Wednesday, October 14, 2026

මගේ නොවන මගේම කැබිනය හා මිලේනියම් එක සැමරිම - සයුරේ දසවසක්

මාගේ තුන්වන නෞකාව වූ කුමණේ සිටියදි 1999 වසරේ  ජනාධිපතිවරණය පැවැත්වු අයුරුත් අපත් එයට සමගාමිව ජනාධිපතිවරණයක් පවත්වූ අයුරු පෙර ලියා ඇත්තෙමි. පේදුරුතුඩුවේ හාල් ගොඩබාන අතරතුරේදි එක් දිනෙක පේදුරුතුඩුවේ ටවුම බලා යන්නට අවසරය ලැබින. නාවික හමුදාවෙන් හෝ යුධ හමුදාවෙන් අවසරය ලද හොත් පමණක් අපට ටවුමේ රවුමක් ගසා ෂොපින් යන්නට ලැබෙති. ටවුමේ සිමාවෙන් පිටවිම සපුරා තහනම්ය. ත්‍රස්තවාදින්ගේ පිස්ටල් කල්ලිය ටවුමේ ගැවසෙන බව බුද්ධි අංශයන් ගෙන් පනිවිඩය ලැබුනොත් ගොඩබිම් චාරිකාව එතැනින්ම අවසන් වෙති.
අලුත් ජැටිය හා මාලු බෝට්ටු


 නැව වෙත බත්තලයන් ඇදගෙන එන්නේ ලෑලි වලින් සැකසූ මාලු බෝට්ටුවලිනි. මෙකලත් නාගදිපය කරා මිනිසුන් ප්‍රවාහනය කරනා මෙවැනි පන්නයේ ලෑලි බෝට්ටු ඇති නමුදු බත්තල් ඇදගෙන ආ බෝට්ටු ප්‍රමාණයෙන් තරමක් කුඩාය. නැවෙන් බත්තලට බැසගත් පසුව රළු මුහුදේ රළ අතරේ පැද්දී පැද්දී ගොඩබිම වෙත යන්න සිදුවෙයි. බත්තලක් නැවැත්විය හැකි තරමේ අබලන් කුඩා ජැටියක් වන් කොටසක් පෝදුරුතුඩුවේ තිබුනි.



 බත්තලට දැමු ලෑල්ලක් මතින් ජැටියට ගොඩවි තාර ගැලවි වැල්ල පෑදුනු පාරක් දිගේ ඉදිරියට ගියවිට අපට නාවික හමුදාව රැදි සිටිනා කුඩා නිවෙසක් හමුවෙයි. එහි සිටිනා නිලධාරියෙක්ට අපගේ අවශ්‍යතාවය පැවසු පසුව නාවික හමුදාවේ සෙබලෙක් අපගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදීම සිදුවිය. සෙබලා T56 රයිෆ්ලයක් කරෙ එල්ලාගෙන අප සමගින් එන්නට විය.  අපේ ආරක්ෂාවට ලබා දුන් සෙබලා නිසා ත්‍රස්තයින්ගේ ඉලක්කයක් වීමට වැඩි ඉඩකඩක් ලෙසින් අපගේ අය දැක්ක නමුදු එය සෙබලාට හෝ නිලධාරින්ට අප ඇගව්වේ නැත. ආරක්ෂාව ගැන පන්ඩිතකම් කියන්නට ගොසින් පේදුරුතුඩුවේ ටවුමට යන්නට ලැබෙන එකත් නැතිකර ගන්නට කිසිවෙක් කැමතිවූවේ නැත.

 පාරේ ඉදිරියට යද්දි අතහැරදැමුනු ගෙවල් හා කුගන් ස්ටුඩියෝවද විය. විවරව ඇති දෙරෙන් එහි ඇතුලත බිත්තියක පැරණි බට්ටා ඔරලෝසුවක් එල්ලා තිබූ අයුරුද මාගේ මතකයට එයි. එය පසුකරගිය විට හින්දු කෝවිලක්ද දකින්නට ලැබින. දැනට ගුගලයා හරහා බැලු කල පාර විශාල කර ඉදිකර ඇතත් එම ගොඩනැගිලි තවමත් එසේම පවති.
කූගන් ස්ටුඩියෝව ගූගල් ස්ට්‍රීට් විව් හරහා 

කොඩ්ඩි පිල්ලෙයාර් කෝවිල 

කෝවිල පසුකර යද්දි හමුදා මුරපොලක් හා මාර්ග බාදකයක් හමුවෙයි. ඒ  ටවුම දෙසින් ජැටිය දෙසට එන අය හා වාහන පරික්ෂා කිරිමටය. මුරපොල පසුකර ගිය විට පේදුරුතුඩුවේ ටවුමට ලගාවිය හැක. ටවුම මැද කුඩා පිට්ටනියක් තිබු අතර එහි පසෙකින් මහත්මා ගාන්ධිගේ පිළිරුවක් විය. ටවුමේ මහජන බැංකුවේ ශාඛාවක්ද තිබුනු අතර එය විවෘතව තිබුනා දැයි මතකයේ නැත. එකල දැන් තරම් ජනාකීර්ණව හා කඩ සාප්පු වලින් පිරි තිබුනේ නැත. ජනාධිපති චන්දිකාගේ ආණ්ඩුවෙන් ලංකාවේ වේලාව අඬ හොරාවකින් වෙනස් කල නමුදු රජයේ පාලනයේ තිබූ උතුරේ වේලාව වෙනස් වූයේ නැත. කඩ සාප්පු ගානේ ගිය අපි පේදුරුතුඩුවට ආවේනික පැතිලි වඩේ මිලදි ගන්නත් අමතක නොකලෙමු. එසේම නෙල්ලි සිරප්, මිදි කෝඩියෙල් හා වේලපු ඉස්සන් මෙන්ම මිදි,කෙසෙල් වැනි දෑ කොළඹට සාපෙක්ෂව බොහෝ මිල අඩුවට පැවතිනි. අප මිලදිගත් දෑ සමගින් යලිත් ගිනි අව්වේ දෙකස්නෙන් දහඩිය පෙරමින් නැවට එන්නේ පෙර පරිදිම බත්තලේ නැගිලාය.

