Wednesday, March 21, 2018

කාකිසුට් නරිනාටක


ඔන්න එකොමත් එක දවසක වැඩට යන්න කම්මැලි හිතුනා. එදා ඉතිං නිවාඩුවක් කාරිය දාලා ගෙදර ඉන්නැද්දි මගේ බොක්කක්වුනු  පාපමිත‍්‍ර ඥාතියෙත් ගෙදරට කඩා පාත්වුනා. මිනිහා නෑයෙක් වෙලා පාපමිත‍්‍රයෙක්වුනේ හිරයක් ගත්තාට පස්සේ. මේ බුවා හදිසියේ ගෙදරට කඩාවැටුනේ කොළඹ ගිහින් එන ගමන්ලු. පොරට අවුරුදු ගනනාවක් වාතවෙවි බලං හිටපු රට රස්සාව හරි ගිහිල්ලා විසා එකපාස්පෝට් එකේ ගහගෙන එන ගමන් කිව්වා. එතකොටත් වේලාව ඇති උදේ එකලොහ පහුවෙලා. මිනිහා මජ්ජසාරයා එක්ක මාර ඔරෝප්පුවක් තියෙන්නේ. අහුවෙන්නේ කොහේද කොතැනද කියලා බලන්නේ නැතිව මෑන් බලන්නේම මජ්ජසාරයාට ගහන්නයි.
"අයියේ ගහමුද"
"කාටද බං?"
"මජ්ජසාරට"
"මේ ගිනි දවල්?" 
"දවල්ද හවසද වැඩක් නෑ බං ගහමු" 
"මොනාද ගහන්නේ බං මේ ගිනි දවාලේ මජ්ජසාරට ගහන්න බෑ බං"
"මජ්ජසාර ඔනේ නෑ එහෙනම් සුලුදිය වඩනට ගහමු"
මජ්ජසාර කිව්වාම බොක්කත් ඉක්කා ගහන්න ගත්තා. මමත් ඔනේ වෙඩිං එකකට රෙඩිවෙන බුවා නිසා ඉක්මනට කුස්සියට දුවලා ගිහිල්ලා පැන්ටි‍්‍ර කබඩ්එකෙන් ගෙදර යන ගමන් රෙදි බෑග් එකට හිස් සුලුදියවඩන හතරක් දාගත්තේ ගෘහමුලිකයා දකින්නත් කලියෙන්. සුලුදිය වඩන එකට එක වැදිලා නගපු කන්කලු නාදේ ඇහුනාට තමන්ගේ ඥාතියා නිසා මුකුත් කියන්න බැරිනිසා උන්දැත් ඉතිං කරබාගත්තා නොවැ. ඔය අපේ ගෘහමුලිකයා හැමදේකටම බාල්දිය උදැල්ල දැම්මාට එයාගේ ඥාතිමිත‍්‍රාදියන්ගේ වැඩක් නම් නැසුනා කන් ඇතිව සිටිම මගෙත් ඉතිං වාසියට කරුණුකාරනා යෙදෙනවානේ.කොහේද යන්නේ කියලාවත් ඇහැව්වේ නෑ කියහල්ලාකෝ. බරස් ගාලා බුවාපල්සර් දඩුමොනරේ කරකවලා ගත්තා මාත් රෙදි මල්ල උරේ එල්ලාගෙන පිටිපස්සෙන් එල්ලුනේ නැතැයි. සුලුදිය වඩන හතර ආයෙමත් එකට වැදිලා ලාස්සන මිහිරි කන්කළු හඩක් පිටකලා.  මොනවාද මේ කියන්නේ ඒ සිත් පිනායන හඩ  අහන් ඉන්නත් ආස හිතෙනවා. දඩුමොනරේ පැන්නවා කෙලින්ම හන්දිය පැත්තට එතැනින් සීතල බේරෙන කූල්ම කූල්සුලුදිය වඩන හතරක් එහෙම අරන් ආයෙමත් පියෑබුවා. ඔන්න ඉතිං ගල්කිස්සේ සුපරි සුපර් මාරකැට්ටුව එක ලගින් දුමිරියපොල පාරට බයික් එක බුවා හැරව්වා.

"කොහොද බං මේ යන්නේ?"
"බිච් එකට "
"බිච් යන්නේ මොකටද අපේ ගෙදර යමං"
"පිස්සුද බං උබේ ගෙදර ගහන්න බෑ. "
"ඇයි වෙනදත් ගහන්නේ"
"වෙනදා වගේ නොවෙයි බං අද අපේ නැන්දා එහේ එන කතාවක් කිව්වා."
"ඉතිං මොකෝ?"
"බෑ බං ඔය ගෑණි හැම තැනම කියයි උඹයි මමයි දවලුත් ගැහැව්වා කියලා."
"එහෙනම් කොහේද යන්නේ?"
"යමුද බිච් එකට" 
"මේ දවාලේ කොහොමද බං බිච්එකේ ඉන්නේ?"
"පොඩ්ඩක් අව්ව තිබුනාට මොකෝ බං යමං බං"
"මේක බොන්න මොනාද බං ගන්නේ?"
"ගෙදරදවල්ට කන්න උයපුවා ඇති මොනවා හරි එක්ක බොමු."
"එවා ගන්න ආපහු යන්න බෑ බං ඔන්න ඔය කඩේකින් මොනවා හරි ගමු"

බුවා සුපිරි සුපර් මාර්කැට්ටුව ගාව බයිසිමොටෝව හිටෙව්වා. ඔය හිටෙව්වේ අලවංගුවකින් හාරලා පැල ඉන්නක් ඉන්දනවා වාගේ එහෙම නොවෙයි අර පැති ස්ටැන්ඩ් එක ගහලා. ඔය සුපිරි සුපර් මාරකැට්ටුවත් හරි ගල්කිස්ස හන්දියත් හරි පුකයි අම්බුඩේ වගෙයි තමයි. ඒ ගැන වචනයක් දෙකක් නොකිව්වොත් හරි නෑනේ. ඔය ඇම් සී කෙස්කැට් එන්න කලියෙන් තිබ්බ සුපිරි සුපර් මාරකැට්ටුවක් තමයි ඒක. ඒකාලේ සුපිරියටම තිබුනා. ඒ සන්දියේ ලලිත් ඇතුලත්මුදලි ලොක්කා තමයි රත්මලාන ආසනයේ පාරලිමෙන්තුවේ මන්ත‍්‍රි වෙළද වරාය හා ආරක්ෂක ඇමතිතුමා. දැන් නම් කිසිම දේසපාලුවෙක් නැතිව ආසනේම අනාතවෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතිං උන්දෑගේ කාලේ තමයි මේ සුපර් මාරකට්ටුව හදලා විවෘත කලේ. ඒකාලේ මමත් පොඩි හිච්චි එකා වෙලත් මේ සුපර් මාරකට්ටුව විවෘත කරපු දවසේ ඒක බලන්න ගියා මතක තියේනවා. බලන්න එපැයි ඒකේ ලස්සන. මැද තිබුන පොන්ඩ්එකේ අඩියක් විතර විශාල කාෆ්ලා ටෙනිස් බෝල සයිස් ගොල්ඩ් ෆිස්ලා පිරිලා හිටියා. දැන් නම් කොලපාට පල්වෙච්චි වතුරේ සාරිගප්පිත් එක්ක ඉස්ගෙඩියෝ සහජිවනයෙන් ඉන්නවා දකිනකොට මාරම සංහිදියාවක් හිතට දැනෙනවා. ඇතුලේ තියෙන සතොසට ගොඩවෙලා  සිත් සතොසින් එන්න හිතෙන්නේ නැති තරමට ජරාවාස වෙලා ගිහිල්ලා. අසුහතේදි ජේ ආර් පප්පා රජිව් ගොයියා එක්ක සාම ගිවිසුම ගහද්දි ජාතිආලෙ ආතල් එකෙන් චූන් වෙච්චි අපේ මිනිස්සු එහා පැත්තේ පාක් කරලා තිබුන ගිනි නිවන රතේට මුලින්ම පත්තුකරලා පස්සේ සුපර් මාරකැට්ටුවටත් ගිනි තිබ්බා. ඊට පස්සෙත් කිහිප වතාවක් ගිනි ගැනිලිද ගිනිතිවිලිද මන්දා එහෙම උනත් තාමත් අලාභහානියක් නොවෙච්චි ගානට මාරකැට්ටු උන්දෑ හන්දිය මැද්දෑවේ විරාජමාන වෙලා ඉන්නවානේ බොලං.  

ඔං ඉතිං ඒ ලග කඩේකිං අනිකුත් අනුපාන අඩුමකුඩුම එහෙමත් අරගෙන පල්ලම් බැහැගෙන බිච් එකට ගොඩවුනානොවැ. ඔය ගල්කිස්සේ මහ හොටලේ ආසන්නයෙ තියෙනවා තව හෝටලයක් තට්ටු පහක් විතර උස ඇති. ඔ්කටත් අපේ ජාතිආලකාරයෙත් එක්ක තියෙනවා මාරම සහසම්බන්ධයක්.  අසුතුනේ කළු ජූලියේ නැත්නම් දෙමළ කොලාහලේදි අපේ ජාතිආලේ චූන් එක ඉහට ගැහුව ගොයියලා ඒකත් පුච්චලා දැම්මා.අසු අඅට අසුනමය අනුව භීෂන කාලේ ඔය හෝටලේ නවාතැන් අරන් හිටියේ හමුදාව. පස්සේ කාලෙක හමුදාව අයින්වෙලා ගියාට පස්සේ පිචැර් දෙකතුනක ගුටි ඇනගන්න  සීන් එහෙමත් ඔය හොටලේ ඇතුලේ අරගෙන තිබුනා. අලුත් පරම්පරවේ උන් දන්නේ නැතිවුනත් හොල්මන් ගුහාවක් වාගේ තියෙන මේ හොටල් රාජයා මුළු ගල්කිස්ස වෙරළ තිරයටතාමත් අර ජරා ගදගහන අතිතය මතක්කරනවා. ඔන්න එතැන ඒ හොටලේ ලග අපේ දඩුමොනරේ පාක් කෙරුවා. හෙල්මට් දෙකත් බයිසිකලේ හැඩල් එකේ එල්ලලා සුලුදිය වඩන මල්ලත් උරහිසේ එල්ලාගත්තු මම අපේ බුවා එක්ක රේල් පාර කොස් කරලා ගල්වැටියේ පැතැලිවෙච්චි ගලක් හොයාගෙන ඒක උඩින් ඈදිගත්තා. හුටා දැන් මොකෙන්ද සුලු දිය වඩන බෝතලේ කඩන්නෙ. මුඛයේ දන්ත කල්්‍යාණය කඩා ගන්නේ නැතිව බොහොම අමාරුවෙන් බොතල් දෙක ඇරගෙන කාරිය ඔන්න බුවත් මමත් වෙරිවේවා කියලා සුබ පතාගෙන සුළුදිය වඩන පානය කොරන්න පටන් ගත්තා. 

අඩුම කුඩුම  එහෙම මල්ලෙන් අරගෙන හප හපා අපි දෙන්නත් ඉතිං බර කයියක් එහෙම ගහන් ඉන්න අතරේදි අව්ව සැරට ඇස් නිලංකාර වෙලා කලන්තයක් කාරිය අල්ලාපු කෙල්ලන්ව වත්තන් කරගෙන කොල්ලෙක් දෙන්නෙක් අමාරුවෙන් අමාරුවෙන් රේල්පාර පැනලා ගල්වැටිය දිහාවට පියමං කරනා අන්දමත් ඇස්ගෙඩි දෙකටම මිටර්වුනා. අමාරුවෙන් යද්දි සිල්පරන්කොටයක පය ටැපලිලා දොක්කා උනොත් එහෙම උදව්කරන්න අපේ හිතේ තියෙන මනුස්සකමට බැලුමා මිසක් වල් කමට බැලුවානොවෙයි මේක කියවන උඹලා පල්ලා අනේ සත්තයි.ඔය අස්සේ ඔන්න තවත් කොල්ලෝ තුන් දෙනෙක් එහෙම අපිව පාස් කොරගෙන මහහොටලේ පැත්තට ගිහිල්ලා ගල්වැටියේ ගලක් උඩින් ඈදිගත්තා. උන් ඇවිල්ලා තිබුනෙත් සුළුදිය වඩන කෑන් දෙකතුනකට වගකියන්න විත්තිය අපේ මිටර් එකට වැටුනත් උඹලා උඹලාගේ වැඩේ කරපල්ලා අපි අපේ වැඩේ කරන්යන්නම් කියලා අපි අපේ වැඩේ කරගෙන ගියා. කොතැන ගියත් එරියල් වටේට රෙඩාර් එක දාගෙන ඉන්න මගේ හැටියක් නිසා වෙන්න ඇති මහ හොටලේ පැත්තේ ඉදන් රේල් පාර දිගේ කාකි සුට්කාරයෝ දෙන්නෙක් සිල්පරන් කොට ගනන් කරකර අපේ පැත්තට මංගජච්චනවා මගේ උකුසු නෙතට අහුවුනා. 

