Monday, August 31, 2020

පළිගු කිරිල්ලී - අටවන කොටස



පළිගු කිරිල්ලී - අටවන කොටස 

ශාරිරික හා මානසික තෙහෙට්ටුව බැට දෙද්දී ජිවිතයේ ප්‍රශ්න වලට මුහුණ දීමට තරම් ශක්තිමත් හා එඩිතරවූ තමාලි කිසිසේත්ම ගැටළු වලින් පළායෑමට තරම් නිවට නොවීය. කෙතරම් අපහසුතා මධ්‍යයේ වුවත් සුදු නැන්දා හා පොඩිමාමා සොයා හපුතලේට ගියා ය. හොඳින් අධ්‍යාපනය හදාරා රජයේ ලිපිකාර තනතුරක් දරන පොඩිමාමා වයස අවුරුදු පනහට ආසන්නයේ වූ අතර ප්‍රදේශයේ සමාජසේවා වැඩවලට මුල් තැනක් අරගන්නා ක්‍රියාශිලී පුද්ගලයකුද විය. ජයවීර විසින් කරන ලද අනුවණ ක්‍රියාව ගැන පොඩිමාමා අතිශයෙන් කම්පාවන්නට විය.

“දුවේ ඔය මිනිහා තරම් උපන්ගෙයි මෝඩයෙක් මේ අහල ගම්වලත් නැතිව ඇති. කවුද තමන්ට වැටිලා හරි ඉන්න තියෙන එකම ගෙදර උකසට තියලා පාටි දාන්නේ. දැන් ජයවීරගෙන් තමාලි ඇහැව්වාද ගෙදර උකස් කරාද කියලා?”
“මම අහන්න ගියේ නෑ, මොකද මට ඔය මිනිහා බලන්නවත් කැමති නෑ.”
“එහෙම කියන්න එපා. ඒ ඔයාගේ කසාඳ මිනිහා. ජයවීර ඔය මුදලාලියා කියන තරම් සල්ලියක් ණයට අරගෙන තියෙනවාද කියලා හොයලා බැලුවොත් හොඳයි නේද?”
“අහලා බැලුවානම් එච්චර සල්ලියක් අරගෙන නැතිය කියයි.”
“කවුද දන්නේ ජයවීරට සැරින් සැරේ ඒ කියන ගාණ දුන්නාද කියලා. අනික ජයවීරත් දන්නේ නැතිව ඇති කීයක් මුදලාලිගෙන් අරගත්තාද කියලාත්.”
“ඉතිං පොඩිමාමේ අපි මේකට මොකක්ද කරන්නේ?”
“ඔය තරම් වටිනා ගෙයක් කුණු කොල්ලේට දුන්නා වාගේ වැඩක් මේක. කරන්න නම් වැඩක් තියෙනවා ඒත් ගෙදර අයිතිය තියෙන්නේ ජයවීරට නේද?”
“ඔව්.”
“කොහෙන් හරි සල්ලි හොයාගෙන මුලින්ම ගෙදර බේරගන්න එකයි තියෙන්නේ. ඊට පස්සේ ගෙදර නියම වටිනාකමට විකුණලා අර සල්ලි බේරලා දාමු.”
“ඒත් පොඩිමාමේ ඔය වැඬේට සැමුවෙල් මුදලාලි කැමතිවෙයිද දන්නේ නෑ. අනික අපි ගෙදර බේර ගත්තාට පස්සේ ඔය මිනිහා විකුණන්න ඉඩදෙයිද?”
“ඒවා පස්සේ බලමු. උඹ ගෙදර මුදලාලිට පවරලා එළියට බැස්සොත් ජිවත්වෙන්න සල්ලි කෝ? ඉන්න මම ජයවීරත් එක්ක මේ ගැන කතාකරන්නම්. හැබැයි උඹට මාත් එක්ක එයාව බලන්න යන්න එන්නම වෙනවා.”

දින කිහිපයකට පසු පොඩිමාමත් සමඟින් තමාලි නුවර බෝගම්බර බන්ධනාගාරය බලා ගියේය . මාසයකට ආසන්න කාලයක් තමාව බැලීමටවත් නොපැමිණි තමාලි කෙරහි හටගත් අමනාපයෙන් යුතුව ජයවීර සිටියේය. තමාලිගේ සිතේවූ ජයවීර කෙරහි අකමැත්ත හා කෝපයද එකවරම සිදී ගියේ අවපැහැගත් අමු රෙද්දෙන් මැසූ සිරකරු ජම්පරය ඇඳ පැමිණ ඇය ඉදිරිපිට අසුන් ගත් විටදීය. මාසයකින් පමණ නොකැපූ රැවුල ඔහුට ගෙන දුන්නේ දුක්ඛිත පෙනුමකි. තමාලිගේ පපුව පිළිස්සීගෙන යනවාක් මෙන් දැනුනි. දෑසට නැඟ ආ කඳුළු ලේන්සුවෙන් පිසදාගත් ඇය ජයවීර සමඟින් පොඩිමාමා කතා කරන දෙස බලා සිටියා ය. පොඩිමාමාගේ සැලසුමට අවනතවූ ජයවීර නිවස විකිණීමට අඳාල ඉදිරි කටයුතු සොයාබලා කර දෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. විටින් විටේ කතාව අතරතුරේදිත් තමා දෙස ඔහුගේ නෙත් යොමුවනවා තමාලි දුටුවා ය. පොඩිමාමාගේ කතාව අවසානයේ ඇය ඔහු හා කතාකරන්නට සැරසෙද්දීම නියමිත වේලාව අවසන් බව අසළ සිටි ජේලර්වරයෙකු පැවසුවේය. තමාලිගේ මෙන්ම ජයවීරගේද මුහුණු එකවරම මැලවීගියේ කතාකරගන්නට තිබූ සියල්ලම වලකාලමින්ය. 

“ළමයි දෙන්නා හොඳින්ද?”
“ඔව්.”
“අද ඉස්කෝලේ ගියාද?”
“දැන් යන්න පුළුවන් වේලාව ඉවරයි.”
ජේලර්වරයා දෙවන වතාවටත් ජයවීර දෙසබලා පැවසුවායින්  ඔහු ඉක්මනින් වාඩිවි සිටි බංකුවෙන් නැගිටගත්තේ අකමැත්තෙනි. දැසට නැඟආ කඳුළු අතේ පොඩිකරගත් ලේන්සුවෙන් පිසදාගත් තමාලි ඇදී ගිය  ජයවීරගේ මුහුණ දෙස යළිත් වරක් බලා පොඩිමාමා සමඟින් පිටත්විය.
“හරියට කතාකරගන්නවත් වේලාව මදිවුනානේ.”
ඇය කටට ඉනු කෙල කාණුවට හලා පොඩිමාමා හා පැවසීය.
“ඒක තමයි. අර කාරණාවත් කියන්න බැරිවුනානේද?”
“මමත් බලන් හිටියේ කොහොමද මේක කියන්නේ කියලා. කමක් නෑ මාමේ ඊළඟ සැරේ ආවාම කියමු.”
“දැන් මේ ගෙයි වැඬේ එකලාසයක් කරන්න මටත් එන්න වෙයි. අපිට එතකොටවත් එයාට කියන්න බැරියෑ.”
තමාලිව නුවරින් රත්නපුර බසයකට නංවා පොඩිමාමා දන්නා අඳුනන බ්‍රෝකර්වරයෙකු සොයාගියේ රුපියල් පන්සියයක් ඈ අතේ තබමින්ය.


ඉදිරි සති දෙක හි අපමණ වෙහෙසක්දරා පොඩිමාමා ඔහුගේ ව්‍යාපාරික මිත්‍රයෙක් නිවස මිලදී ගැනිමට එකඟකර ගත්තේය. ගැනුම්කරුවෙකු හමුවූ බැවින් ඊළඟ සතියේ මැද ජයවීර බැලිමට පොඩිමාමා සමඟින් තමාලි නුවර යෑමට කතිකාකරගත්තා ය. කෑම අරුචිය නිසාවෙන් ඇදී පැදී ගියත් තමාලිගේ කුස මඳ පිරුණු ගතියක් පෙන්නුම් කෙරුණි. ගියවර මෙන් නොව අඩුවෙන් කතාකල පොඩිමාමා නිවස විකුණා ඉතිරි මුදල් තමාලිගේ අතට ලැබෙන අයුරු පැහැදිලි කර තමාලිට ජයවීර සමඟින් කතා කිරිමට ඉඩ හරිමින් පසෙකට විය. තමාලිගේ වැහැරුණු කයත් දෑස් යටගිලි දුර්වර්ණවූ මුහුණත් දුටු ජයවීර කෑමටවත් මුදල් නොමැතිව ඇය බොහෝ දුක් විඳින බව සිතුවේය.

“ඔයා ගොඩක් ඇදිලා ගිහිල්ලා. ගෙදර වියදමට සල්ලි නැතිව ඇති නේද?”
ජයවීරගේ මුහුණ දෙසට නෙත් යොමුකල ඈ කඳුළු පටලයෙන් බොදවූ දෑස් ලේන්සුවෙන් පිසදාගත්තා ය. 
“මට ඔයාට කියන්න දෙයක් තියෙනවා... ගියවතාවෙත් කියන්න හැදුවා ... ඒත්...”  
“ඇයි මොකක්ද?”
“මට ... ආ..යෙමත් බබෙක්..”   
“වෙන්න බෑ. තමුසේ මාව අන්දන්නද හදන්නේ?”    
ජයවීරගේ එම කතාවෙන් විපිළිසරවූ තමාලිගේ නෙත් කෙවෙණි තුළ දඟකලාවූ කඳුළුගුලි පිටට පැන්නා ය. ඇය ලැජ්ජාවෙන් වටපිට බැලීය.
“තමුසේ හිතන්නේ මම මෙතන හිටියාට කිසිම දෙයක් නොදන්න තොත්ත බබෙක් කියලාද? මාව බේරගන්නය කියලා අරුත් එක්ක එහේමෙහේ ගිහිං නටපු නාඩගං මම දන්නවා.”
“ක..කවුද? කාත් එක්කද?”       
“කවුද? නොදන්න බබා. ඇයි අර පර බල්ලා ..... . . මිල්ටා.” 
“ඔයා මේ මොනවාද කියන්නේ?”
“තමුසේ මම හිරේ ඉන්න දවස්වල අර මිල්ටනයා එක්ක එහේමෙහේ ගිහිල්ලාද බඩකරගත්තේ?”
“ක... කවුද ඔය ජරා කතාව කිවේ? මිල්ටන් මල්ලි එහෙම ජරා අදහසකින් නෙමෙයි එහේ ආවේ.”
“ඒ දවස්වලම මට ඔය විත්තිය අම්මලා කිව්වත් මම ඒක විශ්වාස කලේ නෑ. දැන් උගෙන් බඩ කරගෙන එනවා මට කියලා උප්පැන්නේ ලියවා ගන්න.”
“අනේ ජයවිර මම ඔයා ඇරෙන්න කා ළඟටවත් ගිහිල්ලා නෑ. අර අහිංසකයාට එහෙම කියන්න එපා.”
“ආ පට්ට බැල්ලියේ තොට දැන් ඌ අහිංසකයා. තෝ මිල්ටනයා එක්කම පල.”
“ජයවීර ළමයෝ ඇයි මේ දුවට එහෙම කියන්නේ. මේ ලැබෙන්න ඉන්නෙත් ඔයාගේම ළමයෙක් නේද?”   
“දැන් උඹත් ආවද මේ පරට්ටිව සුද්ද කරන්න. මම ගෙවල් විකුණන්නේ නෑ තොපිලා ඔක්කෝම පාරට වැටුනාවේ.”       
“මොකද මේ තමුසෙලා කෑගහගන්නේ? දැන් ඇති තමුසෙලා කතාකළා. දැන් යනවලා. එනවා ගෙදර රණ්ඩු මෙතන කරන්න. පිසී මේ මිනිහාව අරගෙන යනවා. හරි දැන් තමුසෙලා දෙන්නත් යනවලා.”    

ජේලර්වරයා කෝපයෙන් යුතුව බැණවදින්නට විය. පසෙක සිටි ජේලර්වරයෙකු ජයවීරව රැගෙන යද්දිද ඔහු තමාලිට බැණවැදීම නැවැත්වූයේ නැත. අමුත්තන්ගේ කාමරයේ සිටි සිරකරුවන් බලන්නට පැමිණි පිරිසේ සියල්ලන්ම පිළිකුලෙන් වෙසඟනක් දෙස  බලන්නාක් මෙන් තමා වෙත නෙත් යොමාගෙන ඇතැයි තමාලිට හැගුණි. අමුත්තන්ගේ කාමරයෙන් පලාගොස් කෑගසා වැලපෙන්නට ඇයට ඇවසි වීය. ඉහළට ගත් හුස්මක් පහළට හෙලූ ඈ වාඩිවිගෙන සිටි බංකුවෙන් නැගිටගත නොහැකිව බලාගෙන සිටියා ය. යුහුසුලුව වාඩිගෙන සිටි බංකුවෙන් නැගිටගත් පොඩිමාමා අමුත්තක්ගේ කාමරයෙන් පිටවුනේ සිදුවූ දෙයින් වික්ෂිප්ත වි සිටි තමාලිට තමන් පසුපසින් එන මෙන් අතින් සන් කරමිණි. 

“මම හිතුවේ නෑ ජයවීර ඔයවාගේ පටු අදහස් තියෙන එකෙක් කියලා. මහ ජරා කැත විදිහටනේ කෑ ගැහැව්වේ.” 
කාමරයෙන් එළියට ආ පොඩිමාමා කීවේය.
“මට ජිවිතේම එපා උනා මාමේ. එතැන හිටපු අය මම මහ නරක ගෑණියෙක් විදිහටයි බැලුවේ. මේ ළමයි දෙන්නා නැත්නම්....”    
“පිස්සුද? දුවේ ඔයා ඔය දේ ගැන එච්චර හිතන්න එපා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ජයවීරගේ ඔය තරහා ඉක්මනින් නිවිලා යයි.”  
“මට කරපු ලැජ්ජාවට ආයෙත් ඔය මිනිහා බලන්න රෙද්දක් ඇඳගෙන එන්න පුළුවනිද? දැන් ගෙදර විකුණන වැඬේට මොකද කරන්නේ?”   
“මමත් කල්පනා කලෙත් එකම තමා. ජයවීරගේ තරහා නිවෙනකම් ඉදලා ආයෙමත් ගිහිල්ලා කතා කරලා බලන්න ඕනේ.”
“වැඩක් නෑ මාමේ අර අම්මණ්ඩි ගිහිල්ලා මාත් එක්ක තියෙන තරහට හොඳට ගින්න දීලා තියෙනවා. තවත් එයත් එක්ක කතා කරලා වැඩක් නෑ.”
“එහෙනම් මොකද කරන්නේ?”
“මොනවා කරන්නද සැමුවෙල් මුදලාලිට ගේ බාරදීලා පාරට බහිනවා.”
“අපරාදේ මෙච්චර වටිනා ගෙවල් දොරවල් කුණු කොල්ලේට දෙන්නේ. මම අයෙමත් පාරක් ගිහිල්ලා කතා කරන්නම්?”
“එපා. වැඩක් නෑ. ඔය මිනිහා මාමට බැනලා එළවා ගනියි. මම කැමති නෑ එයාව බලන්න යනවාට.”
“ජයවීර බැන්නත් කමක් නෑ මම තව පාරක් ගිහිල්ලා එයාගේ හිත වෙනස් කරන්න බලන්නම්.”
“පොඩිමාමාට පුළුවන්නම් ගිහිල්ලා බලන්න. එත් මම හිතන්නේ නෑ එයාගේ හිත වෙනස් කරන්න පුළුවන්වෙයි කියලා.”
“ජයවීර කියනවා නම් ගෙදර විකුණන්නේ නෑ කියලා උඹ උඹේ තීරණය අරගනින්. බයවෙන්න එපා ගේ බාර දීලා හල්දුම්මුල්ලේ වරෙන් මම උඹලා ගැන බලාගන්නම්.”    

සිතතුළට ගිනි අවුලවාවූ ජයවීරගේ රළු වදන්වලින් හෙම්බත්ව සිටි තමාලිට මඳ අස්වැසිල්ලක් ගෙනදීමට පොඩිමාමාගේ එම කතාව සමත්වීය. පීඩනය ආවේගය මෙන්ම උදරය කකාරා නැගඑන ඔක්කාරය විදදරාගනිමින් මහන්සිසහගත තෙහෙට්ටුව විසින් පෙලණු ලැබූ ඈ රත්නපුරයට ළඟාවූවත් නිවසට නොගිහින් කාන්ති හමුවට ගියා ය. සිතේ මෙතෙක් අගුලුලා තිබූ සියලු දුක් පීඩනයන් හා ආවේගයන් එළියට ඇදදමා මුළු රත්නපුරයම සුන්නද්දූලිකරයන්නට හඬා වැලපෙන්නට ඇයට ඇවසිවිය.

“මම හිතුවේ නෑ ජයවීර ඔය තරම් අත්මාර්ථකාමි මිනිහෙක් කියලා. තමන් නිසා ගැබ්බරවෙච්චි ගෑණිට ඔහෝම කතාවක් කියනවද?”
“එයත් බැලුවේ එයාගෙන් අපිටවුනු වැරදි ටික වහගන්න මඟක් විතරයි කාන්ති.”       
“ ගෑණු අපි හරිම මෝඩයි තමාලි. අපිට කරන්න තිබුනේ ඔය විත්තියක් මුලින්ම ජයවීරට කියන්නයි.” 
“එහෙම කිව්වත් වැඩක් නෑ අර අම්මණ්ඩි මම මිල්ටන් මල්ලි එක්ක යාළුයි කියලා තියෙන්නේ එයා රිමාන්ඞ් එකේ හිටපු දවස්වලයි.”      
“ඔය ගෑණිට හෙනම ගහගන්න එපැයි මේ කියපු බලු කතාවට.”
“මාත් එක්ක තියෙන්නේ පෙර ආත්ම ගානක ඉදන් එන වෛරයක් වෙන්න ඇති.”
“දැන් එයා ඉඩමයි ගෙයයි විකුණන්න බෑ කියන නිසා ඔයා මොකක්ද කරන්න හිතන් ඉන්නේ?”
“මේ දවස් ටිකත් ගෙවාගන්න සල්ලි තිබුනේ නෑ හොඳ වේලාවට එදා පොඩිමාමා දුන්න රුපියල් පන්සියෙන් තමයි කන්න බඩු ටිකත් අරගත්තේ. දැන් කඬේටත් හොඳටම ණය වෙලා ඉන්නේ. පොඩිමාමා මට කිව්වා එයා තව සැරයක් උත්සාහ කරලා බලන්නම් කියලා. ජයවීර අකමැති නම් මුදලාලිට ගෙදර බාර දීලා හල්දුම්මුල්ලේ ගෙදරට එන්න කියලා.”      
“එත් පොඩිමාමා කියනවා වාගේ තව සැරයක් වත් ජයවීරට කියලා එයාගේ හිත වෙනස් කරගන්න බලමු.”
“ඔයා දන්නේ නෑ කාන්ති ජයවීරගේ හැටි. එයා කිව්වොත් කිව්වා තමයි. හිරිම හිතුවක්කාර මුරණ්ඩු මිනිහෙක්.”
“ඔයා කඬේට තියෙන ණය? ඒවා ගෙවන්න සල්ලි තියෙනවාද?”
“ඒ ටිකත් පොඩිමාමා මේ පාර පඩියෙන් ගෙවලා දාන්නම් කිව්වා.”

කාන්ති සමඟින් කතා බහ කිරීමෙන් තමාලිගේ සිත තුලවූ බොහෝ බරක් ඉවත්ව ගියාක් මෙන් දැනෙන්නට විය. නුවර බෝගම්බර සිට රත්නපුරයට එනතෙක් සිත්තුල රඳවාගෙන ආ වේදනාවන් යම් තරමකට හෝ සමනය කරලන්නට කාන්තිගෙන් විශාල පිටුවහලක් ලැබිණ. තමාලි නිවස බලා පිටත්ව ගියේ හදවතේවූ ලතැවිලි පිරුනු සිත් වේදනාවන්ගෙන් යම් තරමකට හෝ අස්වැසිල්ලක් ලැබ ගනිමින්ය. තමාලි යළිත් ජයවීර දකින්නට අකමැතිවූවත් පොඩිමාමා තම උත්සාහය අත්හැරියේ නැත. ඔහු යළිත්වතාවක් ජයවීරව බලන්න බෝගම්බර සිපිරි ගෙදරට ගොඩවැදුණි. ජයවීර තම මතය වෙනස් කලේ නැත. කඩවූ බලාපොරොත්තු සමඟින් රත්නපුරයට ආ පොඩිමාමා තමාලිගේ තිරණය නිවැරදි බැව් කීවේය. නිවස උකස් කල ජයවීරටම සැමුවෙල් මුදලාලි එක්ක ගනුදෙනු බේරාගන්නට ඉඩහැරීම ඇරෙන්නට වෙන කලහැකි දෙයක් නොවන බව ඔහු කීවේය. නිවස හිස්කර සැමුවෙල් මුදලාලිට භාරදෙන්නට තමාලි කැමතිවූවා ය. තමන් නොබෝදිනකින්  රත්නපුරය හැරදා හල්දුම්මුල්ලට යන බව පවසන්නට කාන්ති හමුවන්නට ගියා ය.     

