Monday, August 6, 2018

පැද්දෙන පොල් ලෙල්ලක් - සයුරේ දසවසක් - 1


මේ තියෙන්නේ මාගේ මුුල්ම නෞකාවේ පැරණි ඡයාරූපයක්

සාගර තලය මත සුදෝ සුදු පෙනකැටි මාවතක් අවරපෙත්තෙන් නිර්මානය කරමින් නෞකාව දියඹට ගමන් කරන්නට විය. අළු පැහැයෙන් කුඩාවට දිස්වන ගාළු කොටුපවුරත් සුවිශාල රූමස්සල කදුවැටියත් අමුතුම හැඟුමක් සිතට හටගන්වන්නට වුනි. ජීවිතයේ නවුම් ඇරඹුමක් සනිටුහන් කරමින් ටිකෙන් ටික දියඹට ඇදෙන මා සිටි කුඩා නෞකාව පාවෙන පොල්ලෙල්ලක් සේ හතර අතට පැද්දෙන්නට පටන් ගත්තාය. මාගේ පළමු රස්සාව සයුරට වැටුනු පොල් ලෙල්ලක් සේ හතර අතට පැද්දෙන නැවකින් ආරම්භකරන්නට සිතුවේ නැත. ගාලූවරායෙන් එලියට පැමිණි අප මේ ගමන් කරමින් සිටින්නේ ත‍්‍රිකුණාමල වරාය දක්වායි. දෙසවනට යවුලකින් අනින්නාක් බඳු එන්ජින් කාමරයේ ප‍්‍රධාන එන්ජිමෙන් නැගෙන ඩොක ඩොක ශබ්දයත් ජෙනරේටර් හා අනෙකුත් යන්ත‍්‍ර සූත‍්‍ර වලින් නැගෙන ඝෝෂාවත් කෙමෙන් කෙමන් වැඩිවෙන්නට පටන්ගති. එන්ජින් කාමරයේ ඇතුළත උෂ්ණත්වයද රත්වු එන්ජිමෙන් නැග එන තෙල් වාෂ්පද සිරුරට අමුත්තක් දනවන්නට පටන්ගෙන ඇතිසේය. ගාලූ වරායෙන් පිටවන තෙක් මැනුවරින් (Maneuvering)අවස්ථාවේ එන්ජින් කාමරයේ වැඩට සිටි සියළු දෙනාගේ ශීඝ‍්‍ර කලබලකාරිත්වය නැව ෆුල්එවේ ( Full away)  දුන් පසු අවසන් විය. මැනුවරින් යනු (Maneuvering) වරායෙන් පිටතට හෝ ඇතුලට ගැනිමේදි නෞකාව හැසිරවිමයි. ෆුල්එවේ ( Full away)යනු නැව වාරයෙන් පිටත්ව කිසිදු බාදාවකින් තොරව ගමනාත්තය දක්වා යාමට උපරිම වේගයෙන් ගමන් කිරිමට අණ ලැබිම හැඳින්විමයි. ක‍්‍රමක් ක‍්‍රමයෙන් පැද්දිල්ල වැඩිවත්ම වාගේ හිස බමන්නට පටන්ගෙන සේය. රළු මුහුදේ චණ්ඩභාවයට ඔරොත්තු නොදෙන තරමට පැරණි නැවක් වූ මෙහි ප‍්‍රධාන එන්ජිම හතිහලමින් නැව ඉදිරියට ගෙනි යන්නට දඟලයි. තවදුරටත් බඬේ දැඟලිල්ල ඉහළට ඔසවාගෙන එමින් වමනය නවතාගත නොහැකි වන බව දැනුන බැවින් ඉක්මනින් නැව් තට්ටුව වෙත දිව්වෙමි. මට මුහුදු අසනිපය නැත්නම් සී සික් වැළදි ඇත. තාත්තා කිව්වේ සී සික් එක නැති කරගැනීමට මඳ වේලාවක් මුහුද දෙස බලා සිටීමෙන් හා ෆෙෂ් එයාර් වැදුනාම සියල්ල හරියන බවය. නැවේ පිටුපස බොලාඩයක් උඩ වාඩිගත් මා ඈත දියඹේ ඉහල පහල යන සිතිජය දෙස බලාගෙන සිටින්නට වීමි. මද වේලාවක් ඒ දෙස බලාගෙන සිටින විට බඬේ ඔක්කාර ගතිය පහවී යා හැකියැයි මමත් විස්වාස කලෙමි.
”ඒයි අසංග ඔතන මොකද බං කරන්නේ?”
”අන්න උඹව දෙකා හොයනවා.”
”පොඞ්ඩක් ඔලූව කැරකෙන්න ගත්තා ඒකයි එලියට ආවේ.”
ඇයි උඹට සීසික් ද?
වගේ තමයි.
”උඹට සී සික් කියලා නිකං ඉන්න නම් හම්බවෙන්නේ නෑ. වැඩකරපං. වැඩ කළාම  ඕක හරියනවා.”
දැනුමුත්තෙකු සේ කඞ්ඩා කීවේය. කඩුගන්නාවේ සිට පැමිණ මා සමඟින් එකට නාවික පුහුණු පාසලේ උගත් බැච්මේට් එකෙකුවු ඔහුට අප කවුරුත් ඇමතුවේ සැබෑ නාමයෙන් නොව කඞ්ඩාට යන අනවර්ථ නමින. කඞ්ඩා මීට මාස දෙකකට පෙර මේ නැවට සේවය සඳහා එක්වි තිබුණි. එකට නාවික පුහුණු පාසලේ ඉගෙනගත් සියල්ලන් ඉන් පිටව නෞකාවලට සම්බන්දවුවත් මාහට එම අවස්ථාව හිමිවන්නේ මාස තුනක් පමණ ගිය පසුය. එසේ වුයේ පුහුණුව අවසානයේදි මා හට තදබල ලෙසින් අසනීප වු බැවිනි.


”යමං ඉක්මනට.”
කඞ්ඩා යළිත් මා හට කතා කර එන්ජින් කාමරය දෙසට ඇවිද ගියේය.
මා නාවිකයෙකු වන්නේ තාත්තා නිසාය. තාත්තාගේ අභිප‍්‍රායවුයේ ඔහු බලාපොරෝත්තුවු අංශයෙන් ඉගෙනිම නිමවු පසුව නාවික රැකියාවකට සම්බන්ධ කිරිමයි. එහෙත් ඔහුගේ සිහින බිඳ දැමු මා නාවිකයෙකු කිරිමේ බලාපොරොත්තු අතහැර තිබු අවදියක තාත්තාගේ අනුදැනුමෙන් තොරව මම විසින්ම නාවිකයෙකුවිමය.

එකට සිටි මිතුරන් හා ඥාතින් සියල්ලන්ම රන්කහවුනෙන් සපිරුණු යසඉසුරක් දකින්නට මැදපෙරදිග රටවල් හි රස්සාවන් සොයා ඉගිල්ලෙද්දි ........ සංස්ථාවේ රැකියාව කර රජයේ සේවයේ සොච්චම් පඩියෙන් පවුලක් නඩත්තු කරන්නට නොහැකි බව තේරුම් ගත් තාත්තා එකදාස් නමසිය අසුහතරේදි රස්සාවට ආයුබෝවන් කීවේය. ඒ මා කුඩා අවදියේදියේය. වෙළඳ නාවිකයෙකු වී විදුලි අංශයේ නිලධාරියෙක් ලෙසින් ග‍්‍රීක නැව් වල තාත්තා සේවය කරන කල්හි මා පාසල් අධ්‍යාපනයෙන් පසුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ පූර්ණ කාලීන පාඨමාලාවකට සම්බන්ධවුයෙමි. ලංකා ගමනාගමන මන්ඩලයට අනුයුක්තව තිබු ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ පූර්ණ කාලීන පාඨමාලාවකට සම්බන්ධවීම එකල ඉතාම අමාරු කාර්්‍යයක් විය. තෝරාගැනිමේ තරගවිභාගයත් සම්මුඛ පරික්ෂණයත් අමාරු කඩයිම් මෙන්ම පුල් එකක් ලෙසින් හඳුන්වන තල්ලූවක් නැතිනම් පාඨමාලාවකට සම්බන්ධවිමට පහසුවුයේ නැත. එ් වැටකඩුලූ සියල්ලෙන්ම පැනගෙන ටෙක් එකට ඇතුලත්විමට අවස්ථාව පෑදුනි. තාත්තාට අවශ්‍ය වූයේ මා විදුලි කාර්මික ශිල්පය හැදෑරීමට යවා එම අංශයෙන් නාවිකයෙකු කිරීමටය. එහෙත් අවාසනාවකට මෙන් පළමු වසරේ ලකුණුවලින් මා තේරී පත්වූයේ වෙනත් පාඨමාලාවක් සඳහායි. එහෙත් තාත්තාත් ඔහුගේ අතිජාත මිත‍්‍ර ජර්මන් ටෙක් හී හිටපු ආචාර්යවරයෙකුවු කීර්ති පෙරේරා අංකලූත් උත්සාහ කළේ මා කෙසේ හෝ විදුලි කාර්මික පාඨමාලාවට තල්ලූ කරවාලීමටය. එහෙත් විදුලි කාර්මික පැත්තට මාගේ කිසිදු කැමැත්තක් නොතිබුණු අතර තේරුනු අංශය වෙනස් කිරිමට අකමැති වූවෙමි. එ් පළමු වරට ඔහුගේ සිහිනය බිඳ දැමු අවස්තාව විය.

