Saturday, August 9, 2025

පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම

 ගොඩක් දෙනෙක් පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම ගැන ලියන්න කියලා ඉල්ලලා තිබුනා. ඒ නිසා අද ඒ ගැන ලියන්න හිතුවා. 

සමහර විට ඔයාගේ තාත්තා, සැමියා මේ රෝග ලක්ෂණ එක්ක පීඩා විදිනවා වෙන්න පුලුවන්. සමහර විට ලජ්ජාව නිසා කියන්නේ නැතුව ඇති.



පුරස්ථි ග්‍රන්ථිය කියන්නේ පිරිමි අයගේ මුත්‍රාශයට යටින්, ගුද මාර්ගය ඉස්සරහින් තියෙන කුඩා ග්‍රන්ථියක්. මේ ග්‍රන්ථියෙන් තමයි ශුක්‍ර තරලය හදන්නේ. ඒ නිසා, පිරිමින්ගේ ප්‍රජනන පද්ධතියේදී පුරස්ථි ග්‍රන්ථිය ගොඩක් වැදගත්.


අපි වයසට යනකොට පුරස්ථි ග්‍රන්ථිය එහි සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වෙන්න පුලුවන් (BPH - Benign Prostatic Hyperplasia). ග්‍රන්ථිය විශාල වෙනකොට මුත්‍රාශය හා මුත්‍ර මාර්ගය තද වෙනවා. ඒ නිසා මුත්‍රා ගමනේ ගැටලු ඇතිවෙනවා.


✅️BPH ඇතිවෙන්න හේතු

✔️වයස අවුරුදු 50ට වඩා වැඩි උනාම BPH ඇතිවීමේ අවදානම වැඩියි. (60-70 ට වඩා ගියාම ගොඩක් පිරිමින්ට මේ තත්ත්වය තියෙනවා.)

✔️ටෙස්ටොස්ටිරෝන් හා එහි උප ආකාරයක් වන DHT (Dihydrotestosterone) නිසා ග්‍රන්ථි සෛල වර්ධනය වෙනවා.

✔️පවුලේ තව කෙනෙකුට BPH තිබුණොත් ඔබටත් ඒක ඇතිවෙන්න පුළුවන්.


✅️BPH තියෙන අයට බහුලව දකින්න ලැබෙන රෝග ලක්ෂණ:

✔️මුත්‍ර පිටවෙන්න ගොඩක් වෙලා ගන්නවා, හෝ බලෙන් තල්ලු කරන්න වෙනවා.

✔️ මුත්‍ර ගලා යන්නේ හිමින්.

✔️මුත්‍ර කිරීම අවසන් වුණත් තවමත් බිංදු බිංදුවට එනවා.

✔️නිතර නිතර මුත්‍ර යෑම (රෑටත් කිහිප වතාවක් ඇහැරෙන්න වෙනවා.)

✔️මුත්‍ර කළාට පස්සෙත් තවමත් මුත්‍ර තියෙනවා වගේ හැඟීමක්.

✔️හදිසියේම මුත්‍ර යන්න ඕන වෙනවා, ඉවසන්න බැරි තරමට.


රෝග ලක්ෂණ තියෙනව නම් BPH කියලා තහවුරු කරන්න පහල තියෙන පරීක්ෂණ කරනවා.


1️⃣ඩිජිටල් රෙක්ටල් පරීක්ෂාව (Digital Rectal Examination - DRE)

ගුද මාර්ගයෙන් ඇඟිල්ලක් දාලා පුරස්ථි ග්‍රන්ථියේ ප්‍රමාණය, හැඩය, එහි ඝනකම බලනවා. 


2️⃣PSA (Prostate-Specific Antigen) රුධිර පරීක්ෂාව

PSA කියන්නේ පුරස්ථි ග්‍රන්ථියෙන් නිපදවෙන ප්‍රෝටීනයක්. BPH, පිළිකා, හෝ ග්‍රන්ථියේ ආසාදන එක්ක PSA මට්ටම ඉහළ යන්න පුළුවන්. 


3️⃣මුත්‍ර ප්‍රවාහ පරීක්ෂාව (Uroflowmetry)

මේකෙන් මුත්‍ර ධාරාවේ වේගය හා ප්‍රමාණය මනිනවා. 


