Tuesday, November 6, 2018

කොට රංජිගේ කුකුල් කේන්තිය - සයුරේ දසවසක් - 7


                    එක් නෞකාවක් කොළඹටත් අනෙක කන්කසන්තුරයටත් බලා යාත‍්‍රා කලේ අප ගාල්ලේ තනිකරවමින්ය. ඉන් තෙදිනකට පසුව අප නෞකාවද ති‍්‍රකුණාමලය බලා පිටත්වුයේ නාවිකයින් කිහිප දෙනෙකු තම සේවය නිම කර පිටත්විමෙන් අනතුරුවය. අප සමගින් සිටි ඉතා සුහදශිලි චරිතයක් වු ඔයිලර් අල්විස් අයියාද මෙසේ ගාල්ලෙදි  අපෙන් සමුඅරන් නැවෙන් බැස ගිය නාවිකයන් අතර විය. ඔහු අපට ආධුනිකයින් කියා වෙනසක් නොපෙන්වා හොදින් සැලකු අයෙකු වුනි. අල්විස් අයියා වෙනුවට ආවේ තරමක් වියපත් ඔයිලර් කෙනකුය. මමත් කඩ්ඩාත් ඔහුට අන්කල් කියා ආමන්ත‍්‍රනය කරන්න පටන්ගත්තෙමු. කඩ්ඩා මේ වන විට අට - දොහල වොච්  ඩියුටියත් (Engine room Watch keeping  ) දොලහ - හතර ජයතිස්ස අයියාත් හතර - අට පබ්බතයාත්  කරමින් සිටියෝය. උසින් අඩු ස්ථුල ජයතිස්ස අයියා හොදහැටි තෙම්පරාදුවු නැවියෙක් විය. එහෙත් බොන්නට පෙරේත කමක් දැක්වු පබ්බතයා තරමක් ඇගපතින් යුතු දන්ඩෙකුවු අතර කපටිකමත් මෝඩකමත් සම්මිශ‍්‍රණයවු චරිතයක් වුනි.    




             දිනපතා සිදුකලයුතු ඇකමඩේෂන් හි පිරිසිදු කිරිම් වලට අමතරව එන්ජින් අංශයේ අපට මේන්ඩෙක් හි  (Main Deck) නැංගුරම්  වින්ඩ්ලෙස්  (Anchor Windless ) හා මොරිං විංචි (Mooring Winch) අවටත් ඩෙරික් විංචි (Derick Winch )අවටත් වැස්සෙන හයිඩ්‍රොලික් තෙල් පිසදැමිමටත් ඉහල තෙල් ටැංකිවලට අත් පොම්පයක් මගින් තෙල් පිරවිමටත් සිදුවිය. ඩෙරික් මාස්ට් වල (Derick Mast) ඉහලින් සවිකර තිබෙනා ටැංකිවලට (Header Tank) තෙල් පිරිවිමෙන් පසුව හිනිමග දිගේ (Vertical Ladder)ඉහලට නැග ටැංකියේ නියමිත ප‍්‍රමානයට තෙල් පිරි ඇතිදැයි බැලිය යුතු විය. ටැංකියේ පියන විවෘතකර සිහින් කම්බි කූරක් දමා බැලීම සිදු කලේ හිනිමගේ එල්ලීගෙන සිටියදීය. මෙය කොතරම් අනාරක්ෂිත කිවහොත් දෑත් වල තැවරුනු තෙල් නිසා ලිස්සා අතහැරුනුනොත් නැව්තට්ටුව මත ඇදවැටි බරපතල ලෙස තුවාල විම හෝ මිය යෑම අනිවාර්්‍යය විය.

                     නෞකාවට බඩු පැටවිම් හා බෑවිම් සිදුකරනා දිනවල දී වෑස්සෙන තෙල් ප‍්‍රමාණය අධික විය. තෙල් හැම තැනම විසිරි නොයනසේ මේ විංචි වටකර යකඩ පටියක් වෑල්ඩින් කර ටැංකියක් සේ සකසා තිබුනද නැව පැද්දීම හා තෙල් වෑස්සී එය පිරි ඉතිරියෑම අපහට ගෙන ආවේ කරදර ගොන්නකි. වැසි සහිත දිනවලදී වැසි ජලයත් සමගින් මිශ‍්‍රව හතර දිග්භාගයේ විසිරි පැතුරුනු තෙල් පිසදමන්නට සිදුවෙයි. මෙය අසිරු හා කාලය ගොඩාක් වැය වෙන වැඩකි.  මාස්ට් හවුස් (Mast House)උඩ පිහිටා තිබෙනා ඩෙරික් විංචි වලට ලගාවන්නට හිනිමගක් නැග ගන්නට සිදුවුනි. රෙදිකැබලි පුරවාගත් බාල්දියක් එක අතකින් එල්ලාගෙන පැද්දෙන නැවක තෙල් තැවරි ලිස්සන සුලු දෑතින් හිනිමගේ එල්ලී කුඩා උසක්වුවද නැග ගැනිම ලෙහෙසි නොමැත.  මමත් කඩ්ඩාත් උදේ පාන්දරින්ම නැවේ ඉදිරියටගොස් දෙපැත්තට බෙදී ඉදිරිපැත්තේ ඇතිනැංගුරම් විංචියත් හා මොරිං විංචි එක් අයෙකුත් පිටුපස කොටසේ තිබෙනා ඩෙරික් විංචිත් කැප්ස්ටනයත් (Capstan)අනෙකාත් පිසදැමිම සිදු කලෙමු. බාල්දියට එක්රැුස්වුනු තෙල් හා තෙල් පිසදැමු රෙදි කැබිලි සියල්ල ගන්වොල් එකට උඩින් මහ සයුරට හලා දැමු පසු ජලයේ මතුවන තෙල් පැල්ලම දෙස මෙහොතක් බලාසිටින්නට අප පුරුදුව සිටියේ මෙවැනි පරිසරය විනාශ කරනා ක‍්‍රියාවන්ට දායවන්නට සිදුවිම ගැන පසුතැවිලි වෙමින්ය. මේ නෞකාවල ඉතිරිවු කෑම  මලපහ තෙල් විදුරු බෝතල් ප්ලාස්ටික් ඇතුලු දිරා නොයන දේවල් හා විවිධ වර්ගයේ රසායනික කෙමිකල්ද ඇතුලුව සියලු අපද්‍රව්‍ය හලා දැමුවේ සාගරයටයි. කිසිදා කි‍්‍රයා නොකරන තෙල් හා ජලය වෙන්කරනා යන්ත‍්‍රයක් (Oily Water Separator ) තිබුනත් එන්ජින් කාමරයේ එකතුවෙන තෙල් මිශ‍්‍ර ජලය දිවා රාත‍්‍රි නොබලා මුහුදට පොම්ප කිරිම මේ නැව ඇතුලුව මා පසුව සේවය කල බොහෝමයක්ම නැව් වල සිදුවිය. 

                මා මුලින්ම මෙම නෞකාවට පැමිනෙද්දි එහි පැස්සුම්කරුවන් කිහිප දෙනෙකු සේවයේ යෙදි සිටියහ. සමහරක් පුහුණුවන පැස්සුම් කරුවන් ලෙසින්ද සේවයේ යෙදුනි. මෙහි ප‍්‍රධාන පැස්සුම්කරුවාවුයේ එහි කවුරුත් කොට රංජි හෙවත් රංජිත්ය. නොඋස් හොදින් පිරුනු තලෙලූ සිරුරකින් හෙබි ඔහු අවිවාහකව සිටි අතර වයස අවුරුදු තිස් පහකට වඩා වැඩිවුනි. ඉක්මනින් කේන්තියන කුකුල් කේන්තිකරුවෙකු වන රංජි අයියා තමන් කෑම බිම ගැනවත් නොසිතා තම වැඩිය උපරිම අන්දමින් කිරිමට උත්සාහ කරන්නෙකු ලෙසින් සමාගම පුරා ප‍්‍රචලිත වි සිටියේය. කොට රංජිගේ කුකුල් කේන්තිය නිසා ඔහු හා සේවයට එක් කල පුද්ගලයින් කිහිප දෙනෙකු තම සේවය හැරදමා නැවෙන් බැස යන්නට හේතුවිය. කොට රංජි යන නම කියද්දිම ඔහුගේ දෙමව්පියන් සමහර ආධුනික පැස්සුම්කරුවන් සිහිකරවාලන්නේ ඉතා බැතියෙනි. වරෙක නැවේ කැප්ටන් සමගින් පවා වාද කරගන්නට තරම් කෝපවන්නෙක්වු ඔහු එසේ කරගත් අවස්ථාවලදි අවසානයේ ඔහු ”අනේ ඔහේ දන්න වෙල්ඩින්.” කියමින් තම වාදය හමාරකලේ කෝපයෙන් පුපුරමින්ය. 


                අප නැවේ වු බරපතල යකඩ පෑස්සිමේ වැඩ ටිකෙන් ටික අඩුව යද්දි පැස්සුම් කරුවන් ද අඩුව ගියේ රංජි අයියා හා තවත් තරුණ හින්දෑරි කොල්ලෙකුවු චමින්ද නැමැත්තා ඉතිරි කරවමින්ය. මෙවර ගාල්ලෙන් නැවට නැවට නැගුන ඔහුද රංජි අයියා මෙන් නිදාගත්තේද අපගේ මෙස් කාමරයේ ලෑලී බංකුවක් උඩය. රංජිත් ගේ හැසිරිම දන්නා චමින්දද පුළුවන් තරම් උත්සාහ කලේ ඔහු හා එක්කව වැඩ නොකර ඈත්ව සිටිමටය. රංජි අයියා සමගින් ඔහුගේ උදව් කරුවෙකු ලෙසින් වැඩ කිරිමට කිසිවෙකු නොවුනායින් එම අවස්ථාව මා හට උදාවිය. කොට රංජි ළඟට මා යැවුනේ රැුගක් ලෙසින් විම විශේෂයක් විය. දෙවන ඉංජිනේරුවරයාගේ විධානයෙන් වෙල්ඩර් හෙල්පර් ලෙසින් රංජිත් හා වැඩට වැටුනි. අධික ගෝසාවෙන් රස්නයෙන් යුක්තවු එන්ජින් කාමරයෙන් පිටව නැවේ ප‍්‍රධාන තට්ටුවේ වැඩකරන්නට ලැබිම එක්කරා භාග්‍යක් ලෙසින් සිතමින් ආවත් එන්ජින් කාමරයේ වැඩ කොතරම් ලෙසිදැයි සිතුනේ මේ මරුමුස් මිනිහා සමගින් වැඩකල ප‍්‍රථම හොරාවේදිය. වැඩ කරමින් සිටිනා ඔහු ළඟ රැදෙමින් ඉල්ලන පරක්කුවෙන් ආවුධ හා වෙල්ඩින් කූරු සපයා දිය යුතුවිය. තප්පරයක් හෝ ප‍්‍රමාදවුවහොත් ඔහුගේ මුවින් පිටවන්නේ අමු තිත්ත කුණුහරුප වැලකි. වරෙක මා අත තිබු මිටියෙන් රංජිට දමා ගැසිමට තරම් කෝප ගත්තෙමි. කොට රංජි තම සහායකයින් නිර්දය ලෙසින් තලාපෙලා කථාකලේද යන්න මට අවබෝධවුයේ නැවට ආ සමහර පැස්සුම් කරුවන් ඉතා ඉක්මනින් නැවෙන් බැස ගියේ මෙහි වැඩ වැඩිකමටත් වඩා ඔහුත් සමගින් වැඩකල හැකි තත්වයක් නොතිබිමෙන්ය. 

”කූරක් දිපං.”
මා ඔහුට වෙල්ඩින් කූරක් දිගු කලෙමි.
” ඕක නෙමෙයි හු...... දහයේ කූරක්.”
අත රැදි වෙල්ඩින් කූර පසෙක තබා තින්ත බාල්දියක දමා තිබු ආවුධ අතරින් දහයේ වෙල්ඩින් කූරු පෙට්ටිය හොයද්දි
”මොනාද කැ..... තාම හොයනවාද ඉක්මනට කූරක් දිපං.”
වෙල්ඩින් කුරක් සොයාගෙන ඔහුට දුනිමි.
”හැමර් එක.”
කූර පිලිස්සි යන්නටත් පෙර යළිත් ඔහුගෙන් නියෝගයක් ලැබින.
තින්ත බාල්දියට අත දමා මිටියක් ගෙන රංජි අයියාට දිගුකලෙමි.
”යකෝ  ඕක නෙමෙයි. චිපින් හැමර් (Chipping Hammer) එක දිපං.”
යලිත් මා කෝපයෙන් වෙවුලන්නට විය. පසෙක තිබු චිපින් හැමර් එක ගෙන  ඕනෑවට එපාවට මෙන් ඔහුට දිගු කලෙමි.
”හැමර් එක කියන්නේ නැතිව චිපින් හැමර් එක  ඕනේ කියලා කියන්න එපැයි.”
මා හද තුලින් නැග ආ කෝපය මඳකට නවත්වාගනිමින් ඔහුට පැවසුවෙමි.
”උඹ දන්නේ නැත්නම් ඉගෙන ගනින් මේ තියෙන්නේ චිපින් හැමර් එක මේකෙන් කරන්නේ වෙල්ඩින් බොර කඩන එක. මම ඉල්ලූවේ චිපින් හැමර් එක නැතිව මිටිය නෙමෙයි.”
තම හිස පලදවා සිටි වෙල්ඩින් ෂිල්ඞ් (Welding Shield) එක පසකට ගලවා දැමු ඔහු වෙල්ඩින් දුම වැදි රතුවු දැස් වලින් මාදෙස රවා බලමින් කෝපයෙන් කිවේය. මිටියට ඉංග‍්‍රිසි භාෂාවෙන් අමතන්නේ  හැමර් ලෙසින් බව  ඔහු නොදන්නා බව හෝ්  දිනපතා පාවිච්චියේදි ව්‍යවහාරය යට පත්වුවක් නිසාදැයි සිතගත නොහැකිවුනි. එදා සිට ඔහුගේ පාරිභාෂිත වදන් මාලාව හොඳ හැටි ඉගෙන ගන්නට සිදුවිය. රංජි අයියා සමගින් ටික දිනක් වැඩ රාජකාරි කරගෙන යාමේදි ඉබේම තේරුම් ගිය කාරනයවුයේ ඔහුට ක්ෂණික කෝපය ඇතිවන්නේ වැඩක් කරමින් සිටිනා අතර තුරේදි බවය.  වැඩයටම ඇලූනු සිතැතිව වැඩය කරනා රංජි අයියා කෑමක් බිමක් ගැන සිතන්නේද නැත. මහන්සියක් දැනුනු කල වැඩය නවත්වා කොහේ හරි සෙවන ඇති තැනක බිම වාඩි ගනියි.
”ගනිං මල්ලියේ ඔය සිගරට් පැකට් එක.”
ඔහුගේ අවුද දමා තිබෙනා තින්ත බාල්දියේ පතුල අතගා ගන්නා බෙන්සන් පැකට් එක මගෙන් ලබාගෙන ඔවර්රොල්  උඩ සාක්කුවේ නිරතුරුවම රැදි  තිබෙනා සිගරට් ලයිටරය එළියට ගෙන දුම්වැටියක් පත්තුකරගන්නා රංජි පළමු ඉරිල්ලෙන්ම විශාල දුමකින් පපුව පුරවා ගනියි. පෙනහළු පුරවාගත් දුමේ ආස්වාදය දෑස් පියාගෙන විදිමින් නාසයෙන් හා කටින් පිටකරගන්නා ඔහු මඳ වේලාවකින්
”එයි මල්ලියේ බලපං කැප්ටන් හරි චිෆ් හරි මේ පැත්තට එනවාද කියලා.”
”දැන් වෙලාව හරිද බං තේ බොන්න.”
ඔහු සිගරට්ටුවක් උරනා අතරතුරේදි නිරන්තරයෙන් කියනා හා අසනා වදන් දෙක දන්නා මා පසු කාලිනව පැනය අසන්නටත් කලියෙන් මගේ උත්තරය දෙන්නට පුරුදුවුනිමි.
”නෑ කවුරුත් නෑ. තේ වෙලාව දැන් පහුවෙලා ඉවරයි.”
”පලයං පලයං ගිහිල්ලා තේ බිලා වරෙන් මම මේ සිගරට් එක බීලා එන්නම්.”