 හාල් ගොඩබෑමෙන්පසුව නැවට පැටවු තල් අරක්කු සමගින් 1999 දෙසැම්බර මාසයේ යලි නැව කොළඹ බලා නැවත ගමන් ඇරඹුනි. තවමත් මා රැදි සිටන්නේ මාගේ කැබිනයේ නොව බලහත්කාරයෙන් රිංගාත් ඉන්දිකගේ කැබිනයේය. මාහට ලැබුනු කැබිනයේ තිබුනේ මාගේ ඔවරෝලයත් තුවායක් ආරක්ෂිත සපත්තු කුට්ටම හා රෙදි සෝදන්නට ගන්නා බාල්දියක් පමණි. සමහරුන් තමන්ගේ සේදු ඔවරෝලයන් හා තුවායන් වේලාගන්නට මේ කැබිනය යොදාගත්හ. යලි කොළඹ එන මුහුදු ගමනේ ඉරිදා දිනයක් එලැඹුනි. කැප්ටන් එදින කැබින් පරික්ෂාකිරීමේ චාරිකාවක නිරිතවි තිබූ අතර රාත්‍රි 12 සිට පාන්දර 4 තෙක් වොච් ඩියුටිය කර නිදා සිටි මාහට කිසිවක් දැනගන්නට ලැබුනේ නැත. මාගේ කැබිනයේ ඇති අනෙක් අයගේ ඇදුම් අයින් කරගත්තද කිසිවෙක් අපිරිසිදුව තිබු කැබිනය තරමක් හෝ පිලිවෙලකට පත්කලේද නැත. දහවල් 12 4 වොච් එකට යන්නට පෙර අරුණයා  මා සිටි ඉන්දිකගේ කැබිනයට ආවේය.
"ඉක්මනට නැගිටපං. අන්න උඹට ටොපියක් සෙට්වෙලා?"  
"ඇයි?"  
"අන්න කැප්ටන් කැබින් ඉන්ස්පෙක්ෂන් ගිහිල්ලා උඹේ කැබින් එකයි එහෙනම් මාට්ටු වෙලා තියෙන්නේ." 
 "මම එකේ නොවෙයිනේ ඉන්නේ?" 
" උඹ එකේ හිටියේ නැතිවුනාට උඹටනේ කැබින් එක දීලා තියෙන්නේ."
 "ඉතිං දැන් මොකද වෙලා තියෙන්නේ?" "ඒක අස්කරලා නැතිව අපිරිසිදුවලු තියන් ඉන්නේ. උඹව හෙව්වාත් එක්ක. හොද වෙලාවට උඹ නිදි හින්දා බේරුනා. ඉක්මනට අස්කරලා දාපං. අන්න උඹ නැගිට්ටාම කැප්ටන්ව හම්බවෙන්න කිව්වා. උඹ දැන්ම යන්න එපා කෑමෙන් පස්සේ මෙස් එකේ ඉන්න කොට පලයන්. "
දඩිබියේ ඇදෙන් පැනගත් මා පහලට දිවගොස් කැබිනය දෙස බැලුවිටදි අනෙකුක් අයගේ ඕවරෝලයන් හා රෙදි සෝදන බාල්දි ඇතුලු සියල්ල ඉවත්ව ගොසිනි. යුහුසුව කැබිනය අතුපතුගා දමා එය පිරිසිදු කරදමන්නට හැකිවුනි. මා දිවා ආහාරය ගෙන වොච් එකට යෑමට එන්ජින් කාමරය වෙත යද්දී දිවා ආහාරය ගැනීමට පැමිණෙන ඩෙක් අංශයේ එකා දෙන්නා අසන්නට වූයේ මාගේ කැබින් එක ගැනය. මේ මොන මරාලයක්දැයි මාහට සිතුනි. තම තමන්ගේ කුණු කන්දල් සියල්ලම මාගේ කැබිනයට දමා කැප්ටන් එන විටදි ඇග බේරා ගත් හැටි අපුරුය. එන්ජින් කාමරයට ගොස් වොච් එක බාරගත්තෙමි. අදාල එංජිනේරුවරයාට පවසා දහවල් එක පසුවි තැප්ටන් හමුවට නිලධාරින්ගේ මෙස් කාමරයට ඇතුල්වුනෙමි. සුව පහසු අසුනක සිටි කැප්ටන්ද ඔහුට මදක් එහායින් ප්‍රධාන නිලධාරියාද සිටියෝය. 
"ගුඩ් ආෆ්ටනුන් කැප්ටන් මට එන්නයි කියලා තිබුනේ."  
"ආ තමුසේගේද අර කැබින් එක?" 
" නෑ සර් මගේ නොවෙයි."  
"එහෙනම් අර ටවල් එක කාගෙද?"   
"ඒක මගේ ."
"අර සේෆ්ටි ෂු?"  
"ඒකත් මගේ."
"එතකොට අර ඕවරෝල් එකත් තමුසේගේද?"  
"ඔව් සර්."
 "කැප්ටන් දැක්කාද අර පෝට්හොල් එකේ කවරේ දොරේ අඩයට තියලා තිබුනේ."
  ප්‍රධාන නිලධාරියාත් මැදට පැන්නේ මේ අතරදීය. 
" ඉතිං තමුසේගේ බඩු ඔක්කෝම තියෙන්නේ එකේ එවුනාට කැබින් එක තමුසේ නොවෙයි වෙන්නේ කොහෝමද?"  
"නෑ සර් බඩු තිබ්බාට එකේ ඉන්න බෑ. ෆෑන් එකක් වත් නෑ. මම වෙන කෙනෙක්ගේ එකක ඉන්නේ. "
"තමුන් දන්නේ නැද්ද නැවේ කැබින් ජරාවට තියන්න බෑ. ගිහිල්ලා තමුන් දැන්ම සුද්ද කරලා දානවා."  
"කැබින් එක සුද්දකරලයි ආවේ."
" චිෆ් පොඩ්ඩක් බලන්න කැබින් එක ක්ලින් කරලාද කියලා. මීට පස්සේ තමන්ගේ එකේ ඇරේන්න වෙන ඒවායේ ඉන්න බෑ. හැබැයි කැබින් ඒක ජරාවට තියන් ඉදලා මට ආපහු අහුවුනොත් ඊළග පෝට් එකෙන් බස්සවලා යවනවා හරිද? "
"හරි සර්." කියා ඉක්මනින් එතැනින් පිටත්වුනි. සිද්ධිය හොදින් බලාගෙන සිටි ස්ටුවාඩ් රාත්‍රි කෑම අතරතුරේදි කැප්ටන් කියු සියල්ලටම ලුණු ඇඹල් දමමින් රසකර කියන්නට වුනි. 
"උඹලා දන්නවාද මේකා කැප්ටන්ට කිව්ව දේ? මේකා කිව්වානේ කැබින් එක මුගේ නොවෙයි කියලා."  
"ඉතිං හරිනේ බං කැබින් එක මගේ නොවෙයිනේ. මම කිව්වේ ඇත්ත."
" ඒ කියනනේ? 
"කැබින් එක මගේ නම් මම ගෙදර යනකොට අරන් යනවා. කැබින් එක නැවේ මිසක් මගේ නොවෙයි." 
 "මේකාව ඊළග පෝට් එකෙන් බස්සනවා කිව්වා."  
"එයාට මාව කොහොමත් බස්සන්න වෙනවා. මාගේ දෙවනි Traning  ජනවාරි පහ පටන්ගන්නවා. ඒ උනාට තොපිලා මහ බලු වැඩේ කලේ තොපිලාගේ රෙදි ටික අරන් මාව මාට්ටු කරා නේද? ආපහු එකෙක්වක් රෙදි වේලන්න දාන්න එපා විසික් කරනවා එළියට."
ඉන් පසුව කිසිවෙකුත් මා පාවිච්චි නොකල කැබිනයට ඔවුන්ගේ ඇදුම් දැම්මේ නැත.

  එවැනි රසවත් සිද්ධින් රැසක් සමගින් අනුව දශකයේ අන්තිම දින කිහිපය මහ මුහුදේ ගෙවිය යමින් පැවතුනි. දෙසැම්බර් 28 වනවිට අප කොළඹට ලගාවූ අතර වරාය අසල නැංගුරම් දමන්නට හැකිවිය. අප කාගෙත් සිහිනය වුයේ 2000 වසර හෙවත් සහස්‍රය ලබද්දී කොළඹ වරායේ ජැටියක් වෙත යන්නටය. අවසානයේ අපගේ බලාපොරෝත්තු සපුරමින් නෞකාව කොළඹ වරායේ බන්ඩාරනායක ජැටියේ නවතාලන්නට හැකිවුනි. ඒ දෙසැම්බර් 30 වැනි දින විය. දැන් සියල්ලන්ම බලා සිටින්නේ සමාගමෙන් පඩි සල්ලි රැගෙන නියෝජිතයෙක් නැවට එනතෙක්ය. සල්ලි බෑගය ලැබූ පසුව කැප්ටන්ගෙන් මුදල් ලබාගන්නට එකා දෙන්නා නිලධාරි මෙස් එක ලග පෙල ගැසී සිටියහ. සමහරුන් නොවසිලිමත්වූයේ ඉක්මනින් මුදල් රැගෙන නිවෙස් කරා යන්නටය. මාහට අදාල පඩි සල්ලිද කැප්ටන් ගෙන් ලැබුනු අතර ඒ මුදල් ආරක්ෂා සහිතව තබාගන්නට ඉන්දික අතට පත් කෙරුවෙමි.

