වැස්ස එකසීරුවට ඇදහැලෙන්නට ගත්තේ තද කරගෙන හිටි සියලු දුක්ඛදෝමනස්සයන් පිටකරන්නට සැරසෙනවා මෙනි. තහඩු මඩුවේ ටකරං උඩට වැටෙන වැහිබිංදු විශාල ගෝසාවක් නගමින් බිමට ඇඳවැටී ගමන් කළේ දෙපාවලට පෑගී පොඩිවුණු තණබිස්සේ දුඹුරු පැහැ මඩකඩිති සාදමින්ය. තවත් එල්ලීගෙන ඉන්නට බැරියැයි කියන්නාක් මෙන් සිටින විවිධ ආයතන වලින් එල්ලු සුදු පැහැති ශෝක ප්‍රකාශ බැනර් තෙතබරිත කඩා හැලෙන්නට ආසන්නය. හිරිකඩට තෙමෙමින් බුලත් හෙප්පුවේ මඳක් වියලුනු අනිත් පැත්ත හැරවූ බුලත් කොළ හා පුවක් කැබිලි කිහිපයක් තහඩු මඩුවේ ප්ලාස්ටික් පුටු ගොඩක් මැද තනිව තිබුනි.
දුක්දෝමනස්සයන්ට මෙන්ම දැඬි ආකෝෂ පරිභවයන්ට දෘඩ ලෙසින් මුහුණ දුන් සුචිත්‍රා එළිපහළියට නොබැස කාමරයතුළටවී කල් ගෙව්වාය. උපනන්දගේ හත්දොහේ දානය ඉවරවූයේ ඊයේය. නෑ මිත්‍රාදීන්ගෙන් තොරව ගිය නිවස පුරා පැවතියේ දැඬි නිශ්බ්දතාවයකින් පිරි පාළුවකි. කාමරයෙන් එළියටබට සුචිත්‍රා පහත මාලයට ආවාය. ඈ ඉස්තෝප්පුවට වී හිස් බැල්මෙන් ඇඳවැටෙන වරුසාව දෙස බලාසිටියේ කිසිඳු අරමුණකින් තොරවය. එදා අලංකාරව තිබූ ගෙමිදුලේ මල්පාත්තිත් තණබිස්සත් යකා නැටු පිට්ටනියක් සේ අවුල්ව ගොසින්ය. සුචිත්‍රාට උපනන්ද කෙතරම් ජනප්‍රිය පුද්ගලයෙක්දැයි වැටහුනේ ඔහුගේ අවමගුලට ආ සෙනග කන්දරාවට පෑගී පොඩිව ගොස් තිබූ තණපලස දුටුවිටය. ඔහු සිහිවී ආ ඇඬුම පිටවීමට නොදී ඈ යටිතොල තදින් සපාගත්තාය. ඈට නොදැනීම තරප්පුපෙළ පාමුල බිම දෙස බැලුයේ එකවරමය. උපනන්ද ලේ ගලමින් තරප්පු පෙළ පාමුල වැතිර හුන් අයුරු ඇගේ නෙත් අබියස මැවී පෙනෙන්නට විය. නෙත් කෙවෙනි තුළ මෝදුවූ කඳුළුකැට ඇද හැලෙන්නට වූයෙන් ඈ දෑතින්ම මුහුණ වසාගත්තාය. තවදුරටත් සාලයේ රැඳීසිටීමට නොහැකිව ඕ තරප්පුපෙළ නැඟ ඉහළ මාලයේ නිදන කාමරය වෙත දිව ගියාය. උපනන්දගෙන් ලැබුනු රැකවරණය ගිලිහීගොස් දැඬි නිහඬ බවකින් පිරුණු මේ නිවසේ තමා තනිවී ඇතිබවක් ඇයට වැටහුනි. ඇය ඇඳේ වැතිර ඉකිගසමින් ඇඬුවාය. භූමදානය අවසන හත්දොහේ බණත් දානයත් අවසන්වනතෙක් ඉවසාගෙන සිටියේ බොහෝ අමාරුවෙන්ය. සියලු ඥාතින්ගෙන් සුචිත්‍රාට ලැබුනේ අනුකම්පාව නොව ඇනුම් බැනුම් හා කොන් කිරීම්ය. සියල්ලන්ම ඈ දෙස බැලුයේ මිනීමරු අපරාධකාරියක දෙස බලන්නාක් මෙනි. ඒ නිසාවෙන් ඈ මහත්සේ පීඩාවට පත්ව නිරතුරුව හිසේ රුදාවකින් පෙලෙන්නටද විය. අනෙකුත් යහළු යෙහෙළියන් සියලුදෙනා ඈ අතහැරගොස් සිටියදි ෂෙරිල් පමණක් ළඟින්ම සිට මානසිකව කඩානොවැටුණු සුවිත්‍රා ගේ ආත්ම විශ්වාසය යළි ගොඩ නගාගැනීමට යෝධ ශක්තියක් වූවාය.
උපනන්දගේ මරණයට අඳාළ සියලු සැකකිරීම් ඩේමියන් වෙත එල්ලවූයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ ඔහු තම ඉහළ සබදතා යොදාගනිමින් දින දෙකකින් පමණ ඇපපිට නිදහස්වීමට හැකි වූයේය. එසේ ඩේමියන් ඇපපිට නිදහස් වීමෙන් පසු සුචිත්‍රා මුණගැසීමට හෝ අවම වශයෙන් ඇමතුමක්වත් දීමටවත් උත්සාහකළේවත් නැත. සුචිත්‍රාහටද පොලිසියේ සැකමුසු බැල්මෙන් මිදීමට නොහැකි විනි. ඈ පොලිසියේ අතොරක් නැති ප්‍රශ්න කිරීම්වලට ඉතා අසීරුවෙන් මුහුණ දුන්නේ ඔවුනගේ අවඥාවටද ලක්වෙමිනි. දහවල් වනවිට වැස්ස තුරල්වී තිබුනි. මිදුලේ සවිකරතිබූ තහඩු මඩුව හා ප්ලාස්ටික් පුටු පටවාගෙන යාමට ආ ලොරිය මිදුලට ගන්නා හඬ ඇසී සුචිත්‍රා අවදිවිය. ඇය කාමරයෙන් එළියට ආවේවත් නැත.
“නෝනා අර මඩුවයි පුටු ටිකයි අරගෙන යන්න ඇවිල්ලා.”
මාටින් පැමිණ ඇයට සැලකර සිටියේය.
“අරගෙන යන්න කියපන් මම ඒවාට සල්ලි ගෙවලා තියෙන්නේ.”
ඇය මාටින්ව ගණනකට නොගෙනම පැවසීය. ඇයට ෂෙරිල් හැර කිසිවෙකු විශ්වාස කළ නොහැකි විය.
