඩ කියලා ඒවා එහෙමම බැහැර කරන්නත් බැහැ. මොකද පැරණි භාණ්ඩත් පුරා වස්තූන් වෙන්න පුළුවන් නිසා. ඒවාගේම පුරාවස්තු විදිහටම බොරු පුරාවස්තුත් හදලා තියෙනවානේ. ඒවා මෙතන තියෙන්න පුළුවන් නේද?”

නාරද ප්‍රශ්නයක් මනෝජ් වෙත එල්ල කළේය.

“ඔයා කියන්නෙ අපිට මේ බඩු පිසිකල් ඉන්ස්පෙක්ට් කරන්න ඕනේ කියලාද?”

“ඔව්. ඒත් ඒක නෙමෙයි මෙතන තියෙන විශේෂම අභිරහස් වැඩේ.”

“ඒ මොකක්ද?”

“ඔය පින්තුරත් එක්ක තියෙන බඳුනේ පින්තුරේ බලන්න. රතු තීන්තෙන් සලකුනු කරලා තියෙන්නේ.” 

“මේ මැටි භාජනයක්නේ.”

“ඔව් මැටිවාගේ පෙනුනට මේකෙ පුරා විද්‍යාත්මකව තියෙන අගය කියලා නිමකරන්න බැහැ. මේ වාගේ බඳුන් යොදාගෙන තියෙන්නෙ ඊජිප්තුවේ පිරමීඩවල මමීකරණයට ලක්කරපු පාරාවෝවරුන්ගේ ශරීර කොටස් ආරක්ෂා කරලා තියාගන්නයි.”

“මොන පිස්සු කතාවක්ද මේ? ප්‍රොපොසර් කියන්නේ ඊජිප්තු පිරමීඩවල තියෙන බඳුන් මෙහෙ? ඒ කියන්නෙ ලංකාවේ තියෙනවා කියලාද? මේක ඒ බඳුනක්මයි කියලා කියන්නෙ කොහොමද?”

මේ මනුස්සයාගේ ඔලුව නරක්වී ඇතිදැයි සිතූ පොලිස් අධිකාරි මනෝජ් නාරද බණ්ඩාර දෙස සැකමුසු බැල්මක් හෙලුවේය. තම මුහුණට බෑරෑරුම් පෙනුමක් ආරූඬ කරගත් ඔහු ෆයිල් කවරයේ පින්තුරය දෙස මඳ වේලාවක් බලාසිටියේය.

“බලන්න මේ පින්තූර දිහා. මේ පින්තූර අපි අරගත්තේ කයිරෝ මියුසියම් එකෙන්, මේවා එක සමානයි නේද? අනික ස්ටැන්ලි මේ ගැන ෆයිල් එකේ රෙකෝඩ් කරලා තියෙන්නෙ මේක මුහුදෙන් හමුවෙච්ච දෙයක් විදිහටයි.”

“එහෙනම් මේ බඳුන අරගෙන යන්නද හොරු ආවේ?”

එසේ කී මනෝජ් තම මේසය මතට වැලිමිට ඔබාගෙන නළලට අතින් තට්ටු කරමින් කල්පනා කරන්නට විය.

“මමනං හිතන්නේ නැහැ මේ බඳුන මෙහෙම වටිනා එකක් කියලා කවුරුත් දැනගෙන හිටියයි කියලා.”

“එහෙනම් මොන කෙහෙල් මලකටද මේක ගෙනිච්චේ? අනික ක්ලාක්ගේ කට උත්තරේට දීලා තිබුනා මේ සේප්පුවල නිධන් වලින් ගත්තු බඩු වගයකුත් තිබුනයි කියලා. ඒ නිසයි අපි ඔබතුමාගෙන් මේ ගැන වාර්තාවක් ඉල්ලුවේ.”

“මගේ වාර්තාවේ සඳහන් වෙනවා මේවායේ නිධන් වලින් ගත්තු විදිහේ භාණ්ඩ නැතිබව.”

“මේ බඳුන මොකට පාවිච්චි කරපු එකක්ද?”