       
           සිව් වසර අවසානයේදී ජර්මන් ටෙක් එකේ අවසන් විභාගයෙන් පසුව ඉන් එළියට බැස්ස මා, මිතුරන් හා එක්ව රැකියා සොයා යන්නට වුනි. සිළුමිණ සන්ඬේ ටයිම්ස් ඔබ්සවර් පත්තර පෙරලාගෙන ජොබ් හන්ටින් යද්දි අපේම බැජ්එකේ සමහර මිතුරන් විභාගයේ ප‍්‍රතිඵල පිටවන්නටත් පෙර ඔවුන්ගේ ඉහළ සම්බන්ධතා වලින් ලංකාවේ සුපිරි කොම්පැනි වල හොඳ වේතනයන් සහිත රැකියාවන් වලට සම්බන්ධවිය. යළිත් වරක් තාත්තා ඔහුගේ සිහිනය යතාර්ථයක් බවට පත් කරගන්නට මට්ටක්කුලියේ නාරා ආයතනය අසළ තිබු නාවික පුහුණු පාසලක නාවික විදුලි කාර්මිකයන් සඳහා සය මසක පාඨමාලාවේ ආරම්භක දේශණයට මා කැදවාගෙන ගියේය. ගල්කිස්සෙන් 155 මට්ටක්කුලිය බසයකට නැගුන අප දෙදෙනා රාසමුන කන්දේ පිට්ටනිය අසළින් බැස නාරා ආයතනය සොයමින් පිට්ටනිය මැදින් ගිය අයුරු අදටත් සිහිපත්වේ. වයර් කෑල්ලක් හොල්ඩරයකට අමුනාගන්නට හැකි තරමේ විදුලිය පිළිබඳ මුළික දැනුමක් ඇති මාහට ඉන් ඔබ්බට තියෙන න්‍යාත්මක පාඩම් කිසිවක් මොලයට නම් ගියේ නැත. පළමු දිනයෙන්ම එ් නාවික විදුලිකාර්මික පාඨමාලාවට ආයුබෝවන් කියන්නට හේතු ලෙසින් මා කිව්වේ මේ කෝස් එක කලාට එම ආයතනයෙන් පළමු සය මසින් පසුව පුහුණුවන විදුලි ශිල්පියෙක් විදිහට නැව් නගින්නට නැව් දෙන්නේ නැති බවය. ලංකාවේ නාවිකයින් නැව් වලට සම්බන්ධ කරනා අතලොස්සක්වු නැව් එ්ජන්ත කොම්පැනි වලට ගොස් රස්තියාදු වන්නට සිදුවන බවත් එ් නිසා කෝස් එකට වියදම් කරන මුදල් අපතේයන බවත්ය. පුහුණුවන විදුලි ශිල්පින් නැව් වල සේවයට ගන්නේ අඩුවෙන් බව තේරුම්ගත් තාත්තාද එය අත්හැරිම ගැන කිසිවක් කීවේ නැත. මෙවැනි පුහුණු පාඨමාලාවලින් පසුව ෂිපින් ඔෆිස් එකෙන් ලබාදෙන සිඩිසි (CDC) නැතහොත් අඛන්ඩ මුදාහැරිමේ සහතිකය සහිතව එළියට එන බොහෝ දෙනෙකුට සිදුවන්නේ මහමග රස්තියාදු වෙමින් නැව් එජන්තයින් පසුපස යන්නටය. මේ අතර සිටිනා වංචාකාර රැවටිලිකරුවන් එසේ පැමිනෙන්නන් හට වැඩි වැටුප් සහිත නෞකාවන් ගැන සිහින මවා දී රුපියල් ලක්ෂගනන් රැගෙන පැනයයි. මා එසේ කීවේ නාවික ක්‍ෂත‍්‍රයේ රැකියාවකට ඇති අකමැත්ත නිසා නොවුවත් එ්වන විටත් වංචාකරුවන්ට රැවටුනු බොහෝමයක් ගැන දැනුවත්ව සිටිමය. දෙවන වරටත් තාත්තාගේ බලාපොරොත්තු බිඳ දැම්මෙමි. ඉන් පසුව ඔහු මාහට නාවික ක්‍ෂත‍්‍රයේ රස්සාවල් සෙවිම අතහැර දැමිය. 

         යළිත් පත්තර පෙරලාගෙන රැකියා ඇබෑර්තු සොයද්දි අහම්බයෙන් මෙන් වෙළඳ නාවික පුහුණු පාඨමාලාවකට බඳවා ගන්නා බව දන්වා තිබෙන පත්තර දැන්වීමක් මාගේ නෙතු ගැටීන. පුහුණු පාඨමාලාවෙන් පසුව ඔවුන්ගේ මව් සමාගමේ නෞකාවලට අනුයුක්ත කරන බවත් එහි සඳහන් වුනි. පත්තර පිටුව දෙකට නවා ඩෙනිම් කලිසමේ පිටුපස සාක්කුවට ඔබාගෙන මා නාවිකයෙකු කිරිමේ උත්සාහය අතහැර දමා සිටි තාත්තාට ද නොකියා මාගේ අතිජාත පාසල් මිතුරා වන්නි සොයාගෙන ගියෙමි. අත්තිඩියේ මන්ත‍්‍රීමුල්ල පාරේ කෙළවරට වන්නට පිහිටා තිබූ එම කුලී නිවසට ගොඩ වදින විටත් ඔහු ළිඳ ළඟ රෙදි වගයක් සෝදමින් සිටියේය. මවුන්ටන් බයිසිකලය වැටට හේත්තු කළ මා
”මචං නැවක යන්න කෝස් එකක් තියෙනවා දාමුද?”
”නැව් කෝස්? ගෙදරින් නම් කියන්නේ  ඕපන් යුනිවසිටි එකේ කෝ්ස් එකක් කරන්න කියලා.”
” ඕපන් එකේ කෝස් කරලා කොච්චර කල් බලන් ඉන්නද? මං දානවා උඔ දානවානම් දාපං.”
මා අත තිබූ පත්තර කැබැල්ල ඔහු වෙත දිගු කළෙමි. වතුර බාල්දියෙන් දෑත් වල තිබූ සබන් සෝදා දැමූ ඔහු කලිසමේ පිටුපසින් තෙත මාත්තු කරගෙන මා අත තිබූ පත්තරය ලබා ගත්තේය.
”මේ මොකක්ද බං ඩෙක් රේටින් කියන්නේ ?”
”මමත් හරියටම දන්නේ නෑ ඩෙක් රේටින්ලා ඉන්නේ ඩෙක් එකේ වැඩටලූ.”
”ඒ කියන්නේ?”
”මචං එන්ජින් රේටින්ලා ඉන්නේ එන්ජින් කාමරේ. එන්ජින් රූම් එකේ තියෙන මැෂිනරිස් මේන්ටේන් කරන කට්ටිය. ඩෙක් රේටින්ලා තමයි නැව එලවන්නේ අනිත් වේලාවට නැවේ මලකඩ කඩලා පේන්ට් කරන්නයි තියෙන්නේ. වැඩි විස්තර  තාත්තාගෙන් අහගන්න පුළුවනි.”
මා දන්නා අයුරින් ඔහුට කියාදුනිමි.
”එහෙනම් උඹ දාන්නේ එන්ජින් රේටින් එකටද? මට නම් බෑ තෙල් මජං ගාගන්න.”
”හරි බං මං කොහොමත් එන්ජින් රේටින් තමයි දාන්නේ. උඹ කැමතිනම් ඩෙක් රේටින් බැරිනම් කුක්ට හරි දාන්න. දැන් උඹත් දානවද? ”
”පොඞ්ඩක් හිටපං බං අම්මාගෙන් අහලා බලන්නත්  ඕනේ. ”
මිතුරාගේ මවගේ එතරම් කැමැත්තක් නැව් පිළිබඳව නොවුවත් මාගේ බලවත් ඇවටිල්ල මත ඇය අකමැත්තෙන් වුවත් තම පුත‍්‍රයාට නාවික පුහුණු පාඨමාලාවට ඉල්ලූම්පතක් දැමීමට එකඟත්වය පලකළාය.
අප දෙදෙනාගේම සියලූම සහතික පත‍්‍රයන්හි ඡයාපිටපත් රැගෙන ඉල්ලූම් පතත් සමඟින් තැපැල් කළේ එන්ජින් හා ඩෙක් වශයෙන් වෙන් වෙන්වය.
මසකට පසුව දෙදෙනාටම වැල්ලවත්තේ ශාන්ත පීතර විද්‍යාලයේ පැවැත්වෙන තරග විභාගයට පෙනී සිටින ලෙසත් දන්වා ලිපියක් ලැබින. තරග විභාගයේ කඩඉමත් පසු කළ අප දෙදෙනා සම්මුඛ පරීක්ෂණයේ කඩුල්ලද පැනගතිමු. එකට ඉගෙනිම ලැබ එකට නැව් නගින්නට මගෙත් මිතුරාගෙත් සිහිනය වුනත් දෛවය අපව හරස් කරමින් මිතුරාට මට පෙරාතුව ගාල්ලේ පිහිටි නාවික පුහුණු පාසලට යන්නට ලැබුණි. මේ අවුරුද්දේ පටන් බැජ්එක කණ්ඩායම් දෙකක් ලෙසින් කඩා කොටස් දෙකකට ඉගැන්වීමට කටයුතු කළ බැවිනි. අද දිනයේ වන්නි නාවික නිලධාරියෙකු ලෙසින් කටයුතු කරන අතර ලංකාවේදි හැරෙන්නට ඔහුත් මාත් ඉන් පසු කිසිදිනෙක එකම නෞකාවක හෝ වෙන රටකදි හෝ අඩුමතරමින් වරායකදී හෝ මුණ නොගැසුනි. එනමුත් පාසල් කාලයේ සිට බැඳුන මිතුදම අදටත් සුරැකිව බැඳී ඇත්තේය.