“දැන් ඉතිං කවදාද ඔයාලා එහෙට යන්නේ?”
“තව මාස එකහාමාරක් විතර ඉන්න පුළුවන්. ඒත් ළමයින්ගේ වාර විභාගේ ඊටත් ඉස්සරින් ඉවර වෙනවා. විභාගේ ඉවරඋනු හැටියෙම වාගේ යන්නයි හිතන් ඉන්නේ.”
“එක හොඳයි එයා ගේ ඉල්ලන්න ඉස්සර දීලා යන එක. ඒත් අපරාදේ මෙච්චර වටිනා එකක් කුණුකොල්ලේට දෙන්න වෙන එක. ”
“මට දැන් නැතිවෙන්න දෙයක් නෑ කාන්ති. අනික ඕවා මගේ දේවලුත් නෙමෙයි නේ.” 
“ඔයා ඔහොම කිව්වාට ඔය දේපලවලට කසාද උරුමෙන් ඔයාටත් අයිතියක් එනවා.”
“වැඩක් නෑ කාන්ති ඔය දේවල් වලට උරුමකම් කියන්න ගියොත් අර අම්මණ්ඩිත් එක්ක මිනීමරාගන්නයි සිද්ධ වෙන්නේ. කොහොමත් මම ආයෙමත් ඔය මිනිහා එක්ක පවුල්කන්න යන්නේ නෑ. තමන්ගේ ලේවලින් ජාතකඋනු බඬේ ඉන්න දරුවා තමුන්ගේ නොවෙයි කියන නරුමයෙක් එක්ක මම කොහොමද එකට ජිවත්වෙන්නේ?”
“එතකොට මේ ළමයින්ට යන කලදසාව? ඉදිරි අනාගතය?”
“ඕවා සැලසුම් කරලා වැඩක් නෑ. එන විදිහට මුහුණ දෙනවා.”

අසුනින් නැගිටගත් ඕ ඉතාමත් උදාසීන අයුරින් කාන්තිට පිළිතුරු දී ඉදිරි දොරවෙත ඇවිද ගියා ය. එකවරම උදරය පෙරළා ආ ඔක්කාරය නිසා අතින් මුව වසාගත් ඕ නිවස ඉදිරියේ කාණුව දෙසට නැඹුරුවිය. මුවින් පිටවන්නට කිසිත් උදරයේ නොමැතිව සිටි තමාලි බිත්තියට අත තබා වාරුගෙන ඔක්කාර කරමින් වමනය දමන්නට කරන උත්සාහය දුටු කාන්තිගේ දෙනෙතටද කඳුළු උනා ආවේය. ඇය වහාම තමාලිගේ හිස පිරිමදිමින් සනහන්නට උත්සාහකළා ය. ඉතා අසීරුවෙන් ඔක්කාරය නවතාගත් ඈ කටට උනා ආ කෙල කාණුවට හැලූ පසු හිස ඔසවා කාන්ති වෙතට වියළි සිනාහවකින් සංග්‍රහ කළා ය. 
“මම යන්නම් කාන්ති.”       
තමාලි නොපෙනි යනතුරු  බලා සිටි කාන්ති ගැඹුරු සුසුමක් හෙලා ලය සැහැල්ලු කරගන්නට උත්සාහකළාය. 

තවත් සතියකින් පමණ ඇරඹෙන වාර විභාග වලින් පසුව පාසලින් අස්විමට ඉල්ලා සිටීම සඳහා තමාලි ඉන්දිරාගේ පාසලට ගොස් යළි නිවසට පැමිණිමේදී ඇයගේ පරම සතුරාවූ ජයවීරගේ මව මුණ ගැසිණ. තමාලි දුටු විගසම කෙරුම්කාර ආවේශයක් ආරූඪ කරගත් ඇය යුහුසුලුව පාර මාරුවි තමාලි ඉදිරියට ආවා ය. 

“මම බලාගෙන හිටියේ උඹව හම්බවෙනකල් තමයි.”
“ඇයි මොකටද?”
“එක එකාගෙන් සල්ලං වෙලා මගේ කොල්ලාව දැලේ දාගත්තා මදිවට ඌ හිරේ ගිය අල්ලපනල්ලේ තව උං එක්කලා වනචරකමේ ගිහිල්ලා බඩකරගෙන ආවා නේද බැල්ලියේ?”
“මම කරපු වනචරකමක් නෑ. මෙතන පාර, කෑගහන්න එපා.”
“අපොයි නල්ලමලේ පත්තිනි අම්මා. දැන් හදන්නේ උඹ මගේ කොල්ලාට කියලා අනුන්ගේ පැටවුන්ට උප්පැන්න ලියවන්න වෙන්නැති.”
“තමන්ගේ ළමයාට තාත්තා උප්පැන්න දෙන්නෙ නැතිව වෙන මොකා දෙන්නද?”
“කවුද දන්නේ අනිත් උන් දෙන්නාත් පිට උන්ගේද කියලා. තොගේ මායම්වලින් රවට්ටගෙන මගේ එකාගේ ජීවිතේම කෑවා.”
ජයවීරගේ අම්මා කියූ කතාව ඇසූ විගසින්ම ඇගේ සියොළගම කේන්තියෙන් සලිතවන්නට වීය. ආවේගයන් පුපුරා ගොසින් ඇයට තමන් සිටින ඉසව්ව පවා අමතක විය.
“ආ පර ඳහ ජරා බැල්ලියේ තෝ හිතන් ඉන්නේ මම තොගේ පුතා අල්ලගෙන උගේ ජීවිතේ කෑවා කියලද? ඌ බේබද්දෙක් වගේ බීලා බීලා අර අහිංසකයෙක් යටකරලා මරලා දැම්මා මදිවට මාවත් උගේ ලෙයින් ජාතක වෙච්චි ළමයි දෙන්නාගෙත් ජීවිතේ විනාස කළා. මගේ ඇඟ උඩට නඟින්න හොඳයි බඩට ආපු ළමයා උගේ නෙමෙයි. තොගේ මහලොකු බේබදු පුතා අපිව පාරට ඇදල දැම්මා. දැන් මට තොගේ පුතා වැඩක් නෑ. ඒකාව මට ඕනෙත් නෑ. උගේ අනිත් ඕනෑ එපාකම් ඒවත් තෝම කරලා දීපං. හැබැයි තවත් මට අරවාමේවා කියාගෙන ආවොත් මහපාර කියලා බලන්නේ නෑ තොගේ දත්වහල්ලම බිමට වැටෙන්න ගහනවා.”  
අවුරුදු ගණනාවක් සිතේ ඒකරාශිවූ සියලු ආවේගයින් මුවින් පිටකල තමාලි හති දැම්මා ය. යක්ෂණියක් සේ කෝපාවිෂ්ඨව ඇඟට පැන්න තමාලි කෙරහි ජයවීරගේ මවට ඇතිවූයේ විශාල බියකි. තමා කවරදාකවත් කෙතරම් අවලාද නැගුවත් දෑසට කඳුළු පුරවාගෙන මුවින් නොබැන සිටින තමාලි අද දින වියළී රතුවගිය දෙනෙතින් යුතුව යකින්නක් සේ හැසිරීම විශාල වෙනසකි. තිගැස්සී ගිය ඈ තම උපවිඥානයෙන් අණකෙරුණු පරිදි එකවරම පාරෙන් එහා පැත්තට පැන පළාගියා ය. මහපාරේ සිදුවූ මෙම සිදුවීම කිහිපදෙනෙක් බලාසිටියත්  වටපිට නොබලා ඒ ගැන වගක්නොවුනු ගානට තමාලි තම ගමන යළිත් පිටත්විය.

                                                      * * * * *

     නිවස බාරදී හපුතලේට පිටත් වීම සඳහා ඇය සැලසුම් කල නියමිත කාලවකවානු ඉක්මණින්ම ළඟාවිය. සැරෙන් සැරේ ණය ගෙවිම සඳහා විකුණා දැමිම නිසා ලොරියක පටවාගෙන යන්නට තරම් විශාල ගෘහභාණ්ඩ ප්‍රමාණයක් මේවනවිට තමාලි සතු නොවීය. ඉතිරිව තිබූ ගෘහභාණ්ඩ බදුල්ලට රැගෙන ගියත් පොඩිමාමාගේ නිවසේ එවා තබන්නට ඉඩකඩ අඩු බැවින් අතේ රැගෙන යා හැකි දේවල් පමණක් ඉතිරිකරගත් ඈ අනෙක්වා විකුණා දැම්මා ය. ජයවීර නිදහස්වි එනතෙක් නිවසේ විසීමට ඉල්ලීම් කිරිමටද නොගිය තමාලි සැමුවෙල් මුදලාලිගේ සැලසුම ව්‍යාර්ථ කරමින් නිවසේ යතුර භාරදෙන්නට ඔහු හමුවන්නට ගියේය.
“ඇයි මේක භාරදෙන්න මෙච්චර ඉක්මන් වුනේ? ජයවීර මංළඟ වැඩකරපු මිනිහා වෙච්චි, මම ඒ මිනිහා හිරේ ගියාම ගෑණිවයි ළමයින්වයි එළියට ඇදලා දැම්මා වාගේනේ මේ වැඬේ.”
“ඉතිං මුදලාලිමනේ කිව්වේ තව මාස දෙකකින් ගේ සින්න වෙනවා මාස තුනක් ඇතුලත සල්ලියි පොලියයි ගෙවලා බේරාගත්තේ නැත්නම් ගේ බාර දෙන්නය කියලා.”
“ඔව් ඇත්ත තමයි සින්නවෙනවා, එදා මට එහෙම කියවෙන්න ඇති. එත් ඔයා මට ඇවිල්ලා කිව්වානම් මම ජයවීර එනකම් ඉන්න දෙනවානේ. අනික මේ ගෙවල් අරගෙන මට කාට දෙන්නද?”
“කමක් නෑ මුදලාලි එයා නිදහස් වෙලා එනකම් අපි තවත් ඒ ගෙදර හිටියාත් ගෙවන්න තියෙන පොලිය ගොඩක් වැඩිවෙයි.”
“පිස්සුද ළමයෝ මම එහෙම කරනවාද? ජයවීර එනකම් ඔයාලට ඉන්න දෙන්න පුළුවන්. දැන් මේ ළමයි අරන් කොහේටද යන්නේ?”
“මම අපේ ගෙදරට යනවා.”       
“සල්ලි අමාරුකම් එහෙම තියෙන්න ඇති නේද? අවශ්‍යතාවල් එහෙම කිව්වා නම් මම උදව්වක් පදව්වක් නොකර ඉන්නේ නෑනේ.” 
“මුදලාලිට කියලා ගන්න තරම් උදව් තිබුනේ නෑ.”  
“එකනම් මට විශ්වාස කරන්න බෑ. ගෑණුන්ට අවශ්‍යතා කොච්චරක් තියෙනවාද? විශේෂයෙන් කසාද බැඳපු ගෑණුන්ට.”
ඔහු තම කපටි කාමුක බැල්ම තමාලිගේ පිරුණු ළැම දෙසට එල්ල කරමින් පැවසීය. සැමුවෙල් මුදලාලිගේ ගති ලක්ෂණ කටකතා වලින් හොඳහැටි තේරුම් ගෙන සිටි තමාලි අසුනින් නැගී සිටියාය. 
“මට කරන්න වැඩ ගොඩක් තියෙනවා මුදලාලි. මෙන්න යතුර, කරපු උදව් උපකාර වලට ස්තුතියි. මම එහෙනම් යන්නම්.”  
සැමුවෙල් මුදලාලිට වචනයක් පවසන්නට ඉඩක් නොතියා ඇය වහාම යතුර ඔහුගේ මේසය මත තැබීය. ඔහු ඇය දෙස බලා සිටිද්දීම කන්තෝරු කාමරයෙන් එළියට බැස්ස තමාලි කඩිනමින් පිටත්වූවා ය.       

     ඈ තම යෙහෙළියවූ කාන්තිටද සමුදී ඉන්දිරා හා කෝලිත සමඟින් හපුතලේ බලා පිටත් විය.  පොඩිමාමාගේ උදව් උපකාර ලැබුවායින් ඈ ඉන්දිරා හා කෝලිත හල්දුම්මුල්ලේ පාසලකට ඇතුලත් කරන්නට හැකි විය. තමාලි තවත් පිරිමි දරුවෙකු වැඳු අතර ඔහුට දිනේෂ් යැයි නම් තැබ්බා ය. පොඩිමාමාට හා සුදු නැන්දාට තවදුරටත් බරක් වීමට අකමැතිවූ ඈ දිනේෂ්ට වයස අවුරුද්දක් පමණ වනවිට ඩුබායි හි ගෘහ සේවිකා රැකියාවක් සඳහා පිටත්ව ගියා ය. තම ජීවිතයේ අනේකවිද දුක් ඉසිලූ එම කාලවකවානුව ආවර්ජනය කරමින් සිටි තමාලිට බස් රථයේ වායුසමිකරණයෙන් ගලා ආ සිසිලස සුව නින්දකට මඟපෑදීය.

තමාලිට සිදුවුයේ කුමක්ද? මතුසම්බන්ධයි......

Monday, August 24, 2020

පළිගු කිරිල්ලී - හත්වන කොටස


පළිගු කිරිල්ලී   -  හත්වන  කොටස

යළිත් ජයවීර නොමැති ඡීවිතයකට හැඬගැසීමට තමාලිට හා දරුවන්ට දින කිහිපයක් ගතවිය. නිවසේ ආර්ථික තත්වය එන්න එන්නම දුර්වල වෙද්දී තමාලි රැකියාවක් සොයාගැනිමට උත්සාහකළා ය. මිල්ටන් මල්ලි හමුවට ගොස් රැකියාවක් සොයාගැනිමට උදව්වක් ලබාගත හැකිදැයි විමසිමට තමාලි අදහස් කරගත්තා ය. එහෙත් ඇය නොසිතුපරිදි සැමුවෙල් මුදලාලි තමාලි හමුවිමට පැමිණියේ මේඅතරවාරයේදීය. ඔහු ඇගේ අරාධනාවකින් තොරව සාලයේ පුටුවක හරිබරිගැසී හිදගත්තේ ය.

“දැන් කිහිප දවසක ඉදන් මෙහෙට එන්නයි කියලා හිතන් හිටියට එන්න වේලාවක් තිබුනේ නෑ. මම මේ වෙනින් ගමනක් යනින් ගමන් මෙහෙටත් ගොඩවෙලාම යන්න ආවේ ඒ නිසයි.”
“ඇයි මුදලාලි?”
“නෑ ජයවීර හිරේ ගියාට පස්සේ මටත් මේ ගෙවල් පැත්ත බලන්නවත් වේලාවක් තිබුනේ නෑ. ජයවීර ටෙම්පරි වැඩ කලත් මා ගාව හිටපු සේවකයෙක් නේ.”
තමාලි නිහඬව ඔහු දෙස බලාසිටියා ය.
“බලන්න මේ මනුස්සයාව මගේ ලොරියේ වැඩවලට පර්මනන්ට් කරන්න හැදුවත් එපා කිව්වානේ. මිනිහා බලන් හිටියේ මේ නඩුවෙන් පස්සේ ආයෙමත් ඩිපෝ එකේ රස්සාව ලැබෙයි කියලා.”
“ඒ විත්තියක් මාත් එක්ක නම් කියලා නෑ.”
“මමත් මුලදි ටිකක් විතර බයවුනා මේ මිනිහාගේ බීම නිසා. එත් ලොරියට හරිම ආදරෙන් තමයි වැඩකලේ. ගෙදර ගෑණිටවත් මෙච්චර ආදරයත් තියේයිද කියලාත් මට හිතුණා.”
ඔහු හක හක ගා සිනාසෙන්නට විය. තමාලිට ඔහුගේ අවලං සිනාව සිත් නොගත්තීය.
“මම මේ අහන්නමයි හිටියේ ඇයි ජයවීර මෙයාකාර බොන්නේ? දෙන්නා එක්ක මොකක් හරි විරසකයක්, ප්‍රශ්නයක් එහෙම තිබුණාද?”
“නෑ මුදලාලි එහෙම එකක් නෑ.”
“නෑ මම මේ අහන්නේ, සමහර අය වැඩිපුර බීමට පෙලෙඹෙන්නේ තමන්ගේ කියන්න බැරි අඩුපාඩුකම් වහගන්නයි. එහෙම එකක්වත්ද කියලා හිතුණා.”     
සැමුවෙල් මුදලාලි වටේ පාරෙන් ඇවිත් මේ කියන්නේ කුමක්දැයි ඉව වැටුනු තමාලි නුරුස්සනා සුලු බැල්මක් හෙලුවාය.
“මුදලාලි මොනවද මේ අහන කතා.”
“හරි හරි ඕකට ඔච්චර තරහා ගන්න ඕනේ නෑනේ. මම කිව්වේ මොකක් හරි ප්‍රශ්නයක් තියේනං ඒවාට පිළියමක් කරලා දෙන්නයි.”
“ඔයවාගේ දේවල් අහන්නද මුදලාලි මෙහෙට ආවේ?”
තමාලි තම කෝපය යටපත් කරගෙන ඇසුවා ය.
“මම මෙහෙට ආවේ ජයවීර වෙනුවෙන් කලයුතු දෙයක් තියෙනං කරලා දෙන එක මගේ යුතුකමක් නිසා.”
“දැන් කොහොමත් ඒ බීම නැවතිලානේ. මුදලාලිට පුළුවන්නම් ණයක් හැටියට හරි ජයවීරගේ වන්දි මුදල ගෙවන්න. එතකොට ජයවීර අවුරුද්දෙන් නිදහස්. පස්සේ මුදලාලි ගාව වැඩ කරන ගමන් ණයත් ගෙවන්න පුළුවනි.”
“ණය? මේ මොනවා කියනවාද? දැන් ජයවීර මේ ගෙදර උකසට තියලා අරගත්තුවාත් තාම බේරුවේ නැති කොට.”
“ගේ උකසට තිබ්බා? මමනම් දන්නේ නෑ. මට කියලාත් නෑ.”
“දැන් දන්නේ නෑ කියන්නේ. බොරු කරන්න එපා. දුවගේ කොටහළුවට සල්ලි ඕනෙයි කියලා ජයවීර ගෙදර ඔප්පුව තිබ්බේ.”
“මමනම් ඔය විත්තියක් දන්නේ නෑ මුදලාලි. දැන් එයා කීයක් විතර අරගත්තාද?”
“නඩුවේ වියදම් වලටත් කියලා සැරින් සැරේ අරගත්තුවාත් එක්ක දැන් ලක්ෂ එකාමාරත් පැනලා. තව මාස දෙකකදී පොළියයි සල්ලියි ගෙවලා බේර නොගත්තෝතින් මේක මට සින්න වෙනවා.”

සැමුවෙල් මුදලාලිගේ කතාවෙන් තමාලි තිගැස්සී ගියා ය. එදා මිල්ටන් මල්ලි උසාවියේදි තමා හා කී කතාව ඇත්තක් බව ඇයට හොඳහැටි තේරුම් ගියේ මේ මොහොතේදීය.

“මුදලාලිට පුළුවනිද ජයවීර එනකං කාලේ ටිකක් දිග්ගස්සන්න?”
“පිස්සුද? මම මේ නිකං දෙන දානපතියෙක් කියලා හිතුවාද? ඕනේනම් තව මාසයක් කල් දෙන්නම් සල්ලියයි පොළියයි බේරන්න. බැරිවූනොත් ගෙදර බාරදෙන්න පිළිවෙලක් කරනවා හොඳයි.”
සැමුවෙල් මුදලාලි පුටුවෙන් නැගිට එළියට යනින් ගමන් කීවේය.

මුලු නිවසම අන්ධකාරයේ ගිලුනාක් මෙන් ඇයට හැගුණි. ජයවීරගේ සංතෘප්තිය සඳහා තම දරුවනගේ අනාගතය සුන්නද්දූලී කර දැමූ ඔහු පිළිබඳව ඇගේ සිතට නැගුනේ විශාල ද්වේෂයකි. දෑසට නැගී ආ කඳුළු කිසිඳු බදාවකින් තොරව සීතල සිමෙන්ති පොළවට වැටුණි. පාසල නිමාවී ආ ඉන්දිරා හා කෝලිත තුරුලුකරන් මෙතෙක් වේලාවක් සිතේ සිරකරගත් දුක්ඛදෝමනස්සයින් ගලායාමට ඉඩදුන්නා ය. කිසිඳු හේතුවක්වත් නොදන්නා කෝලිත අම්මා සමඟින් හඬද්දී ඉන්දිරා අම්මාගේ තුරුලට වි අම්මාගේ වෙනස කුමක්දැයි බලා සිටින්නට විය.
“ඇයි අම්මා?”
“නෑ මට තාත්තාව මතක් උනා එකයි.”

