Monday, October 17, 2022

ලේගිරිස්

   


අල කොමසාරිස් ධුරන්දර ඩ්‍රැස්කියා මහත්තයා අල කොමසාරිස් තනතුරත් බාරගෙන සීතල  නුවරඑළීයේ පදිංචියට ගිය විත්තිය බ්ලොග් ලොවේ හැමෝම දන්නා කියන කාරනාවක් නේ. ඉතිං මේකා ඔය සීතල පැත්තේ ඉන්නකොට කාන්සිය පාලුව සීතල යන්නත් එක්ක මධ්‍යපාන ටිකක් අරන් අල බංගලාව සුද්ධ පවිත්‍ර කරන්න ආපු ලෙච්චිමී කෙනෙකුත් එක්ක අඩව්වක් එහෙම අල්ලන්න පුලුවන් කියලා අල කොමසාරිස් නෝනා නගාගේ හැදිමිටේ දිග මොළ පොඩියේ තඩි සිතුවිල්ලක් පහළවුනා. ඒ බරපතල සිතුවිල්ල නිසා මේ අලකොමාට තනිකඩ සීන් එකෙන් නුවරඑළියේ අල බස්සන්න හිතන් හිටපු එකටත් කෙළවුනා නේ බං. අන්තිමේදි නෝනා නගාගේ ආඥාවට යටත්ව එහෙට යනකොට නෝනයි පොඩි අලයයි විතරක් නොවේයි තමන්ගේ මහගෙදර උන්නු ලේගිරිසාවත් අඬගහන් අලුත් පලාතේ පදිංචියට ගියා. දැන් මේක කියවන ඔහෙලාත් බලයි කවුද මේ ලේගිරිස්? මොකටද ලේගිරිසාව අරන් යන්නේ කියලා. මේ ලේගිරිසා කියන්නේ අලකොමාගේ මහගෙදර ආවතේව කරන් හිටපු අලයා එක්ක පොඩිකාලේ ඉදන් හැදුන කොල්ලෙක්. මේ ලේගිරිසා අලයාගේ මුත්තාගෙන් ගෙදර වැඩට හිටපු හින්නිහාමිට සුලු අත්වැරදීමකින් සිදුවු අවකල් ක්‍රියාවක් හින්දා උත්පාදවුන එකියක් වුනු මැගිලියාට සෙල්ලං බාප්පාගේ සෙල්ලමකින් සිද්දවුනු පොඩි වැරද්දකින් මෙලොවට ආපු කොල්ලෙක්ලු. හොද නැඩයා උනත් ලේගිරිසාට පොඩි නුහුගුනයක් තිබ්බා. පොඩ්ඩක් මොඩ පහේ ගතියත් ඉක්මනින් පනින මල අතට ගැනිල්ලත් උගේ ගතිය උනා. දන්නවානේ ලේ ඥාතිගෙන් ලැබෙන දරුවන්ට ඇතිවන ලෙඩ. 


අල බැහැලාද එහෙම බලන්න විසිට් දාන දවස්වලට අල කොමා ගේ ටිකිරිස් වැඩවල ඔත්තු බලන්න එහෙම විස්වාසවන්ත ලේගිරිසාවත් එක්කගෙන ගියා. ලේගිරිසා අල කොමා එක්ක රාජකාරි ගියාම අලකොම් නගාගේ තනියත් වැඩිවුනා. කොහොම නමුත් අල කොමා ලේගිරිසාව ගෙදර නගා එක්ක තනියෙන් තිබ්බේ නෑ. මිනිහා දන්නවා නෙව ලේගිරිසාට තියෙන්නේත් වල් මුත්තාගෙත් සෙල්ලං බාප්පාගෙත් ලේ කියලා.  ලේගිරිසාට වඩා ගෑනු කෙනෙක් ගෙදර ඉන්න එක හොදයි කියලා අලකොමා හිතුවේ ඔය අතරේදි තමයි. අන්තිමේදි අලකොමා ගෙදර වැඩටත් නගා ගේ ඉවුම් පිහුම් වලට අත්උදව් දෙන්නත් පොඩි අලයාගේ තනියට සෙල්ලම් කරන්නත්  ආගරපතන පැත්තෙන් කමලානි එක්කගෙන ආව.

 

එනකොට ගිංතොට තුනිලෑලී කම්මලේ පිට පලු කෑල්ලක් වාගේ ආපු කමලානි කෙල්ලත් අලකොමසාරිස් බංගලාවේ සැප කෑම ටික අල්ලලා ගිහිල්ලා හොදට ආරලා මොරලා ආවා. අලකොමා ගේ සැපත් අල්ලලා ගියාද මන්දා.  කමලානිගේ තෙල් බේරෙන හැඩ කඳ දැක්කාම අලකොමා තොලකට ලෙවකාලා කෙළ පෙරෙන්න ගන්නවා. ඒක නෝනා නගා ටත් පොඩ්ඩක් විතර නොන්ඩි වෙලාත් තිබුනා.  ඔහේලා දන්නවානේ අපේ අලකොමා කොහෙමත් කොබා නේ.  

ඔහොම ටික කාලෙකට පස්සේ අල කොමාට කමලානිගෙන් නිදහස් වෙන්න හිතුනා. මිනිහා මුට්ටිය නොකඩා බෙල්ලත් නොකපා වැඩේ කරගන්නේ කොහොමද කියලා හිතුවා. දන්නවනේ මිනිහා කට්ටයා නෙව. අලකොමාම ලේගිරිසාගේ ඔලුවට කමලානි ගැන අනම් මනම් දාලා ලේගිරිසාටත් කමලානි ගැන පොඩි මෙව්වා එකක්  හැදුනා. දවසක් රෑ පානේ ඇදේ දපලා ඉන්නැද්දි කමලානිට ලේගිරිසාව ජෝඩුකරන යෝජනාව නෝනා නගා ට අලකොමා කිව්වා.

"ලේගිරිසාට දැන්ම කසාදයක් කරලා දෙන්න ඔනේ. දවසක් දෙකක් මිනිහා මම නයිටියක් ඇදන් හිටපු දිහා මහ වනචර බැල්මක් දැම්මා."
"ඒක තමයි මම ලේගිරිසාට ඉක්මනින්ම බන්දලා දෙන්න හදන්නේ. ලේගිරිසාව සුවර් නෑනේ."  
"අපොයි මම දන්නේ නැද්ද ඔයාගේ හැටියෙන්ම කියතෑකි නේ පරම්පරාවේ අයගේ හැටි. ඔයත් කමලානි දිහා බලනවා වැඩියි කියලත් මට හිතෙනවා.
මිනිහානම් කමලානිට කැමති පාටයි. එත් කමලානි ඔය මෝඩයාට කැමති වෙයිද?"
අලයා කතන්දරේ වෙන පැත්තකට හැරෙව්වා.
"කොහොම හරි කැමති කරවාගමු.
අපේ ගනේමුල්ලේ මුත්තාගේ ඕවිටි කෑල්ලෙන් පර්චස් 20 ක් මුගේ අම්මාට ලියලා දෙනවා කියලා තමයි ඒ දවස් වල හිටියේ. මැගිලින් මැරුණ හින්දා ඒක දෙන්න බැරිවුන එකේ ලේගිරිසාට ඒක ලියලා දෙනවා කියමු. උන්ටත් කලක් යන්න එපැයි නේ."
"ඔයාට පිස්සුද අනේ 20ක් දෙන්නේ දහයක් දෙනවා කියමු."
කොහොමින් කොහොම නෝනාත් අලකොමාත් කමලානිට ලේගිරිසා ගැන කිව්වා. මුලදි අකමැතිවුන කමලානියත් පස්සේ කල්පනා කරලා බැලුවා. යන එන මං නැතිවුන ආගරපතනේ කමලානිටත් කොළඹට කිට්ටුවෙන් ගෙයක් දොරක් හදාගන්නට ඉඩං කෑල්ලක් ලැබෙනවා කියන්නෙත් ලොකු දෙයක් නේ. අන්තිමේදි ඒකි ලේගිරිසාට කැමැත්ත දුන්නා. වැඩට හිටිය එකා වුනත් පොඩි කාලේ ඉදන් එකට හැදුන එකා වෙච්චි ලේගිරිසාට කසාදයත් හොදට කරලා දෙන්න අලකොමාත් හිතුවා. 

ලේගිරිසා මුලින් කැමතිවෙලා උන්නත් පස්සේ මගුලක් ගන්නවාට කැමතිවුනේ නෑ. කමලානිත් බැලුවා මේ මොකද මේ මිනිහාට උනේ කියලා. බැලින්නම් මලපොතේ අකුරක් නොදන්න ලේගිරිසා කසාද සහතිකේට අත්සන් කරන්න බැරි හින්දයි මේ පස්ස ගහන්නේ. අකුරු සෑස්තරේ ටිකක් දන්නා කමලානිත් ගේම අතහැරියේ නෑ. ලේගිරිසාට ලේගිරිස් කියලා අත්සන ලියන්න ඉගැන්නුවා. ගොන් අලියාවාගේ උන්නාට අපේ ලේගිරිසා දවස් ගානක් අමාරුවෙන් අමාරුවෙන් නම ලියාගන්න පුලුවන්වුනා.

මගුලට අරාධනා කරන්න නෑ සනුහරයක් නැති ලේගිරිසාගේ පොඩියට ගන්නා උත්සවයට අපේ බ්ලොග් කාරයෝ කිහිප දෙනෙක්ටත් අල කොමි මහතැන් උත්සවයට ආරාධනා කළා. අශ්ඨක කියන්න අපේ නිදි ලොක්කාට කිව්වාම එයා එයාගේ මිත්‍ර පන්සල් සීයා දේවාල මාමාට වැඩෙි පැවරුවා. පස්සේ මගුල් පොරුගහලා කරන මගුලක් ගන්නේ නැතිව රෙජිස්ටර් වැඩේ විතරක් කරන්න කියලා නෝනා නගා ගේ බලවත් ඉල්ලීම උඩ පොරු නැග්ගීම කැන්සල් කෙරුවා. ලේගිරිසාගේ පැත්තෙන් සාක්කියට අත්සන් තියන්න වැටමාර අධිපති ප්‍රාජේ මහත්තයාටත් කමලානිගේ පැත්තෙන් අත්සන් කරන්න දෙමළ නයන්නා ප්‍රසන්නයාත් කැමතිවුනා.
සුන්දර නුවරඑළියේ වැසිබර කාළගුණයක් තිබුන දවසක ඔන්න මගුල් උත්සවය ඇරඹුනා. නමියාගේ විදියේ නමියා හිටු කියලා පරණ තඩි කැමරා කටුවකින් පොටෝ කෑලි අල්ලනවා. පස්සේ තමයි අපි දන්නේ මේකා උස්සන් ඇවිත් තියෙන්නේ අර ආදිකාලේ රීල් දමන පොටෝ යන්තරයක් නෙව. හොදම වැඩේ කියන්නේ කොච්චර පොටෝ කෑලි ඇල්ලුවත් මේකා ඒකට රීල් එකක්වත් දාලා නොවෙයි ඉදලා තියෙන්නේ. සීතල යන්න එක්ක පොඩියට පොඩ්ඩක් වැඩියෙන් හීනියට එකක් අරගත්තු නිදි ලොක්කාගේ අතිජාත මිත්‍ර නෙවිල් ගොයියා ආහාර කෙසේවෙතත් පාන ගැන සොයා බලනවා. පරණ සැටියක් තියලා එකේ පිටිපස්සෙන් අල වැල් ටිකක් එල්ලලා බැලුන් බෝල ටිකක් පුම්බලා ගහලා සෙටිබැක් එකක් හදලා දුන්නේ කොළොම්පුරයා තමයි. කාලෙකට පස්සේ ලංකාවට සැපත්වුනු කොළඹ ගමයා මහත්තයාත් ඇවිල්ලා හිටියා. කොළඹ ගමයා ලංකාවට එනවා කියලා වෙලාසනින් දන්නවා නම් දෙමළ නයන්නව කපලා සාක්කියට අත්සන් කරන්න දමන්න තිබුනානේ කියලා හිතුන අලයා විස්සෝප වෙන්න ගත්තා.

