Wednesday, March 20, 2024

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

 නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries 



තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ. නැව් විවිධ මෙහෙයුම් එනම් භාණ්ඩ හැසිරවීම, යාත්‍රා සුරක්ෂිත කිරීම සහ ජීවිතාරක්ෂක අරමුණු සඳහා පවා ඒවා යොදා ගනි. මෙම උපකරණ සාමාන්යයෙන් ක්‍රියාත්මක වන්නේ තට්ටු දෙපාර්තමේන්තුව - Deck Department  යටතේ ඇති යාත්‍රා කාර්ය මණ්ඩලය විසිනි. එවැනි උපකරණ ක්‍රියාත්මක කිරීමේදී නිසි ලෙස සහ වඩාත් ආරක්ෂිතව භාවිතා කිරීමට යම් පුහුණුවක් සහ නිපුණතාවක් අවශ්ය වෙනවා.




නිර්වචනය අනුව තට්ටුව යනු Level /Floor  මට්ටම හෝ මහල වේ. යාත්‍රාවේ කාලගුණයට නිරාවරණය වන තට්ටුව ප්‍රධාන  තට්ටුව Main Deck නමින් හදුන්වයි. එයට ඉහළින් Accomodation හි පිහිටා ඇති අනෙකුත් තට්ටු A Deck, B Deck, C Deck යනුවෙන් නම් කරනු ලබයි. ඒවා සාමාන්යයෙන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සිටින තට්ටු පහළින් ද. සහ ඉහළින් නාවික නිලධාරීන් සිටිනා තට්ටු පිහිටා ඇත. ඉහළින්ම ඇත්තේ   Bridge Deck ය. එය  යනු යාත්‍රාව පාලනය කරනා  Wheel house පිහිටා ඇති තට්ටුවයි. ඊට පහලින් ඇති තට්ටුව  විශේෂයෙන් කපිතාන්වරයා ජීවත් වන තට්ටුවයි.
Under deck යට තට්ටුව තට්ටුවට පහළින් ඇති මහල් වේ. මෙම තට්ටු එන්ජින් කාමර අවකාශය සඳහා වෙන් කර ඇත. එන්ජින් කාමරය නැව් මෙහෙයුම් සඳහා අත්යවශ්ය යන්ත්රෝපකරණ රාශියකින්
සමන්විත වේ. යට තට්ටුවේ යන්ත්රෝපකරණ - Under Deck Machineries  ලෙස හඳුන්වනු ලබන්නේ එය නිරාවරණය වන තට්ටුවට පහළින් තබා ඇති බැවිනි. එයට උදාහරණ වන්නේ ජනක යන්ත්ර, ප්‍රධාන එන්ජිම, සුක්කානම, සිසිලන, පොම්ප, සම්පීඩක, බොයිලේරු යනාදියයි.
මෙම උපකරණය ක්‍රියාත්මක කළ හැක්කේ සහ නඩත්තු කරනු ලබන්නේ එන්ජින් කාමරයේ නඩත්තු කිරීමේ හැකියාව ඇති එන්ජින් දෙපාර්තමේන්තුවේ Engine Department  පුද්ගලයින් විසිනි.

තට්ටු යන්ත්රෝපකරණ වර්ග භාවිතය අනුව
■ භාණ්ඩ හැසිරවීම - Cago Handling 
බොහෝ තට්ටු යන්ත්රෝපකරණ භාවිතා කරනුයේ භාණ්ඩ හැසිරවීම සඳහා. විශේෂයෙන් නැව් තුළට සහ ඉන් පිටතට භාණ්ඩ පැටවීම සහ බෑම සඳහා යි. නැව්වල ඇති භාණ්ඩ ඉතා විශාල වන අතර ඒවා ආරක්ෂිතව හා කාර්යක්ෂමව රැගෙන යාමට බර යන්ත්රෝපකරණ අවශ්ය වේ. මෙම භාණ්ඩ පටවා ගත් පසු කාලගුණය මත එය හිස්ව විවෘතව තැබිය නොහැකි අතර එම නිසා ඇතැම් තට්ටු යන්ත්ර සූත්‍ර ද ඒවා නිසියාකාරව සුරක්ෂිත කිරීමට යොදා ගනී. දොඹකර සහ භාණ්ඩ රදවාතබන ස්ථාන Cargo Hatch/ Cargo Hold

■ යාත්‍රා ආරක්ෂාව - Vessel Security 
නැංගුරම් දැමීම හෝ නැංගුරම් ලෑම Anchoring  යනුවෙන් හැඳින්වෙන අවස්ථාවලදී යාත්‍රා චලනය නතරකිරිම සිදුවේ. ඒ සඳහා නැංගුරම, වින්ඩ්ලාස් සහ මුරිං වින්ච්  Anchor Windlass, Mooring Winches  වැනි තට්ටු යන්ත්රෝපකරණ භාවිතා කරනු ලැබේ. යාත්‍රාව සුරක්ෂිතව තබා ගැනීමට මෙම තට්ටු යන්ත්රෝපකරණ එකට ක්‍රියා කරයි.

■ ආරක්ෂාව -Safety 
මුහුදු කොල්ලකරුවන් සේ නෞකාවකට ලණුවක එල්ලී නැගිමට නොව  යාත්‍රාවට නැගිමට යොදාගන්නා Gangway   ද තවත් තට්ටු යන්ත්රෝපකරණයකි.  එය නිසි ලෙස හා ආරක්ෂිතව නැව්වලට ගොඩවිම හා බැසීම සඳහා භාවිතා කරයි.

වැඩ කිරීමේ මූලධර්මය අනුව තට්ටු යන්ත්රෝපකරණ වර්ග.

බොහෝ විට, තට්ටු උපකරණ විදුලි හෝ හයිඩ්රොලික් පද්ධති මගින් බල ගැන්වේ. අපි ඉලෙක්ට්රෝ හයිඩ්රොලික් කියන විට පද්ධතිය සමන්විත වන්නේ විද්යුත් ධාවකය සහ හයිඩ්රොලික් ක්‍රියාකාරක වලිනි. විද්යුත්  බලය මගින්ද යන්ත්රෝපකරණ ක්‍රියා කළ හැකි බැවින් විදුලි මෝටරයන්ටද විදුලි බලය සපයයි. විද්යුත් බලය මගින් පොම්පය චලනය වන අතර එමඟින්  හයිඩ්රොලික්ස් තරලයට පීඩනය ලබා දෙයි, එමඟින් යන්ත්රයේ චලනය වීමට ඉඩ සලසයි.

බොහෝ අවස්ථාවන්හිදී, තට්ටු යන්ත්රෝපකරණ කොතරම් වැදගත්ද යත්, නැව් විදුලිය විසන්ධි වන අවස්ථාවකදී පවා ඒවා ක්‍රියාත්මක වීමට කටයුතු කර ඇත.තට්ටු

 යන්ත්රෝපකරණ ලැයිස්තුව සහ ඒවායේ භාවිතය.

■ භාණ්ඩ රඳවන හැච් - Cargo Hatch

 භාණ්ඩ ප්‍රවාහනය කරන නැව්වල භාණ්ඩ රඳවන ආවරණය කරනයන් Cargo Hatch Covers  ජලයෙන් ආරක්ෂිත Water tight  ලෙස නිපදවා ඇත. මෙම ආවරණ විශාල බැවින් එය හයිඩ්රොලික් ඒකකයක් මගින් විවෘත කිරිම හා වැසිම ක්‍රියාත්මක වේ. ටිලර්/ජොයිස්ටික් භාවිතයෙන් මෙම විශාල රඳවන ආවරණ විවෘත කිරීම සහ වැසීම හයිඩ්රොලික් පාලනය කරයි.



 ගැන්ග්වේ - Gangway 
Gangway  යනු කලින් සඳහන් කළ පරිදි නෞකාවට ගොඩවිම හා ඉන් බැසිම සඳහා භාවිතා කරන පඩිපෙලකි. මෙම මාර්ගය නෞකාවෙන් පහළට පහත් කර ආරක්ෂා ලෙස තබන අතර මෝටරයක් භාවිතයෙන් හෝ පඩිපෙලට පෙර සකස් කරන ලද කඹයක් මගින් ඉහළට සහ පහළට ඉස්සිම හෝ බෑම පහසු කරවයි. නෞකාවට  භාණ්ඩ පැටවීමේදී හා බෑමේදී සහ වඩදිය බාදිය මත යාත්‍රාවේ උස Draft  වෙනස් වන බැවින් මෙය ස්වයං චලනය විම සිදුවේ.