           නාවික පුහුණු පාසලේ මාස හයක පුහුණුවෙන් පසුව ඔවුන් කී පරිදිම එම ආයතනයේ මව් සමාගමට අයත් වෙළඳ නැව්වලට අපව අනුයුක්ත කරනු ලැබීය. පාඨමාලාවේ සිටි මිතුරන් නැව්වලට නගිනු ලැබුවත් මා හට එම අවස්ථාව ගිලිහි යන්නේ හදිසියේ ඇතිවු අසනීප තත්ත්වයක් උඩදීය. සැත්කම නිම වී දෙමසක විවේකයෙන් පසුව මා අප මව් සමාගමේ ප‍්‍රධාන කාර්්‍යාලයට වාර්තා කලේ ඔවුන් මා අනුයුක්ත කරනු ලැබූ නැවට යාමටය. සමාගමෙන් දැන්වූ පරිදි එම නැව ගාල්ල වරායේ තිබෙන බවත් කොළඹ ෂිපින් ඔෆිස් (Shipping Office) එකට ගොස් සයින් ඔන් වී (Sign on)එන ලෙසත් මා හට දන්වා ලීය.
කොළඹ ෂිපින් ඔෆිස් එකට ඔයා යන්න දන්නේ නැත්නම් පෙඞ්ඩක් වාඩිවෙලා ඉන්න. මම එහෙට යන තව කෙනෙක් එක්ක  යවන්නම්.
ඔහු කී පරිදි වාඩිගෙන සිටි මට ෂිපින් ඔෆිස් එකට යන තවත් නාවිකයෙකු හඳුන්වා දුන්නේ ඔහු සමගින් යන ලෙස දන්වමිනි. වෙළඳ නාවික කාර්යාලය කොළඹ වරාය පරිශ‍්‍රයේ එවකට පිහිටා තිබූනි. ඔහු මා කැටිව ති‍්‍රරෝද රථයක නැග ගාලූමුවදොර චෛත්‍ය පාර තෙක් ගමන් කලෙමු. චෛත්‍ය පාරේ මද දුරකින් වු ප‍්‍රදිපාගාරය අසළ නාවික හමුදාව හා පොලිසිය එක්ව මාර්ග බාදකයක් පිහිටුවා තිබිය. ති‍්‍රරෝද රියේ ගමන අවසන් කර මාර්ගබාදකයෙන් අවසර ගෙන ඉදිරිවට ගමන් කලෙමු.  වරාය ගේට්ටුවේ ආරක්ෂක කපොල්ලෙන්ද අවසරයගත් පසු ඔහු පෙන්වූ දිසාවට අනුව වම්පැත්තට මද දුරක් ගමන් කළෙමි. ගොඩනැඟිල්ලක ඉහළ මාලයේ පිහිටා තිබූ අඳුරු පැහැගත් වෙළඳ නාවික කාර්යාලයේ ඇතුළත වූයේ අඳුරු ගුප්ත පරිසරියකි. නැව් නැගීමට හෝ නැවෙන් බසින ලද නාවිකයින් කිහිපදෙනෙක්ද තම ලිපි ලේඛන වල වැඩ කරගැනිමට ඇතුළත වාඩි ගෙන සිටියහ. විශාල කන්තෝරු මේස අරක්ගත් මැදිවිය පසුකරමින් සිටිනා ලිපිකරුවන් හා ලිිපිකාරිනියන් තම රාජකාරියට කැප වී සිටින්නාක් මෙන් මේසයට හිස නැඹුරු කරගෙන සිටිනු මට පෙනුණි. සමාගමෙන් දුන් ලිපිය ඉදිරිපත් කර නාවික හා වෙළඳ අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක ටයිප් කරන ලද මාගේ නම හා හැඳුනුම්පත් අංක යෙදු  තාවකාලීන නැව් නැගීමට අවසර දෙන ලිපියක් මා අතට පත් විය. එහි පහතින් මා නැගීමට නියමිත  නැවේ නමත් අද දිනයත් සඳහන් කර රවුම් කුඩා රබර් මුදුවක් තබා තිබුණි. ලිපිලේඛණ වැඩ අවසන්වු පසු මා කැටුව ආ පුද්ගලයා ගැන සොයා බලද්දි ඔහුගේ සයින් ඔන්විම අවසන් කරගෙන තිබුනි.
"එහෙනම්  මල්ලි ඔයාගේ වැඩ ඉවරයිනේ එහෙනම් ඔයා ආපහු කොම්පැනි එකට යන්න. මම නැවකට පොඞ්ඩක් ගිහිල්ලා එන්නම්."
කී ඔහු මා තනිකර වරායේ ඉදිරියට ගමන් කලේය. වරායට ඇතුළුවිමේ  බලපත‍්‍රයක් නොමැතිව වරාය තුල පිහිටි වෙළඳ නාවික කාර්යාලයට පමණක් ඇතුලූවිය හැකිවුවත් ඉන් ඔබ්බට ගමන් කල නොහැකිය. එහෙත් ඔහු කිසිදු ගනනක් නොමැතිව ඉදිරියට ගමන් කලේය.
ඔහුත් පිටමන් වි ගිය පසු තනිවු මා කිසිදා මින් පෙර නොගිය චෛත්‍ය පාරේ තට්ට තනියම අවට සිරි නරඹමින් පයින් ආපසු ගමන් කළෙමි. ඉන්ටර්කොන්ටිනල් හොටලය ඉදිරියෙන් හැරි ජනාධිපති මාවත ඔස්සේ ජනාධිපති මන්දිරය දෙසට ඇවිද ගියෙමි. එවකට ත‍්‍රස්තවාදී කලබල තිබුණත් ජනාධිපති මන්දිරය ඉදිරියෙන් පයින් යෑමට කිසිදු බාධාවක් නොවීය. නැවට සයින් ඔන් වී යළිත් ආ පාරෙන්ම කොටුවට පැමිණි මා දැඩි අව් රශ්මියෙන් පීඩා විඳ දහඩියෙන් නැහැවී ගොස් තිබුණි. බසයක නැගුණු මා නැව් සමාගමට පැමිණියේ ෂිෆින් ඔෆිස් එකෙන් සයින් ඔන් වී ආබවට දැන්වීමය. සමාගමේ නිලධාරියෙක් මාගේ ලිපිවල ඡයා පිටපත් රැගෙන අවසන්ව
”නැව තියෙන්නෙ ගාල්ලේ. දන්නවානෙ වරාය තියෙන තැන.”
මම හිස සෙලෙව්වෙමි.
”මෙන්න මේ ලියුම එමිගේෂ්න් එකට එයාලා එම්බාකේෂන් එක ගහයි. ආ මේක වරායේ සිකුරිටි එකට දෙන්න ගේට් පාස් එක ගන්න. මේ ලියුමයි ටෙම්පරි සී ඞී යී එකයි කැප්ටන්ට දෙන්න. එහෙනම් ගිහිල්ලා පරිස්සමෙන් වැඩකරන්න. ගුඞ් ලක්.”
කී ඔහු මා හට අතට අත දී සුබ පැතීය. තට්ට තනිමය නොදන්නා පළාතකට මාරු කර යැවූවකු සේ මගේ සිතට නුහුරු හැඟීමක් ද ඇති වුනි.
ඔහු පසෙක වාඩිගෙන සිටි කෙනෙකු මා හට පෙන්වා,
”අර ඉන්න එක්කෙනා හදිසියේ බහිනවා එයාගෙ රිලිෆ් විදිහටයි ඔයාව යවන්නේ” යි කීය.
මා ඔහුට මදහසක් පෑවෙමි.
තළෙලූ මාගේ සමවයස් පෙනුමැති කොණ්ඩය තරමකට කැරලි ගැසුණු ඔහු මා සමඟින් සිනාසුනි.
”මොන බැච් එකේද?”
”.......... එකේ. ඔයා?”
”මමත් ......... තමයි. ෆ‍්‍රස්ට් එන්ටේක් එකේ. කොහේද ගෙවල්?”
රොෂාන් නම් වූ ඔහු කලූතර ප‍්‍රදේශයේ බවත් වෙනින් නැවකට මාරු කර ඇති බැවින් ඉන් බැස යන බවත් මාගේ බැජ් මේට් කෙනෙකු වන කඩුගන්නාව එහි සිටින බවත් ඔහු මා හට සැලකර සිටියහ. කඞ්ඩා එහි සිටිනු ඇසීමත් සමඟින් මාගේ සිත ප‍්‍රීතියෙන් පිනා ගියේ තට්ට තනියම කිසිවෙකුත් නොහඳුනන නැවක සේවයට යාමට වඩා දන්නා කියන එකෙකු හෝ එහි සිටිනු බැවිනි.
”හෙට උදේ මම නැවට යනවා මගේ බඩු ටික ගන්න. ඔයත් එනවානම් එකට යන්න සෙට් වෙමු.”
හා කොහේදිද සෙට්වෙන්නේ?
”එහෙනම් ගාල්ලෙන් බැහැලා හරි මාතර බස් එකක හරි ඇවිල්ලා සම්බෝධිය ගාවින් බහින්න. මම උදේ 10ට විතර සම්බෝධිය ගාව ඉන්නම්.”
රොෂාන් කීවේය.
මා හට මග පෙන්වන්නෙකු ලැබීම ගැන ඉතා සතුටට පත්වීමි. ගෙදර ගිය මා, මා සතුව තිබූ කුඩා බෑගයට ඇඳුම් කිහිපයක් ගෙන තාත්තා විසින් මීට පෙර නැවක සේවය සඳහා අදිනු ලැබු  ඕවරෝල් එකක් හා ආරක්ෂක සපත්තු යුවලක් ද මා බෑගයට අසුරා ගතිමි. පසුදින උදයේම මා ලක ලැහැස්ති වූයේ මාගේ ප‍්‍රථම නෞකාවේ සේවය සඳහා පිටත්ව යෑමටයි. අම්මාට තාත්තාට වැඳ අවසර ගත් මා කුඩා බෑගයත් කරේ රුවාගෙන ගාලූ පාරට පැමිණියේ ගාල්ල බලා යන බසයකට ගොඩ වීමටයි. උදේ දහයට මා එනතුරු ගාල්ල සම්බෝධිය අසල රොෂාන් බලා සිටින්නට ඇත. එහෙත් මා නැගුණු ඉන්ටර්සිටිය අම්බලන්ගොඩ හරියේදී ලෙඩ දෙන්නට වූයේ බ්රේක් බයින්ඞ් කිරීමක් නිසාවෙනි. අසල ගරාජයකට දමා එය නිසි පරිදි සකසා ගෙන එන්නට හෝරාවකට අඩු කාලයක් මාහට අම්බලන්ගොඩ රැඳී සිටින්නට සිදුවිය. ගාල්ලේ සිට මාතර දක්වා දිවෙන මුහුදු මාවතේ ගාල්ල වරාය පිහිටී ඉදිරිපිට වූ සම්බෝධිය නම් ආබාධිතයින්ගේ නිවාසය අසලින් බැස ගතිමි. පාරෙන් දකුණු පැත්තට පැන බුදු පිළිමය පසු කරගෙන ඉදිරියට ගිය මා වරායේ ගේට්ටුව අසල තිබූ අවසර පත් ලබාගැනීමේ කවුලූවට නැවට නැගීම පිණිස වරායට ඇතුලූවීමේ එක්දින අවසර පත‍්‍රයක් නිකුත් කිරීමට අන දෙන ලිපිය එහි සිටි නිලධාරියාට දිගු කළෙමි. වෙළඳ නාවික කාර්යාලයේ ෂිපින් මාස්ටර්ගේ අත්සන යෙදු  එම ලිපියට වෙළද නැවියන් හට නොමිලයේ එක් දින අවසර පත‍්‍රයක් නිකුත් කළ යුතුවිය. ගාල්ල වරායේ ආරක්ෂකයින් මාගෙන් දිනක අවසර පත‍්‍රයක් සඳහා වැට් බදු සහිතව රුපියල් දොළහක් පමණ මුදලක් අයකර ගත්තේය. දොරටු අවසර පත‍්‍රයත් ලබා ගත් පසු ඊළඟට කළ යුතු වන්නේ ආගමන විගමන නිලධාරීන්ගෙන් පාස්පෝට් එකට එම්බාකේෂන් (Embarkation) රබර් මුද්‍රාව තබා ගැනීමයි. ගාල්ල වරායට ආගමන විගමන කුටියක් එකල නොතිබුණි. දැන් තිබෙනවාදැයි දන්නේ නැත. ඒ සියල්ල සිදු කළේ වරාය පොලීසිය විසිනි. පොලීසියට ඇතුලූ වී  ඕ අයි සී මහතා හමුවට ඔහුගේ කුටියට හිස පෙව්වෙමි. පැමිණි කාරණාව ඔහුට පැහැදිලි කර මාගේ සමාගමෙන් දුන් ලිපියද ගමන් බලපත‍්‍රයද ඔහුට ඉදිරිපත් කළෙමි. කිසිදා නොදැක්ක දෙයක් දැකගත්තා සේ ආගමන විගමන නිලධාරීන්ට දුන් ලිපියද මාගේ ගමන් බලපත‍්‍රයද දෙස මාරුවෙන් මාරුවට කිහිප විටක් බලාසිටි  ඕ අයි සී ද
”දැන් මොකද කරන්න කියන්නේ?”
ජීවිතයේ පළමු වතාවට නැව් නගින මා ගමන් බලපත‍්‍රයක් සමඟින් පොලීසියට  ගොස් තිබුනේද පළමු වතාවටය. කිසිදා නොදන්නා දෙයක් ගැන පොලීසියේ මහතා මාගෙන් කළ යුත්තේ කුමක්දැයි විමසයි. අන්දුන් කුන්දුන් වූ මා,
”ඔය පාස්පෝට් එකට එම්බාකේෂන් ගහලා දෙන්න.”
මුකුත් නොදන්නා මා වැඞ්ඩෙකු ලෙසින්  ඕ අයි සී ට කීවෙමි. මේසය මත වූ පොත්පත් ලිපි කිහිපයක් එහාට මෙහාට කර යතුරු කැරැල්ලක් සොයාගත්තේය. ඉන් මේස ලාච්චුවක් හැර රබර් මුද්‍රා කිහිපයක් ගෙන මේසය මතට අත හැරියේය.
”දැන් මේකෙන් මොකක්ද ගහන්න  ඕනෙ සීල් එක?”
ඔහු මාගෙන් යළිත් විමසයි. මම මෙලෝ දෙයක් දන්නේ නැත. මේ රබර් සීල් දැක්කෙත් එදිනමය.
ඔහු එකින් එක රබර් මුද්‍රා හරවා බලමින් මාගේ පිළිතුරක් එන තෙක් බලා සිටින්නට විය. තවදුරටත් බොරුවෙන් ඔහුව රැවටිය නොහැකි විය.
”මමත් දන්නෙ නෑ මමත් මේ පළවෙනි වතාවට නැවකට යන්නේ.”
සියල්ල දන්නා කෙනෙකු සේ හැසිරුනු මා දැන්  ඕ අයි සී  ට වඩා පහළට වැටුණි. නැව් වලට නවකයෙකු ඉදිරියේ ඔහු කිසිවක් නොදන්නා බව පෙන්වීමට පැකිලූනි. රබර් මුද්‍රා අතරින් හතරැස් මුද්‍රාවක් ගත් ඔහු එය තීන්ත පෑඩයේ ඔබා ගමන් බලපත‍්‍රයේ පිටු කිහිපයක් පෙරළා බැලීය.
”මෙතනින් ගැහැව්වාම හරිද?”
තාත්තාගේ ගමන් බලපත‍්‍රයේ පිටු සියල්ලක්ම පිරී ඇත්තේ එක එක රටවල සීල් වලිනි. මට එකවරම එය මතක් වුණි.
”ඔය වීසා තියන පිටුවක ගහන්න.”
තීන්ත පෑඩයෙ එබූ රබර් මුද්‍රාව රැගෙන කඩදාසි කැබැල්ලක තියා නිවැරදි පැත්ත සොයාගත් ඔහු එය ගමන් බලපත‍්‍රයේ තබා තද කළේය.
මාගේ කුළුදුල් නැව් ගමනේ පළමු ගමන් බලපත‍්‍රයේ ගාල්ල වරාය පොලීසියේ  ඕ අයි සී ගැහුවේ වැරදි සීල් එකකි. එය නැවකට ගොඩ වීමේදී ආගමන විගමන නිලධාරීන් විසින් ගමන් බලපත‍්‍රයේ යොදන එම්බාකේෂන් සීල් එක නොවීය. එම නිසා මා මාගේ පළමු නැවට ගොඩවි පිටත්ව ගොස් නැත.
වරායට ඇතුලූවීමේ අවසර පත‍්‍රය හා ආගමන විගමන සීල් ගැසීම යන කරුණු සියල්ල සපුරා ගෙන වරාය තුළට ඇතුලූ වන විටත් දහවල් එකත් පසු වී තිබුණි. දැරිය නොහැකි කුසගින්නකින්ද පෙලෙන්නට විය. දුහුවිල්ලෙන් පිරුණු ගාලු වරායේ ඇතුළත මාර්ගයේ බෑගය උරයේ එල්ලාගෙන ජැටිය දෙසට ගමන් කරන්නටවිමි. ඈතින් ජැටියේ නවතා ඇති නෞකාව දිස් විය. කලූ පැහැති බඳකින් හා ටොන් 1200 ක බරකින් යුතු පැරණි නෞකාවක් වු එහි බඩු පැටවීමට හා ගොඩබෑමට යොදා ගන්නා ඩෙරික් දෙක බැඟින් හතරක් එහි තිබුණි. කෙළින්ම නැව ළඟට යෑමට නොහැකි වන සේ ජැටිය කෙළවරින් හමුදා මුර පෙළක් දමා තිබුනායින් මා හට පරංගියා කෝට්ටේ ගියා සේ වටයක් ඇවිද ගොස් නැව අසලට ගමන් කළ යුතු විය.  ඈතින් කුඩාවට පෙනුනද නෞකාව ළඟට ගිය විට එය කොතරම් විශාලද කියා සිතාගන්නට හැකි විය. ජැටියට අවතිර්නවු මා ඉදිරි මාස කිහිපය ගතකරමින් රස්සාව කරන්නට යන නෞකාව හොදින් නිරික්ෂණය කරමින් එය අසළට ගමන්කලෙමි. නැව එක් පසෙක නැවේ බඳේ විශාල යකඩ තහඩු කොටසක් කපා දමා ඇතිබව ඈතදිම නිරික්ෂණයවුනි. පලංචියක නැග ගත් වෙල්ඩර්වරුන් දෙදෙනෙක් ගෑස් කටර් යොදාගෙන එම කැපුමේ කැපුම් දාරය සකසමින් සිටියහ.
ගිනි අව්වේ ඇවිද ආ මසියොළඟම දැන් දාඩියෙන් පෙඟී ඇත. නැවට ගොඩවෙන්නට තිබු ගැන්වේ (Gangway) අසලට ගොස් සිට ගත්තෙමි. මගේ දිවිය සම්පූර්ණයෙන්ම වෙනතකට හරවමින් ලොවක් දකින්නට යන අළුත්ම රැකියාවේ  ඕනෑම දුකක් විදින්නෙමි යැයි සිතා ගැඹුරු හුස්මකින් ලය පුරවාගෙන ගැන්වේ එක එක හුස්මට තරණය කර නැවේ තට්ටුවට ගොඩ වූයෙමි.