අලකොමසාරිස් මහතැන්ගේ පරණ කෝට් බෑයක් අමාරුවෙන් ඇගට රිංගවාගත්තු මනමාල ලේගිරිසා හිටියේ මරන්න ගෙනියන හරකෙක් ගානට බයවෙලා. නෝනා නගා එයාගේ පරණ සාරියක් කමලානිට අන්දවලා මේකප් පාරක් දාලා දුන්නා. හැබැයි මනමාලිට අඩුවෙන් මේකප් කරලා වැඩියෙන් ලස්සනවුනේ නෝනා නගා තමයි.

විවාහ ලේකම් මහත්තයාත් වේලාව අල්ලලා ආවා.එයා ඉක්මණට රෙජිස්ටරේ කරන්න සුදානම් කරපු රවුම් මේස පොඩ්ඩේ අර මහදැන මුත්තාගේ පොත වාගේ විසාල පොත දිග ඇරගත්තා. මනමාලි කමලානිත් මනමාල ලේගිරිසාත් පුටුදෙකේ ඉන්දුවා. දෙපැතේතෙන් සාක්කියට අත්සන් ගහන වැටමාර ලොක්කාත් දෙමල නයාත් හිටගත්තා. ලේගිරිසා අමාරුවෙන් ලැජ්ජාවට වාගේ ඇඹරුනා. ඔන්න  දෙන්නාව හිටවලා පොරොන්දුවත් විවාහ සහතිකේට අත්සන් ගහන වැඩෙත් ආවා. බොහෝම කලබල වෙලා උන්නු ලේගිරිසා ලෙගිරිස් කියලා අත්සන ගහන තැන ලිව්වා.
"අනේ ඉක්මනට ලේ යන්න කරන්න ලේ යන්න කරන්න."
ඒක දැකපු කමලානි කලබලවෙලා හිමිහිට ලේගිරිසාට කිව්වා.
"මොකෑ.. ලේ යන්න කරන්න?
හරි බං එව්වා කරන්නේ රෑටනේ මෙච්චර දවසක් නැති හදිසියක් දැන් මොකද? පොඩ්ඩක් ඉවසලා හිටාං රෑවෙනකම්."
ලේගිරිසා කිව එක රෙජිස්ට්‍රාර් ලොක්කාටත් වැටාධිපතිටත් ඇහුනා.  මේකට කමලානි ගොඩාක් ලැජ්ජා උනා. රෙජිස්ටර් වැඩෙන් පස්සේ කමලානි අප්සෙට් එකෙන් ඉන්නවා දැකපු අලකොමා  නෝනා නගාට හොරෙන් ඒකි ලඟට ලංවුනා.
"ඇයි බං මෙච්චර හොඳ දවසේ අප්සෙට් එකෙන් ඉන්නේ? උබට දුකද මාව දාලායන්න?"
"නෑ මහත්තයා මම අත්සන් කරද්දී ලේගිරිස්ට ලේ යන්න කරන්න කිව්වා."
"ඈ ලේ යන්න? ඇයි බං උඹ දැක්කේ නැද්ද නෝනා හිටපු නැති රෑනේ මම උඹට ලේ යන්න කලේ."
"ආ එදාද? ඒ ලේ ගියේ මහත්තයාගේ කරගැටයක් කැඩුනු හින්දා නේ."

අල කොමා කමලානිගේ කතාවෙන් කුණුවෙච්චි අලයක්වාගේ ඇඹරිලා ගියා නෙව.  


Wednesday, August 24, 2022

ස්ටේෂන් පෙන්නීම


   

ඔන්න කොළොම්පුරයාගේ හිතාදර ගුරුජී අන්දුබයියාගේ විර වික්‍රම ඇඟපත සුලලිත වෙලා කිලිපොලා යන අති සුන්දර කතන්දරයක් අරන් ආවා.
ඔන්න එක්තරා සෙනසුරාදා දිනයක කොළොම්පුරයාගේ ඔපිසියට අසුබදායි සුබ ආරංචියක් ආවා. ඒ කොළොම්පුරයා රාජකාරිකොරන ආයතනයේ හා අංශයේ  GM ලොක්කෙකුගේ පියානන් කළුරිය කළ විත්තිය. දන්නවානේ කට්ටියට මළගෙදරකට යෑම කියන්නේ ට්‍රිපක් ගියාසේ තමයි. අනික කාගේ මළගෙදරකට නොගියත් මේ මළගෙදරට සහභාගිවෙන්නම ඕනේ. මොකද කොළොම්පුරයාත් එම GM යටතේ ඇති අංශයේ වැඩ රාජකාරිකරන උදවිය හින්දා. කොළොම්පුරයාගේ ඔපිසියේ දෙවැනි බොසාගේ පදිංචිය නුවර. එයාට නුවර ඉදන් දිනපතා කොළොම්පුරයට එන්න යන්න බැරි නිසා බෝඩිමක තමයි නතරවෙලා උන්නේ. මේ කියන කාලේ අපේ දෙවැනි බොසාට තිබුනා ටවුන්එස් වෑන් රථයක්. ඒකෙන් සති අන්තයට නුවර ගොහින් ආපහු සදුදා උදේම කුකුලත් අතින් අරන් සෙකංඩගලින් සල්පිටි කෝරලේ ගෙන්දගම්පොළාවට නැත්නම් කොළොම්පුරයට මංගච්චනවා. එයාත් ලෑස්තිවුනේ සෙනසුරාදා දිනයක්වුන හින්දා මළගෙදරට සහභාගිවෙලා ඒගමන්ම ගෙදර යන්න පුලුවන් නිසයි. අපිත් එයාගේ වෑන් රථයෙන්ම කුරුණෑගල යන්නයි දැන් ලෑස්තිය. ලොකු බොසා තියෙන වැඩ ටිකත් ඉවරකරගෙන හවස්වෙලා එන විත්තියක් කිව්වා. එයත් එක්ක එන්න එයාට මුට්ටි අල්ලන කිහිප දෙනෙක් නතරවුනා. අපි කට්ටිය දවල්ට කාලා එහෙම වෑන් රථයට ගොඩවැදුනා. 
       කොහොමත් බීමට ලැදි අන්දුබයියා පෑලියගොඩට එන්නත් පෙරම කොළොම්පුරයා ඇතුලු කිහිප දෙනාට කොදුරන්න ගත්තා. ඒ ඉතිං මළගෙදරට යන්න ඉස්සර මේ සොකජනක අවස්තාව සමරන්න. මේ වැඩේ නොකෙරුවෙත් අන්දුබයියාගෙන් බේරිලා ආපහු ඔපිස් එකේ වැඩකරලා හමාරයි. අපිත් අනුමැතිය දීලා අහවරවෙලා බොසාට කියලා දැල් කඩයක් අසළ නවත්වාගත්තගෙන දැල් කඩේ ලඟට ගිහින් සම්මාදම්ක් දැම්මා. එත් ඉතිං අන්දුබයියා සාක්කුවට අත දැම්මාට අත එළියට එන්නෙත් නෑ සල්ලි එන්නෙත් නෑ. අපේ අන්දුබයියා කවදාවකත් මුදල් පසුම්බියක් නැතිනම් පර්ස් එකක් පාවිච්චි කරන්නේ නෑ. අත දැම්මාම එළියට ආපහු නොඑන හින්දා අන්දුබයියාට තියෙන්නේ රබර් සාක්කුයි කියලයි සමහරුන් එහෙම කියන්නේ. කොළොම්පුරයා නම් එහෙම කියලා නෑ ඔහේලා පල්ලා සත්තයි. අන්දු බයියාගේ සාක්කුවට ගිය අත එහෙමම තියෙද්දී වැඩිපුර සල්ලිය බාගේ තියෙන උන්ගේ අනුග්‍රහයෙන් බියර් කෑන් කිහියක් වෑන් රථයට වැඩැම්මෙව්වා. ගෙනාපු හැටියේම කෑන් එකක් කඩාගෙන චියර්ස් නොකියාම ඇදලා ඇරිය අන්දු බයියා ඉදලා තියෙන්නේ මාර තිබහකින් කියලා දුකකුත් ඇතිවුනා. GM ලොක්කා හින්දා වැඩිය ගසලා මළගෙදරට යන්නත් බෑ. අන්තිමේදි යන්නතම් සන්තම් ප්‍රමාණයකින් අපිට සැනසෙන්නට උනත් අන්දුබයියා අපේ ඒවාටත් වග කිව්වා නෙව. කුරුණෑගල නගරය පහුකරන් අනුරාධපුර පාරේ මාස්පොතට ගිහින්  මළ ගෙදරටත් සෙන්දුවුනා. අපේ කට්ටිය කදුක්මුසු මුහුණක් දාගෙන මළගෙදරටත් ගොඩවෙලා GM ලොක්කාටත් ආචාරකෙරුවා. ගෙදරින් එළියට ඇවිත් ප්ලාස්ටික් පුටු ටිකක වාඩිවුන සෙට් එක උන්නේ කතා කරන්න මාතෘකාවක් නැතිවයි. GM ලොක්කාත් අපේ උදවිය ලඟට ඇවිත් කතාවකට මුලපිරුවා. ලොක්කාට වැඩිය මුහුණ දෙන්න බැරි හින්දා අන්දුබයියා කොළොම්පුරයාවත් අඩගහගෙන ගේට්ටුව පැත්තට ගියා.
"ඇයි අන්දුබයියේ මෙහෙට ආවේ? අතන උන්නා නම් මාරි එකක් කාලා නෙස්කැෆේ එකක් බෙන්න තිබ්බා නේ."
"බම්බු නෙස්කැෆේ යකෝ අතන හිටියා නම් GM ගේ කතාවට සෙට් වෙන්න වෙනවානේ."
"ඉතිං මොකෝ?"
"මොකෝ තමයි ඇයි උකන්නෝ අපි බීලා කියලා ඌට දැනෙනවානේ."
අන්දුබයියා බීලා හිටියත් මාර මිටරයකින් නෙව ඉදලා තියෙන්නේ.  

        පාරට ආපු අපි ට කරන්න දෙයකුත් නෑ දෙන්නා එක්ක එහා වත්තේ පොල් ගස්වල පොල්වලූ ගනිනවා ඇරෙන්න. ඒ අස්සේ අපේ පියන් කොලුවාත් දෙවැනි බොසාගේ වෑන් එකෙන් බාගත්තු ශොකාප්‍රකාශ බැනර් මිටියක් උස්සාගෙන එතනට කඩාවැටුනේ නැතැ.