එයට තදින්ම බලපෑවේ නිවසේ හුන් මාටින් හා තංගම්මාද ඈව නුරුස්සනා ලෙසින් හැසිරීමය. සුචිත්‍රා ෂෙරිල්ට ඇමතුමක් දුන්නාය.
“අනේ ෂෙරිල් මට තවත් මේ ගෙදර ඉන්න බැහැ. මේ ගෙදර හරිම පාළුයි. තංගම්මාත් මාටිනුත් මාව ගණන් ගන්නේ නැහැ. සාලේට එන්න බැහැ උපේ බිම වැටිලා හිටිය හැටි මැවිලා පේනවා. මං මහ පව්කාරියක් ෂෙරිල්.”
ඈ සිතේ සිරකරගෙන සිටි සියල්ල එකවරම ෂෙරිල්ට කියා දැමුවාය.
“සුචිත්‍රා දැන් ඔය ඔක්කෝම සිද්ධවෙලා ඉවරයිනේ. ඔයා දැන් ඒ ගැන නොහිතා ඔක්කොම අමතක කරලාදාන්න උත්සාහකරන්න.”
“කොච්චර අමතක කරන්න හැදුවත් ඒක කරන්න බැහැ. මම කරපු පව් නිතරම සිහිවෙනවා.”
“ඔයා ඒක අමතක කරන්නම වෙනවා නැත්නම් ඔයා ළඟදිම ලෙඩ වෙනවා.”
“ඒක නෙමෙයි ෂෙරිල් ඔයාට ඩේමියන් කතා කළාද?”
“නෑ සුචිත්‍රා.”
“එයාත් එදායින් පස්සේ මට කතා කළේවත්, මගේ කෝල්ස්වලට ආන්සර් කරන්නේවත් නැහැ. එයාට මොනවා හරි වෙලාද?”
“ඇයි ඔයා එයාට කතා කරන්නේ? එයාට මීටපස්සේ කතාකරන්න යන්න එපා.”
“ඇයි ඒ?”
“ඇයි කියන්නේ දැනටමත් පොලීසිය සැකකරලා තියෙන්නේ ඔයලා දෙන්නා එකතුවෙලා උපනන්දව මැරුවා කියලා. ඒ නිසා දැනට ඩේමියන් එක්ක සම්බන්ධකම් තියාගන්න එපා.”
“ඒත් ෂෙරිල් එයා මට ටිකක්වත් ආදරයක් තිබුනානං කෝල් එකක් දෙන්න තිබුනා නේද? මම මෙච්චර ගින්දරක් උහුලාගෙන ඉන්නවා කියලා එයාට අමතක උනාද?”
සුචිත්‍රාට හැඬුම් ආවේය.
“නෑ කෙල්ලේ එයා බයවෙලා ඇති මේ කේස් එකට එයාව අහුවෙයි කියලා. ඒ නිසා මම කියන්නේ ඔයා ටික දවසක් යනකං එයා එක්ක කතා කරන්න යන්නවත් එපා. අනික මට ආරංචියි එයා ටික දවසකට වෙන ප්‍රොජෙක්ට් එකක වැඩකට ගාල්ලෙන් පිටට යනවා කියලා.”
හැඬුම වැඩිවූයෙන් සුචිත්‍රාට තවදුරටත් කතා කරගත නොහැකිවූවාය. ඇය දුරකථනය විසන්ධිකර ඇඳේ ඇලවිනි.
උපනන්දගේ වියෝවෙන් පසුව දන්නා හඳුනන සියල්ලන්ම ඈ දෙස අපරාධකාරියක විලසින් පිළිකුළෙන් බැලීම ඇයට ඔරොත්තුනොදීමෙන් සුචිත්‍රා යළිත් නිවසටම ඇලුනු ජීවිතයක් ගතකරන්නට පටන්ගත්තාය. ඉදහිට බළලුන්ගේ පොරකෑම් ශබ්දයන් හේතුවෙන් රෑ දෙගොඩහයාමේ අවදිවන ඕ හට උපනන්දව මතක්ව නිදිනොලැබම අලුයම තෙක් කාලය ගතකරන්නට සිදුවන්නට විය. උපනන්දට අකාලයේ මියයන්නට සිදුවූයේ තමා කළ ද්‍රෝහිකම නිසාවෙන් බව ඇගේ සිත නිරතුරුවම මුරගාන්නටවූයෙන් ඈ තමාටම සිතෙන් ශාප කරගත්තාය. එහෙත් ඩේමියන්ගෙන් ලැබූ ආදර මිහිර ඈට අමතකකළ නොහැක්කක් විය. කොතරම් ඩේමියන් හමුවන්නට හෝ කතාකරන්නට උත්සාහ කළත් ඔහු සුචිත්‍රාව මඟහරින්නට විය. මෙයද ඇගේ සිතට තදින්ම බලපාන්නක් විය. දෙතුන් දිනකට සැරයක්වත් ෂෙරිල් සුචිත්‍රාගේ දුකසැප බැලීමට ආවේ ඇගේ කඩාවැටුණු මනස සුවපත් කිරීමේ අභිලාෂයෙනි.
“ෂෙරිල් මට හිතෙනවා තවදුරටත් මේ ගෙදර ඉන්න බැහැ කියලා.”
“ඇයි ඒ?”
“මට රෑට නින්ද යන්නේ නැහැ උපේව නිතරම මතක්වෙනවා. මට මේ ගෙදර කොතන කොහේට ගියත් එයාගේ සුවඳ දැනෙනවා. හරියට උපේ මේ ගෙදර ඉන්නවා වගේ. මට එක වෙලාවකට හිතෙනවා උපේ මගේ බෙල්ල මිරිකලා මරලාදායි කියලා.”
“එහෙම වෙන්නේ කොහොමද? එයා දැන් මැරිලානේ.”
“අනේ මට බැහැ ෂෙරිල් මම හරි පව්කාරියක්.”
ඈ ෂෙරිල්ගේ උරහිසට වාරුවී හඬන්නට පටන්ගත්තාය.
“හරි දැන් අඬන්නේ නැතිව නවත්ත ගන්නකෝ. ඔයාට මෙහේ ඉන්න බැරිනම් ඔය ටික දවසකට හරි අපේ ගෙදර එන්නකෝ.”
“නෑ ෂෙරිල් මට ඒකකරන්න බෑ. මට හැමදාම ඔයා ළඟ ඉන්න බැහැනේ. කවද හරි ආපහු මේ මූසල ගෙදරට එන්නවෙනවා. ඒ නිසා මේ ගෙදර විකුණලාදාලා මෙහෙන් යන එක හොඳයි කියලා හිතුවා.”
“මෙහෙන් යන්න ඔයාට පිස්සුද?”