Thursday, July 5, 2018

කොළොම්පුරේගේ දෙක ඉවරයි.


කොළොම්පුරේගේ දෙක ඉවරයි කිව්වාම හිතුවා නේද......... නෑ නෑ එක නොවෙයි. වරද්ද ගන්න එපා මේ බ්ලොග් එකේ දෙක. නෑ බොලව් බ්ලොග් එක පටන් අරන් අවුරුදු දෙකක් ගෙවිලා ඉවරයි. මිට අවුරුදු ගනනාවකට බොහෝ කලියෙන් විජය පරිගණක සගරාවේ තිබුන ලිපියක් දැකලා ඒකේ තිබුන ආකාරයට බ්ලොගක් හදන්නට උත්සාහයක් දැරුවා. වර්ඩ් ප්‍රෙස් වලින් විතරයි සිංහල බ්ලොග් ලියන්න පුළුවන් ප්ලැට්ෆොම් එකක් තියෙනවා කියලා කිව්වේ. එකේ තිබුන උපදෙස් වලට අනුව බ්ලොග් එකක් අටවාගත්තත් සිංහලෙන් කොටාගන්න බැරිවුන හින්දා අන්තිමේදි අතහැරලා දමන්ට සිද්දවුනා. උන් එකේ සිංහල අකුරු කොටන්නට යුනිකෝඩ් ගැන ලියලා තිබුනේ නෑ නොවැ .  




කොටලා සිංහල කොහොමද බ්ලොගක්   හදන්නේ
 නෑ   සහයට   කවුරුත්  ලග පාතකවත්     උන්නේ
කිසිදා නොදැකපු එකෙකුයි උපකාරෙට     එන්නේ
නදුන් රනවිරටයි කොළොම්පුරේ ස්තූතිය දෙන්නේ

ඔන්න ඔහෝමයි කොළොම්පුරේගේ බ්ලොග් ආගමනය මීට අවුරුදු දෙකකට කලියෙන් සිද්දවුනේ. ඒ අතරේ වර්ඩ් ප්‍රෙස් ඇලජික් උනු කාට කාටත් සප් එක දෙන බ්ලොගෙක් උපදෙස් මාලාවක් දුන්නා බොලේ.