 ලෝකයේ ලොකුම ප්‍රශ්ණය බවට පත්වූ Y2K problem  2000 වසර ලබද්දී පරිගණකයන් අකර්මණ්‍ය වි ගොස් බොහෝ ආයතන, ගුවන් ගමන්, ගමනාගමන පද්ධති බිද වැටෙන එක ගැනය. එය අපගෙත් මාතෘකා බවට පත්වි තිබුනි. හසහස්‍රය පිලිගන්නට අපගේ නෞකාවේ සාදයක් පැවැත්වන්නට නියමිත විය. සේවයේ යෙදි හෙම්බත්ව සිටි සියල්ලන් බලා සිටියේ එවැනි සාදයක් එනතෙක්ය. සාදය ආරම්භ කරන තෙක් අප සිටියේ ඇගිලි ගනිමින්ය. නිවෙස් වෙත යන්නට හැකිවුන් නිවෙස්කරා ගොසිනි. දෙවනි ඉන්ජිනේරුවරයාද නිවෙසට ගොස් යළි පැමිණියේ ප්‍රධාන ඉන්ජිනේරුවරයාට නිවෙසට යන්නට අවස්ථාව ලබාදෙන්නටය. ඔහු තම වෑන් රථයෙන් පැමිණ එය ජැටියේ නවතා තැබිය. අනිවාර්්‍යයෙන්ම නැවේ සේවයේ සිටිය යුතු අය ඉතිරිවිය. අපද එම ගොඩට වැටි ඇත. රාත්‍රිය එලඹෙද්දී සාදය අරඹා කැප්ටන් හා ප්‍රධාන ඉන්ජිනේරුවරයා වෙලාසනින්ම නික්ම ගියේය. විස්කි හා බ්‍රැන්ඩි බෝතල් එක දෙක හිස්වන්නට විය. වැඩි කතාබහක් නැති ජයරත්න නම් දෙවන ඉන්ජිනේරුවරයා අපත් සමග නර්තනයේ යෙදෙන්නට පටන් ගත් අතර 2000 වසරට පාතබද්දී ඔහු අප සියල්ල වැලද ගනිමින් සුබ පැතීය. අප සියල්ලන්ම ප්‍රධාන තට්ටුව වෙත දුව ආවෙමු. රාත්‍රී දොලහේ හෝරාව එලඹෙද්දී වරායේ නවතා තිබුනු හා නැංගුරම් ලා තිබූ සෑම නෞකාවකින්ම ගලා ආ හොන් ශබ්දයෙන් ගිගුම් දුනි. අප නෞකාවේ හෝනය එක දිගට නාද කරන්නට විය. කොළඹ අහස මල් වෙඩියෙන් පිරි යද්දී ඇත දියඹේ තිබු නෞකාවන්ද ඒවායේ තිබු රොකට් පැරෂූට් ගිනිදැල් සංඥාවන් (Rocket parachute flares) උඩුගුවනට මුදා හරින්නට විය. 
පැරෂුට් ෆ්ලෙයාර් එකක් දැල්වෙන අයුරු.


අහස්තලයම දිප්තියෙන් දිදුලමින් තිබුනි. 
" අලුත් අවුරුද්දක් ලබද්දී උඹලා පන්සල්යන්නේ නැද්ද? එනවානම් වරෙල්ලා."  දෙවන ඉන්ජිනේරුවරයා කීවේය.
" යමු යමු අපි එන්නම්."
   ඔහුගේ යෝජනාවට එක පයින්ම කැමැත්ත පලකල අපි අතර ඔහුගේ වෑන් රථයට රිංගා ගතිමු. සියල්ලන්ම සිතා සිටියේ ගංගාරාමට පන්සලට හෝ කැළණිය පන්සලට නැතිනම් බෙල්ලන්විල පන්සලට යන බවයි. නමුත් දෙවන ඉන්ජිනේරුවරයා අපව කැදවාගෙන ගියේ වරාය ඇතුලේ ජයා බහලුම් පර්යන්තය අසළ තිබු බෝ ගසත් එක්කම ඉදිකල කුඩා ප්‍රමාණයේ බුදුකුටියකටය. 
" ආ දැන් බැහැලා ගිහිල්ලා වැදලා වරෙල්ලා."  
" අපි හිතුවේ සෙකන්ඩ් අපිව කැළණි පන්සල් එක්ක යනවා කියලා."  
"කොයි පන්සලට ගියත් ඉන්නේ එක බුදු හාමුදුරුවෝයි කියන්නේ එකම ගාථායි නම් මෙතනත් එකයි එතනත් එකයි බං. "
එම කුඩා බුදු කුටියට ගොස් බුදුන්වැද ආපහු වෑන් රථයෙන් නැවට ආව සියල්ලන්ගෙම වෙරි සිදි තිබුනි. 



සහස්‍රය ලැබුදා වරායෙන් එළියට ගොස් කොළඹ වටේ රවුමක් ගැසීමේ අවස්ථාව එසේ නිමාවුනි...

Monday, May 4, 2026

කොළොම්පුරයාගේ වෙසක් කූඩු කතා වස්තුව

 වෙසක් සිරියෙන් රටම බබලන්න මැයි මාසේ උදාවෙලා තියෙද්දි කොළොම්පුරයාගේ මතක ගබඩාවේ දුහුවිල්ලෙන් වැසිලා ගිහින් තිබුන පරණ සිද්ධියක් මතකයට නැගුනා. අපේ සකල බ්ලොග් වාසි හුදි ජනයාගේ පහන් සිතුවිලි උදේසා මෙන්න කොළොම්පුරයා අකුරු කරනවා. 



මේ කියන කාල වකවානුවේ පාරවල් ගානේ වෙසක් කාඩ් කඩවල් තිබුනාට දැන්වාගේ විදුලි බුබුලු කඩ, බෞද්ධ කොඩි කඩ, වෙසක් කූඩු කඩ තිබුනේ නෑ. කොළොම්පුරයාගේ අතිජාත මිතුරෙක් වෙච්චි බඩාගේ තාත්තාගේ කඩකාමර දෙකත් ඊට යාබදව බඩාගේ ගෙදරත් රත්මලානේ  ගාලුපාරට මුහුණලායි තිබුනේ. ඔය කියන ස්ථානයේ කොළොම්පුරයා බඩා හා අනිත් පාසල් මිත්‍රකැල වෙසක් එකට කරපු බොහෝ දේවල් මතක ගබඩාවේ ඉතිරිවෙලා තියෙනවා. පසුව අකුරු කරන්නම් හොදේ... 

ඉතිං බඩාගේ පියානන් වෙසක් එකට මාසෙකට කලියෙක් මුලු පවුලම එකතුතරන් පටන් ගන්න ව්‍යාපෘතියක් තිබුනා. ඒක තමයි වෙසක් කූඩු වෙළදාමට සැකසීම. දැන්වාගේ අටපට්ටමේ සැකිල්ල විතරක් විකුනන්නේ නැතිව සියල්ල අලවා නිමකර විකිනිම තමයි එයාලා  කරේ. මේ කියන අවුරුද්දේ කොළොම්පුරයාත් ගෙදර නාවික පාඨමාලව ඉවරකරලා නො නැව් කොම්පැනියේ ඉදිද්දි තමයි බඩා කිව්වේ මේ පාර එයලා වෙසක් කූඩු හදන්නේ නැති බවත් පුලුවන්න නම් උඹ වැඩේ කරපන් කියලා. කොළොම්පුරයාගේ නැන්දාගේ බාලයා වුනු මධුරත් රස්සාවක් හොයමින් ඉන්න හින්දා මේ වැඩේට එයත් හොදම සුදුස්සා උනා. කොහොමින් හරි දෙන්නාත් එක්ක කතාබහ කරලා වැඩේට බැස්සා. වෙසක් කූඩු සියයක් හදන්නයි දෙන්නාගේම ප්ලෑන. මුලින්ම කරන්න ඕනේ බට හොයාගන්න එක. කූඩු හදන්න ගන්න පොඩි උන බට දැන්වාගේ පාරවල් වල හැමතැනම විකූනන්න නෑ. තිබුනත් බට අරන් ප්‍රවාහනය කරගන්න වාහනත් නෑ ගන්න සල්ලිත් නෑ. ඔන්න ඒ පාර තමයි කොළොම්පුරයාගේ පාසැල් මිතුරෙක් වුනු හිරාන් උදව්වට ආවේ. හිරාන් හිටියේ කොළොම්පුරයා ගෙවල් පාරට අල්ලපු පාරේ. එයාගේ ගෙදර අලුතින් නිමකරපු කෑම කාමරය සාදන්න ගෙනාපු උන බට ගොඩාක් කොන්ත්‍රාත් කරුවා ගෙනිහිල්ලා නැති බවත් ඒවා අවශ්‍ය නම් ගන්න පුලුවන් බවත් දැනගත්තා. දැන් මධුරත් කොළොම්පුරයාත් රැට රැට හිරාන්ගේ  ගෙදරින් උනබට දෙක දෙක කරේ තියාගෙන එනවා. දවල්ට අරන් එන්න ලැජ්ජයි නේ. කොල්ලොනේ. 

