Monday, May 17, 2021

හෝරස්ගේ දරුවා - දහහතර වන දිගහැරුම Son of Horus - 14

වත්සලා හමුවීමට නාරද කෑගල්ලේ ඇඳුරාපොත බලා පිටත්වූයේ කුමාරි සමඟින් ය. අත්තිඩියේ තරබාරු කාන්තාවගේ සැකයට බදුන්වීම නිසා මෙවර තම බිරිඳව මේ ගමනට සහභාගිකරවාගත්තේ වත්සලා කුමනාකාරයේ තැනැත්තියක්දැයි නොදන්නා බැවින්ය. ඔවුන් නිවසට ගොඩවදින විටත් ඇය යම් කටයුත්තක් සඳහා කෑගල්ල ටවුමට යෑමට සුදානමින් සිටියාය.

“මට වත්සලා එක්ක ටිකක් කතාකරන්න ඕනෙ.”

“ඔය මහත්තයා කවුද? පොලීසියෙන්ද?”

“මම මහාචාර්ය නාරද බණ්ඩාර, මේ මගේ වයිෆ් කුමාරි.”

“එන්න සර් ඇතුලට ඇවිත් වාඩිවෙන්න.”

“අපි මේ කතාකරන දේ පිට කාටවත් කියන්න එපා. එපා කියන්නේ ඇයි කියලා ඔයාට මේ කතාව ඇහුවාට පස්සේ තේරෙයි. ස්ටැන්ලි වික්‍රමපාලගේ නැති වුණු බඩු ගැන විශේෂ වාර්තාවක් දෙන්න කියලා මට පොලීසියෙන් බාරදුන්නා. මේ වාර්තාවෙන් සහයක් ලබාගන්න පුළුවන්වෙයි කියලා හිතනවා මේ මිනීමරු හොරු කණ්ඩායම අල්ලාගන්න. ඉතිං මට ඔයාගෙන් ලොකු සහයක් අවශ්‍ය වෙනවා.”

“කියන්න සර්, මම ස්ටැන්ලි සර් වෙනුවෙන් ඕනේ උදව්වක් කරන්න ලෑස්තියි.”

කුමාරි වත්සලා කියන දේ සටහන් කරගැනීමට කුඩා සටහන් පොතක් රැගෙන ඇය අසලින් වාඩිගත්තාය.

“වත්සලා ඔයා මේ ෆොටෝ එක දැකලා තියෙනවාද?”

නාරද ෆයිල් කවරයෙන් අරගත් නැතිවූ බඳුනේ පින්තූරයක් ඇයට පෙන්වීය.

“ඔව් මේ පින්තූරෙ ගත්තේ ශාන්ත අයියා. මමයි එයාට මේ පින්තූර ගන්න කිව්වේ.”

“ඔයා දන්නවාද මේකත් හොරු අරගෙන ගිහිල්ලා කියලා?”

“ඔව් සර් පොලීසියෙන් නැතිවුනු බඩු ගැන අහද්දි මම මේ ගැන විස්තර දුන්නා.”

“එහෙනම් මට කියන්න ඔයා කොහොමද දන්නේ මේක මුහුදෙන් ගොඩට ගත්තු එකක් කියලා? මේක ස්ටැන්ලි කොහෙන්ද අරගත්තේ?”

“ස්ටැන්ලි සර් මේක එක්ක තව බඩු තොගයක් අරගෙන ආවා. ඒ සර්ට ඔය අපරාදේ වෙන්න සතියකට කලින් විතර. හැබැයි මේ බඩු එයා එච්චර කැමැත්තකින් නෙමෙයි අරගත්තෙ කියලා ශාන්ත අයියා කිව්වා.”

“ඇයි ඒ?”

“මේ බඩු ගෙදර තියන්න ඉඩ මදි හින්දා.”

“එතකොට මේ බඩු ගෙනාවේ?”

“මේවා අරගෙන තිබුනේ හික්කඩුව පැත්තේ වහලා දාපූ ඇන්ටික් බඩු කඩේකින්. මට මතක විදිහටනම් ඒකේ අයිතිකාරයා අන්තිමට කඩේට විකුණන්න අරගත්තු එකත් මේ බඳුනමයි.”

“ඇයි අන්තිමට කිව්වේ?”

“මම හිතන්නේ අයිතිකාරයා මැරිලා.”

