Thursday, May 20, 2021

හෝරස්ගේ දරුවා - පහළොස් වන දිගහැරුම Son of Horus - 15

   




 ගාල්ල ටවුමේ සමනල පාලම ක්‍රීඩාංගනය දෙසට වන්නට රිය නැවැත්තු ඔහු බස් නැවතුම්පල දෙසට පියනැගුවේ පියරත්න ඉස්කෝලේ මහත්තයා ගැන තොරතුරක් ලබාගන්නා අටියෙනි. කිහිපදෙනෙකුගෙන් විමසීමෙන් පසුව වැඩි වේලාවක් නොයවා ඉස්කෝලෙ මහත්තයා ගැන දන්නා අඳුනන පුද්ගලයෙකු ඔහුට මුණගැසුනි. 


“ඔය කියන්නේ අපේ ගාලු සංස්කෘතික හා පුරාවිද්‍යා උරුමයන් සුරැකීමේ සංවිධානයේ සභාපතිවෙලා හිටපු මහත්තයා ගැන වෙන්න ඇති.”

“මමනං එහෙම දන්නේ නැහැ.”

“එයා ඔය පැරණි දේවල් විනාශ කරනවාට විරුද්ධව ලොකු වැඩ පිළිවෙළක් ගෙනිච්චායින් තමයි දැන් ඔය දේවල් මේ තරමින් හරි ඉතිරිවෙලා තියෙන්නේ.”   

“මට ඒ මහත්තයාගේ ගෙදර තියෙන තැන කියන්න පුළුවන්ද?”

“මම දෙන්නම් ඇඩ්රස් එක.”

ඔහුගෙන් ලබාගත් ලිපිනය අනුව වක්වැල්ල පාරේ පියරත්න ඉස්කෝලේ මහත්තයාගේ නිවස සොයාගෙන මහාචාර්ය නාරද බණ්ඩාර රිය පැදෙව්වේ පියරත්න ගැන ඇතිවූ පහන් හැගීමකින්ය. පියරත්න මහතාගේ නිවසට ගොඩවැඳ තමා කවුදැයි අඳුන්වා දුන් පසු පියරත්න මහතා ඉමහත් සතුටට පත්වූයේය. ඒ පුරා විද්‍යාවට ඇල්මක් දක්වන ඔහු නාරද බණ්ඩාරගේ ලිපි හා පර්යේෂණ ග්‍රන්ථ කිහිපයක්ම කියවා ඇති පුද්ගලයෙකුද වීම නිසාවෙන්ය. 

“ස්ටැන්ලිගේ මළගෙදරටත් මම සහභාගි වුණා. මට බොහොම කණගාටු මෙච්චර ඉක්මනට ස්ටැන්ලි මැරුනු එකයි. කාලෙකට පස්සේ මට ස්ටැන්ලිව මුණගැහුනෙත් මේ ළඟදියි.”

“ඒ කියන්නේ ගුණසිරිගේ ඇන්ටික් විකුණන්න යද්දි?”

“හරියට හරි. අපි දෙන්නා ඉස්කෝලේ හිටියේ එක පන්තියේ.”

“එතකොට මිස්ටර් පියරත්නට මතකද ගුණසිරිගේ විකුණාපු බඩු එහෙම?”

“මම ඒ බඩු වර්ග කරලා ඒවාට මිලක් නියම කළා. ඒත් ඒවා ගැන දැන් මතකයෙන් කියන්න බැහැ.”

“එහෙනම් මේ පින්තූරේ තියෙන බඳුන මතකද?”

“ඔව් ඒක මතකයි. මේ බඩුත් එක්ක ස්ටැන්ලිට වික්කා.”

“මේ තියෙන්නේ ගුණසිරිගේ රෙකෝඩ් පොත. මේකේ මේ බඳුන අරගත්තු දිනවකවානු තියෙනවා ඒත් අරගත්තු කෙනාගේ නම්ගම් ලියලා නැහැ.”

“මේ දින වකවානු අනුව නම් ගුණසිරි මැරෙන්න දින කිහිපයකට ඉස්සර තමයි ඔය කියන බඳුන අරගෙන ඇවිල්ලා තියෙන්නේ.”

පියරත්නගේ මුහුණට බෑරෑරුම් පෙනුමක් ආරූඪ විය. ඔහු නළල රැළි ගන්වාගෙන මඳක් කල්පනා කරන්නට වුනි.