4️⃣Post-Void Residual Volume Test

මුත්‍ර කරාට පස්සේ මුත්‍රාශයේ ඉතිරිවෙලා තියෙන මුත්‍ර ප්‍රමාණය මනිනවා. මේකට Ultrasound එකක් භාවිතා කරනවා. 


5️⃣අල්ට්‍රාසවුන්ඩ් (Ultrasound)

මේකෙන් ග්‍රන්ථියේ ප්‍රමාණය හා එහි ව්‍යුහය හඳුනාගන්න පුළුවන්.


6️⃣මුත්‍රාශය පරීක්ෂාව (Cystoscopy)

කුඩා කැමරාවක් මුත්‍ර මාර්ගයෙන් ඇතුළු කරලා මුත්‍රාශය හා මුත්‍ර මාර්ගයේ ඇතුළත බලනවා. මේකෙන් BPH නිසා මුත්‍ර මාර්ගයේ තද ගතියක් තියෙනවාද කියලා බලන්න පුළුවන්. (පළවෙනි comment එකේ Cystoscopy එකක් කරන vedio එකක් තියෙනවා)


BPH තත්ත්වය බරපතල නැත්නම්, ප්‍රතිකාර අවශ්‍ය නැති වෙන්නෙ නෑ. ඒත් රෝග ලක්ෂණ අනුව පහල තියෙන ප්‍රතිකාර ක්‍රම තියෙනවා.


💊බෙහෙත් වලින් මුත්‍ර මාර්ගයේ මාංශ පේශි ලිහිල් කරලා මුත්‍ර කරන එක ලේසි කරනවා.

💊රෝග ලක්ෂණ බරපතල නම්, TURP (Transurethral Resection of the Prostate) වගේ ශල්‍යකර්ම කරන්න පුළුවන්.


❌️BPH වල රෝග ලක්ෂණ තවත් රෝග ගණනාවකටත් පොදුයි. ඒ නිසා, රෝග ලක්ෂණ තිබුණොත් වෛද්‍යවරයෙකු හමුවෙන්න ඕනේ. BPH වලට සමාන රෝග ලක්ෂණ තියෙන්න පුළුවන් රෝග:

- පුරස්ථි ග්‍රන්ථි පිළිකාව (Prostate Cancer)

- මුත්‍රාශයේ ගල් (Bladder Stones)

- මුත්‍ර මාර්ග ආසාදන (Urinary Tract Infections - UTI)

- මුත්‍රාශයේ පිළිකාව (Bladder Cancer)

- Neurogenic Bladder) 

 

⚠️BPH කියන්නේ පිළිකාවක් නෙවෙයි. BPH එකෙන් පිළිකාවක් ඇතිවෙනවා කියලා සාක්ෂි නැහැ. ඒත්, BPH වලයි පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවෙයි එකම රෝග ලක්ෂණ තියෙන නිසා රෝග ලක්ෂණ තියෙනව රජයේ රෝහලට හරි GU Surgeon කෙනෙක් හරි හමුවෙන්න.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා.  මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 30k ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.


වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න


Saturday, August 2, 2025

Ultrasound scan ගැන

 වාට්ටුවේ scan දෙක. 



Scan එකක් කරන්න ලේසි නෑ. Scan room එකට call ගත්තම ඒකේ ඉන්න අයියා කෙනෙක් don't care level එකෙන් answer කරනවා. දැන් ඉතින් විස්තරේ කියන්න ඕනේ. 

ලෙඩා ආවේ මොනවා වෙලාද? රෝග ලකෂණ මොනවද තිබුනේ, blood reports ඔක්කොම කිව්වට පස්සේ එහෙනම් මේ වෙලාවට එවන්න කියලා කියනවා. 

Intern කාලේ ඔහොම scan දෙකක් කතා කරගත්තා. 

එකකට bladder full කරලා එවන්න කිව්වා. ඒ කියන්නේ හොදට වතුර බීලා මූත්‍රා කරන්නේ නැතුව. ඒ සීයාගේ මූත්‍රාශය බලන්න තිබුනේ.

