Wednesday, October 14, 2026

මගේ නොවන මගේම කැබිනය හා මිලේනියම් එක සැමරිම - සයුරේ දසවසක්

මාගේ තුන්වන නෞකාව වූ කුමණේ සිටියදි 1999 වසරේ  ජනාධිපතිවරණය පැවැත්වු අයුරුත් අපත් එයට සමගාමිව ජනාධිපතිවරණයක් පවත්වූ අයුරු පෙර ලියා ඇත්තෙමි. පේදුරුතුඩුවේ හාල් ගොඩබාන අතරතුරේදි එක් දිනෙක පේදුරුතුඩුවේ ටවුම බලා යන්නට අවසරය ලැබින. නාවික හමුදාවෙන් හෝ යුධ හමුදාවෙන් අවසරය ලද හොත් පමණක් අපට ටවුමේ රවුමක් ගසා ෂොපින් යන්නට ලැබෙති. ටවුමේ සිමාවෙන් පිටවිම සපුරා තහනම්ය. ත්‍රස්තවාදින්ගේ පිස්ටල් කල්ලිය ටවුමේ ගැවසෙන බව බුද්ධි අංශයන් ගෙන් පනිවිඩය ලැබුනොත් ගොඩබිම් චාරිකාව එතැනින්ම අවසන් වෙති.
අලුත් ජැටිය හා මාලු බෝට්ටු


 නැව වෙත බත්තලයන් ඇදගෙන එන්නේ ලෑලි වලින් සැකසූ මාලු බෝට්ටුවලිනි. මෙකලත් නාගදිපය කරා මිනිසුන් ප්‍රවාහනය කරනා මෙවැනි පන්නයේ ලෑලි බෝට්ටු ඇති නමුදු බත්තල් ඇදගෙන ආ බෝට්ටු ප්‍රමාණයෙන් තරමක් කුඩාය. නැවෙන් බත්තලට බැසගත් පසුව රළු මුහුදේ රළ අතරේ පැද්දී පැද්දී ගොඩබිම වෙත යන්න සිදුවෙයි. බත්තලක් නැවැත්විය හැකි තරමේ අබලන් කුඩා ජැටියක් වන් කොටසක් පෝදුරුතුඩුවේ තිබුනි.



 බත්තලට දැමු ලෑල්ලක් මතින් ජැටියට ගොඩවි තාර ගැලවි වැල්ල පෑදුනු පාරක් දිගේ ඉදිරියට ගියවිට අපට නාවික හමුදාව රැදි සිටිනා කුඩා නිවෙසක් හමුවෙයි. එහි සිටිනා නිලධාරියෙක්ට අපගේ අවශ්‍යතාවය පැවසු පසුව නාවික හමුදාවේ සෙබලෙක් අපගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදීම සිදුවිය. සෙබලා T56 රයිෆ්ලයක් කරෙ එල්ලාගෙන අප සමගින් එන්නට විය.  අපේ ආරක්ෂාවට ලබා දුන් සෙබලා නිසා ත්‍රස්තයින්ගේ ඉලක්කයක් වීමට වැඩි ඉඩකඩක් ලෙසින් අපගේ අය දැක්ක නමුදු එය සෙබලාට හෝ නිලධාරින්ට අප ඇගව්වේ නැත. ආරක්ෂාව ගැන පන්ඩිතකම් කියන්නට ගොසින් පේදුරුතුඩුවේ ටවුමට යන්නට ලැබෙන එකත් නැතිකර ගන්නට කිසිවෙක් කැමතිවූවේ නැත.

 පාරේ ඉදිරියට යද්දි අතහැරදැමුනු ගෙවල් හා කුගන් ස්ටුඩියෝවද විය. විවරව ඇති දෙරෙන් එහි ඇතුලත බිත්තියක පැරණි බට්ටා ඔරලෝසුවක් එල්ලා තිබූ අයුරුද මාගේ මතකයට එයි. එය පසුකරගිය විට හින්දු කෝවිලක්ද දකින්නට ලැබින. දැනට ගුගලයා හරහා බැලු කල පාර විශාල කර ඉදිකර ඇතත් එම ගොඩනැගිලි තවමත් එසේම පවති.
කූගන් ස්ටුඩියෝව ගූගල් ස්ට්‍රීට් විව් හරහා 