“එහෙනම් මේවා ෂෙරිල් නෝනගෙන් අරගත්තුවා වෙන්න ඇති.” 

ඒ පිළිතුරෙන් නාරදගේ මුහුණට මඳ එළියක් එක් කළේය.

“මිස්ටර් පියරත්න කවුද මේ ෂෙරිල්නෝනා?”

“මෙන්න මේකයි කතන්දරේ. මට ආරංචියක් ආවා පරණ ඇන්ටික් බඩු වගයක් විකුණන්න තියෙනවා කියලා. ඒ ගමන තමයි මට මතක්වුනේ අපේ ගුණසිරි අයියා ගැන. එයැයිට දන්නලා මේ බඩු ටික අරගන්න උදව් කළා.”

“ෂෙරිල් කොහේද ඉන්නේ?”

“එයා මේ ළඟමයි ඉන්නේ. මහවීදීයේ සැලොන් එකක් කරනවා.” 

“එහෙනම් අපි එයාව මුණගැහෙන්න යමු. එයා දන්නවා ඇතිනේ මේ බඳුන එයාට වික්ක එක්කෙනා කවුදැයි කියලා.”

“වැඩක් නැහැ මහත්තයෝ. එයා නෙවෙයි හැබෑ අයිතිකාරයා.”

“එහෙනම් කවුද?”

“ඒවා අයිති ෂෙරිල්නෝනාගේ යාළුවෙක්ට. එයා ෂෙරිල් නෝනා ලව්වා ඇන්ටික් බඩු ටික වික්කා.”

“ඉතිං අපිට ෂෙරිල්ගෙන් අහල යාළුවා ගැන දැනගන්න පුළුවන්නේ.”

“ෂෙරිල් නෝනාගේ යාළුවාගේ මහත්තයා තමයි මාළු පිටරට යවන බිස්නස් කාරයෙක් උන්නා උපනන්ද කියලා. නෝනාගේ පොඩි හුටපටයක් අතට අහුවෙලා එතැනදි ගිය රංඩුවකදි ඒ මහත්තයා මළා. ඊට පස්සේ තමයි ඒ නෝනා ෂෙරිල් නෝනා ලව්වා මේවා විකුණුවේ. එයා උපනන්ද මහත්තයාගේ මුළු සේසතම විකුණදාලා යන්න ගියා.”

“හරි වැඩේනේ. අපිට බැරිද මිස්ටර් පියරත්න ෂෙරිල්ව මුණගැහිලා මේ ගැන අහන්න. සමහරවිට එයා දන්නවාත් ඇති.” 

“එහෙනම් අපි යමු ෂෙරිල්ගේ සැලොන් එකට.”

නාරද පියරත්න සමඟින් ෂෙරිල් හමුවීමට ගාල්ල ටවුමේ පිහිටා තිබුනු සැලෝන් එක බලා පිටත්වූහ. සුපුරුදු පරිදි ඈ තවත් යෙහෙළියන් පිරිසකට නවීන මෝස්තරයේ මිලාධික ඇඳුම් විකිණීමේ ක්‍රියාවලියක නිරතවෙමින් සිටියාය. උඩු මහලේ සැලෝනයට ඇතුල්වූ පියරත්න ඉස්කෝලේ මහත්තයා ෂෙරිල් දුටුවාය.

“ආ පියරත්න මහත්තයානේ එන්න, එන්න. මොකද මහත්තයාට මේ පැත්ත මතක්වුනේ?”

“මම ආවේ විශේෂ කාරණයකටයි. අපිට ඔයා එක්ක ටිකක් පෞද්ගලිකව කතාකරන්න ඕනේ.”

ඔහු අනෙක් කාන්තාවන් දෙස බලා ඔවුනට සිනහවකින් සංග්‍රහකරමින් පැවසීය.

“රමණි මේ ඇඳුම් මේ අයට පෙන්නන්න. එන්න පියරත්න මහත්තයා යමු ඇතුලට.” 

ඈ ඔවුනව ඇතුල් කාමරයක් තුළට කැඳවාගෙන ගියාය. 

“ෂෙරිල් නෝනා මේ ඉන්නේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්්‍ය නාරද බණ්ඩාර. එයා මේ විශේෂ යමක් සොයනවා.” 

“අනේ මං දන්න පුරාවිද්‍යාවක් නෑනේ පියරත්න මහත්තයා.”