■   මුරිං වින්ච් - Mooring Winches
Mooring Winches  යනු යාත්‍රාව තොටුපළට හෝ වෙනත් යාත්‍රාවක ගැටගැසිමට සිදුකිරීමට භාවිතා කරන කඹය තද කිරීමට හෝ ලිහිල් කිරීමට භාවිතා කරන මෝටරයෙන් හෝ හයිඩ්රොලික් මගින් ධාවනය වන වින්ච් බෙර Winch Drums වේ. මුරිං වින්ච් යාත්‍රාව තොටුපළ හෝ වෙනත් යාත්‍රාවක ගැටගසා ඇති අපේක්ෂිත ස්ථානයෙන් ඉවතට ගසාගෙන යාම වළක්වයි. එමෙන්ම භාණ්ඩ පැටවීමේදී හා බෑමේදී සහ වඩදිය බාදිය මත යාත්‍රාවේ උස Draft  වෙනස් වන බැවින් කඹයන් ලිහිල් කිරිම හෝ තද කිරිම ස්වයං ලෙස ක්‍රියාත්මක විමටත් සැකසිය හැකිවේ.






■   වින්ඩ්ලාස් - Windlass
වින්ඩ්ලාස්  නෞකාවක නැංගුරම් ලෑමේ ක්‍රියා පිලිවෙතහිදි නැව් නැංගුරම් දැමීම සහ යළි එසවිම කිරීම සඳහා භාවිතා කරන අතර නැංගුරම් වින්ච් මෝටර සමඟ සම්බන්ධ වේ. Winch මෙන් නොව Windlass  යනු Anchor Chain Locker  ලෙස හඳුන්වන නිශ්චිත ස්ථානයකට යන  නැංගුරමේ දම්වැල පෙරළෙන බෙර Gypsy wheel සහිත වේ. සරලව කිවහොත්, වින්ඩ්ලාස් යනු දම්වැල ලොකරය තුළට සහ ඉන් පිටත මුහුදට ගෙන යන පුලියක් වැනි ය.



■ නැංගුරම - Anchor 
නැවේ ඉදිරියේ වම් හෝ දකුණු පස Port Side and Starboard Side නැංගුරම් දක්නට ලැබේ. යාත්‍රාව මුහුදේ යම් ප්‍රදේශයක ස්ථානගත කිරීම සඳහා නැංගුරම් දමනු ලැබේ. නැංගුරම බිම දැමූ පසු යාත්‍රාව රඳවා තබා ගැනීමට සහ දියඹේ පාවි ගසාගෙන යාම වළක්වා ගැනීමට මුහුදු පත්ලේ හිර කරති.




■ කැප්ස්ටන්  Capstan 
නැවෙහි සවි කර ඇති මෙම කැප්ස්ටන් සිරස් සිලින්ඩරාකාර බෙරයකි. මෙම උපකරණ මුරිං ලණු භ්‍රමණය කරවමන් ලණු ඇදීමට සහ මුරිං කඹයන් හි ආතතිය තබා ගැනීමට භාවිතා කරන මුරිං වින්ච් වලට බෙහෙවින් සමාන ය.




■ දොඹකර - Cranes, Derricks and Davits 

බර වස්තූන් එසවීම සඳහා දොඹකර භාවිතා කරනු ලබන අතර මේවා ඒවායේ අරමුණ අනුව දොඹකර ප්‍රධාන තට්ටුවේ සවිකර ඇත. භාණ්ඩ දොඹකර සාමාන්ය භාණ්ඩ ප්රවාහන යාත්‍රාවල බහුලව දක්නට ලැබේ. ඒවා භාණ්ඩ තොග නෞකාව තුළට සහ පිටතට බෑමට භාවිතා කරයි. ඩේවිට්ස් Davits කුඩා ප්‍රමාණයේ දොඹකර ජීවිත ගලවා ගැනීමේ බෝට්ටු සහ ජීවිතාරක්ෂක යාත්‍රා මුහුදට හෙලීමට භාවිතා කරයි. අවසාන වශයෙන්, ආහාරපාන සපයන  දොඹකරය - Provision Crane  යනු සාමාන්යයෙන් ටොන් 2ක ගෙන යා හැකි ධාරිතාවක් ඇති කුඩා දොඹකරයක් වන අතර ඒවා නෞකාවක ආහාරපාන සඳහා ආහාර, ජලය සහ අමතර කොටස් එසවිම හා බෑමට භාවිතා කරයි.

Crane



Derrick



■ ජීවිතාරක්ෂක උපකරණ - Life Saving Appliances ( LSA)

නැවේ තට්ටුව වටා, ගලවා ගැනීමේ බෝට්ටු, ජීවිතාරක්ෂක බෝට්ටු සහ ජීවිතාරක්ෂක Life Rafts  වැනි LSA - Life Saving Appliances  සොයා ගත හැකිය. ඒවා ඇත්ත වශයෙන්ම තට්ටු යන්ත්රෝපකරණ ලෙස වර්ගීකරණය කර නැත, කෙසේ වෙතත් මෙම උපකරණ මුහුදේ ජීවිත බේරා ගැනීම සඳහා භාවිතා කරයි. නැව් අතහැර දැමීමේ Abandon  අවස්ථාවන්හිදී නෞකාවෙන් ඉවත්විම සඳහා යාත්‍රා කාර්ය මණ්ඩලය සඳහා ඇති අවසාන විසඳුම ලෙස පාවිච්චිවේ.
Life Boat and Davit




තට්ටු යන්ත්රෝපකරණ තේරුම් ගැනීම එතරම් සංකීර්ණ නොවේ, සාරාංශයක් ලෙස, තට්ටු යන්ත්රෝපකරණ යනු තට්ටුවේ පිහිටා ඇති නැව් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී යාත්‍රා කාර්ය මණ්ඩලයට සහාය වන යන්ත්‍ර වේ.

Saturday, October 28, 2023

අරගලයේ මරගලය (ශනිදා දහයට III)

 අරගලයේ මරගලය




දැන් ජිවත්වෙන්න අමාරු නේද? උද්ධමනය ඉහල ගිහිල්ලාලු.  මේ වෙනකොට මේ අවුරුද්දට  ලයිටි බිල් තුන්පාරක් වැඩිකරා. ජල බිල් ගෑස් වියදම ඉන්ධන වියදම් බස් ගාස්තු ඇතුලු ප්‍රවාහන වියදම් ඔක්කෝම වැඩිවෙලා නේද?  උබලාට ලැබෙන සොච්චම් පඩියෙන් මේ බිල් ගෙව්වාම කන්න බොන්නත් ඉතුරුවක් තියේනවාද?  අපේ දේශපාලුවන් අපිව නොමරා මරනවා නේද?
ඇයි ඒ?
 බොලාට අමතක උනාද?
 තොපිලා ඔක්කෝම එක්කාසුවෙලා රටබේරා ගන්නය කියලා 69 ලක්සයක  චන්දේ දිලා පත්කරගත්තු ජනාධිපති ගොඨා ටික කලකින් එපාවුනා නෙව.  ඊට පස්සේ පොරව එලවන්න ගොල්ෆේස් ගිහින් go home gota කියලා ටැග් ගහන් දැගලුවා.  සමහරු කුඩාරම් ගහගෙන එතැනම ලැග්ගා. අලුත් ගමකුත් හැදුවා. තව සමහරු නොමිලේ බිරියානි කන්න ගියා. නිලියෝ නළුවෝ ඇවිත්ගියා. ගායක ගායිකාවෝ සින්දු කිව්වා. සමහරු චිත්‍ර ඇන්දා.  පුස්තකාල තියන් පොත් කියෙව්වා නිරාහාරව ඉදන් උපවාස කළා. පවුල් පිටින් ගොල්ෆේස් ගිහින් ජාතික කොඩිය වන වන ඉදලා ආවා.  එකි මෙකි නොකි හැමදේම කළා උනුත් අතහැරියේ නෑ, එක එක් දේවල් කොලා.. මයිනා ගමේ කන පැලෙන්න පිරිත් ඇස්සුවා.. තව කඩලවාත් නැති කොන්ඩම් පැකට් ගෝල්ෆේස් පිට්ටනියේ දැම්මා . ඔය අස්සට ඔත්තුකාරයොත් රිංගෙව්වා.