“මට මෙහේ ඉන්ට බැහැ ෂෙරිල්. හැමෝම මං දිහා බලන්නේ උපනන්දව මරාපු මිනීමරු වල් ගෑනියෙක් විදිහටයි.”
“ඒක එයාලාට ටික දවසකින් අමතකවෙයි කෙල්ලේ.”
“දැන් ටික දවසක ඉඳලා මට කෝල්ස් එනවා වනචර කතා කියලා. ඒත් කමක් නෑ මට ඉවසාගෙන ඉන්න පුළුවන්. ඒත් මේ ගෙදර ඉන්නකොට උපේව හැම තිස්සෙම මතක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මං එයාට කළ ද්‍රෝහිකම මතක්වෙන එකත් නතරකරන්න පුළුවන්කමක් නැහැ.”
ඈ සොරව්වක් තුළින් ගලන දියපහරක්සේ නොනවත්වාම තම හැඬුම අතරින් කියාගෙන ගියාය.
“හරි ඔයාට මෙහේ ඉන්නම බැරිනම් ඔයා මොකක්ද කරන්න හදන්නේ?”
“මේ බඩුමූට්ටු ටික විකුණලාදාන්න මට උදව්කරන්න. මම එතකං ඔයාගේ ගෙදර නතරවෙන්නම්.”
“ඊට පස්සේ?”
“මෙහේ කවුරුත්ම නොදන්නා පැත්තක පදිංචියට යනවා.”
සුචිත්‍රා තමන් සැලසුම් කරනලද සියල්ල ෂෙරිල්ට පැවසීය.
“ඒත් මමනං ඔයා මේ දේපල විකුණලා යනවාට කැමති නෑ. ඒත් ඔයාට යන්නම ඕනේ නම් මම උදව් කරන්නම්. එහෙනම් දැන් ලැහැස්තිවෙන්න මගේ ගෙදරට යන්න.”
මාටින්ව නිවසේ රඳවා තංගම්මාව පඩිගෙවා නිවසින් පිටත් කර හැරිය ඕ ෂෙරිල්ගේ නිවසේ පදිංචියට ගියාය. උපනන්දගේ මරණින් පසුව වැසීගොස් තිබූ ව්‍යාපාරයේ භාණ්ඩ ඉතා සුළු මුදලකට විකුණාදමා තම නිවස හා ගෘහභාණ්ඩ විකිණීම ෂෙරිල්ට පවරා එම කටයුතුවලට සහභාගිනොවී හුදකලාව සිටියාය. ෂෙරිල් පුවත් පත් දැන්වීමක් තුළින් නිවස හා ගෘහභාණ්ඩ විකිණීමට ගැනුම්කරුවන් සෙව්වාය. උපනන්දගේ ඇන්ටීක් භාණ්ඩ එකතුවට සුචිත්‍රා ආස නොකළමුත් ඒවා පමණක් විකිණීමට මැලිවූයේ උපනන්ද ආසාවෙන් එකතු කළ දෑ නිසාවෙනි.
“ඔන්න සුචිත්‍රා අපි කියපු ගාණට ගේ ගන්න අර ඩොක්ටර් කැමති උනා.”
“කොයි ඩොක්ටර් ද ෂෙරිල්? ඩොක්ටර්ලා ප්‍රොක්ටර්ලා කීදෙනෙක් ආවද ගේ බලන්න.”
“අර කරාපිටියේ හොස්පිටල් එකට අලුතින් ආපූ ඩොක්ටර් මේනක. අර එදා ඔයාත් එක්කත් කතා කරන්න ඕනෙය කියලා මෙහෙටත් ආවේ.”
“ආ එයාද? ඉතිං”
“ලබන සුමානේ ඉරිදට කලියෙන් ඔප්පු ලියන්න ලැහැස්ති කරන්න කිව්වා. එයාට ඉක්මණටම ගෙදර පදිංචිවෙන්න ඕනෙලු.”
“ඉතිං අපි සෙනසුරාදට ලෑස්ති කරමු. ඔයා ලෝයර්ට කියන්න ඔප්පුව ලියන්න ලෑස්ති කරන්න කියලා.”
“මම ලෝයර්ට ඩොක්ටර්ගේ ඩීටේල්ස් දුන්නා. ඒත් ඉක්මනටම එයාට ගේත් අස්කරලා දෙන්න ඕනේ. උපනන්දගේ ඇන්ටික් භාණ්ඩ ටික තමයි ප්‍රශ්නේ කියන්නේ. ඔය ඔක්කෝම මෙහෙට අදින්න බැරිවෙයි. ඔයාට තේරෙනවානේ මෙහේ ඉඩකඩ මදිබව.”
“මට තාම හොද නිස්කලංක පැත්තකින් ගෙයක් ලැබුනේ නෑනේ. එහෙම වුනානං මම ඔය බඩු ටික ගෙනියනවා ඒත් දැන් ඕවා තියන්න වෙන තැනකුත් නැතිකොට වෙන කරන්නම දෙයක් නැතිනම් අපි ඒ ටිකත් විකුණලා දාමු.”
“අපි ඇන්ටික් බඩු එකතු කරන කෙනෙක්ට හරි විකුණන කෙනෙක්ට හරි හොයලා බඩුටික දෙමු. හැබැයි මේවා කුණුකොල්ලෙට ඉල්ලයිද දන්නනේ නැහැ.”
“ඉල්ලන වැඩිම ගානට දෙන්න ෂෙරිල්. මට දැන් ඕවායේ ආසාවක් නැහැ. මම ඒවා තියා ගත්තේ උපේ ආසාවෙන් එකතුකළ නිසයි. දැන් උපේත් නැති එකේ මේවාට මම මොනවා කරන්නද.”
ෂෙරිල් විසින් දන්නා කිහිපදෙනෙක්ට පැවසීමෙන් පසුව ගාලු උරුමයන් සුරැකීමේ සංගමයේ සභාපති පියරත්න ඉස්කෝලේ මහත්තයා ෂෙරිල් හමුවීමට ආවේ තම ඥාතියෙකු වන හික්කඩුවේ ඇන්ටික් භාණ්ඩ වෙළඳ ව්‍යාපාරිකයෙකුවූ ගුණසිරි ජයවර්ධනද සමඟිනි. පියරත්න ඉස්කෝලේ මහත්තයා නිසා ගුණසිරිද වැඩි මිලක් ඉදිරිපත් කර ෂෙරිල්ගේ එකඟත්වයෙන් සුචිත්‍රාගෙන් එම භාණ්ඩ මිලදී ගනු ලැබින. මෙසේ විකුණා දැමුනු භාණ්ඩ අතර උපනන්ද පියසෝමගෙන් ලබාගත් බඳුනද විය. උපනන්දගේ නිවසද ඩොක්ටර් මේනකට විකුණා දමා ටික දිනක් යනතෙක් ෂෙරිල්ගේ නිවසේ රැඳීසිටි සුචිත්‍රා පිළියන්දල බොල්ගොඩ වැවට මුහුණලා නිස්කලංක ප්‍රදේශයක තිබූ නිවෙසක් මිලදීගෙන එහි පදිංචියට ගියාය.