                   ඔහු මා පිටත් කලත් එවන විට තේ පානය කරනා වෙලාව අවසන්වි විනාඩි පහලොවක් හෝ විස්සක් පමණ ගෙවි ගොස්ය. තේ ජෝග්ගුවේ ඉතිරිවු නිවුනු තේ බිමටත් තවත් විටෙක තේ නොමැතිව ආපසු හැරි එන්නටත් බොහෝ දිනවල  සිදුවිය. තමන්ට වෙහෙස මහන්සිය දැනි වැඩය නතර කරනා තෙක් වේලාව ගැන තැකිමක් නැති ඔහුට මා විසින් කෑම වේලාව හෝ තේ වේලාව බව මතක් කලත් වැඩය නිමා කර මිස එතැනින් හෙලවෙන්නේද නැත. මේ මුඩුම මිනිසා සමගින් විටෙක  ඇතිතරම් කේන්ති ගතිමි. අතට අසුවන ආවුදයකින් දමා ගසා යළි එන්ජින් කාමරයේ සේවයට යන්නට සිතුන වාර ගනන අනත්ත විය. නිරතුරුවම දුමෙන් පිරිනු අධික ශබ්දයෙන් යුතු අඳුරු ගුහාවක් වන් එන්ජින් කාමරයේ වැඩ කරනවාට වඩා ගිනි අව්ව හිසට වැදුනත් සිසිල් මුහුදු සුළගින් සැනසෙමින් සිටිම සැපදායකයි සිතමින් සිටියෙමි. වැඩක් අතරතුරෙදි අමු තිත්ත කුණු හරුපයෙන් බැන වැදුනත් වැඩක් නොකරන වේලාවට රංජි අයියා මනුස්සකමින් පිරුනු පුද්ගලයෙකුවිය. කොතරම් තින්ත කුණු හරුපයෙන් බැන කෑගැසුවත් ඔහුට සිනහවකින් සංග‍්‍රහ කර
”මොකද ඔච්චර කේන්ති ගන්නේ. කේන්ති ගත්තාම ඉක්මනින් නාකිවෙනවා. ඔය කොන්ඩෙත් ඉදීගෙන එන්නේ එක හින්දා. තාම කසාදයක් බැදලාත් නෑ නේද?”මා කෝප නොගෙන පැවසුවෙමි.

 එය එක්තරාවිදිහක ඔහුට දුන් අපුරු දඬුවමක්ද විය. නිකරුනේ බැන වැදිමෙන් මා කෝපකර ඉන් කුරිරූ සතුටක් ලැබිම රංජිගේ මානසික තත්වය විය. ඉන් ඔහුට වින්දනයක් ලබාගැනිම වලකාලිමට ඔහු ඉල්ලන්නටත් පෙර එ් අවස්ථාවට අවශ්‍ය අවුද හා වෙල්ඩින් කූරු සපයා දෙන්න හැකිවුනි. කොපමන බැන්නත් ගනන් නොගෙන විහිලුවකින් ඒ බැනිල්ල මගහරවා ගැනිමට තරම් මා උපක‍්‍රමශීලිවුයෙමි. පසු කාලිනව අප දෙදෙනා හොඳ මිතුරන් විමටත් එය හේතුවිය. දකුණු පලාතේ මාතර පැත්තේ කෙනෙකුවු රංජි මිත්‍යා විස්වාස තරමකට හෝ පිලිගත්තේය. මාහට අත බලා සාත්තර කිමට හැකි බව ගල් පැලෙන බොරුවක් ඇද බෑමෙන් පසුව හෙතෙම සමගින් මා මිත‍්‍රවිමට පොටක් පාදාගත්තේය. එතැන් සිට පටන්ගත් සාත්තර කිම මා ඔහුගෙන් වෙන්ව යළිදු එන්ජින් කාමරයේ සේවයට ගිය පසුවත් නතරවුයේ නැත. මා දකින දකින අවස්ථාවලදි ඔවර්රෝල් එකෙන් තම කුණු දුවිලි හා මලකඩ ගෑවුනු අත පිසදාගෙන
”මල්ලි කියපං බං සාත්තරයක්”
අල්ල දිගු කරන්නට විය.
පසුව මේක මටම මල කරදරයක්ද විය. 



සයුරේ ආ මඟ 

 

 

අටුවාව 
වොච්  ඩියුටිය (Engine room Watch keeping  ) Watch keeping is an integral part of marine engineer's duties on board ship. A lot of maintenance work can be reduced by following an efficient watch keeping routine in the ship's engine room. Moreover, it can also avoid serious accidents from taking place.

නැංගුරම්  වින්ඩ්ලෙස් (Anchor Windless ) 
 An anchor windlass is a machine that restrains and manipulates the anchor chain on a boat, allowing the anchor to be raised and lowered by means of chain cable. A notched wheel engages the links of the chain or the rope.

මොරිං විංචි (Mooring Winch) 
Mooring winch is a mechanical device used for securing a ship to the berth. An equipment with various barrels used for pulling ropes or cables, mooring winches play an important role in berthing the ship ashore.Aug 20, 2009

ඩෙරික් විංචි (Derick Winch )
The duty of a deck winch is to lift and lower a load by means of a fixed rope on a barrel, or by means of whipping the load on the warp ends, to top or luff the derricks, and to warp the ship. In fulfilling these duties it is essential that the winch should be capable of carrying out the following requirements;

ඩෙරික් මාස්ට් (Derick Mast) A derrick is a lifting device composed at minimum of one guyed mast, as in a gin pole, which may be articulated over a load by adjusting its guys. Most derricks have at least two components, either a guyed mast or self-supporting tower, and a boom hinged at its base to provide articulation, as in a stiffleg derrick.


 හිනිමග  (Vertical Ladder) 

මාස්ට් හවුස් (Mast House) noun Nautical. a deckhouse built around a mast as a platform for cargo-handling machinery, gear, and controls. (formerly) a tower like crane for stepping and removing masts from ships or boats. a building in which masts are made.


 කැප්ස්ටනයත් (Capstan)A capstan is a vertical-axled rotating machine developed for use on sailing ships to multiply the pulling force of seamen when hauling ropes, cables, and hawsers. The principle is similar to that of the windlass, which has a horizontal axle.
තෙල් හා ජලය වෙන්කරනා යන්ත‍්‍රයක් (Oily Water Separator )
An oily water separator (OWS) (marine) is a piece of equipment specific to the shipping or marine industry. It is used to separate oil and water mixtures into their separate components.


චිපින් හැමර් (Chipping Hammer)  A chipping hammer is a tool used to remove welding slag from a weld and welding spatter from along side welds. Used by carefully swinging and hitting the weld to shatter the slag. To remove spatter, use the wide flat part of the chipping hammer and slide along the surface of the job. Used to remove slag when standard arc welding is performed as slag is not produced when mig or tig welding is performed. Used to remove welding spatter in all welding processes.

වෙල්ඩින් ෂිල්ඞ් (Welding Shield)  A welding helmet is a type of headgear used when performing certain types of welding to protect the eyes, face and neck from flash burn, ultraviolet light, sparks, infrared light, and heat.

Monday, October 8, 2018

නැංගුරම්ලාගෙන සැමරූ සිංහළ අවුරුද්ද - සයුරේ දසවසක් - 6

ගනදුර පලවා හරිමින් අළුයම් හිරු නැගෙනහිර අහසින් පායා ආවේය. නිල්ල පිරුනු ගහකොලත් මද රැළි නංවන සයුරත් දෙස කොපමන වේලාවක් බලාසිටියත් දෑසට ගෙන දෙන්නේ අපුරු සුවදායි බවකි. මහා වනාත්තරයකින් වටවි ඇති සේ ගස්කොලින් පිරුනු ති‍්‍රකුණාමලය වරායේ පිහිටි පිටි කම්හල් ජැටියේ අප නෞකාව නවතා තිබුනි. කොළඹ ගොස් යළි නැවට ආ දිනට පසු දින උදයේම අසන්නට ලැබුනේ අසුබ ආරංචියකි. නැවේ කපිතාන්වරයා ඇද වැටී අත කැඞී ඇතැයි කඩ්ඩා කිවේය. පාන්දර වැටෙනා පින්නට පෙගුණු පාන්පිටි විසිරුනු නැව් තට්ටුවේ උදෑසන ඇවිදිමට ගිය ඔහු ලිස්සා වැටිමක ලක්වි තිබුනි. ඉක්මනින් නැවෙන් බස්සවා වෛද්‍යවරයෙක් වෙත යැවුනු අතර පසුව දැනගන්නට ලැබුනු පරිදි ඔහුගේ අත කැඞී නොතිබු නමුත් ඇඹරීමකට ලක් වී ඇත. කපිතාන් පෙරේරාට සිදු වූ එම  හදිසි අනතුර නිසාවෙන් එදිනම ඔහු නැවෙන් සයින්  ඕෆ් වී කොළඹ බලා පිටත් වී ගියේය. පිටව ගිය කපිතාන්වරයා වෙනුවට වෙනත් කපිතාන්වරයෙකු අප නැවට එවන්නට කාලයක් නොතිබුනේ ඒවන විටත් පිටි පැටවිම් අවසානයට ලඟාවිම නිසාය. නැවට පිටි පටවා අවසන් වූ පසු අප ත‍්‍රිකුණාමලයෙන් පිටත් වීමු. අපගේ ගමනාන්තය වූයේ ගාල්ල වරායයි. අප ගාල්ල බලා යාත‍්‍රාකලේ කපිතාන්වරයෙකු නොමැතිවයි. 



                   ගාල්ල වරාය දක්වා යළි ආ ගමනද ප‍්‍රථම මුහුදු ගමනසේම මාහට සිත්පිත් නොමැති මුහුද රළෙන් පිඩා විදින්නට සිදුවුනි. නෞකාවේ සිටි වඩුකාර්මිකයා ගැලවු කැබින් කාමර යලි ප්ලයිවුඩ් ලෑලී යොදා සකසමින් සිටියේ බොහෝ මන්දගාමි ලෙසින්ය. (පසුකාලිනව මෙම නෞකාවට එල්ලවු මුහුදු කොටි ත‍්‍රස්තවාදි ප‍්‍රහාරයේදි ඔහු අතුරුදහන්විය.) අහිකුන්ටකයෙකු සේ නිදාගන්නට  තැනක් සොයමින් තැනින් තැන ගිය කාලය හමාර කරමින් බාගෙට පිලිසකරකරවු කැබිනයක් අත්පත්කරගන්නට මටත් කඩ්ඩාටත් හැකිවුනි. දෙවනි නිලධාරියා විසින් එක් දිනෙක මා කැදවා මට නියමිත මස්ටරින් ඩියුටිස් (Mustering Duty) ටිකත් මස්ටර් ස්ටේෂන් (Muster Station) එකත් පැහැදිලි කලේය. සෑම කැබින කාමරයකම දොරහි ඇතුල් පැත්තේ  මස්ටරින් කාඩ් පතක්  (Mustering Card) අලවා ඇති අතර එහි තමන්ට අදාල මස්ටර් ස්ටේෂන් එකත් හදිසි අවස්ථාවකදි (Emergency) කලයුතු රාජකාරියත් ලියා ඇත. එහෙ මෙහේ වැටිවැටි නිදා ගන්නා අපට අදාල ඩියුටිස්  කියා දුන්නේ ලියා තබන්නට නියමිත කැබින් කාමරයක් නැති හෙයිනි. ගාල්ලට එන අතර මගදි හදිසි අවස්ථාවකදි  ජිවිතාරක්ෂක යාත‍්‍රාව දියත් කිරිමේ පුහුණුව පෙරහරුවක්  (Life Boat drill) සිදුකල අතර පෙරදිනයකදි දෙවන නිලධාරියා විසින් දුන් හදිසි අවස්ථාවකදි මා විසින් කලයුතු වැඩ කොටස මෙහිදි කරපෙන්වුයෙමි.

ගාල්ල වරායට ආසන්න වෙමින් තිබියදී සිංහල අලූත් අවුරුද්ද ලැබීය. මා නිවසින් පිටව ගතකළ ප‍්‍රථම සිංහල අවුරුද්ද මෙවර උදාවිය. නිවසේ මෙන් චාරිත‍්‍ර වාරිත‍්‍ර නොකෙරුනත් කිරිබත්, ලූණු මිරිස් මෙන්ම ති‍්‍රකුණාමලෙන් පිටත් විමට පෙර ලබාගත් කැවුම් හා අතිරසද වලින් සපිරි කෑම මේසයක් චීෆ් කුක් හා ස්ටුවඩ් විසින් පිලියෙල කලහ. ප‍්‍රධාන නිළධාරිතුමා හා ප‍්‍රධාන ඉන්ජිනේරුතුමා විසින් නියමිත වේලාවට කෑම මේසය විවෘත කර සියල්ලන්ටම සුබ පැතුවේය. සී සික් වලින් අඩුවක් නැතිව පිඩා විදිමින් සිටි මාහට තදින්ම තිබු කෑම අරුචිය නිසා අවුරුදු කෑම මේසය දෙස බැලූවේද නැත. අවුරුදු දිනය කියා වැඩකිරිමේ අඩුවක් තිබුනත් තමන්ට නියමිත රාජකාරි කලයුතුවිය. එදින දහවල් වන විට අප ගාල්ල වරායට ආසන්න වීමු. සවස හතර වන විට අළුත් අවුරුදු සාදය ආරම්භකලේද නිලධාරිතුමාගේ ප‍්‍රාධානත්වයෙනි. බෝට් ඩෙක් හි  (Boat Deck) පිලියෙල කල අපගේ මේසය වූයේ විසිවි නොයන ලෙසින් හොදින් බැද ඇති බැරල් දෙකක් උඩට දැමූ විශාල ප්ලයිවුඞ් ලෑල්ලකි. එය මතට දැමූ සුදු පැහැති බෙඞ්ෂීට් එක මත තැබූ විස්කි බෝතල් හා බ‍්‍රැන්ඩි බෝතල් කිහිපයකුත් කටගැස්ම පීරිසි කිහිපයකුත් විය. එකිනෙකා මත්පැනින් සප්පායම් වෙමින් සිටියහ. අපගේ නැව ගාල්ල වරාය ආසන්නයේ නැංගුරම්ලන විටත් සාදය ජයටම කෙරීගෙන යමින් තිබුනි. නැංගුරම්ලූ නැව පොල්ලෙල්ලක් සේ දෙපැත්තට පැද්දෙන්නට විය. නැවේ පැද්දිල්ල එන්න එන්නම වැඩි වෙද්දී මේසය මත වූ බෝතල් නොවැටී තබාගැනීමට අපට විශේෂ වෙහෙසක් දැරිමටද සිද්දවිය. දෙපසට පැද්දෙන නැවේ එහාට මෙහාට ගමන් කිරීමද ආයාසයෙන් කළයුත්තකි.
”මූට දැන්නම් සී සික් නෑ.”
බක සිල්වා මා පෙන්වා කීවේය.
”මූට තියෙන්නේ අට පහ සී සික්.”
තවත් එකෙක් කීවේය. අට පහ සී සික් යනුවෙන් ඔවුන් අදහස් කළේ උදේ අටට නැවේ වැඩ පටන් ගෙන හවස පහට වැඩ අවසන් වන වෙලාව දක්වා පමණක් බොරු සී සික් එකක් ගෙන රඟපෑමක් කරන පුද්ගලයෙකු ලෙසින්ය. ඔවුන් කී දේ සිනාසී බැහැර කළෙමි. මත් ගතිය වැඩිවෙද්දි නැවේ පැද්දිම හා කෑම අරුචිය පහව ගියාක්මෙන් විය.
”දැන් උඹට ඔය සී සික් දැනෙන්නේ නැත්තේ උඹ බිලා ඉන්න නිසා. බිව්වාම අපිත් පැද්දෙනවා නැවත් පැද්දෙනවා.”
කී පබ්බතයා ලෙසින් නැවේ කවුරුත් හැදින්වු ඔයිලර් ඔහු අත තිබු විස්කි විදුරුව මාවෙත පෑවේය. එ්වන විටත් තරමක මත්ගතියෙන් යුතුව සිටි මා ඔහුගේ විස්කි විදුරුව ප‍්‍රතික්ෂේප කලෙමි.

 තවත් දිනදෙකක් පමණ මෙසේ රූමස්සල කන්ද පෙනෙනා මානයේ නැංගුරම්ලාගෙන ගත කරන්නට සිදුවුනි. පසු දින දහවලට ආසන්න වෙමින් පවතිද්දි අපගේ නැව වරාය ඇතුළට ගන්නා බව ආරංචි විය. නෞකාව ජැටියේ ගැට ගසන විට අප සමාගමට අයත් වෙනත් නෞකාවන් දෙකක් ගාල්ල වාරයේ නවතා තිබුනි. ඉන් එක නැවක මාගේ මිත‍්‍ර නදිෂ් පෙරේරාද අනෙක් නෞකාවේ කුමුදු ලොකුගේ හා ඉන්දික යන දෙදෙනා සේවය කරමින් සිටියහ.