 ඔන්න එක දවසක් ආවා නොන්ඩි ආතාගේ බලලෝභි කම වැඩිපුර ඉස්මතුවෙච්චි. අතා පොඩි රැස්වීමක් තිබ්බා. පොඩි කිව්වාට පොඩිමත් නෑ. ආතගේ හෙංචයියන්ගේ මැර කන්ඩායමට ආතා පොඩි කික් එකක් දුන්නා. ඒකෙන් ෆෝම් වෙච්චි උන් ඇවිත් කුඩාරම් ගලවන්න ගත්තා. එදා තමයි දේශපාලුවන්ට මරබිය දැනුනේ. සෙල්ලම ලෙල්ලම වෙලා ගියා ප්‍රහාරය අනිත් පැත්ත පෙරලුනා හැමේම කුපිතවෙලා උන්ට ගැහැව්වා ගෙවල් ගිනි තිබ්බා. සීන් එක නැගලාම ගියා.රටම කුපිත උනා නෙව.   බයියෝ බේරේ වැවේ නෑවා.. එකෙක් දෙන්නෙක් දිව්‍ය ලෝකේ ඇරියා..ආතා හැංගුනා.. හෙංචයියෝ මිසිං උනා. ජනාධිපති ලේකම් කාර්්‍යාලය ජනපති මැදුර අරලිය ගහ මැදුර අරගල කාරයෝ  අල්ලා ගත්තා ගොඨා රට පැන්නා.
අරගලය ජයගත්තාද?
 උත්තරය නෑ. 
අරහලය අවසන් කළාද?
 ඒත් නෑ.
අරගලය අවසන් කලේ නෑ. මගින් නතරවුනා. නෑ නතරකළා. 
කවුද නතරකළේ?   ඒ උඹලා අතර හිටිය දේශාපාලුවන්ගේ අතකොලු තමයි එක නතර කළේ. 
එදා ගොල්ෆේස් රගපු හිටපු චරිත දැන් කෝ? 
උන් ඉන්නේ කාගේ ඔඩොක්කුවේද? කාගේ සාක්කුවේද? හොයලා බලපල්ලා. දහදුරා දේශපාලු හොරුන්ගේ කට්ට කයිරාටිකම් උඹලා අපිවාගේ උන්ට තේරෙන්නේ වැඩේ සිද්දවෙලා ඉවරවෙලා. උන් ගේම ගහන්නේ මකිලියාවෙලිගේ නැත්නම් චානක්‍යගේ තියරියෙන් ඒවාට නැටවෙන උන් දන්නේ නෑ කාටද උන් නටන්නේ කියලා.

 ඔය සෙල්ලම් ගැන විමසිලිමත් දෑසින් බලන් හිටපු කොළොම්පුරයා ඔය ගොල්ෆේස් පාස්කරන් වැඩට ගියා මිසක් ඕකේ ලගින්න ගියේ නෑ. අරගලයට ආවේ නෑ..
අරගලේ දැන් ඉවරයි රගපු චරිත දැන් නෑ. අරුන්ගේ පදයට නැටැවුනු කොහෝවත් හිටපු අහිංසක උන් ටිකකට විතරක් නඩු වැටුනා. එදා හිටපු ලොයර්ලා අද උන් වෙනුවෙන් නොමිලයේ පෙනි ඉන්නවාද?         
චන්දෙන් පැරදිලා හොම්බෙන් ගිහින් හිටපු රනිල් ලොක්කා අහක යන පිං චෑන්ස් පාරක් වැදිලා ජනාදිපති පුටුවේ වාඩිගත්තා.. ආපසු  හැංගුනු දේශපාලුවන් කරලියට ආවා. නැට්ට දෙපරන්ද අස්සේ ගහන් කැලේ පැන්න දේශපාලු නරි සෙට් එක සිංහ වෙස් අරන් අපහු ඇවිල්ලා අපිට හූ කියන්න ගත්තා. පිච්චිලා නැතිවුනු දේපල වල වටිනාකමටත් වැඩියෙන් උන් වන්දිත් ගත්තා. තාවකාලික නවාතැන් වලට කියලා තව වියදමුත්  ආන්ඩුවෙන් අයකරගත්තට  ඒවාටත් බදු විදිහට ගෙවන්නේ අපිම නේද? 

අර කප්පම් අරන් අත්හිටවූ සිරදඩුවම් ලැබුනු බඩ තඩි දේශපාලුවා හැමදාම අරගලකාරයින්ට දෙන්නම් බැටේ කිය කිය ඉන්නවා.

 දැන් උඔලාට තේරෙන්නේ නැද්ද උන් අපිව නොමරා මර මර පලිගන්නවා කියලා.  උන් එක දශමයකින් වත් බදු ගෙවන්නේ නෑ. උන් අපේ බදු මුදලින් යැපෙමින්  බදුමුදල් හොරා කමින්  යෙහෙන් වැජබනවා..  රට බංකොලොත් උනත් උන්ගේ හොරා කෑම නම් අඩුවෙලා නෑ

        වැඩක් පටන් ගත්තාම අවසානයක් තියෙන්න ඕනේ  නැත්නම් නොකර හිටපල්ලා.   

පසුව ලියමි
කොළොම්පුරයා කිසිදු දේශපාලන පක්සයකට ගැතිකම් කරන්නෙකු නොවන බවත් මෙය  කිසිදු දේශපාලන  පක්ෂයකට මඩ ගහන්න හෝ ආවඩන්න ලියූවක් නොවේ..
මාගේ පක්ෂය පුරුෂ පක්ෂය පමණි.. 

Saturday, October 14, 2023

මාංසයේ ගුණ (ශනිදා දහයට II )

 


1 අජමාංස " මේෂමාංසං ගුරුසනිග්ධං බල පිත්ත කළුප්‍රදම්"  එළුමස් බරවෙයි, සිනිදු වෙයි,  සිරුර බලවඩයි,වාහණං මාංස වැඩීම කරයි.

2 ජාගමාංස (බැටලුමස්) සැහැල්ලු වෙයි, සිනිදු වෙයි , සීතල නොවෙයි , රුචිබල පුෂ්ටිය දෙයි, වාපිත් නසයි, ශුක්‍ර ධාතු වඩයි, මාංස වැඩීම කරයි, ප්‍රතිශ්යාය නෙවෙයි, ප්‍රමෙහ නසයි, විශේෂයෙන් වාත රෝගයට හිතවෙයි.,"වාහත් ජාගලාදි ඝාතය" බලනු. 

3 මහිස මාංස (මීහරක් මස්) පිණවයි, බලවඩයි , සිනිදු හා උෂ්ණ වෙයි, දිරිමේ බරවෙයි , නිදාජනනය කෙරෙයි, ශුක්‍ර ධාතු වඩයි , පුරුෂ වීර්යය ඇතිකෙරෙයි, මාංශ පේශීන් දැඩි කරයි, තනකිරි වඩයි 

වරාහ මාංස ( වක්‍ර වක්ත්‍ර මාංසාං)- ඌරුමස් වනාහි ශරීරය තරකරයි, වාතය නසයි, බල වඩයි, ධාතු වැඩිම කෙරෙයි, දිරිමේ ඉතා බරයි, අශීසට හිතවෙයි, වනවරාහමාංශ (වල් ඌරුමස් ) බරවෙයි , මෙදස්, බල, විර්ය වැඩීම කරයි, අශිස් නසයි.

4 හරිණ මාංස - මුවමස් සහැල්ලු වෙයි, තර කෙරෙයි , තුන්දෙස් නසයි, රුචි කෙරෙයි , සෙම්පිත් නසයි, මලමු බදියි, ශොථාතිසාර දුරුකෙරෙයි, රත් පිත් උවදුරු දුරු කෙරෙයි, 

5 ගොධාමාංස ( තලගොයි මස්)  පැසීමෙයි මිහිරිවෙයි, කසට හා කුළුරසද වන්නීය, වා පිත් නසන්නීය, ශුක්‍ර ධාතු වඩයි , ස්ථුල කෙරෙයි, ශරීර බල වඩන්නීය.

6 ග්‍රාමය කක්කුට මාංස (ගම් කූකුලු මස්)  සිනිදු වෙයි, සැහැල්ලු වෙයි ,තර කෙරෙයි , මිහිරිවෙයි , ධාතු පෝෂණය කෙරෙයි , වා නසයි, ගිනි වඩයි, උෂ්ණවෙයි , බලවඩයි , ක්ෂය නසයි , ඇසට හිතවෙයි , ශුක්‍ර හා සෙම් වඩයි

7 අරණ්‍ය කුක්කට මාංස( වන සැවුල් මස් හෙවත් වලි කුකුල් මස්) ශෙලෂ්ම රෝග නසයි , රළු වෙයි, කසට වෙයි,ශීතල වෙයි .

8 ශශක මාංස ( හාමස්)  දිරවීමේ හි පහසුයි , ශීතලයි, තුන්දොස් නසයි , ගිනිවඩයි, සවාස කාස නසයි, රළු වෙයි, මිහිරිවෙයි , සදාකලම පථ්‍යයි.

ඩී,එච්. ඇස් . අභයරත්න මහතා විසින් සංස්කරනය කරන ලද ස්ත්‍රි චිකිත්සාවලිය නැමැති පැරැණි පොතෙන්  උපුටා ගන්නා ලදී...