“මේ මහත්තයා සොයන්නේ ඔයා අපේ ගූණසිරි අයියාට වික්ක උපන්නද මහත්තයාගේ ඇන්ටික් බඩුවලින් එකක් ගැන.”

“ඇයි දැන් මේ බඩු හොර බඩුයි කියනවාද?”

“නැහැ නැහැ ඔයා කලබල වෙන්න එපා. එහෙම දෙයකට නෙවෙයි මම මේවා සොයන්නේ. මට අවශ්‍ය දැන ගන්න ඔයා මේ බඩු විකුණද්දි මේවායේ වටිනාකම් ගත්ත තැන් ආදිය විස්තර ගුණසිරි අයියාට දුන්නාද?”

“මට මතක හැටියට කිව්වා වගේ මතකයි.”

“විස්තර දුන්නේ කවුද? උපනන්ද මහත්තයාගේ නෝනාද?”

“ඔව් එයා කිව්වා. මොකද එයාට උපනන්දගේ මරණින් පස්සේ මෙහේ ඉන්න බැරි තත්වයක් උදාවුනා. ඊට පස්සේ එයා තීරණය කළා ඔය ගේත් ගෙයිබඩුත් විකුණදාලා යන්න. ඒත් එයා මේවා විකුණන වැඩවලට මැදිහත්වුනේ නැහැ. එයා කිව්ව දේවල් අනුව තමයි මම මේ බඩුවලට මිළක් තීරණය කළේ.”

“ඔයා මේ බඳුන දන්නවාද?”

නාරද ෆයිල් කවරය තුලින් බඳුනේ ඡයාරූපයක් රැගෙන ඇයට පෙන්නුවාය.

“මටනං එච්චර මතකයක් නම් නැහැ. සමහරවිට මේක ඒ ගොඩේ තියෙන්නත් ඇති.”

“ඔයා කියලා තියෙනවා මේක මුහුදෙන් හොයාගත්තු එකක් කියලා.”

“ආ මට දැන් මතක්වුනා. සුචිත්‍රා කිව්වා තමයි මේක උපනන්ද මුහුදෙන් ගොඩගත්තු කෙනෙකුගෙන් අරගත්තු එකක් කියලා.”

“උපනන්දට මේක විකුණපු එක්කෙනා මේක ලැබුනු තැනක් එහෙම කියලා නැද්ද? එයා කොහේ කෙනෙක්ද? සුචිත්‍රා ඔයාට කිව්වේ නැද්ද?”

“ඒ විස්තර කියන්න තරම් සුදුසු මානසික මට්ටමක නෙමෙයි එයා ඒ දවස්වල හිටියේ. මමත් ඔය ඇන්ටික් බඩු ගැන දන්නේ නැති නිසා ඔය විස්තර ඇහැව්වේ නැහැ.”

“දැන් සුචිත්‍රා කොහේද ඉන්නේ?”

“ඔයා මේ ඔක්කෝම විකුණලා දාලා ගියාට පස්සෙ දෙතුන් සැරයක් විතර මට කතා කළා.  ළගදී නම් කතාකළේවත් නැහැ.” 

“එයා ඉන්න දිහාවේ ටෙලිෆෝන් නොම්මරයක් හරි ඇඩ්රස් එකක් හරි දෙන්න පුළුවන්ද?”

“එයා ටෙලිෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. ඉන්න දිහාවේ ඇඩ්රස් කිසිම කෙනෙකුට දෙන්න එපා එයා කියලා තියෙන්නේ.”

“මෙහෙමයි ෂෙරිල් අපි මේ බඳුන හොයන්නේ විශේෂ කාරණාවකටයි. ඉතිං ඔයා සුචිත්‍රාගේ ඇඩ්රස් එක නොදීමෙන් ලොකු අවුලක් සිද්ධවෙනවා.”

“ඇයි, ඒ මොකක්ද?”

“මේ ගැන යමක් කියන්න බැරි මේ විස්තර පිටට යන්න දෙන්න බැරි නිසයි. මේක හොයන්නේ පොලීසියේ අපරාධ විමර්ශනයෙන්. ඔයා මේක නොදුන්නොත් අපිට සිද්ධවෙනවා පොලීසිය මාර්ගයෙන් හරි මේ ලිපිනය ලබාගන්න.”

පොලීසියේ කාරණාවක් බව ඇසීමෙන් පසු ෂෙරිල් තම තිරණය වෙනස් කළාය. 