           වරායට පැමිණි පසුව දිගු වෙහෙසකර ගමනකින් පසුව හති හරින්නාක් මෙන් නැව පැයක්  පමණ කාලයක් නිසොල්මනේ තිබුනි. නැව් තට්ටුවේ කාර්්‍යය මඩුල්ල පහතට හෙලා තිබු ඩෙරික් එකින් එක ඉහිලට ඔසවන්නටත් අපි ගෙනා තිරුගු පිටි ගොඩ බෑමට අවශ්‍ය කටයුතු සුදානම් කරන්නට වුනි. වරාය අධිකාරියේ සේවකයින් එකා දෙන්නා බැගින් නැවට නගිමින් හැච් කවර (Hatch covers)  විවර කරමින් බඩු ගොඩ බෑමට සුදානම් වේ. නෞකාව නවතා තිබෙන සිමිත දින ගනන අනුව නාවිකයින් හට නිවසට ගොස් එන්නට ”ෂෝ ලීව්” (Shore Leave) ලබාදෙන්නට විය. මෙහිදි තිදෙනෙකු විසින් පැය හතර බැගින් සිදු කරන සේවා මුරය එකෙකු නිවසට ගිය පසුව පැය හයක් බැගින් දෙදෙනාට බෙදාගෙන කල යුතුවිය.  නැව ජැටියේ බර්ත් කල සවස් වරුවේ කඩුගන්නාවේ පදිංචිව සිටින කඞ්ඩාට ගාල්ලෙන් නුවර යවා පසුදින උදයේ අටට නැවට එන්නයි කිම ප‍්‍රායෝගික කි‍්‍රයාවක් නොවිය. චිෆ් ඉන්ජිනියර් මහට කතාකර අවශ්‍ය නම් මාහට ”ෂෝ ලීව්” යා හැකි බවත් හෙට උදයේ අටට කලියෙන් ආපසු නැවට වාර්තා කලයුතු බවත් පැවසුවේය.  ඉක්මනින් හැදපැලදගත් මා ”කෘ ලිස්ට් ” (Crew List) එකත් රැගෙන වරාය අරක්ෂක අංශයට ගොස් මාගේ දෙරටු අවසර පත‍්‍රය ලබාගත්තෙමි. 

         ”ෂෝ ලීව්”  ලැබුනත් වරායට ඇතුල් විමේ පුද්ගල අවසර පත‍්‍රයන් ටික නැවට ලැබෙන තුරු කිසිවෙකුටත් යා ගත නොහැකිය. මන්ද ආපහු වරායට ඇතුල්විමට එම අවසර පත‍්‍රය අප අත තිබිය යුතු බැවිනි.  අප නෞකාව මද්දහන පසුවි වරායට ඇතුල්විමත් නැවේ කාර්්‍ය මන්ඩලයේ නම් ලැයිස්තුව ”කෘ ලිස්ට් ” වෙලාසනින් එක වරාය ආරක්ෂක අංශයට යවා වරාය ඇතුල්විමේ අවසර පත් ගැනිමට සලසා නොතිබුනි. දින ගනනාවක් මුහුද මැද ගෙවු නාවිකයින්වු අපට ලැබුන කෙටි කාලයට තම නිවෙස් බලා දුවන්නට තිබෙන තදියම මන්දගාමි වරාය ආරක්ෂයින්ට නොමැත.  පාස් ලියා දෙන්නට පුළුවන් තරම් ප‍්‍රමාදකරවන්නේ ඔවුන් අපගේ ඉවසීමේ සිමාව කොතරම් දැයි පරික්ෂාවකට පත්කරන්නට මෙන්ය. ආරක්ෂක අංශයේ අධික කාර්්‍යක්ෂමතාවය නිසා විනාඩි හතලිස් පහකට ආසන්න කාලයක් නිරපරාදේ කාදමා සවස පහට පමණ අවසරය පත‍්‍රය අතට ගන්නට හැකිවිය. 

                   යහුසුලූව ගේට්ටුවෙන් එලියට ආ මා සම්බෝදිය ඉදිරිපිට බස්නැවතුමට වි කොලඹ යන බසයක් එනතුරු බලා සිටියෙමි. මාතර තංගල්ල හෝ කතරගම සිට පිම්මේ එන කිසිදු බසයටකට ඇගිල්ලක් ගහන්නවත් ඉඩක් නොමැත. අවුරුදු කන්නට ගමරට ගියවුන් අවුරුදු සමරා හමාරකර කොළඹ රටට සෙන්දුවන දවස් බැවින් සියලූම බස් රථ පිරි ඉතිරි ගොසිනි. මාතර දෙසින් පිම්මේ එන බසයන්ට පාරට පැන අත දැමුවත් මා දෙසවත් නොබලා ආ පිම්මේම ඉගිලගියේ සම්බෝදිය ඉදිරිපිට බස් නැවතුමේ මා තනිකර දමමින්ය. මෙතන සිට තවත් කාලය කාදමමින් නොනවත්වන බසයන්ට අත දිගු කිරිමෙන් ඵලක් නොවන බව තේරුම් ගතිමි. ගාල්ලට යන හිනිදුම සිට ආ බසයකට ගොඩවි ගාලූ ටවුමට පැමිණියේ එහිදිවත් කොළඹයන බසයකට ගොඩවිමට හැකිදැයි බලනු පිනිසය. ඉතා දිගු පොලිමක් තිබුනද එය අගලක්වත් ඉදිරියට ගමන් නොකරයි. බස් නැවතුමේ කොළඹ දක්වා ගමන් අරඹන කිසිදු බසයක් නොතිබුනි. පොලිමේ තැප කොළඹ යන බසයකට ගොඩවන්නට හැකිවන්නේ කීයටදැයි කිව නොහැකිය. උදේ රැයින් අවදිය යළිත් ගාල්ලට පැමිනිය යුතුව තිබුනායින් රාත‍්‍රියට නිදන්නට පමනක් ගෙදර ගොස් කුමටදැයි මාගේ සිත විමසන්නට වුනි. සැන්දෑ අඳුර ගාලූ ටවුම වෙලාගනිමින් ඇත. කලයුතු දෙයක් සිතාගත නොහැකිව සිත දෙගඩියාවට පත්වි ගාල්ල බස් නැවතුම මැද අතරමංව ගියාක් සේය. ගාල්ලේ නාවික පුහුණු පාසලට යන්නත් සිතුනත් මේ වනවිට එහි ඇත්තේ අළුත් කාන්ඩයක් බැවින් එහි යාමටත් නොහැකිය. යලි බසයකට නැගගත් මා තොන්තුවාක්මෙන් මෙන් සම්බෝධිය අසලින් බැසගෙන වාරයට ඇතුල්විමි.

”එයි අසංගයා, කොහේද බං යන්නේ?”
ගාලුවරායේ තිබු අනෙක් නෞකාවේ සිටි මා නාවික පුහුනු පාසලේ සගයෙකුවු ලොකුගේ අහම්බයෙන් මෙන් වරාය තුලදි මුන ගැසුනි.
”ෂෝ ලීව් දුන්නා බං බස්වලට නගින්න තියා හිතන්නවත් බෑ. අනික උන් නවත්වන්නේ නෑ.”
” උඹට පිස්සුද මේ වෙලාවට කවුද බං ෂෝ ලීව් යන්නේ? අනික මේ දවස්වල බස්වලට කිට්ටු කරන්නවත් බෑ.”
”දවල් නේ බං නැව ආවේ. කඞ්ඩාට දුර හින්දා මට ගිහිල්ලා එන්න කිව්වා. පාස් හදලා ඉවරවෙලා යන්න බලනකොට හවස්වෙලා. කවුද දන්නේ මේ වගේ දෙයක් වෙයි කියලා.”
”උඹත් මෝඩයාවාගේ ෂෝ ලීව් යන්න හැදුවා. දැන් යන්න බෑ කියලා හෙට  උදේම යන්නම් කිව්වානම් හරිනේ.”
”දැන් ගිහිල්ලා කියන්න බෑ බං. අනිත් උන් ලෙඩක් දායිද දන්නේ නෑ උඹට යන්න දිලත් ගියේ නෑ කියලා. ”
”එක නම් ඇත්ත තමයි. දැන් මේ කොහේද යන්නේ? ”
”මම දැන් නැවට යන්න තමයි හැදුවේ.”
”වරෙන් මගේ නැවට අපේ ඉන්දිකයා ගෙදර ගියා. එහෙනම් උඹ මගේ කැබින් එකේ ඉදලා හෙට උඳේට පලයං.”
”පිස්සුද බං උඹලගේ උන් අපේ නැවේ අයට නියමෙට ඔත්තුව දිලා තිියෙයි.”
”බයවෙන්නේ නැතිව වරෙන්. අපේ නැවේ භාගයකටත් වැඩිය ගෙවල් වලට ගිහිල්ලා.”



          ලොකුගේ බලවත් ඇවටිල්ල මත ඔහුගේ නෞකාවේ කැබින් කාමරය වෙත ගියේ කවුරුන්හෝ දකිවිය බියෙනි. එකම සමාගමට අයිති නෞකාවක්වු එය මාගේ නැවට වඩා අළුත් වුද ප‍්‍රමාණයෙන් තරමක් කුඩාවුද එකක් විය. කැබින් කාමර පිහිටා තිබු ඇකමඬේෂනය (Accommodation) වායුසමිකරනය කර හොඳ පිරිසිදු තත්වයෙන් තිබුනි. මා සිටි නෞකාවේ තත්වයත් හා සසදත්දී මෙහි පිරිසිදු තත්වයත් සුව පහසුවත් දැක්කේ අපායක සිට දිවිය ලොවකට පිවිසියාක් මෙන් හැගුමකි. ලොකුගේ හා ඉන්දික ලබන සුව පහසුව දැක මා සිතට යම් තරමක ඊර්ෂාවක්ද හටගත්තේය. සියල්ලන් කෑම කා අහවර වන තෙක් කුසගින්නේ කාමරයට වි සැගවි සිට තවත්  රැබෝවු පසුව මෙස් රූම් එකට ගොස් රාත‍්‍රි ආහාරය ගතිමි. යළිත් හොරෙකු සේ කාමරයට රිංගාගෙන ඉන්දිකගේ ඇදට නැග සුව පහසුවට නිදාගන්නට උත්සාහ කළේ ලොකුගේ ලබාදුන් කොට කලිසමක් හැදගෙනය. සුළං පොදක්වත් නොඑනා ප‍්‍රධාන නැව් තට්ටුවෙන් යට පිහිටි අඳුරු උමගක පිහිටි කැබින් කාමරවල මේසයට තබා තදින් බැද දමා තිබු ඉන්දියාවේ නිෂ්පාදිත කබල් මේස විදුලිපංකා වලින් එන වියළි සුළගින් තැම්බෙමින් නිදාගත් මාහට වායුසමිකරනය කල කාමරයේ සීතල වැඩි නිසාදෝ නින්ද ලගාවිම ප‍්‍රමාද විය. පාන්දර වන විට අධික සීතල නිසාවෙන් අයිස් පෙට්ටියක සිටි අයෙකුමෙන් ගැහෙන්නට විනි. සිසිල් වායුව කාමරය තුලට පැමිනෙන වා කවුලූව කරකවා වසා දමා යලිත් නිදන්නට විමි. පසුදා වෙනදා නැගිටින වෙලාව වු පාන්දර පහට අවදිවු නමුත් මෙතරම් පාන්දරින් මෙම නැවෙන් පිටමං වි මාගේ නැවට යා නොහැකිය. වෙන කල හැකි දෙයක්ද නොමැත්තෙන් ඇඳට වි ඉතිරි පැය එකහාමාරක් පමණ කාලයත් ගතකරන්නට සිදුවිය. විවිධාකරවු සිතුවිලි වලින් මා සිත පෙලන්නටවුයේ මේ නැවෙන් කාටවත් නොපෙනි පිටමං වන්නේ කෙලෙසකදැයි සිතන්නට වු පසුවය.


              උඳේ හයට පසුවි තම ඩියුටිය අවසන් කර ලොකුගේ කැබින් කාමරයට ආ පසුව මෙතෙක් මා පෙලූ විශාලතම ප‍්‍රශ්නය ඉදිරිපත් කලෙමි.
”උඹ බය නැතිව හිටපන්. මම ගානට උඹව එළියට දාන්නනම්.”
ඔහු කි ලෙසින්ම කාටවත් නොපෙනි තම නෞකාවෙන් එළියට බසින්නට හැකිවිය.  වට පිට බලමින් කවුරුන් හෝ දකිවිදැයි බලමින් යුහුසුලූව ගැන්වේ එකෙන් ජැටියට බැසගත් මා මාගේ නෞකාවට ගොඩවුයේ ගෙදර ගොස් එන අයෙකුමෙනි. මෙතරම් පාන්දරින් ගෙදර සිට මෙහි එන්නට හැකිවිම ගැන කිහිප දෙනෙක් සේම කඩ්ඩාද තම විමතිය පලකර සිටියෝය. ගෙදර ගොස් එන්නට ලැබුන අවස්ථාව මග හැරිම ගැන දුක්විමට සිදුවුවත් තවත් දෙදිනකට පසුව යළිත් පැය විසි හතරක කාල සීමාවක් සදහා ෂෝ ලීව් එකක් ලැබුනායින් සිත පෙලූ දුක වියැකි ගියේය. 



සයුරේ ආ මඟ 


 



අටුවාව

 ජිවිතාරක්ෂක  යාත‍්‍රා (Life Boats -
a double-ended ship's boat, constructed, mounted, and provisioned so as to be readily able to rescue and maintain persons from a sinking vessel.)
නෞකාවේ වම් හා දකුණු පැත්තහි ජිවිතාරක්ෂක යාත‍්‍රා දෙකක් ස්ථානගත කර ඇති අතර එක යාත‍්‍රාවකට නෞකාවේ ගමන් ගන්නා සියලුම නාවිකයින් පටවාගත හැකිවිය යුතුවේ.  මින් අදහස් කරන්නේ හදිසි අවස්තාවකදි එක බෝට්ටුවක් මුහුදට පහත් කිරිමට නොහැකිව අපදාවකට ලක්වුවහොත් අනෙක් යාත‍්‍රාව මුහුදට බා ගෙන ජිවිත ගලවාගැනිමයි. 





මස්ටර් ලිස්ට් ( Muster List  - 
The Muster List consists of duties and responsibilities in case of such mishaps, designated and assigned to each person on the ship; in other words, it is a list of the functions each member of a ship crew is required to perform in case of emergency.)
නෞකාවේ  ඇකමඩේෂන් තුල ප‍්‍රදර්ශණය කෙරෙන පොස්ටරයක්. හදිසි අනතුරු සංඥාව හෝ ගිනි අනතුරු සංඥාව ඇතුලු මෙහි නැවේ සියලු දෙනාගෙම් නම් හා තනතුරුද ඔවුන්ට අදාල හදිසි අවස්ථාවකදි කලයුතු රාජකාරි කොටස දක්වා තිබේ. 


MUSTER LIST 


Muster Card

මස්ටර් ස්ටේෂන් (Muster Station - an area of a ship where passengers are directed to assemble in an emergency.)
හදිසි අවස්ථාවකදි රැස්වෙන ස්ථානය.
හදිසි අවස්ථා සංඥා නිකුත් කල විට ජිවිතාරක්ෂක  කබා (Life Jackets) පැලද  තමන්ට අදාල මස්ටර් ස්ටේෂන් හි රැස්විය යුතුය. බොහෝවිට මේ මස්ටර් ස්ටේෂන් නම්කර ඇත්තේ බෝට් ඩෙක් හි ජිවිතාරක්ෂක යාත‍්‍රා දෙක අසලය. මසකට වරක්වත් නෞකාවේ  සියළු නාවිකයින්  කන්ඩායම් දෙකට බෙදා නැව දෙපස තිබු බෝට්ටු  අසල රැස්වි නාවිකයින් තම පෙරහුරු පැවත්විම සිදුකල යුතුවේ. 




ෂෝ ලිව්  (Shore Leave -  permission to spend time ashore, usually 48 hours or more, granted a member of a ship's company)

නාවිකයින්ට ගොඩබිමට ගොස් නැවත නෞකාවට පැමිනිමට දෙන කෙටි නිවාඩුව.