"මචං අර බලපං කොස්සෝ දෙන්නෙක් එනවා." 
ආ   මුං x@#%%%...... පුතාලා කොහෙන්ද එක පාරටම කඩාගෙන වැටුනේ  හංගපං බොතලේ හංගපං. "

මාත් බාගෙට බීපු බොතල් දෙක පෙරලෙන්නේ නැතිව සීරුවට බෑග් එකට ඔබාගත්තා. 
කොහොමත් ඔය කාකි සූට්කාරයොන්ට කොල්ලෝ කොල්ලෝ ලව් කරන කපල් එහෙම දැක්කාම දේශිය සභ්‍යත්වය සදාචාරයට අනාචාරය ටැපලිලා පැටලිලා යනවා.මුන්ට ඉතිං අරවාද මේවාද ඔක්කෝම විතරක් නොවෙයි ප‍්‍රසිද්ධියේ අනාචාරය යටතට වැටෙන නිති රීති එහෙමත් මතක් වෙන්නේ නයාට අදුකොල පෙන්නුවා වාගේ තමයි. ගලක් උඩ හිටිය කපල් එක දැක්කා ගමන් එතැනට පැන්න මුන් දෙන්නා කෙල්ලයි කොල්ලටයි මොනවාදෝ මන්දා  කිව්වා. පව් අව්වට දෑස් නිලංකාර වෙච්චි කෙල්ල කොල්ලටයි පොලව පලාගෙන යන්න හිතෙන තරමට ලැජ්ජා හිතිලාද කොහේද වාඩිවෙලා උන්නු ගල උඩින් නැගිටලා රේල්පාර දිගේ යන්න ගියා.ඊට පස්සේ ආවේ අරකොල්ලන් ලගට උන්ටත් මොනවාද කිව්වා. ඊට පස්සේ ? ඊට පස්සේ ඊලගට ඉන්නේ අපි බුවාලා දෙන්නා නේ.  ඔය දෙන්නා ආවේ අපි දෙන්නා ලගට කට කනට ඇදෙන හිනාවක් දාගෙන.අනේ හරිම අහිංසක කාකි සුුට් මහත්තුරු දෙන්නෙක් සිරියාවේ බෑ හිනා දැක්කාම. හක්කේ පනුවෝ කාලා පුරවාපු දතත් පෙනුනා. 

"උඹලා දන්නවානේ බිච්එකේ ගල්උඩ බොන්න බෑ කියලා. සල්ලි තියේනවා නම් කබානා එකකට හරි හොටෙල් එකකට ගිහිල්ලා බිපල්ලා. මෙතන බෑ. සල්ලි නැත්නම් මෙතනින් පලයල්ලා. අපි ආපහු එද්දි මෙතන ඉන්න බෑ."

කියපි. යකෝ මුං දෙන්නා කොහොමද දන්නේ අපි බිව්වා කියලා. උන් ඈත එනකොටමනේ බෝතල් හංගගත්තේ.   
මුංගේ අම්මා අත්තඅම්මා කිරි අම්මා ඔක්කෝම මතක් වෙන්නේ ඔය වෙලාවට තමයි. ඇයි යකෝ කබානා එකේ බිව්වාම බොන එකට ලයිසන් එනවාද? 
අර කොල්ලෝ තුන්දෙනාත් පස්සේ වැලි පිහිද පිහිද යන්න ගත්තා. 
"යමං එහෙනම්."
අපේබුවා කිව්වා. 
මමත් බෝතල් බෑග් එක සීරුවට අතට ගත්තා පෙරල ගන්නේ නැතිව. ආපහු ආවා අපේ දඩු මොනරේ ලගට දැන් මද පවනේ ඉන්න මගේ යකා හොදට ආරූඩවෙලා

"අපි මොකටද යන්නේ ඌ කිව්වේ බිච් එකේ බොන්න එපා කියලානේ දැන් ඉන්නේ පාරෙනේ  උන්ට ..%#@@.... කියලා මෙතන ඉතුරු ටික ගහලා යමු."
"නෑ බං යමු."
"පිස්සුද යකෝ දැන් මේ කඩපු බෝතල් දෙක කාණුවට හලන්නද? මගෙන් කුණුහරුප අහගන්නේ නැතිව  මෙතන ගහමු." 

ඔන්න ඒ පාර අර ..%^$$@##........ කාකි සුට්කාරයෝ දෙන්නාට මේ තුන්ලොකේම තියෙන අමුම අමු සිංහල සුද්ධ සිංහල ව්‍යාකරණ ටික මතුර මතුර ඔන්න අපි දෙන්නා දැන් බෝතලේ පාරේ ඉදන් ගහනවා. කාකීසුට්කාරයින් බයවෙච්චිපාර බාගෙට පානයකරපු සුළුදිය වඩන කෑන් ටිකත් මුහුදට බිලිදීලා ආපු අර කොල්ලෝ තුන් දෙනා අපි හිටපු තැනට ආවා. කාකීසුට්කාරයින්ගේ මෑණියන්ලාට පිංපෙත් පමුනවමින් පාරේ පේමන්ට් එකේ වාඩිවිලා සුළුදිය වඩන පානය කරනා අපි බුවාලා දැකපු උන් තුන්දෙනාගේ චිත්තප‍්‍රිතිය ඉහලංනැවිලා අපිත් එක්ක සෙට්වුනා කියහංකෝ. කොල්ලෝ ගාව ඉතුරුවෙලා තිබුනේ කඩපු නැති තව කෑන් දෙකක් විතරයි. උන් බයිට් වලට  ගෙනාපු  සමෝසා වලටත් වග කියලා බෝතල් දෙකත් ඉවරකරලා හිස් ඒවාත් ආපහු මල්ලට දාගත්තා. කොල්ලෝ තුන් දෙනාගේ  හිස්ටින් ටිකත් කාණුවට විසික් කලාද කොහේද. ඒඩිංගට මොටර්බයිසිකලයකින් මෙන්න බොලේ කාකිසුට් කාරයෙක් කොහෙන්ද කඩාපත්වුනානේ. මේකා අපිව දැක්ක ගමන් ගොමබෙට්ටක් දැකපු ගූකුරුමිණියෙක් වාගේ විදලා ආපි නැතැයි. මුගේ කට පඩික්කමක් වාගේ. විට මරුවෙක්. මු අපි ලගටම ඇවිත් බයිසිමොටොවෙන් බහින්නේ නැතිව 

"තමුසෙලා මෙතන මොකද කරන්නේ? මෙතන බොනවා නේද?"
 කියලා මේ පඩික්කමා අහපි.
කාකීසුට්කාරයින්ගේ මෑණියන් මතක් කර කර හිටපු මට තවත් ජුවල් නැග්ගා. 
"කවුද මෙතන බොන්නේ. අතේ බෝතලයක් වත් නෑ. ඇයි පේන්නේ මෙතන බොනවා වාගේද ? අපිට මෙතන කතාකරකර ඉන්න තහනමක් නෑනේ."
මම නෝකෙයාර් පිට කිව්වා.
අපේබුවාගේ දඩුමොනරේ දිහාත් එකේ එල්ලලා තිබුන මගේ කොලපාට රෙදි බෑග් එක දිහාට පඩික්කමාගේ කබර ඇහැ දැම්මා. 
"කාගෙද මේ බයික් එක? තමුසෙලාගේද?"
"නෑ අපේ නෙමෙයි. කාගේද දන්නේ නෑ."
"තමුසෙලා බීලා නේද?"
"ඔව් බිව්වා තමයි හැබැයි මෙතන නෙමෙයි. ඉන්ස්පෙක්ටර්ට ඒක ප‍්‍රශ්ණයක් නෑනේ. "

සුලු දියවඩන බොතල් දෙකක් ගිනි මද්දහනේ මද පවනේ ගසලා ඉන්න මට මේ කාකිසුට්කාරයා දිරෙව්වේම නෑ. මම නොකෙයාර් පිටම උත්තර දුන්නු නිසාම පඩික්කමා මට ඔරවලා බයිසිමොටෝ එක හරවාගෙන "තමුසෙලා මෙතන ඉන්නේ නැතිව යනවාලා"
 කියලා යන්න ගියා.
"මචං වැඩේ අල වෙන්නයි යන්නේ දැන් වත්  යමුනේද? "
"පිස්සුද බං දැන්ම යන්න අර පඩික්කමා මග හිටියොත් විනාසයි බීලා බයික් පැද්දා කියලා. පොඩ්ඩක් වෙලා ඉදලාම යමු. දැන් බොන්නේ නැති හින්දා අර බූරුවෝ දෙන්නාටත් කියන්න දෙයක් නෑ."

ඉතිං මචංලා අපි දෙන්නත් අලුතින් සෙට්වුනු කොල්ලෝ තුන්දෙනත් එක්ක ආපහු බිච් එකට ගියා. මමත් ඉතිං ඔය කාකිසුට්කාරයොන්ට අම්මමෝ නැතිව පස්පඩංගුවේ බැන බැන ගල්ගඩියක් උඩ වාඩිවෙලා පට්ට දාර කයියක් ගැහැව්වා. 
ඔන්න දැන් තමයි සීන් එකේ හොදම හරිය එන්නේ. අරමුලින් රේල්පාර දිගේ ගිය කාකිසුට් කාරයෝ දෙන්නා ආපහු රිවස් එකේ එනවා. එකෙක්ගේ පොඩ්ඩක් විතර කාකිසුට් උස්නේ ඉහට ගහලාතිබුනේ. මම හිතන්නේ මු ලගදි වෙන්නැති සුට් එක අදින්න ඇත්තේ. මෙන්න මු අපිව දැක්කා විතරයි මුගේ බලුසිංහ සෙයියාව ඉදිරියට දමං බුරාගෙන පැන්නා. 

"තමුසෙලාට මම කිව්වා නේද මෙතන බොන්න එපා කියලා."
"ඉතිං කවුද මෙතන බිව්වේ?"
"තමුසෙලා ඉස්සෙල්ලා බිව්වා නේ." 
"ඔව් ඉතිං එපා කිව්වාම නැවැත්තුවා දැන් මොකක්ද ප‍්‍රෂ්නේ?"
"නෑ තමුසේලාට කිව්වේ මෙතනින් යන්න කියලා." 
"ඇයි එහෙම යන්නේ. අපිට මේ ගලක් උඩ ඉන්න බැරිද?"
"තමුසෙලා බීලා ඉන්නේ බීලා ගල් උඩ ඉන්න බෑ."
"එහෙම කොහේද නිතියක්. අපිට බොන්න එපා කිව්වා අපි බොන එක නැවැත්තුවා." 
"නෑ තමුසෙලාට යන්නයි කිව්වේ." 
"එහෙම යන්නේ මොකටද?"
"අපි කිව්වේ තමුසෙලාට මෙතනින් යන්න කියලා. දැන් කියපු එක ඇහැව්වේ නෑ. දෙනවා තමුසෙලාගේ අයිඩෙන්ටි."
"මොකටද?"
"අපිට පරික්ෂා කරන්න ඔනේ." 
"එහෙම දෙන්න බෑ." 
"බැරිනම් වන් වන් නයින් එකට කොල් කරලා දාගෙන යනවා."

 ඔන්න අර කොල්ලෝ ටික බයවුනා. එකා දෙන්නා අයිඩෙන්ටි ටික දෙන්න ගත්තා. මගේ බුවා නිශ්ෂබ්ද විලියම් වාගේ පුල් සයිලන්ට්. එත් යාලුවනි මම අත හැරියාද ගේම. මේ මගේ වැයික්කිය නේ මම ගේම අතහැරියේ නෑ.අනික මේ ලොකු ටෝක් දෙන කාකි සුට්කාරයාගේ නොම්බරේ කොටලා තියෙන නොම්බර තහඩුවත් ගලවලායි හිටියේ. වේලාව කියන්නේ ෆොන් එක අරන් මුගේ පොටෝ එකක් ගහගන්න මතකවුනේම නෑ. 
"එහෙම කොහොමද අපිව කුදලන් යන්නේ.මේ මෙතන බිව්වේ නෑ හරිද අපි වාඩිවෙලා විතරයි හිටියේ." 
"නෑ තමුසේලාට අපි කිව්වානේ මෙතන ඉන්න එපා යන්න කියලා දැන් කියන දේ ඇහැව්වේ නෑ. යමු පොලිසියට". 
අරුන් තුන්දෙනා දැන් අඩන්න වාගේ. අහිංසක කොල්ලෝ ටිකක් මේ පැත්තේ ජොබ්වලට ඇවිල්ලා ඉන්න සෙට් එකක්. එකෙක් කළුතර පැත්තේ බයික් ගරාජ්එකක වැඩ කරන්නේ. ඌ කියනවා 
"අනේ  සර් මම වැඩිහරියක් පොලිසියේ බයික් නිකං හදලා දෙන්නේ. මාව යන්න අරින්න කියලා." 
දැන් මගේ ගේම තනියෙන්ම ඉල්ලගෙන ඉන්න කොට එක කාකිසුට් කාරයෙක් පොන් ගත්තා අතට. එකෙන් කාටදෝ කතා කලා. 
"සර් කොල්ලෝ ටිකක් බිච්එකේ බොද්දි යන්න කිව්වා මුන් යන්නේ නැතිව ඉදලා අල්ලාගත්තා"
  කිව්වා.


