Tuesday, April 27, 2021

හෝරස්ගේ දරුවා - නමවන දිගහැරුම Son of Horus - 9

 


වේගය පාලනය කරගත නොහැකිවුනු පිම්මේ ආ හොර හරක් පවාගත් ලොරියක් ගුණසිරිගේ වෙළද සැල තිබූ නිවසේ ගේට්ටු පලු සුනු විසුනු කරමින් එතැන රැදි හුන් ගුණසිරිද තලා මිරිකා දමා මිදුල මැද තිබූ අඹ ගසේ හැපී නතරවී තිබුනි. තම පියාගේ අවසන් කටයුතු සදහා ලංකාවට ආ අසේල හා අමිලද තීරණය කළේ තමන් කවුරුත් ලංකාවේ නොසිටන බැවින් ඔවුන්ගේ රටට අම්මාව රැගෙන යාමයි. වයලට් එකහෙලාම විරුද්ධවූවත් ගුණසිරිගේ පාර්ශවයේ ඥාතින්ගේ බලවත් ඇවිටිල්ලද හේතුවෙන් පසුව ඈ එයට එකඟත්වය පලකළාය. මාසයක් පමණ ලංකාවේ රැඳී සිටි ඔවුන් යළිත් ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව ගියේ පියාගේ තුන්මාසයේ පින්කම වන විට ලංකාවට පැමිණ ඇයව රැගෙන යළි එම රටට පිටත්වීමේ බලාපොරොත්තුව ඇතිවය. වයලට්ට ඔස්ටේ්‍රලියාවට යෑමට අවශ්‍ය පාස්පෝට් හා වීසා ඇතුලු අනෙකුත් රාජකාරි සියල්ලක්ම භාරවූයේ ගුණසිරිගේ ඥාති පියරත්ත ඉස්කෝලේ මහත්තයා වෙතටය.

“පියරත්න මහත්තයෝ අපේ මනුස්සයාගේ කඩේ බඩු මුට්ටු වලට මක්කයි කොරන්නේ? මේ ඩිංගට එළියේ තිබ්බ එව්වානං උස්සාන ගොහිං කියන්නේ. මහත්තයා මළාට පස්සේ තිලකරත්නයා ඉන්ට බැරිය කියලා නතරවුනායින්නේ හොරු බඩු උස්සාන යන්ට පටන්ගත්තේ.”

“ඒක තමයි මමත් කල්පනා කළේ වයලට් අක්කේ.”

“මේ පැත්තේ පරණ බඩු කඩකාරයෝ ආවා මහත්තයාගේ බඩු ඉල්ලන්. මම කීවා පියරත්න මහත්තයාගෙන් අහන්ටය කියලා.”

“ඒක හොඳයි අක්කේ මගෙන් කිහිපදෙනෙක්ම අහගෙන ආවා ඒත් මම හරි උත්තරයක් දුන්නේ නැහැ. උන් බලාපොරොත්තුවෙන්නේ කුණුකොල්ලෙට මෙව්වා ගන්නයි.”

ඒත් මෙහෙම කඩේ වහලා තියෙන එක හොඳයැ? ගෙවල් අයිතිකාරයොත් මගෙන් ඇහැව්වා.”

“මාත් කල්පනා කළේ මේ සාප්පුව තියෙන ගෙදර ඉක්මනටම අයිතිකාරයන්ට පවරන්න තමයි. ඊට ඉස්සර මේ බඩුටික විකුණලා දාමු.”

“අපේ මහත්තයා ඔය කඩේට වැදිලා කොළේ හම්බුකරපු එක විතරයි නෙවැ. පිං අතේ වැඩ කළානං ඔය විදිහට මරණයක් සිද්ධවෙන්නේ නැහැ නොවැ.“

ඇය කිමෝනාවේ අතින් දෑසට උනා ආ කඳුළු බිඳුවක් පිසදාගත්තාය. 

“මම දන්න මහත්තයෙක් ඉන්නවා කොළඹ බඩු වෙන්දේසි කරන. අපි එයාට කියමු මේ බඩු ගැන. එයාගෙන් උපකාරයක් ගන්න ඇහැකිවෙයි. අපිට මේ සුමානේ කොළඹ යන්න තියෙනවානේ, පාස්පොට් කන්තෝරුවටයි ඇම්බසි එකටයි. ඒ ගමන්ම අපි එයාවත් මුණගැහෙන්න යමු.” 


පියරත්න සමඟින් කොළඹ ආ වයලට් බත්තරමුල්ලේ පිහිටි සුප්‍රකට වෙන්දේසිකරුවෙකුවූ ස්ටැන්ලි වික්‍රමපාල මහතාගේ නිවසට ගොඩවැදුනේ කලින් කරන දැනුම්දීමෙන්ය. අඩි පහක් පමණ උසැති මඳ ස්ථුල ශරිරයක් හිමි ස්ටැන්ලි වික්‍රමපාල පියරත්නගේ පාසල් සමකාලීනයෙකි. තවමත් අවිවාහකව දිවිගෙවන ඔහු තම දෙමහල් නිවසේ ඉහළ මාළයේ පදිංචිව සිටින අතරම පහළ මාලය යොදාගත්තේ වෙන්දේසි කිරීමට නියමිත බඩු භාණ්ඩ රඳවා තබාගන්නා ගබඩාවක් ලෙසින්ය. විශාල තාප්පයකින් වටවූ එම නිවසේ ඉදිරිය රෝලර් ෂටර් ගේට්ටුවකිනුත් පසෙකින් කුරුබිලියක්වන් කුඩා ගේට්ටුවත් ඇරෙන්නට කිසිවෙකුටවත් එම නිවසත් මිදුලවත් පෙනෙන්න හැකි නොවීය. විදුලි බොත්තම ඔබා ඔවුන් ගේට්ටුව ඇතුලු පැත්තේ මුරකුටියේ හුන් සිකුරිටිකරුවාට දන්වා නිවසට ඇතුලුවුනි. ස්ටැන්ලිගේ ඉහල මාලයද යම් යම් බඩුමුට්ටු වලින් පිරි තිබුනු අතර වටිනා බඩු තැන්පත්කර තැබීමට විශාල සේප්පු දෙකක්ද වෙනම කාමරයක රඳවා තිබුනි.

“ආ පියරත්න ගිය සැරේ ඔයා මාව මුණගැහෙන්න ආවා කියලා පණිවිඩේ මට ලැබුනා. මම ඒ දවස්වල ගියා පිටරට චිත්‍ර වෙන්දේසියකට. කෝ ගාල්ලට ආවත් මට ඉස්පාසුවක් නැහැනේ ඔයාව බලලා යන්න මේ වැඩ ගොඩ අස්සේ.”

“මිනිස්සුන්ට වැඩ රාජකාරි බහුලවෙනකොට එහෙම වෙනවා නේ.”

”ඔයා අද එනවා කිව්ව නිසා මම අද උදේ ඉඳලා බලා උන්නා. ඉතිං පියරත්න මොකද්ද හදිසිය.”

“මේ ඉන්නේ මගේ අක්කා කෙනෙක්. අර මේ ළඟදි හික්කඩුවේ හොර හරක් පටවපු ලොරියක් ඇන්ටික් සාප්පුවක් කඩාගෙන ගිහිල්ලා එක්කෙනෙක් මළේ.”

“ඔව් මම පත්තරේ දැක්කා. ඉතිං.”

“ඒ මේ අක්කාගේ මහත්තයා තමයි නැති වුනේ.”

“ඕ අයි සී.”

ස්ටැන්ලි තම නළල රැළි වට්ටා ගත්තේය. 

“එයාගේ සාප්පුව කරගෙන යන්න කෙනෙක් නැහැ. මෙයාලගේ පුත්තු දෙන්නාම ඉන්නේ රට. මේ අක්කාත් එහෙට ගෙන්නගන්නයි පුතාලා හදන්නේ. ඉතිං ස්ටැන්ලි අපේ ගුණසිරි අයියාගේ සාප්පුවේ තියෙන බඩුටික විකුණලාදාන්නයි අක්කා හදන්නේ මම ආවේ ස්ටැන්ලිට පුළුවන්නම් හොඳ මිලකට අයියාගේ බඩුටික අරගන්න කියන්නයි.”

ස්ටැන්ලි ටික වේලාවක් නළල කැසුවේය. 

“බඩු ගොඩාක් තියෙනවාද?”

“ගොඩාක්නම් නැහැ ඒත් වටිනා ඒවා තියෙනවා. ඒ පැත්තේ ඇන්ටික් බඩු වෙළෙන්දෝ අක්කාට වෙළදාම් කරන්න බැරි විත්තියත් රට යන විත්තියත් දන්න නිසා ඒවා කුණුකොල්ලේට තමයි ඉල්ලනනේ.”

“මේකයි පියරත්න ප්‍රශ්නේ. මට දැන් බඩු ගෙනවිත් තියන්න තැනක් නැති එකයි. ඔයලා දකින්න ඇතිනේ මගේ ගබඩාවත් ගෙදරම විත්තිය. මේවා පිට තැනක තියන්න බෑ ආරක්ෂාව මදි නිසා. පේනවා නේද බඩුවලින් පිරිලා. ලබන මාසේ මගේ වෙන්දේසි දෙකක් තියෙනවා ඒ නිසා බඩු අඩුවෙනකං මම තීරණය කරලා හිටියේ තවත් බඩු ගන්නේ නැහැ කියලා. ඒත් කමක් නැහැ පියරත්න නිසා ඇවිල්ලා බලන්නම්.”

පියරත්න ස්ටැන්ලිගෙන් සමුගත්තේ ඔහුට පැමිණීමට දිනයක්ද ලබාගෙනයි. ස්ටැන්ලි පැමිණීමට පෙර පියරත්න විසින් එම බඩුභාණ්ඩ යළිත් ලැයිස්තුගතකළේය. ගුණසිරි විසින් ලියන ලද අදාළ බඩුභාණ්ඩ ලබාගත් තැනැත්තා, තමා විසින් අදාළ බඩුභාණ්ඩ විකුණු තැනැත්තා ආදී අනෙකුත් විස්තර සටහන් කර තිබූ පොත, එම භාණ්ඩ වලට මිල නියම කිරීමට විශාල පිටිවහලක් ලබාදුන්නේය. කතාබස් කරගත් පරිදි ස්ටැන්ලි වික්‍රමපාල හික්කඩුවේ ඇන්ටික් සාප්පුවට පැමිණියේ භාණ්ඩ පරික්ෂා කිරී මටය. 

“පියරත්න මේකේ බඩු ගොඩක් තියෙනවානේ?”

“ඔව් මමත් හිතුවේ බඩු ටිකයි කියලා දැන් බලනකොට මෙයා මැරෙන්න දවස් දෙක තුනකට ඉස්සර බඩු තොගයක්ම අරගෙන ඇවිල්ලා තියෙනවා.”

“බොරු කියන්න අවශ්‍ය නැහැ පියරත්න මෙතන ගොඩක් හොඳ තත්වයෙන් තියෙන බඩුයි තියෙන්නේ. ඒ නිසා මේ බඩුවල වටිනාකම වැඩියි. සමහර ඒවා වැඩිය වටින්නේ නෑ.”

“ස්ටැන්ලි කැමති විදිහක් කියන්න.”

“හොඳයි පියරත්න මම බඩුටිකම අරගන්නම්. මම හොඳ ඒවා විතරක් අරගෙන වටින්නේ නැති ඒවා විතරක් මෙහේ දාලා යන එක හොඳ මදි. ඒ නිසා කල්පනා කරලා ඔක්කෝටම හොඳ සාධාරණ මිලක් කියන්නම්.”

දින දෙකකට පසුව වික්‍රමපාල සියලු බඩුභාණ්ඩ ඇන්ටික් සාප්පුවෙන් අස්කරගෙන බත්තරමුල්ලට ගෙනගියේ පියරත්න අපේක්ෂා කල මිලට වඩා වැඩි මුදලක්ද ගෙවමින්ය. සාප්පුව තිබූ නිවෙස යළි අයිතිකරුවන්ට පැවරූ පියරත්න ගුණසිරිගේ තුන්මාසයේ බණ හා දානමය පින්කම හොඳින් සිඳුකරලීමටද උදව් උපකාර කළේය. පින්කමෙන් පසුව අසේල හා අමිල වයලට්වද රැගෙන ඔස්ටේ්‍රලියාවට පිටත්වී ගියේය. 



     හික්කඩුවේ සිට ගෙනෙන ලද භාණ්ඩවල විස්තර අඩංගු ගුණසිරිගේ වාර්තා කියැවූ ලිපිකාරිණි වත්සලා වහා පහත මාලයට බැස්සේ ස්ටැන්ලි මහතාගේ ආවතේවකරු ශාන්ත හමුවීමටය. වැඩි උගත්කමක් නොමැති පුද්ගලයෙකුවූ ශාන්ත මේවන විට සිටියේ නවතම භාණ්ඩ තොගයේ වර්ගීකරණ හා ලේබල් කිරීමේ කටයුතුවල නියැලෙමෙන්ය.

“ශාන්ත අයියේ ඔයා මෙතන අමුතු හැඩයක් ගත්තු භාජනයක් තියෙනවා දැක්කාද?”

“ඇයි මොකකටද?”         