Tuesday, September 25, 2018

ලොක්කාගේ ජරාවැඩක් - සයුරේ දසවසක් - 5

පහන් කණුවලින් දැල්වෙන කහපැහැති විදුලි එළි ගණදුර පලවාහරින්නට දුබල උත්සාහයක් ගනිමින් සිටියි. දහවල තිබුන ජනාකීර්ණ බව තුරන් වෙමින්  තම කැදැල්ලට කූඩුවෙන්නට යුහුසුලුුව දුවනා  මිනිසුන් තවමත් පිටකොටුවේ විදිවල විය. එන්ජිමේ අමතර කොටස් කිහිපයක් බහාලු මගේ ඇඳුම් බෑගයක් රැගෙන අමාරුවෙන් බසයෙන් බැස ගත්තෙමි. මා සිතට නැගුනේ දැන් මා මේ බඩු ටික සමඟින් කුමක් කරන්නේදැයි. මේ වෙලාව වන විට අප නැව් සමාගම වසා ඇති බැවින් එහි යාමෙන් පලක් තිබේදැයි සිතන්නට වීමි. එකල ජංගම දුරකථන හැම අයෙකු සතුව නොතිබූ කාලවකවානුවක් විය. මේ වන විට විවෘතව ඇති කොළඹ කොටුවේ දුරකතන හලක් සොයාගෙන යන්නට විශාල බාදකය වුයේ මා අත බරැති බෑගයයි. දුරකතන හල් හොයන්නට නොගොස් මොරටුව බසයක නැගී ගත්තේ ගෙදර යන්නටය. නිවසට ගොඩවූ වහාම මා විසින් මිස්ටර් ..... මස් ගේ දුරකථන අංකයට ඇමතුමක් දුන් නමුත් ඔහු එයට පිලිතුරු දුන්නේ නැත. පනිවිඩය දීමට  ඊළග විකල්පය වු ඇසිස්ටන් ටෙක්නිකල් සුපරින්ටන්ඞ් වෙත දුරකථන ඇමතුමක් ගත්තෙමි. මා පැමිනි බසය කොළඹ පැමිනෙන විටත් බොහෝ රැු බෝවි ඇති බැවින් බසයක නැගි දැන් ගෙදරට ආ බවත් දැනුම් දුන්නෙමි.
”එහෙනම් පුතා හෙට උදේම බඩු ටිකත් අරගෙන කම්පැනියට එන්න.”
ඔහු පැවසීය.



      දින ගණනාවකට පසු ගෙදරින් ලැබූ රසවත් ආහාරය වූ අම්මාගේ කෑම වේලකින් සප්පායම් වී ආගිය තොරතුරු කතාකර සිට මා නින්දට වැටෙන විටත් මධ්‍යම රාත‍්‍රිය ආසන්න වීය. උදේ හතට පමණ කම්පැනියට යන්නට ලැහැස්ති වී ගමන් මල්ලත් රැගෙන ගල්කිස්ස හන්දියට ගියෙමි. බරති බෑගයත් සමගින් හිටගෙන මගින් ගෙන් තෙරපුන බස් වලට නැගීම අමතක කර දමා මට්ටක්කුලිය බලා දිවෙන ගල්කිස්සෙන් ගමන් ආරම්භ කරන බසයකට ගොඩවිමි. අංක 155 දරන මට්ටක්කුලිය බස් තම සුපුරුදු මග කෙටිල්ල නිසා කම්පැනියට ගොඩවන විටත් උදේ දහයට ආසන්න වී තිබුණි. පිළිගැනීමේ නිලධාරිනියකුට මා ආ කාරණාව කියූ පසු මිස්ටර් ......මස් සිටි කාමරයට යන්නැයි පැවසුවාය. වසා තිබූ කාමරයේ දොරට දෙවරක් තට්ටු කළ මා බෝල අගුල කරකවා කාමරයට ඇතුලූ වුනෙමි. කාමරයේ දොර අරිත්ම වායු සමනයේ සීතල සුළගත් සමගින් තද සිගරට් දුමක් ආඝ‍්‍රහනය විය. මිස්ටර් ....මස් සුව පහසු පුටුවකට වී සිටි ඔහු මා දෙස ගණනකට නොගෙන සිිගරට් දුම උරන්නට විය.

”මිස්ටර් ......මස්?”
”ඔව්”
”මම .........න නැවෙන් එව්වා මිස්ටර් .....මස්ට මේ ස්පෙයාර්ස් ටික භාරදෙන්න කියලා.”
”ආ ඉදගන්න.”
”තෑන්ක් යූ.”
”කෝ බඩු ටික ගෙනාවද?”
”ඔව් මේ තියෙනවා.”
”ඇයි පරක්කු වුණේ?”
”බස් එක එනකොට රැ වුනා. රැවෙලා මෙහෙට ඇවිල්ලා වැඩක් නැති නිසා මම එහෙමම ගෙදර ගියා. මම මිස්ටර් ........ත්නට කෝල් එකක් දීලා පණිවිඬේ කිව්වා. ”
”ගෙවල් කොහේද?”
”ගල්කිස්සේ”
”මොකක්ද රැන්ක් එක?”
”ටේ‍්‍රනිං ........”
........ මස් මහතා දුරකතනය ගෙන කාටදෝ ඇමතීය. තප්පර කිහිපයක් ඇතුලද කාමරය ඇතුලට පිවිසියේ උපැස්යුවලක් පැලදගත් අඩි හයක් පමන උසැති හීන්දෑරි පුද්ගලයෙකි. ඔහු මගේ බෑගය ලබාගෙන එහිවු අමතර කොටස් කිහිපය ඉවතට ගත්තේය. 
”මිස්ටර් .........මස් තව මොකක්ද මෝටර් එකක් තියෙනවා කිව්වා නේද අරගෙන යන්න.”
ඔහු උරමින් සිටි සිගරට්ටුව අලූ බදුනේ ඔබා පොඩි කළේය. භාගෙට තිබුණු සිගරට්ටුවෙන් දුම් රැල්ලක් ඉහළ නැගී ගොස් කැරලි නංවමින් අතුරුදහන්වන්නට විය. කාමරයේ සිගරට් දුම පිරිම නිසාවෙන් හුස්ම ගැනීමට නොහැකි වූවාක් මෙන් මට දැනෙන්නට විය.
”කෝ  ........ අර මොටර් දෙක?”
” ආ .... මිස්ටර්  ........මස් ඉන්න බලන්න. මම හිතන්නේ ඒවා තාම වර්ක් ෂොප් එකේ. ”
”මට කිව්වේ එක මොටර් එකයි කියලා...”

”නෑ. මෝටර් දෙකක් තියෙනවා. තව ඒවා ලැබුණෙ නැහැ. ඒක ගෙනාවම මම කියන්නම්. එතකම් එළියෙන් වාඩිවෙලා ඉන්න.”
ඉක්මනින් අසුනින් නැගිටගත් මා කාමරයෙන් එළියට පැනගත්තේ දුමෙන් පිරුණු එහි රැදි සිට තවදුරටත් කැස්සක් ඒම වළක්වාගෙන සිටිය නොහැකි වූ බැවිනි. කාමරයට පසෙකින් වූ සෝපාවක අසුන් ගත් මා බොහෝ වේලාවක් රැඳී සිටියේ ඔහුගෙන් ඇමතුමක් ලැබෙන තුරුය. දහවල් දොළහටත් ආසන්න වූ නමුත් මෝටරය ලැබෙන පාටක් නොමැත. තද කුසීතකමක් මෙන්ම බඩගින්නක්ද දැනෙන්ට විය. ඈනුම් දෙක තුනක් පිටව ගියේ ලොබියේ වායුසමිකරනයෙන් ගලා ආ තද සීතල නිසාවෙනි. කාමරයේ දොර විවර කරගෙන එළියට ආ මිස්ටර් .......මස්  අත රෙදි අතපිස්නාවකින් ආවරනය කල කෑම පෙට්ටියක් විය. ඔහු දිවා ආහාරය ගැනිමට යනවා විය යුතුය. අසුන්ගෙන සිටි මා දෙස හැරී බලා,
”තාම මෝටර් දෙක ආවෙ නැද්ද?” යි මාගෙන් විමසීය. ඔහුගේ පැනයෙන් අන්දුන් කුන්දුන් වූ මා නැතැයි හිස සෙලෙවිමෙන් පැවසුවෙමි.
” මිස්ටර් .....මස් තාම මෝටර් දෙක ලැබුණෙ නැද්ද?”
”එහෙනම් තව ටිකකින් අරන් එයි. ඔය ළමයා කාලද ඉන්නේ?”
”නෑ.”
”එහෙනම් ගිහිල්ලා දවල්ට කාලා එන්න.”
”නෑ දැන්ම කන්න තරම් බඩගින්නක් නෑ.”
”එහෙනම් ඉන්න දැන් මෝටර් දෙක දැන් එවයි.”

           බිත්තියේ වූ ඔරලෝසුවේ වේලාව දහවල් එක පසුවිය. කාමරයෙන් එළියට ගිය ......මස් යළිත් තම කාමරයට ගියේ ලොබියේ සිටි මා දෙසවත් නොබලාය. ක‍්‍රම ක‍්‍රමයෙන් කුසගින්නද දැඩිවෙයි. තටු හකුලාගත් කුකුළෙකු සේ එක තැනකට වී සිටීමද කළ නොහැකිකමෙන් පෙලන්නට විය.
දහවල් දෙකට ආසන්නය. තවදුරටත් මෙසේ බලා සිටීමෙන් පලක් නොවන තැන මා ටෙක්නිකල් සුපිරින්ටන්ඞ් තැනගේ කාමරයට යළිත් ඇතුල් වුයෙමි.
”එක්ස්කියුස්මී මිස්ටර් .....මස්.”
”ඔව්”
”තව පරක්කු වෙයිද දන්නෑ නේද මෝටර් දෙක ලැබෙන්න?”
ඔහු මා දෙස නොපහන් ලෙස බැලීය.
”නෑ තව ටිකකින් ඒක එවනවා කිව්වා. ඇයි?”
”නැවෙන් කිව්වෙ දවල් දොළහ පහුවෙලා බස් එකට නගින්න එපා කියලා හවසට පාර වහන නිසා. දැන් ටි‍්‍රන්කෝ ගියොත් පාරේ ඉන්න වෙන්නේ. ඒ නිසා මෝටර් දෙක හෙට උදේට ගන්නම්. මම දැන් ගෙදර ගිහිල්ලා හෙට උදේට එන්නම්.”
”හා කමක් නැහැ. මෝටර් දෙක ගේනකම් බලලා ඒක සිකුයුරිටි එකෙන් තියලා යන්න.”
මා දෙස නොබලා ඔහු තවත් සිගරට්ටුවක් දල්වා ගත්තේය.
මේ මිනිහට මොළයක් නැද්දැයි සිතුනේ සිකුරිටි ගාඞ් රූම් එකෙන් මෝටර් දෙක තැබීමට මා මෙතන රැුඳී සිටිය යුතුද යන්න සිහිපත් වන විටය. සමාගමේ ඉහළ නිලධාරියෙකු හා වාද නොකළයුත්තක් බැවින් මා තවදුරටත් එහි රැඳී නොසිට කාමරයෙන් එළියට බැස්සෙමි. යළිත් සුපුරුදු අසුනේ වාඩිගත්තේ කෝපයෙන් පුපුරමින්ය. සමාගම් ගොඩනැගිල්ලේ ඉහළ මාලයට කොළඹ වරාය මනාව දිස්වන ලෙස සවිකර තිබූ වීදුරු කවුලූව දෙසට මා පියවර තැබුවේ තවත් එකතැන රැදෙන්නට බැරිම තැනය. ඉන් පෙනෙන කොළඹ වරායත් නැව්තටාකාංගනයේ දොඹකර දෙසත් දෑස් යොමා බලා සිටියත් බඩගින්නත් මනසේ වැඩ කරන මෝටර් දෙකේ ප‍්‍රශ්නයත්  නිසා එහි කිසිදු සුන්දර බවක් දකින්නට නොහැකි වුනි. ......මස් මහතා තම කාමරයෙන් පිටව ගියේ මා දෙසවත් නොබලාය. මොටර් දෙක බාරගෙන ආරක්ෂක කුටියේ තබන්නට මා  මෙතැන තබා ගන්නේ  ඇයිදැයි සිතාගත නොහැකිවිය. ඇත්තෙන්ම සිත තුළ වූයේ නොමද කෝපයකි.

             මා කවුලූවෙන් බලා සිටින විට කොළඹ අදුරු කරගෙන වැස්සක් ඇද හැලෙන්නට පටන්ගත්තේය. ත‍්‍රිකුණාමගේ සිට කොළඹට රැගෙන ආ අමතර කොටස් මා වෙතින් ලබාගත් කෙට්ටු හීන්දෑරී උස පුද්ගලයා වීදුරු කවුලූව දෙසට ඇවිද ආවේ විශාල ලිපිගොනු කිහිපයක්ද කිහිල්ලේ රුවාගෙනය.
”චා වැස්සක් වැටෙන්න වුනානේ. දැන් ඔක්කොම වැඩ අප්සට් යනවා.”
කීවේය.
”ආ ඔයා තාම ඉන්නවාද?”
”ඔව් මෝටර් දෙකක් දෙනවා කිව්වාට තාම දුන්නෙ නැහැ. දුන්නත් දැන් ඒවා අරන් යන්න විදිහකුත් නෑ පාර වහන හින්දා.”
”ඔව් මග තමයි ඉන්න වෙන්නෙ. දැන් මොකක්ද කරන්නේ?”
”මම මිස්ටර්.......මස්ට කිව්වා මෝටර් දෙක දැන් අරන් යන්න බෑ කියලා. හෙට ඒ දෙක අරගෙන යන්න ඉන්නේ.”
”ඔව් ඒක හොඳයි.”
”මිස්ටර් ..... මස් කියනවා මට මෝටර් දෙක බාර අරගෙන සිකුරිටි රූම් එකෙන් තියලා යන්නලූ. ඔය මෝටර් දෙක සිකුරුටි රූම් එකෙන් තියන්න මම අවශ්‍ය නෑනෙ.  දැන් මට හොඳටමබ ඩගිනියි. දවල්ට කාලත් නෑ.”
”ඔයා  ඕනෙ නෑ. ඔයා යන්න මම ඒ දෙක ආවම සිකුරිටි රූම් එකෙන් තියලා යන්න කියන්නම්.”
ඔහු පැවසීය.
ඇත්තෙන්ම මා පත්ව සිටි අපහසුතාවයෙන් ගලවා ගැනීමට ආ ඉටු දෙවියෙකු සේ ඔහු ඒ මොහොතේ පිහිටට ආවේය.
”එහෙනම් මිස්ටර් .......ල් ඔයා මිස්ටර් .......මස්ට කියනවාද මෝටර් දෙක ඔයා සිකුරුටි රූම් එකෙන් තියනවා කියලා. නැත් නම් ඒ කමට ප‍්‍රශ්නයක් වෙයි.”
”හරි ඔයා යන්න මම ඒක බලාගන්නම්.”
මා ටික වේලාවක් එහි රැඳී  සිටියේ වැස්ස තරමක් හෝ පායන තුරුය. බිම් මහලේ ආරක්ෂක කුටියේ හුන් මැදිවියේ පුද්ගලයාට තව තව ටිකකින් ගෙන එන මෝටර් දෙකක් මෙහි තබා ගන්නා ලෙසත් මා හෙට උදෙන්ම පැමිණ එය ගෙන යන බවත් ඔවුනට පවසා ඉක්මනින් සමාගමේ භූමියෙන් පිටවුයෙමි. බසයක නැගී ගෙදරට එන විටත් සවස පහට ආසන්න වීය. ගෙදර ආපසුත් මා කල්පනා කළේ විශාල හා බරැති මෝටර් දෙකක් කෙසේ ත‍්‍රිකුණාමලයට රැගෙන යා යුතුද කියායි.