අරහෙම මෙහෙම හදපන්          කියාලා
අටමා නොවෙද දුන් උපදෙස්     නවාලා
පහුරේ දමාගෙන ගොස් අතහැර දමාලා 
දුන් පබ්ලිසිටියට ආවායි බෝ     තුමාලා

ඔය විදිහෙන් පස්සේ තමයි එකා දෙන්නා කොළොම්පුරේට එබෙන්න විතරක් නොවෙයි ගොඩවැදිලා යන්නත් ආවේ. ඊටත් පස්සේ  

පිපුනා නෙළුමන් අතරේ මතුව       මඩෙන්
සම්මානත් ගත්තා පැනලා තරග     හිඩෙන්
වැඩුනා මිතුරුකම් උන්දැලා කරපු  වැඩෙන්
අවසන ආවේ කාගේද කරපිටක්     උඩෙන් 

ටිකෙන් ටික දවස් ගෙවිලා ගියා. නෙළුම්යාය මල්යාය වසන්තයවල් නැතිවෙලා ගිහිල්ලා වෙන්නැති පරණ බ්ලොග් උන්නෑහැලත් අවාරෙට වැටෙන පොල් ඇට්ටි වාගේ ඉදහිටලා පොස්ට් එකක් දෙකක් පුරසිද්ධ කොරලා දාන්නේ. ඉස්තරම් බ්ලොගක් ලිව්ව විචාරක තුමාත් අපෙන් සමුගත්තා. ඉන්න බ්ලොගාලත් දැන් සකර්බර්ග් ගොය්යාගේ බුකියේ පැලපදියම් වෙලා. ඒවාගේම කොළොම්පුරේට වැඩියෙන් බ්ලොග් කියවන්නන් ආපු ලංකීය සිතුවිලි සින්ඩියත් ලගකදි වැහිලා ගියා. මිනිස්සු මේව්වා බලන්නේ නැත්නම් හත්දෙයියනේ මොන කෙං ගෙඩියකටද කාලය මිල මුදල් හා ඩේටා වියදම් කරන් බ්ලොග් ලියන්නේ කියලාත් හිතෙනවා.    
කොමෙන්ටු නොදැම්මත් කියවන නෝනා මහත්තුරු ඔක්කෝම බොහෝම වැදගත් වාගේම බ්ලොග් ලියන එකාලට පොඩි ආතල් එකක් කික් එකක් මොටිවේෂන් පාරක් උත්ප්‍රෙරකයක් තල්ලුවක් දෙන්නේ කොමෙන්ටුවක් කොටන උන්දැලා තමයි. විශේෂයෙන්ම ප‍්‍රසන් නයා, ප‍්‍රාජේ, මෙන්ඩා වාගේ බ්ලොග් නොලියන එත් කියවලා කොමෙන්ටු කොටන මහත්තුරුගෙන්. 

එන්න එන්නම බ්ලොගාලත් අඩු    වෙනවා
ලිපියට ලැබෙන ප‍්‍රතිචාරත් මදි       වෙනවා
ඩේටා පුච්චාගෙන අපි තාමත් අල   වෙනවා
හිතුනොත් කොළොම්පුරේත් යන්නම යනවා

ඉතිං සිංහල බ්ලොග් ශානර අවකාශයේ එල්ලිලා රැදිලා ඉන්න කොළොම්පුරේට ගොඩවුනු එකී මෙකී නොකී සියලු දෙනාටම හර්දයාංගම ටැන්කිව් එක පුදකරන ගමන් හැමොටම සැලුට් එකක් එහෙම ගහලා ඉඩපාඩුවක් ලැබුන වේලාවක ආයෙත් මේ ගෙන්දගං පොළවේ හමුවෙන්න බලාගෙන කොළොම්පුරේ යන්න යනවා.



Saturday, June 23, 2018

සිංහබාහුගේ ස්විකා සාදය. Tuica (tswee-ka) හා බොස්ෆරස් ඔස්සේ රුමේනියාවට

සිංහබාහුව මතකයට ආවර්ජනය වුයේ මීට පෙර ලියු බ්ලොග් පොස්ටුවක් සදහා මාගේ පැරණි ඡයාරූප ගොන්නක් යලි පරිගණක තිරය මත දිග හරිද්දිය. එකල ජර්මානු නැව් සමාගමකට අයත්වු  මා සේවය කල නෞකාවේ දෙවන එංජිනේරුවරයා ලෙසට පත්ව ආ රුමේනියන් ජාතිකයාට තිබු හතරුස් මුහුනත් නොඋස් ස්ථුල සිරුරත් මෙන්ම ඔහුගේ මදක් වැවුන රිදිවන් කොන්ඩය නිසාත් අපි විසින් රෙජිස්ටර් කල නාමය වුයේ සිංහබාහුය. විදේශිකයන්ට නොතේරෙන ලෙසින් ඔවුන් ගැන කතාකරන්නට ශ‍්‍රී ලාංකික අප යොදාගත්තේ සිංහල භාෂාවයි. ඔවුන්ගේ තනතුරු නාමය ඉංග‍්‍රිසියෙන් නොකියා ඉන්නට හැකි තරම් උත්සාහ කලෙමු. නෞකාවේ ඉන්ජිනේරුවරයාට මෝලේ දෙකා නමින් හදුන්වද්දි මොහුට අපි සිංහබාහු වශයෙන් කතා කලෙමු. දෙකාට සිංහබාහු ලෙසින් කවුරු නම තිබ්බාද දැන් නම් මතකයේ නැත. සමහර විට මා වෙන්නට පුළුවන. පසුකලෙක ඔහු මේ සමාගමේම වෙනත් නෞකාවක ප‍්‍රධාන එංජිනේරුවරයා ලෙසින් උසස්විම් ලබා පැමිනෙද්දි ඒහි සේවයේ සිටි මාහටද ඔහුත් සමගින් එක්වන්නට ලැබුනි. සිංහබාහු ඉතා හිත හොද මනුස්සයෙක් විය. සිංහබාහු යන නාමය අපටත් පහසුවුයේ රුසියන් හෝ බල්ගේරියන්කාරයින්ගේ දිව පටලැවෙන නම් උච්චාරනය අපහසුවු බැවිනි. 



අප සේවය කල නෞකාවේ ගමන් මාර්ගය වැටි තිබුනේ මැලේසියාව චිනය තායිවානය යලිත් මැලේසියාව ගොස් ලංකාව පසුකර රතුමුහුදට ඇතුලුවි ඊජිප්තුවටද ඉන්පසුව සුවස් ඇල (Suez Canal)  හරහා ගමන්කර මධ්‍යධරනි මුහුදේ සිරියාව ලෙබනනය ග‍්‍රිසියද ඉන්පසුව කළු මුහුදට (Black Sea ) ගොස් රුමේනියාව හා යුක‍්‍රීනය යන රටවල් වලට ගමන් කිරිමය. මේ සියලුම රටවල වරායන් වලට ගොස් යලිත් මැලේසියාව එනතෙක් එක ගමන්වාරයක් සම්පුර්ණ කිරිමට දෙමසකට අඩු කාලයක් ගතවුනි. ඒ අනුව ඔහුගේ රටවු රුමේනියාවේ කොන්ස්තන්තා වරායටද (Port of Constanța) මසකට වරක් යායුතුවිය.බෙලාරුස් බොස්නියාවහා හර්සගොවිනියාව  බල්ගේරියාව කෞඒශියාව ජෝජියාව හංගේරියාව මොල්ඩෝවියාව පෝලන්තය රුමේනියාව  රුසියාව සර්බියාව ස්ලෝවකියාව ස්ලෝවේනියාව තුර්කිය හා යුක‍්‍රීනය යන රටවල් ගනනාවකින් වටවු කළු මුහුදට පිවිසෙන්නට තිබුනේ එකම එක පටු සමුද්‍ර මාර්ගයක්පමණි.




ඒ තුර්කියේ ස්තාන්බුල් අගනුවර පසුකර බොස්ෆරස් සමුද්‍ර සන්ධිය (Bosphorus strait ) ඔස්සේය. ඉතාමත් ආකර්ෂණිය සුන්දර පටු මුහුදු මාර්ගයක්වු එහි ගමන් කරද්දි මුහුද අද්දරට වෙන්නට කදු ගැටයන් හි ඉදිකර ඇති ඉපැරනි බලකොටුද මුහුද අද්දරට වෙන්නට ඉදිකර ඇති හොටල් හා අවන්හල්ද හොදින් දර්ශණයවෙයි. එසේම ස්තාන්බුල් නුවරට ආසන්නයේදි ඇතින් පෙනෙනා සුවිශාල මුස්ලිම් පල්ලිද ඉවුරු දෙක යාකරමින් ගොඩනගා ඇති දැවැන්ත පාලම් යටින්ද කුඩා බෝට්ටු හා මගිප‍්‍රවාහන නෞකාවන් පසුකරමින් ගමන් කරන්නට සිදුවෙයි. සෞම්‍ය කාලගුණයක් ඇති රාත‍්‍රි නොවන බොහෝ අවස්ථාවලදි නැව් තට්ටුවට පැමිණ මෙම සුන්දර පටු මුහුදු මාර්ගය පසුකරයන අයුරු බලා සිටින්නට අසාකලෙමි. 




බොස්ෆරස් පසුකර කළුමුහුදට ඇතුලුවන නෞකාවේ ඊලග නැවතුම වන්නේ රුමේනියාවේ කොන්ස්තන්තා වරායයි (Port of Constanța). විශාල වරායක්වුවත් ඇතුලත නැව් තිබුනේ සීමිත ගනනක් බව මගේ මතකයයි. ජැටියන් හි තිබු පැරණි දොඹකර සිහිපත් කරන්නේ වෙලක මාලුන් ඩැහැගන්නට බෙල්ල නවාගෙන බලා සිටිනා කොකුන් රූනක් සේය.  කොන්ස්තන්තා හි නැව් ගොඩනගන ෆිප්යාඩ් එකක්ද විය. පැරණි කොමියුනිස්ට් රටක්වු රුමේනියාවේ කොමියුනිස් ක‍්‍රමයේ ගරාවුටුනු නාෂ්ඨාවිශේෂ ලෙසින් මේ වරායත් දොඹකරත් සිහිපත් කරවන්නට වුනි. එකල නැගෙනහිර යුරෝපයේ තිබු විශාල හා නෞකාවන් විශාල වශයෙන් ආගිය වරායක් ලෙසින් පැවතුනායි අසන්නට ලැබින. අප කොන්ස්තන්තා වරායට ගොඩබට හැටියෙම සිංහබාහු ලකලැස්තිවෙන්නේ තම නිවෙසට යන්නටයි. 