“බලන්න එහෙම එකක් තියෙනවාද කියලා.” 

“භාජන නම් ගොඩක් තිබුනා. ඔයා ඔය කියන්නේ මොන විදිහේ එකක් ගැනද? මොකකටද අමුතු භාජන හොයන්නේ ගෙදර බත් උයන්නද?”

“ශාන්ත අයියේ මේක විහිළුවකට ගන්න එපා. මේක ගුණසිරිගේ රෙකෝඩ්ස්වල තියෙන විස්තර අනුව නම් හුඟාක් වටින එකක්.”

“ඔය භාජනේ මොනවාගේද?”

“මමත් මීට ඉස්සර දැකලා නැහැනේ කොහොමද දකින්නේ නැතිව කියන්නේ? විස්තරේට අනුව නම් ඒකට මුණක් වගේ හැඩයක් ගත්තු පියනක් තියෙනවා. ඔයාට මතකද ඒවගේ එකක් මෙතනට ගෙනාවා කියලා.”

“මට ළාවට වගේ නිච්චියක් තියෙනවා මෙහෙට අරගෙන ආවා වගේ. අපි හොයලා බලමු.”

“ආ මේ තියෙන්නේ ඔයාගේ අතිශය වටිනා මැටිගොඩ.”

“බලන්න මේක දිහා ඔයා මේවගේ අමුතු බුජමක් මීට ඉස්සර දැකලා තියෙනවාද? මේකේ හැඩයේ වෙනසකුත් පේනවානේද?”

“ඔයා කියනකම් මට ඒක තේරුනේ නැහැ. ඇත්ත තමයි මම මේවගේ එකක් දැක්කමයි.”

“මේක ලැබිලා තියෙන්නේ මුහුදේ යට තිබිලා කියලා ඒ මනුස්සයා එයාගෙ රෙකෝඩ් බුක්එකේ නෝට් කරලා තියෙනවා. මටනම් පේන්නේ මේක හුඟක් වටිනා එකක් වගෙයි.”

“මුහුදේ යට තිබිලා ගොඩට ගත්තු පළියට වටිනාකම් වැඩිවෙනවාද? මේක නිකම් මැටි භාජනයක් විතරයිනේ.”

“ශාන්ත අයියේ ඔයා සර්ගේ ඇසිස්ටන්කමටනම් හරි යන්නේ නැහැ. ඔය වාගේ මෝඩ කතා සර්ට ඇහෙන්නනම් කියන්න එපා. මේක අතන මෙතන තියන්නේ නැතිව සර්ගේ වටිනා බඩු තියෙන සේප්පුවෙන් වත් තියමු.”

“ඔයාට පිස්සුද වත්සලා ඒකේ දාලා බැනුම් අහන්න වෙයි. එයා මේ බඩු ලෝඩ් එකම ගත්තේ එච්චර කැමත්තකින් නෙමෙයි. එහෙට ගියෙත් යාළුවාට බැරිය කියන්න බැරි නිසයි.”

“හරි හරි ඔයා බය නැතිව ඉන්න මම ඒක බලාගන්නම්කෝ. ඔයා මේක එතනින් තියන්නකෝ.”

වත්සලාගේ බලවත් ඇවටිල්ල මත ශාන්ත උඩු මහලේ විශේෂිත වටිනා භාණ්ඩ ආරක්ෂා ඇතිව තබන සේප්පුවේ එය රැදවීය. එදින වෙනත් ව්‍යාපාරික කටයුත්තකට සහභාගිවී සිට නිවසට පැමිණි ස්ටැන්ලිට වත්සලා විසින් අලුත් භාණ්ඩවල තක්සේරු වටිනාකම් ගුණසිරිගේ වාර්තාව සමඟින් සංසදනාත්මකව විග්‍රහ කළාය.



“සර් මේ බඩු එක්ක ගොඩාක් වටිනා එකක් බව පෙනෙන විශේෂ එකක් තිබුනා. ඒක මං උඩ කාමරේ සේප්පුවේ දැම්මා.”

“ඒ මොකක්ද?”

“එන්න සර් මම පෙන්නන්නම්.”

වත්සලා සේප්පුව විවර කර බඳුන පෙන්නුවාය. පරිස්සමින් එය අතට ගත් ස්ටැන්ලි එය වටේට කරකවමින් පරික්ෂා කරන්නට විය.

“ඔයා කිව්වා හරි මමත් මේවගේ එකක් දැක්කාමයි. මොකද්ද මේ පියන උඩ තියෙන්නේ ඔලුවක්ද?”

“මටත් හිතෙන්නේ ඒක ඔලුවක් වාගේ. මේක හුගක් කල් මුදේ තිබිලා විනාශ වෙලා හින්දා මොනවාගේ මුණක්ද කියලා හිතාගන්න බැහැ.”

“වට්? මූදේ තිබිලා? කවුද කිව්වේ?”

“ඇයි සර්, සර්මනේ ගෙනාවේ ගුණසිරිගේ රෙකෝඩ් බුක් එක. එයා ඒකේ ලියලා තියෙනවා මේ ගැන විස්තර. මේක හුඟාක් වටිනා එකක් කියලත් තියෙනවා.”

“ගුඩ් වර්ක් වත්සලා වෙරි ගුඩ්. එහෙනම් ශාන්තට කියලා මේකේ ඈන්ගල් කිහිපයකින් ෆොටෝස්  අරගෙන අපේ වැලියුබල් අයිටම් ෆයිල් එකට දාන්න.”

ස්ටැන්ලි කාමරයෙන් එළියට එන ගමන් යම්කිසිවක් මතක්වූ කලෙක මෙන් නැවතී ආපසු හැරී බැලීය.

“වත්සලා මටනං හිතෙනවා මේක කවුරු හරි භුතයෙක්වත් බන්ධනය කරලා මූදට විසික්කරපු එකක්ද දන්නේ නැහැ.”

“එහෙනම් සර් ඕකෙන් ඇලඩින්ගෙ කතාවෙ වගේ භූතයෙක් මතුවෙයිද දන්නේනෑ.”

“එක තමයි, කෝකටත් අද රෑට මම ඕක ටිකක් අතුල්ලලා බලන්න ඕනේ.”

කී ස්ටැන්ලි කොක්හඬලා සිනාසෙමින් පහතමාලයට බැස්සේය.

“ශාත්ත අයියේ ඔයානම් මාර බය ගුල්ලෙක් තමයි. ඔන්න සර්ට කිව්වා මම අරක සේප්පුවෙන් තිබ්බා කියලා. ආ ඒක නෙමෙයි සර් කිව්වා මේ බුජමේ ෆොටෝස් ටිකක් අරගෙන ෆයිල් එකට දාන්න කියලා. මතක ඇතිව වෙනස් ඈන්ගල්ස් වලින් අරගන්න.”

“හොඳමයි මැඩම්.”       

ශාන්ත සිනාසෙමින් පැවසීය. පසුදිනම ශාන්ත විසින් ලබාගන්නා ලද බඳුනේ පින්තුර ස්ටුඩියෝවක් මඟින් මුද්‍රණය කර වත්සලාට ලබාදුනි. 

“සර් මේ ෆොටෝස් ටික හොඳද?”

“කෝ බලන්න. ම්... හොඳයි ඒත් ටිකක් තව ශාප් වුනානං තමයි වඩාත් හොඳ. මේකෙ තියෙන අකුරු හොඳින් පෙනෙන්නේ එතකොටයි.”

“අපිත් ට්‍රයි කළා සර්. මේක වතුරේ තිබ්බ නිසාද කොහෙද ගොඩාක් අකුරු මැකිලා ගෙවිලා ගිහිල්ලා. අනික අපේ තියෙන කැමරා එකෙන් ගොඩාක් ශාප්කරලා ගන්න බැහැ.”

“කමක් නැහැ වත්සලා. දැනට මේ ඇති එහෙම ඕනේ වුනොත් අපි ස්පෙෂලි ස්ටුඩියෝ එකකට ගෙනහිල්ලා හොඳ ශාප් ෆොටෝස් ටිකක් අරගනිමු.”

“සර් මේක ළඟදි කරන වෙන්දෙසියට දාමුද?”

“එපා එපා මේක ටික දවසක් මා ළඟ තිබුනාදෙන්. මේ ගැන ටිකක් හොයලා බලන්න ඕනේ. ඒ විස්තර එක්කම මේකේ වටිනාකම වැඩිකරගන්න පුළුවන්. අර බෙරලියන්තු මාලයි මුතු මාල ටිකයි එක්කම පරණ බඩු වගයක් තිබුනේ නිධානයකින්ද කොහෙද ගත්තු, ඒවාත් එක්කම අපේ ස්පෙෂල් ඔක්ෂන් එකකටම දාමු.”

“එතකොට මේ චිත්‍ර ටික?”

“ඔව් ඒවාත් ඒකටම දාමු.”

“ඔයා ඒ අනෙක් වැලියුබල් අයිටම්වල ෆොටෝස් අරගෙන ෆයිල් කරන්න. ඔක්ෂන් එක රෙඩිකරද්දි මට ඒවායේ ඩිටේල්ස් ඕන වෙනවා. සමහරවිට මේක පිටරටකදි කරන්න සිද්ධවෙයිද කියන්නත් බැහැ.”   

“ඇයි ඒ සර්?”

“මෙහෙට වඩා වැඩි මිලකට අපිට ඔක්ෂන් කරන්න පුළුවන්නේ. අනිත් කාරණේ තමයි අපි ළඟ තියෙන සමහර වැලියුබල්ස් මෙහේ ඔක්ෂන් කරන්න පුළුවන් විදිහේ ලීගල් දේවල් නෙවෙයි. දැන් මේ බුජම වුනත් පුරාවස්තුවක් නම් ඔක්ෂන් කරන්න තහනම්නේ.”

“එහෙනම් කොහොමද සර් මේවා වෙන්දේසිකරන්නේ?” 

“ඔය ළමයා මගේ ගාව වැඩට ඇවිල්ලා වැඩි කාලයක් නැති නිසා මේකේ අගක් මුලක් තේරුමක් දන්නේ නැහැ. අපේ ඔක්ෂන් වලට එන්නේ සාමාන්‍ය මහජනතාව නෙමෙයිනේ. ඔය පොඩි මිනිස්සු දන්නේ නැහැ මේ පුරාවස්තු ඉහළ මිලකට වෙන්දේසිවෙනවා කියලා. අනික ඉහළ පැලැන්තියේ අය මේවා මාධ්‍යට ලීක් කරන්නෙත් නැහැ. අපේ පොලිටීෂන්ෂ්ලාගේ උදව් උපකාරවලින් තමයි මේවා වහගෙන කරගෙන යන්නේ. දැන් තේරුණාද? මම මේ කියපුවා කීයටවත් ඔයා පිටට කීම තහනම් හරිද?”

“ඔව් සර් මට තේරුණා.”

මතුසම්බන්ධයි


Monday, April 19, 2021

හෝරස්ගේ දරුවා - අටවන දිගහැරුම Son of Horus - 8

 


වැස්ස එකසීරුවට ඇදහැලෙන්නට ගත්තේ තද කරගෙන හිටි සියලු දුක්ඛදෝමනස්සයන් පිටකරන්නට සැරසෙනවා මෙනි. තහඩු මඩුවේ ටකරං උඩට වැටෙන වැහිබිංදු විශාල ගෝසාවක් නගමින් බිමට ඇඳවැටී ගමන් කළේ දෙපාවලට පෑගී පොඩිවුණු තණබිස්සේ දුඹුරු පැහැ මඩකඩිති සාදමින්ය. තවත් එල්ලීගෙන ඉන්නට බැරියැයි කියන්නාක් මෙන් සිටින විවිධ ආයතන වලින් එල්ලු සුදු පැහැති ශෝක ප්‍රකාශ බැනර් තෙතබරිත කඩා හැලෙන්නට ආසන්නය. හිරිකඩට තෙමෙමින් බුලත් හෙප්පුවේ මඳක් වියලුනු අනිත් පැත්ත හැරවූ බුලත් කොළ හා පුවක් කැබිලි කිහිපයක් තහඩු මඩුවේ ප්ලාස්ටික් පුටු ගොඩක් මැද තනිව තිබුනි.