            අප නිවස අසල ත‍්‍රීරෝද රථ ගාලක දන්නා හඳුනන පුද්ගලයෙකුට පසුදා ගමනට කතා කරගත්තෙමි. උදේම නැගිට ලක ලැහැස්ති වී නිවසේ වැඩට සිටි මනිවද කැටිව ත‍්‍රීරෝද රියෙන් සමාගමේ කාර්්‍යාලයට පිටත්වුනෙමු.    .........ල් මහතා මා හට පොරොන්දු වූ පරිදි මෝටර් දෙක ආරක්ෂක නියාමක කුටියේ තබා තිබුනි. අඩි එක හමාරක් පමණ දිග කිලෝ විසි පහක් හෝ තිහක් පමණ බරකින් යුත් මෙම මෝටර්දෙක තනි පුද්ගලයෙකුට වුවත් ඔසවා ගැනීමට පහසු කටයුත්තක් නොවීය. මනිගේ සහායෙන් එම මෝටර් දෙක ත‍්‍රීරෝද රථයේ පටවා ගත් අප කෙලින්ම ගුණසිංහපුර බස් නැවතුම්පලට පිටත්වුයෙමු.  ත‍්‍රිකුණාමලයට දිවෙන ඉන්ටර්සිටි බසයක මා හිදගත් අසුනේ යට එක මෝටරයක්ද අනෙක් මෝටරය දොරට ඉදිරියේ අසුන යටද තැබුවෙමි. මෝටර් දෙක පටවා ගත් පසු මනීව ආපසු නිවසට පිටත් කර හැර අසුනේ සුව පහසුව හරිබරි ගැහී ඉදගෙන දෑස් පියාගත්තේ බසය පිටත්ව යනතෙක්ය. බසය කොළඹින් පිටත්ව මද දුරක් ගමනේ යෙදෙද්දී මට දෙවියන් සිහිවුනි. මෙසේ මෝටර් දෙකක් රැගෙන ත‍්‍රිකුණාමලය බලා යන මා සන්තකයේ මොටර් දෙකහි අනන්‍යතාවය හා මෙය ගෙනියන්නේ කුමකටදැයි පැවසු ලිපියක් නොතිබුන බවත් සිහිපත් විය.  එවැනි ලිපියක් සමාගම් කාර්්‍යාලයෙන් ලබාදුන්නේ නැතිබවත් එසේම මා එවැනි ලිපියක් ලබානොගත් බවත් මතක් වුනි. දිවයිනේ යුධ වාතාවරණය පවතින මෙවැනි අවදියක යුද්දධය ඇවිලී යන ත‍්‍රස්තවාදින් ගැවසෙන ප‍්‍රදේශයකට තහනම් බඩු රැගෙන යන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව මට නිරායාසයෙන් සිහිවුනි.  නැවෙන් එන විට දුන් ලිපියද මා සන්තකව නොතිබුනි. කරන්නට දෙයක් නැත. වෙන  ඕනෑම දෙයකට මුහුණ දෙන්නට හිත හදාගන්නවා මිස වෙන විකල්පයක් තිබුනේ නැත. ඇත්තෙන්ම යුද්ධය පැවති සමයක කොළඹ සිට ත‍්‍රිකුණාමලය හා යාපනය වැනි ප‍්‍රදේශවලට නැව් මඟින් ආහාර පාන බඩු භාණ්ඩ ප‍්‍රවාහනය කරනා නාවික සමාගමක පළපුරුදු නිලධාරීන් විසින් නැවකට ආධුනියකු වූ මා හට කිසිදු නීතිමය තත්ත්වයක් හෝ වගකීමක් ගන්නා බවට ලිපියක්වත් නොදී විශාල මෝටර් දෙකක් සමඟින් පිටත් කර එවිම ඔවුන්ගේ නොසැළකිලිමත්කම විදහාපාන්නක් විය. කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා හමුදා හා පොලිස් මුරපොළවල් හයක් පමණ පන්නා ගෙන ත‍්‍රිකුණාමලයේ ග‍්‍රීන් පාර අසලින් බසයෙන් බැස මෝටර් දෙකත් බිමට බාගන්නා තෙක් කිසිදු පරීක්ෂාවකට ලක් නොවී ඒමට හැකිවීම එක්තරා විස්මයට කරුණක් විය. යුද්ධය තිබු කාලසිමාවේ විශාල ලෙස ජීවිත හානි සිදු වුයේ අප ආරක්ෂක අංශවල තිබෙනා මෙවැනි දුර්වතාවයෙන් බැවින් බව පසුකාළිනව වැටහුනි. දෙදෙනෙකු හා එක්ව පැටවු මෝටර් දෙක ඉතා අපහසුවෙන් තනිව බිමට බාගත් මා ත‍්‍රීරෝද රථයකට අඩගැසුවෙමි. මෝටර් දෙකක් එක ත‍්‍රීරෝද රථයකට පැටවිය නොහැකි බැව් පවසමින් ඔවුන් මා මග හැරගියෝය. මා පත් වූයේ මහත් අසීරුතාවයකටය. එකක් රැගෙන යන්න නම් අනෙක මග දමා යා යුතුය. ගී‍්‍රන්  පාරේ මිටර පනහක දුරකවත් පිහිටා නැති නැව් නියෝජිතයාගේ කාර්යාලයට මේ මොටර් දෙක රැගෙන යන්නට ත‍්‍රීරෝද රථයකට වැඩි මුදලක් ගෙවිමට එකඟ කරගන්නට සිදුවුනි. යළිත් ඉතා අපහසුවෙන් ත‍්‍රීරෝද රියෙන් බිමට බා ගත් එම මෝටර් දෙක එක බැගින් ඔසවාගෙන ගොස් නියෝජිතයාගේ කාර්යාලයේ ඉස්තෝප්පුවේ තැබුවත් එහි සිටි කිසිවෙකුත් මා හට එම මෝටර්දෙක රැගෙන ඒමට උදව් කළේ නැත. ද්‍රවිඩ ජාතිකයන් වූ ඔවුන් මා එම කටයුත්ත අපහසුුවෙන් කරද්දී කිසිවක් නොදැක්කා සේ ඉවත බලා යනු දැක ඇතිවූයේ ඉමහත් කෝපයකි. විශාල මොටර් දෙකක් තනිවම බිමට බාන්න හා පටවන්න ගොස් මා හිටියේ බොහෝ සෙයින් හෙම්බත්වි ගෙනය. නැව් නියෝජිතයා හමුවී මෝටර් දෙකක් සමාගමෙන් රැගෙන ආබවත් ඒවා සමගින් නැව වෙත මා රැගෙන යන ලෙස පැවසීමි.

”කෝ ලේටර්ස්?”
”මොන ලෙටර්ස්ද?”
”කෝ මෝටර් දෙකත් එක්ක ලෙටර් එකක් දුන්නේ නැද්ද?”
”නෑ මොකටද?”
”මේක වරායෙන් ඇතුලට ගෙනියන්න බෑ. කම්පැනියෙන් ලෙටර් එකක් අරගෙන ආවේ නැද්ද?”
ඔහු මගේ ඇඟට ගොඩ විය.
”මොන ලියුමක්ද? මට මේක මෙහෙට අරන් එන්නවත් ලියුමක් දුන්නේ නැති කොට.”
”දැන් මේ නැවට අරන් යන්න බැහැ. නැවේ අය බලන් ඉන්නවා මේක ගේනකම්. ඔයා පරක්කු වෙලත් ආවෙ.”
”මොන පරක්කුවෙලාද? උදේම බස් එකට දා ගත්තේ. කොහොමත් කොළඹ ඉදන් මෙහෙට එන්න පැය හයක්වත් යනවානේ.”
දැන් මේකට ලියුමක් ආපහු කම්පැනියෙන් අරගෙන එන්න  ඕනේ. ඔහු දුරකතනය ගෙන සමාගමට ඇමතුමක් ගන්නට විය. අධික තෙහෙට්ටුව මා විඩාවට පත්කර හමාරය. සමාගමේ නිලධාරින් හෝ මේ නැව් නියෝජිතයා හෝ කලයුතු එහෙත් මා ලවා අමාරුම වැඬේ කරගත් පසුත් කිසිදු ස්තූතියක්වත් නොමැතිව ලියුමක් ගැන මොහු ඇසීම මා හට ගෙන දුන්නේ කෝපයකි. ටෙක්නිකල් සුපිරින්ටන්ඞ්වරයාගේ වගකීමක් වූයේ එවැනි ලිපියක් ඇවැසි නම් එය මා අත ත‍්‍රිකුණාමලයට එවීමයි. කිසිදු ලියවිල්ලක් ලබානොදී මෙලෙස වගකීමෙන් තොරව කළ ක‍්‍රියාවෙන් නියෝජිතයාද අසරණ වී සිටියි.

”මේච්චර දුරක් චෙක් පොයින්ට් වලින් බේරිලා මෙතනට ගෙනාවේ මොන ලියුමක් වත් නැතිව. ඔයාට මේ මෝටර් දෙක ගෙනියන්න බැරි නම්  ඕවා මෙහෙ තියාගන්න. මාව නැවට ගිහිල්ලා දාන්න.”
අවසානයේදී මා කීවෙමි. ඔහු ටික වේලාවක් රැඳී සිටින ලෙස මා හට දන්වා ද්‍රවිඩ බසින් මොනවාදෝ කියමින් එළියට බැස ගියේය. මද වේලාවකින් බෝට්ටුකරු පැමිණ ඔහු හා යන්නට වේලාව හරි බව සංඥා කළේය.  සුපුරුදු මුහුදු ගමනින් පසු ප‍්‍රීමා ජැටියට අප බෝට්ටුව ළඟාවෙද්දී පාන්පිටි ගෝනි පැටවීමේ කාර්යයන් සිදුවෙමින් පැවතුනි.
ගමන් තෙහෙට්ටුව හා බඩගින්නද මා පෙලන්නට විය. නැවට ගොඩවූ මා ඉක්මනින් ගැලියට ගොඩවූයේ ඒ වන විටත් දිවා ආහාරය වේලාවද පසුවී තිබූ බැවිනි. ප‍්‍රධාන අරක්කැමියා මා දෙස විමතියෙන් මෙන් බැලීය. ඉක්මනින් ආහාර ගැනීමෙන් පසුව ඇඳුම් ගලවා දමා  ඕවරෝල් එකෙන් සැරසී ගෙන ඒන්ජින් කාමරය වෙත ගියෙමි. කඞ්ඩාද මා වෙත අමුතු බැල්මක් හෙලීය.

”ඇයි බං මොකද වුණේ?”
”මොනවා වෙන්නද කොළඹ ගියා බඩු ටික බාරදුන්නා. මෝටර් දෙක අරගෙන ආයෙත් ටි‍්‍රංකොවලට ආවා.”
”දවස් දෙකයිනෙ බං.”
මම ඔහුව ගණනකට නොගෙන පැවසුයෙමි. මද වේලාවකින් ප‍්‍රධාන ඉන්ජිනේරුතුමා හමුවන ලෙස පණිවිඩයක් මා වෙත ලැබිනි. ඔහු දුන් රුපියල් දාහේ ඉතිරි මුදල්ද සමඟින් මා ඔහුගේ කාමරය වෙත පියවර තැබුවෙමි. ඔහු වෙතින් ලැබුනේ එතරම් ප‍්‍රියමනාප සුහද පිලිගැනිමක් නොවිය.
”කෝ මෝටර් දෙක?”
”ඒක ඒජන්ට් ගාව චීෆ්”
”ඇයි ඒක අරගෙන ආවේ නැත්තේ?”
ඔහු තරමක කෝපයෙන් මෙන් ඇසීය.
”එයාට ඒක අරගෙන එන්න ලියුමක් නැහැයි කිව්වා. ඒ නිසා ඒවා තියාගෙන මාව එක්කගෙන ආවා.”
”ඇයි මිනිහෝ ලියුමක් එහෙන් අරගෙන එන්න එපැයි. ඇයි එහෙට පරක්කු වෙලා ගියේ?”
”එදා කොළඹට යනකොට ? දහය විතර වුනා. ඉතිං මම මිස්ටර් .........ත්නට කෝල් කරලා කිව්වා. පහුවෙනිදා උදේම ගිහිල්ලා බඩු ටික භාර දුන්නා.”
”ඇයි එදා මෝටර් ටික අරන් ආවේ නැත්තේ?”
”ඇයි චීෆ්නෙ කිව්වෙ හවස් වෙලා එන්න එපා කියලා. එයාලා මෝටර් දෙක හවස දෙක පහු වෙනකම් ඉදලාත් මට දුන්නෙ නැහැ. මට කිසිම ලියුමකුත් දුන්නෙත් නැහැ. ලියුම් ගන්න හිටියා නම් මේ වෙලාවටවත් එන්න වෙන්නේ නෑ.”
මා අත තිබූ ඉතිරි මුදල් ඔහු අතට පත් කරමින් කිවෙමි.

ඔහු තරමක නොරිස්සුමකින් මෙන් මා හට යන්නට කීවේය. පසුව නැවේ කිහිපදෙනෙකු මා සමාගමට ගොස් මොකද වීයැයි විමසන්නට විය. නිවසට ගොස් ආපසු නැවට එන්නට ලැබීම ගැන සතුටකින් පසුවූ මා හට එය එකවරම වැටහුනේ නැත. පසුව තේරුම් ගිය පරිදි සමාගමේ ටෙක්නිකල් සුපිරින්ටන්ඞ්ට සර් නොකියා මිස්ටර් කියා ඇමතීමෙන් ඔහුගේ උදහසට ලක්වි මොටර් දෙකේ ප‍්‍රමාදය මා පිටින් යවා ඇති බව වටහා ගතමි. ඇත්තෙන්ම මා හට ඔහු කෙරෙහි ඇති වූයේ දැරිය නොහැකි කෝපයකි. නැවකට ආධුනිකයෙක් වූ මා වෙත කිසිදු ලියවිල්ලක් නොමැතිව අධික යුධ වාතාවරණයක් සහිත කාලයක එවැනි ප‍්‍රදේශයකට මෝටර් දෙකක්ද සමඟින් පිටත් කරහැරීමෙන්ද ඔවුන්ගේ ප‍්‍රමාදය වසාගන්නට මා යොදවාගෙන එදින මොටර් දෙක පිටත් කර එවන්නට නොහැකි වූ බව ඔවුන් නැවේ ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාට හා කපිතාන්වරයාට දන්වා ඇත. එකළ ජංගම දුරකතන බහුල ලෙසින් භාවිතා නොවූ බැවින් නැවේ ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාට නියමිත දිනයේදී සමාගමෙන් මෝටර් දෙක මාහට බාර නොදුන් බව දන්වන්නට නොහැකි විය. යම් හෙයකින් නැවට එම විස්තරය දන්වාලිය හැකි වූවා නම් මා නිර්දෝෂී වන්නට තිබුනි. 


සයුරේ ආ මඟ 

 

Friday, September 14, 2018

නැවෙන් ති‍්‍රකුණාමලයට බසයෙන් කොළඹට - සයුරේ දසවසක් - 4


බලන බලන අත දිස්වන්නේ තද නීල වර්ණ මහා සාගරයත් සිතිජයත් ලා නිල් පැහැති ගුවන්තලයත් පමණි. අප මහා ජලකදක් මැද තනිවි ඇති සේයකි. විටෙක චන්ඩ වන සාගරය විටෙක සාන්තදාන්ත ලෙසින් හැසිරේ. මහා සාගරයත් ගැහැණියකගේ සිතක් මෙන් යැයි කවුදෝ කීවේ මේ නිරන්තර වෙනස්වන සුුලු බව නිසා විය හැකිය.
 



ඈතින් දිස්වන්නේ ප‍්‍රීමා පිටි  කම්හලයි

 මුහුදු ගමනේ දෙවන දවසත් නිමා විය. පලමු දිනයේ මෙන් නැව් තට්ටුවේ නිදාගැනීමට නොගියේ පෙරදිනමෙන් පැද්දිල්ලට බියෙන් අවදි වී සිටීමට සිදුවන බැවිනි. අපගේ මෙස් රුමයේ ලෑලී බංකුවක් උඩ නිදාගන්නට ගියත් එය සිතු තරම් පහසුවුයේ නැත. වැඩවසම් යුගය සිහිපත් කරවන මේ නෞකාවේ නැවියන්ගේ මෙස් රුම් හි හිදගන්නා බංකු සියල්ල හැඩගැසු ප්ලයිවුඩ් ලීයෙන් සැකසූ කුෂන් රහිත එවායි. එහෙත් නිලධාරින්ගේ මෙස් රූමයේ තිබුනේ සැප පහසු කුෂන් වලින් සැකසු පුටුය. පැතලි මෙට්ටයක් උඩ සැප පහසුවට නිදාගත් මෙමට දෙපැත්තට පැද්දෙන නැවක හැඩගැසු බංකුවේ නිදා ගැනිම කොතරම් අපහසුකාරිවුවත් නිදන්නට වෙන තැනක් නොමැති බැවින් වෙන විකල්පියක් තිබුනේ නැත. නැවට අනුයුක්ත කල පෑස්සුම්කරුවෝ දෙන්නෙකුත් අනෙක් බංකු දෙක අල්ලාගෙන සිටියේය. ඩියුටි මාරුවෙන අයත් විටෙන් විටෙ එහා මෙහා යාමත් නින්දට බාදාකරවන්නක් වුනි. පසුදා අවදිවන විට සිරුරේ එක් පැත්තක් තලා දැමුවාක් මෙන් දැනෙන්නට වුයේ හැඩගැසු බංකුව නිසාය.   

