Monday, May 24, 2021

හෝරස්ගේ දරුවා - දහසය වන දිගහැරුම Son of Horus - 16



පසුදිනම මහාචාර්යවරයා කුමාරිත් කැටිව පිළියන්දල මඩපාත පිහිටි සුචිත්‍රාගේ නව නිවහන සොයා ගියේය. මේ ගමනට කුමාරි සහභාගිකරගත්තේ කාන්තාවක් වශයෙන් ඇතිවන විශ්වාසය මත සුචිත්‍රාගෙන් යමක් දැනගැනීමට ඇති හැකියාව උපයෝගිකරගැනුමටයි.

 බොල්ගොඩ ගඟට මායිම්ව බොහෝ නිස්කලංක පරිසරයක පිහිටි නිවෙසේ සුචිත්‍රා මෙහෙකාරියත් සමඟින් ජිවත්වූවාය. ඉතා ආදරෙන් සිටි උපනන්දගේ මරණයට තමන් වගකිව යුතුයි සිතමින් ඈ පශ්චත්තාපවෙමින් පසුවන අවධියක් විය. උපනන්දගේ මරණින් පසුව ඩේමියන් සුචිත්‍රා සමඟ ඇතිකරගත් සබඳතාවය අතහැර පලාගියේය. ඉන් පසුව ඇයට කිසි දිනෙක ඔහුව දකින්නටද නොලැබුනේය. උපනන්දගේ මරණින් පසු සියලු ඥාති සබඳතා අත්හල ඈ ෂෙරිල් සමඟින් වුවත් දුරකථනය මගින් කතාකළේ ඉදහිටය. නිවස හා බඩු භාණ්ඩ විකිණීමෙන් ලද මුදල් සුරක්ෂිතව බැංකුවක තැන්පත් කළ ඈ නිවසින් පිටට ගියේ බොහෝ කලාතුරකින්ය. එසේ එළිපහලියට ගිය විටකදි හැරෙන්නට ෂෙරිල්ට කතාකළා මිසක පෙරමෙන් ඇයත් සමඟින් වැඩි පයුරුපාසනමක් ඇතිකරගත්තේද නැත. විදුලි සිනුවක් සවිනොකල ගේට්ටුවට කිහිපවිටක් තට්ටුකිරීමෙන් අනතුරුව මෙහෙකාරිය යැයි සිතිය හැකි මැදිවිය පසුකල කාන්තාවක් පැමිණ කුඩා හිඩැසකින් එබී බැලුවාය. නාරද පසේකට කළ කුමාරි ඉදිරියට පැමිණියාය.

“සුචිත්‍රා නෝනාගේ ගෙදරද?”  

“ඔව්.”

“නෝනා ගෙදර ඉන්නවාද?”

“ඉන්නවා. ඔය නෝන මහත්තුරු කවුද?”

“අපිට පොඩි කාරණාවකට නෝනාව හමුවෙන්න ඕනේ.”

“නෝනා කවුරුවත් හමුවෙන්න කැමති නැහැ.”

ඇය තම විමසිලිමත් දෑසින් ඔවුන්ව නිරික්ෂණය කර මඳ නොරිස්සුමක් සහිතව පැවසීය.

“ඔයා කියන්න මහාචාර්ය නාරද බණ්ඩාරයි එයාගේ වයිෆ් කුමාරියි ඇවිල්ලා ඉන්නවා වැදගත් කාරණාවක් කතාකරගන්න කියලා.”

“මම හිතන්නේ නැහැ නෝනා කැමතිවෙයි කියලා. හොඳයි මම කියලා බලන්නම්.”

නාරද සහ කුමාරි ආගන්තුක දෙදෙනෙක් මෙන් ගේට්ටුව අයිනේ රැඳීසිටියේ කිසිඳු කතාබහකින් තොරවය. මෙහෙකාරිය යලි ඒමට ගතවූ විනාඩි කිහිපය එය ඔවුන්ට දැනුනේ පැයක් පමණ එතැන රැඳීසිටියාක් මෙන්ය. යළි හිදැස තුළින් ඔවුන්ව හා අවට නිරික්ෂණය කළ ඈ තම ස්වාමිදුව නාරද බණ්ඩාරව හෝ කුමාරිව නොහඳුනනබවත් කිසිවෙකු දකින්නට හෝ හමුවන්නට කැමැත්තක් නොමැතිබවත් දන්වා සිටියාය. තව දුරටත් සුචිත්‍රාගේ ගේට්ටුව අසල සිට මෙහෙකාරියට බාල්දුවීමට අකමැතිවූ නාරද බඳුන ගැන සෙවීමේ උත්සාහයන් නිරත්ථක වූවාසේ කඩාවැටුනු සිතැතිව රිය පදවාගෙන එන්නට විය.

“මෙච්චර දේවල් හොයාගෙන ගිහිල්ලා අන්තිමට මේ උද්දච්ච ගෑණිගෙන් තොරතුරක් ගන්න බැරිව ඔක්කෝම අල්ලලා දාන්න වෙයි වාගේ. ඇයි මෙයා කාවවත් මුණගැහෙන්න අකමැති?”

“ඒකනම් ප්‍රහේලිකාවක් තමයි.”

“මෙයාව කතාකරවන්න පුළුවන් කවුරු හරි කෙනෙක් යොදාගන්න පුළුවනිනම්.”

“මෙයාගේ ඝනකම අනුව නම් කට අරින්න පොලීසියෙන් ගෙන්න වෙයි.”

නාරද කට කොනකට සිනාවක් නගාගනිමින් උපහාසයට මෙන් කිවේය.

“ඒකනෙන්නම් ඇයි ඔයා එස් එස් පි මනෝජ්ගෙන් උදව් ගන්නේ නැත්තේ? පොලීසියෙන්  කිව්වාම ඉබේටම කට අරියි.”

“ඔය ආවේ නියම අයිඩියා එකක්. තෑන්ක්ස් කුමාරි.”

නාරදගේ බලාපොරොත්තු අතහැර දැමිය යුතුනොවීය. ඔහු කුමාරිව නිවසින් බස්සවා විශ්ව විද්‍යාලයට ගියේ පස්වරුවේ කලයුතු දේශනයක් සදහාය. සවස දේශනයෙන් පසු පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ එස් එස් පි මනෝජ් වෙත ගියේ සුචිත්‍රාගේ වැසුනු මුව විවර කරගැනීමට උදව් ඉල්ලීමටය.

“ගුඩ් ආෆ්ටනුන් ප්‍රොපෙසර්. මොකද මේ පැත්තේ? අලුත් විස්තර එහෙම තියෙනවාද?”

“ගුඩ් ආෆ්ටනුන්, මටත් ඒකම තමයි දැනගන්න ඕනේ.”

“අපිට කිසිම සස්පෙක්ට් කෙනෙක් අත්අඩංගුවට ගන්න බැරිවුනා. නිකං ආවට ගියාට මිනිස්සු අත්අඩංගුවට අරගන්න දැන් බැහැ. අපේ ඔත්තුකාරයෝ හැමතැනටම දාලයි ඉන්නේ. අපි අනුමාන කරන්නේ මේ වැඩේ අලුත් සෙට් එකක් දුන්නු ගේමක් කියලායි. ප්‍රොපෙසර්ගේ පැත්තෙන් විස්තර කොහොමද?”

“දැනට මම ගොඩක් විස්තර හොයාගත්තා. ඒත් තව මේක ඉදිරියට ගෙනියන්න නම් මට ඉන්ස්පෙක්ටර්ගෙන් විශේෂ උදව්වක් වුවමනාවෙනවා.”

“ඒ මොකක්ද?”

“මගේ ඉන්වෙස්ටිගේෂන් එකේ සන්ධිස්ථානයකටයි මම දැන් ඇවිල්ලා ඉන්නේ. මේ සුචිත්‍රා කියන ගෑණු කෙනා කාවවත් හමුවෙන්න බැරිය කියනවා. මෙයාගෙන් විස්තර ගන්නේ නැතිව මේක ඉදිරියට ගෙනියන්න බැහැ.”

“කියන්න අපේ පැත්තෙන් මොකක්ද අවශ්‍යය වෙන්නේ?” 

“ඒ ගෑණුකෙනාගේ වැහුනු කට අරවන්න විතරයි.” 

“සිම්පල් කේස් එකක්නේ. මෙහේට කුදලාගෙන ඇවිත් කට ඇරවන්නද?”

“එපා එපා එහෙම අවශ්‍යය නැහැ. අපි එහේට ගිහිල්ලා මේ අවශ්‍යය විස්තර ටිකක් ස්ටේට්මන්ට් එකක් ගන්නවා වාගේ අරගන්න විතරයි තියෙන්නේ.”

“හොඳයි මම අපේ දෙන්නෙක් එවන්නම්. හෙට උදේට කමක් නැද්ද?”

“කමක් නැහැ ඉන්පෙක්ටර්. නමයට දහයට විතර ගියාම ඇති.”

“එහෙනම් හෙට උදේට මම එවන්නම්. කොහොමත් පොලීසියෙන් කිව්වාම ගොළුවොත් කතා කරනවා.”

මනෝජ් සිය ස්ථුල ශරිරය සොලවමින් සිනාසෙන්නට වුනි. 

 


   සුපුරුදු ලෙසින් කපිලත් චුට්ටාත් අරක්කු බෝතලයක් හා එයට අවශ්‍යය කළමනාත් රැගෙන මංජුගේ නිවසට ගොඩවදින්නේ ගොම්මන් කළුවරත් සමඟිනි. නිවසට ඈතින් බළල් පොරයක කෑ ගැසීම් ඇසෙන්නට ගත්තත් ඔවුන්ට එය දැනුනේ නැත. වීදුරුවෙන් වීදුරුව හිස්වෙද්දී මෙතෙක් නිහඬව සිටිවුන් දොඩමලුවන්නට පටන්ගති. චුට්ටාගේ සිතේ මෙතෙක් දිනක් පැසවෙමින් සිටි කාරණාවත් මේ සමඟින්ම එළියට ඈදි එන්නට විය. 

“අරුන් අපිට ඇරියා එහෙනම්.”

“කවුද බං?”

“උඹේ යාළුවා රංගයා.”

“ඇයි දැන් ඌ මොනවාද කරලා තියෙන්නේ?”

“කරලා තියෙන්නේ. කරලා තියෙන්නේද? කෝ අපේ සල්ලි? උන් අපිට ඇරලා පැන්නා.”

“මොන සල්ලිද බං? ඇයි උඹේ සල්ලි රංගයා දුන්නේ?”

කපිල ඇසීය. 

“ඒ සල්ලි හරි. කෝ බඩුවල සල්ලි?”

“මොන බඩුද බං?”

“ඇයි ස්ටැන්ලියාගේ බඩු. උඹට දැන් ඒකත් අමතකද?”

“ආ ඒ බඩුවල කොටහද මේ ඉල්ලන්නේ? උඹට ඒකෙන් කොටහක් නෑනේ.”

චුට්ටාව විහිළුවකට ලක්කිරීමට මෙන් මංජු හක හක ගා සිනාසෙන්නට විය. ඒ සිනාවට කපිලත් එක්වූයේය. මේ අතර පිලීකන්න දෙසින් මූසල බළල් කෑගැසීම් හඬ උත්සන්න විය.

“බලපං කපිල මූසල බළල් රැලක් කෑගහනවා. ගලකින් ගහලා උන්ව එලවලා  දාපං.” 

බයිට් පිගානෙන් ගත් වඩේ කෑල්ලක් කටේ රුවාගත් කපිල නිවස පිටුපසට ගියේ කෑගසන බළලුන් සොයාගෙනය. මේ අතර මංජුගේ විහිළුවෙන් කිපුණු චුට්ටා, 

“ඇයි මට කොටහක් නැත්තේ? මමත් මේ ගේම් එකේ හිටියා. මට මගේ කොටහ ඕනේ.”

“ඇයි දුන්නේ නැත්නම් මොනා කරන්නද?”

“මම කරන හරිය දන්නවා.”

පදම වැඩිවී මත්ව හුන් චුට්ටා තම කෝපය පිටකිරීමට මේසයට තදින් අතමිට මොළවා පහරක් එල්ල කළේය. ඉන් ගැස්සී ගිය මේසයේ අයිනට වන්නට තිබුනු සෝඩා බෝතලය එකවරම මංජුගේ උකුලට පෙරලුනි. උකුල තෙත්කරමින් පහළට ගලා යන සෝඩා වතුරේ සීතල යටිකයට දැනෙද්දී මංජුගේ විහිළුව කෝපයකට ක්ෂණිකව පරිවර්තනය විය.

“මොකක්ද යකෝ මේ කරන්නේ?”

පෙරලී ගිය සෝඩා බෝතලය මේසය මත තැබූ ඔහු පුටුවෙන් නැගිට කලිසමේ හැලුනු සෝඩාවතුර ගසා දැම්මේ තරහායින් පිපිරෙමින්ය.

“උඹට කොටහක් නැහැ. ගේම් එක ප්ලෑන් කළේ මමයි. මටයි වැඩි කොටහක් එන්න ඕනේ. රංගයා පොරොන්දු වුනා මට ඒ බඩුවල සල්ලි දෙන්න.”

“බලාගෙන හිටපන් රංගයා දෙනකං. ඒ සල්ලි උඹට විතරක් ගන්න දෙන්න බැහැ. අපිත් මේකට මහන්සි වුණා.”

“හොඳ මහන්සිය, උඹේ මහන්සියේ තරම හොඳ හින්දා තව ඩිංගෙන් ස්ටැන්ලියාගෙන් මම මැරුන් කනවා. තෝ හරියට වැඩේ නොකල හින්දයි ස්ටැන්ලියාව මරන්නත් වුනේ.”

“ඉතිං මමද යකෝ මිනි මැරුවේ?”

“තෝ තමයි මේකට වගකියන්න ඕනේ. රංගයාට කියලා එදාම එලවලා දාන්නේ නැතිව තියාගත්තායින්නේ මු තව සල්ලි ඉල්ලන්නේ.” 

“මාව එලවන්න? ඒවට ආවොත් මම තොපි ඔක්කෝම බාවනවා.” 

“පලයන් යන්න මෙතන මැරුම් නොකා.”

කෝපයෙන් පසුවූ මංජු චුට්ටාව තල්ලුකර දැමීය. වෙරි මරගාතේ සිටි චුට්ටා කුණාටුවකට හසුව ගිය පරඬැලක් සේ විසිවී ගොස් මේසයේ හැපී එහි තිබූ බෝතල් වීදුරු ආදියත් පෙරලාගෙන බිම ඇදවැටීය. කොණ්ද බිම ඇනුන චුට්ටාට ඉන් නැගුන වේදනාව පරයා කෝපය උතුරා හැලෙන්නට විය. ඔහු යළි නැගීසිටියේ බිම වැටී තිබූ සෝඩා බෝතලයක්ද රැගෙනය. උමතුවූවෙකු සේ වියරු වැටී හුන් චුට්ටා මේසයේ ගසා බෝතලේ අඩිය කඩාදැම්මේ එය ආයුධයක් ලෙස යොදා ගන්නට මෙන්ය. 