“මම ඇඩ්රස් එක දෙන්නම්. හැබැයි මේක මම දුන්නා කියලා කියලා ඔයාලා එයැයිට කියන්න එපා.”

“ඔයා බය වෙන්න එපා ඒ ගැන අපි නොකියා ඉන්නම්.”

සුචිත්‍රාගේ ලිපිනය ලබාගත් නාරද, පියරත්න ඉස්කෝලේ මහත්තයා නිවසට ඇරලවා යළි කොළඹ බලා පිටත්වූයේ ඔහුගෙන් යලිත් උදව් බලාපොරොත්තු වන බව පවසමින්ය.

                                     ★ ★ 



කුඩාකලදීම පියා මියගොස් නිසි මඟපෙන්වීමක් නොමැතිව අධ්‍යාපනය කඩාකප්පල්කරගත් අවිවාහක මංජු තම මව සමඟින් මහගෙදර වාසය කළේය. අම්මාට අංශභාග රෝගය වැලඳුන පසුව සාත්තු සප්පායම් කිරීමට පොඩි අක්කාගේ නිවසේ ඈව නතරකළ මංජු පාළු මහගෙදර තම ආධිපත්‍යට පවරාගන්නේ තමා ගැන සොයාබැලීමට කිසිවෙකු නොසිටි බැවිනි. විවාහ කටයුතු වලින් පසු නිවසින් වෙන්ව ගිය සහෝදර සහෝදරයින් රස්තියාදු ගසන බාල මල්ලිව නොසලකා හැරීමත් ඔහුගේ මදාවිකම් වැඩි කරවීමට එක් හේතුවක්ද වුනි. මංජුගේ නිවස රස්තියාදු යහළුවන්ගේ දුරාචාරයින්ට කදිම තෝතැන්නක් විය. දුරාචාර ක්‍රියාවන්ට මුදල් අවශ්‍යතා වැඩිවෙද්දී ටවුමේ රස්තියාදු කොලුනඩයට එක්ව මුදල් සෙවීමේ පහසු මඟක්වූ සොරකම් කිරීමට හේ පෙලඹිණි.

ස්ටැන්ලිගේ නිවස කොල්ලකෑමේ ප්‍රධාන සැලැස්ම සකස්කළ මංජු තමතින් සිඳුවූ මනුෂ්‍ය ඝාතනයෙන් වැඩි එළිපහළියට නොගිහින් නිවෙස තුළට වී කල්ගතකරන්නට වීය. මෙම සිදුවීම ඔහුගේ හදවතට වද දෙන්නක්ම විය. එය අමතක කරනු වස් නිරතුරුවම මත් පැනින් සප්පායම්වීමට පටන් ගත් අතර දින කිහිපයක සිට තම ගෙවත්තේ බළලුන්ගේ පොරඇල්ලීමේ ශබ්දයන් ඇසුනත් එය ඔහු එතරම් ගණනකට නොගත්තේය. මත් පැනින් තොරව නින්දට වැටුනු සෑම දිනකම වාගේ උණු ලේ වගුරවමින් ඇඳ පාමුල ඇද වැටුනු ස්ටැන්ලිගේ පණ ගැහෙන සිරුර නින්දට බාධාකරමින් පෙනෙන්නට විය. සුපුරුදු පරිදි සිහි විකල් වන තුරුම බොන්නට අරක්කු බෝතලයක් හා චයිනිස් හෝටලයෙන් රැගෙන ආ ඌරු මස් බයිට් පාර්සලයත් ළංකරගත් ඔහු  රූපවාහිනියේ හින්දි චිත්‍රපටයක් නරඹන්නට පටන්ගත්තේය. බෝතලයෙන් භාගයක් පමණ හිස්වෙද්දි පිලිකන්න දෙසින් ඇසෙන බළල් හඬ තීව්‍ර වූයෙන් විදුරුවේ ඉතිරිව තිබූ ටිකත් උගුරට හලාගෙන ඌරුමස් කැබැල්ලක් කටේ රුවාගත්තේ නැගිට පිලිකන්නට ගොසින් බලන්නටය. හින්දි චිත්‍රපටයේ උච්චතම සටන් ජවනිකාව අතරතුරේ වෙළෙද දැන්වීමක් ප්‍රචාරණය කරන්නට පටන්ගති. කුණු හරුපයකින් රූපවාහිනි නාලිකාවට බැනවදිමින් හේ තවත් මස් කැබැල්ලක් කටට දාගත්තේය. දෙපසට වැනෙමින් පිලීකන්න දෙසට පියවර නැගූ ඔහු වටාපිටාව හොදින් නිරික්ෂණය කළේ කෑගැසූ බළලුන් සොයන්නට මෙන්ය. පිලීකන්නට ඇතුලුවනවාත් සමගම මෙතෙක් කෑගැසූ බළලුන්ගේ ශබ්දයින් එකවරම නතරවුනි. එවර යළිත් එම කෑගැසීම් නිවසේ ඉදිරිපස මිදුල දෙසින් ඇසෙන්නට පටන්ගත්තේය. පිටුපස වැවී තිබූ වතුසුද්ද පැළයට මෙතෙක් වෙලා හිරකරගෙන හුන් මුත්‍රාබර සැහැල්ලු කරගත් මංජු කුස්සිය දෙසින් සාලයට ගොඩවැදුනේ රූපවාහිනිය දෙස බලමින්ය. කවුරුන් හරි තමාදෙස බලාසිටින්නාක් මෙන් අමුතු හැඟුමක් සිතට නැගුනු මංජුගේ නෙත් එකවරම බඳුන දෙසට යොමු විය. ඔහු පියන මත වූ මුහුනේ ආකර්ෂණාත්මක බැල්මට වශිව ඒදෙස නෙත් අයා බලා සිටියේ අවට සිදුවන කිසිවක් නොහැගෙන ලෙසින්ය. බඳුන දෙස ටික වේලාවක් බලා සිටි ඔහු එය අතට ගැනීමට මෙන් ඉදිරියට පියවර තබද්දී ටිපෝවේ පය පැටලි බිම වැටුනේ එම දැහැනේ ආකර්ෂණයෙන් මිදීමක් නොලබාය. 