මෙන්න යකෝ දැන් ටිකට් එක ඇදෙන්නයි යන්නේ. ඔන්න ඒ වෙලාවේම මගේ ටිකිරි මොළේට මිටරවුනේ මුන් දෙන්නා එක්ක තවත් ගේම ඉල්ලුවොත් අනිවා දැන් කුඩුවේ දානවා 119 ගෙනවිල්ලා. අපිව කුඩුවේ දාන්න නිකං බෑ මොකක් හරි ගූ කේස් එකක් මාට්ටු නොකර. එහෙම කලොත් අනිවා මම අදිනවා හොද කේස් එකක් පොලිසියත් එක්ක.  මගේ මානව හිමිකම් කඩකලා කියලා නඩුවක් හරිදානවා. මුං දෙන්නාගේ වැඩ තහනම් හරි කරනවා. එත් ඒ මොන වැඩේ කරන්නත් ඉස්සරවෙලා අපිටනේ මුලිංම වැටෙන්නේ නඩු. යකෝ අපිව ලකප් කලොත් අර අපේ බුවා අවුරුදු ගානක් බලං හිටලා ලැබිච්ච රට රස්සාවට කෙලවෙනවා නේද කියලා මතක්වෙද්දි කුඩා මොලේ ඉදන් මුලු ඇගම හිරිවැටිලා ගියා.අපේ ඥාති බුවා මේ ලෝකේ තියෙන හැම නසරානි දහදුරා වැඩක් ගැනම මටත්වඩා හොදට දන්න එවායින් කප් ගහලා ගෞරව උපාධිගත්තු එකෙක් වුනාට ඌ ගෙදරට පෙන්නගෙන ඉන්නේ තාම ඇටෙන් පොත්තෙන් සිබිඩ්ඩෙන් එලියට පැනපු නැති කටේ කිරිසුවද හමන පොඩි එකා ලෙසට. ඌගේ කට ඉම්බොත් බල්ලන්ටත් වමනෙට එනවා. එන්නේ කිරිසුවද නොවෙයි සිකරට් මිශ‍්‍රවුනු අමු මජ්ජසාර ගද. අපිට බලුකුඩුවේ ලගින්න උනොත් සුවර් එකටම අහිංසක සාන්ත දාන්ත තින්ත කූඩු බුවාගේ දෙමව්පියන්ගෙන් අවුරුදු ගනනාවකට බැනුම් අහන්න වෙන්නේ මට තමයි කියලා අක්මාවට පොඩ්ඩක් ඉහලින් තියෙන මස්තීෂ්කේ රෙඩ් ලයිට් එක නිවි නිවි පත්තුවෙන්න අරන් අනතුරු අගවන්න ගත්තා.  පියවරදෙකක් ඉදිරියට තියන්න පියවරක් පස්සට ගත්තාට කමක් නෑ කියලා කියමනක්ද මොකක්ද තියේනවානේ. දැන්ඉතිං කරන්න තියෙන්නේ සේප් න්‍යාය කි‍්‍රයාත්මක කොරන එක. 

"හරි පොලිසියට බැරිනම් යන ඔනේම දිහාවකට යමු හැබැයි මෙයාවයි අනිත් අයවයි යවලා." 
"එහෙම කොහොමද? තමුසේලාව අරන් යන්න වෙනවා. "
"මෙයා දැන් මේ රට යන්න විසා අරන් එනගමන් මෙයාව යවන්න. මේ මල්ලිලාවත් යවන්න. මම එන්නම් පොලිසියට යන්න." 
"ඇයි දැන්ද තමුසෙට ඒක මතකවුනේ? තමුසෙගේ ලොකුටෝක් දැන් කෝ."

ඔන්න බොලේඒ ගමන අර පඩික්කමා ආයිමත් බයිසිමොටොවෙන් අපි හිටපු තැනට ආපහු ආවා.

"සර් මුන් ගල්උඩට වෙලා බොද්දි එක සැරයක් යන්න කිව්වා. මුං කොහේට හරි ගිහිල්ලා බිලා ආපහු ඇවිත්.යන්න කිව්වාට ගියේ නෑ. මුගේ තමයි කට වැඩි. අපිත් එක්ක තව කට ගහගෙනත් ආවා."

අම්මටහුඩු මුන් දෙන්නා සර් කියලා කතාකරලා තියෙන්නේ මේ පඩික්කමාටනේ. පඩික්කමා උගේ කබර ඇහැ කරකවලා මං දිහා බැලුවා.
"ආමෙයාද?........තමුසේද මෙතන චන්ඩියා? එහෙනම් මුං ටිකම අරන් එනවාකෝ."

කියලා මිනිහා බයිසිකලෙ හරවන් යන්න ගියා. පඩික්කමාට දාපු නෝකෙයාර් ලොකු ටොක් වලට ඇරියස් එකඩබල් සයිස් එකෙන්  ලග ලගම එන බවත් දැන් ඉතිං බේරුමක් වෙන්නේ නැතිබව මට තේරුනා. සිංහ ලෙවල් එක බලුගානට දාලා දැන් ඉතිං අර අඩන්න හදන කොල්ලෝ එක්ක පිංසෙන්ඩුවෙන්න වෙනවා. මේ කැ..... කාකිසුට් කාරයෝ ලග පීචං වෙනවාට වඩා හොදයි දෙහිවල වැල්ලේ මාලු කාරයෝ බොගදාපු තැනකින් මුදු වතුර බොනවා. එත් ඉතිං කොරන්න දෙයක් නෑ. කාකිසුට් කාරයෝ දෙන්නාත් මහාලොකු මිනිමැරුම් අපරාධකාරයෝ ටිකක් අල්ලාගත්තා විිදිහට අපිව අරන් යනවා. හොද වේලාවට දන්න කියන කවුරුත් ඒ පැත්තේ නොහිටියේ. අනික දවල්ට ඔය කියන හරියේ වැඩිය සෙනග නෑ. දැන් මුං දෙන්නා අපිව එක්කං ගියේ මහ හොටලේ ලග තියෙන මුංගේ මුරපොලකට. ඔය පැත්ත පලාතේ ඉදහිටලාවත් කරක් නොගහන මම එහෙමඑකක් එතන තියෙනවා දැක්කෙත් එදාමයි. 
"දැන් කරන දෙයක් කරන්න නම් ලොකු සර් එනකම් ඉන්න වෙනවා"
 කියලා අනික් කාකීසුට්එකා කිව්වා. දැන් ඉතිං සෙට් එකම මොනවාද කාපු රිලව් ටික වාගේ අපි අර මුරපොල ඇතුලේ ඉන්නවා. අනේ අපරාදේ කියලා වැඩක් නෑ මද පවනේ වැදිච්ච කික් එකක් හින් සීරුවේ බැහැලා ගියානේ. අපේ බුවා අහිංසක මුනක් හදාගෙන නොම්බර තහඩුව නැති උස්නකාරයා ලගටලංකොලා. අඩන්න වාගේ ඇස්ගෙඩි දෙකට කදුලු පුරෝගෙන කටත් රෙල්පීල්ල උඩ තියලා කෝච්චියට අහුවෙච්චි දෙකේ කාසියක් වාගේ අඹරාගෙන කුළුදුලේ ලැබෙන්න යන අතඋඩ තියෙන උගේ රට රස්සාවට කෙලවෙනවා කියලා අඩ අඩා කිව්වාම උස්ණකාරයාගේ හිත බවුත් එකට ලංකරපු ඊයම් කෑල්ලක්වාගේ උණුවෙලාගියා. ඒ ගමන තමුසේ යනවා කියලා අයිඩෙන්ටිය අතට දිලා අපේ මිනිහාව යන්න ඇරියේ නැතැයි. මේකා මං දිහා බලන්නේ වත් නැතිව හිමිහිට මාරුවුනා. තව ටික වේලාවක් ගතවෙනකොට එක කාකි සුට්කාරයෙක්ට කොල් එකක් ආවා.
 ඔන්න ඒ පාර මුං දෙන්නා කලබලවෙලා මුරපොලින් එලියට පැන්නේ  මහා අපරාදකාරයෝ ටිකක් අල්ලගන්න යන්නවගේ. 
"තමුසෙලා ටික මෙතනට වෙලා ඉන්නවා. මාරුවෙලා යන්න හදන්න එපා. අමතක කරන්න එපා තමුසෙලාගේ අයිඩෙන්ටිය තියෙන්නේ අපි ලග හරිද."

කියාගෙනයි. මම හිමිහිට මගේ ෆේන් එක අරගෙන මගේ අතිජාත හිතවතා වන චන්දන අයියාට කොල් එකක් අරගත්තා. බැස්ටියත් අන්තිම කට්ටේ තියෙන්නේ. සියළු විස්තරේ කෙටියෙන් කියලා මම කොහෝම හරි මෙතැනින් පැන ගන්නම් ඔයා අර ගිනිතියපු හෝටලේ ලග තියෙන බයිසිකලේ අරන් ගෙදර යන්න කියලා කිව්වා විතරයි ජංගමේ බැස්ටිය බැහැලා නිවිලා ගියා.තව විනාඩි පහලොවකින් විතර අර කාකීසුට්කාරයෝ තවත් කොල්ලෝ රංචුවක් අල්ලාගෙන ආවා. උන් සෙට් එකත් බිච්එකේ බිබි ඉන්නැද්දි තමයි මුන් අල්ලාගෙන තියෙන්නේ. ඔන්න ඒ පාර අර පඩික්කමාත් ආවා. බැලින්නම් අරකොල්ලන් රංචුවෙන් එකෙක් දෙන්නෙක් මේ පඩික්කමාව දන්නවා. පස්සේ අල්ලන් ආපු කොල්ලන් එක්ක චැටක් දාගෙන ඉදලා  ඌ අහනවාඅපේ සෙට් එකෙන් එකෙක් අඩුයි නේද කියලත්. අපේ බුවාට යන්න දුන්න අර උස්ණකාරයා තොත්ත බබා පාට් එකක් රගපාලා.
"ආ මිනිහාට පොඩ්ඩක් දොට්ට පිලට යන්න ඔනේ කිව්ව සර් ඒ නිසා ගිහිල්ලා එන්න යැව්වා "
කිව්වා. 
"එහෙනම් එකා මාරුවෙන්න ඇති. එකා එනකම් මෙයාව තියාගමු." 
පඩික්කමා කොහොමත් මාත් එක්ක තියෙන ඇරියස් එක අල්ලන්නයි යන්නේ. මං අහිසංක ලාමක ටිංටිං මුනක් පෙන්නුවා.
ඒ පාර පඩික්කමා එයාගේ සීට් එටකේ හරිබරි ගැහිලා වාඩිවෙලා ගල්කිස්ස උසාවියේ නඩුකාරයා සේ අපේ ගෙවල් දොරවල් පදිංචිය විස්තර අහන්න ගත්තා. මගේ වාරේ ඔන්න ආවා. 
"මම ...... පාරේ" 
"........ පාරේ කොහේද?"
"........ හිටපු අයිජීපීි ...... ගේ ගෙවල්තුනකට එහායින්."
"එතන කොහේද?"
"මගේ ගෙදරට අල්ලපුගෙදර තමයි ඩි අයි ජි ...... කුලියට ඉන්නේ."
 පඩික්කමාගේ ඇස් පොඩ්ඩක් විතර විසාලඋනා. 
"හා මෙයාලගේ ඇඩ්රස්  එහෙම ලියාගෙන යන්න දෙනවා. ආයෙමත් තමුසෙලා බිච්එකේ බොන්න එනවා එහෙම නොමෙයි ආයෙත් අහුවුනොත් කිසිම සමාවක් නෑ. දානවා උසාවි  හරිද?"

අර කාකිසුට්කාරයෝ අපේ ඇඩ්රස් බොරුවට නොට් පොතක උඩින් පල්ලෙන් සටහන් කරගෙන අයිඩි කාඩ් ටික ආපහු දුන්නා. මුන්ගේ දෙමව්පියන් මතක්කර කර අයිඩෙන්ටියත් ආපහු පර්ස් එකේ දමාගෙන අඩි කිහියක් යන්න හම්බුනේ නෑ මෙන්න අපේ බුවා සිකරට් එකක් උර උර පාර අයිනේ ඉන්නවා. 
"මෙතන මොනවද ...@##%%... කරන්නේ.?"
"අරු මට යන්න දුන්නාට උඹව කොහොමද මචං දාලා යන්නේ. මම උඹ එනකම් මෙතනට වෙලා හිටියා."

අපේ බුවා කිව්වා. ඔන්න ඒ පාර මගේ මිත‍්‍ර චන්දන අයියා තවත් යාළුවෙක්ව කාර් එකේ දාගෙන සීන් එකට එන්ටර් වෙන්නේ.  යාලුවාට අපේ බයික් එක අරගෙන එන්නයි පවරලා අපි දෙන්නාව  කාර් එකේ දමාගත් චන්දන අයියා ගෙදර ගෙනවිත් බැස්සුවේ මෙච්චර බොන්න තැන් තියෙද්දි බිච්එකේ බොන්න ගියේ ඇයි කියලා කින්ඩියක් දාන ගමන්. අදටත් ඉදහිට අපේ මිත‍්‍රයන්ට හොරෙන් බිච්එකේ බොන්න ගිහිල්ලා කාකීසුට්කාරයින්ගෙන් කාපු පරිප්පුව මතක්කරලා දස කින්ඩියක් මිශ‍්‍ර නොන්ඩිපාරක් මට දාන්නත් මගේ අතිජාත චන්දන අයියා සහ මිත‍්‍රයෝ දෙන්නා අමතක කරන්නේ නෑ. ඔන්න ඔහෝමයි  අපේ බිච්එකේ සුළුදිය වඩන පානය එපිසෝඩ් එකයි කාකිසුට් නරිනාටකයයි අවසන්වුනේ. 

ප.ලි
මේ කාකීසුට්කායින්ට බිච්එකේ ගල් වැටිය උඩ බොන විත්තිය ඔත්තු දෙන්නේ ඒ ලග ඉන්න කබානාකාරයෝ තමයි. කබානාවලට නැවිත් බිච් එකේ බොන්න පුලුවන් උනොත් උන්ට ලැබෙන ගතමන්ට් එක නැතිවෙනවා හින්දා කාකීසුට්කාරයින්ට සම්තිං එකක් අතමිට මොලවලා දුප්පත් අහිංසකයෝ ටික එලවලා දානවා. ඒකයි කාකිසුට්කාරයෝ් කියන්නේ සල්ලි තියෙන උන් ගිහිල්ලා කබානා අරන් බිපල්ලා කියලා. 

