Monday, March 29, 2021

හෝරස්ගේ දරුවා - සයවන දිගහැරුම Son of Horus -6

     


  රාත්‍රි හතට පමණ ඔවුන් ලයිට් හවුස් හෝටලයට ගොඩවදින විටත් සාදය ඇරඹී තිබුනි. අනෙක් යෙහෙළියන් මෙන්ම කාන්තා සංගමයේ සාමාජිකාවන්ද මිල අධික ඇඳුම් මොස්තරවලින් සැරසීගෙන සිටියහ. සුචිත්‍රාගේ කාන්තා සංගමය පමණක් නොව තවත් සංවිධාන කිහිපයක පිරිමි සාමාජිකයන්ද අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයකින් සංවිධානය කරතිබූ මෙම සුහඳ හමුවට සහභාගිවී තිබුණි. ඔවුහු කාණ්ඩ ගැසී මත්පැන් වීදුරු අතැතිව ඉංග්‍රීසියෙන් හා සිංහලෙන්ද සල්ලාපයේ යෙදිමින් සිටින්නට වූහ. සුචිත්‍රා හා ෂෙරිල් මුහුද පැත්තට මුහුණලා තිබූ මේසයක වාඩි ගත්තේ  ඔවුන්ගේ මිතුරියන් පිරිසක්ද සමඟිනි. එළිමහනේ ගස්වලට දැමූ කුඩා විදුලි බුබුලු වලින් අවට අඳුර මකාදමමින් මඳ අඳුරක් ඉතිරි කරවා තිබුනේ සාදයකට උචිත අයුරිනි. වලාකුළින් තොර රාත්‍රී අහසේ ලොකු කුඩා තරුකැට හෝටලයේ විදුලි බුබුලු පරදන්නට මෙන් දිලෙන්නට විය. ඔවුනගේ මේසයට පැමිණි වේටර්වරයෙකු වයින් පිරවූ වීදුරු කිහිපයක් පිළිගන්වා ගියේය. වෙන කිරීමට දෙයක් නොතිබූ සුචිත්‍රාද අනෙක් යෙහෙළියන් මෙන් වීදුරුව අතට ගෙන හිමිහිට පානය කරන්නට විය. එම පළමු වීදුරුවෙන්ම ඇගේ සබකෝලගතිය පලවාහරින්නට සමත්වුනි. අඬඅඳුර මැදින් ඇයට වෙනත් දෑසක් තමා දෙසට යොමුවෙනවා දැණුනි. සුචිත්‍රාද හොරෙන් තමා දෙස බලන පුද්ගලයා කවුරුන්දැයි විමසිලිමත් විය. තමාට නුදුරුව සිටින කණ්ඩායමක කතාබස් කරමින් සිටින තරුණයකු ඇය දෙස කතාව අතරතුරේ නෙත් යොමු කරනවා පෙනුනි. ඇයත් එම තරුණයා දෙස හොරෙන් බලන්නට විය. කොණ්ඩය මඳක් දිගට වවා පෝනිටේලයක් දමා සිටි සෙල්ලක්කාර පෙනුමකින් යුතු ඔහු යම් තරමකට රැවුල ද වවා තිබුණි. නවීන විලාසිතානුකූලව ඇඟටම ඇලෙන ලෙස මසන ලද කලිසමකින් හා කමිසයකින් සැරසී ගත් ඔහුගේ හැඩිදැඬි සිරුරේ මස්පිඬු එම ඇඳුම තුළින් ඉස්මතුව පෙනුනි. සුචිත්‍රා හා ෂෙරිල් පමණක් තනිවනතෙක් කුරුමානම් ඇල්ලූ ඔහු හොරෙන් සුචිත්‍රා දෙස බලමින් තම විස්කි වීදුරුවද රැගෙන ෂෙරිල් දෙසට පියවර තැබීය. 

“හායි ෂෙරිල් කොහොමද?”

“ආ මේ ඩේමියන්නේ. ඔයා කවදද ලංකාවට ආවේ?”

“ගිය මාසේ ෂෙරිල්.”                                                       

“කොහොමද සවුත් ඇප්‍රිකන් ප්‍රොජෙක්ට් එක හොඳද?”

“වැඩක් නැහැ ෂෙරිල් හරිම සවුත්තුයි මහ ජරා පැත්තක් ඒක.”

“ඇයි ඔයා ඩර්බන් නෙමෙයිද ගියේ?”

“ඩර්බන් නම් කොච්චර ජොලිද. ඒක ජරා රූරල් ඒරියා එකක් බොන්නත් වතුර නැහැ. ඉතිං”

“ඉතිං කිතුල්.”

ෂෙරිල් දඟකාර ලෙස සිනාසුනාය.

“මේ කවුද අලුත් යාලුවෙක්ද? අපිට අඳුන්වලා දෙන්න එපාද?”

“අයියෝ සොරි ඩේමියන්. මේ සුචිත්‍රා මගේ ක්ලාස්මේට් කෙනෙක්. සුචිත්‍රා මෙයා යාලුවෙක්  නම ඩේමියන්, අර ඉන්ටර්නැෂනල් සංවිධානේ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්.”

“හලෝ” කියමින් ඩේමියන් සුචිත්‍රාට සුරත පැවේය. සුචිත්‍රාද මඳ සිනාවක් පා ඔහුට තම අත දුන්නාය. 

“මෙයා බැඳලාද?”

ඩේමියන් ෂෙරිල් දෙසට හැරී එසේ ඇසුවේ ඇගේ මඟුල් මුද්ද දුටු බැවින්ය.                                                                                                                                                     

“ඇයි බැඳලා නැත්නම් බඳින්නද?” 

ෂෙරිල් සුචිත්‍රා දෙස බලා ඇසක් ඉඟි කරමින් ඇසුවාය.

“ඔව් බඳිනවා තමයි. මේ වගේ ලස්සන කෙල්ලෙක් තමයි මම නං හොයන්නේ.”

ඔහු ඇගේ අත නොහරිමින් පැවසුවේය.  සුචිත්‍රාගේ මුහුණ ලැජ්ජාවෙන් රතුවීගියාය.

“හා හා දැන්වත් ඔය අත අතහරිනවා. මෙයා බැඳලා දැන් පරක්කු වැඩියි.”

“අයියෝ සුචිත්‍රා ඇයි ඔයා ඔච්චර ඉක්මන්වුණේ මට මෙහෙම කරන්න?” 

ඔහු ඇස් පුංචිකරමින් තම සුපුරුදු දඟකාර හා අහිංසකලීලාවෙන් ඇසීය. සුචිත්‍රා හා ෂෙරිල්ටත් සිනාගියේ එකවරමය. ටිකෙන් ටික රාත්‍රිය මීවිතෙන් උණුසුම් වන්නට විය. ෂෙරිල් හා සුචිත්‍රා තවත් වයින් වීදුරුවක් තොලගාන්නට විය. මෙතෙක් වේලාවක් සිහින් සංගීත රාවයක් සැපයූ සංගීත කණ්ඩායම වේග රිද්ම රාග තාල වලට වෙනස් වූයේ මීවිතෙන් උණුසුම් වූ එකා දෙන්නා රිද්මයට නටන්නට කැදවමින්ය. යෙහෙළියකවූ නෙහාරා සමඟින් කතාකරමින් හුන් සුචිත්‍රා තම කතාව මඳකට නවතා ෂෙරිල් දෙස බැලීය. ඈ පෙනෙන්නට නොවීය. සුචිත්‍රා ෂෙරිල් සොයනු වස් අඬ අඳුරේම හෝටල් භූමිය සිසාරා නෙත් යැව්වාය. මඳ අඳුරු එළියෙන් ඈට ෂෙරිල්ව පෙනුනේ තවත් තරුණයෙකු සමඟින් රිද්මයට රඟන අයුරුයි. ඇගේ පිරිපුන් සිරුර තරුණයාගේ ශරිරයට ළංවෙමින් දුරස්වෙමින් ඈ අපුරුවට නර්තනයේ යෙදුනාය. 



“මොකද සුචිත්‍රා තනියම කෝ යාලුවා?”

සුචිත්‍රා වෙත ළංව ඩේමියන් ඇසීය.

“අර ඉන්නේ අතන ඩාන්ස් කරනවා.”

“ඉතිං ඔයා තනියමනේ යන්නෙ නැද්ද ඩාන්ස් කරන්න?”

“අපෝ බැහැ මම දන්නේ නැහැ.”

“දන්නේ නැහැ. බොරුනං කියන්න එපා දැන් ඔක්කෝම ඩාන්ස් කරනවා ඔයා ඔහොම හිටියොත් ගොඩයෙක් කියලා හිතයි. යමු යමු.”                                                                                                                                                                                

ඇගේ සුරතින් ඇදගෙන ඩේමියන් රඟන මිනිසුන් අතරට ගියේය. ඔහු සුචිත්‍රාගේ අතින් අල්ලා වට කිහිපයක් කරකවා ළඟට ඇදගත්තේය. ඩේමියන්ගේ උණුසුම් සුසුම් රැළි කිහිපයක් ඇගේ මුහුණේ දැවටීගියේ සියොලඟම අමුතු තිගැස්සීමකට ලක්කරවමිනි. ඇගේ කුලෑටිභාවය මොහොතින් අතුරුදහන්ව ගොස් නර්තනයේ යෙදෙන්නට පටන් ගත්තාය. ඈ සුලු වේලාවක් ඔහු සමඟින් නර්තනය කර නවතාලීමට උත්සාහ කළත් ඩේමියන් ඈට නතරකරන්නට ඉඩනොදී දිගින් දිගටම රංගනයේ යෙදෙන්නට විය. සුචිත්‍රාට සාදය අවසන්වනතෙක් වේලාව ගතවනවා තේරුනේම නැත. සාදය අවසන ඈ ෂෙරිල්ව සෙව්වාය නමුත් ඈ සිටින ඉසවුවක් සොයාගතනොහි බියට පත්වූවාය.

“හරි වැඩේ ඩේමියන් ෂෙරිල් නෑනේ.”

“එයා කොහේට හරි යන්න ඇති. ඔයා ගිහින් බලන්න ලේඩිස්ලාගේ වොෂ් රූම් එකේ.”

ඩේමියන් ඇගේ බියරැඳි දෑස දෙස බලා අස්වසන්නට මෙන් පැවසීය. සුචිත්‍රා ෂෙරිල්ව හෝටල් භූමියේ හා මෝටර් රථ අංගනයේද සෙව්වත් සොයාගත නොහැකිවිය. ඩේමියන් ඔහුගේ මිතුරෙකු හා කතාබස් කර සුචිත්‍රා අසලට ආවාය. 

“බලන්නකෝ ඩේමියන් ෂෙරිල් නෑනේ. මම ඔයා කිව්ව හැම තැනම බැලුවා.එයාට කරදරයක්ද දන්නේ නැහැ. අපි පොලීසියටවත් කියමුද?”

“බය වෙන්න එපා. එයාට පොඩ්ඩක් වැඩිවෙලා අර එයා එක්ක ඩාන්ස් කරපු නිර්මාල් එයාට ලිෆ්ට් එකක් දීලා.”

“හරි වැඩේ දැන් මම යන්නේ කොහොමද? අපිව එක්කගෙන ආපූ නීතලාත් ගිහිල්ලා.”

“ඔයා බයවෙන්නේ මොකටද මම ඉන්නවානේ. මම ඔයාව ඩ්‍රොප් කරන්නම්.”

බොහෝ බියට පත්වී සිටි ඈ ඔහුගේ වදන් වලින් මඳ අස්වැසිල්ලක් ලැබුවාය.

“සුචිත්‍රා කොයි හරියේද ඉන්නේ?”

ඔහු මොටර් රිය පණගන්වන ගමන් ඇසුවාය.

“සංඝමිත්තේ ළඟ.”

“ආ ඇත්තද යමු මාත් ඒ පැත්තටයි යන්නේ.”

සුචිත්‍රාට ඔහු හා යෑමට බියක් හෝ චකිතයක් දැනුනේ නැත. ඈට ඔහු පිළිබඳව ප්‍රසන්න හැඟීමක් ඇති වී තිබුනි. ඩේමියන් මෝටර් රථය පදවන ගමන් විටින්විට සුචිත්‍රාගේ පියකරු මුහුණ දෙස කිහිපවිටක් බැලීය. පාරේ වීදිපහන් එළියෙන් ඇගේ මුහුණ ප්‍රභාමත්වී පෙනෙන්නට විය. 

“මොකද හොරෙන් වාගේ බලන්නේ?”

“ලස්සන. හරියට හින්දි නිළියක් වාගේ.”

“පිස්සු.”

ඈ හිස ගස්සා දඟකාර දෑසින් සිනාසුනාය.

කෙටිගවුම නිසා ඇගේ ඇත්දළ පාට කළවා යුගලද උඩට ඉලිප්පී පෙනෙන පිරුණු ළයමඬලද ඩේමියන්ගේ සිත සාරාගී හැඟුමින් කිතිකවන්නට විය.

ඩේමියන්ගේ රථය සංඝමිත්තා බාලිකාව අසළට පැමිණෙනවිට රාත්‍රි එකට ආසන්න වෙමින් තිබිණ. තව ටික වේලාවක් ඈ සමඟින් රැඳීමේ ආශාවක් ඔහුගේ සිත යට තෙරපුනත් එය අයාසයෙන් මැඩපවත්වා ගත්තේ මැදියමත් ගෙවීයමින් පැවති නිසාවෙනි. 

“අර ඉස්සාරායින් තියෙන පාරෙන් හරවන්න. ඔය අන්තිමටම තියෙන අප්ස්ටෙයාර් ගේ. මාව ගේට් එක ගාවින් ඩ්‍රොප් කරාම ඇති.”

ඩේමියන් ඇගේ දෙමහල් මන්දිරය අසළින් රිය නතරකොට සුචිත්‍රාගේ මුහුණ දෙස දයාබරිත බැල්මක් හෙලීය. ඔහු හා ගතකළ කාලය මදියැයි ඇයටද සිතින. 

“මම බහින්නම් ඩේමියන්. මට ලිෆ්ට් එකක් දුන්නාට බොහොම ස්තුතියි.”

“මෙන්න මගේ කාඩ් එක. මට කෝල් එකක් දෙන්න.”

ඩේමියන් මෝටර් රථයෙන් ගත් කුඩා කාඩ් පතක් ඇයට දෙන ගමන් ඇගේ කොපුලක් සිපගත්තේය. සුචිත්‍රා විලියෙන් රතුව ගියාය.

“මම යනවා චෙරියෝ.”

ඈ ඉක්මනින් මෝටර් රථයෙන් බැස ඔහුට අතවනා ගේට්ටුව දෙසට දිවගියේ දඟකාර දැරියක පරිද්දෙනි. රථය හරවාගත් ඩේමියන් යළි තම නිවස වෙත රිය පැදවූයේ මිහිරි ගීතයක් මුමුණමින් ජයග්‍රාහී විලසිනි. ඇඳුම් උනා දැමූ සුචිත්‍රා නාන කාමරයට ගියේ ගතේවූ දහඩිය සෝදා හැරගැන්මටය. ඩේමියන් ගැන ඇගේ සිතට ජනිත වූයේ අමුතුම උණුසුම් හැඟීමකි. ඔහු හා එක්ව රංගනයේ දී හා මොටර්රථයේදි ඈව සිපගත් අයුරු සිහිපත් වනවිට වතුර මලෙන් වැහෙන සීතල දියබිඳු පරදා සිරුර ගිනියම්වී යනු ඈට දැනුනි. සාදයේදී බිව් වයින් වලින් ඇතිකළ මත්බව නිසාදෝ සුචිත්‍රා නිරුවතින්ම ඇඳහි වැතිරගත්තේ ඩේමියන් ගැන ඇතිවූ උණුසුම් හැඟුමෙනි.  

පෙරදින පේරාදෙනියේ පශු වෛද්‍ය පිඨයට ගිය උපනන්ද අද දින හවස් වරුවේ පැමිණෙන බව කීමට දුන් දුරකථන ඇමතුමෙන් අවදි වූ සුචිත්‍රා යළි දහවල් වනතෙක් නිදා ගත්තේ තංගම්මා හෝ මාටින් විසින් ඈව අවදිනොකළ බැවිනි. ඈට උපනන්ද කෙරහි උපන්නේ කලකිරීමකි. පෙර දින රාත්‍රියේ ලබාගත් සතුට වෙන කිසිමදාක ලබා නොතිබුනු බව ඈට පසක්වීය. තමා අවුරුදු දහයකින් පමණ ළාබාල වී ඇතිබවක් ඈට දැණුනි. ප්‍රථමවරට පෙම්වතියක්වූ විටෙකමෙන් නුහුරු හැඟුම් සමුදායකින් සුචිත්‍රා වෙලාගත්තාය. තංගම්මා දුන් තේ කොප්පය බී අහවර කළ ඈ නාන කාමරයට වැදී දොරවසා ගත්තාය. වතුර මලින් වෑස්සෙන කුඩා ජලබිඳු නිරුවත් සිරුරපුරා මුතුවරුසාවක්මෙන් විසිර යද්දී ඈට නාන කාමරයේ තිබුනු විශාල කැඩපතින් ඇගේ සිරුරේ පිලිබිඹූව පෙණුනාය. ඇය මෙහොතක් ඇගේ ආකර්ෂණීය පිරුනු පැහැපත් රණතිසරු යුවල දෙස බලාසිටියාය. ඩේමියන් තමාව මෙතරම් වර්ණනා කළේ මනබඳින රුවක් හිමිවී තිබීමෙන්ය. එහෙත් මෙතෙක් කාලයක් එය තමාට නොතේරුනේ මන්දැයි කැඩපත දිහා බලාගෙන ඈ සිතුවාය. දිය නාගෙන ප්‍රබෝධමත් ගතියකින් එළියට පැමිණි සුචිත්‍රාට ඩේමියන්ව සිහිවූයේ නොදැනුවත්මය. ඩේමියන් දුන් කාඩ්පත කන්ණාඩි මේසය මත තිබුනු තැනින් අරගත් සුචිත්‍රා හොර බැළලියක් මෙන් තම ජංගම දුරකථනයද රැගෙන ඉහළ මාලයේ සදැල්ලට ගියාය. ඔහුගේ අංකයට ඩයල්කරද්දීම ඈට ලැජ්ජාවක් සිතට නැගුනි. ඩේමියන් හලෝ කියද්දිම ඈ ඇමතුම විසන්ධි කළාය. එහෙත් ඇගේ යටි සිත යළි ඇමතුමක් ගැනීමට බලකළේ කවුරුන් හෝ ඈව මෙහෙයවන ලෙසිනි. සුචිත්‍රා ඇමතුම ලබාගන්නට පෙර ඇගේ දුරකථනයට ඩේමියන්ගෙන් ඇමතුමක් ලැබුණි.

“හලෝ බබා කොහොමද?”  

ඔහුගේ කෙළිලොල් දඟකාර කටහඬ අනෙක් පසින් ඇසුණේය.

“හලෝ”

ඈ තම වෙවුලන හඬ බාලකරමින් ඇමතීය.

“ඔයා කොහොමද දන්නේ මමයි කතා කළේ කියලා.”

“මම දැනගත්තා ඒ ඔයා තමයි කෝල් කළේ කියලා මොකද මට ගොළුමඩමෙන් කෝල්ස් එන්නෙ නැහැනේ.”

සුචිත්‍රා කිංකිණි හඬින් සිනාසෙන්නට විය.

“ඔයාට නං ගොළුඅයත් කතාකරවන්න පුලුවන් බව පේනවා.”

“තව මොනවාද පේන්නේ?”

“කෙල්ලන්ට පැනලා ලිෆ්ට් දෙන බව.”

“අපෝ නෑ මම හැමෝටම එහෙම කරන්නේ නැහැ. අනික ඒ වෙලාවේ මම නැත්නම් ඔයා මොකද කරන්නේ?”

“ඇත්තටම මම ඒ වෙලාවේ හොදටම බයවෙලා හිටියේ. ඔයා නැත්නම් මම මොකද කරන්නේ කියලා හිතාගන්නත් බෑ.”

“හරි කරපු උදව්වට මොනවාද මට දෙන්නේ?”

“ඔයා කියන ඕනේම දෙයක්.”

“ඉල්ලන්න දෙයක් නෑ මම ඒක අරගත්තා.”