මේ ලොකු උන බට කූඩු හදන්න ගන්න පොඩි බට වාගේ නොවේ පලන්න පවා හරිම අසීරුයි. දෙන්නාගෙන් වැඩිම කාලයක් ගෙවුනේ බට පලන්නයි නියමිත ගානට සයිස් කරන්නයි. මේ බටවල මදය ගනකම් හින්දා ඒවා අඩු කරන්නත් සිදුවුනා. මේ හින්දා කොළොම්පුරයාගේ ගෙදර මිදුල පුරා බට කෑලී හැමතැනම විසිරිලා. බට කැපිල්ලෙන් පස්සේ කූඩු හැදිල්ල පස්සට දාලා අලවන සව් කොල ගන්න කොළඹ මැලිබන් විදියට යන්නයි දෙන්නාගෙම කල්පනාව. 

"මැලිබන් විදියේ තමයි සව් කොල තියෙන්නෙ. වෙලාසනින් ගිහිල්ලා අරගන්න එක තමයි හොද නැතිනම් ලංවෙද්දි කොල ගනන් යනවා"

 බඩාගේ පියානන්ගෙන් උපදෙස් ලැබුනා. කොළොම්පුරයයි මධුරයි දෙන්නා එක්ක බසයේ නැගිලා පිටකොටුවෙන් බැහැලා මැලිබන් විදිය හොයාගෙන ගියා. දෙන්නා එක්ක හොදටම වෙහෙසිලා කඩවල් ගානේ ගිහිල්ලා ගනන් බලලා සුදු සව් කොල රීම් එකකුත් අනෙක් පාටින් දුසිම් ගනනින්ද කළු ඩිමයි කොලත් අරගත්තා මතකයි. ඔන්න දැන් සව් කොලත් හරි දැන් තමයි කූඩු හැදිල්ල තියෙන්නේ. කූඩු හැදිල්ලත් ලේසි නෑ කොහොම හරි දෙන්නා එක්ක කූඩු එකසිය පහලොවක් වගේ ගනනක් හදලා නිමකලා. මේ වැඩේට අමතර උදව් එහෙමත් ටික ටික  දෙන්නාටම ලැබුනා. නැත්නම් කොහොමද දෙන්නා මේක කරන්නේ.  මගදි වැඩේ අතහැරලා දාන්නත් හිතුනත් ගෙනාපු සව් කොල වලට මොකද කරන්නේ කියලා හිතුන නිසා වැඩේ නතර කෙරුනේ නම් නෑ. කුඩු අලවන්න යොදාගත් කාමරේ පොලවේ පවා කැපුන සව්කොල කෑලි ඇලවිලා මුලු පොලවම ගන්න දෙයක් නෑ. කළු ඩිමයි කොල වලින් ධර්ම චක්‍රයක් කපලා සුදු හතරුස් කොටුවල ඇලෙව්වාම ලයිට් එලියට ලස්සනට පෙනෙන්න ගන්නවා.  රැලි දාලා ඇලෙව්ව කූඩු ටික ඉරාගන්නේ නැතිව තියාගන්න එකත් ලේසි වැඩක් නොවෙයි. අනික කූඩු කූඩු එකසිය පහලොවක් වගේ ගනනක් තියන්න තැනත් හොයන්න අමාරුවුනේ නෑ. කොළොම්පුරයාට තමන්ගේ කාමරේ කූඩුවලට ඉඩදීලා සාලේ නිදාගන්නත් උනා. කොහොමින් හරි දෙන්නා එක්ක කරපු ප්ලෑනේ හැටියට වෙසක් ලබන්න දවස් හයකට කලියෙන් වැඩේ හමාර කරලා වෙළදාම් කරන්න සෙට්වුනා. වෙසක් කූඩු හැදුවාට දැන් කොහේද වෙළදාම් කරන්නේ? ඔන්න ඔය අවස්ථාවේ කොළොම්පුරයාගේ හැම මංගල්ලයකටම සපොට් දෙන අතිජාත මිතුරෙක් වන චන්දන අයියා උදව්වට එන්නේ. එයාට තිබුන හයර් දුවන මිට්සුබිෂි වෑන් එක දෙනවා කූඩු වෙළදාම් කරන්න යන්න. කොළොම්පුරයාට වාහන එලවන්න ලාවට පුලුවන් උනත් ලයිසම් කඩදාසියක් එතකොට අරන් නෑ. කූඩු බිස්නස් එකේ පලමු දිනය උදාවෙනවා. කොළොම්පුරයයි මධුරයි එක්ක චන්දන අයියා වෑන් එකේ කූඩු පුරවන් දැන් ගාලු පාරේ විකුණන්න තැනක් හොයනවා. අන්තිමේදි ගල්කිස්ස ආසන්නයේ තැනක පේමන්ට් එක උඩ වෑන් එක නවත්තන්න තැනක් හමුවෙනවා. 

මෙන්න මේ තාප්පය අයිනේ තමයි වෑන් එක නවත්තලා තිබුනේ. 


" මල්ලි අද මගේ ඇගටත් හරි නෑ එත් යාලුවෙක් කතා කරනවා සෙට්වෙන්න. ඔෂන් බ්ලික් හෝටලේ මම ඉන්නවා වැඩේ ඉවරවුනාම කතා කරන්න. "

කියලා චන්දන අයියා වෑන් එකයි අපිවයි දාලා  යනවා. වෙසක් කූඩුවක් රුපියල් සියයක මුදලකට මිල නියමකරගෙන වෑන් රථයේ පිටු පස දොර ඇරලා කූඩු තුනත් විතර එල්ල ගෙන දෙන්නාත් එක්ක බලාගෙන හිටියාට කවුරුවත් කූඩු ගන්න එන්නේ නෑ. ඇත්තටම දෙන්නටම ලැජ්ජත් එක්ක කූඩු විකුණන්න. ඔන්න ඔය වෙලාවේ කොළොම්පුරයත් එක්ක නැව් කෝස් කරන්න ගිය මේ වන විට ප්‍රධාන නාවික නිළධාරියෙක් විදිහට නෞකාවල සේවය කරන වන්නියා කඩාපාත්වෙන්නේ.

" ඇයි තොපිලට ලැජ්ජද හැංගිලා ඉන්නේ "

කියලා අහලා අපේ පලමු වෙසක් කූඩුව මිලදි ගන්නේ වන්නියා එවාගේම කූඩු විකුණන්නත් උදව් වෙනවා. පලමු දවසේ කූඩු දෙකක් පමණයි විකිනෙන්නේ. දෙන්නාටම දැන් තරු විසික් වෙලා ඉන්නනේ ඇයි බොලේ වියදම් කරපු සල්ලිවත් හොයාගන්න බැරිවෙයිදෝ කියලා. දෙවනි දවසෙ වැඩේට උදේම බහින්න කියලා හිතාගෙන චන්දන අයියා බලන්න යනකොට පොර ඇදේ ඉන්නවා හොදටම උණ හැදිලා.  වදෙන් පොරෙන් මිනිහාව ලෑස්තිකරන් දොස්තර වික්‍රමසිංහ ලගට අරන් ගිහින් බෙහෙත් අරන් දීලා ගෙදර එක්කන් එනවා. එදත් හවස තමයි බිස්නස් එකට බහින්න වෙන්නේ. එත් උණ හැදිච්ච කෙනෙකුගෙන් ඉල්ලන්න පුලුවන්ද වෑන් එක?  

"මල්ලි එලවන්න පුලුවන් කෙනෙක්ට කියලා වෑන් එක අරන් යන්න."