"අන්දුබයියා මහත්තයා මේ බැනර් ටික මේ පේන හරියකින් එල්ලන්න කියලා බොස් මහත්තයා කිව්වා."
"කිව්වා නම් උඹම එල්ලා ගනිං. මේ ඇදුම් පිටින් උඹ කියන්නේ අපිට ගස් බඩගාන්න කියලාද?"
අන්දුබයියා කොලුවාට කඩාගෙන පැන්නා. ඌත් අන්දුබයියාට බයවෙච්චි පාර බැනර් මිටියත් එතැන අතහැරලා මළගෙදර දිහාට දිව්වා. ටික වේලාවකින් මෙන්න අපේ දෙවැනි බොසාත් අපි දිහාට ආවේ අනෙක් උන් දෙන්නාවත් අරගෙනයි.

"අන්දුබයියා මේ බැනර් ටික එල්ලන්න හොද තැනක් කියන්න කෝ."
"මෙව්වා එල්ලන්න කෝ ලණු? කට්ටියට දෙන්නා දෙන්නා දෙපැත්තෙන් අල්ලාගෙන තමයි ඉන්න වෙන්නේ."
"හරි මම ලණු ගෙනත් දෙන්නම් ඔයා මළගෙදරට එන අයට පේන තැනක් බලලා තියන්නකෝ."
අන්දුබයියාගේ හැටි දන්නා දෙවැනි බොසා එහෙම කියලා පියන් කොලුවක් අරන් කඩයක් හොයාගෙන පාර පැත්තට ගියා.

"ගනිං අන්දුබයියේ ඔය බැනර් එකක් මෙන්න මෙතන එල්ලන්න."
"පකෝ ඔතැන හරියන්නේ නෑ. පාරට පෙන්නේ නෑ. මෙන්න මෙතැන උඩින් එල්ලාපං."
කොහු ලණු ගෙනාවට පස්සේ අපිත් මිනිහාට මුල් තැන දිගෙන බැනර් ටිකත් එල්ලා අහවර කළා. දැන් හවස පහටත් කිට්ටුකරලා අපේ ලොකු බොසා තාමත් නෑ.  ලොක්කා එක්ක එන්න හිතාගෙන නතරවුනු එකෙක් අපිට කොල් එකක් අරන් කියපි තාමත් බොසා එක්ක ඔපිස් එකේ ඉන්නේ පොඩි වැඩක් ඉවරකරලාම යනවා කිවිවා කියලා.  මිනිහාත් එක්ක එන්න හිටියා නම් අපිටත් වෙන්නේ මළගෙදර නයිට් එකක් අදින්න. අන්දුබයියා බැලුවේ ලොකු බොසා ආවානම් එයාගේ වාහනේ ආපහු කොළඹ එන්නයි. දැන් ඒකත් හබක්. කොළඹට එන්න ඉන්නේ කොළොම්පුරයයි අන්දුබයියායි විතරයි. පියන් කොලුවාත් ලොකු බොසා ආවාම එන්නම් කියලා මළගෙදරට සපෝට් එකටත් එක්ක නතරවුනා.

"බොසා එනකම් ඉන්නේ නැත්නම් උඹලාව කුරුණෑගල ටවුමෙන් දාන් යන්නම්. " 
මළගෙදරට ආයුබොවන් කියලා දෙවැනි බොසා නුවර යන්න ලෑස්තිවෙනගමන් කීවා. ඔන්න ඔහේ කියලා වෑන් එකට ගොඩවුන අපි දෙන්නාවත් කුරුණෑගල ටවුමෙන් හලාගෙන දෙවැනි බොසා ඉගිල්ලුනා.

"ඒයි අන්දුබයියේ කොහේද මේ යන්නේ? මේ බස් ස්ටෑන්ඩ් එක පැත්තට නොවෙයි නේද?"
"බජ්ජහුරස් බං මං මේ පොඩි පොට් එකක් හොයනවා."
"අයියෝ අර මළගෙදරින් දාලා එන්නයි නේ තිබුනේ."
"ඔය ලැට් හොයන් ගෙවල් අස්සේ රිංගන්න බෑ."
"හොයන්න බැරිනම් GM ලොක්කාගේ ගෙදරට එහා පැත්තේ පොල්වත්තට ගියානම් නිදහසේ හුළං වැදීගෙනම කරන්න තිබුනා නේ."
"මේ උඹ පොඩ්ඩක් හිටපං කෑගහන්නේ නැතිව."
මිනිහා රිචඩ් පොත් සාප්පුව පැත්තට පිස්සුවෙන් වාගේ ඇවිදන් යනවා.
"මේ මිනිස්සු ඉන්න අස්සේ කොහේද ලොක්කා තාප්ප? හොටලයකට ගිහිල්ලා දැම්මා නම් ඉවරයිනේ."
අන්දුබයියා ගාල කඩාගත්තු මී හරකාවාගේ හයියෙන් හයියෙන් පාර දිගේ ඇවිදින්න ගත්තා. කොළොම්පුරයාත් මිනිහා පස්සේ දුවනවා. අන්තිමේදි පොත් සාප්පුව ලඟ තිබුණ හදන කඩ කැල්ලක් අස්සට පැනලා අන්දුබයියාගේ බර හෑල්ලු කරගත්තා. කොළොම්පුරයා ඇගේ ලේ වතුරකරන් බලන් හිටියේ අනුන්ගේ කඩ කෑලි අස්සේ මුත්‍රා කරන එකාට නෙලන ජවනිකාවක සාක්කිකරුවෙක් වෙන්න ලැබෙන එකට.  

"ඒයි උඹට බඩගිනි නැද්ද?"
බජ්ජහුර හෑල්ලුකරන් කඩ කෑල්ල අස්සෙන් එළියට ආපු අන්දුබයියා ඇහැව්වා.
"බඩගිනියි තමයි කොහේද මාරි එකක් කාලා නෙස්කැෆේ බොන්න තිබුනු චාන්ස් එකත් නැති කළානේ."
"තෝ මාරියි නෙස්කැෆෙ බොන එක ගැනමයි ඈඩියාව. ඔච්චර මාරි කන්න පෙරේතද?"
"නෑ බිස්කට් කෑවානම් මෙහෙ හොටල් ගානේ රිංගන්න ඕනේ නැනේ. බියර් බීලා අතේ සල්ලිත් නෑ. බස්එකේ යන්න මදි වෙයිද මන්දා?"
"අනේ තොගේ සල්ලි. කොයි වෙලාවෙත් නෑ කියාගත්තු ගමන්. යකෝ සල්ලි තියෙන්නේ වියදම් කරන්න මිසක් පොදි ගහන්න නෙමෙයි."

අන්දුබයියා මංතුමාට බැන බැන කන්න හොටලයක් හොයන් එහෙට මෙහෙට කැරකෙනවා. අන්තිමේදි පැරකුම්බා විදියේ රන්සිළු හෝටලයට ගොඩවෙලා  අන්දුබයියාගේ ජාතික ආහාරය වුනු කොත්තුවක් අරන් දෙන්නාත් එක්ක බෙදාගෙන රසබැලුවා. අපරාදේ කියන්න බෑ කොන්තුවේ බිල ගෙව්වේ අන්දුබයියාම තමයි.  ප්ලෙන්ටි දෙකකුත් බීලා අහවරවෙලා දෙන්නාත් එක්ක ආයෙමත් පාරට වැටුනා. දැන් හවස හයටත් කිට්ටුවෙලා තාමත් කොළොම්පුරයා කුරුණෑගල ටවුමේ.
  
"මේ ලොක්කා අපිට කොච්චිය නැග්ගානම් ඉක්මණට කොළඹ යන්න තිබුනා. මෙහේ බස් එනකම් බලන් ඉන්නේ නැතිව ස්ටේෂමට යමුද? දැන් මේ වෙලාවට කොළඹට කොච්චියක් නැතිවෙන්න බෑ. ස්ටේෂම තියෙන තැන ඔයා දන්නවානේ?"

මගේ යෝජනාවට අන්දුබයියාත් කැමතිවුනා. දැන් දෙන්නාත් එක්ක ස්ටෙෂම බලා ගමනේ යෙදෙන්න ගත්තා. සියල්ල දන්න මිනිහා වගේ අන්දුබයියා යනවා යනවා නවතින පාටක් නෑ. ස්ටෙෂම මේ ලඟ ඇතියි හිතපු කොළොම්පුරයාත් අන්දුබයියා පස්සෙන් යනවා.
"මේ ලොක්කා ස්ටෙෂම තව දුරද?"
කිලොමිටරයක් විතර ඇවිදපු කොළොම්පුරයා ඇහැව්වා.
"නෑ මේ ලඟ."
කොළොම්පුරයාට ඉස්සරවෙලා ගිය අන්දුබයියා පාරේ ගිය මනුස්සයෙක්ගෙන් මොනවාදෝ අහලා ආයෙමත් ඇවිදින්න ගත්තා.
"ස්ටේෂම තියෙන තැනද ඇහැව්වේ?
නෑ මේ ලඟ ඉස්පිරිතාලයක් තියේනවාද ඇහැව්වා උඹව ඇඩ්මිඩ් කරන්න. කට වහන් වරෙන්."
තවත් කිලොමිටරයක් විතර ඇවිද්දාත් ස්ටේෂමක් තියා රේල් පාරක් වත් කොළොම්පුරයා දැක්කෙ නෑ. දැන් කුරුණෑගලට ඇඳිරියත් වැටිලා ඉවරයි තවම දෙන්නා ඇවිදිනවා.
"අන්දුබයියේ තව දුරද?"
"අර ලයිට් හරියේ."
මිනිහා ඈත තියෙන විදුලි බුබුලු ගොඩාක් දැල්වෙන හෝටලයක් පෙන්නුවා. ආපහු ඇවිදින්න ගත්තා. ඈතින් දැක්ක විදුලි බුබුලු තියෙන හොටල් කිහිපයකුත් පහුකරන් තවත් කිලෝමිටරයක් විතර ගියා එත් ස්ටේෂම නෑ. කොළොම්පුරයාට දැන් හොදටම මහන්සියි තොහෙට්ටුයි. ඒ අස්සේ සපත්තුවකින් කකුල කැපෙන්නත් අරගෙන.
"මේ ලොක්කා ඔයා දන්නවාද ස්ටේෂම තියෙන තැන. මේ යන්නේ හරි පාරේද? මෙහෙම ගියොත් කොළඹට ඇවිදින්න පුලුවන්වෙයි."  
මිනිහා කිසිම සද්දයක් දැන් නෑ. කතාකලත්  ඇහුනේ නැති ගානට අන්දුබයියා යනවා. මෙච්චර දුර ආපු එකේ ආයේ හැරිලා යන්නත් බෑ. දැන් කොහොම හරි ස්ටේෂමට ගිහින් කොළඹට යනවා යන දැඬි අධිෂ්ඨානයෙන්  කකුලත් නොන්ඩි ගසමින් කොළොම්පුරයාත් ඉදිරියට යනවා.
එන්න එන්නම අන්දුබයියා හා කොළොම්පුරයා අතර පරතරය වැඩිවෙලා ගිහින් කොළොම්පුරයාට වඩා මිටර් 150ක් විතර ඉදිරියෙන් අන්දුවා ඇවිදිනවා. දහඩියෙන් නෑවුනු කොළොම්පුරයාට මලේ උපරිම ඇවිල්ලා හිටියේ. මේ අතරේ ප්‍රධාන පාරෙන් හැරුනු අන්දුබයියා තවත් පාරක් ඔස්සේ යන්න ගත්තා. තවතා තිබූ තෙල් බවුසර් පෝලිමක් පසුකර ගියාට පස්සේ කුරුණෑගල තෙල් සංස්ථාවේ තොග ගබඩාවේ විශාල තෙල් ටැංකි කිහිපයකුත් කොළොම්පුරයාට දකින්න ලැබුනා. එතැන හිටිය කෙනෙකුගෙන් යමක් ඇසූ අන්දුබයියා කුඩා දෙවටක් අස්සෙන් රිංගුවා. ඔහු පස්සෙන් ගිය කොළොම්පුරයාට හැතැක්ම ගානක් ඇවිද ගිය පිනෙන් රේල් පාර දකින්න ලැබුනා. රේල් පාර දිගේ ආපස්සට ඇවිදආ පසුව කුරුණැගල දුම්රිය ස්ථානය දර්ශණය වුනේ ටවුමට වඩා ගොඩාක් ඈතින් ස්ටේෂම හදපු උන්ගේ මව්ගුණ සිහිකරමින්. නොන්ඩි ගසමින් ආපු කොළොම්පුරයා වඩා ඉදිරියෙන් හිටිය අන්දුබයියා ස්ටේෂමටත් ගොඩවෙලා අවසන්.

