Monday, November 1, 2021

කොටහේනේ කොටි මැරිල්ල



කොටහේනේ කොටි මැරිල්ල කළේ අන්දු බයියා. ඒකට මංතුමා පොඩි සපොට් එකක් දුන්නා තමයි. ඊට වඩා දෙයක් කළේ නෑ. කවුද මේ අන්දු බයියා? ඉස්සෙල්ලාම අන්දු බයියාව අදුන්වලා දෙන්න එපැයි නේ කතන්දරේ කියන්න කලියෙන්. අන්දු බයියා  කියන්නේ මගේ කාර්යාලිය සගයෙක්. මිනිහා මං වාගේ නොවෙයි හයේ හතරේ සද්දන්තයා.මේක සිද්ධවුනේ අපි උතුරු නැගෙනහිර යුද්ධය ජයගෙන අවුරුද්දක් විතර ගියාට පස්සේ. එයා පැන්සොන් යනකම් බලාගෙන උන්නා මේ කතන්දර ඔහේලාට කියන්න. දන්නවානේ මිනිහා දැනගත්තෙත් තව පිහි ඇනුමක් බඩේ බත් ඩිංග වාගේ සුවර් ෂොට්. මෑන් පොඩ්ඩක් නොවේ ගොඩාක් මසුරා. අනුන්ගෙන් කන්න කිව්වාට බොන්න මිනිහා රුසියා. බීවාට මිනිහා නොවෙයි සතයක් හොල්ලන්නේ. 

ඔන්න දවසක් අපි දෙන්නා ඕෆ් වෙන වෙලාවත් පන්නලා ඔටි පාරක් දමාගෙන ඉන්නවා. වෙලාව හවස හයට කිට්ටු කරලා තිබුනේ. 

"මල්ලි මොකද කරන්නේ ගහමුද?"

අන්දු බයියා මගෙන් ඇහැව්වා. මම මගේ අත කොනිත්තලා බැලුවේ ඔටි කරන අතරේ නින්ද ගහිල්ලා දකින්නේ හීනයක්ද කියලා. බැලින්නම් ඒක ඇත්තක්.

"මේ දැන්?"

"නැත්නම් හෙටද හු....තෝ?"

"කොහෙටද යන්නේ? මම නම් මේ පැත්තේ තැන් දන්නේ නෑ."

"හරි මං නේ උඹව අරන් යන්නේ. වරෙන් හයට ඕෆ් එක ගහලා යමං."

මගේ පෙර පිනකට පොරට පිනක් දහමක් කරගන්න හිතිලාද  නැත්නම් කොච්චියේ එද්දි ජැකක් සෙට් වෙච්චි සංතෝසෙටද මන්දා පොර සෙට් වෙන්ඩ කතා කරන්නේ.මාත් එක පයින් නොවේ දෙපයින්ම කැමැත්ත දුන්නා මොකද ඉබ්බෙක් ගෙන් පිහාටු ලැබෙනවා කියන්නේ ලෝක පුදුමයක් නේ. ඉතිං අපි දෙන්නා ඇදුම් එහෙම මාරුකරගෙන හයට කාඩ් එකත් අවුට් ගහලා පයින්ම හෙට්ටියාවත්ත හංදියට ආවා.  සැන්දෑ කලුවර කුරගගා එන වේලාවේ අන්දු බයියයි මංතුමයි කොරගගහා නොවේ ඩබල් එකේ හෙට්ටියාවත්ත හංදියට ආවා. හෙට්ටියක්ක හංදිය පහුකරලා කොටහේන පැත්තට එනකොට තියෙනවා බෝල මේසේ නමින් කවුරුත් හදුන්වන කේම්බ්‍රිජ් එකට ගොඩවුනා. මේකට කවුරුත් බෝල මේසේ කියන්නේ මේ රෙස්ටුරන්ට් එකේ බිලියඩ් මේසයක් තියෙන නිසා මිසක් මේස බෝල කරලා හදලා නොවේ. අපි දෙන්නාට වැඩිය බොන්නත් බැරි එකේ මුලන්ම භාගයක් කාරිය අරගෙන වැඩේට මුල පිරිවා. භාගෙට වග කියද්දි ඔපිසියේ ප්‍රස්න වලින් පටන් අරන් ගෙදර වැඩ, ගෙදර ප්‍රස්න, වරාවට නැව් ගොඩබාන හැටි, ලෝක දේශපාලනය ආදිය කතාකරන්ටවුනා. කොහොම නමුත් ලෝක දේශපාලනයෙන් සිරි ලංකාවේ අපිට හැමිනෙන දේශපාලනය ගැන කතා කරන්නට භාගේ මදි බව තේරුන හින්දා අපේ අන්දු බයියා ලොක්කා බය නැතිව තවත් කාලක් සදහා අනුමැතිය දුන්නා. මංතුමාත් ඒක ටක් ගලා ස්ථිර කළා මතකයි. එකත් ඉවර කරලා බිලත් සෙටල් කරලා දෙන්නා එක්ක බෝල මේසෙන් එලියට බහිද්දි හොදටම රෑ බෝවෙලා. ඉතිං අන්දු බයියා ලොක්කා එක්ක වැනි වැනි කොටහේන හංදිය දිහාවට පියවර  මැන්නා. හවසට බොහොම කාර්්‍යබහුල වෙන කොටහේන හෙට්ටියාවත්ත දැන් සාමකාමි වෙන්න පටන් අරන් තිබුනේ. 



"යමං මොනවා හරි කන්න. "

"දැන් මොනා කන්නද ලොක්කා ගෙදර ගිහිල්ලා කාලා බුදියන්නයි දැන් ඔනේ."

දැන් නම් ගහපු බඩු වැඩ කරන නිසා නිදිත්මතයි. ඔන්න වැරදි වැටහිම් ගන්නවා නම් දැන්ම කරෙක්ෂන් කරන්න ඕනේ ගහපු බඩු කිව්වේ මරදානේ ඉන්න බඩු නොවෙයි.

මංතුමා එහෙම කිව්වාට ලොක්කාට බයිට් ගිලලාත් බඩගින්නක් හැදිලා තිබුනේ. යමං කොත්තුවක්වක් කන්න කියලා ගියාට කොත්තු කඩයක් හොටලයක් ඒ හරියේ තිබුනේ නෑ.

"කොහේ තියෙන හොටල්ද ලොක්කා මෙහේ වරාය ලග තිබුනාට කන්න තැනක් නෑ."

"හිටහං මං බලන්නම්" කියලා පොර ත්‍රිවිල් මල්ලියෙක් ගාවට කිට්ටු කෙරුවා. 

"මල්ලි  පෝක් කොත්තුවක් කන්න පුලුවන් හොද කඩයක් නැද්ද?"

"මේ හරියේනම් නෑ අයියේ උඩහට හරි නැත්නම් ආමර් ස්ට්‍රිට් එකේ තමයි තියෙන්නේ. හැබැයි පෝක් තියේද දන්නේ නෑ."

"යමං උඩහට ඒ පැත්තේ ඇති." 

"මහලොකුවට හැමදේම දන්නවා කිව්වාට හෙටිටියාවත්තේ කන්න කෑම කඩයක් ගැනවත් ලොක්කා දන්නේ නෑ නේද." 

මමත් පොරගෙන් ඕලොක්කුවට  වගේ ඇහුවා. 

"හරි කටවහගෙන වරෙන් මමනේ උඹව අරන් යන්නේ."  කියලා අන්දු බයියා කොටහේන හංදියෙන් උඩහාට ඒ කියන්නේ දිපදුත්තාරාමේ පැත්තට කන්ද නගින්න ගත්තා. "මේ යකා මේ වෙරිමරගාතතේ ගෙදර යන්නේ නැතිව කොහේ යනවාද මන්දා"  කියලා මමත් මිනිහා පස්සෙන් වැටුනේ කරන්නට දෙයක් නැති හින්දයි. 

 කොටහේනේ කන්ද බාගයක් විකර නගිද්දී මෙන්න කොත්තු ගහන ආප්ප දාන හෝටලයක් තිබුනා. හැබැයි බෝඩ් ලෑල්ලෙන්ම මං දැන ගත්තා එකේ කොත්තු තිබුනත් පෝක් නම් තියෙන්න විදිහක් නෑ කියලා. 

මුස්ලිම් කාරයින්ට පෝක් හරාම් නේ ඉතිං කොහේද ලොවෙත් උන්ගේ හොටල් වලට ජෝක් එකටවක් පෝක් ගෙන්නේ නෑ. 

"ලොක්කා මේකේ පෝක් නෑ අහන්නත් එපා. කන්නයි වෙන්නේ. " පුටුවක ඈදි ගන්න ගමන් මං හිමිහට ලොක්කාට කෙදිරුවා. 

"සර් මොනවාද ඔනේ?"

"මොනවාද තියෙන්නේ  කොත්තු තියේනවාද? "

"ඔව් සර් තියෙනවා."

"එහෙනම් අපිට පෝක් කොත්තු දෙකක් දාන්න."

"සර් පෝක් කොත්තු නෑ. බිෆ් ,චිකන් ,මටන් තියේනවා."

"පෝක් නැතිව කොත්තු වැඩක් නෑ. පෝක් ටිකක් දාලා ගහලා දෙන්න බැරිද?"

"සර් මේක මුස්ලිම් හොටලයක් අපි පෝක් හදන්නේ නෑ." 

"එහෙමද එත් පෝක් නැතිව කාලා වැඩක් නෑ. ඒ ආසා උඹ කනවාද?"

"කනවා නම් කමු වෙන එකක් නෑ මේ වෙලාවේ. "

"ආයෙමත්  තව හෝටල් හොය හොය යන්න බැරි කමට මංතුමා කිව්වා."   

"එහෙනම් මට ගෙන්න ෆිෂ් ඉදියාප්ප කොත්තුවක්. උඹට මොනාද ඕනේ?"

"මට දෙන්න බිෆ් කොත්තුවක්. "

"යකෝ බිෆ් කන්න එපා. වෙන එකක් කාපං."

"නෑ මට බිෆ් එක හොදයි."

"එපා බිෆ් නැතිව චිකන් ගෙන්න."

"ඇයි."

"අසරණ සතෙක්නේ."

"එතකොට පෝක් හොද වෙන්නේ ඇයි?"

"ඒ උනාට බිෆ් කන්න එපා."

"මමනේ කන්නේ මට ඒක අදාල නෑ. මම කන එකට මම ගෙවන්නම්." 

"ඔව් මම ගෙවන්නේ නෑ."

"හරි මට ඕනේත් නෑ. මම කොහොමත් ඕනේම මසත් කනවා මිනිමස් ඇරෙන්න. "

කොහොමින් කොහෙම අන්දු බයියා පෝක් වල හොද කියමින් බිෆ් කනවාට  බේස් ඩ්‍රම් ලෙවල් එකේ අධි සංඛ්‍යාත වෙයිස් එකෙන් මට දොස්මුරේ දමමින් කෑමකාලා ඉවර කළා. ඒ අස්සේ  හොටලේ උන්නු ඩයල් එහෙමත් අපි දිහාට රබර් ඇස් දමනවා.

"මල්ලී මිට පස්සේ පෝක් ටිකක් හදන්න අපි හැමදාම එනවා මෙහෙන් කන්න." 

අන්දු බයියා කැසීයර් එකට බිල ගෙවද්දිත් පෝක් ඉල්ලා හිටියා. හැබැයි එකෙක් වත් මුකුත් කියන්න ගියේ නැත්තේ අපි බීලා හිටපු හින්දාද මන්දා.

කොහොමින් කොහොම වැඩි අතුරු ආන්තරාවක් නැතිව ඌරු මස් කන්නට ඉල්ලලා මුස්ලිම් හෝටලේ කුස්සිය ඇතුලේ මස් වෙන්නේ නැතිව එළියට බහින්න පුළුවන් උනා. 

දැන් දෙන්නා එක්ක කන්ද බැහැගෙන කොටහේන හංදිය පැත්තට එනවා. අන්දු බයියා කලිසමෙන් එළියට ඇදුන කමිසයේ එක පැත්තක් බාගෙට යටකරගෙන " තෝ මොකටද බිෆ් කෑවේ මම එපා කිව්වානේ."  ආයෙමත් මේකා මට බනින්න පටන්ගත්තා. මේකාගේ අධි සංඛ්‍යාත බේස් වෙයිස් එකෙන් බැනුම් අහගෙන ඉන්න මෙලෝ යකෙක්ට පුළුවන්ද මම වැඩේ වෙන පැත්තකට පෙරලන්න බලාගෙන පොරගේ ආස කෑම පෝක් ඇදලා ගත්තා.

"කෝ ලොක්කා ඔයා කිව්වේ මෙහේ ඕනා තරම් පෝක් තියේනවා කියලානේ." 

"යකෝ කොටහේනේ මෙච්චර කුරුසකාරයෝ ඉදලත් කෝ බං පෝක්? මට හිතෙක්කේ උනුත් දැන් හම්බයෝ එක්ක එකතුවෙලා උඹවාගේ බිෆ් කන්න අරන්."

පොර ඊළගට කතෝලිකයින්ට බනින්න ගත්තා. 

"මේ කොටහේනේ ඉස්සර තමයි හිටියේ කුරුසකාරයෝ දැන් වැඩි හරියක් ඉන්නේ දෙමළ. දෙමළ වැඩිවුනේ යුද්දේ එක්ක උන් කොළඹට ඇවිල්ලාද කොහේද. "

ඔහොම කියාගෙන අපි දෙන්නා කොටහේන වටරවුම ලගටත් දැන් ඇවිල්ලා.  දෙන්නා එක්ක ඊට ටිකාක් එහාට වෙන්න තියෙනා බස් නැවතුම දෙසට යන්න ගියේ ආමර් විදිය පැත්තට යන්න බස් එකක් ගන්න. බොලේ මෙන්න බස් නැවතුමට එහායින් බස් එකක් තියෙනවා ලොඩ් කරන්න බලාගෙන. කොන්දාත් බස්එකේ ඉස්සරා දොරගාව හිටගෙන ඉන්නවා.  

මේ තියෙන්නේ කොටහේනේ බස් හොල්ට් එක


"අන්දු බයියේ අන්න බස් එකක් තියෙනවා අදින්න කලියෙන් නගිමු. "

මම පොරවත් දාලා ඉස්සරාට ගියා. බස් එකට නගින්න සෙට් වෙලා ඉන්නැද්දී ඇහේ කොනෙන් දැක්කා ඉස්සරා දොර ගාව බදේ ගහලා තිබුන දම්පාට සෙමි ලක්ෂරි ස්ටිකරය. 

කොළඹ - පේදුරුතුඩුව

යකෝ මේක යාපනේ යන බස් එකක් නේ. 

"අන්දු  බයියා මේක යාපනේ යන එකක් " කියලා පොරටත් ඉන්වොමේෂන් එක දීලා කොන්දා එක්ක කතාවට වැටුනා. මේ වෙනකොට ඒ නමය මාර්ගය සම්පුර්ණයෙන්ම සුද්ද කරලා ඇරලා දුන්න අලුත නිසා යාපනේට නැත්නම් අපේ බොධිනි දොස්තර නෝනාට අනුව අනිත්කොනට යන්න හොල්සේල් බස් දුවන්න පටන් අරන් තිබුනේ රූට් පරමිට් එහෙම ඇතිවා හෝ නැතිවා. 

 හොදම සීන් කොන් එක සිද්ධවෙන්නේ දැන් තමයි. යාපනේට බස් එකක යන්න ආසාවක් ආවට යන්න කීයක් යනවාද වේලාව කොච්චරද කියලා සිතට එන සිතුවිලි කන්දරාව කටින් එළියට පැන්නේ බඩේ ඇල්කොහොල් උනුහුමේ තියෙන හින්දයි. 

"ආ මේක යාපනේද යන්නේ නැද්ද?"

"ගාන කීයද?"

"දැන් යනවාද? " 

"දැන් ගියොත් යාපනේට යනකොට වේලාව කීයට විතර වෙයිද?"

ඔය වාගේ පුරස්න ගොඩාක් මංතුමා කොන්දාගෙන් ඇහුවා මතකයි. අන්තිමට කොන්දා කිව්වේ "දැන් පිටත්වෙනවා. මහත්තයා යනවා නම් නගින්න කියලා. "

මේ බීපු මරගාතේ ගෙදරටත් නොකියා යාපනේ යන්න පිස්සුවක් නෑනොවැ.

"හරි මම පස්සේ එන්නම් යාපනේ යන්න"  කියලා අනිත් පැත්තට හැරුනේ අන්දු බයියාව සොයාගෙන. මට පස්සෙන් ආපු පොර නෑ. බැලින්නම් පොර ඉන්නවා බස් එකට ටිකාක් එහෙට වෙන්න තියෙන බස් හොල්ට් එකේ ඉන්න අවුරුදු දහඅට විස්සේ විතර සයිස් කොල්ලෝ පහක් වටකරන් අපේ පොරත් මොනවාද මන්දා උන් එක්ක ලොකු කතාවක පැටලිලා.  පොර ලගට යද්දී අධිසංඛයාතයෙක් ඇහෙනවා ලොකු දේසනාවක්.