     මංජුගේ කරදරයෙන් බේරෙන්න නොහැකිවූ තැන රංග ස්ටැන්ලිගේ බඩු බාහිරාදිය විකුණා ගත් සියලු මුදල් ඔහුට දීමට එකඟවිය. රංග පිටුපස අසුනේ හිඳුවාගත් මංජු තම මොටර් සයිකලය බත්තරමුල්ල දෙසට වේගයෙන් ධවනය කරන්නටවූයේ ඉතිරි මුදල් ලැබෙන සතුටු සිතෙනි. පාර හරස්කොට මාර්ග බාධකයක් යොදා ඇති බව මංජු දුටුවේය.

“ඒයි අර බලපන් ඉස්සරහා චෙක්පොයින්ට් එකක්.”

“හරවපන්. හරවපන් බලන්ඉන්නේ නැතිව.”

පැමිණි වේගය නිසා ඉතා අසීරුවෙන් සයිකලය හරවාගත් මංජු යළි මාලඹේ පැත්තට ධාවනය කරන්නට පටන් ගත්තේය.

“අන්න අරුන් පැනලා යනවා. ඕකුන් තමයි මම හෙව්වේ. වෙඩි තියන්න. වෙඩි තියන්න.”

පොලිස් කණ්ඩායම අතර සිටි සුදු මහත්තයා කෑගසනවා ඔවුනට ඇසුනි. පොලිස් පරික්ෂක වෙඩි තැබීමට අණ කිරීමත් සමඟම ගිනියම් මුනිස්සම් ඔවුන් පසුකර පියෑඹුවේ මරණයේ භීතිය ඔවුනට පෙන්වමිනි. පාරෙන් පිටට පැන්න මොටර් සයිකලය උපරිම ශක්තිය යොදවා යළි පාරටගත් විගස මංජුගේ කණ ළගින් උණ්ඩ කිහිපයක් ඉගිලි ගියේ ඇඟේ හීගඩු පුරවාලමින්ය.

“උන් පස්සෙන් එනවා. පාගපං පාගපං. උඹ ඔහොම ගියොත් මාට්ටු වෙනවා. ඔතැනින් උඩහට දාපං.”

මංජු රංගගේ කීමට පාරෙන් වමට හැරෙව්වේ යන්නේ කොහේදවත් නොදැනය. මලින් බරව ගිය මල්ගස් කිහිපයක් පසුකරමින් ඉදිරියට ඇදුනු ඔහුට සුදු පැහැති සොහොන් කොත් කිහිපයක් ඇස ගැටින.