කොඩ්ඩි පිල්ලෙයාර් කෝවිල 

කෝවිල පසුකර යද්දි හමුදා මුරපොලක් හා මාර්ග බාදකයක් හමුවෙයි. ඒ  ටවුම දෙසින් ජැටිය දෙසට එන අය හා වාහන පරික්ෂා කිරිමටය. මුරපොල පසුකර ගිය විට පේදුරුතුඩුවේ ටවුමට ලගාවිය හැක. ටවුම මැද කුඩා පිට්ටනියක් තිබු අතර එහි පසෙකින් මහත්මා ගාන්ධිගේ පිළිරුවක් විය. ටවුමේ මහජන බැංකුවේ ශාඛාවක්ද තිබුනු අතර එය විවෘතව තිබුනා දැයි මතකයේ නැත. එකල දැන් තරම් ජනාකීර්ණව හා කඩ සාප්පු වලින් පිරි තිබුනේ නැත. ජනාධිපති චන්දිකාගේ ආණ්ඩුවෙන් ලංකාවේ වේලාව අඬ හොරාවකින් වෙනස් කල නමුදු රජයේ පාලනයේ තිබූ උතුරේ වේලාව වෙනස් වූයේ නැත. කඩ සාප්පු ගානේ ගිය අපි පේදුරුතුඩුවට ආවේනික පැතිලි වඩේ මිලදි ගන්නත් අමතක නොකලෙමු. එසේම නෙල්ලි සිරප්, මිදි කෝඩියෙල් හා වේලපු ඉස්සන් මෙන්ම මිදි,කෙසෙල් වැනි දෑ කොළඹට සාපෙක්ෂව බොහෝ මිල අඩුවට පැවතිනි. අප මිලදිගත් දෑ සමගින් යලිත් ගිනි අව්වේ දෙකස්නෙන් දහඩිය පෙරමින් නැවට එන්නේ පෙර පරිදිම බත්තලේ නැගිලාය.