"උබලා දන්නවාද උඹලා අපේ හමුදාවේ සිංහල කොල්ලෝ කීදාහක් මැරුවාද? අපේ අහිංසක මිනිස්සු කී දාහක් නිකං මලාද? "

 මගේ ඇගේ මයිල් අංසක අනූවට කෙලින් උනා. යකෝ මූ ඉල්ලන් ගම් පොරියල් එකක් කන්නයි හදන්නේ. ඒ විතරක් මදැයි මූ එක්ක ඉදලා අහිංසක මටත් කවන්නයි හදන්නේ. බිවෙත් එකට නම් සෙට්වෙන කෑමත් එකට බෙදාගෙන කන එකයි යුතුකම නේද? නිකං දුන්නොත් පිහිපාරක් උනත් බාරගන්න මිනිහා වෙච්චි මංතුමා විරයා සේ කොල්ලෝ මැදට පැන්නා. 

"උඹලා යාපනේද? " අන්දු බයියා ඇහැව්වා

"අනේ අයියා අපි දෙමළ උනාට එල්ටිටිඊ නොවේ. අපි යාපනේ ගිහිල්ලාත් නෑ දැකලාත් නෑ. අපි කොළඹ."  එක කොල්ලෙක් කිව්වා.

"හරි හරි මල්ලිලා වැඩේ ෂේප්. අපි යන්නනම් ගුඩ් නයිට්. යමු යමු ලොක්කා මොකක්ද මේ කතා දැන් තවත් රෑ වෙනවා. "

මං පොරගේ අතින් ඇදන් බස් හොල්ට් එකෙන් එළියට ආවා. 

"නෑ මං කියන්නේ  මුන් හින්දා අපේ සිංහල කොල්ලෝ කීයක් මලාද?"

"පිස්සුද ලොක්කා මේ කොල්ලෝ පොඩි උන්නේ."

"මුන් තමයි උන්ට සපොට් කළේ මෙහේ ඉදන්. හිටං උන්ට මම ආයෙත් කියලා දීලා එන්න. "

අන්දු බයියා මගේ අත ගසා දමලා ආයෙත් එතැනට යන්න හදන්න ගත්තා.

"මෙන්න මෙහෙ වරෙන් යන්න මේක උන්ගේ එරියා එක කන්නද හදන්නේ. "

"එහෙම කොහොමද යකෝ අපිට ගහන්නේ මේක අපේ රට."

කොහොමින් හරි මංතුමාට පුලුවන් වෙනවා අන්දුබයියාව එතැනින් එහාට අරගෙන යන්න. 

හයේහතරේ බොඩියක් තිබුනු අන්දු බයියාව බස් හොල්ට් එකේ උන්නු කොල්ලන් හිතන්න ඇත්තේ කරටි කැඩෙන්න ගහපු ආමි ඔපිසර් කෙනෙක් කියලා වෙන්නැති. යුද්දේ අවසාන වෙච්චි අලුතම හින්දා කවුරු කවුරුත් සලෙන්ඩර් පිටනේ හිටියේ. එදා ගම් පොරියල් එකක් සෙට් උනා නම් තාමත් අපි දෙන්නා කොටහේනේ හංදියේ ගුටි කනවා.  

එතැනින් ගැලවුනාට අන්දු බයියාගේ රස කතා ඉවර නෑ.


Saturday, October 16, 2021

සුබ ගමන් ආටියා...


 මගේ ලෝකය My world සුන්දර බ්ලොගය ලියූ ආටියා - කළණ ආටිගල සුහද මිතුරා අප අතරින් සමුගෙන ගොස් ඇතිබව දැන ගන්නට ලැබී ඇත. 



සුබ ගමන් ආටියා. 

Sunday, October 3, 2021

සුබ උපන්දිනයක් නිදි

 ලෝක අමද්‍යප දිනය වන අද දිනයේ උපන් නිදිගේ පංච තන්තරය බ්ලොගයේ නිදි හෙවත් නිමල් දිසානායක ලොකූ අයියාට සැපත සතුට පිරි චිරජීවනය නීරෝගි සැප සම්පත් හා ආයුබල ලැබෙන සුබම සුබ උපන්දිනයක් වේවා... 

 

2019 වස්ගමුවේදි උපන්දිනය සමරන්නට මෙහොතකට පෙර

අමද්‍යප දිනයේ උපන් අමද්‍යපකාරයෙක් වෙච්චි නිදි බොන්නෙත් නෑ උපන්දිනය සමරන්නට අපිට බොන්නත් නෑ... 

 

Friday, August 6, 2021

ප්‍රචන්ඩ රළ මැද අනතුරක් - සයුරේ දසවසක්

දස වසරක මාගේ නාවික දිවියේ ලැබූ අත්දැකීම් හා සිදුවීම් බොහොමයි. ඒවා හොඳ හා නරක සම්මිශ්‍රණයක් වෙනවා. මෙතැන් පටන් ලියවෙන්නේ නාවිකයෙක්ගේ නාවික දිවියේ ලබන්නට තිබෙන නරකම සිදුවීම් අතරින් දරුණුම එකකි.  මෙය  මාගේ බ්ලොගයට ලියනවාද නැද්දයි බොහෝ වාරයක් සිතමින් හුන් දෙයක්. එදා  මා සමඟින් මේ සිදුවීමට මුහුණ දුන්න සැමගේ සිත් සතන්වල මේක අමතක වෙලා නැතිව ඇතියි සිතමි. 


මුහුදු රළ නැව් තට්ටුවට වඩා ඉහළින් වැදෙනා අන්දම

ජර්මානු නැව් සමාගමකට අයත් 2003 වසරේ ජර්මනියේ ගොඩනැගූ කන්ටේනර් බාහාලුම් (Container vessel) නෞකාවක සේවයට එක්වන්නට ලැබෙන්නේ 2004 නොවැම්බර් මාසයේදීය. වසරක සේවා කාලයකින් පසුව මාස 3 කට ආසන්නව නිවසේ රැදී යළිත් එම නෞකාවට එක්වන්නේ එක පිට කරන දෙවන සේවා කාලයක් වශයෙනි. අපට නියමිත කාලසටහනට අනුව 2006 වසරේ ජූනි මස 25 ඉරුදින දහවල් කොළඹ වාරයේ ජය බහලුම් පර්යන්තය වෙත පැමිණිය යුතු වුවත් සවස් වෙනතෙක් කොළඹ වාරය ආසන්නයේ පාවෙමින්  (Drift) රැදී සිටියේ නියමු මැදිරියෙන්  ( Pilot Station - පයිලට් ස්ටේෂන්) කැදවිමක් ලැබෙන තුරුය. කෙසේ හෝ නෞකාව ජැටියට ගැටගසා අවසන්වෙද්දී සවස 7 පසුවන්නට ඇත. කොළඹ වරාය අවට මහ සයුර තරමක රළු කැළඹිලි ස්භාවයක් ගෙන තිබූ අතර දිය කඩනයකින් වටව තිබුනත් වරාය ඇතුලත මුහුදටත් එය  තරමකට බලපා තිබුනි. නෞකාවේ සේවයේ නියුතු ලාංකික අපගේ නිවෙස් වල සාමාජිකයින් වරාය බලපත්‍ර රැගෙන පැමිණ තිබුනේ නැවට ගොඩවැදී පියා හෝ දරුවා සමඟින් ටික වේලාවක් හෝ ගත කරන්නටය. කොළඹට එන ගමනේදී නැවේ ලාංකික සියල්ලන් ලක ලෑස්ති වෙන්නේ සතියකට කලින් සිටයි. තමන්ගේ කැඹින් කාමර සුද්ද පවිත්‍ර කර අලුත් ඇද ඇතිරිලි දමා අඬ නිරුවත් පින්තුර සහිත කැලැන්ඩර් ඉවත්කර බුදු රූප දේව රූප එම ස්ථානයන්ට වැඩම්මවාලන්නට කටයුතු කරමින්ය. බොහෝ චින හා ඒ ආශ්‍රීත අවට රටවල් වලින් නැවට ආහාර හා අනෙකුත් අත්‍යාවශය දව්‍ය ලබා ගැනීමේදී එම සේවා සපයන ආයතන (Ship Chandler) වලින් අනුගාහක තෑගි වශයෙන් කැප් තොප්පි කාඩ් පැක් අඬ නිරුවත් කාන්තා රූපවලින් හැඬවුනු කැලැන්ඩර ආදිය ලබා දෙයි. නැවේ බොන්ඩඩ් ස්ටෝරුවෙන් ලබා ගන්නා විස්කි බෝතලයක් කොකා කෝලා හෝ ෆැන්ටා කේස් එකක් තබා ගන්නේ නිවෙස් වලින් එන අයට සලකන්නටය. 

එදා මහ රාත්‍රියේදි නෞකාව පිටු පසින් බැඳ දමා තිබූ කඹයක් (Aft Mooring rope) කැඩියන්නේ අසුබයන් කියාපාන්ට මෙනි. මේ හදිසි අවස්ථාවට සියල්ලන් කැදවූ අතර අපේ එකෙකු දෙන්නෙකු සිටියේ ගෙවල් වලින් ආ නෑයන් සමග සෙට්වී හොද හැටි බිමත්වයි. රුමේනියන් ජාතික ප්‍රධාන නිලධාරිතුමා (Chef Officer -C/O) වැඩට බැස්ස අතර විංචිය (Mooring Winch) හසුරවමින් කැඩුනු කඹය ඉවත් කර වෙනත් කඹයක් දමන්නට සැරසුනි. මේ වැඩයට මා ඇතුලු තවත් කිහිපදෙනෙකු සම්බන්ධවු අතර මැදිවියේ හුන් සමාන්‍ය නැවියෙක් (Ordinary Seaman - OS) බමර පදමින් සිටියේ කරන කියන දේවල් හතර අතේ පටලවමින්ය. ඔහු බීමත්ව සිටින බව හොදින් ප්‍රධාන නිලධාරියාට නිරික්ෂනයවිය. නැවියාට ඒ කටයුත්තේ කාර්්‍යයන් කරන්ට නොදී අප ඔහුව බේරාගනිමින් පැයකට ආසන්න කාලයක් ගතකර ඒ යුද්ධය අවසන් කරන්නට හැකිවුනි. බහාලුම් ගොඩබා හා පටවා අවසන්ව 26 වන දින පාන්දර දෙක හෝ තුන අතර කාලයකදී අප නෞකාව පිටත් වන්නට සැරසුනි. නින්දට වැටි සිට අවදිව වෙනත් වැඩක යෙදි ආපසු ඇදට වැටුනත් එකවරම නින්ද වැලදගන්නේ නැත. ඇදට වැටුන විගස ස්විචයක් නිවා දමන්නාක් සේ නින්දට වැටෙනා කෙනෙකු නොවූ මා බොහො වේලාවක් ඇදේ එහාට මෙහාට පෙරලෙමින් නින්ද ලබන්නට වැයම් කරන්නෙකි. නින්දට වැටි ටික වේලාවකින් දුරකථනය නාද වි නැව පිටත්වීමට ආසන්න බවත් එයට සුදානම් වි නැවේ පසුපස කොටසේ ස්ටේෂන් වන ලෙස දැනුම් දුනි.  තද නින්දේ හුන් මා බොහෝ අසීරුවෙන් නැඟිට පසුපස කොටසට ගියෙමි. එහි අණ දෙන්නා ලෙසින් සිටි තුන්වන නිලධාරියා (3rd Officer) අපි ගෑණු පිටර් ලෙසින් හැදින්වූ අඩි හයකට වඩා උස් යුකීනීයානු කෙසග දිග් දන්ඩෙකු විය. ඒවන විටත් තරමක බඹර පදමින් හුන් සමාන්‍ය නැවියා පිස්සු කෙලින්නට විය. කෙසේ හෝ ඔහුගේ වැඩ කොටසත් අප විසින් කරමින් වැඩය ගොඩදාගන්නට හැකිවිය. නැව කොළඹ වරායෙන් පිටත්වු පසුව යළිත් නින්දට වැටුනෙමි.

 සුපුරුදු පරිදි අවදිව මෙස් කාමරයට ගොස් උදෑසන පාතරාසය ගනිද්දී ආරංචි වුයේ සමාන්‍ය නැවියා තුන්වන නිලධාරි ගෑණු පිටර් සමඟින් වලියක් දාගෙන ගුටිකා ඇති බවය. ඔහු ගේ ඇස වටේටම නිල් පැහැ රවුමක් සිටින්නට ගෑණුපිටර් අත දිගහැර මුෂ්ඨි ප්‍රහාරයක්  එල්ලකර තිබුනි. ඔහු මේ පිලිබදව කැප්ටන්ට පැමිණිලි කර තිබුනේ සමාන්‍ය නැවියා සිටියේ බීමතින් බවත් ඔහු රණ්ඩුවට පැමිණ පහර දුන් බැවින් තමාත් පහරදුන් බවයි. රාජකාරි වේලාවේ බීමතින් සිටිම හා සේවය පැහැර හැර රන්ඩු කරගැනීම නැවේ සේවයෙන් ඉවත් කෙරෙන්නක් බැවින් අප සියල්ලන් පවසා සිටියේ ඔහු බීමතින් සිටියේ නැත කියාය. අවසානයේ මේ ප්‍රශ්නය ප්‍රධාන නිලධාරියා විසින් විසදා දැමුවේ නැව බැඳ දමා තිබූ කඹය කැඩුනු අවස්ථාවේ ඔහු දුව පැන හොදින් වැඩ කළ බවත් ඒ මොහොතේ බීමතින් සිටි බවක් තමන්ට නොදැනුනු බව කියමින්ය. ඇත්තෙන්ම ඔහු කීවේ බොරුවකි. නෞකාවේ  ශ්‍රී ලාංකික කැප්ටන් අපේ මිනිහා බේරාගන්නට උත්සාහ කළේද නැත.  අන්තිමේදි ගුටිකාපු අය විසින් සමාව ඉල්ලාගෙන දුරදිග නොයවා ගැටලුව විසදාගත්තෝය. 

එළියට බැසීම මරුවාට අතවැනීමකි.

නැව කොළඹ වාරයෙන් පිටත්වූ පසුව දිගින් දිගටම ප්‍රචන්ඩ මුහුද රළ අපිට බාදා කරන්නට විය. දැවැන්ත නෞකාවක් වූ මෙය චන්ඩ රළ විසින් කුඩා පොල් ලෙල්ලක් මෙන් උස්සා වීසිකළේය. දෙපැත්තට මෙන්ම ඉදිරියට හා පසුපසට පැද්දෙන නැවක සිටගෙන සිටිමත් කෙතරම් අපහසුද කියා එම අවස්ථාව විදි අයකුට විනා වෙන අයට පහදා දීම අසීරුය. එන්ජින් කාමරයේ වෙනදා කෙරෙන කාලසටහන් වැඩ නොකෙරුනු අතර ලාංකික අප තිදෙනාටත් ( එන්ජින් අංශයේ අනෙක් අය සියල්ලන්ම යුක්කීන රුසියානු හා පෝලන්ත රටවල අයයි ) වර්ක් ශොප් එකට වී කුමක් හෝ සැහැල්ලු වැඩක් කරගන්නා ලෙසින් උපදෙස් ලැබිණ. 26 පාන්දර කොළඹ වරායෙන් පිටත්වූ අප නෞකාටව් මීළග ගමනාන්තයවන්නේ සුවදි ආරාබියේ ජෙඩාහ් වරායයි (Jeddah). මෙය දින පහක් හෝ හයක් ගතව ගමනක් විය. දරුණු රළ පහරින් පිඩාවිදින දෙවැනි දිනයත් උදාවුනි. සැමගේ තිබුනේ උදයෝගිමත් ප්‍රබෝධමත් භාවයක් නොව මැලවුනු මුහුණුය. එන්ජින් කාමරයේ අප තිදෙනා වැඩහලට වි තෙල් පිසදමන්නට ගෙනා රෙදි ගොනියක් මතට හිදගෙන කතාවකට වැටි හුන්නෙමු. උදෑසන නවයට පමණ නෞකාවේ හදිසි අවස්ථා දැන්විමේ සීනුව (General Alram)  නාදවන්නට විය. චන්ඩ කුණාටු මුහුදක් මැද හදිසි අවස්ථාවක්  මා තැතිගත්තා මිස  දෙවියන් සිහිවුනේ නම් නැත. මොන හදිසි අවස්ථාවක වුවත් පළමුව තුරුලු කරගතයුත්තේ තමාගේ ජීවිතාරක්ෂක ජැකට්ටුවයි බැවින් එය රදවා ඇති මාගේ කැබිනය වෙත දිව්වෙමි. ඇත්තෙව්ම නෞකාවේ පහල තට්ටුවක සිට තවත් තට්ටු හතක් හෝ අටක් පමණ ඉහළින් ඇති මාගේ කැබිණයට ගොස් එහි ඇති ජීවිතාරක්ෂක ජැකට්ටුව (Life Jacket) ගැනීමට යෑම හදිසි අවස්ථාවක කොතරම් අනුවන ක්‍රියාවක්දැයි දැන් සිතට නැගේ. එම කාලවකවානුවේ නිපදවු නවිනතම නෞකාවක්වූ එහි අමතර ජීවිතාරක්ෂක ජැකට්ටු තිබුනේ ජීවිතාරක්ෂක බෝට්ටුය අසළ පෙට්ටියක දමාය. හදිසියේ නැව පෙරලි මුහුදුබත්වූවොත් ජීවිතය ගලවාගන්නට අඩුම අවස්ථාවක් හමුවන්නේ එන්ජින් කාමරයේ අයවලුන් හටයි. 