★ ★ ★ ★ ★ ★
හික්කඩුව සංචාරක පුරවරයේ ගාලු පාර අද්දරට වන්නට පිහිටි ගෙවත්තක් සහිත ඕලන්ද ගෘහනිර්මානුකුලව ඉදිකළ පැරණි පන්නයේ නිවසක් බද්දට ගෙන එහි ගුණසිරි ඇන්ටික් ව්‍යාපාරයක් විදේශිකයන්ට පැරණි බඩුභාණ්ඩ විකිණීම සිදුකරගෙන ගිය ගුණසිරි ජයවර්ධනට තිබුනි. සුචිත්‍රාගෙන් ඇන්ටික් භාණ්ඩ මිලදී ගත් ගුණසිරි විධිමත් පාසල් අධ්‍යාපනයක් නොලද නමුත් ශුර ව්‍යාපාරික බුද්ධියකින් හෙබි වයස අවුරුදු හැට පහක් පමණවන පුද්ගලයෙකු විය. අඩි පහමාරක් උසැති හීන්දෑරි සිරුරද වයස නිසාවෙන් හිස මුදුනේ කොණ්ඩය ගැලැවීගොස් පෑදුණු තට්ටය ද ඔහුගේ මුහුණට කපටි පෙනුමක් ගෙනදුන්නේය.
සංචාරක ව්‍යාපාරයට තම දරුවන් එකතුවනවාට බලවත් සේ අකමැතිවූ ගුණසිරි කෙසේ හෝ ඔවුනට හොඳින් අධ්‍යාපනය ලබාදෙන්නට හැකි විය. ගුණසිරි සිය බාල පුතු අමිලද ව්‍යාපාර අධ්‍යනය ඉගැනුමට පිටත් කර හැරියේ පරිගණක ඉංජිනේරුවකුවූ අසේල තම බිරියද සමඟින් ඕස්ටේ්‍රලියාවේ පදිංචියට ගොසින් කලක්ගතවූ පසුය. කිසිඳු ව්‍යාපාරික හෝ සාමාජීය දැනුමක් නොතිබූ කුස්සියෙන් මෙපිට ලොවක් නොදැකු ගතානුගතික ගෘහනියක්වූ වයලට්, අකලට මහලුවීමෙන් ගුණසිරිට වඩා වැඩිමහලු පෙනුමක් ගෙනදුන්නේය.
පියරත්න ඉස්කෝලේ මහත්තයාගෙන් ලැබුන ආරංචියට අනුව ෂෙරිල්ගෙන් ඇන්ටික් බඩු සියල්ලම ඔහු අනෙක් ව්‍යාපාරිකයන්ට ප්‍රථම වැඩි මිලක් ගෙවා ලබාගත්තේය. ඉක්මනින් තම සේවක තිලකරත්න සමඟින් සුචිත්‍රාගේ නිවසට ගොස් භාණ්ඩ සියල්ලම ලොරියක පටවාගෙන ආ ඔහු ඉතා පරිස්සමෙන් තම වෙළදසැලේ තැන්පත් කළේ ඒවාට වැඩි වටිනාකමක් ලබාදිය හැකිදැයි විමසිලිමත් වෙමිනි. උපනන්ද මහතා තමාගෙන්ද මිලදී ගන්නා ලද භාණ්ඩ කිහිපයක් යළිත් තම අතට පත්වීම ඔහුට අදහාගත නොහැකි විය. තෙහෙට්ටුව වැඩි බැවින් ඉක්මනින් වෙළදසැල වසා දැමුවත් අලුත ගත් භාණ්ඩ පිරික්සමින් හුන් ගුණසිරිට වේලාව ගතවනවා දැනුනේ නැත. සවස හයවන විට ඉදිරිපස දොරද වසාදමා ඔහු තම කන්තෝරු කාමරයට වැදුනේ නිවසට යාමට පෙර දිනපතා සිදුකරන ක්‍රියාවලියට සැරසෙමින්ය. මේසය යටින් ගල් අරක්කු බෝතලයක් එළියට ගත් ඔහු වතුර ගුරුලේත්තුව අසළ මුනින් අතට නවා තිබූ කුඩාමල් වීදුරුව ගෙන එයට භාගයකට මඳක් වැඩියෙන් පුරවාලීය. අමිශ්‍ර ගල් අරක්කු වීදුරු භාගය එකවර උගුරට හලාගත් ඔහු තම උගුරකට දවාගෙන පහලට ගලායන අරක්කුවල අපුල මඟහැරවීමට උගුරෙන් මඳ හඬක් නැගීය. ඇඹුල් කරගත් කට, පිටි අත්ලෙන් පිසදාගත් ඔහු යළිත් නිවස වටා වටයක් ඇවිද්දේය. අද දිනයේ සිඳුවූ විශේෂ වාසිය නිසා සිතේ පිටාර ගලන සතුට සැමරීමවස් යළි වීදුරු භාගයක් පුරවාගත්තේ වෙනදා ගන්නා ප්‍රමාණයද ඉක්මවමිනි. නමුත් දෙවනවරගත් අරක්කු වීදුරු භාගය පළමු එකට වඩා බඩපපුව දවමින් ගලනාලය දිගේ පහළට බැස යනවා දැනින. ඒ සුනංගුවෙන් කටට උනා ආ කෙළ තලිය ඉක්මනින් ජනේලයෙන් පිටට ගසා හේ යළිත් පිටිඅත්ලෙන් කට පිසදාගත්තේය. අනතුරුව කුඩා මල් වීදුරුවට වතුර ටිකක් පුරවාගත්තේ වීදුරුව සේදීමට නමුදු එයද පානය කළේ එහි අඩියේ ඉතිරිවූ අරක්කු ටිකද විසිකිරීම බලවත් අපරාධයක් යැයි හැඟුනාක් මෙනි. බෝතලය යළිත් මේසය යට සුරක්ෂිතව තබා කන්තෝරු කාමරයේ පලුදෙකේ පනේල දොර වසා යතුරුලූ ගුණසිරි තිලකරත්න සොයාගෙන සාලයට ආවේය. සාලය මැදට වන්නට බූරුඇඳ සකසමින් හුන් තිලකරත්නට අඬගසා ඔහු මිදුලට බැස්සේය. වෙළද සැළ තිබූ නිවස දෙස හැරී බැලූ ගුණසිරි ගාලු පාර අද්දර ගේට්ටුව වෙත පියමනිද්දී තිලකරත්නද පසුපසින් කාන්දමක්සේ ඇදුනි.