“මොකද්ද ඒ?”

“ඔයාගේ සිත.”

ඔහුගේ දඟකාර සිනහව සුචිත්‍රාට ඇසෙන්නට විය. ඇයත් ඔහුගේ සිනහවට එකතුවිය.

“හරිම හොරෙක් තමයි. ඔයත් හරි කතා තමයි කියන්නේ.”

“මට ඔයා දකින්න ආසයි ඔයා අද ෆ්‍රී ද?”

“බෑ අද හවසට උපේ එනවා.”

“එහෙනං දැන් එන්නද?”

“කොහේටද? මෙහාට?”

“ඔව් ”

“අපෝ එපා ගෙදර අය දකී.”

“දකින්න කවුද දැන් ගෙදර ඉන්නේ?”

“වැඩට ඉන්න අය විතරයි.”

“එහෙනං බය වෙන්න දෙයක් නෑනේ. මම බොරුවක් කියාගෙන එන්නම්.”

“අනේ මටනං බයයි ඩේමියන්. මගේ කකුල් දෙකම ගැහෙන්න ගත්තා.”

“හරි හරි බබෝ බයවෙන්න එපා. මම දැන්ම එනවා.”

ඇගේ සිතේ බිය මුසු අශ්වාදජනක හැඟීමක් ඇතිවුනි. ඈ දුරකථනය තබා ඇඳේ වැතිරුණාය. ඩේමියන් ගැන සිතනවිටත් ඈට ශරිරයේ රුධිරය උණුසුම්වී ඉවසුම් නැතිවිය. මෝටර් රථයක් නවතන හඬ ඇසුනෙන් ඈ නැගිට සෙමින් ජනෙල් තිරය මෑත් කර පහළ බැලුවාය. මාටින් විසින් ගේට්ටුව විවර කරදෙනු ලදුව ඩේමියන් ගෙවත්තට ඇතුලුවූයේ තමාගේ සුපුරුදු තැනකට ඇතුලුවනවාක්මෙන්ය. මාටින් ඔහුව සාලයේ රඳවා සුචිත්‍රාට දැනුම් දුන්නේය.

“ලොකු නෝනා කොළඹින් මහතැන් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. කාන්තා සංවිධානයෙන් කිව්වා.”

“හරි මාටින් එයාලා ආවාද? එක්කෙනයිද ආවේ? එහෙනම් එයාට කියන්න වාඩිවෙලා ඉන්න කියලා.”

කැඩපත ඉදිරියට ගිය ඈ ඉක්මනින් සුවඳ විලවුන් පොදක් ගෙලවටා තවරා ගත්තාය. අවුල්වගොස් තිබූ කෙස්රොදවල් කිහිපයක් අතින් සකසාගත් ඕ නිදන කාමරයෙන් පැමිණ තරප්පු පෙළ දිගේ ඉක්මනින් පහළට ආවාය. මේවන විට සාලයේ රුඳී සිටි ඩේමියන් සෝපාවේ වාඩිවීසිටියේ කකුලක් පිට කකුලක්ලාගෙන දෑත් දෙපසට විහිදුවාගෙනය. ඔහු සුචිත්‍රා දුටුවිට සුපුරුදු දඟකාර සිනහව පා කකුල පහතට දමමින් සිටගත්තේය.

“ආ වාඩිවෙන්න ඩේමියන්.”

ඇය ඔහුට අසළින් සෝපාවේ හිදගත්තේය. 

“ඔන්න බබෝ මම කිව්වා වගේම ආවා.”

“අනේ ඩේමියන් මටනං බයේ බැහැ.”

“බයවෙන්නේ මොකටද මම ඉන්නකං.”

“ඉන්න එක තමයි බය. ඔයානම් කියයි මගේ පපුව තාම ගැහෙනවා.”

“කෝ බලන්න ඔය කියන ගැහෙන පපුව.”

ඩේමියන් ඇගේ පපුවට අත යොමුකරත්ම “එපා කවුරුහරි දකිවි.” ඈ වටපිට බලමින් පැවසුවාය. තංගම්මා කේක් තසිමක් රැගෙන සාලයට පැමිණියේ මේ අතරතුරේදීය. ඩේමියන් වහා කතාව වෙන අතකට හැරවීය.

“මේ ඔයාලාට ලස්සන ගෙදරක්නේ තියෙන්නේ. හස්බන්ඩ් ඇන්ටික් බඩුවලට ආසයි වගේ?”

“ඔව් අනේ එයාගේ විනෝදංශය තමයි ඒවා එකතුකිරීම. කීයක් ගියත් එයාට අවශ්‍ය නම් සල්ලි දීලා ගන්නවා.”

“පුදුමයි ඇන්ටික් වලට ආස මිනිහා අලුත් බඩුවක් ගත්ත එක.”

ඔහු ඇස් පුංචිකර දඟකාර ලෙස ඇය දෙස බලා පැවසුවේය.

“අනේ මේ යනවා යන්න.”

ඇයත් දඟකාර ලෙසින් සිනාසුනාය. ටිකෙන් ටික වේලාව ගතවෙනවා ඔවුන්ට දැනුනේම නැත. අහම්බෙන් මෙන් සුචිත්‍රාගේ නෙත් සාලයේ ඔරලෝසුව වෙත යෙමුවිය.

“වේලාව ගියා දැනුනේම නෑ ඩේමියන්. උපේ එන්න පුළුවන් දැන් ඔයා යන්න.”

“හරි දැන් ඔයාට ඕනේ මාව පන්නගන්නනේ.”

“අනේ නෑ ඩේමියන් එයා දැන් ආවොත් ප්‍රශ්නයක් වෙයි.”

පිටත්වයාමට වේලාව පැමිණ ඇතැයි ඔහුටද වැටහුනි. සෝපාවෙන් නැගිට වටපිට බලා සුචිත්‍රා ළඟට ඇදගත් ඩේමියන් ඇගේ දෙතොල් හාදුවකින් තෙත්කළේ සුචිත්‍රාගේ ශරිරය උණුසුම් කරමින්ය. නොකැමැත්තෙන් වුවත් ඩේමියන් සුචිත්‍රාගෙන් වෙන්විය.

“මම යන්නම් බබෝ.”

“හා පරිස්සමෙන්.”

ඔහු මිදුලට බැස හස්ත සංඥා වලින් දුරකථන ඇමතුමක් දෙන මෙන් පවසා පිටුපසවත් නොබලා පිටවී ගියේය. ඩේමියන්ගේ මොටර්රථය පිටවීයනතෙක් බලාහුන් ඈට විශාල තනිකමක් හා පාළුවක් දැනෙන්නට පටන්ගත්තාය.     

ඈ ඇසිල්ලකින් නිදන කාමරයට වැඳ ඇඳෙහි පෙරලිනි. ඔහුගේ උණුසුමට තුරුළුවීමේ අප්‍රමාණ ආවේගයකින් තම සියොලඟම සලිත වනු ඈට දැනිණ.

“මට ඔයා නැතිව බෑ.”

ඈ සෙමින් මුමුණා ගත්තාය. තම දෙකොපුල් හා දෙතොල් මෘදු ලෙස සිපගත් අයුරු ඈට සිහිපත්විය. සුචිත්‍රා බ්ලවුසයට යටින් තම මෘදු පියයුරු ස්පර්ෂ කළාය ලිහිල් තනපුඩු ගල්ගැසී ඉලිප්පෙනු දැනෙන්නට ගත්තාය. ශරීරයේ රුධිරය උණුසුම් වෙමින් දෙතනෙන් ඇරඹි අනුරාගී හැඟුමක් ඇගේ සිහින් බඳ අවුලමින් නිතඹ තෙක් දිවයන්නට විය. ඒ අනුරාගී උණුසුම් සුසුම් වැල්වලින් අවුලන ලද හැඟුමන් නිසා කොට්ටය දැඬි ලෙස වැලඳගෙන අතොරක් නැතිව සිපගන්නටත්වූයේ ඩේමියන් සයනයේ වැතිර සිටින්නාක් මෙනි. අනුරාගි ස්වප්නයේ අවසන ඈ නිදිලොවට වැදගත්තාය. නිවසට හවස් භාගයේ උපනන්ද පැමිණෙන විටත් ඈ සුව නින්දක පසුවූවාය. උපනන්ද දිය නා ගෙන පැමිණෙන විට සුචිත්‍රා අවදිවී තිබුනි.



“උපේ කොයි වේලාවේද ආවේ?” 

“දැන් ටික වේලාවකට ඉස්සෙල්ලා. මම එනකොට ඔයා හොඳටම නිදිනේ.”

“මට කම්මැලිකමටම නින්ද ගියා. ඔයා ගිය වැඩේ හරිගියාද?”

“ඒක මේ මාළුන්ට හැදෙන අලුත් ලෙඩක්ලු. ගෙනිච්ච මාළු ඔක්කෝමත් මැරුණා.”

“අපරාදේ. ලෙඩේට බෙහෙත් ගෙනාවද උපේ?”

“බෙහෙත් නම් ලැබුනා නමුත් අපේ මාළුන් ඔක්කෝම වගේ දැන් මැරිලා. අපේ ඕඩර්ස් වලට යවන්න බැරි වුනු නිසා ඒවාත් කැන්සල් උනා. අපේ බිස්නස් එක ආයෙත් නැගිට්ටවලා ගන්න ලේසිවෙන එකක් නැහැ.”

විශාල කනගාටුවක් සිතේ තදකරගෙන එසේ කී උපනන්ද හිස පිසදා අවසන් කළ තුවාය ඇඳුම් රාක්කය මත දමා කාමරයෙන් පිටවිනි. 


පසුදා ෂෙරිල් හමුවීට සුචිත්‍රා පිටත්විය. 

“ආනේ සුචිත්‍රා. වෙරි වෙරි සොරි කෙල්ලේ.”

ඈ සුචිත්‍රා දුටු විගස කීවාය.

“සොරි තමයි, දැන්ද මාව මතක්වුනේ?”

“එදා වයින් ටිකක් බිව්වා වැඩිද මන්දා මගේ ඔලුව කැරකෙන්න ගත්තා. නිර්මාල් එයාගේ කාර් එකට මාව දාගන්නව විතරයි මතක පහුවෙනිද බලනකොට මම එහේ. ඌ හවස් වෙනකං එන්න දුන්නේ නෑ”

“ඒ කියන්නේ ඔයා නිර්මාල්ගේ ගෙදරද හිටියේ?”  

සුචිත්‍රා ඇගේ කතාවෙන් විශ්මයට පත්වුණාය. ඇගේ දෑස් විමතියෙන් බරවිය. ෂෙරිල් කිසිදු පැකලීමක් නැතිව එය සුචිත්‍රාට පැවසුවේ අමුතුම ශුංගාරාත්මක සිනාවක් පාමිනි.

“ඔයාත් හරිම කෙනෙක් තමයි ඔයා ඒ කොල්ලාත් එක්කද රෑ එහේ හිටියේ?”

“ඉතින් මක්කා වෙනවාද එදා හවස් වෙනකම්ම නිර්මාල් එක්ක තමයි හිටියේ. අනික අපිත් මේ ජීවිතේ ඉන්ජෝයි කරන්න ඕනේ. ඒක නොවෙයි ඔයා කොහොමද ගෙදර ගියේ?”

“මම මාර විදිහට බයවුනා ඔයාට මොනවාහරි වෙලාවත්ද කියලා. මම හැමතැනම හෙව්වා. අන්තිමේදි ඩේමියන් තමයි කිව්වේ ඔයා එක්ක ඩාන්ස් කරපු බෝයි එක්කගෙන ගියා කියලා.”

“එහෙනම් ඩේමියන් ඔයාව ඩ්‍රොප් කළාද?”

ඈ තම ඇස් නටවමින් ඇසීය. 

“ඔව් එයා මට ලිෆ්ට් එකක් දුන්නා.”

සුචිත්‍රා එම පැනයෙන් මඳක් පැකලීමට පත්ව කීවාය.

“ඇයි කිස් එකක් එහෙම දුන්නේ නැද්ද?” 

ඈ හඬනගා සිනාසුනාය. සුචිත්‍රා එක්වරම තිගැස්සීමකට ලක්වුනේ ෂෙරිල් පෙරදින රාත්‍රියේ ඩේමියන් විසින් සිදුකළ ක්‍රියාව ඇගෙන් ඇසීම නිසාවෙනි. 

“ඩේමියන් හොද සල්ලිකාර කොල්ලෙක් හැබැයි ඔයාවගේ ලස්සන කෙල්ලන්ට පොඩ්ඩක් බැල්මදානවා.”

ෂෙරිල් ඇගේ උරහිස කොනිත්තා සිනාසුනාය.

“ඔන්න ඔහේ ඔය කොල්ලෙක් ආශ්‍රය කළාට කමක්නෑ කෙල්ලේ මොකද අපි තාම නාකිවෙලාවත් රහත්වෙලාවත් නෑනේ. හැබැයි කෙල්ලේ පරිස්සම් වෙලා හරිද?”

ෂෙරිල් ඇගේ දඟකාර මනමාල සිනහව නගාගනිමින් සුචිත්‍රාට අවවාදයක්ද දෙමින් පැවසුවාය. සුචිත්‍රාගේ සිතට ෂෙරිල්ගේ එම කතාවෙන් මඳ අස්වැසිල්ලක් ලැබුණි.

“එහෙනම් ඒකද නිර්මාල්ගේ ගෙදර දවසක්ම හිටියේ?”

ඇයද දෙඇස් නටවා දඟකාරි ලෙස සිනාසෙමින් ඇසුවාය. ෂෙරිල්ද එම සිනාවට එක්වූයෙන් සුචිත්‍රාගේ සිතේවූ වරදකාරි හැඟීම පහව ගියේය.

ෂෙරිල්ගේ රූපලාවන්‍යාගාරයේ සිටිද්දී සුචිත්‍රාට ඩේමියන්ගෙන් ඇමතුමක් ලැබුයේ ඔහුට ඇය හමුවීමට අවශ්‍යය බව කියමිනි. සුචිත්‍රා ෂෙරිල්ට බොරුවක් කියා ඩේමියන්ගේ ඉල්ලීම පරිදි කොටුවේ රැම්පාට් හෝටලයට ගොඩවිය. ඈ එනතෙක් මඟබලා සිටි ඩේමියන් සුචිත්‍රාව රැගෙන කෙළවරකවූ මේසයක වාඩිගත්තේය. සුචිත්‍රා වටපිට බලමින් සිටනු දැක “මොකද වටපිට බලන්නේ?” ඇසීය.

“නෑ මාව දන්න කවුරුහරි ඉන්නවාද දන්නේ නැහැ එකයි.”

“බය වෙන්න එපා බබෝ මේ වෙලාවට මේකට වැඩිය ගෙස්ට්ලා එන්නේ නැහැ.”

“ඉතින් ඇයි මට එන්න කිවේ?”

“එන්න කිවේ ඔය ලස්සන මුණ පොඩ්ඩක් බලලා යන්න.”

“ඉතිං බලාගත්තාද?”

“බලාගත්තා එත් එකක් නං මදි.”

“ඒ මොකක්ද ඒ.”

ඩේමියන් සෙමින් මේසය මත තිබූ ඇගේ ඇඟිලි තුඩුවලින් ඇල්ලීය. එකවරම ඇතැගිලි හරහා පටන් ගත් ගැස්මක් කුඩා විදුලි සැරයක් මෙන් ක්ෂණිකව ඇඟපුරා දිවගොස් ඇගේ සියළඟම උණුසුම් කරවන්නට විය. ඔහු තම දෑතට ඇගේ දෑතම හසුකරගෙන සෙමින් සෙමින් එය පිරිමදින්නට වුනි. 

“ඊයේ අර ගෙදරදි දුන්නාවාගේ එකකුත් ඕනේ.”

“ආ ඒකටද මේ එන්න කිවේ. හොඳට හිටීවි මෙතන ඒ දේවල් කෙරුවෙත් එහෙම.”

සුචිත්‍රා බොරු අමනාපයක් මවාපාමින් පැවසුවාය.

“කෝ උපනන්ද අද වැඩද?”

“ඔව් එයා අදත් ලෙඩවෙච්ච මාළුන්ට බෙහෙත් දාන්න ගියා.”

“එහෙනම් ඔයාට ගෙදරයන්න හදිස්සියක් නැහැනේ?”

“ගොඩාක් හවස්වෙනකම් ඉන්න නම් බැහැ. ඇයි ඩේමියන්?”

“නෑ රිලැක්ස් එකේ ටිකක් කතාකර කර ඉන්න.”

“මෙතනද?”

ඇය වටපිට බලමින් ඇසුවාය.

“නෑ මෙතන නෙමෙයි. කවුරුවත් නැති තැනකට යමුද? කමක් නැහැ නේද?”

ඈ හිස සොලවා අනුමැතිය දුන්නාය. ඒ අවසරයෙන් වේටර්වරයෙකුට සංඥාවක් දී ළඟට ගෙන්වාගත් ඩේමියන් රහසින් මෙන් යමක් පවසනවා සුචිත්‍රා දුටුවාය. සුළු මෙහොතකින් වේටර්වරයා යමක් ඩේමියන් අතට දී යන්නට ගියේය.

“හරි දැන් අපි යමු නිදහස් තැනකට.”

කී ඩේමියන් ඇයව රැගෙන උඩු මහලේ කාමර දෙසට පියවර නැගීය. සුචිත්‍රාද හොර බැළලියක මෙන් ඔහු පසුපසින් ඇදීගියේ අවට කිසිවෙකුට තම මුහුණ නොපෙනෙනු පිණිස හිස බිමට නැඹුරු කරගනිමින්ය.

මතුසම්බන්ධයි......


Wednesday, March 24, 2021

හෝරස්ගේ දරුවා - පස්වන දිගහැරුම Son of Horus - 5

 


නොබෝදිනකින් උපනන්ද මහතාගේ උපකාරයෙන් නිමාලිට හික්කඩුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක පුහුණුවන පිළිගැනීමේ නිලධාරිනි රැකියාවක් ලැබිනි. නිමාලි හමුවීමට පියසෝමගේ නිවසට උපනන්ද මහතා යළි ගියේ ඇගේ නව රැකියාව කෙසේදැයි දැනගැනීමට හා පවුලේ තොරතුරු කෙසේදැයි විමසා බලන අටියෙනි. විමලා හා නිමාලි විසින් ඔහුව සාදරයෙන් පිළිගෙන රැකියාව ලැබුණු බව පැවසීමට නොහැකිවීම ගැන කනගාටු වුහ. 

“ඉතිං ළමයෝ දැන් වැඩ එහෙම ලේසිද?”

“ගොඩාක්ම ලේසිත් නැහැ අමාරුත් නැහැ. එතන අය ගොඩක් හොඳයි. හොදින් කියලා දෙනවා.”

“ඔය ළමයා ඉක්මනට වැඩ අල්ල ගන්න එතකොට ඉක්මනටම ස්ථිරවෙන්න පුළුවන්. දැනට මොනවාද තියෙන අඩුපාඩු එහෙම?”

“මුකුත් නැහැ මහත්තයෝ තියෙන එකම කරදරේ ගමන් අපහසුව තමයි.”

“ඇයි බස්වලට කරදරයිද?”

“අපේ ඩියුටි මාරුවෙන සමහර වෙලාවන් වලට බස් අඩුයි. අනික අම්මායි නංගියි විතරයිනේ ගෙදර තනියම. නංගිත් ඉස්කෝලේ ගියාම ගෙදර කවුරුත් නැ හදිසියකටවත් දුවලා එන්න පුළුවන් ළඟපාතකවත් නොවෙයිනේ.”

“දැන් අම්මා ළඟ ඉන්නේ කවුද?”

“මේ ළඟ නැන්දා කෙනෙක් දවල් දවසේ ඉන්නවා. අනික අම්මාත් කැමති නෑ මේ ගෙදර තනියම ඉන්න.”

“ඕක තමයි ළමයෝ මම එදාත් කිව්වේ මේ ගෙදර කුලියට දීලා වෙනින් ගෙදරකට යන්න කියලා.”

“වෙනින් ගෙවල්වලට ඇඩ්වාන්ස් ගෙවන්න කොයින්ද සල්ලි අපිට මහත්තයෝ?”

“මම එක බලා ගන්නම්කෝ ඔය ළමයා ගෙයක් බලන්නකෝ.”