“මේවා ලී වලින් මැටියෙන් ගල්වර්ගවලින් රත්තරන් සහ රිදීවලිනුත් හදලා තියෙනවා. ඒ මිය ගිය කෙනාගේ තත්ත්වය සශ්‍රීකත්වය අනුවයි. කලානුරූපව මේවායේ හැඩයේ සුළු සුළු වෙනස්කම් ඇතිවුණත් බොහෝමයක් බඳුන් වල හැඩයේ සමානකමක් තියෙනවා. මේවාට ඉංග්‍රීසියෙන් කියන්නෙ කැනෝපික් ජාස් කියලායි. මේ වාගේ බඳුන් හතරක් යොදාගෙන අක්මාව, පෙණහලු, බඩවැල් සහ අමාශය තැන්පත් කරලා ඒවා සිරුරත් එක්කම සොහොන්ගැබේ තැන්පත් කරනවා.”

“ඉතිං මට නොතේරෙන්නේ මුං මොකටද මේ බඳුන අරගෙන ගියේ කියලා.”

“සමහර විට ස්ටැන්ලිගේ ක්ලාක් හරි වෙන කවුරුන් හරි මේ ගැන දැනගෙන ඉදලා හොරුන්ට ඉන්ෆොමේෂන් දුන්නාද දන්නේ නැහැ. නැත්නම් මේක මුහුදෙන් ගොඩ ගත්තු එකක් නිසා වටිනා කමක් ඇතැයි හිතලා සේප්පුවේ දාලා තිබ්බා. හොරු ටික සේප්පුව සුද්ද කරගෙන යනකොට මේකත් ඒ ගොඩටම වැටෙන්නත් ඇති.” 

“අපි ඒ ගැනත් සොයලා බැලුවා. ඔබතුමා කියන කතාව හරි වෙන්නත් පුලුවන්. අපි ක්ලාක්ගෙනුයි සහායකයාගෙනුයි ගොඩාක් ප්‍රශ්න කළා. එයාලගේ කටඋත්තර අනුව නම් හොරුන්ට ඉන්ෆෝමේෂන් දුන්නා කියන්න බැහැ. හැබැයි මේ බඳුනේ හරි වටිනාකම නොදන්න හොරුන්ට මේක සල්ලි කරන්න බැහැ. ඒ නිසා මේක දැනටමත් කොහේට හරි විසිකරලාද දන්නේ නැහැ.”

“මේක ඉක්මනටම හොයාගන්න වෙයි ඉන්ස්පෙක්ටර් මනෝජ්. මොකද මේ බඳුනේ පුරාවස්තුවක් විදිහට විශාල මිලකරන්න බැරි වටිනාකමක් තියෙනවා. මේක මේ හොරු ටික විනාශ නොකළොත් හොඳයි. ආ අනෙක් කාරණේ තමයි ඉන්ස්පෙක්ටර් මේක පත්තරවලට මාධ්‍යවලට යන්න දෙන්න එපා. එතකොට මේක හොයාගන්න අපහසුවෙන්න පුළුවන්.”

“ඔව් ඒක ඇත්ත ප්‍රොපෙසර්. අපි කිසිම මාධ්‍යකට මේ ගැන ප්‍රචාරය නොවෙන්න වඟබලාගන්නම්.”

“මගේ වර්තාවෙ මේ බඳුනේ විස්තරයත් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. අනෙක් භාණ්ඩ ගැනත් මට පුළුවන් උපරිමයෙන්ම ඒවායේ පුරාවිද්‍යාත්මක වටිනාකම් පිළිබඳව සටහන් යොදලා ඇති. තවදුරටත් මගේ සේවය අවශ්‍යය වෙන එකක් නැහැයි කියලයි මම හිතන්නේ. අවශ්‍යය නම් මට ඕනෑම වේලාවක කතාකරන්න.” 

“බොහෝම ස්තුතියි ප්‍රොපෙසර් නාරද. අපිට ඔබතුමාගේ සහාය ඉදිරියේදිත් අවශ්‍යය වෙයි මේවා හොයාගත්තොත්.”

“මටත් ලොකු උනන්දුවක් ඇතිවෙලා තියෙනවා මේක කොහෙන්ද හොයාගත්තේ කියලා දැනගන්න. මේවාගේ තවත් බඳුන් තුනකුත් තියෙන්න ඕනේ. අනෙක් කාරණේ තමයි සමහරවිට මේ බඳුන් එක්ක ඊජිප්තුවේ පාරාවෝ සෙහොන් ගැබක තිබුණු මමියක් ලංකාවට ගෙනැල්ලා තියෙන්නත් පුළුවන්.”

“එහෙනම් ඔබතුමාට පුළුවන්නේ අපේ ඉන්වෙස්ටිගේෂන් ටීම් එකට එකතුවෙන්න.”