“තමුසේ ටිකක් සෝදිසියෙන් ඉන්නවා. මේ දවස්වල හොරු වැඩියි. අද අලුත් බඩු ටිකක් ගෙනාපු හින්ද ටිකක් කල්පනාවෙන් හිටින්න. සද්දයක් ඇහුනොත් ලයිට් දාලා බලාපං එළිපහලියට යන්නෙ නැතිව.”
ගුණසිරිගේ සුපුරුදු දේශනාව තිලකරත්නට පුරුදුය. පැරණි ගේට්ටු පලුදෙක වසාදැමූ ගුණසිරිට පෙනෙන්න තිලකරත්න එම ගේට්ටු පලු දෙක අතරින් යකඩ දම්වැලක් රිංගවා ඉබියතුරුලූවේය. ගේට්ටුව වසාදමා යතුරුලනතෙක් බලාසිටි ඔහු හිමිහිට ගාලු පාරේ අඬඅඳුර අතරින් නිවස බලා ගාල්ල පැත්තට ගමන් ඇරඹුවේ හිස බිමට නැඹුරු කරගෙනය. රාත්‍රියට ඇස් පෙනීමේ දුර්වලතාවයකින් පෙලෙන ගුණසිරි සෙමින් සෙමින් බර අඩි තබමින් තම නිවස දෙසට ගාලු පාරෙන් හැරී ගමන් කළේය. සිංහල උළු සෙවිලි කළ පැරණි නිවසක්වූ ගුණසිරිගේ නිවසේ ඉස්තෝප්පුව පුරා අඬ අඳුර පැතිරී තිබුනේ සාලයේ අඩු වෝල්ටියතාවයකින් යුත් බල්බයේ මලානික එළිය මඳ වශයෙන් ඉස්තෝප්පුවට වැටීම හේතුවෙනි. ඉස්තෝප්පුවට නැගීමට පෙර පළමු පඩියේ දෙපා ගැසුවේ තම දෛනික පුරුද්දට වුවත් එය වයලට්ට දෙන සංඥාවක්වම විය. එම ශබ්දයෙන් ඈ ගුණසිරි නිවසට පැමිණ ඇතිවග දැනගෙන කුස්සියේ මොන වැඩය තිබුනත් ඔහුව පිළිගැනුමට ඉගටිය දෙපස දැලි පැහැගැන්වුනු දුර්වර්ණ කිමෝනාවෙ දෑත් පිසදමමින් සාලයට පැමිණීම සිරිතක් කොට ගත්තීය. ගුණසිරි නිදන කාමරයට යද්දී ඔහු පසුපසින් ඇදුනු ඈට දහඩියෙන් පෙගුනු කමිසය ගලවා අතටදී කොහු ඉලිප්පී ඇඹරී ඇදවුනු ගුදිරිය සහිත ඇඳේ හිදගත්තේය.
“අපේ පියරත්න ඉස්කෝලේ මහත්තයා මට සැට් කරපු වැඩෙන් ලොකුවාසියක් උනා.”
“මොන වැඩෙන්ද අපේ මහත්තයා? ඉස්කෝලේ මහත්තයා දැන් බිස්නස් කොරන්න පටන්ගෙනයැ?”
“චි එයා එහෙම කරන කෙනෙක් නොවන විත්තිය වයලට් නොදන්නවා නොවෙයිනේ.”
“එහෙනම් එයා වැඩක් සැට් කොලා කිවේ?”
“එයාට ආරංචියක් ලැබිලා බඩුවගයක් ගැන. මට පණිවිඩේ ලැබුන ගමන් තකහනියේම ගාල්ලට දුවලා බැලුවා. හොඳ මසුරන් බඩුගොඩක් තිබුනේ. අදම ඒවා ටික ගත්තා වෙන එකෙක් ඒ ටික ඩැහැගන්න කලියෙන්.”
“ඉතිං ගෙදර ගෙනාවේ නැතිද?”
“සල්ලිදීලා ගත්තු ඒවා කවුද එහෙ තියන්නේ? ඒ සුනංගුවෙන් බඩු මෙහෙට ඇදලා තමයි පස්ස බැලුවේ. අදනං හරිම තෙහෙට්ටුයි.”
“බඩු ගොඩාක් තිබුනයි කීවේ ? ලොකු සල්ලියක් වියදම් කළායි?”
“සල්ලි නං වියදම් කරන්න වුනා තමයි එත් බඩුටිකනං රත්තරන් ටිකට වටිනවා. මෙව්වා සල්ලිකාර බිස්නස්කාරයෙක් එකතුකරපුවා. දන්නවාද ඒ මහත්තයාට වෙච්චදේ?”
ඇඳ ළඟ සිටගෙන සිටිය වයලට් හිමිහිට ඇඳේ පසෙකින් වාඩිගත්තේ ගුණසිරිගේ කතාව හොඳින් අසාගැනුමටයි.
“ගාල්ලේ මාළු පිටරට යවන බිස්නස්කාරයෙක් හිටියා මිනිහා හරිම ආසයිලු ඇන්ටික් බඩුවලට. මගෙනුත් බඩු අරගෙන තියෙනවා. මේ ළඟදි ගෑණිගේ හුටපටයක් මිනිහාගේ අතටම අහුවෙලා හොර මිනිහාට ගහන්න ගිහිල්ලා ගෝරියකදි මේ මනුස්සයා මැරුණා නෙව.”
වයලට් දෑස විසල් කරගෙන නිකටට අත තබාගත්තාය.
“සමහරු නම් කියන්නනේ මේ ගෑණි මිනිහාව තරප්පුවෙන් පහළට තල්ලු කළා කියලා.”
“අනේ අම්මේ මෙහෙමත් ගෑණු. ඉතිං ඔය ගෑණි හිරේ ගියේ නැතෙයි?”
“මොන පිස්සුද උන් දෙන්නා බේරුණා.”
“එතකොට කවුද මේ බඩු විකුනුවේ?”
“වෙන කවුද ඒ ගෑණි මිසක්. හැබැයි මටනං ඒ ගෑණිව මුනගැහුනේ නැහැ. වෙන ගෑණු කෙනෙක් තමයි මේ බිස්නස් එකට ආවේ. දැනටමත් මේ ගෑණි ගෙවල් දොරවල් ඔක්කොම විකුණලදාලා.”
වයලට් මඳ නොරිස්සුමෙන් ඇඳෙන් නැගිට්ටේ
“මිනිහත් මරාගෙන මුළුසේසතම විකුණාගෙන කන මෙහෙමත් වනචර ගෑණු.”
ඇය සුචිත්‍රා කෙරෙහි උපන් අප්‍රසාදජනක සිතුවිල්ලෙන්ම කුස්සියට ගියාය.