Saturday, October 7, 2023

පච්චයක් කොටුමුද? (ශනිදා දහයට)



පච්ච කොටනවා කිව්වාම සිහියට එන්නේ අත්වල කොටි මුණ පපුවේ "අම්මා බුදුවේවා"  පිටේ "මරුවා සමග වාසේ" කියලා ගහපු මරදානේ චොප්පේ වැනි මදාවි චන්ඩි තමයි. හැබැයි "අම්මා සමග වාසේ" කියලා "මරුවා බුදුවේවා" කියලා වරද්දගෙන ගහපු ඩයලුත් ඒකාලේ හිටියලු. මොකද ගැහුවට පස්සේ මකන්න කියලාද? පච්ච ගහපු උන් මදාවි චන්ඩි කියලා ලේබල් වැදිලා සමාජයෙන් කොන්වෙලා ගියා.  නිකං හිටියත් පොලිසියෙන් දාගෙන යන සීන් එකක් ඇවිල්ලා කාලයක් පච්ච ගැහිල්ලත් ගහපු උනුත් නැතිවෙලා ගිහිල්ලා තිබ්බත් ආපහු ඉහල සමාජයට අලුත් විලාසිතාවක් සේ ඇවිල්ලා පහල ස්තරවලටත් ඉක්මණින් පැතිරිලා ගියා.  දැන් අලුත් පරම්පරාව ටැටූ ගැහිම (Tattoo) කියලා පොෂ් වචනයක් දාගත්තත් ගහන්නේ පච්චම තමයි. දැන් බලමු පච්ච කෙටිමේ ඉතිහාසය ගැන පොඩ්ඩක්.
 

පච්ච කෙටීම අවම වශයෙන් නව ශිලා යුගයේ සිට ලොව පුරා ක්‍රියාවට නංවා  තියේනවා. මේවා මමීකරණය කරන ලද සංරක්ෂිත සම, පුරාණ කලාව සහ පුරාවිද්යාත්මක වාර්තා මගින් සාක්ෂි දරනවා. පුරාණ කලා සහ පුරාවිද්යාත්මක සොයාගැනීම් වලින් පෙනී යන්නේ පච්ච කෙටීමේ මෙවලම් යුරෝපයේ ඉහළ පැලියොලිතික් යුගයේදී සිදු කර ඇති බවයි. කෙසේ වෙතත්, මමීකෘත මිනිස් සම මත පච්ච කොටා ගැනීම සඳහා සෘජු සාක්ෂි විහිදෙන්නේ ක්රි.පූ 4 වැනි සහස්‍රය දක්වා පමණයි. මේ දක්වා පච්ච කෙටූ මිනිස් සම පිළිබඳ පැරණිතම සොයාගැනීම  එය Otzi the iceman ගේ සිරුරෙන් හමුවී ඇති අතර එය ක්‍රිස්තු පූර්ව 3370 සහ 3100 අතර කාලයට අයත් වෙනවා කියනවා. ග්‍රීන්ලන්තය, ඇලස්කාව, සයිබීරියාව,  මොංගෝලියාව, බටහිර චීනය, ඊජිප්තුව, සුඩානය, පිලිපීනය සහ ඇන්ඩීස් යන ප්‍රදේශවල ස්ථාන ඇතුළුව, අවම වශයෙන් පුරාවිද්යාත්මක ස්ථාන 49කින් වෙනත් පච්ච කොටා ඇති මමී සොයා ගෙන තිබෙනවා. මේවාට Amunet, පුරාණ ඊජිප්තුවේ ( 2134-1991 BC), රුසියාවේ Pazyryk සංස්කෘතිය සහ පූර්ව කොලොම්බියානු දකුණු ඇමරිකාව පුරා සංස්කෘතීන් කිහිපයක් ඇතුළුව සයිබීරියාවේ බහුවිධ මමීවරුන් ඇතුළත් වෙනවා.
Pazyryk ටැටූවක්



පැරණි මමීකෘත මානව අවශේෂ මත සංරක්ෂණය කර ඇති පච්ච වලින් හෙළි වන්නේ පච්ච කෙටීම ලොව පුරා සහස්‍ර ගණනාවක් තිස්සේ භාවිතා කර ඇති බවයි. 2015 දී, පැරණිතම පච්ච කොටා ගත් මමි දෙකෙහි වයස විද්යාත්මකව නැවත තක්සේරු කිරීම කළා, එවකට දන්නා පැරණිතම උදාහරණය ලෙස Otzi හඳුනා ගන්නා ලදී. පච්ච 61ක් සහිත මෙම සිරුර ඇල්ප්ස් කඳුකරයේ ග්ලැසියර අයිස් වල තැන්පත් වී තිබී සොයා ගන්නා ලද අතර එය ක්‍රි.පූ. 3250ට අයත් වෙනවා. ලොව පැරණිතම රූපමය පච්ච කොටා ඇත්තේ ඊජිප්තුවේ  ක්‍රි.පූ. 3351 සහ 3017 අතර කාල නිර්ණය කරන ලද මමී දෙකක් මත ය.

පුරාණ පච්ච කෙටීම ඔස්ට්රොනීසියානු ජනතාව අතර බහුලව භාවිතා උනා. එය ඉන්දු පැසිෆික් දූපත් වෙත ඔස්ට්රොනීසියානු ව්්‍යාප්තියට පෙර අවම වශයෙන් ක්‍රි.පූ. 1500 ට පෙර තායිවානයේ සහ වෙරළබඩ දකුණු චීනයේ ප්‍රා ඔස්ට්රොනීසියානුවන් විසින් දියුණු කරන ලද මුල් තාක්ෂණයන්ගෙන් එකක් විය.

මුහුණේ පච්ච කෙටීම ඇතුළුව පච්ච කෙටීමේ සම්ප්‍රදායන්, තායිවාන ආදිවාසීන්, දූපත්වාසී අග්නිදිග ආසියාතිකයන්, මයික්රොනීසියානුවන්, පොලිනීසියානුවන් සහ මැලගසි ජනයා ඇතුළු සියලුම ඔස්ට්රොනීසියානු උප කණ්ඩායම් අතර සොයාගත හැකිවේ. බොහෝ දුරට ඔස්ට්රොනීසියානුවන් පච්ච කෙටීමේ කටුව සම තුළට තල්ලු කිරීම සඳහා ලාක්ෂණික ලම්බකව අඳින ලද පච්ච කෙටීමේ කටු භාවිතා කළහ. මිට සාමාන්යයෙන් ලී වලින් සාදන ලද අතර තනි, සමූහගත හෝ පනාවක් සෑදීමට සකසන ලද කටු පැඟිරි කටු, මාළු ඇට, අස්ථි, දත් සහ කැස්බෑ සහ බෙල්ලන් කටු වලින් සාදන ලදී.

පුරාණ පච්ච කෙටීමේ සම්ප්රදායන් පැපුවන් සහ මෙලනේසියානුවන් අතර ද ලේඛනගත කර ඇති අතර, ඔවුන්ගේ සුවිශේෂී දඉිසාස්බ සම සිදුරු කිරිමට භාවිතා කරයි.
උතුරු ඇමරිකාවේ ආදිවාසීන්ට පච්ච කෙටීමේ දිගු ඉතිහාසයක් ඇත. පච්ච කෙටීම සම මත සරල සලකුණු කිරීමක් නොවීය. එය ස්වදේශික ලෝකය දැනගැනීමේ සහ බැලීමේ ක්‍රමවලට මෙන්ම පවුලට, සමාජයට සහ ස්ථානයට ඇති සම්බන්ධතාවලට සංස්කෘතික සම්බන්ධතා ඉස්මතු කරන ක්‍රියාවලියක්වේ.

උතුරු ඇමරිකාවට ගිය මුල් ගවේෂකයෝ තමන්ට හමුවූ ආදිවාසීන් ගැන බොහෝ වාර්ගික 
නිරීක්ෂණ සිදු කළහ. මුලදී, ඔවුන් පච්ච කෙටීම සඳහා වචනයක් නොතිබූ අතර ඒ වෙනුවට සම වෙනස් කිරීම් විස්තර කළේ ”Pounce, prick, List, Mark, and Rase" to "Samp, Paint,Burn, and embroider” ලෙසයි.

ජපානයේ ආධ්යාත්මික හා විසිතුරු අරමුණු සඳහා පච්ච කිරීම අවම වශයෙන් jomon  හෝ paleolithic  යුගය දක්වා විහිදෙන බව සැලකෙන අතර Yamto සහ ස්වදේශික jomon කණ්ඩායම් සඳහා විවිධ කාල පරිච්ඡේදවලදී එය ව්්‍යාප්ත වුනා. ජපන් ජාතිකයින් පච්ච කෙටීම සහ අනෙකුත් ශරීර සලකුණු මගින් පෙන්නුම් කෙරේ. එකල චීන ග්‍රන්ථවල ද සෑම වයස් කාණ්ඩයකම සිටින ජපන් පිරිමින් ඔවුන්ගේ මුහුණු සහ සිරුර පච්ච කොටා ගන්නා ආකාරය විස්තර කර ඇත.

1603 සහ 1868 අතර, ජපන් පච්ච කෙටීම උකියෝ උප සංස්කෘතිය විසින් පමණක් සිදු කරන ලදී. සාමාන්යයෙන් ගිනි නිවන භටයන්, සේවකයන් සහ ගණිකාවන් තම තත්ත්වය සන්නිවේදනය කිරීම සඳහා පච්ච කොටා ගත්හ.