Tuesday, February 6, 2018

" ආදරෙයි මං"

 ඈත අතිතයේ බොහෝ සිදුවිම් ගොන්නක් මනසේ යලි රගදැක්වෙන්නට පටන් ගත්තේ ආරාධනා පත‍්‍රයක් මගේ සුරතට පත්වුනු නිසයි.  "ප‍්‍රගියා"  ඒ අපි කවුරුත් ඔහුව ඇමතුව නම. ප‍්‍රගියා මට මුලින්ම මුණ ගැහෙන්නේ එක වසරේ පංතියට පාසල් යන මුල්ම දවසේදි. එකම පංතියට වැටුන අපි දෙන්නා ඊළග අවුරැද්දේ වෙන පංතියකට වැටුනා කියලා මතකයි. ගල්කිස්සේ අපේ ගෙවල් ආසන්නයේ ගෙවල් කිහිපයකට එහා ⁣හිටිය ප්‍රගියා ක්‍රිකට් ගහන්න සෙල්ලම් කරන්න ආවේ අපේ අල්ලපු ගෙදර පෙරේරා අැන්ටිලාගේ වත්තටයි. ප්‍රගියාගේ අයියයි මගේ අයියයි පෙරේරා ඇන්ටිගේ මුණුපුරෝ වෙච්චි මහේන් හා ජිවක දෙන්නයි දොස්තර අබේනායකගේ පුතාලා දෙන්නාසොහාන්, නිලාන් එක්ක සමන් සහ සමන්ගේ මල්ලී  සංජීව එක්කලා අපි සෙල්ලම් කළා.




සමහරදාට මේ වත්තේ සෙල්ලම් කරන්නේ පාසල් වශයෙන් දෙකට බෙදිලා. තොමසුවන් ගොඩට ජීවක මහේන් නිලාන් සොහාන්  එකට එකතුවෙද්දි අනිත්වුන් ටික හේනපාරේ කනිෂ්ඨයේ (දැන් ලලිත් ඇතුලත්මුදලි මහාවිද්‍යලය) කන්ඩායම වුන. තෝමසුවන්  පෙරේරා ඇන්ටිගේ ගෙදර ඉස්තෝප්පුවේ පැවිලියන් එක කරගෙන හිටපු නිසා අපිට තිබ්බේ  වත්ත වටේ වවලා තිබුන ඉපිල් ඉපිල් ගහක සෙවනට වෙලා හරි තාප්පයක් උඩට වෙලා ඉන්නයි. උන්ගේ ඉඩමක සෙල්ලම් කරන නිසා වැඩි බලතල තිබුනේ තොමසුවන් ගේ කන්ඩායමටයි. ඒ නිසාම කන්ඩායම් දෙකම භේදබින්න වෙලා ගුටි ඇන නොගෙන තරහා වෙලා ගෙවල් වලට යනවා. ඒ තරහා මරහා හින්දාම සෙල්ලමේ අවසානය දක්වා ගෙනගිහිල්ලා කි‍්‍රකට් ගැහිල්ල නතරවුනාදැයි  කියන්න ශක්තියක් දැන් මතක ගබඩාවේ නෑ. පෙරේරා ඇන්ටිගේ සුවිශාල ගෙදර බිමට සමතලා කරලා දැම්මාට පස්සේ අපි සෙල්ලම් කරපු අර විශාල වත්ත අවුරුදු ගනනාවක්ම කැලේ වැවිලා යන්න ඇරලා තිබ්බා. අපි දුව පැනලා සෙල්ලම් කරපු ලස්සන වත්ත යටකරගෙන අහස උසට නැගුන මහල් දාහතරක තට්ටු නිවාසය දැන් දකිනකොට නම් හිතට ඇතිවෙන්නේ විශාල දුකක් තමයි.


ගල්කිස්සේ තපෝදනාරාමය පන්සලේ අරඹපු මුතුහර රූපවාහිනි  ළමා සමාජයේ ආරම්භයේදි සමාජිකයෝ වෙන්නත් අපේ සහෝදරටයෝ එක්ක මටත් ප‍්‍රගියාටත් පුලුවන් වුනා. එක සැරයක් මාසික සභාවාරයකට ඉදිරිපත් කරන්න කෙටි නාට්‍යක් කරන්න ප‍්‍රගියා මාත් එක්ක අපේ ගෙදරදි පුරුදුවුනා මට මතකයි. හැබැයි පුරුදුවුනත්  පස්සේ ඒ නාට්‍ය කෙරුනේ නැත්තේ මගේ තියෙන සභාවක් ඉදිරියට යන්න තියෙන ලැජ්ජාශිලි බව හින්දා වෙන්නත් ඇති.

පහේ ශිෂ්‍යත්වේ පාස්වෙලා ප්‍රගියා ඉසිපතනෙට ගියා. වෙනින් පාසලකට ගිය හින්දා වාගෙම සෙල්ලම් කරද්දි ඇතිවෙච්චි පොඩිපොඩි රණ්ඩුත් එකත් එක්ක ටිකක් විතර අපේ මිතුරැකම් අඩුවෙලා ගියේ ක්‍රිකට් ගහන්න එන කට්ටියත් නැතිවුනේ එන්න එන්නම වයසින් වැඩෙද්දි පාසල් වැඩ වලට මුල්තැන දෙන්න ඔනෑවුන හින්දා වෙන්න ඇති. ප‍්‍රගියා ඉදහිට දැක්කත් කතාබහ යාළුමිත‍්‍රකම් අඩුවෙලාම ගිහිල්ලා තිබුනා. පස්සේ කාලෙක ආපහු මට ප‍්‍රගියා මුණගැහෙන්නේ අපි සාපෙල ලියන කාලේදි. ඒ කෝකිල සේනාරත්න සර්ගේ ගනන් පංතියේදි. තව පිස්සු කොලින සෙට් එකක් එක්ක විශාරද පි.වි නන්දසිරි මහතාගේ කනිටුපුත් සජනත් අපිත් එක්ක හිටියා මතකයි.  විභාගයට ඔන්න මෙන්න කියලා  කොකිල සර් අපිව අතරමං කලාම මමයි ප‍්‍රගියයි සෙනසුරාදා දවසක උදේම කොච්චියේ නැගලා රාගම ගියා කෝකිල සර් කරන පන්තියක් හොයාගෙන. සර් තක්කුමුක්කු වුනා අපි දෙන්නා එහේ ආවාම. ආපහු සර්ව කැමතිකරවා ගත්තා අපිව අතරමං නොකර පන්තිය කරවන්න.

 ඒ වෙනකොට ප‍්‍රගියා අරිසෙන් අහුබුදු ශූරින්ගේ සක්විති රාවණ නාට්‍යයේ මුවපොව්වාගේ චරිතය එහෙමත් රගපාලා තියේනවා. ඔය අතරේදි නාට්‍ය රගපෑමේ පිස්සුව තියෙන සෙට් එකක් ප‍්‍රගියාට මුණගැහෙනවා. ඒ තමයි ගල්කිස්සේ හිටපු ජනප‍්‍රිය නිලියක්වු චම්පා ශි‍්‍රයාණිගේ මල්ලිලා රොහාන් හා රුවන් දෙන්නා එක්ක මගේ සහෝදරයාත් තව කිහිප දෙනෙක් එකතුවුන එක. එක එක නාට්‍ය සම්මාන උළේලවල් වලට යන්නත් කෙටි නාට්‍ය හදන්නත් වාගේම ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ හා Alliance Française 
එකේ පෙන්වන විත‍්‍රපටි බලන්නත් අපි පුරුදුවෙලා තිබුනා කිව්වොත් හරි. ඒ කාලේ තරුණ සේවා සභාවෙන් කරපු යෞවුන සම්මාණ නාට්‍ය උළේලවල් අතහැරියේ නෑ. පසුකාලෙක මහණදම්පුරපු පුනරුත්ථාපන කොමසාරිස් ධුරය දැරු බි‍්‍රගේඩියර් ආනන්ද විරසේකර මහතා එක්ක ලීල් ආනන්ද ගජණායක මහතා ඔය කියන නාට්‍ය උළේලවල්කෙරේව්වා. පොඩි පොඩි නාට්‍ය උලේළවල් වලට නාට්‍ය හදපු ඔය කියන කාලේ ප‍්‍රගියා සරසවි සම්මාන නාට්‍ය උළේලේදි හොදම නාට්‍ය අධ්‍යක්ෂනයටත් සම්මාන අරගත්තා. මට තාම මතකයි ඒ සම්මාන උළේල තිබුනේ නිතිඥ ජොන්ද සිල්වා සමරු රගහලේදි. ඒ නාට්‍යයේ මට මතක විදිහට මගේ සහෝදරයාත් රගපෑවා.

  කමල් අද්දරආරච්චි  මහේන්ද්‍ර පෙරේරා ජයන්ත චන්ද්‍රසිරි වැනි දැවැන්තයින් බිහිකරපු ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතා යටතේ අපේ මේ නාට්‍ය පිස්සෝ සෙට් එකම  ගියා රගපෑම ගැන හදාරන්න. මම හිතන්නේ ප‍්‍රගියා ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ එතුමාගෙන් තමයි. සාලමන් ෆොන්සේකා මහතාගේ අහිමිජීවිත නාට්‍යයේ දෙවන නිෂ්පාදනයේ කන්ඩි කියන චරිතයත් රගපෑවා. ඒ කාලේම වාගේ ප‍්‍රගියා සිරසේ විකාශයවුනු ගොඩාක් ජනප‍්‍රිය වෙච්චි ෆැන්ටසි ඇවිනිව් ටෙලියේ රංගනයෙන් දායකවුනා. අරුත්සුන් මෙගා ටෙලිනාට්‍ය වලට එකතුවෙලා සිනිබොල නළුවෙක් වෙන්න ගියේ නැති  ප‍්‍රගියා රූපවාහිනියේ විකාශය වුනු බොහොමයක් සම්භාව්‍ය ගනයේ ටෙලිනාට්‍යවු  අඹු දරුවෝ සවයංජාත කරුවලගෙදර ටෙලි වල රගපෑමෙන් දායකවුනා. මේ ළගදි ස්වාධින රුපවාහිනියේ විකාශයවුනු  නැගෙනහිර වෙරළෙන් ඇසෙන ටෙලියේත් රංගනයේ යෙදෙනවා මම දැක්කා. 


නළුවෙක්ම පමණක්ම නොවුන ඔහු රෝමියේ ජූලියට් කතාව වේදිකාවට ගෙනආවා. අතිසාර්ථකව තිරගතවු ධර්මයුද්ධය විත‍්‍රපටයේ තිරරචනාව කලෙත් මගේ මිතුරා ප‍්‍රගියා තමයි. ජිවිතයේ කාර්්‍යබහුලත්වය ඉදිරියේ අපි නිරතුරුවම නොදැක්කත් පැරණි මිතුරුකම් අමතක නොකල මා මිතුරා තමන්ගේ පළමු විත‍්‍රපටියේ මංගල දර්ශණය නරඹන්නටත් ආරාධනා පත‍්‍රයක් ගෙදරටම ඇවිල්ලා දෙන්න තරම් නිහතමානි වෙලා තිබුනා.




පසුගිය ජනවාරි 19 වෙනිදා කොළඹ රීගල් සිනමාහලේදි මංගල දර්ශණය පෙන්වු  මා මිතුරාගේ "ආදරෙයි මං " චිත‍්‍රපටිය කොළඹ රීගල් ගල්කිස්සේ ඔඩියන් ඇතුලු සිනමාහල් ගනනාවකම අති සාර්ථකව තිරගතවෙනවා. ඒ විතරක් නොවෙයි තමන්ට රගපෑම් හා අධ්‍යක්ෂනය ඉගැන්වු තම ගුරුවරයාවු ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතාට තම පලමු චිත‍්‍රපටියෙන්ම ආචාරය පුදකලා පමණක් නොවෙයි එතුමාගේ බිරිදට මේ මංගල දර්ශණය නරබන්නටත්  උත්සවයේ චාරිත‍්‍රානුකුල මංගල පහන් සිළු දල්වන්නටත් අරාධනා කරලා තිබුණු එක විශේෂත්වයක්. ප‍්‍රගිත් රත්නායක නම් ප‍්‍රතිභාපූර්ණ නළුවෙකුවු මා මිතුරාට කලා ලොවේ ජයකෙහෙලි නංවමින් තව දිගු ගමනක් යන්නට ලැබේවා කියා කොළොම්පුරේ බ්ලොගයෙනුත් ජය පතනවා.


Monday, December 25, 2017

ජීවිතේ

දෙපයට වාරු අරන්
ජීවන බර කරේ තියන්
ජීවිතේ කන්ද නගිනවා

මට හරි වෙහෙසයි
ලෙඩ දුක් බෝමයි
ජීවිතේ දුකම විදිනවා

නුඹ දැන් මහළුයි
පිං දන් කරගන්නයි
උතූමන්ලාද කියනවා

පිං ධම් තව ඈතයි
කාලය හරි නපුරුයි
දිවි බර තව වැඩි වෙනවා

අතමිට හිඟ පාඩුයි
උසුලන්නට බෑමයි
දුක් කරදර හිසට වැටෙනවා

දැන් උඹ අබලන්
අවසානෙට ඇවිදින්
මරුවා කැන්දන් යන්න හදනවා

රෝ දුක් වැඩිවුවත්
මොන කරදර ආවත්
තාමත් අපි ජීවිතේ තනුව වයනවා.