“එතකොට නංගිගේ ඉස්කොලේ ගමන?”

“තව ටික දවසයි නේද විභාගෙට තියෙන්නේ?”

“ඔව් තව හයමාසයක් විතර.”

“එයාට ඔය කෝච්චියෙන් ගාල්ලට එන්න යන්න පුළුවන්නේ ඔය ඕනේ තරම් එයාගේ පන්තිවල ළමයි එන්නේ.”

විමලා එම කතාවට එක්වෙමින් පැවසුවාය.

“එහෙනම් ඔය ළමයා හොඳ ගෙයක් හොටලේ ළඟපාතින් හොයලා බලන්න. මෙන්න මේ සුළු මුදල තියාගන්න ඔය ළමයාට ඇඳුම් ටිකක් අරගන්න. වැඩට යනකොට හොඳට අඳින්න පලදින්න එපැයි.”

“උපනන්ද මහත්තයා කරන උපකාර වලට බොහෝම පිං.”

විමලා පැවසීය. නොබෝ දිනකින් නිමාලි උපනන්ද මහතාගේ උදව්උපකාර ඇතිව හික්කඩුව ප්‍රදේශයෙන් කුලී නිවෙසක් ලබාගෙන එම නිවසේ පදිංචිය සදහා පිටත්ව ගියේය.


 ★    ★


සුචිත්‍රා හා තිලකා කාන්තා පිහිටාධාර සුබසාධක සංවිධානයේ සාමාජිකත්වය ලබාගත්හ. එහි සමාජිකාවන්වූ දකුණු පළාතේ ව්‍යාපාර හා දේශපාලන ලෝකයේ බලවතුන්ගේ බිරියන් විසින් ඔවුන් දෙදෙනාව සාදරයෙන් පිළිගනු ලැබීය. එම පිළිගැනීමෙන් උද්දාමයට පත්ව ගිය සුචිත්‍රා උද්යෝගයෙන් යුතුව එහි වැඩ කටයුතු වලට සහභාගිවන්නට විය. 


 තවත් දිනෙක මැදියම පසුවීමත් සමඟම උපනන්ද තිගැස්සී අවදිවූයේ බළලුන්ගේ පොරබැඳීමකට පෙර සිදුවන කෑගැසීම් ශබ්දයන් ඇසීමෙනි. දහවල් කාලයේ විවේකයක් නොගෙනම කළ රාජකාරි වැඩවලින් හෙම්බත්වී සිටි ඔහු අපහසුවෙන් ඇඳෙන් නැගිට වටපිට බලන්නට විය. ඔහු තම කාමරයේ විදුලිපහන් දල්වා පහත මාලයට බැස ගියේ මෙම ශබ්දය ඇසුනු දිශාව සොයාබලන අටියෙනි. කාමරයේ විදුලි පහන් දැල්වීමෙන් නින්දෙන් අවදිවුනු සුචිත්‍රා උපනන්ද කොහේ ගියාදැයි විපරම්කර බැලීමට සාලයේ බැල්කනිය දෙසට පියවර තැබීය. පහත මාලයේ විදුලි පන්දමක් අතැතිව ගමන්කරමින් සිටි උපනන්දව ඈ දුටුවාය.

“උපේ ඔයා කොහේද මේ මහ රෑ යන්නේ?”

“ආ ඔයාත් නැගිට්ටාද? බලන්න මේ මූසල පූසන්ගේ සද්දේ . මාටින්ට කියන්න ඕනේ මුන්ව පන්නලා දාන්න කියලා.”

“කොහේ ඉන්න පූසෝ ටිකක්ද? මටනං ඇහුනේ නෑ.”

“ඔයාට කොහේ ඇහෙන්නද ගොරව ගොරවා නිදියන කොට. ඔය, දැන් නම් සද්දේ අඩුයි.”

“ඔන්න ඔහේ කෑගහපු දෙන්. ඔයා ඇවිත් නිදා ගන්න. දැන් වෙලාව කීයද?”

“ඔයා ගිහින් නිදා ගන්න මම මුන් ටික එලවලා දාලා එන්නම්.”

උපනන්ද කෑම කාමරය හරහා වැටී ඇති දොරක් මඟින් ගොස් ගරාජයට පිවිසුනේය. ගරාජයේ පසෙකවූ කාමරයක මාටින් සැප නින්දක වැටී සිටින අයුරු දුටු උපනන්දගේ කෝපය තවත් උත්සන්න විය.

“බෙල්ලට උඩින් කෝච්චියක් ගියත් තමුසෙලා මර නින්දේ. නැගිටලා බලනවා මේ කාලකන්නි බළල් රැල ඉන්නේ කොහේද කියලා .”

උපනන්දගේ ගෝරණාඩුව ඇසුනු මාටින් වහාම ඇඳෙන් නැගිට බුරුල්ව ගිය සරම තදකර ගැටගසා ගත්තේය. තවමත් නිදිමත පහව නොගිය බැවින් ඔහු තම දෑස් පොඩිකරමින් උපනන්ද දෙස බැලුවේය.

“ඉතිං මගේ මුණ දිහා බලං ඉන්නේ නැතිව ගිහිං බලනවා.”

මාටින් විදුලි පන්දම රැගෙන ඉක්මනින් මිදුලට බැස ගත්තේ කවරකදාකවත් උපනන්ද මහතා මෙසේ රාත්‍රියට පැමිණ ඔහුට දොස්නගා නැති බැවිනි. මාටින් පසුපසින් මිදුලට බට උපනන්දට නිවසේ පිටුපස වෙල දෙසින් ඇසෙන රැහැයි නාදය මිස වෙනත් කිසිදු ශබ්දයක් නොඇසුණි. 

“කෝ මහත්තයෝ කිසිම සද්දයක් නෑනේ.”

“ඒක තමයි මමත් බැලුවේ. දැන් ටිකකට ඉස්සෙල්ලා පිටිපස්ස පැත්තෙන් තමයි සද්දේ ආවේ.”

“ඒ පැත්තත් මම හොයලා බැලුවා උන් යන්න ඇති.”

“බලනවා මුන්ගේ මූසල සද්දේ මගේ නින්දත් නැතිකළා.”

“ඒක තමයි මාත් බැලුවේ මහත්තයා කවදාවත් නැතුව අද මහ රෑ නැගිටලා.”

“කෝ මුන් ඉන්න දිහාවක් හොයාගන්න බෑ තමුසේ ටිකක් හෝදිසියෙන් ඉන්නවා.”

උපනන්ද යළි නිවසට ඇතුල් වී සාලය හරහා ගොස් උඩුමහලට යෑමට තරප්පු පෙළ වෙත ගමන් කළේය. නොදැනුවත්වම ඔහුගේ නෙත් සාලයේ පැරණි වීදුරු අල්මාරියේ තැන්පත්කර ඇති බඳුන වෙත යොමුවීය. එම බඳුනේ පියනේ හිස තමාදෙස බලා සිටිනවාක් වැනිවූ සිතුවිල්ලක් උපනන්දගේ සිතට නැගුනි. ඔහු නැවති එය දෙස බලා සිටින්නට විය. සෙල් පිළිමයක් මෙන් ඔහු එම බඳුන දෙස වශීවූවාක් සේ බලාගෙන සිටිනවා නිදන කාමරයෙන් උඩු මහලේ ආලින්දයට පැමිණි සුචිත්‍රා දුටුවාය.

“උපේ උපේ ඔයා මොනවාද ඔතන කරන්නේ?”

සුචිත්‍රාගේ ඇමතුමෙන් තිගැස්සී පියවිලොවට පිවිසි උපනන්ද ඉක්මනින් එතනින් ඉවත්ව උඩුමහලට නැගීය. ඔහුට කොපමණ වේලාවක් එතැන රැඳී සිටියාදැයි මතකයක් නොවීය.

“ඔයා දැන් ගොඩාක් වේලාවක් තිස්සේ එතනට වේලා හිටියා. මොකක් දිහාද ඔයා බලාගෙන හිටියේ?”

ඔහු ඈ දෙස විමතියෙන් බැලුවේය.

“මම දන්නේ නැහැ මම එතනට ගියාම අමුත්තක් දැනුනා හරියට කවුද මගේ දිහා බලාගෙන ඉන්නවා වාගේ.”

සුචිත්‍රා බිය රැඳි දෑසින් ඔහු දෙස බැලීය.

“ඔයා මොකට මේ දොගොඩාහරියාමේ එළියට බහිනවාද මන්දා. හොර හතුරොත් ඉන්න පුලුවන්.”

උපනන්දට නින්ද යනතෙක් සුචිත්‍රා ඉතිපිසෝ ගාථාව මුමුණන්නට විය. පසු දින පිබිදුණ උපනන්ද යළිත් ඊයේ සිදුවූ අමුතු සිදුවීම යළි මෙනහි කළේය. ඔහුට පැරණි අල්මාරිය ළඟදි සිදුවූ දෙයක් මතකයේ නොමැති විය. එතන ගොඩ වේලාවක් රැඳීසිටීමට හේතුව සෙවීම පිණිස ඔහු යළිත් එම ස්ථානයට ගොස් පරික්ෂා කළ මුත් එතැන විශේෂ යමක් නොවීය. ඔහු උදේ පාතරාසය ගනිමින් සිටියදී තංගම්මා ඇමතීය.

“තංගම්මා මීට පස්සේ ඔය බළල් තඩියන්ට අපේ ගෙවල් අස්සේ එන්න දෙන්න එපා. ඉතිරිවෙන කෑම දඩාවතේ යන බල්ලෝ බළලුන්ට කන්න දාන්නත් මීට පස්සේ තහනම්.”

“හොඳමයි මහත්තයා.”

“දවල් තිස්සේ වැඩකරලා ඇවිත් නිදාගන්න තියෙන්නේ රෑට විතරයි එකත් මේ බළල් රැළගෙන් කරදරේ. හැබැයි එක බළලෙක් වත් කුස්සිය පැත්තේ හිටියෝත් මම අල්ලගන්නේ තංගම්මාව තමයි.”

“මටනං කිසිම පුසන්ගේ සද්දයක් ඇහුනේ නැහැ.”

සුචිත්‍රා ඉඳිආප්ප තම පිගානට බෙදාගන්නා ගමන් කීවාය.

“ඔයාට කොහේ ඇහෙන්නද ගොරවා ගොරවා බුදියනකොට. සුචිත්‍රා ඔහොම ඉදලානං හරියන්නේ නැහැ. ඔයා ගෙදර වැඩගැන මීට වඩා හොයලා බලන්න ඕනේ.”

“මම හොයලා බලනවානේ උපේ. ඔය දඩාවතේ යන බළල් රැළ පිටිපස්සේ වෙල දිහාවෙන් වෙන්නැති එන්නේ. උන්ව නවත්තන්න අපිට පුළුවනිද? ඔය රැළේ වැටෙන කාලෙට බළල්ලු පොරකාගන්නවානේ.”

“වෙල දිහාවෙන් එන්නේ ඔයාලා උන්ට ඒ පැත්තට කෑම විසික්කරන නිසයි. මීට පස්සේ කෑම විසිනොකර ඉන්නවානම් හරිනේ.”

ඔහු වතුර වීදුරුව එක හුස්මට බී අහවර කරමින් කෑම මේසයෙන් නැගිට්ටේය.

“සුචිත්‍රා අද මට වැඩ ගොඩාක් තියෙනවා. මේ සැරේ සිංගප්පුරුවෙ ගමනින් ලොකු ඕඩරයක් ආවා. ආපූ ඕඩරේට ඉක්මනටම ෂිප්මන්ට් එකක් ලෑස්ති කරන්න ඕනේ.”

“උපේ මම අද ෂෙරිල්ව මීට් වෙන්න තියෙනවා. මං දවල්ට එයාගේ සැලොන් එකට යනවා.”

“කොහේ ගියත් හවසට ගෙදර ඇවිල්ලා ඉන්න.”

කී උපනන්ද ටොයොටා රථයේ නැගී තම ව්‍යාපාරික ස්ථානය බලා පිටත් වුනි. කාන්තා පිහිටාධාර සුබසාධක සංගමයේ සාමාජිකත්වය ලැබීම නිසා සුචිත්‍රා සිටියේ මහත් උද්දාමයෙනි. ඇය ඉක්මනින් එහි ක්‍රියාශීලී සාමාජිකාවක් බවට පත්වීමට එක් හේතුවක් වූයේද ඇයට වෙනත් සාමාජිකාවන්ටමෙන් දුවාදරුවන්ගේ වැඩකටයුතු නොවීමයි. සුචිත්‍රා එම සංගමයේ ලේකම් තනතුර හෙබවූ ෂෙරිල් සමඟ ඉක්මනින්ම මිතුරුකමක් ඇතිකර ගත්තාය. රුපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන ෂෙරිල් වයසින් සුචිත්‍රාට වැඩිමහලු එකියකවූවත් තම වියපත් වෙමින් පවතින රූපකාය ඇගේ රුපලාවන්‍යාගාරයේ පිහිටෙන් යම් තරමකට හෝ නවත්වාගැනීමට සමත්වූවාය. නව යොවුන් තරුණියක මෙන් විසේකාර දාංගලයකින් හැසිරෙන ඇය අසාර්ථක විවාහයකින් සැමියාගෙන් දික්කසාදවී සිටියාය.  ෂෙරිල් තම ව්‍යාපාරයෙන් හරිහම්බකරන සියල්ල වියපැහැදම් කළේ මිල අධික වටිනා ඇඳුම් පැලැඳුම්වලටය. උදේ දහය වනවිට සුචිත්‍රා ඇගේ කුඩා මෝටර් රථය ගාල්ලේ මහවීදියේ ෂෙරිල්ගේ රුපලාවන්‍යාගාරයට බලා පැදවීය. ඇය එයට ගොඩවනවිටත් ෂෙරිල්ගේ මිතුරියෝ දෙදෙනෙක් එහි රැඳී සිටියහ. තම දරුවන්ව පාසල් ගෙනගොස් ඇරලූ අමරාත් නීතාත් නිරතුරුව පාසල් ඇරෙනතුරු කාලය කාදැමීමට මෙසේ ෂෙරිල්ගේ බියුටි සැලෝන් එකට ගොඩවැදීම සිරිතක් විය. තමා මිළදීගත් ඩෙනිම් ජින්ස් කලිසම් හා ඒවාට සරිලන බ්ලවුස් කිහිපයක්ද ෂෙරිල් විසින් ඇගේ මිතුරියන්ට පෙන්වමින් සිටියාය. 

“බලන්න මේ ජින්ස් එක ඔයාට නියමෙට ගැළපෙනවා.”

“අපෝ ඕක ඇඟට හිර වැඩියි. පිටිපස්සෙන් කැපිලා පේනවා වැඩියි.”

“අයියෝ සුචිත්‍රා එහෙම තමයි ජින්ස් අඳින්නේ හොඳට හිරට ඇඟට තදවෙලා හිටින්න.” 

“අනේ මං මීට ඉස්සර ඩෙනිම් ඇඳලා නැහැ.”

“සුචිත්‍රා ඔයා හරියට ගොඩේ ගෑණු කෙනෙක් වගේනේ කතාව. බිස්නස් කාරයෙක්ගේ වයිෆ් කෙනෙක් කියලා කියන්නත් බෑ.”

ඇය තම ඉනට ඩෙනිම් කලිසම තබා බැලුවාය.

“ආ මෙන්න මේ බ්ලවුස් එකත් ඒකට මැච් වෙනවා.”

ෂෙරිල් අත්නැති බ්ලවුස් එකක් ඇගේ අතට දුන්නාය.

“මේ දෙක ඇඳලා බලන්න. කෙල්ලගේ හැඩ කොහොමද කියලා බලන්නත් එක්ක.”

ඇය සුචිත්‍රාව බලෙන් මෙන් ඇතුල් කාමරයකට ගෙන ගියාය. 

“ආ දැන්නෙ කෙල්ලගේ ලස්සන පෙන්නේ.”

ඩෙනිම් කලිසමෙන් සැරසී ආ සුචිත්‍රාව දුටු අමරා කීවාය.

“ඒක නම් ඇත්ත. දැන්තමයි සුචිත්‍රාට නියම පොෂ් පෙනුමක් ලැබිලා තියෙන්නේ.”

සුචිත්‍රාද තම හැඬරුව බලාගැනීමට කන්ණාඩිය ඉදිරිපිටට ගොස් තම යෙහෙළියන් කියන කතාව ඇත්තදැයි බැලුවාය. එම ඇඳුමෙන් තම රූපයට විශාල අලංකාරයක් එක්වූ බවක් ඇයට වැටහුනි.



“ඔය ජින්ස් එක මගේ ගානේ සුචිත්‍රාට තෑග්ගක්.”

ෂෙරිල් කීවාය. එම මිල අධීක ඩෙනිම් ජින්ස් එක නොමිලේම සුචිත්‍රාට දෙනු දැක අනෙක් යෙහෙලියන්ද ෂෙරිල්ට විහිළු කරන්නට විය.

“මේ අපිටත් නිකං දෙන්න කෝ. අපි කොච්චර ඇඳුම් ඔයාගෙන් ගන්නවාද?”

“ඔව් ඒක තමයි.”

නීතා කීවාය. ෂෙරිල් තම සුපුරුදු කපටි සිනාව ඔවුන්ට පෑවාය.

“ඒක නෙමෙයි සුචිත්‍රා ඔයාට ඔය ඇඳුම් වලින් විතරක් ලස්සන වෙන්න බැහැ. ඉදලා හිටලාවත් මුණටත් සත්කාරයක් දෙන්න ඕනේ.”

“මෙයානං කවදාවත් පේෂල් එකක් කරලා නැතිපාටයි.”

අමරා පැවසීය. සුචිත්‍රා මඳ සිනාවකින් පෑවාය.

“මේ අයත් ඉස්සර ඔයා වගේ තමයි. දැන්නම් මාසෙකට සැරයක් ස්ක්‍රබ් එකක් කරලා පේෂල් එකක් කරගෙන යනවා. බලන්න ඔයාගේ මූණේ හැටි මැරුණු සම අයින් කරන්න ඕනේ. එතකොට තමයි මූණට එළිය වැටෙන්නේ.”

“උපේ කැමතිවෙන එකක් නෑ.”

“එයා කැමතිද අකමැතිද කියලා බලන්නත් එක්ක අපි එක සැරයක් කරලා බලමු. ඔයාටත් තේරෙයි මේකේ වෙනස.”

“මහත්තයාත් ආදරේ වෙයි.”

අමරා ඇහැක් ඉඟිකරමින් කීවාය. අනෙක් යෙහෙළියන් ඉදිරියේ ලැජ්ජාවට පත්වීමට අකමැතිවූ සුචිත්‍රා ෂෙරිල්ට ඉඩදුනි. 

“ලැජ්ජවෙන්න එපා ළමයෝ ඔයාට හිතෙයි මේ ඉන්නේ පරණ සුචිත්‍රාද කියලා. මට සල්ලි එපා, ඔයාට මම අදට විතරක් ෆ්‍රී කරන්නම්.”

“මේ මෙයාට විතරක් ඇයි ෆ්‍රී? අපිට එහෙනම් ඩිස්කවුන්ට් දෙන්න ඕනේ.”

“තාම මෙයා අලුත්නේ.”

“මේවාගේ සල්ලි තියෙන බිස්නස්කාරයෙකුගේ වයිෆ්ට හැමදාම පේෂල් කරන්න බැරියැ.”

අමරා කීවාය. ෂෙරිල් විසින් සුචිත්‍රාගේ ඇහිබැම සකසා පේෂල් එකක් කර ඇගේ මුහුණේ අලංකාරය වැඩිකර පෙන්නුවාය. සුචිත්‍රාට සිතුනේ මෙතෙක් කලක් සැලොන් එකකට නොගිහින් සිටියේ තමාගේ මෝඩකමක් ලෙසය.

“දැන් බලන්න එපායැ සුචිත්‍රාගේ ලස්සන. බලාගෙන පාරේ යන්නේ. කොල්ලෝ ඇඩ්රස් දෙයි.”

“අපි වෙනින් දවසක කොණ්ඩෙත් හරි ගස්සමු. මෙයාට ලේයර්ස් කට් එකක් කපලා හදමු නේද අමරා?”