කියලා පොර යතුර කොළොම්පුරයාට දෙනවා. යතුර ලැබුනත් දැන් කාටද කියලා වෑන් එක එලවන්නේ? මධුරගේ ලොකු අයියාට කියා අදාල ස්ථානයට වෑන් එක ගෙනියන්නට හැකිවෙනවා. එදා නම් කූඩු පහක් විකුණගන්න කොළොම්පුරයාට පුලුවන් වෙනවා. පසුවදා හොදටම උණ වැඩිවි චන්දන අයියා කළුබෝවිල රෝහලට ඇතුලු කරවන්නටද සිද්ධවෙන්නේ මේ අතරතුරයි. කොළොම්පුරයාගේ කූඩු බිස්නස් එකට උදව්කරන්නට වුනු පොරෙන්දුව ඒ විදිහටම රැකපු චන්දන අයියා එයාගේ වෑන් රථයේ යතුර පහුවෙනිදාත් කොළොම්පුරයාට ලබාදෙනවා වෙන කෙනෙකු ලවා වැඩය කරගන්නයි කියමින්. 

ඒ අතරේ ගල්කිස්සේ  HNB බැංකුවට නිල් හා සුදු පාටින් කූඩු පහලොවකුත් Five Star බේකරියට තනිකරම තැඹිලි පාටින් කූඩු දහයක ඕඩරයක් එනවා.  ආයෙත් කූඩු හදන්න බැරි හින්දා අලවපු කූඩු ඉරලා තමයි එයලාගේ පාටින් අලවන්න සිදුවුනේ.

මේ අතරේ මධුර පොඩි ස්පිකරයක් හයිකරලා සින්දුවක් එහෙම දාගන්න පුලුවන් විදිහටත් කොළෙම්පුරයා ගාව තිබුන ටියුබ් ලයිට් සර්කිට් එකකින් වාහනේ බැටරියට සවිකරන් එළිය ගන්න පුලුවන් විදිහටත් වැඩේ කරගන්නවා. 

ටිකෙන් ටික වෙසක් එකට දින ලංවෙද්දි කූඩු වෙළදාම වැඩිවෙලා උදේ ගෙනියන කූඩු දවල් වෙද්දී මදි වෙනවා. මේ අවස්ථාවේදි පිහිට වෙන්නේ මධුරගේ ලොකු අයියා තමයි. ලග තිබුන පේ ෆොන් පෙට්ටියකින් මධුරගේ ගෙදරට ඇමතුමක් දීලා මධුරගේ අයියාගේ පර්ජෝ 404 කාර් එකෙන් කොළොම්පුරයාගේ ගෙදර ඉදන් කූඩු ඇදලා ලොකු උදව්වක් කරන්නේ. මේ අතරේ සමහර මිනිස්සු තමන් ආපු කාර් එක දැක්කාම ගාන වැඩියෙන් කියයි කියලා ඈතින් නතර කරලා ඇවිත් රුපියල් සියයට විකුණන කූඩුවත් හෙට්ටු කරලා අඩුවට ඉල්ලන හැටිත් කොළොම්පුරයා හොදටම අත්විදින්න ලැබුනා. කොහොමින් හරි වෙසක් දිනයේ දහවල් වෙනකොට අපේ කූඩු විකිණිල්ලේ අවසන් අදියරට ඇවිල්ලා. ඉතිරි කූඩුවලින් පහක් චන්දන අයියාටත් කොළොම්පුරයාගේ ගෙදරට හා මධුරගේ ගෙදර බෙදාගෙන වැඩේ අවසන් කෙරුනා. වෙසක් පොහොය දිනය වෙනකොට චන්දන අයියා රෝහලෙන් ගෙදරට ඇවිල්ලා තිබුනත් කොළොම්පුරයාට එයාව බලන්න යන්නවත් වේලාවක් ඉස්පාසුවක් ලැබුනේ නෑ.  වෙසක් පොහොය දිනයේ කැළණි පන්සලට පිත්තල පහණක් පුජා කරන්න හිතන් හිටපු වන්නියාට චන්දන අයියාගේ වෑන් රථයේ හයර් එකක් යන්න අල්ලලා දුන්නේ කොළොම්පුරයයි එත් ලෙඩා දුකා වෙච්චි චන්දන අයියාට ඒ හයර් එක යන්න බෑ. 

"මල්ලි එලවන්න පුලුවන් කෙනෙක් එක්ක ගමන ගිහින් එන්න. මට හයර් එක එපා."

 කියලා වන්නියාට යතුර දෙනවා. 

"දන්න උඹට යතුර දුන්න එක නොවෙයි වැඩේ නොදන්න මට චන්දන අයියා එයාගේ වෑන් එකේ යතුර දුන්න එකයි මාර."

වන්නියා අදටත් ඒක කියනවා.  කොළොම්පුරයාගේ පාසල් මිතුරෙක් වූ චන්නියාට චන්දන අයියා හමුවන්නේ ඒ විදිහටයි. ඒ හමුවිමෙන් වන්නියාත් චන්දන අයියාත් මිතුරන් බවටත් පත්වෙන්නේ මේ වෙසක් කූඩු වෙළදාම හින්දයි. 

කොහොමින් හරි වියදමි අඩුකරලා මධුරත් කොළොම්පුරයාත් රැපියල් 3500 බැගින් බෙදාගන්න පුලුවන් වෙනවා. අද කාලේ රුපියල් 3500 ක් ලොකු ගන්නක් නොවුනත් එදා ඒක අපේ මහන්සියේ තරමට ලොකු ගානක් වෙනවා. එදා කොළොම්පුරයාගේ වෙසක් කූඩු බිස්නස් එකේ ආදායම් වියදම් පොඩි පොතක ලියලා තිබුනා. සමහරවිට තාමත් ඒ පොත ගල්කිස්සේ ගෙදර පොත් දාපු පෙට්ටියක රැදිලා ඇති. 

ඔන්න ඔහොමයි කොළොම්පුරයාගේ වෙසක් කූඩු කතා වස්තුව අවසන් වෙන්නේ.   


Saturday, November 8, 2025

බලමුද විසදන්න?

වෘත්තාකාර උද්‍යානයක් වටා මීටර් 440ක වට ප්‍රමාණයක් ඇත. එම වට ප්‍රමාණය දිගේ මීටර් 5 බැගින් ගස් සිටුවා ඇත. සෑම තුන්වන ගසක් අසල බංකුවක් ද තබා ඇත. එමෙන්ම සෑම හතරවන ගසක් අසල ලාම්පුවක් සවි කර ඇත.


(අ) උද්‍යානයේ ඇති සම්පූර්ණ ගස් ගණන කීයද?
 (ආ) බංකු ගණන කීයද?
 (ඇ) ලාම්පු ගණන කීයද?
 (ඈ) ගසක් අසල බංකුවක් සහ ලාම්පුවක් යන දෙකම ඇති ස්ථාන ගණන කීයද?

Saturday, October 11, 2025

ලස්සන logic ගැටළුවක්

මෙන්න ලස්සන logic ගැටළුවක් 



ගැටළුව:
ඔයා ඉස්සරහ 3 switches තියෙනවා. ඒ තුනෙන් එකක් උඩ මහලේ කාමරයක තියෙන bulb එකක් on කරනවා. අනික් දෙක කිසිම දෙයක් කරන්නේ නෑ.
Rules:
  • ඔයාට switches on/off කරන්න පුළුවන් ඕන තරම්
  • ඒත් උඩ මහලට එක පාරක් විතරක් යන්න පුළුවන්
  • Bulb එක පහළින් පෙන්නේ නෑ
  • උඩ මහලට ගිහින් බලලා විතරයි ඕන - switches තවත් මාරු කරන්න බෑ
කොයි switch එකද bulb එක control කරන්නේ කියලා හොයාගන්නේ කොහොමද? 💡🤔

Saturday, August 9, 2025

පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම

 ගොඩක් දෙනෙක් පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම ගැන ලියන්න කියලා ඉල්ලලා තිබුනා. ඒ නිසා අද ඒ ගැන ලියන්න හිතුවා. 