“යකෝ උඹට පිස්සුද මේ තලාහේනේ කනත්තනේ. මෙහෙන් කොහොමද යන්නේ?”

කියමින් තවත් ඇතුලට යතුරුපැදිය පැදවූ මංජු රංගගේ නිහැඬියාව දැනුනි.

“කතාකරපං බං මෙහෙන් කොහේටද යන්නේ?”

“යන තැන පෙන්නන්න ඔන්න ඔය ඉස්සරායින් නතර කරපං.”

අලුතින් වැසූ මිනීවලක් අසළින් නැවත්වීමට රංග අණ දුන්නේය. ඒ ගොරෝසු හඬ රංගගේ නොවන බව ඉතා නොවසිල්ලෙන් හුන් ඔහුට නොවැටහුනත් මිනීවල අසළින් මොටර් සයිකලය නතරකළේය. අයිස් කැටක් මෙන් සීතල දෑතකින් මංජුගේ ගෙල පෙදෙස ස්පර්ශ කරන්නට වුනි. 

“මොනාද බං රංග කරන්නේ? අපිව දැන් මාට්ටු වෙනවා. ඉක්මනට පනින්න තැනක් හොයාපං.”



පිටුපස අසුනේ හුන් රංග එකවරම මංජුගේ ගෙල මිරිකන්නට පටන්ගත්තේය. ඉන් අතිශයෙන් බියට පත්වූ ඔහු රංගගේ මළපුඬුවෙන් ගැලැවීමට දඟලද්දි එක්වරම ගියරය පෑගුනි. ක්ෂණිකව ගැස්සී ඉදිරියට පැන්න සයිකලය මිනී වලේ පස්කන්ඩියේ වැදී පෙරළීගියේ දෙදෙනාම පස්ගොඩ උඩට ඇදවට්ටමින්ය. පස් ගොඩ උඩින් නැගිටගත් රංග හෙල්මටය වහා ගලවා දැම්මේ මංජු වෙත ලංවෙමින්ය. ඒ වූයේ රංග නොව මංජු අතින් ඝාතනයවූ ස්ටැන්ලි වික්‍රමපාලය. රතුව ගිය දෙනෙතෙන් යුතුව කෝපයෙන් විකෘතිවී ගිය ස්ටැන්ලිගේ බියකරු මුහුණදෙස බැලූ මංජු එතැනම ගල් ගැසින. තද සීතලෙන් පෙලෙන සන්නිපාත රෝගියෙකු සේ ගැහෙන්නට පටන්ගත් ඔහු ළගට ස්ටැන්ලි ළංවිය.

“උඹ ඉන්නේ මගේ මිනිවල උඩ. දැන් ඉතින් ලැස්තිවෙයන් මාත් එක්ක යන්න.”


වෙඩි වැදුනු උදරයෙන් නොනවත්වා ගලන රුධිරයෙන් තම දෑත් තෙමාගෙන මංජුගේ ගෙල මිරිකන්නට මෙන් ඉදිරියට එද්දී මංජු කෑගසන්නට තැත්කලත් එකඳු වචනයක් වත් මුවින් පිට නොවීය. සිරුර දිගේ රූරා හැලෙන දහඩියෙන් පෙඟුනු ඔහු පස්කණ්ඩිය දිගේ පසුපසුට යන්නට තැත් කළ නමුදු බුරුල්ව ගිය පසේ කකුල එරී යළිත් එය මතටම ඇඳ වැටුනි. දත් විලිස්සාගෙන ලේ පැහැති දිව එළියට දාගත් ස්ටැන්ලි ඔහුගේ ගෙලට පැන්නේ රුදුරු රාක්ෂයෙකු ලෙසිනි. ඉන් අතිෂය බියට පත්ව කෑගැසූ මංජු මිනිවලේ බුරුල් පස කඩාගෙන අඳුරු ආගාදයකට ඇද වැටෙන්නට විය.  මහ හඬින් කෑ ගැසූ ඔහු තිගැස්සී අවදිව බැලූ විට සිටියේ සාලයේ සැටියේ පාමුලය. හිසේ සිට දෙපතුල දක්වා දහඬියෙන් පෙඟුන මංජු එතැනම වැතිර සිටියේ වෙවුලන ගතකින් හා සැලෙන සිතකින් යුතුව සිහි එලවාගත නොහැකි විලසින්ය. ටික වේලාවක් එතැනම වැතිර සිට තමා දුටු සිහිනය යළි සිහිපත් කරන්නට උත්සාහකළමුත් පරාල අතරින් පෙනෙන වහලේ උළු දෙස බලා සිටියා මිසෙක ඒ කිසිවක් සිතට නගාගෙන පිළිවෙළකට ගලපාගන්නට නොහැකි වුනි. බිම වාඩිගත් ඔහුට මෙතෙක් නිවා නොදැමූ රූපවාහිනියේ උදෑසන පුවත් පත් විස්තර විකාශයවනවා පෙනුනි. දුගඳක් හමන පිළුනුව ගිය බයිට් පිගානත් අඩක් හිස්වූ අරක්කු බෝතලයත් මෙන්ම සිගරට් කොට වලින් පිරුනු අළුබදුනත් රාත්‍රියේ ක්‍රියාකාරකම්වල නටබුන්සේ සාලයේ ටිපෝව මත වැඩසිටියෝය. රාත්‍රියේ ගත් මත්පැනින් හිසේ ඇති බරගතියත් මෙන්ම අලසකමත් නිසා බිම වාඩිවීගෙනම රූපවාහිනිය දෙස බලාගෙන සිටියේ කිසිඳු අරමුණකින් තොරවය. මඳ වේලාවක් එසේ හුන් මංජු ඈනුමක් සමඟින් නැගීසිටියේ සාලයේ තිබුනු බෝතල් අස්කර දැමීමටය.