 දුක්දෝමනස්සයන්ට මෙන්ම දැඬි ආකෝෂ පරිභවයන්ට දෘඩ ලෙසින් මුහුණ දුන් සුචිත්‍රා එළිපහළියට නොබැස කාමරයතුළටවී කල් ගෙව්වාය. උපනන්දගේ හත්දොහේ දානය ඉවරවූයේ ඊයේය. නෑ මිත්‍රාදීන්ගෙන් තොරව ගිය නිවස පුරා පැවතියේ දැඬි නිශ්බ්දතාවයකින් පිරි පාළුවකි. කාමරයෙන් එළියටබට සුචිත්‍රා පහත මාලයට ආවාය. ඈ ඉස්තෝප්පුවට වී හිස් බැල්මෙන් ඇඳවැටෙන වරුසාව දෙස බලාසිටියේ කිසිඳු අරමුණකින් තොරවය. එදා අලංකාරව තිබූ ගෙමිදුලේ මල්පාත්තිත් තණබිස්සත් යකා නැටු පිට්ටනියක් සේ අවුල්ව ගොසින්ය. සුචිත්‍රාට උපනන්ද කෙතරම් ජනප්‍රිය පුද්ගලයෙක්දැයි වැටහුනේ ඔහුගේ අවමගුලට ආ සෙනග කන්දරාවට පෑගී පොඩිව ගොස් තිබූ තණපලස දුටුවිටය. ඔහු සිහිවී ආ ඇඬුම පිටවීමට නොදී ඈ යටිතොල තදින් සපාගත්තාය. ඈට නොදැනීම තරප්පුපෙළ පාමුල බිම දෙස බැලුයේ එකවරමය. උපනන්ද ලේ ගලමින් තරප්පු පෙළ පාමුල වැතිර හුන් අයුරු ඇගේ නෙත් අබියස මැවී පෙනෙන්නට විය. නෙත් කෙවෙනි තුළ මෝදුවූ කඳුළුකැට ඇද හැලෙන්නට වූයෙන් ඈ දෑතින්ම මුහුණ වසාගත්තාය. තවදුරටත් සාලයේ රැඳීසිටීමට නොහැකිව ඕ තරප්පුපෙළ නැඟ ඉහළ මාලයේ නිදන කාමරය වෙත දිව ගියාය. උපනන්දගෙන් ලැබුනු රැකවරණය ගිලිහීගොස් දැඬි නිහඬ බවකින් පිරුණු මේ නිවසේ තමා තනිවී ඇතිබවක් ඇයට වැටහුනි. ඇය ඇඳේ වැතිර ඉකිගසමින් ඇඬුවාය. භූමදානය අවසන හත්දොහේ බණත් දානයත් අවසන්වනතෙක් ඉවසාගෙන සිටියේ බොහෝ අමාරුවෙන්ය. සියලු ඥාතින්ගෙන් සුචිත්‍රාට ලැබුනේ අනුකම්පාව නොව ඇනුම් බැනුම් හා කොන් කිරීම්ය. සියල්ලන්ම ඈ දෙස බැලුයේ මිනීමරු අපරාධකාරියක දෙස බලන්නාක් මෙනි. ඒ නිසාවෙන් ඈ මහත්සේ පීඩාවට පත්ව නිරතුරුව හිසේ රුදාවකින් පෙලෙන්නටද විය. අනෙකුත් යහළු යෙහෙළියන් සියලුදෙනා ඈ අතහැරගොස් සිටියදි ෂෙරිල් පමණක් ළඟින්ම සිට මානසිකව කඩානොවැටුණු සුවිත්‍රා ගේ ආත්ම විශ්වාසය යළි ගොඩ නගාගැනීමට යෝධ ශක්තියක් වූවාය.

උපනන්දගේ මරණයට අඳාළ සියලු සැකකිරීම් ඩේමියන් වෙත එල්ලවූයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ ඔහු තම ඉහළ සබදතා යොදාගනිමින් දින දෙකකින් පමණ ඇපපිට නිදහස්වීමට හැකි වූයේය. එසේ ඩේමියන් ඇපපිට නිදහස් වීමෙන් පසු සුචිත්‍රා මුණගැසීමට හෝ අවම වශයෙන් ඇමතුමක්වත් දීමටවත් උත්සාහකළේවත් නැත. සුචිත්‍රාහටද පොලිසියේ සැකමුසු බැල්මෙන් මිදීමට නොහැකි විනි. ඈ පොලිසියේ අතොරක් නැති ප්‍රශ්න කිරීම්වලට ඉතා අසීරුවෙන් මුහුණ දුන්නේ ඔවුනගේ අවඥාවටද ලක්වෙමිනි. දහවල් වනවිට වැස්ස තුරල්වී තිබුනි. මිදුලේ සවිකරතිබූ තහඩු මඩුව හා ප්ලාස්ටික් පුටු පටවාගෙන යාමට ආ ලොරිය මිදුලට ගන්නා හඬ ඇසී සුචිත්‍රා අවදිවිය. ඇය කාමරයෙන් එළියට ආවේවත් නැත. 

“නෝනා අර මඩුවයි පුටු ටිකයි අරගෙන යන්න ඇවිල්ලා.” 

මාටින් පැමිණ ඇයට  සැලකර සිටියේය.

“අරගෙන යන්න කියපන් මම ඒවාට සල්ලි ගෙවලා තියෙන්නේ.”

ඇය මාටින්ව ගණනකට නොගෙනම පැවසීය. ඇයට ෂෙරිල් හැර කිසිවෙකු විශ්වාස කළ නොහැකි විය. 

එයට තදින්ම බලපෑවේ නිවසේ හුන් මාටින් හා තංගම්මාද ඈව නුරුස්සනා ලෙසින් හැසිරීමය. සුචිත්‍රා ෂෙරිල්ට ඇමතුමක් දුන්නාය.

“අනේ ෂෙරිල් මට තවත් මේ ගෙදර ඉන්න බැහැ. මේ ගෙදර හරිම පාළුයි. තංගම්මාත් මාටිනුත් මාව ගණන් ගන්නේ නැහැ. සාලේට එන්න බැහැ උපේ බිම වැටිලා හිටිය හැටි මැවිලා පේනවා. මං මහ පව්කාරියක් ෂෙරිල්.”

ඈ සිතේ සිරකරගෙන සිටි සියල්ල එකවරම ෂෙරිල්ට කියා දැමුවාය.

“සුචිත්‍රා දැන් ඔය ඔක්කෝම සිද්ධවෙලා ඉවරයිනේ. ඔයා දැන් ඒ ගැන නොහිතා ඔක්කොම අමතක කරලාදාන්න උත්සාහකරන්න.”

“කොච්චර අමතක කරන්න හැදුවත් ඒක කරන්න බැහැ. මම කරපු පව් නිතරම සිහිවෙනවා.”

“ඔයා ඒක අමතක කරන්නම වෙනවා නැත්නම් ඔයා ළඟදිම ලෙඩ වෙනවා.”

“ඒක නෙමෙයි ෂෙරිල් ඔයාට ඩේමියන් කතා කළාද?”

“නෑ සුචිත්‍රා.”

“එයාත් එදායින් පස්සේ මට කතා කළේවත්, මගේ කෝල්ස්වලට ආන්සර් කරන්නේවත් නැහැ. එයාට මොනවා හරි වෙලාද?”

“ඇයි ඔයා එයාට කතා කරන්නේ? එයාට මීටපස්සේ කතාකරන්න යන්න එපා.”  

“ඇයි ඒ?”

“ඇයි කියන්නේ දැනටමත් පොලීසිය සැකකරලා තියෙන්නේ ඔයලා දෙන්නා එකතුවෙලා උපනන්දව මැරුවා කියලා. ඒ නිසා දැනට ඩේමියන් එක්ක සම්බන්ධකම් තියාගන්න එපා.”

“ඒත් ෂෙරිල් එයා මට ටිකක්වත් ආදරයක් තිබුනානං කෝල් එකක් දෙන්න තිබුනා නේද? මම මෙච්චර ගින්දරක් උහුලාගෙන ඉන්නවා කියලා එයාට අමතක උනාද?”

සුචිත්‍රාට හැඬුම් ආවේය.

“නෑ කෙල්ලේ එයා බයවෙලා ඇති මේ කේස් එකට එයාව අහුවෙයි කියලා. ඒ නිසා මම කියන්නේ ඔයා ටික දවසක් යනකං එයා එක්ක කතා කරන්න යන්නවත් එපා. අනික මට ආරංචියි එයා ටික දවසකට වෙන ප්‍රොජෙක්ට් එකක වැඩකට ගාල්ලෙන් පිටට යනවා කියලා.” 

හැඬුම වැඩිවූයෙන් සුචිත්‍රාට තවදුරටත් කතා කරගත නොහැකිවූවාය. ඇය දුරකථනය විසන්ධිකර ඇඳේ ඇලවිනි.

උපනන්දගේ වියෝවෙන් පසුව දන්නා හඳුනන සියල්ලන්ම ඈ දෙස අපරාධකාරියක විලසින් පිළිකුළෙන් බැලීම ඇයට ඔරොත්තුනොදීමෙන් සුචිත්‍රා යළිත් නිවසටම ඇලුනු ජීවිතයක් ගතකරන්නට පටන්ගත්තාය. ඉදහිට බළලුන්ගේ පොරකෑම් ශබ්දයන් හේතුවෙන් රෑ දෙගොඩහයාමේ අවදිවන ඕ හට උපනන්දව මතක්ව නිදිනොලැබම අලුයම තෙක් කාලය ගතකරන්නට සිදුවන්නට විය. උපනන්දට අකාලයේ මියයන්නට සිදුවූයේ තමා කළ ද්‍රෝහිකම නිසාවෙන් බව ඇගේ සිත නිරතුරුවම මුරගාන්නටවූයෙන් ඈ තමාටම සිතෙන් ශාප කරගත්තාය. එහෙත් ඩේමියන්ගෙන් ලැබූ ආදර මිහිර ඈට අමතකකළ නොහැක්කක් විය. කොතරම් ඩේමියන් හමුවන්නට හෝ කතාකරන්නට උත්සාහ කළත් ඔහු සුචිත්‍රාව මඟහරින්නට විය. මෙයද ඇගේ සිතට තදින්ම බලපාන්නක් විය. දෙතුන් දිනකට සැරයක්වත් ෂෙරිල් සුචිත්‍රාගේ දුකසැප බැලීමට ආවේ ඇගේ කඩාවැටුණු මනස සුවපත් කිරීමේ අභිලාෂයෙනි.

“ෂෙරිල් මට හිතෙනවා තවදුරටත් මේ ගෙදර ඉන්න බැහැ කියලා.”

“ඇයි ඒ?”

“මට රෑට නින්ද යන්නේ නැහැ උපේව නිතරම මතක්වෙනවා. මට මේ ගෙදර කොතන කොහේට ගියත් එයාගේ සුවඳ දැනෙනවා. හරියට උපේ මේ ගෙදර ඉන්නවා වගේ. මට එක වෙලාවකට හිතෙනවා උපේ මගේ බෙල්ල මිරිකලා මරලාදායි කියලා.” 

“එහෙම වෙන්නේ කොහොමද? එයා දැන් මැරිලානේ.”

“අනේ මට බැහැ ෂෙරිල් මම හරි පව්කාරියක්.”

ඈ ෂෙරිල්ගේ උරහිසට වාරුවී හඬන්නට පටන්ගත්තාය.

“හරි දැන් අඬන්නේ නැතිව නවත්ත ගන්නකෝ. ඔයාට මෙහේ ඉන්න බැරිනම් ඔය ටික දවසකට හරි අපේ ගෙදර එන්නකෝ.”

“නෑ ෂෙරිල් මට ඒකකරන්න බෑ. මට හැමදාම ඔයා ළඟ ඉන්න බැහැනේ. කවද හරි ආපහු මේ මූසල ගෙදරට එන්නවෙනවා. ඒ නිසා මේ ගෙදර විකුණලාදාලා මෙහෙන් යන එක හොඳයි කියලා හිතුවා.”

“මෙහෙන් යන්න ඔයාට පිස්සුද?”

“මට මෙහේ ඉන්ට බැහැ ෂෙරිල්. හැමෝම මං දිහා බලන්නේ උපනන්දව මරාපු මිනීමරු වල් ගෑනියෙක් විදිහටයි.”

“ඒක එයාලාට ටික දවසකින් අමතකවෙයි කෙල්ලේ.”

“දැන් ටික දවසක ඉඳලා මට කෝල්ස් එනවා වනචර කතා කියලා. ඒත් කමක් නෑ මට ඉවසාගෙන ඉන්න පුළුවන්. ඒත් මේ ගෙදර ඉන්නකොට උපේව හැම තිස්සෙම මතක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මං එයාට කළ ද්‍රෝහිකම මතක්වෙන එකත් නතරකරන්න පුළුවන්කමක් නැහැ.”

ඈ සොරව්වක් තුළින් ගලන දියපහරක්සේ නොනවත්වාම  තම හැඬුම අතරින් කියාගෙන ගියාය.

“හරි ඔයාට මෙහේ ඉන්නම බැරිනම් ඔයා මොකක්ද කරන්න හදන්නේ?”

“මේ බඩුමූට්ටු ටික විකුණලාදාන්න මට උදව්කරන්න. මම එතකං ඔයාගේ ගෙදර නතරවෙන්නම්.”

“ඊට පස්සේ?”

“මෙහේ කවුරුත්ම නොදන්නා පැත්තක පදිංචියට යනවා.”

සුචිත්‍රා තමන් සැලසුම් කරනලද සියල්ල ෂෙරිල්ට පැවසීය.

“ඒත් මමනං ඔයා මේ දේපල විකුණලා යනවාට කැමති නෑ. ඒත් ඔයාට යන්නම ඕනේ නම් මම උදව් කරන්නම්. එහෙනම් දැන් ලැහැස්තිවෙන්න මගේ ගෙදරට යන්න.”