Saturday, October 7, 2017

චන්ඩි උපන්න සුප‍්‍රකට ගසක්


අතීතයේ අනාදි කාලයක මිනිසුන්ද සතුන්සේම උපන්නේ ගස් ගල් යටයි. සිද්ධාර්ත කුමාරයාත් උපත ලැබුවේ ලූම්බිණියේ සල්ගසක් පාමුල. පරිනිර්වාණය ලැබුවෙත් කුසිනාරා නුවර සල්ගස් දෙකක් අතරයි. මැරෙන්න එක ගහකුත් උපත ලබන්න ගහකුත් විදිහට කොළොම්පුරයේ සුප‍්‍රසිද්ධ ගස් දෙකක් තියේනවා හැබැයි කොල මල් දළුලන්නේ නැති. එකක් තියෙන්නේ වැලිකඩ සිරගෙදර. ඒ තමයි එල්ලූම් ගහ. අනික තමයි කොළඹ කොටුවේ කොඩිගහ. 

https://goo.gl/maps/Dze3s5HASYv

එ්කාලේ කොළොම්පුරේ හිටිය සමහර චන්ඩිත් ලොකුවට කිව්වේ "අඩෝ මම කොඩි ගහ යට ඉපදිච්ච එකෙක්"  කියලා. එහෙම නම් මුලින්ම කොළොම්පුරේ ගනන්කාර චන්ඩි උපන්න කොඩිගහ ගැන කතා කරලා ඉමු. කරුණාරත්න අබේසේකර මහතා ලියුව  පි.ඒල්.ඒ සෝමපාල මහතා සංගීතවත් කරපු අපේ රටේ අසාහය ගායකයන් වු එච්.ආර් ජෝතිපාල මහතා හා ඇම්.එස්. ප‍්‍රනාන්දු මහතා ගැයුව හතර දෙනාම සූරයෝ චිත්තරපටියේ  කොඩිගහ යට මම උපන්නේ සිංදුවෙත් කොළොම්පුරයේ කොඩිගහ ගැන කියවෙනවා. 




ඇත්තටම කොඩිගහයට උපන් උන් හිටියාද කියලා ඉතිහාසයේ කොහේවත් ලියවිලා නෑ. කොඩිගහ කොළොම්පුරේ හිටවන්නේ පෘතුගිසින් තමයි. එදා කොඩි ගහ තිබිලා තියෙන්නේ රජගෙදර හා මුහුද අතර ප‍්‍රදේශයේ ගල්බොක්ක කියලා හැදින්වුන මුහුද අද්දරටවෙන්න 1505 දි ලංකාවට ගොඩබැස්ස පෘතුගිසින්ගේ බලකොටුව මධ්‍යයේයි. පරංගින් කොළොම්පුරේ බලකොටුවක් පිහිටුවාගත්තාට පස්සේ එයාලා තේරුම්ගන්නවා මේ කොළොම්පුරයේ නැව්තොට තමන්ගේ නාවික කටයුතු හා බලය තහවුරුකරගන්නට විශාල වශයෙන් උවමනාවෙනවා කියලා. එ් නිසාම ඈත මුහුදේ සිටම කොළොම්පුරයේ නැව්තොට හඳුනාගන්නට යොදාගන්න උපක‍්‍රමයක් විදිහට කොඩිගහ තමන්ගේ බලකොටුව මැද ඉදිකරන්නේ. තමන්ගේ නාවික යාත‍්‍රාවල් වලට දර්ශනය වන්නට දහවල් කාලයේදි පෘතුගිසින්ගේ කොඩිය එල්වා තබන්නටත් රාත‍්‍රියේ දි ගෑස් ලාම්පුවක් දල්වා තබන්නටත් මේ කොඩිගහ යොදාගත්තා.

 වානේ ලෝහයෙන් සකසා ඇති මෙය පහල සිට ඉහලට යත්ම සිහින් වන පරිදි ටෙලිස්කොපික් එරියල් ක‍්‍රමයටත් කොටස් හතරකට ගලවාදමන්නටත් හැකිවන අයුරින් නිර්මාණය කර තිබෙනවා. මෙහි බර ටොන් අටක් පමණ වන අතර අඩි 80ක් උසයි. 1946 අවුරුද්ද වෙනතෙක් මේ කොඩිගහේ ගෑස් ලාම්පු එළි දැල්වුනා කියලා කියනවා. 

කොළොම්පුරේ නැව්තොට අඳුනාගන්නට පෘතුගිසින් තමන්ගේ බලකොටුවේ මැද සවිකරපු අවුරුදු 500ක් පුරා එහි තිබුන මේ කොඩිගහ 1988 අවුරුද්දේ සැප්තැම්බර් 03 වෙනිදා වරාය අධිකාරියේ දොඹකර යොදාගෙන ගලවා දැම්මා. ඊට පස්සේ මේ කොඩිගහ බි‍්‍රස්ටල් විදියේ ෙටෙම්ස් පත්තර කන්තෝරුව අසළට ගෙනගොස් සවිකරලා තියේනවා.  තවත් ටික කාලයක් කොළඹ කොටුවේ බි‍්‍රස්ටල් විදියේ තිබුන මේ ඓතිහාසික ස්මාරක කුළුණ අලූත්කඬේ  නව උසාවි සංකීර්ණය පිහිටුවද්දි එතැනට අරන් ගිහිල්ලා සවිකලා කියනවා. මිහිඳු මාවත කෙළවර කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ නව ගොඩනැගිල්ල ඉදිරිපිට වටරවුමේ අයිනකට වෙන්නට සවිකරලා තියෙන මේ කොඩිගහ කාගෙවත් ඇස ගැටෙන්නේ නැති තරම්.  

කොඩිගහයට  මම උපන්නේ 
නමගිය තැනකි රටේ
කොළඹය කියලයි කියන්නේ 
මුළු ලෝකය හතරවටේ
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ

නිතරම හිත ගත යොදන්නේ 

රස තැන් හොයන්නටයි
කොනකුට කරදර නොදෙන්නේ 
අපි අන්තිම අහිංසකයි 
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ

මෙහෙදි මුලදිම දකින්නේ 

හොද හොද විලාසිතා
තරුණියෝ නිතරම සිටින්නේ 
අප ගැන සිතා සිතා
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ

කෑවට බිවුවට විනෝදෙන් 

සතුටින් නටා හැපී
අප සැම ඔබ සැම වගෙයිනේ
කොයි කවුරුත් එකයි අපි
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ


අලුත්කඩේ පැත්තේ ගියාම කොඩිගහ බලාගන්න පුළුවන් වාගේම අළුත්කඩේ උසාවියෙන්ම මදනි ගහ ගත්තාම පුළුවනි අනෙක් ගහ බලන්න. එහෙම නැතිව  නම් කාටවත් ඒ ගහ බලන්න ලැබෙන්නේ නෑ. අනෙක් ගහ ගැන ලිපියක් ලියන්න නම් මට මදනි කෙනෙක් වෙන්න වෙනවා.  මදනි නොවි එල්ලූම් ගහ ගැන පොස්ට් එකක් දාන්න උත්සාහ කරන්නම්කෝ. මදනි කියන්නේ මරන දඬුවම නියමවුන කියන එකයි.  

Sunday, September 24, 2017

නැවේ යකා

"අයියේ අයියේ මාර සීන් එකක් නේ උනේ."
"ඇයි මොකද?"
"දැන් කූල් රූම් එකේදි අයියාටවගේ මටත්   ඕයී කිව්වානේ."
"නෑ. මාර වැඩක්නේ. දැන්ද උනේ?"
"ඔව් මේ දැන් ඩිෆිස්ර් එක ඇරලා මස් ටික බේසමට දාන්න හදනකොටමනේ  ඕයීි කිව්වේ. මගේ මයිලුත් කෙලින්වුනා."
"ඉතිං උඹ පැනලා ආවාද?"
"මොන මස් දැමිලිද? ඒ කළුවර ගුහාවේ මොන මළයක්කු ඉන්නවාද දන්නේ නෑ. සද්දේ ඇහුනේ හරියට මගේ කකුලු දෙක ළගිනුයි." 



විදුලි පන්දමත් අතේ තියාගෙන නැවේ පිටිපස්සේ පූප් ඩෙක් එකේ බොලාඩයක් උඩට වෙලා හිටපු මට නැවක ගැලිය කියලා හදුන්වන මුළුතැන්ගේ දෙරෙන් එලියට ආපු ටෙ‍්‍රනින් ස්ටුව්ට් මල්ලියා (steward ) හති දමදම කිව්වා. මිට පෙර ලිපියකින් කිව්ව  මාවත් මගේ රූමා වෙච්චි සිල්වා කාරයාත් බය කෙරුව  ඕයී යකා ගේ සීන් එක බට කැලේට ගිනි තිබ්බා වාගේ මුළු නැවටම පතිරිලා ගිහිල්ලා තිබුනේ. ඒ දවස්වල සප්ත මහා සාගරය පුරා කරක් ගහපු මුළු ජිවිතේම සීමන් වෙච්චි සයිමන් අයියලාත් උන් නැව් වල දැක්ක අහපු හොල්මන් කතා මිවිත් එක්ක පොඩියක් සෙටමොල් වෙනකොට දාර සයිස් එකෙන් ඇදබාන්න අරන් තිබුනේ.

"එහෙනම් දැන්  ඕයී  යකා කූල් රූම් එකටත් ඇවිල්ලාද? ඇගේ මයිල් කෙලින් වෙනවා නේද උගේ  ඕයී කියනකොට?"
"ඒක නම් ඇත්තම තමයි අයියේ. මාරම සද්දයක්නේ එන්නේ. හරියට උගුර මිරිකගෙන කෑගහනවා වාගේ. මගේ කකුල් දෙකත් තාම ගැහෙනවා." 
"ඔය අර කූල් රූම් දාපු මැරිච්චි එකා වෙන්න බැරිද?"
"අනේ මන්දා අයියේ. "
"උඹ දැන් නැවේ දුම් අල්ලන්නේ නෑ නේද?"
"මේ කප්පියා කැමති නෑ."
"ඔය සීන් දන්න නිසා වෙන්න ඇති අර පරණ කප්පියා දුම් අල්ලන්න කිව්වේ. කෝකටත් උඹ පරිස්සමෙන් වැඩ කරපන්. උඹනේ උන්ට දුම් ගැහැව්වේ දන්නවානේ යක්කුවුනත් පළිගන්නවා."
මම කිව්වා. 

 මේ ස්ටුවට් මල්ලියා ටිකක් විතර පන්ඩිතයා. අපිව නෝ කෙයාර්.ලොක්කන්ට ඉල්ලන ඉල්ලන හැමදේම පුදාලා උන්ගෙයි කප්පියාගෙයි සුරතලා වෙන්න හදන ඔයවාගේ චරිත නැව් ලයිෆ් එකේදි ඔනෑ තරම් හමුවෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔයවාගේ වැඩ කොරන්නේ ස්ටුවට් උන්ම තමයි.බොන්න බයිට් හදලා දිලා රෙදි හෝදලා කැප්ටන්ගේ හිතවතා උනාම මාන්නයෙන් ඔළුව උදුම්මවාගන්නවා. වැරදි වැටහිමක් ගන්න එපා සමරිසි කියලා. එහෙම චරිත නැව් වලදි හමුවෙලාම නැති තරම්. මමත් බලාගෙන හිටියේ උඹේ ඔය ඉදිමිච්චි මාන්නක්කාර ගතිය  දවසක බස්සන්නම් කියලා. 
              මේ නෞකාවේ මුලින් හිටියේ දෙමළ සම්බවයක් ඇති (අනේ මන්දා දෙමළද සිංහලාද මුස්ලිම්ද කියලා  බිරිද නම් පාකිස්තානුද කොහේද.) කළු කොට මහත තාර පිප්පයක් වාගේ කැප්ටන් කෙනෙක්. ඔය සමහරක් කප්පියන්ට එක එක ජාතියේ පිස්සු වැඩ තියේනවා. එහෙම කරන්නේ අවුරුදු ගානනාවක් නැව් වල ඉදලා මුහුදු හුළගට මොළේ මළකඩ කාලාද හින්දා වෙන්න ඇති. නැව යන්න පිටත් වෙන්න නැංගරම ඔසවද්දිම බෝසන් ගිහිල්ලා නැවේ ඉදිරියේ තියෙන බොලාඩයක පොල් ගෙඩියක් ගහලා බිදින්න ඔනේ. ඊට පස්සේ බිදුනු පොල් බැයවල් දෙක නැව එලවන තැනට බි‍්‍රජ් එකට අරන් ඇවිත් පෙන්වන්නත් ඔනේලු. කොහොමත් බෝසන්ලා හොරෙන් තව පොල්ගෙඩියක් අරන්යනවා. මොකද නරක්වුන පොල්ගෙඩියක් එහෙම බින්දොත් බෝසියා නැවේ ඉදලා හමාරයිනේ. නැවේ පාටියක් එහෙම තියෙන කොට මුලින්ම විස්කි බෝතලය විවෘත කරපු කප්පියා අහන්නේ යකා කොයි පැත්තේද ඉන්නේ කියලා? මුඩියට දාපු පොඩි විස්කි  ෂොට් එකක් යකා ඉන්න පැත්තට වීසිකරලා තමයි බෝතලේ ගහන්න පටන් ගන්නේ. තව වැඩක් තමයි ස්ටුවට්ට කියලා හවසට මුළු නැව පුරාවටම පොල්කටු අගුරුපුච්චපු ගිනි කබලක් අරන් ගිහින් දුම් අල්ලන්න ඔනේ කියලා නියෝගයක් දිලා තිබුන එක. ඉතිං අර ස්ටුවට් කොල්ලා හැමදාම හවස හයට විතර දුම්කබලත් අරන් නැව පුරාම යනවා. හැබැයි එලියේ දුම් අල්ලන්නේ නැව ධාවනය නොවන දවස්වලට විතරයි. 