“එතකොට ඔයා කොහොමද දන්නේ මේක අන්තිමට ගත්තු එකත් මේක මුහුදෙන් ගොඩගත්තු බවත්?”

“ඒ මැරුණු අයිතිකාරයා මේ විස්තර රෙකෝඩ් පොතක ලියලා තිබුනා. මේක ගත්තු දිනය ගත්තු මිල තවත් විස්තර තිබුනා. ඒකෙන් තමයි මම හොයාගත්තේ.”

“දැන් කොහේද ඔය පොත තියෙන්නේ?”

“ඒක තියෙන්නේ ස්ටැන්ලි මහත්තයාගේ කන්තෝරු කාමරේ දෙවැනි ෆයිල් කබඩ් එකේ.”

“එතකොට මීට ඉස්සෙල්ලා අයිතිකාරයාගේ නම් ගම් එහෙම ඒකෙ ලියලා තියෙනවාද?”

“ඒ පොතේ නම් ඔය බඳුනේ ඉස්සර අයිතිකාරයාගේ නම ලියලා තිබුනේ නැහැ.”

“ස්ටැන්ලි මේ ඇන්ටික් කඩේ බඩු අරගත්තේ කාගෙන්ද?”

“ස්ටැන්ලි සර්ට මේ බඩු වික්කේ එයාගේ යාළුවෙක් බව නම් දන්නවා.”

“ඒ යාළුවාගේ නම දන්නවාද?”

“මට නම මතක නැහැ. ඒ විස්තර අපි පොතක ලියලා තියෙනවා. මොකද යම් කිසි දවසක අපිට ප්‍රශ්නයක් ආවොත් කියලා.” 

“ඒ පොත තියෙන්නෙත් ඒ කබඩ් එකේමද?”

“ඔව්. සර් මට කියන්න ඇයි මේ බඳුන ගැන ඔච්චර විස්තර හොයන්නේ?”

“මට ඒ විස්තර කියන්න බැහැ. හැබැයි මේක ඉතා වටිනා එකක්. හොරු මේක විනාශ නොකර තිබ්බොත් හොඳයි. අපිට මේ මිනීමරුවෝ අල්ලාගන්න මේක ගැන විස්තර ආදියත් අවශ්‍ය වෙනවා. අනික අපි මෙහෙම ආපූ බවක්වත් මේ විස්තර හොයන බවක්වත් කාටවත් කියන්න එපා. මේ ගැන හොරුන්ට දැනගන්න ලැබුනොත් ඒක අපිට ලොකු අවාසියක් වෙන්න පුළුවන් මේ බඳුන හොයාගන්න.”

“හොඳයි සර් මම කාටවත් මේ ගැන කියන්නේ නැහැ.”

“එහෙනම් වත්සලා අපි යන්නම් ඔයාගේ උදව් වලට බොහොම ස්තුතියි. ඔයා දන්න මොකක් හරි දෙයක් තිබුනොත් මෙන්න මේ මගේ ටෙලිෆෝන් නොම්මරේට කතාකරන්න.”

තම දුරකථන අංකය සඳහන් කාඩ්පතක් දුන් නාරද හා කුමාරි කොළඹ බලා පිටත්වූහ. 



ස්ටැන්ලිගේ නිවසින් කොල්ලකෑ වටිනා භාණ්ඩ සියල්ලම රැගෙනවිත් සුදු මහත්තයාගේ කඩුවෙල අත්තම්මාගේ පැරණි නිවසේ සොල්දර තට්ටුවේ ආරක්ෂිත ස්ථානයක රංග තැන්පත් කළේය.

“බලපන් උන් වාගේ ගොන්නු රැලක් මේවා බෙදාගන්න කුළල් කාගන්න පටන්ගත්තා. ඊට පස්සෙ මේවා තදියමේ විකුණගන්න ගිහින් පොලීසියට මාට්ටුවෙනවා.”

“රංග අයියා ඔක්කොම බඩු ටික අරගෙන ආපූ එක හොඳයි ඒත් මංජුගේ එච්චර කැමැත්තක් නම් තිබුනේ නැහැ.”

“උගෙ කැමැත්ත අකමැත්ත බලන්න ගියොත් අපිට අනිවාර්යයෙන්ම බලු කූඩුවේ ලගින්න වෙනවා. උඹට ෂුවර් නේද කවුරුවත් මේ සොල්දරේට නගින්නේ නැහැ කියලා.”