මුහුදු ගමනේ තුන්වන දිනය ඇරඹුනි. අපහසුවෙන් කෑම ටිකක් ගලනාලයෙන් පහලට තල්ලුකරවාගෙන එන්ජින් කාමරයට ඇතුල්වුනිමි. ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාගේන් අණ ලැබුනේ එන්ජින් කාමරයේ වර්ක්ෂොප් හි තිබූ මළබැදුනු ඇණ හා මුරිච්චි පිරවූ බාල්දි කිහිපයක් පෙන්වා ඒවා සුද්දකර ඇණ හා මුරිච්චි එකට සවි කර දෙන ලෙසය. ඇන කිහිපයක් සුද්දකරද්දී ඔහු කීවේ නෞකාවේ පිටුපස තට්ටුවට ගොස් මේ  ක‍්‍රියාව සිදුකරන ලෙසය. ඞීසල් බාල්දියක්, ඇණ බාල්දියක් හා වයර් බුරුසුවක් ගත් මා ඒවා රැගෙන නැවේ පිටුපස තට්ටුවට ගිියෙමි. එකින් එක ඇණය බැඟින් ගෙන ඞීසල්වල පොඟවා වයර් බුරුසුවෙන් පිරිසිදු කරන්න පටන්ගත්තා පමණි.
”ඔය මොනවද මල්ලි කරන්නෙ?”
”මේ ඇණ තෝරලා පොට හොඳට තියෙන ඒවාට මේ නට් දාලා ගන්න කිව්වා.”
”කවුද කිව්වේ?”
”චීෆ් ඉන්ජිනියර්.”
”දැන් කීයක් විතර තේරුවාද?”
සුද්දකල ඇණ පහක් පමණ ඔහුට පෙන්වුවෙමි.
”මිනිහට පිස්සුද කොහෙද. මේක කරන්න පුළුවන් වැඩක්ද. උඹට මාසයක් විතර යයි ඔය ඇණ බාල්දි ටික සුද්ද කරන කොට. ඔය පොට ගිය ඇණ වැඩක් ගන්න පුළුවන් ඒවා විතරක් තොරලා අනික්වා මුහුදට විසික් කරපං.”
ජයතිස්ස අයියා පවසා යන්නට ගියේය. පැවරු වැඩය ලේසියි හිතුවාට බැංකුවක ඇණ තියාගෙන ඞීසල්වල දැමු ඇණ සුද්ද කිරීමට කොතරම් අසීරුද යන්න මට පසක් වූයේ වයර් බුරුසුවේ වානේ කම්බි මාගේ ඇඟිලිවල වැදී තුවාල වී ඞීසල්වලට දැවිල්ල ඇල්ලීමෙන්ය. වැඩකට ගත නොහැකි ඇණමුරිච්චි පිරිසිදුකරන්නට කියා වැඩක් පැවරා ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා මා නැවේ තට්ටුවට දැමුවේ ටිකෙන් ටික නැවේ පැද්දීමට ඔරොත්තුදීමට හැකිවන ලෙස යැයි මට අද හිතෙයි.


             පැවරු වැඩය අවසන්වුයේ නැත. වෙන වැඩක් පැවරු නැති බැවින් පසුදිනටත් මා ඇණ සුද්ද කරන්නට පටන් ගතිමි. මෙය කොතරම් මෝඩ වැඩක් දැයි මටම පසක් වූයේ සුද්ද කළ හැකි වූ ඇණ සංඛ්‍යාව දුටු විටය. මළකඩ සුද්ද කළ පසු ඇණයේ පොට තුවාල වී හෝ වෙනයම් දෝෂ සහිතයක් වූයේ නම් මා එම ඇණය සුද්ද කිරීමට යොදනු ලැබූ කාලයත් මාගේ ශ‍්‍රමයත් නිරපරාදේ වැයකිරිමක් විය. ඔයිලර්වරයා කී පරිදි ඇණය අතට ගත් ප‍්‍රථම අවස්ථාවේදීම එය මදක් නිරීක්ෂණය කර නැවේ ගන්වෝල් එකට උඩින් මුහුදට එකින් එක විසික් කළෙමි. මෙසේ ගාල්ල වරායේ සිට ත‍්‍රිකුණාමලයට යන තෙක් ලීටර් විස්සේ තීන්ත බාල්දි පහක් පමණ පුරවා තිබූ ඇණ හා මුරිච්චි විශාල සංඛ්‍යාවක් එකින් එක  ඇණය බැගින් මුහුදට විසි කරදැමින. අවසානයේ මා නැවේ වර්ක් ෂොෆ් එකට ගොස් දැමුවේ තීන්ත බාල්දියේ හතරෙන් එකක් පමණ අඩු ඇණ සංඛ්‍යාවකි.


                ගාල්ලෙන් පිටත්වු අප නෞකාව ත‍්‍රිකුණාමලය වරායට ආසන්නයට පැමිණිමට දින හතරකට ආසන්න කාලයක් මුහුදු ගමනක් ගතකරමින්ය. ලංකාවේ ජනවාර්ගික යුද්ධය දරුණුවට පැවති ඒ දිනවල උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල නැව් ගමනාගමනය ගොඩබිමින් ඉතා දුරින් අන්තර්ජාතික මුහුදු සීමාවට ආසන්නයේ ගමන් කළේ මුහුදු කොටින්ගේ ප‍්‍රහාරවලට ලක්විමට ඉඩඇති බැවින්ය. ත‍්‍රිකුණාමලය වරායට ඇතුලූවෙද්දී කලින් මාගේ සුපුරුදු ඩියුටිය වූ ස්පැනරයක් ගෙන එන්ජිමේ කුඩා සිලින්ඩරය අසලට වි එයට තට්ටු කිරීමට සූදානම්වුයෙමි. නැව ජැටියට හේත්තු කළ පසු එන්ජින් කාමරයේ සියලූ වැඩ කටයුතු අවසන් කරවන්නට තවත් පැය භාගයක් පමණ වේලාවක් ගතවිය. ලංකාවේ විශාලතම හා ස්වභාවික වරායක් වූ ත‍්‍රිකුණාමලය වරාය ගැන අසා තිබුණත් කිසි දිනෙක ලංකාවේ නැගෙනහිර ප‍්‍රදේශයට පැමිණ තිබුණේ නැත. එන්ජිමේ වැඩ කටයුතු ඉවර වූ වහාම ඉන් එළියට බට මා ඉක්මනින් ඉහළට දුවවිත් ප‍්‍රධාන තට්ටුවට ආවේ  ති‍්‍රකුණාමලය දකින්නටය. අප නෞකාව පැමිණ නවත්වා තිබුනේ ලංකාවට පාන් පිටි සපයන ප‍්‍රීමා සමාගම් භූමියේ තිබු ජැටියේය. ඈතින් ක‍්‍රීම් පැහැති විශාල බම්බු කිහිපයක් එකිනෙකට යාකර සිටවා තිබෙන අයුරින් තනවා තිබූ තිරිඟු ඇට ගබඩා සංකීර්ය දිස්වුනිි. නැව නවතා තිබූ ජැටිය ආසන්නයේ විශාල ගබඩාවක් විය. ඉතා පිරිසිදු තත්ත්වයෙන් වූ එම සමාගම් භූමියේ පාන්පිටි පිටි බිඳුවක්වත් දක්නට නොවීම මා පුදුමයට පත් කළේය. ගල්කිස්සේ තැපැල් කාර්්‍යාලය පසුකර ඉදිරියට ගිය විට ධර්මෝදය විද්‍යාලය ඉදිරිපිට තිබු පාන්පිටි ගබඩාව සිහිපත්වුනි. පාන්පිටි ඇගපුරා නාගෙන පියර බබ්බු සේ සිටි සේවකයින් හා හැමතැනම හැලුණු පාන්පිටිද ඉන් නැගුණු පුස්ගඳ අනුව මා සිතා සිටියේ පාන්පිටි නිපදවන ප‍්‍රිමා සමාගමත් එසේ ඇති ලෙසිනි. මල්ගස් වවා සුන්දර ලෙසින් ඇති පී‍්‍රමා සමාගම ඉතා පිරිසිදු ස්ථානයක් විය.




අප නැවේ ප‍්‍රධාන ඉන්ජිනේරුතුමා මා සොයාගෙන ආවේය.
”ඔය ළමයගෙ ගෙවල් කොළඹද?”
”ඔව් චීෆ්.”
”කොහේද?”
”ගල්කිස්සේ.”
මම පිළිතුරු දුනිමි.
”පුළුවන්ද අද ගෙදර ගිහිල්ලා එන්න.”
ඔහුගේ එම වදන් ඇසූ විගසම හිසේ මලක් පිපුණා වැනි සංතෝෂයක් ඇතිවිය.
 ”පුළුවනි.”
”එහෙනම් ගිහිල්ලා ඇඳගෙන එන්න.  ආ ඔයා ගාව බෑග් එකක් තියෙනවා නම් ඒකත් අරගෙනම එන්න.”
මගේ සතුට උතුරා යන්නට විය. ඉක්මනින් එන්ජින් කාමරයට දිව ගොස් කඞ්ඩාට මම කොළඹ යන බව පවසා සිටියෙමි. ඔහුට එය අදහා ගත නොහැකි වූවා සේ මා දෙස විමතියෙන් මෙන් බලා සිටියේය. ඉක්මනින් කැබින් කාමරයට දිව ගොස් යුහුසුලූව මගේ කුඩා බෑගයේ ඇඳුම් සියල්ලම එළියට ඇද දමා බෑගය ගත්තෙමි. යුහුසුලුව හැඳ පැළඳගත් මා ගමන් මල්ල රැගෙන ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා හමුවීමි.
 ”මේ බඩු ටික බෑග් එකට දාගන්න.”
ඔහු තම කැබින් කාමරයේ පසෙක තිබූ ඉටි කොළයක දවටා තිබූ යම් කිසි දෙයක් මාගේ ගමන් මල්ල තුළට දැමීය.
 ”මෙන්න මේ ලියුම අරගෙන යන්න. ගිහිල්ලා කම්පැනියේ මිස්ටර් .......මස්ව මුණ ගැසෙන්න. දන්නවානේ එයා කවුද කියලා?”
”නෑ චීෆ්.”
”මිස්ටර් .......මස් තමයි ටෙක්නිකල් සුපරින්ටන්ඩන්ඞ්. එයාට ගිහිල්ලා මේ බඩු ටික භාර දෙන්න. එයා දෙයි මෝටර් එකක්. ඒක අරගෙන ආපහු ඉක්මනටම මෙහේට එන්න  ඕනේ. හරිද?”
”හරි චීෆ්.”
”මතක ඇතිව ඔයාගේ පාස්පොට් එකයි සීඞීසී එකයි කැප්ටන්ගෙන් අරගෙන යන්න. මේ ලියුම ආමි එකෙන් හරි පොලීසියෙන් හරි චෙක් කළොත් පෙන්නන්න. මෙන්න තියෙනවා මිස්ටර් .......මස්ගේ ටෙලිෆෝන් නොම්බරේ බැරි වෙලාවත් එයාට ගන්න බැරි වුනොත් මේ එයාගේ ඇසිස්ටන්ගේ නොම්බරේත් මේ එක්කම ලියලා තියෙනවා. එයාට කතා කරන්න. අදම ගිහිල්ලා මේ බඩු ටික කම්පැනියට භාරදෙන්න යනකොට හවස් වෙයි. හෙට උදේම මෝටර් එක අරගෙන ආපහු එන්න.”
”හොඳයි චීෆ්”
”මතක තියාගන්න දවල් දොලහ පහුවෙලා කොළඹින් ත‍්‍රිකුණාමලේට එන බස්වල නගින්න එපා.”
”ඇයි චීෆ්”
”මෙහේට එන්න පැය හයකට වඩා යනවා. හවස හයෙන් පස්සේ හබරනින් මෙහාට පාර වහනවා ආමි එකෙන්. ඒ නිසා හවස් වෙලා බස් එකට නගින්න එපා. මෙන්න මේ සල්ලි තියාගන්න බස් එකේ වියදමට.”
ඔහු රුපියල් දාහක නෝට්ටුවක් මා අතට පත් කළේ ලිපි දෙකක්ද සමඟින්ය. පාස්පෝට් එකේ සීඞීසී යත් මා සුරතට පත්විය.
 ”පොඞ්ඩක් ඉන්න දැන් ඒජන්ට් එයි. එයා ඔයාව ටවුමට අරගෙන යයි. එතනින් කොළඹට යන්න ඉන්ටර්සිටි බස් තියෙනවා.”


              කිසිදා නොදැකපු ත‍්‍රිකුණාමලය බස් නැවතුම පිළිබඳව චිත‍්‍රයක් මනසට නගා ගැනීමට උත්සාහ කළෙමි. පහළ තට්ටුවට ගිය මා මෙස් රූම් එකේ මේසයක් මත ගමන් මල්ල තබා එහි ටික වේලාවක් රැඳී සිටියේ ත‍්‍රිකුණාමලයේ අප නැව් සමාගම් නියෝජිතයා එන තුරුය. නියෝජිතයාගේ ප‍්‍රමාදය සිතේ නොවසිල්ල ක‍්‍රමක් ක‍්‍රමයෙන් වැඩිවෙන්නට වුනි. මද වේලාවකින් පට පට ශබ්දයක් මුහුද දෙසින් ඇසෙන්නට විය. ලීයෙන් සාදන ලද කොළ පැහැති පැරණි පන්නයේ කුඩා බෝට්ටුවක් ජැටියට අල්ලා නැවැත්වීය. ඉන් ගොඩ බැසගත් ද්‍රවිඩ තරුණයන් දෙදෙනෙකු යම්කිසි බඩු භාණ්ඩද තොගයක් ජැටියට ගොඩබා එවා ඔසවාගෙන අප නැවට ගොඩ විය. නැව් නියෝජිතයා යැයි සැළකෙන පුද්ගලයාද විශාල ෆයිල් කවරයක්ද කිහිල්ලේ රුවාගෙන කැප්ටන් සොයා ඉහළමාලයට ගියේය. තවදුරටත් මා මෙස් රූමයේ රැඳී සිටියේ නොඉවසිලිමත්කමකිනි. යළිත් පහළ තට්ටුවට ආ ඔහු තමන් සමඟ පැමිණි මැදිවියේ පුද්ගලයෙකුට දෙමළ බසින් මා පෙන්වා යමක් පැවසීය.
”ආ මහත්තයා තව ටිකක් වෙලා ඉන්න වෙයි. දැන්ම යන්නෙ නැහැ.”
”දැන් අපි මේ බෝට්ටුවේද යන්නේ?”
”ඔව් මහත්තයා.”
”මම හිතුවේ වාහනයකින් එයි කියලා. ඇයි අපි බෝට්ටුවක යන්නේ? ඇයි මේ ප‍්‍රීමා එකෙන් එළියට යන්න බැරිද? ”
”ප‍්‍රීමා ෆැක්ටරියේ ගේට්ටුවෙන් අපිට යන්න බැහැ. කස්ටම් එකකක් නැති හින්දා. ඒ නිසා අපි බෝට්ටුවෙන් ජැටියට ගිහිල්ලා එතැනින් තමයි එළියට යන්නේ.”
”එතකොට එතැනද කස්ටම් එක තියෙන්නේ?”
”ඔව් මහත්තයා. කස්ටම් එකයි වරාය පොලීසියයි එතැන තමයි තියෙන්නේ.”
කොණ්ඩය කොටට කපා සිටි මැදිවිය පසු කරමින් සිටින එම බෝට්ටු ක‍්‍රියාකරවන්නා ගැලියෙන් ලබා දුන් තේ එකක් මා සිටි මේසයට එහායින් වූ මේසයක පුටුවක වාඩිගෙන බොන්නට විය. ඒ වන විට තේ වේලාවද පසුවූ බව දැනුනද කෑමට හෝ බීමට පිරියක් නොතිබුණේ මා දැන් යන්නට සුදානම් වන ගමන ගැන සිත තුළ වූ උද්යෝගය හෙයිනි. තවත් අඩහෝරාවක් පමණ ගෙවීගියේ මා සිතින් කොළඹට යන ගමන ගැන සිතුවිලි ගොනු කරමින් සිටිනා විටදීය. 