1868 දී පිහිටුවන ලද Meiji ජපානයේ රජය, පච්ච කෙටීමේ කලාව සම්පූර්ණයෙන්ම තහනම් කළේ, එය ම්ලේච්ඡ ලෙස සලකමින් සහ ගෞරවනීය බවක් නොමැති බවය. මෙය පසුව අපරාධකරුවන්ගේ සහ පිටමං වූවන්ගේ උප සංස්කෘතියක් නිර්මාණය කලා. මෙම මිනිසුන්ට ”විනීත සමාජය” තුළ තැනක් නොතිබූ අතර ඔවුන් ගැන කෝපයට පත් වුනා. ඔවුන්ගේ පැහැදිලිව පෙනෙන පච්ච කොටා ගැනීම නිසා ඔවුන්ට ප්‍රධාන ධාරාවේ සමාජයට සරලව ඒකාබද්ධ වීමට නොහැකි වූ අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු අපරාධ ක්රියාකාරකම්වලට බල කරමින්, අවසානයේ ජපානයේ පච්ච කොටා ගැනීම බොහෝ දුරට සමාන පදයක් වී ඇති නවීන ජපන් මාෆියාව වන යකුසා සඳහා මූලාරම්භය වෙලා තියෙනවා.

අපේ රටේ නව රැල්ලක් වෙලා තිබුනත් මේක ඉතා පැරණි එකක් බව දැන් තේරෙන්න ඇති නේ. අපේ රටේ ආරක්ෂක සේවයට ඒ කියන්නේ ආමි නේවි ගුවන් වාගේම පොලීසියේ රස්සාවටත් ටැටූ හහපු අයව බදවාගන්නේ නෑ.ඒවාගේම ජපානයේ උණුවතුර ස්නානය කරන Onsen Springs and babathing facilities වලට ඇතුල්වීමට දෙන්නේ නෑ.

  ගැහැවුවෙත් මකන්න කියන තරම් ලේසි නොවන නිසා පනින්න පෙර සිතා බලනු කියමන මොළේට අරන් මාරාන්තික ලෙඩ බෝ නොකරගෙන සෞඛ්‍ය ආරක්ෂිත ලෙසට ගහන පච්චයක් ගසාගන්නා ලෙසත් කොළොම්පුරයා මතක් කරන්නට කැමැත්තෙමි.

Otzi ගේ පච්ච කොටපු තැන්


Wednesday, August 2, 2023

එන්න අපි ජීවත් වෙමු.

 *වසර තුනකට පෙර අපි ජීවත් වූහ....* 

*********************



ඒ කොවිඩ් 19 වසංගතය දරුණුවටම ලෝකය ගිලගත් කාලයයි.


තුන්වේලටම ගෙදර උයන්නේය.


ඒත් පාන්දර ඇහැරීගෙන නොනටන්නේය. කඩෙන් කෑම වානාය. පිටි කෑම අවමය. එයත් ගෙදර හදාගෙනය. 


සෙට් වීම් මිසිංය. සිගරට්  නොබී ටොයිල්ට් ගිය උන්ට හොදට බඩ යන්නේය. කුඩු සික් කාරයෝ අගේට ඉන්නේය. 


පොඩ් එවුන් ඔහේ නිදහසේය. කාටුන් බලන්නේය. ටියුෂන් නැවතිලාය. අම්මලා බනින්නේ නැතිය. ඕප දූප ලොක් ඩවුන්‍ ය.


මල් ගස් ටික අත ගෑවෙන්නේය. ඉඩ ඇති තැනක කෑම පැලයක් හිටවන්නේය. පරණ අල්මාරි අස් කරන්නේය. පිළිකන්න සුද්ද කරන්නේය. වළං මැස්ස හදන්නේය.


වාහනයට නිදහස්‍ ය. පැය විසි හතරම ගෙදරය. වැඩිපුර නාන්නේය. බල්ලාද නාවන්නේය. 


නොදැක ඉන්න බැහැ කිව් හොර ගෑනු මිනිස්සු මීක් සද්දයක් නැතිය. ඩයි එක ඉවර වී ගෙදර එකාගේ එකීගේ සුදු කෙස පේන්නේය.


අතේ සතේ නැතිය. එහෙත් ජීවත් වුනොත් ඇති යැයි දැනෙන්නේය.  ණය ගත්තා කියා අමතකය. දුන්න එවුන්ද නිහඩය. වාරිකේට රිමයින්ඩර් නැතිය.


වෙලාවට කන්නේය. වෙලාවට නිදන්නේය. ඇහැරිලා ටිකක් පෙරලි පෙරලී ඉන්නේය. ප්ලේන්ටියක්ද ගහන්නේය.


පත්තර වල ඕප දූප නැතිය. ටීවී එකේ දේශපාලුවන්ගේ මගුල් විවාද නැතිය.


පාර්ලිමේන්තුවේ  කෝලං නැතිය. නිදි මරං ඒවා බලන්න බැරිය.


ගෙවල් ගානේ සම්මාදමේ එන උං නැතිය. දෙන්නද සතයක් නැතිය.


බයිසිකල් රේස් නැතිය. අවුරුදු කුමාරි මිසිංය.


කෑම ජීවිතය නොවන බව දැන කන්නේය.  මස් මාලු අවමය. දෙවේලක් කෑවත් ගෙදර උන් ඔක්කොම එකට කන්නේය. 


මරණය සිහි කරන්නේය. මොකට දිව්වාද කියා හිතෙන්නේය. 


රාජකාරී ඇමතුම් අවමය. හෙට දවසේ අවිනිශ්චිතතාවය ගැන වෙනදාට වඩා හිතෙන්නේය.


සියලු සත්වයෝ නිදුක් වේවා යැයි සැබවින්ම සිතෙන්නේය. පතන්නේය.


පරිසරයට නිවාඩුවක් ලැබිලාය.

මිනිසාව ගෙවල් තුල හිර කර පරිසරය සැනසුම් සුසුම් හෙලන්නේය. 


සමාජය ලොක් ඩවුන් වී ජිවිතය විවරව තිබේ.

දිනෙක මේ ලොක් එක අරිනු ඇත. ජීවත් වුන දවස් කීපය අමතක කර දමන්න හැකි වේවිද ඔබටත් මටත්? 


එන්න අපි ජීවත් වෙමු.  

පසු වදන...

කොළොම්පුරයාට බ්ලොග් ලියන්නට වදනක් හිතන්නටවත් වේලාව හොයාගන්නට බැරිව ෆුල් බිසියක ඉන්නා අවදියක වට්සැප් හරහා ආපු මෙය දැක අසරණව හා කම්පාවූ සිතින්‍ යුතුව කොපිකර දමමි.... ලියු කෙනා නොදනිමි..  ඔහුට ස්තූතිය පළ කරමි..

Friday, January 27, 2023

සිරිබිරිස්ගේ ලංකාවතරණය හා Teepee Camp ගොඩබැස්ම සබැදි කතා


ඔන්න බොහොම කාලයක් වල් වැදී තිබුනු කොළොම්පුරේ බ්ලොග්  අඩවියේ  සුද්දබුද්ද කර යළි පනගන්වන්නට සිරිබිරිස්තුමාගේ ආගමනයත් හේතුබුතවුනා කියන්නට පුලුවනි.  සුමාන දෙකකට පෙරාතුව ඉරුදිනයක අපේ නිදි ලොක්කා කොළොම්පුරයා ඇමතුවා. එදා ඉගෙන නොගත්තු කොළොම්පුරයා දැන් ඉරිදාට පන්ති යන්න අරන් නොවැ. රස්සාවේ හා ගෙදර කප්පරක් වැඩ අස්සේ ඉගෙන ගැනිල්ලත් ලෝක අමාරුවැඩක් කියලා මේ වැඩකරපු උන්නැහැලා  දන්නවා ඇති නේ. දැන් දන්නවා නේ කොළොම්පුරේ අඩවිය වල්වැදුන හේතුව.  ඉතිං නිදි ලොක්කාගේ ආරාධනාව බොහෝම එක සිතින් එක පයින් බාරගත්තු මංතුමා 21 වන සෙනසුරාදා වරුවක නිවාඩුවක් දමා තට්ට මහතැන්ගේ හක්බෙල්ලාවක ටිපි කෑම්ප් යන්න ඇගිලි ගනින්න පටන්ගන්නයි හැදුවේ. දැන් දින ගනින වැඩේ නොකරන්නේ කන්ඩාගේ ලංකාගමනයේ බ්ලොග් සැදෑවට දින ගැනපු කොළොම්පුරයා අන්තිමේ අහක යන  පිහිපාරක් බාරගෙන කළුබොවිල ඉස්පිරිතාලේ ඇදක දපන්න උන හින්දා. සුමානයක් විතර ගෙවිලා ගිය අල්ලපනල්ලේ මේන්න ආපහු අපේ නිදි ලොක්කාගෙන් ඇුමතුමත් එනවා.