        අනෙක් දෙදෙනා කොහේ ගියාදැයි සෙව්වේ නැතිව මා මගේ කැබිනයට ගොස් ජැකට්ටුව ගත්තෙමි. හදිසියකදී ජීවිතාරක්ෂක බෝට්ටුව අසළට රැස්විය යුතුවුවත් එළියට බැසීම කළහැක්කක් නොවීය. කවුදෝ කීවේ නැවේ පාලනය කරනා වීල් හවුසිය (Wheel House/ Bridge) යන ලෙසයි. ජීවිතාරක්ෂක ජැකට්ටුව රැගෙන විල් හවුසියට ගිය මාහට මහත් ලෙසින් කැළඹුනු අයුරින් හුන් කපිතාන්වරයා පැවසුවේ ඩෙක් ඔෆිස් එකට යන ලෙසය. යළිත් තට්ටු පහක් බැස ඩෙක් ඔෆිස් එකට ගිය විට කාටදෝ අනතුරක් සිදුව ඇතිබවක් ඉක්මනින් ඔහුව රැගෙන එන්නට නෞකාවේ ඉදිරියට යන ලෙසත් අණ ලැබින. ඒවන විට මාගේ අනෙක් සගයන් දෙදෙනා ස්ටෙචරයක්  (Stretcher, Neil Robertson Typeරැගෙන ඉදිරියට ගොස් තිබුනි. කකුලේ දණහිස මට්ටම දක්වා උසට නෞකා තට්ටුවට වදිනා මුහුදු රළ අතරින් ඉදිරියට යෑමත් ඉතා අසීරුය. නෞකාවේ මැදක් වන්නට යන අතරේදී ස්ටෙචරයට දමාගත් කිසිවෙකු අසීරුවෙන් ඔසවාගෙන එන අපේ අය හමුවිය. ස්ටෙචරයේ නෞකාවේ ප්‍රධාන නිලධාරියා එහි සිටි අතර කකුලකින් ලේ නොනවත්වා ගලන්නට විය. ඔහු උදේ අටට අවසන් වන තම ඩියුටිය අවසන්කර නෞකාවේ ඉදිරියට ගොස් තිබුනේ රුසියානු ජාතික බෝසන් වරයාත් (Boatswain) සමඟින්ය . ඒ නියමාකාරයෙන් නොවැසුනු කවුලුවක් හරහා ඉදිරියේ තිබු බෝසන් රූම් හා තින්ත ගබඩා කාමර සියල්ල මුහුදු ජලය පිරි එලාමය නාදවීම ගැන සොයා බැලීමටය. Forecastel Deck වෙතට ගිය ඔහුට ඉදිරියෙන් ඈදී ආ දරුණු රළ පහරකට අසුවිය. ඉන් ඔහු විසිවගොස් ඇති අතර එම රළ පහරින් ඔහු පාදය බිදි තුවාල ලබා තිබුනි.

බහාලුම් නෞකාවක තට්ටුව මතත් කන්ටේනර් බහාලුම් පටවන අතර ඉදිරියට යන්නට ඇත්තේ දෙදෙනෙකුට ඇගේ නොවැදි මාරුවිය හැකි පමණ පටුමාර්ගයක් පමණි. එවැනි මාර්ගයක දිගින් දිගටම දණහිසටත් වඩා උසට වදිනා රළ අතරින් ස්ටෙචරයක අඩිහයහාමාරක් පමණ උස හැඩිදැඩි සිරුරති කෙනෙකු පටවාගෙන එමත් බොහෝම අසීරුය. අප මාරුවෙන් මාරුව ස්ටෙචරය උසවාගෙන එද්දී එකවරම නැග ආ දරුණු රළ පහරකින් මාගේ එන්ජින් කාමර සගයා වන අමිල මුහුදට නොවැටි දිවි බේරාගත්තේ අසළ තිබු කනුවක් බදා ගනිමිනි. කවුදෝ කෑගසමින් කීවේ අප ඉන්නා ස්ටාබර්ට් පැත්තට රැල්ල නොවදින අයුරින් නැව හරවන්නට කැප්ටන්ට දන්වන ලෙසයි. ඔහු එය කළාදැයි නොදනිමි.  


නැව් තට්ටුවට වදිනා චන්ඩ රළ අතරන් අපගේ දිවි බේරාගෙන තුවාලවූ ප්‍රධාන නිලධාරියාත් රැගෙන ඇකමඩේෂන් හි තිබෙන හොස්පිටල් නමින් හැදින්වෙන රෝහල් කාමරයට පැමිනියෙමු. මේවනවිටත් අනතුර සිදුවී පැය භාගයකට වඩා ගතව තිබුනි. රබර් බුට් දෙකක් පැලද හුන් ප්‍රධාන නිලධාරියාගේ එක් පාදයක් බිදි ගොස් තිබුනේ රබර් බුටයට ඉහලිනි. ඔහු ඇඳ සිටි ඔවර්රෝලය ඉරාගෙන කකුපේ ඇට කටු ඉවතට පැමිණ තිබුනි. රෝහල් කාමරයේහි තිබෙනා ඇදක ස්චෙරය පිටින්ම ඔහුව හොවා තබන්නට ලාංකීක දෙවන නිලධාරියාගෙන් අණක් ලැබුනේ ඉක්මනින්ම ඔහුව වෙනත් නැවෙන් පිටත්කරහරින්නට බලාපෙරොත්තුව පිටදැරිවය. ලීපටි සහිත කැන්වස් රෙදිවලින් මසා ඇකිලිය හැකිසේ නිපදවා තිබු මේ ස්චෙරය උඩ නිදා සිටිම තරමක් අසීරුය  (Stretcher, Neil Robertson Type. මද වේලාවකින් ලාංකික කපිතාන්වරයාත් එතැනට පැමිණි අතර ප්‍රධාන නිලධාරියාය පහසු වන්නට රෝහල් ඇදේ හිස පැත්ත ඔසවා තබන්නය අණදුනි. ඉක්මනින් ඔහුව ගොඩබිමකට යවන බව ප්‍රධාන නිලධාරියාය කී ඔහු එතෙක් මොෆින් එන්නත් (Morphine)  කළයුතු බව කීවේය. මෝෆින් එන්නත් කිරීමට ප්‍රධාන නිලධාරියාගෙ කැමත්තක් තිබුනේ නැත. අසීරුවෙන් ඔහුව පැත්තට පෙරලා ඔවරොලයේ පිටුපසින් කොටසක් කපා තට්ටමකට මොෆින් එන්නත් කෙරුනි. රබර් බුටය ගැලවිමට කිසිවෙකුත් උත්සාහ නොකල අතර කැඩුනු කකුල එහා මෙහා නොදුවන්නට පතුරුතබා බැඳ දැමුවෙත් නැත. තවදුරටත් මෙසේ බලා සිටිමෙන් පලක් නොවන බැවින් මා මාගේ අනෙක් එන්ජින් අංශයේ සගයාත් සමඟින් එන්ජින් කාමරයේ ලී පතුරු සොයන්නට දිවගියෙමු.  ඉක්මනින් ලී පතුරු ඉරාගෙන ගෙනවිත් දුන්නද එය බාවිතා කළේද නැත. නෞකාවක වෛද්‍ය නිලධාරියා වන්නේ දෙවන නිලධාරියායි. ඔහුගේ තීරණවලට හෝ කපිතාන්ගේ තිරණ වලට පිටින් යෑමේ හැකියාවක් අපට නොතිබුනි. අවසානයේ කපිතාන් සියල්ලන්ටම තම තමන්ගේ රාජකාරිවලට යන ලෙස පැවසුවායින් අප එතැනින් ඉවත්ව ගියෙමු. දහවල් කෑම විවේකයේදි පැමිණ රෝහල් කාමරයට හිසදමා බැලීමේදි දකින්නේ සාමාන්‍ය නැවියෙක් මොෆින් නිසා නින්දකට වැටුන ප්‍රධාන නිලධාරියා අසළින් තබා තිබුනු අයුරුය. හවස තුනේ තේපානයට එන්ජින් කාමරයෙන් එළියට පැමිණ අනෙක් අයගෙන් විමසීමේදි දැනගන්නට ලැබෙන්නේ දෙවන නිලධාරියා හෝ වගකිවයුතු කිසිවෙකුත් රෝහලට පැමිණ නැති අතර දුරකථනයෙන් එතැන සිටිනා නැවියාට පැරසිටමොල් දෙන්නට උපදෙස් දී ඇති බවයි. අවසානයේදි පැය කිහිපයක් කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව හුන් අසරණ ප්‍රධාන නිලධාරියා අධික රුධිර වහනයෙන් මෙලොව හැරගියේය.

මියගිය පසුවත් රබර් බුටය ගලවා ඉවත් නොකළ

රබර් බුටය ගලවා ඉවත් කළ පසු





 අප විසින් නැවේ ශිතාගාරයේ  (cool roon) පළතුරු හා කිරි ආහාර ගබඩාව හිස්කර පොලතින් බොඩි බෑගයක දමන ලද ප්‍රධාන නිලධාරියාගේ සිරුර තැම්පත් කළෙමු. තවත් දින තුනක් පමණ ගෙවි ගියේ මුලු නෞකාවම මූසල කරවමින්ය. ප්‍රචන්ඩවූ සයුර  දිගටම අපට පහරදුන්නාය. අනතුරින් පසුව සිදුවූ අභාග්‍ය සම්පන්න සිදුවීමෙන් කිසිවෙකුගෙත් මුහුනුවල සිනහවක් දකින්ට නොලැබුනි. 


ශීතාගාරයේ තැම්පත් කළ සිරුර




අවසන් වරට ලීයු ප්‍රධාන නිලධාරියාගේ අත් අකුරු





නියමිත ලෙසින් ප්‍රතිකාර කළේ නම් අකාලයේ මිය නොයා අදටත් ඔහු ජීවතුන් අතර සිටින්නට තිබුනි. ඔලුව ඉහළට සිටින්නටත් තුවාලවූ කකුල පහළට සිටින්නටත් තැබිමෙන් රුධිර වහනය වැඩිවීමත්. රබර් බූටය ගලවා රුධිර වහනය නවතා දමන්නට කටයුතු නොකිරීමත් නිසා ප්‍රධාන නිලධාරියා ගලවාගන්නට නොහැකි විය. ඔහු මියගිය පසුව රබර් බුටය ගලවා ඉවත් කළ අතර එය රුධිරයෙන් පිරි තිබූ බව පසුව දැනගතිමි. ඔහු මියගියේ  වෛද්‍ය නිලධාරියාවු දෙවන නිලධාරියාගෙත් කපිතාන්ගෙත් නොසැකිල්ල නිසා බවත් ඔවුන්ගේ අණට ඉහලින් යන්නට නොහැකි බැවින් සියල්ලන් සිටියේ කරබාගෙන බවත් මෙහි ලියන්නට සිදුවේ. මේ කාල සීමාවේ තවත් සිදුවිම් බොහෝ සිදුවූවත් ලිපිය දිග වැඩිවන බැවින් නොලියමි.

ඒ සිදුවීම සිදුව වසර ගනනාවක් ගතවූවත් එය මතකයට එන සෑම වාරයකදීම අපට ඔහු බේරාගන්නට තිබූ බවට අදටත් මාගේ හදවත මුරගායි.  






Friday, June 18, 2021

හෝරස්ගේ දරුවා - විසිතුන් වන දිගහැරුම Son of Horus - 23




   

 පොලීසියට අවශ්‍යය කරන පුද්ගලයෙකුවූ සුදු මහත්තයා මිතුරෙකුගේ සෙවනගල ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් සිටියදී අත්අඩංගුවට පත්වෙන්නේ මේ අතරතුරේදීය. කොළඹ රැගෙන ආ ඔහුව පොලීස් ප්‍රශ්න කිරීම් වලින් පසුව රංග හා එක්ව ස්ටැන්ලිගේ නිවස කොල්ලකෑ බවත් බඩු සැඟවූ ස්ථානය රංග හා තමා ඇරෙන්නට වෙනත් කිසිවෙකු නොදන්නා බවත් පාපොච්චාරණය කළේය. භාණ්ඩ සඟවා ඇත්තේ තම මිත්තනියගේ නිවසේ බව කියූ බැවින් විශේෂ පොලීස් කණ්ඩායමක් සුදුමහත්තයා කඩුවෙල ආත්තම්මාගේ නිවසට රැගෙන ගියේය. 

දෑත් එක්කර දා තිබූ විලංගු සහිතව සුදු මහත්තයා සොල්දරයට ගොඩවන්නේ තවත් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු සමඟිනි. අවුරුදු සියයක් පමණ පැරණි එම නිවසේ සොල්දරයට ගොඩවෙද්දී දිරාපත්ව ගිය ලෑලී කිරී කිරී හඬනංවමින් මරණීය ආදෝනාවක් නැගීය. සොල්දර තට්ටුවේ රැදීහුන් කළු බළලෙක් තම පුලිගු බෝල මෙන් අඳුරේ දිලසෙන දෑසින් සුදු මහත්තයා දෙස මඳ වේලාවක් බලා සිට කිසිඳු කලබලයක් නොමැතිව සොල්දරයේ හිඩැසකින් පිටව ගියේය. දුහුවිල්ලෙන් වැසුනු ලට්ටලොට්ට වලින් පිරුණු එහි පැවතුනේ දැඬි දුර්ගන්ධයකි. කිහිප දෙනෙක් සොල්දරයට ගොඩවීමෙන් ඇවිස්සුනු දුහුවිල්ල ඔවු න්ට කිවිසුම් පිටකරවාලන්නට සමත්වීය. සොල්දරයේ ඉහළට නැඟ ආ පොලිස් නිලධාරින්ට තමන් බඩු සඟවා ඇති ස්ථානය පෙන්නා දුන් සුදු මහත්තයා යළි පහළට බසින්නට සුදානම්වෙද්දී බළලෙකුගේ මූසළ කෑගැසිල්ල ඇසෙන්නට පටන්ගති. දෙඅත් මාංචුලා තිබූ බැවින් ඔහුට සුපුරුදු පරිදි තරප්පුවෙන් බැසීමට නොහැකි විය. සමබරතාවය තබා ගැනීමට ඔහුට වැඩි බරක් යොදන්නට සිඳුවූ නිසාදෝ දිරාපත්ව තිබුනු සොල්දරයට නගින ලෑලී තරප්පුව එකවරම කඩාගෙන පහළට ඇද වැටුනි. දුලී වලාවක් ඔවුන් සිටි කාමරය වසාගත්තේ විශාල ශබ්දයක් සමඟින්ය. සිමෙන්ති පොලවේ මුනින් අතට වැතිරුනු  සුදු මහත්තයාව කැඩී ගිය සොල්දරයේ ලෑලී වලින් වසාගෙන තිබීය. පොලීස් පිරිස ඉක්මනින් ලෑලී කැබලි ඉවත්කර සොයාගන්නා විට ඔහු සිටියේ සිහිමඳ ගතියෙනි. නාසයෙන් මෙන්ම දෙකනින්ද රුධිරය නොනවත්වා ගලා එන්නට විය. වහාම පොලිස් ජිප් රියේ පටවාගත් සුදුමහත්තයා රැගෙන ඉක්මනින් කොළඹ ජාතික රෝහල බලා පිටත්විය. ජීප් රියේ රෝහලට යන අතරතුරේදී සිරුරේ වෙර යොදමින් නැගිට ගන්නත්, මුවින් කිසිඳු හඬක් පිට නොවුනත් යමක් පවසන්නත් උත්සාහකළ හෙතෙම ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුව පෙනි පෙනිම තම අවසන් සුසුම් පොඳ වාතලයට එක්කළේය.  




   එස් එස් පි මනෝජ් පෙරේරාගෙන්  නාරදට ඇමතුමක් ලැබෙන්නේ මේ අතරතුරේදීය. 

“ප්‍රොපෙසර් මම එස් එස් පි මනෝජ්.”

“ඇයි මිස්ටර් මනෝජ් ආපහු හොරකමක්ද?”

“නැහැ. ස්ටැන්ලි වික්‍රමපාලගේ නඩුව තියෙනවා. ඉතින් රජය පැත්තෙන් ප්‍රොපෙසර්ව සාක්ෂිකාරයෙක් වශයෙන් දාන්නයි අපි අදහස් කරගෙන ඉන්නේ.”

“ඔය බඳුනේ වැඩවලට ගිහිල්ලා මගේ අධ්‍යාපන වැඩයි රස්සාවේ වැඩයි දෙකම ඇන හිටිලා තියෙන්නේ. ඒ මදිවට මගේ සිතත් හොදටම කලකිරිලා ඉන්නේ. මම මගේ යුතුකම ඉෂ්ට කළා මිස්ටර් මනෝජ්, බොහොම කණගාටුයි මේ වැඩේට මට සහභාගි වෙන්න බැරි වෙනවා. මිස්ටර් මනෝජ් වෙන විදිහක් යොදාගන්න.”

“ඒත් ප්‍රොපෙසර් ඔයා තමයි මේ බඳුනේ මුල් හිමිකාරයන්ව සොයාගෙන ගියේ. මේ ගැන පුරාවිද්‍යාව ඇසුරෙන් උසාවියට කරුණු දක්වන්න ඕනේ. ඒ නිසා ඔබතුමා ඇත්ත වශයෙන්ම මේ නඩුවට අවශ්‍යය වෙනවා.”

“ඒත් මට ඔය උසාවිවල කාලය මිඩංගුකරන්න විදිහක් නෑ. උසාවියට කරුණු දක්වන්න පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවෙන් කෙනෙක් යොදාගන්න. දැන් මේකේ ශාපයක් ගැබ්වෙලා තියෙන කතාව පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවෙන්වත් ඇමතිතුමාවත් පිළිගන්නේ නැහැ. අනික මගේ කීමට කන්නොදී එයාලාට අවශ්‍යය දේවල් කරනවා. ඒ නිසා මම ඔය දේවල් වලට තවදුරටත් ගෑවෙන්න කැමති නෑ.”