මාටින්ව නිවසේ රඳවා තංගම්මාව පඩිගෙවා නිවසින් පිටත් කර හැරිය ඕ ෂෙරිල්ගේ නිවසේ පදිංචියට ගියාය. උපනන්දගේ මරණින් පසුව වැසීගොස් තිබූ ව්‍යාපාරයේ භාණ්ඩ ඉතා සුළු මුදලකට විකුණාදමා තම නිවස හා ගෘහභාණ්ඩ විකිණීම ෂෙරිල්ට පවරා එම කටයුතුවලට සහභාගිනොවී හුදකලාව සිටියාය. ෂෙරිල් පුවත් පත් දැන්වීමක් තුළින් නිවස හා ගෘහභාණ්ඩ විකිණීමට ගැනුම්කරුවන් සෙව්වාය. උපනන්දගේ ඇන්ටීක් භාණ්ඩ එකතුවට සුචිත්‍රා ආස නොකළමුත් ඒවා පමණක් විකිණීමට මැලිවූයේ උපනන්ද ආසාවෙන් එකතු කළ දෑ නිසාවෙනි.

“ඔන්න සුචිත්‍රා අපි කියපු ගාණට ගේ ගන්න අර ඩොක්ටර් කැමති උනා.”

“කොයි ඩොක්ටර් ද ෂෙරිල්? ඩොක්ටර්ලා ප්‍රොක්ටර්ලා කීදෙනෙක් ආවද ගේ බලන්න.”

“අර කරාපිටියේ හොස්පිටල් එකට අලුතින් ආපූ ඩොක්ටර් මේනක. අර එදා ඔයාත් එක්කත් කතා කරන්න ඕනෙය කියලා මෙහෙටත් ආවේ.”

“ආ එයාද? ඉතිං”

“ලබන සුමානේ ඉරිදට කලියෙන් ඔප්පු ලියන්න ලැහැස්ති කරන්න කිව්වා. එයාට ඉක්මණටම ගෙදර පදිංචිවෙන්න ඕනෙලු.”

“ඉතිං අපි සෙනසුරාදට ලෑස්ති කරමු. ඔයා ලෝයර්ට කියන්න ඔප්පුව ලියන්න ලෑස්ති කරන්න කියලා.”

“මම ලෝයර්ට ඩොක්ටර්ගේ ඩීටේල්ස් දුන්නා. ඒත් ඉක්මනටම එයාට ගේත් අස්කරලා දෙන්න ඕනේ. උපනන්දගේ ඇන්ටික් භාණ්ඩ ටික තමයි ප්‍රශ්නේ කියන්නේ. ඔය ඔක්කෝම මෙහෙට අදින්න බැරිවෙයි. ඔයාට තේරෙනවානේ මෙහේ ඉඩකඩ මදිබව.”

“මට තාම හොද නිස්කලංක පැත්තකින් ගෙයක් ලැබුනේ නෑනේ. එහෙම වුනානං මම ඔය බඩු ටික ගෙනියනවා ඒත් දැන් ඕවා තියන්න වෙන තැනකුත් නැතිකොට වෙන කරන්නම දෙයක් නැතිනම් අපි ඒ ටිකත් විකුණලා දාමු.”

“අපි ඇන්ටික් බඩු එකතු කරන කෙනෙක්ට හරි විකුණන කෙනෙක්ට හරි හොයලා බඩුටික දෙමු. හැබැයි මේවා කුණුකොල්ලෙට ඉල්ලයිද දන්නනේ නැහැ.”

“ඉල්ලන වැඩිම ගානට දෙන්න ෂෙරිල්. මට දැන් ඕවායේ ආසාවක් නැහැ. මම ඒවා තියා ගත්තේ උපේ ආසාවෙන් එකතුකළ නිසයි. දැන් උපේත් නැති එකේ මේවාට මම මොනවා කරන්නද.”

ෂෙරිල් විසින් දන්නා කිහිපදෙනෙක්ට පැවසීමෙන් පසුව ගාලු උරුමයන් සුරැකීමේ සංගමයේ සභාපති පියරත්න ඉස්කෝලේ මහත්තයා ෂෙරිල් හමුවීමට ආවේ තම ඥාතියෙකු වන හික්කඩුවේ ඇන්ටික් භාණ්ඩ වෙළඳ ව්‍යාපාරිකයෙකුවූ ගුණසිරි ජයවර්ධනද සමඟිනි. පියරත්න ඉස්කෝලේ මහත්තයා නිසා ගුණසිරිද වැඩි මිලක් ඉදිරිපත් කර ෂෙරිල්ගේ එකඟත්වයෙන් සුචිත්‍රාගෙන් එම භාණ්ඩ මිලදී ගනු ලැබින. මෙසේ විකුණා දැමුනු භාණ්ඩ අතර උපනන්ද පියසෝමගෙන් ලබාගත් බඳුනද විය. උපනන්දගේ නිවසද ඩොක්ටර් මේනකට විකුණා දමා ටික දිනක් යනතෙක් ෂෙරිල්ගේ නිවසේ රැඳීසිටි සුචිත්‍රා පිළියන්දල බොල්ගොඩ වැවට මුහුණලා නිස්කලංක ප්‍රදේශයක තිබූ නිවෙසක් මිලදීගෙන එහි පදිංචියට ගියාය.



හික්කඩුව සංචාරක පුරවරයේ ගාලු පාර අද්දරට වන්නට පිහිටි ගෙවත්තක් සහිත ඕලන්ද ගෘහනිර්මානුකුලව ඉදිකළ පැරණි පන්නයේ නිවසක් බද්දට ගෙන එහි ගුණසිරි ඇන්ටික් ව්‍යාපාරයක් විදේශිකයන්ට පැරණි බඩුභාණ්ඩ විකිණීම සිදුකරගෙන ගිය ගුණසිරි ජයවර්ධනට තිබුනි. සුචිත්‍රාගෙන් ඇන්ටික් භාණ්ඩ මිලදී ගත් ගුණසිරි විධිමත් පාසල් අධ්‍යාපනයක් නොලද නමුත් ශුර ව්‍යාපාරික බුද්ධියකින් හෙබි වයස අවුරුදු හැට පහක් පමණවන පුද්ගලයෙකු විය. අඩි පහමාරක් උසැති හීන්දෑරි සිරුරද වයස නිසාවෙන් හිස මුදුනේ කොණ්ඩය ගැලැවීගොස් පෑදුණු තට්ටය ද ඔහුගේ මුහුණට කපටි පෙනුමක් ගෙනදුන්නේය.


සංචාරක ව්‍යාපාරයට තම දරුවන් එකතුවනවාට බලවත් සේ අකමැතිවූ ගුණසිරි කෙසේ හෝ ඔවුනට හොඳින් අධ්‍යාපනය ලබාදෙන්නට හැකි විය. ගුණසිරි සිය බාල පුතු අමිලද ව්‍යාපාර අධ්‍යනය ඉගැනුමට පිටත් කර හැරියේ පරිගණක ඉංජිනේරුවකුවූ අසේල තම බිරියද සමඟින් ඕස්ටේ්‍රලියාවේ පදිංචියට ගොසින් කලක්ගතවූ පසුය. කිසිඳු ව්‍යාපාරික හෝ සාමාජීය දැනුමක් නොතිබූ කුස්සියෙන් මෙපිට ලොවක් නොදැකු ගතානුගතික ගෘහනියක්වූ වයලට්, අකලට මහලුවීමෙන් ගුණසිරිට වඩා වැඩිමහලු පෙනුමක් ගෙනදුන්නේය. 

පියරත්න ඉස්කෝලේ මහත්තයාගෙන් ලැබුන ආරංචියට අනුව ෂෙරිල්ගෙන් ඇන්ටික් බඩු සියල්ලම ඔහු අනෙක් ව්‍යාපාරිකයන්ට ප්‍රථම වැඩි මිලක් ගෙවා ලබාගත්තේය. ඉක්මනින් තම සේවක තිලකරත්න සමඟින් සුචිත්‍රාගේ නිවසට ගොස් භාණ්ඩ සියල්ලම ලොරියක පටවාගෙන ආ ඔහු ඉතා පරිස්සමෙන් තම වෙළදසැලේ තැන්පත් කළේ ඒවාට වැඩි වටිනාකමක් ලබාදිය හැකිදැයි විමසිලිමත් වෙමිනි. උපනන්ද මහතා තමාගෙන්ද මිලදී ගන්නා ලද භාණ්ඩ කිහිපයක් යළිත් තම අතට පත්වීම ඔහුට අදහාගත නොහැකි විය. තෙහෙට්ටුව වැඩි බැවින් ඉක්මනින් වෙළදසැල වසා දැමුවත් අලුත ගත් භාණ්ඩ පිරික්සමින් හුන් ගුණසිරිට වේලාව ගතවනවා දැනුනේ නැත. සවස හයවන විට ඉදිරිපස දොරද වසාදමා ඔහු තම කන්තෝරු කාමරයට වැදුනේ නිවසට යාමට පෙර දිනපතා සිදුකරන ක්‍රියාවලියට සැරසෙමින්ය. මේසය යටින් ගල් අරක්කු බෝතලයක් එළියට ගත් ඔහු වතුර ගුරුලේත්තුව අසළ මුනින් අතට නවා තිබූ කුඩාමල් වීදුරුව ගෙන එයට භාගයකට මඳක් වැඩියෙන් පුරවාලීය. අමිශ්‍ර ගල් අරක්කු වීදුරු භාගය එකවර උගුරට හලාගත් ඔහු තම උගුරකට දවාගෙන පහලට ගලායන අරක්කුවල අපුල මඟහැරවීමට උගුරෙන් මඳ හඬක් නැගීය. ඇඹුල් කරගත් කට, පිටි අත්ලෙන් පිසදාගත් ඔහු යළිත් නිවස වටා වටයක් ඇවිද්දේය. අද දිනයේ සිඳුවූ විශේෂ වාසිය නිසා සිතේ පිටාර ගලන සතුට සැමරීමවස් යළි වීදුරු භාගයක් පුරවාගත්තේ වෙනදා ගන්නා ප්‍රමාණයද ඉක්මවමිනි. නමුත් දෙවනවරගත් අරක්කු වීදුරු භාගය පළමු එකට වඩා බඩපපුව දවමින් ගලනාලය දිගේ පහළට බැස යනවා දැනින. ඒ සුනංගුවෙන් කටට උනා ආ කෙළ තලිය ඉක්මනින් ජනේලයෙන් පිටට ගසා හේ යළිත් පිටිඅත්ලෙන් කට පිසදාගත්තේය. අනතුරුව කුඩා මල් වීදුරුවට වතුර ටිකක් පුරවාගත්තේ වීදුරුව සේදීමට නමුදු එයද පානය කළේ එහි අඩියේ ඉතිරිවූ අරක්කු ටිකද විසිකිරීම බලවත් අපරාධයක් යැයි හැඟුනාක් මෙනි. බෝතලය යළිත් මේසය යට සුරක්ෂිතව තබා කන්තෝරු කාමරයේ පලුදෙකේ පනේල දොර වසා යතුරුලූ ගුණසිරි තිලකරත්න සොයාගෙන සාලයට ආවේය. සාලය මැදට වන්නට බූරුඇඳ සකසමින් හුන් තිලකරත්නට අඬගසා ඔහු මිදුලට බැස්සේය. වෙළද සැළ තිබූ නිවස දෙස හැරී බැලූ ගුණසිරි ගාලු පාර අද්දර ගේට්ටුව වෙත පියමනිද්දී තිලකරත්නද පසුපසින් කාන්දමක්සේ ඇදුනි. 

“තමුසේ ටිකක් සෝදිසියෙන් ඉන්නවා. මේ දවස්වල හොරු වැඩියි. අද අලුත් බඩු ටිකක් ගෙනාපු හින්ද ටිකක් කල්පනාවෙන් හිටින්න. සද්දයක් ඇහුනොත් ලයිට් දාලා බලාපං එළිපහලියට යන්නෙ නැතිව.” 

ගුණසිරිගේ සුපුරුදු දේශනාව තිලකරත්නට පුරුදුය. පැරණි ගේට්ටු පලුදෙක වසාදැමූ ගුණසිරිට පෙනෙන්න තිලකරත්න එම ගේට්ටු පලු දෙක අතරින් යකඩ දම්වැලක් රිංගවා ඉබියතුරුලූවේය. ගේට්ටුව වසාදමා යතුරුලනතෙක් බලාසිටි ඔහු හිමිහිට ගාලු පාරේ අඬඅඳුර අතරින් නිවස බලා ගාල්ල පැත්තට ගමන් ඇරඹුවේ හිස බිමට නැඹුරු කරගෙනය. රාත්‍රියට ඇස් පෙනීමේ දුර්වලතාවයකින් පෙලෙන ගුණසිරි සෙමින් සෙමින් බර අඩි තබමින් තම නිවස දෙසට ගාලු පාරෙන් හැරී ගමන් කළේය. සිංහල උළු සෙවිලි කළ පැරණි නිවසක්වූ ගුණසිරිගේ නිවසේ  ඉස්තෝප්පුව පුරා අඬ අඳුර පැතිරී තිබුනේ සාලයේ අඩු වෝල්ටියතාවයකින් යුත් බල්බයේ මලානික එළිය මඳ වශයෙන් ඉස්තෝප්පුවට වැටීම හේතුවෙනි. ඉස්තෝප්පුවට නැගීමට පෙර පළමු පඩියේ දෙපා ගැසුවේ තම දෛනික පුරුද්දට වුවත් එය වයලට්ට දෙන සංඥාවක්වම විය. එම ශබ්දයෙන් ඈ ගුණසිරි නිවසට පැමිණ ඇතිවග දැනගෙන කුස්සියේ මොන වැඩය තිබුනත් ඔහුව පිළිගැනුමට ඉගටිය දෙපස දැලි පැහැගැන්වුනු දුර්වර්ණ කිමෝනාවෙ දෑත් පිසදමමින් සාලයට පැමිණීම සිරිතක් කොට ගත්තීය. ගුණසිරි නිදන කාමරයට යද්දී ඔහු පසුපසින් ඇදුනු ඈට දහඩියෙන් පෙගුනු කමිසය ගලවා අතටදී කොහු ඉලිප්පී ඇඹරී ඇදවුනු ගුදිරිය සහිත ඇඳේ හිදගත්තේය.