ඇඳෙන් නැගිටගත් ගුණසිරි බෙල්ටය බුරුල් කර ඔලුවට උඩින් සරම දා ගත්තේ මුහුණ කට සෝදාගැනීමට ළිඳට යාමටයි.
පසු දින ගුණසිරි තම වෙළද සැලට අලුතින් ගෙනා උපනන්දගේ ඇන්ටික් භාණ්ඩ වර්ගීකරණය කරමින් ඒවායේ වටිනාකම අනුව මිල නියම කිරීම සිදු කලේය. සුපුරුදු ලෙසින් එම භාණ්ඩවල මිලත් වටිනාකමත් මෙන්ම ඒවා තමාට විකුනු තැනැත්තාත් ආදී විස්තර ඔහුගේ රෙකෝඩ් පොතක සටහන්කර තැබීම කරගෙන ගියේය. නමුත් මෙවර අතපසුවීමකින් ගුණසිරිට තමන් මිලදී ගත් තැනැත්තා පිළිබඳව සටහන් කිරීමට නොහැකිවිය. ෂෙරිල්ගෙන් ලද තොරතුරු අනුව පියසෝමගේ බඳුන පිළිබඳව විස්තරයක්ද ඔහු දැනගත්තේය. ඒ අනුව එම බඳුන විශාල වටිනාකමක් ඇති බඳුනක් ලෙස අනුමාන කළ බැවින් වහාම තිලකරත්න කැඳවීය.
“මේ බලනවා මේක දිහා, මීට ඉස්සර මේවගේ එකක් දැකලා තියෙනවාද?”
“නැහැ මහත්තයෝ.”
“මේක ගොඩ අරගෙන තියෙන්නෙ මුහුදෙ තිබිලාලු ගොඩාක් වටින එකක් වගෙයි පේන්නේ. මේකේ තියෙන අමුතු අකුරු උඹට පේනවාද?”
ගුණසිරි තම ඇස් පුංචි කර බඳුන දෙස බලමින් තිලකරත්නගෙන් ඇසීය.
“මෙව්වානං අමුතු අකුරු ජාතියක් තමයි. හරියට අපේ පොඩි උන් බිත්තියේ ඇඳපු බලිරූප වගෙයි.”
“උඹ එහෙනම් මේක අර කබඩ් එකෙන් අරන් පරිස්සමින් තියපන්. ඔය නොදන්න කාටවත් ඕක පෙන්නන්න යන්න එපා මම හොඳ බයර් කෙනෙක් හොයාගන්නකං.”
තිලකරත්න විසින් බඳුන ගුණසිරිගේ කන්තෝරු කාමරයේ තිබූ වීදුරු අල්මාරියේ පරිස්සමින් තැන්පත් කළේය. ගුණසිරිට එය වටිනාකමක් ඇති වස්තුවක් වූවත් තිලකරත්නටනම් එය කිසිඳු වැදගැම්මකට නැති තවත් කබල් මැටි බඳුනක්ම විය.
★ ★ ★ ★ ★ ★
සුපුරුදු පරිදි දින කිහිපයක් ගෙවී ගියේය. නමුත් තිලකරත්න විසින් වැඩිය ගණන් නොගත් සිඳුවීමක් වූයේ ඔවුන්ගේ වෙළඳ සැල ආශ්‍රිතව බළලුන්ගේ පොරකෑම් හා කෑගැසීම් වැඩිවීමයි.
“බලන්නකෝ ගුණසිරි මහත්තයෝ මේ එහා පැත්තට කුණු දාන නිසා දැන් බළල්ලු බෝ වෙලා. දැන් රෑට නිදා ගන්ටත් නෑ මූසල සත්තු මිදුලේ පොරකාගන්නවා.”
“වතුර ටිකක් ගහලා එලවලා දාපං. නැත්නම් ඔය එකෙකුගේ දෙන්නෙකුගේ කකුලක් කැඩෙන්න ගලකින් දමලා ගහපන්.”
“වැඩේ කියන්නේ මම එලවන්න බැලුවාම උන් ගිහිල්ලානේ. කෑගහපු තැනක් හොයාගන්න බැරි එක තමයි පුදුමේ.”
“උඹ ඔය බළල්ලු එලවන්න එළියට බැහැලා හොරු ගේ ඇතුලට වද්දගන්න එහෙම එපා ඔං.”
“මම මහත්තයාට කියන්න තමයි හිටියේ හෙට මං ගමට ගොහිල්ලා එන්නටය කියලා.”
“අර මොකෝ මේ හදිසියේ? උඹ දැන් සුමාන දෙකකට ඉස්සෙල්ලා නේද ගමේ ගියේ?”
“පොඩි කෙලීට සනීප මදි කියලා ගෑණි කෝල් එකක් දුන්නා.”
“උඹත් දැන් ගෙදර දුවනවා වැඩියි. මොකෝ දැන් ගෑණිට උඹ නැතිව බැරි හැඬයි. හා හා පලයන් හැබැයි දවස් දෙකෙන් ඉක්මනටම වරෙන් එහේ පැල් ගැහෙන්නේ නැතිව.”
නොකැමැත්තෙන් වුවත් ගුණසිරි තිලකරත්නට යන්නට අවසර දුනි.
පසුදින පාන්දරින් තිලකරත්න දෙනියායේ පිහිටි නිවසට පිටත්ව ගිය බැවින් ගුණසිරිට තම වෙළඳ සැලේ කටයුතු සියල්ල තනිවම කර කියාගන්න සිදුවුනි. රාත්‍රී අහාරය පිසූ වයලට් බයිසිකල් කඩේ කොලු ගැටයා අත ගුණසිරිට කෑම ගෙන ගොස් දීමට කටයුතු සකස් කරගත්තාය. සුපුරුදු පරිදි දිනය නිමාවේදි වෙළඳ සැල වසාදමා ගුණසිරි හිමිහිට ගාලු පාර අද්දරට ගමන් කලේ කාන්සිය මඟහරවාගැනීමටයි. බොහෝ කලකට ඉස්සර පුරුද්දක් ලෙස ගාලු පාරේ ගමන් කරන වාහන දෙස බලාසිටීම කළත් එය අතහැරදැම්මේ නුතන පරම්පරාවේ තරුණ ගැටයන් ඔහුට ඇන්ටික් විකුණාගැනීමට සුද්දෙක් අල්ලා ගැන්ම සඳහා පාර දෙස බලාසිටිනවායි උසුළු විසුළු කරන්නට වීමෙන් පසුවය. ඔහු පැරණි ගරාදි ගේට්ටුව මතින් පාර දෙස නෙත් යොමුකර බලාසිටියේ බයිසිකල් කඩේ කොලුවා රාත්‍රී ආහාරය නිවසින් ගෙනවිත් දෙනතෙක්ය.
“ගුණසිරි මහත්තයා අද මොකද ගෙදර යන්නනේ නැතිද?”