සමහර විට ඔයාගේ තාත්තා, සැමියා මේ රෝග ලක්ෂණ එක්ක පීඩා විදිනවා වෙන්න පුලුවන්. සමහර විට ලජ්ජාව නිසා කියන්නේ නැතුව ඇති.



පුරස්ථි ග්‍රන්ථිය කියන්නේ පිරිමි අයගේ මුත්‍රාශයට යටින්, ගුද මාර්ගය ඉස්සරහින් තියෙන කුඩා ග්‍රන්ථියක්. මේ ග්‍රන්ථියෙන් තමයි ශුක්‍ර තරලය හදන්නේ. ඒ නිසා, පිරිමින්ගේ ප්‍රජනන පද්ධතියේදී පුරස්ථි ග්‍රන්ථිය ගොඩක් වැදගත්.


අපි වයසට යනකොට පුරස්ථි ග්‍රන්ථිය එහි සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වෙන්න පුලුවන් (BPH - Benign Prostatic Hyperplasia). ග්‍රන්ථිය විශාල වෙනකොට මුත්‍රාශය හා මුත්‍ර මාර්ගය තද වෙනවා. ඒ නිසා මුත්‍රා ගමනේ ගැටලු ඇතිවෙනවා.


✅️BPH ඇතිවෙන්න හේතු

✔️වයස අවුරුදු 50ට වඩා වැඩි උනාම BPH ඇතිවීමේ අවදානම වැඩියි. (60-70 ට වඩා ගියාම ගොඩක් පිරිමින්ට මේ තත්ත්වය තියෙනවා.)

✔️ටෙස්ටොස්ටිරෝන් හා එහි උප ආකාරයක් වන DHT (Dihydrotestosterone) නිසා ග්‍රන්ථි සෛල වර්ධනය වෙනවා.

✔️පවුලේ තව කෙනෙකුට BPH තිබුණොත් ඔබටත් ඒක ඇතිවෙන්න පුළුවන්.


✅️BPH තියෙන අයට බහුලව දකින්න ලැබෙන රෝග ලක්ෂණ:

✔️මුත්‍ර පිටවෙන්න ගොඩක් වෙලා ගන්නවා, හෝ බලෙන් තල්ලු කරන්න වෙනවා.

✔️ මුත්‍ර ගලා යන්නේ හිමින්.

✔️මුත්‍ර කිරීම අවසන් වුණත් තවමත් බිංදු බිංදුවට එනවා.

✔️නිතර නිතර මුත්‍ර යෑම (රෑටත් කිහිප වතාවක් ඇහැරෙන්න වෙනවා.)

✔️මුත්‍ර කළාට පස්සෙත් තවමත් මුත්‍ර තියෙනවා වගේ හැඟීමක්.

✔️හදිසියේම මුත්‍ර යන්න ඕන වෙනවා, ඉවසන්න බැරි තරමට.


රෝග ලක්ෂණ තියෙනව නම් BPH කියලා තහවුරු කරන්න පහල තියෙන පරීක්ෂණ කරනවා.


1️⃣ඩිජිටල් රෙක්ටල් පරීක්ෂාව (Digital Rectal Examination - DRE)

ගුද මාර්ගයෙන් ඇඟිල්ලක් දාලා පුරස්ථි ග්‍රන්ථියේ ප්‍රමාණය, හැඩය, එහි ඝනකම බලනවා. 


2️⃣PSA (Prostate-Specific Antigen) රුධිර පරීක්ෂාව

PSA කියන්නේ පුරස්ථි ග්‍රන්ථියෙන් නිපදවෙන ප්‍රෝටීනයක්. BPH, පිළිකා, හෝ ග්‍රන්ථියේ ආසාදන එක්ක PSA මට්ටම ඉහළ යන්න පුළුවන්. 


3️⃣මුත්‍ර ප්‍රවාහ පරීක්ෂාව (Uroflowmetry)

මේකෙන් මුත්‍ර ධාරාවේ වේගය හා ප්‍රමාණය මනිනවා. 


4️⃣Post-Void Residual Volume Test

මුත්‍ර කරාට පස්සේ මුත්‍රාශයේ ඉතිරිවෙලා තියෙන මුත්‍ර ප්‍රමාණය මනිනවා. මේකට Ultrasound එකක් භාවිතා කරනවා. 


5️⃣අල්ට්‍රාසවුන්ඩ් (Ultrasound)

මේකෙන් ග්‍රන්ථියේ ප්‍රමාණය හා එහි ව්‍යුහය හඳුනාගන්න පුළුවන්.


6️⃣මුත්‍රාශය පරීක්ෂාව (Cystoscopy)

කුඩා කැමරාවක් මුත්‍ර මාර්ගයෙන් ඇතුළු කරලා මුත්‍රාශය හා මුත්‍ර මාර්ගයේ ඇතුළත බලනවා. මේකෙන් BPH නිසා මුත්‍ර මාර්ගයේ තද ගතියක් තියෙනවාද කියලා බලන්න පුළුවන්. (පළවෙනි comment එකේ Cystoscopy එකක් කරන vedio එකක් තියෙනවා)


BPH තත්ත්වය බරපතල නැත්නම්, ප්‍රතිකාර අවශ්‍ය නැති වෙන්නෙ නෑ. ඒත් රෝග ලක්ෂණ අනුව පහල තියෙන ප්‍රතිකාර ක්‍රම තියෙනවා.


💊බෙහෙත් වලින් මුත්‍ර මාර්ගයේ මාංශ පේශි ලිහිල් කරලා මුත්‍ර කරන එක ලේසි කරනවා.

💊රෝග ලක්ෂණ බරපතල නම්, TURP (Transurethral Resection of the Prostate) වගේ ශල්‍යකර්ම කරන්න පුළුවන්.


❌️BPH වල රෝග ලක්ෂණ තවත් රෝග ගණනාවකටත් පොදුයි. ඒ නිසා, රෝග ලක්ෂණ තිබුණොත් වෛද්‍යවරයෙකු හමුවෙන්න ඕනේ. BPH වලට සමාන රෝග ලක්ෂණ තියෙන්න පුළුවන් රෝග:

- පුරස්ථි ග්‍රන්ථි පිළිකාව (Prostate Cancer)

- මුත්‍රාශයේ ගල් (Bladder Stones)

- මුත්‍ර මාර්ග ආසාදන (Urinary Tract Infections - UTI)

- මුත්‍රාශයේ පිළිකාව (Bladder Cancer)

- Neurogenic Bladder) 

 

⚠️BPH කියන්නේ පිළිකාවක් නෙවෙයි. BPH එකෙන් පිළිකාවක් ඇතිවෙනවා කියලා සාක්ෂි නැහැ. ඒත්, BPH වලයි පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවෙයි එකම රෝග ලක්ෂණ තියෙන නිසා රෝග ලක්ෂණ තියෙනව රජයේ රෝහලට හරි GU Surgeon කෙනෙක් හරි හමුවෙන්න.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා.  මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 30k ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.


වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න


Saturday, August 2, 2025

Ultrasound scan ගැන

 වාට්ටුවේ scan දෙක. 



Scan එකක් කරන්න ලේසි නෑ. Scan room එකට call ගත්තම ඒකේ ඉන්න අයියා කෙනෙක් don't care level එකෙන් answer කරනවා. දැන් ඉතින් විස්තරේ කියන්න ඕනේ. 

ලෙඩා ආවේ මොනවා වෙලාද? රෝග ලකෂණ මොනවද තිබුනේ, blood reports ඔක්කොම කිව්වට පස්සේ එහෙනම් මේ වෙලාවට එවන්න කියලා කියනවා. 

Intern කාලේ ඔහොම scan දෙකක් කතා කරගත්තා. 

එකකට bladder full කරලා එවන්න කිව්වා. ඒ කියන්නේ හොදට වතුර බීලා මූත්‍රා කරන්නේ නැතුව. ඒ සීයාගේ මූත්‍රාශය බලන්න තිබුනේ.

අනිත් එක 6 hour fasting එවන්න කිව්වා. ඒ කියන්නෙ පැය 6 ක් කන්නේ බොන්නේ නැතුව. මෙයාගේ අක්මාව පිත්තාශය බලන්න තිබුනේ. 