"ඒයි  කොළඹ කොච්චිය දැන් පැය භාගෙට කලින් ගිහිල්ලා ආයේ එකක් තියෙන්නේ රෑ එකලොහටලු."
එකේ හිටපු කාගෙන්දෝ අහලා අන්දුබයියා කිව්වා. කොළොම්පුරයාගේ ඉවසීමේ සිමාව පැන්නා.
"මේච්චර දුර මේ ස්ටේෂම තියෙනවා කියලා ඔයා දන්නේ නැද්ද?"
"නෑ මම දන්නවා."
"දන්නවා බම්බුව. දන්නවා නම් තොගේ ආච්චිගෙ අහවල් අවයවයකටද  මෙච්චර දුර පයින් ආවේ?"
"උඹනේ කිව්වේ කොච්චියේ යන්න ඕනේ කියලා ඉතිං මම ආවේ උඹට ස්ටේෂම තියෙන තැන පෙන්නන්න."
උපරිම කේන්තියෙන් හිටපු කොළොම්පුරයා අන්දුබයියාගේ හත්මුතු පාරම්පරාවේ අටවෙනියාව මතක් කර කර ආපහු ප්‍රධාන පාරට ඇවිත් කුරුණෑගල බසයක නැගලා ටවුමට ඇවිත් කොළඹ එන බසයකට ගොඩවුනා. දැන් මේක කියවන උන්නැහෑලාට පුලුවන්නම්  හත්මුතු  පරම්පරාවේ අටවෙනියා නම් කරලා අල කොමසාරිස් ඩ්‍රැස්කියා  හාමු මහත්තයාගේ  ඇන්ටික් පන්නයේ භාවිතයෙන් ඉවත්කරන ලද  මොටවූ උල්දත් යුගල දිනාගන්න.
අන්දුබයියා ඇවිදපු දුර

ගුගල් දෙයියාගේ සිතියම් පොජජෙන් බැලුවාම අන්දුබයියා කොළොම්පුරයාට කුරුණෑගල ස්ටේෂම පෙන්වන්න කිලෝමිටර් දෙකහාමාරක් පමණ  පයින් ඇවිද්දවලා තියේනවා.  අදටත් අන්දුබයියා පවසන්නේ එයා කුරුණෑගල  ස්ටේෂම තියෙන තැන දන්නා බවත් කොළොම්පුරයාව ඇවිද්දුවේ සරිර සවුක්කිය උදෙසා යහපත් පරමාර්ථයෙන් හා ස්ටේෂම තියෙන දුර පෙන්නීමට පමණක් බවයි.

අන්දුබයියාගේ ස්ටේෂන් පෙන්නීම මෙතැනින් නිමියේයැ.

.

Wednesday, August 10, 2022

කොළොම්පුරයාගේ සැවුල් අන්දරය


පාද යාත්‍රාවේ ගිහින් ආපු නිදි ලොක්කාගේ සැප දුක අසන්නට දුරකතන ඇමතුමක් දුන් කොළොම්පුරයාට ලියන්නේ නැද්දයි අසමින් සොඳුරු තගත් දැම්ම බැවින් කප්පරක් රාජකාරි වැඩවල එරිලා හෙම්බත්වි ඉන්න අතරේම මේක ලියන්නට පටන් ගත්තා. කියවන සුවහසක් කොළොම්පුරේ සහෘදයින් හැමෝම නිදි ලොක්කාට මේ පොස්ටුව වෙනුවෙන් ස්තුතිය පුද කරන්න ඔනේ.

         මේ පොස්ට් එකේ මාතෘකාව වෙන්නේ සැවුල් අන්දරය නෙවැ. දන්නේ නැති උන්නෑහැලාට දැන ගන්න කියන්නේ සැවුලා කියන්නේ කුකුලා හරිද? ඉස්සර ආදිකාලේ අපේ කවිකාර උත්තමයෝ එක එක කුරුල්ලන් අතේ දෙවියන්ට සංදේශ ඇරියා. එවාට කියන්නේ සංදේශ කාව්‍ය කියලා. සීතාවක රාජසිංහ රජුගේ කාලයේ අලගියවන්න මුකවැටිතුමාත් ලිව්වා නොවැ සැවොල් සංදේශය හෙවත් සැවුල් අස්න කියලා සංදේශ කාව්‍යක්. සීතාවක රාජසිංහ රජුට සෙත් පතලා සපරගමුවේ සමන් දේවාලයේ වැඩසිටිනා සුමන සමන් දෙවිදුට සැවුලෙක් අත මේ සංදේශය ලියා යැවීමයි පරමාර්ථය වුනේ. වැඩි විස්තර මෙන්න මෙතනට කොටලා මේ බ්ලොගයෙන් බලා ගන්න පුලුවනි. 

Coat of arms of Galle


                ඔහේලා දන්නවාද පෘතුග්‍රිසිකාරයෝ ගාල්ලට දුන් ලාංජනයේ ඉන්නේ ගලක් උඩ ඉන්න කුකුලෙක්. පෘතුග්‍රිසිකාරයෝ කුණාටුවකට අසුවෙලා ගාල්ලට ආවාම මුලින්ම දැක්කා කියන්නෙ කුකුලෙක්ලු. ඔය ගාලු කොටුවේ තියෙන සමහර ස්මාරක ගොඩනැගිලි වල කුකුල් සලකුණ තියෙනවා. පැට්‍රල් තියේනවා නං ගාල්ල කොටුවත් සමුද කෞතුකාගාරයත් දැක බලාගෙන සැවුල් සලකුණ බලාගෙන ආවානම් හොදයි නේද? අදටත් ගාල්ල මහනගර සභාවේ ලාංජනයේ කුකුලා ඉන්නවා. ගාල්ල නැතිනම් ගොල් "Galle" කියන නම හැදෙන්න ඇත්තෙත් ලතින් බාසාවෙන්  "Gallus" කුකුලාට කියන  නම හින්දා වෙන්නැති. 




ලංකාවේ ජාතික පක්සියා වෙන්නෙත් වලි කුකුලා . "Sri Lankan Jungle Fowl / Ceylon Jungle Fowl" වඳවෙමින් පවතින අපේ රටට පමණක් ආවේණි්ක ආරක්ෂිත සත්වයෙක් තමයි වලි කුකුලා කියන්නේ. 

 කවුද ඩෝ චන්ඩි.....වලියට බර නැති අහිංසක වලි කුකුලා


කුකුල් කෙටවිල්ල "Cock fighting"   ලොවේ පැරණිම ක්‍රිඩාවක්. දේශගවේෂක ෆ්‍රඩිනන්ට් මැගලන් පිලිපීනය සොයාගන්ද්දි පවා එහි කුකුල් කෙටවිල්ල තිබුනා කියවෙනවා. කුකුල් කෙටවිල්ල හෙවත් පොර කුකුල් ක්‍රීඩාව ලංකාවේ තහනම් ක්‍රීඩාවක් උනත් තාම හොර රහසේ මේ වැඩේ කොරනවා. සැවුල් ඉතිහාසය දැනට ඇති නේද? ඔන්න ආපහු කතන්දරේට යමු.

කොළොම්පුරයාට පොඩි ඇගේ අමාරුවක් ආවා කොළොම්පුරේ නාගරික ජිවිතයෙන් මිදෙන්න. නාගරික පරිසරයෙන් වැඩිය ඈතකට නොවි පොඩ්ඩක් ඈතට ගිහින් අලුත් නිවසකට ගෙවැදුනු හින්දා ඉඩකඩ ඇති වත්ත පිටියකුත් ලැබුනා. සකල කළා කම්මැලි කොළොම්පුරයාට වැඩත් ලැබුනා ඉදහිට දනක් උසට වැඩෙන තණකොල කපලා සුද්ද ප්‍රවිත්‍ර කරන්න එහෙම. ඒ ඉන්න අතරේ කොළොම්පුරයාගේ අකලට පහළ වෙච්චි මොළේට ආවා අපුරු අයිඩියාවක් ගෙදර ආරක්සාවට කෙසේවෙතත් බොරුවට හරි ගෙදර බල්ලෙක් ඉන්න ඔනේ කියලා බලු තඩියෙකුත් හදන්න. ඔන්න කොළොම්පුරයා ඔපිස් ආව වෙලාවේ ඉදන් අන්තර්ජාලේ සැරි සරන්නේ බලුපැටියෙක් හොයමින්. අන්තිමේදි කදානේ බලුපැටව් විකුණන්නෙක් ගෙන් අරන් ආපු බිගල් වර්ගයේ සුනඛයා ටෙරි නාමය පටබැදගෙන ගෙදර සාමාජිකයෙක් උනා. මිනිස්සු එක්ක උන්නත් බල්ලා බල්ලාමයි හින්දා උගේ බලුගතිය වැඩිවෙලා අහුවෙන අහුවෙන එක කාලා දාලා අන්තිමේදි කොළොම්පුරයාගේ පුතන්ඩියා බංචියාගේ ඇස්කන්නාඩි දෙකත් විකලා දැම්මා. උගේ නැට්ටෙන් අල්ලලා විසික් කරන්න තරම් කේන්තියක් ආවට කොළොම්පුරයාම කරගත්තු මෝඩකමක් හින්දා ඉවසාවදාරාගෙන ඉන්නවා වෙන මක්කරන්නද?
ලැජ්ජාවට හැංගිලා


රෑ එළි වෙද්දි ලිං කැනලා කුඹුරක් සේ හාලා තියෙන සුපියල් වලින්ම බර ගානක් වියදම් කරලා මැලේසියන් තණකොල පිඩැලි අල්ලපු මිදුල දකින කොට ඇතිවෙන්නේ පට්ටම දුකක්. දම්වැලක් ගෙනවිල්ලා බැදලා දම්මාම බඩ පැලෙන්න බත් කාලා ගෙරෙවා ගොරවා නිදා ගැනිල්ල තමයි ටෙරියාගේ රාජකාරිය. ඕනෑම දෙයක් හිතට අල්ලලා තියෙන්නේ ටික දවසයි නොවැ ඉතිං බලු සුරතල් දැන් ඉවරයි. යකඩෝ මෙන්න කොළොම්පුරයත් අර නිදහස් සිතුවිලි එකේ රවි ලොක්කා වාගේ පදුරු තලන්නත් අරන් නෙව. හා හා යමුකෝ ආපහු කතාවට....