“අපේ පියරත්න ඉස්කෝලේ මහත්තයා මට සැට් කරපු වැඩෙන් ලොකුවාසියක් උනා.”

“මොන වැඩෙන්ද අපේ මහත්තයා? ඉස්කෝලේ මහත්තයා දැන් බිස්නස් කොරන්න පටන්ගෙනයැ?”

“චි එයා එහෙම කරන කෙනෙක් නොවන විත්තිය වයලට් නොදන්නවා නොවෙයිනේ.”

“එහෙනම් එයා වැඩක් සැට් කොලා කිවේ?”

“එයාට ආරංචියක් ලැබිලා බඩුවගයක් ගැන. මට පණිවිඩේ ලැබුන ගමන් තකහනියේම ගාල්ලට දුවලා බැලුවා. හොඳ මසුරන් බඩුගොඩක් තිබුනේ. අදම ඒවා ටික ගත්තා වෙන එකෙක් ඒ ටික ඩැහැගන්න කලියෙන්.”

“ඉතිං ගෙදර ගෙනාවේ නැතිද?”

“සල්ලිදීලා ගත්තු ඒවා කවුද එහෙ තියන්නේ? ඒ සුනංගුවෙන් බඩු මෙහෙට ඇදලා තමයි පස්ස බැලුවේ. අදනං හරිම තෙහෙට්ටුයි.”

“බඩු ගොඩාක් තිබුනයි කීවේ ? ලොකු සල්ලියක් වියදම් කළායි?”

“සල්ලි නං වියදම් කරන්න වුනා තමයි එත් බඩුටිකනං රත්තරන් ටිකට වටිනවා. මෙව්වා සල්ලිකාර බිස්නස්කාරයෙක් එකතුකරපුවා. දන්නවාද ඒ මහත්තයාට වෙච්චදේ?”

ඇඳ ළඟ සිටගෙන සිටිය වයලට් හිමිහිට ඇඳේ පසෙකින් වාඩිගත්තේ ගුණසිරිගේ කතාව හොඳින් අසාගැනුමටයි.  

“ගාල්ලේ මාළු පිටරට යවන බිස්නස්කාරයෙක් හිටියා මිනිහා හරිම ආසයිලු ඇන්ටික් බඩුවලට. මගෙනුත් බඩු අරගෙන තියෙනවා. මේ ළඟදි ගෑණිගේ හුටපටයක් මිනිහාගේ අතටම අහුවෙලා හොර මිනිහාට ගහන්න ගිහිල්ලා ගෝරියකදි මේ මනුස්සයා මැරුණා නෙව.”

වයලට් දෑස විසල් කරගෙන නිකටට අත තබාගත්තාය.

“සමහරු නම් කියන්නනේ මේ ගෑණි මිනිහාව තරප්පුවෙන් පහළට තල්ලු කළා කියලා.”

“අනේ අම්මේ මෙහෙමත් ගෑණු. ඉතිං ඔය ගෑණි හිරේ ගියේ නැතෙයි?”

“මොන පිස්සුද උන් දෙන්නා බේරුණා.”

“එතකොට කවුද මේ බඩු විකුනුවේ?”

“වෙන කවුද ඒ ගෑණි මිසක්. හැබැයි මටනං ඒ ගෑණිව මුනගැහුනේ නැහැ. වෙන ගෑණු කෙනෙක් තමයි මේ බිස්නස් එකට ආවේ. දැනටමත් මේ ගෑණි ගෙවල් දොරවල් ඔක්කොම විකුණලදාලා.”

වයලට් මඳ නොරිස්සුමෙන් ඇඳෙන් නැගිට්ටේ

“මිනිහත් මරාගෙන මුළුසේසතම විකුණාගෙන කන මෙහෙමත් වනචර ගෑණු.”

ඇය සුචිත්‍රා කෙරෙහි  උපන් අප්‍රසාදජනක සිතුවිල්ලෙන්ම කුස්සියට ගියාය.

ඇඳෙන් නැගිටගත් ගුණසිරි බෙල්ටය බුරුල් කර ඔලුවට උඩින් සරම දා ගත්තේ මුහුණ කට සෝදාගැනීමට ළිඳට යාමටයි. 


පසු දින ගුණසිරි තම වෙළද සැලට අලුතින් ගෙනා උපනන්දගේ ඇන්ටික් භාණ්ඩ වර්ගීකරණය කරමින් ඒවායේ වටිනාකම අනුව මිල නියම කිරීම සිදු කලේය.  සුපුරුදු ලෙසින් එම භාණ්ඩවල මිලත් වටිනාකමත් මෙන්ම ඒවා තමාට විකුනු තැනැත්තාත් ආදී විස්තර ඔහුගේ රෙකෝඩ් පොතක සටහන්කර තැබීම කරගෙන ගියේය. නමුත් මෙවර අතපසුවීමකින් ගුණසිරිට තමන් මිලදී ගත් තැනැත්තා පිළිබඳව සටහන් කිරීමට නොහැකිවිය. ෂෙරිල්ගෙන් ලද තොරතුරු අනුව පියසෝමගේ බඳුන පිළිබඳව විස්තරයක්ද ඔහු දැනගත්තේය. ඒ අනුව එම බඳුන විශාල වටිනාකමක් ඇති බඳුනක් ලෙස අනුමාන කළ බැවින් වහාම තිලකරත්න කැඳවීය. 

“මේ බලනවා මේක දිහා, මීට ඉස්සර මේවගේ එකක් දැකලා තියෙනවාද?”

“නැහැ මහත්තයෝ.”

“මේක ගොඩ අරගෙන තියෙන්නෙ මුහුදෙ තිබිලාලු ගොඩාක් වටින එකක් වගෙයි පේන්නේ. මේකේ තියෙන අමුතු අකුරු උඹට පේනවාද?”

ගුණසිරි තම ඇස් පුංචි කර බඳුන දෙස බලමින් තිලකරත්නගෙන් ඇසීය. 

“මෙව්වානං අමුතු අකුරු ජාතියක් තමයි. හරියට අපේ පොඩි උන් බිත්තියේ ඇඳපු බලිරූප වගෙයි.”

“උඹ එහෙනම් මේක අර කබඩ් එකෙන් අරන් පරිස්සමින් තියපන්. ඔය නොදන්න කාටවත් ඕක පෙන්නන්න යන්න එපා මම හොඳ බයර් කෙනෙක් හොයාගන්නකං.”

තිලකරත්න විසින් බඳුන ගුණසිරිගේ කන්තෝරු කාමරයේ තිබූ වීදුරු අල්මාරියේ පරිස්සමින් තැන්පත් කළේය. ගුණසිරිට එය වටිනාකමක් ඇති වස්තුවක් වූවත් තිලකරත්නටනම් එය කිසිඳු වැදගැම්මකට නැති තවත් කබල් මැටි බඳුනක්ම විය.



 සුපුරුදු පරිදි දින කිහිපයක් ගෙවී ගියේය. නමුත් තිලකරත්න විසින් වැඩිය ගණන් නොගත් සිඳුවීමක් වූයේ ඔවුන්ගේ වෙළඳ සැල ආශ්‍රිතව බළලුන්ගේ පොරකෑම් හා කෑගැසීම් වැඩිවීමයි.  

“බලන්නකෝ ගුණසිරි මහත්තයෝ මේ එහා පැත්තට කුණු දාන නිසා දැන් බළල්ලු බෝ වෙලා. දැන් රෑට නිදා ගන්ටත් නෑ මූසල සත්තු මිදුලේ පොරකාගන්නවා.”

“වතුර ටිකක් ගහලා එලවලා දාපං. නැත්නම් ඔය එකෙකුගේ දෙන්නෙකුගේ කකුලක් කැඩෙන්න ගලකින් දමලා ගහපන්.”

“වැඩේ කියන්නේ මම එලවන්න බැලුවාම උන් ගිහිල්ලානේ. කෑගහපු තැනක් හොයාගන්න බැරි එක තමයි පුදුමේ.”

“උඹ ඔය බළල්ලු එලවන්න එළියට බැහැලා හොරු ගේ ඇතුලට වද්දගන්න එහෙම එපා ඔං.”

“මම මහත්තයාට කියන්න තමයි හිටියේ හෙට මං ගමට ගොහිල්ලා එන්නටය කියලා.”

“අර මොකෝ මේ හදිසියේ? උඹ දැන් සුමාන දෙකකට ඉස්සෙල්ලා නේද ගමේ ගියේ?”

“පොඩි කෙලීට සනීප මදි කියලා ගෑණි කෝල් එකක් දුන්නා.”

“උඹත් දැන් ගෙදර දුවනවා වැඩියි. මොකෝ දැන් ගෑණිට උඹ නැතිව බැරි හැඬයි. හා හා පලයන් හැබැයි දවස් දෙකෙන් ඉක්මනටම වරෙන් එහේ පැල් ගැහෙන්නේ නැතිව.”

නොකැමැත්තෙන් වුවත් ගුණසිරි තිලකරත්නට යන්නට අවසර දුනි. 

පසුදින පාන්දරින් තිලකරත්න දෙනියායේ පිහිටි නිවසට පිටත්ව ගිය බැවින් ගුණසිරිට තම වෙළඳ සැලේ කටයුතු සියල්ල තනිවම කර කියාගන්න සිදුවුනි. රාත්‍රී අහාරය පිසූ වයලට් බයිසිකල් කඩේ කොලු ගැටයා අත ගුණසිරිට කෑම ගෙන ගොස් දීමට කටයුතු සකස් කරගත්තාය. සුපුරුදු පරිදි දිනය නිමාවේදි වෙළඳ සැල වසාදමා ගුණසිරි හිමිහිට ගාලු පාර අද්දරට ගමන් කලේ කාන්සිය මඟහරවාගැනීමටයි. බොහෝ කලකට ඉස්සර පුරුද්දක් ලෙස ගාලු පාරේ ගමන් කරන වාහන දෙස බලාසිටීම කළත් එය අතහැරදැම්මේ නුතන පරම්පරාවේ තරුණ ගැටයන් ඔහුට ඇන්ටික් විකුණාගැනීමට සුද්දෙක් අල්ලා ගැන්ම සඳහා පාර දෙස බලාසිටිනවායි උසුළු විසුළු කරන්නට වීමෙන් පසුවය. ඔහු පැරණි ගරාදි ගේට්ටුව මතින් පාර දෙස නෙත් යොමුකර බලාසිටියේ බයිසිකල් කඩේ කොලුවා රාත්‍රී ආහාරය නිවසින් ගෙනවිත් දෙනතෙක්ය.

“ගුණසිරි මහත්තයා අද මොකද ගෙදර යන්නනේ නැතිද?”

පාරෙන් එහා පැත්තේ බතික් රෙදිකඩයේ සිරිමෙවන් තම කඩය වසාදමා පිටත්වයාමට සැරසෙද්දී ඇසීය.

“තිලකරත්න ගෙදර ගියා සිරිමෙවන් අද මං මුර.”

“ඒකනං හොඳයි. මේ දවස්වල හොරු වැඩියි. නිදහස් දිනේට හිරගෙවල් හිස් කළානේ දැන් ඉතිං පුරුදු රස්සාව කරන්න පටන්ගන්නවා.”

“ඒක නිසයි අද මම මුරටත් ආවේ. අර රෙක්සියත් නිදහස්වෙලා ඇවිල්ලා තිබුණා නේද?”

“ඔව් මම පසුගිය දොහේ දැක්කානම් තමයි ටවුම පැත්තේ කැරකැවෙනවා. මේ පාරත් හොරකම පටන් ගනියි වාගේ.”

“සිරිමෙවන් ළමයෝ අපේ තිලකරත්න කීවා මෙහේ හරියට බළල්ලු ඉන්නවා කියලා. ඌට නිදාගන්න දෙන්නෙත් නැතිලු, රෑ තිස්සේම කෑගහනවා කියන්නේ. ”

“මමනං දන්නේ නැහැ එහෙම හරියක්. මෙතන කුණු ගොඩ හින්ද බෝ වෙලාද දන්නේ නැහැ. ඒත් ගුණසිරි මහත්තයෝ එයාකාර බළල්ලු රංචුවක් මෙහේ ඉන්නවා මම නම් දැකලා නැහැ.”

“ඒක තමයි මාත් තිලකරත්නට කීවේ.”

“එහෙනම් මම ගිහිල්ලා එන්නම් දැන් ඇඳිරි වැටෙන්නත් ළඟයි. අල්ලපු කඩේ සුගතපාල අයියා ඉන්නවා හදිසියකට කතාකරගන්නන් පුලුවනි.”