“බොහොම කණගාටුයි ප්‍රොපෙසර් වෙච්චිදේට. එදා තිබ්බ පුවත්පත් සාකච්ඡාවට ප්‍රොපෙසර්ව කැදෙව්වේ නැති එක එයාලගෙන් සිඳුවෙච්ච ලොකු වැරැද්දක්, ඒත් ඒක සිද්දකළේ පොලීස් දෙපාර්තුමේන්තුවෙන් නොවෙයි.”

“කමක් නෑ වෙච්චිදේ වුණා. කෝ දැන් බඳුන? කොහෙද ඒක තියලා තියෙන්නේ?”

“ඒක අපේ දෙපාර්තුමෙන්තුවේ විශේෂ කාමරයක තියලා තියෙනවා.”

“ඕක මිනිස් ඇසුරෙන් ඇත්ව තියන එක තමයි හොඳ.”

“අපිත් ඒක කල්පනා කළා. මේකේ ආරක්ෂාවට තියලා තියෙන අයගෙන් අපිට කම්ප්ලෙන් ආවා එක එක සද්ද ඇහෙනවා කියලා.”

“ඔය මොනවාගේ සද්දද?”

“විශේෂයෙන් බළල්ලු පොරකාගන්නවා වගේ සද්ද.”

“බළලා කියන්නේ පාරාවුන්ගේ පුජනීය සත්වයෙක්.”

“ප්‍රොපෙසර් ඇවිල්ලා පොඩ්ඩක් බැලුවානම් හොඳයි.”

“ඒ නමුත් මිස්ටර් මනෝජ් ඉස්සෙල්ලාවාගේ මට මගේ වැඩ පාඩුකරගෙන ඔය වැඩවලට සහභාගිවෙන්න වේලාවක් නැහැ. බොහෝම කණගාටුයි.” 

“ආ තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා, ඇමතිතුමා ලැහැස්තිවෙන්නේ ඔය බඳුන ඊජිප්තුවට අරන් ගිහින් එහෙ පුරාවිද්‍යා එකට බාර දෙන්න.”

“ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. කොහොම හරි මේක නවත්තන්න ඕනේ.”

එස් එස් පි මනෝජ්ගේ දුරකථන ඇමතුමෙන් පසුව නාරද පියරත්න මහතාට ඇමතුමක් දී දුරකථන සංවාදය ගැන කීවේය. 

“මේ ඇමතියාට පිස්සුද මන්දා, අපි ඔච්චර එපා කියද්දීත් මේක ඊජිත්තුවට බාරදෙන්න යන එකනේ ප්‍රශ්නේ? මට පෙනෙන්නේ එයා මේකෙන් ලකුණු දාගන්න වගේ ලෑස්තිය.”

“මට දුක මෙච්චර මහන්සිවෙලා හොයාගත්තු දෙය මේ මිනිහා පිළිගන්නේ නැති එකනේ. ඕනෑ දෙයක් කරගත්තාවේ කියලා පැත්තට වුණානම් ඉවරයි.” 

“ඒත් නාරද මහත්තයා, ඔයා එහෙම පැත්තකට වුනොත් වෙන්නේ ලොකු විනාශයක් ඕක කොහොම හරි නවත්තන්න ඕනෑ. ඔබතුමා ඇයි ලේකම්ට හරි ඇමතිතුමාට හරි කතාකළේ නැත්තේ?”

“කොහෙ කතාකරන්නද එයාලා මගේ කෝල් එකටවත් ආන්සර් කරන්නේ නැතිව. තවත් මට මේ ගැන කුමාරිට කියන්නත් බැහැ. එයාටත් තරහායනවා. මම මේ අන්තිම වතාවට විතරක් උත්සාහ කරලා බලන්නම්.” 

“හොඳයි මහත්තයෝ. තව සැරයක් උත්සාහ කරලා බලන්නකෝ.”



බත්තරමුල්ලේ සුවිශාල ගොඩනැගිල්ලේ අටවන මහලට ගොඩවූ නාරද අමාත්‍යංශයේ පිළිගැනීමේ නිලධාරිනිය සිටි කවුන්ටරය වෙත ළංවීය. මේසය පසෙකවූ පරිගණක තීරයට නෙත් යොමුකරන් හුන් සූරූපිනිය ඔහු ආබවක් නොදැක්කාසේ තම වැඩයේ නිරතවෙමින් සිටියාය. තවත් විනාඩියක වඩා කාලය කාදමමින් සිටි නාරදට එය දැනුනේ හෝරාවක් එතැන රැඳුනු විලසිණ. නොඉවසිලිමත්ව එහාමෙහා බැලූ නාරද සෙමින් කවුන්ටරයට තට්ටුකළ නමුත් ඈ තම දෑස් තිරයෙන් ඉවතට නොගෙනම

“ඇයි?” ඇසුවාය.

“ඇමතිතුමා හමුවෙන්න පුලුවන්ද?”

“අද ඇමතිතුමා නෑ. අද පාර්ලිමේන්තු දවස. මහජන දිනය ලබන සඳුදා. එදාට එන්න.” 

“එහෙනම් ලේකම්තුමා ඉන්නවාද?”

“ඉන්නවා.”

“එයාව හමුවෙන්න ඕනේ කියන්න.”

“ඇපොයිමන්ට් එකක් දාලාද ආවේ?” 

“නැහැ.”

“එහෙනම් අමාරුයි. පස්සේ ඇපොයිමන්ට් එකක් දාලා එන්න. ඇපොයිමන්ට් නැතිව කාවවත් එවන්න එපා කියලා තියෙන්නේ.” 

ඇය තම නිරතවූ වැඩයේ යෙදෙමින් නාරද දෙස නොබලාම කීවාය. 

“එයාට කියන්න ප්‍රොපෙසර් නාරද බණ්ඩාර ඇවිල්ලා ඉන්නවා, අත්‍යවශ්‍යය වැඩකට කියන්න.”

නාරදගේ කෝපය මුසුව ගිය ගැඹුරු හඬින් තිගැස්සුනු ඈ ඉක්මනින් දෑස් පරිගණකයෙන් ඉවත්කරගෙන ඔහුදෙස විමසිලිමත් බැල්මක් හෙලුවාය.

“සර් අතනින් වාඩිවෙලා ඉන්න. මම පණිවිඩේ දෙන්නම්.”

බයාදු හඬින් කී ඈ යුහුසුලුව දුරකථනය ගෙන ඇමතුමක්දී යළිත් නාරද දෙස විමසිලිමත් බැල්මක් හෙළා පරිගණකයට නෙත් යොමුකළාය.  

මඳවේලාවක් සැටියේ රැදුනු නාරදට පිළිගැනීමේ කවුන්ටරයේ සුරුපිනියගෙන් කැඳවීමක් ලැබිණ. ලේකම්තුමාගේ නිලකාමරයට ඇතුල්වෙද්දී ෆයිල් කවරයක් දිගහැරගෙන ලේකම් සේනක දිසානායක එහි කුමක්දෝ කුරුටු ගාමින් සිටියහ.

“ආ ප්‍රොපෙසර් ඉදගන්න. මොකක්ද කාරණේ?”

ඔහු තම ඔරලෝසුව දෙස බලමින් ඇසීය.

“මිස්ටර් සේනක මට ආරංචියක් ආවා ඇමතිතුමා අර බඳුන ඊජිප්තුවට බාර දෙන්න යනවා කියලා. ඒක ඇත්තද?”

“ඔව් ඒක ඇත්ත.”

“ඒත් අනෙක් බඳුන් තුන තවම හොයාගෙනත් නෑනේ?”

“ඒවා හොයාගන්න අපිට අවශ්‍යය මුදල් ප්‍රතිපාදන නැහැ. ඒවා සොයාගන්න අපිට වෙනින් රටවල් වලින් අධාර උපකාර අවශ්‍යය වෙනවා. ඒ නිසා ඔය රටෙන් ආධාර උපකාර එහෙම ලබාගන්න ඇමතිතුමා කටයුතු කරගෙන යනවා.”

“ඔය රටේ තත්ත්වය මම හොඳට දන්නවා. එහෙම දෙයක් ඒ රටෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?”

“ඇමතිතුමා විශේෂ වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා.”

“මොකක්ද ඒ වැඩ පිළිවෙළ මිස්ටර් සේනක?”

“අපි මේ බඳුන යොදාගෙන විශේෂ කටයුතු කිහිපයක් කරන්නයි ඉන්නේ. මුලින්ම අපි මේ බඳුන හා සම්බන්ධ පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන දේශන වගයක් ඊජිප්තු පුරාවිද්‍යාඥයින් කිහිප දෙනෙක් ලංකාවට ගෙන්වලා කරන්න සැලසුම් සකසලා තියෙනවා. ඒවාගේම දෙරට අතර රාජතාන්ත්‍රික සබදතා ශක්තිමත් කරගන්න මේක උපකාර කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් අපට පුලුවන්වෙයි මේ ගවේෂණයට උදව්ගන්න.”

“මේකෙන් කොහොමද රාජතාන්ත්‍රික සබදතා ශක්තිමත් වෙන්නේ?”

“ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඊජිප්තු ආණ්ඩුවට ඔය බඳුන පරිත්‍යාගකරන්නයි හදන්නේ.”

“එතකොට මේකෙ තියෙන මේ ශාපය?”

“එයා කියලා තියෙන්නේ ඕක ඊජිප්තුවට දුන්නාට පස්සේ අපිට ඔය ශාපය බලපාන්නේ නැතෙයි කියලා. ඉතිං අපි ඔය බඳුන තියාගත්තොත් විතරයිනේ ප්‍රශ්නයක් වෙන්නේ. එහෙම නේද ප්‍රොපෙසර්?”

“එහෙම ලේසියෙන් ශාපෙන් ගැලවෙන්න පුලුවන් කියලා හිතනවාද? එතකොට එහෙ මිනිස්සුත් මේ ශාපයට ගොඳුරක් වෙයි. මේකේ තියෙන මේ ශාපයේ බලය වැඩිවීමක් මට පෙනෙනවා. දැන් බලන්න මේක හිමිකරගත්ත හැමෝම මියගියා. ඔය බඳුන ළඟ නැතිවුනත් හොර කණ්ඩායමේ හැමෝමත් විනාශවුණා.”

සේනක දිසානායක මඳ වේලාවක් නිහඬව කල්පනාවක යෙදී සිටියේය.

“මටත් ඔයා කියනදේ තේරෙනවා නමුත් ඇමතිතුමා ඒක පිළිගන්නේ නැහැනේ.”

“ඒක එයාට පිළිගන්න පුලුවන් විදිහට පැහැදිලි කරලා දෙන්න උත්සාහකරන්න ඕනේ.”

“ඉතිං දැන් ඔය බඳුනට කරන්න ඕනෑ මොකක්ද?”

“ඔය බඳුන හිමි පාරාවෝ සොහොන් ගැබේ තැම්පත් කරන්න පුලුවන්ද? අපි දන්නේ නැහැ මොන පාරාවෝ රජතුමාට හරි රැජිනකට හරි අයිති සොහොන් ගැබකින් මේක අරගෙන ආවාද කියලා. අනික් කාරනේ තමයි අපිට ඒ විස්තර හොයන්න කොපමණ කාලයක් යයිද? එතකම් අපි කොහේද මේක තියාගන්නේ? විස්තර හොයාගන්න යන කාලය අතරතුර කීදෙනෙක් මේකට බිලිවෙයිද?” 

“එහෙනම් අපි මේකට මොකද කරන්නේ?”

“අපිට කරන්න පුලුවන් කාරණා දෙකයි. පලමු එක මේක විනාශකරන එක. හැබැයි මේ බඳුන විනාශකරන්න ගිහිල්ලා එකේ තියෙන බලපෑමෙන් තව විශාප විනාශයක් වෙයිද කියන එක. දෙක තමයි මේක ආපහු තිබුනු තැනටම දාන එක.”

“ඒ කියන්නේ මුහුදට?”

“ඔව්, ආපහු මුහුදට. එතකොට ඔය ගිලුණු නැවේ විස්තර එහෙම හොයාගෙන අවශ්‍යය නම් අපිට ආපහු ගොඩට ගෙනල්ලා ඒ පාරාවෝ සොහොනේ තැම්පත් කරන්න පුලුවනි. ඕක අපි දැනටමත් ළඟ තියාගත්තා වැඩියි. මේකෙන් ලොකු විනාශයක් සිඳුවෙන්න පුලුවන්. දැන් බලන්න ඔය බඳුන අරගෙන යාත්‍රා කරපු රුවල් නැව මුහුදුබත් වෙන්න ඇත්තේ බඳුනේ තියෙන අද්භූත බලයේ බලපෑමෙන් කියලා හිතන්න වෙනවා. ඒ නැවේ මිනිස්සු කීදෙනෙක් ඉන්න ඇතිද? දැනටමත් ජීවිත කීයක් නිරපරාදේ නැතිවෙලාද කියලා හිතලා බලන්න.”

”මට පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා.”

“මිස්ටර් සේනක අපි මේ වැය කරන කාලයත් ඉතා වැදගත්. පුලුවන් ඉක්මනටම, අදම හරි තව සැරයක් ආපහු මගේ වාර්තාව කියවන්න.”

නාරද අසුනින් නැගීසිටියේය. 

“එතකොට ඔබතුමාට තේරෙයි මම කියනදේ බරපතල කම.”

එසේ පවසා සේනක දිසානායකගේ නිල කාමරයෙන් පිටවී ගියේය. ඔහු පිටවනවාත් සමඟම මේසයේ මත දිගහැර තිබූ ලිපිගොනුව වසා දැමූ සේනක පීරිසියකින් වසා තිබුනු වතුර වීදුරුව ගෙන එක හුස්මට බී අහවර කළේය. පසෙක තබා තිබූ නාරදගේ වාර්තාව අතටගත් ඔහු උඩින් පල්ලෙන් පෙරලා බැලීය. යම් ප්‍රමාණයක් කියවාගෙන යද්දී නාරද කියූ දේවල් වල යම් සත්‍යතාවයක් ඇතෙයි ඔහුට වැටහෙන්නට වීය. වාර්තාව කියැවීම නතරකළ හෙතෙම කෙටි නිවාඩුවක් දමා එයත් රැගෙන නිවස බලා පිටත්විය. සවස්වරුවේ නිස්කලංකව වාර්තාව අතට ගත් සේනක සෙමින් එය අධ්‍යනය කරමින් කියැවීමට පටන්ගත්තේය. තම දෑස් තදින් පියාගත් ඔහුට කිසිදිනක දැක නොමැති පියසෝම, උපනන්ද, ගුණසිරි හා ස්ටැන්ලිගේද චිත්තරූප මැවී මනසේ සැරිසරන්නට විය. 

නාරද මෙපමණ ඇවටිලි කරමින් තමාට මෙය විනාශකරන මෙන් ඉල්ලා සිටින්නේ මෙහි තිබෙන බරපතලකම නිසාවෙන් බව පැහැදිලිවුනි.


   පසුදින උදයේම අමාත්‍යංශයට ගිය විගසින්ම තම අත තිබූ නාරද බන්ඩාරගේ වර්තාවේ පිටපතක් සකසා යළි ඇමතිතුමාගේ මේසය මතින් තබා නොවිසිලිමත්ව බලා සිටියේ ඇමතිතුමා කාර්යාලයට පැමිණෙන තුරුය. සුපුරුදු පරිදි ප්‍රමාදවී කාර්යාලයට පැමිණි ඇමති ගොර්ඩන් සිල්වා තම දෛනික රාජකාරි ඇරඹුවේ කාටදෝ තදින් දෝෂාරෝපණය කිරීමෙන් අනතුරුවය. ඔහුගේ දුරකථන ඇමතුම අවසානයේ කාමරයට සේනක දිසානායක ඇතුල්විය.

“ගුඩ්මොර්නින් සර්.”

“ඔව්, මොකද අද උදෙන්ම?”

“ඊයේ ප්‍රොපෙසර් නාරද මෙහෙට ආවා.”

“කවුද ප්‍රොපෙසර් නාරද කියන්නේ?”

“ඇයි සර් මතක නැද්ද ඔය මුහුදෙන් හොයාගත්තු බඳුනේ ශාපයක කතාවක් කිව්වේ.”

“ආ හරි හරි. ඉතිං?”

“එයා කියනවා ඔය බඳුන අපිට තියාගෙන ඉන්න හොඳ නැතිලු.”

“අයිසේ ඔය යකාට කිව්වේ නැද්ද ඔය සාපේ කතාව මට වැඩක් නැහැ කියලා. එයාට තියෙන වැඩක් කරගෙන ඉන්න කියනවා.”

“ඒත් සර් මමත් එයාගේ වාර්තාව ආපහු සැරයක් කියැව්වා.”

“ඉතිං.”

“ඒකේ ඇත්තත් තියෙනවා සර්. එයා කියන්නේ ඒක ආපහු ඊජිප්තුවට ගෙනියන්න හදන්න එපා එක විනාශකරන්න හරි ආපහු තිබුනු තැනටම දාන්න කියලා.”

“ඒක දාන්න කියන්නේ මුහුදටද? ඔය මිනිහාට පිස්සුද අයිසෙ?”

“ඔව් මුහුදට තමයි.”

“අයිසේ ඕනෑවට වඩා ඉගෙන ගත්තාම ඔලුව පිස්සු වෙනවා. දැන් ඕක මුහුදට දැම්මාම සාපේ හරියනවාද? ඊජිප්තුවට එපානම් අපේ කෞතුකාගාරයේ තැම්පත් කරලා තියනවා. දැන් තමුසෙත් බය වෙලානේ ඉන්නේ?”