 හාල් ගොඩබෑමෙන්පසුව නැවට පැටවු තල් අරක්කු සමගින් 1999 දෙසැම්බර මාසයේ යලි නැව කොළඹ බලා නැවත ගමන් ඇරඹුනි. තවමත් මා රැදි සිටන්නේ මාගේ කැබිනයේ නොව බලහත්කාරයෙන් රිංගාත් ඉන්දිකගේ කැබිනයේය. මාහට ලැබුනු කැබිනයේ තිබුනේ මාගේ ඔවරෝලයත් තුවායක් ආරක්ෂිත සපත්තු කුට්ටම හා රෙදි සෝදන්නට ගන්නා බාල්දියක් පමණි. සමහරුන් තමන්ගේ සේදු ඔවරෝලයන් හා තුවායන් වේලාගන්නට මේ කැබිනය යොදාගත්හ. යලි කොළඹ එන මුහුදු ගමනේ ඉරිදා දිනයක් එලැඹුනි. කැප්ටන් එදින කැබින් පරික්ෂාකිරීමේ චාරිකාවක නිරිතවි තිබූ අතර රාත්‍රි 12 සිට පාන්දර 4 තෙක් වොච් ඩියුටිය කර නිදා සිටි මාහට කිසිවක් දැනගන්නට ලැබුනේ නැත. මාගේ කැබිනයේ ඇති අනෙක් අයගේ ඇදුම් අයින් කරගත්තද කිසිවෙක් අපිරිසිදුව තිබු කැබිනය තරමක් හෝ පිලිවෙලකට පත්කලේද නැත. දහවල් 12 4 වොච් එකට යන්නට පෙර අරුණයා  මා සිටි ඉන්දිකගේ කැබිනයට ආවේය.
"ඉක්මනට නැගිටපං. අන්න උඹට ටොපියක් සෙට්වෙලා?"  
"ඇයි?"  
"අන්න කැප්ටන් කැබින් ඉන්ස්පෙක්ෂන් ගිහිල්ලා උඹේ කැබින් එකයි එහෙනම් මාට්ටු වෙලා තියෙන්නේ." 
 "මම එකේ නොවෙයිනේ ඉන්නේ?" 
" උඹ එකේ හිටියේ නැතිවුනාට උඹටනේ කැබින් එක දීලා තියෙන්නේ."
 "ඉතිං දැන් මොකද වෙලා තියෙන්නේ?" "ඒක අස්කරලා නැතිව අපිරිසිදුවලු තියන් ඉන්නේ. උඹව හෙව්වාත් එක්ක. හොද වෙලාවට උඹ නිදි හින්දා බේරුනා. ඉක්මනට අස්කරලා දාපං. අන්න උඹ නැගිට්ටාම කැප්ටන්ව හම්බවෙන්න කිව්වා. උඹ දැන්ම යන්න එපා කෑමෙන් පස්සේ මෙස් එකේ ඉන්න කොට පලයන්. "
දඩිබියේ ඇදෙන් පැනගත් මා පහලට දිවගොස් කැබිනය දෙස බැලුවිටදි අනෙකුක් අයගේ ඕවරෝලයන් හා රෙදි සෝදන බාල්දි ඇතුලු සියල්ල ඉවත්ව ගොසිනි. යුහුසුව කැබිනය අතුපතුගා දමා එය පිරිසිදු කරදමන්නට හැකිවුනි. මා දිවා ආහාරය ගෙන වොච් එකට යෑමට එන්ජින් කාමරය වෙත යද්දී දිවා ආහාරය ගැනීමට පැමිණෙන ඩෙක් අංශයේ එකා දෙන්නා අසන්නට වූයේ මාගේ කැබින් එක ගැනය. මේ මොන මරාලයක්දැයි මාහට සිතුනි. තම තමන්ගේ කුණු කන්දල් සියල්ලම මාගේ කැබිනයට දමා කැප්ටන් එන විටදි ඇග බේරා ගත් හැටි අපුරුය. එන්ජින් කාමරයට ගොස් වොච් එක බාරගත්තෙමි. අදාල එංජිනේරුවරයාට පවසා දහවල් එක පසුවි තැප්ටන් හමුවට නිලධාරින්ගේ මෙස් කාමරයට ඇතුල්වුනෙමි. සුව පහසු අසුනක සිටි කැප්ටන්ද ඔහුට මදක් එහායින් ප්‍රධාන නිලධාරියාද සිටියෝය. 
"ගුඩ් ආෆ්ටනුන් කැප්ටන් මට එන්නයි කියලා තිබුනේ."  
"ආ තමුසේගේද අර කැබින් එක?" 
" නෑ සර් මගේ නොවෙයි."  
"එහෙනම් අර ටවල් එක කාගෙද?"   
"ඒක මගේ ."
"අර සේෆ්ටි ෂු?"  
"ඒකත් මගේ."
"එතකොට අර ඕවරෝල් එකත් තමුසේගේද?"  
"ඔව් සර්."
 "කැප්ටන් දැක්කාද අර පෝට්හොල් එකේ කවරේ දොරේ අඩයට තියලා තිබුනේ."
  ප්‍රධාන නිලධාරියාත් මැදට පැන්නේ මේ අතරදීය. 
" ඉතිං තමුසේගේ බඩු ඔක්කෝම තියෙන්නේ එකේ එවුනාට කැබින් එක තමුසේ නොවෙයි වෙන්නේ කොහෝමද?"  
"නෑ සර් බඩු තිබ්බාට එකේ ඉන්න බෑ. ෆෑන් එකක් වත් නෑ. මම වෙන කෙනෙක්ගේ එකක ඉන්නේ. "
"තමුන් දන්නේ නැද්ද නැවේ කැබින් ජරාවට තියන්න බෑ. ගිහිල්ලා තමුන් දැන්ම සුද්ද කරලා දානවා."  
"කැබින් එක සුද්දකරලයි ආවේ."
" චිෆ් පොඩ්ඩක් බලන්න කැබින් එක ක්ලින් කරලාද කියලා. මීට පස්සේ තමන්ගේ එකේ ඇරේන්න වෙන ඒවායේ ඉන්න බෑ. හැබැයි කැබින් ඒක ජරාවට තියන් ඉදලා මට ආපහු අහුවුනොත් ඊළග පෝට් එකෙන් බස්සවලා යවනවා හරිද? "
"හරි සර්." කියා ඉක්මනින් එතැනින් පිටත්වුනි. සිද්ධිය හොදින් බලාගෙන සිටි ස්ටුවාඩ් රාත්‍රි කෑම අතරතුරේදි කැප්ටන් කියු සියල්ලටම ලුණු ඇඹල් දමමින් රසකර කියන්නට වුනි. 
"උඹලා දන්නවාද මේකා කැප්ටන්ට කිව්ව දේ? මේකා කිව්වානේ කැබින් එක මුගේ නොවෙයි කියලා."  
"ඉතිං හරිනේ බං කැබින් එක මගේ නොවෙයිනේ. මම කිව්වේ ඇත්ත."
" ඒ කියනනේ? 
"කැබින් එක මගේ නම් මම ගෙදර යනකොට අරන් යනවා. කැබින් එක නැවේ මිසක් මගේ නොවෙයි." 
 "මේකාව ඊළග පෝට් එකෙන් බස්සනවා කිව්වා."  
"එයාට මාව කොහොමත් බස්සන්න වෙනවා. මාගේ දෙවනි Traning  ජනවාරි පහ පටන්ගන්නවා. ඒ උනාට තොපිලා මහ බලු වැඩේ කලේ තොපිලාගේ රෙදි ටික අරන් මාව මාට්ටු කරා නේද? ආපහු එකෙක්වක් රෙදි වේලන්න දාන්න එපා විසික් කරනවා එළියට."
ඉන් පසුව කිසිවෙකුත් මා පාවිච්චි නොකල කැබිනයට ඔවුන්ගේ ඇදුම් දැම්මේ නැත.