“තොපිලා දන්නේ නැහැ මේ චුට්ටා කවුද කියලා. තොපිලා ඔක්කෝම බල්ලෝ වගේ මරලා දානවා.”

කියමින් අඩිය කැඩූ සෝඩා බෝතලයෙන් මංජුට අනින්නට සැරසී එහා මෙහා වනන්නට පටන්ගත්තේය. චුට්ටාගේ ප්‍රහාරයෙන් බේරෙන්නටත් බෝතලය උදුරාගෙන ඔහුව අඩපණ කරලීමට ගොඳුරකට කුරුමානම් අල්ලන කොටියෙකුසේ තම අවස්ථාව එනතෙක් මංජු කල්මැරීය. එහෙත් අනපේක්ෂිත ලෙස බෝතල් පහරක් මංජුගේ බාහුවකට එල්ලවීමත් සමඟම ඔහු චුට්ටාගේ ඉදිරියට පැන පොරබදන්නට පටන්ගත්තේය. බෝතල් පහරින් ලේ ගලන තුවාලයේ වේදනාව මංජුගේ කෝපය වැඩිකරවූ බැවින් බෝතලය උදුරාගත් පමාවෙන් හේ චුට්ටාගේ යටි බඩ හරහා දෙතුන් වතාවක් ඇන දැමීය. චුට්ටා ඇද හුන් සුදු පැහැති ටීෂර්ටය රක්ත වර්ණ ගන්වමින් රුධිරය ගලාහැලෙන්නට වුනි. උදරයට අත තබා ලේ නැහැවුනු අත දෙස මඳක් බලා සිටි චුට්ටා හිස ඔසවා මංජු දෙස බැලුවේ උඹ මට මේ මොකද කළේ යැයි අසන්නට මෙනි. කිසිදු කතාවක් නොමැතිව නිහඬව මංජු දෙස බලා සිටි චුට්ටා කපා හෙලූ ගසක්මෙන් සිහිසුන්ව බිම ඇදවැටුනේ කෙදිරිල්ලක් නිහඬ වාතලයට එක්කරමින්ය. 

පිලිකන්නේ සිටි කපිල නිවස ඇතුලේ සිදුවූ කලබලය ඇසී ඇතුලට දිව එද්දී රුධිරයෙන් නැහැවුනු චුට්ටා දැක එතැනම ගල් ගැසුනි. ඔහු අතිශයෙන් බියට හා කබලයට පත්වූයේය.

“මංජු අයියා මොකක්ද බං මේ කළේ?”

“බලපන් මු මැරිලාද කියලා?”

“පේන විදිහට නම් මැරිලා වගේ. දැන් මොකද කරන්නේ ? ඉස්පිරිතාලෙටවත් ගෙනියමුද?”

“පිස්සුද යකෝ එහෙම ගියොත් නිකම්ම පොලීසියට මාට්ටු වෙනවා.”

“නොගියත් අපිව දැන් මාට්ටුවෙනවා. මොනාද බං උඹ මේ කළේ ?”

කපිල අතිශයෙන් කලබලයට පත්ව පුටුවක් මතට ඇදවැටී දෑතින්ම හිස බදාගත්තේය.

“කරන්න දෙයක් නැහැ. ඌ තමයි ගේම ඉල්ලුවේ.”

“ඉතිං ගේම ඉල්ලුවාට ඌව මරන්න ඕනෙද?”

“මම ඕනෑකමින් කළේ නැහැනේ. උඹ බය නැතිව හිටහං. දැන් කරන්න තියෙන්නේ මේකට මොනවා හරි කරන්නයි.” 

“උඹලත් එක්ක ඉදලා මමත් නිකං එල්ලුම් ගස්යනවා. උඹ චුට්ටාට ඕනේ දෙයක් කරගනින් මම ගෙදර යනවා.”

“යකෝ උඹත් මගෙන් මැරුම් කන්නේ නැතිව හිටපං. තෝ හදන්නේ මාව මූත් එක්ක මෙතනදාලා මාරු වෙන්නද?”

කෝපාවිශ්ට වූ මංජුගේ මුහුණ දෙස ටික වේලාවක් බලා සිටි කපිල යලිත් පුටුව මත වාඩිවුනේය. 

“මූව කොහේ හරි වළදාමු. වරෙන් බලන්න පිලිකන්න පැත්තට.”

ඔවුන් දෙදෙනා නිවසේ පිටුපස පැත්තට ගොස් අවට නිරික්ෂණය කළේය. බළලුන්ගේ පොරකෑමේ කෑගැසීම් ශබ්දයන් නිවෙස් කිහිපයකට ඈතින් සිට ඇසෙන්නට විය. 

“අර පල්ලෙහා කෙහෙල් පදුර ගාව වළක් කපලා මූව වලදාමු.”

“කොහේ වලවල් කපන්නද මංජු අයියා, උඹයි මමයි වළවල් කපනකොට අහල පහල උන්ට පෙනෙයි නේද?”

“එහෙනම් කක්කුස්සි වළට දාමු. ඒකට දැම්මාම කාටවත් මාට්ටු වෙන්නේ නැහැ. කෝ අරගනින් අලවංගුවක් කොන්ක්‍රිට් ලෑල්ල අරින්න. ඔය කුස්සිය පැත්තේ තිබුනා.”


ඔවුන් දෙදෙනා කොන්ක්‍රිට් පියන තරමක් අසීරුවෙන් විවර කර චුට්ටාගේ සිහිසුන් සිරුර ඔසවාගෙන විත් වලට තුළට අතහැරියේය. වල ගැට්ටේ වැදී වලට වැටුන චුට්ටාගේ මුවින් කෙදිරිල්ලක් නික්මුණි. අඬක් පමණ වතුරින් පිරී තිබූ වැසිකිළි වළේ චුට්ටා ගිලීගියේ අවට වාතලයට කැලෑතුනු අපජලයෙන් නැගුනු දුර්ගන්දය එක්කරවමින්ය. නියමාකාරයෙන් යළි වැසිකිලි වළේ පියන්පත් වසා දැමූ ඔවුන් ඉන් පසුව ගෙබිම ගලාගොස් තිබුනු රුධිරය පිසදමා පිරිසිඳු කළේය. රුධිරය පිස දැමූ රෙදි කැබලිද අඩිය කැඩුනු සෝඩා බෝතලයද ඇතුලු චුට්ටාගේ අනෙකුත් දේවල්ද මංජු ගිනිතබා විනාශකරන ලද්දේ කිසිවෙකුට හසුනොවන්නටය. චුට්ටා මෙසේ අවසන් ගමන් යද්දී කපිලගෙන් මෙම මිනි මැරුම එළිනොවන්නට මංජු ඔහුව බියගන්වාලීය. 


මතුසම්බන්ධයි.......

Thursday, May 20, 2021

හෝරස්ගේ දරුවා - පහළොස් වන දිගහැරුම Son of Horus - 15

   




 ගාල්ල ටවුමේ සමනල පාලම ක්‍රීඩාංගනය දෙසට වන්නට රිය නැවැත්තු ඔහු බස් නැවතුම්පල දෙසට පියනැගුවේ පියරත්න ඉස්කෝලේ මහත්තයා ගැන තොරතුරක් ලබාගන්නා අටියෙනි. කිහිපදෙනෙකුගෙන් විමසීමෙන් පසුව වැඩි වේලාවක් නොයවා ඉස්කෝලෙ මහත්තයා ගැන දන්නා අඳුනන පුද්ගලයෙකු ඔහුට මුණගැසුනි. 


“ඔය කියන්නේ අපේ ගාලු සංස්කෘතික හා පුරාවිද්‍යා උරුමයන් සුරැකීමේ සංවිධානයේ සභාපතිවෙලා හිටපු මහත්තයා ගැන වෙන්න ඇති.”

“මමනං එහෙම දන්නේ නැහැ.”

“එයා ඔය පැරණි දේවල් විනාශ කරනවාට විරුද්ධව ලොකු වැඩ පිළිවෙළක් ගෙනිච්චායින් තමයි දැන් ඔය දේවල් මේ තරමින් හරි ඉතිරිවෙලා තියෙන්නේ.”   

“මට ඒ මහත්තයාගේ ගෙදර තියෙන තැන කියන්න පුළුවන්ද?”

“මම දෙන්නම් ඇඩ්රස් එක.”

ඔහුගෙන් ලබාගත් ලිපිනය අනුව වක්වැල්ල පාරේ පියරත්න ඉස්කෝලේ මහත්තයාගේ නිවස සොයාගෙන මහාචාර්ය නාරද බණ්ඩාර රිය පැදෙව්වේ පියරත්න ගැන ඇතිවූ පහන් හැගීමකින්ය. පියරත්න මහතාගේ නිවසට ගොඩවැඳ තමා කවුදැයි අඳුන්වා දුන් පසු පියරත්න මහතා ඉමහත් සතුටට පත්වූයේය. ඒ පුරා විද්‍යාවට ඇල්මක් දක්වන ඔහු නාරද බණ්ඩාරගේ ලිපි හා පර්යේෂණ ග්‍රන්ථ කිහිපයක්ම කියවා ඇති පුද්ගලයෙකුද වීම නිසාවෙන්ය. 

“ස්ටැන්ලිගේ මළගෙදරටත් මම සහභාගි වුණා. මට බොහොම කණගාටු මෙච්චර ඉක්මනට ස්ටැන්ලි මැරුනු එකයි. කාලෙකට පස්සේ මට ස්ටැන්ලිව මුණගැහුනෙත් මේ ළඟදියි.”

“ඒ කියන්නේ ගුණසිරිගේ ඇන්ටික් විකුණන්න යද්දි?”

“හරියට හරි. අපි දෙන්නා ඉස්කෝලේ හිටියේ එක පන්තියේ.”

“එතකොට මිස්ටර් පියරත්නට මතකද ගුණසිරිගේ විකුණාපු බඩු එහෙම?”

“මම ඒ බඩු වර්ග කරලා ඒවාට මිලක් නියම කළා. ඒත් ඒවා ගැන දැන් මතකයෙන් කියන්න බැහැ.”

“එහෙනම් මේ පින්තූරේ තියෙන බඳුන මතකද?”

“ඔව් ඒක මතකයි. මේ බඩුත් එක්ක ස්ටැන්ලිට වික්කා.”

“මේ තියෙන්නේ ගුණසිරිගේ රෙකෝඩ් පොත. මේකේ මේ බඳුන අරගත්තු දිනවකවානු තියෙනවා ඒත් අරගත්තු කෙනාගේ නම්ගම් ලියලා නැහැ.”

“මේ දින වකවානු අනුව නම් ගුණසිරි මැරෙන්න දින කිහිපයකට ඉස්සර තමයි ඔය කියන බඳුන අරගෙන ඇවිල්ලා තියෙන්නේ.”

පියරත්නගේ මුහුණට බෑරෑරුම් පෙනුමක් ආරූඪ විය. ඔහු නළල රැළි ගන්වාගෙන මඳක් කල්පනා කරන්නට වුනි.

“එහෙනම් මේවා ෂෙරිල් නෝනගෙන් අරගත්තුවා වෙන්න ඇති.” 

ඒ පිළිතුරෙන් නාරදගේ මුහුණට මඳ එළියක් එක් කළේය.

“මිස්ටර් පියරත්න කවුද මේ ෂෙරිල්නෝනා?”

“මෙන්න මේකයි කතන්දරේ. මට ආරංචියක් ආවා පරණ ඇන්ටික් බඩු වගයක් විකුණන්න තියෙනවා කියලා. ඒ ගමන තමයි මට මතක්වුනේ අපේ ගුණසිරි අයියා ගැන. එයැයිට දන්නලා මේ බඩු ටික අරගන්න උදව් කළා.”

“ෂෙරිල් කොහේද ඉන්නේ?”

“එයා මේ ළඟමයි ඉන්නේ. මහවීදීයේ සැලොන් එකක් කරනවා.” 

“එහෙනම් අපි එයාව මුණගැහෙන්න යමු. එයා දන්නවා ඇතිනේ මේ බඳුන එයාට වික්ක එක්කෙනා කවුදැයි කියලා.”

“වැඩක් නැහැ මහත්තයෝ. එයා නෙවෙයි හැබෑ අයිතිකාරයා.”

“එහෙනම් කවුද?”

“ඒවා අයිති ෂෙරිල්නෝනාගේ යාළුවෙක්ට. එයා ෂෙරිල් නෝනා ලව්වා ඇන්ටික් බඩු ටික වික්කා.”

“ඉතිං අපිට ෂෙරිල්ගෙන් අහල යාළුවා ගැන දැනගන්න පුළුවන්නේ.”

“ෂෙරිල් නෝනාගේ යාළුවාගේ මහත්තයා තමයි මාළු පිටරට යවන බිස්නස් කාරයෙක් උන්නා උපනන්ද කියලා. නෝනාගේ පොඩි හුටපටයක් අතට අහුවෙලා එතැනදි ගිය රංඩුවකදි ඒ මහත්තයා මළා. ඊට පස්සේ තමයි ඒ නෝනා ෂෙරිල් නෝනා ලව්වා මේවා විකුණුවේ. එයා උපනන්ද මහත්තයාගේ මුළු සේසතම විකුණදාලා යන්න ගියා.”

“හරි වැඩේනේ. අපිට බැරිද මිස්ටර් පියරත්න ෂෙරිල්ව මුණගැහිලා මේ ගැන අහන්න. සමහරවිට එයා දන්නවාත් ඇති.” 

“එහෙනම් අපි යමු ෂෙරිල්ගේ සැලොන් එකට.”

නාරද පියරත්න සමඟින් ෂෙරිල් හමුවීමට ගාල්ල ටවුමේ පිහිටා තිබුනු සැලෝන් එක බලා පිටත්වූහ. සුපුරුදු පරිදි ඈ තවත් යෙහෙළියන් පිරිසකට නවීන මෝස්තරයේ මිලාධික ඇඳුම් විකිණීමේ ක්‍රියාවලියක නිරතවෙමින් සිටියාය. උඩු මහලේ සැලෝනයට ඇතුල්වූ පියරත්න ඉස්කෝලේ මහත්තයා ෂෙරිල් දුටුවාය.

“ආ පියරත්න මහත්තයානේ එන්න, එන්න. මොකද මහත්තයාට මේ පැත්ත මතක්වුනේ?”

“මම ආවේ විශේෂ කාරණයකටයි. අපිට ඔයා එක්ක ටිකක් පෞද්ගලිකව කතාකරන්න ඕනේ.”