“නැහැ සර්. සර්ට මේක කරන්න දෙන්න එපායි එයා කියන්නේ.”

“පිස්සුද අයිසේ? දැන් අපි යොදාගත්තු වැඩ පිළිවෙළ වෙනස් කරන්න පුලුවන්ද? ඊයේ අපේ තානාපතිතුමා කිව්වා එහෙ අපිව පිළිගන්න විශේෂ උත්සවයක් ලැස්තිකළා කියලා. අනික ඊජිප්තු ජනාධිපතිව ගෙන්නලා බඳුන බාර ගැනීමේ රාජ්‍ය උත්සවයකුත් තියෙනවා. ඒක නතරකරලා ඔය බඳුන මුහුදට දැම්මොත් අපි එයාලව හෑල්ලුවකට පත් කලා කියලා තිබුනු යාළුකමත් නැති කරගන්නවා. මගේ ඇමතිකමත් ගහලා යනවා. ඒ නිසා මොන සාපයක් තිබුනත් ඔය කෙහෙල්මල අරගෙන ඊජිප්තුවට යන්න වෙනවා.”

“සර්ගේ කතාව ඇත්ත තමයි.”

“අයිසේ සේනක තමුසේ බය නැතිව එනවා මාත් එක්ක යන්න ඊජිප්තු ටුවර් එක. මාත් එක්ක ඉන්න කොට මොන සාපයක් වත් එන්නේ නැහැ. මොකද විරුද්ධ පැත්තේ උන් කියන්නේ මුලු රටේම සාපේ මම තමයි කියලානේ.”

ඔහු තම ස්ථුල සිරුර හොලවමින් හක හක ගා සිනාවෙන්නට විය.

දින කිහිපයකට පසුව ලේකම් සේනක දිසානායක දුරකථනයෙන් ඇමතූ නාරද ඇමතිතුමාගේ ප්‍රතිචාර කෙසේදැයි විමසිය.

“වැඩක් නැහැ ප්‍රොපෙසර් එයාගේ හිත වෙනස් කරන්න බැහැ. ඒක වෙනස් කරන්න පුලුවන් වෙන්නේ එක පුද්ගලයෙක්ට විතරයි.” 

“ඒ කවුද?”

“වෙන කවුද? ජනාධිපතිතුමාට විතරයි. අනික අපි ප්‍රමාද වැඩියි, ඒ ගමන යොදාගෙන ඉවරයි. ඒක නතරකරන්න විදිහක් නැහැ. ඒ ගමන නතර කරලා බඳුන මුහුදට දමන්නත් බැහැ.”

“ඇයි ඒ?”

“ඇයි කියන්නේ ප්‍රොපෙසර් ඒ වැඩෙන් මේ රටවල් දෙක අතරේ තියෙන සම්බන්ධකම් බිඳ වැටෙන්න පුලුවනි. ඊජිප්තුවේ ජනාධිපතිත් අපේ ඇමතිතුමාට රාත්‍රි භොජන සංග්‍රහයක් පිරිනමන්න කටයුතු සලසවාල තියෙනවා. දැන් කරන්න දෙයක් නැහැ ලබන සුමානේ අනිවාර්්‍යයෙන්ම ඇමතිතුමාගේ සංචාරය තියෙනවා. අපිට ඒක නතරකරන්න හැකියාවක් නෑ. අපි හිතමු හොඳ දෙයක් වෙන්න කියලා.”

අවසානයේදි සේනක දිසානායක කීවේය. ඔහුගේ කතාවෙන් පසුව දුර්මුඛව ගිය නාරද තම උත්සාහයන් අපතේ ගියාදැයි සිතමින් දුක්වීය. තවදුරටත් ඇමතිතුමා හෝ ලේකම් සේනක පසුපස ගොස් වැඩක් නැතෙයි සිතු ඔහු තම අතපසුව ගිය වැඩ ගැන සිතන්නට පටන්ගත්තේය. කුමාරි කියූ පරිද්දෙන් පසුගිය සියල්ලම තම මතකයෙන්ද බැහැරකළ ඔහු යළි සුපුරුදු ලෙසින් විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් වලට යොමුවූයේය. 


   දින කිහිපයක් ඉක්මණින් ගෙවීගිය අතර තවත් දිනෙක සවස විශ්ව විද්‍යාලයේ සිට නිවසට පැමිණි විගසම වාගේ නාරදට පියරත්න මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ.

“නාරද මහත්තයා ගෙදරද ඉන්නේ? එහෙනම් ඉක්මනටම නිවුස් දාන්න.”

“ඇයි මිස්ටර් පියරත්න?”

“ටිවි එක හරි රේඩියෝ එකහරි දාලා බලන්න.”

“ඇයි හදිස්සියේ, මොකක්ද තියෙන්නේ?”

“කිය කියා ඉන්න වේලාවක් නෑ. ඉක්මණටම ටීවි එක දාලා බලන්න.”

කී ඔහුගේ ඇමතුම විසන්ධි විය.

“ කුමාරි ඉක්මණට ටීවි එක දාන්න” 

යුහුසුලුව කුමාරි ඇමතු ඔහු රුපවාහිනිය ක්‍රියාත්මක කරන ලෙසින් කීවේය.


“මේ දැන් ලැබුනු විශේෂ පුවතක්. අද සවස කටුනායක ගුවන් තොටුපලින් ගුවන් ගතවූ . . . . . . . . . ගුවන්සේවයට අයත් යුඑල් අටසිය හැටපහ දරන ගුවන්යානය අනතුරකට පත්ව ඇති බව වාර්තාවේ. ගාල්ල ප්‍රදේශයේ රූමස්සල අසළ මුහුදට කඩා වැටුනායැයි අනුමාන කරන මෙම ගුවන් යානයේ මගීන් එකසිය හැට දෙදෙනෙක් හා කාර්යය මණ්ඩලයේ අට දෙනෙකුද සිටි බවක් වාර්තාවේ. දැනට එම ප්‍රදේශය විශේෂ ආරක්ෂිත රැකවල්ලා නාවික හමුදාව හා ගුවන් හමුදාව එක්ව අනතුරින් දිවි බේරාගත් අය සෙවීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. නිල නොවන ආරංචි මාර්ග අනුව ජාතික හෙළ උරුමයන් පිළිබඳ අමාත්‍ය ගොර්ඩන් සිල්වා හා ඒ මහතාගේ පවුලේ අය ඇතුළුව රජයේ නිලධාරින් පිරිසක්ද විශේෂ සංචාරයක් සදහා මෙම ගුවන්යානයෙන් පිටත්වූ බව සැලවේ. මෙම ගුවන් අනතුර පිළිබඳ තවත් තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් අතරතුරේදී බලාපොරොත්තු වන්න.”


“ගුවන් මාර්ගයෙන් පිටස්තරව ගමන් කර රූමස්සල මුහුදු ප්‍රදේශයට ගුවන් යානය කඩාවැටීම කාගෙත් කුතුහලයට ලක්වූ කතාබහක් විය. මෙය ත්‍රස්තවාදින්ගේ ක්‍රියාවක් යැයි සැක කරන බව ආරක්ෂක අංශ පැවසුවත් සත්‍යය එය නොවන බව දැන සිටියේ නාරද ඇතුලු තව කිහිපදෙනෙක් පමණි.”

“හෝරස්ගේ පුත්‍රයා තම සහෝදරයින් සොයා ගියේ එලෙසින්ය. ෴ 



Monday, June 14, 2021

හෝරස්ගේ දරුවා - විසිදෙවන වන දිගහැරුම Son of Horus - 22

 


 විශාල ප්‍රමාණයේ ජනාධිපතිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයකින් අලංකාර වී තිබුන අති සුබෝපභෝගි ගෘහභාණ්ඩ වලින් සමන්විත වායුසමනය කළ සීත කාමරයේ ඇමතිතුමාගේ මේසයට ඈතින් තිබූ සැප පහසු සෝපාවක නාරද හා පියරත්න අසුන් ගත්තෝය. එදින උදෑසන අටහාමාර පමණ වන විට බත්තරමුල්ලේ සුවිසල් ගොඩනැගිල්ලේ අටවන මහලේ වූ අමාත්‍යංශයට පිවිස ලේකම්තුමා හමුවූ ඔවුන්ව කිසිදු පමාවකින් තොරව ඇමතිතුමාගේ කාමරය වෙත රැගෙන ගියේ ඇමතිතුමා බලාගෙන සිටින බව පවසමින්ය. ඇමතිතුමාගේ හිඳගන්නා සිහාසනයක් බඳුවූ විශාල අසුනත් තිබුනත් ඇමතිතුමා එහි නොවීය. අඩි පහකට නොඋස් හිස කඳ බඩ යාවෙන්නට ආසන්න මුග්ධ පෙනුමැති අමාත්‍යතුමා එම කාමරයට වෙනත් දොරටුවකින් ඇතුල්වූයේ කාටදෝ බැණවදිමින්ය. කාමරයේ රැඳී හුන් නාරද හා පියරත්න දෙස බලා අමුත්තන් දෙදෙනෙක් අසුන්ගෙන සිටින බවක් ගණනකට නොගත් ඔහු තම ජංගම දුරකථනයේ සංවාදය නතර නොකළේය. 

“අයිසේ තමුසෙලාට බැරිද ඕවා පබ්ලික් නොවෙන්න කරගන්න. මම තමුසෙලාව දාලා තියෙන්නේ මගේ පුතාව ඔය වාගේ වැඩවලින් පොඩ්ඩක් බේරගෙන එන්නනේ. දැන් තමුසෙලා බුරුවෝ රැලවගේ අර ෆෙරස්ට් එකේ මිනිහාට ගැහැව්වා. හරි අයිසේ ඌ කටගහගෙන ආවානම් තමුසෙලාට තිබුනේ එතැනදි නෙමෙයිනේ ඒකාගේ කට වහන්න. කෝ දැන් ශාලක? යන්න කියනවා හපුතලේ වත්තට. දැන් පත්තරකාරයොත් ඇවිස්සිලා ඇති. කෝ දැන් කපාපු කොට ලොඩ් එක? එක අරගෙන ආවාද? හරි එහෙම නම් ශාලකට කියනවා වත්තට ගිහිල්ලා මට කොල් එකක් දෙන්නය කියලා.”

ඇමතුම විසන්ධි කළ ඔහු සීනුවක් හඬවා පියන් කෙනෙකු ගෙන්වා ගත්තේය.

“අයිසේ ගිහිල්ලා එන්න කියනවා සුමිත්ට.”

එක කනක පුංචි අරුංගලයක් පලදාගත් මදාවි පෙනුමැති තරුණයෙකු තම හැඬිදැඬි සිරුර ලෙලවමින් කාමරයට ඇතුල්වීය.

“අන්න මේ සැරෙත් ශාලක ෆොරස්ට් එකේ එකෙකුට ගහලා. ගිහිල්ලා බලනවා ඌ මොන හොස්පිටල් එකේද ඇඩ්මිට් වෙලා ඉන්නේ කියලා. අනංමනං පත්තරවලින් කුණු ඇදලා ගඳ ගස්සන්න කලියෙන් ඌගේ කට පොඩ්ඩක් වහලා දානවා. දැන් ඒකාට මොකක්ද වෙලා තියෙන්නේ?”

“ඔලුව පොඩ්ඩක් තුවාල වෙලා සර්.”

“එහෙම නම් කැළේ ඇතුලේදි ලිස්සලා වැටිලා ඌගේ ඔලුව ගහක වැදිලා තුවාල වුණා කියන්න කියනවා. හරිද?”

“හොඳමයි සර්.”

“ආ දැන් කොහෙද තියෙන්නේ උන්ගෙන් උස්සපු තුවක්කුව?”

“ඒක සර්ගේ බංගලාවෙ තියෙනවා.”

“හරි මම ඒක පොලීසියට බාරදෙන්නම්. තමුසේ දැන් ගිහිල්ලා මම කියපු විදිහට කරනවා.”

සංවාදය අවසන්ව ඇමතිතුමා පියරත්නගෙත් නාරදගෙත් මුහුණ දෙස බැලූයේ ප්‍රශ්නාර්ථයක් තම මුහුණට නගාගනිමින්ය.

“ඔය මහත්තුරු කවුද? මොකටද ආවේ?”

සැප පුටුවේ අසුන්ගත් ගොර්ඩන් සිල්වා ඇමතිතුමා තම මේසය ඉදිරිපිට අසුන්ගෙන සිටින දෙදෙනා දෙස නුරුස්සනා බැල්මක් හෙලමින් ඇසීය.

“මම ප්‍රොපෙසර් නාරද බණ්ඩාර. ඔබතුමා මට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුනා.”

“මේ සර් අර මුහුදෙන් හොයාගත්තු ඊජිප්තු බඳුනේ වාර්තාව ලියලා තිබුනේ.”

ඒ අවස්ථාවේම කාමරයට ආ අමාත්‍යංශ ලේකම්තුමා කීවේය.

“ආ හරි හරි මට දැන් තමයි මතක් උනේ. මේවා කොහෙ මතක් වෙන්නද අපේ කොල්ලා කරන නහර වැඩ හින්දා.”

තම මුග්ධ පෙනුම කටුස්සෙකුසේ ක්ෂණිකව වෙනස් කරගත් ඔහු තම කපටි ආකර්ෂණීය සිනාව මුහුණට ආරූඪ කරගත්තේය. 

“ආයුබෝවන් මහාචාර්යතුමා.” 

තම අසුනින්වත් නොනැගිටම ඇමතිතුමා කීවේය. 

“මම ප්‍රොපෙසර්ගේ වාර්තාව කියැව්වා. මට කියන්න පුලුවන්ද ඔය බඳුන කොච්චර පැරණි එකක්ද කියලා? ”

“මෙහෙම එකපාරටම මේ බඳුන මෙච්චර පැරණි එකක් කියන්න බැහැ.”

“ඒ ඇයි?”

“මේකේ කාල වකවානු හොයන්න නම් පරීක්ෂණ කිහිපයක් කරන්න වෙනවා. එක ක්‍රමයක් තමයි කාබන් කාලනිරීක්ෂණ ක්‍රමය. ඒවාගේම මේ බඳුන් කාලාණුරූපව හැඩයෙන් සහ සාදපු දාව්‍ය ආදියේ වෙනස්කම් සිදුවුණා. ඒ නිසා මේක සෑදු කාල වකවානු පිරමීඩ වල ඉතිහාසයෙන් හොයාගන්න පුලුවනි. එහෙම කාලය හොයන කොට ඇත්තටම මේක කීවෙනි රාජ වංශයේ සොහොන් ගැබක එකක්ද කියලා අපිට හොයාගන්න පුලුවන් වෙයි. ඒවාගේ දේවල් කරන්න අපිට අඩුම තරමේ ඊජිප්තුවේ පුරාවිද්‍යාඥයින්ගෙන් වත් සහයෝගයක් අවශ්‍යය වෙනවා.”

“ඒ කියන්නේ එහෙම කාලසීමාවක් තාම ප්‍රොපෙසර්ට හොයාගන්න පුලුවන් කමක් තිබුනේ නැද්ද?”

“එහෙම කාල සීමාවක් මේ බඳුන පොලීසියෙන් හොයාගන්න ගිය කාලය අතරතුරේදී මට මගේ පෞද්ගලික යාළුමිත්‍රකම් යොදාගෙන හරි විශ්ව විද්‍යාලයේ මාර්ගයෙන් හරි යම් තරමකට හෝ හොයාගන්න තිබුනා. ඒත් මම එහෙම නොකළේ මේ ගැන වෙනත් තුන්වෙනි පාර්ශවයකට තොරතුරු නොයන්නයි. මේක කොහේ හැදුවත්, කොහේ තිබුනත් දැන් අයිති ලංකා ආණ්ඩුවටයි. මේකට මැදිහත්වෙන්න ඕනේ ආණ්ඩුවයි. එහෙම නේද ඇමතිතුමා?”

“ඔව්. ඔව්. .. ඒක හරි. දැන් මේ බඳුනේ වටිනාකම කීයද?”

“වටිනාකම මිල කරන්න බැහැ.”

“මේක නිකං මැටි භාජනයක් විතරයිනේ. මට නම් වටිනාකමක් පේන්න නෑ.”

“හදලා තියෙන්නේ මැටියෙන් වෙන්න පුලුවන් නමුත් ඇමතිතුමා මේකේ පුරාවිද්‍යාත්මකව තියෙන වටිනාකම මිලකරන්න බැරි විත්තියයි මම කීවේ.”

“දැන් මොකකද්ද මේ තියෙනවායි කියන ශාපයක කතාව?”

“ඔය බඳුනේ යම් අද්භුත බලපෑමක් හෝ ශාපයක් ගැබ්වෙලා තියෙනවායි හිතනවා. බඳුන හිමිකරගත්ත සැම පුද්ගලයෙක්ම මියගියේ ස්වභාවික අයුරින් නෙමෙයි.”

“ඇයි නාරද මහත්තයා ඕක ළඟ තියාගත්තු මංකොල්ලකාරයෝ ටිකත් ජීවත්වුනේ නැහැනේ.” 

මෙතෙක් නිහඬව හුන් පියරත්න මහත්තයා නාරදගේ කතාවට ඌනපුර්ණයක් එක් කළේය.

“මේ මොන පිස්සු කතාද ප්‍රොපෙසර්. මිනිස්සු මැරුණේ උන්ගේ කරුමෙට නැතිව ශාපයක් බලපාල නෙමෙයි. දැන් ඔය යුද්දෙන් දහස් ගණන් මැරෙන්නේ ඒ සාප නිසාද?”