අනිත් එක 6 hour fasting එවන්න කිව්වා. ඒ කියන්නෙ පැය 6 ක් කන්නේ බොන්නේ නැතුව. මෙයාගේ අක්මාව පිත්තාශය බලන්න තිබුනේ. 

දෙන්නට කරන්න ඕන දේවල් ටික කියලා scan එකට යන්න මේ වෙලාවට ලෑස්ති වෙන්න කියලා මම වෙන වැඩකට ගියා. 

ටිකකින් scan එකට යවන්න බලනකොට කන්න එපා කිව්ව මනුස්සයා කාලා. මූත්‍රා කරන්න එපා කිව්ව මනුස්සය හොද චූ පාරක් දාලා ඇවිත්. 

දෙකක් අමතන්න ඕන අවස්ථාවක්.  

ඔය වගේ ඒවට බැන්නම තමා hospital එකෙන් ඇවිත් රජයේ hospital වල staff වලට බනින්නේ. ලෙඩ්ඩු 80 කට 100 කට විතර staff එකෙන් 5 ක් 6 ක් ඉදලා කරන සේවයට හරිනම් පිං දෙන්න ඕනේ. 


තමන්ගේ ලෙඩ ගැන වගේම පරීක්ෂණ ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. අඩුම තරමේ අවබෝධයක් නැත්නම් කියන උපදෙස් ටිකවත් අහන්න ඕනේ.


අද ultrasound scan ගැන


ultrasound scan ස්කෑන් කියන්නේ අපේ ඇග ඇතුළත බැලීමට භාවිතා කරන ආරක්ෂිත, වේදනා නැති, විකිරණ නැති වෛද්‍ය පරීක්ෂණයක්. Pregnant අම්මලටත් මේක ආරක්ෂිතයි. 


මේකෙදි වෙන්නේ scan machine එකෙන් ශබ්ද තරංග (ultrasound waves) ශරීරයට යවනවා. මේ තරංග ශරීරයේ පටක, අවයව, හෝ තරල හරහා ගිහින් ආපසු පරාවර්තනය වෙනවා (echoes). ඒ පරාවර්තන තරංග වලින් machine එකේදි රූපයක් හදනවා වෙනවා. ඒකෙන් ශරීරයේ ඇතුළත තත්ත්වය හඳුනාගන්න පුළුවන්. 

Doppler ultrasound එකකදී රුධිර ගලන වේගය හා දිශාව බලන්න පුළුවන්, ඒකෙන් රුධිර නාලවල ගැටළු හඳුනාගන්න පුලුවන්.


✅️අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකකින් බලන්න පුළුවන් දේවල්

1️⃣ගර්භිණීභාවය - බිළිඳාගේ වර්ධනය, හෘද ස්පන්දනය, ගර්භාෂ තත්ත්වය, හෝ වැදෑමහ (placenta) හි ගැටළු බලන්න පුලුවන් 

2️⃣අභ්‍යන්තර අවයව - අක්මාව, වකුගඩු, පිත්තාශය, අග්න්‍යාශය, ගර්භාෂය, වෘෂණකෝෂ, මුත්‍රාශය, තයිරොයිඩ් ග්‍රන්ථිය, පුරස්ථි ග්‍රන්ථිය වැනි අවයවවල වෙනස්වීම් හඳුනාගැනීම.

3️⃣හර්නියා තත්ත්ව හඳුනාගැනීම.

4️⃣හෘදය : හෘදයේ වෑල්, කුටීර හෝ රුධිර ගලනය බැලීම (Echocardiogram).

5️⃣ධමනි හා රුධිර ගලනය - රුධිර නාලවල බාධා, ලේ කැටි, හෝ රුධිර ගලනයේ ගැටළු (Doppler ultrasound).

6️⃣සන්ධි හා මෘදු පටක - සන්ධිවල ඉදිමුම, කණ්ඩරා ඉරීම්, හෝ මෘදු පටකවල ගැටළු (musculoskeletal ultrasound).

7️⃣ පියයුරු වල ගෙඩි / පිළිකා හදුනාගැනීමට 


Ultrasound scan රෝග හඳුනාගැනීමට විතරක් නෙවෙයි සමහර ප්‍රතිකාර සහ procedures වලටත් උදව් වෙනවා. 