           සල්ලි වියදම් කරලා එකෙන් වියදමවත් පියවාගන්නට බැරි අහක යන ගොන් වැඩකට අත දාන්න ලඟදි ඉදන් කොළොම්පුරයාගේ අහවල් එකේ ඉත්තෑවෝ දුවන්න ගත්තා. වත්තේ ඉඩකඩ තියෙන එකේ ගම්කිකිලියෙක් හැදුවොත් බිත්තරයක් වත් කන්න පුලුවන්නේ කියලා මංතුමාට හිතුනා. හිතුනොත් එක කරලා කෙලෝගන්න කම් ඉවසිල්ලක් නැති කම තමයි කොළොම්පුරයාගේ තියෙන එකම මෝඩකම. ඕං ආපහු අන්තර් ජාලෙන් ගම් කිකිලියන් ගැන හොයා බැලිල්ල තමයි පළමු රාජකාරිය කොරගත්තෙ. ඒ අතරේ කොළොම්පුරයාගේ රාජකාරි ස්ථානයේම උසස් නිලධාරියෙක් වෙච්චි පරණ යාලුවෙක් මුණ ගැහුනා. බැලින්නම් එයත් මිට පෙර කුකුල් ගොවිපොලක් කරපු කෙනෙක්. යාලුවා ඉන්නෙත් කොළොම්පුරයාගේ අලුත් නිවාසයට කිලෝමිටර් පහක් විතර ඈතින්. කොළොම්පුරයාගේ කුකුල් ආසාව ඇහුවා විතරයි ඔන්න යාලුවාගේ සැඟවුනු කුකුල් ඇතිකිරීමේ ආසාවත් ආපහු පණ ගැහිලා ආවා නොවැ. එදා ඉදන් දෙන්නාගේම වැඩේ ගම් කිකිලියන් සොයන එකයි. කිකිලියන් ගෙනාවට දාන්න කූඩුවක් තියෙන්නත් එපැයි. වැඩ රාජකාරි අස්සේ කොහෙන්ද කුකුල් කූඩු හොයන්නේ? ආවා මරු අයිඩියාවක් කොළොම්පුරායේ කාබාසිනියාකාර ලිං හාරන බලු ටෙරියාගේ බලු කූඩුව මේ වැඩේට හරියටම හරි යනවා. ඉතිං සිනිදු සියුමැලි හාඩ්වෙයාර් එකට දුවලා ගිහින් ගෙනාව කුකුල් දැල් මිටර් කිහිපයක් ගැහැවා වටේටම දැල්. දැන් බලු කූඩුව කුකුල් කූඩුවක් උනා. අනේ අසරණ ටෙරියාගේ නිවහන නැතිවුනා.   මේ අස්සේ මුහුණු පොතේ තිබිලා පානදුරේ මාලමුල්ලේ ගම්කිකිලියන් වගයක් විකුණන්න තියෙනවා කියන ඇඩ් එකක් යාලුවා දැක්කා. එදා හවසම දෙන්නත් එක්ක ඒකත් බලන්න ගියා. යන කොට කලුවරත් වැටිලා ඒ මදිවට ලයිටුත් නෑ. එතැන තිබුනා පළමු මුරය බිත්තර දමාපු කිකිලියන් 9ක් විකුණන්න. දෙන්නාත් එක්ක කතාවෙලා එකෙක් රුපියල් එක්දාස් පන්සියය ගානේ කොළොම්පුරයා කිකිලියන් තුනක් හා ඉතිරි හයදෙනා මිතුරාත් මිලදිගත්තා. ගෙදර ගෙනාවට පස්සේ කොළොම්පුරයාගේ රාජකාරිය තමයි උන්ගේ සැපදුක් බැලිල්ල. සතුන්ට ලැදියාවක් දක්වන කොළොම්පුරයාගේ පුතන්ඩියා බංචි කුකුල් වැඩේ ස්වෙච්චාවෙන්ම බාරගත්ත නිසා කොළොම්පුරයා ඒ වැඩෙන් නිදහස් වෙලා ගියා.
කිකිලියන් තුන්දෙනා

දාපු පළමු බිත්තරේ




 ගෙනල්ලා දවස් දෙකකට පස්සේ කලුපාට කිකිලි දැම්මා බිත්තරයක්. ඊට පස්සේ දවසක තවත් බිත්තර දෙකක් ලැබුනා. අනේ දවසක සවස කලු කිකිලියව බංචිට කුඩුවට දාන්න අමතකවිමෙන් ඌ අතුරුදහන් වෙලා. කොළොම්පුරයා වැඩ ඇරිලා ඇවිත් රෑ වෙනකම්ම කළු කිකිලිව හෙව්වා නමුත් ආයෙමත් ලැබුනේ නෑ.

 කිකිලියන්ට බිත්තර දාන්න කුකුලෙක් ඔනේ නැතිවුනත් කුකුලෙක් හිටියොත් බිත්තර දැමිල්ල වැඩි වෙනවා කියලා අර කුකුල් උපදේශක යාලුවා කිව්වා. දැන් දෙන්නා ආපහු කුකුලෙක් හොයනවා. ඔන්න පානදුරේ මාලමුල්ල පැත්තට වෙන්න කුකුල් ඇති කරන කෙනෙක් ගාව පැටවු ඉන්නවා කියලා යාලුවා සමගින් කොළොම්පුරයා පිටත්වුනා. එදත් එහෙට යද්දි කලුවර වැටිලා විදුලිය විසන්ධිවෙලා. කුඩු දෙකක හිටපු කිකිලි හා කුකුල් පැටවුන් දොලොස් දෙනෙක් සයිස් දෙකකින් ඉන්නවා. හැබැයි එකා දෙන්නා දෙන්නේ නෑ විකුණන්නේ ඔක්කෝම එකවරටයි. උන් ඔක්කෝම රුපියල් දහදාහයි. ඒ පාර දෙන්නා හය දෙනා බැගින් බෙදාගෙන උන් අරන් ආවා. තව බිත්තර දමන උන්ට දෙන හා පැටවුන්ට වැඩෙන කුකුල් කෑම කිලෝ පහ බැගින්ද වතුර දාන හා කෑම දාන භාජන දෙක බැගින්ද අරගත්තා. අරන් ආපු කිකිලි පැටවුන් පරණ කිකිලි දෙන්නා ඉන්න කුඩුවට දැම්ම ගමන් පටන් ගත්තා කොටන්න. උන් බේරෙන්න දුවනවා. හැංගෙන්න තැන් හොයනවා. රෑට විතරයි සාමකාමිව ඉන්නේ. ඊට පස්සේ දෙගොල්ලෝ වෙන් කළා. සතෙක් අරන් යයි කියලා එළියෙන් තියන්නත් බෑ නොවැ. 
                පහුවෙනිදාම ගියා ලී මඩුවට ගෙනාවා දෙකේ දෙකේ පොලු හා රිප්ප තොගයක්. සිනිදු සියුමැලි හාඩ්වෙයාර් එකෙන් ගෙනාවා අඩියක් රුපියල් 300 ගානේ ප්ලාස්ටික් කොටඩ් දැල් අඩි විසි පහකුත්. කපන්න කොටන්න ඇනගහන්න පටන් ගත්තා යුද්දේ. මේ අස්සේ විදුලිය කැපිල්ලත් ආවත් වැඩේ නතර නොකර විදුලි පන්දමක් දල්වාගෙනත් වැඩ ටිකත් කරගෙන ගියා. අන්තිමේදි අලුත් කූඩුව හදලා ඉවරවෙද්දී රාත්‍රි දොලහත් පහුවෙලා ඉවරයි. අලුත් කූඩුවත් බලුකූඩුවට වඩා ලස්සනට හා ඉඩකඩත් වැඩියෙන් හැදුනා. එත් බොලේ අලුත් කිකිලි පැටවුන් හය දෙනා දැම්මාමත් ලොකු තුන්දෙනා පොඩි තුන්දෙනාට කොටනවා අමර කෙටිල්ලක්. පස්සේ යාලුවෙයි කියලා තිබ්බත් උන් පොඩි සේට් එකට බරපතල විදිහට තුවාල කරලා. දැන් කොහේද මුන්ව දාන්නේ? බැරිම තැන උන් තුන්දෙනාව අරන් බෙටඩින් ගාලා එළියේ තියේන සේවක වැසිකිලියේ ඇතුලට දැම්මා. පහරදිම් වලින් බරපතල තුවාල ලබපු එක පැටියක් දින කිහිපයකින් නිවන් සුව සොයාගෙන යන්නම යන්න ගියා. 

ඉතිරිවුනු දෙන්නා


                      තව ඉරිදා දිනයක කොළොම්පුරයා විවේක සුවයෙන් ඉන්නා අතරේ කුකුල් උපදේශක යාලුවාගෙන් දුරකතන ඇමතුමක් ලැබුනා එළුවිල හංදියේ කඩයක කුකුල් නාම්බෝ වගයක් විකුනන්න ඉන්නවා ගන්නවා නම් ගිහින් එමුයි කිවිවා. ඔන්න කොළොම්පුරයාගේ ඉත්තෑවා ආයෙත් කුලප්පු වෙන්න ගත්තා. යාලුවා එක්ක ගිහින් රුපියල් දෙදහක් ගෙවලා කුකුල් නාම්බාවත් මොටෝසයිකලේ ගැටගහන් ගෙදර අරන් ආවා. දන්නවා නේ කොළොම්පුරයාගේ මොට්ට මොළේ තරම ගෙදර ගෙනාපු හැටියේම එළියේ උන්නු කිකිලියෝ දෙන්නා ගාවට කුකුල් නාම්බාව අත හැරියේ මෙන්න උඹලාට හස්බන්ඩෙක් අරන් ආවා කියලා. ටික වේලාවක් නිදැල්ලේ හිටපු නාම්බා බලන්න බංචි දුවගෙන ආවා විතරයි මෙන්න එක පාරටම ඌ කුඩුව උඩට පියඹලා ගියා. ඌව අල්ලන්න හදනකොටම අඩි දොලහක් විතර උස තාප්පෙට පියබලා ගිය කුකුල් නාම්බා පැන්නෙ නැද්ද අල්ලපු ගෙදරට. අඩි දොලහක් විතර උස තාප්ප බඩ ගාන්න බැරි කොළොම්පුරයා අල්ලපු ගෙදරට වටේ පාරෙන් යද්දි බංචිත් දුවගෙන ආවා. ඒ ගෙදරට ගිහින් අල්ලන් හදනකොට මෙන්න මේකා ඊට අල්ලපු ගෙදර වත්තට තාප්පේ උඩින් පියඹලා ගියා. දැන් මොකද කරන්නේ? ඒ ගෙදරට යන්න ඔනේ එහා පැත්තේ පාරෙන්. අනවසරෙන් තාප්ප උඩින් පනින්නත් බෑ නොවැ. ඔන්න දෙන්නා එක්ක ආයෙමත් වටයක් ගහලා ඒ ගෙදරටත් ගියත් මේ කැ% නාම්බා ආපහු පැන්නා ඉස්සෙල්ලා හිටපු වත්තට. ආයෙමත් වටයක් යන්න බැරිකමට අතපය විතරක් නොවේ බඩත් හුරාගෙන තාප්පෙන් පැන්නා ආයෙමත් අල්ලපු ගෙදරට. මේකා මංතුමා මෙහෙට ආපු ගමන් ආයෙමත් පැන්නා අල්ලපු වත්තට ගිහින් ඒ ගෙදර කොන්ක්‍රීට් ස්ලැබ් එක උඩටත් ඉගිලුනා. එතැන ගිහින් නිකං ඉන්නෙත් නැතිව කොචෝක් එකට හඬලන්නත් වුනා. දැන් කොළොම්පුරයා පැන්නා ආපහු ඒ වත්තට. දැන් ගෙවල් දෙකේ ඇන්ටිලා අංකල්ලා කොළොම්පුරයාගේ කුකුල් මෙහෙයුම නරඹනවා. බංචියත් බැරි බැරිගාතේ තාප්ප උඩින් පනිනවා. කුකුල් නාම්බා ඉගිලෙනවා කොළොම්පුරයා තාප්ප දිගේ අනුන්ගේ වතුවලට පනිනවා. කොළොම්පුරයා දවල්ට කාලත් නෑ බඩගින්න උපරිමේට ගිහින් දැන් මලේ මල පැනලා උන්නේ. රුපියල් දෙදහාට කෙලවුනත් කමක් නෑ උඹ පුලුවන් වේලාවක වරෙන්කෝ කියලා මංතුමා ගෙදර ගියා. ස්ලැබ් එක උඩට වෙලා හඬල හඬලා හිටපු කුකුල් නාම්බා කිකිලියන් හින්දා හවස්වෙලා ආපහු අපේ වත්තට බැස්සා විතරක් නොවේ කලුවර වෙද්දි කිකිලියෝ දෙන්නාත් එක්ක කුඩුවටත් රිංගුවා. යාන්තම් කෙළොම්පුරයාගේ සැවුල් මෙහෙයුම ඉවරකරගත්තා.
මේ ඉන්නේ කෑ%#  කුකුලා  