තමාලි ගවුමේ වාටියකින් දැස් පිසදාගනිමින් පැවසුවා ය. ඕ ජයවීර නිවස උකස් කර ඇති බව සැඟවූවා ය. පසුදා ඉන්දිරා හා කෝලිත පාසැල් පිටත්කල පසුව මිල්ටන් සොයාගෙන තමාලි රත්නපුර ඩිපෝවට ගියා ය. ඇය අනුමාන කල පරිදි මිල්ටන් ඈට හමුවුණි.

“බලන්න මල්ලි එදා ඔයා කිව්ව කතාව මම වැඩිය විශ්වාස කලේ නෑ. ඒත් සැමුවෙල් මුදලාලි ඊයේ අපේ ගෙදර අවා. ජයවීර සැරින් සැරේ රුපියල් ලක්ෂ එකහාමාරක් විතර අරන් තියෙනවා කිව්වා.”
“මම ඔය මිනිහා ගැන ජයවීර අයියාට කිව්වා. එයා ඒක පිළිගත්තේ නෑ. ඔය මිනිහා කවදාකවත් උකස් ගත්තු ඉඩම් ආපහු බේරගන්න දෙන්නේ නෑ. එහෙමත් එකක් දෙකක් විතරයි ආපහු බේරාගෙන තියෙන්නේ. ඒ නිසාම කවුරුත් එයා ළඟ ඉඩම් උකස් තියන්නේ නෑ.”   
“දැන් අපි මොකද කරන්නේ මල්ලියේ?”
“එක තමයි මටත් තියෙන එකම ප්‍රශ්නේ? ඔය සල්ලි කොහොම හොයන්නද? තව මාස තුනක් තියෙන හින්දා අපි පොඞ්ඩක් ඉවසලා බලමු.”
“අනේ මල්ලියේ මටනම් මොකවත් හිතාගන්නට බෑ. ගේ සින්න උනොතින් මම මේ පොඩි උන් අරන් කොහේ කියලා යන්නද?”
“ඔයා දැන් මේ ගැන කල්පනා කරන්නේ නැතිව යන්න. අනික ඔයා  ලෙඩවුනෝතිං කවුද අර පොඩි උන්ව බලාගන්නේ?”
“මම දැන් ගෙදර ගියැයි කියලා මේකට විසඳුමක් එන්නේ නෑනේ.”
“ඔයා ගෙදර නොගියැයි කියලත් මේකට විසඳුමක් එන්නේ නෑනේ. අපි මේකට විසඳුමක් හොයමු. කොයි ප්‍රශ්නයකටත් විසඳුමක් තියෙනවා.”
“මල්ලිව මම විස්වාස කරනවා ඒත් මේකට ඔයාටත් විසඳුමක් නැති වෙයි. දැන් ළමයි ගෙදර එන වේලාව. මම එහෙනම් යන්නම්.”
“අක්කා පරිස්සමෙන් යන්න. මම ගැලවෙන්න ක්‍රමයක් හොයාගන්නම්කෝ.” 

මිල්ටන් මල්ලිට සමුදී ඩිපෝවෙන් එළියට බට තමාලි ටවුම දෙසට ඇවිදයන්නට විය. මද්දහනේ පොළවට එල්ලවන දැඬි හිරු රැස් වැදී තාරපාරෙන් එන රස්නය තමාලිට දරාගන්නට අපහසු විය. ගේට්ටුව පසුකර යාර කිහිපයක් ගමන්කළා පමණි, මුළු ඇඟම පණ නැති කරමින් කැරකිල්ල ගතියකින් ගත වෙලාගනු ඇයට දැනුණි. උදරය පෙරළීගෙන එන ඔක්කාර ගතියත් පිට දිගේ ගලන දහඩියත් නිසා වහාම අසල තාප්පයට අත තබාගත් ඈ මඳ වේලාවක් සිටියා ය. තාර පාර දිහා බැලීමටවත් නොහැකි තරමට ඇයගේ දෑස් නිලංකාරවීය. කැරකිල්ල ගතිය මඳක් අඩුවන තෙක් සිටි තමාලි තාප්පයට අත තබමින් වාරුගෙන හිමිහිට සෙවන ඇති තැනක් බලමින් ඉදිරියට ඇඳුණි. සෙවණ ඇති තැනක් අද්දර සිටගත් ඕ කැරකිල්ල ගතිය තරමකට පහවූ පසු නිවසට පිටත්විය. නිවසට ආ පසුත් කිසිම වැඩක් කරගත නොහැකි තරමට අලස ගතියකින් ගත පෙලෙන්නට විය. කට තිත්ත ගතියෙකින් යුතුව දැනෙන්නට වුණි. මාස දෙකකින් පමණ නොවූ මාස් ශුද්ධියත් සැරින් සැරේ බඩ පෙරලාගෙන එන ඔක්කාරය තමාලි තැති ගැන්වීය. පසුදාම කාන්ති හමුවිමට ගිය තමාලි රහසින් මෙන් මෙම සිදුවීම ඇයට පවසා සිටියා ය.

“ඔයාත් හරිම මෝඩයි. ටිකක් පරිස්සම් වෙන්න දැනගන්න එපැයි.”
“මම පුළුවන් තරම් පරිස්සම් වෙන්න බැලුවා එත්. . .මේ ....”
ඇය ඉතිරිය කාන්තිට පැවසීමට මැළිවිය.
“ඒකත් ඇත්ත අපි කොච්චර පරිස්සම් වෙන්න හැදුවත් ඉතිං වෙන්නේ මිනිහා පරිස්සම් නොවෙන එකනේ. එයාලට මොකද අපිනේ බඩත් උස්සාගෙන මෙතන දහදුක් විඳින්න ඕනේ.”
“දැන් මොකද කරන්නේ කාන්ති? ජයවීරත් ගෙදර නෑනේ.”
“ජයවීර එන්න තව අවුරුද්දක්වත් යනවා නේද?”
“අවුරුදු දෙකක් යනවා.”
“හරි වැඬේ තමයි. මිනිස්සු කියාවි ඔය ගෑණී බඩවුනේ මිනිහා හිරේ ගියාට පස්සේ කියලා.”
“එක තමයි කාන්ති මටත් තියෙන බය. ජයවීරට නම් මට ඇත්ත කියලා දෙන්න පුළුවනි. ඒත් ජයවීරගේ අම්මා? ඔය අම්මණ්ඩි මාත් එක්ක වෛයිරෙන් ඉන්නේ. එක දෙක කරලා කියාවි.”
“එහෙනම් අපි ඕක නැති කරලා දාමු. මම දන්න තැනක් තියෙනවා එතනටවත් යමු.”
“නැති කරන්න? අපෝ මටනම් බෑ. ඕවා මහ පාපකර්ම.”     
“පිස්සු නැතිව ඉන්න තමාලි. ඔයාට පුළුවනිද ඔය ළමයි දෙන්නාගේ වැඩත් එක්ක දැන් තව පොඩි එකෙකුගෙත් වැඩ කරගන්න? අනික අපි මේ විඳින දුක මදිවට තවත් එකෙක් මේ ලෝකෙට ගෙනල්ලා දුක් දෙන එකයි පාප කර්ම වෙන්නේ.”
“අනේ මටනම් බයයි කාන්ති. අපේ අම්මාත් මම පොඩි දවස්වල ඔය වාගේ වැඩක් කරගන්න ගිහිල්ලා තමයි මැරුනේ. එයා විඳපු දුක දැක්කාම ඕවා කරන්න හිතෙන්නේ නෑ.”
“ඒක ඉතින් හොඳට පුරුදු කෙනෙකුට දෙන්න ඕනේ. ඉස්සර ගොඬේ අම්මණ්ඩිලා කරනවා වාගේ සතකුප්ප බොන්නයි පැපොල් බට දාන ගොඩ වෙදකම් කරන්න ගිහිල්ලා තමයි වැඩ වරද්දගන්නේ.”
“ඔය දැන් හොඳ තැන් තියෙනවා කිව්වාට මේ ළඟදිත් ගෑණියෙක් මළා නේද? අර ගිය සුමානේ පත්තරේ තිබුනේ?”
“මම හොඳට පිරිසිදුව අලුත්ම බඩුවලින් කරන තැනකට අරගෙන යන්නම්. අනෙක් ජරා තැන්වාගේ නෙමෙයි මෙතන ගාණ නම් ටිකක් විතර සැරයි. හැබැයි ඔයාට මේක කරන්න කරන්න ඕනේ නම් විතරයි.”
“අනේ මන්දා කාන්ති ඔයවාගේ වැඩවලට මටනම් බයයි.”
“බයයි කිය කියා හිටියාම හරි යයි. පිස්සු නැතිව අද හෙටම යමු. පරක්කුවෙන්න පරක්කුවෙන්න වැඬේ අමාරුයි.”
“මටත් රස්සාවක් හොයාගන්න ඕනේ. නැත්නම් මේ ළමයින්ට කන්න බොන්න දෙන්න සල්ලි කොහෙන් හොයන්නද? එහෙනම් ගිහිල්ලා බලමු.”

කාන්ති විසින් දැඬිව කරුණු දක්වමින් කළ ඉල්ලිමක් වූවත් තමාලිගේ සිතේවූයේද තම ජිවිත උඩු යටිකරවූ අවිනිශ්චිත මොහොතක අනාරාධිතව පිළිසිඳගත් කළලයෙන් නිදහස් වීමක් ගැනය. එහෙත් තම ළා බාල අවදියේදී අම්මා දැඬිව ගිලන්වූයේ මේ වැනි අනාරාධිත කළලයක් ගබ්සා කරන්නට ගොස් බවක් එකල නොදැනුනත් එය දැන් ඈට හොඳින් පසක්වීය. හරිහමන් රැකියාවක් නොමැති තාත්තා නිසාවෙන් දරිද්‍රතාවයේ පතුළට එරුණු පවුලක් රකින්නට කුලියක් මලියක් සොයා යන අම්මාගේ ගමන නවතාලන්නට ආ ගැබ ඉවත්කර දැම්මේ ඇයි දැයි තමාලිගේ සිතට වැටහුණි. දිනක් පාසල් ඇරී නිවසට ආ ඇයට යටිකය වසාසිටි චිත්ත රෙදි තෙත් කරමින් රුධිරය ගලමින් සිටි අම්මා දැක කෑගැසුනු හැටි සිහිපත් විය. ළිද ළඟ ලිස්සා වැටුනා කියමින් රෝහල් ගතවූ අම්මාගේ අධික රුධිර වහනය නවතාගත නොහැකිවුණි. සියල්ලන්ගෙන් වෙන්ව මෙලොව අතහැර යන්නට පෙර රෝහලේ ඇඳක් මත ගිලන්ව වැතිරහුන් අයුරු තමාලිට මතක්වෙන මතක්වෙන වාරයක් පාසාම ඇගේ සිත තැතිගැන්වීය. ඇඟපතෙන් නැඟ එන අසහනදායී තෙහෙට්ටුව ජයවීර කෙරහි ද්වේශකර කේන්තියක් බවට පෙරළෙන්නට විය. රාත්‍රිය පුරාවට කල්පනා කල ඈ කාන්ති කී අයුරින් දරුගැබ ඉවත්කරගන්නට සිත එකඟකරගත්තා ය.

පසුදින රත්නපුර ටවුමට ආ තමාලිට මඳකට නවතින්නට පවසා කාන්ති බස් නැවතුම අසළ පිහිටි ත්‍රිරෝද රථගාල වෙත ගොස් එහි සිටියෙකු හා කතාබස් කළා ය. ඔහු පණගැන්වු ත්‍රිරෝද රථයට ඉක්මණින් නැගුනු ඈ තමාලි ඉදිරිපිට නවතා එයට ගොඩවන ලෙස අතින් සන්කළා ය. තමාලිද එයට ගොඩවූයේ යම් චකිතයක්ද සමගිනි. රත්නපුර ටවුම පසුකර මඳ දුරක් ගමන් ගත් එය අතුරු පාරක් හරහා ගොස් වෛද්‍ය මධ්‍යස්ථානය යැයි සඳහන් බෝඞ් ලෑල්ලක් සවිකර තිබූ කුඩා ඩිස්පෙන්සරියක් ඉදිරිපිට නතරවීය. රුපියල් පනහේ නෝට්ටුවක් රියදුරාට දිගුකල කාන්ති තමාලිත් සමඟින් ඩිස්පෙන්සරිය තුළට පිවිසියා ය. ඇතුළට පිවිසි ඔවුන්ට දක්නට ලැබුණේ පසෙක තිබූ දිගු බංකුවේ අසුන් ගෙන සිටිනා තරුණ යුවලක් හා මැදිවියේ කාන්තාවක් සමගින් මෑතකදී පාසැල් හැරගිය වයසේ ළාබාල යුවතියකි. තමාලිගේ විමසිලිමත් දෑස මගහරිමින් ළාබාල යුවතිය අම්මායැයි සිතෙන මැදිවියේ ගැහැණියේ උරහිසේ මුහුණ හංගාගත්තා ය. කලකින් නොසේදු කොළ පැහැති දොර රෙද්ද විවර කරමින් එළියට පැමිණි හෙදියකගේ ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසීගත් ගැහැණියක් මිළඟ වාරය තරුණ ජෝඩුවට බව දන්වා සිටියා ය. තරුණයා අසුනින් නැඟී සිටියත් නැඟිට ඇතුළට යෑමට අදිමදි කරමින් සිටින තරුණියගේ අකමැත්ත කුමක් අරඹයාදැයි එතැන සිටි සියල්ලන්ටම වැටහුණි. ඔවුන්ගේ වාරය උදාවූ බැවින් වෛද්‍යවරයා ගේ කාමරයට තරුණයා යහුසුලුව තරුණියව ඇදගෙන යනු තමාලි දැක්කා ය. හෝරාවක් පමණ එතැන රැදි සිටියත් කාන්ති සමගින් කතා කිරිමට තරම් වත් නිදහස් නිරවුල් මනසක් තමාලිට නොමැති විය. තම වාරය ආ විගස කාන්ති ඇගේ අතින් අල්ලාගෙනම වෛද්‍යවරයාගේ කාමරයට ඇතුල්වුණි. තරබාරු සිරුරකින් යුත් අවුරුදු තිහකට ආසන්න තරුණයෙකුවූ වෛද්‍යවරයා තමාලිට හා කාන්තිට අසුන් ගැනීමට අතින් සන් කළේය. කාන්ති දෙසත් තමාලි දෙසත් විමසිලිමත්ව නිරික්ෂණය කල ඔහු
“ඔව් කියන්න.” පැවසිය. තමාලි ගෙළුවත පුරද්දී කාන්ති කිසිදු පැකිලීමකින් තොරව සියල්ල නොවලහා වෛද්‍යවරයාට පැවසුවා ය.

“දැන් පිරියඞ්ස් නැවතිලා කොච්චර කල් වෙනවාද?”
ඔහු තමාලිගේ පිරුණු ළැම දෙස බලමින් ඇසීය.     
“දන්නේ නෑ.”
“දන්නේ නෑ? ඇයි ඒකවත් මතක තියාගන්න බැරිවූණාද?”
“සමහර දවස්වලට නැවතිලා ඉදලා පහුවෙලා පටන් ගන්න නිසා මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ. මාස දෙකක් වගේ තමයි මතක.”
“සමහර ගෑනු අයට ඕක ක්‍රමවත්ව සිද්ධ වෙන්නේ නෑ. කමක් නෑ දැන් ඉතිං බඩට මාස කීයක් වෙනවාද කියලා දැන ගන්න ස්කෑන් එකක් කරන්න වෙනවා.”
“දැන් මේ ස්කෑන් එකටයි අනික් වැඬේටයි කීයක් විතර යනවාද?”
කාන්ති වෛද්‍යවරයාගෙන් ඇසුවා ය.
“ස්කෑන් එක මෙහෙන් කරන්නේ නෑ. ඒක ප්‍රයිවේට් හොස්පිටල් එකකින් කර ගන්න වෙනවා. මගේ වැඬේට රුපියල් පන්දාස් පන්සීයක් ගන්නවා. කල් ගිහිල්ලා වැඬේ අමාරුනම් හත්දාස් පන්සීයක් ගන්නවා.”
“දැන් ඩොක්ටර් අපිට මේ වැඬේ ස්කෑන් නොකර කරගන්න පුළුවනිද?”
“ඇයි එහෙම අහන්නේ? හරියට දින දන්නවානම් එහෙම කරන්න පුළුවන්. ඔයාලා හිතන අනුමානෙට මට වැඬේ කරන්න බෑ.”
“නෑ අපි ගාව එච්චර සල්ලියක් නෑ. දොස්තර මහත්තයාට පුළුවන්නම් දෙදාහක් විතර අඩු කරලා දෙන්න.”
“තමුසෙලා හිතන් ඉන්නේ මෙතන පොළේ බඩු ගන්නවා වාගේ ගාණ අඩු කරගෙන වැඬේ කරගන්නද? මේවා කරලා අහුවුනාම උසාවිගානේ ගිහිල්ලා වියදම් කරද්දී දඩ ගහද්දී ඒ ගාණවල් අඩු කරන්නේ නෑනේ. ගිහිල්ලා මෙන්න මෙතනින් ස්කෑන් එකක් කරගෙන මෙතනට ගෙවන්න ඕන සල්ලිත් අරගෙන එනවා නිකං බොරුවට මගේ කාලේ කන්නේ නැතිව.”

කෝපාවිෂ්ඨ වූ වෛද්‍යවරයාගේ ගෝරණාඩුවෙන් වික්ෂිප්තවූ ඔවුන් වෛද්‍ය මධස්ථානයෙන් එළියට බැස්සේ මැළැවූනු වතෙනි. අතුරු මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගය දක්වා කිසිදු කතා බහක් නොමැතිව දැඩි කල්පනාවක ආ කාන්ති ප්‍රධාන මර්ගයට ආ පසු සිනාසෙන්නට උත්සාහ කළා ය.

“අපිටත් පිස්සු නේද තමාලි? අතේ සල්ලි නැතිව බෙහෙත් ගන්න යනවාට.”
“එනකොටත් මට හිතුනේ අපි මේ යන්නේ මෝඩ ගමනක් කියලායී. අපරාදේ එන්න මඟට වියදම් කරපු සල්ලි.”     
“ඒ වියදම් මගෙන් නේ. ඒ ගැන කරදර වෙන්න එපා. ඒත් මම හිතුවේ නෑ දොස්තරයා ඔයවාගේ ගාණක් ඉල්ලයි කියලා. අපි බලමු මේ සල්ලි හොයාගන්න විදිහක්.”
“කොහෙන්ද කාන්ති මෙච්චර ගාණක් හොයාගන්නේ ? දැන් ගෙදර කෑමබීමටවත් වියදම් කරන්න හරි හමන් සල්ලියක් නෑ.” 
“මට දුක ඔයා ගැනයි තමාලි. විඳවන දුක් මදිවටද මන්දා තවත් මේ බඩකුත් උස්සන් ඉන්නවුනේ. ඔයා කොහොමද ඔය තත්වෙන් රස්සාවක් වත් හොයාගන්නේ? දැන් ඔයා මේ විත්තියක් ජයවීරට කිව්වාද?”
“නෑ කාන්ති මම එයාව බලන්න ගියේ නෑ.”
“බලන්න ගියේ නෑ? ඔයා මාර ගෑණියෙක්නේ. ඇයි ඒ?”
“එහේ යන්න එන්න වියදමට සල්ලි කොහෙන්ද? අනික මට බලන්න යන්න හිත් දෙන්නේ  නෑ. එයා කරපු වැඩෙන් දැන් අපිට පාරට බහින්න වෙලා තියෙන්නේ.”
“ඇයි ඒ මොකක්ද?”
“අර සැමුවෙල් මුදලාලියාට මේ මිනිහා ගෙදර උකස් කරලා. මුදලාලි කිව්වා තව මාස තුනකින් සල්ලි බේරුවේ නැත්නම් සින්නවෙනවාලූ.”
“ජයවීර නම් පුදුම මිනිහෙක්නේ. මොකට සල්ලි අරගත්තාද?”
“ඉන්දිරාගේ මඟුලටයි නඩුවටයි වියදම් කරන්න කියලා සැරෙන් සැරේ ලක්ෂ එකහාමාරක් විතර අරගෙන තියෙනවාලූ.”
“ඔය මනුස්සයා ඔච්චර මෝඩද? දැන් කොහෝමද ඔය තරම් මුදලක් හොයාගන්නේ?”
“මටත් හිතාගන්න බෑ කාන්ති. දැන් ඉතිං කරන්න දෙයක් නෑ මම සැමුවෙල් මුදලාලිට ගේ බාරදෙනවා.”
“ ඊට පස්සේ?”
“මටත් හිතාගන්න බෑ එන විදිහකට මුහුණ දෙනවා. හපුතලේ සුදු නැන්දා ළඟටවත් යන්න තමයි දැන් වෙන්නේ.”
“එයාට පුළුවනිද ඔයාටයි ළමයි දෙන්නටයි කන්න අඳින්න දෙන්න?”
“සුදු නැන්දගේ මල්ලි පොඩිමාමත් ඉන්නවානේ. ඒ දෙන්නාම කසාද බැඳලා නෑ. අම්මා නැතිවූනාට පස්සේ මම හැදුනේ එයාලා ගාව තමයි.”
“පොඩිමාමාට බැරිද ඔය ගෙදර බේරලා දෙන්න?”
“පොඩිමාමාත් රජයේ සේවකයෙක්නේ එයාගාව කොහේද එච්චර සල්ලියක්. මම එයාට මේ ගැන කියලා උදව්වක් ගන්න බලන්නම්.”
“ඔයාට යන්න එපා කියන්න මට බෑ. එත් මේ නොදරුවන්ගේ ඉගෙනීම කඩාකප්පල් නොවෙන හොඳ විදිහක් කරන එක නම් ඔයාගේ යුතුකම තමයි.”
තමාලිගේ සැලසුම ගැන ඇසූ කාන්ති පැවසුවාය.