”යමු මහත්තයා.”
බෝට්ටුකරු මා හට කථා කළේය. තරමක් බරින් යුත් ගමන් මල්ලද ඔසවා ගත් මා ඔහු පිටුපසින් ඇකඩමේෂන් එකෙන් එළියට බැස නැවේ ප‍්‍රධාන තට්ටුවට ගියෙමි. ගොඩබිම් නිවාඩුවක් අරන් ටවුමට යන්නට සිටි නැවේ නාවිකයන් කිහිපදෙනෙකුද අපගේ බොට්ටු ගමනට එක්ව සිටියේය. නැවෙන් බැස ජැටියට ආ අප කුඩා බෝට්ටුවට ගොඩවීමු. ලෑන්ඞ් මාස්ටර් අත්ට‍්‍රැක්ටරයක් මෙන් අතින් හෑන්ඞ් ක‍්‍රෑන්ක් කිිහිප වාරයක් කිරීමෙන් අනතුරුව කුඩා බෝට්ටුවේ එන්ජිම පට පට හඬින් පණ ගන්වාගත හැකිවිය. එහෙට මෙහෙට පැද්දි පැද්දී පැරණි ලෑලි බෝට්ටුව දියරළ කපාගෙන ත‍්‍රිකුණාමල වරායේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර වූ මගී ජැටිය වෙත යාත‍්‍රා කරන්නට විය. දියරළ බෝට්ටු බඳේ වැදී කැඞී බිඳී විසිරෙන සිහින් දිය බිඳු අප සිරුර තෙමාලන්නට විය. බෝට්ටුවේ පැති ආසනයේ කෙළවරට වී විසිරෙන දියබිඳුවලින් තෙමිමෙන් වැළකීමට උත්සාහ කළෙමි. තවත් අඩහෝරාවකට නොඅඩු කාලයක් අප මෙසේ වරාය තුළ යාත‍්‍රා කර ජැටිය වෙත ළඟා විය. පි‍්‍රමා ජැටියේ සිට බෝට්ටුවෙන් අප ආ මෙම මගී ජැටිය මඟින් කින්නියා හෝ මුත්තූර් වෙත මගීන් රැගෙන යාම ඒම සිදු කරනා කුඩා ප‍්‍රමාණයේ නැව් සේවයක් එහි දියත් විය. පසු කලෙක රාත‍්‍රියේ එහි නවතා තිබූ කුඩා නෞකාව LTTE මුහුදු කොටි ත‍්‍රස්තවාදීන් විසින් විනාශ කරන ලද්දේ මෙම මගී ජැටියටද තරමක විශාල අලාභහානියක් ද සිදු කරමින්ය. රේගුවට මා සතු ලිපියද බෑගය තුළ වූ එන්ජිමේ අමතර කොටස් කිහිපයද ඔවුනට පෙන්නා අවසර ගතිමි. 

මගි නැව් ජැටිය


           ඇත්තෙන්ම අප ඇවිත් සිටියේ ත‍්‍රිකුණාමලය නගර මධ්‍යයට නොවේය. බස් රථයක නැග ටවුුමට යා යුතු විය. අප සියළුදෙනා බසයක නැග ත‍්‍රිකුණාමලය නගරයට ගියෙමු. නැවේ සිට අපත් සමගින් ආ එකා දෙන්නා නගරයේ විසිර ගියෝය. පසුව බැලීමේදී මාත් සමඟින් කොළඹ යන බසයට ගොඩවීමට නැවේ නිලධාරියෙකුද එක්වී සිටිනු දැකීම තනිව නොදන්නා පළාතක අතරමංවූවෙකුට අසල්වාසියෙකු මුණ ගැසීම තරම් ප‍්‍රීතිමත් විය. මම ඔහු හා කතා කරන්නට උත්සාහ කළත් ඔහු මා නොතැකූ ලෙසින් සිටින්න උත්සාහ කළේය. බස් නැවතුමට ගොස් කොළඹ යන ඉන්ටර්සිටි බසයක් සොයා බැලූවත් ඒ වන විටත් කොළඹ බලා යන බසය පිරී ඇති බැවින් ඊළඟ බසයට එනතෙක් තව වේලාවක් රැදී සිටින්නට සිදුවිනි. මා සමඟින් නැවෙන් ආ පුද්ගලයා වෙනත් අසුනක අසුන් ගත් අතර මා වෙනත් අසුනක් සොයා ගොස් කවුලූවක් අතර හිඳගතිමි. බසය බොහෝ වේලාවක් පණගන්වා තබාගෙන සිට ගමන් ආරම්භ කලේය.


            දින ගණනාවකින් නිල්ල පිරුණු ගහකොළක් දැකීමට හැකි වීම දෙනෙතට ප‍්‍රිය දසුනක්ම විය. සුළඟ කපාගෙන ඉදිරියට දිවෙන බස්රථයේ කවුලූවෙන් පිටත සිරි නරඹමින් සිටින මා හට තැන තැන බාගෙට ගඩොලෙන් ඉදි වුණු හා කැඞී බිඳී ගිය ගෙවල් ඒවා වසාගෙන කැලය වැවි තිබෙනු දුටුවිට යුද්ධය විසින් මේ පළාතේ ජන ජීවිතය කොතරම් දරුණු ලෙස බිලිගෙන ඇතිද යන්න පසක් විය. බසය හබරන කන්තලේ පසුකර ඉද්ද ගැසුවා වාගේ දිවෙන හබරන කැළෑව මැදින් ගොස් හබරන නගරයට සේන්දු විය. කන්තලේ සිට හබරන තෙක් වූ කැළෑ මාර්ගයේ දෙපසින් මීටර් සියයක් පමණ කැලය ඇතුලට කපා දමා සුද්ධ කර තිබුණේ කොටින් විසින් ක්ලේමෝ හෙවත් පැති බෝම්බ පාර අද්දර ගස්වලට තබා හමුදා බස් රථවලට එල්ල කර පුපුරුවා හැර විශාල මිනිස් ඝාතන කර තිබුණ බැවිනි. දින කිහිපයකට පෙර ත‍්‍රස්තවාදීන්ගේ බෝම්බයකට අහිංසක සිවිල් වැසියන් ගමන් ගත් බස් රථයක්ද අසුවී බොහෝ දෙනෙක් මිය ගිය බව බසයේ වූ කෙනෙකු කියනවා ඇසුනි.
 කන්තලේ සිට හබරන හන්දිය තෙක් එන මාර්ගයේ හමුදා පොළවල් කිහිපයක් අප හට පසු කරන්නට විය. ඔවුන් ආරක්ෂක හමුදා සේවකයින් හැර සමාන්‍ය ජනයා ඇතුලු අනෙක් අයට බස් රථයෙන් බිමට බසින්නට අණ කර මගීන්ගේ හැඳුනුම්පත් හා බෑග්මලූ පරීක්ෂාකර බැලීය. ප‍්‍රධාන පොලේ මුරපොලක් ඇරෙන්නට මා අනෙක් මුර පොළවල්වලින් බසයෙන් බැස නොගියේ ආරක්ෂක අංශයේ සාමාජිකයෙකු නොවුණත් රටේ පිළිගත් රැුකියාවක නියැලූනු ආරක්ෂක අංශයට බෙහෙවින් උපකාරීවන සේවයක නියැලූනු කෙනෙකු හැටියටය. හබරනට සේන්දු වූ බසය තේ පානය සඳහා මද වේලාවක් නවතාලීය. දහවල් ආහාරයද මග හැරුණු නිසාවෙන් දැඩි කුසගින්නෙන් පෙලෙන්නට වුනි. එහෙත් බත් කෑමට තරම් වේලාවක් බසය නතර නොකර සිටින බැවින් ඉක්මන් කෙටි ආහාරයක් හා කූල් බීම බෝතලයකින් සෑහෙන්ට පුළුවන් විය. 


”ගෙවල් කොහෙද?”
”ගල්කිස්සේ”
”ඔය බඩු ටික කම්පැනියට බාරදෙන්නද යන්නේ?”
”ඔව් මට කිව්වා මිස්ටර්.......මස්ට දෙන්න කියලා. ඔයත් කොළඹද යන්නේ?”
”නෑ මම කුරුණෑගලින් බහිනවා. චීෆ් ඉන්ජිනියර්ගේ ගෙදර තියෙන්නේ ඉබ්බාගමුවේ එහෙට ගිහිල්ලා දෙන්න යමක් තියෙනවා ඒකදීලාම ගෙදර යනවා.”
බනිස් කෑල්ලක් හපමින් මෙතෙක් වේලාවක් මා හා කතා නොකර සිටි නිලධාරියාද කතා කරන්නට විය.
”කීයක් දුන්නද වියදමට කියලා?”
”රුපියල් දාහක්.”
ඔහු යළි තම හිස සෙලෙව්වේය. කෑම බීමවල බිල ඔහු විසින් ගෙවා දමන ලද්දෙන් මා හට වියදම් කරන්නට වූයේ බස් ගාස්තු පමණි. කුරුණෑගල ඉබ්බාගමුව අසලින් බසයෙන් බැස ගත් ඔහු යළි කිසි දිනෙක මාගේ ජීවිතයේ හමුනොවුනි. යළිත් බසය කොළඹ බලා පිටත්වන්නට විය. හවස දෙක පසුවී ත‍්‍රිකුණාමලයෙන් පිටත් වූ බසය රාත‍්‍රී නමයත් පසුවී කොළඹ බස් නැවතුමට ළඟා විය.
 


සයුරේ ආ මඟ 






Monday, September 3, 2018

සී සික් සමගින් පළමු මුහුදු ගමන. - සයුරේ දසවසක් - 3

නැව් බදේ හැපෙන මුහුදු රළ ශබ්දය විටින් විට ඇසේ තවමත් කළුවර පහව ගිහින් නැත. පාන්දර වැටුන පින්නෙන් සිරුර තෙමිගොසිනි. තැන නුපුරුදු වුවත් මාහට අවදිවන්නට වුයේ අපත් සමගින් නිදා උන් එකා දෙන්නා නැගිට යන්නට පටන්ගත් පසුය. මා මෙන් කැබින් කාමර අහිමිව සිටි කිහිපදෙනෙකු සමගින් පෙරදින රාත‍්‍රියේ බෝට් ඩෙක් (Boat Deck) හි කාඩ්බෝඩ් කැබැල්ලක් එලාගෙන නිදාගත් බව සිහිපත් විය.




                නෞකාවක ගෙවන දෙවන දිනයත් උදාවුනි. දවසේ වැඩ පටන්ගන්නට පෙර උදේ පාන්දරම සිදුකලයුතු පිරිසිදු කිරිමේ වැඩ රාජකාරි සියුලු පුහුණුවන්නන්ට බෙදා දී තිබුණි. මෙස් රූම් පිරිසිදු කිරිම ඇලිවේ අතුගා මොප් කිරිම හා නානකාමර හා වැසිකිලි සෝදා පිරිසිදු කිරිම මේ අතරින් කිහිපයක් විය.එකිනෙකා තමන්ට පැවරුනු පිරිසිදු කිරිමේ රාජකාරිවලට එක්වුනු අතර වැඩක් පැවරුනු නොලැබු මා ඇලිවේ එකක් පිරිසිදු කිරිමට එක්වුනි. එදින පුරාවටම විවිධාකාර වැඩ රාජකාරිවලට උපකාර කිරීමට මා හට සිදුවිය. 

        සවස් වරුවේ ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා මා හට පැවරූ විශේෂ රාජකාරියක් වූයේ එන්ජින් කාමරයට ඉහළින් වූ ඩෙක් හෙඞ් (Deck Head) එක වෙල්ඩර්වරුන් විසින් කපාදැමීමේදී එන්ජින් කාමරයට වැටෙනා ගිනි අඟුරුවලට වතුර ගසා නිවාදැමීමයි. විවිධාකාර ලිහිසි තෙල් ඩීසල් හා ග‍්‍රීස් ඇතුලු තෙල් මංඩිවලින් ද තෙල්මිශ‍්‍ර වාතයෙන්ද පිරුණු තැනක් වූ එන්ජින් කාමරය ගිනි ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පැවතියේය. මා හට ලීටර් විස්සේ කෙමිකල් බැරලයක් කපා සාදා ගන්නා ලද වතුර බාල්දියක් හා කුඩා කෝප්පයක් ලබාදුනි. ඉහලින්වු යකඩ තහඩුව කපා දැමීමේදී පහලට ඇද වැටෙන උණු යබොර ගුලි වැටෙන වැටෙන වාරයක් පාසා වතුර ටික ටික විසි කිරීමට සිදුවිය. මුලින් හිටගෙන මේ ක‍්‍රියාව සිදුකලත් පැය කිහිපයකට පසුව ඇතිවු කකුල් කෙඩෙත්තුව අධික විම නිසා කුඩා ලෑලි බංකුවක් ළඟට ඇදගත් මා එහි වාඩිගෙන වතුර විසි කිරිම සිදුකලෙමි. 

       සවස් වරුවත් අවසන් වී රාත‍්‍රිය උදා විය. ඉහළ යකඩ තහඩුව කපා අලූතින් යෙදු තහඩුව වෙල්ඩින් කිරීම අරඹීය. මුළු දවස පුරා අධික ලෙස වැඩ කළ මා සිටියේ හෙම්බත් වීගෙනය. තද කුසගින්නක් මෙන්ම නිදිමතද මා වෙලා ගනිමින් පැවතියේය. රාත‍්‍රී අටට පමණ ඉහළින් වැටෙනා වෙල්ඩින් යබොර කැබලි නැවතී ඇති බව නිරීක්ෂණය කළෙමි. මා හට එන්ජින් කාමරය තනි කර දමා ඉහළ තට්ටුවට ගොස් බැලිය නොහැක්කේ යළිත් ඔවුන් වැඩ ආරම්භ කළහොත් යන බිය මා සිතෙහි හොල්මන් කරන්නට පටන් ගත් බැවිනි. තව පැයක් පමණ බංකුව මතට වි බලාසිට  ඕනෙ දෙයක් වෙන්නයි සිතා මා ඉහළ තට්ටුවට ගොස් ඔවුන් වැඩ කරමින් සිටි කැබින් කාමරයට එබී බැලූවෙමි. පෑස්සුම්කරුවන් දෙදෙනා පෙනෙන්නට නොසිටියහ. ඔවුන් තම වැඩය නවතා දමා ගොස් ඇති බව මට වැටහුණි. ඔවුන් වැඩ කරන තෙක් මා මෙහි නිදි කිරමින් කුසගින්නේ එන්ජින් කාමරයේ වතුර බාල්දියත් සමඟින් දිටියදී ඔවුන් වැඩය නවතා දමා හොඳින් නා කියාගෙන රාත‍්‍රී ආහාරයද ගෙන නින්දට වැටී ඇති බව දැක ඇති වූයේ දැඩි කෝපයකි. මේ පිස්සු නැව අත්හැර ගෙදර බලා යාමට තරම් කලකිරීමක් මා සිතට ඇති වූයේ කෑමට කිසිවක් නොවූ බැවිනි. එදින පටන් මා පළමුව ඉගෙන ගත් දෙය නාවික ජීවිතයේදී වේලාවට වැඩ කිරීමය. සියල්ලන්ම ඉටු කරන්නේ රාජකාරියයි. අරක්කැමියාද සිය රාජකාරිය නිමා කර ඉතිරි වූ ව්‍යංජන සියල්ල විසි කර දමා භාජන සෝදා දමයි.
     
            තවත් දින කිහිපයක් ගාලූ වරායේ ගෙවී ගොස් නැවේ කරමින් සිටි අලූත්වැඩියා කටයුතු යම් තරමකට අවසන් කරගැනීමට හැකිවිය. දැන් ඇත්තේ වරායෙන් පිටත්ව ත‍්‍රිකුණාමලය වරාය දක්වා ගමන් ආරම්භ කිරීමටය. සියල්ල සූදානම්ව ඇත. එන්ජින් කාමරයේ වූයේ දැඩි කලබල ගතියකි. නැවේ කාර්යයමණ්ඩලය ලකලැහැස්ති වෙයි. කඞ්ඩා මා හට කථා කළේය.
”මචං ස්ටෑන්ඞ් බයි (Stand-by) දාලා තියෙන්නේ. උඹත් එන්ජින් රූම් එකට වරෙන්.”
මේ වන විට ප‍්‍රධාන එන්ජිම ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියහ. නාවික පුහුණු පාසලේදී ඉගෙන ගත් ක‍්‍රියාවලිය මාගේ මනසට යළිත් මතක් විය. එහෙත් මෙම අවස්ථාවේදී විය යුත්තේ නිරීක්ෂකයෙකු වීම පමණි. ඔයිලර්වරයෙකු (Oiler) දිව ගොස්  සම්පීඩන වායුව (Compressed Air) ටැංකිවලට පිරවීම සඳහා කොම්ප්‍රෙෂර්ය (Air Compressor) ස්ටාර්ට් කළේය. එන්න එන්නම එන්ජින් කාමරේ ශබ්දය දෙසවනට උසුලාගත නොහැකි වන ලෙසින් වැඩිවන්නට විය. ප‍්‍රධාන එන්ජිම දෙසැරයක් පමණ පණ ගන්වා වාමාවර්තව හා දක්ෂිණාවර්තව කරකවා බැලූවේය. විදුලි කාර්මිකවරයා මීටර් පැනල් සියල්ල පරීක්ෂාකර බැලීය. සියල්ල නිවැරදි ලෙස කි‍්‍රයාකරනවාදැයි පරික්ෂාකර බලා අවසන්විය.  ටෙලිග‍්‍රාෆය (Telegraph) නැව ඉදිරියට ධාවනය වන්නට ඩෙඞ් ස්ලෝ එහෙඞ් (Dead slow ahead) සංඥාව දක්වන්නට විය. විදුලිකාර්මිකවරයා සංඥාව දැක්වූ වේලාව බෙල් බුක්හි (Bell Book) සටහන් කරගත්තේය. ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා ටෙලිග‍්‍රාෆ්හි ලීවරය නියමිත ස්ථානයට පත්කර එහි නාදවන සීනුව තනරකර එන්ජිම ඉදිරියට ධාවනය කිරීමට ලීවරය ඉහළට දැමීය. මහත් ශබ්දයක් නංවමින් එන්ජිම ක‍්‍රියාකිරීම ඇරඹීය. එන්ජිමේ ධාවන වේගය වැඩි කිරීමට පුවරුවේ තිබු පැරණී අතින් කරකවන මහන මැසිමක් රෝදයක් වැනි රෝදයක් කරකවමින් එහි වේගය ඩෙඞ් ස්ලෝ එහෙඞ් හි නියමිත වේගයට එන්ජිම පත් කරවීය.    
            