“එහෙම කියන්න එපා ඇමතිතුමා ඔය පාරාවන්ගේ ශාපයන් බලපාල මියගිය අයගේ නම් ලැස්තුවක් වාර්තාව එක්ක දීලා ඇති. ලෝකේ දෙවිවරු ඉන්නවා කියලා ඔබතුමා පිළිගන්නවානම් අපිට නොපෙනෙන අද්භූත දේවල්ද තියෙනවා කියන එකත් පිළිගන්න වෙනවා නේද?”

යලිත් පියරත්න මහතා ඇමතිතුමාගේ කතාව මැද්දට පැන තරමක කෝපයෙන් කීවේය.

“හරි, හරි දැන් ඔය කියන ශාපේ නවත්තන්න අවශ්‍යය කරන්නේ මොකක්ද?” 

“අපිටත් ඒක හිතාගන්න බැහැ. නමුත් අනුමාන කරන විදිහට මේකේ අනිත් බඳුන් තුනත් අරගෙන ඒවා එකට තියලා කීවෙනි රාජවංශයට අයත්ද කියලා සොයලා බලන්න වෙනවා. ඒකට ගිලුණු නැව හොයාගෙන එකේ තියෙන අනිත් බඳුන් තුන ගොඩට අරගන්න සිද්ධ වෙනවා. අනිත් කරණාව තමයි අපිට ඊජිප්තුවෙන් මේ පිළිබඳව විශේෂඥ දැනුම අරගන්න සිද්ධ වෙනවා.”

“ඔය ගිලුණු නැවක් ගැන කිව්වා නේද? දැන් එකේ පුරාවස්තු එහෙම තියෙනවාද?”

ඇමතිතුමා විශේෂ උනන්දුවකින් ඒ කාරණාව ඇසීය.

“ඔව් මම පොඩි කාලේදි අහලා තියෙනවා රත්තරන් පුරවාපු නැවක් මුදේ ගිලුණා කියලා. දැන් අපි අනුමාන කරන්නේ මේ නැව කුණාටුවකට අහුවෙලා මුහුදුබත්වෙච්ච මුහුදු කොල්ලකාරයින්ගේ නැවක් වෙන්න ඕනේ කියලයි.” 

“ඒ කියන්නේ පියරත්න මහත්තයා ඔය ගොල්ලෝ ඉස්සර ඉදන්ම දන්නවා මෙහෙම නැවක් තිබුණ බවක්?”

“නෑ ඇමතිතුමා එහෙම කතාවක් අහලා විතරයි තිබුනේ. අපි හිතුවේ ඒක පුරාවෘත්තයක් පමණයි කියලා. මේකෙන් ඒ කතාව ඇත්තක් කියලා යම් තරමකට අනුමානයක් කරන්න පුලුවන්.”

“දැන් ඔය නැව ගිලිලා තියෙන තැන දන්නවාද?”

“හරියටම තැනක් කියන්න බෑ. අනුමාන කරන්නේ රූමස්සල හරියේ තමයි ඇත්තේ කියලා. මේක හොයන්න නම් අපේ සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයෙ මාර්ගයෙන් රූමස්සල අවට මුහුදු ප්‍රදේශය ගවේෂණය කරන්න වෙයි.”

“ලේකම්තුමා මේ අපිට සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයක් කියලා එකක් තියෙනවාද?”

“ඔව් සර් තියෙනවා. ඒත් සර් මේවාගේ ලොකු වැඩකට යොදන්න තරම් සම්පත් මදි.” 

“ඒක ඇත්ත අපේ සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය නම් තියෙන්නේ ප්‍රාථමික අවධියේ.”

“හරි අයිසේ එයාලට ඒක කරන්න පුලුවන්ද කියලා බලන්නත් එක්ක ශක්‍යතා අධ්‍යනයක් කරලා වාර්තාවක් එවන්න කියනවා.”

“ඒහෙම නොවෙයි ඇමතිතුමා, ඔය ගාල්ල අවට විතරක් නොවෙයි ලංකාවේ ගොඩක් තැන්වල මේවාගේ පැරණි රුවල් නැව් ගිලිලා තියෙනවා. ඒවායේ තියෙන පුරාවස්තු හොයාගන්නත් එක්කම මේ වැඩෙත් කරන්න රාජ්‍ය හරි රාජ්‍ය නොවන සංවිධාන මාර්ගයෙන් වෙනින් රටවල්වල අධාර ලබාගන්න.” 

“ඉදිරිකාලයේදි එහෙම වැඩකට යොදාගන්නත් මගේ අදහසක් තියෙනවා. හොඳයි මම ඒ ගැන සලකා බලන්නම්. එහෙනම් ප්‍රොපෙසර් මට අද යොදාගත්ත වැඩ කිහිපයක්ම තියෙනවා. බොහෝම ස්තුතියි පැමිණීමට.” 

තවදුරටත් කතා කිරීමට ඉඩක් නොතියා ගොර්ඩන් සිල්වා ඇමතිතුමා ඒකපාර්ශවිකව නාරද හා පියරත්න සමඟ තිබූ සාකච්ඡාව හමාරකළේය. 

“අයිසේ ඔය ගිලුණු නැව තියෙන තැන මුන් දෙන්නා දන්නවාද කොහෙද?”

කාමරයෙන් ඔවුන් පිටත්වුනු වහාම සේනක දෙස හැරුනු ඇමති සිල්වා ඇසීය.

“මම හිතන්නේ නැහැ එයාලා දන්නවා කියලා. දන්නවානම් නොකියා ඉන්න මිනිහෙක් නොවෙයි නාරද බණ්ඩාර.”

“රත්තරං තියෙන නැවක් ගිලිලා තියෙනවා, මෙන්න මෙතැනයි තැන කියලා අපේ පුතණ්ඩියාට කීවානං මිනිහා කොල්ලෝ ටිකක් අරගෙන ගිහින් මුහුද හිදලා හරි මුළු නැවම ගොඩට ඇඳලා තියෙයි.”

හක හක ගා සිනාසුනු ඔහු 

“අයිසේ කාටවත් ඔය නැවේ විස්තරේ පබ්ලික් වෙන්න දෙන්න එපා නැත්නම් පුරාවස්තු අරගෙන්න මිනිස්සු පෝලිමේ යයි මුදේ පනින්න. ඊට පස්සේ අපිට පොලීසියෙන් මුරට දාන්නත් සිද්දවෙයි.”

“දැන් ඔය බඳුනට කරන්නේ මොකක්ද සර්?”

“මුහුදෙන් මෙහෙම බඳුනක් හොයාගත්තා කියලා මිඩියාවලට ඉන්ටවිව් එකක් දීලා කටුගෙදරට බාරදෙමු.”

“සර් මම කියන්නද වැඩක් සර්ට හොද පබ්ලිසිටි එකකුත් අරගන්න පුලුවන් විදිහෙ.” 

“මොකක්ද අයිසේ ඒ?”

“මුලින්ම අපි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වත් අරගෙන මේ බඳුන හමුවෙච්චි ආකාරය මීඩියාවලට දෙමු. ඊට පස්සේ මේක ඊජිප්තුව එක්ක තියෙන රාජ්‍ය සබඳතා ශක්තිමත් වෙන්න කියලා එහාට තෑගී කරමු.”

“අයිසේ ඕවා එහෙ ඕනෑ තරම් ඇතිනේ?”

“කොච්චර තිබුනත් මේවා පුරාවස්තුනේ සර් අනික මේක තිබුනේ ලංකාවේනේ. සර්ට පුලුවන්නේ අපිවත් අරගෙන ඊජිප්තුවට ටුවර් එකක් අරගන්න. එහෙන් පුරාවිද්‍යඥයින් කිහිපදෙනෙක් ගෙන්නලා මෙහෙ පොඩි දේශනයක් එහෙම සෙට්කරන්නත් පුලුවන්නේ. එතකොට උන් මේක උඩින්ම බාරගනියි.”

“අයිසේ තමුසෙගේ මොළේ තමයි මොළේ.”

ගොර්ඩන් සිල්වා ඇමතිතුමා තම ස්ථුල සිරුර සොළවමින් උද්දාමයෙන් සිනාසුනේය.

අමාත්‍යංශයේ සිට වාහන අංගනයට එනතෙක් නිහඬව සිටි පියරත්න මහතා රථයට ගොඩවැදුනු වහාම තම කෝපය වචන වලට පෙරලීය.

“මුං වාගේ නරුමයන්ටද අපි ඡන්දේ දීලා පාලකයෝ විදිහට පත්කරගෙන තියෙන්නේ. මේකා දන්න ජාතික හෙළ උරුමයක් වත් පුරාවිද්‍යාවක් වත් නැහැ. අඩුමතරමේ ඒවා ගැන කැක්කුමක්වත් නෑ.”

“ඒක ඇත්ත මිස්ටර් පියරත්න. සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයක් තියෙනවාද කියලවත් නොදන්න මිනිස්ටර්. එයාගේ පුතා නේද කාටදෝ ගහලා කිව්වේ?”

“බලන්න මුංගේ ළමයිත් හැදෙන්නේ මැරයෝ වාගේ. ජඩ ගති උප්පතියෙන්ම පිහිටලා තියෙනවා.”

“අපේ කාලයත් මහන්සියත් අපතේ ගියා කියලා මට හිතෙනවා මිස්ටර් පියරත්න.”

රිය පදවන ගමන් නාරද බන්ඩාර සිය කනස්සල්ල ප්‍රකාශ කළේය.  


    එසේ ඇමතිතුමා සමඟින් අමාත්‍යංශයේ තිබූ සාකච්ඡාව අවසන් වී දින කිහිපයකට පසුව රාත්‍රි අටේ පුවත් ප්‍රකාශයේදි පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් හා ඇමතිතුමා පැවැත්වු විශේෂ මාධ්‍ය හමුව විකාශනය කෙරුණි. ඔවුන් පියසෝම විසින් සොයාගත් බඳුන ගැන ප්‍රථම වරට මාධ්‍යට එළිදරව් කළ අතර මහාචාර්ය නාරද බන්ඩාර ගැන සඳහනක්වත් නොකළේය. කුමාරිට මේ පුවත් විකාශණය ගැන දැන්වු ඔහු යම් සිත් තැවුලකින්ම නින්දට වැටුනේ මාධ්‍ය හමුව ඔහුට වසන් කළ හෙයිනි. පසුදින ජාතික පුවත්පත් වල ප්‍රධාන පුවත වූයේ මුහුදින් ගොඩගත් බඳුනය. එහි ඡයාරූප සමඟින් විස්තර පලවී තිබුනි. 

“බලන්න මෙච්චර දෙයක් කරලත් ඒ අයට අමතක වෙච්චි ඉක්මන. ඇමතිතුමා හරි පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවෙන් හරි ඔයාට මේ මාධ්‍ය හමුවට කැදවන්න තිබුනානේ.” 

කුමාරි නෝක්කාඩුවක ස්වරූපයෙන් නාරදට කීවාය.

“දැන් කෝ ඔය පොලීසියේ එස් එස් පි ලා අයි ජි පි ලා සද්ද නැහැ නේද? වැඩ කරගන්නකොට ඉන්න මිනිස්සු දැන් හොයාගන්නවත් නෑ.”

“කුමාරි පොලීසියේ අය නෙමෙයි මේක තිබ්බේ. මේක අර ඇමතියාට ලකුණු දාගන්න කරපු වැඩක්.”

“ඔයාගේ හම ගියා එයාලගේ නම ගියා එච්චරයි.”

ඈ කෝපගනිමින් පැවසුවාය.

පියරත්න මහතා උදෑසන පුවත්පත් බලා බඳුනේ ප්‍රවෘත්තිය දැක නාරද ඇමතීය.

“මොකද්ද මේ අමාත්‍යංශයෙන් කළේ? එයාලට අමතකවුණාද මේක හොයන්න නාරද මහත්තයාත් මහන්සිවුණා කියලා. දැන් නාරද මහත්තයා මේ බඳුන විතරද තියාගන්නේ? පුරාවිද්‍යා එකෙන් අනෙක් ඒවා ගැන හොයන්නේ නැද්ද?”

“අපි පොඩ්ඩක් ඉවසලා බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා.”

“ඇමතිතුමා කිව්වා නේද සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයෙන් ශක්‍යතා අධ්‍යනයක් කරලා වාර්තාවක් ලබාගන්නවා කියලා.”

“ඔව්, කිව්වා නම් තමයි. මම ඒ ගැනත් හොයලා බලන්නම්.”

ඔහු තම පෑරුණු සිත යටපත්කරගන්නට මෙන් කීවේය. නාරද දින කිහිපයක්ම ඇමතිතුමා හෝ අමාත්‍යංශ ලේකම් සම්බන්ධකරගන්නට උත්සාහ කළත් එය සඵල කරගැන්මට හැකියාවක් නොවුනායින් ඔහුගේ කෝපය මෙන්ම කනස්සල්ලද වැඩි කරවීය. අවසානයේදි පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට ගොඩ වැදුනේ අධ්‍යක්ෂක ජෙනාරාල්තුමා හමුවී සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයෙන් රූමස්සල අවට මුහුදු ප්‍රදේශය ගවේෂණය කරනවාදැයි පරික්ෂා කරන්නටය.

“ප්‍රොපෙසර් නාරද අපිට ඔය කියන ශක්‍යතා අධ්‍යනයක් කරන්න කියලා අමාත්‍යංශයෙන් දැනුම් දීලා නැහැ. අනික අපේ සමුද්‍ර ඒකකයේ තියෙන සම්පත් සීමිත බව ඔබතුමා නොදන්නවා නොවෙයිනේ. මීට ඉස්සර කරපු මුහුදු පර්යේෂණ වලට පිටරට වලින් අධාර උපකාර ලැබුනා. මතක ඇතිනේද ගාලු වරාය ගාව එක්දාස් හයසිය පනස්නමයේ ගිලුණූ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ ඇවොන්ඩ්ස්ටර්  [Avondster - 1659   Dutch East India (voc) Company]   නැවේ කරපු ගවේෂණය?  එක්දාස් නමසිය අනුතුනේදි Western Australian Maritime Museum    එකෙන් ඇවිල්ලා ගාලු වරාය ඇතුලේ එක්දාස් හයසිය හැටඑකේ ගිලුණු හර්කියුලීස් නැව සොයාගත්තා. ඒ ආපූ පුහුණු විදේශ කණ්ඩායම් නිසා තමයි ඒ නැවත් ඒ නැවේ පුරාවස්තුත් හොයාගත්තේ. 




“සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය ශක්තිමත් කරගන්න ඔයාලට මේක අවස්ථාවක් කරගන්න පුලුවනි.”

“ඇත්තම කිව්වොත් ප්‍රොපෙසර් අපේ ආණ්ඩුවෙන් මේ අමාත්‍යංශයට අයවැයෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදන මදිබව දන්නවානේ? එහෙම එකේ අලුතින් ප්‍රොජෙක්ට් පටන්ගන්න එක හිතන්නවත් බෑ.” 

“දැන් ඔය ඊජිප්තු බඳුනේ තියෙන ශාපය ගැන මොකක්ද හිතෙන්නේ? ඒකට ගන්න පියවර මොකක්ද?”

“මට ඒ ගැන වැඩි විස්තරයක් කියන්න අපහසුයි. ඇමතිතුමානම් මේ ගැන එච්චර තැකීමක් නැහැ.”

“ඒහෙම කියලා හරියන්නේ නැහැ අධ්‍යක්ෂකතුමා ඔයා පොඩ්ඩක් දැනුවත් වෙන්න මේ ශාපය ගැන. මේකේ බලපෑම ගැන ඇමතිතුමාව දැනුවත් කරන්න. නැත්නම් මේකෙන් දැනට වෙලා තියෙන දේවල්වලට වඩා විශාල විනාශයක් වෙන්නත් පුලුවන්.”

“එහෙනම් මට කියන්න මේකට මොකද්ද කරන්න කියන්නේ?”

“මට හිතෙන්නේ මේක ආපහු තිබුනු තැනට යවන එක.”

“පිරමීඩවලට යවන එක ඇමතිතුමාට කියලා කරන්න පුළුවන්.”

“එහෙට යවලා මේකේ ශාපය නැති කරන්න පුලුවන් වෙයි කියලා මට හිතෙන්නේ නැහැ. මොකද අපි දන්නේ නැහැ මේ බඳුන තිබුනු සොහොන් ගැබවත්, මේ බඳුන ඇතුලේ තැම්පත් කරලා තිබුනු ශරීර කොටස් අයිති මොන පුද්ගලයාටද කියලා?” 

“ඔව් ඒකනම් ඇත්ත. එහෙනම් මොකකද්ද කරන්නේ?”

“ආපිට රූමස්සල අවට මුහුදට දාන එක තමයි අවසානයේදී කරන්න වෙන්නේ.”

“පිස්සුද, ඕක ආපිට මුහුදට දාන්න ඇමතිතුමා කරන්න ඉඩ දෙයි කියලා ඔයා හිතනවාද?”

තවදුරටත් කතා කිරීමෙන් ඵලක්නොවන බව වැටහුනු මහාචාර්ය නාරද බණ්ඩාර ශාපය ගැන යළිත් වරක් මතක් කර ඔහුට ස්තුති කරමින් දෙපාර්තුමේන්තුවෙන් පිටවී ආවේ ඉතා විශාල පසුතැවිල්ලක් සිතේ රුවාගෙනය.