තමාලිට ගෙදර බේරාගන්නට හැකිවෙයිද?  මතුසම්බන්ධයි.......

Monday, August 17, 2020

පළිගු කිරිල්ලී - හයවන කොටස

පළිගු කිරිල්ලී  -  හයවන කොටස 
නැකත යෙදී තිබූ දිනයේ උදෑසනම ළිඳ වෙත රැගෙන ගිය ඉන්දිරාව සුදු නැන්දා පිච්ච මල් දැමූ සීතල වතුරෙන් නහවා කළගෙඩිය ළිං පඬියේ ගසා කුඩුකර දැම්මා ය. චීත්තයකින් ආවරණය කරගත් ඉන්දිරාව නිවසට රැගෙන ගොස් අලුත මැසු රෝස පැහැති ගවුමෙන් සැරසීය. කාමරයක දින ගණනාවක් කොටුවී සිටී එම දින කිහිපයට ශරිරය මඳක් වැඩී පිරිපුන් ගතියක්ද මුහුණෙන් පැහැපත් පෙනුමක්ද දිස්වීය. තමාලි ඇයට පුළුවන් උපරිමයෙන් චාරිත්‍ර කිරිමට උත්සාහ කළා ය. ජයවීරගේ දෙමව්පියන්ට හා සහෝදරයින්ට ඉන්දිරාගේ වැඩිවියට පත්වීම දන්වා ඇරියත් ඔවූන් එයට සහභාගී නොවීය. මල්වර උත්සවය දිනයේ තෑගී බෝග රැගත් ඉන්දිරාගේ යෙහෙළියන් හා අසල්වාසින් එකා දෙන්නා ඉන්දිරා බලන්නට ආවාහ. නිවසට එනෙන වැඩිහිටි අසල්වාසින්ට ආයුබෝවන් කියන්නටත් දණ ගසා වදින්නටත් සිදුවීමෙන් ඉන්දිරා සවස්වෙද්දී සිටියේ හෙම්බත්වය. මඟුල් උත්සවයට පැමිණී සියල්ලන්ගේ දෙනෙත් යොමුවූයේ නිවස ඉදිරියේ පැමිණ නවතන ලද කිරි පාටැති ලාන්සර් බොක්ස් රථය දෙසටය. කාරයෙන් බිමට බැස ගත් සැමුවෙල් මුදලාලි අහල පහළ සිටි කිසිවෙකු දෙස නොබලාම සුදු සරමේ ඉදිරිපස පයට පෑගීම වලක්වාලීමට වමතින් අල්ලාගෙන ඉක්මන් ගමනින් නිවසට ගොඩ වැඳුණි. කොහෙදෝ සිට දුව ආ ජයවීර දෙකට තුනට නැවී ඔහුට ආචාර කළේය.

“ඉඳගන්න මුදලාලි.”
නිවසේ තිබු හොඳම පුටුව පෙන්වාලූ ජයවීර පමණට වැඩියෙන් කළබල ගතියක් පෙන්වීය.
“කෝ මේ තමාලි, සැමුවෙල් මුදලාලි මහත්තයා ඇවිල්ලා. දුවට ඉක්මනට එන්න කියන්න.”
ඇය කුස්සියේ සිටි ඉන්දිරාව ඉදිරියට පිටත් කර යැවීය. කැබිනෙට්ටුව උඩ තබා තිබූ බුලත් අත දි සැමුවෙල් මුදලාලිට දණගසා වැන්ද ඉන්දිරා නැගිට ඉක්මනින් ඔහු ළගින් ඉවත් විය. ඉන්දිරාගේ හිසේ සිට පාදාන්තය දක්වා හොඳ හැටි විමසුම් බැල්මක් හෙලූ ඔහු.
“කෝ මේ ළමයා මෙහෙට පොඞ්ඩක් ආවනම්.”
 ඉන්දිරාට සැමුවෙල් මුදලාලිගේ බැල්ම එතරම් සිත් නොගත්තී ය. ඇය ඔහු ළඟට යාමට අදිමදි කරද්දී
“කෝ යන්න දුවේ. යන්න.”

මුදලාලි ඉදිරියට යාමට අකමැත්තෙන් පසු බසින ඉන්දිරාව ජයවීර ඉදිරියට තල්ලු කරන ලද්දෙන් ඇය ඔහුගේ ඇඟේ හැපී නතර විය. ඉන්දිරාගේ අතින් ඇඳ ළඟට ගත් ඔහු ඇයගේ අල්ලා ගත් අත නෑරම දකුණතින් කමිසයේ උඩ සාක්කුවෙන් ලියුම් කවරයක් ඉවතට ඇඳ ගත්තේය. ඇගේ මිට මෙලවූ අතේ ඇඟිලි දිග හැරිය ඔහු ලියුම් කවරය අත්ලේ තබා ගුලි කරවීය. ඉන්දිරා සැමුවෙල් මුදලාලිගෙන් මෑත් වන්නට තැත් කලත් වමතින් ඇගේ අත අල්ලාගෙන සිටි ග්‍රහණය නොහැරියේය. දකුණතින් ඉන්දිරාගේ හිස පිරි මදිමින් ඔහු ඇයට අවවාද දෙන්නට පටන් ගත්තේය.
ඉන්දිරා මුදලාලි ළග තනිකරදමා තමාලි සොයමින් ජයවීර කුස්සියට දිව ආවේය .

“කෝ මේ .. . අන්න අරහේ සැමුවෙල් මුදලාලි ඇවිල්ලා ඉන්නවා තමුසේ මෙහෙට වෙලා මොකද කරන්නේ? කෝ මොකවත් ලෑස්තී කලේ නැද්ද?”
“මේ මම ලෑස්තී කරන ගමන් ඉන්නේ.”
“මෙතන ඉන්නේ නැතිව ගෙදරට ආපූ මනුස්සයාට ගිහිල්ලා පොඞ්ඩක් කතා කරනවා.”
කී ජයවීර යළී කලබලයෙන් සාලයට ගියේ ය. ඔහුගේ කතාවෙන් යම් නොරිස්සුමක් හිතේ හටගත්තත් ඇය එය පිටතට නොපෙන්වා සංග්‍රහයට අවශ්‍ය කැවිලි වර්ග තැටියකට අසුරාගෙන සාලයට ගියා ය. තමාලි සාලයට ඇතුල්වෙද්දීම සැමුවෙල් මුදලාලි ඉන්දිරාව ඔහුගේ ඇඟේ ගෑවෙන තරමට ළඟට ළංකරගෙන ඇගේ හිස අතගාමින් කරන ක්‍රියාව දුටුවා ය. ඉන් ඈ යම් තීගැස්මක් මෙන්ම අනතුරක සේයාවක්ද දැනුණී.
“ආ මෙන්න දුවේ මෙහෙට ඇවිල්ලා මේක මුදලාලි මහත්තයාට අල්ලන්න.”
තමාලි මුහුණට ආරූඪ කරගත් සිනාවක් පා මුදලාලි දෙස බලා කීවා ය. ඔහුට ඉන්දිරාගේ අත අකමැත්තෙන්වූවත් මුදාහරින්නට සිදුවීය. සැමුවෙල් මුදලාලිගේ කාමුක ඇස් තමාලිගේ හිසේ සිට දෙපතුල දක්වා දිවෙන අයුරු හොද හැටි විමසිල්ලෙන් ඔහු දෙස බලා සිටි ඈට තේරුණි. එක්වරම මුහුණට සිනාවක් නංවාගත් ඔහු. 
“ආ මේ ජයවීරගේ නෝනා වෙන්න ඇති. මම මේ කෝ කියලා අහන්නමයි හිටියේ.”
“දන්නැද්ද මහත්තයා ගෑනු ඉතිං කුස්සියෙන් එලියට ගන්න ටිකක් අමාරු විත්තිය.”
ජයවීර මුහුණට බයාදු සිනාවක් නවාගෙන කීවේය.       
“එහෙම කියන්න එපා අයිසේ. දැන් ගෑණූ කුස්සියේ රිංගගෙන හිටි කාලේ ඉවරයි.”
 පිළිගැන්වූ කැවිලි තැටියෙන් කොණ්ඩ කැවුමක් අතට ගන්නා ගමන් කීවේය.
“ඒකත් ඇත්ත තමයි මුදලාලි.”
සැමුවෙල් මුදලාලී අත කොණ්ඩ කැවුම විතරක් තිබෙනු දුටු ඔහු
“කැවුම විතරක් කන්නේ? මේ කෙහෙල් ගෙඩියක් කඩා ගන්නකෝ මුදලාලි. කෝ ඉන්දිරා මේ අපේ මුදලාලිට අල්ලන්න.”
කුස්සිය පැත්තට කැවිලි තැටිය රැගෙන යන්නට තනන ඉන්දිරා දුටු ජයවීර පැවසීය. ආපසු හැරී ආ ඉන්දිරා කැවිලි තැටිය යළිත් වරක් පිළිගැන්වුවා ය.
“කන්න මුදලාලී මේ කෝලීකුට්ටු කැන අපේ ගෙදර පිලිකන්නේ තියෙන පඳුරේ හැදුනේ. වෙලාවටම ඒකත් ඉදෙන්න පටන්ගත්තේ මේ උත්සවයටම වාගේ.”
මුදලාලි කෙසෙල් ගෙඩියක් නැට්ට අගින් කරකවා කඩාගන්නා ගමන් තමාලි දෙස යළි අනංග බැල්මක් හෙලීය.
“එක නෙමෙයි තමුසේට ඉන්නේ හරි ලස්සන නෝනා කෙනෙක්නේ. කොහෙන්ද හොයා ගත්තේ?”
සැමුවෙල් මුදලාලිගේ තියුණු දෑස් වලින් එල්ලවන හී සරවන් බැල්මන් මඟ හරිමින් සිටි තමාලි එතැනින්  පිටවී යන ක්‍රමයක් ගැන සිතුවාය.
“හපුතලේ පැත්තෙන්. මම ඒ දවස්වල වැඩ කරපු බස් එකේ රූට් එක තිබුනේ බණ්ඩාරවෙලටනේ, ඒ කාලේ මෙයාලා හිටපු ගෙදර තිබුනේ පාර අද්දර. ඉතිං ලස්සන හින්දානේ මට ගෙදරින් එපායී කියද්දීම මෙයාව බැන්ඳේ.”
ජයවීර විලියෙන් රතුවූ තමාලිගේ මුහුණ දෙස බලමින් පැවසීය.
“එහෙනම් ඉතිං ජයවීර බස් එකේ හෝන් එක ගහගෙන ගෙවල් ළඟින් යනවා බලාගෙන ඉන්න ඇති නේද?”
තමාලි කිසිවක් නොකියා බිම බලාගෙන සිනාසුනාය. තව දුරටත් එතැන රැදී සිටියහොත් සැමුවෙල් මුදලාලිගෙ කටකමසිරියාවක් නොමැති වාචාල කියමන් අසන්නට සිඳුවන බව අවබෝධ කරගත් තමාලි ඉවත්ව යන්නට සුදුසු වේලාවක් එනතෙක් කල්ගත්තා ය. ඔවුන් අතර ඇතිවූ මඳ නිහැඬියාව ප්‍රයෝජනයට ගත් ඈ “මම පොඞ්ඩක් කුස්සිය පැත්ත බලලා එන්නම්.” කියා තමාලි ඉක්මනින් එතැනින් ඉවත්වීය. 
    
“මුදලාලි එහෙනම් අපි අර පැත්තට ගිහිල්ලා පස්සේ රෑට කමු.”
තමාට පසුපස හරවා යන තමාලිගේ සිරුරේ හැඩතල දෙස මඳක් බලා සිටි සැමුවෙල් මුදලාලි.
“බෑ ජයවීර මම කිව්වානේ මේ හවස් වරුවේ බොන්න බෑ”
“අර පැත්තේ සංග්‍රහය මම මුදලාලිට කියලා ඕපන් කරන්නයි හිටියේ. දැන් මුදලාලි යන්න හදනවානේ.”
“අයිසේ තමුසේ දන්නවානේ මම එච්චර ඔය සුරාවට කැමති නැති විත්තිය. ඕවාට ඇබ්බැහිවූනානම් මම තාමත් සැමුවෙල් මුදලාලි නෙමෙයි.”
“ඒ සංග්‍රහය කරන්න ඕනේ නිසා මුදලාලිට කැවිලි ඇල්ලුවෙත් නෑ.”
ඔහු කැවිලි තැටිය ඇල්ලීමට ඉන්දිරා සෙවීය. ඒවන විටත් අධික තෙහෙට්ටුවෙන් හෙම්බත්ව සිටි ඈ ඇදහුන් ගවුම පිටින්ම කාමරයේ නිදාගෙන උන්නා ය. ඉන්දිරා සොයාගත නොහී කැබිනෙට්ටුව උඩ තිබූ කැවිලි තැටිය රැගෙන මුදලාලිට දිගු කළේය.
“ඔය ඇති කෑවා.”
“ඒවුනාට මගේ හිතට හරි නෑ. තව එක කෙහෙල් ගෙඩියක් වත් ගන්න.”
ඔහුගේ පෙරෙත්තය නිසාම ඇවරියේවූ කුඩාම කෙසෙල් ගෙඩිය තෝරාගෙන කඩා ගත්තේය. සුදු නැන්දා බීම වීදුරුවක් රැගෙන ඇවිත් සැමුවෙල් මුදලාලිට පිළිගැන්වීය. තමාලි නොපැමිණ සුදු නැන්දා අත බීම වීදුරුවක් එවිම ගැන ජයවිරගේ සිතේ ඇතිවූයේ නොරිස්සුමකි.
“එහෙනම් සැමුවෙල් මුදලාලි ගෙදට්ට ආපු එකේ බත් කටක් කාලම යන්න ඕනේ.” 
“දැන්ම කන්න?  අයිසේ තාම රෑ වෙලත් නෑනේ. ජයවීර මම අද පොඩි වැඩ දෙකක් යොදා ගෙන තියෙනවා ඒ හින්දා ඒකට යන්න තියෙනවා.”
“එහෙනම් මුදලාලි ගිහිල්ලා එන ගමන් මෙහෙට ගොඩ වෙන්න.”
“හරි හරි එතකොට බලමුකෝ.”
ජයවීර ගේ පෙරෙත්තයෙන් බේරීමට එසේ කී සැමුවෙල් මුදලාලි පුටුවෙන් නැගී සිටියේ යළිත් මුලුතැන්ගේ පිහිටි ඉසව්ව දෙසට තම දෙනෙත් යොමු කරවමින්ය. 
“මුදලාලි නැගිට්ටේ යන්නද?”
“ඔව්. කෝ මේ නෝනයි ළමයයි?”
“ඉන්න මම එන්න කියන්නම්.”
කුස්සියට එබී බැලූ ජයවීර තමාලිට අඬ ගැසුවේය.
“අන්න සැමුවෙල් මුදලාලි යන්න හදනවා. කෝ ඉන්දිරා? එයත් එක්ක ඉස්සරාට එන්න.”
“දුව මහන්සියි කියලා නිදා ගත්තා. දැන් මම මොකටද ඔතනට යන්නේ? මේ කුකුල් මස් හොද්ද රොස්වෙයි එතනයි මෙතනයි දුවන්න ගිහිල්ලා. ඔයා කියන්න මම වැඩකය ඉන්නේ කියලා.”
තමාලි සැමුවෙල් මුදලාලිට මුහුණ දීමට කැමැත්තක් නොමැති බව ව්‍යංගාර්ථයෙන් ජයවීරට පෙන්වා දුන්නත් එය නොතේරුණු ඔහු සාලයට පිටව ගියේ ඇය කෙරහි ඇති කරගත් කෝපයෙන් පුලුටු කරගත් මුහුණෙන් යුතුවය.
“දුව නිදි මුදලාලි. උදේ ඉදලා මහන්සියටද කොහේද නින්ද යන්නැති. තමාලි කුස්සියේ කෑම හදනවා. හොද්ද බලලා එන්නම් කිව්වා.”
තමන්ට සමුදීමට ජයවීරගේ බිරිඳ සාලයට පැමිණෙන තෙක් මඳක් රැඳුනත් ඇය ඉදිරියට එන බවක් නොදැක්ක ඔහුට අවසන් වරට ඇගේ රූපසොබාව නෙතෙන් උහකා ගැනුමට තිබූ අවස්ථාව මඟ හැරුණි.
“කෝ මේ ගෑණී තාම නෑනේ.”
“කමක් නෑ ජයවීර එයා වැඩ ඇති. එහෙනම් අයිසේ මම ගියා කියනවා.”
කී ඔහු ඉක්මනින් ඉස්තෝප්පුවට බැස අවසන්වරටද සාලය දෙසට බැල්මක් හෙලා කාරයට නැග පිටත්වී ගියේය.

සැමුවෙල් මුදලාලිට සමුදීමටවත් ඉදිරියට නොපැමිණි තමාලි ගැන ඇතිවූ කෝපයෙන් මඩිනා ලද සිතැතිව ජයවීර පිටව යන කාරය දෙස බලා සිටියේය.
“ඇයි තමුසේ ඉස්සරාට ආවේ නැත්තේ?”
ජයවීර කෝපයෙන් යුතුව කුස්සියට පැමිණ ඇගෙන් ඇසීය.
“මම කිව්වේ මම වැඩකය ඉන්නේ කියලා.”
“ඔය වැඬේ පොඞ්ඩකට සුදු නැන්දාට හරි දීලා එන්න තිබ්බේ නැද්ද. තමුසේ ඕනෑ කමින් මඟහැරියා. තමුසේට තිබුණා නිකමට හරි ඇවිල්ලා යන්න ඒ මිනිහා අප්සෙට් එකෙන් ද දන්නෑ ගියේ.”
“එයාට අප්සෙට් යන්න අපි වැරද්දක් කලේ නෑනේ.”
“අනේ මේ හොඳ දවසේ තමුසේ මගෙන් කන්නේ නැතිව ඉන්නවා.” 

තම කෝපය පාලනය කරගත් ජයවීර සාලයට ගියේ දත්මිටි කමින්ය. සැමුවෙල් මුදලාලි පිටව ගොස් මඳ වේලාවකින් ඩිපෝවේ රියදුරු යහළුවන් මෙන්ම අසල්වාසින් එකතුකරගත් බෝතල් පාටිය ඇරඹිණ. උදේ සිටන් මහන්සිවී  සිටි තමාලි ශූන්‍ය බැල්මෙන් ජයවීරගේ බෝතල් පාටිය දෙස දෑස් යොමා සිටියා ය. ශරිරය පුරා උඩු දුවමින් එන කෙඩෙත්තුකාරි ගතිය ඇගේ දෑස් පියවන්නට සමත්විණ. තමාලි කුස්සිය දෙසට පියවර මැන්නා ය. ආහාර පිසූ විශාල භාජනද ඉඳුල් වලින් නෑවීගත් පිඟන් කෝප්පද දුටු තමාලිගේ තෙහෙට්ටුව තවත් වැඩිවිය. බෝතල් පාටිය අවසානයේදි රාත්‍රි කෑමට අරාධනා කිරිමට තමාලි අවදිව සිටිය යුතුව ඇත. බෝතල් පාටිය අවසන් කළ පසු ඔවුන් කෑම කන වේලාවට ජයවීර තමාව අවදිකරනු ඇතැයි සිතූ ඈ කාමරයට වැදුනේ ටික වේලාවකට පමණක් ඇහැ පියා ගැන්මටය. අළුතින් මැසු රෝස පැහැති ගවුම පිටින්ම නිදන ඉන්දිරා අසලින්ම කෝලිතද නිදා හුන්නේය. ඒ වන විටත් සුදු නැන්දාද බිමට පැදුරක් එලාගෙන නින්දට වැටී සිටියා ය. දරුවන් දෙදෙනා ඇඳේ එහාට කර ලැබූ කුඩා ඉඩහි ඈ වැතුරුණි. සිගරට් දුමාරයෙන් පිරුනු සාලයේ බෝතල් වීදුරු ගැටෙන හඬ යටපත් කරමින් එකා දෙන්නා බීමතින් දොඩමලු වෙද්දී තවෙකු ඩෝලයක් වයන්නට පටන් ගත්තේය. ඩෝලයේ ශබ්දයත් උච්ච ස්වරයෙන් කෑ ගසමින් කියනා ගීතයන්ද නිදිමතින් සිටි තමාලිගේ කෝපය අවුස්සාලන්නටවූයේ ය. ඇඳේ එහෙට මෙහේට කිහිපවරක් පෙරලුනු ඈ ඉක්මනින් නිදි ලොවට වැදගත්තේ සිරුරෙන් නැගෙන කෙඩෙත්තුව නිසාවෙනි.