                     ඒ අස්සේ තවත් මිත්‍රයෙක් එයාගේ තාරා ජෝඩුවක් කොළොම්පුරයාට තෑගි කළා. කොළොම්පුරේ කියවන අය දන්නවානේ කොළොම්පුරයා නිකං දෙනවා නම් පිහි පාරක් උනත් බාරගන්න උත්තමයෙක් කියලා. ඉතිං තාරවන් ගෙනාවට පස්සේ තමයි ඊළග කේස් එක පත්තුවුනේ. මේකා කිනං තාරාවෙන් නොවෙයි අමුම අමු වලේ වල් තාරාවෙක්. මේකා කිකිලියන් පස්සේ පන්නගෙන ගිහිල්ලා උන්ට අතවර කරන්න ගත්තා. කුකුල් නාම්බා බලන් ඉන්නැද්දී මූ කිකිලියන් බලහත්කාරයෙන් දුෂණය කරන්න ගත්තා නොවැ. අන්තිමේදි බැරිම තැන තාරාවන් දෙන්නා ආපහු යාලුවාටම දීලා දැම්මා.

                එක ගම් කිකිලියක් අරන් ඇවිත් බිත්තර කන්න බලාගෙන හිතපු  කොළොම්පුරයා ගෙඩි සුපියල්ම තිස්දාහක් විතර වියදම් කරලා කූඩු හදලා  කිකිලියන් නමයකුයි (මියගිය  පැටවා හා අතුරුදහන්වූ කිකිලි ඇතුලුව) කුකුලෙකුයි  ගෙනාවා. මුලින් දාපු බිත්තර තුනට පස්සේ උන් තාම කිසිම බිත්තරයක් දැම්මේ නැත. කොළොම්පුරයා අතින් වියදම් කරමින් උන්ට කන්ඩ බොන්න දීලා කඩෙන් බිත්තර ගෙනවිත් කනවාය. බිත්තර දමන්නේ නැති එකට කුකුල් උපදේශක යාලුවා මේ ලඟදි ජීනියස් අයිඩියාවක් දුන්නා. ඒ කිකිලියන්ට බිත්තර දමන්නට අමතක වෙලා ඇති බැවින් බිත්තර මේ වාගේ කියලා හිතා ගන්නට කඩෙන් බිත්තර ටිකක් ගෙනවිත් කුඩුවේ ඇතුලින් තියන්නටය. අද හෙටම ඒ වැඩයත් කරලා බලන්නට කොළොම්පුරයා හිතා ගත්තා.

සැවුල් අන්දරය මෙතැනින් නිමියේය.          

Monday, July 11, 2022

අන්දුබයියාගේ මුදාහැරීම



             ඔන්න කාලේකට පස්සේ අන්දුබයියාගේ කතන්දරයක් අරන් කොළොම්පුරයා ආයෙත් කොළොම්පුරේට ගොඩබැස්සා. නැන්දාම්මාගේ දේපල ලියාගන්න මාරම ට්‍රයි එකක් දුන්න අපේ සිරිකුමාර මහත්තයා දන්නවා නේද? දන්නේ නැත්නම් මෙන්න මෙතනට කොටලා කාලේකට ඉස්සරින් ලිව්ව අභිරහස කතන්දරේ කියවා එන්නකෝ. හරි දැන් නොදන්න උදවිය කියවාලා එනකම් දන්න උදවියටයි මේ කතන්දරේ කියන්න යන්නේ.
අපේ සිරිකුමාර මහත්තයා නැන්දම්මාගේ සීන් එක ලීක්වුනාට පස්සේ ගෙදරටත් මේක පදිරිවුනා. දන්නවානේ අපේ මෑන් මොළකාරයානේ. මිනිස්සු තමන්ට කෙලවුනාම එල්ලෙන්නේ ධර්මයේ. අපේ මිනිහා ගෙදරටත් අනික් උන්ටත් හොඳ මිනිහා වෙන්න ධර්මය පැත්තට බැස්සා. ආන් දැන් උපාසක සිරිකුමාර වෙලා. මස් මාලු අනුභවයෙන් වැලකිලා  ඔපිසියේ මේසේ ලඟ බුදු පිලිමයක් තියලා පන්සිල් පද ඇතුලු පොස්ටරයක් එහෙමත් බිත්තියේ ගැහැව්වා. මේක කියවන ඔහේලා පල්ලා මේ සිරිකුමාරයා අපිත් එක්ක විසේසයෙන් අන්දුබයියා එක්කත් සෙට්වෙලා කරන අමෘතපානයත් අතැහැරියා. හැබැයි දවසක් මම දැක්කා දවසක සිරිකුමාර මහත්තයා මස්කඩේක ඉන්නවා.

"ඈ බං උඔ මස් මාලු කන්නේ නෑතිව වෙජිටේර්යන් වෙලා නේද ඉන්නේ?"
"ඔව්"
"එතකොට උඔ මොකටද අර හරක් මස්කඩේ උන්නෙ?"
"මම වෙජිටේරියන් උනාට ගෙදර උන් වෙජිටේරියන් වෙලා නෑ බං."
"ඉතිං උබේ ධර්මය කියලා දීලා ගෙදර අයත් වෙජිටේරියන් කරවන්න පුලුවන්නේ."
"පිස්සුද බං ඕවා මෙහෙට කිව්වාට ගෙදරට හරියන්නේ නෑ. උඹ හදන්නේ මට ඉන්න ගෙදරත් නැති කරන්නද? " 
ඇහැව්වාම මෙන්න මිනිහා දුන්න උත්තරේ.

               තව දවසක අපේ අන්දුබයියාට සිරිකුමාර මහත්තයා ධර්මය ගැන හොඳ දේශණාවක් දෙසනවා. අන්දුබයියාත් එකත්පසව දේශණාවට ඇහුන්කන් දෙනවා. මමත් කන්දීලා බැලුවාම මෙයා කියන්නේ මස් කෑමේ විපාකයි. වෙජිටේරියන් වෙලා සතෙකුගේ ජිවිතයක් මරණින් බේරා ගැනීම ගැනයි. සිරිකුමාර මහත්තයා දුන්නා දේසනාවක් මස්වලට මළ පෙරේත අන්දුබයියාත් එදා කොම්පැනියේ බුෆේ එකේ තිබුනු කුකුල් මස් ව්‍යාංජනයත් කන්නේ නැතිව අතහැරියා. ඒවුනාට පස්සේ දවසක කෑවා. මේ ධර්ම් දේශණාව ඇහුවාට පස්සේ අන්දුබයියාටත් හිතුනා සතෙකුට අභයදානයක් දෙන්න. හැබැයි තනියම මේ අභයදාන සීන් එකට තනියම බරපැන යෙදන්න මිනිහා කැමති නෑ. දන්නවානේ පොර මහ මසුරා කියලා. කරන පවක් තනියම නොකර කට්ටිය සෙට්කරගෙන කරන උන්දෑ මේ පිනටත් කට්ටිය සෙට්කරගන්නට හිතුවා. කොහෙන්දෝ ප්ලාස්ටික් කැටයක් අරන් ඇවිත් එයාගේ මේසේ ඉස්සරායින් තිබ්බේ ගවයෙක් මරණින් මුදවාගෙන අභයදානය දෙන පිංකැටය කියලා බොඩ් කෑල්ලකුත් එහෙම ගහලයි. මුලින්ම කැටේට රුපියල් සීයයක් එහෙම දාලා අපි ලඟටත් එහෙම කැටේ එව්වේ සම්මාදමක් දමන්නයි. අපිත් පුලු පුලුවන් හැටියට සම්මාදම් කළා. පිං තකා කරණ වැඩක් නොවැ. අන්දුබයියාව හමුවෙන්න එන නානාප්‍රකාර ව්‍යාපාරික මහත්තුරුගෙන් ඒ කැටයට සම්මාදම් ලැබෙන්න උනා. හැබැයි එයා ලඟට එන්නේ එකම කන්ඩායමක් හින්දා මුලින් මුලින් සල්ලි කැටේට වැටුනත් පස්සේ පහුවෙන්න කැටයේ මට්ටම උඩට ගියේ නෑ. හැමදාමත් කාටද පුලුවන් පිනට දෙන්න.

            දවසක් බලනකොට මෙන්න බොලේ කැටේ තිබුන තැන කැටේ නෑ. බොඩ් කෑල්ල විතරක් ඉතිරි වෙලා තිබුනා. ආයෙමත් අර සීල් පෑඩ් එකට උනුදේම අන්දුබයියාලේ කැටේටත් වෙලාද කියලා හැමොම කසුකුසු ගාන්න පටන්ගත්තා නෙව. සුමානයක් ගතවෙලා ගියා කැටේට වෙච්චි දෙයක් නෑ.

"මචං අන්දු කැටේට ලොකු ගානක් එකතුවෙලා තියෙන්න ඇති නේද?
ඔව් බං.'
"ඒහෙනම් ෂුවර් එකටම ඒකට ශොට් එක කවුරුහරි දෙන්න ඇති. උඔ යනකොට කැටේ ලාච්චුවට දමලා යන්නයි තිබුනේ."
"කවුද බං හිතන්නේ පිනක් දහමක් කරගන්න වැඩකටත් මෙහෙම කරයි කියලා."
"මට හිතෙන්නේ අන්දුබයියාම මේ කැටේ උස්සලා අභයදාන සීන් එක නතරකරලා දාන්නයි හදන්නේ."
"අනේ පලයන් යන්න ..@*&%^$#........"
අපේ කාකාස මහතාත් ගෙදර ගිහිල්ලා උන්නු නිසා මේ කැටේ නැති වෙච්චි එක ගැන විස්තරයක් හොයාගන්නත් නෑ. මිනිහත් හොඳ ඕපාදුපයා හින්දා නොදන්න දෙයක් නෑ. සුමානයක් විතර හොඳ නිවාඩුවක් අරගත්තු කාකාස මහත්තයත් ආපහු ඔපිස් එකට ආවා. එයාගේ බෑග් මල්ලේ තිබිලා අර අභයදාන පිංකැටේ එළියට ආවා.
"මෙන්න බොලේ නැතිවෙච්චි පිං කැටේ. මූ තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ."
"මම අරගත්තු එකක් නෑ. මේක තිබුනේ මගේ බෑග් එකේ. මම ගිහිල්ලා බෑග් එක අදිනකොට මෙන්න මේකත් තිබුනා. " 
මෙච්චර දවසක් ගොලුවා කසාය බීලාවාගේ උන්නු අන්ඩපාල ගොඩපෙරකදොරු අමරසිරියා අත කටින් වහගෙන හිනාවෙන්න ගත්තා. බැලින්නම් අමරසිරියා ගෙදරයන්න ආපු කාකාස ගේ බෑග් එකට අන්දුබයියාගේ අභයදාන පිං කැටේ ඔබලා. සතියකට පස්සේ ආපහු පිං කැටේ අපේ ඔපිස් එකට ආවේ දියතලාවේ රවුමක් ගහලයි. පිංකැටේ නැතිවුනාට එක එක කතා අපෙන් අහලා මලඅතේ තියන් හිටපු අන්දුබයියාගෙන් හොදහැටි ලුනු ඇඹුල් කරපිංචා ගොරකා එක්ක සියඹලා අනන හැටි අමරසිරියා අහගත්තා.  