දෙන්නට කරන්න ඕන දේවල් ටික කියලා scan එකට යන්න මේ වෙලාවට ලෑස්ති වෙන්න කියලා මම වෙන වැඩකට ගියා. 

ටිකකින් scan එකට යවන්න බලනකොට කන්න එපා කිව්ව මනුස්සයා කාලා. මූත්‍රා කරන්න එපා කිව්ව මනුස්සය හොද චූ පාරක් දාලා ඇවිත්. 

දෙකක් අමතන්න ඕන අවස්ථාවක්.  

ඔය වගේ ඒවට බැන්නම තමා hospital එකෙන් ඇවිත් රජයේ hospital වල staff වලට බනින්නේ. ලෙඩ්ඩු 80 කට 100 කට විතර staff එකෙන් 5 ක් 6 ක් ඉදලා කරන සේවයට හරිනම් පිං දෙන්න ඕනේ. 


තමන්ගේ ලෙඩ ගැන වගේම පරීක්ෂණ ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. අඩුම තරමේ අවබෝධයක් නැත්නම් කියන උපදෙස් ටිකවත් අහන්න ඕනේ.


අද ultrasound scan ගැන


ultrasound scan ස්කෑන් කියන්නේ අපේ ඇග ඇතුළත බැලීමට භාවිතා කරන ආරක්ෂිත, වේදනා නැති, විකිරණ නැති වෛද්‍ය පරීක්ෂණයක්. Pregnant අම්මලටත් මේක ආරක්ෂිතයි. 


මේකෙදි වෙන්නේ scan machine එකෙන් ශබ්ද තරංග (ultrasound waves) ශරීරයට යවනවා. මේ තරංග ශරීරයේ පටක, අවයව, හෝ තරල හරහා ගිහින් ආපසු පරාවර්තනය වෙනවා (echoes). ඒ පරාවර්තන තරංග වලින් machine එකේදි රූපයක් හදනවා වෙනවා. ඒකෙන් ශරීරයේ ඇතුළත තත්ත්වය හඳුනාගන්න පුළුවන්. 

Doppler ultrasound එකකදී රුධිර ගලන වේගය හා දිශාව බලන්න පුළුවන්, ඒකෙන් රුධිර නාලවල ගැටළු හඳුනාගන්න පුලුවන්.


✅️අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකකින් බලන්න පුළුවන් දේවල්

1️⃣ගර්භිණීභාවය - බිළිඳාගේ වර්ධනය, හෘද ස්පන්දනය, ගර්භාෂ තත්ත්වය, හෝ වැදෑමහ (placenta) හි ගැටළු බලන්න පුලුවන් 

2️⃣අභ්‍යන්තර අවයව - අක්මාව, වකුගඩු, පිත්තාශය, අග්න්‍යාශය, ගර්භාෂය, වෘෂණකෝෂ, මුත්‍රාශය, තයිරොයිඩ් ග්‍රන්ථිය, පුරස්ථි ග්‍රන්ථිය වැනි අවයවවල වෙනස්වීම් හඳුනාගැනීම.

3️⃣හර්නියා තත්ත්ව හඳුනාගැනීම.

4️⃣හෘදය : හෘදයේ වෑල්, කුටීර හෝ රුධිර ගලනය බැලීම (Echocardiogram).

5️⃣ධමනි හා රුධිර ගලනය - රුධිර නාලවල බාධා, ලේ කැටි, හෝ රුධිර ගලනයේ ගැටළු (Doppler ultrasound).

6️⃣සන්ධි හා මෘදු පටක - සන්ධිවල ඉදිමුම, කණ්ඩරා ඉරීම්, හෝ මෘදු පටකවල ගැටළු (musculoskeletal ultrasound).

7️⃣ පියයුරු වල ගෙඩි / පිළිකා හදුනාගැනීමට 


Ultrasound scan රෝග හඳුනාගැනීමට විතරක් නෙවෙයි සමහර ප්‍රතිකාර සහ procedures වලටත් උදව් වෙනවා. 

1️⃣Biopsy ගන්න : තයිරොයිඩ්, අක්මාව, වකුගඩු, පියයුරු හෝ පුරස්ථි ග්‍රන්ථියේ තියෙන ගෙඩි පිළිකාද යන්න බලන්න ඒවායින් කුඩා කොටසක් ගන්නවා. Ultrasound එකෙන් හරිම තැන හඳුනාගෙන biopsy ගන්න පුලුවන්.

2️⃣තරල ඉවත් කිරීම (Fluid Drainage): ශරීරයේ එකතු වුණු තරල (උදා: පපුවේ, බඩේ, හෝ හන්ධිවල) ඉවත් කිරීමට needle එකක් යොදා ගන්නවා. Ultrasound එකෙන් needle එක නිවැරදි තැනට යොමු කරන්න පුලුවන්.

3️⃣එන්නත් (Injections) : හන්ධිවල වේදනාවට හෝ ඉදිමුමට ප්‍රතිකාර කිරීමට steroid හෝ වෙනත් ඖෂධ එන්නත් කරනවා. Ultrasound එකෙන් එන්නත නිවැරදි තැනට යොමු කරනවා.

4️⃣Catheter එක ඇතුල් කිරීම : වකුගඩු හෝ මුත්‍රාශ ගැටළුවලදී catheter එකක් ඇතුල් කිරීමට ultrasound එක භාවිතා කරනවා.


⛑️⛑️⛑️ ස්කෑන් එකට සූදානම් වීම**

ස්කෑන් එකේ වර්ගය අනුව ඔයා සූදානම් වෙන්න ඕන විදිය වෙනස් වෙනවා.

1. Abdominal Ultrasound

පැය 6-8ක් කෑම බීම කන්නේ නැතුව ඉන්න ඕනේ.

පිත්තාශය පිත් යුෂයෙන් පිරෙන්නේ කන්නේ බොන්නේ නැතුව හිටියම. පිත්තාශය හොදට බලන්න නම්, ඒක පිරිලා තියෙන්න ඕනේ. 


2. Ultrasound KUBP

මේකෙදි බලන්නේ වකුගඩු, මූත්‍රමාර්ගය සහ මූත්‍රාශය සහ පුරස්ථිග්‍රන්ථිය. 

මූත්‍රාශය හොදට බලන්න නම් ඒක පිරිලා තියෙන්න ඕනේ. ඉතින් Ultrasound KUBP එකකට කලින් හොදට වතුර බීලා මූත්‍රා කරන්නේ නැතුව මූත්‍රාශය පුරවගෙන යන්න ඕනේ. 

සමහර විට Scan එක අතරතුරදි ඔයාට මූත්‍රා කරලා එන්න කියලා ආයේ scan කරලා මූත්‍රාශය හිස් වෙන විදිය බලනවා. (Post void residual volume - PVRV)


3. Pregnant scan

මේවට නම් Fasting ඉන්න ඕනේ නෑ. 

මුල් මාස කීපයේ බඩෙන්(trans abdominal)බැලුවට කලලය හරියට පේන්නේ නැති නිසා යෝනි මාර්ගයෙන් (Transvaginal) scan කරන්නේ.


4. තයිරොයිඩ්, හර්නියා, පියයුරු හෝ මෘදු පටක:

විශේෂ සූදානමක් ඕනේ නෑ.


Ultrasound scan එකකට කලින් ඔයාට දුන්න උපදෙස් පිළිපදින්න. වටේ ඉන්න අය කියන දේවල් අහන්න ගිහින් ඔබත් අපිත් අපහසුතාවට පත් නොකරන්න.


📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා.  මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 24k ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.


වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න

මෙය කොළොම්පුරයා විසින් සලක බ්ලොග්වාසින්ගේ හිතසුව නීරෝගි සුව පිණිස මුහුණු පොතෙන් උපුටාගෙන පලකරන ලදී.



Monday, July 28, 2025

ඔබේ කක්කා මොන පාටද? Poop Color


 අයියා GI surgery MO නේද? 

ඔව් නංගි.

මම ...... ward එකේ HO. අයියා referral එකක් තියෙනවා. patient කෙනෙක්ට malena තියෙනවා...

මම ඇවිත් බලන්නම්. 