කවුදෝ විසින් බලයෙන් මෙන් තමාව අවදී කරවන්නට තැත් කරනා බව දැනී තමාලි ක්ෂණිකයෙන් තම දෑස් හැර බැලූවා ය. දෙකකුල් වසාගෙන පෙරවා සිටි රෙද්ද පසෙකට ඇද දමා ඇඳෙන් බිමට අඩිය තැබූ ඈ කඳ කෙලින් කරගත්තා ය. කිසිවකු තමන් අසළ නොවන බවත් එය සමහර විට පෙනුන හීනයක කොටසක් දැයි සිතමින් ඇඳෙන් නැගිට වට පිට බලද්දී තවමත් සුව නින්දේ පසුවන ඉන්දිරා හා කෝලිත මෙන්ම සුදු නැන්දා ද ඇගේ දසුනට හසු වීය. දැඩි තෙහෙට්ටුවත් නිදිමතත් නිසාවෙන් මසැසින් ගිලිහී ගිය පෙර දින කොටහළු මඟුලේ අවසාන පැය කිහිපය පිළිබඳව සිතා ගැනිමට අපහසුවිය. ජයවීර සොයා තමාලි සාලයට කර පොවා බැලීය. සාලයේ කොනක බිම වැතිරී හිසට කොට්ටයක්වත් නොමැතිව නිදන ජයවීරද යකුන් නැටු හොම්පොලක්සේ තැන තැන විසුරුණු බෝතල් වීදුරු මෙන්ම මේසය පුරා හැලී තිබූ රටකජු කඩල මිශ්‍රණයන්ද බාගෙට පිලිස්සුනු සිගරට් කොට හා අළු ද ඇගේ දර්ශන පථයට අසු වීය. මුලුතැන්ගෙයට අඩිය තැබු විගසම ඉන් නැග ආවේ පිලුණු ගදකි. ඇය නින්දට යද්දී වසා දැමු කෑම භාජන අපිළිවෙළට ඇද දමා තිබුණි. කන්දක් මෙන් බත් මාලු පිනි බෙදාගෙන කටක් දෙකක් වත් නොකෑ බත් පිඟන් මේසය උඩ අතහැර දමා තිබෙනු දුටු තමාලිට ආවේ ඉවසිය නොහැකි කේන්තියකි. ජයවීරගේ සන්තුෂ්ටිය සඳහා කොහෙන් හෝ සල්ලි සොයාගෙන මේ සියල්ල ඉටු කලේ තමාගේ අකමැත්ත මැඳ වූවත් තම දරුවා ගැන සිතා කෝපය පාලනය කරගත යුතු බවට ඇය සිතා ගත්තී ය. කුස්සිය පුරා කැකෑරෙන පිලුණු කෑම දුර්ගන්ධය ඉවසාගෙන සියල්ල අස්කිරීමට පටන්ගත්තා ය. අස්පස් කරනා අතරතුර තේ කෝප්පයක් පිළියෙල කරගත් තමාලි ජයවීරව අපහසුවෙන් අවදි කරවීය.

“මේ ජයේ. . .. මේ. .. නැගිටින්න  ආ මෙන්න තේ එක.”
“ඔන්න ඔහෙන් තියන්න.”
“ ඇයි අද ඔයා වැඩට යන්නේ නැද්ද?”
“අද යන්න බෑ. ඇඟට හරි මදි වාගේ.”
“ඇඟට හරි යයිද ඊයේ රෑ දාපු ජෝගියේ තරමට. ඔයා රෑට කෑම කාලද නිදාගත්තේ?”
“කට්ටියට කෑම දෙන්න බලනකොටත් ඔයා බුදී.”
ඔහු දෑස් ඇරගන්නට නොහැකිව අපහසුවෙන් මෙන් කීවේය.
“ඉතිං මාව නැගිට්ටවන්න තිබුණානේ.”
“මම කතා කරන්න හදනකොට සුසිරිපාලයි ආරිය අයියා එහෙම කතා කරන්න එපා කිව්වා. උන් බෙදාගෙන කෑම කෑවා මම හිතන්නේ.”
“හරි ශෝක්. එතකොට ඔයා නෙමෙයිද එයාලට කෑම බෙදලා දුන්නේ?”
“කොහේ බෙදන්නද. මටත් ටිකක් වැඩි වෙලා උන්නේ.”
“දැන්වත් පොඞ්ඩක් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න. මොකද දැනමුතු වෙච්චි ලොකු ගෑණු ළමයෙක්ගේ තාත්තා කෙනෙක් දැන්.” 
තමාලිගේ අවවාද නොරිස්සූ ඔහු මුහුණ පුලුටු කරගෙන අනෙක් පැත්ත හැරී නිදන්නට විය. කාමරයෙන් කොට්ටයක් රැගෙන විත් බිමට දමා ඔහුගේ කලවා තෙක් ඉස්සුනු සරම පහළට ඇද සකස් කර වීය. ඇය නිවස අස්පස් කරන අතරතුරේදී අවදිවූ ඉන්දිරා නිදි ගැට හරිමින් තමාලි අසළට පැමිණියා ය.
“අම්මා උදෙන්ම නැගිටලා. මම හිතුවේ තව ටිකක් දවල් වෙලාම නැඟිටියි කියලා.”
“දවල් වෙනකම් හිටියොත් මුළු ගෙදරම පිලුණු ගඳ ගහයි. ඇයි අද ඉස්කෝලේ යන්නේ නැද්ද?”
“අදත් නොගිහින් ඉදලා හෙටම යන්නම්.”
“ඒ මොකද?”
“අම්මට තනියම මේවා අස්කරන්න බැහැනේ. ”
 “ඇයි සුදු නැන්දා ඉන්නේ එයත් එක්ක මට කරගන්න පුළුවන්.”
“අපෝ එයා තාම බුදී .”
“නැගිට්ටවන්න එපා. මහන්සියට නින්ද ගිහිල්ලා ඇති.”
“එහෙනම් මම අද ඉන්නම්.”
“දැන් දවස් ගාණක් ඉස්කෝලේ පාඩම් වැඩ පාඩු උනා නේද? ගිහිල්ලා කම්මැලිකම් කරන්නේ නැතිව ලෑස්තිවෙනවා.” 
“අම්මේ ඇයි මිල්ටන් මාමා ආවේ නැත්තේ?”

තමාලිට එකවරම මිල්ටන් මල්ලිව සිහියට නැගුණි. ජයවිර රිමාන්ඞ් වූ දිනයේ පටන් සෑම දුක් කරදරයකටම උදව්පදව් කළ ඔහු මේ අවස්ථාවේ නොපැමිණියේ මන්දැයි සිතාගත නොහැකි විය.
“ඒක තමයි මමත් හිතුවේ. සමහරවිට තාත්තාට මිල්ටන් මාමාට උත්සවේට කතාකරන්න බැරිවූනාද දන්නේ නෑ. තාත්තා නැගිට්ටාම අහලා බලන්න ඕනේ.”
තමාලිගේ සිතේ යම් වරදකාරී හැඟිමක් නැඟ එන්නටවූයේ මිල්ටන්ට ආරාධනා කිරිම ගැන සොයා නොබැලීම හේතුවෙනි. ජයවීරගේ බිමත්කමෙන් තවත් හිතවතෙකු තමන් සමග අමනාප වීම සිදුවුනාදැයි ඇයට සිතුණි.
සුදු නැන්දා ඉන්දිරාත් කෝලිතත් රැගෙන පාසලට පිටත්වූ පසු ඈ සාලය පිරිසිදු කිරිම පටන් ගත්තා ය. සාලයේ බිම ඉහිරුණු හොදි මිශ්‍රණයන් නිසා ඉදුල් පිලුණු ගඳ නිවස ඇතුලේ කැකෑරෙන්නට පටන්ගෙන ඇත. ඈ සාලයේ දොර ජනේල එකෙන් එක හැර දැම්මා ය. මුළුතැන්ගෙට අරගෙන යන්නට අතට ගත් වීදුරු වලින් නැගෙන ගල් අරක්කු ගඳ ඇයට ඔක්කාරට එන්නට තරම් පිළිකුලක් ඇති විය. සාලයේ අස්පස් කිරිමේ ශබ්දයෙන් අවදිවූනු ජයවීර නොරොක්කරගත් මුහුණින් කොට්ටයත් රැගෙන කාමරයට ගියේ යළිත් නිදාගැනීමටය. ළමයින් පාසලට ඇරලවා පැමිණි සුදු නැන්දා සමඟින් පටන් ගත් කෑම භාජන පිරිසිදු කිරීමේ කටයුතුවල අවසානයක් දකින්නට හැකිවූයේ උදෑසන දහයත් පසුවූ පසුය.

“අන්න කවුද ඇවිල්ලා ඉන්නවා.”
“කවුද සුදු නැන්දේ?”
“දන්නේ නෑ. ජයවීරව ඇහැව්වා.”
“ අද වැඩට නොගිය නිසා මුදලාලිගෙන් පණිවිඩයක්ද දන්නේ නෑ.”
තමාලි ඉක්මනින් නිවසේ ඉදිරිපසට යද්දි බ්‍රවුන් පෙපර් කොළයකින් ආවරණය කරන ලද පාර්සලයක් අතැතිව දොරකඩ සිටගෙන ඉන්නා මිල්ටන් දුටුවා ය.
“ආ දැන්ද මිල්ටන් මල්ලිට අපිව මතක්වූනේ? එන්න ඇවිත් වාඩී වෙන්න.”
“අනේ තරහා වෙන්න එපා අක්කේ අම්මාට සනීප නෑ කියලා අක්කා පණිවිඩයක් එවලා තිබුණා. ඉතිං මම තකහනියේ කෑගලු ගියා. ඒකයි මට දුවගේ උත්සවේට එන්න බැරිවූනේ.”
“ආ ඒකද. මම හිතුවේ අපි එක්ක මොකක් හරි අමනාපයක් වද්දෝ කියලා. දැන් අම්මාට කොහොමද?”
“අම්මාට කියන්න තරම් අසනීපයකුත් නෑ සනීපයකුත් නෑ.”
“ඇයි එහෙම කියන්නේ?”
“ඔය වයසට යනකොට එන ලෙඩයි, හිතේ ලෙඩයි ඔක්කෝමනේ. අක්කා එක්ක නිතරෝම රණ්ඩු.”
“ඔව් ඉතිං දන්නේ නැද්ද වයසක අය ටිකක් මුරණ්ඩුයි නේ. කවදද මල්ලි කෑගලු ගියේ?”
“පෙරේදා හවස. මම ඊයේ එන්නයි හිටියේ. ඒත් අම්මාට බෙහෙත් එහෙම අරන් දීලා එන්න බලන කොට හවස් උනා. කෝ දැන් මේ ගෑණූ ළමයා?”
“ඉන්දිරා ඉස්කෝලේ යැව්වා. අද නොයා ඉන්නමයි හැදුවේ.”
“එහෙනම් මේක දුට දෙන්න.” 
මිල්ටන් රැගෙන ආ පාර්සලය තමාලි අතට පත් කළේය. 
 “කෝ අක්කේ ජයවීර අයියා, අද වැඩට ගියාද?”
“පිස්සුද මල්ලි. අන්න අර කාමරේ බුදී. ඔය ඉන්නෙ නැගිටින්න බැරි තරමට බීලා. ඉන්න මම කතා කරන්නම්.”
“එපා ඇහැරවන්න, එයා නිදා ගත්තුදෙන්. මට දැන් යන්නත් ඕනේ.”
“පිස්සුද දැන්ම යන්න තාම මොකවත් කෑවේ බීව්වේ නැතීව.” 
“බෑ අක්කේ මම දැන් එනකොට මඟදී තේ වලට නැවැත්තුවාම බනිස් ගෙඩියක් කාලා තේ බීව්වා. දැන්ම කන්න බෑ.”
“නෑ මල්ලි ඉන්න, මම තේ හදන්න හැදූවෙ නැත්තේ දැන් තේ බොන වේලාවක් නෙමෙයි හින්දා. අනික උදේ පාන්දරින්ම නේද එන්නත් ඇත්තේ? ඔය බනිස් ගෙඩියෙන් පුළුවන්ද බඩගින්න නිවන්න?” 
“ආ මේ මිල්ටන්නේ. මම මේ කවුද කතා කරන්නෙ කියලා බැලූවා.”     
ජයවීර කාමරයෙන් පිටතට පැමිණීයේ කැඩුණු සරම යළි තදකර හදමින්ය. 
“ආ ජයවීර අයියා නිදී නෑනේ. අක්කා කීවේ අයියා හොඳට ගොරවා ගොරවා බුදියී කියලා.”
“ඊයේ නිදියන කොට පාන්දර වූනා මට වේලාවත් මතක නෑ බං. දැන්නම් මාර අමාරුයී.”
“ඕකනේ මම කියන්නේ වැඩිය බොන්න එපා කියලා.”
“මේ වාගේ දවසක් කවදා එන්නද බං. ඉන්නෙත් එක කෙල්ලයි. ඉතිං ඇයි බං උඹ මඟුල් ගෙදරට ආවේ නැත්තේ?”
“අම්මාට සනීප නෑ කියලා අක්කා පණිවිඩයක් එවලා තිබුණා. දැන් මේ එහේ ඉඳන් එන ගමන්.”
“තමාලි මේ මිල්ටන්ටත් එක්ක මට තේ ටිකක් හදන්නකෝ.”
“මේ මොන තේ බොන වේලාවක්ද දැන් දවල් වෙන්නත් ළඟයි. මම මේ කෑම ලෑස්තී කරනවා. මිල්ටන්ට කෑමට ඉන්ට කියන්න.”
“එහෙනම් අද දවල්ට කාලම පලයන්. මොකද උඹට ගෙදර ගෑණියෙක් ඉන්නවායි කෑමක් හදලා දෙන්න.”
“දැන්ම කන්න බඩගින්නක් නෑ.”
“දැන් කොහොමද ඩිපෝවේ තත්වේ ? බුරුසුවා මාරු කරලාලූ නේද?”
“ආ ඔව්. මේ සැරේ ඩිපෝවට අලුතින් කට්ටිය ගත්තා. මිනිහා ක්ලාක් කෙනෙක් විදිහට පත්වීම අරන් ආපූ ගෑණියෙක්ට බැල්ම දාන්න ගිහිල්ලා වැඩ වරද්දගෙන.”
“ඒ කවුද බං?”
“ජයවීර අයියා දන්නේ නෑ. මේ ළඟදී තමයි පත්වෙලා ආවේ. ගෑණි මාර ලස්සනයි. බුරුසුවා ක්ලාක් ගෑණීව  නම්මගන්න ට්‍රයි කරලා තියෙනවා. ඒත් ඌට බැරිවූනු හින්දා ගෑණිව මාරු කළා ටයිම් කීපර් එකට. පස්සේ බැලීන්නම් ඒ ගෑණී ඇමතියාගේ හොර කෑල්ලක්. වැඩී දවසක් යන්න ඉස්සර ඇමතියා මිනිහාට මාරුවක් දුන්නා.”
 “මූ කොහොමත් උපන්ගෙයි වලානේ. හොඳ වැඬේ බුරුසුවාට. ඔය පාහරයා තමයි මගේ ජොබ් එකටත් කට්ට ගැහැව්වේ. එදා මම ඉවසලා ආවේ නැත්නම් ඕකා මගෙනුත් හොඳට කනවා.”
“තාම අයියාගේ නඩුව ඉවර නැද්ද?”
“නෑ බං. මට මේකට ගිහිල්ලාම දැන් එපා වෙලා. හැමදාම මේක කල් යනවා. පෙරකදෝරුවන්ට සල්ලි පුදලාම ඉවරයක් නෑ.”
“තාම නඩුව අහන්න ගත්තේ නැද්ද?”
“නෑ බං දැන් අහනවා. තව නඩු වාර කීයක් විතර යයීද දන්නේ නෑ තීන්දුව දෙන්න.”
“ජයවීර අයියාත් දාගන්න ලෙඩ තමයි.”
“මොනවා කරන්නද බං. කොහොම හරී මේක ඉවරයක් කර ගන්න එපැයි. දැන්නම් මම හොඳටම හිදිලා ණයත් වෙලයි ඉන්නේ.”
“මොකට ණය වෙනවාද දැන් සැමුවෙල් මුදලාලිගේ ලොරියෙ වැඩවලින් සල්ලි ලැබෙනවා නේද?”
“ඒක මොකක් කරන්නද බං. ගෙදර වියදමට දීලා පෙරකදෝරුවාට දුන්නාම හවසට පොඩි අඩියක් ගහන්නවත් අතේ ඉතුරු වෙන්නේ නෑ බං. අනික කෙල්ලගේ කොටහළු මඟුලටත් ලොකු ගානක් වියඳම් කරන්න වූනා.”
“ඔන්න ඔය ජරා බේබදුකම තමයි අයියාගේ වල කපන්නේ. දැන් වත් ඕක අත්තැරදාන්න.”
“පිස්සුද මිල්ටන් මල්ලී උඹ හිතන්නේ මම බේබද්දෙක් කියලාද? මම මේ නඩුව ඉක්මණටම ඉවර කරගන්න ඕනේ. අපේ පෙරකදෝරු මහත්තයා කිව්වා මේක වැඩිදුර අරගෙන යන්නේ නැතිව වන්දියක් දීලා ඉවර කරගන්න ඇහැකි වෙයි කියලා.”
“කොච්චර විතර වන්දියක්ද? ඉතිං අයියාට සල්ලි තියෙනවාද වන්දි ගෙවන්න?”
“එහෙමයි කියලා ගාණක් කිව්වේ නෑ. කොහොමටත් මේ නඩුවට වියඳම් කරන්නත් සල්ලි හිඟ පාඩු තියෙන එකේ  මම හිතන් ඉන්නේ මේ ගෙයයි ඉඩමයි සැමුවෙල් මුදලාලිට උකස් කරන්න.”
“ජයවීර අයියේ ඔයාට පිස්සුද? ඔයා හිතනවාද සැමුවෙල් මුදලාලිගෙන් ආයේමත් උකස ඇරවන්න පුළුවන් වෙයි කියලා.”
“ඇයි  මිල්ටන් එහෙම ඇහැව්වේ?”
“ඔය මනුස්සයා උකස් ගත්තුවා කවදාවත් බේරන්න දෙන්නේ නැතිව සින්න කරගන්නවා කියලා මිනිස්සු නම් කියන්නේ.”     
“එහෙම එයාට කරන්න පුළුවන්ද? එයාට සල්ලි බේරනවා නම් උකස ඇරවන්නේ නැතිව ඉන්න බෑනේ. මම කොහොම හරි මේ උකස බේරනවා.”
“දැන් තමාලි අක්කා දන්නවාද අයියා ණය වෙලා ඉන්නේ කියලා?”
“පිස්සුද බං? හැමදේම ගෑණීත් එක්ක කියන්නේ කවුද? උඹ මේ ගැන තමාලිට එහෙම කියන්න යන්න එපා.”
ජයවීර මුළුතැන්ගෙය පැත්ත බලා මිල්ටන්ට රහසින් මෙන් කීය. මිල්ටන්ට ජයවීර අයියා ගැන ඇතිවූයේ විශාල කළකිරිමකි. තමා වැටී සිටින වලෙන් නැඟි සිටීමක් ගැන නොසොයා තව තවත් ණය වෙමින්ද, ගෙවල් දොරවල් උකසට තබමින් පාටී දමන්නේ ඇයි දැයි සිතාගත නොහැකිවීය.