"අසංග අපේ ඩ්‍රැකි උන්නැහැට ඉලෙක්ෂොන් නාමයෝජනා ගන්න වැඩේ අන්තිම දිනේ වැටිලා තියෙන්නේ 21 හින්දා එන්නට බැරිලු. ඉරිදාට අපේ හමුව තියන්න පුලුවන්ද අහනවා."
 "මට පන්ති තියෙනවා නේ නිමල් අයියේ. හරි බලමු මොකක් හරි  කරගන්න පුලුවන්ද කියලා."
අන්තිමේදි  කොළොම්පුරයා තිරණය කලා ඩ්‍රැකියා හින්දා එදින තියෙන පංතිය කට්කරන්න. ඩ්‍රැකියාට තර්ජණාත්මක  දුරකතන ඇමතුමක්  දුන්නා.
" 22 ඉරිදා පංති කට්කරන්නේ බොට එන්න පුලුවන් වෙන්න හැබැයි පුතෝ උඹ නොආවොත් නුවරඑළියට ඇවිත් නිකං ලැබුනු පිහිපාර උඹට දීලා යනවා."
 බලන්න කොළොම්පුරයා වාගේ මැටිමොල් මොට්ටපාල තමන්ගේ පංතිය කට් කරන් සැට්වෙන ගමන් යන හැටි.
අන්තිමේ දි ගමන යෙදුන දිනයත් උදාවුනා. බොරලැස්ගමුව හංදියෙන් නමි කොලුවා ගන්න හිටියත් මිනිහා පොඩ්ඩක් වෙලාසනින් පමුනුව පාර ලගට ගිහිල්ලා. කොළොම්පුරයා පමුණුව පාරගාවට යද්දි නමි කොලුවා පමුනුවෙන් රෙදි ගන්න ආපු ලලනාවන් දිහා ඇහිපිය නොහෙලා අනිමිසලෝචනය කරනවා දැක්කා නොවැ. නැත්තම් මොන කොහෙල්මලකද මේකා නිකං යන්න තියෙද්දි බස් එකෙන් ගිහින් එතැන උන්නේ?
නමි කොලුවා එක්ක නිදි ලොක්කා කියපු වෙලාවට කලියෙන් එහෙට ගොඩවුනාට නිදි ලොක්කා හිටියේ බාත්රුම් එකේ සුපුරුදු නෑමේ යෙදිමින්. ටික වේලාවකින් ප්‍රාජේ උන්නැහේත් ඊට පස්සේ සිරිබිරිස්තුමාත් නිදිගේ නිවසට ගොඩඋනා. උදේ 6.45ට විතර සිරිබිරිස්තුමාගේ රථයෙන් මංතුමාත් නිදි ලොක්කා නමි කොලුවත් එක්ක ප්‍රාජේ උන්නැහැගේ රථයටත් ගොඩවෙලා පිටත්වුනා. යන අතරමගදි අපි වාගේ පුගලුන්ට සීතාවක බැරැණ්ඩි කෝවිල දැක බලාගන්නත් නිදිලොක්කා ඉඩකඩ සලසා දුන්නා. එහෙදි සීතාවක රාජධානිය ගැනත් විද්වත් කතිකාවතක් එහෙමත් එහිදි සිද්ධවුනා කිව්වොත් හරි. 
බැරැන්ඩි කෝවිලේදි


   උදේ 8.30 විතර වෙද්දි අපි සියල්ලෝම හක්බෙල්ලාවකට සේන්දුවෙනකොට තට්ට මහතැන් අපි එනකම් පාරදිහා දෑස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. ඉතිං ඕං අපි ආවා කියලා Kayak Pavilion  එකට ගොඩවුනාම දැක්කේ අපේ හිතාදර රවි ලොක්කාත් වෙලාසනින්ම එහෙට ගොඩබැහැලා විත්තිය. එකිනෙකාට ආචාර සමාචාර කරගෙන ඊළගට සුදානම් වුනේ තට්ට මහතැන් ගේ ජීප් රථයට සියලු බෑග්මලු ලටපට පටවාගෙන ටිපි කෑමප් වෙත ගමනේ යන්න. එත් ලොකු පරහකට උන්නේ නුවරඑළියේ ඉදන් එන නිපකෝ අලකොමසාරිස් ධුරන්දර ඩ්‍රැකියාගේ ප්‍රමාදයයි. එයා එනකම් කස්ටියව කැමරන් දියෙස්ගේ බාප්පාගේ දියෙස් හෝටලෙන් ලිපෙන් බාපු ගමන් හොට් හොට් උනු උනු ලැවරියා ස්ටිමරයක් ගෙනවිල්ලා ජිප් එක මතින් තැබිමයි. කට පිච්චිගෙන  ලැවරියා ගිල්ල අපිට ඊළගට ලැබුනේ කිතුල් හකුරු එක්ක ප්ලෙන්ටි. පහුවෙලා හැටන් බස් එකෙන් ආපු ඩ්‍රැකියාට ලැබුනේ හුලං තමයි.


කඩෙන් ගන්න තියෙන සියලු දෑ අරගන්න ඉඩහැරපු තට්ට මහතැන්
පරක්කුවෙලා ඇවිත් පනාව දාන අපුරුව...

ඔහුගේ ජීප් රියෙන් මහා ඇඩිවෙන්චර් ගමන යන්න ඇරඹුවා. ජීප් රියේ යකඩ පයිප්ප වලින් සෑදු බංකුවක හිදගෙන ගල්ගොඩවල් වලින් උඩින් ගමන් කිරිම තමයි සුපිරි යෑම. අන්තිමේදි පස්ස රොටියක් කරන් අපි තට්ට මහතාගේ ටිපි කෑම්පින් සයිට් එකට ආවා.
ටිපි කෑම්පින් සයිට් එක නම් සුපිරි පොට් එකක් තමයි. පැත්තකින් ගලායන සීතල දොළ පාරනම් අපුරුයි. මුලින්ම කලේ අපි ගෙනාපු බඩුමුට්ටු සියල්ල බාගෙන උදේට කන්න සැරසීමයි. කැමරන් දියෙස්ගේ ලැවරියා කඩෙන් ලැවරියා කාපු හින්දා ටිකක් විතර බඩගින්න අඩුවෙලා හිටියත් කට්ටිය හිටියේ තරමක හාමතින්.ඉක්මනින්ම ඉදියාප්ප ටික බඩට බස්ස ගන්නේ නැතිව කස්ටිය අල කිරි හොද්දේ අල ගැනත් කිරි හොද්දට උළුහාල් දැමිල්ල ගැනත් කන අතරේ සංවාදයකුත් ඇදගත්තා නොවැ.
පිඟන් සේදිල්ල



ඔන්න උදේ කෑමෙන් පස්සේ ඇරඹුනු ඊළග පියවර පටාන්ගත්තා. නෑ .... නෑ..... රහමෙර පානය නොවෙයි. හිතුවා නේද අපි බොන්න ගත්තා කියලා? අපි අපේ බ්ලොග් ගැන පොඩි සාකච්චාවක් ආරම්බ කළා කිව්වොත් නිවැරදියි. අතරමග නැවති තියෙන හා යළට මහට ලියවෙන බ්ලොග් වලට ආපහු ලියන්න කියා ඉල්ලීමකුත් කරන්නටත් ඒවාගේම අනෙක් බ්ලොග් වලට කොමෙන්ටුවකින් හෝ ප්‍රතිචාරයක් යවන්නටත් බ්ලොගාලා කට්ටිය කතාකරගත්තා. කොළොම්පුරයා නම්  බොග දමන්නෝ කියන නමට නම් එච්චර කැමැත්තක් නෑ. එකේ මහ ගද සීන් එකක් කොළොම්පුරයාට දැනෙනවා නෙව. එහෙම ගද ගහන චරිත මේ බ්ලොග් ලොවේ නැති හින්දා බොග දමන්නෝ කියලා ආමන්ත්‍රනය කරන්න එපා කියලා ඉල්ලන්නත් කැමතියි.  
  මේ අස්සේ නමි කොලුවා වැසිකිලියේ බටයක් කඩාගෙන හෙන ජරමරයක් කරගෙන ආපි. අන්තිමේදි වතුර සැපයුම නවතා දමන්නට සිද්දවුනේ ඒක රෙපයාර් කරන්නට බඩු එහේ නොතිබ්බ නිසයි.
ඊළග ජවනිකාව තමයි සංගිත දහවල හා මධුවිත සංග්‍රහය. රවි ලොක්කාගේ පොල්බටේ පාත් කිරිල්ලයි සුද්දගේ සයිස් එකයි තට්ට මහතැන් පත්තර ලොවේ දැවැන්ත චින්තන ජයසේන මහතා එක්ක ගුවන්විදුලියට ගිය හැටි අපූරු රසකතන්දරත් මිවිත එක්ක මුසුවෙලා ගියා.




ඒ අස්සේ කොළොම්පුරයා වැසිකිලි යන්න ගිහින් නමියා කඩපු බටෙන් හොද හැටි නාගෙන තමයි වැසිකිලියෙන් ආපහු එලියට එන්න පුලුවන් වුනේ.  