රුමේනියාවේ කොන්ස්තන්තා වරාය (Port of Constanța)

සාමාන්‍යයෙන් රුමේනියාවේ කොන්ස්තාන්තා වරායේ අපගේ නෞකාව පැය විසිහතරකට වඩා නවතා තිබෙන අතර කොළඹ වරායේ මෙන් බහාලුම් ගොඩබෑම් හා පැටවිම් සිඝ‍්‍රගාමිව සිදුනොවිනි.  නෞකාව පිටත්විමට පැය කිහිපයකට පෙර නිවෙස බලාගිය සිංහබාහු යලි ටැක්සියකින් හෝ ඔහුගේ බිරිද විසින් පදවාගෙන ආ මොටර් රථයකින් ආපසු ආවේය. මාගේ මතකයේ සටහන්වි තිබු අයුරින් එම මොටර් රථය රුසියාවේ නිෂ්පාදිත ලාඩා මොඩලයේ මොටර් රථයක් විය. නිවසින් රැගෙනා  බඩුමුට්ටු අතින් කටින් එල්ලාගෙන නැවේ ගැන්ග්වේ (Gang way) එක නගිනා සිංහබාහු ඩෙක් එකට පැමින හතිිදමන්නට පටන් ගනියි.අසල සිටිනා කවුරුන්හෝ උදව්වට කතා කරගන්නා ඔහු රථයේ  ඩිකියේ අසුරාගෙන ආ ලිටර් පහේ හෝ ලීටරයේ ප්ලාස්ටික් ජල බෝතල් දෙක තුනක් නැව තුලට ඔසවාගෙනවිත් දෙන මෙන් ඉතා බැගැපත්ව ඉල්ලා සිටියි. 
රුමෙනියාවේ වරායෙන් පසුව අප නෞකාවෙ ඊලග නැවතුම වුයේ යුක‍්‍රීනයයි. ඔඩෙසා වරාය (Odesa)  හා ඉලිචෙවුස් වරායන්( port of ilyichevsk) හිදි බහාලුම් පැටවිමෙන් හා ගොඩබෑමෙන් පසු කළුමුහුදෙන් පිටතට පැමින මධ්‍යධරණි මුහුදටත් ඉන් පසුව සුවස් ඇල හරහා රතු මුහුදටත් පැමිනෙන තෙක් කාලය තරමක විවේකය අඩු කාර්‍යයබහුල කාලසිමාවක්විය. එහෙත් ඉන් පසුව උදාවෙන දිර්ඝමුහුදු ගමන  රතුමුහුදේ සිට ඉන්දියන් සාගරය හරහා මැලේසියාව දක්වා දින හත අටක කාලය තරමක් විවේකි කාලසිමාවක්විය. මෙම නෞකාවේ සේවයේ නියතු කාර්්‍යමන්ඩලයේ වැඩි දෙනෙක් ලාංකිකයෝ වුවත් එන්ජින් දෙපාර්තුමෙන්තුවේ ලාංකිකයන් සිටියේ මා ඇතුලුව තවත් දෙදෙනෙකු පමනකි. දකුනේ මාතරින් ආ දිනේෂ්ද මා මෙන්ම අවිවාහකයෙකුවු අතර නුවරින් ආ ඒකනායකද නාවික හමුදාවේ සේවයෙන් ඉවත්ව වෙළද නාවිකයෙකු ලෙසින් එකතුවු විවාහකයෙකු විය.අප හැරෙන්නට අනෙක් අය වුයේ හයේ හතරේ හැඩි දැඩි එහෙත් පොඩි එකෙක් මෙන් අහිංසක පුට්ටුවා නමින් අප හදුන්වපු ෆිටර්වරයාත්  (Fitter) හද්දා  නාකියෙක්වු විදුලි ඉන්ජිනේරුවාත් පෝලන්ත ජාතිකයන් වු අතර හතරවැනි ඉන්ජිනේරුවරයා රුසියානුවෙකු විය. රතුමුහුදට වැටි ඇරඹුනු දිර්ඝ මුහුදු ගමනක් ඇතුලත එක්තරා දිනෙක සිංහබාහු නොහොත්  අපගේ දෙවන ඉංජිනේවරයා මා ඇමතිය. මාහට සවස් කාලයේ වැඩක් නොමැති නම් අනෙක් දෙදෙනා සමගින් තම කැබිනයට පැමිනෙන මෙන් ඉල්ලා සිටියේය. සිංහබාහුගේ ඉල්ලීම දිනේෂ්ට හා ඒකනායකට පවසා සවස 5ට සේවයෙන් මිදි ගියෙමි. 


රාති‍්‍ර ආහාර වේලෙන් පසුව කැබිනයට වි ටිකක් ඇලවි සිටි බැවින් වෙලාව ගතවෙනවා දැනුනේ නැත. සිංහබාහුගේ ඇරයුම මතක්වුයේ දුරකතනය නාදවෙද්දිය. දිනේෂ් අනෙක් පසින් මා අමතා තමා ඉන්නේ සිංහබාහුගේ කැබින් කාමරයේ බවත් ඉක්මනින් එහි පැමිනෙන ලෙසින් කිවෙය. ඉක්මනින් ටී ෂර්ටයක් දමාගත් මා ඊලග තට්ටුවේ තිබු සිංහබාහුගේ කැබිනය වෙත පිය නැගුවෙමි. දොරට තට්ටුවක් දමා එයට ඇතුල් වෙද්දි මා දුටුවේ අපගේ මුළු එන්ජින් කාර්්‍යයමන්ඩලයසිංහබාහුගේ කැබිනයේ අසුන්ගෙන සිටින බවය. ඒ වන විටත් අරඹා ඇති සාදයේ මා ඔවුන් සමගින් එක්වුවිට එතැන නොසිටියේ ප‍්‍රධාන ඉංජිනේරුවරයා පමණි. සිංහබාහුගේ මෙසේ කොන්තන්තා  වරායෙන් නිවසට ගොස් රැගෙන ආ ප්ලාස්ටික් ජල බෝතල් ටීපෝව උඩ තිබුනි. කටගැස්ම සදහා ටීපෝව මත තිබු දුම්ගසන ලද අමු මාළුද (Smoked Fish) වයිට් චිස්ද (white cheese)පෙති කැපු හොම් මේඩ් සලාමිද (Salami) විය. ඌරු මාංශ පුරවා සොසේජස් මෙන් සකසා පවනේ වියලා ගත් සලාමි හැඩය දැක්කාම සිහිපත් වෙන්නේ වෙලුනු බලු බෙට්ටක් ය. 
සලාමි (Salami)




සිංහබාහු ගෙන ආ ප්ලාස්ටික්  ජල බෝතල් වල තිබුනේ රුමෙනියානුවන් විසින් නිවසේ පිලියෙල කරගන්නා ස්විකා නම් Tuica (tswee-ka) මත්පැන් බවත් කිසිදු මිශ‍්‍ර කිරිමකින් තොරව අමුවෙන්ම බිම ඔවුන්ගේ සිරිත බවත් ඔහු අපසමගින් පැවසීය. නොදන්නා මත්පැන් පානය කිරිමෙන් පසුවදාට විදින්නට සිදුවන දුක් කරදරයන් ගැන හොදහැටි අත්දැකීම් ඇති බැවින් සිංහබාහුගේ ස්විකා බොන්නට අදිමදි කලෙමි.එසේම කිසිදු බියක් වන්නට හේතුවක් නොමැතිබවත් හෙට උදේට මාර ෆිට් එකක් ඇතිව වැඩ කිරිමට හැකි බවත් මේවා ගෙදර නිපදවාගන්නා දේවල් නිසා තම බිරිදද පානයකරනා බවත් සිංහබාහු කීය. රෝමයට ගියා නම් රෝමන් කාරයෙකු සේ හැසිරිය යුතු බැවින් සිංහබාහුගේ ඉල්ලීම මත විදුරුවකට වත් කරගත් ස්විකා ටික ඔසවා සියල්ලන්ටම ජයපතා උගුරට වත්කරගතිමි. ගලනාලය කකාරවාගෙන ස්විකා ගලාගෙන ගියේ කට කජුලෙල්ලක් සේ අපි‍්‍රයාවෙන් අඹරවාගෙනය. වයිට් චිස් කැල්ලක් කටට දා ගත් නමුත් කටේ ඇතිවු අවුල නැතිවුයේ නැත. අප පුට්ටුවා නමින් හදුන්වන නෞකාවේ ෆිටර් වරයා දුම්ගසන ලද මාලු කැල්ලක් කන ලෙසින් මාලු තසිම පිලිගැන්විය. කරවල වෙන්නට තරමට නොවෙලුනු  දුම්ගැසු මාලුන් ප‍්‍රමාණයෙන් සාලයන් තරමේ එවා විය. කිසිදා ආහාරයට නොගත් දුම් ගැසු තැම්බුනු අමු මාළු කැල්ලක් කඩාගෙන විකුවෙමි. එහිවුයේ  අමුතු රසයකි.