පාරෙන් එහා පැත්තේ බතික් රෙදිකඩයේ සිරිමෙවන් තම කඩය වසාදමා පිටත්වයාමට සැරසෙද්දී ඇසීය.
“තිලකරත්න ගෙදර ගියා සිරිමෙවන් අද මං මුර.”
“ඒකනං හොඳයි. මේ දවස්වල හොරු වැඩියි. නිදහස් දිනේට හිරගෙවල් හිස් කළානේ දැන් ඉතිං පුරුදු රස්සාව කරන්න පටන්ගන්නවා.”
“ඒක නිසයි අද මම මුරටත් ආවේ. අර රෙක්සියත් නිදහස්වෙලා ඇවිල්ලා තිබුණා නේද?”
“ඔව් මම පසුගිය දොහේ දැක්කානම් තමයි ටවුම පැත්තේ කැරකැවෙනවා. මේ පාරත් හොරකම පටන් ගනියි වාගේ.”
“සිරිමෙවන් ළමයෝ අපේ තිලකරත්න කීවා මෙහේ හරියට බළල්ලු ඉන්නවා කියලා. ඌට නිදාගන්න දෙන්නෙත් නැතිලු, රෑ තිස්සේම කෑගහනවා කියන්නේ. ”
“මමනං දන්නේ නැහැ එහෙම හරියක්. මෙතන කුණු ගොඩ හින්ද බෝ වෙලාද දන්නේ නැහැ. ඒත් ගුණසිරි මහත්තයෝ එයාකාර බළල්ලු රංචුවක් මෙහේ ඉන්නවා මම නම් දැකලා නැහැ.”
“ඒක තමයි මාත් තිලකරත්නට කීවේ.”
“එහෙනම් මම ගිහිල්ලා එන්නම් දැන් ඇඳිරි වැටෙන්නත් ළඟයි. අල්ලපු කඩේ සුගතපාල අයියා ඉන්නවා හදිසියකට කතාකරගන්නන් පුලුවනි.”
සිරිමෙවන් පිටත්වීයනවාත් සමඟින් ආ බයිසිකල් කඩේ කොලුවා වයලට් දුන් රාත්‍රි ආහාරය ඔහු අතට පත් කළේය. මුහුදු සුළඟ වැදීමෙන් කාලානුරූපව මලකඩ ඇල්ලු ගේට්ටුවේ පලු දෙක කිරි කිරි හඬින් අදෝනා නගද්දී එය වසාදමා දම්වැල් කෑල්ල පලු අතරින් රිංගවා ඉබියතුරුලූ ගුණසිරි බත් මුල සමඟින් නිවස වටා සක්මනේ යෙදුනේ අලුත ගෙනා බඩු වල ආරක්ෂාව පිණිසය. කෑමට පෙර හීන් අඩියක් ගැසීම තම දින චර්යාවේ නොකරම බැරි අංගයක් වූ බැවින් හීන් අඩියක් ගැසීම සඳහා කන්තෝරු කාමරයට රිංගාගත්තත් මෙවර ඔහු තම පදම නොඉක්මවීමට සැලකිලිමත් විය.
උපනන්දගේ ඇන්ටික් භාණ්ඩ එකතුව සුචිත්‍රාගෙන් මිලට ගැනීමට හැකිවීම තවමත් ඔහුට සතුට උපදවන්නක් විය. අනෙක් ව්‍යාපාරිකයන්ට වඩා වැඩි මුදලක් ගෙවා අත්පත්කරගත් නමුදු ඒවා ඇද පලුදු නොමැති ඉස්තරම්ම බඩු භාණ්ඩ වලින් යුක්තවීම නිසාවෙන් හොඳ මිලකට විකුණාගැනීමේ හැකියාවක් සහිත වුනි. යළිත් වතාවක් උපනන්දගේ භාණ්ඩ දෙස බැලූ ගුණසිරිට උපනන්දගේ බඳුනද මතක්විය. මෙතෙක් කලක් පැරණි භාණ්ඩ අතපත ගෑ ගුණසිරි කිසි කලෙකවත් මෙවැනි බඳුනක් දැක තිබුනේම නැත. පැරණි බඳුන තබා ඇති වීදුරු අල්මාරිය විවෘත කොට එය පරිස්සමට එළියට ගත්තේ ඉතා ශ්‍රද්ධාවෙන් යුතු උවැසියකු ධාතු කරඬුවක් වඩම්මන්නාක් මෙනි. එහි පියනේ වු මුහුණෙන් යම් ආකර්ෂණාත්මක බලයක් ඇතිවූවාක් මෙන් ගුණසිරි ඒ දෙස කිසිඳු සිතුවිල්ලක් පහලනොවී ශුන්‍ය බැල්මෙන් බලාගෙන සිටියේය. නිහඬ වාතලය දෙහදුකොට වේගයෙන් දිවූ මොටර්රථයක තදින් හැඬවුනු නළා ශබ්දයෙන් බැඳී සිටි දැහැනින් මිදුන ඔහු තම අතේ තිබූ බඳුන යළිත් වීදුරු අල්මාරියේ තැන්පත් කළේය. තමා එම බඳුනේ ආකර්ෂණයට බැඳී සිටිබවක් ඔහුට නොදැනුනේ කෑමට පෙර ගත් අරක්කු විදුරුවේ පදම ඒවන විටත් ශරිරයේ ක්‍රියාත්මක වෙමින් පැවතිය නිසාවෙනි.
“අර ගෑණි කිව්ව විදිහටනම් මේක එසේමෙසේ එකක් නොවෙයි. මැරිච්ච මිනිහා මුහුදු මාළු පිටරට යවන කෙනෙක් නිසා මුහුදේ තිබිලා ගොඩට ගන්න ඇති. ගිලුණු නැවක එකක් නම් වෙන්න බැහැ සමහර විට මේක මුහුදේ තිබ්බ නිධානයක එකක්ද දන්නේ නැහැ. පෙනුමෙ හැටියට නම් මේක හොඳ ගානකට විකුණන්න හැකි. තිලකරත්නයාට වේලාසනින් මේ ගැන කියලා තිබ්බ එක හොඳට ගියා නැතිනම් මේ මෝඩයා මේක තුට්ටු දෙකට දේවි.”
යළිත් වතාවක් එම බඳුන දෙස ඇස යොමු කළ ඔහු සිතීය.