“පිස්සුද රංග අයියා මේකට ගෙදර අයත් නගින්න බයයි. අපේ චුටි බාප්පා එල්ලිලා මැරුනේ මේ බාල්කේ. අනික තියෙන තැන පොලිස් බල්ලෝ දාලාවත් හොයන්න බැහැ.”

සොල්දරයට ඉහළින්වූ බාල්කයක් පෙන්වමින් හේ කීවේය.

මේ අතර රංග හා සුදු මහත්තයා ඉතිරි බඩු තොගයම රැගෙන යාම පිළිබඳව කන්ඩායමේ අනෙක් අය සිටියේ නොමනාපයෙනි. 

“බලපං මංජු අයියා අරුන් දෙන්නා විතරක් බඩු ටිකම ඉස්සුවා.”

කපිල සමඟින් මංජුගේ නිවසට වී කතා කරමින්හුන් චුට්ටා කීවේය.

“එහෙම කොහොමද උන් අපිට කරන්නේ. බලමුකෝ මංජුට ගේමක් දෙන්න හදන්නේ කවුද කියලා. කොහෙද තොපිලා දෙන්නාත් පඹයෝ වාගේ කොන්ද පණ නැතිව හිටියානේ උං ඔක්කෝම බඩු අරගෙනයනකං. දැන් තමයි තොපේ කටවල් වලට පණ ඇවිල්ලා චුරු චුරු ගාන්න පටන්ගන්නේ.”

මංජු කේන්තියෙන් පැවසීය.

“වැඩි දවසක් මම රංගයාට අපේ බඩු තියාගෙන ඉන්න දෙන්නේ නැහැ. ඌට ඉක්මනටම අපේ සල්ලි දෙන්න වෙනවා.”



     එස් එස් පි මනෝජ් පෙරේරා හමුවූ නාරද බණ්ඩාර ඔහුගේ අවසරය ලබාගෙන බත්තරමුල්ලේ පිහිටි ස්ටැන්ලිගේ නිවසට ඇතුල්වූයේ තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සමඟින්ය. දින ගණනාවකින් නොඅතුගාන ලද මිදුල පුරාවට කොළරොඩුවලින් හැඩවීගත් නිවසින් දිස්වන්නට වූයේ පාළු මූසල පෙනුමකි. නාරද බණ්ඩාර ඉදිරිපස දොර විවරකරගෙන බිම් මහලට පිවිසියේය. ස්ටැන්ලි ගබඩාවක් ලෙසන් පාවිච්චිකරන ලද එම බිම් මහලේ තිබුණු ගෘහභාණ්ඩ වලින් නිකුත්වූ ලැකර් මිශ්‍ර පොලිෂ් සුවඳිනුත් දූවිලි මිශ්‍ර පුස් ගදෙනුත් පිරී පැවතියේය. පොලිස් කොස්තාපල්වරු සමඟින් උඩුමහළට ගොඩවූ නාරද ස්ටැන්ලිගේ කන්තෝරු කාමරය සොයමින් එහි සැරිසැරුවේය. අපිළිවෙළට එහි තිබුනු බඩුමුට්ටු ඇදදමා තිබුනායින් යකුන් නැටූ පිට්ටනියක් සේ උඩුමහල පෙනුනි. නිදන කාමරයේ පොළව සෝදා පිරිසිදු කර තිබූ නමුත් එය හරිහැටි කර නොතිබුනායින් තැනින් තැන විසිරුනු ලේ පැල්ලම් තද කලු පාටින් දිස්වන්නට වුනි. නිදන කාමරයේ වූයේ පුස්ගඳ පරයමින් වියලුනු ලේ පැල්ලම් වලින් නැගුණේ තද කුයිලයකි. කන්තෝරු කාමරය සොයාගත් ඔහු එහි ෆයිල් කබඩයෙන් ගුණසිරිගේ ඇන්ටික් බඩු සාප්පුවේ රෙකෝඩ් පොත මෙන්ම ස්ටැන්ලිගේ රෙකෝඩ් පොත්ද ලබාගත්තේය. ගුණසිරිගේ රෙකෝඩ් පොතේ ඔහු බඳුන මිලදීගත් අයෙකුගේ නම හෝ ලිපිනයක් සඳහන් කර තිබුනේ නැත. ගුණසිරිගේ හදිසි වියෝවට පෙර අවසන් වරට ගත් භාණ්ඩයක් වීම නිසා එම භාණ්ඩය පිළිබඳ වැඩිදුර විස්තර ලියාතැබීමට නොහැකි වී තිබුනි. එසේම ස්ටැන්ලිගේ පොතේ ලියා තිබූ ලිපිනය වුයේද හික්කඩුවේ ගුණසිරි ඇන්ටික්හි ලිපිනය පමණි. ඒ අනුව ගුණසිරි ඇන්ටික් සාප්පුව සොයාගෙන පසුවදාම නාරද හික්කඩුව බලා පිටත් විය. 