ටිකෙන් ටික වේලාව ගතවෙනවා බොගාලට දැනුනේ වත් නැති තරම්. දිවා ආහාරය ගැනිල්ල පසෙකට කල්දාලා සාදය තවදුරටත් ගෙනියන්නට තමයි සියල්ලන්ගේ අනුමැතිය ලැබුනේ.  රසවත් සංගිත සාජ්ජයෙන් පස්සේ කට්ටිය සීතල දොලේ බැහැලා රත්වුනු සරිරකූඩු ටිකත් නිවාගත්තා. අත්දෙක වනවනා ආපු ඩ්‍රැකියා රවි අයියාගේ කලිසම නයට ඉල්ලාගෙන තමයි වතුරට බැස්සේ. අපුරු සීතල වතුරෙන් එලියට එන්නත් කොළොම්පුරයාට හිත දුන්නේම නෑ කිව්වොත් හරි.
ඉතිං ටිපි කෑම්පින් සයිට් එකට සමුදෙන්න කාලයත් ආවට පස්සේ කට්ටිය බඩුමුට්ටු සියල්ල පටවාගෙන ආපහු අර ඇඩ්වෙන්චර් ජිප් රයිඩ් එකෙන් ආපහු කායක් පැවිලියන් එකට ආවා. එැතැනදී දිවා ආහාරය තට්ට මහතැන් සැපයුවා.  කෑමත් අපුරුවට සකසා තිබුනා. ඩ්‍රැකියානිගේ උදහසට ලක්වේවි කියා බියවුනු ප්‍රමාදවී ආපු ඩ්‍රැකියා ඉක්මණින්ම සමුගත්තා. අවසානයේදී සුපිරි දිනයක් ගතකරපු අපි සියල්ලෝ රවි ලොක්කා හා තට්ට මහතැන් හක්බෙල්ලාවක තනිකර දමා ආපහු මහරගමට පිටත්වුනා. බොරලැස්ගමුවෙන් නමි කොලුවා අතහැරපු කොළොම්පුරයා ගල්කිස්සට පිටත්වුනේ අපුරු දිනක් ගතකරන්නට ඉඩ සැලසු අයට හිතින් ස්තූති කර කර තමයි.

Monday, October 17, 2022

ලේගිරිස්

   


අල කොමසාරිස් ධුරන්දර ඩ්‍රැස්කියා මහත්තයා අල කොමසාරිස් තනතුරත් බාරගෙන සීතල  නුවරඑළීයේ පදිංචියට ගිය විත්තිය බ්ලොග් ලොවේ හැමෝම දන්නා කියන කාරනාවක් නේ. ඉතිං මේකා ඔය සීතල පැත්තේ ඉන්නකොට කාන්සිය පාලුව සීතල යන්නත් එක්ක මධ්‍යපාන ටිකක් අරන් අල බංගලාව සුද්ධ පවිත්‍ර කරන්න ආපු ලෙච්චිමී කෙනෙකුත් එක්ක අඩව්වක් එහෙම අල්ලන්න පුලුවන් කියලා අල කොමසාරිස් නෝනා නගාගේ හැදිමිටේ දිග මොළ පොඩියේ තඩි සිතුවිල්ලක් පහළවුනා. ඒ බරපතල සිතුවිල්ල නිසා මේ අලකොමාට තනිකඩ සීන් එකෙන් නුවරඑළියේ අල බස්සන්න හිතන් හිටපු එකටත් කෙළවුනා නේ බං. අන්තිමේදි නෝනා නගාගේ ආඥාවට යටත්ව එහෙට යනකොට නෝනයි පොඩි අලයයි විතරක් නොවේයි තමන්ගේ මහගෙදර උන්නු ලේගිරිසාවත් අඬගහන් අලුත් පලාතේ පදිංචියට ගියා. දැන් මේක කියවන ඔහෙලාත් බලයි කවුද මේ ලේගිරිස්? මොකටද ලේගිරිසාව අරන් යන්නේ කියලා. මේ ලේගිරිසා කියන්නේ අලකොමාගේ මහගෙදර ආවතේව කරන් හිටපු අලයා එක්ක පොඩිකාලේ ඉදන් හැදුන කොල්ලෙක්. මේ ලේගිරිසා අලයාගේ මුත්තාගෙන් ගෙදර වැඩට හිටපු හින්නිහාමිට සුලු අත්වැරදීමකින් සිදුවු අවකල් ක්‍රියාවක් හින්දා උත්පාදවුන එකියක් වුනු මැගිලියාට සෙල්ලං බාප්පාගේ සෙල්ලමකින් සිද්දවුනු පොඩි වැරද්දකින් මෙලොවට ආපු කොල්ලෙක්ලු. හොද නැඩයා උනත් ලේගිරිසාට පොඩි නුහුගුනයක් තිබ්බා. පොඩ්ඩක් මොඩ පහේ ගතියත් ඉක්මනින් පනින මල අතට ගැනිල්ලත් උගේ ගතිය උනා. දන්නවානේ ලේ ඥාතිගෙන් ලැබෙන දරුවන්ට ඇතිවන ලෙඩ. 


අල බැහැලාද එහෙම බලන්න විසිට් දාන දවස්වලට අල කොමා ගේ ටිකිරිස් වැඩවල ඔත්තු බලන්න එහෙම විස්වාසවන්ත ලේගිරිසාවත් එක්කගෙන ගියා. ලේගිරිසා අල කොමා එක්ක රාජකාරි ගියාම අලකොම් නගාගේ තනියත් වැඩිවුනා. කොහොම නමුත් අල කොමා ලේගිරිසාව ගෙදර නගා එක්ක තනියෙන් තිබ්බේ නෑ. මිනිහා දන්නවා නෙව ලේගිරිසාට තියෙන්නේත් වල් මුත්තාගෙත් සෙල්ලං බාප්පාගෙත් ලේ කියලා.  ලේගිරිසාට වඩා ගෑනු කෙනෙක් ගෙදර ඉන්න එක හොදයි කියලා අලකොමා හිතුවේ ඔය අතරේදි තමයි. අන්තිමේදි අලකොමා ගෙදර වැඩටත් නගා ගේ ඉවුම් පිහුම් වලට අත්උදව් දෙන්නත් පොඩි අලයාගේ තනියට සෙල්ලම් කරන්නත්  ආගරපතන පැත්තෙන් කමලානි එක්කගෙන ආව.

 

එනකොට ගිංතොට තුනිලෑලී කම්මලේ පිට පලු කෑල්ලක් වාගේ ආපු කමලානි කෙල්ලත් අලකොමසාරිස් බංගලාවේ සැප කෑම ටික අල්ලලා ගිහිල්ලා හොදට ආරලා මොරලා ආවා. අලකොමා ගේ සැපත් අල්ලලා ගියාද මන්දා.  කමලානිගේ තෙල් බේරෙන හැඩ කඳ දැක්කාම අලකොමා තොලකට ලෙවකාලා කෙළ පෙරෙන්න ගන්නවා. ඒක නෝනා නගා ටත් පොඩ්ඩක් විතර නොන්ඩි වෙලාත් තිබුනා.  ඔහේලා දන්නවානේ අපේ අලකොමා කොහෙමත් කොබා නේ.  

ඔහොම ටික කාලෙකට පස්සේ අල කොමාට කමලානිගෙන් නිදහස් වෙන්න හිතුනා. මිනිහා මුට්ටිය නොකඩා බෙල්ලත් නොකපා වැඩේ කරගන්නේ කොහොමද කියලා හිතුවා. දන්නවනේ මිනිහා කට්ටයා නෙව. අලකොමාම ලේගිරිසාගේ ඔලුවට කමලානි ගැන අනම් මනම් දාලා ලේගිරිසාටත් කමලානි ගැන පොඩි මෙව්වා එකක්  හැදුනා. දවසක් රෑ පානේ ඇදේ දපලා ඉන්නැද්දි කමලානිට ලේගිරිසාව ජෝඩුකරන යෝජනාව නෝනා නගා ට අලකොමා කිව්වා.