  එවැනි රසවත් සිද්ධින් රැසක් සමගින් අනුව දශකයේ අන්තිම දින කිහිපය මහ මුහුදේ ගෙවිය යමින් පැවතුනි. දෙසැම්බර් 28 වනවිට අප කොළඹට ලගාවූ අතර වරාය අසල නැංගුරම් දමන්නට හැකිවිය. අප කාගෙත් සිහිනය වුයේ 2000 වසර හෙවත් සහස්‍රය ලබද්දී කොළඹ වරායේ ජැටියක් වෙත යන්නටය. අවසානයේ අපගේ බලාපොරෝත්තු සපුරමින් නෞකාව කොළඹ වරායේ බන්ඩාරනායක ජැටියේ නවතාලන්නට හැකිවුනි. ඒ දෙසැම්බර් 30 වැනි දින විය. දැන් සියල්ලන්ම බලා සිටින්නේ සමාගමෙන් පඩි සල්ලි රැගෙන නියෝජිතයෙක් නැවට එනතෙක්ය. සල්ලි බෑගය ලැබූ පසුව කැප්ටන්ගෙන් මුදල් ලබාගන්නට එකා දෙන්නා නිලධාරි මෙස් එක ලග පෙල ගැසී සිටියහ. සමහරුන් නොවසිලිමත්වූයේ ඉක්මනින් මුදල් රැගෙන නිවෙස් කරා යන්නටය. මාහට අදාල පඩි සල්ලිද කැප්ටන් ගෙන් ලැබුනු අතර ඒ මුදල් ආරක්ෂා සහිතව තබාගන්නට ඉන්දික අතට පත් කෙරුවෙමි.

 ලෝකයේ ලොකුම ප්‍රශ්ණය බවට පත්වූ Y2K problem  2000 වසර ලබද්දී පරිගණකයන් අකර්මණ්‍ය වි ගොස් බොහෝ ආයතන, ගුවන් ගමන්, ගමනාගමන පද්ධති බිද වැටෙන එක ගැනය. එය අපගෙත් මාතෘකා බවට පත්වි තිබුනි. හසහස්‍රය පිලිගන්නට අපගේ නෞකාවේ සාදයක් පැවැත්වන්නට නියමිත විය. සේවයේ යෙදි හෙම්බත්ව සිටි සියල්ලන් බලා සිටියේ එවැනි සාදයක් එනතෙක්ය. සාදය ආරම්භ කරන තෙක් අප සිටියේ ඇගිලි ගනිමින්ය. නිවෙස් වෙත යන්නට හැකිවුන් නිවෙස්කරා ගොසිනි. දෙවනි ඉන්ජිනේරුවරයාද නිවෙසට ගොස් යළි පැමිණියේ ප්‍රධාන ඉන්ජිනේරුවරයාට නිවෙසට යන්නට අවස්ථාව ලබාදෙන්නටය. ඔහු තම වෑන් රථයෙන් පැමිණ එය ජැටියේ නවතා තැබිය. අනිවාර්්‍යයෙන්ම නැවේ සේවයේ සිටිය යුතු අය ඉතිරිවිය. අපද එම ගොඩට වැටි ඇත. රාත්‍රිය එලඹෙද්දී සාදය අරඹා කැප්ටන් හා ප්‍රධාන ඉන්ජිනේරුවරයා වෙලාසනින්ම නික්ම ගියේය. විස්කි හා බ්‍රැන්ඩි බෝතල් එක දෙක හිස්වන්නට විය. වැඩි කතාබහක් නැති ජයරත්න නම් දෙවන ඉන්ජිනේරුවරයා අපත් සමග නර්තනයේ යෙදෙන්නට පටන් ගත් අතර 2000 වසරට පාතබද්දී ඔහු අප සියල්ල වැලද ගනිමින් සුබ පැතීය. අප සියල්ලන්ම ප්‍රධාන තට්ටුව වෙත දුව ආවෙමු. රාත්‍රී දොලහේ හෝරාව එලඹෙද්දී වරායේ නවතා තිබුනු හා නැංගුරම් ලා තිබූ සෑම නෞකාවකින්ම ගලා ආ හොන් ශබ්දයෙන් ගිගුම් දුනි. අප නෞකාවේ හෝනය එක දිගට නාද කරන්නට විය. කොළඹ අහස මල් වෙඩියෙන් පිරි යද්දී ඇත දියඹේ තිබු නෞකාවන්ද ඒවායේ තිබු රොකට් පැරෂූට් ගිනිදැල් සංඥාවන් (Rocket parachute flares) උඩුගුවනට මුදා හරින්නට විය. 
පැරෂුට් ෆ්ලෙයාර් එකක් දැල්වෙන අයුරු.


