Friday, October 6, 2017

චන්ඩි උපන්න සුප‍්‍රකට ගසක්


අතීතයේ අනාදි කාලයක මිනිසුන්ද සතුන්සේම උපන්නේ ගස් ගල් යටයි. සිද්ධාර්ත කුමාරයාත් උපත ලැබුවේ ලූම්බිණියේ සල්ගසක් පාමුල. පරිනිර්වාණය ලැබුවෙත් කුසිනාරා නුවර සල්ගස් දෙකක් අතරයි. මැරෙන්න එක ගහකුත් උපත ලබන්න ගහකුත් විදිහට කොළොම්පුරයේ සුප‍්‍රසිද්ධ ගස් දෙකක් තියේනවා හැබැයි කොල මල් දළුලන්නේ නැති. එකක් තියෙන්නේ වැලිකඩ සිරගෙදර. ඒ තමයි එල්ලූම් ගහ. අනික තමයි කොළඹ කොටුවේ කොඩිගහ. 

https://goo.gl/maps/Dze3s5HASYv

එ්කාලේ කොළොම්පුරේ හිටිය සමහර චන්ඩිත් ලොකුවට කිව්වේ "අඩෝ මම කොඩි ගහ යට ඉපදිච්ච එකෙක්"  කියලා. එහෙම නම් මුලින්ම කොළොම්පුරේ ගනන්කාර චන්ඩි උපන්න කොඩිගහ ගැන කතා කරලා ඉමු. කරුණාරත්න අබේසේකර මහතා ලියුව  පි.ඒල්.ඒ සෝමපාල මහතා සංගීතවත් කරපු අපේ රටේ අසාහය ගායකයන් වු එච්.ආර් ජෝතිපාල මහතා හා ඇම්.එස්. ප‍්‍රනාන්දු මහතා ගැයුව හතර දෙනාම සූරයෝ චිත්තරපටියේ  කොඩිගහ යට මම උපන්නේ සිංදුවෙත් කොළොම්පුරයේ කොඩිගහ ගැන කියවෙනවා. 




ඇත්තටම කොඩිගහයට උපන් උන් හිටියාද කියලා ඉතිහාසයේ කොහේවත් ලියවිලා නෑ. කොඩිගහ කොළොම්පුරේ හිටවන්නේ පෘතුගිසින් තමයි. එදා කොඩි ගහ තිබිලා තියෙන්නේ රජගෙදර හා මුහුද අතර ප‍්‍රදේශයේ ගල්බොක්ක කියලා හැදින්වුන මුහුද අද්දරටවෙන්න 1505 දි ලංකාවට ගොඩබැස්ස පෘතුගිසින්ගේ බලකොටුව මධ්‍යයේයි. පරංගින් කොළොම්පුරේ බලකොටුවක් පිහිටුවාගත්තාට පස්සේ එයාලා තේරුම්ගන්නවා මේ කොළොම්පුරයේ නැව්තොට තමන්ගේ නාවික කටයුතු හා බලය තහවුරුකරගන්නට විශාල වශයෙන් උවමනාවෙනවා කියලා. එ් නිසාම ඈත මුහුදේ සිටම කොළොම්පුරයේ නැව්තොට හඳුනාගන්නට යොදාගන්න උපක‍්‍රමයක් විදිහට කොඩිගහ තමන්ගේ බලකොටුව මැද ඉදිකරන්නේ. තමන්ගේ නාවික යාත‍්‍රාවල් වලට දර්ශනය වන්නට දහවල් කාලයේදි පෘතුගිසින්ගේ කොඩිය එල්වා තබන්නටත් රාත‍්‍රියේ දි ගෑස් ලාම්පුවක් දල්වා තබන්නටත් මේ කොඩිගහ යොදාගත්තා.

 වානේ ලෝහයෙන් සකසා ඇති මෙය පහල සිට ඉහලට යත්ම සිහින් වන පරිදි ටෙලිස්කොපික් එරියල් ක‍්‍රමයටත් කොටස් හතරකට ගලවාදමන්නටත් හැකිවන අයුරින් නිර්මාණය කර තිබෙනවා. මෙහි බර ටොන් අටක් පමණ වන අතර අඩි 80ක් උසයි. 1946 අවුරුද්ද වෙනතෙක් මේ කොඩිගහේ ගෑස් ලාම්පු එළි දැල්වුනා කියලා කියනවා. 

කොළොම්පුරේ නැව්තොට අඳුනාගන්නට පෘතුගිසින් තමන්ගේ බලකොටුවේ මැද සවිකරපු අවුරුදු 500ක් පුරා එහි තිබුන මේ කොඩිගහ 1988 අවුරුද්දේ සැප්තැම්බර් 03 වෙනිදා වරාය අධිකාරියේ දොඹකර යොදාගෙන ගලවා දැම්මා. ඊට පස්සේ මේ කොඩිගහ බි‍්‍රස්ටල් විදියේ ෙටෙම්ස් පත්තර කන්තෝරුව අසළට ගෙනගොස් සවිකරලා තියේනවා.  තවත් ටික කාලයක් කොළඹ කොටුවේ බි‍්‍රස්ටල් විදියේ තිබුන මේ ඓතිහාසික ස්මාරක කුළුණ අලූත්කඬේ  නව උසාවි සංකීර්ණය පිහිටුවද්දි එතැනට අරන් ගිහිල්ලා සවිකලා කියනවා. මිහිඳු මාවත කෙළවර කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ නව ගොඩනැගිල්ල ඉදිරිපිට වටරවුමේ අයිනකට වෙන්නට සවිකරලා තියෙන මේ කොඩිගහ කාගෙවත් ඇස ගැටෙන්නේ නැති තරම්.  

කොඩිගහයට  මම උපන්නේ 
නමගිය තැනකි රටේ
කොළඹය කියලයි කියන්නේ 
මුළු ලෝකය හතරවටේ
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ

නිතරම හිත ගත යොදන්නේ 

රස තැන් හොයන්නටයි
කොනකුට කරදර නොදෙන්නේ 
අපි අන්තිම අහිංසකයි 
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ

මෙහෙදි මුලදිම දකින්නේ 

හොද හොද විලාසිතා
තරුණියෝ නිතරම සිටින්නේ 
අප ගැන සිතා සිතා
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ

කෑවට බිවුවට විනෝදෙන් 

සතුටින් නටා හැපී
අප සැම ඔබ සැම වගෙයිනේ
කොයි කවුරුත් එකයි අපි
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ


අලුත්කඩේ පැත්තේ ගියාම කොඩිගහ බලාගන්න පුළුවන් වාගේම අළුත්කඩේ උසාවියෙන්ම මදනි ගහ ගත්තාම පුළුවනි අනෙක් ගහ බලන්න. එහෙම නැතිව  නම් කාටවත් ඒ ගහ බලන්න ලැබෙන්නේ නෑ. අනෙක් ගහ ගැන ලිපියක් ලියන්න නම් මට මදනි කෙනෙක් වෙන්න වෙනවා.  මදනි නොවි එල්ලූම් ගහ ගැන පොස්ට් එකක් දාන්න උත්සාහ කරන්නම්කෝ. මදනි කියන්නේ මරන දඬුවම නියමවුන කියන එකයි.