                                                                    * * * * *

ජයවීර උපයන ලබන සුළු මුදල නඩුවට වියදම් කරන්නට සිදුවීමෙන් නිවසේ අගහිඟකම් වැඩිවූවත් ඔහු දිනපතා මත්පැන් පානය කිරීම අත් හැර දැමුවේ නැත. තමන් අතට ලැබෙන සුළු මුදලෙන් කෙසේ හෝ ජීවත්වන්නට තමාලි බොහෝ කැපවීම් කළා ය. අවුරුද්දක් පමණ ඇදි ඇදී තිබු නඩුවේ අවසානය ළඟාවුයේය. මියගිය ළමයාගේ දෙමව්පියන් වන්දියකට අකමැතිවුවත් පසුව කැමතිවුයේ නඩුව දිගින් දිගටම කල්යමින් ඇදෙනු දුටු පසුවය. එහෙත් ඔවුන් ඉල්ලු වන්දි මුදල ජයවීරට කිසිසෙයිත් ගෙවාගත නොහැකි වු මුදලක්ම වූ නීසා වන්දියක් ගෙවිමෙන් සමථයකට පත් කරගැනිමට තිබු අවස්ථාව ගිලිහී ගියේය.

නඩුවේ තීන්දුව දෙන දිනය ළඟාවිය. ජයවීර තමාලිත් සමඟින් උසාවියට පැමිණියේ සුළු දඬුවමකින් නඩුව අවසන් වේයැයි සිතමින්ය. උසාවියට පැමිණ උසාවි භූමියේ රැඳී සිටිය මිල්ටන් ඔවුන්ව හමුවිය. නඩුවේ ජයවීරගේ අවාසියට හේතුවු කරුණු වූයේ එදින ඔහු අධික ලෙස මත්පැන් පානය කර බීමත්ව රිය පැදවීම හා පාර මාරුවීමේ කහ ඉර මත පාසල් සිසුවෙකු හප්පා මරණයට පත් කිරිමත් රජයේ දේපල වලට හානි සිදු කිරීම හා අනතුරක් වලක්වා නොගැනීමත්ය. එම කරුණු වලට අනුව පහළගෙදර ජයවීර යන අය වැරදි කරු බව උසාවියෙන් තීන්දු කරන ලදී. ජයවීර විසින් කරණ ලද වැරදි වලට මාස දහඅටක සිර දඬුවමක් හා මිය ගිය ළමයාගේ පාර්ෂවයන්ට රුපියල් පනස්දහසක වන්දි මුදලක් ගෙවීමටද නියම විය. එම වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක් ද පනවන බව සඳහන් කළේය. නඩුවේ තීන්දුව උසාවි ශාලාව සිසාරා යන පරිදි තෝල්කයා කියවද්දී එය තමාලිගේ දෙසවනට ඇසුනේ සිහිනයකින් යමක් කොඳුරන්නාක් මෙන්ය. තීන්දුවේ ප්‍රකාශය ඇගේ දෙසවන් තුළින් ගමන් කර හදවත පෙලාදැම්මේ ගිනියම් වු යවුලක් කිදා බසින්නාක් සේය. විත්ති කුඩුවේ සිටි ජයවීර තම පහතට නැඹුරු කරගත් හිස නොඋසවාම සිටිනු තමාලිගේ කඳුළු පිරුණු දැසට දිස්වීය.

“අනේ මිල්ටන් මල්ලියේ මට මෙතන ඉන්න බෑ.”
ඇය රහසින් මෙන් මිල්ටන්ට පැවසීය.
“ඇයි අක්කේ? ”
“මට මෙතන රස්නෙට හුස්ම ගන්න බෑ වගේ. අපි එළියට යමුද?”
උසාවි මිදුලට බැස ගත්තද කිසිදු වචනයක් වත් නොදොඩා නිහඬව සිටින්නට වූයේ ඔවුන්ගේ සිතේ ඇතිව තිබූ කැළඹිල්ල නිසාවෙනි.
“අක්කේ මෙතන ඉන්න බෑ අව්වයි නේද? අන්න අතන අඹ ගහයට බංකුවෙන් වාඩිගන්න.”
තමාලි මිල්ටන් පෙන්නූ සිමෙන්ති බංකුවේ වාඩිගත්තාය.
“අනේ මට අර තීන්දුව දුන්න වෙලේ පටන් හුස්ම හිරවෙන්න ගත්තා. ඒක පොඞ්ඩක් අඩුවුනේ දැන් තමයි.”
ඈ උඩු තොලේ හා බෙල්ල පුරා නැග සිටි දහඩිය බිඳු සාරි පොටින් පිසදාගත්තා ය.
“අක්කට අමාරුනං අපි ඩොක්ට කෙනෙකුටවත් පෙන්නමුද?”
“නෑ ඕනේ නෑ. දැන් හරි. ඒත් මම මේ කල්පනා කලේ දැන් මොකද කරන්නේ කියලයි.”
“ඒක තමයි අක්කේ මමත් කල්පනා කලේ. අපි හීනෙකින්වත් හිතුවේ නැති තීන්දුවක්නේ දුන්නේ.”
“ඒවුනාට අවුරුදු එකහාමාරකට හිරේ යවයි කියලානම් මම හිතුවේ නෑ.”
“මේ වන්දිය කොහොමද ගෙවන්නේ?”
“එකත් ලොකු ප්‍රශ්නයක් තමයි. නොගෙව්වෝතිං තවත් හයමාසයකින් දික්වෙනවා.”
“එච්චර ලොකු ගාණක් කොහොම හොයාගන්නද?”
“අපි පොඞ්ඩක් ඉදලා පෙරකදෝරු මහත්තයාගෙන් අහලාම අනෙක් වැඩ ටික දැන ගමු.” 
සිල්වා නීතිඥ මහතා එළියට පැමිණෙන තෙක් ගැඹුරු නිඟඩතාවයක ගිලුනු ඔවුන් දෙදෙනාම කල්පනා කරන්ට වූයේ ඒසා විශාල වන්දි මුදල සොයාගැනිම කෙරහිය. කළු කබාය වැලිමිට අසළ රඳවාගත් සිල්වා පෙරකදෝරු මහතා අනෙක් අතේ ෆයිල් කවර පිරවූ හම් බෑගය රැගෙන වටපිට බලමින් තමාලිලාව සොයන්නට විය.
“අන්න පෙරකදෝරු මහත්තයා.”
මිල්ටන් තමාලිවත් කැටුව ඔහු අසළට ළඟාවිය.
“වෙරි සොරි මිසිස් ජයවීර. මට කරන්න පුළුවන් උපරිම කළා. මේ තරමින් හරි තීන්දුව ලැබුනේ ඒ නිසයි.”
“ඒත් මහත්තයෝ අපිනම් හිතුවේ නෑ ජයවීර අයියාව අවුරුද්දකටවත් යවයි කියලා.”
“පිස්සුද? බීලා හිටියා කියලා නිකම්ම ඔප්පුවෙලා තියෙද්දි.”
“අපිට ඔය කියන වන්දිය ගෙවන්න සල්ලියභාගේ නෑනේ. දැන් අපි මේකට මොකද කරන්නේ?”
තමාලි බැගෑපත් ස්වරයෙන් ඇසුවාය.
“දැන් කරන්න පුළුවන් ඇපිල් එකක් දාන එකයි.”
“ඇපිල් නොදා වන්දි මුදල අඩුකරගන්න බැරිද?”
“එහෙම කරන්න බෑ. දැන් නඩුවේ තීන්දුව දීලා අහවරයිනේ.”
“ඇපිල් කරනවා කියන්නේ මොකක්ද?”
මෙතෙක් වේලාවක් නිහඬව මිල්ටන් හා නීතිඥ මහතා අතර සංවාදය අසා සිටි තමාලි පැනයක් කතාව මැද්දට එකතුකළාය.
“ආයෙත් අපි අභියාචනයක් ඉදිරිපත් කරනවා මේ නඩුවේ තීන්දුව ගැන සළකලා බලන්නය කියලා.”
“එතකොට ආයෙමත් නඩු කියන්න වෙයි නේද?”
“ඔව් එහෙම තමයි ක්‍රමය.”
“අනේ මහත්තයා මේ නඩුවටත් වියදම් කලෙත් හරිම අමාරුවෙන්. ආයෙමත් නඩු කියන්න වියදම් කරන්න විදිහක් නෑ වෙනින් ක්‍රමයක් නැද්ද? ”
“වෙන ක්‍රමයක් නම් තියෙන්නේ හිරේ ගිය මිනිහා නිදහස් වෙනකම් බලාගෙන ඉන්න එකයි. වියදම් නොකර කොහොමද නඩු කියන්නේ? ඇපිල් එකක් දානවනම් මාව ඇවිත් හම්බවෙනවා.”
තමාලිගේ පැනයෙන් කෝපයට පත්වූ සිල්වා ඈ දෙස ඔරවා බලා එතැනින් පිටව ගියේය. විපිළිසරවූ තමාලි පිටව යන ඔහු දෙස බලා ඉන්නට විය.
“හරියට මූ මුලදි කතාකලේ නඩුව දින්නලා දෙනවා වාගෙයි. උසාවියෙන් දෙන්න පුළුවන් උපරිම දඩුවම් දීලත් මේකා කියන්නේ එයා නිසා අඩුවෙන් දුන්නා කියලා. තව ඇපිල් දාන්නත් කතා කරනවා.” 
ඔහු තම කේන්තිය හා ආවේගය පිට කළේය. කෛරාටික නීතිඥයෙකුට හසුව නිකරුනේ මුදල් වියදම් කළාදෝ යැයි මිල්ටන් ට සිතුණි.
“මල්ලි දැන් මොකද කරන්නේ අපි ඇපිල් එකක් දාමුද?”
“කොහේ තියෙන සල්ලිද අක්කේ ආයෙත් නඩු කියන්න. බැරිවෙලාවත් ඒ නඩුවෙනුත් අර තීන්දුව දුන්නොත් එහෙම අපි වියදම් කරපු සල්ලිත් අපරාදේ නේද? අනික මූ වාගේ කපටි කෛරාටිකයෙක් එක්ක ආපහු නඩුවට යන එක අපිට අවාසියි.”
“එහෙම මුල් නඩු තීන්දුවම දෙනවාද?”
“සමහරවිට ඒකම තීන්දු කරන්න පුළුවනි. එදා බස්එක හැප්පුනු වේලාවේදි පොලිසියෙන් අයියා බීලද ඉන්නේ කියලා බැලුමක් පිම්බලා බැලුවා. එකෙන්ම ඔප්පුවුනානේ අයියා ඉන්නේ බීලා කියලා. ඒ නිසා කොහොමටත් නඩුව අපිට අවාසියටමයි තියෙන්නේ.”
යළිත් දැඩි කල්පනාවකට වැටුනු තමාලි ජයවීරව බේරාගන්නේ කෙලෙසකදැයි සිතන්නට විය.  
     
“දැන් මොකද අක්කේ කරන්නේ? අප ජයවීර අයියා ගෙනියනකම් ඉදලා යමු නේද?”
“අනේ මල්ලියේ මට මේ ගැන හිතනකොටත් ඔළුව තොන්තුයි වාගේ.”
“අක්කා කලබල නොවි ඉන්නකෝ. මම මේ ගැන කල්පනා කරලා බලන්නම්.”
“අපිට බැරිද ගෙදර උකසට තියලා සල්ලි ටිකක් හොයාගන්න? වන්දියවත් ගෙවලා දාන්න පුළුවන්වුනොත්.”     
“උකස් තියන්න? අක්කාට පිස්සුද? අක්කා නොදන්නවාට ජයවීර අයියා දැනටමත් ගෙදර උකස් කරලා හමාරයි.”
“කා... කාටද?”
“වෙන කාටද ඉතිං සැමුවෙල් මුදලාලිට මිසක්.”     
“බොරු කියන්න එපා මල්ලියේ. ජයවීර එහෙම කරයිද මටත් නොකියා?”
“දුවගේ කොටහළු මඟුලට වියදම් කළෙත් එයා සැමුවෙල් මුදලාලිගෙන් ණයට අරගත්තු සල්ලිවලින්. මතකද එදා මම එහෙට ආපු දවස? එදා ජයවීර අයියා මට ඒ ගැන කිව්වා.”
“බලන්න මල්ලියේ මේ මනුස්සයා කරන වැඩ. මේ විත්තියක් දන්නවානම් මම මඟුලත් සාරෙට ගන්න දෙන්නේ නෑ.”
“මමත් බැලුවා මෙච්චර වියදම් කරන්න ජයවීර අයියාට සල්ලි කොහෙන්ද කියලාත්.”
“මමත් අකමැතිවූනා. මේක එයාගේ කැමැත්තනේ කියලා පස්සේ ඉඩ දුන්නා. එත් මෙහෙම වැඩක් කරයි කියලා දන්නවානම් මම කීයකටවත් මෙයාට ජෝගි නටන්න දෙන්නේ නෑ.”

ඇය තම සිතේ බුරබුරා නැගෙන කේන්තිය මුසු ආවේගයින්ව පාලනය කරගත්තා ය. එහෙත් එම පිඩනය රඳවා ගැනීමට දරණ උත්සාහයෙන් හිස පුපුරායන තරම් කැක්කුමකින් පෙලුනු ලැබීය. තමාලි වටා මුළු පෘථිවි තලයම භ්‍රමණය වන්නාක් මෙන් දැනෙන්නට පටන්ගති.
“මල්ලි මට දැන්නම් මෙතන ඉන්න බෑ හරිම පිපාසයි අපි යමුද?”
“ඇයි ජයවීර අයියා ගෙනියනකම් ඉන්නේ නැතිද?” 
“මට ඔය මිනිහාගේ මුණ බලන්නත් එපාවුනා. එයා මේ කරලා තියෙන දේ ගැන මතක් වෙනකොටත් එන්නේ සුළුපටු කේන්තියක් නෙමෙයි.”
ඇය දෑසට උනා ආ කඳුළු ලේන්සුවෙන් පිසදාගනිමින් කීවා ය.
“අක්කා දැන් ඒක ගැන හිතන්න එපා.”
“අනේ අපි යමුද මල්ලි. තවත් මෙතන රැඳිලා ඉන්න බෑ. මගේ ඔළුවත් කැරකෙනවා මුළු ඇගටම පණ නෑ වගේ.”
“ඇයි අක්කාට කලන්තයක්වද්ද? උදේට කාලා ආවේ නැද්ද?”
“කාලා ආවේ ඒත් මට කැරකිල්ල වාගේ. කොහෙන් හරි වතුර ටිකක් බොන්න ඕනේ.”
“අතන තියෙන පෙට්ටි කඩෙන් බීම බෝතලයක් වත් බොමු. අක්කාට යන්න පුලුවන්ද?”

උසාවි බිමෙන් පිටතට පැමිණි ඔවුන් පාරෙන් එහා පැත්තට මාරුවෙන්නට ඇවිදයන්නට විය. මඳ දුරක් ඇවිදයද්දී දෑසම බොඳ කරමින් හිස බමන්නට ගත්තායින් දෙපා වාරු නැතිව යන්නාක් මෙන් තමාලිට දැනුනි. ඈ වහාම මිල්ටන්ගේ අතකින් අල්ලාගෙන ඔහුගේ ඇගට වාරුවූවාය. තමාලිගේ කරට ඉහලින් අතක් දමා ඈ වත්තන් කරගත් ඔහු පාරෙන් එහා පැත්තේවූ පෙට්ටි කඩයට ගොඩවිය. මේ අතරතුරේදී සිරකරුවන් රැගත් කළු පැහැති බන්ධනාගාර බස් රථය උසාවි භූමියෙන් පිටව යාමට සැරසුණි. සිරකරුවන් අතරින් ජනේලයක් අසළටවන්නට අසුනක වාඩීගත් ජයවීර බස් රියේ දැල්ගැසු කවුළුවෙන් උසාවිභූමිය සිසාරා දෑස් දිවැව්වේ තමාලිගේ රුව අවසන් වතාවටත් දැක ගැනීමේ අටියෙනි. බස් රිය වටා රැඳීහුන් පිරිස අතර තමාලි හෝ මිල්ටන් නොසිටි බැවින් ඔහුගේ සිත නොසන්සුන් බවකින් පිරීයන්නට විය. ගොරහැඬි ශබ්දයක් නගමින් පණගැන්වුනු බසය හිමිහිට ඉදිරියට ඇදුණි. උසාවි ගේට්ටුවෙන් ප්‍රධාන පාරට හැරවීමට බසය මඳකට නතර විය. ඒ ඇසිල්ලෙන් කවුළුවේ දැල් අතරින් ජයවීරගේ දෑසට මාර්ගයෙන් අනෙක් පසට මිල්ටන්ට තුරුලුව ගමන් ගන්නා තමාලිව අසුවිය. එන්ජිම සැර දමා ප්‍රධාන පාරේ ඇදෙද්දී ජයවීර දුටු දර්ශනයෙන් ඇතිවූ ආවේගශීලි කේන්තිය ඔහුගේ සිතතුලට ගිනි අවුලවන රළු පවනක් මෙන් විත් හදවත තලා වෙළා ගත්තේය.

තමාලිට කුමක් සිදුවේද?  මතුසම්බන්ධයි..........

Thursday, August 13, 2020

පළිගු කිරිල්ලී - පස්වන කොටස



ඊළග නඩු දිනය තෙක්වූ මාසයක පමණ කාල වකවානුව ගෙවීගියේ අඟහිඟකම් වලින් බැට දෙමින්ය. පොරොන්ඳූවූ පරිදි පෙරකදෝරු සිල්වා මහතා රිමාන්ඩ්කර සිටි ජයවීරව ඇප පිට එළියට ගත්තේය. ඇප මුදල් බැඳ කූඩුවෙන් නිදහස්ව පිටව යන්නට ඇවිද එද්දී අනපේක්ෂිත ලෙස උසාවි භූමියේ රැදී සිටි මියගිය ළමයාගේ මව තමාලි හා ජයවීර දැක ඉදිරියට ආවේ බොහෝ කෝපයෙනි. 

“උඹ නේද මගේ දරුවා මැරුවේ? ඇයි මගේ අහිංසක දරුවාට එහෙම දෙයක් කෙරුවේ? තොපිලටත් දරුවෝ ඉන්නවා නේද?” 
කෝපය මුසුවූ වාග් ප්‍රහාරය හමුවේ කිසිවක් කරකියා ගත නොහැකිව ජයවීර හා තමාලි බිම බලාගත්තේය. උසාවියේ තැනින් තැන රැදී සිටි මිනිසුන් එකා දෙන්නාගේ නෙත් ඔවුන් දෙස යොමු වන්නට විණි. මියගිය ළමයාගේ පියායැයි සිතිය හැකි පුද්ගලයෙක් පැමිණ ඇයව අස්වසමින් එතැනින් රැගෙන යන්නට උත්සාහ කරන්නට වූවත් ඇය ඔහුට මෙල්ල නොවීය. ඈ දෙනෙත් කෝපයෙන් දිළිසෙමින් කඳුලුවැලක් ගලා හැලෙන්නට පටන්ගති. 
“මගේ අහිංසකයා මරපු උඹට සාප වෙනවා. මම උඹව එල්ලුම්ගස් යවනවා. දෙයියෝ බුදුන් මේ අපරාදේ බලාගන්න ඕනේ.”
ඇයව එතැනින් ඉවත් කරගන්නට මියගිය ළමයාගේ පාර්ශවයේ අය උත්සාහ කරද්දී, උසාවියේ සිටි පොලීස් නිලධාරියෙක්ද වහාම එතැනට පැමිණියේය. 
“ඇයි මෙතන රණ්ඩු කරන්නේ? මේක උසාවිය කියලා දන්නේ නැද්ද? අල්ලලා දානවා දෙගොල්ලෝම කුඩුවට. යනවා, යනවා ඉක්මණට මෙතැනින්.” 
පොලිස් නිලධාරියා විසින් කළ තර්ජනයෙන් මඳකට මෙල්ලවූ ඇයව අනෙක් අය වෙනතකට රැගෙන යන්න විය. 
“තොට සාප වෙනවා මගේ අහිංසකයා මැරුවාට. උඹලාගේ පවුල් පිටින් හැඳී ගෑවිලා යන්න ඕනේ.”