ඔහු අනෙක් කාන්තාවන් දෙස බලා ඔවුනට සිනහවකින් සංග්‍රහකරමින් පැවසීය.

“රමණි මේ ඇඳුම් මේ අයට පෙන්නන්න. එන්න පියරත්න මහත්තයා යමු ඇතුලට.” 

ඈ ඔවුනව ඇතුල් කාමරයක් තුළට කැඳවාගෙන ගියාය. 

“ෂෙරිල් නෝනා මේ ඉන්නේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්්‍ය නාරද බණ්ඩාර. එයා මේ විශේෂ යමක් සොයනවා.” 

“අනේ මං දන්න පුරාවිද්‍යාවක් නෑනේ පියරත්න මහත්තයා.”

“මේ මහත්තයා සොයන්නේ ඔයා අපේ ගූණසිරි අයියාට වික්ක උපන්නද මහත්තයාගේ ඇන්ටික් බඩුවලින් එකක් ගැන.”

“ඇයි දැන් මේ බඩු හොර බඩුයි කියනවාද?”

“නැහැ නැහැ ඔයා කලබල වෙන්න එපා. එහෙම දෙයකට නෙවෙයි මම මේවා සොයන්නේ. මට අවශ්‍ය දැන ගන්න ඔයා මේ බඩු විකුණද්දි මේවායේ වටිනාකම් ගත්ත තැන් ආදිය විස්තර ගුණසිරි අයියාට දුන්නාද?”

“මට මතක හැටියට කිව්වා වගේ මතකයි.”

“විස්තර දුන්නේ කවුද? උපනන්ද මහත්තයාගේ නෝනාද?”

“ඔව් එයා කිව්වා. මොකද එයාට උපනන්දගේ මරණින් පස්සේ මෙහේ ඉන්න බැරි තත්වයක් උදාවුනා. ඊට පස්සේ එයා තීරණය කළා ඔය ගේත් ගෙයිබඩුත් විකුණදාලා යන්න. ඒත් එයා මේවා විකුණන වැඩවලට මැදිහත්වුනේ නැහැ. එයා කිව්ව දේවල් අනුව තමයි මම මේ බඩුවලට මිළක් තීරණය කළේ.”

“ඔයා මේ බඳුන දන්නවාද?”

නාරද ෆයිල් කවරය තුලින් බඳුනේ ඡයාරූපයක් රැගෙන ඇයට පෙන්නුවාය.

“මටනං එච්චර මතකයක් නම් නැහැ. සමහරවිට මේක ඒ ගොඩේ තියෙන්නත් ඇති.”

“ඔයා කියලා තියෙනවා මේක මුහුදෙන් හොයාගත්තු එකක් කියලා.”

“ආ මට දැන් මතක්වුනා. සුචිත්‍රා කිව්වා තමයි මේක උපනන්ද මුහුදෙන් ගොඩගත්තු කෙනෙකුගෙන් අරගත්තු එකක් කියලා.”

“උපනන්දට මේක විකුණපු එක්කෙනා මේක ලැබුනු තැනක් එහෙම කියලා නැද්ද? එයා කොහේ කෙනෙක්ද? සුචිත්‍රා ඔයාට කිව්වේ නැද්ද?”

“ඒ විස්තර කියන්න තරම් සුදුසු මානසික මට්ටමක නෙමෙයි එයා ඒ දවස්වල හිටියේ. මමත් ඔය ඇන්ටික් බඩු ගැන දන්නේ නැති නිසා ඔය විස්තර ඇහැව්වේ නැහැ.”

“දැන් සුචිත්‍රා කොහේද ඉන්නේ?”

“ඔයා මේ ඔක්කෝම විකුණලා දාලා ගියාට පස්සෙ දෙතුන් සැරයක් විතර මට කතා කළා.  ළගදී නම් කතාකළේවත් නැහැ.” 

“එයා ඉන්න දිහාවේ ටෙලිෆෝන් නොම්මරයක් හරි ඇඩ්රස් එකක් හරි දෙන්න පුළුවන්ද?”

“එයා ටෙලිෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. ඉන්න දිහාවේ ඇඩ්රස් කිසිම කෙනෙකුට දෙන්න එපා එයා කියලා තියෙන්නේ.”

“මෙහෙමයි ෂෙරිල් අපි මේ බඳුන හොයන්නේ විශේෂ කාරණාවකටයි. ඉතිං ඔයා සුචිත්‍රාගේ ඇඩ්රස් එක නොදීමෙන් ලොකු අවුලක් සිද්ධවෙනවා.”

“ඇයි, ඒ මොකක්ද?”

“මේ ගැන යමක් කියන්න බැරි මේ විස්තර පිටට යන්න දෙන්න බැරි නිසයි. මේක හොයන්නේ පොලීසියේ අපරාධ විමර්ශනයෙන්. ඔයා මේක නොදුන්නොත් අපිට සිද්ධවෙනවා පොලීසිය මාර්ගයෙන් හරි මේ ලිපිනය ලබාගන්න.”

පොලීසියේ කාරණාවක් බව ඇසීමෙන් පසු ෂෙරිල් තම තිරණය වෙනස් කළාය. 

“මම ඇඩ්රස් එක දෙන්නම්. හැබැයි මේක මම දුන්නා කියලා කියලා ඔයාලා එයැයිට කියන්න එපා.”

“ඔයා බය වෙන්න එපා ඒ ගැන අපි නොකියා ඉන්නම්.”

සුචිත්‍රාගේ ලිපිනය ලබාගත් නාරද, පියරත්න ඉස්කෝලේ මහත්තයා නිවසට ඇරලවා යළි කොළඹ බලා පිටත්වූයේ ඔහුගෙන් යලිත් උදව් බලාපොරොත්තු වන බව පවසමින්ය.

                                     ★ ★ 



කුඩාකලදීම පියා මියගොස් නිසි මඟපෙන්වීමක් නොමැතිව අධ්‍යාපනය කඩාකප්පල්කරගත් අවිවාහක මංජු තම මව සමඟින් මහගෙදර වාසය කළේය. අම්මාට අංශභාග රෝගය වැලඳුන පසුව සාත්තු සප්පායම් කිරීමට පොඩි අක්කාගේ නිවසේ ඈව නතරකළ මංජු පාළු මහගෙදර තම ආධිපත්‍යට පවරාගන්නේ තමා ගැන සොයාබැලීමට කිසිවෙකු නොසිටි බැවිනි. විවාහ කටයුතු වලින් පසු නිවසින් වෙන්ව ගිය සහෝදර සහෝදරයින් රස්තියාදු ගසන බාල මල්ලිව නොසලකා හැරීමත් ඔහුගේ මදාවිකම් වැඩි කරවීමට එක් හේතුවක්ද වුනි. මංජුගේ නිවස රස්තියාදු යහළුවන්ගේ දුරාචාරයින්ට කදිම තෝතැන්නක් විය. දුරාචාර ක්‍රියාවන්ට මුදල් අවශ්‍යතා වැඩිවෙද්දී ටවුමේ රස්තියාදු කොලුනඩයට එක්ව මුදල් සෙවීමේ පහසු මඟක්වූ සොරකම් කිරීමට හේ පෙලඹිණි.

ස්ටැන්ලිගේ නිවස කොල්ලකෑමේ ප්‍රධාන සැලැස්ම සකස්කළ මංජු තමතින් සිඳුවූ මනුෂ්‍ය ඝාතනයෙන් වැඩි එළිපහළියට නොගිහින් නිවෙස තුළට වී කල්ගතකරන්නට වීය. මෙම සිදුවීම ඔහුගේ හදවතට වද දෙන්නක්ම විය. එය අමතක කරනු වස් නිරතුරුවම මත් පැනින් සප්පායම්වීමට පටන් ගත් අතර දින කිහිපයක සිට තම ගෙවත්තේ බළලුන්ගේ පොරඇල්ලීමේ ශබ්දයන් ඇසුනත් එය ඔහු එතරම් ගණනකට නොගත්තේය. මත් පැනින් තොරව නින්දට වැටුනු සෑම දිනකම වාගේ උණු ලේ වගුරවමින් ඇඳ පාමුල ඇද වැටුනු ස්ටැන්ලිගේ පණ ගැහෙන සිරුර නින්දට බාධාකරමින් පෙනෙන්නට විය. සුපුරුදු පරිදි සිහි විකල් වන තුරුම බොන්නට අරක්කු බෝතලයක් හා චයිනිස් හෝටලයෙන් රැගෙන ආ ඌරු මස් බයිට් පාර්සලයත් ළංකරගත් ඔහු  රූපවාහිනියේ හින්දි චිත්‍රපටයක් නරඹන්නට පටන්ගත්තේය. බෝතලයෙන් භාගයක් පමණ හිස්වෙද්දි පිලිකන්න දෙසින් ඇසෙන බළල් හඬ තීව්‍ර වූයෙන් විදුරුවේ ඉතිරිව තිබූ ටිකත් උගුරට හලාගෙන ඌරුමස් කැබැල්ලක් කටේ රුවාගත්තේ නැගිට පිලිකන්නට ගොසින් බලන්නටය. හින්දි චිත්‍රපටයේ උච්චතම සටන් ජවනිකාව අතරතුරේ වෙළෙද දැන්වීමක් ප්‍රචාරණය කරන්නට පටන්ගති. කුණු හරුපයකින් රූපවාහිනි නාලිකාවට බැනවදිමින් හේ තවත් මස් කැබැල්ලක් කටට දාගත්තේය. දෙපසට වැනෙමින් පිලීකන්න දෙසට පියවර නැගූ ඔහු වටාපිටාව හොදින් නිරික්ෂණය කළේ කෑගැසූ බළලුන් සොයන්නට මෙන්ය. පිලීකන්නට ඇතුලුවනවාත් සමගම මෙතෙක් කෑගැසූ බළලුන්ගේ ශබ්දයින් එකවරම නතරවුනි. එවර යළිත් එම කෑගැසීම් නිවසේ ඉදිරිපස මිදුල දෙසින් ඇසෙන්නට පටන්ගත්තේය. පිටුපස වැවී තිබූ වතුසුද්ද පැළයට මෙතෙක් වෙලා හිරකරගෙන හුන් මුත්‍රාබර සැහැල්ලු කරගත් මංජු කුස්සිය දෙසින් සාලයට ගොඩවැදුනේ රූපවාහිනිය දෙස බලමින්ය. කවුරුන් හරි තමාදෙස බලාසිටින්නාක් මෙන් අමුතු හැඟුමක් සිතට නැගුනු මංජුගේ නෙත් එකවරම බඳුන දෙසට යොමු විය. ඔහු පියන මත වූ මුහුනේ ආකර්ෂණාත්මක බැල්මට වශිව ඒදෙස නෙත් අයා බලා සිටියේ අවට සිදුවන කිසිවක් නොහැගෙන ලෙසින්ය. බඳුන දෙස ටික වේලාවක් බලා සිටි ඔහු එය අතට ගැනීමට මෙන් ඉදිරියට පියවර තබද්දී ටිපෝවේ පය පැටලි බිම වැටුනේ එම දැහැනේ ආකර්ෂණයෙන් මිදීමක් නොලබාය. 


     මංජුගේ කරදරයෙන් බේරෙන්න නොහැකිවූ තැන රංග ස්ටැන්ලිගේ බඩු බාහිරාදිය විකුණා ගත් සියලු මුදල් ඔහුට දීමට එකඟවිය. රංග පිටුපස අසුනේ හිඳුවාගත් මංජු තම මොටර් සයිකලය බත්තරමුල්ල දෙසට වේගයෙන් ධවනය කරන්නටවූයේ ඉතිරි මුදල් ලැබෙන සතුටු සිතෙනි. පාර හරස්කොට මාර්ග බාධකයක් යොදා ඇති බව මංජු දුටුවේය.

“ඒයි අර බලපන් ඉස්සරහා චෙක්පොයින්ට් එකක්.”

“හරවපන්. හරවපන් බලන්ඉන්නේ නැතිව.”

පැමිණි වේගය නිසා ඉතා අසීරුවෙන් සයිකලය හරවාගත් මංජු යළි මාලඹේ පැත්තට ධාවනය කරන්නට පටන් ගත්තේය.

“අන්න අරුන් පැනලා යනවා. ඕකුන් තමයි මම හෙව්වේ. වෙඩි තියන්න. වෙඩි තියන්න.”

පොලිස් කණ්ඩායම අතර සිටි සුදු මහත්තයා කෑගසනවා ඔවුනට ඇසුනි. පොලිස් පරික්ෂක වෙඩි තැබීමට අණ කිරීමත් සමඟම ගිනියම් මුනිස්සම් ඔවුන් පසුකර පියෑඹුවේ මරණයේ භීතිය ඔවුනට පෙන්වමිනි. පාරෙන් පිටට පැන්න මොටර් සයිකලය උපරිම ශක්තිය යොදවා යළි පාරටගත් විගස මංජුගේ කණ ළගින් උණ්ඩ කිහිපයක් ඉගිලි ගියේ ඇඟේ හීගඩු පුරවාලමින්ය.

“උන් පස්සෙන් එනවා. පාගපං පාගපං. උඹ ඔහොම ගියොත් මාට්ටු වෙනවා. ඔතැනින් උඩහට දාපං.”

මංජු රංගගේ කීමට පාරෙන් වමට හැරෙව්වේ යන්නේ කොහේදවත් නොදැනය. මලින් බරව ගිය මල්ගස් කිහිපයක් පසුකරමින් ඉදිරියට ඇදුනු ඔහුට සුදු පැහැති සොහොන් කොත් කිහිපයක් ඇස ගැටින.



“යකෝ උඹට පිස්සුද මේ තලාහේනේ කනත්තනේ. මෙහෙන් කොහොමද යන්නේ?”

කියමින් තවත් ඇතුලට යතුරුපැදිය පැදවූ මංජු රංගගේ නිහැඬියාව දැනුනි.

“කතාකරපං බං මෙහෙන් කොහේටද යන්නේ?”

“යන තැන පෙන්නන්න ඔන්න ඔය ඉස්සරායින් නතර කරපං.”

අලුතින් වැසූ මිනීවලක් අසළින් නැවත්වීමට රංග අණ දුන්නේය. ඒ ගොරෝසු හඬ රංගගේ නොවන බව ඉතා නොවසිල්ලෙන් හුන් ඔහුට නොවැටහුනත් මිනීවල අසළින් මොටර් සයිකලය නතරකළේය. අයිස් කැටක් මෙන් සීතල දෑතකින් මංජුගේ ගෙල පෙදෙස ස්පර්ශ කරන්නට වුනි. 

“මොනාද බං රංග කරන්නේ? අපිව දැන් මාට්ටු වෙනවා. ඉක්මනට පනින්න තැනක් හොයාපං.”