“නැහැ ඒක ඔයාලට වාගේම මටත් කරදරයි. ඔයාලා වර්තමානයේ හොරුයි නැතිවුණු භාණ්ඩයි හොයාගෙන යන්නකෝ. මම අතීතයේ මේ බඳුන තිබුනේ කොහේද කියලා හොයාගෙන යන්නම්. මගේ වැඩේ අතීතය ගොඩදාන එකනේ.”

නාරද සිනාසෙමින් කීවේය.

“අපෙන් බාධාවක් නැහැ, ඔබතුමා කරගෙන යන්න. අපේ සහාය අවශ්‍යය වුණොත් මට කතාකරන්න. ඒවාගේම මට ඔයාගේ වැඩවල ප්‍රෝග්‍රස් එක නිතරම දන්වන්න. ඒක අපේ ඉන්වෙස්ටිගේෂන් වලට පහසුවක් වේවි.”

“බොහෝම ස්තුතියි ඉන්ස්පෙක්ටර් මනෝජ්. මට පුළුවන්ද ස්ටැන්ලිගේ ඇසිස්ටන්, ක්ලාක් එක්ක කතා කරන්න. එයා ඉන්න තැනක් හරි ටෙලිෆෝන් නොම්මරයක් හරි ලැබුනොත් පහසුයි.”

“ටෙලිෆෝන් නොම්මර නම් නැතිව ඇති මම ඇඩ්රස් එක දෙන්නම්. පී සි චමින්ද මේ මහත්තයාට අර ස්ටැන්ලි වික්‍රමපාලගේ මර්ඩර් කේස් එක ලියපු පොත බලලා ක්ලාක්ගේ ඇඩ්රස් එක දෙන්න.” 


එස් එස් පී මනෝජ්ට සමුදී අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් එළියට බට මහාචාර්ය නාරද විශ්ව විද්‍යාලය බලා ගියේ දේශනයක් පැවැත්වීම සඳහායි. සවස් වනවිට දේශනයේ කටයුතු අවසන්කරන්නට හැකිවූ පසුව වත්සලාගේ ලිපිනය සොයාගෙන අත්තිඩිය බලා රිය පැදෙව්වේය. අත්තිඩියේ පන්සල හන්දියෙන් ඇතුළට හැරී අතුරු පටුමඟක් ඔස්සේ ගොස් ලිපිනයේ වූ වත්සලාගේ නිවස සොයාගත්තේය. දොරට තට්ටු කිරීමේදී මිටි තරබාරු කාන්තාවක් අලස ගමනින් පැමිණියාය. 

“කාව හම්බවෙන්නද?” 

“වත්සලා ඉන්නවාද?”

“එයා දැන් බෝඩිමේ නැහැ.”

“ඇයි වැඩට ගියාවත්ද?”

“නැහැ එයා ගමේ ගියා.”

“ඇයි රස්සාවෙන් අස්වෙලා ද ගියේ?”

“නැහැ එයාගේ බොස්ව කවුදෝ මරලා දාලා කියලා එයා හරිම අප්සෙට් එකේ හිටියෙ. දැන් දවස් තුනකට කලින් එයා ගමේ ගියා.”

“එයා මෙහෙන් අස්වෙලාද ගියේ?” 

“නැහැ එයා වෙනින් රස්සාවක් වත් හොයාගන්න ඕනේ කිව්වා. ලබන සුමානෙ විතර එයි.”

“මට එයාගේ ගෙදර ඇඩ්රස් එක දෙන්න පුළුවනිද?”

“ඔය මහත්තයා කවුද කියලා කියන්න. අපි නොදන්න අයට මෙහේ ඉන්න අයගේ ඇඩ්රස් දෙන්නේ නැහැ.”

“මම එයාගේ යාළුවෙකුගේ අයියා කෙනෙක්.”

“ඉතිං එයා ගෙදර ඇඩ්රස් එක දීලා නැද්ද?” 

තරබාරු කාන්තාව තම සැක මුසු බැල්ම නාරද වෙත එල්ල කරමින් ඇසීය. බෝඩිමේ කාන්තාව තමන් සැක කළහොත් ඇයගෙන් ලිපිනය ලබාගැනීම අසීරුවන බව නාරදට වැටහුනේය. 