              ඕං පිංකැටේ තියලා අවුරුද්දක් විතර පහුවෙලාත් ගියා. හැබැයි කැටේ තාම පිරුනේ නෑ. අන්දුබයියාගේ මේසේ ලඟට යන අපේ කටේම තිබුනේ කැටේ ගැනයි. දැන් කැටේ සල්ලි වලින් අභයදානය දෙන්න පුලුවන් නේද කියලා.

"මචං උඔ මරනින් ගලවා ගන්න ඉන්න එකා තාම ඉපදිලා නැද්ද?"
"උඔ මරනින් බේරාගන්න කොට ඌ මැරිලා තව සැරයක් හරකෙක් වෙලා ඉපදිලා තියෙයි."
"දැන්  කවදාද උබේ ඔය අභයදාන සීන් එක තියන්නේ? උඔ පැන්සොන් යන දාටද?"
"මට පේන්නේ අන්දුබයියා මේ කැටේ සල්ලි උස්සනවා. නැත්නම් මේක මෙලකටත් පිරිලා."
"ආ මූ පැන්සෙන් යන්න හදන්නේ කිරි හරකෙක් මරනින් මුදෝනවා කියලා.  නිකම්ම කිරිඑලදෙනෙක් මුටත් ලැබිලා එකෙන් කිරි විකුණලා ගානක් හොයාගන්නත් පුලුවන්නේ."

           අපේ කියවිල්ල අහලාම අන්දුබයියාට කැටේ මේසේ උඩ තියන් ඉන්න බැරිවුනා. ටික දවසකට පස්සේ කැටේ එතනින් අයින්වුනේ බොඩ් කෑල්ලත් එක්කමයි.

"මචං අන්දුබයියේ කෝ බං පිංකැටේ?"
අන්දුබයියා හොඳ මුඩ් එකක ඉන්න අවස්ථාවක් අල්ලලා මං උන්දෑ ලඟට ගිහිල්ලා ඇහැව්වා.
"ඒක මං අයින් කළා."
"ඇයි?"
"උඹලාගේ වදේ හින්දා"
"එතකොට කෝ එකතුවෙච්චි සල්ලී?"
"මම එකෙන් සතෙක් මරණෙන් මුදාහැරියා."
අපේ අන්දුබයියාගේ තරම හොදැහැටි දන්නා මමත් විස්මයෙන් ඇලිලා ගියා. මේකා මෙහෙම වැඩක් කරයිද කියලත් විස්වාස කරගන්නත් අමාරුයි.
"කැටේ පිරිලා තිබුනේ නෑ නේද? හරකෙක් බේරාගන්න තරම් සල්ලියක් එකතුවෙලා තිබුනාද?"
"මේ ලෝබ උකන්නෝ සල්ලි දැම්මේ නෑ බං. එකේ එච්චර සල්ලියක් එකතුවෙලා තිබුනේ නෑ."
"එතකොට උඔ ඉතිරි ගාන දාලා හරකෙක් මුදාගත්තා?"
"ඒ සල්ලියෙන් කොහේ හරක් ගන්නද?"
"එහෙනම්?"
"එකතුවෙච්චි සල්ලිවලින් ගන්න පුලුවන් කුකුලෙක් විතරයි. ඉතිං මම එළුවිල හංදියේ නානාගේ කුකුල් මස් කඩේ මරන්න හිටපු කුකුලෙක් බේරා ගත්තා."
"ඈ බං කෝ දැන් ඒ කුකුලා කොහේටද අතහැරියේ?"
"උන්ව පාරද දාන්න බෑනේ. මං අපේ මස්සිනාගේ වත්තට ඌව අතහැරියා."
එහෙනම් ඌ එහේ හොදට කරදරයක් නැතිව ඉන්නවා ඇතිනේ?
"මොන පිස්සුද මස්සිනාගේ වත්ත පහුරුගානවා කියලා උන්ගෙන් හරියට කම්ප්ලෙන්. නෑනාගේ මල් පාත්තියත් ඉවරයිලු."
"ආපහු ඌව උඹලාගේ ගෙදර ගෙනාවද?"
"නෑ බං ඌව මුදවාලා දැම්මා."
"මොකක් මුදවලා දැම්මා? ඇයි පහුරුගාන හින්දා ගෙටගහලාද තිබුනේ?"
"නෑ බං අපේ මස්සිනාගේ මස්සිනා කටාර් ඉදලා ආපු හින්දා ගෙදර පාටියක් සෙට්වුනා. උන්ට බයිට් මදිවෙලා ඒ කුකුලාව ජිවිතයෙන් මුදාහැරලා. මම ඒ කරදරෙන් මිදුනා. " 

Saturday, February 12, 2022

උතුරුකරේ ජනාධිපතිවරණය - සයුරේ දසවසක්

 සිරි ලංකාවේ විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ජනාධිපතිවරණය 1999 වසරේ දෙසැම්බර් 21 වැනිදා පැවැත්විමට දින යෙදී තිබුනි. අප ඒවනවිටත් අප සිටියේ පේදුරුතුඩුවේ හාල් ගොඩබා අවසන්වය. එවකට ජනාධිපතිකමේ රැදි සිටි චන්දිකා බන්ඩාරණායක මහත්මිය දෙවනවරටද ජනාධිපතිකමට ඉල්ලන මැතිවරණය මෙය විය. ජනප්‍රියතාවය හිනව ඡන්දය දිනීමේ වැටඋඩ අවස්ථාවක සිටි චන්දිකා බන්ඩාරනායක කුමාරතුංගට මරාගෙන මැරෙන බෝම්බයක් එල්ලවන්නේ එක් ඇසකට හානි වෙමිනි. ඒ කොළඹ නගරසභා පිටියේ තිබූ අවසන් ඡන්ද රැස්විමේදීය. දැන් මෙන් ජංගම දුරකතන විරල ඒකාලයේ එම පුවත අපහට දැනගන්නට ලැබුනේ නැත.





 ඡන්දය ලග ලගම එද්දී එක්තරා හවස් කාලයක මෙස් කාමරයේ අල්ලාප සල්ලාපයේ උන් අප අතරේ සංවාදයක් ගොඩනැගුනේ මෙවර ඡන්දයෙන් ජයග්‍රහණය කර මීළඟ ජනපති වන්නේ කවුදැයි යන්නය. මෙස්කාමරයේ එක් බිත්තියක කළු ලෑල්ලක් එල්ලා තිබින. මා එම කළු ලෑල්ලේ ජනාධිපතිවරණය 99 ලියා අපේක්ෂකයින් වන චන්දිකා රනිල් අෂ්රෝප් හා නන්දන ගුණතිලකගේ රූපයන් හා පක්ෂ ලකුණු කාටුන් රූපාකාරයෙන් ඇද දැක්වූයෙමි. මෙයට බෙහෝ දෙනෙක්ගේ අවධානයත් ප්‍රතිචාරයනුත් ලැබීය. අප ඡන්දයදා නැවේත් ජනාධිපතිවරණයක් තබා කවුද දිනන්නේ බලමුද යන්න යොජනාවක් කරළියට එන්නේ මේ අතරය. සැමගේම එකඡන්දයෙන් සම්මතවූ එයට අවශ්‍ය බැලට් පේපර් සඳහා කොල සපයා දෙන්නට ඩෙක් අංශයෙන් ඉදිරිපත්විය. ඡන්ද පෙට්ටියට මැලිබන් මාරි බිස්කට් කාඩ්බොඩ් පෙට්ටියක් ස්ටුවර්ඩ් සපයා දෙන්නට එකඟවිය. චිත්‍ර අදින්නට සමතෙක් යැයි කළු ලෑල්ලේ කල කාටුන් රූපයන් ඇදීමෙන් මා තොරාගෙන සිටි බැවින් ඡන්ද පත්‍රිකා අදින්නට මාහට පැවරින. යාවත්කාලීන කිරීමෙන් පසුව කල් ඉකුත්ව ඉවත්කරණා චාර්ට් නමින් අප හඳුන්වන නාවික මුහුදු සිතියම් කිහිපයක් ඔවුන් මාහට ලබාදුන්නෝය. ජනාධිපතිවරණයක්වූවත් ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයින්ගේ නම් නොලියා පක්ෂ සලකුණට පමණක් ඇද ඒ ඉදිරියෙන් කොටුවක් සළකුණු කළේ වැඩ අවමවීමටය. වැඩ අවසන්ව විවේකීව ඉන්නා සවස් කාලයේදී ඡන්ද පත්‍රිකා අදින්නට පටන්ගතිමි. නැවේ කාර්්‍යය මණ්ඩලයට සමාන කොල ප්‍රමාණයක් අතින් ඇදීමද ලෙහෙසි කර්තව්‍යයක් නොවින.  ජනාධිපතිවරණයට පෙරදා සවස්වන විට ඡන්දපෙට්ටියද චාර්ට් පෙපර් වලින් ආවරණය කර සකසාලන්නට හැකිවිය. 

සියලුදේ සකසා අවසන්ව ඉන්දිකගේ කැබිනයේ නිදාගන්නට ගිය අතර වෙල්ඩර්යා දිව ඇවිත් මා නින්දෙන් අවදිකළේය. හෙතෙම සැලකර සිටියේ ඔහුත් ඩෙක් අංශයේ කට්ටිය හා එක්ව එබි ජයවර්ධනගේ කැබිනයේ සෙට්වූ බවත් මැතිවර්ණ ප්‍රචන්ඩක්‍රියාවකට ජයවර්ධන සැලසුම් කරණා බවත්ය. තව ටිකකින් ජයවර්ධන මේ කැබිනයට කඩාපැනීමට නියමිත බවත් ඉක්මණින් බැලට් පේපර් ටික ඔහුට අසුනොවන්නට  කොහේ හෝ සඟවලන්නට උපදෙස් දුනි. ඡන්දය තියන්නට උදව්උපකාර කරමින් එයට අනුබලදුන් ජයවර්ධන දැන්මේ සැරසෙන්නේ  කුමකටදැයි සිතාගත නොහැකිවිය. බැලට් පේපර් ටික වෙනෙකුගේ කැබිනයකට දැම්මත් ඡන්ද පෙට්ටිය සඟවාලන්නට හැකි නොවිය. වෙන්නට පෙර දැනුවත්වූවත් මැතිවරණ ප්‍රචන්ඩක්‍රියාව සිද්ධවුනි. ජයවර්ධන හා මා මිත්‍ර අරුණ ප්‍රමුඛ මැරයන් කිහිපදෙනෙක් මා නිදාහුන් ඉන්දිකගේ කැබිනයට කඩාවැදුනි. ඡන්ද පත්‍රිකා හමුනොවුන තැන ඡන්ද පෙට්ටිය පැහැර ගන්නට තැත් දැරීය. ඇගපතින් වැඩි ජයවර්ධන සමඟින් පොර අල්ලා ඡන්දපෙට්ටිය බේරාගන්න නොහැකිවිය. ඔහු එය පැහැරගෙන ඔහුගේ කැබිනයට ගියේ හෙට හොර ඡන්දවලින් ඡන්ද පෙට්ටිය පුරවා ගෙනත් තබන බව පවසමින්ය. ඔහු පසුපස ගොස් පෙට්ටිය ඉල්ලා බැගෑපත්වූවත් එය ආපසු නොලැබුනි. ඡන්දපෙට්ටිය බේරාගන්නට නොහැකිවු පසුතැවිල්ලෙන් යුතුව මා නින්දට වැටුනෙමි.