අහස්තලයම දිප්තියෙන් දිදුලමින් තිබුනි. 
" අලුත් අවුරුද්දක් ලබද්දී උඹලා පන්සල්යන්නේ නැද්ද? එනවානම් වරෙල්ලා."  දෙවන ඉන්ජිනේරුවරයා කීවේය.
" යමු යමු අපි එන්නම්."
   ඔහුගේ යෝජනාවට එක පයින්ම කැමැත්ත පලකල අපි අතර ඔහුගේ වෑන් රථයට රිංගා ගතිමු. සියල්ලන්ම සිතා සිටියේ ගංගාරාමට පන්සලට හෝ කැළණිය පන්සලට නැතිනම් බෙල්ලන්විල පන්සලට යන බවයි. නමුත් දෙවන ඉන්ජිනේරුවරයා අපව කැදවාගෙන ගියේ වරාය ඇතුලේ ජයා බහලුම් පර්යන්තය අසළ තිබු බෝ ගසත් එක්කම ඉදිකල කුඩා ප්‍රමාණයේ බුදුකුටියකටය. 
" ආ දැන් බැහැලා ගිහිල්ලා වැදලා වරෙල්ලා."  
" අපි හිතුවේ සෙකන්ඩ් අපිව කැළණි පන්සල් එක්ක යනවා කියලා."  
"කොයි පන්සලට ගියත් ඉන්නේ එක බුදු හාමුදුරුවෝයි කියන්නේ එකම ගාථායි නම් මෙතනත් එකයි එතනත් එකයි බං. "
එම කුඩා බුදු කුටියට ගොස් බුදුන්වැද ආපහු වෑන් රථයෙන් නැවට ආව සියල්ලන්ගෙම වෙරි සිදි තිබුනි. 



සහස්‍රය ලැබුදා වරායෙන් එළියට ගොස් කොළඹ වටේ රවුමක් ගැසීමේ අවස්ථාව එසේ නිමාවුනි...

Monday, May 4, 2026

කොළොම්පුරයාගේ වෙසක් කූඩු කතා වස්තුව

 වෙසක් සිරියෙන් රටම බබලන්න මැයි මාසේ උදාවෙලා තියෙද්දි කොළොම්පුරයාගේ මතක ගබඩාවේ දුහුවිල්ලෙන් වැසිලා ගිහින් තිබුන පරණ සිද්ධියක් මතකයට නැගුනා. අපේ සකල බ්ලොග් වාසි හුදි ජනයාගේ පහන් සිතුවිලි උදේසා මෙන්න කොළොම්පුරයා අකුරු කරනවා. 



මේ කියන කාල වකවානුවේ පාරවල් ගානේ වෙසක් කාඩ් කඩවල් තිබුනාට දැන්වාගේ විදුලි බුබුලු කඩ, බෞද්ධ කොඩි කඩ, වෙසක් කූඩු කඩ තිබුනේ නෑ. කොළොම්පුරයාගේ අතිජාත මිතුරෙක් වෙච්චි බඩාගේ තාත්තාගේ කඩකාමර දෙකත් ඊට යාබදව බඩාගේ ගෙදරත් රත්මලානේ  ගාලුපාරට මුහුණලායි තිබුනේ. ඔය කියන ස්ථානයේ කොළොම්පුරයා බඩා හා අනිත් පාසල් මිත්‍රකැල වෙසක් එකට කරපු බොහෝ දේවල් මතක ගබඩාවේ ඉතිරිවෙලා තියෙනවා. පසුව අකුරු කරන්නම් හොදේ... 

ඉතිං බඩාගේ පියානන් වෙසක් එකට මාසෙකට කලියෙක් මුලු පවුලම එකතුතරන් පටන් ගන්න ව්‍යාපෘතියක් තිබුනා. ඒක තමයි වෙසක් කූඩු වෙළදාමට සැකසීම. දැන්වාගේ අටපට්ටමේ සැකිල්ල විතරක් විකුනන්නේ නැතිව සියල්ල අලවා නිමකර විකිනිම තමයි එයාලා  කරේ. මේ කියන අවුරුද්දේ කොළොම්පුරයාත් ගෙදර නාවික පාඨමාලව ඉවරකරලා නො නැව් කොම්පැනියේ ඉදිද්දි තමයි බඩා කිව්වේ මේ පාර එයලා වෙසක් කූඩු හදන්නේ නැති බවත් පුලුවන්න නම් උඹ වැඩේ කරපන් කියලා. කොළොම්පුරයාගේ නැන්දාගේ බාලයා වුනු මධුරත් රස්සාවක් හොයමින් ඉන්න හින්දා මේ වැඩේට එයත් හොදම සුදුස්සා උනා. කොහොමින් හරි දෙන්නාත් එක්ක කතාබහ කරලා වැඩේට බැස්සා. වෙසක් කූඩු සියයක් හදන්නයි දෙන්නාගේම ප්ලෑන. මුලින්ම කරන්න ඕනේ බට හොයාගන්න එක. කූඩු හදන්න ගන්න පොඩි උන බට දැන්වාගේ පාරවල් වල හැමතැනම විකූනන්න නෑ. තිබුනත් බට අරන් ප්‍රවාහනය කරගන්න වාහනත් නෑ ගන්න සල්ලිත් නෑ. ඔන්න ඒ පාර තමයි කොළොම්පුරයාගේ පාසැල් මිතුරෙක් වුනු හිරාන් උදව්වට ආවේ. හිරාන් හිටියේ කොළොම්පුරයා ගෙවල් පාරට අල්ලපු පාරේ. එයාගේ ගෙදර අලුතින් නිමකරපු කෑම කාමරය සාදන්න ගෙනාපු උන බට ගොඩාක් කොන්ත්‍රාත් කරුවා ගෙනිහිල්ලා නැති බවත් ඒවා අවශ්‍ය නම් ගන්න පුලුවන් බවත් දැනගත්තා. දැන් මධුරත් කොළොම්පුරයාත් රැට රැට හිරාන්ගේ  ගෙදරින් උනබට දෙක දෙක කරේ තියාගෙන එනවා. දවල්ට අරන් එන්න ලැජ්ජයි නේ. කොල්ලොනේ. 