        ඉතිං මේ කප්පියාගේ කාලේ ඉවරවෙලා එයා නැවෙන් බැහැලා ගියා වෙන එක්කෙනෙක් ආවා. ඊට පස්සේ අර දුම් ඇල්ලිමත් පොල් ගෙඩිය ගැහිමත් එතැනින්ම ක්ලොස් වෙලා ගියා. මම කිව්වානේ නැව නැංගුරම් දාලා ඉන්න දවස්වලට හවසට එන්ජින් කාමරේ ජෙනරේටර්  වැඩ කිරිල්ල නවත්තලා ඉදිරියේ තියෙන හදිසි අවස්ථා ජෙනියෙන් නැවට විදුලිය සපයා ගන්නවා කියලා. එතකොට එන්ජින් කාමරේ තියෙන ගෝසාව එහෙමිපිටින්ම නැතිවෙලා ඉදිකටුවක් වැටුනත් මහාවිසාලෙට ඇහෙන තරම් නිහඩතාවයක් එකේ තියේනවා. 
හැම නැවකම එන්ජින් කාමරේ වර්ක් ෂොප් (Workshop) නැත්නම් වැඩහලක් තියේනවා. එකේ ඇතුලේ ලියවන පට්ටලයක් බ්‍රෙන්ච් ඩ‍්‍රිල් එකක් වෙල්ඩින් ප්ලාන්ට් එකක් ආයුධ මහගොඩක් ඇතුලු කව බඩුබාහිරාදිය තියේනවා. මේ නැව තරමක කුඩා එකක් බව මම කිව්වානේ. මේකේ ප‍්‍රධාන තට්ටුවට (Main Deck)යට තට්ටුවේ තමයි මේ කියන වර්ක් ෂොප් එක පිහිටලා තියෙන්නේ. එකට යාබදව සුක්කානම් කාමරයත් (Steering Room) එකෙන් නැවේ පිටිපස්සේ පූප් ඩෙක් එකට විවෘතවන හදිසි අවස්ථාවකදි පිටවන දොරටුවකුත්  (Emergency Exit ) තියෙනවා. නැවේ ප‍්‍රධාන තට්ටුවේ තමයි ගැලියත් තියෙන්නේ මේ ගැලියෙන් ඉබියතුරු දාපු යකඩ දොරක් ඇරගෙන පහලට බහින්න පඩිපෙලක් තියේනවා. එක යන්නේ අර වර්ක් ෂොප් එකේ එහා පැත්තේ තියෙන පිහිටලා තිබෙන ආහාර ගබඩාවට තමයි. ආහාර ගබඩාවෙ ඇතුල හරියට බිංගෙයක් වාගේ. වියලි ආහාර එක පැත්තක රාක්ක වලත් අනෙක් පැත්තේ අධිශිතකරන දෙක තුනක මස් මාලු දාලා තියෙනවා. වෙන නැව් වල නම් කූල් රූම්  (Cool Room)කියලා කියන අධිශිත කාමර තිබුනත් මේකේ එහෙම කාමර තිබුනේ නෑ. වර්ක්ෂොප් එකත් ආහාර ගබාඩාවත් අතර බිත්තියේ ඇන මුරිච්චි යොදලා වසාදාපු එක කවුළුවක් තිබුනා එක ඇනයක් අඩුව. වර්ක්ෂොප් එකේ වර්ක බෙන්චි මේසය මතට නැග්ගාම මේ ඇනය නැති හිලෙන් එහා පැත්ත බලන්න පුලුවන්. මේ විත්තියත් මම දැනන් හිටියා. 

        ලස්සනට සුදු පාටට කිට ඇදන් හිටියාට ස්ටුවට්ලා කුක්ලා හරිම අපිරිසුදු කොට්ටාශයක්. හරියට නාන්නේ වත් නෑ. උන්ගේ කැබින් කාමර තනිකරම අපායක්.කප්පියාට අල්ලාගෙන ඉන්න නිසා කප්පියා කැබින් එන්ස්පෙක්ෂන් එන දාට උන්ගේ කැබින් බලන්නේ නෑ. මේ ආහාර ගබඩාව කවදාකවත් හරියකට සුද්දකරන්නේ වත් නෑ. ඇතුලේ ලූණු පොතු කරවල කඩු මැරිච්චි මියෝ කැරපොත්තෝ දැලියෝ රෝතු පිටින් ඉන්නවා.  ඔන්න එක සැරයක් මේ ආහාර ගබඩාව සුද්ධපවිත‍්‍රකරලා තීන්ත ගාන්න අලුතින් ආපු ටේ‍්‍රනිස්ලා වගයකටයි අර ස්ටුවට් කොළුවාටයි පැවරුවා. මේක අස්කරන්න ගත්තු දවසකදි ස්ටුවාට හමුවුනා ලේ තැවිලා කහගැහුනු බෙඩ් ශිට් දෙකක් කොට්ට උරයක් එහෙම. ඇස්ගෙඩි දෙක දොඹ සයිස් එකට ලොකු කරගෙන නළලට අරගත්තු මේකා අර කහගැහිච්චි පරණ බෙඩ් ශිට් දෙකත් අරන් උඩට ආවා. මේක දැකපු  පරණ සීමන් අයියලා අළුත් කොල්ලන් බය කොරන්න කිව්වේ මීට අවුරුදු ගනනාවකට කලියෙන් නැවේ අනතුරකින් මැරිච්චි දෙවන ඉන්ජිනේරුවාගේ මිනිය ගෙනවිල්ලා දැම්මේ කූල් රූම් එකේ නිසා එයාව ඔතපු බෙඩ් ශිට් එක වෙන්නැති කියලා. සාමාන්‍යයෙන් නැවකදි  මිනිහෙක් මියගියාම කූල් රූම් එකේ තියෙන බඩු මූට්ටු අයින් කරලා මිනිය එකට දානවා ඊළග වරායෙන් මෘත දේශය බාරදෙනකම්. පසු කාලෙක මා සේවය කල නෞකාවකදි සිදුවුනු හදිසි අනතුරකින් අවාසනාවන්ත ලෙසින් මිනිහෙක් මියගිය සිදුවිමකට මුහුණ දෙන්නත් උනා. ඒ ගැන පස්සේ ලියන්නනම්. ගොඩාක් පැරණි නැවක් වෙච්චි මේ නෞකාවේ ඇත්තටම මිනිහෙක් මැරිලා ඇද්දැයි කියන්න සාක්කියක් නම් නෑ. අළුතින් ආපු කොල්ලන් බය කරන්නත් එක්ක සමහරවුන් හතරුස් සයිස් බේගල් ඇදබාන්නේ උන් ලොකු පොරවල් විදිහට පෙන්නනත් එක්කයි. ඉතිං මේ අපේ කතානායකයා ටිකක් විතර නෙමෙයි තරමක් විතරය බයවුනා. ඒක මටත් හොදටම තේරුණා.

              හවස හයාමාරට හතට විතර තමයි ස්ටුවට් ඇවිත් පහුවදාට උයන්න තියෙන මස් හරි මාළු හරි අධිශිතකරනයෙන් එලියට දාන්නේ. පහවදා වෙනකොට අයිස් දියවෙලා තියෙනකොට කපන්න ලේසියිනේ. හවස හත වෙනකොට කුක් වැඩ ඉවරකරලා කාමරයට ගිහිල්ලා. දවසේ අන්තිම වැඩය විදිහට ස්ටුවට්ට කරන්න තියෙන්නේ මස් එළියට දාන එක විතරයි. මේකා අර යකඩ දොරේ ඉබ්බා පන්නලා දොර අරිද්දිම ඒ සද්දේ වර්ක්ෂොප් එකේ ඉන්න මට ඇහෙනවා. දැන් මම දන්නවා මේකා යන්නේ හෙට උදේට උයන්න ගන්න බඩු අරන් මස් එළියට දාන්න කියලා. හිමිහිට වර්ක් බ්‍රෙන්ච් එකට නැගලා අර සිදුරට ඇහැ තියලා බලාගෙන ඉන්නේ මූ ඩී ෆිසර් එක අරලා මස්කුට්ටිය එළියට අදිනකම්. ඊට පස්සේ හොදට ගැඹුරු හුස්මක් පපුව පිරෙන්න අරන් අර සිදුරට කට තියලා මුලු ආහාර ගබඩාව දෙදරලා යන්න  ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕයීයීයී කියලා කෑගැහුවා. අතට ගත්තු මස් ගාතෙත් එතනම දාලා ස්ටුවා ආයෙත් උඩට එන්න ඉස්සර කිසිම සද්දයක් ඇහෙන්නේ නැතිවෙන්න වර්ක් බ්‍රෙන්ච් එකෙන් බිමට පැනලා හදිසි දොරටුවෙන් උඩට නැගලා පූප් ඩෙක් එකේ බොලාඩ් එකක් උඩට වෙලා මුහුද දිහාබලාගෙන ඉන්න මාව ස්ටුවා කවරදාකවත් අවිස්වාස කලේ නම් නෑ.  ටික දවසක් තනියම යන්න බෑ කියලා කුකාගේ කුණු බැනුම් අහ අහා කුකත් එක්ක මස් එළියට දාපු ස්ටුවට් මල්ලියාට  ඕයී  යකා බැල්ම දැම්මේ නම් නෑ. හැබැයි මිනිහා තනියම ආපු හැම වතාවකදිම  ඕයී යකා  ඕයී කියලා ඇමතුවා. මම කිව්වානේ මු මහ මාන්නක්කාරයා කියලා ඒ හින්දා  යකාගේ සීන් එක මටයි කුකාටයි  ඇරෙන්න වෙන කාටවත් කිව්වේ නෑ. මමත් ඔය විත්තිය වැඩිය ප‍්‍රචලිත නොකලේ වැඩේ මාට්ටුවෙයි කියලා හිතුන හින්දයි. ටික දවසකින් අපේ කතානායකයාගේ පන්ඩිත මන්නක්කාර ගතියත් පොඩිඩක් විතර අඩුවෙලා ගිය හින්දත් මගේ ඩියුටි වෙලාව වෙනස්කරලා වෙනින් වෙලාවක් වැටුන හින්දාත්  ඕයී යකාගේ ඇල්ම බැල්ම ස්ටුවට් මල්ලිට නැතිවෙලා ගියා. 

 ප‍්‍රධාන තට්ටුව (Main Deck)

 නැවක මුළුතැන්ගේ (Ship Gally) 

 අධිශිත කාමර  (Cool Rooms)

 වැඩහල (Workshop)

 සුක්කානම් කාමරය (Steering Room) 


ඕයී යකා බලන්න.

Thursday, September 7, 2017

ජපන්නුන්ට අපෙන් නැවක්


ජපන්නු හපන්නු කියලා අපි පොඩිකාලේ ඉදන් අහන කතාවක් කියේනවානේ. ඒ හින්දා තමයි ලෝක යුද්ධයේදි පරමාණු බෝම්බ වලින් හොදටම බැටකාලා නට්ටන්වුනු ජපන්නු ඉක්මනින් නැගීසිටියේ. දැන් අඩු මුදලට ආරක්ෂාව අඩු ඉන්දියන් මොටර් වාහන සිරිලංකාවේ මාර්කට්ටුව ආක‍්‍රමණය කරලා තිබුනත් අපේ අයත් දහඅතේ ණයවෙලා හරි ගන්න කැමති ජපන් වාහනයක් හරි ජපන් මොටෝසයිකලයක් තමයි.

මේ තමයි හදන්න යන නවින පන්නයේ නෞකාව


                         "සිරිලක දේ සිරිසැප දේ"  කියලා කට වචනෙට කිව්වත් මොන භාන්ඩේවත් "මෙඩ් ඉන් සිරිලංකා" කිවොත්  අපේ අය ඒ භාන්ඩේ ගන්න පොඩ්ඩක් විතර පස්ස ගහනවා.  එහෙම වෙන්නේ  "අපි ජාතියක් හැටිය හරි වෙනස්  අපි ඒ වෙනසට ගරුකරන්න ඔනේ" කියන හින්දාද? නැත්නම්  අපේ අයගේ හැටියද? අපි අපේ දේ ගනන් නොගත්තාට විශේෂයෙන්ම අපේ රටේ තේ කුරුදු වගේ දේවල් දේවල් වලට පිටරැටියෝ කැමතියි. ඒවගේ තමයි නැව්, මෙඩ් ඉන් සිරිලංකා නැව්. ෆයිබර්ග්ලාස් මාළු බෝට්ටු හැදුවට අපේ රටේ නැව් හදනවා කියලා කවුරුත් දන්නේ නැතිව ඇති.  ඔව් අපේ රටේ නැව් නිපදවනවා. අපි කියන්නේ නැව් ගොඩනගනවා  ( Ship Building) කියලා. අපේ රටේ නිෂ්පාදනය කරපු බොහෝ නැව් ලෝකය පුරා සමුදුරුවල මේවනවිටත් කරක්ගහනවා ඇති.

         අපේ රටේ හදන නැව් වලට හොද ඉල්ලුමකුත් තියේනවා. මේ සැරේ ජපානයේ සමාගමකට විශේෂ නැවක් ගොඩනගන්න පටන් ගත්තා. හැමදාමත්වාගේ ලංකාවේ කාර්මික අංශයේ ඉදිරියෙන්ම ඉන්නා ලංකාවේ එකම නැව්  නිෂ්පාදකයා වන කොළඹ නැව්තටාකාංගනය තමයි මේ නැවත් තනන්නේ. මේ නැව විශේෂ වෙන්නේ අපි ජපන් රටට නිපදවන පළමු නැව විමත් හා සාගර පත්ලේ කේබල් අතුරන (Cable laying vessel) නැවක්විමත් එක්කමයි.  ජපානයේ  Kokusai Cable Ship Company Ltd. තමයි මේ නැවේ ගැනුම්කරුවා වෙන්නේ. කොළඹ නැව්තටාකාංගනය විසින් තනන 243 වන නෞකාව මෙය වන අතර දැනට තටාකාංගනය අත්පත් කරගත් විශාලතම නෞකා ඇනවුමත් මෙය වෙනවා. මේ නැව ගොඩනංවන්න ආරම්භ කිරිමට කීල්එක ඇතිරිමේ උත්සවය (Keel Laying Ceremony) සැප්තැම්බර් 07 දින සුභ මෙහොතින් ගරු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා ජපාන තනාපතිතුමා, කොළඹ නැව්තටාකාංගනයේ සභාපති අචාර්ය තොරු තකහාරා මහතා, කලමණාකාර අධ්‍යක්ෂ /ප‍්‍රධාන විධායක නිලධාරි ඩි.වි අබේසිංහ මහතා ඇතුලු සම්භාවනිය අමුත්තන් අතින් සිදුවුනා.   