පිටුපස අසුනේ හුන් රංග එකවරම මංජුගේ ගෙල මිරිකන්නට පටන්ගත්තේය. ඉන් අතිශයෙන් බියට පත්වූ ඔහු රංගගේ මළපුඬුවෙන් ගැලැවීමට දඟලද්දි එක්වරම ගියරය පෑගුනි. ක්ෂණිකව ගැස්සී ඉදිරියට පැන්න සයිකලය මිනී වලේ පස්කන්ඩියේ වැදී පෙරළීගියේ දෙදෙනාම පස්ගොඩ උඩට ඇදවට්ටමින්ය. පස් ගොඩ උඩින් නැගිටගත් රංග හෙල්මටය වහා ගලවා දැම්මේ මංජු වෙත ලංවෙමින්ය. ඒ වූයේ රංග නොව මංජු අතින් ඝාතනයවූ ස්ටැන්ලි වික්‍රමපාලය. රතුව ගිය දෙනෙතෙන් යුතුව කෝපයෙන් විකෘතිවී ගිය ස්ටැන්ලිගේ බියකරු මුහුණදෙස බැලූ මංජු එතැනම ගල් ගැසින. තද සීතලෙන් පෙලෙන සන්නිපාත රෝගියෙකු සේ ගැහෙන්නට පටන්ගත් ඔහු ළගට ස්ටැන්ලි ළංවිය.

“උඹ ඉන්නේ මගේ මිනිවල උඩ. දැන් ඉතින් ලැස්තිවෙයන් මාත් එක්ක යන්න.”


වෙඩි වැදුනු උදරයෙන් නොනවත්වා ගලන රුධිරයෙන් තම දෑත් තෙමාගෙන මංජුගේ ගෙල මිරිකන්නට මෙන් ඉදිරියට එද්දී මංජු කෑගසන්නට තැත්කලත් එකඳු වචනයක් වත් මුවින් පිට නොවීය. සිරුර දිගේ රූරා හැලෙන දහඩියෙන් පෙඟුනු ඔහු පස්කණ්ඩිය දිගේ පසුපසුට යන්නට තැත් කළ නමුදු බුරුල්ව ගිය පසේ කකුල එරී යළිත් එය මතටම ඇඳ වැටුනි. දත් විලිස්සාගෙන ලේ පැහැති දිව එළියට දාගත් ස්ටැන්ලි ඔහුගේ ගෙලට පැන්නේ රුදුරු රාක්ෂයෙකු ලෙසිනි. ඉන් අතිෂය බියට පත්ව කෑගැසූ මංජු මිනිවලේ බුරුල් පස කඩාගෙන අඳුරු ආගාදයකට ඇද වැටෙන්නට විය.  මහ හඬින් කෑ ගැසූ ඔහු තිගැස්සී අවදිව බැලූ විට සිටියේ සාලයේ සැටියේ පාමුලය. හිසේ සිට දෙපතුල දක්වා දහඬියෙන් පෙඟුන මංජු එතැනම වැතිර සිටියේ වෙවුලන ගතකින් හා සැලෙන සිතකින් යුතුව සිහි එලවාගත නොහැකි විලසින්ය. ටික වේලාවක් එතැනම වැතිර සිට තමා දුටු සිහිනය යළි සිහිපත් කරන්නට උත්සාහකළමුත් පරාල අතරින් පෙනෙන වහලේ උළු දෙස බලා සිටියා මිසෙක ඒ කිසිවක් සිතට නගාගෙන පිළිවෙළකට ගලපාගන්නට නොහැකි වුනි. බිම වාඩිගත් ඔහුට මෙතෙක් නිවා නොදැමූ රූපවාහිනියේ උදෑසන පුවත් පත් විස්තර විකාශයවනවා පෙනුනි. දුගඳක් හමන පිළුනුව ගිය බයිට් පිගානත් අඩක් හිස්වූ අරක්කු බෝතලයත් මෙන්ම සිගරට් කොට වලින් පිරුනු අළුබදුනත් රාත්‍රියේ ක්‍රියාකාරකම්වල නටබුන්සේ සාලයේ ටිපෝව මත වැඩසිටියෝය. රාත්‍රියේ ගත් මත්පැනින් හිසේ ඇති බරගතියත් මෙන්ම අලසකමත් නිසා බිම වාඩිවීගෙනම රූපවාහිනිය දෙස බලාගෙන සිටියේ කිසිඳු අරමුණකින් තොරවය. මඳ වේලාවක් එසේ හුන් මංජු ඈනුමක් සමඟින් නැගීසිටියේ සාලයේ තිබුනු බෝතල් අස්කර දැමීමටය.


මතුසම්බන්ධයි.......

Monday, May 17, 2021

හෝරස්ගේ දරුවා - දහහතර වන දිගහැරුම Son of Horus - 14

වත්සලා හමුවීමට නාරද කෑගල්ලේ ඇඳුරාපොත බලා පිටත්වූයේ කුමාරි සමඟින් ය. අත්තිඩියේ තරබාරු කාන්තාවගේ සැකයට බදුන්වීම නිසා මෙවර තම බිරිඳව මේ ගමනට සහභාගිකරවාගත්තේ වත්සලා කුමනාකාරයේ තැනැත්තියක්දැයි නොදන්නා බැවින්ය. ඔවුන් නිවසට ගොඩවදින විටත් ඇය යම් කටයුත්තක් සඳහා කෑගල්ල ටවුමට යෑමට සුදානමින් සිටියාය.

“මට වත්සලා එක්ක ටිකක් කතාකරන්න ඕනෙ.”

“ඔය මහත්තයා කවුද? පොලීසියෙන්ද?”

“මම මහාචාර්ය නාරද බණ්ඩාර, මේ මගේ වයිෆ් කුමාරි.”

“එන්න සර් ඇතුලට ඇවිත් වාඩිවෙන්න.”

“අපි මේ කතාකරන දේ පිට කාටවත් කියන්න එපා. එපා කියන්නේ ඇයි කියලා ඔයාට මේ කතාව ඇහුවාට පස්සේ තේරෙයි. ස්ටැන්ලි වික්‍රමපාලගේ නැති වුණු බඩු ගැන විශේෂ වාර්තාවක් දෙන්න කියලා මට පොලීසියෙන් බාරදුන්නා. මේ වාර්තාවෙන් සහයක් ලබාගන්න පුළුවන්වෙයි කියලා හිතනවා මේ මිනීමරු හොරු කණ්ඩායම අල්ලාගන්න. ඉතිං මට ඔයාගෙන් ලොකු සහයක් අවශ්‍ය වෙනවා.”

“කියන්න සර්, මම ස්ටැන්ලි සර් වෙනුවෙන් ඕනේ උදව්වක් කරන්න ලෑස්තියි.”

කුමාරි වත්සලා කියන දේ සටහන් කරගැනීමට කුඩා සටහන් පොතක් රැගෙන ඇය අසලින් වාඩිගත්තාය.

“වත්සලා ඔයා මේ ෆොටෝ එක දැකලා තියෙනවාද?”

නාරද ෆයිල් කවරයෙන් අරගත් නැතිවූ බඳුනේ පින්තූරයක් ඇයට පෙන්වීය.

“ඔව් මේ පින්තූරෙ ගත්තේ ශාන්ත අයියා. මමයි එයාට මේ පින්තූර ගන්න කිව්වේ.”

“ඔයා දන්නවාද මේකත් හොරු අරගෙන ගිහිල්ලා කියලා?”

“ඔව් සර් පොලීසියෙන් නැතිවුනු බඩු ගැන අහද්දි මම මේ ගැන විස්තර දුන්නා.”

“එහෙනම් මට කියන්න ඔයා කොහොමද දන්නේ මේක මුහුදෙන් ගොඩට ගත්තු එකක් කියලා? මේක ස්ටැන්ලි කොහෙන්ද අරගත්තේ?”

“ස්ටැන්ලි සර් මේක එක්ක තව බඩු තොගයක් අරගෙන ආවා. ඒ සර්ට ඔය අපරාදේ වෙන්න සතියකට කලින් විතර. හැබැයි මේ බඩු එයා එච්චර කැමැත්තකින් නෙමෙයි අරගත්තෙ කියලා ශාන්ත අයියා කිව්වා.”

“ඇයි ඒ?”

“මේ බඩු ගෙදර තියන්න ඉඩ මදි හින්දා.”

“එතකොට මේ බඩු ගෙනාවේ?”

“මේවා අරගෙන තිබුනේ හික්කඩුව පැත්තේ වහලා දාපූ ඇන්ටික් බඩු කඩේකින්. මට මතක විදිහටනම් ඒකේ අයිතිකාරයා අන්තිමට කඩේට විකුණන්න අරගත්තු එකත් මේ බඳුනමයි.”

“ඇයි අන්තිමට කිව්වේ?”

“මම හිතන්නේ අයිතිකාරයා මැරිලා.”

“එතකොට ඔයා කොහොමද දන්නේ මේක අන්තිමට ගත්තු එකත් මේක මුහුදෙන් ගොඩගත්තු බවත්?”

“ඒ මැරුණු අයිතිකාරයා මේ විස්තර රෙකෝඩ් පොතක ලියලා තිබුනා. මේක ගත්තු දිනය ගත්තු මිල තවත් විස්තර තිබුනා. ඒකෙන් තමයි මම හොයාගත්තේ.”

“දැන් කොහේද ඔය පොත තියෙන්නේ?”

“ඒක තියෙන්නේ ස්ටැන්ලි මහත්තයාගේ කන්තෝරු කාමරේ දෙවැනි ෆයිල් කබඩ් එකේ.”

“එතකොට මීට ඉස්සෙල්ලා අයිතිකාරයාගේ නම් ගම් එහෙම ඒකෙ ලියලා තියෙනවාද?”

“ඒ පොතේ නම් ඔය බඳුනේ ඉස්සර අයිතිකාරයාගේ නම ලියලා තිබුනේ නැහැ.”

“ස්ටැන්ලි මේ ඇන්ටික් කඩේ බඩු අරගත්තේ කාගෙන්ද?”

“ස්ටැන්ලි සර්ට මේ බඩු වික්කේ එයාගේ යාළුවෙක් බව නම් දන්නවා.”

“ඒ යාළුවාගේ නම දන්නවාද?”

“මට නම මතක නැහැ. ඒ විස්තර අපි පොතක ලියලා තියෙනවා. මොකද යම් කිසි දවසක අපිට ප්‍රශ්නයක් ආවොත් කියලා.” 

“ඒ පොත තියෙන්නෙත් ඒ කබඩ් එකේමද?”

“ඔව්. සර් මට කියන්න ඇයි මේ බඳුන ගැන ඔච්චර විස්තර හොයන්නේ?”

“මට ඒ විස්තර කියන්න බැහැ. හැබැයි මේක ඉතා වටිනා එකක්. හොරු මේක විනාශ නොකර තිබ්බොත් හොඳයි. අපිට මේ මිනීමරුවෝ අල්ලාගන්න මේක ගැන විස්තර ආදියත් අවශ්‍ය වෙනවා. අනික අපි මෙහෙම ආපූ බවක්වත් මේ විස්තර හොයන බවක්වත් කාටවත් කියන්න එපා. මේ ගැන හොරුන්ට දැනගන්න ලැබුනොත් ඒක අපිට ලොකු අවාසියක් වෙන්න පුළුවන් මේ බඳුන හොයාගන්න.”

“හොඳයි සර් මම කාටවත් මේ ගැන කියන්නේ නැහැ.”

“එහෙනම් වත්සලා අපි යන්නම් ඔයාගේ උදව් වලට බොහොම ස්තුතියි. ඔයා දන්න මොකක් හරි දෙයක් තිබුනොත් මෙන්න මේ මගේ ටෙලිෆෝන් නොම්මරේට කතාකරන්න.”

තම දුරකථන අංකය සඳහන් කාඩ්පතක් දුන් නාරද හා කුමාරි කොළඹ බලා පිටත්වූහ. 



ස්ටැන්ලිගේ නිවසින් කොල්ලකෑ වටිනා භාණ්ඩ සියල්ලම රැගෙනවිත් සුදු මහත්තයාගේ කඩුවෙල අත්තම්මාගේ පැරණි නිවසේ සොල්දර තට්ටුවේ ආරක්ෂිත ස්ථානයක රංග තැන්පත් කළේය.

“බලපන් උන් වාගේ ගොන්නු රැලක් මේවා බෙදාගන්න කුළල් කාගන්න පටන්ගත්තා. ඊට පස්සෙ මේවා තදියමේ විකුණගන්න ගිහින් පොලීසියට මාට්ටුවෙනවා.”

“රංග අයියා ඔක්කොම බඩු ටික අරගෙන ආපූ එක හොඳයි ඒත් මංජුගේ එච්චර කැමැත්තක් නම් තිබුනේ නැහැ.”

“උගෙ කැමැත්ත අකමැත්ත බලන්න ගියොත් අපිට අනිවාර්යයෙන්ම බලු කූඩුවේ ලගින්න වෙනවා. උඹට ෂුවර් නේද කවුරුවත් මේ සොල්දරේට නගින්නේ නැහැ කියලා.”

“පිස්සුද රංග අයියා මේකට ගෙදර අයත් නගින්න බයයි. අපේ චුටි බාප්පා එල්ලිලා මැරුනේ මේ බාල්කේ. අනික තියෙන තැන පොලිස් බල්ලෝ දාලාවත් හොයන්න බැහැ.”

සොල්දරයට ඉහළින්වූ බාල්කයක් පෙන්වමින් හේ කීවේය.

මේ අතර රංග හා සුදු මහත්තයා ඉතිරි බඩු තොගයම රැගෙන යාම පිළිබඳව කන්ඩායමේ අනෙක් අය සිටියේ නොමනාපයෙනි. 

“බලපං මංජු අයියා අරුන් දෙන්නා විතරක් බඩු ටිකම ඉස්සුවා.”

කපිල සමඟින් මංජුගේ නිවසට වී කතා කරමින්හුන් චුට්ටා කීවේය.

“එහෙම කොහොමද උන් අපිට කරන්නේ. බලමුකෝ මංජුට ගේමක් දෙන්න හදන්නේ කවුද කියලා. කොහෙද තොපිලා දෙන්නාත් පඹයෝ වාගේ කොන්ද පණ නැතිව හිටියානේ උං ඔක්කෝම බඩු අරගෙනයනකං. දැන් තමයි තොපේ කටවල් වලට පණ ඇවිල්ලා චුරු චුරු ගාන්න පටන්ගන්නේ.”

මංජු කේන්තියෙන් පැවසීය.

“වැඩි දවසක් මම රංගයාට අපේ බඩු තියාගෙන ඉන්න දෙන්නේ නැහැ. ඌට ඉක්මනටම අපේ සල්ලි දෙන්න වෙනවා.”