මේ ලොකු උන බට කූඩු හදන්න ගන්න පොඩි බට වාගේ නොවේ පලන්න පවා හරිම අසීරුයි. දෙන්නාගෙන් වැඩිම කාලයක් ගෙවුනේ බට පලන්නයි නියමිත ගානට සයිස් කරන්නයි. මේ බටවල මදය ගනකම් හින්දා ඒවා අඩු කරන්නත් සිදුවුනා. මේ හින්දා කොළොම්පුරයාගේ ගෙදර මිදුල පුරා බට කෑලී හැමතැනම විසිරිලා. බට කැපිල්ලෙන් පස්සේ කූඩු හැදිල්ල පස්සට දාලා අලවන සව් කොල ගන්න කොළඹ මැලිබන් විදියට යන්නයි දෙන්නාගෙම කල්පනාව. 

"මැලිබන් විදියේ තමයි සව් කොල තියෙන්නෙ. වෙලාසනින් ගිහිල්ලා අරගන්න එක තමයි හොද නැතිනම් ලංවෙද්දි කොල ගනන් යනවා"

 බඩාගේ පියානන්ගෙන් උපදෙස් ලැබුනා. කොළොම්පුරයයි මධුරයි දෙන්නා එක්ක බසයේ නැගිලා පිටකොටුවෙන් බැහැලා මැලිබන් විදිය හොයාගෙන ගියා. දෙන්නා එක්ක හොදටම වෙහෙසිලා කඩවල් ගානේ ගිහිල්ලා ගනන් බලලා සුදු සව් කොල රීම් එකකුත් අනෙක් පාටින් දුසිම් ගනනින්ද කළු ඩිමයි කොලත් අරගත්තා මතකයි. ඔන්න දැන් සව් කොලත් හරි දැන් තමයි කූඩු හැදිල්ල තියෙන්නේ. කූඩු හැදිල්ලත් ලේසි නෑ කොහොම හරි දෙන්නා එක්ක කූඩු එකසිය පහලොවක් වගේ ගනනක් හදලා නිමකලා. මේ වැඩේට අමතර උදව් එහෙමත් ටික ටික  දෙන්නාටම ලැබුනා. නැත්නම් කොහොමද දෙන්නා මේක කරන්නේ.  මගදි වැඩේ අතහැරලා දාන්නත් හිතුනත් ගෙනාපු සව් කොල වලට මොකද කරන්නේ කියලා හිතුන නිසා වැඩේ නතර කෙරුනේ නම් නෑ. කුඩු අලවන්න යොදාගත් කාමරේ පොලවේ පවා කැපුන සව්කොල කෑලි ඇලවිලා මුලු පොලවම ගන්න දෙයක් නෑ. කළු ඩිමයි කොල වලින් ධර්ම චක්‍රයක් කපලා සුදු හතරුස් කොටුවල ඇලෙව්වාම ලයිට් එලියට ලස්සනට පෙනෙන්න ගන්නවා.  රැලි දාලා ඇලෙව්ව කූඩු ටික ඉරාගන්නේ නැතිව තියාගන්න එකත් ලේසි වැඩක් නොවෙයි. අනික කූඩු කූඩු එකසිය පහලොවක් වගේ ගනනක් තියන්න තැනත් හොයන්න අමාරුවුනේ නෑ. කොළොම්පුරයාට තමන්ගේ කාමරේ කූඩුවලට ඉඩදීලා සාලේ නිදාගන්නත් උනා. කොහොමින් හරි දෙන්නා එක්ක කරපු ප්ලෑනේ හැටියට වෙසක් ලබන්න දවස් හයකට කලියෙන් වැඩේ හමාර කරලා වෙළදාම් කරන්න සෙට්වුනා. වෙසක් කූඩු හැදුවාට දැන් කොහේද වෙළදාම් කරන්නේ? ඔන්න ඔය අවස්ථාවේ කොළොම්පුරයාගේ හැම මංගල්ලයකටම සපොට් දෙන අතිජාත මිතුරෙක් වන චන්දන අයියා උදව්වට එන්නේ. එයාට තිබුන හයර් දුවන මිට්සුබිෂි වෑන් එක දෙනවා කූඩු වෙළදාම් කරන්න යන්න. කොළොම්පුරයාට වාහන එලවන්න ලාවට පුලුවන් උනත් ලයිසම් කඩදාසියක් එතකොට අරන් නෑ. කූඩු බිස්නස් එකේ පලමු දිනය උදාවෙනවා. කොළොම්පුරයයි මධුරයි එක්ක චන්දන අයියා වෑන් එකේ කූඩු පුරවන් දැන් ගාලු පාරේ විකුණන්න තැනක් හොයනවා. අන්තිමේදි ගල්කිස්ස ආසන්නයේ තැනක පේමන්ට් එක උඩ වෑන් එක නවත්තන්න තැනක් හමුවෙනවා. 