“මම වැඩ කරන්නේ විශ්ව විද්‍යාලයේ. මෙන්න මගේ විශ්ව විද්‍යාලයේ අයිඩෙන්ටි කාඩ් එක. මගේ නංගි හදිසියේ ගෙදරින් ගිහිල්ලා. වත්සලාගේ ගෙදරවත් ඉන්නවාද කියලා පොඩ්ඩක් හොයලා බලන්නයි හදන්නේ.”

“දැන් හැදෙන කෙල්ලෝ කිසිම කමකට නැහැ. ඉන්න මම දෙන්නම්. මම හිතුවේ මහත්තයා රහස් පොලිසියෙන්වත්ද කියලා.”

නාරදගේ බොරුවට රැවටුනු කාන්තාව දුන් ලිපිනය රැගෙන ඔහු ඉක්මනින්ම එතැනින් නික්මුනි.

මතුසම්බන්ධයි.......


12 comments:

  1. එක ම වුනෙමි පෙර කළ පින් ඇති කමට
    දැකපු ගමන් කියවන්නට ආ කලට
    තව කොටසක් එන තුරු බැරි විය ඉන්ට
    ලියපු ගමං එන්නෙමි එය කියවන්ට

    ReplyDelete
    Replies
    1. දුටුවිගසින් දුව එන්ට
      රසකතන්දර කියවන්ට
      හැමදාමත් එක වෙන්ට
      කොළොම්පුරේට ගොඩවෙන්ට

      ස්තුතියි ඩ්‍රැකී

      Delete
  2. අනේ දෙවියනේ වස්සලාට නං කරදරයක් වෙන්න එපා. අඩෝ ඒක නෙවෙයි කොහොම හරි අර &#$ මංජුවට නං ගේමක් දෙන්නෝනි.

    ReplyDelete
    Replies
    1. වත්සලා ඇමට දාලා මංජුට ගේමක් සෙට් කරමු....

      Delete
  3. https://www.apartmenttherapy.com/buying-antiques-tips-257555

    ReplyDelete
    Replies
    1. හොර ඇන්ටික් එමට තියෙන හින්දා මේ ලිංක් එක වැදගත්වෙයි.....

      Delete
  4. ලස්සනට කතාව ගලාගෙන යනව. ඊජිප්තු පැත්ත හිතුනෙම නැහැ. මරු

    ReplyDelete
  5. 'ඉන්ස්පෙක්ටර් මේක පත්තරවලට මාධ්‍යවලට යන්න දෙන්න එපා' මේකනම් හරියටම කරයි. අර තමන්ගෙ දරුවන්ටවත් පෙන්නන්න එපා කියලා තාත්තා කෙනෙක් ලියපු ලියුමක් රටටම පෙන්නපු අයනෙ. (මතක ඇතුව මහාචාර්ය නාරද බන්ඩාරගෙ ෆොටො එකක් ඊලඟ කොටසෙදි දාන්න හොඳේ).

    ReplyDelete
    Replies
    1. මෙතැනදී තමයි නාරද බන්ඩාරගේ පොටෝ එකක් දමන්න කියලා මාව අමාරුවේ දමන්නද හැදුවේ..
      ඇත්තෙන්ම මේ සියලුදෙනා මාගේ චිත්ත රූපවල මැවුනු නමුත් ලගින් ඇසුරු කළ හිතවතුන්ගේ ගතිලක්ෂණ එකතු කරලායි ලිව්වේ. සමහර පුද්ගල චරිත එහෙන් පිටින්ම අරගත්තා උදහරණ වශයෙන් උපනන්ද මහතා හා ඔහුගේ ලිපිකරු. නාරද චරිතය බිහිවුනේ පුද්ගලයින් තිදෙනෙක් ගේ සංකලණයෙන්. මේක කියනන්නාට නොතේරෙන්නට පුලුවනි එත් මගේ හිතේ මැවුනේ මේ චරිතයි.

      Delete
  6. දැනුයි පෙනෙන්නේ අසංග වැරදි බව
    මෙච්චර කල් කෙළ තියෙන්නෙ පිස්සු බව
    ‘හතරම මුට්ටි’ ලංකාවේ බඩුම නෙව
    මතකද, මේ ළඟත් වතුරට දමපු බව?

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ තව ශතවර්ෂයකට පසුව ලෝකය ඉතිරිවෙලා කැනිම් කරන අයට අපේ මෝඩ දේශපාලුවන් ගංගාවන්ට අතහැරපු මුට්ටි අහුවුනොත් .....

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න