        ඔහු දන්නා පරිදි ගුණසිරි ඇන්ටික් අයිතිකරු මියගොසින්ය. නාරද බලාපොරොත්තුවූයේ ඇන්ටික් සාප්පුවේ නව අයිතිකරු මාර්ගයෙන් හෝ ගුණසිරිගේ නිවහන සොයාගොස් මේ බඳුන ගැන විමසීමටය. නාරදගේ සියලු බලාපොරොත්තු වියැකී ගියේ වසාදමා පාළුවට ගිය ගුණසිරිගේ ඇන්ටික් සාප්පුව පිහිටි පැරණි නිවස දැකීමෙනි. ගාලු පාර අයිනට වන්නට රිය නැවැත්තූ නාරද ඉන් එළියට බැස වටපිට බැලුවේ සියලු බලාපොරොත්තු කඩව ගිය බැල්මෙනි. ලොරියට යටවී ඇඹරී ඇදකුද ගැසුනු ගේට්ටු පලු දෙක තාප්පයේ ඇතුළු පැත්තේ දිරාපත්වෙමින් පැවතියේය. පුපුරාගොස් තිබූ පැරණි පන්නයේ ගේට්ටු කුලුණු දෙකහි එක් කුලුණක බාගෙට ගැලැවුනු ගුණසිරිගේ රුව රැගත් මරණ දැන්වීමක් ඇලැවී ඇත. ලොරිය හැප්පීමෙන් මැරුණු අඹ ගසේ කොළ සියල්ලම පාහේ හැලී ගොස් ගස දිරාපත්වීම ඇරඹී ඇති සැටියකි. හැලුනු අඹ කොළද කලෙකින් කපා නොදැමූ තණකොළද සරුවට වැඩීමෙන් ගෙවත්ත ජරාවාසවෙමින් පැවතියායින් පැරණි නිවසින් දිස්වූයේ මහා මූසල මුස්පේන්තු පෙනුමකි.

 නිවස අවට සෝදිසි කර බලා නාරද පාරෙන් එහා පැත්තේ වූ සිරිමෙවන්ගේ බතික් කඩයට ගොඩවැදුනේ ගුණසිරි ගැන හෝඩුවාවක් දැනගැනීමේ අටියෙනි.

“මල්ලි කෝ ගුණසිරි? ඇයි කඩේ වහලා?”

“සර් දන්නේ නැද්ද එයා මළානේ. මැරිලාත් දැන් මාස හයකටත් කිට්ටු ඇති.”

“මළා? මොනවා වෙලාද?”

“වැඩට හිටපු ගෝලයා ගමේ ගොහින් එන්න ගියදා එදා කඩේ මුරටත් එක්ක ගුණසිරි අයියා නැවතුනා. මහ රෑ දොට්ට පිලට යන්න ගුණසිරි අයියා එළියට බහින්න ඇති. ඒ වෙලාවේ හොර හරක් පටවපු ලොරියක ඩ්‍රයිවර්ට නින්ද ගොහිං පාරෙන් පිට පැනලා නතර වුණේ ගුණසිරි අයියාවත් යටකරන් අර අඹ ගහේ වැදිලා. ගුණසිරි අයියා එතනමයි. ලොරිය ගිහින් තිබුනේ ඔලුව උඩින්මයි.” 

“අයියෝ මල්ලි එයා මගේ හොඳ හිතවතෙක්නේ. මෙතනින් යනකොට මෙහෙට එනවා. මම කොච්චර බඩු ටුවරිස්ලාට අරගෙන දීලා තියෙනවාද?”