මතුසම්බන්ධයි

Thursday, June 10, 2021

හෝරස්ගේ දරුවා - විසිඑක් වන දිගහැරුම Son of Horus - 21



 දෙදිනකට පසු උදෑසන තේ පානය කරන අතරේදි පුවත්පත අතට ගත් නාරද සිරස්තල පමණක් උඩින්පල්ලෙන් කියවා දැමුවේ පසුව කියවීමේ අභිලාසයෙනි. 

“ස්ටැන්ලි වික්‍රමපාල ඝාතකයා පොලිස් වෙඩි පහරින් මරුට”

නාරදගේ දෑස් අදහාගන්නට නොපුළුවන් විය. ඔහු තවත් වරක් හොඳින් සිරස්තලය කියවා බැලුවේ තමාට වැරදීමක් වීද යන්නයි. හේ ඉක්මණින් කුමාරිට හඬගසා කතාකළේ පත්තරේ තිබූ වැඩි විස්තරේවත් නොකියවමින්ය. 

“කුමාරි මේ බලන්න.”

“ඇයි?”

“ඇයි කිය කිය ඉන්නේ නැතිව ඉක්මණට මෙහෙට එන්න.” 

ඈ යුහුසුලුව නාරද වෙත ආවේ කුහුලකින් යුතුවය.

“මේ බලන්න අද පත්තරේ.”

“මොකක්ද?”

“ස්ටැන්ලි වික්‍රමපාලගේ මිනිමරුවා පොලීසියෙන් අල්ලලා. ඉන්න මම විස්තරේ කියවන්න.”  

“කෝටිපති වෙන්දේසි ව්‍යාපාරික ස්ටැන්ලි වික්‍රමපාල මහතාගේ නිවස කොල්ලකෑමේ අරමුණින් ගොස් බඩු භාණ්ඩ කොල්ල කා ඔහුව ඝාතනයකර පලා ගිය අතුරුගිරියේ පස්දෙනාගේ කල්ලියේ නායක මංජු ගමගේ හා කපිල සුරේන්ද්‍ර යන දෙදෙනා පොලිස් අත් අඩංගුවෙන් මිදී පලායාමට තැත් කිරීමේදී මරුමුවට පත්වී ඇත. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ ඒකකයෙන් අත්අඩංගුවට ගත් මේ දෙදෙනා විසින් කොල්ලකෑ භාණ්ඩ පෙන්වීමට ගිය අතරතුරේදි සඟවා තිබූ අත්බොම්බයකින් ගසා අත්අඩංගුවෙන් පලා යාමේදී මෙසේ වෙඩි පහරට ලක්වී ඇත. එහිදි ඇතිවූ කලබලයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.”

“එහෙනම් අනෙක් මිනිහාත් අල්ලාගෙන තියෙනවා.”

“ඒත් නාරද ස්ටැන්ලිගෙන් අරගත්තු බඩු ඔක්කෝම පොලීසියට හොයාගන්න පුලුවන් වුනාද දන්නේ නැහැ.”

“මේ පත්තරේ තියෙන විස්තර අනුව නම් බඩු පෙන්නන්න ගිහිල්ලානේ වෙඩිකාලා තියෙන්නේ. එහෙම නම් බඩු තියෙන තැනකට හරි ගෙනියන්න ඇතිනේ.”

“බලන්න මෙච්චර දෙයක් වෙලත් එස් එස් පි ඔයාට මේක නිකමටවත් කිව්වේ නැති හැටි.”

කුමාරි තරමක නොරිස්සුමක් ඇතිව කීවාය.

“ඒක තමයි මමත් කල්පනා කළේ. සමහරවිට කවුද දන්නේ එයාටත් තුවාලවෙලාද කියලා? කෝකටත් මම මනෝජ්ට කෝල් කරලා බලන්නම්.”


 උදෑසන ආහාරයෙන් පසුව නාරද පොලිස් අධිකාරී මනෝජ් වෙත දුරකථන ඇමතුමක් ලබාදුන්නේය. 

“ආ ප්‍රොපෙසර් නාරද ගුඩ් මොර්නින්. අපිට ස්ටැන්ලිගේ මර්ඩරර් අහුවුණා. මට ඔයාට කියන්න වේලාවක් නැතිවුණා. මේ කලබල අස්සේ මොන කතාද? දකින්න ඇති නේද පත්තරේ?”

“ඔව් දැක්ක හැටියෙම තමයි මේ කතාකළේ.” 

“අල්ලගත්තු මිනිහා අපිට හොරකම් කරපු බඩු පෙන්නන්න කියලා ගිහින් හැන්ඩ් ග්‍රෙනේඩ් එකක් අරගෙන ගහන්න හැදුවා. ඒ එක්කම අනික් මිනිහා අපේ කොස්තාපල් කෙනෙක් ගාව තිබුනු තුවක්කුවක් අරගන්න පොර බදලා. අපේ එක්කෙනෙක් වෙඩි තිබ්බේ නැතිනම් ලොකු විනාශයක් වෙන්නයි තිබුනේ.”

මිස්ටර් මනෝජ්ත් තුවාලද?”

“නැහැ මම එතනට ගියේ ටිකක් පරක්කුවෙලා.”

“ඉතිං ඔය මිනිස්සු හංගපු බඩු අරගත්තාද?”

“අර ඔයාලා හොයන බඳුන විතරක් මංජුගේ ගෙදර තිබිලා හම්බ වුණා. අනෙක් බඩු වෙන කොහේ හරි හංගලා තියෙන්නේ. ඔය පස්දෙනාගේ කල්ලියේ දැනට ඉතුරුවෙලා ඉන්නේ එක මිනිහයි. ඒකා දන්නවා ඇති මේ ඉතිරි බඩු හංගලා තියෙන තැන.”

“අපිට අවශ්‍යය බඩුව ලැබුනානේ. දැන් හොයාගත්තු බඳුන තියෙන්නේ කොහෙද?”

“ඒක දැනට අපි ගාව තියෙනවා. ඉදිරියේදි නඩු භාණ්ඩයක් වශයෙන් උසාවියට ඉදිරිපත්කරන්න වෙයි.”

“මට ඔය බඳුන පරික්ෂා කරන්න පුලුවන්ද?”

“පුලුවන් ඇවිල්ලා බලන්න.”

“හොඳයි මම අදම පුලුවන් වුනොත් එන්නම්.”

“හොඳයි.”

     ඉක්මනින් දුරකථන ඇමතුමක් දී පියරත්න ඉස්කොලේ මහත්තයා ඇමතු නාරද පත්තරේ තිබුණු විස්තරේ ඔහුට ඇහෙන්නට කියැවීය. එසේම පොලිස් භාරයේ තිබෙන බඳුන පරීක්ෂා කරන්නට යන බව පවසා එය බැලීමට කැමතිනම් හැකි ඉක්මනින් කොළඹට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය. එදින සවස දෙක වන විට දෙහිවල හන්දියෙන් බසයෙන් බැසගත් පියරත්න මහතා ඉක්මණින් ත්‍රී රෝද රියක නැඟි නාරද බණ්ඩාරගේ වෛද්‍ය පාරේ වූ නිවසට ළඟාවීය. එහෙත් ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් බලා සිටියේ කුමාරි පමණි. සවස් වරුවේ තිබූ දේශනයක් සදහා විශ්ව විද්‍යාලයට නාරද පිටත්ව ගියේ ඊට සුළු මොහොතකට කලිනි. ඉස්තෝප්පුවේ වේවැල් පුටුවක ඈදී ගත් ඔහු ඇද සිටි ජාතික ඇඳුමේ ඉදිරිපස බොත්තම් දෙක විවර කර කටින් පපු පෙදෙසට පිඹ ගත්තේ ඇඟ පිච්චීගෙන ආ දාහය නිසාය. සීතකළ පළතුරු යුෂ බීම වීදුරුවක් රැගෙන ආ කුමාරි, පියරත්න මහතා සමඟින් කතාවට වැටුනාය. 

“මිස්ටර් පියරත්නට කියන්න කිව්වා හෙට උදේට අර බඳුන බලන්න යන්න ලෑස්තිවෙන්න කියලා. අද එයාට නතරකරන්න බැරි ලෙක්චර් එකක් තියෙනවා. මේ දවස්වල ළමයින්ට විභාගෙත් ළඟයිනේ.”

“ගුරුවරු වශයෙන් කරන්න ඕනේ දරුවන්ට නියමිත විදිහට අධ්‍යාපනේ දෙන එක. දරුවන්ගේ අනාගතේ එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ කුමාරි නෝනා.”

“මම මේක මිස්ටර් පියරත්නට කියනවාද කියලා හිත හිත තමයි හිටියේ.”

“ඇයි කුමාරි නෝනා මොකක්ද ප්‍රශ්නේ?”

“මගේ හිතට හරි නෑ මේ බඳුන හොයන්න යනවාට.”

“මට නෝනා කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නෑ.”

“මේකේ තියෙන ශාපේ නිසා දැනට කීදෙනෙක් පරලෝකේ ගියාද. තව ඉස්සරාහට ඔය ශාපේ කී දෙනෙක්ට බලපායිද කවුද දන්නේ. විහින් මැරෙන්න කාටද ඕනේ.”

“නාරද මහත්තයා කරුණු කාරණා දන්න මිනිහෙක් නිසා නිකන් විපත්තියේ වැටෙන්නේ නැහැ. කුමාරි නෝනා බය නැතිව ඉන්න.”

“අපිට නොපෙනෙන බලවේග එක්ක කරන කටයුතු හරි පරිස්සමෙන් කරන්න වෙන්නේ. අනික ශාපේ කතාව පොලීසියේ අය පිළිගනීවිද?”

“පිළිගන්න නොගන්න එක එයාලගේ වැඩක් අපිට තියෙන්නේ එක එයාලට පැහැදිලිකර දෙන්නනේ.”

“ඔයාලා ඔය වාර්තාව දුන්නානේ. දැන් කවුරු මළත් ශාපේ මැදට පනින්නේ නැතිව පැත්තකට වෙලා හිටියාම හරිනේ.”

“ඔහෙම පැත්තකට වෙලා නාරද මහත්තයා ඉදිය කියලා මම නම් හිතන්නේ නැහැ කුමාරි නෝනා . අනික අපිට පුලුවන්ද අහිංසක මිනිස්සු මැරෙනකං බලාගෙන ඉන්න?”

“ඒත් මිස්ටර් පියරත්න මට හරිම බයයි. මම කැමතියි ඔයාලා දැන්වත් ඔය වැඩෙන් අහක්වෙනවා නම්.”

ඇය දෑසට ඉනූ කඳුළු කම්මුල් දිගේ නිදහසේ ගලා යන්න හරිමින් කීවාය.

“කුමාරි නෝනාගේ බයත් සාධාරණයිනේ, හොඳයි මම නාරද මහත්තයාට නෝනා කී වගක් නොකියා කියලා බලන්නම්.”  

එසේ කී ඔහු බී අහවර කළ හිස් වීදුරුව කනප්පුව උඩින් තබා කුමාරි පිළියෙළ කර තිබූ ඉස්තෝප්පු කාමරයට නැඟිට ගියේය. සවස පහට පමණ දේශනය අවසන් කර නාරද නිවසට පැමිණියේ පියරත්න සමඟින් කතාකරගතයුතු කරුණක් සිතේ රුවාගෙනය. ඇඳුම් උනා සැහැල්ලු ඇඳුමකින් සැරසී ඉස්තෝප්පුවේ හිඳගත් ඔහු කතාවට මුල පිරීය.

“මිස්ටර් පියරත්න දැන් අපිට කරන්න තියෙන්නේ ඔය ගිලුණු නැව කොහේ ඉඳලා ආපූ එකක්දැයි හොයන්නයි.”

“මට හිතෙන්නේ නාරද මහත්තයා ඔයාගේ යුතුකම දැන් ඉෂ්ට කරලා ඉවරයි. ඔය ශාපේ ගැන අදාල බලධාරින්ට දන්වලා අහකට වෙන එක නේද හොඳ?”

“මට පේන්නේ මිස්ටර් පියරත්නත් එක්කෝ කුමාරිගේ බය කිරීමට අහුවෙලා හරි නැත්නම් එයාගේ පැත්තට හැරිලා වගේ.” 

“නැහැ එහෙම එකක් නැහැ. ඇත්තටම ඔය බඳුනේ ශාපයක් හරි අත්භූත බලපෑමක් හරි තියේනම් ඇයි අපි ඒකට බිලිවෙන්න යන්නේ.”

“ඒත් මිස්ටර් පියරත්න එහෙම කියලා අපිට පුලුවන්ද අර පියසෝම, උපනන්ද, ගුණසිරි, ස්ටැන්ලි වාගේ අහිංසකයෝ ඒ සාපේට බිලිවෙන්න ඉඩ ඇරලා බලාගෙන ඉන්ට? මටනම් එහෙම ඉන්ටත්  බැහැ මම ඒවාගේ වැඩ කරන්නෙත් නෑ.”

ඔහු කෝපයෙන් රතුවගිය මුහුණ කුමාරි දෙසට හරවා කීවේය.

“එහෙම නම් අපි ඔය විත්තිය පොලීසියට ඒත්තුගන්වමු.”

“ඔය මිනිස්සු ඒක නොපිළිගත්තොත්? ඔය බඳුනේ තියෙන ශාපය නැති කරන්න පුලුවන් නම්.”

“මමත් ඒක කල්පනා කළා මිස්ටර් පියරත්න. මට හිතෙන්නේ ඔය බඳුන අනෙක් තුන්දෙනා එක්ක ඒක තිබුණු සෙහොන් ගැබේ තියන්න ඕනේ කියලයි.”

“බඳුන් හතර තියෙන්නේ කැනෝපික් චෙස්ට් එකක් ඇතුලේ නේද?”

“හොරස්ගේ පුත්තු හතරදෙනා තැම්පත් කරලා තියෙන්නේ කැනොපික් චෙස්ට් එකක් ඇතුලේ. එහෙනම් මේක විතරක් ලංකාවට එන්න පුලුවන් කමක් නැහැ. සමහර විට මේ සාපේ බලපාන හේතුව වෙන්නේ මේ හතර දෙනාගේ වෙන්වීම වෙන්නත් පුලුවන් නේද?”

“එහෙනම් මේ අනෙක් පුත්තු තුන්දෙනයි චෙස්ට් එකයි ඇත්තේ පියසෝම හොයාගත්තු ගිලුණු නැවේ.”

“එහෙනම් මේ ගිලුණු නැව හොයන්න කිමිඳුම්කාරයන් දාන්න වෙයි.”

“එහෙම කිමිඳුම්කාරයන් දාන වැඩෙන් අපේ ආකියෝලජිකල් ඩිපාට්මන්ට් එකට විශේෂ වාසියකුත් වෙනවානේ.”

“ඒ මොකක්ද?”

“ඇයි ගිලුණු නැවෙන් ලැබෙන පුරාවස්තු.”

“අපිට ඒ ගමන්ම නැවේ නම හොයාගන්න පුලුවන් උනොත්?”

“ඒ මොකටද නාරද?”

“නම හොයාගත්තොත් නැව පිටත්වුනු වරාය. ඊළඟට යන්න තිබුනු වරාය. ඒකේ ගෙනිච්ච බඩු භාණ්ඩ

මොනවාද කියලා පැරණි වාර්තා වලින් හොයාගන්න පුලුවනි.”

“එහෙම නම් ඒ නැවේ නම මොකටද කිමිඳිලා හොයන්නේ ලංකාව ළගින් ගිහිල්ලා අතුරුදහන් වෙලා තියෙන නැව් ගැන පරණ රෙකෝඩ්ස් වලින් හොයාගන්න බැරිද?”

“ලෝකේ නැගෙනහිර පැත්තට හරි බටහිර පැත්තට හරි නැව් ගමන්කරන පෙරදිග අපරදිග නාවික ගමන් මාර්ගය වැටිලා තියෙන්නේ ලංකාවට පහළින් තමයි. ලංකාව පසු කරගෙන ගිහිල්ලා වෙන රටකදි අනතුරකට මුහුණ පාන්න සිදුවුනු නැව් කොච්චර ඇතිද? අතුරුදහන් වෙලා තියෙන නැව්වල නම් රෙකෝඩ්ස්වලින් එහෙම හොයන්න බැහැ.”

“ඒකනම් ඇත්ත නාරද මහත්තයෝ. ඔය රුවල් නැව් කුණාටුවලට අහුවෙලා තමන් ගිය මාර්ගයෙන් වෙනත් රටවල්වලට ගසාගෙන ගිහිල්ලා තියෙනවා. මතකද කිස්ටෝපර් කොලොම්බස්, ෆර්ඩිනන්ඩ් මැගලන් වගේ දේශගවේශකයන්ගේ රුවල් නැව් කුණාටුවලට අහුවෙලා තමයි වෙනින් රටවල් හොයාගත්තේ.”

“කොහොමද ගිලුණු නැවේ නමක් හොයාගන්නේ? දැනටමත් ඔය නැවේ කොටස් දිරාපත්වෙලා ඇති.”



“නැවක ඉස්සරහා ඇනිය ළඟ තියෙනවා තරමක් ලොකු සීනුවක්. මීදුම ඝන සැරේට තියෙන අවස්ථාවලදී පිටි පස්සේ ඉදන් නැව පදවන අයට ඉස්සරා පෙනෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරියෙන් තියෙන මාර්ගය සුරක්ෂිතද කියලා කියන්න නැවියන් යොදවලා තිබ්බා. එයලා මේ සීනුවෙන් මීදුමේ යාත්‍රා කරන නැව් වලට සංඥාවල් නිකුත් කරන්න, ඒ කියන්නේ Sound Signal  වලට භාවිතා කෙරුවා.”