ඡයාරූප අයිතිය චන්ද්‍රදේව මාතරගේ

Thursday, August 24, 2017

ඕයී යකා




"නැගිටපං බං වොච් එකට වේලාව හරි. "
එහෙම කියාගෙන කැබින් කාමරයට ඇතුලුවෙච්චි හැටියේම විජේරත්න කාමරයේ ලයිට් එක ඔන්කෙරුවා. ඇස් නිලංකාරවෙලා ගියේ තද නින්දක හිටපු මම නිදිමතයේම අමාරුවෙන් ඇස් ඇරලා බලපු හැටියේමවාගේ ලයිට් දැමුව හින්දයි.  
"මෙන  ..........  දක්ද ඔය ලයිට් එක නිවපං. ඇස් දෙකත් ඇරගන්න අමාරුයි."
"මේ උඹ ආයෙමත් නිදා ගන්නේ නැතිව ඉක්මනට වරෙන්."
"හරි බං නෑවිත් ඉන්නයෑ. දැන් ඉතිං පලයං."
කොට්ටේ අස්සට අත දාලා  අත් ඔරලෝසුව ගත්තු මම වෙනදා විදිහටම වේලාව බැලුවා. වේලාව 11.40
"යකෝ තව වේලාව තියේනවා. මොන ...... ටද මාව කලින් ඇහැරෙව්වේ?"
"මාරවැඩක්නේ බං උනේ. උඹ විස්වාස කරන එකකුත් නෑ."
ඒ පාර විජේරත්නකාරයා කැබින් කාමරයෙන් යන්නේ නැතිව කියවනවා. 
"පලයන් බං යන්න බොරු කෙබරයක් ඇදගෙන එන්නේ නැතිව."
මම කොට්ටේ බදාගෙන ඇනිත් පැත්තට හැරුනා.
"නෑ බං තාමත් ඇගේ මයිල් කෙලිං වෙනවා ඒක මතක් වෙනකොටත්. මේ බලපං."
අතේ පිපිනු හිරිගඩු පෙන්නන්නට විදුලි පන්දම අතට අල්ලලා පෙන්නනවා.
"ඔය සීතලට ආපුවා වෙන්නැති බං. පලයන්කෝ වද නොදි."
"නෑ බං දරුවෝ පල්ලා සත්තයි. වෙන එකෙක් නම්  නම් බයවෙලා නූල් බදින්න වෙන සීන් එකක් තමයි උනේ."
"ඇයි බං? හොල්මන්ද?"
"හොල්මන් සීන් එකක් වගේ තමයි. "
"මොන හොල්මන්ද බං මේ නැව් වල."
"උඹ නැව් වල තියෙන හොල්මන් දැකලා නෑ. මේවාගේ පරන ලදරං නැව් වල මැරිච්ච උන් කොච්චර ඉන්නවාද? "
"අනේ පලයන් ප... යෝ යන්න. මාව බය කරන්න හදන්නේ නැතිව. උඹට බෑ මාව තම්බන්න. "
"එහෙනම් අර හිටපු කැප්ටන් ස්ටුවට් කියලා මොකද හවසට නැව පුරාම දුම් අල්ලන්න කියන්නේ?"
"ඒ යකාට කොහොමත් පිස්සුනේ. අනික මිනිහා දෙමළ හින්දා කැබින් එකේ තිබුන දේව රූප වලට අල්ලලා ඉතුරුවා ස්ටුවාට නිකං අල්ලන්න කියන්නැති." 
"නිකං නොවෙයි බං ඔකා නැවකදි හොල්මනකට බයවෙලා තියේනවා ඒකයි."
"හරි දැන් උඹට මොකක්ද උනේ කියපං?"
මෙන්න විජේරත්නයා ඒ පාර කැබින් එකේ  තිබුන සැටියේ හොදට හරිබරිගැහිලා ඉදගත්තා.
"උඹලා ඊයේ ඉමර්ජෙන්සි ජෙනරේටර් එකේ ටැපට් කවර් වල පැකින් මාරුකලා නේද? "
"ඔව් ඉතිං."
"ඔන්න දැන් ඒවායින් තෙල් ගහන්න පටන් අරන්."
"ඉතිං හවස එහෙම ලෙඩක් තිබුනේ නෑනේ? හවස ස්ටාර්ට් කරද්දි හොදට දිව්වා නේ."
"එන්ජිම රත්වෙද්දි තමයි ලෙඩේ ආවේ. මම  චිෆ් ඉන්ජිනියර්කාරයාටත් කිව්වා. දැන් ජෙනිය මාරුකරන්න බෑ කියලා  සැරෙන් සැරේ තෙල් බලලා අඩුතෙල් දාන්න කිව්වා. අනික කොහෝටවත් යන්නේ නැතිව ජෙනිය ලගටම වෙලා ඉන්නත් කිව්වා."
 
මුලින්ම කියන්න ඔනේ නැවක අපි කරන ඩියුටි වොච් එක ගැන. නෞකාවක වොච් එක නමින් හැදින්වු සේවාමුර තුනකට බෙදෙනවා. උදේ 8 සිට දහවල් 12 දක්වාත් රාත‍්‍රි 8 සිට මධ්‍යම රාත‍්‍රි 12 දක්වාත් පැය හතර බැගින්ද ඊළග තැනැත්තා 12 සිට 4 දක්වාත් අනෙකා 4 සිට 8 දක්වාත් සේවා මුරය සකස්වෙලා තියේනවා. මාගේ සේවා මුරය වුයේ 12 සිට 4 දක්වායි. විජේරත්න විසින් මා අවදි කරවන්නේ මධ්‍යම රාති‍්‍රයේ වොච් එකටයි. 
               මා සේවය කරපු නෞකාවන් අතරින් විශේෂයෙන්ම සදහන් කල හැකි කුඩා නෞකාවක් වු මෙහි නංගුරම් දා තිබියදි රාත‍්‍රි කාලයේ එන්ජින් කාමරයේ ඇති සියලු ජෙනරේටර් අක‍්‍රිය කර හදිසි ජෙනරේටරය මගින් මුළු නැවටම විදුලිය හැකි ලෙසින් සකසා තිබුනා. නැව ධාවනයේ නොවන නිසාත් පොම්ප හා  මොටර් ආදියත්  දොඹකර වැනි යන්ත‍්‍ර සුත‍්‍ර කි‍්‍රයානොකරන නිසාත් ප‍්‍රධාන ජෙනරේටර් මගින් විදුලිය නිපදවන්නට කි‍්‍රයාකරවිමදි වැයවන ඩිසල් ප‍්‍රමානය ඉතිරිකරගැනිමට හැකිවන සේ හදිසි ජෙනරේටරය (Emergency Generator) කි‍්‍රයාත්මකරන්නට පටන්ගෙන තිබුනි. මෙම විදුලි ජනක යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කරවන්නේ සවස 6 සිට පසුදා උදයේ 8 වනතෙක් කාල සිමාවේ පමනකි. 

      වායු සිසිලන එන්ජිමක් මගින් කි‍්‍රයාත්මකවු මේ හදිසි ජෙනිය සහිත කාමරය පිහිටා තිබුනේ නැවේ ඉදිරිපස බෝසන් ස්ටොරු කාමරය අසළය.  එන්ජින් කාමරයේ කිසිදු යන්ත‍්‍රයක් කි‍්‍රයානොකරන බැවින් වෙනදා ඝෝෂාවෙන් පිරුනු එහි දැන් ඉදිකටුවක් වැටුනත් ඇහෙන තරමට නිෂ්ශබ්දතාවයෙන් යුක්තවිය. ඉදහිට බිමට ගන්නා ජල පොම්පය පමනක් ඉදහිට කි‍්‍රයාත්මක විම පමණක් එහි සිදුවුනි.
                 
           නැව ඉදිරියේවු වායු සිසිලන ජෙනියේ ඉන්ජිමේ  (Air Cool Engine) උෂ්නත්වයත් ඩිසල් ටැංකියේ තෙල් ටැංකියේ ප‍්‍රමානයත් පරික්ෂාකරන්නට පමණක් සිදුවුන නිසාත්  යාන්ත‍්‍රසුත‍්‍ර වැඩ නොකරන එන්ජින් කාමරයේ කරන්නට වැඩක් නැති නිසා විදුලි පන්දමත් රැගෙන ප‍්‍රධාන නැව් තට්ටුව මතට වි මුහුද දෙස බලාගෙන ඉදිමත් පමණක් එවැනි දිනෙක අපහට කරන්ට සිදුවුනි. කෙටි වේලාවකට නෞකාව නැංගුරම් දැමිම බොහෝවිට සිදුවුත් දින දෙකතුනක් නැංගුරම් දාගෙන සිටින්නට සිදුවන අවස්ථාවන් විරලවිමත් එසේ ලැබෙන අවස්ථාවක හදිසි ජෙනිය කි‍්‍රයාත්මක කිරිම මගින් ලැබෙන නිදහස් විවේකී කාලසීමාවන් අප සියල්ලන්ම අසාවෙන් විදගන්නේ ඉතා කැමැත්තෙනි.  
               
        මේ 2003 වසරේ මැද දිනයක කොළොම්පුරේ වරායට ආ අප නෞකාව දින කිහිපයකින් යළිත් ගමන ආරම්භ කර නැංගුරම් දැම්මේ එකල  බොම්බාය නමින් හැදින්වු මුම්බායි වරාය පිටත නැංගුරම් දමනා මුහුදු සිමාවේදිය (Outer Anchorage).  නැව වික්ටොරියා ඩොක් එකේ (ඉන්දියාවේ දැඩිව පවතින වඩදිය  හා බාදිය  තත්වයන් නිසා මුම්බායි වරායේ ජැටියන් වැසිය හැකි දොරටු සහිතව සකසා ඇත) ජැටියට ගන්නාතෙක් බලාසිටින්නට සිදුවිය.
 
     විජේරත්න පැමිණ කියු සේම එදින දහවල් කාලයේදි හදසි විදුලිජනක යන්ත‍්‍රයේ සුළු අළුත්වැඩියාවන් කල අතර මද පමනින් තෙල් කාන්දුවක් සහිතවු එන්ජින් ටැපට් කවරයන්ගේ (Tappet Covers) පැකින් ගලවා අලුත් පැකින් කපා සවිකර දැමුවෙමු. 

"උඹලා හරියට පැකින් දමලා නෑ. තෙල් ලීක් වෙනවා නොමෙයි බං තෙල් විදිනවා."
"මොන? එහෙම වෙන්න බෑනේ."
"වෙන්න බෑ නෙමෙයි. රූම් එකට යන්න බෑ තෙල් හැමතැනම. මම තෙල් කෑන් එකක් අර ගිහින් එතැන තිබ්බා. ජෙනියේ තෙල් අඩුවෙලා සීස්වුනොත් මල ලෙඩක් නිසා. උඹ කොළඹදි ගෙදරින් අරන් ආපු නවකතා පොත්වලින් එකක් මම අරගත්තා. නිකං ඉන්න එකේ ජෙනරේටර් රූම් එක ළඟ ඩෙක් එකේ පුටුවක් තියාගෙන  කියවන්න ගත්තා."
"උඹ ජෙනිය ළඟද හිටියේ?"
"ඔව් ඩෙක් එකේ. පිටු දෙකක් විතරයි කියවලා ඉවරකරන්න පුලුවන්වුනේ."
"ඇයි මොකදවුනේ?"
"එක පාරටම උගුර යටින් එන මහ සද්දෙන්  
ඕයී කිව්වා. මගේ මයිල් කෙලින්වුනා බං. මනුස්සු කටකින් ඒ විදිහට කියන්න බෑ. එත් මම ගනන් ගන්නේ නැතිව හිටියා. විනාඩි 20කට විතර පස්සේ ආයෙමත්  ඕයි කිව්වා."
"අනේ පලයන් හු....’....’ බොරු කියන්නේ නැතිව."
"නෑ බං ඇත්ත. මම හිතුවේ උඹලා මාව බය කරන්න හදනවා කියලා. ෆෝකාසල් (Forecastle Deck) එක පැත්තෙන් තමයි ඇහුනේ. මම ගිහිල්ලා බැලුවා කවුරුත් නෑ. ඒ පාර ආයිමත්  
ඕයී කිව්වා එක ඇහුනේ බෝසන් ස්ටොරුව (Boatswain Store) පැත්තෙන්. බෝසන් ස්ටොරුව අතුලට ගිහිල්ලා බැලුවා. කවුරුත් නෑ.  ඒ පාර එකේ යට තියෙන රූම් එක ඇතුලෙන්  ඕයී සද්දේ ආවා මම ඒ කාමරේට වර්ටිකල් ලැඩර් එකෙන් බැහැලා බැලුවා. ඒ පාර   ඕයි කියන්නේ බොසන් ස්ටොරුව ඇතුලෙන්." 

"ඉතිං උඹට ඔය  
ඕයී කියන එකාව අල්ලා ගන්න බැරිවුනාද?"
"කොහේවත් එන්න එකෙක් නෑ බං. මම ෆෝකාසල් එකට යනකොට බොසන් ස්ටොරුවෙ පැත්තන්  
ඕයී  කියනවා. එහෙට ගියාම ෆෝකාසල් එක පැත්තෙන්   ඕයී ගානවා. ඒ කියන විදිහට නම් මිනිහෙක්ට කියන්න බෑ බං."
විජේරත්න කියන විදිහට දැන් මගේ හිතටත් පොඩි චකිතයක් එනවා. එත් මූ හදන්නේ දැන් ? දොළහට වැඩ භාරගන්න ඉන්න මාව බයකරන්නද දන්නෑ. මුට මම බය වෙලා ඉන්න බව පෙන්නුවොත් එක විජේරත්නකාරයා වාසියට ගන්නවා.
 