උසාවියේ පසෙකට අරන් යන අතරතුරේදී යළිත් ජයවීර දෙස හැරී බැලූ ඈ කීවා ය. ළමයාගේ මවගේ හැවිල්ලෙන් යම් තරමකට තීගැස්සුනූ තමාලි ජයවීර කැටිව ඉක්මනින් පාරට පැමිණ ත්‍රීරෝද රථයකට ගොඩවීය. මෙතෙක් කළක් නිවස වසාගෙන තිබු අඳුරු මූසල ගතිය හිරු දුටු තුහින බිඳක් සේ වියැකී ගියේය. ගෙදර ආ තාත්තා දුටු කෝලිත දුවගොස් ඇඟේ එල්ලුනේ ඉමහත් ප්‍රිතියෙනි. රිමාන්ඩ් සිට ගෙදර ආ පසුදාම ඩිපෝවට ගිය ජයවීර එනතෙක් බලා සිටි තමාලි කෝලිතව නිදි කෙරෙව්වා ය. රාත්‍රි ආහාරය ද නොගත් තමාලි ජයවීර පැමිණෙන තෙක් බලා සිට අවසානයේ නිදා සිටි ඉන්දිරා අසළින් ඇඳේ ඇළවිය. ජයවීර පැමිණෙන විට ඈට හොඳින් නින්ද ගොසින් තිබුණි. නිවසට පැමිණි ජයවීර කෙලින්ම කුස්සියට වැඳී වසා තිබූ හැලිවළං වල කරමූඩි අරිමින් කෑමට ඇත්තේ කුමක්දැයි සොයන්නට විය. හැලිවළං ඇර වසනා හඬින් අවදිවූ තමාලි කුස්සියට කර පොවා බැලීය. බීමතින් පැමිණ කුස්සියේ කරණ විකාර දුටු ඇගේ කෝපය ඉක්මනින් නැඟ ආවේය. 
“ඔයා අදත් බීව්වාද? දැන්වත් ඔය ජරා බීම අත්හරියි කියලා මම හිතුවේ. ආයෙත් ඕක පටන්ගෙන මේ පොඩි උන්ගේ ජිවිත අනාථ කරන්නද හදන්නේ?”
“මම බිව්වේ හිතේ අමාරුවට. ඔච්චර කෑගහන්න දෙයක් නෑ.” 
“ඩිපෝවට ගිය මිනිහා මෙච්චර පරක්කු මොකද කියා මම මේ මඟ බලාගෙන ඉන්නවා. මේ මිනිහා හොඳට බී ගෙන ඇවිදිනවා. ඔය දැන් හිරෙන් ආවටද ඩිපෝ එකෙන් පාටි දැම්මේ?” 
“ඩිපෝ එකෙන් දාපු පාටියක් නෑ. උන් හදන්නේ මගේ බෙල්ලට තොණ්ඩුව දාන්නයි. අම්මපා මට අර බුරුසුවාට දෙකක් දීලා එන්න බැරි වූනානේ.” 

බුරුසුවා යන වචනය ඇසේද්දීම ඇසිල්ලකින් තමාලිට ඩිපෝ අධිකාරිවරයාගේ විශාල බුරුසු රැවුලත් කාමූක බැල්මත් සිහියට නැගුණි. 
“දැන් එතැන ලොකු මහත්තුරුන්ට ගහන්න ගිහිල්ලා ආයෙමත් රිමාන්ඞ් වෙන්නද කල්පනාව. ඇයි දැන් බෙල්ලට තොණ්ඩුව දාන්න හදන්නේ?” 
“නෑ ඌ කියනවා මට විරුද්ධව චෝදනා තියෙනවා ඒවාට පරික්ෂණ කරන්න ඕනෑලූ. එතකං රස්සාවට එන්න එපාලූ.”
“ඒකද මේ හිතේ දුකට බිව්ව කාරණාව? පහුගිය දවස් ටිකේ අපි මෙහේ කමක් බීමක් නැතිව දුක් වින්දා. මේ මිනිහා හිරෙන් ඇවිත් හිතේ දුකට බොනවා. මේ ටිකේ විදපු දුකට අපිත් අරක්කු බොන්න ඕනේ එහෙම නම්.” 
“එතකොට මම අර බලු කූඩුවේ සැප වින්දා කියලාද උඹ හිතන්නේ?”
“බලු කූඩුවේ ලඟින්න උනේ සතුටට බීලානේ. අහිංසක ළමයෙක් යටකරලා මැරුවා මදිවට.”
“මේ ගෑණියේ මම මගේ පාඩුවේ ඉන්න දීලා පලයන් යන්න.” 
“පාඩුවේ ඉන්න දෙන්න? තව ඩිංගෙන් මැරිච්ච ළමයාගේ මහ උන් මේ ගෙවල් දොරවල් ගිනි තියලා දානවා.” 
“මම එක සැරයක් කීව්වා නේද මට මගේ පාඩුවේ ඉන්න දීපන් කියලා. කටු බැල්ලී වාගේ බුරාගෙන ඇගේ එල්ලෙන්නේ නැතිව.” 
“මම කටු බැල්ලී? ඔව් මෙච්චර හරියක් කරලා එළියට ගත්තු මමයි දැන් කටු බැල්ලී. කෙල්ල කොයි වේලාවේ ගෙට වෙයිද දන්නේ නෑ. ඒකීගේ කොටහළුවට ගන්නයි කියලා එකතු කරලා තියා ගත්තු සල්ලි ටික වියදම් කලේ ඇප දීලා බේරගන්නයි. තමුන්ගේ කියලා හැමදාම කඹුරපු උන් තමුසේව බලන්න නිකමටවත් හිරේට ආවද? මේ ළමයි කෑවද බීව්වාද කියලා හොයලා බැලූවාද?” 
“මේ ගෑණියේ, මගේ අම්මලා තාත්තලා ගැන මම බලාගන්නම්. උඹට ඕනේ නෑ ඒවා.” 
“මං ගැන හොඳ කේලාම් ටිකක් ගොතන්න ඇති මහ උන්දෑ. එකයි අද හිතේ අමාරුව ආවේ. වෙනදා එන්නේ ඇඟේ අමාරුව. ඔහොම බීලා ඊළගට එන්නේ සිරෝසීස් අමාරුව.” 

ඇගේ කතාවෙන් මෙතෙක් වේලාවක් අසීරුවෙන් තම කෝපය පාලනය කරගෙන සිටි ජයවීරගේ රතු ඉර පැන්නේය. ඔහු අත දිග හැර එල්ල කල කම්මුල් පහරින් විසිවී ගිය තමාලි මේසයේ හැපී බිම ඇඳ වැටුණි. සිරුරේ ශක්තින් සියල්ල එකවර නැතිවී ගියාක්සේ ඇයට දැනූණි. යළිත් නැගිට දෙපයින් සිට ගැන්මටවත් පණ කඳුලක් නොමැතිව බිම වාඩිගෙන සිටි ඈගේ දැසින් නොනවත්වා කඳුළු කඩා හැලෙන්නට විය. තාත්තා අම්මාට කෑගසා බනිනවා ඇසී අවදිවූ කෝලිත දිව ඇවිත් තමාලිගේ තුරුලට වැදුනේ හයියෙන් හඬමින්ය. තමාලිගේ හැඬුම තවත් වැඩිවුණි. ඇය කොලිතගේ හිස පිරිමදිමින් තම පපුවෙන් නැග ආ ඉකිය වලක්වාගන්නට උත්සාහ කළා ය. රත් පැහැගත් දෑසින් තමාලි දෙස රවාගෙන සිටි ජයවීර වැනි වැනි ගොස් සාලයේවූ වේවැල් පුටුව මතට ඇඳවැටුනේ මොනවාදෝ මුමුණමින්ය. බිත්තියට පිටදී කෝලිතගේ හිස අතගාමින් සිටි තමාලිට ඇගේ තරුණ කාලය මතක් විය. සුදු නැන්දා හා පොඩි මාමා ඇසුරේ ගෙවුණු සැපවත් ජීවිතය මේ බේබද්දා සමගින් දීග ඇවිත් නැති කරගත්තායී ඈට සිතුණි. අඬ හෝරාවක් පමණ ගතවෙද්දී ජයවීර උගුරෙන් ගොර හඬ නංවමින් නිදන්නට වූයේය. කෝලිතගේ හිස පිරි මදිද්දී සනිපයට ඇගේ තුරුලේ ඔහුට නින්ද ගොස් තිබුණි. ජයවීරගේ ගෙරවිලි ශබ්දය ඇරෙන්නට නිවස පුරා පැවතියේ දැඬි නිශ්ශබ්දතාවයකි. හිමිහීට දෙපයට වාරුගෙන නැගී සිටිය තමාලි කෝලිතව දෑතින් ඔසවාගෙන කාමරයට ගියා ය. කම්මුල්වල වියැලුණු කඳුළු සලකුණු ඇතිව නිදන ඉන්දිරා දුටු තමාලිගේ සිත යළි ඇවිලිණී. දැසට ඉනු කඳුලැල් ගවුම් පොටින් පිසදාගත් ඈ ඇඳේ කොනෙන් ඇලවුයේ සිතේ බුර බුරා නැගෙන දුක් ගින්න සමඟින.  

                                     * *      *      *      *
විනය පරික්ෂණය සඳහා පැමිණෙන ලෙසට තෙදිනකට පසු ඩිපෝවෙන් ජයවීරට කැඳවීමක් ලැබිණ. ලිපිය ලද මොහෙතේ පටන් ඔහු වියරුවෙන් මෙන් හැසිරෙන්නටත් එකිනෙකාට අවලාද නගමින්ද තවත් විටෙක පුරාජේරු කතාද කියවන්නට විය. විනය පරික්ෂණයට නොයාමට තින්දු කල ජයවීර, මිල්ටන් හා තමාලිගේ බලවත් විරෝධයද අලුයම ලූ කෙල පිඬක් සේ නොතකා හැරියේය. ඔහු පෙනි නොසිටියත් ඩිපෝව හා මණ්ඩලය ඒකාබද්ධව ජයවීරට විනය පරීක්ෂණය තැබූ අතර සතියකින් පමණ එහි ප්‍රතිඵල ලිපියකින්ම ජයවීරගේ අතට පත්විය. “අධික බීමතින් රැකියාව කිරිම, අපරික්ෂකාරි ලෙස රිය ධාවනය කිරිම, මහමග පදිකයෙකුවූ පාසල් සිසුවෙකු අනතුරට පත් කිරිම, ගමනාගමන මණ්ඩලයේ නාමයට අපකිර්තියක් එක් කිරිම වැනි කරුණු කිහිපයක් මුල් කරගෙන පැවැත්වූ පරීක්ෂණයෙන් වැරදිකරුවූ බස් රථයේ රියදුරු ජයවීරගේ වැඩ තහනම් කිරිම සිදුකරන ලදී.” යනුවෙන් සඳහන් ලිපිය ගුලීකර විසිකර දැමූ ඔහු ඇඳට වැටී නිදන්නට විය. වැඩ තහනමින් පසුව වැඩිය එළි පහළියකට නොගොස් ගෙටම ඇලුණු ජීවිතයක් ගතකරන්නට පටන්ගත් ජයවීර නිසා තමාලි පත්වූයේ විශාල අපහසුතාවයකටය. ගෙදර දොරේ අගහිඟකම් වැඩිවෙද්දී ඒ පිළිබඳ සොයාබැලීමට කිසිදු ඕනෑකමක් නොමැතිව සාදා දෙන ඕනෑම දෙයක් බුදිමින් නිදාගන්නා ඔහු ගැන තමාලිට ඇතිවූයේ උසුලාගත නොහැකි තරහවකි. නිවසේ ආර්ථිකය එන්න එන්නම දුර්වල වෙද්දී තමන්ගේ කීමවල් ඔහු නොඅසන බැවින් තමාලි මිල්ටන් සොයාගෙන ගොස් ජයවීර ගැන සැල කළා ය. ඉක්මණින් ජයවීර රැකියාවක් සොයා නොගතහොත් තමන් ඇතුලූ පවුලේ සියල්ලන්ටම සිඳුවන්නේ පාරේ හිඟාකන්නට බැව් ඈ ඔහුට කීවා ය. පුළුවන් ඉක්මණින් ජයවීරට රැකියාවක් ගැන සොයාබලා ඔහුව මුණගැහෙන්නට එන බැව් පවසමින් ඇයව අස්වසාලීය. තමාලිට පොරොන්දුවූ පරිදි මිල්ටන් දෙදිනකට පසුව ජයවීර බලන්නට නිවසට ගොඩවැදුනි.

“දැන් ජයවීර අයියා රස්සාව ඉල්ලලා අභියාචනාවක් දානවා කිව්වා නේද?”
“තාම දැම්මේ නෑ.”
“ඇයි ඉතිං කල් යව යව ඉන්නේ දැන්ම දාන්න.”
“මට කීප දෙනෙක් කිව්වා ඔය අභියාචනා දාලා වැඩක් නෑ. කම්කරු උසාවියේ නඩුවක් ෆයිල් කරන්නය කියලා. අතේ මිටේ තිබ්බ සල්ලී ටික මේ දවස්වල වියදම් වෙලා හින්දා තමයි මේ නඩුව දාන වැඬේ පොඞ්ඩක් මඟ ඇරලා ඉන්නේ.”
“අයියා හිතනවාද නඩුවෙන් දිනන්න පුළුවන් වෙයි කියලා? අනික ඕවා අවුරුදු ගනන් ඇදෙන නඩු.”
“දිනන්න කෙසේවෙතත් වන්දියක් හරි ගන්න පුළුවන් වූනොත් හරි බං.”
“ඉතිං මෙහෙම ඉදලා හරියන්නේ නෑනේ අයියේ ජොබ් එකක් වත් කරන්න බලන්න. ජයවීර අයියාට ජොබ් එකක් එහෙම හම්බ උනාද?”
“තාම නෑ බං. මට මේ ඔක්කෝම එපා වෙලා ඉන්නේ. වෙලාවකට මේවා දමලා ගහලා යන්න හිතෙනවා.”   
“එහෙම කියලා හරියනවද? ඇයි මේ දරුවන්ගේ කෑමබීම ඇඳුම් පැලැඳුම් වලට සල්ලි එපෑයි.” 
“ඒකනම් ඇත්ත තමයි. එත් මේ මොන මූසල කමක්ද මන්දා මට කිසි දෙයක් කරන්න හිත දෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ.” 
“අයියා රිමාන්ඞ් එකේ හිටපු කාලේ තමාලි අක්කා හරියට ණයවූනා. මම හිතන්නේ රත්තරන් බඩු එහෙමත් උකස් කරන්න ඇති. පහුගිය ටිකේ ගෙදර ණය එහෙම ගෙවලා දාන්නේ නැද්ද?”
“ඒවා එකලාසයක් කරන්න ටික දවසක් යයි බං. අපේ අම්මලානම් කියන්නේ තමාලිගේ මූසල කමටයි මේ හැමදේම වෙන්නේ කියලා.”
“චි අයියේ, එහෙම කියන්න එපා. ඔයා හිරේ හිටපු දවස්වල ළමයි දෙන්නා එක්ක කොච්චර දුක් වින්දාද. මම හිතන්නේ අක්කා හරියට කෑමක් බීමක් වත් ගත්තේ නෑ. ඔන්න ඔය වැඩකට නැති කතා අත හැරලා දාන්න. මම මේ ආවේ අයියාට ටෙම්පරියක් තියෙනවා කරන්න කැමතිද කියලා අහන්න.” 
“කොහේද  බං?”
“අර සැමුවෙල් මුදලාලිගේ ලොරියක.” 
“අපෝ ඌ මහ ලෝබයා කියලයි මම අහලා තියෙන්නේ.” 
“මිනිහා ටිකක් මසුරා තමයි. මේක ටෙම්පරියක්නේ.”  
“ඩිපෝවේ වගේ ගෙවන එකක් නෑ.” 
ජයවීර අදිමදිකරමින් පැවසීය. 
“ඩිපෝවෙත් මහ ලොකු ගාණක් ගෙව්වේ නෑනේ. මේ වෙලාවේ සල්ලිත් ඕනෑ කරන නිසා දැනට විතරක් කරන්න. අපි පස්සේ වෙන හොඳ එකක් හොයලා බලමු.” 
“හරි කවදාද වැඩ පටන් ගන්න ඕනේ?”
“හෙට ඉදලා.” 
මිල්ටන් අසුනින් නැඟිටින ගමන් කීවේය. 
“ඔන්න ඔහේ ගිහිල්ලා බලනවා. හැබැයි මිනිහා පඩි දෙන්නේ නැත්නම් මම නතරවෙනවා.” 
“දැන්වත් අයියාගේ බීම අතහැරලා දාන්න.” 
“පිස්සුද බං මම බේබද්දෙක් නෙවෙයිනේ. මටත් මේ බීම නතර කරගන්නයි ඕනේ.”
ඉස්තෝප්පුවේ අන්තිම පඩිය උඩ සිටගත් ජයවීර මිල්ටන්ට සමුදෙමින් කීවේය. 


                                     * *      *      *      *


සැමුවෙල් මුදලාලිගේ බඩු ලොරියක තාවකාලික පදනමක රියදුරුකම ලැබුනත් ජයවීරට සැමදා එහි ස්ථිර සේවකයෙකු සේ වැඩකරන්නට සිදුවුණි. ඉක්මනින් ඩිපෝවේ රැකීයාව යළි ලැබෙතැයි සිතු ජයවීර ලොරියේ තාවකාලීක රියදුරුකම හෙවත් ටෙම්පරිය දිගටම කිරීමට කැමතිවූවා සේම සැමුවෙල් මුදලාලිද ඊට ඉහටත් උඩින් කැමති වීය. තමාලි කෙතරම් ආඩාපාලි කිව්වත් තම දිනචරියාවේ අංගයක්වූ සවසට මත්පැන් බීම ඔහුගෙන් අත්හැරුනේ නැත. ලොරියේ රියදුරුකම කරන දිවා කාලයේ ඔහු නොබී සිටින නිසාත්  දිගින් දිගටම ටෙම්පරියක් ලෙසින් අඩු වේතනයකට ජයවීර වැනි පළපුරුඳු රියදුරෙක් තබාගත හැකිවිම නිසාත් සවස් කල ජයවීරගේ බේබදුකම නොසලකා හරින්නට මුදලාලි සිතාගත්තේය. 
ඉද හිට අම්මා බලන්නට යන ජයවීරට කලකින් මහ ගෙදරට ගොඩවීමට බැරි විය. රිමාන්ඞ් හි රඳවා සිටි කාලයේදීවත් මහ ගෙදරින් කවුරුවත් තමන් බලන්නට නොපැමිණීම ජයවීරට තදබල ප්‍රශ්නයක් විය. එදින ලොරියේ වැඩ නැති දිනයක් වූ බැවින් ඔහු සැමුවෙල් මුදලාලිගෙන් ඇඞ්වාන්සයක් ලබාගත්තේ මහ ගෙදරට අවශ්‍ය කළමණා ටිකක් රැගෙන යන්නටය. බඩු මල්ලත් රැගෙන පිළීකන්න පැත්තෙන් ගෙට ගොඩවී කුස්සියට එබිකම් කරනවිට අම්මා සිටියේ හොද්දක් ඒදමින්ය. ජයවීර අම්මාට ඇසෙන්නට උගුර පෑදීය.

“ආ උඹ ආවද?”
“හම්”
කුස්සියේ කළු ගැසී ගිය මේසය උඩින් බඩු මල්ල තබා වංගෙඩිය වසා තිබූ රවුම් ලෑලී කැබැල්ල හරි ගස්සවාගෙන ජයවීර එහි වාඩි ගත්තේය.
“ඇයි අම්මලා මාව බලන්නවත් රිමාන්ඞ් එකට ආවේ නැත්තේ? අම්මලාට ලැජ්ජ හිතෙන්නේ ඇති, ඒකයි නේද?”
“උඹේ මහ ලොකු කුමාරිහාමි නිකමටවත් අපිට කිව්වද උඹ රිමාන්ඞ් එකේය කියලා.”
“එතකොට අම්මලා දැනන් හිටියේ නෑ?”
“අපි දැන ගත්තේ පිට උන් ගෙන්. ඒ කතාව ඇත්තද දැනගන්න ගියාම අර පර බැල්ලී මට හොඳටම බැන්නා. ඒ විතරක්ද, ඕකී මට ගෙට එන්න නොදී දොරත් වහලා දැම්මා.”
“බොරු කියන්න එපා අම්මේ, තමාලි එහෙම කරන කෙනෙක්ද?”
“මම මොකටද උඹට බොරු කියන්නේ. අන්න අර උඹලාගේ අල්ලපු ගෙදර නාකිච්චිගෙන් අහපන් සිද්දවෙච්චි දේ.”
“ඉතිං තාත්තාවත් නාවේ?”
“උඹ ඒ ගෑණී අරගෙන අපේ පවුලට ලැජ්ජා කළා මදිවට දැන් බේබඳුකමට බීලා ළමයි යටකරලා  අවනම්බු කරනවා. එයා තමයි කිව්වේ බලන්න යන්න එපාය කියලා. අපේ හත්මුතු පරම්පරාවේ කිසිම එකෙක් පොලීසි ගානේ ගිහිල්ලා නෑ ඔය වාගේ කිරිමෙල් වැඩ කරලා.”
“මේක හරි කතාවක්නේ, මම කරපු කිරිමෙල් වැඩක් නෑ. ඒ මූසල කොල්ලා එක පාරටම පාරට පැන්නා. කොහේද මේ කරුමක්කාර බස් එකේ බ්‍රේක් අඩුයි. උගේ වේලාවටම වැදුනේ නෑ.”
“උගේ නොවේයි, උඹේ වේලාවයි හොඳ නැත්තේ.  නැත්තම් අරකි වාගේ අඩු ජම්මෙ එකියෙක් උස්සාන එයියෑ. තාත්තාවූනත් කැමති නෑ උඹේ ඔය කුමාරිකාවගේ මූණවත් බලන්න. මේ මූසලී ගත්තාට පස්සේ තමයි උඹ ඔය ජරා බීමට පුරුඳුවූනෙත්.” 
තවදුරටත් අම්මාගේ ආඩපාලී අසා සිටිමට නොහැකිව නැගී සිටියේය. 
“උඹ ඔය නැගිට්ටේ යන්නද? හිටපන් බත් ඩිංගක් කාල යන්න. කොස් තම්බලා කිරමින් හොදියි බතුයි තියෙනවා. කොස් තම්බලා කන්න උඹ ආසයිනේ.” 
“දැන් කන්න බෑ.”
“ඇයි උඹේ කුමාරිහාමි කිව්වාද මෙහෙන් කන්න එපා කියලා?”
ජයවීරගෙන් දිස්වුයේ මානසික ගැටලුවකට මැදිවූ කෙනෙකු කල්පනාවක යෙදී සිටින්නාක් ලෙසිනි. ඔහු කිසිත් නොකියා මුනිවත රැකීය.
“ඉස්සර මෙහේ ආවම උඹ කෑම ටිකක් කාලා හවස්වෙලා ගියේ. ඒකට දැන්, කඩදාසිය ලිපේ දැම්මා වාගේ එනවා ආපහු දුවනවා. ඇයි උඹට මෙහේ එන්න අරකි තහනම් කරලාද?” 
“අම්මාට පිස්සුද. දැන් කන්න පිරියක් නෑ. උදේට කෑම කෑවෙත් දැන් තමා.”
“බලපන් දැන් උඹේ හැටි අරකි උඹට කන්න දෙන්නේ නැද්ද? ඔය මූසලි අරගත්තත් හරි උඹ විනාසවෙන්න ගත්තා.”
“මොකක්ද අම්මේ මේ, මම මෙහෙට ආවොත් අර ගෑණීට බනින එකමයි වැඬේ. කනක් ඇහිලා ඉන්න නෑ. දැන් මෙහෙට එන්න හිතෙන්නේ නැත්තෙත් ඕක තමයි.” 