සිරිමෙවන් පිටත්වීයනවාත් සමඟින් ආ බයිසිකල් කඩේ කොලුවා වයලට් දුන් රාත්‍රි ආහාරය ඔහු අතට පත් කළේය. මුහුදු සුළඟ වැදීමෙන් කාලානුරූපව මලකඩ ඇල්ලු ගේට්ටුවේ පලු දෙක කිරි කිරි හඬින් අදෝනා නගද්දී එය වසාදමා දම්වැල් කෑල්ල පලු අතරින් රිංගවා ඉබියතුරුලූ ගුණසිරි බත් මුල සමඟින් නිවස වටා සක්මනේ යෙදුනේ අලුත ගෙනා බඩු වල ආරක්ෂාව පිණිසය. කෑමට පෙර හීන් අඩියක් ගැසීම තම දින චර්යාවේ නොකරම බැරි අංගයක් වූ බැවින් හීන් අඩියක් ගැසීම සඳහා  කන්තෝරු කාමරයට රිංගාගත්තත් මෙවර ඔහු තම පදම නොඉක්මවීමට සැලකිලිමත් විය.

 උපනන්දගේ ඇන්ටික් භාණ්ඩ එකතුව සුචිත්‍රාගෙන් මිලට ගැනීමට හැකිවීම තවමත් ඔහුට සතුට උපදවන්නක් විය. අනෙක් ව්‍යාපාරිකයන්ට වඩා වැඩි මුදලක් ගෙවා අත්පත්කරගත් නමුදු ඒවා ඇද පලුදු නොමැති ඉස්තරම්ම බඩු භාණ්ඩ වලින් යුක්තවීම නිසාවෙන් හොඳ මිලකට විකුණාගැනීමේ හැකියාවක් සහිත වුනි. යළිත් වතාවක් උපනන්දගේ භාණ්ඩ දෙස බැලූ ගුණසිරිට උපනන්දගේ බඳුනද මතක්විය. මෙතෙක් කලක් පැරණි භාණ්ඩ අතපත ගෑ ගුණසිරි කිසි කලෙකවත් මෙවැනි බඳුනක් දැක තිබුනේම නැත. පැරණි බඳුන තබා ඇති වීදුරු අල්මාරිය විවෘත කොට එය පරිස්සමට එළියට ගත්තේ ඉතා ශ්‍රද්ධාවෙන් යුතු උවැසියකු ධාතු කරඬුවක් වඩම්මන්නාක් මෙනි. එහි පියනේ වු මුහුණෙන් යම් ආකර්ෂණාත්මක බලයක් ඇතිවූවාක් මෙන් ගුණසිරි ඒ දෙස කිසිඳු සිතුවිල්ලක් පහලනොවී ශුන්‍ය බැල්මෙන් බලාගෙන සිටියේය. නිහඬ වාතලය දෙහදුකොට වේගයෙන් දිවූ මොටර්රථයක තදින් හැඬවුනු නළා ශබ්දයෙන් බැඳී සිටි දැහැනින් මිදුන ඔහු තම අතේ තිබූ බඳුන යළිත් වීදුරු අල්මාරියේ තැන්පත් කළේය. තමා එම බඳුනේ ආකර්ෂණයට බැඳී සිටිබවක් ඔහුට නොදැනුනේ කෑමට පෙර ගත් අරක්කු විදුරුවේ පදම ඒවන විටත් ශරිරයේ ක්‍රියාත්මක වෙමින් පැවතිය නිසාවෙනි. 

“අර ගෑණි කිව්ව විදිහටනම් මේක එසේමෙසේ එකක් නොවෙයි. මැරිච්ච මිනිහා මුහුදු මාළු පිටරට යවන කෙනෙක් නිසා මුහුදේ තිබිලා ගොඩට ගන්න ඇති. ගිලුණු නැවක එකක් නම් වෙන්න බැහැ සමහර විට මේක මුහුදේ තිබ්බ නිධානයක එකක්ද දන්නේ නැහැ. පෙනුමෙ හැටියට නම් මේක හොඳ ගානකට විකුණන්න හැකි. තිලකරත්නයාට වේලාසනින් මේ ගැන කියලා තිබ්බ එක හොඳට ගියා නැතිනම් මේ මෝඩයා මේක තුට්ටු දෙකට දේවි.”

යළිත් වතාවක් එම බඳුන දෙස ඇස යොමු කළ ඔහු සිතීය.

කෑලි පහේ විදුලි පන්දම කන්තෝරු මේසය මතින් අතට ගත් ඔහු නවා පසෙක තිබූ තිලකරත්න නිදා ගන්නා බුරු ඇඳ මැද සාලයේ තැම්පත් කළේය. මැදින් බොකු ගැසුනු බූරු ඇඳේ වාඩි ගත්තේ එයින් සිහින් කිරිකිරි හඬනංවමනි. කොට්ටයට දෙපාරක් අතින් ගැසූ ඔහු එය නාසයට අල්ලා ඉවකළේ පිරිසිදුබාවය පිරික්සීමට නොව පුරුද්දක් වශයෙනි. කොට්ටයෙන් නිකුත්වු මඳක් මුඩු ගැසුනු පොල්තෙල් සුවඳක් ගුණසිරිගේ නාස්කොපු සිසරා ගොස් මොළයට ඇතුල්විය. තද වු පුළුන් බුරුල් වීමට කොට්ටය උඩු පැත්ත යටට සිටින සේ දමා එයට අතින් තට්ටු කර හදිසියකට අතට ගැනීම සඳහා එයට යටින් විදුලි පන්දමද තැන්පත් කළේය. යළි ඔහු ඇඳෙන් නැගිට ගොසින් විදුලි පහන් ස්විචය නිවාදමා බුරු ඇඳේ ඇලවිය. රාත්‍රි එකොළහේ කණිසම පැරණි බට්ටා ඔරලෝසුවෙන් නිකුත් කරනවා සිහිනෙන් මෙන් ඇසුනේ හේ ගැඹුරු නින්දකට සැරසෙද්දීය. බුරු ඇඳ කිරිකිරි ශබ්දයෙන් කෙදිරිලි හඬ නගද්දී ඔහු අනෙක් පසට හැරී නිදන්නට විය. තද නින්දක වෙලුණු ගුණසිරි තිගැස්සී අවදි වූයේ බළලුන්ගේ මුසල කෑගැසීම් නිවස අසලින්ම ඇසුනු බැවින්ය. අරක්කු වීදුරුවේ සුසංයෝගයෙන් සිරුරට නැගුනු කෙඩෙත්තුකාරි ගතියත් තද නිදිමතත් නිසා අනෙක් පසට හැරී යළි නිදන්නට උත්සාහ කළත් එහා මෙහා පෙරලීමේදි බුරු ඇඳෙන් නැගුන කිරිකිරි කෙඳිරියේ අදෝනාව නිසා නින්ද යළි ආවේ නැත. රාත්‍රී දොළහේ කණිසම වදින විටම වාගේ ක්‍රමයෙන් බළල් පොරයේ කෑගැසීම්ද උත්සන්නවූයෙන් එකවරම කටට ආ කුණු හරුපයක් ඔහුගේ දෙතොලින් ලිස්සා ගියේය. සාලයේ යමක් බිම වැටෙන ශබ්දයක් ඇසුනායින් දෙකකුල් බුරු ඇඳෙන් පහතට රුවා විදුලිපන්දම දල්වා සාලයේ හාත්පස නිරික්ෂණය කළේ ගුණසිරිගේ සිතට යම් තිගැස්මක්ද එක්කරමින් සිටියදීය. බැටරි බැස තිබූ විදුලි පන්දමෙන් නිකුත්වුනු කණාමැදිරි එළියක් වන් මලානික ආලෝකයක් අඳුරු සාලයේ කෝලම් වෙස් මුහුණු මතට වැටින. නාග රාක්ෂ, ගුරුලු රාක්ෂ කෝළම් වෙස් මුහුණු සියල්ල භයංකර විලාසයක් මවාපාමින් ගුණසිරි දෙස බලා සිටින්නාක් මෙන් සාලයේ බිත්ති කොනක එල්ලීගෙන සිටියෝය.



 සිතේ ඇතිවූ අමුතු තිගැස්ම පරදා විදුලි පන්දම ගෙන ඇඳෙන් නැගී සිටිය ඔහු ඇඳ සිටි සරමේ ගැටය ලිහා යළිත් හොඳින් තදකර බැඳගත්තේ ඕනෑ දෙයකට ලැහැස්ති වන්නාක්සේය. නිවසේ ඉස්තෝප්පුව දෙසින් ඇසෙන බළල් පොරය තීව්‍රර වන බැවින් සෙරප්පු දෙකද පවා නොමැතිව සාලයට පිවිසියේ කෑ මොරදෙන බළලුන්ගේ අඬු කඩාදමන තරමේ කේන්තියකිනි. කලකින් තෙල් බිඳකු පවා නොදැක සරනේරු ගෙවී දොර පලු බිම දිගේ ඇතිල්ලෙන සාලයේ පනේල සහිත දොර වැඩි ශක්තියක් යොදා ඔහු විවරකරගත්තේය. ඉස්තෝප්පුවට පිවිසි ගුණසිරිට බළල් කෑගැසීම මිදුල දෙසින් ඇසෙන්නට විය. ඉදිරිපස මිදුලෙන් කෑගසනා ශබ්දය එන දිශාවක් සොයාගත නොහැකිවූ බැවින් විදුලි පන්දම සොලවා එහි මලානික එළියෙන් හාත්පස සෝදිසිකර බලන්නට වුනි. මුහුද දෙසින් ආ සීතල සුළඟක් ගුණසිරිගේ ගතහි දැවටුනේ ඇගේ හීගඩු නංවමිනි. මොහොතකට පෙර මිදුලේ කෑගැසු බළල් හඬවල් දැන් ඇසෙන්නේ ගාලු පාර දෙසින්ය. සෙමින් සෙමින් ඉස්තෝප්පුවෙන් මිදුලට බැස ගාලු පාර දෙසට පිය මැන්න ඔහු ගේට්ටු පලුවලට ඉහළින් පාර දෙස බැලීය. මෙතෙක් වේලාවක් ඔහුට වද දුන් මූසල ශබ්දය එකවර නැවතී ගොස් පාලු සොහොන් පිටියක නිහඬබවක් ගෙන දුන්නේය. ඈතින් ඇසෙන මුහුදේ ගෝසාව හැරෙන්නට මුළු හික්කඩුවම නිදි ගෙන ඇති සේය. ඉදහිට පරිසරයේ නිහඬ බව දෙකඩ කරමින් හැල්මේ කොළඹට හෝ ගාල්ලට දිවයන බසයක් හෝ ලොරියක් ඇරෙන්නට වෙන කිසිම හැලහොල්මනක් ඇත්තේද නැත. මඳ වෙලාවක් ගාලු පාර දෙස බලා හුන් ඔහු යළි නිවසට යාමට ආපසු හැරුනු විගසම තමන් සිටින පෙදෙසම ඒකාලෝක කරමින් විදුලි එළියක් පාත්විය. ආලෝකය ආ දෙසට ආපසු හැරී පාර දෙස බලද්දී ඇසිපිය ගසන මොහොතක පමාවෙන් තමා දෙසට වියරු වැටුනු කඟවේනෙකුසේ මාරාවේශයෙන් පැමිණෙන ලොරියක් දුටු නමුදු හිටි අතම ගල් ගැසුනු ගුණසිරි එතනම රැදින.

මතුසම්බන්ධයි......


Tuesday, April 6, 2021

හෝරස්ගේ දරුවා - සත්වන දිගහැරුම Son of Horus - 7

 




සුචිත්‍රාද හොර බැළලියක මෙන් ඔහු පසුපසින් ඇදීගියේ අවට කිසිවෙකුට තම මුහුණ නොපෙනෙනු පිණිස හිස බිමට නැඹුරු කරගනිමින්ය. කාමරයට ඇතුලුවූ වහාම කාමරයේ දොර වසාදමා අගුල්ලූ ඔහු වායු සමීකරණයේ රිමෝටය ගෙන එය ක්‍රියාත්මක කරවීය. අන්දමන්ද ලීලාවෙන් තවමත් කාමරයේ මැද සිටගෙන කාමරයේ වටාපිටාව දෙස නෙත් යොමු කරමින් සිටි සුචිත්‍රාව දුටු ඔහු සෙමින් ඇගේ පිටුපසින් පැමිණ තරයේ වැළඳ ගත්තේය. එකවරම සිදුවූ දෙයින් තිගැස්සීමකට ලක්වූ ඕ වහා අනෙක් පසට හැරෙත්ම ඩේමියන්ගේ දඟකාර දෙතොල් අතරට ඇගේ දෙතොල් අසුවිය. සුචිත්‍රා තම දෑස අඬවන් කරමින් එම අනුරාගී මිහිරට අනුගතවෙද්දී ඈ තම දෑත්ද ඩේමියන් වටා පැටලුනේ ඉබේටමය. අතොරක් නැතිව ඇගේ දෙතොලත් ගෙලත් උරාබීමෙන් නොනැවතිව සා පිපාසාවෙන් පෙලුනු අයෙකුමෙන් ඔහු ඇගේ සිරුරේ රසතැන් සොයමින් දිවයන්නට පටන්ගති. මෙතෙක් සිරකරගෙන හුන් හැඟීම් සමුදායන්ට පුපුරා විසිරයන්නට ඉඩහල ඈ ඔහුගේ රස කැලැතීම් වලට අනුබල දෙමින් එම රිද්මයට ඒකාත්මික වූවාය. ඩේමියන් ජවාධික තුරගෙකුසේ ඇයව කිහිපවිටක් මිහිරෙන් මත්කරලමින් අවසන දැඬි සුසුමක් හෙලමින් නිහඬවිය. ගස්කොලන් අඹරවමින් හමාගිය සුවිශාල චණ්ඩමාරුතයක් එකවරම නැවතී ගොස් දැඬි නිශ්ශබ්දතාවයක් ඇතිවූවාක් මෙන් හාත්පස පරිසරයම නිහඬ බවින් පිරීගියේය. වායුසමිකරණයෙන් පිටවන සිසිල් සුළඟ පරදා ඔවුන්ගේ ගතින් දහඩිය ගලන්නට වූයෙන් තවමත් කිටිකිටියේ සුචිත්‍රාව වැළඳගෙන සිටි ඩේමියන් ඔහුගේ බැඳීම සෙමින් ලිහිල් කෙරුවේය. ඒ අවසරයෙන් සුචිත්‍රා පොරවනයක් ගෙන තම නිරුවත් සිරුර වසාගත්තීය. 