"මම හිතන්නේ ඩෙක් එකේ වොච් එකේ ඉන්න උන් උඹව බය කරන්න හැදුව වැඩක් වෙන්න ඇති."
"නෑ ඔය  
ඕයී කියන සද්දේ එනකොටත් අර ඩෙක් එකේ වෙච් එකේ ඉන්න මල්ලියා බි‍්‍රජ් එකේ තමයි හිටියේ. මම දැක්කා ඒකා නැවේ බෙයාරිං ගන්නවා."
"ඔය ජෙනියෙන් එන සද්දයක් වෙන්නැති එහෙනම්. "
"නෑ බං මමත් එහෙම හිතුවා මුලින්. එත් ඒක ජෙනියෙන් එන සද්දයක් නෙමෙයි. මුලින් ඒ 
ඕයී කියන සද්දේ ආව් වෙලාවකට පස්සේ එත් ටිකෙන් ටික මට එක විනාඩියක් පුටුවේ ඉදගෙන පොත බලන්න දුන්නේ නෑ බං. විනාඩි පහෙන් දහයෙන් ඌ මට  ඕයි කියන්න ගත්තා. "
"උඹ බයවුනාද ?"
"පිස්සුද බං මම දැන් අවුරුද 20ක් මීටත් වඩා පරන ලදරං නැව් වල හොල්මං එක්ක හිටියා. උඹ දන්නේ නෑ එක සැරයක් මම හිටපු නැවක ඒ කැබින් එකේ හිටපු එකා මැරිලා දවස්දෙකකට පස්සේ තමයි නැවේ උන් දන්නේ මිනිහා මැරිලා කියලා. එතකොටත් මිනිය කුණුවෙලා. රෑට කැබින් එකේදි මිනිහා සැටියේ ඉදගෙන ඉන්නවා සමහරක් දාට දකිනවා. ඔයවාගේ කේස් එක්ක මේ  ඕ
යී යකා යකෙක්ද බං?"
"පුදුමයි ඌ උඹත් එක්ක ඒ කැබින් එකේ හිටියා. උඹවාගේ හොල්මනක් එක්ක මටත් මේ කැබින් එක ෂෙයාර් කරගෙන ඉදලා එපාවෙලා තියෙනකොට."
"අනේ පලයන් ප.... යන්න." 

මිනිහාට මලත් පැන්නා.  දැන් මේ විජේරත්නයා මාත් එක්ක තව නැව් වල හොල්මන් කතා කිහිපයක් එහෙම කියවා කියවා ඉදලා මට ලෑස්තිවෙලා ෆෝකාසල් ඩෙක් එකේ ඉමර්ජන්සි ජෙනිය ළගට එන්න කියලා යනකොටත් ? දොළහ පහුවෙලා විනාඩි පහලොවක් ගෙවිලා ගිහිල්ලා. දඩි බිඩිගාලා මුහුන එහෙම හෝදාගෙන මමත් දැන් එහෙට මෙහෙට පැද්දෙන නැවේ බදේ වැදිලා නැගෙන මුහුදු රැල්ලේ ශබ්දයත් එහෙම අහගෙන ප‍්‍රධාන තට්ටුව දිගේ නැව ඉදිරියට ගියා. ඉමර්ජෙන්සි ජෙනිය තියෙන කාමරේ ඉදිරිපිට පුටුවක් තියාගෙන එකේ මම එනකම් බලාගෙන හිටපු විජේරත්න ඉක්මනට එයාගේ අතේ තිබුනු විදුලි පන්දම මට දිගු කරලා    
"එහෙනම් මම යනවා සැරෙන් සැරේ තෙල් එහෙම බලලා දාපං දැන් තෙල් ලීක් වෙනවා වැඩියි." 

එහෙම කිව්ව විජේරත්නයා අඩියට දෙකට ඇකඩමෙෂන් එක පැත්තට ඇවිදගෙන ගියා. ඩියුටිය භාර ගන්න කියලා දෙයක් නැති නිසා ජෙනියේ තෙල් බලලා. ඩිසල් ටැංකියේ තෙල් මට්ටමත් එන්ජිමේ උෂ්නත්වයත් බලාගෙන ආපහු එන්ජින් කාමරේ පැත්තටත් ඇවිල්ලා එකෙත් රවුමක් ගහලා බැලුවා. දැන් ඉතිං වෙන වැඩක් නැති නිසා පුටුව උඩ තිබුන නවකතා පොත අතර අරන් පිටු කිහිපයක් කියවලා ඉවර කලා විතරයි මෙන්න බොලේ අර විජේරත්නයා කියපු විදිහට යටි උගුරෙන්  ඕංංයී කියලා කවුද එකෙක් මරහඩ දුන්නා. 

නැව් තට්ටුව සිසාරා යන දැඩි සුළං පාරට දැනෙන සීතලත් පරදවාගෙන හී ගඩු පිපුනේ ඇගේ මයිල් එහෙමත් කෙලින්කරගෙනයි. එත් මේක මාව බය කරන්න විජේරත්න කාරයාගේ ගේමක්ද දන්නේ නැති නිසා ඉක්මනට ඩෙක් එකේ වම් පැත්තෙන් පොර්ට් සයිඩ් එකට දුවලා ඇවිත් බැලුවා කවුරු හරි මට  ඕංංයී කියලා කෑගහලා හැංගෙන්නට දුවනවාද කියලා. එත් කවුරුත් පේන්න නෑ. ඒ පාරට දකුණු පැත්තේ ස්ටාරබර්ට් සයිඩ් පැත්තටත් ගිහිල්ලා බැලුවා. 

එත් නෑ. ඔන්න ඒ පාර ආයෙමත් ෆෝකාසල් ඩෙක් එක පැත්තෙන්  ඕංංයී සද්දේ ආවා. මම එහෙටත් පඩිපෙලෙ නැගලා ගිහින් බැලුවා. කවුරුත්ම නෑ. භාගෙට බැටරි බැහැපු ටොර්ච් එකේ මාලානික එළියෙන් හැංගිලා ඉන්න මෙන මළ යකෙක්වත් පෙන්නේ නෑ. ටොර්ච් එක එහෙට මෙහෙට අල්ලා බලලා බෝසන් ස්ටොරුවත් එක යට තියෙන ලණු තියෙන කාමරේටත් ඔලුව දලා බැලුවා. දැන් මට හිතෙන්නේම මේක  විජේරත්නයාගේ ගේමක්ම තමා කියලා. 

මුං සෙට්වෙලා දේන්න හදන  ඕයී යකා ගේම ගැන කල්පනා කරකර ආපහු ඇකමඩේෂන් එක පැත්තට ඇවිල්ලා කැබින් එකට එබිලා බැලුවා. විජේරත්නයා පස්ස උඩ දාගෙන හොදටම ගොරවා ගොරවා බුදි. එහෙනම් කවුද යකෝ මට හැංගිලා  ඕයී කියන්නේ? දැන් නම් හිතේ පොඩි චකිතයක් එක්කම බයකුත් එනවා. මෙච්චර වෙලා ඔනේම යකෙකුට ගහන්න බයක් නැතිව හිටපු මම ආපහු නැවේ ඉස්සරට යන්න පැකිලෙන්න ගත්තා. ඔනේ මගුලක් කියලා ආයෙමත් ඉස්සරාට ගියා. නවකතා පොත අතට අරන් කියවලා නවත්තපු පිටුව පෙරලා ගත්තා විතරයි ආයෙමත් අර යකා  ඕංංයී කියාගෙන මරහඩ දුන්නා. හිතත් ගැස්සිලා ගියා විතරක් නොවෙයි පොඩි පහේ මුත්තරා බරකුත් හැදුනා. ජෙනිය තෙල් නැතිව සීස් වෙලා නතරවුනත් ආයෙමත් ඒ පැත්තට නම් යන්නේ නෑ  කියලා ටෝර්ච් එකත් අරන් නැවේ පිටිපස්සේ පූප් ඩෙක් එකට ෆුල් සිපිඩ් එකේ ඇරලා ආවා.

දමලා ගහලා ආවත් හිතත් අප්සෙට්. ඇයි ලෙඩ දෙන ජෙනිය ගැන හොයලා බලන්නේ නැතිව නැවේ පිටිපස්සට වෙලා ඉන්න වුන එකත්. ඉතුරු පැය තුනත් ගෙවිලා ගිහිල්ලා පාන්දර තුනත් පහුවුනා. දැන් ඉතිං ගස් නැගපු යක්කුත් ගෙවල් වලට ගිහිල්ලා හින්දා ලෙඩ ජෙනිය බලන්න ඔන මගුලක් වෙන්ඩ කියලා ආපහු නැව ඉස්සරාට ගියා. පපුවත් පොඩ්ඩක් ඩිගිඩිගි ගාලා ගැහෙන්නත් පටන් අරන්. භාගෙට බැටරි බැහැපු ටොර්ච් එක හැම පැත්තට අල්ල අල්ල හිමිහිට නැවේ ඉස්සරාට ගියා නෙමෙයි හිමිහිට ගෑටුවා. ජෙනරේටර් කාමරේට ඔළුව දාලා බැලින්නම් මුළු ජෙනරේටර් කාමරේම තෙල් වලින් නහවමින් ජෙනිය යකාවගේ වැඩ. සම්ප් එකේ තෙල් මට්ටම එහෙම බලලා අඩුතෙල් ආපහු පුරවලා දැම්මා. 

         ඒ අස්සේ දිගින් දිගටම ගිරිය යටින්  ඕංංයී කියලා උගුර රිදෙන්න අල්ලලා වගේ අඩු සද්දෙන් ආපහු සැරයක් යකා  ඕයී කිව්වා. සද්දේ ආවේ ෆෝකාසල් එක පැත්තෙන්. ඔ්න මළ යකෙක් උන්නාවේ කියලා මරාගෙන මැරෙන්න හරි ඔය  ඕයී යකා හොයාගන්නවා කියලා මම පුරුෂ දයිරිය හිතට අරගෙන පඩිපෙල නැගලා ෆෝකාසල ඩෙක් එකට ගොඩවුනා. මලානික ටොර්ච් එලියෙන් නැංගුරම් දම්වැල සවිකෙරනු වින්ඩ්ලස් එක හා නැව ගෙටගසන මෝරිං වින්චිත් අතරින් ගමන් කරමින් මේ හැම තිස්සෙම  ඕයී කියමින් මහ හඩින් කෑ ගසනා මළයකා සෙව්වා.
       
ඔන්න ආයෙමත් සැරයක් මේ යකා කෑ ගැසුවේ නැතැයි.හැබැයි මුලින් මාව බයකරපු තරමේ දරුණු කෑගැහිල්ලකින් නම් නොමෙයි. මෙච්චර වෙලාවක් අපි කාගේවත් ඇසට අසුනොවුනු අපි කවුරුත් හදුනා නොගත්තු ඒවාගෙම යකෙකුටවත් බය නැති විජේරත්නකාරයාවත් බයකරපු  ඕයී යකා මගේ අතටම අහුවුනා.

 මම මුලින්ම කිව්වා නේ අපි නැංගුරම් දමාගෙන හිටිය බොම්බායේ පිටත නැංගුරම් මුහුදු සීමාව හරහා දැඩි සුළං තත්වයක් තිබුනා බව. දැඩි සුළං පහරටත් මෙන්ම රළ පහරටත් ලක්වෙන නෞකාවක් නැංගුරම වටා කැරකැවෙන්නට පටන් ගන්නවා. දැඩි සුළඟට නැව හැරවෙද්දි නංගුරමේ දම්වැල නැව් බඳ හරහා පිටත පැමිනෙන හවුසි පයිප්පය (Hawse Pipe) තුල ඇතිල්ලීමත් එක්කම එය තුලින් සුළඟ ගමන් කිරිමත් නිසා හුම්මානයෙන් හුම් සද්දයක් එනවා වාගේ ගැඹුරු හඬකින්  ඕයී ශබ්දයක් හටගන්නේ. 

බොහෝ කලාතුරකින් මෙවැනි ශබ්දයක් අසන්නට ලැබෙන්නේ දැඩි සුළං සහිත දවස් වලම නැංගුරම් දැමිමක් සිදුවන්නට තිබු ඉඩකඩ අඩුබැවිනි. පහුවදා මේ නැවේ  ඕයිී කියලා කෑ ගසමින් මරහඬ තලනා හොල්මනක් ඉන්නා විත්තියත් මහ රෑ සිද්ධවුන සියල්ලත් විජේරත්නයා ගෙන් හැමෝටම දැනගන්නට ලැබුනා. තවත් ලුණු ඇඹුල් එකතුකරමින්  ඕයී යකාගේ කතාන්දරය ස්ථිරකලත්  ඕයී යකා විදිහට සද්දේ දාපු නැංගුරම් දම්වැලේ සිද්ධිය ගැන මම මේ වනතෙක් ඔන්න කාටවත් කිව්වේ නම් නෑ. 



 

Forecastle Deck

මගේ නොවන මගේම කැබිනය හා මිලේනියම් එක සැමරිම - සයුරේ දසවසක්

මාගේ තුන්වන නෞකාව වූ කුමණේ සිටියදි 1999 වසරේ   ජනාධිපතිවරණය   පැවැත්වු අයුරුත් අපත් එයට සමගාමිව  ජනාධිපතිවරණය ක් පවත්වූ අයුරු පෙර ලියා ඇත්තෙ...