     එස් එස් පි මනෝජ් පෙරේරා හමුවූ නාරද බණ්ඩාර ඔහුගේ අවසරය ලබාගෙන බත්තරමුල්ලේ පිහිටි ස්ටැන්ලිගේ නිවසට ඇතුල්වූයේ තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සමඟින්ය. දින ගණනාවකින් නොඅතුගාන ලද මිදුල පුරාවට කොළරොඩුවලින් හැඩවීගත් නිවසින් දිස්වන්නට වූයේ පාළු මූසල පෙනුමකි. නාරද බණ්ඩාර ඉදිරිපස දොර විවරකරගෙන බිම් මහලට පිවිසියේය. ස්ටැන්ලි ගබඩාවක් ලෙසන් පාවිච්චිකරන ලද එම බිම් මහලේ තිබුණු ගෘහභාණ්ඩ වලින් නිකුත්වූ ලැකර් මිශ්‍ර පොලිෂ් සුවඳිනුත් දූවිලි මිශ්‍ර පුස් ගදෙනුත් පිරී පැවතියේය. පොලිස් කොස්තාපල්වරු සමඟින් උඩුමහළට ගොඩවූ නාරද ස්ටැන්ලිගේ කන්තෝරු කාමරය සොයමින් එහි සැරිසැරුවේය. අපිළිවෙළට එහි තිබුනු බඩුමුට්ටු ඇදදමා තිබුනායින් යකුන් නැටූ පිට්ටනියක් සේ උඩුමහල පෙනුනි. නිදන කාමරයේ පොළව සෝදා පිරිසිදු කර තිබූ නමුත් එය හරිහැටි කර නොතිබුනායින් තැනින් තැන විසිරුනු ලේ පැල්ලම් තද කලු පාටින් දිස්වන්නට වුනි. නිදන කාමරයේ වූයේ පුස්ගඳ පරයමින් වියලුනු ලේ පැල්ලම් වලින් නැගුණේ තද කුයිලයකි. කන්තෝරු කාමරය සොයාගත් ඔහු එහි ෆයිල් කබඩයෙන් ගුණසිරිගේ ඇන්ටික් බඩු සාප්පුවේ රෙකෝඩ් පොත මෙන්ම ස්ටැන්ලිගේ රෙකෝඩ් පොත්ද ලබාගත්තේය. ගුණසිරිගේ රෙකෝඩ් පොතේ ඔහු බඳුන මිලදීගත් අයෙකුගේ නම හෝ ලිපිනයක් සඳහන් කර තිබුනේ නැත. ගුණසිරිගේ හදිසි වියෝවට පෙර අවසන් වරට ගත් භාණ්ඩයක් වීම නිසා එම භාණ්ඩය පිළිබඳ වැඩිදුර විස්තර ලියාතැබීමට නොහැකි වී තිබුනි. එසේම ස්ටැන්ලිගේ පොතේ ලියා තිබූ ලිපිනය වුයේද හික්කඩුවේ ගුණසිරි ඇන්ටික්හි ලිපිනය පමණි. ඒ අනුව ගුණසිරි ඇන්ටික් සාප්පුව සොයාගෙන පසුවදාම නාරද හික්කඩුව බලා පිටත් විය. 



        ඔහු දන්නා පරිදි ගුණසිරි ඇන්ටික් අයිතිකරු මියගොසින්ය. නාරද බලාපොරොත්තුවූයේ ඇන්ටික් සාප්පුවේ නව අයිතිකරු මාර්ගයෙන් හෝ ගුණසිරිගේ නිවහන සොයාගොස් මේ බඳුන ගැන විමසීමටය. නාරදගේ සියලු බලාපොරොත්තු වියැකී ගියේ වසාදමා පාළුවට ගිය ගුණසිරිගේ ඇන්ටික් සාප්පුව පිහිටි පැරණි නිවස දැකීමෙනි. ගාලු පාර අයිනට වන්නට රිය නැවැත්තූ නාරද ඉන් එළියට බැස වටපිට බැලුවේ සියලු බලාපොරොත්තු කඩව ගිය බැල්මෙනි. ලොරියට යටවී ඇඹරී ඇදකුද ගැසුනු ගේට්ටු පලු දෙක තාප්පයේ ඇතුළු පැත්තේ දිරාපත්වෙමින් පැවතියේය. පුපුරාගොස් තිබූ පැරණි පන්නයේ ගේට්ටු කුලුණු දෙකහි එක් කුලුණක බාගෙට ගැලැවුනු ගුණසිරිගේ රුව රැගත් මරණ දැන්වීමක් ඇලැවී ඇත. ලොරිය හැප්පීමෙන් මැරුණු අඹ ගසේ කොළ සියල්ලම පාහේ හැලී ගොස් ගස දිරාපත්වීම ඇරඹී ඇති සැටියකි. හැලුනු අඹ කොළද කලෙකින් කපා නොදැමූ තණකොළද සරුවට වැඩීමෙන් ගෙවත්ත ජරාවාසවෙමින් පැවතියායින් පැරණි නිවසින් දිස්වූයේ මහා මූසල මුස්පේන්තු පෙනුමකි.

 නිවස අවට සෝදිසි කර බලා නාරද පාරෙන් එහා පැත්තේ වූ සිරිමෙවන්ගේ බතික් කඩයට ගොඩවැදුනේ ගුණසිරි ගැන හෝඩුවාවක් දැනගැනීමේ අටියෙනි.

“මල්ලි කෝ ගුණසිරි? ඇයි කඩේ වහලා?”

“සර් දන්නේ නැද්ද එයා මළානේ. මැරිලාත් දැන් මාස හයකටත් කිට්ටු ඇති.”

“මළා? මොනවා වෙලාද?”

“වැඩට හිටපු ගෝලයා ගමේ ගොහින් එන්න ගියදා එදා කඩේ මුරටත් එක්ක ගුණසිරි අයියා නැවතුනා. මහ රෑ දොට්ට පිලට යන්න ගුණසිරි අයියා එළියට බහින්න ඇති. ඒ වෙලාවේ හොර හරක් පටවපු ලොරියක ඩ්‍රයිවර්ට නින්ද ගොහිං පාරෙන් පිට පැනලා නතර වුණේ ගුණසිරි අයියාවත් යටකරන් අර අඹ ගහේ වැදිලා. ගුණසිරි අයියා එතනමයි. ලොරිය ගිහින් තිබුනේ ඔලුව උඩින්මයි.” 

“අයියෝ මල්ලි එයා මගේ හොඳ හිතවතෙක්නේ. මෙතනින් යනකොට මෙහෙට එනවා. මම කොච්චර බඩු ටුවරිස්ලාට අරගෙන දීලා තියෙනවාද?”

“ඔව් සර් අපිටත් හරිම පාඩුවක් උනේ.”

“මල්ලි මට දෙන්නකෝ එයාගේ ගෙදර ඇඩ්රස් එක. යනින් ගමන් එහාටත් ගොඩ වැදිලා යන්න.”

“වැඩක් නැහැ සර් ගුණසිරි අයියාගේ පුත්තු දෙන්නාම ඉන්නේ පිටරට. තුන්මාසේ දානෙන් පස්සේ ගුණසිරි අයියාගේ පවුලත් එහෙට ගෙන්නගත්තා.”

“එතකොට මෙහේ කවුරුවත්ම නැද්ද?”

“මම දන්න තරමින් නැහැ. ඇයි සර්?”

“මට ඒ රටේ ඇඩ්රස් එක ඉල්ලගන්න.”

“මොකටද සර්ට ඇඩ්රස්?”

“මම බඩු වගයක් අරගෙන තියෙනවා ගුණසිරිගෙන්. පොඩි ගාණක් මදිපාඩුවුනා. ඒ සල්ලිටික දෙන්නත් එක්කයි මේ ආවේ. නොදී මඟ අරින එක හොඳ මදිනේ.”

“එහෙමද. ඒක නම් හොඳ වැඩක් තමයි. සර්ට ඇඩ්රස් එක ඉල්ලගන්න පුළුවන් එයාලගේ ඥාතියෙක් හිටියා පියරත්න කියලා ඉස්කෝලේ මහත්තයෙක්. එයාව මුල්කරගෙන තමයි ගුණසිරි අයියාගේ පවුල මේ කඩේ තිබ්බ ඔක්කොම බඩු වික්කේ.”

සිරිමෙවන්ගේ එම වදන් කිහිපය නාරදට සුබාරංචියක්ම විය. 

“මේ ඉස්කෝලේ මහත්තයා ඉන්නේ කොහෙද?”

“මං ඉන්න තැනනං දන්නේ නැහැ. හැබැයි ගාල්ලේ ටවුමේ කාගෙන්හරි ඇහැව්වොත් කියාවි. එයා ප්‍රසිද්ධ සමාජ සේවකයෙක්ලු. ටවුමේ කවුරු කවුරුත් එයාව හොඳට දන්නවා.” 

සිරිමෙවන්ගේ බතික් රෙදි සාප්පුවෙන් පිටත්වූ නාරද කෙලින්ම ගාල්ල බලා රිය පැදවූයේ තමා ආ කාරණාව යම් තරමකට හෝ සඵලවීමේ සතුට සිතේ රුවාගනිමින්ය.

මතුසම්බන්ධයි.......

Thursday, May 13, 2021

හෝරස්ගේ දරුවා - දහතුන්වන දිගහැරුම Son of Horus -13

 


“මේ මොකද්ද මේ මුට්ටිය?”

මංජු සුදු මහත්තයාගෙන් ඇසුවේය.

“ඔන්න බලාපල්ලා තොපිලා වාගේ ගොන්නු රැලක්. ඉතිං උඹලාත් මෝඩයින් වාගේ මුට්ටියකුත්  උස්සාගෙන ඇවිල්ලා.”

අමනාපයෙන් සිටි මංජු මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රංග ඇතුලු සියල්ලන්ටම දෝෂාරෝපණය කරන්නට විය. 

“තොපිලාත් වටින දේවල් අඳුරන්නේ නැද්ද? මේකෙන් මොන කෙන්ගෙඩියක් කරන්නද බං?” 

“රංග අයියායි කිව්වේ සේප්පුවේ තියෙන ඔක්කෝම බෑග් වලට දාගන්න කියලා. මේක වටින්නේ නැතිනම් සේප්පුවේ දාලා තියයිද?”

එය ඇසුනු රංග එළියේ තබා තිබුණු බඳුන තම දෑතට ගත්තේය. එහි පියනේවූ මුහුණ දෙස මඳක් පරික්ෂාවෙන් බලා සිටින්නට විය.

“මූ කියන එකෙත් ඇත්තක් තියෙනවා. මේක වටින්නේ නැතිනම් සේප්පුවේ දාන්නේ නැහැනේ. පරිස්සමට අරන් තියාපං.”

සුදු මහත්තයා අතට පත්කළ එය යළිත් බෑගයට දැමීමට සැරසෙද්දී මංජු වහා උදුරාගත්තේය. 

“ඔන්න ඕක මෙහෙන් තියාපං. මේක හොඳයි ලස්සනට තියන්න.”

සුදු මහත්තයා යමක් කීමට තැත්කර රංග දෙස බැලුවේය. රංග විසින් කළ ඉඟියකින් සුදුමහත්තයාගේ කට වසා දැමුවේ මංජුට එය තබා ගැනීමට ඉඩ සලසාදෙමිනි. වැඩි මුදලක් ඉල්ලා වස්තු තණ්හාවෙන් සිටින මංජුට බඳුන ලබා ගැනීම වළක්වාලීමට ගියහොත් ගැටුමකට එය හේතුවක් වන බවත් එය තමාගේ නායකත්වයට විශාල ලෙස බලපාන්නක් බවත් අවබෝධ වූ රංග එය ඔහුට ලබා ගැනීමට ඉඩහැරියේය. ඉක්මන් ප්‍රකෝපාකාරි ගතිපැවතුම් වලින් පරිපුර්ණ වූ මංජු නායකත්වයේ වගකීම් දැරීමට කිසිවිටකත් කැමත්තක් නැතුවාසේම සමහර අවස්ථාවලදී නායකත්වය අභිබවායමින් එයට තර්ජනයක්ද වූවේය. වගකීම් සහිත අවදානම් ක්‍රියාවලියකදී ඔහු පසුබට වූවත් අනෙකුත් ජයග්‍රහනයන්හිදී ඉදිරියෙන් හිඳ රංගටත් උපදෙස් දුන්නේය. සුදු මහත්තයාගෙන් උදුරාගත් බඳුන මංජු තම නිවසේ කැබිනේට්ටුව මත තැබීය. මුදල් සමසේ බෙදා දුන් පසුත් රංග යළි යළිත් තම අවවාදය මතක්කර දුන්නේය.

“උඹලා පරිස්සමෙන් ඉදපල්ලා එකපාරටම සල්ලි වීසිකරන්නේ නැතිව. නැත්නම් අපි සෙට් එකටම මහඋළුගෙදර කූරු ගනින්ට පුළුවන්වෙයි.” 

මෝටර් සයිකල්වල නැගගත් සුදු මහත්තයා හා රංග ඉතිරි බඩු භාණ්ඩ රැගෙන පිටත්ව ගියේ මංජුගේ නිවසේ චුට්ටා හා කපිලත් රදවමිනි. තරුණ මදයට හමුදාවට බැඳී උතුරු ප්‍රදේශයේ ක්‍රියාන්විතයන් හි සේවය කළ රංග නිවාඩු අවුත් යළි සේවයට එක්නොවීය. ඇබ්සන්ට් වී සිටි කාලයේදි අහම්බයෙන් මිතුරුවූ මංජු සමඟින් එකතුව සුලු සුලු මංකොල්ලයන් කිහිපයක් සිඳුකළෝය. ඔවුන් දෙදෙනාගේ සමාගමට තවත් රැකියා විරහිත රංගගේ ඥාති සහොදර සුදු මහත්තයාද මංජුගේ මිතුරෙකුවූ චුට්ටාත් කපිලත් එක්විය. මෙසේ එක්වුනු පස්දෙනාගේ කල්ලියෙන් සිඳුකළ විශාලතම සැලසුම් සහගත මංකොල්ලය වූයේද ස්ටැන්ලි වික්‍රමපාලගේ නිවස කොල්ලකෑමයි. 

“මං අරූව මැරුවා කියලා ඒක පිටට දාලා මු අපේ ගේමෙන් ගාන කපන්නයි බැලුවේ. බලපන් රංගයා අපිට පනස් දාහ ගානේ දීලා ඉතිරි ටික පස්සේ දෙන්නම්ලු. ඒවා කොහේද මාත් එක්ක.”

“මංජු අයියා කට දැම්ම නිසා තමයි අපිට දෙක ගානේ ලැබුනේ.”

“තෝ නිසා තමයි මේ ඔක්කෝම. තව ඩිංගෙන් ස්ටැන්ලියා මාවයි මරන්නේ. තොට ලණු කෑල්ලක් ගේන්න පැය ගාණක් ගියානේ. ඌ බෙල්ල මිරිකුව විදිහට මං හිතුවෙම ඉවරයි කියලා.”