“ඔව් එකනං එයාට මැච් වෙයි. ෂෙරි මෙයාව එකපාරටම වෙනස් කරන්න එපා ඇස්වහ වදියි.”

සුචිත්‍රාට තම රූපය පිළිබඳව තරමක ආඩම්බරයක්ද දැනුනි. ඇය බලහත්කාරයෙන්ම ෂෙරිල්ට මුදල් ගෙව්වාය. නීතාත් අමරාත් පිටත්ව ගිය පසුත් ටික වේලාවක් ෂෙරිල්ගේ රුපලාවන්‍යාගාරයේ රැඳීසිටි ඈ නිවෙස බලා පිටත්විය. ඇය නිවසට එනවිට උපනන්ද නිවසට පැමිණ කන්තෝරු කාමරයටවී ලිපිගොනු රාශියක් පිරික්සමින් සිටියේය.

“උපේ අද ඔයා වේලාසනින් ආවේ? ඔයා කිව්වානේද හවස් වෙනවා කියලා.”

ඇය කන්තෝරු කාමරයට ඇතුල්වූයේ තම රූපයේ සිදුකළ වෙනස පෙන්වන අටියෙනි. ඒවන විට උපනන්ද සිටියේ ව්‍යාපාරයේ සිදුවූ මුල්‍ය ගනුදෙනුවල අක්‍රමිකතාවයක අගමුල සොයමිනි. තම බිරිඳ දෙස ඔලුව උස්සා බැලූ ඔහු යලිත් ගිණුම් පොතට නෙත් යොමු කළේ ඔව් කියමිනි. උපනන්ද තමන්ව ගණන් නොගැනීම පිළිබඳව සුචිත්‍රාට ඇතිකළේ තරහකි. එහෙත් ඇය තමන්ගේ උත්සාහය අත්නොහැරම යළිත් ඔහුගේ අවධානය තමා වෙතට යොමු කරගැනීමට උපනන්දට කතාකළාය.

“උපේ බලන්නකෝ අද හරි වැඩේනේ උනේ.”

“ප්ලිස් සුචිත්‍රා අපි පස්සේ කතාකරමුද. මම දැන් වැඩ ගොඩක හිරවෙලා ඉන්නේ. පුූළුවන්නම් තංගම්මාට කියන්න මට කිරි තේ එකක් හදල එවන්න කියලා.”

ඔහු තම දෑස් ගිණුම් පොතෙන් ඉවතට නොගෙනම පැවසීය. සුචිත්‍රා කෙන්තියෙන් ඔලුව ගස්සාගෙන කන්තෝරු කාමරයෙන් පිටත්ව ගියේ මේ මිනිහාට හැමතිස්සේම බිස්නස් බිස්නස් විතරයි යැයි සිතමින්ය. 

★   


“මිස්ටර් උපනන්ද ගාව දැනට සේවකයෝ කීදෙනෙක් සේවය කරනවාද?”

උපනන්දගේ මසුන් අපනයනය කිරීමේ ව්‍යාපාරික ස්ථානයට එදින දිවා කාලයේදි හදිසියේම පැමිණි

සේවක අර්ථසාධක අරමුදලේ පරික්ෂක නිලධාරින් උපනන්දගෙන් විමසීය

“දැනට නම් අට දෙනෙක් ඉන්නවා.”

“මේ අට දෙනාටම අර්ථසාධක මුදල් බැර කරනවාද?”

“ඔව් ඇයි?”

“අපිට පුලුවන්ද පඩි වාර්තා බලන්න.”

“ඔය මහත්තුරු ඇයි මේවා අහන්නේ?”

“අපි පැහැදිලි කරන්නම් ගිණුම් පොත් බලලා.”

උපනන්ද ගිණුම් ලිපිකරු සිරිවර්ධන කැඳවා එම පැරණි ගිණුම් වාර්තා නිලධාරින්ට ලබාදෙන මෙන් කීවේය. සිරිවර්ධන බොහෝ සේ නොසන්සුන්ව බියට පත්ව සිටින බවක් පෙන්වීය . උපනන්ද තමා ළඟ තිබූ අවසන් මාස දෙකහි නවතම ගිණුම් වාර්තා පරික්ෂක මහත්වරුන්ට ලබාදුනි.

“මිස්ටර් උපනන්ද ඔයා ඔය එකවුන්ට්ස්වල පෙන්නුවාට සේවකයින්ගේ පඩියෙනුත් අඩු කළාටත් මේ සල්ලි අපේ අරමුදලට බැරකරලා නෑනේ.”

ඔවුන් උපනන්දව අර්ථසාධක මුදල් වංචාකරන්නෙකු ලෙසින් කීවෝය. එම කතාව ඇසුනු උපනන්දගේ සිතට කෝපයක් මතුවිය.

“ඔය මහත්තුරු එහෙම කියන්නේ කොහොමද? මට පෙන්නන්න පුලුවන් මම ගෙවලා තියෙනවා කියලා.”

පැරණි ගිණුම් වාර්තා රැගෙන ඒමට පිටත් කළ සිරිවර්ධන  යළි තම කාමරයට පැමිණීමට ප්‍රමාද වෙද්දී උපනන්දද නොසන්සුන් විය. සේවකයෙකු කැඳවා සිරිවර්ධනට ඉක්මනින් එන්න කියන්නයැයි පිටත් කර හැරියේය.

“උපනන්ද මහත්තයෝ සිරිවර්ධන මහත්තයා නෑනේ මම හැම තැනම හෙව්වා.”

“හොඳට හොයලා බැලුවාද? යන්න ගිහින්  බලන්න එයා වෙන කොහේටවත් ගිහිල්ලාද කියලා.”

“එයා නැහැ සර්. එයාගේ බෑග් එකත් නැහැ.”

යළි පැමිණි සේවකයා පැවසීය. උපනන්ද යළිත් නොසන්සුන් විය. සිරිවර්ධනගේ දුරකථනයට කතාකළ මුත් එයද ක්‍රියාවිරහිත කර තිබුණි. පරික්ෂණයට ආ නිලධාරින් ගෙන් සමාව ඉල්ලා සිටි ඔහු ඉක්මනින් ගිණුම් පොත් පරික්ෂාකර බලා යම් කිසි අක්‍රමිකතාවයක් ඇතොත් මසක් ඇතුලත ගෙවා නිමකරන බව පොරොන්දුව ලබාදී ඔවුන්ව පිටත්කරවීය. ඔවුන් පිටත්වූ වහාම සේවකයෙකු ගෙන්වාගත් උපනන්ද ඔහු සමඟින් ලිපිගොනු අල්මාරිය කඩා විවෘත කර බැලීය. පැරණි ගිණුම් පොත් පරික්ෂාකර බැලිමේදි ඔහු විසින් අර්ථසාධක අරමුදලට මුදල් බැර කරන ලද බව සඳහන් කර ඇති මුත් ගෙවීම් සිදුකරන ලද රිසිට් පත් කිසිවක් හමුනොවීය. යම් කිසි අක්‍රමිකතාවයක් සිරිවර්ධන විසින් සිදුකර ඇතැයි උපනන්දට ඒත්තු ගියේය. උපනන්ද තෝන්තුවෙන් මෙන් කිසිවක් සිතාගත නොහැකිව තම කාමරයේ සැප පහසු පුටුව මතටවී ටික වේලාවක් ගත කළේය. එක්වරම සිතට නැගුනු අදහසක් අනුව සිරිවර්ධනගේ මේසය වෙත හිමිහිට ගමන් කළ ඔහු මේස ලාච්චු එකින් එක ඇර බැලුවේය. කහල ගොඩක් බදු කිසිඳු පිළිවෙලකට නොමැති එම ලාච්චු විවිධ කොල කැබැලි වලින් හා තම ආයතනයට ලැබුණු ලිපි ලේඛන හා රිසිට් පත් වලින් පිරී තිබුණි. නහය කඩාගෙන යන පුස් සුවඳක්ද එතුළින් හමා ආවේය. උපනන්ද ලාච්චු එකින් එක හැර කොල කැබැලි සියල්ලම බිමට හලද්දී එය තුළ සිටි කැරපොත්තන් කිහිපදෙනෙක් පණ බේරාගන්නට සුරක්ෂිත ස්ථානයක් සොයමින් දිවයන්නට විය. ඔහු කොලරොඩු ගොඩ අවුස්සමින් එහිවූ ලිපි හා රිසිට්පත් තෝරන්නට පටන් ගත්තේය. තම ආයතනයට එවන ලද වැදගත් ලිපි රාශියක් විවෘත නොකර එහිවූ අතරම සේවක අර්ථසාධක අරමුදලින් එවන ලද ලිපිද ඒවා අතරම තිබුණි. උපනන්දගේ හිස කරකැවෙන්නට වුයේ එහි තිබූ නාස්පුඩු කඩාගෙන යන පුස් සුවඳ නිසා දැනුන අපුල ගතියෙනි. තම විශ්වාසවන්ත සේවකයෙකුවූ සිරිවර්ධන මෙසේ හැසිරී තිබීම අදහාගැනීමට නොහැකිව ඇතිවුනු කෝපය මුසු කලකිරීමෙන් තෝරපු ලිපිද රැගෙන ඔහු නැගී සිටියේය. තම කාමරයට ගොස් පුටුවට වැටුනේ හිස මත රැදි විශාල බරක්ද සමඟිනි. ගුණපාල කැඳවා සිරිවර්ධනගේ මේසය ළඟ තිබූ සියලු අත්‍යවශය ලිපි තෝරා තමන්ට ගෙනවිත් දෙන මෙන් අණකර ගිණුම් පොත්ද රැගෙන ඔහු ඉක්මනින් තම මෝටර් රථය පදවාගෙන ගාල්ල පොලීසිය වෙත ගමන් කළේය. සිරිවර්ධන විසින් තම ආයතනයේ මුල්‍ය වංචා රැසක් කර පැනගොස් ඇතැයි පැමිණිල්ලක් කර ඔහු නිවස බලා ගමන් කළේය.



 එදින රාත්‍රියේ සුචිත්‍රා සමඟින් කතා කිරීමටවත් කාලයක් ඔහුට නොවීය. සුචිත්‍රාත් සිටියේ උපනන්ද ඇයව ගණන් නොගැනීම පිළිබඳව අමනාපවූ සිතෙනි. එහෙත් ඇගේ සිතේ හටගත් අමනාපය ගැන කිසිත් නොදන්නා උපනන්ද ඇය සමඟින් රාත්‍රි කෑමට එක්නොවී ගිණුම්පොත් හා රිසිට් පත් පිරික්සන්නට විය. ඇයත් උපනන්ද හා රාත්‍රි කෑමට එක්නොවීමට තීරණය කරතිබීම නිසාවෙන් කෑම කාමරයට නොගොස් පැන්ටි්‍රයට ගොස් සැන්විච් පෙත්තක් කා කිරිවීදුරුවකින් රෑ කෑමවේල සපයාගෙන නිදන්නට ගියාය. එදින රාත්‍රියේ ගිණුම් පොත් පිරික්සා ඔහු ඇඳට වැටුනේ මැදියම් යාමයත් පසුකළ පසුවය. සුචිත්‍රා උපනන්ද හා අමනාපයෙන් පසුවූ බැවින් ඔහුට සුළු රිදවීමක් කිරීමට ඇය උදෑසන උපනන්දව ඇහැරවාලීම නොකළාය. කාන්තා සංගමයේ පෙර යොදාගත් වැඩක්ද නොතිබූ නමුත් එහි රැස්වීමකට යන බව මාටින්ට පවසා ඈ ෂෙරිල් හමුවීමට රුපලාවන්‍යාගාරයට ගියාය. උපනන්දව මාටින් විසින් අවදිකරන විටත් උදෑසන දහයට ආසන්නවී තිබුණි. 

“කෝ මාටින් නෝනා?”

“නෝනා අර මොකක්ද සංගමයේ රැස්වීමක් තියෙනවා කීවා. ඒකට යනවා කියන්ඩ කීවා.”

“ඉතිං ඇයි මාව කීද්දුවෙ නැත්තේ?”

“නෝනා කීවා මහත්තයා ගොඩාක් රාත්තිරිය වෙනකං වැඩකරපු නිසා ටිකක් නිදා ගත්තාවේ කියලා. අන්න මහත්තයා මුණ ගැහෙන්න පොලීසියෙන් ඇවිල්ලා ඉන්නවා.”

“ඒ අයට ඉදගෙන ඉන්න කියන්න මම ඉක්මනට එනවා.” 

කී උපනන්ද නාන කාමරයට වැදුනි. ඉක්මනින් මුහුණ කට සෝදා ගත් උපනන්ද සරමකින් හා කමිසයකින් සැරසී බොත්තම් පියවමින් සාලය වෙත එනවිට මාටින් විසින් පිළියෙල කරන ලද තේ කෝප්පයක් පානයකරමින් ගාල්ල පොලීසියේ පොලිස් පරික්ෂක වීරසිංහ හා තවත් කොස්තාපල්වරු දෙදෙනෙක් සාලයේ  වාඩිවී සිටියෝය.

“ගුඩ් මොර්නින් මිස්ටර් උපනන්ද.”

“ගුඩ් මොර්නින් ඉන්ස්පෙක්ටර් මොකද අද උදෙන්ම. අපේ මිනිහා ගැන ආරංචියක්වත් ලැබුනාද?”

“අපි වෙන වැඩකට යන ගමන් මෙහාටත් ගොඩවුණේ. ඊයේ අපි ගියා සිරිවර්ධනගේ ගෙදරට. මිනිහා අපිට මඟ ඇරලා ගිහිල්ලා තියෙනවා.”

“ඒ කියන්නේ?”

“මිනිහා අපි එන්න ඉස්සර වෙලා බඩුමූට්ටුත් අරන් පැනලා ගිහිල්ලා. මිස්ටර් උපනන්ද දන්නවාද ඔය මිනිහාගේ ගමේ ගෙවල් තියෙන දිහා?”

“මං දන්න තරමින් නම් සිරිවර්ධන බදුල්ල පැත්තේ. අපේ ගුණපාලත් බදුල්ල පැත්තේ, එයා නම් දන්නවා ඇති. මම ඇඩ්රස් එක ඉන්ස්පෙක්ටර්ට දෙන්නම්.”

“හොඳයි එහෙනම් මට ඒක ඉක්මනටම ලැබෙන්න සලස්සවන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්.”

පොලීස් නිලධාරින් පිටත්ව ගිය පසු උපනන්ද තම ව්‍යාපාරික ස්ථානයට නොගොස් ගිණුම් පොත් පරික්ෂා කළත් ඒ පිළිබඳවූ අල්ප දැනුම නිසා ඔහුට අක්‍රමිකතා සොයා ගත හැකිවූයේ සීමිත ගණනකි. තමා මෙසේ වෙහෙසීමෙන් ඵලක් නොවන බව ඔහුට වැටහුනේ ගිණුම්කරණය තමාට නුපුරුදු විෂයක් වුයෙනි. එම කටයුතු විගණන සාමාගමක් වෙත පැවරීම සුදුසු යැයි සිතා ඔහු එම කටයුතු එදින සවස් වරුවේ විගණන සමාගමක් වෙතට ගොස් එයට පැවරීය. 


පසුදින උදයේම මාටින් දැනුම් දුන්නේ ඔහුගේ මත්ස්‍යාගාරයේ පාලක නන්දන පැමිණ සිටින බවය. ඔහු කවරදාක වත් මෙසේ උපනන්දගේ නිවසට හදිසියේ පැමිණ නොතිබූ නමුත් උපනන්ද සිතුවේ සිරිවර්ධන ගැන ආරංචියක් රැගෙන ඔහු තමා හමුවන්නට පැමිණ ඇතැයි යනුවෙනි. උඩුමහලින් පහළට පඩිපෙලෙන් බහින අතරතුර උපනන්ද බැලුවේ සාලයේ සිටගෙන සිටින නන්දන දෙසය. දෑස් රතු කරගෙන හිසකේ අවුල්ව කලබලයෙන් නොවීසිලිමත්ව එහාමෙහා බලමින් සිටි ඔහුගේ මුහුණෙන් නිදිවරාපු වෙහෙසකාරී හා බියපත් පෙනුමක් පෙනෙන්නට විය. 

“ඇයි නන්දන කලබලයෙන්?”

“හරි වැඩක්නේ මහත්තයෝ වෙන්නේ. හෙටනේ අපේ අලුත් ඕඩරයට ෂිප්මන්ට් එක යවන්න තිබුනේ.”

“ඉතිං.”

“මාළුන් එකා දෙන්නා මැරෙන්න ගත්තා.”

එය ඇසීමෙන් උපනන්ද මහත්සේ කලබලයට පත්විය.

“ඇයි ඔයාලා ටැංකිවලට එයාර් දාලා තිබුනේ නැද්ද?”

“ඇයි මහත්තයෝ අපි එහෙම නොකර ඉන්නවාද?”

“එහෙනම් වතුරට මොනවා හරි වසක් විසක් වත් දාලාද?”

“වෙන්න බැහැ මම සවසත් වතුරේ පි එච් එක චෙක්කරළා තිබ්බේ. ඊයේ රාත්තිරියේ ඩියුටි හිටියේ අබේයි ජිනදාසයි.”

“දැන් මොකද මාළුන්ට කළේ?”

“අපි හොඳ මාළුන්ව වෙන් කළා. අනෙක් මාළුන්ට බෙහෙත් දැම්මා. තාම නම් හරියන පාටක් නැහැ. අනෙක් ටැංකි වලටත් ලෙඩේ බෝ වෙනවා වගේ පෙනෙන්නේ.”

“එහෙනම් ඉක්මනටම ඒවාටත් බෙහෙත් දාන්න .”

“කොහොමද මහත්තයෝ බෙහෙත් දාන්නේ ලෙඩේ දන්නේ නැතිව. මම සැකේට දාපූ ඒවාටත් ගුණයක් පේන්නේ නැතිව.”

“එහෙනම් තමුසේ ඉක්මනට අර ඩොක්ටර් පෙරේරාට කතාකරනවා. පුලුවන් තරම් ඉක්මණටම ගාල්ලට එන්න කියන්න. නැත්තම් වාහනයක් අරගෙන ගිහිල්ලා එක්කගෙන එනවා. මම එහාට එන්නම්. මාළු මැරුණොත් අපි ඉවරයි.”

උපනන්ද හිස ගිනිගත්තේකු සේ ඉහළ මාලයට දිව ගියේය.


★   


ටිකෙන් ටික සුචිත්‍රාද ෂෙරිල්ගේ විලාසිතා අනුකරණය කරන්නට වූයේ ෂෙරිල් විසින් ඇයට කලිසම් හා ශරිරය පෙනෙන විවිධ ඇඳුම් පැලඳුම් හුරු කරවූවායින් පසුවය.  

“බලන්නකෝ ෂෙරිල් උපේ දැන් මාව ගණන්ගන්නේම නැහැ එයා බිස්නස්වලටම ඇලිලා. කොයිම වේලාවකවත් ගෙදර නැහැ. අදත් ඔය උදේන්ම කොහෙද මන්දා දිව්වා. මට ගෙදර ඉන්න බැහැ හරිම පාළුයි.”

“ඉතිං පාළුව යන්නත් එක්ක ළමයෙක් හදන්න තිබුණානේ.”

“කොහේද එයාට ඒවාටවත් වේලාවක් බිස්නස්වලට වැඩිය.”

“පිස්සුද සුචිත්‍රා ඔයාලට ළමයි නැත්තේ එයා බිස්නස්වලට ඇලිලා නිසා නෙමෙයි. ඔයාලා අතර තියෙන වයස් පරතරය නිසයි. ඔයා මොකට මේ වයසින් වැඩි මිනිහාව බැන්දද මන්දා?”

“නෑ ෂෙරිල් උපේ ඉස්සර එහෙම නෑ දැන් ටික දවසක ඉඳලා තමයි මේ. මේ දවස් වල එයාට ප්‍රශ්නත් වැඩියි වාගෙයි.”

“නෑ සුචිත්‍රා එයාලාගේ නොහැකියාව හංගන්න තමයි ඔය බොරුවට වැඩ ගොඩක හිරවෙලා ඉන්නවා වාගේ පෙන්නන්නේ. අද වැඩ ගොඩාක් කළා හරිම මහන්සියි තෙහෙට්ටුයි කියන්නේ ඒකයි. ඔයාට තිබුනේ හොඳට ජීවිතේ එන්ජෝයි කරන්න පුලුවන් තරුණ කොල්ලෙක්ව බඳින්නයි. නාකි බැඳලා කොහොමද මේ වගේ කෙල්ලෙක්ගේ විසේ බස්සන්නේ.”