“සීනුවකින් කොහොමද නාරද නැවේ නම හොයාගන්නේ?”

“සැම සීනුවකම නැවේ මුල් නම කොටලා තියෙනවා දැනට මේ සීනුවෙන් වැඩක් නැතිවුණත් සම්ප්‍රදායක් විදිහට සීනුවක් අදටත් නැව්වල එල්ලලා තියෙනවා.”

“මටත් මතකයි ඔය වාගේ නම කොටපු සීනුවක් ගාල්ල වරාය ළඟ ගිලුණු නැවකින් ගොඩට ගෙනාවා.” 

“ඔව් ඒ එක්දාස් නමසිය අනුතුනේදි බටහිර ඔස්ටේ්‍රලියානු මුහුදු කෞතුකාගාරයෙන් (Western Australian Maritime museum) ඇවිල්ලා කරපු ගවේෂණයකින් ගාලු වරාය ඇතුලේ එක්දාස් හයසිය හැටඑකේ ගිලුණු හර්කියුලීස් නැව සොයාගත්තා. එකේ තිබිලා තමයි ලෝකඩ සීනුවක් හොයාගත්තේ. ඒ සීනුවේ AMOR VINCIT OMNIA ANNO 1625 (love conquers all, year 1625)   කොටලා තියෙනවා.”

 Bell of Hercules 1661 


“හරි දැන් නැවේ නම හොයාගත්තා කියමුකෝ ඊට පස්සේ?”

“අපිට පුලුවනි ඒක කොහේ ඉදලා කොහේටද ගිය එකක්ද, ගෙනිච්ච බඩු මොනවාද කියලා දැනගන්න. ඒකෙන්ම අපිට ඉතිහාසේ එක් කාල පරිච්ඡෙදයක් අනාවරණය කරගන්න පුලුවන් වෙනවානේ.”

“කවුද දන්නේ ඔය මුහුදු කොල්ලකාරයින්ගේ නායක ජැක් ස්පැරෝස්ගේ නැවද කියලා.”

“එයා පෙරදිග පැත්තට ඒ කියන්නේ ආසියාව පැත්තට යාත්‍රා කරපු බවක් නම් ඉතිහාසේ ලියවිලා නැහැ. ජැක් ස්පැරෝස් ඉදලා තියෙන්නේ කැරබියන් දුපත් පැත්තේ.”

“දැන් ඔයාලා ඔය කැනොපික් චෙස්ට් එකත් එක්ක අනෙක් බඳුන් තුනත් හොයාගත්තා කියමුකෝ එතකොට මේ ශාපේ නැතිවෙයිද? හොයාගන්න බැරිවුනොත් ඔය බඳුනට මොකක්ද කරන්නේ?”

“අනේ කුමාරි ඇයි ඔයා ඔය බඳුනට ඔය තරම් බය?”

“බය තමයි. දැක්කේ නැද්ද ටුටන්කාමුන් සොහොන් ගැබට ඇතුල්වුනු අයට වෙච්චදේ. මම ඒ දේ ඔයාටවත් තව කෙනෙකුටවත් වෙනවාට කැමති නැහැ.”

“නාරද පියරත්න දෙස බැරෑරුම් බැල්මක් හෙලීය.” 

“කුමාරි නෝනාගේ කතාව ඇත්ත තමයි. ඔය බඳුන තියාගන්න වෙන විදිහක් බලන්න වෙනවා නේද?”

“එහෙම නම් එක ආපහු තිබුනු තැනටම යවන්න වෙනවා.”

“කොහේටද? ඊජිප්තුවටද?”

“ඊජිප්තුවට නැත්නම් ආපහු මුහුදට.”


     පසුදින උදේ දහයට පමණ බඳුන පරික්ෂා කිරීම සදහා අපරාද විමර්ශන කොට්ඨාසයේ අධිකාරි මනෝජ් හමුවීමට නාරද සමඟින් පියරත්න මහතා ගිය ගමනට කුමාරිත් එක්වීය.

“ආ ප්‍රොපෙසර් නාරද ආපූ එක හොඳයි, තව ටිකකින් අපේ පොලිස්පතිතුමා මේ බඳුන බලන්න එන්න පුලුවනි. එතුමා ඔයාගේ වාර්තාව කියවලා හමුවෙන්නත් අවශ්‍යයි කියලාත් තිබුනා.”

“ඒක හොඳයි මටත් එතුමාව හමුවෙන්න අවශ්‍යය වෙලයි තිබුනේ.”

“ප්‍රොපෙසර් මේ මහත්තයා කවුද කියලා කිව්වේ නැහැනේ.”

“මට අමතකවුණා මේ ඉන්නේ පියරත්න මහත්තයා, ගාලු පුරාවිද්‍යා හා සංස්කෘතික උරුමයන් සුරැකිමේ සංවිධානයේ සභාපති වගේම හිටපු විදුහල්පති කෙනෙක්. මේ බඳුන මුලින්ම හොයාගත් කෙනා මට හොයාගන්න උදව් උපකාර කළේ මේ මහත්තයා තමයි.”

“අඳුනගන්න ලැබුනාට සතුටුයි. මම දැනන් හිටියේ නෑනේ ප්‍රොපෙසර් නාරදට හොඳ සහායකයෙක් මේ වැඩේට ලැබිලා තිබුනා කියලා.”

“දැන් අර මංකොල්ල කාපූ බඩු ලැබුනාද?”

“නැහැ. මේ කණ්ඩායමේ දැනට ඉතුරුවෙලා ඉන්නේ එක්කෙනයි. මිනිහත් අතුරුදහන් වෙලා ඉන්නේ . අපි විශ්වාස කරනවා මිනිහා ජීවතුන් අතර ඉදිවි කියලා.”

“එතකොට අනිත් ඔක්කෝම මැරිලාද?”

“ඔව් ප්‍රොපෙසර්ගේ ශාපේ කතාව නම් දැන් මටත් හරියි කියලා හිතෙනවා. මේ කණ්ඩායමේ මංජු කියන හාදයා තමයි ඔය බඳුන තියාගෙන තියෙන්නේ. මිනිහාගේ අතින් තමයි රංග නිශාන්තයි චුට්ටා නොහොත් ගයාන් ප්‍රේමලාල්වයි මරලා තියෙන්නේ. තවම අපිට චුට්ටාගේ බොඩි එක ගොඩ ගන්න බැරිවුනා. මංජුයි කපිල කියන අනිත් හාදයයි තමයි අපේ වෙඩි ප්‍රහාරයෙන් මැරුනේ.” 

“ඒ කියන්නේ හොරු හතරදෙනෙක්ම මැරුනා. අයි ජි පි එන්නත් පුලුවනි, ඊට කලියෙන් මේ බඳුන පරික්ෂා කරන්න ගියොත් හොඳයි වාගේ.”

“එහෙනම් ඔයාලා ගිහිල්ලා පරික්ෂාකරන්න. එස් අයි කරුණාපාල මේ මහත්තුරු එක්කගෙන ගිහිල්ලා අර බඳුන පෙන්නලා එයාලට අවශ්‍යය කරන කටයුතු කරගන්න උදව් කරන්න.”

“එහෙනම් යමු.”


     එස් අයි කරුණාපාල ඔවුන්ව එහිවූ විශේෂිත ඇතුල් කාමරයක් වෙත රැගෙන ගියේය. කාමරයේ අගුල්ලා තිබුනු දොරහැර ඇතුල්වුනු ඔවුනට මේසයක් මත තැබූ ලී පෙට්ටියක් දකින්නට ලැබිණ. කරුණාපාල එම පෙට්ටිය විවර කළ අතර නාරද තම කලිසම් සාක්කුවෙන් ගත් තුනි රබර් අත්වැසුම් ජෝඩුව දෑතට පලදාගෙන ලෑස්තිවිය. සීරුවෙන් බඳුන දෑතට ගත් නාරද එය මේසය මත හිටවා තබා එහි ඛාදනයවූ පියන සහිත මුහුණ දෙස මඳක් බලා සිටියේය. එහිවූ අක්ෂර ඔහුගේ සියුම් නිරික්ෂණයට අසුවන්නට විනි. නාරද එම බඳුනේ දිග පළල ආදිය හා ඉතිරිව තිබෙන අක්ෂර විස්තර කරද්දී පියරත්න මහතා ඒවා පොතක ඇද සටහන් කරගත්තේය. මෙසේ ඔවුනගේ පරික්ෂණ කටයුතු කෙරීගෙන යද්දී එස් එස් පි මනෝජ් සමඟින් පොලිස්පති ලක්ෂ්මන් අතුකෝරාල කාමරයට ඇතුල් විය. නාරදගේ කටයුතුවලට උදව් කරමින් හුන් කරුණාපාල සෘජුව සිටගනිමින් පොලිස්පතිතුමාට ආචාරය දැක්විය. 

තම කරගෙන ආ වැඩය මඳකට නවතා පසෙකටවූ ඔවුන්ව මනෝජ් පොලිස්පතිතුමාට හඳුන්වාදුනි.

“සර් මේ ඉන්නේ ප්‍රොපෙසර් නාරද බණ්ඩාර. මේ එයාගේ නෝනා. එතකොට මේ ඉන්නේ ගාල්ලේ පුරාවිද්‍යා සංගමයේ සභාපතිතුමා.”

ඔවුන්ට සුහදශිලි සිනාවක් පෑ ඔහු අතට අතදී තම සුහදත්වය ප්‍රකාශ කළේය. 

“මම මේ තකහනියක්ම ආවේ ඔයාගේ වාර්තාව කියවලා මෙච්චර වටින බඳුන මොකක්ද කියලා බලන්නත් එක්කයි.”

ඉන් අනතුරුව ඔහු බඳුන තබා තිබූ කුඩා මේසය වටා වටයක් කැරකී එහි රූලක්ෂණ හොඳින් නිරීක්ෂණය කළේය.

“සර් බලන්න.” 

නාරද හා කුමාරි පසෙකට වී කියා සිටියෝය.

“නැහැ ඔයාලාගේ වැඩේ කරගෙන යන්න. මම පැත්තට වෙලා බලන්නම්.”

“අපේ වැඩ නම් දැන් ඉවරයි. අපිට හොඳ ක්ලීයර් පොටෝස් කිහිපයක් අරගන්න ඕනෙ එච්චරයි.”

“ඒ වැඩේ අපේ සි අයි ඩි පොටෝග්‍රැෆර්ලාට කියලා අරගෙන දෙන්නම්. වැඩේ ඉවර කරලා යන්න ඉස්සරවෙලා මාව හමුවෙලා යන්න.”

කී පොලිස්පතිතුමා කාමරයෙන් පිටත්ව ගියේය.

එස් එස් පී මනෝජ් නාරදගේ පරික්ෂණ කටයුතු අවසන් කළ පසුව ඔවුන්ව පොලිස්පතිතුමාගේ නිල කාමරය වෙත රැගෙන ගියේය. සුවපහසු අසුනක ප්‍රතාපවත් අයුරින් වාඩිවී සිටි ලක්ෂ්මන් අතුකෝරාල පොලිස්පතිතුමා නාරදලාට අසුන් ගන්නා ලෙස හස්තයෙන් පෙන්වීය. ඔහු අසළ තිබූ වැඩිය ප්‍රසිද්ධ නොවූ පුවත්පතක් රැගෙන නාරද වෙත දිගුකළේය.

“මේවා කොහොම පත්තර කාරයින්ට ඉව වැටෙනවාද දන්නේ නෑ. කොහොම වුනත් මේ බඳුනේ කතාවේ වැඩි විස්තරයක් මේ පත්තරකාරයෝ දන්නේ නැහැ. ඒත් මේ පත්තරේ බලලා අනෙක් පත්තරත් බඳුනේ විස්තර හොයන්න එයි.” 

“අපිට කරන්න තියෙන්නේ පත්තරවලින් ඔය විස්තර එළියට ඇදලා මිනිස්සු කලබල කරන්න කලියෙන් පුවත්පත් සාකච්ඡාවක් තියලා සත්‍ය කතාව එලිදරව් කරන එකයි.”

“එහෙම කරන්න ඕනේ මිස්ටර් පියරත්න. නමුත් මට දැනගන්න අවශ්‍යයි දැන් මේ ඔයාලා කියන ශාපයක් මේ බඳුනේ තියෙනවාද කියලා?”

“අපිට මේක විද්‍යාත්මකව නම් ඔප්පු කරන්න බැහැ. නමුත් දැනට වෙලා තියෙන මරණයන් දිහා බැලුවාම එහෙම ශාපයක් මේකේ ගැබ්වෙලා ඇතිය කියලා හිතන්න පුලුවන්.”

“අපිට ශාපයක් ගැන මහජනතාවට කියන්න බැහැ. එහෙම කිව්වොත් සමහර අවස්ථාවාදීන් මේ ශාපය උලුප්පලා පෙන්නලා ඒ අයගේ පටු අරමුණු වලට යොදාගන්න උත්සාහ කරන්න පුලුවන්. දන්නැද්ද සමහර විපක්ෂ කන්ඩායම් වල වැඩ එයාලා මේක රට කරවන ඇත්තන් ගේ වැඩ හින්දා ඇතිවෙච්චි ශාපයක් කියයි.” 

පොලිස්පති ලක්ෂ්මන් මද සිනහවක් පාමින් කීවේය.

“එහෙම නම් මේ බඳුනේ ශාපයක් ගැන මිනිස්සුන්ට හෙළි නොකර ඊජිප්තුවේ පාරාවන්ට අයත්ව තිබුනු පැරණි බඳුනක් මුහුදෙන් සොයාගත්තා විතරක් කියමු.”

නාරද තම අදහස පොලිස්පතිට පැවසීය. ඒ එක්කම මේසය මතවූ දුරකථනය නාදවන්ට වූයෙන් ලක්ෂ්මන් අතුකෝරාල ඇමතුමට පිළිතුරුදුනි. දුරකථනයේ අනෙක් කෙලවරෙන් අමතන්නා විශේෂ පුද්ගලයෙකු බවත් ඔහු අසන්නේ බඳුන ගැන බවත් නාරදට වැටහුනි. ඇමතුමෙන් පසුව යලිත් නාරද දෙස විශේෂ බැල්මක් හෙලීය.

“දැන් මට කතාකලේ ජාතික හෙළ උරුමයන් පිළිබඳ අමාත්‍යශයේ ලේකම්තුමා. එයා ප්‍රොපෙසර්ගේ රිපෝට් එක කියවලා විතරක් නෙමෙයි අර පත්තරේත් බලලා. සමහරවිට ඇමතිතුමාත් හෙට අනිද්දාට ප්‍රොපෙසර්ව මුණගැහෙන්න අවශ්‍යයි කියයි. කෝකටත් මම අපේ අමාත්‍යංශයටත් දන්වලා එහෙන් අවසර අරගෙනම පුවත්පත් සාකච්ඡාවක් තියන්න ලැස්තිකරන එක හොඳයි.”

“එහෙම සාකච්ඡාවක් තියෙනවා නම් මම මගේ උපරිම සහයෝගය දෙන්නම්.”

නාරද පොලිස්පතිතුමාගෙන් සමුගන්නා අතරතුරේදි පැවසීය.

පොලිස්පති ලක්ෂ්මන් අතුකෝරාල පැවසු අයුරින්ම එදින සවස් කාලයේදි ජාතික හෙළ උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්ගෙන් නාරදට දුරකථන ඇමතුමක් ලැබීය.

“මම ජාතික හෙළ උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් සේනක දිසානායක. හෙට ප්‍රොපෙසර්ට එන්න පුලුවන් නේද බත්තරමුල්ලේ තියෙන අපේ අමාත්‍යංශයට?”

“එන්න නම් පුලුවන්, ඒත් මොකටද කියලා කිව්වා නම්.”

“ප්‍රොපෙසර් දන්නවානේ පොලීසියෙන් හොයාගත්තු බඳුන ගැන. ඒ බඳුන ගැන ඔබතුමා ලිව්ව රිපෝට් එක අපේ ගොර්ඩන් සිල්වා ඇමතිතුමා බලලා, එතුමාට අවශ්‍යය වුනා ප්‍රොපෙසර්ව දැක බලාගෙන ඔය කියන බඳුන ගැන වැඩි විස්තර දැනගන්න.” 

“හොඳයි මම එන්නම්. මට කියන්න එන්න අවශ්‍යය වේලාව?”

“හෙට උදේවරුවේ නමයට විතර පුලුවන්නම් හොඳයි.”

“හොඳයි මම ඒ වේලාවට එන්නම්.”


“මොකටද දන්නේ නැහැ ඔයාට එන්නයි කියන්නේ? දන්නවානේ මිනිහාගේ හැටි. ඔයා පරිස්සම් වෙන්න.”

නාරදට ලේකම්තුමාගෙන් ලැබුනු දුරකථන ඇමතුම ගැන ඇසූ කුමාරි කීවේය. 

“මම දන්නවා කුමාරි. එයාගේ අමාත්‍යංශයේ යටතටනේ වැටෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව. කුමාරි ඔයත් එනවද හෙට මේ ගමන යන්න.”   

“අපෝ ඔය ඇමතියා එක විදිහක එකෙක්. දන්නවානේ මිනිහා ගෑනුසොඬෙක් විත්තිය. ඒ නිසා මම ගෙදර ඉන්නම්. ඔයා පියරත්න මහත්තයා එක්ක යන්න.”

                                     මතුසම්බන්ධයි.......

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...