සුචිත්‍රා ඩේමියන්ගෙන් මිදී යළි නිවසට පැමිණෙන විටත් උපනන්ද පැමිණ සිටියේ නැත. ඇය තම කුඩා මොටර් රථය ගරාජයේ දමා සාලයට ගොඩවද්දි උපනන්ද සුචිත්‍රාගේ සුරතගෙන සිටිනා මඟුල් පින්තුරය ඇගේ නෙතට අසුවිනි. උපනන්ද ඉමහත් සතුටක් උතුරායන සේ සිනාසීගෙන සිටින එම පින්තුරය දෙස මොහොතක් ඈ බලාසිටියාය. තමා විශාල ද්‍රෝහිකමක් ඔහුට කළායැයි සිතුවිල්ලක් සිතට නැගෙද්දී තම පපුව මත මහ විශාල බරක් තැබුවාක් මෙන් ඇය හට දැණුනි. මෙතෙක් වේලාවක් සිතේ දෝරේගලාගිය ඩේමියන්ගෙන් ලැබූ මිහිර එකවරම යටපත්වී එම ද්‍රෝහි සිතුවිල්ල ක්ෂණිකව ලැව්ගින්නක් සේ තම ශරිරය පුරා දිවයන්නට විය. ඇය මංගල පින්තුරයෙන් දෑස් ඉවතට ගනිද්දී බිත්ති කබඩයේ තිබූ බඳුනේ හිස තමා දෙස නෙත් යොමු කර බලාසිටින්නාක් මෙන් ඈට පෙනෙන්නට වුනි. එයින් යම් ආකර්ෂණාත්මක අමුත්තක් දැනුනායින් එය දෙස මෙහොතක් බලාහුන් සුචිත්‍රා තම දෙනෙත් ආයාසයෙන් ඉවත්කරගෙන ඉක්මණින් පඩිපෙළ නැග නිදන කාමරයට දිවගියේ තමාගැන ඇතිවූ පාපකාරී සිතුවිලිවලින් පුරවාගෙනය. නානකාමරයට දිවගොස් සිසිල් දියෙන් තම කය දොවා දමා එම පව් සෝදාහරින්නට ඈට වුවමනාවිය. ඇසිල්ලකින් ඇඳුම් උනාදමා නානකාමරයේ වතුර මල යටටවූයේ අද දවසේ උපනන්දට ද්‍රෝහිවීමෙන් කළේ බරපතල වැරැද්දක් බව සිහියට නගමිනි. තමා විවාහක ගැහැනියක් බව අමතකරදා ඩේමියන් හා එක්වීමෙන් කළේ කෙතරම් බරපතල වරදක්දැයි ඈට සිතුනායින් හිස ටයිල් බිත්තියේ දෙවරක්ම ගසාගත්තාය.

                   තවදුරටත් උපනන්දට මුහුණ දීමට නොහැකියාවකින් පෙලුනු ඈ රාත්‍රි අහරද නොගෙන ඉක්මනින් ඇඳට වැටුනේ උපනන්ද නිවසට ගොඩවදිද්දීය. ඔහු කාමරයට ආ විගස තදනින්දක පසුවන විලසින් ඈ තම දෑස් තදින් පියාගෙන සිටි අතර නිදන කාමරයට ආ උපනන්ද නිදන සුචිත්‍රා දෙසබලා සෙමින් ඇඳුම් මාරුකරගෙන තම ව්‍යාපාරයේ ලිපි හා ගිණුම් කටයුතු පිරික්සන්නට යළිත් කන්තෝරු කාමරයට පිළිපන්නේය. ඇඳට ගොඩවූවත් නින්ද අහලකටවත් නොපැමිණියේ සුචිත්‍රාගේ වරදකාරි හැඟුම් පරදවමින් ඩේමියන් හා ගතකල රසවත් මොහොතේ මිහිරි සිතුවිලි ඉස්මතුව එද්දීය. ඇයටත් නොදැනීම යළි ඇගේ ගත උණුසුම්වී එම රසය ඉල්ලා සිටින්නට විය. උපනන්ද හා විවාහ වී අවුරුදු කිහිපයක් ගතවූවත් ඩේමියන්ගෙන් මෙන් රසවත් මිහිරක් කිසිදාක ඔහුගෙන් ඇයට ලැබී නොතිබුනි. එම අනුරාගී රසය නැවත ඇයව කැඳවන්නට මෙන් ශරිරයේවූ කාමගින්න යළි යළිත් බුරබුරා නැගෙන්නට විය. ඩේමියන් හා උපනන්ද අතර දෝලනය වෙමින් විසිරෙන අපමණ සිතුවිලි එක්රැස්කරන්නට ඈ උත්සාහ ගනිද්දී නිවසට ඈතින් බළලුන්ගේ පොරකෑමකට ආසන්න කෑගැසුම් ශබ්දයන් ඇසෙන්නට වුනි. එහෙත් ගතේවූ වෙහෙස විසින් ඇසිපිය බර කරමින් ඕ නින්දට වැටුනාය. 


උපනන්දගේ කඩාවැටුනු විසිතුරු මත්ස්‍ය අපනයනය කිරීමේ ව්‍යාපාරය නැවත නගාසිටුවීමට ඔහු වෙහෙසෙන අතර සුචිත්‍රා හා ඩේමියන්ගේ රහස් සම්බන්ධය වර්ධනය වූයේ ෂෙරිල්ටත් රහසිනි. ඩේමියන් විසින් සුචිත්‍රාට ඉගැන්වූ පරිදි ඔහු කාන්තා පිහිටාධාර සුබසාධක සංවිධානයේ කොළඹ ප්‍රධාන කර්යාලයේ ව්‍යාපාර උපදේශකයෙකු බවත් මේ දිනවල පවත්නා ගාලු දිස්ත්‍රික්කයේ කාන්තා කුඩාකර්මාන්ත ව්‍යාපාර උපදේශන කටයුතුවලට පැමිණ ඇති බවත් පවසමින් උපනන්දට ඔහුව හඳුන්වා දෙනු ලැබුවාය. ව්‍යාපාර පිලිබදව ඩේමියන් සතු දැනුම නිසාවෙන් උපනන්ද හා ඩේමියන් ඉක්මනින් යහලුවන් බවට පත්වූයේ ඔවුන්ගේ රහස් සම්බන්ධය තවත් පහසු කරවමිනි. ඩේමියන් උපනන්දගේ නිවසට යාම් ඊම් කිරීම නිතර සිඳුවූ බැවින් මාටින් හෝ තංගම්මා ඔහුගේ පැමිණීම එතරම් ගණන්ගතයුතු දෙයක් ලෙස සැලකුවේ නැතුවායින් සුචිත්‍රාත් ඩේමියනුත් ඉඩ ලැබෙන සෑම විටම පෙම්සුව වින්දින්නට වූහ. 



විසිතුරු මත්ස්‍ය අපනයනය කරන්නන්ගේ වාර්ෂික සම්මේලනය කොළඹ බන්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබුනායින් එහි සාමාජිකයෙකු වූ ඔහු උපනන්දටද එයට සහභාගිවීමට අරාධනා ලැබී තිබුනි.  ඔහු ඒ හරහා හෝ තම කඩාවැටුනු ව්‍යාපාරය යළි නගාසිටුවීමට අවශ්‍ය උපකාර බලාපොරොත්තු වෙමින් එයට යෑමට ලැහැස්ති විය. රියදුරු මාටින් සමඟින් උපනන්ද උදෙන්ම කොළඹ පිටත්වූ පසු ඩේමියන් හා තනිවීමට මෙවැනි අවස්ථාවක් ලැබෙන තුරු බලාහුන්  සුචිත්‍රා ඉක්මනින් ඩේමියන් හට ඇමතුමක් දුන්නාය.

“ඩේමියන් අද උපේ කොළඹ ගියා. අර මම කිව්වේ ඒ ගොල්ලන්ගේ සම්මේලනයට. එයා හෙට තමයි ආයෙත් එන්නේ. අද මම තනියම.”

“ඇයි බබාට පාළුද?”

“පාළු නිසා තමයි මම ඔයාට කතාකළේ.” 

ඈ නොරිස්සුමෙන් කීවාය.

“හරි හරි මම එන්නම්කෝ බබාගේ පාළුව යන්නත් එක්ක. හැබැයි මට දැන්ම එන්න විදිහක් නම් නැහැ. අද මට මීටින් වගයක් තියෙනවා. ඒවා ඉවරවෙන්න ටිකක් දවල්වෙයි. මම ඒවා ඉවරවුණු ගමන් එන්නම්.”

“අයියෝ මීටින් අදම දාගත්තාද? ඉක්මනටම එන්න බලන්න. ඔන්න මම බලන් ඉන්නවා.”

ඩේමියන් හා එක්ව සිටින කළ ලබාදෙන සතුට කිසිකලෙකත් උපනන්දගෙන් සුචිත්‍රාට ලැබී නැතැයි ඈට සිහිවිය. වරෙක ඈට පසුතැවිල්ලක් ඇතිවූයේ මෙතෙක් ඇගේ රහස් සම්බන්ධයක් ඇතිබව නොදැන තමාට කිසිඳු වෙනස්කමක් නොකර සලකන උපනන්දට ද්‍රෝහිවීම පිළිබඳවයි. නමුත් ඩේමියන් ගැන සිතෙන විටෙක එම සිතුවිලි පරදා අනුරාගී මිහිරෙන් මන් මත්කරන හැඩිදැඬි රූපකාය ඇගේ සිහියට නිරන්තරව නැගෙන්නට විය.

“ඩේමියන් තමයි මගේ ලෝකය එළිය කළේ. මෙච්චර කාලයක් මම මේ ගෙදරට හිරවෙලා ලෝකයක් නොදැක සිටිය කාලය ඉවර කළේ ඔයා තමයි. මට දැන් ඔයා නැතිව බෑ.”

ඈ හිමිහිට තමාටම මුමුනාගත්තීය. එදිනට නියමිත වැඩ රාජකාරි ඉක්මනින් ඉවරකලත් ඩේමියන්ට හවස්වෙනතෙක් එම කටයුතුවලින් මිදීමට පුලුවන් කමක් නොවීය. ඔහු සවස්වරුවේ කෙටි නිවාඩුවක් දමා ඉක්මනින් සුචිත්‍රා සොයාගෙන උපනන්දගේ නිවසට පැමිණියේ වන මලකට ඇදෙන බඹරෙකු විලසිනි. ඔවුනට කිසිවෙකුගෙන් හෝ අවට පරිසරයෙන්ද බාධාවක් අවහිරයක් නොවන බැවින් ඩේමියන් සුචිත්‍රාව රැගෙන උඩුමහලේ වූ නිදන කාමරයට වැදුනේ රිසිසේ පෙම් සුව විඳීමටය. 