ෂෙරිල් සුචිත්‍රාගේ නිතඹට පහරක් ගසමින් පැවසුවාය. ඇයට උපනන්දගේ වියපත් වෙමින් පවතින රූපකාය මැවීපෙනුනි.

“ෂෙරිල්ගේ කතාව නම් ඇත්ත තමයි. මම නිකං කාලකන්නි වුණා. අම්මලාට ඕනේ වුණේ මාව සල්ලිකාරයෙකුට බන්දලා දෙන්න විතරයිනේ.” 

ඇයට තමා ගැනම ආත්මානුකම්පාවක් ඇතිවිය. ඈ රුපලාවන්‍යාගාරයේ වීදුරු කවුළු තුළින් මහාවීදියේ එහා මෙහා යන මිනිසුන් දෙස බලමින් කල්පනා කරන්නට විය.

“මේ සුචිත්‍රා මොනවාද අනේ ඔයා කල්පනා කරන්නේ? ඕවා ගණන් ගන්න එපා. ඔය ප්‍රශ්න අමතක කරන්න එක්ක හෙට අපේ ගෙට්ටු ගෙදර් එකට ඔයා එනවා නේද? අපිට හොඳ ජොලියක් දාන්නත් පුලුවන්.”

“බලමු ෂෙරිල් උපේ යන්න දෙයිද දන්නෙ නැහැ.”

“ඔයා කොහොම හරි එන්න ඕනේ. අනිත් එන්ජිඕ සංවිධානවල අයත් මේකට එනවා. අනික අපේ හෙඩ් ඔෆිස් එකේ කට්ටියත් අනිවාර්යයෙන්ම එනවා. ඔය දෙගොල්ලෝම අඳුනගන්න එක හොඳයිනේ.” 

“හරි මම උපේගෙන් කොහොම හරි පර්මිෂන් ගන්නම්.”

ෂෙරිල්ගේ බලකිරීමෙන් ඇගේ සිතෙත් එම පාටියට යෑමට ආශාවක් ඇතිවිය. ඇය නිවසට එන අතරවාරයේ කෙසේහෝ උපනන්දගෙන් අවසර ගෙන සාදයට යෑමට ඉටාගත්තීය. ඇය නිවසට පැමිණෙන විටත් උපනන්ද නිවසට පැමිණ තිබුණේ නැත. ඇය මෝටර් රිය ගරාජයට දමා නිදන කාමරයට වැදුනාය. ගතේවූ දහඩිය යන්නට දියනාගෙන ඉහලමාලයේ සැදෑල්ලටවී පුවත්පතක් කියවමින් හුන් ඈට උපනන්දගේ මොටර් රිය ගෙවත්තට ඇතුලු වන හඬ ඇසුණි. දිනය පුරා ඉතාමත් වෙහෙසමහන්සිව තෙහෙට්ටු ගතියෙන් සිටි උපනන්ද උඩුමහලට ගොඩවීමට හිමිහිට තරප්පු පෙළ නගින්නට විය. ඔහුගේ පෙනුම මේ දිනවල වඩාත් වියපත්වී ඇතිබවක් සුචිත්‍රාට පෙණුනි. ඔහු තරප්පුපෙළ නැඟ අවසන්ව ටික වේලාවක් එතැනම නතරවී සිටියේ ධාවන තරගයක් නිමකළ පුද්ගලයෙකු තම මහන්සිය හැරගැන්මට යම් ඉසිඹුවක් ලබාගන්නාක් මෙනි. 

“ඇයි උපේ ඔයාට සනිප නැද්ද?”

කඩිසර ක්‍රියාශීලි පුද්ගලයෙකු ලෙස උපනන්දව දුටු සුචිත්‍රා අද වෙනදා නොදුටු වෙහෙසාකාරි ගතියකින් පෙලෙනු දැක ඇසුවාය.

“නෑ සුචිත්‍රා හරිම තෙහෙට්ටුයි මේ දවස්වල කෙලවරක් නැති කරදර.”

“ඇයි උපේ ?”

“අර පාහාරයා කරපු වැඩේ. මම ඌව ඕනෑවටත් වඩා විශ්වාස කළා බලනකොට මූ මහ පල් හොරෙක්නේ.”

“කවුද උපේ කවුද?”

“සිරිවර්ධන. අර එකවුට්න්ස් ක්ලාක්. ඌ අපේ සල්ලි ගොඩාක් වංචා කරලා තියෙනවා. මට ඒකත් අහුවුණේ ෑඡත්‍ එකට සල්ලි ගෙවලා නැති නිසා චෙක් කරන්න ආපූ නිසයි. තව ටිකෙන් ඉන්කම් ටැක්ස්වලින්නුත් පැනලා නඩුත් වැටෙනවා.”

“ඉතිං මිනිහාව අස්කළාද? පොලීසියට අල්ලලා දෙන්නනේ තිබුනේ.”

“කොහේ අස්කරන්නද මිනිහා පැනලා ගිහිල්ලා. මම පොලීසියට දන්වලා තියෙන්නේ. ඒ මදිවට අපේ අලුත් ඕඩරේට ෂිප්මන්ට් එකත් දීගන්න බැරිවුණා.”

“ඇයි සිරිවර්ධන කළ වැඩෙන්ද?”

“නැහැ සුචිත්‍රා මාළුන්ට විෂබිජයක්ද කොහෙදෝ ගිහිල්ලා. මාළුන් ගොඩාක් නැතිවුණා.”

“අයියෝ ඔක්කෝම මළාද?”

“නැහැ එත් අනෙක් මාළුන්ටත් ලෙඩේ බෝවෙලා වගේ පේන්නේ.”

උපනන්ද නිදන කාමරයට යන ගමන් කීවේය. ඇයට ඔහු ගැන ශෝකයක් උපන්නේය. මෙතෙක් දිනක් ඔහු හා කතාබස් නොකර සිටීමෙන් ඔහුගේ ව්‍යාපාරයට සිදුවූදෙයක් නොදැන සිටීම ගැන ඇයට කණගාටුවක් ඇති විය. පසුදින සවස පවත්වනු ලබන සාදයට එක්වීමට උපනන්දව කැමති කරගන්නේ කෙසේදැයි සුචිත්‍රා සිතන්නට වූවාය. මේ සා විශාල කරදර ගොඩක පැටලී සිටින තම සැමියාගෙන් තමා සාදයකට යෑමට ඉල්ලීම කෙතරම් අනුචිත ක්‍රියාවක්දැයි ඇයට සිතුණි. නමුත් ෂෙරිල් විසින් ඇගේ සිතට කාවද්දනු ලැබූ සාදයට යෑමේ ප්‍රතිලාභ ගැන සිතන කල්හි ඇයට උපනන්දගේ කරදර ගොඩ අමතක වීම ඉබේම සිදුවන්නට විය. රාත්‍රි කෑම ගන්නා අතරතුරදී ඇය තම සිතැගි එළියට දැම්මාය.

“උපේ අපේ කාන්තා සංවිධාන වල එකමුතුවෙන්  හෙට ගෙට්ටු ගෙදර් එකක් තියෙනවා ලයිට් හවුස් හෝටලේ. අපේ ඔක්කෝම ඒකට යනවා.”

“සුචිත්‍රා ඔයා යන්න. මට නං ඕවායේ යන්න වේලාවක් නෑ. මම හෙට උදේම පේරාදෙනියේ වෙට් ෆැකල්ටියට යනවා. මේ ලෙඩේ මොකද්ද කියලා බලන්න.”

“ඉතිං ඔයා හවසට එනවානේද?”

“මම එනකොට රෑ වෙන්න පුලුවන් සමහර විට එහේ නතරවෙන්නත් සිද්ධවෙයිද කියන්න දන්නේ නැහැ. ඔය පාටි වලට යන්න පුලුවන් මානසික තත්ත්වයක නොවෙයි මම ඉන්නේ. මේ වෙලාවේ බලන්න ඕනේ අනෙක් මාළු ටික දෙනාවවත් බේරාගන්නයි. ඔයා යන්න, ගිහින් එන්න.”

ඔහු තම අවසරය ඇයට ලබාදුන්නේය.


★   


 උපනන්ද පසුදින අලුයමින්ම පේරදෙනියේ පශු වෛද්‍ය පිඨය බලා පිටත්වුයේ රෝගි මාලු කිහිප දෙනෙක් සමඟින්ය. හවස් යාමයේ සුචිත්‍රාද ෂෙරිල් හා සාදයට යැමට ලැහැස්ති වූවාය. ෂෙරිල්ගේ ඉල්ලීම පිට තෝරාගත් කෙටි ගවුමෙන් සැරසුණු ඇයට මඳ ලැජ්ජාවක් ඇතිවූයේ තම දෙපා වැඩිහරියක්ම නිරාවරණය වන බැවිනි. කෙටි ගවුම ගලවා දමා සුපුරුදු පරිදි සාරියකින් සැරසී යාමට ඇයට සිතුණි. එහෙත් එවැනි සාද සඳහා සාරි ඔබින්නේ නැති බව කියා ෂෙරිල්ගේ බලකිරීම මත එම අදහස අතහැර දැම්මාය. ෂෙරිල් ඇයටත් වඩා ඉතා කෙටි සායකින් සැරසීගත්තාය. එයත් අඟල් හයක් පමණ පිටු පසින් විවරව තිබුණේ ඇගේ ශ්වේත වර්ණ කලවා යුග්ම නිරාවරණය කරමිනි. ඇය සුචිත්‍රාටත් වත්සුනු තවරා තම කාරිය අවසන් කළාය. කෙටි ගවුමෙන් සැරසුනු සුචිත්‍රා කන්ණාඩිය ඉදිරියේ සිටගෙන දෙපසට හැරී බැලුවේ තම තුරුණු රූසපුව දෙසය. අත් රහිත ගවුමෙන් තම පිරුණු ළැමත් අඩි උස පාවහන් යුගලයෙන් ඇගේ නිතඹත් පිටුපසත් හොඳින් ඉස්මතුවී පෙනෙන්නට විය. තමා කොතරම් ලස්සනදැයි ඇයට සිතුනි. ඔවුන් දෙදෙනා නීතා පැමිණෙන තෙක් බලාසිටියේ ඇගේ සැමියා සතු ප්‍රාඩෝ මොටර් රියෙන් එම සාදයට පිටත්ව යෑමටය.


මතුසම්බන්ධයි......


Monday, March 22, 2021

කොළොම්පුරේ නිර්මාණ හොරකම් කළ රන් FM කලාගාරය

මාගේ කාර්යාලයේ කුඩා ගුවන් විදුලියක් තබාගෙන අනෙක් සගයන්ට බාදාවක් නොවන අයුරින් ගිතයන්ට සවන්දීම කරගෙන යන්නේ කාලයක සිටයි. එය රැකියාවේ තිබෙනා අධික වෙහෙස පීඩනය ආතතිය නිවා මනසට සැහැල්ලුවක් ගෙනෙනා බැවිනි. උදේම දමන එය යළිත් මා සේවයෙන් මිදි එනතෙක් නොනවත්වා ක්‍රියාත්මකවන නිසා එහි යන සියළු දෑ රැකියාව අතරතුර දෙසවනට වැටෙයි. පලකට නැති වැඩසටහන් මෙන්ම නපුංසක හඩින් කතාකරනා ගිරාපොතක නිවේදනයන් නැති පැරණි හා හොද ගීත නිර්මාණයන් යන ගුවන් විදුලි චැනලයක් ලෙසින් රන් එෆ්එම් තොරාගත්තේ එබැවිනි. සැබවින්ම එය හොඳ රසාද්වාදනයක් අපට ලබාදෙයි. සිකුරාදා දිනෙක අතිකාලසේවයේ යෙදී සිටියදි සවස 6.30ට පමණ කලාගාරය නම් වැඩසටහන විකාශනය වන්නට විය. මාගේ දෙසවනට වැටුනේ හොදින් හුරුපුරුදු වාක්‍ය කන්ඩ කිහිපයක් නිසා තවත් සැලකිල්ලෙන්  අසන්නට ගත්තෙමි. අදෝවකි මේ කිසිම ඉස්පිල්ලක් පාපිල්ලක් ඇද නැතිව ගෙඩිපිටින්ම කොපිකර කියන්නේ රික්ෂෝකාරයා ගැන ලියවුනු මාගේ බ්ලොග් ලිපියයි. එම වැඩසටහන අසා සිටි අනෙක් මේසයේ සිටි කාර්යාල සගයන්ට මේ මුන් හොරකම් කර කියන්නේ මාගේ නිර්මාණයක් බව කියා බ්ලොග් ලිපියද ඒ ලිපිය අනුසාරයෙන් මුද්‍රණයෙන් පළවු ආයතනයේ තෛයිමාසික විනිවිද සගරාවේ ලිපියද ඔවුනට පෙන්විමි. ඇත්නේම මේ ලිපිය උපුටාගත් මාගේ බ්ලොග් අඩවිය ගැන සඳහන් කරන්නට කලාගාරයේ වැඩසටහන් නිෂ්පාදක හෝ නිවේදිකාවට සදාචාරයක් තිබුනේ නැත. ආසා සිටිවුන්ගේ අදහසවූයේ රන් එෆ් එම් ආයතනයට මේ ගැන කියා ලිපියක් යවන්නටය. නමුත් මා එය අමතක කර දැම්මේ තිබුන වැඩ රාජකාරි අස්සේ ලිපියක්වත් ලියන්නට කාලය නොමැතිවූ බැවිනි. 

යළිත් වරක් 19-03-2021  සිකුරාදා දිනයේ මාගේ බ්ලොග් ලිපියක් වන කොළඹ කොඩිගස ගැන ලියවුනු චන්ඩි උපන්න සුප‍්‍රකට ගසක් ලිපිය ආපසු කලාගාරය වැඩසටහනේ විකාශනය විය. එයත් අවසාන වනතුර ආසා සිටියත් මේ ලිපිය උපුටාගත් බ්ලොග් අඩවිය ගැන සඳහනක් නොවිනි. එය ඔප්පු කිරීමට වැඩසටහන අතරතුර ලබාගත් විඩියෝ රේකොඩින් එකක් මා සතුව ඇත. මාගේ දෙසවනට නොවැටුනු අසුනොවූ නිර්මාණයන් හා ලිපි කොතරම් ප්‍රමාණයක් මේසේ ඔවුන්ගේ නිර්මාණයන් සේ විකාශය කරඇද්දැයි නොදනිමි. මහාචාර්ය සුනිල් ආරියරත්නලා රෝහණ විරසිංහලා වැනි කලාලොවේ පතාක දැවැන්තයන්ගේ නිර්මාණ මහ දවාලේ තවත් කලාකරුවන් කොල්ලකන අවදියක මා වැනි ඇච්චෙක්ගේ නිර්මාන කොල්ලය ගැන කියා වැඩක් නැත.

  රන් එෆ්එම් වැඩසටහන් කරුවනි මේ බ්ලෙග් අඩවිය ඇරඹුනේ දැනුම ලොවට බෙදා දෙන්නට මිසක් බදාගන්නට නොවන බැවින් මාගේ නිර්මණ උපුටාගත්තාට කමක් නැත, කතෘභාගය ඉල්ලන්නට අදහසක් නොමැති බැවින් අඩුම වශයෙන්වත් නිර්මාපකයාගේ නම හා බ්ලොග් අඩවියේ නම සඳහන් කරන්නට සදාචාරසම්පන්න වෙන්න. 



Friday, March 19, 2021

හෝරස්ගේ දරුවා - හතරවන දිගහැරුම Son of Horus - 4

 


නිවසේ ඉදිරියෙන් තාරපාර හරහා ඇද ඇති කොහුලණුවේ එල්ලුණු කහ පැහැගැන්වුණු සුදු කොඩි දෙක අවු වැසි වලින් නිරුපද්‍රිතව කඩින් කඩ හමන මඳ සුළගට ලෙලදෙයි. තරුණ කළ හැඳුනුම්පතට ගත්  ඡායාරූපයකින් හැඩවී නිවස දෙපස ලයිට් කනුවල ඇලවුනු පියසෝම රත්නායකගේ මරණ දැන්වීමේ කොළවල උඩින් ගෑවුණු පාප්පවලට ඇල්ලූ කළු පුස් පැල්ලම් වියළී ගොසිනි. විමලා හා පියසෝමගේ මංගල ඡායාරූපය අනෙක්පස හැරවී බිත්තිය දෙස බලාගෙන ඉඳියි. සාලයේ කොනක ශෝකය ප්‍රකාශ කර තාප්පවල ගැටගසා තිබුනු අවමංගල්‍යාධාර සමිතියේ හා කර්මාන්තශාලාවේ බැනර් කිහිපයක් අපිලිවෙලට වැතිර ඇත. නිවස පුරාම මූසල නිහඩතාවයකින් පිරී ඇති බව නිමාලිට සිතුණි. තමා වාඩිවී සිටි පුටුවෙන් නැගිට සාලය අතුගා දැමීමට තරම්වත් ප්‍රාණයක් ඇයට දැනුණේ නැත. තාත්තාගේ දේහය රැගෙන ගිය අවමඟුල් පෙරහැරේ බෙරයෙන් වැයුනු බොල් හඬ තවමත් ඇගේ දෙසවනට ඇසෙන්නාක් මෙන් දැනෙන්නට විය. දෙකොපුල් තෙමාගෙන කඳුළු වැලක් ඇයටත් නොදැනීම පහළට වැටුනි. නෑ හිතමිතුරන් එක්ව අවමඟුලත් හත්දොහේ දානයත් එකලාසයක් කරවූයේ නැතිනම් තවමත් සිහිකල්පනාවක් නොමැතිව සිටින අම්මා හා නංගීත් සමඟින් මේ කටයුතු කෙසේ ඉවරකරගන්නේ දැයි නිමාලිට සිතාගත නොහැකි වූවාය. දානයේ කටයුතු වලින් පසුව රැස්ව සිටි එකා දෙන්නා ඉවත් වී ගියපසු මහා වටවරුසාවකින් පසුව එන නිශ්ශබ්දතාවයක් මෙන් පාළු ගතියකින් මුළු නිවසම වෙලාගෙන ඇති බව ඇයට හැගුනි. දෙකම්මුල් හරහා ගලාගිය කඳුළු පිසදාගත් නිමාලි නැගීසිටියේ තම මාමා හා අම්මා ගැන ඇතිවුනු කෝපයෙනි. එදින තමා ගෙදර සිටියේනම් මේ විපත තාත්තාට සිදුනොවන බව සිතා ඈ දුක්වූවාය. දැන් මුළු පවුලම තනිවී ඇති බව ඇයට සිතුනි. පාර අද්දරට ගොස් මඟබලා සිටියේ අරුණවත් අද දින එයිදැයි විමසිලිමත්වෙමිනි. 

“තාත්තා රත්තරන් නැවක් හොයන්න ගිහිල්ලා නේද අපි ඔක්කෝම අනාථ වුණේ. අම්මා කේන්ති ගන්නේ නැතිව ඕක තාත්තාට පහදලා දුන්නානම් අද තාත්තත් මාමාත් අපිට ඉන්නවා නේද?”

“තාත්තා හැම තැනකටම ණයවෙලා තිබුන හින්දා එදා මට බෙහෙත් අරගන්න අම්මා එයාගේ කරාබු දෙකත් උකස් කරන්න ඇත්තේ. දැන් කොහොම හරි මේ ණය වලින් කොටස කොටස වත් බේරාදාන්න නම් අරුණට කියලා ඉක්මනටම ගාමන්ට් එකක වත් රස්සාවක් හොයාගන්න බලන්න ඕනේ. එයානම් කැමති වෙන එකක් නෑ. ඒත් මේ ගෙදර තවත් ප්‍රශ්න වැඩි වෙන්න කලියෙන් එහෙම එකක්වත් ලැබුනොත් හොඳයි.”

නිමාලි එසේ සිතමින් යළි නිවස දෙසට හැරුනාය.