 පසුදාට උදයේ මෙස් කාමරයේ මේසයක් මත පැහැරගෙන ගිය ඡන්ද පෙට්ටිය තබා තිබුනි. පෙර දිනයේ ඡන්ද පෙට්ටිය මුහුදු සිතියම් කොලවලින් ගැලවිය නොහැකි ලෙසින් හොඳින් දවටා තිබූ බැවින් එය ආපසු විවර කර බලන්නට නොහැකිවුනි. පෙට්ටිය සොලවා බලා එයට කිසිවක් දමා නොමැතිබව තහවුරුකරගත් පසුව පෙටිටය විවරනොකරන්නට තීරණය කළෙමු.  චන්දපත්‍රිකා සියල්ල මා අතින් ඇද තිබිම නිසා ජයවර්ධනට හොර ඡන්ද දැමිය නොහැකි විය. මේ සියල්ල ජයවරධන විනෝදයට කළ දෙයක් මිස ඡන්දය කඩකප්පල් කිරිමේ චේතනාවෙන් කළ දෙයක් නොවින. 

හැමෝම කෑම ලබාගැනීමට පැමිනෙන්නේ ගැලියට බැවින් ඡන්දපොල භාර ඡන්ද කොමසාරිස් ලෙසින් කුක්ව පත් කළෙමු. උදේ තේ පානය වේලාවේ ඡන්දය ප්‍රකාශ කරන්නට යොදාගත් අතර අපගේ ඉල්ලීම මත පළමුවෙන්ම කපිතාන්වරයාත් අනතුරුව ප්‍රධාන එන්ජිනේරු හා ප්‍රධාන නිලධාරියාත් ඡන්දය ප්‍රකාශ කළෝය. ඉන් අනතුරුව නෞකාවේ අනෙක් සහෝදර නාවිකයින්ද ඡන්දය දැමූ අතර දහවල් කෑම විවේකය තෙක් ඡන්ද ප්‍රකාශ කිරිමේ කාල සීමාව දීර්ඝ කර තිබුනේ රාත්‍රි වොච් ඩියුටි කර නිදාහුන් අයටද සාධාරණය ඉටුකිරීමටය.  සවස තේ පානය කිරීමේදි ඡන්දය ගනන් කිරීමට ප්‍රධාන නිලධාරියාට බාර දුන් අතර පුදුමයකට මෙන් සැබෑ ජනාධිපතිවරණයෙන් පැරදුනු එක්සත් ජාතික පක්ෂය නෞකාවේදි ජය ලබා තිබීමයි. කපිතාන් ප්‍රධාන නිළධාරි අයට දෙන ඡන්ද පත්‍රිකාවේ කුඩා සළකුණක් යොදා තිබුනේ ඔවුන්ගේ මනාපය මොන පැත්තටද හඳුනාගන්නටය. මෙහි මොළකරුවන්වූයේ කුක් හා වෙල්ඩරයායී. ඔවුන් සියල්ලගේ මනාපය ලැබී තිබුනේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහටය. කෙසේ හෝ සැබෑ ජනාධිපතිවරණයෙන් 42.71 ක ප්‍රතිශතයක් ලෙස ඡන්ද 3602748 ක් ගෙන රනිල් වික්‍රමසිංහ මහතා පරාදවූවත් උතුරුකරේ තිබූ නෞකාවක ඡන්දයකින් ජයගෙන තිබුනි. 


Friday, February 4, 2022

නිදහස් නොවුනු නිදහස් දිනය හා බොරු විරයෝ



අපේ රට ඈත අතීතයේ සිටම බොරුවෙන් ජීවත්වන්නන්ගෙන් පිරුණු රටකි. මේ පිලිබදව සිහිපත්වූයේ මා සේවය කරනා ආයතනයේ දචස ආරම්භයේ වැඩ පටන් ගන්නට පෙර වාදනය කරනා විවිධ දේශාභිමානි ගීතයන් අතරේ ඇන්ටන් රොද්‍රිගෝ ගායකයා ගයන සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා එඩිතර හොද පුංචි පුතෙක් ලක්මෑණීට නැතිවුනා ගිතය කනවැකෙද්දීය. 1948 දී අපට නිදහස ලැබුනා කියා උත්සව පවත්වන ජාතියකි නමුත් අපට ඇත්තටම නිදහස ලැබුනේ එදාද? සුද්දා කියා අප හඳුන්වන බ්‍රිතාන්‍ය කිරිටයෙන් මිදි අප නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4වැනිදාද? 48 දි අපට ලැබුනේ දේශපාලන නිදහස පමණි. ඩොමිනියන් තත්වය ( Dominion Status ) කියා බෙහෝමයක් නොදන්නා වචනයක් එළියට දමා විලි වසාගත් අපේ දේශපාලුවන් 1972 මැයි 22 වෙනිදා ජනරජ ව්‍යවස්ථාවෙන් අප රට ජනරජයක් වනතෙක් සිටියේ බ්‍රිතාන්‍ය කිරිටයට පකෂපාතිත්වය ඇතිවය. රාජ්‍ය ලාංජනයේ පවා උඩින්ම තිබුනේ ඔටුන්නයි. 





The term dominion means "that which is mastered or ruled". It was used by the British to describe their colonies or territorial possessions.

"ආධිපත්‍ය යන වචනයේ තේරුම ප්‍රගුණ කරණ ලද හෝ පාලනය කරණ ලද යන්නය. එය බ්‍රිතානයයන් විසින් යටත්විජිත හෝ භෞමික දේපල විස්තර කිරිමට භාවිතා කරන ලදී."

පෙබරවාරි 4 අප උඩපැන පැන නැටුවාට එදින ලැබුන නිදහසක් නැත. හරිහමන් නිදහස ලැබූ මැයි 22 කවුරුත් නොදන්නා සාමාන්‍ය වැඩකරනා දිනයක් පමණකි. 77 ආණ්ඩු පෙරලියෙන් පසුව ජනරජ දිනය ජාතික වීරදිනය බවට පත්කළ දේශපාලුවන් එය සිංහලයාට අමතක කරවලා දැමිය.

අප රටේ අන්තිම රජතුමාත් සුද්දාට පවාදී රජකමගන්නට තැත්කෙරූ නිලෙමෙවරුන් අප රටේ ජාතික විරයන්සේ  පාසල් පෙළපොත්වල පවා සඳහන් වී තිබුනා. එහෙත් මෑතක් යනතුරුම ඒ ජාතික විරයන් හිටියේ දේශදෝහි ලෑස්තුවේය. ඒ අපේ රජාට කොකා පෙන්නා පිටරට්ටන්ට පවාදුන් උන් ගැන සුද්දා හොඳින් අඳුනාගෙන හිටිය බැවිනි. ලබ්බට තියපු අත පුහුලටත් තියන්නට පුළූවන් කියා හිතූ නිලෙමෙවරුන් හා අධිකාරම්ලා ආපහු සුද්දාට කොකා පෙන්වන්නට ගොස් හොඳ පරිප්පුවක් කෑවේය. 

ඇත්තටම මද්දුම බන්ඩාර විරයෙක්ද? මට නම් නැත. ඔහු මෝඩයෙකි. ගෙල සිදින්නට එන ගහළයා දැක අම්මාට වහන්වු ලොකුබන්ඩාර සොහොයුරාට "අයියන්ඩි බිය නොවන්න මැරෙන සැටි මම පෙන්වමි" කියා බෙල්ල තැබිම ඇත්තෙම්ම මරි මෝඩකමකි. ඒක අපේ සිංහලයින්ට ජාතිඅභිමානය පෙන්වන්නකි. වීරකමක් වෙන්නේ ගහළයාට බෙල්ල තැබිම නොව ඉන් බේර්මට තැත්කිරිමයි. මැරෙන්නට ඕනේ කෙනෙකුට පුළුවන් එහෙත් ජීවත්විමයි අසීරු. කොහොමත් මැරෙන්න තියෙන එකේ "අඩෝ පල් දෙමළ වඩිගයා තොගේ මෑණියන්ට අහවල් එක කරවන්නට එවපං" කියමින් මද්දුම බන්ඩාර අඩුම තරමේ ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමාට අභියෝගකළා නම් ඔහු මට විරයෙකි. 

1964 ඔක්තොම්බර් 14 තෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළේලෙ ලංකාව නියෝජනය කරමින් පිරිමි මිටර් 10000 ධාවන ඉසව්වේ අන්තිමයා වී ඔහුගේ නොසැලෙන උත්සාහය මුලුමහත් ජපානයම වසඟයට ගත් රණතුංග කරුණානන්ද මට විරයෙකි. ජපනුන් ඔහුව ආදර්ශයට ගෙන ජපානයේ පෙළපොත්වල ඔහුගේ නොසැලෙන ආත්මශක්තිය නොපසුබට උත්සාහය ගැන පළවුනි. නමුත් අපේ රටේ එහෙම කෙනෙක් හිටියාදැයි කවුරුත් දන්නේ නැත. එහෙත් ඒ උන් ගැන කවි ගී ලියවෙන්නේ නැතිව මොඩයෙක් වාගේ මැරෙන්නට ගිය එකෙක් ගැන රන් අකුරින් ලියවි ඇත්තේය. 




ලෝක යුද්ධයෙන් නැත්තට නැතිවිගිය ජපානය නැගි සිටියේ එවැනි නොපසුබට උත්සාහයෙනි. කාඩ්බොඩ් විර දේශපාලුවන් පසුපස ගොස් උන්ට ප්‍රශස්ති ගී ගයමින් උන්ගේ බොල් පිලිම සිටවමින් පාරවල් නම් කරමින් සිටින්නෙමු. ඇමෙරිකාවේ සර්කස් එකක් කරපු පි.ටි බානම් ගැනත් ලස්සන චිත්‍රපටයක් තනා ඇතත් අපේ රටේ මෙවැනි කරුණානන්දලා ආදරය වෙනුවෙන් ගුවන්යානයක් පැහැරගත් සේපාල එකනායකලා ගැන වාර්තා විත්‍රපටයක් වත් නැත්තේය. අපේ උන්ට අනුව සේපාල හොරෙකි කරුණානන්ද තරගෙන් ඉවත්වෙන්නේ නැතිව අවසානය තෙක් දිවිම මෝඩකමකි නින්දාවකි. අපේ කොතැන හෝ වැරද්දක් සිදුවි ඇත මෙය නිවැරදි කළයුතුය.  අපේ අනාගත පරපුරට හරි දේ කියා දිය යුතුය.  



නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...