1️⃣Biopsy ගන්න : තයිරොයිඩ්, අක්මාව, වකුගඩු, පියයුරු හෝ පුරස්ථි ග්‍රන්ථියේ තියෙන ගෙඩි පිළිකාද යන්න බලන්න ඒවායින් කුඩා කොටසක් ගන්නවා. Ultrasound එකෙන් හරිම තැන හඳුනාගෙන biopsy ගන්න පුලුවන්.

2️⃣තරල ඉවත් කිරීම (Fluid Drainage): ශරීරයේ එකතු වුණු තරල (උදා: පපුවේ, බඩේ, හෝ හන්ධිවල) ඉවත් කිරීමට needle එකක් යොදා ගන්නවා. Ultrasound එකෙන් needle එක නිවැරදි තැනට යොමු කරන්න පුලුවන්.

3️⃣එන්නත් (Injections) : හන්ධිවල වේදනාවට හෝ ඉදිමුමට ප්‍රතිකාර කිරීමට steroid හෝ වෙනත් ඖෂධ එන්නත් කරනවා. Ultrasound එකෙන් එන්නත නිවැරදි තැනට යොමු කරනවා.

4️⃣Catheter එක ඇතුල් කිරීම : වකුගඩු හෝ මුත්‍රාශ ගැටළුවලදී catheter එකක් ඇතුල් කිරීමට ultrasound එක භාවිතා කරනවා.


⛑️⛑️⛑️ ස්කෑන් එකට සූදානම් වීම**

ස්කෑන් එකේ වර්ගය අනුව ඔයා සූදානම් වෙන්න ඕන විදිය වෙනස් වෙනවා.

1. Abdominal Ultrasound

පැය 6-8ක් කෑම බීම කන්නේ නැතුව ඉන්න ඕනේ.

පිත්තාශය පිත් යුෂයෙන් පිරෙන්නේ කන්නේ බොන්නේ නැතුව හිටියම. පිත්තාශය හොදට බලන්න නම්, ඒක පිරිලා තියෙන්න ඕනේ. 


2. Ultrasound KUBP

මේකෙදි බලන්නේ වකුගඩු, මූත්‍රමාර්ගය සහ මූත්‍රාශය සහ පුරස්ථිග්‍රන්ථිය. 

මූත්‍රාශය හොදට බලන්න නම් ඒක පිරිලා තියෙන්න ඕනේ. ඉතින් Ultrasound KUBP එකකට කලින් හොදට වතුර බීලා මූත්‍රා කරන්නේ නැතුව මූත්‍රාශය පුරවගෙන යන්න ඕනේ. 

සමහර විට Scan එක අතරතුරදි ඔයාට මූත්‍රා කරලා එන්න කියලා ආයේ scan කරලා මූත්‍රාශය හිස් වෙන විදිය බලනවා. (Post void residual volume - PVRV)


3. Pregnant scan

මේවට නම් Fasting ඉන්න ඕනේ නෑ. 

මුල් මාස කීපයේ බඩෙන්(trans abdominal)බැලුවට කලලය හරියට පේන්නේ නැති නිසා යෝනි මාර්ගයෙන් (Transvaginal) scan කරන්නේ.


4. තයිරොයිඩ්, හර්නියා, පියයුරු හෝ මෘදු පටක:

විශේෂ සූදානමක් ඕනේ නෑ.


Ultrasound scan එකකට කලින් ඔයාට දුන්න උපදෙස් පිළිපදින්න. වටේ ඉන්න අය කියන දේවල් අහන්න ගිහින් ඔබත් අපිත් අපහසුතාවට පත් නොකරන්න.


📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා.  මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 24k ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.


වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න

මෙය කොළොම්පුරයා විසින් සලක බ්ලොග්වාසින්ගේ හිතසුව නීරෝගි සුව පිණිස මුහුණු පොතෙන් උපුටාගෙන පලකරන ලදී.



පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම

 ගොඩක් දෙනෙක් පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම ගැන ලියන්න කියලා ඉල්ලලා තිබුනා. ඒ නිසා අද ඒ ගැන ලියන්න හිතුවා.  සමහර විට ඔයාගේ තාත්තා, සැමියා මේ රෝග ල...