නිමාලි තවමත් අසනීපයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වී නොසිටියාය. ඇයට නිසි ආකාරව බෙහෙත් පාවිච්චි කිරීමට පියසෝමගේ අවමඟුල නිසා නොහැකිවිය. හොඳින් පිරුණු ශරිරයක් තිබූ නිමාලි කෘෂව සුදුමැලිවී හේබාගිය ස්වභාවයක් ඉසිලීය. ඇයට තම ඇඟිලි දෙස බැලින. ඒවා කලුවී නියපොතු පවා විකෘතිවී ගොසිනි.

“මේකනම් වුණේ අර තාත්තා ගෙනාපු බඳුන සුද්ද කරන්න ගිහිල්ලා කාවට්ටි විස ගහලා තමයි.” 

ඇයට තම ඇඟිලි දැක හීල්ලුනි. ඇඟිලි දෙස බලාගෙන ගැඹුරු කල්පනාවකට මැඳිව සිටින විට නිවසේ ඉදිරිපස මොටර් රථයක් නවතනු හඬ ඇයට නෑසින. නවීන පන්නයේ ටොයොටා මොටර් රථයෙන්  එළියටබට පුද්ගලයා මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් ඇත්තෙකු විය. සම්පුර්ණයෙන්ම රැවුල මුඩුකරන ලද මුහුණේ යාන්තමට තරුණ කළ සිට ඉතිරිව ආ කුරුලෑ කැළැල් කිහිපයක් ඉතිරිව ඇත. හිසේ ඉදිරියෙන් මඳක් අඩුව ගොස් පෑදීගෙන එන තට්ටය පැත්තට පීරා තිබූ කොණ්ඩය මඟින් වසා ගත්, විසිතුරු මසුන් අපනයනය කිරීමේ විශාල ව්‍යාපාරයක හිමිකරුවූ උපනන්ද සිල්වා මහතායි. ව්‍යාපාර කටයුත්තක් සඳහා සිංගප්පුරුවට ගොස් සිටියෙන්  පියසෝමගේ අවමඟුල් කටයුතුවලට සහභාගිවීමට නොහැකිවූවත් මුල්‍යමය අතින් නිමාලිලාට නොමසුරුව ආධාර උපකාර ලබාදුන්නේය. පියසෝම විසින් මුහුදෙන් අල්ලා ගන්නාලද විසිතුරු මසුන් අලෙවිකළේද උපනන්ද සිල්වා මහතාටයි. තම ව්‍යාපාරය ආරම්භකළ අවදියේ සිටම පියසෝම තමාට මසුන් අල්ලාදීමෙන් තම ව්‍යාපාරය ඉහළට ගෙනයෑමට අඩිතාලම දමා දුන් අයුරු කිසිදා ඔහු අමතක නොකළේය. පෙර දින රාත්‍රියේ ලංකාවට පැමිණි ඔහු තම ව්‍යාපාරයේ අත්‍යවශය කටයුතුවලින් පසු ඉක්මනින්ම පිසෝමගේ නිවස බලාගියේ නිවසට අවශ්‍යය කළමනා ටිකක්ද රැගෙනයි. නිවසේ ඉස්තෝප්පුවට ගොඩවූ ඔහු උස් හඬින් කතාකළේය.

“කෝ ගෙදර කවුරුත් නැද්ද?”

“ආ මේ උපන්නද මහත්තයානේ එන්න ඇතුලට ඇවිත් වාඩිවෙන්න.”

නිමාලි ඔහුව පිළිගත්තාය. උපන්නද මහතා පිටුපසින් රියදුරු මාටින් පැමිණ ඔහුගෙනා කළමනා අඩංගු පාර්සල් කිහිපය බිම තැබුවේය.

“ආ මෙන්න මේ බඩු ටික ගෙදරින් අරන් තියන්න.”

“මහත්තයා කවද්ද ලංකාවට ආවේ?”

“ඊයේ රාත්තිරියේ. එහේ වැඩටික ඉවරකරගෙන එන්න සිද්ධ වුනා ඒ නිසයි මට තාත්තාගේ මළගමට එන්න බැරිවුනේ.”

“ඒකට කමක් නැහැ මහත්තයෝ සහභාගිවෙන්න බැරිවුණාට. මහත්තයා අපිට ගොඩාක් උදව්උපකාර කළානේ. ඒ මදිද.”

“මට හරිම කනගාටුයි තාත්තාට වෙච්චිදේ ගැන. පියසෝම හරිම හොඳ මනුස්සයෙක්. මට එයා ගොඩාක් උදව්කරලා තියෙනවා. කෝ ළමයෝ අම්මා?”

උපන්නද මහතා වටපිට බලමින් ඇසුවේය.

“ඔය කාමරේට වෙලා ඉන්නේ. එයානං තාම හොඳ සිහියෙන් නෙමෙයි ඉන්නේ.”

“ඔය ගතිය ටික දවසකින් ඇරිලායයි.”

“අම්මා හරියට දුක්වෙනවා. එයා නිසා මේ කරදරය තාත්තාට සිද්ධවුනා කියලා නිතරම කියවනවා.”

“ඕවා හදිසි කෝපයට සිද්ධවෙන දේවල්නේ.”   

“මටත් දරාගෙන ඉන්ට බැහැ මහත්තයෝ තාත්තා එකපාරටම හොරු ගෙනිච්චා වාගේ. මට තාත්තා ගෙදර ඉන්නවා වාගේ දැනෙනවා. මට එදා ලෙඩවෙලා ඉස්පිරිතාලේ නතරවුනේ නැත්නම් මේ විපත්තිය තාත්තාට සිද්ධ නොවෙන්න තිබුණා.”

“දුව දැන් දුක්වෙන්න එපා,පියසෝම ගෙනාපු ආයුෂ ප්‍රමාණය වෙන්න ඇත්තේ ඔච්චරයි. දැන් ඔයා ඒවා ගැන හිතලාම ආයිමත් ලෙඩ වෙනවා. දැන් ඔය ළමයා හිතන්න ඕනේ අම්මයි නංගියි ගැන. තාත්තා නැතෙයි කියලා නොහිතා අවශ්‍යය කරන දෙයක් තියේනං මට කියන්න. මං අවශ්‍යය කරන දේවල් කරලා දෙන්නම්.”

“මහත්තයා මේ ටික දොහොට කරපු උපකාර අපිට ඉහටත් උඩින් කරලා තියෙනවා. තවත් නං ඔය මහත්තයාට කරදරයක් වෙන්න බැහැ.”

“හරි හරි ළමයෝ ඕක මොකක්ද. දැන් මේ ළමයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ?”

“අනේ මහත්තයෝ ලොකු උපකාරයක් මට රස්සාවක් හොයලා දුන්නොත්. මට පුළුවනි ගෙදර තියෙන ණය තුරුස් වලින් ටිකක් හරි ගෙවලා අඩුකරගන්න. තාත්තගේ මිනීමරුවා වුණත් මාමාව බලන්න කවුරුත් නෑ. එයාට වියදම් කරන්න වෙන්නෙත් අපිටම තමයි. මිනිස්සු නං හිනාවෙයි තමන්ගේ තාත්තා මරාපු මිනීමරුවාව බේරාගන්න හදනවා කියලා. මේවා මතක් වෙන කොටත් මට පිස්සු හැදෙන්න වාගේ. අම්මා සමහරදාට තාත්තා ඇවිල්ලා කියලා දොර අරින්නත් හදනවා.”

“හොඳයි මම ඔය ළමයාට රස්සාවක් හොයලා දෙන්න බලන්නම්. මට හිතෙන්නේ ටික දවසකට හරි ඔයාලා මේ ගෙදරින් පිටවෙලා හිටියානම් හොඳයි.” 

“මට ඒක තේරුනේ නැහැ. අපි කොහේ යන්නද?”

“මම කියන්නේ මේ ගෙදර කුලියට දීලා වෙනින් ගෙදරකට පදිංචියට යන්න කියලා. එතකොට ඔය පරණ සිදුවීම් අමතක කරන්න පුලුවන්.”  

“ඔව් ඒකනං ඇත්ත තමයි.”

“එහෙනං මට දැන් යන්න තියෙනවා තව වැඩ වගයක් කරගන්න. මම පියසෝම වෙනුවෙන් මට පුළුවන් උපකාරයක් කරනවා. ඔය ළමයා ලැජ්ජා වෙන්නේ නැතිව අවශ්‍යය දෙයක් තියේනං මට කියන්න. අම්මාටත් කියන්න මං ඇවිත් ගියා කියලා.”

උපන්නද මහතා පිටත්වීමට සැරසෙද්දි අහම්බයක් මෙන් ඔහුගේ නෙත් යොමුවූයේ පියසෝම මුහුදෙන් ගොඩගත් බඳුන දෙසටය. එය තවමත් නොසැලී බිත්ති රාක්කය මත තිබුනි.

“අර මොකක්ද ළමයෝ අතන තියෙන්නේ?”

ඔහු යළි හැරී අවුත් එය අතට ගෙන පරීක්ෂාකර බලන්නට විය. 

“ෂා නියම ඇන්ටික් බඩුවක්නේ. කොහෙන්ද දරුවෝ මේක ලැබුනේ ?”

“තාත්තා දවසක් මුදේ තිබිලා ගොඩට ගෙනාපු බුජමක්.”

“මුහුදෙන් ගොඩට ගෙනාපු එකක්?”

“ඔව්, ඕක හින්දා තමයි අපිට හැම විපත්තියක්ම සිද්ධවුනේ. මං අසනීපවෙලා ඉස්පිරිතාලේ ඉන්නවුනෙත් ඕක සුද්ද කරන්න ගිහිල්ලා බැඳිලා තිබුනු කාවට්ටි වල විසට තමයි.”

“මේක හුඟාක් පරණ එකක් වගේයි.”

“ඔව් මේක පරණ එකක් වෙන්න ඕනේ. මේක මුදේ ගිලුණු නැවක් ළඟ තිබිලා තමයි තාත්තා ගොඩට ගෙනවිත් තියෙන්නේ.”

නිමාලි දුන් පිළිතුර ඇසුනු උපනන්ද එම බඳුන හිමිකර ගැනිමේ ආශාවකින් පෙළෙන්නට විය. ඔහු තම ආශාවන් දෝරේ ගලන දෑසින් එම බඳුන දෙපසට හරවමින් එහි අලංකාරය විඳීමට උත්සාහ කළේය.

“ඇයි මහත්තයා ඔච්චර ඕක දිහා බලන්නේ? මහත්තයා දන්නවාද ඔය බුජම ගැන?”

“නෑ මං නිකන් බැලුවේ. මම පරණ බඩු වලට ආසයි. ඒවා එකතුකරන එක මගේ විනෝදාංශයක්.”

ඔහු යළි එම බඳුන නිමාලි අතට දෙන ගමන් පැවසුවේය.

“මේක නිසයි අපිට තාත්තා නැතිවුනේ. දැන් ඉතින් මේක තිබිලාත් වැඩක් නැහැ. මහත්තයාට ඕනේනම් අරගෙන යන්න.”

“මම මේක නිකන් ගන්න එක හොඳ නෑනේ ළමයෝ. ඔයා මේක මට විකුණන්න.”

“අනේ මහත්තයෝ අපිට කරපු උදව් උපකාරවලට මේක මහත්තයාට විකුණන්න බැහැ. මහත්තයා අරගෙන යන්න.”

ඇන්ටික් බඩුවලට ආශා කරන්නෙකුවූ උපනන්ද සතුව විශාල ඇන්ටික් බඩු එකතුවක්ද විය. මේ වන විට අගහිඟ කමින් පෙලෙන පියසෝමගේ පවුලේ දේපලක්ව තිබෙන මෙම බඳුන නොමිලයේ රැගෙන යාමට උපනන්ද කැමති නොවීය. නිමාලි විසින් එපා කියද්දීත් ඔහු තම පසුම්බියෙන් රුපියල් පන්දාහක් මේසය මත තබා බඳුන රැගෙන ගොස් තම මොටර් රථයේ පිටුපස අසුන මත තැබීය. නිමාලිට ඉක්මනින් රැකියාවක් සොයාදීමට පොරොන්දුවී ඔහු එදින යොදාගත් වැඩද පසෙක ලා හනික තම නිවෙස බලා ගියේය.


     උපනන්ද සිල්වාගේ නිවස පර්චස් තිහක පමණ භුමිභාගයක ඉදිවීතිබු ගැමි පරිසරයට ආසන්න නිස්කලංක පෙදෙසක පිහිටා ඇති නවීන පන්නයේ දෙමහල් නිවසකි. මැතකදි ගොඩනංවන ලද නිවසට පිටු පසින් වන වෙල්යායෙන් හමා එන මඳනලද එම නිවසට අලංකාරය මෙන්ම සිසිලසද ඇතිකරනු ලැබීය. උපනන්දගේ එම නිවසේ සිටියේ උපනන්දට වඩා අවුරුදු දහයකින් පමණ ලාබාල තරුණ රූමත් බිරිඳ වු සුචිත්‍රා හා ඉවුම්පිහුම් කිරීමට තංගම්මා නැමති වතුකරේ දෙමළ ගැහැණියත් රියදුරුකමේ සිටන් අනෙකුත් සියලු රාජකාරින් ඉටුකරන මාටින් නැමැත්තාත් පමණි. උපනන්දගේ හා සුචිත්‍රාගේ කැදැල්ල එකලු කිරීමට දරුවෙකු නොමැතිවීම මොවුන් දෙදෙනාටම විශාල ප්‍රශ්නයක් විය. එබැවින්දෝ සුචිත්‍රා නිරන්තරව ආගමානුකූල දිවිපෙවතක් ගත කරන්නට විය. වෙනත් තරුණ බිරියන් මෙන් නොව ඇය බාහිර ආටෝපයන් ගෙන් වෙන්ව චාම් ඇඳුමෙන් පැලඳුමෙන් යුක්තව හැසුරුනාය. උපනන්ද නිවස බලා පැමිණ ඉක්මනින් නිවසට ගොඩවැදුනේ උතුරායන සතුටිනි. ඉතාමත් පැරණි මිල කළ නොහැකි වස්තුවක් ඔහු අතට පත් වූ කලෙක මෙන් ඔහු එම බඳුන කන්තෝරු කාමරය වෙත ගෙනගොස් ප්‍රවේසමෙන් තැන්පත් කළේය. මිල්ටන් මල්ලවාරච්චිගේ ජනප්‍රිය ගීතයක කොටසක් සිවුරන් බාමින් ඔහු නිදන කාමරයට වැදුනි. නිදන ඇඳේ දිගාවී නවකතා පොතක් කියවමින් සිටි සුචිත්‍රාට එක්වරම උපනන්දගේ වෙනස වැටහුනි.

“මොකද උපේ අද හුඟක් සතුටින්. ඔයා දැන්මම එන්නේ නැහැ කිව්වා නේද? ඇයි ස්විප් එකක් වත් ඇදුනාද?”

“මට තේ එකක් හදාගෙන ඔයා ඔපිස් රූම් එකට එන්නකෝ.”

උපනන්ද සැහැල්ලූ ඇඳුමකට මාරුවෙමින් පැවසුවේය. සුචිත්‍රා තේ එකක් පිළියෙලකර කන්තෝරු කාමරයට ඇතුල්වන විට ඔහු පියසෝමගේ බඳුන මේසය මත තබා විශාල කර බලන කන්ණාඩියකින් එය පිරික්සමින් සිටියේය.

“ඔය මොකක්ද උපේ? ඕකද ඔයාට ඔච්චර ජොලියක් ආපූ දේ?”

“ඔයා ඉතින් දන්නවාදැයි ඇන්ටික් බඩු වල වටිනාකම. දන්නවාද මේක හුගාක් පරණයි ඒවාගේම වටිනාකමත් වැඩියි.”

“ඉතිං ඔයා කොහෙන්ද මේක අරගත්තේ?”

ඇය උපනන්දගේ උරහිසට උඩින් එබීබලා ඇසීය.

“මේක තිබුනේ අර මැරුණු පියසෝමගේ ගෙදර. මට පියසෝමගේ මළගමටත් යන්න බැරිවුණු නිසා මම අද එහාටත් ගොඩවුණා. මේක එහේ බිත්ති කබඩ් එකේ තිබුණේ. මම මේක දැකලා ඇහැව්වාම එයාලා මට නිකන් ගෙනියන්න කිව්වා. ඒත් නිකං ගන්න හරිනැති නිසා මං රුපියල් පන්දාහක් දීලා අරගෙන ආවා.”

“ඇයි දෙයියනේ ඔයාට නිකං දුන්න එකට රුපියල් පන්දාහක් දුන්නේ?”

“පිස්සුද සුචිත්‍රා ඒ මිනිස්සු හරිම අමාරුවෙන් දැන් ජීවත්වෙන්නේ. පියසෝම මැරෙනකොට ගොඩාක් ණයවෙලා ඉඳලා තියෙන්නේ. මම නිකං අරගෙන එන එක හරිද? අනික මේක හුගාක් වටින එකක් බව පේනවා මේක පියසෝමට ලැබිලා තියෙන්නේ මුදේ ගිලුණු නැවකින්ලු. ඔයාට පේනවාද මේකේ තියෙන අමුතු හැඩයේ පියන හරියට මුණක් වාගේ. අනික බලන්න මේ බඳේ කොටලා තියෙන අමුතු අකුරු. මටනං හිතෙන්නේ මේක විශාල වටිනාකමක් තියෙන පුරාවස්තුවක්.”

“අනේ මටනං මේකේ වටිනාකමක් නං පේන්නේ නෑ.”

ඇය ඕනෑවට එපාවට මෙන් එය දෙස කිහිපසැරයක් බලා “ඔයාට වටිනවානං කමක් නෑ.”

කියා ඇය ඔහු බී අවසන් කළ තේ කොප්පය රැගෙන පිටත්විය. උපනන්ද එදින හවස් වරුවම ගතකළේ එම බඳුන පරික්ෂා කරමින්ය. අවසන ඔහු එම බඳුනට තම පැරණි බඩු එකතුවේ විශේෂ ස්ථානයක් ලබාදෙනු වස් නිවසේ විසිත්ත කාමරයේ ඇති ඉපැරණි වීදුරු අල්මාරිය තුළ තැන්පත් කළේය. උපනන්ද සතුටින් සිටින අවස්ථාවක් එනතෙක් බලාහුන් සුචිත්‍රා මෙතෙක් දවස් සිතේ සිරකරගෙන සිටි යම් කටයුත්තක් සඳහා උපනන්දගෙන් අවසර ගැනීමට හොඳම දවසයැයි සිතුවාය. සුචිත්‍රාට එදින උපනන්ද සමඟ ටිකක් නිවීසැනසිල්ලේ කතාබහ කරගැනුමට ඉඩ ලැබුනේ රාත්‍රි නින්දට යද්දීය. වායු සමනය කරන ලද නිදන කාමරයේ ලාරෝස පාට දුහුල් නයිටියකින් සැරසී කන්නාඩිය අසළ වරලස පීරමින් සිටි සුචිත්‍රා උපනන්ද දෙස කිහිප සැරයක් යටැසින් බැලුවාය. දුහුල් නයිටිය තුළින් විනිවිද පෙනෙන තුරුණු සිරුර නවයොවුන් තරුණියක මෙන් පියකරුය. බඳ නලවමින් ආ සුචිත්‍රා උපනන්ද අසලින්ම යහනේ වැතිර දෑස අඬවන් කර ඔහු දෙස බැලූවාය. ඇය වෙතින් හමා ආ විලවුන් සුවඳ ඔහුගේ ගතසිත පුබුදු කරවන්නට සමත්විය. 


“උපේ ගිය පෝයට පන්සල් ගියවෙලාවේ මට තිලකාව මුණගැහුනානේ. එයත් එක්ක මගේ පන්තියේ ඉගෙනගත්තු යාලූවෝ දෙන්නෙකුත් ඇවිල්ලා තිබුනා.”

සුචිත්‍රා උපනන්ද දෙසට හැරි කීවාය.

“කවුද තිලකා කියන්නේ?”

“ඇයි අනේ ඔයාට ඔය ටිකට මතක නැතිවුනාද? අර සිටි ෆාමසිය අයිති එක්කෙනාගේ වයිෆ්නේ. අර සුගත්ගේ මඟුල්ගෙදර ඇවිල්ලා හිටියේ.”

“හරි හරි දැන් මට මතකයි. ඉතිං.”