“ඔව් සර් අපිටත් හරිම පාඩුවක් උනේ.”

“මල්ලි මට දෙන්නකෝ එයාගේ ගෙදර ඇඩ්රස් එක. යනින් ගමන් එහාටත් ගොඩ වැදිලා යන්න.”

“වැඩක් නැහැ සර් ගුණසිරි අයියාගේ පුත්තු දෙන්නාම ඉන්නේ පිටරට. තුන්මාසේ දානෙන් පස්සේ ගුණසිරි අයියාගේ පවුලත් එහෙට ගෙන්නගත්තා.”

“එතකොට මෙහේ කවුරුවත්ම නැද්ද?”

“මම දන්න තරමින් නැහැ. ඇයි සර්?”

“මට ඒ රටේ ඇඩ්රස් එක ඉල්ලගන්න.”

“මොකටද සර්ට ඇඩ්රස්?”

“මම බඩු වගයක් අරගෙන තියෙනවා ගුණසිරිගෙන්. පොඩි ගාණක් මදිපාඩුවුනා. ඒ සල්ලිටික දෙන්නත් එක්කයි මේ ආවේ. නොදී මඟ අරින එක හොඳ මදිනේ.”

“එහෙමද. ඒක නම් හොඳ වැඩක් තමයි. සර්ට ඇඩ්රස් එක ඉල්ලගන්න පුළුවන් එයාලගේ ඥාතියෙක් හිටියා පියරත්න කියලා ඉස්කෝලේ මහත්තයෙක්. එයාව මුල්කරගෙන තමයි ගුණසිරි අයියාගේ පවුල මේ කඩේ තිබ්බ ඔක්කොම බඩු වික්කේ.”

සිරිමෙවන්ගේ එම වදන් කිහිපය නාරදට සුබාරංචියක්ම විය. 

“මේ ඉස්කෝලේ මහත්තයා ඉන්නේ කොහෙද?”

“මං ඉන්න තැනනං දන්නේ නැහැ. හැබැයි ගාල්ලේ ටවුමේ කාගෙන්හරි ඇහැව්වොත් කියාවි. එයා ප්‍රසිද්ධ සමාජ සේවකයෙක්ලු. ටවුමේ කවුරු කවුරුත් එයාව හොඳට දන්නවා.” 

සිරිමෙවන්ගේ බතික් රෙදි සාප්පුවෙන් පිටත්වූ නාරද කෙලින්ම ගාල්ල බලා රිය පැදවූයේ තමා ආ කාරණාව යම් තරමකට හෝ සඵලවීමේ සතුට සිතේ රුවාගනිමින්ය.

මතුසම්බන්ධයි.......

11 comments:

  1. වීරකෝන් ඩිකී මතකද ඩීමන්ගේ
    මහැදුරු නාරදත් හරියට ඒ වාගේ
    හොයන්නට ගිහින් හැංගුණු බලවේගේ
    බෙල්ලම ගහල යයිදෝ ඒ උන්දෑගේ

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාවෙන් උනත් කියන්න ඕනේ ඩීමන් ආනන්දගේ මාරක කතා කියවලා නෑ.. එකම එක සැරයක් එයා ලියුව ගොපලු කතාවක් ඩොලර් කොල කිහිපයක් වාගේ නමක් ඇති කතාවක් කියෙව්වා.

      Delete
    2. https://en.wikipedia.org/wiki/For_a_Few_Dollars_More

      Delete
  2. කළබලේට කියවලා ගියා. ඔපිස් ගිහිං කමෙන්ට් කරන්නං... මේ පාර කොටස කුතුහලය සහ උද්යෝගය ඇති කරවනසුළුයි

    ReplyDelete
    Replies
    1. හොදා.. හොදා.. ඔපිස් ගියාම උද්යෝගය නැති නොවේවා..

      Delete
  3. සුදු මහත්තයාගේ බාප්පයි ඊජිප්තු මමියයි සොල්දරේ උද සෙට් උනාම කොහොමද ආතල් එක. :)))

    ReplyDelete
    Replies
    1. ඔව් ඉදිරියේදි දෙන්නාගේ ගේම් බලාගන්න පුලුවන්..

      Delete
  4. කතාව හොඳට ගලාගෙන යනවා. ළඟදීම ලොකු ගඟකට වැටෙයි

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න