“එතන ලණු තියා නුල් කෑල්ලක්වත් තිබුණේ නැහැ. වේලාසනින් ලණු ඕනෙයි කිව්වානම් කඹයක් අඹරන්න තරමට හරි ලණු අරගෙන යනවා.”

“දැන් පණ්ඩිත ටෝක්ස් නොදී හිටපන්. මුං දැන් අර බඩුටිකටත් විද්ද. බලමුකෝ ඒවා සල්ලි කරන හැටි. මට මගේ වැඩිපුර ගාන ඕනේ, දුන්නැත්නම් තමයි රංගයා දැනගන්නේ මේ මංජු කවුද කියලා.”

තම කෝපය පිටකරන්නට මෙන් ඔහු මිට මොලවාගත් වමතින් සිය දකුණතේ අල්ලට ගැසුවේය. 



      ස්ටැන්ලිගේ මරණයට අදාළ පොලිස් පරික්ෂණ මන්දගාමීව සිදුවන බව පුවත්පත් වලින් මෙන්ම ස්ටැන්ලිගේ සම්බන්ධකම් තිබුනු දේශපාලනඥයින්ගෙන්ද පොලිස් දෙපාර්තුමේන්තුව වෙත අවලාද නැගෙන්නට විය. ඉහළ තනතුරු දරන නිලධාරින්ගෙන් එස් එස් පි මනෝජ් වෙත දැඬි ලෙස දෝෂාරෝපණ එල්ලවන්නට පටන් ගැනීමත් සමඟම ඔහු කඩිනමින් නාරද ඇමතුවේ වාර්තාව ඉක්මනින් ලබා දෙන ලෙස ඉල්ලමිනි. පසුදින උදේ අටට පමණ මහාචාර්ය නාරද බණ්ඩාර කොළඹ පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වාර්තා කළේ වාර්තාව බාරදී තමා හෙලිදරව් කරගත් ඉපැරණි බඳුනේ අරුම පුදුම විස්තරය පැවසීමටය. එහෙත් ඒ වන විට පොලිස් අධිකාරි මනෝජ් පෙරේරා කාර්යාලයේ නොසිටියේය.

“මහත්තයා ඔතනින් වාඩිවෙලා ඉන්න. ලොකු සර් දැන් ඒවි.” 

කොස්තාපල්වරයෙකු අසුනක් පෙන්වා කීවේය. පැයක් පමණ රැඳී සිටිය මුත් ඔහු එන පාටක් නැත. හේ අතේ බැඳ තිබූ ඔරලෝසුව දෙස කිහිපවරක් බැලුවේ නොවසිලිමත්බව මැඩගැනීමටය. තවදුරටත් කාලය කාදමමින් මෙහි රැඳීසිටිමේ තේරුමක් නැතැයි සිතූ නාරද අසුනින් නැගිට්ටේ වෙනත් වෙලාවක පැමිණීමේ බලාපොරොත්තුවෙනි. අලසකමින් එහා මෙහාවෙමින් සිටි පොලිස් කාර්යමණ්ඩලය එකවරම නිශ්ශබ්ද වෙමින් තම තමන්ගේ රාජකාරි කටයුතුවල නියැලෙන්නට විය. නාරද තම හිස ඔසවා විමසිලිමත් වූයේ එකවරම සිඳුව ගිය වෙනස කුමක්දැයි බැලීමටය. නිලයෙන් පහළ පොලිස් නිලධාරින් ගේ ආචාරය මධ්‍යයේ ගාම්භිර ගමනින් පැමිණි එස් එස් පි මනෝජ් ප්‍රොපෙසර් නාරද දැක තම ගමනේ වේගය මඳක් අඩාලකිරීය.

“ගුඩ් මෝර්නින් ප්‍රොපෙසර්, ඇවිල්ලා ගොඩාක් වෙලාද?”

“ඔව්, මම යන්නයි නැගිට්ටේ.”

“ඕ වෙරි සොරි ප්‍රොපෙසර්. යමුකො මගේ රූම් එකට. මම හිතුවේ නැහැ ප්‍රොපෙසර් මෙච්චර ඉක්මනටම උදෙන්ම ඒවිය කියලා. අද ස්ටැන්ලිගේ මර්ඩර් කේස් එකේ ඉන්වෙස්ටිගේෂන් වල ප්‍රෝග්‍රස් එක ගැන පොලිස්පතිතුමාගේ මීටින් එකක් තිබුනා. ඒකයි මට එන්න පරක්කු වුණේ. මේ මර්ඩර් එකට තාම කිසිම සැකකාරයෙක්වත් අත්අඩංගුවට ගත්තේ නැහැ කියලා පත්තරවලින් අපිට චෝදනා එල්ල කරලා තිබුනා. අනික ස්ටැන්ලිගේ රිලේෂන්ස්ලාත් ෆ්‍රෙන්ඩ්ලාත් ලොකු ලොකු පොලිටීෂන්ස්ලා. එයාලගෙන් පොලීසියට ලැබෙන බලපෑම් ගොඩාක් වැඩියි. ”

තම පුටුවේ හරිබරි ගැසී වාඩිවූ මනෝජ් නාරද දෙසට හැරින.

“මම ප්‍රොපෙසර්ට වාර්තාව ඉල්ලලා කතාකළෙත් මේ කේස් එක ඉක්මනටම ඉවරකරලා දාන්න අවශ්‍යය නිසා. මට කියන්න ප්‍රොපෙසර් මේ නැතිවුනු භාණ්ඩ ගැන කියන්න පුළුවන් මොනවාද?” 

“ඇත්තටම ඉන්ස්පෙක්ටර් මේ ෆයිල් එකේ විස්තරවලින් ෆොටෝ වලින් පුළුවන් වෙන්නේ අනුමාන කරන්න විතරයි. මේවා ඇත්තටම පුරාවස්තුද කියලා හොයා බලන්නනම් විශේෂ පරික්ෂණ කිහිපයක්ම සිඳුකරන්න වෙනවා. සමහර විට සරල පරීක්ෂණ වෙන්නත් පුළුවන්. ඒවාගේම සමහරවිට ඒවා විශේෂ පරීක්ෂණවලට ලක් කරන්නත් සිද්ධ වෙනවා.”

“ඔව් පරික්ෂණ කරන්න මේවා අපි ළඟ නෑනේ?”

“ඔව් ඒක තමයි ප්‍රශ්නේ. මේ ෆයිල් එකේ තියෙන බොහොමයක් ඒවා පුරාවස්තු ගණයට වැටෙන්නේ නැහැ. ඒත් ඒවා ඉහළ වටිනාකම් තියෙන පැරණි භාණ්ඩ වගයක් බවයි පෙන්නේ. මම පුරාවස්තු විදිහට සැක කරන කිහිපයක් මෙතන තියෙනවා. ඒත් පැරණි භාණ්ඩ කියලා ඒවා එහෙමම බැහැර කරන්නත් බැහැ. මොකද පැරණි භාණ්ඩත් පුරා වස්තූන් වෙන්න පුළුවන් නිසා. ඒවාගේම පුරාවස්තු විදිහටම බොරු පුරාවස්තුත් හදලා තියෙනවානේ. ඒවා මෙතන තියෙන්න පුළුවන් නේද?”

නාරද ප්‍රශ්නයක් මනෝජ් වෙත එල්ල කළේය.

“ඔයා කියන්නෙ අපිට මේ බඩු පිසිකල් ඉන්ස්පෙක්ට් කරන්න ඕනේ කියලාද?”

“ඔව්. ඒත් ඒක නෙමෙයි මෙතන තියෙන විශේෂම අභිරහස් වැඩේ.”

“ඒ මොකක්ද?”

“ඔය පින්තුරත් එක්ක තියෙන බඳුනේ පින්තුරේ බලන්න. රතු තීන්තෙන් සලකුනු කරලා තියෙන්නේ.” 

“මේ මැටි භාජනයක්නේ.”

“ඔව් මැටිවාගේ පෙනුනට මේකෙ පුරා විද්‍යාත්මකව තියෙන අගය කියලා නිමකරන්න බැහැ. මේ වාගේ බඳුන් යොදාගෙන තියෙන්නෙ ඊජිප්තුවේ පිරමීඩවල මමීකරණයට ලක්කරපු පාරාවෝවරුන්ගේ ශරීර කොටස් ආරක්ෂා කරලා තියාගන්නයි.”

“මොන පිස්සු කතාවක්ද මේ? ප්‍රොපොසර් කියන්නේ ඊජිප්තු පිරමීඩවල තියෙන බඳුන් මෙහෙ? ඒ කියන්නෙ ලංකාවේ තියෙනවා කියලාද? මේක ඒ බඳුනක්මයි කියලා කියන්නෙ කොහොමද?”

මේ මනුස්සයාගේ ඔලුව නරක්වී ඇතිදැයි සිතූ පොලිස් අධිකාරි මනෝජ් නාරද බණ්ඩාර දෙස සැකමුසු බැල්මක් හෙලුවේය. තම මුහුණට බෑරෑරුම් පෙනුමක් ආරූඬ කරගත් ඔහු ෆයිල් කවරයේ පින්තුරය දෙස මඳ වේලාවක් බලාසිටියේය.

“බලන්න මේ පින්තූර දිහා. මේ පින්තූර අපි අරගත්තේ කයිරෝ මියුසියම් එකෙන්, මේවා එක සමානයි නේද? අනික ස්ටැන්ලි මේ ගැන ෆයිල් එකේ රෙකෝඩ් කරලා තියෙන්නෙ මේක මුහුදෙන් හමුවෙච්ච දෙයක් විදිහටයි.”

“එහෙනම් මේ බඳුන අරගෙන යන්නද හොරු ආවේ?”

එසේ කී මනෝජ් තම මේසය මතට වැලිමිට ඔබාගෙන නළලට අතින් තට්ටු කරමින් කල්පනා කරන්නට විය.

“මමනං හිතන්නේ නැහැ මේ බඳුන මෙහෙම වටිනා එකක් කියලා කවුරුත් දැනගෙන හිටියයි කියලා.”

“එහෙනම් මොන කෙහෙල් මලකටද මේක ගෙනිච්චේ? අනික ක්ලාක්ගේ කට උත්තරේට දීලා තිබුනා මේ සේප්පුවල නිධන් වලින් ගත්තු බඩු වගයකුත් තිබුනයි කියලා. ඒ නිසයි අපි ඔබතුමාගෙන් මේ ගැන වාර්තාවක් ඉල්ලුවේ.”

“මගේ වාර්තාවේ සඳහන් වෙනවා මේවායේ නිධන් වලින් ගත්තු විදිහේ භාණ්ඩ නැතිබව.”

“මේ බඳුන මොකට පාවිච්චි කරපු එකක්ද?”

“මේවා ලී වලින් මැටියෙන් ගල්වර්ගවලින් රත්තරන් සහ රිදීවලිනුත් හදලා තියෙනවා. ඒ මිය ගිය කෙනාගේ තත්ත්වය සශ්‍රීකත්වය අනුවයි. කලානුරූපව මේවායේ හැඩයේ සුළු සුළු වෙනස්කම් ඇතිවුණත් බොහෝමයක් බඳුන් වල හැඩයේ සමානකමක් තියෙනවා. මේවාට ඉංග්‍රීසියෙන් කියන්නෙ කැනෝපික් ජාස් කියලායි. මේ වාගේ බඳුන් හතරක් යොදාගෙන අක්මාව, පෙණහලු, බඩවැල් සහ අමාශය තැන්පත් කරලා ඒවා සිරුරත් එක්කම සොහොන්ගැබේ තැන්පත් කරනවා.”

“ඉතිං මට නොතේරෙන්නේ මුං මොකටද මේ බඳුන අරගෙන ගියේ කියලා.”

“සමහර විට ස්ටැන්ලිගේ ක්ලාක් හරි වෙන කවුරුන් හරි මේ ගැන දැනගෙන ඉදලා හොරුන්ට ඉන්ෆොමේෂන් දුන්නාද දන්නේ නැහැ. නැත්නම් මේක මුහුදෙන් ගොඩ ගත්තු එකක් නිසා වටිනා කමක් ඇතැයි හිතලා සේප්පුවේ දාලා තිබ්බා. හොරු ටික සේප්පුව සුද්ද කරගෙන යනකොට මේකත් ඒ ගොඩටම වැටෙන්නත් ඇති.” 

“අපි ඒ ගැනත් සොයලා බැලුවා. ඔබතුමා කියන කතාව හරි වෙන්නත් පුලුවන්. අපි ක්ලාක්ගෙනුයි සහායකයාගෙනුයි ගොඩාක් ප්‍රශ්න කළා. එයාලගේ කටඋත්තර අනුව නම් හොරුන්ට ඉන්ෆෝමේෂන් දුන්නා කියන්න බැහැ. හැබැයි මේ බඳුනේ හරි වටිනාකම නොදන්න හොරුන්ට මේක සල්ලි කරන්න බැහැ. ඒ නිසා මේක දැනටමත් කොහේට හරි විසිකරලාද දන්නේ නැහැ.”

“මේක ඉක්මනටම හොයාගන්න වෙයි ඉන්ස්පෙක්ටර් මනෝජ්. මොකද මේ බඳුනේ පුරාවස්තුවක් විදිහට විශාල මිලකරන්න බැරි වටිනාකමක් තියෙනවා. මේක මේ හොරු ටික විනාශ නොකළොත් හොඳයි. ආ අනෙක් කාරණේ තමයි ඉන්ස්පෙක්ටර් මේක පත්තරවලට මාධ්‍යවලට යන්න දෙන්න එපා. එතකොට මේක හොයාගන්න අපහසුවෙන්න පුළුවන්.”

“ඔව් ඒක ඇත්ත ප්‍රොපෙසර්. අපි කිසිම මාධ්‍යකට මේ ගැන ප්‍රචාරය නොවෙන්න වඟබලාගන්නම්.”

“මගේ වර්තාවෙ මේ බඳුනේ විස්තරයත් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. අනෙක් භාණ්ඩ ගැනත් මට පුළුවන් උපරිමයෙන්ම ඒවායේ පුරාවිද්‍යාත්මක වටිනාකම් පිළිබඳව සටහන් යොදලා ඇති. තවදුරටත් මගේ සේවය අවශ්‍යය වෙන එකක් නැහැයි කියලයි මම හිතන්නේ. අවශ්‍යය නම් මට ඕනෑම වේලාවක කතාකරන්න.” 

“බොහෝම ස්තුතියි ප්‍රොපෙසර් නාරද. අපිට ඔබතුමාගේ සහාය ඉදිරියේදිත් අවශ්‍යය වෙයි මේවා හොයාගත්තොත්.”