මෙන්න මේ තාප්පය අයිනේ තමයි වෑන් එක නවත්තලා තිබුනේ. 


" මල්ලි අද මගේ ඇගටත් හරි නෑ එත් යාලුවෙක් කතා කරනවා සෙට්වෙන්න. ඔෂන් බ්ලික් හෝටලේ මම ඉන්නවා වැඩේ ඉවරවුනාම කතා කරන්න. "

කියලා චන්දන අයියා වෑන් එකයි අපිවයි දාලා  යනවා. වෙසක් කූඩුවක් රුපියල් සියයක මුදලකට මිල නියමකරගෙන වෑන් රථයේ පිටු පස දොර ඇරලා කූඩු තුනත් විතර එල්ල ගෙන දෙන්නාත් එක්ක බලාගෙන හිටියාට කවුරුවත් කූඩු ගන්න එන්නේ නෑ. ඇත්තටම දෙන්නටම ලැජ්ජත් එක්ක කූඩු විකුණන්න. ඔන්න ඔය වෙලාවේ කොළොම්පුරයත් එක්ක නැව් කෝස් කරන්න ගිය මේ වන විට ප්‍රධාන නාවික නිළධාරියෙක් විදිහට නෞකාවල සේවය කරන වන්නියා කඩාපාත්වෙන්නේ.

" ඇයි තොපිලට ලැජ්ජද හැංගිලා ඉන්නේ "

කියලා අහලා අපේ පලමු වෙසක් කූඩුව මිලදි ගන්නේ වන්නියා එවාගේම කූඩු විකුණන්නත් උදව් වෙනවා. පලමු දවසේ කූඩු දෙකක් පමණයි විකිනෙන්නේ. දෙන්නාටම දැන් තරු විසික් වෙලා ඉන්නනේ ඇයි බොලේ වියදම් කරපු සල්ලිවත් හොයාගන්න බැරිවෙයිදෝ කියලා. දෙවනි දවසෙ වැඩේට උදේම බහින්න කියලා හිතාගෙන චන්දන අයියා බලන්න යනකොට පොර ඇදේ ඉන්නවා හොදටම උණ හැදිලා.  වදෙන් පොරෙන් මිනිහාව ලෑස්තිකරන් දොස්තර වික්‍රමසිංහ ලගට අරන් ගිහින් බෙහෙත් අරන් දීලා ගෙදර එක්කන් එනවා. එදත් හවස තමයි බිස්නස් එකට බහින්න වෙන්නේ. එත් උණ හැදිච්ච කෙනෙකුගෙන් ඉල්ලන්න පුලුවන්ද වෑන් එක?  

"මල්ලි එලවන්න පුලුවන් කෙනෙක්ට කියලා වෑන් එක අරන් යන්න."

කියලා පොර යතුර කොළොම්පුරයාට දෙනවා. යතුර ලැබුනත් දැන් කාටද කියලා වෑන් එක එලවන්නේ? මධුරගේ ලොකු අයියාට කියා අදාල ස්ථානයට වෑන් එක ගෙනියන්නට හැකිවෙනවා. එදා නම් කූඩු පහක් විකුණගන්න කොළොම්පුරයාට පුලුවන් වෙනවා. පසුවදා හොදටම උණ වැඩිවි චන්දන අයියා කළුබෝවිල රෝහලට ඇතුලු කරවන්නටද සිද්ධවෙන්නේ මේ අතරතුරයි. කොළොම්පුරයාගේ කූඩු බිස්නස් එකට උදව්කරන්නට වුනු පොරෙන්දුව ඒ විදිහටම රැකපු චන්දන අයියා එයාගේ වෑන් රථයේ යතුර පහුවෙනිදාත් කොළොම්පුරයාට ලබාදෙනවා වෙන කෙනෙකු ලවා වැඩය කරගන්නයි කියමින්. 

ඒ අතරේ ගල්කිස්සේ  HNB බැංකුවට නිල් හා සුදු පාටින් කූඩු පහලොවකුත් Five Star බේකරියට තනිකරම තැඹිලි පාටින් කූඩු දහයක ඕඩරයක් එනවා.  ආයෙත් කූඩු හදන්න බැරි හින්දා අලවපු කූඩු ඉරලා තමයි එයලාගේ පාටින් අලවන්න සිදුවුනේ.