විසිතුරු මත්ස්‍ය අපනයනයකරුවන්ගේ වාර්ෂික මහසභා රැස්වීම සවස තුන වනවිට අවසන්වූයෙන් එදින සවස්වරුවේ එම ව්‍යාපාරයේ නියැලි ව්‍යාපාරිකයන්ගේ සුහද හමුව ගල්කිස්ස මහ හෝටලයේ පැවැත්වීමට නියමිතව තිබුනි. උපනන්ද මහසභා රැස්වීම අවසන එම සුහඳ හමුවට යාමට තවත් වේලාව ඉතිරිව ඇති බැවින් තමා වෙන්කරගත් හෝටලයේ කාමරයට ගොඩවැදුනේ අද දිනයේ වෙහෙසාකාරීබව නිවාගැන්මට නා කියාගෙන මඳ අස්වැසිල්ලක් ගැනීමටය. තම කාමරයට පිවිසි උපනන්ද හෙට දිනයේ යොදාගත් වැඩපිළිවෙළ ගැන අධ්‍යයනයක්ද කළේය. දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ ආදායම් නිලධාරින් හමුවී තම ව්‍යාපාරය කඩාවැටී ඇති බැවින් යම් බදු නිදහසක් ලබාගැන්මට හා අර්ථසාධක අරමුදලේ මුදල් නොගෙවා සිරිවර්ධන විසින් කරන ලද මුල්‍ය වංචාව පිළිබඳව ඔවුන් දැනුවත් කර එම අරමුදලට බැරවිය යුතු මුදල් ගෙවීමට යම් සහන කාලසීමාවක් ඉල්ලාසිටීම ඔහුගේ අභිප්‍රාය විය. එහෙත් යම් අතපසුවීමකින් එම කරුණු අඩංගු ෆයිල් කවරය නොව වෙනත් ඒවැනිම ෆයිල් කවරයක් රැගෙන අවුත් තිබුණේය. පසු දින යොදාගත් වැඩපිළිවෙළ ෆයිල් කවරය අමතකවීමන් අවලංගු කළ නොහැක්කක් වීම නිසා උපනන්ද වහාම රියදුරු මාටින් අමතා සුහඳ හමුවට යළි සහභාගිවීමට යළි කොළඹට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ගාල්ලේ තම නිවසට ඉක්මනින් පදවන ලෙසට අණකළේය. එහෙත් නොසිතූ ලෙසම උපනන්දගේ වාහනය විශාල වාහන තදබදයකට හසුවූයේ කොස්ගොඩ පසුකරනවාත් සමඟය. ගාලු පාර හරහා අනතුරකට ලක්ව පෙරලී තිබූ කන්ටේනරයක් රැගත් විශාල ලොරියක් නිසාවෙන් එම තදබදයෙන් මිදීමට උපනන්දට පැයකට වඩා කාලයක් ගතවිනි.

         සවස කොළඹින් පිටත්වූ ඔවුන් යළි ගාල්ලට ළඟාවනවිට රාත්‍රි අටට පමණවිය. යළි කොළඹ බලා ඒමට උපනන්ද මෝටර් රථය ගෙවත්තට ඇතුලු නොකර මාර්ගයේ අයිනකට වන්නට නවතා කුඩා ගේට්ටුවෙන් ගෙවත්තට ඇතුලුවිය. තම ගෙවත්තේ නතරකර තිබුනු ඩේමියන්ගේ ඩයිහට්සු ටෙරියෝස් ජිප්රථය දුටු උපනන්දගේ සිතට විමතියක් ගෙනදුන්නේ තමා නිවසේ නැති අතරවාරයේ හා අවේලාවේ ඔහු තම නිවසේ කුමක් කරන්නේදැයි යන්නයි. ඔහු හෙමිහිට ගෙමිදුල හරහා ඇවිද අවුත් ප්‍රධාන දොර විවරකරගෙන සාලයට ඇතුලු විනි. බිත්ති කොනක දල්වා තිබූ පහනේ මලානික එළියෙන් සාලයේ පැවති දැඬි අඳුර මඳකට අඩු කරමින් පැවතිනි. පසෙක තිබුනු ග්‍රෑන්ඩ් ෆාදර් ඔරලෝසුවේ බට්ටා රිද්මානුකුලව එහාට මෙහාට පැද්දෙනු විනා වන කිසිඳු පණැති ප්‍රාණියෙකු එහි සිටියේ නැත. ඔහුගේ සිතට යම්කිසි අමුත්තක් දැනුනි. බිත්ති කබඩයේ වූ බඳුන දෙසට එකවරම උපනන්දගේ ඇස දිවගියේ ඒ දෙසින් යම් කිසි කෙනෙකු තමාදෙස බලාසිටින්නාක් මෙන් දැනුන බැවිනි. එයින් දෑස ඉවතට ගත් උපනන්ද හිමිහිට ප්‍රැන්ටිය දෙසට පියවර තැබුවේ නිවස පිටුපස වෙළ දෙසින් ආ බළලුන්ගේ පොරකාගැනීමේ මූසල ශබ්දයන් ඇසුනු බැවිනි. කුස්සියේ තංගම්මා රාත්‍රී කැම සකසමින් සිටින අතර එකවරම ආ උපනන්ද දුටුමනින්ම ඈ තැතිගත්තාය.

“මහත්තයා ...   මහත්තයා දැන්ද ආවේ?”

“ඩේමියන් මහත්තයා කොයි වේලාවේද ආවේ?”

ඇය උපනන්දගේ පැනයට පිළිතුරක් දීමට මඳක් පැකිලෙන්නට විය.

“ඒ මහත්තයා ....   ඒ මහත්තයා හවස තමයි ආවේ.”

ඈට වචන පැටලී ගොත ගැසුනි.

“කෝ දැන් ඒ මහත්තයායි සුචිත්‍රා නෝනයි?”

ඇය ගල් ගිල්ලාක් මෙන් නිශ්ශබ්දව සිටියාය. එසේ තම පැනයන්ට පිළිතුරු දීමට තංගම්මා පැකිලෙද්දී ඔහුගේ කෝපය නැග එන්නට විය.

“කියපන් කෝ උන්?”

උපනන්ද සෙමින් නමුත් තර්ජනාත්මකව ඇසීය.

“උ..  උ.. ඩ.... උඩ කාමරේ.”

එය ඇසුනු විගස එකවරම ආපසු හැරුනු උපනන්ද සෙමින් කල්පනාකාරිව තරප්පුව නැග උඩුමහලේ නිදන කාමරය වෙත ගමන් කළේය. නිවස අසළින් ඇසුනු බළලුන්ගේ මූසල කෑගැසිම් එකවරම වැඩිවූවාක් මෙන් ඇසෙන්නට විය. එකිනෙකට කිටි කිටියේ වෙලී රසයෙන් කුල්මත්වෙමින් පෙම් සුව විඳිමින් සිටි ඔවුනට අවට පරිසරයේ ශබ්දයන් ඇසුනේ නැත. නිදන කාමරය අසළ නැවතුන උපනන්ද දොර බෝලය කරකවා එය ඇරගැන්මට තම දෑතින්ම තල්ලුකර උත්සාහ කළ නමුදු එය ඇතුලතින් අගුල්ලා තිබූ බැවින් දොරට කන්දී බැලීය. කාමරයේ ඇතුලතින් තදින් හුස්ම ගන්නා හඬත් සුචිත්‍රාගේ රාගාන්විත කෙඳිරියන් ඔහුගේ දෙසවනින් රිංගා ගත්තෙ ඉහමොළ පුලුස්සා දමමින්ය. උපනන්දගේ මුළු ගතම කොපාග්නියෙන් ගිනිගෙන දැවෙන්නට වූයෙන් ඔහු තම සිරුරේ ඉහලම ශක්තිය යොදවා පයින් පහරක් දොරට දුනි. එකවරම කාමරයේ දොර විවරවී බිත්තියේ වැදෙන හඬින් තිගැස්සීගිය ඩේමියන් වහා සුචිත්‍රාගේ සිරුර මතින් නැගී සිටියේ මාරාවේෂයෙන් දොර අභියස සිටගෙන සිටිනා උපනන්ද දුටුසැනින්ය.

“පට්ට වේස පදුරු බැල්ලී මම උඹට.”

තම කේන්තිය ඉහවහා ගිය උපනන්දට කෝපයෙන් වෙවුලන දෙතොලින් කිසිඳු වචනයක් පිටකරගත නොහැකිවිය. කොපාග්නියෙන් ගිනිගෙන දැවෙමින් යක්ෂාරූඪව රතුව ගිය දෑසෙන් යුතුව සුචිත්‍රා දෙස බලාසිටිනා උපනන්ද දැක ඉමහත් බියට පත්වූ ඈ ඇද ඇතිරිල්ලක් ගෙන තම නිරුවත වසාගත්තාය. දියෙන් ගොඩගත් මසෙකු සේ ඈ ගැහෙමින් කම්පනයෙන් යුතුව බලාසිටිද්දී ඈ වෙත කඩාපැන්න උපනන්ද හෙන හඬ පුපුරන්නාක් මෙන් කම්මුල හරහා වේගවත් අතුල්පහර කිහිපයක් එල්ලකරන්නට වුනි. ඔහු වලක්වාලීමට කිසිඳු උත්සාහයක්වත් නොගෙන ඩේමියන් සෙළුකයින් යුතුව කාමරයේ කොනක වැටීතිබූ තම කලිසම සොයා දිවගොස් එය ඉක්මනින් ඇදගත්තේ මේ ස්ථානයෙන් පැනගැනීමේ අභිලාෂයෙනි. සුචිත්‍රාගේ තොල් පටවල් පුපුරා ලේ බිඳු කිහිපයක් ඇඳමතට වැටිනි. සුචිත්‍රාට පහර පිට පහර දුන් උපනන්ද ආපසු හැරී ඩේමියන් දෙස බලද්දී තම කලිසම කමිසයට යටකරමින් නිදන කාමරයේ දොරෙන් පිටව යාමට සැරසෙනවා දුටුවේය.

“තෝ කොහේද යන්නේ, ඔහොම හිටපන් වේස බල්ලා.”   

කියමින් උපනන්ද ඩේමියන් වෙත කඩාපැන්නේය.

“තොට මං යන්න දෙන්නේ නැහැ මං තොපි දෙන්නාව මරලා දනවා.”

උපනන්ද ඩේමියන්ගේ ගෙල තම දෑතින් අල්ලා සිරුරේ මුළු ශක්තිය යොදවා හිරකළේය. මලපුඬුවකට ගෙල සිරවූ සතෙකුසේ එයින් ගැලවීමට ඩේමියන් තවතවත් දඟලද්දී මාරාවේෂයෙන් සිටි උපනන්ද තම සිරුරේ ශක්තිය යොදවමින් තවත් හිරකළේය. කලු ඉංගිරියාව ඉහළට නැග අක්ෂිගෝලයෙන් එළියට පනින්නට සේ දෑස් ඉදිරියට නෙරාවිත් හුස්ම හිරවී උගුරෙන් ගොර හඬ නංවමින්ද උපනන්දගේ දෑතේ පුඬුවට හසුව මරණය දකිමින් දඟලන ඩේමියන් දුටුව සුචිත්‍රාට කෑගැසුනි.

“අනේ එපා උපේ එපා. ඔයා මිනී මරන්නද හදන්නේ? අනේ ඩේමියන්ව අතාහරින්න.”

ඇය ඔහුගේ දෑතේ එල්ලී ඩේමියන්ව බේරාගැනීම පිණිස ඔහු හා පොරබදන්නට විය. සුචිත්‍රාගේ දිගු නිය වලට ඔහුගේ දෑත් සීරි හම ඉරීයද්දී  ඔවුනගේ පොරබැදීම තරප්පු පෙළ අසලටම ඇදී ආවේය. ඇගේ දැඬි උත්සාහය හමුවේ උපනන්දගේ දෑතින් ඩේමියන්ගේ ගෙල බේරාගන්නට හැකිවුනි. ඩේමියන් ඒ ඇසිල්ලෙන් උපනන්දගෙන් බේරි පැන ගන්නවාත් සමඟින් දණ්ඩෙන් පහරකෑ නයෙකු සේ කිපුනු ඔහු එකවරම අනෙක් පස හැරී සුචිත්‍රාගේ ගෙල දෑතින් මිරිකා අල්ලා ගත්තේය.

“හිටපිය පට්ට බැල්ලී මං තෝවත් මරලා දාන්න.”

“අනේ ඩේමියන් මාව බේරාගන්න මේ මිනිහා මාව මරන්න හදනවා.”

උගුරෙන් ගොරහඬ නැගෙද්දී මරහඬින් කෑගසා සුචිත්‍රා ඩේමියන්ගේ උපකාර පැතුවාය. උපනන්දගේ දඬු අඬුවක් බඳු දෑතේ මලපුඬුවට හසුවී සිටි සුචිත්‍රාව බේරාගැන්මට ඔහු වහා එකවරම මැද්දට පැන උපනන්දගේ ඇලපත දෙසට පා පහරක් එල්ලකරමින් තල්ලූකර දැමීය. ඩේමියන්ගෙන් ඇලපත හරහා වැදුන අනපේක්ෂිත පහරෙන් සුචිත්‍රාගේ ගෙල අතැරුනු උපනන්ද ඒ සමඟම ලැබුනු තල්ලුවෙන් සිරුරේ සමබරතාවය රැක ගැනීමට නොහැකිව තරප්පු පෙළ මතින් පහළට පෙරළී ගියේය. නිවසේ ඇතිවූ කලබගෑනිය ඇසී මාටින් හා තංගම්මාත් සාලයට දිවවිත් බලනවිට තරප්පු පෙළ පාමුල නාසයෙන් හා කටින් උණු ලේ වගුරවමින් උපනන්ද වැතිර සිටියේය. තරප්පු පෙළින් පහතට දිව ආ සුචිත්‍රා පඩිපෙළ පාමුල අතපය සෙමින් ගැහෙමින් ලේ විලක් මැද සිටි උපනන්දගේ  සිරුර දුටු විගස කෑගසමින් සිහිසුන්ව ඇඳවැටුනාය.


මතුසම්බන්ධයි...

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...