ස්විකා අමුවෙන් පානය කරන්නට බැරිය කියු දිනේෂ් තම කැබිනයට ගොස් මිශ‍්‍ර කරන්නට  කොකාකෝලා කෑනයක් රැුගෙන ආවේය. එකනායකද කොකා කෝලා මිශ‍්‍රකරමින් ස්විකා පානය කරද්දි මා රුමේනියානු සිරිතට ගරුකරමින් අමුවේනම පානයක කරන්නටවිමි. පලමු විදුරුව තරම් අමාරුවක් දෙවැනි හා තුන් වන විදුරුවේ දි දැනුනේ නැත. සලාමි හා වයිටි චිස් ද ස්මා්ක් ෆිෂ් කමින්ද එකිනෙකාට විහිලු කරමින් සාදය ගෙවියද්දි  අමුවෙන් බිපු ස්විකා මත මා මාගේ  ලිමිට් එක ආසන්නයේ සිටිනා බව විඥාණයට අනතුරු අගවන්නට වුනි. වැඩේ හමාර කර මා පිටත්ව යන්නට උත්සාහ කලත්  සිංහබාහු ඇතුලු අපේ නඩය ඉඩදෙන්නේම නැත. බීපු ස්විකා හොදට පදම්වෙද්දි  සිංහබාහුටත් නොකියාම මාරුවි වැනිවැනි අමාරුවෙන් කැබිනයට ගොස් ඇදේ වැටුනි. මා යලි අවදිවුයේ පසුදා සේවයට යන්නට එලාමය වැදුනු පසුවය. ඔළුවට දෙකේ දෙකේ පොල්ලකින් ගැසුවාක් මෙන් හිස කෙලින්කරගන්නට බැරිය. ඇදෙන් බිමට බැහැගන්නට නොහැකියාවෙන් පෙලෙන්නට විමි. තදබල හිස රුදාවත් ඇගපත අමාරුවත් තිබුනත් කෙසේහෝ මෙස් එකට ගොස් තේ එකක් හාදාගෙන පානය කර එන්ජින් කාමරයේ පාලක මැදිරියට වාර්තා කලෙමි. ඒවන විට දිනේෂ් පැමින සිටියත් ඒකනායක පැමිණියේ ප‍්‍රමාදවිගෙනය. වෙනදා අපටත් කලියෙන් පාලක මැදිරියට විත් ප‍්‍රධාන ඉන්ජිනේරු සමගින් කෝපි කෝප්පයක් පානය කරමින් සිටිනා සිංහබාහු හෝ හතරානොවිය. එසේම පෝලන්ත ජාතික විදුලියා හෝ පුට්ටුවාද සිටියේ නැත. සිටිය එකම පුද්ගලයාවුයේ සිංහබාහුගේ සාදය නොදන්නා එයට නොපැමිනි ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා පමණි.වෙනදා ප‍්‍රබෝදමත්ව සිටිනා පිරිස කෙලින් කටින් හිටගන්නටත් බැරිව මැලවි සිටිනා අයුරු දුටු චිෆ් ගේ ඇස් උඩගියේය. 
තම අංශයේ සගයන් පෙරදා රාති‍්‍රයේ මොකක් හරි මගෝඩිවැඩක් කර ඇතිබව ඔහු අප දැක්මෙන් තේරුම්ගත්තේය. වැඩට නොපැමිනි අනෙක් අයගැන සොයා බැලිමෙන් පසුව මා වෙත පැමිණි ඔහු තමන්ටද නොකියා ඊයේ උඹලා මොකක්ද කලේ යැයි විමසීය. කිසිවක් නොකියා මද සිනාහවක් පෑමක් විතර කිරිමෙන් ඔහුට තේරුම් යන්නට හැරියෙමි. 
"උඹලා මොනවාදැයි බිව්වේ?" 
දිනේෂ් ලගට ගිය ඔහු ඇසීය.
"සෙකනඩ් ඉන්ජිනියර් ගෙනාපු ස්විකා."
"මයිගෝඩ් උඹලාට පිස්සුද ස්විකා ජරාවල් බොන්න. උඹලා ඔක්කෝටම දැන් හොදටම  අමාරු බවනම් පේනවා. අද වැඩි වැඩක් නැති නිසා රෙස්ටි එකේ ඉන්නයි" කී ඔහු කෝපි කෝප්පය  තොලගාන්නට විය. කොන්ට්‍රෝල් රූම් එකෙන් එලියට ආපසුව මා වෙත පැමිනි ඒකනායක පැවසුවේ ඔහුගේ පපුව රිදෙන බවත් වැඩක් කරන්නට තියා කෙලින් හිටගෙන ඉන්නටවත් බැරි බවය. ස්විකා බි පපුවේ අමාරුවක් හැදෙන්නට බැරි බැවින් ඒ ගැන විමසද්දි ඔහු කිවේ සිංහබාහුගේ සාදය අතරතුර හා පසුව බොහෝ සිදුවිම් ගොඩාක් වුනු බවයි. 
මා වෙරිමරගාතේ කැබිනයට ගිය පසුව නාකි විදුලි ඉන්ජිනේරුවරයා හැඩි දැඩි පුට්ටුවාගේ බිරිද ගැන කියු මොකක්දෝ විහිලුවකට අරඹයා කරගත් වාදය පසුව දබරයකින් අවසන්වෙන්නට ගිය බවත් අමාරුවෙන් ඔවුන් දෙදෙනා වෙන්කර කැබිනයට යවා සාදය හමාර කෙරු බවයි.  පසුව ඒකනායක සිගරට්ටුවක් ඉල්ලා ගැනිමට දිනේෂ් ගේ කැබිනයටගිය බවත් ඔහු එහි නොසිටිය හෙයින් පහල මෙස් එකට ගිය විට එහි සිටි දිනේෂ් බදාගන්නට මෙන් කෑගසාගෙන දිව විත් ගොනෙක් අනින්නාක් සේ ඔලුවෙන් පපුවට ඇන්න බවත්ය. ඒ ඇන්න පාරට පපුව සිරවිමක් එක්කම සිහි නැතිවුවාක් මෙන් දැනුන බවත්ය. බිපු වෙරි මතය සියල්ලම නැතිවි ගියත් පපුවේ අමාරුව තවමත් තිබෙන බවත්ය. සිංහබාහුගේ සාදයෙන් දිනේෂ් මෙස් එකට ගොස් ඇත්තේ හපන්නට දෙයක් සොයාගැනිමට බවත් හොදටම වෙරිමරගාතේ  ඔහු කල කී දෙයක් වත් ඒකනායකට ඔළුවෙන් ඇන්න එක මතක නැතිබවත් එත් තදින් හිස ඇදුම්කන බවත් දිනේෂ් මේ සිද්දිය ගැන අසද්දි කිවේය. කෙසේ නමුත් එදා දහවල් වනතෙක්ම සිංහබාහු හා විදුලියා හා පුට්ටුවා වැඩට නොපැමිනි අතර අමාරුවෙන් ඉන්නා අයව එන්ජින් අංශයේ තබා ගැනිමට නොහැකි බැවින් දහවල් කෑමන් පසුව වැඩට නොපැමින ගිහිල්ලා නිදා ගන්නා ලෙසින් චීෆ් ගෙන් උපදෙස් ලැබින. පසුදා ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාගෙන් අපට ස්විකා බොන්නට දිම ගැන හොදහැටි බැනුම් ඇසු සිංහබාහු යලි කිසි දිනෙක කොන්තන්සා වලින් ගෙදර ගොස් ස්විකා ගෙන ආවත් අපට කතාකර සාදයන් දැම්මේ නැත.  



කහ පැහැති ටිෂර්ටයක් ඇදසිටින්නේ සිංහබාහුය.ඔහු ලගින් ටයිගර් බියර් කෑනයක් අතැතිව ඉන්නේ මංතුමායි.




Wednesday, June 13, 2018

බොමුද ටෙකිලා


උඹ ටෙකිලා ගහලා තියේනවාද?
ටෙකිලා ඒ මොකක්ද?
පිස්සු හැදෙනවා බං ගැහැව්වාම ලොවෙත් වදිනවා කන් පාත්වෙන්න
මොකක්ද බං දුමක්ද?
නෑ බං අරක්කු ජාතියක්
ඇහැව්වෙත් අදමයි එච්චරටම සැරද?
අපේ අයියාකාරයා අරන් ආවේ සැන්ඩි නැතිව අමුවෙන් ගහන්නලු ඔනේ.
 ලුණු ටිකක් පිටිඅල්ලට දාලා කාලා ඊට පස්සේ දෙහි කැල්ලක් හපනවා විතරයි බයිට් එකට.  වැදෙනවා බං නැතිවෙන්න.



ඔන්න ඔහොම තමයි මමත් ටෙකිලා Tequila ගැන මුලින්ම ඇහැව්වේ. හැබැයි අහලා තිබුනාට ටෙකිලා ටිකක් කටේ තොලේ ගාගෙන බොන්න ලැබුනේ මැක්සිකෝවට පැත්තට ගොඩබැස්සාට පස්සේ තමයි. දැන්නම් ලංකාවෙත් ටෙකිලා තියෙනවා.හැබැයි ඔරජිනල් ටෙකිලාද දන්නේ නෑ. මදක් අවර්ණ ටෙකිලා බෝතලයක් අරන් පොඩි ශොට් විදුරුවක් පුරවලා නිට් ගහලා ලුණු ටිකක් පිටි අල්ලට දාගෙන ලෙවකාලා ඊට පස්සේ දෙහිකැල්ලක් හැපුවාට අපේ මිත‍්‍රයන්ට නම් ටෙකිලාත් සැන්ඩි නොකර බොන්න නම් බැරිවුනා.  මීට මාස කිහිපයකට පෙරදි අහුන්ගල්ල පැත්තේ තියෙන තරුපහේ හොටලයකදි ආපහු ටෙකිලා විදුරුවක් දෙකක් විතර රසබලද්දි මට මතක්වුනේ මොනවාද මේ ටෙකිලා කියන්නේ? එකේ ඉතිහාසය මොකක්ද කියලා හොයලා බලන්න. ඔන්න ඉතිං පස්සේ අන්තරජංජාලය පිරලා ටෙකිලා ගැන හොයාගත්තු දෑ කොළොම්පුරේටත් දාන්න හිතුනා.


ටෙකිලා මුලින්ම නිපදවලා තියෙන්නේ 16 වන ශත වර්ෂයේදි පමණ මෙක්සිකෝවේ ටෙකිලා නගරයේදි (City of Tequila)  තමයි. මේ ටෙකිලා නගරයේ තියෙන ගිනිකදු ආශි‍්‍රත රතු පසේ (Red Volcanic soil)වැවෙන නිල් අගාවේ (Blue Agave) පැලෑටියෙන් තමයි මේ ටෙකිලා නිපදවන්නට පටන්ගත්තේ.


මුල් කාලිනව අගාවේ පැලෑටියේ සාරය පැසිමට ලක්කර සාදන පුල්කේ නම් වු පානය තමයි ඔවුන් පානය කෙරුවේ. මැක්සිකෝව අල්ලාගත් ස්පාඤඤයින්ගේ බ‍්‍රැන්ඩි තොග අහවරවිම නිසා මිදිසාරය ආසවනය කිරිමෙන් බ‍්‍රන්ඩි නිපදවාගන්නවා සේ මේ පුල්කේ ආසවනය කිරිමෙන් දේශිය නිපදවන පානයක් සේ ටෙකිලා නිපදවා ගන්නට ලැබුනා. හරියට අපේ රටේ දේශිය පානය කසිප්පු වාගේ.
දොන් පෙඩ්රෝ සැන්චෙස් (Don Pedro Sánchez de Tagle) නම්වු වංශාධිපතියා විසින් ජලිස්කෝ (Jalisco)ප‍්‍රදේශයේ විශාල පරිමානයෙන් ටෙකිලා නිපදවන කර්මාන්තශාලාවක් පිහිටුවාලුවයි කියනවා. තව දිව පටලැවිලා උලුක්කුවෙන ජාතියේ නම් තියෙන මැක්සිකානු අප්පුහාමිලා විසින් මේ ටෙකිලා නිෂ්පාදන ක‍්‍රම වැඩිදියුණු කරලා ජාත්‍යන්තරයටත් ටෙකිලා අරගෙන ගියා. ඔන්න එකට අපේ රට වෙලේ, කැලේ, ලන්දේ, අකුලේ, ගං ඉවුරේ විතරක් නොවෙයි මහා සුපිරි මන්දිර වලත් පෙරන වෙල් පැන්ටා, ගහපං මචං, බොකු දිරාස්, ඇතිහිටියා, කසියා, හැලි අරක්කු කියලා නානාප‍්‍රකාර නම්වලින් හදුන්වන දේශිය පානයට නම් කිසිම සපෝට් එකක් නම් නෑ ජාත්‍යන්තරයට අරන් යන්න. බොකු දිරාස් වලට කියන තව නම් එහෙම තියෙනවානම් කොළොම්පුරේටත් දන්වන්න හොදේ
එහෙනම් බලමු කොහොමද ටෙකිලා නිපදවන්නේ කියලා.
මුලින්ම කිව්වා වාගේ ටෙකිලා නිපදවන්නට නිල් අගාවේ සහ අගාවේ පැලෑටිය වගාකරගන්නට ඔනේ.  අගාවේ පැලෑටිය වාගාකරන්නන් හොද එක්ස්පර්ට්ලා. මේ වගාකරුවන් හදුන්වන්නේ jimadores නමින්. එයාලා විසින් නිරන්තරයෙන්ම එවා කප්පාදු කරමින් අස්වැන්න නෙලන කාලය තෙක් හොදින්  රැක   බලාගන්නවා. නියමිත ලෙස වැඩුනු අගාවේ පැලෑටිය කොවා (coa) නම්වු දිගු මිටක් සහිත විශේෂිතවු පිහියකින් මෙම අගාවා පැලෑටියේ අතු කපා දමා එහි මාංශලයෙන් පිරුනු කද කොටස වෙන්කරගන්නවා.