කෑලි පහේ විදුලි පන්දම කන්තෝරු මේසය මතින් අතට ගත් ඔහු නවා පසෙක තිබූ තිලකරත්න නිදා ගන්නා බුරු ඇඳ මැද සාලයේ තැම්පත් කළේය. මැදින් බොකු ගැසුනු බූරු ඇඳේ වාඩි ගත්තේ එයින් සිහින් කිරිකිරි හඬනංවමනි. කොට්ටයට දෙපාරක් අතින් ගැසූ ඔහු එය නාසයට අල්ලා ඉවකළේ පිරිසිදුබාවය පිරික්සීමට නොව පුරුද්දක් වශයෙනි. කොට්ටයෙන් නිකුත්වු මඳක් මුඩු ගැසුනු පොල්තෙල් සුවඳක් ගුණසිරිගේ නාස්කොපු සිසරා ගොස් මොළයට ඇතුල්විය. තද වු පුළුන් බුරුල් වීමට කොට්ටය උඩු පැත්ත යටට සිටින සේ දමා එයට අතින් තට්ටු කර හදිසියකට අතට ගැනීම සඳහා එයට යටින් විදුලි පන්දමද තැන්පත් කළේය. යළි ඔහු ඇඳෙන් නැගිට ගොසින් විදුලි පහන් ස්විචය නිවාදමා බුරු ඇඳේ ඇලවිය. රාත්‍රි එකොළහේ කණිසම පැරණි බට්ටා ඔරලෝසුවෙන් නිකුත් කරනවා සිහිනෙන් මෙන් ඇසුනේ හේ ගැඹුරු නින්දකට සැරසෙද්දීය. බුරු ඇඳ කිරිකිරි ශබ්දයෙන් කෙදිරිලි හඬ නගද්දී ඔහු අනෙක් පසට හැරී නිදන්නට විය. තද නින්දක වෙලුණු ගුණසිරි තිගැස්සී අවදි වූයේ බළලුන්ගේ මුසල කෑගැසීම් නිවස අසලින්ම ඇසුනු බැවින්ය. අරක්කු වීදුරුවේ සුසංයෝගයෙන් සිරුරට නැගුනු කෙඩෙත්තුකාරි ගතියත් තද නිදිමතත් නිසා අනෙක් පසට හැරී යළි නිදන්නට උත්සාහ කළත් එහා මෙහා පෙරලීමේදි බුරු ඇඳෙන් නැගුන කිරිකිරි කෙඳිරියේ අදෝනාව නිසා නින්ද යළි ආවේ නැත. රාත්‍රී දොළහේ කණිසම වදින විටම වාගේ ක්‍රමයෙන් බළල් පොරයේ කෑගැසීම්ද උත්සන්නවූයෙන් එකවරම කටට ආ කුණු හරුපයක් ඔහුගේ දෙතොලින් ලිස්සා ගියේය. සාලයේ යමක් බිම වැටෙන ශබ්දයක් ඇසුනායින් දෙකකුල් බුරු ඇඳෙන් පහතට රුවා විදුලිපන්දම දල්වා සාලයේ හාත්පස නිරික්ෂණය කළේ ගුණසිරිගේ සිතට යම් තිගැස්මක්ද එක්කරමින් සිටියදීය. බැටරි බැස තිබූ විදුලි පන්දමෙන් නිකුත්වුනු කණාමැදිරි එළියක් වන් මලානික ආලෝකයක් අඳුරු සාලයේ කෝලම් වෙස් මුහුණු මතට වැටින. නාග රාක්ෂ, ගුරුලු රාක්ෂ කෝළම් වෙස් මුහුණු සියල්ල භයංකර විලාසයක් මවාපාමින් ගුණසිරි දෙස බලා සිටින්නාක් මෙන් සාලයේ බිත්ති කොනක එල්ලීගෙන සිටියෝය.
සිතේ ඇතිවූ අමුතු තිගැස්ම පරදා විදුලි පන්දම ගෙන ඇඳෙන් නැගී සිටිය ඔහු ඇඳ සිටි සරමේ ගැටය ලිහා යළිත් හොඳින් තදකර බැඳගත්තේ ඕනෑ දෙයකට ලැහැස්ති වන්නාක්සේය. නිවසේ ඉස්තෝප්පුව දෙසින් ඇසෙන බළල් පොරය තීව්‍රර වන බැවින් සෙරප්පු දෙකද පවා නොමැතිව සාලයට පිවිසියේ කෑ මොරදෙන බළලුන්ගේ අඬු කඩාදමන තරමේ කේන්තියකිනි. කලකින් තෙල් බිඳකු පවා නොදැක සරනේරු ගෙවී දොර පලු බිම දිගේ ඇතිල්ලෙන සාලයේ පනේල සහිත දොර වැඩි ශක්තියක් යොදා ඔහු විවරකරගත්තේය. ඉස්තෝප්පුවට පිවිසි ගුණසිරිට බළල් කෑගැසීම මිදුල දෙසින් ඇසෙන්නට විය. ඉදිරිපස මිදුලෙන් කෑගසනා ශබ්දය එන දිශාවක් සොයාගත නොහැකිවූ බැවින් විදුලි පන්දම සොලවා එහි මලානික එළියෙන් හාත්පස සෝදිසිකර බලන්නට වුනි. මුහුද දෙසින් ආ සීතල සුළඟක් ගුණසිරිගේ ගතහි දැවටුනේ ඇගේ හීගඩු නංවමිනි. මොහොතකට පෙර මිදුලේ කෑගැසු බළල් හඬවල් දැන් ඇසෙන්නේ ගාලු පාර දෙසින්ය. සෙමින් සෙමින් ඉස්තෝප්පුවෙන් මිදුලට බැස ගාලු පාර දෙසට පිය මැන්න ඔහු ගේට්ටු පලුවලට ඉහළින් පාර දෙස බැලීය. මෙතෙක් වේලාවක් ඔහුට වද දුන් මූසල ශබ්දය එකවර නැවතී ගොස් පාලු සොහොන් පිටියක නිහඬබවක් ගෙන දුන්නේය. ඈතින් ඇසෙන මුහුදේ ගෝසාව හැරෙන්නට මුළු හික්කඩුවම නිදි ගෙන ඇති සේය. ඉදහිට පරිසරයේ නිහඬ බව දෙකඩ කරමින් හැල්මේ කොළඹට හෝ ගාල්ලට දිවයන බසයක් හෝ ලොරියක් ඇරෙන්නට වෙන කිසිම හැලහොල්මනක් ඇත්තේද නැත. මඳ වෙලාවක් ගාලු පාර දෙස බලා හුන් ඔහු යළි නිවසට යාමට ආපසු හැරුනු විගසම තමන් සිටින පෙදෙසම ඒකාලෝක කරමින් විදුලි එළියක් පාත්විය. ආලෝකය ආ දෙසට ආපසු හැරී පාර දෙස බලද්දී ඇසිපිය ගසන මොහොතක පමාවෙන් තමා දෙසට වියරු වැටුනු කඟවේනෙකුසේ මාරාවේශයෙන් පැමිණෙන ලොරියක් දුටු නමුදු හිටි අතම ගල් ගැසුනු ගුණසිරි එතනම රැදින.
මතුසම්බන්ධයි......