දැන් පලයන්කො කක්කා බලන්න. 

Malena කියන්නේ කලුපාටට තාර වගේ මලපහ පිටවෙනවට. ඒක රෝගයක් නෙවෙයි. රෝග ලක්ෂණයක්. 


අවුරුදු 60 ක විතර තාත්තා කෙනෙක්. ඇවිත් තියෙන්නේ හුස්ම ගන්න අමාරුවෙලා. වාට්ටුවට ආවට පස්සේ කරපු රුධිර පරීක්ෂණයේ හිමොග්ලොබින් මට්ටම 4.8 යි. (සාමාන්‍යයෙන් ලේ වල හිමොග්ලොබින් 11 වැඩියෙන් තියෙන්න ඕනේ. හිමොග්ලොබින් තමයි අපි හුස්ම ගන්නකොට පෙනහලු වලින් ගන්න ඔක්සිජන් ශරීරය පුරා අරන් යන්නේ හිමෝග්ලොබින් වලින්. 

හුස්ම ගන්න අමාරු වෙන්නේ හිමෝග්ලොබින් අඩුවෙලා නිසා. 

දැන් හොයන්න ඕනේ හිමෝග්ලොබින් අඩුවෙන්න හේතුව. 


තාත්ත ඇඟේ කොහින් හරි ලේ පිටවෙනවද? මූත්‍රා කරද්දී, මලපහ කරද්දි එහෙම. 

නෑ මහත්තයෝ. 

එතකොට කලු පාටට මලපහ යනවද? 

ඔව් එහෙමනම් තියෙනවා දැන් දවස් හට අටක ඉදලා .


තව විස්තර අහල ඉවර උනාට පස්සේ ඔන්න පරීක්ෂා කරලා බලන්න හදන්නේ. 

ගුද මාර්ගයට ඇඟිල්ලක් දාලා බැලුවා. ඇඟිල්ල අරන් බලනකොට කලු පාටට දිලිසි දිලිසි තාර වගේ කක්කා තියෙනවා. 


කක්කා, කක්කි, මලපහ stool වල පාට, ස්වභාවය, පිටවන වාර ගණන වැදගත්ද?

ඔව් සමහර රෝග වල රෝග ලක්ෂණයක් විදියට මලපහ වල ස්වභාවය වෙනස් වෙනවා. 


ඒ තාත්තට දවස් ගාණක් කලු පාටට මලපහ ගියත් ගණන් අරන් නෑ. ඇත්තටම ඒ තාත්තට ඒ ගැන අවබෝධයක් තිබිලා නෑ. අන්තිමට ලේ පයින්ට් දෙක තුනකුත් දීලා තමයි නතර උනේ. 


මලපහ ගැන කතා කරන්න ටිකක් ලැජ්ජා හිතුනත්, ඒක අපේ අසනීපයක් ගැන ඉඟියක් දෙනවා වෙන්න පුළුවන්.

ඉතින්, අපි බලමු මලපහ වල වර්ණය ගැන දැනගන්න ඕනේ මොනවද කියලා.


🟤 දුඹුරු (Brown) - තමයි හොඳම.

පිත් යුෂයේ තියෙන බිලිරුබින් (bilirubin) නිසා මලපහ දුඹුරු පාට වෙනවා. ඒක ඔයාගේ ආහාර ජීර්ණයේ සාමාන්‍ය ක්‍රියාවලිය. අපේ ආහාර හින්දා මලපහ වල පාට ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒක ලොකු ගැටලුවක් නෙමෙයි.


🟢 කොළ පාට (Green) 

බිලිරුබින් බඩවැල් තුලින් ඉක්මනට ගියොත්, මලපහ කොළ පාට වෙනවා. එහෙමත් නැත්නම් කොළ පාට එළවලු ජීරණය වෙන්නේ නැතුව පිට වෙනකොට එහෙම වෙන්න පුළුවන් ( IBS වගේ තත්ත්ව වලදි). 


⚪ සුදු හෝ මැටි පාට (Pale/Clay-colored)

පිත් යුෂයේ තමයි බිලිරුබීන් තියෙන්නේ. මලපහ වලට කහ/ දුඹුරු වර්ණය එන්නේ බිලිරුබින් නිසා. පිත් යුෂය ආහාර මාර්ගයට එන්නේ නැති උනොත් මලපහ මැටි වගේ පාටකට හැරෙන්න පුළුවන්. මේක අක්මාවේ හරි පිත්තාශයේ හරි පිත්ත නාලයක හරි ගැටලුවක ලක්ෂණයක් වෙන්න පුළුවන්. බැරෑරුම් තත්වයක් වෙන්න පුළුවන්. 


⚠️ඉක්මනින් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. පිත්තාශයේ ගල්, හෙපටයිටිස්, හෝ වෙනත් අක්මාවේ ලෙඩ, පිත්ත නාලයේ පිළිකා ගැන බලන්න ඕන.


🔴 රතු හෝ රෝස පාට (Red/Pink)

ලේ තමයි මේකට හේතුව. බඩවැල් වල ලේ ගැලීමකින්, අර්ශස් වලින් හරි බඩවැල් වල ගැටලුවකින් (විශේෂයෙන් පහල බඩවැලේ) වෙන්න පුළුවන්. 

බීට් ගොඩක් කෑවත් මෙහෙම වෙන්න පුළුවන්! 😄 

බීට් නම් ගැටලුවක් නැහැ. ඒත් හේතුව ලේ ගැලීමක් නම් නොසලකා ඉන්න බෑ. රතු පාට එක දිගටම තියෙනවනම් හරි බඩේ කැක්කුම එක්ක තියෙනවනම් ඉක්මනින් ඩොක්ටර් කෙනෙක්ව හම්බෙන්න.


⚫ කළු (Black)

බඩවැලේ ඉහල කොටසේ ලේ ගැලීමක්(oesophageal varices,  gastric ulcer) නිසා හරි යකඩ පෙති නිසා මෙහෙම වෙන්න පුළුවන්. යකඩ පෙති හින්දා නම් ලොකු ගැටලුවක් නැහැ. ඒත් ලේ ගැලීමක් නිසා නම් බරපතල වෙන්න පුලුවන්.


⚠️කළු, තාර වගේ (tarry) පාටට මලපහ යනව නම්, ඉක්මනින් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. ඒක බඩවැලේ ලේ ගැලීමක ලක්ෂණයක්.


🟡 කහ (Yellow)

ආහාරවල මේදය හරියට ජීර්ණය උනේ නැති උනොත් මලපහ තෙල් සහිත, කහ පාටකට හැරෙන්න පුළුවන්. අග්න්‍යාශයේ ගැටලු, පිත්තාශයේ ගැටලු වගේ තත්ව එක්ක මෙහෙම වෙන්න පුළුවන්.

⚠️මලපහ එක දිගටම කහ, තෙල් සහිත, ගඳ ගහනවා නම් ඩොක්ටර් හම්බෙන්න.


🚨 කවදද ඩොක්ටර් කෙනෙක්ව හම්බෙන්න ඕන

- මලපහ වල වර්ණය එක දිගටම අසාමාන්‍යය නම්

- බඩේ වේදනාව, උණ, බර අඩුවීම, රුධිර හිඟකම (anemia) වගේ ලක්ෂණ තියෙනවා.

- කෑම / බෙහෙත් එක්ක මලපහ වල පාට වෙනස් වෙන්නේ නෑ කියලා හිතෙනවා නම්.


📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා.  මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 22k ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.


වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න..

සකල බ්ලොග් වාසින්ගේ හිතසුව නීරෝගිසුව පිණිස බුකියෙන් උපුටා මෙහි පලකරණ ලදි....

මගේ නොවන මගේම කැබිනය හා මිලේනියම් එක සැමරිම - සයුරේ දසවසක්

මාගේ තුන්වන නෞකාව වූ කුමණේ සිටියදි 1999 වසරේ   ජනාධිපතිවරණය   පැවැත්වු අයුරුත් අපත් එයට සමගාමිව  ජනාධිපතිවරණය ක් පවත්වූ අයුරු පෙර ලියා ඇත්තෙ...