මේ අතරේ මධුර පොඩි ස්පිකරයක් හයිකරලා සින්දුවක් එහෙම දාගන්න පුලුවන් විදිහටත් කොළෙම්පුරයා ගාව තිබුන ටියුබ් ලයිට් සර්කිට් එකකින් වාහනේ බැටරියට සවිකරන් එළිය ගන්න පුලුවන් විදිහටත් වැඩේ කරගන්නවා. 

ටිකෙන් ටික වෙසක් එකට දින ලංවෙද්දි කූඩු වෙළදාම වැඩිවෙලා උදේ ගෙනියන කූඩු දවල් වෙද්දී මදි වෙනවා. මේ අවස්ථාවේදි පිහිට වෙන්නේ මධුරගේ ලොකු අයියා තමයි. ලග තිබුන පේ ෆොන් පෙට්ටියකින් මධුරගේ ගෙදරට ඇමතුමක් දීලා මධුරගේ අයියාගේ පර්ජෝ 404 කාර් එකෙන් කොළොම්පුරයාගේ ගෙදර ඉදන් කූඩු ඇදලා ලොකු උදව්වක් කරන්නේ. මේ අතරේ සමහර මිනිස්සු තමන් ආපු කාර් එක දැක්කාම ගාන වැඩියෙන් කියයි කියලා ඈතින් නතර කරලා ඇවිත් රුපියල් සියයට විකුණන කූඩුවත් හෙට්ටු කරලා අඩුවට ඉල්ලන හැටිත් කොළොම්පුරයා හොදටම අත්විදින්න ලැබුනා. කොහොමින් හරි වෙසක් දිනයේ දහවල් වෙනකොට අපේ කූඩු විකිණිල්ලේ අවසන් අදියරට ඇවිල්ලා. ඉතිරි කූඩුවලින් පහක් චන්දන අයියාටත් කොළොම්පුරයාගේ ගෙදරට හා මධුරගේ ගෙදර බෙදාගෙන වැඩේ අවසන් කෙරුනා. වෙසක් පොහොය දිනය වෙනකොට චන්දන අයියා රෝහලෙන් ගෙදරට ඇවිල්ලා තිබුනත් කොළොම්පුරයාට එයාව බලන්න යන්නවත් වේලාවක් ඉස්පාසුවක් ලැබුනේ නෑ.  වෙසක් පොහොය දිනයේ කැළණි පන්සලට පිත්තල පහණක් පුජා කරන්න හිතන් හිටපු වන්නියාට චන්දන අයියාගේ වෑන් රථයේ හයර් එකක් යන්න අල්ලලා දුන්නේ කොළොම්පුරයයි එත් ලෙඩා දුකා වෙච්චි චන්දන අයියාට ඒ හයර් එක යන්න බෑ. 

"මල්ලි එලවන්න පුලුවන් කෙනෙක් එක්ක ගමන ගිහින් එන්න. මට හයර් එක එපා."

 කියලා වන්නියාට යතුර දෙනවා. 

"දන්න උඹට යතුර දුන්න එක නොවෙයි වැඩේ නොදන්න මට චන්දන අයියා එයාගේ වෑන් එකේ යතුර දුන්න එකයි මාර."

වන්නියා අදටත් ඒක කියනවා.  කොළොම්පුරයාගේ පාසල් මිතුරෙක් වූ චන්නියාට චන්දන අයියා හමුවන්නේ ඒ විදිහටයි. ඒ හමුවිමෙන් වන්නියාත් චන්දන අයියාත් මිතුරන් බවටත් පත්වෙන්නේ මේ වෙසක් කූඩු වෙළදාම හින්දයි. 

කොහොමින් හරි වියදමි අඩුකරලා මධුරත් කොළොම්පුරයාත් රැපියල් 3500 බැගින් බෙදාගන්න පුලුවන් වෙනවා. අද කාලේ රුපියල් 3500 ක් ලොකු ගන්නක් නොවුනත් එදා ඒක අපේ මහන්සියේ තරමට ලොකු ගානක් වෙනවා. එදා කොළොම්පුරයාගේ වෙසක් කූඩු බිස්නස් එකේ ආදායම් වියදම් පොඩි පොතක ලියලා තිබුනා. සමහරවිට තාමත් ඒ පොත ගල්කිස්සේ ගෙදර පොත් දාපු පෙට්ටියක රැදිලා ඇති. 

ඔන්න ඔහොමයි කොළොම්පුරයාගේ වෙසක් කූඩු කතා වස්තුව අවසන් වෙන්නේ.   


මගේ නොවන මගේම කැබිනය හා මිලේනියම් එක සැමරිම - සයුරේ දසවසක්

මාගේ තුන්වන නෞකාව වූ කුමණේ සිටියදි 1999 වසරේ   ජනාධිපතිවරණය   පැවැත්වු අයුරුත් අපත් එයට සමගාමිව  ජනාධිපතිවරණය ක් පවත්වූ අයුරු පෙර ලියා ඇත්තෙ...