                 දෙවන ඉන්ජිනේරුවරයා මා හට කථාකොට ප‍්‍රධාන එන්ජිමේ වම්පස කුඩා මෝටරයක් වැනි සිලින්ඩරාකාර කොටසක් පෙන්වා එහි අසල කම්බියකින් එල්ලා තිබූ ස්පැනරයක් ගෙන ලෑස්තිව සිටින ලෙසත් ඔහුගෙන් ලැබෙන සංඥාවකට අනුව එම සිලින්ඩරාකාර කොටසට මොකක්දෝ කරන ලෙස මාගේ කනට කර පැවසීය. මට මෙලෝ දෙයක් නොතේරුණ නමුත් මා ඔහු කී ලෙසට එම උපාංගය අසලට වී ස්පැනරයත් අතට අරන් සූදානම්ව සිටියෙමි. නැවේ බ්රිජ් එකෙන් නිකුත් වූ සංඥාව ටෙලිග‍්‍රාෆයෙන් නිකුත් විය. ප‍්‍රධාන එන්ජිම යළි පණ ගැන්වූ ඉන්ජිනේරුවරයා එකවරම කලබල වී මට තට්ටු කරන ලෙසිින් සංඥා කළේය. මාහට කුමක් කරන්නද කියා සිතාගත නොහැකිවිය. එක වරම අසල සිටි ඔයිලර් ජයතිස්ස අයියා මා අත තිබූ ස්පැනරය උදුරාගෙන එකදිගට සිලින්ඩරාකාර කොටසට තඩිබාන්නට විය. දෙවන ඉන්ජිනේරුවරයා දිවවිත් නතරකරන්නට පවසනතුරු ඔහු එයට තට්ටු කරමින් සිටියා මතකය. පසුව දැනගන්නට ලැබුණ පරිදි මෙම සිලින්ඩරාකාර කොටසින් සිදුකරන්නේ එන්ජිම ක‍්‍රියාකරවන ස්ථානයේ වූ වේගය පෙන්නුම් කරන මීටරයට අවශ්‍ය සංඥාව ලබාදීමයි. එන්ජිම ඉදිරියට ධාවනය වෙද්දී එහි දෝෂයක් නොපෙන්වුවත් පසුපසට ධාවනය වන විට එය සමහර අවස්ථාවලදී හරිහැටි ක‍්‍රියානොකරයි. එයට පිළියමක් ලෙස කිහිපවාරයක් තට්ටු දැමූ විට නියමිත ලෙසින් ක‍්‍රියාත්මකවි වේගය පෙන්නුම් කිරිම සිදුකරයි. එතැන් පටන් මම සෑම විටම මෙම නෞකාව වරායකට පිවිසෙන හා පිටවන අවස්ථාවලදී ස්පැනරය ගෙන කුඩා සිලින්ඩරාකාර කොටසට තට්ටු දැමීමට සූදානමින් සිටින්නට පටන්ගතිමි. 

               නෞකාව ගාල්ල වරායෙන් පිටත් විය. ටිකෙන් දියඹට ඇදෙන නෞකාව ගොඩබිමෙන් ඇත්වෙමින් සිටියාය. රූමස්සල කදුවැටිය කුඩා වෙමින් දර්ශණපථයෙන් මිදෙන්න ආසන්නය. එන්න එන්නම මුහුද රළු ස්වභාවයක් ගෙන එන්නට වුනි. තද නීලවර්ණ මහා සාගරය සුදෝසුදු පෙන කැටි අහුරක් නෞකා බදේ හැපෙමින් නැංවන්නවුයේය. දෙපැත්තට පැද්දෙන බඩු කිසිවක් පටවා නොතිබු හිස් නෞකාව චන්ඩ මුහුදු රළට පැරදුනා සේය. ගාල්ලෙන් පිටත්වූ පළමු දිනයේ සුපුරුදු පරිදි මා ඇතුලූ තවත් කිහිප දෙනෙක් නැවේ ප‍්‍රධාන තට්ටුවට ඉහළින් වූ තට්ටුවක එළිමහනේ බිමට කාඞ්බෝඞ් කැබැල්ලක් දමාගෙන කිළිටි කොට්ටය හිසට තබාගෙන නිදාගන්නට ලෑස්ති වීමු. නැව පැද්දෙන බැවින් මා හට තිබූ විශාලතම බිය වූයේ පැත්තට රෝල් වී ගොස් නැවේ වැටට යටින් මුහුදට වැටේ යැයි සිතට නැගුනායිනි. නින්ද මා අහලකටවත් නොපැමිණියේය. අහස් තලේ කුඩා තරු කැට දෙස බලමින් සිටින මා හට නැවේ එන්ජිමෙන් ඇසෙන ඝෝරනාදයද දුම් බටයෙන් පිටවන දුමද සඳඑළියෙන් දිස්විය. නොනිදා රැය පහන්කල පසු දින මාගේ හිස බමන්නට විය. රාත‍්‍රියේ නිදිමැරීමෙන් වූ තෙහෙට්ටුවද නැවේ පැද්දීම නිසා ඇතිවු කෑම අරුචියද  නිසා උදේ කෑමවේල ගත්තේද නැත.

     ප‍්‍රධන ඉන්ජිනේරුවරයා උදේම වැඩක් ලෙසින් නැවේ ඉදිරිපස වූ හදිසි අවස්ථාවලදී යොදාගන්නා ජෙනරේටර් කාමරය (Emergency Generator Room) පිරිසිදු කරන ලෙසින් පැවරීය. පිරිසිදු කිරීමට අවශ්‍ය රෙදි කැබලි බාල්දියක් ඇතුලූ දේවල් රැගෙන නැවේ ඉදිරියට ගියේ හොඳින් වාත‍්‍රාශය ලැබෙන තට්ටුවේ රාජකාරිය වඩා හොඳ යැයි සිතමින්ය. එන්ජින් කාමරයේ පවතින තෙල් මිශ‍්‍ර වාත‍්‍රාශ‍්‍රය ආඝ‍්‍රහනය කළ විට බඩදගලා එන ඔක්කාරය නිසා තට්ටුවට වී සිටීමට ප‍්‍රිය කළෙමි. නැවේ ඉදිරිපස පැද්දීම වැඩි බව වැටහුණේ එහි වැඩ කරද්දීය. නෞකාවක් දෙපැත්තට පැද්දීම රොලිං (Rolling) ලෙසත් ඉදිරියට හා පිටුපසට පැද්දීම පිචිං (Piching) ලෙසත් හඳුන්වයි. මේ නෞකාව විටෙක රෝලිනුත් විටෙයක පිචිංනුත් සිදුවන්නේ බඩබොකු එළියට ඇද දමන්නට තරමේ සීසික් ඇතිකරවමින්ය. මෙම පැද්දීම වැඩි වෙත්ම කෙලින් සිටගෙන ඉන්නටත් නොහැකි කරමින් විසිවි යයි. පැවරූ වැඩ කොටසින් තුන්කාලක් නිම කිරීමට නොහැකිව දොර අසලට වී වාඩි ගත්තෙමි. හිස කැරකැවීම තවත් වැඩිවේගන එන්නට විය. ඔක්කාර ගතියක් දැනුණත් මා හට වමනය මෙතෙක් නොවීය. හිතට දිරිගත් මා කෙසේ හෝ මෙම වැඩය නිම කරනවා යැයි සිතා ගතිමි. ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා මාගේ වැඩ පරීක්ෂා කිරීමට එහි එන විටත් මා වැඩ කරමින් සිටියෙමි. ඔහු ඉමර්ජන්සි ජෙනරේටර් රූම් එක පරීක්ෂා කර බලා තවත් පිරිසිදු විය යුතු තැන් පෙන්වා පිටත්ව ගියේය.

            දහවල් කෑම මට රුචි නොවීය. මාගේ නාවික පුහුණු පාසලෙන් මෙම නැවට අනුයුක්ත කල දෙවන අවසන් වසරේ ආධුනිකයෙක් වු අප  බක සිල්වා නමින් හැදින්වු එබි වරයෙකු (AB - Able bodied Seaman) මා හට කිව්වේ මුහුදු වතුර පානය කළ පසු සී සික් (Sea sick) ගතිය පහව යනු ඇතැයි කියාය. එහෙත් මා ඔහු පැවසූ පරිදි මුහුදු ජලය පානය කිරීම බැහැර කළෙමි. කඞ්ඩා කෙසේ හෝ කෑම කන ලෙසත් බල කළේය. පිගාන අතට ගත් මා කටවල් දෙකක් පමණ අමාරුවෙන් මෙන් උගුරෙන් පහළට යවා ගතිමි. සවස තේ පානය සඳහා යළිත් නැවේ ඉදිරියේ සිට නැවේ පසුපස පුප් ඩෙක් (Poop Deck) එක වෙත පැමිණෙන විටත් මා සිටියේ අඩක් පණ නැතිවය. මා හට මුහුදු ජලය පානය කරන ලෙස පැවසූ බක සිල්වා
”ඔහොම ඉඳලා හරියන්නෙ නැහැ. සී වෝටර් ටිකක් බීලා බලපන්. මුහුදත් කැළඹිලා තියෙන එකේ බඩත් කැළඹුනාම ඔක්කෝම හරියනවා.”
ඒ වන විට වහ දුන්නත් බොන තරමට මා මානසිකවද ශාරීරිකවද තෙහෙට්ටු වී සිටියෙමි. ප්ලාස්ටික් ජොග්ගුවක් ගත් ඔහු කුඩා ලණුවක එය ගැටගසාගෙන එහාට මෙහාට යනු නැව පිටුපස වූ බොලාඩයක්  (Bollard) උඩ වාඩිගෙන සිටි මාගේ නෙතට අසුවිය.
”ආ මෙන්න මේක බොන්න.”
අඬක් පිරුණු මුහුදු ජලය සහිත ප්ලාස්ටික් ජොග්ගුව මා වෙත දිගු කළේය. දෙසැරයක් නොසිතා ඉන් උගුරු කිහිපයක් ගිල දැමු පසු
”ඔහොම බෑ ඔක්කොම බීලා දාපං.”
කට කොනකින් සිනාසෙමින් ඔහු කීවේය. 

     ගැලියේ සිටි  ස්ටුවඩ් (Steward) මා දෙස බලාගෙන සිටියේය. ඔහු මාගේ නාවික පුහුණු පාසලේ එකම බැච් එකේ අරුක්කැමි පුහුණුවන්නෙකු විය. ලුණු වතුර උගුරු කිහිපයක් අපහසුවෙන් බී ගත් මා ඉතිරිය මුහුදට හලාදැමුවෙමි. ඉන් බඩහි දැගලිල්ල අඩුවක් නොවුණත් සිතට ඔසුවක් වුනි. එන්න එන්නම නෞකාවේ පැද්දිල්ල වැඩිවෙයි. ඉදහිට මුහුදු රළ ප‍්‍රධාන තට්ටුව ආක‍්‍රමණය කරන්නට සැරසෙයි. මාගේ බඩ දගලා ඔක්කාරයට ඒම වැළැක්විය නොහැකිවිය. එකවරම උගුරට ගලා ආ වමනය ගන්වෝ්ල් (Gunwale) එකෙන් පිටතට ඔලූව දමා මුහුදට පිට කළෙමි. මෙතෙක් වේලාවක් අපහසුවෙන් තද කරන් සිටි වමනය පිටකිරිම මෙවර නවතා ගත නොහැකි විය. වමනයට යන්න බඩේ කිසිවක් තිබුනේ නැත. මේ එන ඔක්කාරයට බොකු බඩවැල් සියල්ලද ගැලවි යන්නට මෙනි.  කඞ්ඩා පැමිණ මාගේ පිට අතගාන්නට පටන්ගත්තේය. කිහිප වාරයක් ඔක්කාර කල පසුව අමාරුවෙන් වමනය නතරකරගන්නට හැකිවිය. ටික වේලාවකින් ස්ටුවඞ් ගැලියෙන් එළියට පැමිණ,
”අරූ බක සිල්වා මූට බොන්න දුන්න සී වෝටර් අරන් ආවේ ටොයිලට් එකෙන්” යි කීවේය.
එය ඇසූ වහාම අපහසුවෙන් නතරකරගත් වමනය යලිත් ආරම්භවුයේ ඇතිවු අප‍්‍රියාව හේතුවෙනි. මෙවැනි කැඩා නෞකාවන් වල පිරිසිදු ජලය ගබඩාකර තබාගන්නා ටැංකි විශාල නොවන නිසා වැසිකිලිවල පාවිච්චිය සඳහා වූයේ මුහුදු වතුරයි. මුහුදු වතුර පාවිච්චිය මා හට එතරම් ප‍්‍රිය වූයේම නැත. වැසිකිලියේ වූ කරාමයෙන් මුහුදු වතුර ගෙනවිත් මා හට පෙවූ බව මතක් වෙන වාරයක් පාසා වමනය යෑම නතරකරගන්නට හැකිවුයේද නැත.

සයුරේ ආ මඟ 

පළමු කොටස - පැද්දෙන පොල් ලෙල්ලක් - සයුරේ දසවසක්   



අටුවාව 

බෝට් ඩෙක් (Boat Deck)  ජිවිතාරක්ෂක යාත‍්‍රා / බෝට්ටු රදවා තැබෙන නැව් තට්ටුව (a ship's upper deck on which lifeboats are stored)

ඩෙක් හෙඞ් (Deck Head) නැව් තට්ටුව යට පැත්ත  (A Deckhead is the underside of a deck in a ship. It bears the same relationship to a compartment on the deck below as does the ceiling to the room of a house.)


ස්ටෑන්ඞ් බයි (Stand-by) නෞකාව පිටත් විමට පෙර සුදානම් විම 
 
ටෙලිග‍්‍රාෆය (Telegraph)  නෞකාව පදවන ස්ථානයේ සිට එන්ජින් කාමරය හා නැවේ වේගය සදහා සංඥා  හුවමාරුව කරගන්නා උපකරනයක් (An engine order telegraph or E.O.T., also referred to as a chadburn, is a communications device used on a ship (or submarine) for the pilot on the bridge to order engineers in the engine room to power the vessel at a certain desired speed.)



ඩෙඞ් ස්ලෝ එහෙඞ් (Dead slow ahead) නෞකාව බොහෝම සෙමින් ඉදිරියට ගමන් කිරිම

සී සික් (Sea sick)  මුහුදේ ගමන්කිරිමේදි පැද්දිම නිසා ඇතිවන  වමනය (The signs and symptoms of motion sickness usually begin with a feeling of uneasiness followed by cold sweats and dizziness. Some people may exhibit pale skin and increased saliva production along with headache and fatigue. Nausea and vomiting usually occur after these initial symptoms.)

පුප් ඩෙක් (Poop Deck)  නැව පිටුපස තට්ටුව 

බොලාඩයක්  (Bollard)  නැව හි කඹගෙට ගැසිම සදහා ඇති කෙටි යකඩ කනුව 


ගන්වෝල් (Gunwale) නැවක නැව් තට්ටුවෙන් ඉහලට එසවුනු පැති බද-the upper edge of a ship's or boat's side 

 

කොට රංජිගේ කුකුල් කේන්තිය - සයුරේ දසවසක් - 7

                    එක් නෞකාවක් කොළඹටත් අනෙක කන්කසන්තුරයටත් බලා යාත‍්‍රා කලේ අප ගාල්ලේ තනිකරවමින්ය. ඉන් තෙදිනකට පසුව අප නෞකාවද ති‍්‍රකුණාමලය...