 නියමිත ලෙස වැඩුන කද කොටසක බර කිලෝ 70 සිට 110 ක් දක්වා පමණ වෙනවා කියනවා. වෙන්කරගත් කද කොටස් උදුන් වල බහා මදක් බේක් කරගන්නවා. ඒ කරන්නේ එහි අඩංගු පලතුරු සිනි පෘක්ටෝස් වෙන් කරගැනිමටයි. ඉන් අනතුරුව   ටහොනා ( tahona ) නම්වු විශාල ගල්රෝදයක් මගින් කැලිවලට ඉරා හා පොඩිකරගත් අගාවා කද කොටස් අඹරා යුෂ වෙන්කරගන්වා.


 ඉතිරිවන පල්පයන් සත්ව ආහාර කඩදාසි සැදිම හා කොම්පොස්ට් පොහොර වැනි කාර්්‍යන්වලට යොදා ගැනිම සිදුකරගන්නවාලු. වෙන්කරගත් යුෂ විශාල සුදු යකඩ හෝ ලී වැටි වල ගබඩාකර දින කිහිපයක් පැසිමට හරිනු ලබනවා.



මෙසේ පැසිමට ලක් කෙරුනු අමු බිර වැනි මෙම ආගාවේ යුෂ දෙවරක් පෙරා ආසවනය කිරිමෙන් ටෙකිලා නිපදවාගන්නවා. සමහර නිෂ්පාදකයින් තුන්වරටද මෙවා පෙරාගන්නවා. තෙවරක්පෙරුව මිසක් තෙවරක්පෙරුම නොවෙයි වරද්දගන්න එපා. මෙසේ පොරාගත් ටෙකිලා කෙලින්ම බෝතල් කිරිම හා ඔක් ලියෙන් සාදනු ලැබු  බැරල්වල ගබඩාකර ගැනිමෙන් පැරණි කරගන්නවා.  මේ නිසා ටෙකිලා වල පාට රසය හා සැර වෙනස්වෙනවා. මෙහිදි අවර්ණ පැහැයේ (සිල්වර්) සිට කහපාටට හුරු දුබුරු පැහැය (ගොල්ඩන්) දක්වා වර්ණ වෙනස්වන ටෙකිලා තියෙනවා. ඒ නිසා ටෙකිලා ප‍්‍රභේද හතරක් ලෙසට වෙනස් වෙන්නේ කොහොමද බලමු.
පෙරිමෙන් පසුව බොතල් කිරිම හෝ සුදු යකඩ හෝ සුදු ඔක් ලී බැරලයන්  තුල මසකට අඩු කාලයක් පැරනි කරගත් ටෙකිලා බලැන්කෝ (Blanco) හෝ ප්ලාටා (plata) හෝ සිල්වර්  ("silver") ටෙකිලා නම් කෙරේනවා.
අවම වශයෙන් මසක් හෝ උපරිමයෙන් වසරක් පැරනිකරගත් ටෙකිලා රෙපොසඩෝ (Reposado) ටෙකිලා නමින්ද
අවම වසරක් හෝ උපරිම වසර තුනක් කුඩා ඔක් බැරලයන් තුල පැරනි කරගත් ටෙකිලා අනෙජෝ (Añejo) ටෙකිලා නමින්ද
වසර තුනකට වඩා වැඩියෙන් ඔක් බැරලයන් තුල පැරනි කරගත් එක්ස්ට‍්‍රා අනෙජෝ(Extra Añejo)  ටෙකිලාද වෙනවා.
හදන හැටි මොකටද බිව්වාම වදිනවානම් නේද
එහෙවනම් බොන හැටි බලමු
සාමාන්‍යයෙන් ටෙකිලා බෙන්නේ අමුවෙන් නැත්නම් නිට්. බයිට් නෑ ඒ වෙනුවට  ලුණු ටිකක් ලෙවකාලා පෙති කපපු දෙහි කෑල්ලක් තමයි හපන්නට වෙන්නේ. මෙක්සිකෝවේ බන්දෙරා ක‍්‍රමයට බිමත් එක ක‍්‍රමයක්. හැබැයි එහෙම බොන්නට නම් එක්කෝ මැක්සිකෝවට හරි නැත්නම් රියල් මැක්සියානු අවන්හලකට යන්න වේවි. අපේ ගෙවල් පැත්තේ මැක්සිකානෝ කියලා මැක්සියානු අවන්හලක් දැම්මා. ටොටියා ටැකෝ හරි බුරිතෝ, Guacamole ඇතියි කියලා කන්න බලාගෙන එකට ගොඩවුනාම අපරාදේ කියන්න බෑ එකේ තිබුනේ ෆයිඩ් රයිස් ආප්ප සහ කොත්තුරොටි  තමයි. මෙව්වාත් නිකං අටපට්ටම් අකුරු ටිකක් ගහපු  චිනෙත් නැති චයිනිස් කඩවල්  වාගේ තමයි  ඉතිං.
 බන්දේරා කියන්නේ ස්පාඤඤ භාෂාවෙන් කොඩිය (Flage) කියලායි.ඔය මැක්සිකන්කාරයෝ තමන්ගේ සාප‍්‍රදායික අහාර බොහෝමයකට ජාතික කොඩියේ පාට තුන යොදාගන්නවා. අපේ රටේ එහෙම කලානම් බුකි ජාතිආල දේශපාලුවෝ කරපු එකාගේ පතුරුයවනවා.
මැක්සිකෝ කොඩියේ පාට අනුව බන්දේරා පිලිගන්වනවා. පොඩි ෂොට් ග්ලාස් තුනක් යොදාගෙන කොලපාට නියෝජනය කරන්නට දෙහි යුෂත් සුදු පැහැයට සුදු ටෙකිලාත් රතු පාටට සංගරිතාත් ( sangrita) තමයි පිලිගන්වන්නේ.

 තවත් බොහෝමයක් සුප‍්‍රසිද්ද කොක්ටේල් වර්ග වලට ටෙකිලා මිශ‍්‍රකරන්නට යොදාගන්නවා.   මාගරිටා විදුරුව හෝ ස්පාඤඤ බාසාවෙන් කුඩා අශ්වයා නමින් හදුන්වන කැබල්ලිටෝ ෂොට් ග්ලාස් caballito (little horse, in Spanish)  එක තමයි ටෙකිලා බොන්න ගන්නේ. 



එහෙනම් දැනට ඔය ඇති. මිට වඩා දන්න විස්තර ඇත්නම් කොළොම්පුරෙත් දැනුවත් කරන්නකෝ.

ඔන්න අන්තිමට දැම්මේ මංතුමා මැක්සිකෝවේදි ගත්තු මැක්සියානු සිතියමක හිටිය ඉසව්වට පෙන්නාගෙන ඉන්න පොටෝ කෑල්ලක්.




Friday, May 18, 2018

රජගෙදර කලාකෘති.

රජතුමෙක් කිසිදා වාසය නොකරපු රජගෙදරක් අපේ රටේ තියේනවා. කාලෙකට ඉස්සර කිංස් හවුස් කියපු මන්දිරය පස්සේ කාලෙක කුවින්ස් හවුස් වුනා. ඊටත් පස්සේ ප‍්‍රසිඩන්ට් හවුස් නැත්නම් ජනාධිපති මන්දිරය නමින් හදුන්වන්න පටන් ගත්තා. මේ සිරිලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජවාදි ජනරජයේ පළමු ජනපති වු විලියම් ගොපල්ලව ගෙන් පසු මෙතෙක් බලයට පත්වු එකදු ජනපතිතුමෙකු එක රැයක් වත් මේ මැදුරේ ඉදලා නෑ ( දන්නා තරමින්) ඔය රජ ගෙදර ඉතිහාසය ගැන ආයෙත් කියන්න ලියන්න ඔනේ නෑ. මෙන්න මෙතැනින් ජනපති මැදුර ගැන කොළොම්පුරේ ලියපු ලිපිය බලාගන්න පුළුවනි. එහෙනම් මොන අටමංගල්ලයක්ද මේ ලියන්නේ? ලියන්න දෙයක් නෑ බලාගන්නයි ඔය පොටෝ කෑලි පහලින් එල්ලලා තියෙන්නේ. 
 ජනපති වාසය නොකලාට මේ නිලනිවසේ බොහෝ වටිනා මිල කලනොහැකි පෞරාණික මෙන්ම අගනා කලාකෘති වලින් පිරිලා තියේනවා. සමහරක් ජනපතිලා ධුරයේ කාලය අවසන් වෙලා යනකොට මේ වටිනා භාන්ඩ හා කලාකෘතිත් අස්ථාන ගතවෙලා ගිහිල්ලා තිබුනා. ජනපති මැදුරේ තිබු ඉතා විටිනා චිත‍්‍රයක් ආපහු මතුවුනේ ලංඩනයේ චිත‍්‍ර වෙන්දේසියකින්. (ඒ චිත‍්‍රය තිබුනේ මුල්කිරිගල විහාරයේ දර්ශණයක් කියලා තමයි මතක)  
හැබැයි ඒ චිත‍්‍රය ජනපති මැදුරේ නම් තියේනවා දැක්කේ නෑ. බොහොමයක් චිත‍්‍ර ඇදලා තිබුනේ ජොර්ජ් කීට්,  මංජු ශ‍්‍රී ,නයනාන්ද,  සිවලි,  ස්ටැන්ලි කිරින්දේ යන අතිදක්ෂ ආටිස්ලා තමයි.  එහෙනම් චිත‍්‍ර බලලා රජගෙදර රවුමක් ගහමු.     






































































මගේ නොවන මගේම කැබිනය හා මිලේනියම් එක සැමරිම - සයුරේ දසවසක්

මාගේ තුන්වන නෞකාව වූ කුමණේ සිටියදි 1999 වසරේ   ජනාධිපතිවරණය   පැවැත්වු අයුරුත් අපත් එයට සමගාමිව  ජනාධිපතිවරණය ක් පවත්වූ අයුරු පෙර ලියා ඇත්තෙ...