"ලේගිරිසාට දැන්ම කසාදයක් කරලා දෙන්න ඔනේ. දවසක් දෙකක් මිනිහා මම නයිටියක් ඇදන් හිටපු දිහා මහ වනචර බැල්මක් දැම්මා."
"ඒක තමයි මම ලේගිරිසාට ඉක්මනින්ම බන්දලා දෙන්න හදන්නේ. ලේගිරිසාව සුවර් නෑනේ."  
"අපොයි මම දන්නේ නැද්ද ඔයාගේ හැටියෙන්ම කියතෑකි නේ පරම්පරාවේ අයගේ හැටි. ඔයත් කමලානි දිහා බලනවා වැඩියි කියලත් මට හිතෙනවා.
මිනිහානම් කමලානිට කැමති පාටයි. එත් කමලානි ඔය මෝඩයාට කැමති වෙයිද?"
අලයා කතන්දරේ වෙන පැත්තකට හැරෙව්වා.
"කොහොම හරි කැමති කරවාගමු.
අපේ ගනේමුල්ලේ මුත්තාගේ ඕවිටි කෑල්ලෙන් පර්චස් 20 ක් මුගේ අම්මාට ලියලා දෙනවා කියලා තමයි ඒ දවස් වල හිටියේ. මැගිලින් මැරුණ හින්දා ඒක දෙන්න බැරිවුන එකේ ලේගිරිසාට ඒක ලියලා දෙනවා කියමු. උන්ටත් කලක් යන්න එපැයි නේ."
"ඔයාට පිස්සුද අනේ 20ක් දෙන්නේ දහයක් දෙනවා කියමු."
කොහොමින් කොහොම නෝනාත් අලකොමාත් කමලානිට ලේගිරිසා ගැන කිව්වා. මුලදි අකමැතිවුන කමලානියත් පස්සේ කල්පනා කරලා බැලුවා. යන එන මං නැතිවුන ආගරපතනේ කමලානිටත් කොළඹට කිට්ටුවෙන් ගෙයක් දොරක් හදාගන්නට ඉඩං කෑල්ලක් ලැබෙනවා කියන්නෙත් ලොකු දෙයක් නේ. අන්තිමේදි ඒකි ලේගිරිසාට කැමැත්ත දුන්නා. වැඩට හිටිය එකා වුනත් පොඩි කාලේ ඉදන් එකට හැදුන එකා වෙච්චි ලේගිරිසාට කසාදයත් හොදට කරලා දෙන්න අලකොමාත් හිතුවා. 

ලේගිරිසා මුලින් කැමතිවෙලා උන්නත් පස්සේ මගුලක් ගන්නවාට කැමතිවුනේ නෑ. කමලානිත් බැලුවා මේ මොකද මේ මිනිහාට උනේ කියලා. බැලින්නම් මලපොතේ අකුරක් නොදන්න ලේගිරිසා කසාද සහතිකේට අත්සන් කරන්න බැරි හින්දයි මේ පස්ස ගහන්නේ. අකුරු සෑස්තරේ ටිකක් දන්නා කමලානිත් ගේම අතහැරියේ නෑ. ලේගිරිසාට ලේගිරිස් කියලා අත්සන ලියන්න ඉගැන්නුවා. ගොන් අලියාවාගේ උන්නාට අපේ ලේගිරිසා දවස් ගානක් අමාරුවෙන් අමාරුවෙන් නම ලියාගන්න පුලුවන්වුනා.

මගුලට අරාධනා කරන්න නෑ සනුහරයක් නැති ලේගිරිසාගේ පොඩියට ගන්නා උත්සවයට අපේ බ්ලොග් කාරයෝ කිහිප දෙනෙක්ටත් අල කොමි මහතැන් උත්සවයට ආරාධනා කළා. අශ්ඨක කියන්න අපේ නිදි ලොක්කාට කිව්වාම එයා එයාගේ මිත්‍ර පන්සල් සීයා දේවාල මාමාට වැඩෙි පැවරුවා. පස්සේ මගුල් පොරුගහලා කරන මගුලක් ගන්නේ නැතිව රෙජිස්ටර් වැඩේ විතරක් කරන්න කියලා නෝනා නගා ගේ බලවත් ඉල්ලීම උඩ පොරු නැග්ගීම කැන්සල් කෙරුවා. ලේගිරිසාගේ පැත්තෙන් සාක්කියට අත්සන් තියන්න වැටමාර අධිපති ප්‍රාජේ මහත්තයාටත් කමලානිගේ පැත්තෙන් අත්සන් කරන්න දෙමළ නයන්නා ප්‍රසන්නයාත් කැමතිවුනා.
සුන්දර නුවරඑළියේ වැසිබර කාළගුණයක් තිබුන දවසක ඔන්න මගුල් උත්සවය ඇරඹුනා. නමියාගේ විදියේ නමියා හිටු කියලා පරණ තඩි කැමරා කටුවකින් පොටෝ කෑලි අල්ලනවා. පස්සේ තමයි අපි දන්නේ මේකා උස්සන් ඇවිත් තියෙන්නේ අර ආදිකාලේ රීල් දමන පොටෝ යන්තරයක් නෙව. හොදම වැඩේ කියන්නේ කොච්චර පොටෝ කෑලි ඇල්ලුවත් මේකා ඒකට රීල් එකක්වත් දාලා නොවෙයි ඉදලා තියෙන්නේ. සීතල යන්න එක්ක පොඩියට පොඩ්ඩක් වැඩියෙන් හීනියට එකක් අරගත්තු නිදි ලොක්කාගේ අතිජාත මිත්‍ර නෙවිල් ගොයියා ආහාර කෙසේවෙතත් පාන ගැන සොයා බලනවා. පරණ සැටියක් තියලා එකේ පිටිපස්සෙන් අල වැල් ටිකක් එල්ලලා බැලුන් බෝල ටිකක් පුම්බලා ගහලා සෙටිබැක් එකක් හදලා දුන්නේ කොළොම්පුරයා තමයි. කාලෙකට පස්සේ ලංකාවට සැපත්වුනු කොළඹ ගමයා මහත්තයාත් ඇවිල්ලා හිටියා. කොළඹ ගමයා ලංකාවට එනවා කියලා වෙලාසනින් දන්නවා නම් දෙමළ නයන්නව කපලා සාක්කියට අත්සන් කරන්න දමන්න තිබුනානේ කියලා හිතුන අලයා විස්සෝප වෙන්න ගත්තා.

අලකොමසාරිස් මහතැන්ගේ පරණ කෝට් බෑයක් අමාරුවෙන් ඇගට රිංගවාගත්තු මනමාල ලේගිරිසා හිටියේ මරන්න ගෙනියන හරකෙක් ගානට බයවෙලා. නෝනා නගා එයාගේ පරණ සාරියක් කමලානිට අන්දවලා මේකප් පාරක් දාලා දුන්නා. හැබැයි මනමාලිට අඩුවෙන් මේකප් කරලා වැඩියෙන් ලස්සනවුනේ නෝනා නගා තමයි.

විවාහ ලේකම් මහත්තයාත් වේලාව අල්ලලා ආවා.එයා ඉක්මණට රෙජිස්ටරේ කරන්න සුදානම් කරපු රවුම් මේස පොඩ්ඩේ අර මහදැන මුත්තාගේ පොත වාගේ විසාල පොත දිග ඇරගත්තා. මනමාලි කමලානිත් මනමාල ලේගිරිසාත් පුටුදෙකේ ඉන්දුවා. දෙපැතේතෙන් සාක්කියට අත්සන් ගහන වැටමාර ලොක්කාත් දෙමල නයාත් හිටගත්තා. ලේගිරිසා අමාරුවෙන් ලැජ්ජාවට වාගේ ඇඹරුනා. ඔන්න  දෙන්නාව හිටවලා පොරොන්දුවත් විවාහ සහතිකේට අත්සන් ගහන වැඩෙත් ආවා. බොහෝම කලබල වෙලා උන්නු ලේගිරිසා ලෙගිරිස් කියලා අත්සන ගහන තැන ලිව්වා.
"අනේ ඉක්මනට ලේ යන්න කරන්න ලේ යන්න කරන්න."
ඒක දැකපු කමලානි කලබලවෙලා හිමිහිට ලේගිරිසාට කිව්වා.
"මොකෑ.. ලේ යන්න කරන්න?
හරි බං එව්වා කරන්නේ රෑටනේ මෙච්චර දවසක් නැති හදිසියක් දැන් මොකද? පොඩ්ඩක් ඉවසලා හිටාං රෑවෙනකම්."
ලේගිරිසා කිව එක රෙජිස්ට්‍රාර් ලොක්කාටත් වැටාධිපතිටත් ඇහුනා.  මේකට කමලානි ගොඩාක් ලැජ්ජා උනා. රෙජිස්ටර් වැඩෙන් පස්සේ කමලානි අප්සෙට් එකෙන් ඉන්නවා දැකපු අලකොමා  නෝනා නගාට හොරෙන් ඒකි ලඟට ලංවුනා.
"ඇයි බං මෙච්චර හොඳ දවසේ අප්සෙට් එකෙන් ඉන්නේ? උබට දුකද මාව දාලායන්න?"
"නෑ මහත්තයා මම අත්සන් කරද්දී ලේගිරිස්ට ලේ යන්න කරන්න කිව්වා."
"ඈ ලේ යන්න? ඇයි බං උඹ දැක්කේ නැද්ද නෝනා හිටපු නැති රෑනේ මම උඹට ලේ යන්න කලේ."
"ආ එදාද? ඒ ලේ ගියේ මහත්තයාගේ කරගැටයක් කැඩුනු හින්දා නේ."

අල කොමා කමලානිගේ කතාවෙන් කුණුවෙච්චි අලයක්වාගේ ඇඹරිලා ගියා නෙව.  


නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...