අම්මා තමාලිගේ නුගුණ කියමින් ජයවීරගේ සිත තුළට ගිනි අවුලවන ලද්දෙන් ඔහු එසේ කියමින් කුස්සියෙන් පිටවී ගියේය. තම මව මිදුලේ දමා නිවසේ දොර වැසූ තමාලි කෙරේ ඇතිවූයේ කලකිරිම මුසු අසීමිත කෝපයකි.  සුමනේ අයියාගේ කසිප්පු වාඩියට ගොඩවී රුපියල් විස්සක කසිප්පු ගෙන ඉක්මනින් උගුරට හලාගත්තේය. ගලනාලය දිගේ පිච්චිගෙන පහළ බසින කසිප්පු නිසා ඔහුගේ කට කකාරවාගෙන ආවේය. කාරා කටට ආ සෙම මිශ්‍ර කෙළතලිය කාණුවට හැලූ ජයවීර හන්දියේ කඩල කරත්තයෙන් ගත් තැම්බූ කඩලගොටුවෙන් කඩල අහුරක් හපමින් නිවසට පියවර මැන්නේය. වෙනදා මෙන් පදමට බී ගෙට ගොඩවූ ජයවීරගෙන් මත්පැන් ගඳ මිශ්‍ර දහඩිය දුගඳ වහනය වන්නට විය. ඔහු ළඟට එනු දුටු වහාම තමාලි හකුළාගෙන සිටි මුහුණ තවත් බකුසු කර ගත්තා ය. 

“ඈ බං ගෑණීයේ ඇයි උඹ මගේ අම්මලාට මම රිමාන්ඞ් එකේ ඉන්නවායි කිව්වේ නැත්තේ?”
“මම කොහොම කියන්නද. මට එහෙට එන්න එපා කියලා තියෙද්දී. ” 
“එහෙනම් උඹ මොකටද මෙහෙට ආපු මගේ අම්මාට දොර වැහැව්වේ? ඇත්තටම මට උඹේ බෙල්ල ගලවලා අතට දෙන්න හිතෙනවා.” 
“වට්ටී අම්මා වාගේ මෙතන ඇවිදින් බෙලිකටු මල්ල හොලවා හොලවා මට දෙස් තියන්න ගත්තේ තමුසෙගේ අම්මායි. මම පුළුවන් තරම් ඉවසුවා.” 
“යකෝ මගේ අම්මා වට්ටී අම්මා? අපේ සනුහරේ කවුරුත් වට්ටී අම්මලා නෑ. උඹලාගේ  උන් නම් වට්ටී අම්මලා තමයි.”
“මගේ උන් වට්ටී අම්මලා උනත් ඔය වාගේ ජරා කැරුට්ටුවක් නෑ. වාචාල කටින් මුළු ගමටම ඇහෙන්න කෑගැහුවා. පාරේ යන එන මිනිස්සුත් ඇවිල්ලා මෙතන වටවෙන්න පටන්ගද්දී තමයි මම දොර වැහැව්වේ. තමුසේගේ අම්මා මම අඩු කුලේ කිය කියා බැන්නා.”   
“උඹ අඩු කුලේ නිසා තමයි මට මගේ දෙමව්පියන් නැතිවුනේ. එත් උඹේ මහන්තත්තකම නම් අඩුවෙලා නෑ.” 
“තමුසේට මාව බඳිනකොට නම් මගේ කුලේ අඩුකම පෙනුනේ නෑ. දැන්ද මගේ කුලේ පේන්න ගත්තේ?” 
“මේ උඹ දැන් කට වහනවාද නැද්ද? තවත් කට කියවන්න අවොත් උඹේ දත්වහල්ල බිමට වැටෙන්න ගහනවා.”
ජයවීර ළග තිබු පුටුවට පයින් ඇන්නේය. තවදුරටත් ඔහු හා වාද කිරිම ගුටි කෑමකින් කෙලවරවන බව දැනගත් ඈ නිහඬවී තම සිතේ පැසෙමින් තිබෙන කේන්තිය සහ ආවේගය පාලනය කරගත්තා ය. ඈ ඉක්මනින් කුස්සියට වැදුනේ දහවල් පාසල් ඇරි ගෙදරට එන ඉන්දිරාට හා කෝලිතට කුමක් හෝ කෑමට සෑදිම සඳහාය.  

                                  * *      *      *      *                          

සති කිහිපයක් නිහඬව ගෙවී ගිය අතර පාසලේ දී ඉන්දිරා වැඩිවියට පත්විමේ සලකුණු පෙන්නුම් කළා ය. හිසේ සිට බෙඞ් ෂිට් එකකින් ආවරණය කරන ලද ඉන්දිරා ගුරුවරියකගේ රැකවරණය සමඟින් නිවසට රැගෙනවිත් තමාලිගේ භාරයට පත්කරන ලදී. ඉක්මණින් ජයවීරට පණිවිඩයක් යැවූ තමාලි ඉන්දිරාට යකඩ කැබැල්ලක් අතටදි කාමරය මුල්ලේ ඇඳ රෙදිවලින් තිරයක් යොදා කොටු කළා ය. තමාලිගේ පණිවිඩය ලැබී ජයවීර නිවසට එනවිට බොහෝ සවස්වී තිබුණි. 

“මම හිතුවේ ඔයා ඉක්මණටම එයි කියලා.”
“එහෙම කොහොමද එන්නේ. මම ගෙදර ආවම ලොරිය එළවාගෙන එන්නේ ගෝලයාද? දැන් මොනවාද කරන්න තියෙන්නේ.”
“කෙල්ලව තනියෙන් දාල කොහේවත් යන්න එන්න බෑ. කාන්තිගේ දුවවත් තනියට නවත්ත ගන්න කතා කරගන්නත් ඕනේ.”
“හරි මම එයාලට පණිවිඩය දෙන්නම්. ඔයාට මේවා තනියම කරගන්න පුළුවනිද?”
“නාවන්න වේලාවක් බලාගන්න යන්න ඕනේ. කෙල්ලට අලුත් ඇඳුම් කෑලී දෙකක්වත් මස්සන්නත් වෙනවා. මේ වැඩ හොඳට දන්නේ අපේ සුදු නැන්දා. සුදු නැන්දා මෙහෙට ගෙන්න ගත්තොත් මට දුවලා පැනලා අනික් වැඩ ටික කරගන්න පුළුවනි.”
“එයා මෙහේ එයිද?”
“මම එහා ගෙදර පොඩි මල්ලී පොස්ට් ඔෆිස් එකට යැව්වා හල්දුම්මුල්ලට ටෙලීග්‍රෑම් එකක් යවන්න. එයා මට බෑ කියන එකක් නෑ.”
“සුදු නැන්දට විතරක් කතා කරලා හරියන්නේ නෑ නේද? පොඩි මාමටත් කතා කරන්න.”
“දැන්ද ඔයාට එයාලව මතක් වූනේ? මෙහේ උත්සවයක් ගන්නේ නැති නිසා එයාට එන්න කියන්න ඕනේ නෑ. අනික මේ පොඩි දෙයකට එයා නිවාඩු දාලා එන එකකුත් නෑ.”     
“එහෙම කරන්න හොඳ නෑ තමාලි. දැන් පොඩියටවත් උත්සවයක් ගන්නත් ඕනේ නේද?”
“ඒවා කරන්න සල්ලී කොයින්ද? කෙල්ලගේ බෙල්ලට මාල පොටක් වත් දාන්නයි මම හිතාගෙන උන්නේ. ඒකට එකතුකරලා තිබ්බ සල්ලී ටිකත් නඩුවට වියදම් උනානේ.”
“හරි බං මම ඒ වැඩ වලට සල්ලී හොයාගන්නම් කෝ.”
“අපි පුළු පුළුවන් හැටියට චාරිත්තර ටික විතරක් කර ගනිමු. දැන් ණයවෙලා තියෙන හරිය මදෑ තවත් ණය වෙන්න එපා.”
“ මමයි ණය ගන්නේ, මමයි ණය බේරන්නේ. තමුසේ එකට බයවෙන්න එපා. අපිට ඉන්නේ එක කෙල්ලයි. කවුද දන්නේ මුංගේ මඟුල් දකින්න අපි ඉදියිද කියලා. ඒක නිසා කරන මඟුලක් දැම්ම කරලා දාමු.”
“මොනවාද මේ කියන කතා. දැන් ගිහිල්ලා කාන්තිටයි නිලන්තිටයි පණිවිඩයක් දෙන්න. මේ කෙල්ල ගෙදර තනියෙන් දාල යන්න හොඳ නෑ.”

ජයවීර විසින් කාන්තිට හා නිලන්තිට පණිවිඩ යවා ගෙන්වාගත් ඔවුන්ගේ දියණියන් ඉන්දිරාගේ තනියට රඳවා තැබීය. ඉන්දිරාගේ කොටහළු මංගල්ලය ජයට ගැනීම ජයවීරගේ අභිප්‍රාය වූවත් තමාලිගේ දැඬි විරුද්ධත්වයත් තම ආර්ථික තත්වයත් හමුවේ මඳක් පසු බෑවේය. දෙවනි දිනයේ හවස් වන විට හපුතලේ සුදු නැන්දා නිවසට අවශ්‍ය කළමණා ටිකකුත් රැගෙන ආවා ය. තමන් රැගෙන ආ බඩු මල්ල බිම තැබූ ඈ සාරි පොටින් බෙල්ල දෙපස පිසදා ගත්තා ය. 

“හරිම මහන්සියි. තමාලි මට වතුර ඩිංගක් දුන්නා නම්.”
“ආ සුදු නැන්දා ආවද? ඔය පුටුවෙන් වාඩී වෙලා ඉන්න, මම වතුර ගෙන්නම්.”
තමාලි වතුර විඳුරුව ගෙන එනතෙක් නොසිටි සුදු නැන්දා ඉන්දිරා රඳවා තිබූ කාමරයට හිස පෙවා බැලීය.  වතුර විඳුරුව රැගෙන ආ තමාලි 
“ආ සුදු නැන්දේ මෙන්න.”
“කෝ බං ජයවීර?”
“එයා වැඩට ගිහිං.”
“මම බඩු ඩිංගක් අරගෙන ආවා. ඔය මල්ල කුස්සියෙන් ගිහිල්ලා දැම්මා නම්.”
“මොකට උස්සන් ආවද මන්දා.”
“කෙල්ල නාවලා ගෙට ගන්න වෙලාවක් බැලුවාද?”
“තාම නෑ. කෙල්ලව ගෙදර තනියම දාලා කොහොමද යන්නේ?”
“ඇයි අර දැරිවියක් ඉන්නවා නේද?”
“ඒ ළමයි විතරක් තනි පංගලමේ තියන්න පුළුවන්ද?”
“දැන් මං ඉන්නවානේ ගිහිං වේලාවක් බලං වරෙන්.”

බුලත් අතක් ගෙන ගුණේරිස් රාලහාමි හමුවට ගිය තමාලි ඉන්දිරාගේ මල්වරවූ වේලාව හා කේන්දරය පරික්ෂාකර සුබ නැකතක් බලාගෙන නිවසට ආවා ය. ගුණේරිස් රාලාහාමි කේන්දරය පරික්ෂා කර කී දේවල් නිසා ඒ මොහොතේ ඇගේ සිත යම් තරමකට සැලුනද ඒත් තමාලි ඒවා එතරම් සැලකිය යුතු දෙයක් ලෙස දැක්කේ නැත.

“කෝ වෙලාව බලාගත්තාද?”
“නැකත හදලා දුන්නා. ඒත් කෙල්ල ගෙටවුණු වේලාව තාත්තට නරකයිලු.”
“ඔය විත්තියක් ජයවීරට එහෙම කියන්න එපා.”
“ජයවීරට නරක් උනේ කෙල්ල ගෙටවූණු එක නෙමෙයි බේබදු කම.”
“කෝකටත් ජයවීරගේ කේන්දරේත් බලවාගත්තා නම් හොඳයි නේද?”
“පිස්සුද සුදු නැන්දේ, ඔය මිනිහා හදවන්න කේන්දරෙන් බෑ. ඔන්න බලන්න අදත් බීලා එන්නැද්ද කියලා.”
“තව මොනවාද කිව්වේ?”
“කෙල්ල හොඳට පරස්සම් කරගන්න කිව්වා. අවුරුදු දාහතර පහළොහ කාලේ විශේෂයෙන් පරිස්සම් කරගන්නය කීවා.”
“ඉතිං උඹ ඇහැව්වේ නැද්ද එහෙම කියන්නේ ඇයි කියලා?”
“මට එච්චර ඒ ගැන අහන්න නිච්චියක් නැතිව ගියා. අනික කෙල්ලෙක්ව කොහොමත් කසාද බඳිනකම් අම්මලා පරිස්සම් කරනවානේ. ඕක ඉතිං අහන්නත් දෙයක්ද?”

තම කුසින් දරුවන් වදා උතුම් මව් පදවිය නොදැරුවත් අම්මා කෙනෙකුසේ තමාලිව රැකබලාගත් අයුරු සුදු නැන්දාට සිහිපත් විය. ජයවීර හා හාද වී තමන්ට අකීකරුවූ තමාලි එදා හැසිරුනු අයුරු සිත්තම් පෙලක් සේ මනසේ ඇඳී යන්නට විය. නිහැඬියාව බිඳමින් තමාලි කතා කළා ය.

“තියෙන හැටියට සුළුවෙන් චාරිත්තර ටික කරමු.”
“දැන් උත්සවයක් එහෙම ගන්නේ නැද්ද?”
“ඕවා කරන්න සල්ලි කොහෙන්ද සුදු නැන්දේ. කෙල්ල ගෙට වෙයි කියලා එකී වෙනුවෙන්ම මම සල්ලි ටිකක් ඉතුරු කරලා තිබ්බා චේන් පොටක්වත් දාන්න කියලා. ඒකත් ඉතිං ජයවීරගේ නඩුවට වියදම් වුණා.”
“මොන නඩුවද බං?”
“මම පස්සේ ඔය විස්තරේ කියන්නම්. සුදු නැන්දා මෙතන කෙරෙන්න ඕනේ චාරිත්තර ටික බලාගන්න කෝ.”

මුදල් අඟහිඟකමින් පෙලුණූ ජයවීර එක්වරම නිවසට අවශ්‍ය භාණ්ඩ රැසක් රැගෙන ඒම ඇය විමතියකට ලක් කල කරුණක් වීය. මස් මාළු ඇතුලූ ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයකුත් ගෙනවිත් දුන් ඔහු තවත් මල්ලක් හොර රහසේම තම කාමරයේ ඇඳ යටට රිංගවා සැඟවීය. කාමරයේ හොරෙන් සඟවන ලද දුඹුරු පැහැති සිමෙන්ති උරයෙන් සකස් කල බෑගය දුටු කල්හි එහි ඇත්තේ කුමක්දැයි තමාලි ක්ෂණිකව වටහා ගත්තා ය.  

“මේ ජයේ ඔයාට කොහෙන්ද මෙච්චර බඩු ගෙන්න සල්ලි? ඔයා ණයටවත් ගත්තාද?”
“මම සැමුවෙල් මුදලාලිගෙන් පොඩි ගාණක් ඉල්ලා ගත්තා.”
“මම කිව්වා නේද ණයවෙලා මඟුල් ගන්න ඕනේ කමක් නෑ කියලා. ඇයි ඔයා සැමුවෙල් මුදලාලිට ණයවෙන්න ගියේ? මට පෙනෙන්නේ ඔයා තව බෝතලුත් ගෙනල්ලා වාගෙයි. මේ වාගේ දවස්වලට බෝතල් පාටි දාන්න හොඳද?”
“මේ හොඳ දවසේදීවත් තමාලි තමුසේ මගේ කේන්ති අවුස්සනේ නැතිව ඉන්නවා. මම කරන්නේ මට ඕනේ දේ.” 
ජයවීරගෙ මුවින් මත්පැන් ගඳක් වහනයවූයෙන් ඔහු සමඟින් එකට එක කියා යෑම රණ්ඩුවක මුල පිරීමක් බැවින් ඈ නිහඬව ඉන්න උත්සාහ කළා ය.
“කෑම උයන්න දන්න කෙනෙක්ට කතා කරගත්තා නම් හොඳයි.”
“දැන් ලොකුවට උත්සවයක් ගන්නද මේ බඩු ගෙනාවේ?”
“නෑ පොඩීයට එකක් දානවා. සුදු නැන්දාත් ඉන්න එකේ තනියෙන් කරගන්න බෑ අමාරුයි විතරක් නම් කියන්න එපා.”
කී ඔහු රුපියල් දාහේ කොල දෙකක් තමාලි අතට පත් කර පිටව ගියේය.




 නැකත යෙදී තිබූ දිනයේ උදෑසනම ළිඳ වෙත රැගෙන ගිය ඉන්දිරාව සුදු නැන්දා පිච්ච මල් දැමූ සීතල වතුරෙන් නහවා කළගෙඩිය ළිං පඬියේ ගසා කුඩුකර දැම්මා ය. චීත්තයකින් ආවරණය කරගත් ඉන්දිරාව නිවසට රැගෙන ගොස් අලුත මැසු රෝස පැහැති ගවුමෙන් සැරසීය. කාමරයක දින ගණනාවක් කොටුවී සිටී එම දින කිහිපයට ශරිරය මඳක් වැඩී පිරිපුන් ගතියක්ද මුහුණෙන් පැහැපත් පෙනුමක්ද දිස්වීය. තමාලි ඇයට පුළුවන් උපරිමයෙන් චාරිත්‍ර කිරිමට උත්සාහ කළා ය. ජයවීරගේ දෙමව්පියන්ට හා සහෝදරයින්ට ඉන්දිරාගේ වැඩිවියට පත්වීම දන්වා ඇරියත් ඔවූන් එයට සහභාගී නොවීය. මල්වර උත්සවය දිනයේ තෑගී බෝග රැගත් ඉන්දිරාගේ යෙහෙළියන් හා අසල්වාසින් එකා දෙන්නා ඉන්දිරා බලන්නට ආවාහ. නිවසට එනෙන වැඩිහිටි අසල්වාසින්ට ආයුබෝවන් කියන්නටත් දණ ගසා වදින්නටත් සිදුවීමෙන් ඉන්දිරා සවස්වෙද්දී සිටියේ හෙම්බත්වය. මඟුල් උත්සවයට පැමිණී සියල්ලන්ගේ දෙනෙත් යොමුවූයේ නිවස ඉදිරියේ පැමිණ නවතන ලද කිරි පාටැති ලාන්සර් බොක්ස් රථය දෙසටය.

කාර් රථයෙන් ආවේ කවුද? .... මතුසම්බන්දයි ........

පළිගු කිරිල්ලී - දාහහතරවන කොටස

පළිගු කිරිල්ලී - දාහහතරවන කොටස                   දින කිහිපයක් ගෙවි ගොස් යළිත් තම දිවියේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට ඉන්දිරා සමත් වූවාය....