“මටත් ලොකු උනන්දුවක් ඇතිවෙලා තියෙනවා මේක කොහෙන්ද හොයාගත්තේ කියලා දැනගන්න. මේවාගේ තවත් බඳුන් තුනකුත් තියෙන්න ඕනේ. අනෙක් කාරණේ තමයි සමහරවිට මේ බඳුන් එක්ක ඊජිප්තුවේ පාරාවෝ සෙහොන් ගැබක තිබුණු මමියක් ලංකාවට ගෙනැල්ලා තියෙන්නත් පුළුවන්.”

“එහෙනම් ඔබතුමාට පුළුවන්නේ අපේ ඉන්වෙස්ටිගේෂන් ටීම් එකට එකතුවෙන්න.”

“නැහැ ඒක ඔයාලට වාගේම මටත් කරදරයි. ඔයාලා වර්තමානයේ හොරුයි නැතිවුණු භාණ්ඩයි හොයාගෙන යන්නකෝ. මම අතීතයේ මේ බඳුන තිබුනේ කොහේද කියලා හොයාගෙන යන්නම්. මගේ වැඩේ අතීතය ගොඩදාන එකනේ.”

නාරද සිනාසෙමින් කීවේය.

“අපෙන් බාධාවක් නැහැ, ඔබතුමා කරගෙන යන්න. අපේ සහාය අවශ්‍යය වුණොත් මට කතාකරන්න. ඒවාගේම මට ඔයාගේ වැඩවල ප්‍රෝග්‍රස් එක නිතරම දන්වන්න. ඒක අපේ ඉන්වෙස්ටිගේෂන් වලට පහසුවක් වේවි.”

“බොහෝම ස්තුතියි ඉන්ස්පෙක්ටර් මනෝජ්. මට පුළුවන්ද ස්ටැන්ලිගේ ඇසිස්ටන්, ක්ලාක් එක්ක කතා කරන්න. එයා ඉන්න තැනක් හරි ටෙලිෆෝන් නොම්මරයක් හරි ලැබුනොත් පහසුයි.”

“ටෙලිෆෝන් නොම්මර නම් නැතිව ඇති මම ඇඩ්රස් එක දෙන්නම්. පී සි චමින්ද මේ මහත්තයාට අර ස්ටැන්ලි වික්‍රමපාලගේ මර්ඩර් කේස් එක ලියපු පොත බලලා ක්ලාක්ගේ ඇඩ්රස් එක දෙන්න.” 


එස් එස් පී මනෝජ්ට සමුදී අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් එළියට බට මහාචාර්ය නාරද විශ්ව විද්‍යාලය බලා ගියේ දේශනයක් පැවැත්වීම සඳහායි. සවස් වනවිට දේශනයේ කටයුතු අවසන්කරන්නට හැකිවූ පසුව වත්සලාගේ ලිපිනය සොයාගෙන අත්තිඩිය බලා රිය පැදෙව්වේය. අත්තිඩියේ පන්සල හන්දියෙන් ඇතුළට හැරී අතුරු පටුමඟක් ඔස්සේ ගොස් ලිපිනයේ වූ වත්සලාගේ නිවස සොයාගත්තේය. දොරට තට්ටු කිරීමේදී මිටි තරබාරු කාන්තාවක් අලස ගමනින් පැමිණියාය. 

“කාව හම්බවෙන්නද?” 

“වත්සලා ඉන්නවාද?”

“එයා දැන් බෝඩිමේ නැහැ.”

“ඇයි වැඩට ගියාවත්ද?”

“නැහැ එයා ගමේ ගියා.”

“ඇයි රස්සාවෙන් අස්වෙලා ද ගියේ?”

“නැහැ එයාගේ බොස්ව කවුදෝ මරලා දාලා කියලා එයා හරිම අප්සෙට් එකේ හිටියෙ. දැන් දවස් තුනකට කලින් එයා ගමේ ගියා.”

“එයා මෙහෙන් අස්වෙලාද ගියේ?” 

“නැහැ එයා වෙනින් රස්සාවක් වත් හොයාගන්න ඕනේ කිව්වා. ලබන සුමානෙ විතර එයි.”

“මට එයාගේ ගෙදර ඇඩ්රස් එක දෙන්න පුළුවනිද?”

“ඔය මහත්තයා කවුද කියලා කියන්න. අපි නොදන්න අයට මෙහේ ඉන්න අයගේ ඇඩ්රස් දෙන්නේ නැහැ.”

“මම එයාගේ යාළුවෙකුගේ අයියා කෙනෙක්.”

“ඉතිං එයා ගෙදර ඇඩ්රස් එක දීලා නැද්ද?” 

තරබාරු කාන්තාව තම සැක මුසු බැල්ම නාරද වෙත එල්ල කරමින් ඇසීය. බෝඩිමේ කාන්තාව තමන් සැක කළහොත් ඇයගෙන් ලිපිනය ලබාගැනීම අසීරුවන බව නාරදට වැටහුනේය. 

“මම වැඩ කරන්නේ විශ්ව විද්‍යාලයේ. මෙන්න මගේ විශ්ව විද්‍යාලයේ අයිඩෙන්ටි කාඩ් එක. මගේ නංගි හදිසියේ ගෙදරින් ගිහිල්ලා. වත්සලාගේ ගෙදරවත් ඉන්නවාද කියලා පොඩ්ඩක් හොයලා බලන්නයි හදන්නේ.”

“දැන් හැදෙන කෙල්ලෝ කිසිම කමකට නැහැ. ඉන්න මම දෙන්නම්. මම හිතුවේ මහත්තයා රහස් පොලිසියෙන්වත්ද කියලා.”

නාරදගේ බොරුවට රැවටුනු කාන්තාව දුන් ලිපිනය රැගෙන ඔහු ඉක්මනින්ම එතැනින් නික්මුනි.

මතුසම්බන්ධයි.......


Monday, May 10, 2021

හෝරස්ගේ දරුවා - දෙළොස්වන දිගහැරුම Son of Horus - 12

 


“මේවා කොහෙද පුරාවස්තුවෙන්නේ. පොලීසියටත් පිස්සු. ඔයා කවදාද මේ වර්තාව දෙන්න ඕනේ?”

ඈ ෆයිල් කවරය පෙරලා බලා ඇසුවාය.

“මේ මැරිච්ච වෙන්දේසිකාරයාට ලොකු ලොකු කන්ටෑක්ස් තිබිලා තියෙනවා. ඒවායින් මේ මර්ඩර් කේස් එක හොයන්න කියලා පොලීසියට ලැබෙන බලපෑම් වැඩියි. ඒ නිසා මේක ඉක්මනටම දීලා දාලා මගේ වැඩක් කරගන්න එක මගේ නුවණට හුරුයි.”

“ඔව් ඒකනම් හොඳයි.”

ඔහු තේ කෝප්පය තොලගාන ගමන් ෆයිල් කවරයේ වූ විස්තර හා පින්තුර සසඳා බලන්නට විය. 

“මේකේ තියෙන ගොඩක් ඒවා පුරාවිද්‍යාත්මක වැදගත් කමක් ඇති භාණ්ඩ ගණයට වැටෙන්නේ නැහැ.  සමහර ඒවා හොඳට පරික්ෂා කරලා බලන්නේ නැතිව කියන්නත් බැහැ. මොකද සමහර අය ඩුප්ලිකේට් කරපුවා පුරාවස්තුයි කියලා විකුණන නිසා.”

“ඒක තමයි ඔයා මේ ගැන පොලීසියට පැහැදිලි කළේ නැතිද?”

“නැහැ මං මේක එහිදි බැලුවේ නැති නිසා. හරි අපි මේවායේ නොම්මර දාලා ඒවායේ වටිනාකමක් ඇතිද නැතිද විතරක් සඳහන් කරලා දෙමු.”

ඔවුන් දිගටම මේ වාර්තාව සකසමින් සිටින අතර පියසෝම මුහුදෙන් සොයාගත් බඳුන නාරදගේ ඇස ගැටුණි.

“මේ බලන්න කුමාරි මොකට මේ බුජම උන් අරගෙන ගිහිල්ලාද මන්ද?”

“සමහරවිට මේක නිධානයකින් ගත්තු එකක්ද දන්නේ නැහැ. රත්තරං හරි මැණික් හරි පුරවලා තිබ්බ.” 

ඇය සිනාසෙමින් පැවසුවාය. 

“මේ බඩු ඔක්කෝම තිබිලා තියෙන්නේ සේප්පුවේ. ඉතිං ඇයි මේ මැටි භාජනේ සේප්පුවේ දාලා තියෙන්නේ?”

“එහෙනම් මේක ගොඩාක් වටිනවා ඇති නාරද.”

“මේක පෙනුමෙන් නම් ලංකාවේ එකක් වාගේ නොවෙයි. මං මේ වාගේ එකක් දැකලා තියෙනවා කියලා මතකයක් එනවා. කුමාරි බලන්න මේ රේකෝඩ්ස්වල.”

“මේක අරගත්තු තැනක් නම් ලියලා නැහැ. හැබැයි අරගෙන නම් වැඩි දවසක් නැහැ. ආ මේ බලන්න මේක හමුවෙලා තියෙන්නෙ මුහුදේ තිබිලා කියලයි ෆයිල් එකේ ලියලා තියෙන්නේ.”

“මුහුදේ තිබිලා? මේක මට හොඳට පුරුදුයි.” 

නාරද ඡායාරූප හතරක් එක පෙළට පෙළගස්වා ඒවා දෙස විමසිලිමත්ව බලාසිටියේය.

“කුමාරි මේක ටිකක් විශේෂයි වාගේ.” 

“ඇයි නාරද මේක නිධන් කරපු භාජනයක්ද?”

“මේක මම කොහේදි හරි දැකලා තියෙනවා හැබැයි ඒ ලංකාවේදි නම් නෙමෙයි.”

“මේ බලන්න නාරද මේකේ විශේෂයක් ඔයා දකින්නේ මේ පියනේ තියෙන මුණක් වාගේ කොටස නිසා වෙන්න පුළුවන්.”

“ඔව් ඒක හින්ද තමයි මට මේක විශේෂයෙන්ම මතකයට එන්නේ. මුණ මොකක්ද කියලා හරියට බලාගන්න බැරි මුහුදේදි ඛාදනය වෙලා තියෙන හින්ද වෙන්න ඇති. අනික බදේ අකුරු විශේෂයක් කොටලා තියෙන බවක් දකින්නට තියෙනවා. ඒත් මේ ෆොටෝස් වලින් හරියට ක්ලියර්ව බලාගන්න බැහැනේ.”

මහාචාර්ය නාරද බණ්ඩාරට යමක් මතක්වූ ලෙසින් කුමාරි ඇමතුවේය.

“කුමාරි ටක්ගාලා මගේ ලැප්ටොප් එක අරගෙන එන්න. අපි ඉන්ටනෙට් එකෙන් සර්ච් කරලා බලමු.”

කුමාරි ලැප්ටෙප් පරිගණකය රැගෙන Jars  යනුවෙන් සර්ච් කරන්නට සැරසුනි. 

“වැරදියි වැරදියි ඔයා කළ විදිහ. ඉස්සෙල්ලා අපි මේ වාගේ බුජමවල් වල පින්තුර තියෙනවාද කියලා හොයමු. ඔයා ගූගල්වල ඉමේජර්ස් වලින් Jars  කියලා ටයිප් කරලා සර්ච් කරන්න.” 

පරිගණක තිරයේ විවිධ වර්ගයේ බඳුන් රාශියක් පෙන්නුම් කරන්නට විය. ඔවුන් එම පින්තූර එකින් එක පිරික්සන විටදී තමා ළඟ තිබෙන බඳුනට සමාන හැඩයේ බඳුන් පෙළක පින්තූර දිස්වෙන්නට විය. 

“බලන්න කුමාරි මේ ෆොටෝ එකේ තියෙන බුජමට සමානයි නේද? මම කිව්වේ මට මතකයි කොහේදි හරි දැකලා තියෙනවා කියලා. බලන්න නම මොකක්ද තියෙන්නේ කියලා.”

“ඒකේ තියෙන්නේ කැනොපික් ජාස් (Canopic Jars)  කියලා.”

“එහෙනම් දැන් ඉමේජර්ස් වලින් අයින්වෙලා කැනොපික් ජාස් (Canopic Jars)  කියලා ටයිප්කරලා සර්ච් කරන්නකෝ.” 

“ආ මේ තියෙන්නේ.”

“හරි හරි දැන් මතක් වුණා මේ වාගේ බුජම් තිබුනා ඊජිප්තුවේ කයිරෝ මියුසියම් එකේ.”

“ඔයා හරි මේ බලන්න මේවා පිරමිඩ්වල තැන්පත් කරලා තිබිලා තියෙනවා.”

“ඕක බලන්න ඕනේ නැහැ. මා ගාව පොතක් ඇති මම ඒක අරගෙන එන්නම්.”

නාරද වහාම තම පුස්තකාලයට වැද එහි තිබූ හම්බැම්මෙන් බැඳ ඇති විශාල පොතක් රැගෙන ආවේය.

“මේ බඳුන වැදගත් වෙන්නේ මමීකරණය (Mummification)  කරද්දියි.”  

ඔහු මමීකරණය (Mummification)   කොටස පෙරලාගෙන  

“ඊජිප්තුවේ මමීකරණයට ලක් කරලා තියෙන්නේ විශාල වශයෙන් රජවරුනුත් රැජිනියනුත් තමයි. ඒත් ඒ එක්කම හමුවෙලා තියෙනවා රජවරුන්ගේ සොහොන් ගැබ්වලට ආසන්නයෙන් ප්‍රභූවරුන්ගේ හා ඔවුන්ගේ සුරතල් සතුන්ද මමීකරණයට පත්කරලා තැන්පත් කරපු සොහොන් ගැබවල්. පුජකයින් තමයි විශේෂිත පුද්ගලයෙක් මිය ගියාම මමීකරණයට පත්කරන්නේ. එයාලා මුලින්ම නයිල් ගංගාවේ වතුරින් සිරුර නහවලා පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ තමයි මේ බඳුන් වැදගත් වන්නේ.”

“ඒ මොකටද?”

“පුජකයින් මුලින්ම කළේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඉවත් කරපු එක. හැබැයි ශරීරයේ හදවත විතරක් ඉතුරු කළා.”

“ඇයි හදවත විතරක්?”