මතුසම්බන්ධයි.......

16 comments:

  1. මඤ්ඤං වෙලාදෝ මැදදී සිතුණි මට
    බඳුනේ සාපෙ වැදිලාවද අසංගට
    මොනවා වුනිද එකෑවරේ මංජුවට
    වෙලා නෑ තවම, වෙනවද ඉක්මනට?

    ReplyDelete
  2. https://www.dailystar.co.uk/news/weird-news/murder-victims-who-returned-haunt-23441063

    ReplyDelete
    Replies
    1. https://listverse.com/2017/08/04/10-murderers-haunted-by-their-victims-ghost/

      Delete
    2. වෙනදාත් වාගේ බොහොමත්ම ස්තුතියි

      Delete
  3. බදුන අයිතිකරුවන් තුන් දෙනෙක්ගෙම ජීවිත එක දිගට නැතිවුනා කියලා ඇහුවම නාරදට යමක් 'ක්ලික්' වෙයි කියලා මම හිතුවා. එයා ටියුබ් ලයිට් එකක්.

    මංජුව නම් ස්වයංක්‍රීයවම 'ආයුධ පෙන්නන්න' එක්ක යැවෙයි වගෙයි.

    ReplyDelete
    Replies
    1. කැම්පස් එකේ දේශන අස්සේ බොහෝ කාර්‍ය්බහුල කෙනෙක් වන නාරදට පාරටම ඕවා ඔලුව නොඑන්නත් පුලුවන් නේද?

      Delete
  4. හීනයත් බඳුනේ බලපෑමෙන් ම වුණු දෙයක් වගේ. බළල්ලු කෑගහන එක තමා ඉවසන්ඩ ම බැරි.

    ReplyDelete
    Replies
    1. බලල්ලූ එහෙම කෑගහනවා ඇහෙනවා නම් බදුන ලගටම ඇවිල්ලා..පරිස්සම් වෙයන් ඩ්‍රැකියෝ ඔන්න මම නම් නැතෝ..

      Delete
    2. මෙහෙ බළල්ලු නං කෑ ගහන් නෑ. වඳුරො සෙට් එකකුයි, වළි කුකුළෙකුයි ඉන්නව.

      Delete
    3. වළි නං පරෙස්සමෙන් - කෙළවෙනු වුණත් පුළුවන්!

      Delete
    4. වළි කුකුලන්ට කොකු පනුවන් දාන්න...

      Delete
    5. එක කුකුළයි ඉන්නෙ. ඌට අම්ම තාත්ත දාපු නම වළි උනාට, ඌ හරි සාමකාමියි.

      Delete
    6. කුකුලාගේ සාමකාමි බව අහවරයි වලි කිකිලියෙක් ගෙනාවම..

      Delete
  5. මමී
    https://www.youtube.com/watch?v=KP8k-798NSE

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .. බැලුවා... බදුන් ටිකත් එතැන තියෙනවා...

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න