“එයත් එක්ක තමාරා කියලා මගේ පන්තියේ හිටපු යාලුවෙකුත් ඇවිත් හිටියා. මට එයාව ඉස්කෝලෙන් අවුට්වුනාට පස්සේ මේ මුනගැහුනාමයි. එයා තමයි කාන්තා පිහිටාධාර සුබසාධක සංවිධානයේ සංවිධායක. අපිටත් එකට බැඳෙන්න කියලා ඉන්වයිට් කළා.”

“ඔය සංවිධානයෙන් මොකද්ද කෙරෙන්නේ?”

උපනන්ද නොකැමැත්තෙන් මෙන් ඇසීය.

“අසරණ වෙච්ච කාන්තාවන්ට පිහිටවීම තමයි. මේක සමාජසේවා සංවිධානයක් අනේ.”

“ඉතිං ඔයා අසරණ වෙලා නැහැනේ?”

“ඔයා මාව අසරණ කරලා නැහැනේ. ඉස්සරාට අසරණ කරයිද දන්නේ නෑ.”

ඇය දෙවුර සොලවමින් කොක්හඬලා සිනාසුනාය.

“තිලකාත් මේකට බැඳෙනවා කිව්වා. මේකේ සාමාජිකයෝ ඔය ලොකු ලොකු බිස්නස්කාරයන්ගේ වයිෆ්ලා තමයි. අනික ලේසියෙන් වෙන අයට මේකට බැඳෙන්න බැහැ . අනේ උපේ ඔන්න එපා කියන්න එපා මමත් මේකට බැඳෙනවා. මට නිකං මේ ගෙදරට වෙලා ඉදලා එපාවෙලා තියෙන්නේ.”

“ඉතිං මම කොච්චරවත් කියලා තියෙන්නේ ඔයාට පුලුවන්නේ මගේ බිස්නස් වැඩවලට හවුල්වෙන්න. එතකොට ඔය කියන පාළුව ඉබේම නැතිවෙලා යයි.”

“අනේ මේ ඔය බිස්නස් වැඩවලට නං මගේ එච්චර කැමැත්තක් නැති විත්තිය ඔයා දන්නවානේ. අනික මට ඕවා තේරෙන්නේ නැහැ.”

“තේරුම් ගන්න පුලුවන් ටික දවසක් කළාම.”

“ඔව් ඔව් ඔයා එතකොට බංකොලොත්වෙලා ඉඳියි.”

ඇය නෙත් අඬවන් කර ඔහු දෙස ශුංගාරාත්මක බැල්මක් හෙලමින් පැවසීය.

“හරි ඔයා කැමති දෙයක් කරගන්නකෝ.”

ඇගේ අමුතු බැල්මට අවනතවූ ඔහු අවසානයේදී ඇයට අනුමැතිය ලබාදුනි. එදින රාත්‍ර්‍රිියේදී බළලුන්ගේ පොරකෑමක ශබ්දයක් ඇසී උපනන්ද අවදිවුණි. ඇඳෙන් නැගිටින්නට කම්මැලි කමක් දැක්වූ ඔහු ඇඳ ආසන්නයේ තිබූ ටේබල් ලාම්පුව දල්වා ඔරලෝසුවේ වේලාව බැලීය. රාත්‍රිය දැඬි නිශ්ශබ්දතාවයක ගිලී ඇත. වෙල දෙසින් ඇසෙන රැහැයි නාදය තරමක් දුරින් ඇසෙයි. සුව නින්දක වැටී සිටින සුචිත්‍රා ඔහුගේ දකුණු පසින් නිදයි. ඇගේ ලාරෝස පාට දුහුල් නයිටිය තුළින් රිද්මානුකුලව ඉහළ පහළ යන තුරුණු පපුව ඔහුගේ නෙතට අසුවිය. කිසිදු හැලහොල්මනක් නැත. මේස ලාම්පුව අසල තිබුනු වතුර වීදුරුවෙන් උගුරක් බී උගුර කට තෙමාගත් උපනන්ද සිහිනෙන් ඇසුනු ශබ්දයක් ලෙස සලකා අනෙක් පසට හැරී නිදන්නට විය.

මතුසම්බන්ධයි.......

Monday, March 15, 2021

හෝරස්ගේ දරුවා - තුන්වන දිගහැරුම Son of Horus - 3


      කැඩපතින් පෙනෙන තම ප්‍රතිරූපය දෙස බලමින් සිටි පියසෝම තම ජිවිතයේ සුන්දර අතීතයට පියමනින්නට විය. තුරුණු වියේදී හැඩිදැඬි ශරිරයකට උරුමකං කී ඔහුට ඒ කාලයේ තිබූ හින්දි උන්මාදයට අනුව ගාල්ලේ චිත්‍රපට ශාලාවල ගැවසුන අන්දමත් චිත්‍රපට නළුවෙකුවූ රාජේෂ් ඛන්නා මෙන් කොණ්ඩය පීරා සිටි ඔහුට යහලුවන්ගේ සොහොයුරියන් පියසෝම අයියා රාජේෂ් ඛන්නා වාගේ යැයි කීවිට ආඩම්බරයෙන් පිබිදුන අන්දමත් මතකයට නැගුණි.  මඟුල් ගෙදරකදී මනාලියගේ යෙහෙළියට සිටි රූමත් හීන්දෑරි විමලා මෙසේ තරබාරු කටසැර එකියක්වෙයැයි නොසිතුනෙන් ඇතිකරගත් යාළුකම කසාදයකින් කෙලවර වීමත් පියසෝමට සිහිවිය.

“මගේම වැරදි නිසා තමයි විමලා මෙච්චර නරක් වුණේ .”

පියසෝමට සිතුනේය. ළිඳෙන් වතුර පනිට්ටුවක් ඇදගත් ඔහු බේසම පුරවා රැවුල බෑම ඇරඹීය. නිමාලිගේ පෙම්වතාවූ තම දුරින් නෑයෙකුද කොග්ගල වෙළඳ කලාපයේ පිහිටි ගාමන්ට් පැක්ටේරියක මැකෑනික් කෙනෙකු ලෙස සේවය කරන අරුණව මේ වැඩය සඳහා සම්බන්ධ කරගැනීමට සිතීය. ලොකුම පරහ ලෙස සිටියේ අරුණ පිහිනීමට නොදත්තෙකු වීම හා ජලයට ඇති විශාල බියයි.

“තුං නොදකින් අපිටත් හරියන බෑනලා .”

තමාටම කියාගත් ඇසිල්ලෙන් පියසෝමගේ මුහුණ රේසරයට කැපී සිහින් දැවිල්ලක් ඇති කළේය. පැය භාගයක් පමණ කාලයක් ගතකර ඉතා අසීරුවෙන් වැවුනු රැවුල මුඩුකළ ඔහු මුහුණ කට සෝදාගෙන රැකියා ස්ථානයට යැමට ලකලැස්ති විය. බොරු ලෙඩ නිවාඩු අනුමත කරවාගෙන රාත්‍රි සේවා මුරය ලබා ගැනීමට ඔහු තම සිතුවිලි ගොනු කළේය.


“රස්සාවට නොගිහින් මේ මොනවා කරනවාද මන්දා ඒ මදිවාට ලෝකෙටම හතර අතේ ණයත් වෙනවා.”

පියසෝම පුරාවස්තු සෙවීම සඳහා කිමිඳුම් කිරීමෙන් නිවසේ අගහිඟකම් වැඩිවන බව සිතු විමලා කේන්තියෙන් පොඩිදුව නදීකාට පැවසීය.


      නිමාලිගේ දෙඅත්වල ඇඟිලි කැසීමක් හටගෙන දින කිහිපයක් ගතවූවත් එය සුව අතට හැරෙන බවක් නොපෙන්වාම තවත් වැඩිවුණි. ඇඟිලිවල නියමල් අග රතුවී ඉදිමී සැරව ගැලීමට පටන්ගැනුණි.

“අම්මේ මේ අත් බෙහෙත්වලින් නම් ගුණයක් නම් නෑ. එන්න එන්නම වැඩිවෙනවා. මේ බලන්න දැන් ඇඟිලිවල හැටි.”

නිමාලි තම දෑත් දික්කර ඇඟිලි විමලාට පෙන්වූවාය.

“මං උඹට කීවා ඔය බෙල්ලෝ කාවට්ටි අල්ලන්න එපා ඕවා විසයි කියලා කෝ ඇහැව්වායැ. තාත්තාගේ පුරාවස්තුනේ උඹටත් ලොකු වුණේ. යමං හන්දියේ දිස්පැන්සරියෙන්වත් බෙහෙත් ටිකක් ගන්න.”

වෛද්‍යවරයා නිමාලිට ඇඟිලිවල ආලේපකිරීමට ක්‍රීම් වර්ගයක් නිර්දේශ කළෙන් විමලදාස පැමිණි පසු ඔහුට කියා විමලා එම ක්‍රීම් වර්ගය ගෙන්වා ගත්තේ නිවසේ මුදල් නොතිබීමෙන්ය.


      මේ අතරතුර පියසෝම රාත්‍රි සේවය සඳහා යනෙන අතරතුර දිවා කාලයේදීද මුහුද පතුල තුළ ගිලී ඇති රුවල් නැවේ මඩ ඉවත් කරමින් පුරාවස්තු සෙවීමට වෙහෙසෙන්නට විය. රැකියාව කළ ස්ථානයෙන් අතිකාරම් මුදල්ද රැගෙන කිමිඳුම් සඳහා වායු බෝතල් පිරවීමට වියදම් කළ බැවින් ඔහු අත ඊළඟ පඩි දිනය තෙක් මුදලක් නොරැදිනි. නිමාලිගේ ඇඟිලි පැසවීම් අඩුනොවුයෙන් විමලා දෙවන වතාවටත් බෙහෙත් රැගෙන දීම සිදුකලාය. දිස්පැන්සරියේ දොස්තර මහතා නිමාලිගේ ලේ පරික්ෂාවක් සඳහාද නියම කළෙන් විමලා තම කරාබු දෙක උකස්කර කළාය. විමලාගේ කෝපය තවදුරටත් වැඩිවූයේ ඇගේ කරාබු දෙක උකස් කිරීමට සිදුවීම ඇගේ සිතට තදින් බලපෑම් කළ බැවිනි. විසිතුරු මසුන් ඇල්ලීමක් සිදුනොවූවත් ඒ සඳහා යන මුවාවෙන් පියසෝමගේ ක්‍රියාව දිවාකාලයේ කරගෙන යාමට පිටස්තර කිසිවෙකුගෙන් බාධාවක් එල්ල නොවීය. එහෙත් රාත්‍රියේ තම සේවාමුරයට එල්ලවූ විශාලතම බාධකයවූයේ දැඬි වෙහෙස නිසා ඇතිවන නිදිමතයි. මුරවැඩට අවදිව සිටිය යුතුවුවත් පියසෝමට කිසිවිටකත් අවදිව සිටීමට නොහැකිවිය. ඔහුටත් නොදැනිම දෑස් පියවී නින්දට වැටෙන ඔහු යළි අවදිවන්නේ එලිය වැටෙන්නට ආසන්නවීමත් සමඟය.

“පියසෝම අයියේ පියසෝම අයියේ........ නැගිටපන් බං. ඉක්මණට නැගිටපං.”

පියසෝම සමඟින් කර්මාන්ත ශාලාවේ අනෙක් අන්තයේ මුර රාජකාරියේ යෙදෙන හේමසිරි පියසෝමව තදින් සොලෙවමින් සුව නින්දේ සිටි ඔහුව අවදි කරවීය.

ඇයි ඇයි කියමින් පියසෝම තම නිදිබර දෙනෙත් විවර කළ විට බොදවුනු රූපයෙන් පෙනුන හේමසිරි තමා ඉදිරියේ සිටගෙන සිටිනවා දැක්කේය.

“තමුසෙ නම් මාර බඩුවක් තමයි අන්න අරහේ නොම්බර පහේ බඩු ගබඩාව හොරු කඩලා. තමුසෙ මාවත් අමාරුවේ දානවා .”

කියමින් යළි ගබඩාව දෙසට දිව ගියේය.

මේ දකින්නෙ හීනයක්දෝ  සිහි එළවාගත නොහැකිව සිටි පියසෝම වේලාව දෙස බැලුවේය. උදෑසන හතරයි තිස්පහ එහි සටහන්ව තිබීම දුටු පියසෝමගේ නිදිමත පහව ගියේය. ටොච් එකත් රැගෙන ඔහුත් හේමසිරි දිවගිය දෙසට ඉක්මන් ගමනින් පියවර නැගුවේය. ඒ වනවිටත් හේමසිරි සමග රාත්‍රි වැඩමුරයේ සේවකයින් කිහිපදෙනෙක් බඩු ගබඩාව අසළ සිටිනවා ඔහු දුටුවේය. 

“ඈ ඕයි තමුසේ කොහේද මුරකෙරුවෙ. දැන්ද එන්නේ හොරු කඩපුවා බලන්න?”

රාත්‍රි වැඩමුරයේ පරිපාලක අමරසිරි පියසෝම එතැනට පැමිණෙනවා දැක ඇසීය.

“තමුසෙලා අපේ බෑග් නම් අතගලා බලනවා මෙහේ හොරු කෙලගෙන යනවා.”

තවකෙකු කීවේය. පියසෝමගේ කටේ කෙල සිඳී පපුව සිරකරනවා වැනි ස්වභාවයක් දැණි ගියේය. පරිපාලකවරයා ඉහල නිලධාරින්ට හා පොලීසියට දුරකථන ඇමතුම් මගින් දැනුම් දීම සිදුකරන අතරතුර කිසිවෙකුටවත් එම බඩු ගබඩාව අසළට යාම තහනම් කළේය. එම බඩු ගබඩාව පියසෝම මුර රාජකාරි කරන කොටසට අයත්ව තිබීමෙන් එහි සංචාරය කර බැලීම ඔහුට අයත් රාජකාරියකි වුණි. රාත්‍රී අත්සන් පොත පරිපාලකවරයාගේ භාරයට පත්වුනු බැවින් රාත්‍රි මුර සංචාරය පියසෝම නොකළ බැව් ඉබේම ඔප්පු විය. පොලීස් නිලධාරින් පැමිණ හොරකම පිළිබඳව පරික්ෂණ සිදුකරන අතරතුර හේමසිරි හා පියසෝමගෙන් ප්‍රකාශ සටහන් කරගති. මේ  අතරතුර පියසෝමගෙන් විශේෂයෙන් ප්‍රශ්න කළේ පොලීසියේ සැකයට බදුන්වූ පුද්ගලයෙකු ලෙසින්ය. ආයතනයේ ප්‍රධානින්ගේද විශේෂ සැකයක්වූයේ පියසෝම දහවල් සේවා මුරය ස්වකැමැත්තෙන් රාත්‍රි කාලය සදහා මාරුකරගැනීමය. මෙයට පෙර අවුරුදු ගණනාවක් හොදින් සේවය කරතිබීම යන කරුණු ගැන සලකා බැලූ හෙයින් පොලීසිය විසින් පියසෝම පොලීසිය වෙත කැදවාගෙන ගොස් ප්‍රශ්න කිරීමට සැරසීම ආයතනයේ ප්‍රධානින් විසින් වළකාලිය. 

“විනය පරික්ෂණයක් සඳහා කැඳවන තෙක් සේවය අත්හිටුවන ලදී” යනුවෙන් සඳහන් ලියමන ලබාගත්  පියසෝම තෝන්තුවෙන් මෙන් කර්මාන්තශාලාවේ ගේට්ටුවෙන් එළියට බැස්සේය. තමා සමඟින් සුහදව කතාබස් කළ කර්මාන්තශාලාවෙ මිතුරන් සියල්ලෝම අද තමාට සතුරුව සිටින සේ ඔහුට දැණුනි. ඔවුන් සියල්ලෝම තමාට ඔරවාගෙන සිටින්නාක් මෙන් ඔහුට පෙනෙන්නට විය. අවසන් වරටත් කර්මාන්තශාලාවෙ නාම පුවරුව දෙස බැලූ  පියසෝම හිමිහිට තාරපාර දිගේ ගාල්ල දෙසට පියනැගීය. 




රාත්‍රි කාලයේදි නිමාලි දැඬි උණ ගතියකින් පෙලෙන්නට ගත්තාය. උදෑසන වන තෙක් විමලා විසින් විනාකිරි පොගන ලද රෙදි පාන්කඩ ඇගේ නළලට දමමින් උණ බැස්සවීමට උත්සාහ කළද එහි අඩුවක් දක්නට නොවීය. නිමාලිව කැදවාගත් විමලා ලේ පරික්ෂාකළ වාර්තාව සමඟින් යළි ඩිස්පැන්සරියේ දොස්තර මහතා හමුවිය.

“මේ ළමයාගේ ලේ වලට විෂබීජයක් ඇතුල් වෙලා වගෙයි පෙනෙන්නේ ඉක්මනට මේ ළමයාව ඉස්පිරිතාලයට ඇතුල්කරන්න. මම කිව්වා නේද බ්ලඩ් රිපෝට් එක මට ගෙනවිත් පෙන්නන්නය කියලා. ඔයාලා මේ ළමයාව තව දවසක් ගෙදර තියාගෙන හිටියානම් මෙයාගේ ජීවිතේට ලොකු අනතුරක් වෙන්න තිබුනා. ඉක්මනටම දැන්ම අරගෙන යන්න.”

ඔහු ඉස්පිරිතාලයට ලිපියක් ලියා විමලා අතට දෙමින් කීවේය. විමලා යළි නිමාලිව රැගෙන නිවසට පැමිණියේ පියසෝම රාත්‍රි වැඩ නිමාවී ගෙදරට පැමිණ ඇතැයි බලාපොරොත්තුවෙනි. නමුත් ඔහු පැමිණ නොසිටි බැවින් පියසෝම එදින දිවා සේවා මුරයද කර හවස්වී පැමිණෙතැයි සිතූ ඇය අසල්වැසි කාන්තාවක් සමඟින් නිමාලිව රැගෙන කරාපිටිය රෝහලට ගියාය. ඩිස්පැන්සරියේ වෛද්‍යවරයා දුන් ලිපිය බැලූ රෝහල් වෛද්‍යවරයා නිමාලිව කඩිනමින් වාට්ටුවට ඇතුලත්කර සේලයින් ඇතුළු අවශ්‍යකරන බෙහෙත් වර්ග ඇයට ලබාදුනි. විමලා මඳ වේලාවක් නිමාලි අසළ රෝහලේ රැඳී සිට යළි හවස පැමිණෙන බව පවසා නිවෙස බලා පිටත්විය.


ඇය ගාල්ලෙන් බසයෙන් බසිද් පියසෝමට පණිවිඩය දීමට මතක්විය. ඇය නිවෙස වෙත නොගොස් පියසෝමගේ කර්මාන්තශාලාව වෙත පියනගද්දී සේවය නතරකරන ලඳ පියසෝම සිහිකල්පනාවක් නොමැත්තෙකු ලෙසින් ගාලු ටවුම පසුකරමින් කොටුව දෙසට ඇවිදගෙන යන්නට වුනි. අහම්බෙන් මෙන් විමලා හා පියසෝම ගාලු බස්නැවතුමේ දී හමුවෙන්නට ඉඩ තිබූ අවස්ථාවක් ඉදිරියෙන් ආ බස් රථයක් නිසා වැලකීගියේය. විමලා කර්මාන්තශාලාවෙ ගේට්ටුවෙන් පියසෝම ගැන විමසද්දී එහි සිටියවුන්ගේ මුහුණු වෙනස්වනු ඇයට නොතේරුනේ ඇය නිමාලිගේ අසනීපය ගැන කල්පනා කරමින් සිටි බැවිනි. පියසෝමගේ බිරිඳ පැමිණ පියසෝම පිළිබඳව විමසීම ආරක්ෂක සේවයේ අයද නොසන්සුන් කරවනු ලැබීය. ඔවුන් ප්‍රධාන ආරක්ෂක නිලධාරි වෙත විමලා කැඳවාගෙන ගොස් ඇයව පුටුවක වාඩිකරවූවාය. කවදාකවත් නැතිව මෙසේ ඔවුන් සැලකීම කුතුහලයකට පත්ව ගිය ඈ කලබලයෙන් මෙන් පියසෝම ගැන විමසුවාය.

“මේ කලබල අස්සේ පියසෝම මොනවා හරි කරගෙනද දන්නේ නැහැ.”

ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයා සිතුවේය.

“ඇයි මිසිස් පියසෝම මෙහෙට ආවේ මුකුත් කරදරයක්ද?”

“ඔව් කෝ පියසෝම තාම ගෙදර ආවේ නැති නිසයි මම ආවේ. ලොකු කෙලී අසනීපවෙලා දැන් ඉස්පිරිතාලේ නවත්තලා මේ එන ගමන්.”

ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාගේ මුහුණට බැරෑරුම් පෙනුමක් ආරූඪ විය. ඔහු ටික වේලාවක් කල්පනා කළේ ප්‍රශ්නයක් සමඟින් පැමිණි පියසෝමගේ බිරිඳට තවත් ප්‍රශ්නයක් කියන්නේ කෙලසදැයි සිතමිනි. ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාගේ නිහඬතාවය විමලාගේ සිත තවතවත් නොසන්සුන් කරවන්නක් විය. ඇය තවත් කලබලයට පත්වූවාය. 

“කෝ පියසෝම.”

ඇය කලබලයෙන් විමසුවාය. 

“කියන්න මහත්තයෝ කෝ  පියසෝම. ඇයි එයාට මුකුත් කරදරයක්ද?”

“නෑ නෑ පියසෝමට ඔයා හිතන ජාතියේ කරදරයක් වෙලා නැහැ. ඒත් මේ. .  . . . .”

ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාට වචන ගොතාගන්නට අපහසු විය.

“එහෙනං කෝ මේ මනුස්සයා ගෙදරත් නැති නම් වැඩපලේත් නැතිනං කොහේ ගිහින්ද? වෙනදා නයිට් ඩියුටි ඉවරවුණු ගමන් ගෙදර එනවා. උදේට කාලා මිසක් වෙන කොහේවත් යන කෙනෙක් නොවෙයි එයා.”

“නැ මිසිස් පියසෝම ඔයා කලබල වෙන්න එපා පියසෝම පොඩි කරදරයක් සිද්ද කරගත්තා.”

“ඇයි මහත්තයෝ එයා ගෝරියකටවත් පැටලුනාද? එයාට තුවාලද?”

“පොඩ්ඩක් ඉන්න මිසිස් පියසෝම කලබලවෙන්නේ නැතිව මම විස්තරේ කියනකං. ඊයේ රෑ අපේ බඩුගබඩාව හොරු කඩලා ගොඩාක් බඩු ගෙනහිල්ලා තියෙනවා. ඒ පැත්ත භාරව ඩියුටි කළේ පියසෝම. බලනකොට මිනිහා හොදටම නිදි.”

“ඉතිං කෝ එයා. හොරු මේ මනුස්සයාට කරදරයක්වත් කරලාද?”

“ඉන්ට මම කියනකං.”

ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයා ටිකක් තදින් ඇයට කිව් නිසාවෙන් ඇගේ කලබල ගතිය මඳකට අඩුවිය.

“පියසෝම ඩියුටි වේලාවේ ඒ පැත්ත පළාතේ ගිහිල්ලා නෑ. දැන් මේ ගැන පොලීසියෙන් එයාගෙන් ප්‍රශ්න කළා. පොලීසිය හිතන්නේ මේ හොරකමට පියසෝමගේ සම්බන්ධයක් ඇතෙයි කියලා. ඒත් අපේ ලොකු මහත්තුරුන්ගේ විශ්වාසය උඩ එයාලා පියසෝමව අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒත් මේගැන පරික්ෂණයක් තියනකං අපිට අකමැත්තෙන් උනත් පියසෝමගේ වැඩ ටික දවසකට නවත්තන්න සිද්ද වුණා.”

“මම ඔය ටික කිව්වා ඔය මනුස්සයාට ඔය මුහුදේ කිමිඳෙන්න යනකොට. මම කියන දේවල් කනකට ගත්තේ නැහැ.”

ඇය දෙනෙතට ආ කඳුළු බිඳු කිහිපය සාරිපොටේ අගිස්සෙන් පිසදාගත්තාය.

“කාලෙකට ඉස්සර කරගෙන ආපූ රස්සාව නැතිකරගත්තා ස්ට්‍රයික් කරන්න ගිහින්. අන්තිමේදි අපිව හිඟාකන්න තත්ත්වයට පත්කළා.”

“මටත් බොහෝම කනගාටුයි මිසිස් පියසෝම.”

“මහත්තයෝ ආයිත් රස්සාව හදාගන්න පුළුවන්වෙයිද?”

“මේ ගැන පරික්ෂණයක් ලොකු මහත්තයා පවත්වනවා එතකං පියසෝමට ඉන්න වෙනවා. අපිට කරන්න දෙයක් නෑ. මේක අපි ගත්ත තීරණයක් නොවෙයි.”

විමලා පියසෝමට සිතින් දෝෂාරෝපණ කරමින් යළි නිවස බලා දෙපා ඉක්මන් කළේ පියසෝම යළි නිවසට පැමිණ ඇතැයි බලාපොරොත්තුවෙන් හා හවසට නිමාලි බැලීමට යාමට ප්‍රථම ඇයට බීමට සුප් ටිකක් සමග රාත්‍රි ආහාරයට යමක් රත්කරගැනිමේ අභිලාසයෙනි. එහෙත් විමලා බලාපොරොත්තුවූ ලෙසට  පියසෝම නිවසට පැමිණ තිබුනේ නැත. ඉක්මනින් සුප් ඩිංගක් රත්කරගත් ඇය පාසල් ගොස් පැමිණ සිටි නදීකා කැටුව හවස යළි නිමාලි බැලීම සඳහා කරාපිටිය රෝහල වෙත ගමන් කළාය. මේ අතරතුර ගාලු කොටුවට ගමන්කළ පියසෝම කොටු බැම්ම මතට නැග හිමිහිට නිනව්වක් නොමැත්තෙකු විලසින් ඇවිදින්නට විය. ප්‍රදීපාගාරය අසළට පැමිණි ඔහු තම සිතේ පොදිකන සිතුවිලි පොදිය ඒකරාශිකරගනුවස් සමුදුරට මුහුණලා කොටු පවුර මත වාඩිගත්තේය. දහවල් දැඬි හිරුරැස් ඔහු මත පතිතවූවත් සමුඳුර දෙසින් හමා ආ සුළංරැල්ල නිසා එය ඔහුට වැඩි පීඩාවක් නොවුවාසේය. හවස් යාමය වන විට එකා දෙන්නා බැගින්වූ පෙම්වතුන් ගාලු කොටු පවුර මතින් එහා මෙහා ගමන් කරන්නට විය. පියසෝමට තම තරුණවියේ විමලා සමඟින් නිවසට හොරෙන් හමුවීමට යොදාගත් ස්ථානයක් වුයේද මෙම කොටු බැම්ම බව මතක්විය. තරුණ යුවලක් හා පැමිණි කුඩා පුතෙකු අත රැඳි අයිස් පලමක් දැක  පියසෝමගේ සිත හඬාවැටෙන්නට විය. තමාගේ රැකියාව නොමැති කාලයේ නිමාලි හා නදීකා දෙදෙනා පාසල් අවසන් වී යළි නිවසට රැගෙන යද්දී නදීකා අයිස් පලම් ඉල්ලා හඬාවැටෙන්නට වූ අයුරුත් අතේ කිසිදු මුදලක් නොමැති නිසා අයිස්පලමක් නැතිව ගෙදර යන්නට බැරිය කී නදීකාට පහර කිහිපයක් ගසා හඬමින් සිටි දැරිය නිවසට ඇදගෙන ගිය හැටි යළි මතක් විය. කෙළිදෙලෙන් පසුවන කුඩා දරුවාගේ ප්‍රීතිමත් සිනාහඬ දුටු තම දියනියන්ගේ කුඩා අවදියේ තම යුතුකම් හරිහැටි ඉටුකරගත නොහැකිවීම පිළිබඳව පසුතැවිල්ලක් හදට දැනුනි. දැන් තමා යළිත් රැකියාවක් නොමැත්තෙකුවී ඇත්තෙන් තරුණ දියණියන්ගේ අනාගතයේ කළයුතු යුතුකම්ද මහමෙරක්සේ පෙනෙන්නට විය. පියෙකු වශයෙන් ඒවායින් මඟනොහැර යන්නේ කෙලෙසදෝයි අනියත බියක් සිතේ නැගෙන්නට විය. නෙත් කෙවෙනි තුළ මෝදුවු කුඩා කඳුළු බිඳු එලියට පනින්නට පෙර හේ පිසදාගත්තේය. නිරන්තරව විමලා අනතුරු හැඟවු කාරණාව මෙතරම් ඉක්මණට සිඳුවෙතැයි තමාට කිසිවිටකත් සිහිපත්නොවූයේ ඇයිදැයි තමාගෙන් ප්‍රශ්න කරගන්නට විනි. ගිලුණු නැවේ වස්තු සෙවීමට ඇය මෙතරම් විරෝධයක් එල්ලකළේ මේ රැකියාව ආරක්ෂා කරදීමට නොවේදැයි ඔහුට සිතුනි. 

පියසෝමට විමලාට මුහුණ දීමට ආත්මශක්තියක් නොමැතිවූයෙන් දිගින් දිගටම කොටු බැම්ම මතටවී කාලය ගෙවීය. මළ හිරු බැසයන තෙක් බැම්ම මත වාඩිවී සිටි ඔහුට වේලාව ගතවන බවක් දැනුනේ නැත. ටිකෙන් ටික කලුවර පාත්වෙන්නට ආසන්නවීමේදී සයුරේ නැංගුරම්ලා තිබුනු නෞකාවලද විදුලි පහන් දල්වන්නට වුනි. පියසෝමට නිවෙස වෙත යන්නට කාලය එලඹ ඇතිබව වැටහුනේය. බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් වාඩිවී සිටි බැවින් දෙපාහිරිවැටි ඇති නිසා ඉතා අමාරුවෙන් නැගිටගත් පියසෝම හිමිහිට බැම්ම මතින් බැස පාරට අවතීර්ණ විය. තම දෙපා උස්සා පියවර තබන්නටවත් ශරිර ශක්තියක් නොමැති බව ඔහුට මතක්වූයේ දැනුන අධික කුසගින්න නිසාවෙනි. උදේට හා දහවල්ටද කිසිවක් නොකෑ බව ඔහුට පසක් විය. බස්නැවතුම්පොලට පැමිණ ඉලේපෙරුම හෝටලයට ගොඩවැදගත් ඔහු  ප්ලේන්ටියක් පමණක් බී යළි නිවසට පිටත්විය. කරාපිටිය රෝහලට ගොස් නදීකා සමඟින් යළි නිවසට පැමිණි විමලා පියසෝම දැන්වත් නිවසට පැමිණ ඇතිදැයි විපරම් කළාය. ඔහු නිවසට නොපැමිණ කුමක් කරනවාදැයි ඈ කලබලවුවාය. 

“දුවේ මේ තාත්තා කොහේ ගිහින්ද දන්නේ නැහැ. තාමත් ගෙදර ආවේ නැහැ.”

“එයා එයි අම්මේ.”

“උඹ නං කියයි වැඩපොලේ සිද්දචෙච්චි දේට මොකවත් කරදරයක් කරගත්තාද? පොඩ්ඩක් හොයලා බලන්න යවන්න කවුරුවත් නැහැනේ. මේ වේලාවට ගෙදර පිරිමි පුලුටක් හරි නැති වෙච්ච එකනේ වැඩේ.” 

“තාත්තා අර නැවේ වස්තුව හොයන්න කිමිදෙන්න ගියාද දන්නේ නැහැ.”

“ කිමිඳුම් ඇඳුම් නැතිව කොහේයන්නද? අර තියෙන්නේ ඒක.”

“කවුද දන්නේ තාත්තාට ඔය වස්තුව මුලදිම ලැබිලා එයා එක අරගෙන වෙන රටකට පැනලා ගියාද දන්නේ නැහැ.” 

නදීකා සිනාසෙමින් පැවසුවාය.

“මගේ ඔලුව පත්තුවෙලා ඉන්නැද්දි උඹ එන්න එපා ඕන්නැති විහිලු කරන්න. පලයන් ගිහින් ඉස්කෝලේ වැඩක් බලාගනින්. කොයි වේලේ හරි මේ මිනිහා ගෙදර එන්නේ නැතැයි.”

“තාම ගෙදරක් තියෙනවා කියලා මතක් වෙලා නැතිව ඇති.”

ඇය නදීකාව එලවා දමා තනියම සිතුවාය. පියසෝම රස්සාව නැතිකර ගත්තා යැයි ඇයට මතක්වෙන වාරයක් පාසාම ඇගේ සියොලඟ කෝපයෙන් සලිත වන්නට පටන් ගති. නිවසට නුදුරින් බළල් රංචුවකගේ පොරකෑමකට සැරසෙන මූසල ශබ්දයන් ඇසෙන්නට පටන් ගැණුනි.  

අඳුරත් සමඟම නිවසට ගොඩවූ පියසෝම හිමිහිට කාමරය දෙසට පියනැඟුවෙ නිවසේ අයට නොපෙනෙන්නට නමුත් ඔහු එනතෙක් මග රැකවල්ලා සිටි විමලාගේ විමසිලිමත් දෑසට මඟහරිනු නොහැකිවිය. පියසෝම හොර බළලෙකු ලෙසින් නිවසට ගොඩවදිනු දුටු විමලාගේ කෝපය ඉහවහා ගියාය. රාත්‍රි කෑමට පොල් සම්බලයක් සඳහා පොල්ගෙඩියක් බිඳීමට සැරසෙමින් සිටි ඇය අතේ රැදි පොල්ගෙඩිය හා මන්නය රැගෙන සාලයට ඉක්මන් ගමනින් ආවාය.

“ආ දැන්ද මහත්තයාට ගෙදරක් තියෙනවා කියලා මතක් වුනේ? කොහේ මකබෑවිලාද හිටියේ?”

ඇය පට පට ගා පුපුරමින් පියසෝමගේ ඇඟට ගොඩවිය. 

“කොහේ යන්නද? මම දවල් ඩියුටියත් කරලයි මේ එන්නේ.”

“හොඳ දවල් ඩියුටිය. ඊයේ රාත්තිරියේ ඩියුටි කරපු අපුරුව මට සිකුරිටි මැනේජර් මහත්තයා කිව්වා.”

එම කතාවෙන් පියසෝම තිගැස්සී ගියේය. තම උගුරේ යමක් හිරවූවාක් මෙන් කතාකරගන්නට වචන ලගපාගන්නට නොමැතිව ඔහු වටපිට බැලුවේය.

“හොරුන්ට ස්ටොරුව කඩන්න දීලා තමුසේ සැපට නිදාගෙන හිටියා කියලා ඒ මහත්තයා මට කිව්වා. දැන් ඉතිං ඒ රස්සාවත් ඉවරයි. දැන් පුළුවනි තමුසේට පැය විසි හතරේම මුදේ ගිලිලා ඉන්ට.”

“මේ ඕයි කෑනොගහා ඉන්නවා.”

“මං කොච්චර වත් කිව්වා ඔය වස්තු හොයන්න යන්න එපැයි කියලා. දැං හදන්නේ මගේ කට වහන්න. තිබුනු රස්සාව නැතිකර ගත්තා. ඊළඟට වැටෙන්නේ හිරේ විලංගුවෙ.”

පියසෝමගේ කෝපය ඉහවහා යමින් දෙකන් රත්වෙමින් පැවතියේය.

“තමුසෙට ලොකුමහත්වෙව්ච දුවරු දෙන්නෙක් ඉන්නවා කියලා ගානක්වත් නැතිව ඉන්න හැටි ඒ මදිවට රට වටේම ණය වෙලා. මගේ කරාබු දෙක මදිවට කෙල්ලගෙ කරාබු දෙකත් හෙට්ටිපොලේ සින්න වෙන්න යනවා.” 

මෙතෙක් වෙලාවක් නිහඬව සිටිමට තැත්කල පියසෝමගේ රතුකට්ට පැන්නේය.

“ඈ බොල ගෑනියේ මං බලහත්කාරයෙන් ගලෝගත්තේ නැහැ. ඒ ළමයා දුන්නා මිසක්. මම උfඕ කරාබු දෙක ගලෝගත්තෙත් නැහැ. උඹට මම කන්න අඳින්න දෙනකොට උඹ මොකටද ඒවා උකස් කළේ.”

“තමුසෙ කන්න හොයලා දෙනකොට අපි මැරිලා ඉඳියි.”

“ඇයි තොපිලට මම කන්න දීලා නැද්ද යකුනේ.”

යැයි කී පියසෝම විමලාව තල්ලු කර දැමීය.

එම පහරේ සැර වැඩිකමට වීසිවීගිය විමලා කෑම මේසයේ වැදී නතරවිය. එයින් කෝපගැන්වුනු විමලා ඇගේ අතට අසුවූ මේසය මත තිබුනු විදුලි පන්දමෙන් පියසෝම වෙත දමා ගැසුවාය. විදුලි පන්දම පියඹා අවුත් පියසෝමගේ වම් උරහිසේ වැදුනේ ඔහුගේ අත හිරිවට්වමිනි. මාරාවේශයෙන් ඉදිරියට පැන්න ඔහු විමලාගේ ගෙලෙන් අල්ලාගෙන කම්මුල් පහරවල් කිහිපයක් එල්ල කරන්නට විය. විමලදාස තම සුපුරුදු පරිදි මත්පැනින් සප්පායම් වී බේබදු ගමනින් නිවසට ගොඩ වදින්නේ පියසෝම හා විමලා අතර දබරය කෙරීගෙන යන අතරතුරදීය. ඔහු තම ලොවිගෙඩි දෙකක් මෙන් රතුවී ගත් දෑස විමතියෙන් මෙන් පියසෝම දෙසට එල්ලකර සිටියේය. විමලා තම සොහොයුරා දැක්කාය.

“අනේ මල්ලියේ මේ මිනිහා රස්සාවත් නැතිකරගෙන ඇවිත් දැන් අපිව මරංකන්න හදනවා.” 

ඇය හඬාගෙන ඔහු ළඟට දිවයමින් පැවසුවාය.

“මොකක්ද මිනිහෝ මේ කරන්නේ?”

“උඹට වැඩක් නෑ, උඹ පැත්තකට වෙලා ඉදපන්.”

“යකෝ උඹට අපේ ගෙදර ඉදන් මගේ අක්කාට තඩිබාන්න දෙන්න පුලුවන්ද?”

“ආ උඹත් ආවාද මට චණ්ඩිකං පාන්න. ඒ මගේ ගෑනි. මට ඕනේ දෙයක් කරන්න පුළුවන් යකෝ.”

“උඹට ගෑනි උනාට මට මගේ අක්කා උනේ ඊට ඉස්සර.”

කියමින් විමලදාස පියසෝමට ගහන්නට මෙන් අත දික්කළේය.

“මට ගහන්න තෝත් පිරිමියෙක්ද? පලයන් යන්න.”

ඔහු විමලදාසව තල්ලුකර දැමීය. කැරකී විසිවී ගිය ඔහු පසෙක තිබූ කනප්පුව පෙරලාගෙන බිම පතබෑවුනේ කපාදැමූ කෙසෙල් කඳක් වැටෙන්නාක් සේය. මෙතෙක් වේලාවක් මෙම රණ්ඩුවට මැදිහත් නොවූ නදීකාද කෝලාහලය මැදට පැන්නාය. 

“තාත්තා තිබුනු රස්සාව නැතිකරගෙන අපිට ලැජ්ජාකරනවා මදිවට දැන් රණ්ඩු කරලාත් ලැජ්ජාකරනවා.”

ඇය තම මාමාට පහරදීමට සැරසෙන තාත්තාව වළක්වා පසකට කරවූවාය. මේ අතරතුරේ බිම වැටී සිටි විමලදාස කෝපයෙන් පිපිරෙමින් නැගිටින්නට උත්සාහකරන අතරේ බිම වැටී තිබූ විමලා පොල් බිදීමට ගෙන ආ මන්නය අතට අසුවිය. හිමිහිට වාරුගෙන නැගීහුන් ඔහු අතට අසුවී තිබෙන්නේ කුමක්දැයි නොබලාම එයින් පියසෝමගේ හිස මුදුනටම දමා ගැසීය.


මතුසම්බන්ධයි.......

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...