“මොකද එයාල විශ්වාස කරනවා ඒ මියගිය තැනැත්තා මලවුන්ගේ ලෝකය (Under World)  හරහා ගමන්කරනවා කියලා. එහිදී තමයි හදවත වැදගත් කියලා සලකන්නෙ, ඊළඟ ජීවිතයට තමන් කරපු හොඳ නරක පිළිබඳව විනිශ්චයකට එන්න හදවත අවශ්‍යයි කියල එයාලා හිතපු නිසා. මොළය ඉවත් කරන්නේ නාසය තුළින් කූරක් යවලා. ඊට පස්සේ මියගිය පුද්ගලයාගේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඒ කියන්නේ අක්මාව, පෙණහලු, අතුනු බහන් හා ආමාශය අයින් කරලා ඒවා වෙන වෙනම හණ රෙදිවලින් ඒ කියන්නේ ලිනන් වලින් ඔතලා හොරස්ගේ පුත්තු හතරදෙනාගේ ( Four sons of Horus) බඳුන්වලට දානවා. මේ බඳුන් වලට දුම්මලයි ලාටුයි පවිත්‍ර කරගත් තෙල් වර්ගයි පුරවලා ඒවා අමරණීය කරගන්නවා.”


“කවුද මේ හෝරස්? පුත්තු හතරදෙනා කවුද?”  

“හෝරස් (Horus)  කියන්නේ මනුෂ්‍ය සිරුරක් තියෙන උකුසු මුහුණක් ඇති අහසට සහ හිරුට අධිපති දෙවියායි. ඒත් මේ පුත්තු හතරදෙනා කියන්නේ මේ බඳුන් හතරටයි. එක්කෙනෙක් තමයි හාපි (Hapi)  එයාට තියෙන්නේ බැබුන් හිසක්. එයා තමයි මියගියකෙනාගේ පෙණහලු ආරක්ෂා කරන්නේ. දෙවනියා තමයි ඉම්සෙටි (Imsety)  එයාට තියෙන්නේ මනුෂ්‍ය හිසක්. එයා තමයි අක්මාව ආරක්ෂා කරලා තියාගන්නේ. ඊළඟට ඩුවාමුටේෆ් (Duamutef)  ආමාශය රැකබලාගන්නේ එයා තමයි. එයාට තියෙන්නේ නරියෙකුගේ මුහුණක්. අන්තිමයා ක්බේෂ්සෙනුෆ් (Qebehsenuef) එයාටනං තියෙන්නේ තාත්තාගේ මුහුණමයි ඒ කියන්නේ උකුසු මුහුණයි. එයා අතුනුබහන් ආරක්ෂා කරනවා. ඔයා දන්නවාද කුමාරි මේ හතරදෙනා සතර දිශාව නියෝජනය කරනවා කියලා.”





“ඒ කොහොමද?”

“හාපිට උතුරු දිශාවයි ඩුවාමුටේෆ්ට නැගෙනහිරයි ඉම්සෙටිට දකුණු දිශාවයි ක්බේෂ්සේනුෆ්ට තමයි බස්නාහිර දිශාව අයත්වන්නේ.” 

“එහෙනම් මේ පින්තුරයේ ඉන්නේ හෝරස්ගේ පුතෙක් නේද?”

“අන්න ඔයාට දැන් තේරුනා.”

“ඉතිං නාරද ඊජිප්තුවේ පිරමීඩයක හරි සොහොන්ගැබක හරි තිබ්බ මේ බඳුන් වලින් එකක් විතරක් කොහොමද ලංකාවට ආවේ?”

“ඔන්න දැනුයි ප්‍රශ්නේ පටන්ගන්නේ. මොකද මේ පොතේ හැටියට නම් හෝරස්ගේ පුත්තු හතරදෙනා එකට තියලා තියෙන්නේ කැනොපික් චෙස්ට් (Canopic Chest) එකක් ඇතුළේ. ඒ කියන්නේ මේ බඳුන් හතර තවත් පෙට්ටියක දාලා මියගිය කෙනාගේ මෘත ශරීරයත් එක්ක සොහොන්ගැබේ තැම්පත්කරලා තියෙනවා. ඉතිං මේවාගේ කැනොපික් ජා එකක් විතරක් ලංකාවට ආවේ කොහොමද? එහෙමනම් මේකත් එක්ක අනෙක් බඳුන් තුනත් මෙහේ තියෙන්න ඕනේ.”

“අනෙක් තුනත් තියෙනවානං ඊජිප්තුවේ මමියකුත් තියෙන්න ඕනේ.”

“ඔව් ඒකත් කියන්න බැහැ. ඒත් කවුද කුමාරි ඊජිප්තුවේ ඉඳලා ලංකාවට මමී අරගෙන එන්නේ?”

“ඒත් නාරද මේවායේ වටිනා දෙයක් නෑනේ.” 

“රජවරු මිය ගිහිල්ලා එයාලගේ සිරුර තැන්පත් කරද්දී එයා ජීවත්ව ඉන්නැද්දී පාවිච්චිකළ සියල්ලක්ම සොහොන් ගැබේ තැන්පත් කළා යළිත් ආත්මයක් ලැබුනාම පාවිච්චියට ගන්න. සමහරු මේවා රත්තරං වලින් හදලා තිබ්බා. මතකද ටුටන්කාමුන් රජතුමාගේ සොහොන් ගැබේ තිබුන භාණ්ඩ?”

“නිධන් කරපු වස්තු ගන්න හොරුන් ගොඩාක් සොහොන් ගැබවල් මංකොල්ලකෑවා එහෙම නේද?”

“ඔව් සමහරවිට එහෙම මංකොල්ලකාරයන්ට අහුවුනු මමියක් හරි කැනොපික් චෙස්ට් එකක් හරි ලංකාවට ආවාද දන්නේ නැහැ.”

“එහෙම නැතිව මේක ඒවාගේ හදපු බොරු එකක්ද දන්නේ නැහැ.”

“හරි බලමුකෝ කුමාරි මේ පින්තූරවලින් අපේ බඳුනත් මේවාගේමද කියලා. හෝරස්ගේ කීවෙනි පුතාද කියලත්.” 

නාරද තම පරිගණකය ආශ්‍රයෙන් කැනොපික් ජාස් වල පින්තූර රැසක් ලබාගත්තේය. 

“මට පේන්නේ නාරද මේ ඉන්නේ හාපි හරි ඉම්සෙටි හරි වෙන්න ඕනේ.”

“ඔව් අනෙක් දෙක නම් වෙන්න බැහැ. මේ පින්තූර වල හැටියට නම් මේ බඳුනත් ඊජිප්තුවේ එකක්මයි. ඒත් මේක අතට අරගෙන පරික්ෂණයක් කරන්නේ නැතිව හරියටම කියන්නත් බැහැ. සමහරවිට මේක කවුරුහරි දන්න කෙනෙක් ඉමිටේට් කරපු මගඩියක්ද දන්නේ නැහැ.

මට හිතෙනවා කුමාරි මේ බඳුන හමුවෙච්ච මුහුදු ප්‍රදේශය හොයාගෙන යන්න.”

“ඒක නම් ලේසි වැඩක් නම් නෙමෙයි.”

“එහෙම මුහුදු ප්‍රදේශය දැනගන්න හමුවුනොත් අපිට පුළුවන් වෙයි අනෙක් බඳුන් තුනත් හොයාගන්න. අලුත් පුරාවස්තූන් හොයාගන්නත් ඒවාගෙම ඉතිහාසයේ අපි නොදන්නා පැත්තක් හොයාගන්නත් පුළුවන්වෙයි නේද?”

“දැන් ඔය බඳුන ගැන හොයන්නේ නැතිව මේ වාර්තාව ඉක්මනටම ඉවරකරලා දාන්න.”

කුමාරි පුටුවෙන් නැගී සිටිමින් කීවාය. වසර ගණනාවක් පැරණි පුරාවස්තුවක් මහ පොළව කැන සොයාගත්තාක් වැනි ප්‍රබෝධමත් ජයග්‍රාහී හැඟුමකින් නාරදගේ සිත පුරවාලන්නට විය. ඔහු එදින නින්දට ගියේ වාර්තාවේ කොටසක් ඉවර කිරීමෙන්ය. 


          ස්ටැන්ලි වික්‍රමපාලගේ මරණය සිදුකරමින් මුදල් හා වටිනා බඩු භාණ්ඩ කොල්ලකා පැනගිය කල්ලිය මෙහෙයවූයේ රංග නැමති ආරක්ෂක අංශයේ සේවයෙන් පලාවිත් හුන් අවුරුදු විසිපහක තරම් ළාබාල හීන්දෑරි තරුණයෙකි. ඔහු හා එක්වූ මංජු ඉක්මනින් කිපෙන සුළු මෙයට පෙර මංකොල්ලයන් කිහිපයකට සහභාගිව පොලිසියට කිසිවිටෙකත් හසුනොවුනු පුද්ගලයෙකු වූයේය. අනෙක් තරුණයන් තිදෙනාද මෙයට පෙර සුළු සුළු හොරකම්වල නිරතවූවන් වුවත් මෙසේ සංවිධානාත්මක ලෙසින් කිසිවක් කර නොතිබූ අතර මෙතෙක් පොලිස් ඇසට හසුවන තරම් අපරාධයන් කළ පුද්ගලයින්ද නොවීය. ඔවුන් මෙලෙස එක්වූ පසු සංවිධානාත්මක ලෙස කළ විශාලතම මංකොල්ලය මෙයද විය. තම කණ්ඩායමේ ප්‍රථම ගේම් එක සාර්ථකව අවසන්කර අවසන් මොහොතේදී මංජු මනුෂ්‍ය ඝාතනයක් සිඳුකරලීම ගැන රංග සිටියේ බොහෝ කෝපයෙනි. තම කණ්ඩායම සමඟින් මංජුගේ අතුරුගිරියේවූ නිවසට පැමිණි පසු රංග මංජු වෙත අතදිගහැර කම්මුල් පහරක් එල්ල කළේ අනෙක් තිදෙනා විස්මයෙන් මුව අයා බලාසිටිද්දීය.

“පර බල්ලා, යකෝ තොට කියලා තියෙනවා නේද ආයුධ ගත්තාට මිනිස්සු මරන්න එපා කියලා. දැන් ඉතිං හැංගෙන්න තැනක් හොයා ගනිල්ලා. පොලීසිය පිස්සු බල්ලෝ වගෙ දැන් අපේ පස්සේ පන්නන්න ගනියි.”

රංගගේ කම්මුල් පහර තම අභිමානයට පහරක් වූවත් එයට විරුද්ධව කිසිවක් නොකියා රතුවීගිය දෙනෙතින් යුතුව මංජු රංග දෙස කෝපාග්නි විසුරවමින් බලාසිටියේය. තව වචනයක් හෝ කීවොත් ගුටි වරුසාවක් ඒකාන්තයෙන්ම ලැබෙන බව දන්නා සියල්ලෝම රංගගේ කෝපය නිවෙනතුරු නිහඬව සිටියෝය. බුර බුරා නැඟ එන කෝපය මැඩගනු වස් රංග සිගරට්ටුවක් දල්වාගෙන නිවසින් එළිමහනට ගියේ පොලිස් උකුසු ඇසින් බේරීම ගැන සිතමින්ය. ඒ අවස්ථාවෙන් මංජු හා අනෙක් සගයන් කොල්ලකාගත් මුදල් හා අනෙකුත් භාණ්ඩ තෝරාගන්නට විය. භාණ්ඩ බෙදාගැනීමේදී එකිනෙකා පරයා ගැටීමෙන් ඇතිවූ ඝෝෂාව කන වැකුනු රංග වහා නිවෙස තුළට පැන්නේ එය වළක්වමිනි. අන්තිම සිගරට් උගුරත් උරා දොරින් පිටතට විසිකල රංග කෑගැසීය.

“යකෝ දැන්මම පදිරි වෙන්නද කෑගහන්නේ. මෙහෙට ගනින් සල්ලි ඔක්කෝම. කීයක් තියෙනවාද මෙතන?”

“ලක්ෂ දහයක් විතර.”

“හරි මෙන්න උඹලාට ලක්ෂ දෙක ගානේ. හැබැයි ඔක්කෝම සල්ලි දැන්ම නෙමෙයි.”

“එහෙම හරියන්නේ නැහැ රංග අයියා.”

මංජු එයට විරුද්ධ වෙමින් කීවේය.

“හරියන නොයන එක මම දන්නවා. තොපිලා දැන්මම මේවාට මරාගන්න හදනකොට. මේ සල්ලි අරගෙන පිස්සු කෙළියි. එතකොට නිකම්ම අපි පොලීසියට මාට්ටු. ඒක නිසා දැන් පනස්දාහ ගානේ දෙන්නම් පස්සේ ඉතුරු සල්ලි ටික බේරමු. හැබැයි මේ සල්ලි වලින් වැඩි වැඩ දාන්න බැහැ. වෙනදා හිටියා වාගේ හිටපල්ලා මේ උණුසුම යනකං.” 

ඒ යෝජනාවට මංජු ඇතුළු අනෙක් සගයන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.

“රංග අයියා මේ ප්ලෑන් එක ඇන්දෙ මම. ඒ නිසා මට වැඩිපුර ගාණක් එන්න ඕනේ.”

අනෙක් තිදෙනාද මේ කතාව ඇසුවායින් පසුව රහසින් මෙන් මුමුනන්නට විය.

“යකෝ උඹ වැඩේ හරියට කළාද? තව මිනියකුත් මරලා වැඩිපුර ගාණක් ඉල්ලනවා. තෝ හින්ද අපේ බෙල්ලට තොණ්ඩුව වැටිලා කියලා හිතෙන්නේ නැද්ද?”

සල්ලි මිටි කිහිපය අතේ තබාගත් රංග ටික වේලාවක් ඒ දෙස බලාගෙන කල්පනාවට වැටුනේය. යළි කල්පනාවෙන් මිදුන ඔහු දිගු හුස්මක් පිටකරලීය.

“උඹලා දැන් හිතනවා ඇතිනේ මම මේ සල්ලි ඔක්කෝම ටික අරගෙන මාරු වෙයි කියලා. මට උඹලාගේ සතයක් වත් එපා. ඉඳා ගනිල්ලා මේ සල්ලි. හැබැයි උඹලා මේ සල්ලි සුද්දෝ වාගේ වියදම් කරන්න හදලා පොලීසියට මාට්ටු වෙන්න එපා. මංජු උඹට වැඩිපුර ඕනෙ නම් මම දෙන්නම් හැබැයි මේ සල්ලි වලින් නෙමෙයි. මේ බඩු ටික සල්ලි කරලා ඉවරවෙලා. කෝ ඔක්කොම බඩු මෙතන තියෙනවාද? දාපල්ලා හංගගත්තු ඒවා.” 

“මේ මොකද්ද මේ මුට්ටිය?”


මතුසම්බන්ධයි...




කොළොම්පුරයාගේ වෙසක් කූඩු කතා වස්තුව

 වෙසක් සිරියෙන් රටම බබලන්න මැයි මාසේ උදාවෙලා තියෙද්දි කොළොම්පුරයාගේ මතක ගබඩාවේ දුහුවිල්ලෙන් වැසිලා ගිහින් තිබුන පරණ සිද්ධියක් මතකයට නැගුනා. ...