Thursday, October 29, 2020

පළිගු කිරිල්ලී - පහළොස්වන කොටස


පළිගු කිරිල්ලී - පහළොස්වන කොටස 

 කොළඹට යන බසයක් එනතෙක් හල්දුම්මුල්ලේ රැඳී සිටි ඉන්දිරා ඇඟිල්ලක් ඔබාගන්නට බැරි තරම් සෙනඟින් පිරී තිබූ බස් කිහිපයකටම නොනැඟ යන්නට ඇරියාය. කොතරම් එපා කිව්වත් සුදු නැන්දා කෙසෙල් කොළයක ඔතා දුන් විශාල බත් මුලත් බෝඩිමට ගෙනයාමට ගත් ඇඳුම් කිහිපයත් ඇතුළු තවත් කළමණා කිහිපයක් තිබුනු බැවින් ඇඟේ ගමන් මල්ල සිතුවාටත් වඩා විශාල විය. මෙවැනි බෑගයක් කරපින්නාගෙන පොල් පටවාපු බස් රථයකට ගොඩවීම කරදර ගොඩකට අතවැනීමක් බව අත්දැකීමෙන්ම දන්නා ඉන්දිරා ඒහෙයින්ම සෙනග අඩු බසයක් එනතෙක් සිටියා ය. හෝරාවකට ආසන්න කාලයක් බස් නැවතුමේ රැඳී සිටිද්දී ඇගේ ඉවසීමද ටිකෙන් ටික වියැකි යන්නට විය. ඊළඟ බස් එකට නගිනවා යැයි සිතුවත් මඟින්ගෙන් පිරුනු බසයක් දකිද්දීම ඇගේ එම සිතුවිල්ල පසෙකලා ඊළඟ එකත් බලනවා යැයි සිතා ගත්තා ය. තරමක් සෙනග අඩු බසයක් පැමිණි හෙයින් අසීරුවෙන් එයට ගොඩවූ ඉන්දිරා කොන්fදාස්තරගේ තල්ලුවෙන් ඉදිරියට සෙනග මැද්දෙන් ඇදුණි. පිරි පැවැති ගමන් මළු රදවනයේ කුඩා ඉඩක් දුටු ඉන්දිරා කෙසේ හෝ එතැනට සෙනග මැද්දෙන් ළගාවිය. යාන්තමින් මගී අසුනක ඇන්දක් අල්ලාගත් ඈ තම බෑගය රදවනයේ තිබූ කුඩා ඉඩට රිංගවාගන්නට උත්සාහ දැරීය. බස් රථය වංගුවක් ගත් ඇසිල්ලෙන් ඉන්දිරාගේ සමබරතාවය බිඳීගොස් බෑගය අසුනේ සිටි පුද්ගලයාගේ උරහිස මතට වැටුණි. කවුළුවෙන් පිටත බලාගෙන  කල්පනාවක හුන් තරුණයා නොමනාපයෙන් මෙන් ඉන්දිරා දෙස රවා බලා යළි සිය නෙත් කවුළුවෙන් පිටතට යොමු කරගත්තේය.  

“ සොරි.”

ඉන්දිරාට නොදැනීම කියැවිනි.

යළිත් ඉන්දිරා දෙස විමසිලිමත්ව බැලූ ඔහු  “දෙන්න.” කිවේය.   

ඉන්දිරාගේ බෑගයේ පතුලෙන් අල්ලා ඉන්දිරා ඔහුට දෙන්නටත් පෙර රැගෙන ඔහුගේ උකුල මත සීරුවෙන් තබාගත්තේ ඇය දෙස යළිත් වරක් බලමිනි. ඉන්දිරා ඔහුගේ බැල්ම මඟ හරින්නට බස් රථයේ කවුළුව දෙසට තම දෑස් යොමු කළා ය.   

“හල්දුම්මුල්ලෙන් නැගපු අය සල්ලි ගන්න. මහත්තයා පොඞ්ඩක් ඉස්සරාහට වෙන්න.  ඔය බෑග් උඩින් දාන්න බැරි නම් බිමන් හරි තියන්න.”     

කොන්දොස්තර කොලුවා සෙනග එහා මෙහා කරමින් ඇතුලත ඉඩ පාද ගනිමින් ඉදිරියට ඇදෙන්නට වුණි. මෙතෙක් වෙලා ටිකට් පතක් ලබාගෙන නොතිබූ බව ඉන්දිරාට වැටහුනේ කොන්දොස්තර කොලුවාගේ කෑ ගැසීමෙනි. සල්ලි සියල්ලම බෑගයේ පැති සාක්කුවක රැඳවූ බව සිහිපත්වුනු ඉන්දිරා “අයියේ පොඞ්ඩක් ...”     

කියා ඔහුගේ උකුලේ තිබියදීම පැති සාක්කුව හැර එයට අත දැම්මා ය. සාක්කුව තුළ අත එහා මෙහා කළත් ඉන්දිරාට තම මුදල් සොයාගත නොහැකි විය.

“කෝ මිස් ඉක්මන් කරන්න. ඔය ඉස්සරා ඉන්න ටිකට් ගන්න ඉන්න අය සල්ලි ලෑස්ති කරගන්න. ”

කොන්දොස්තර කොලුවාගේ කෑගැහිල්ලට ඇය අනවශ්‍ය ලෙස කලබල වූවාය. කලබලයට අනෙක් සාක්කුවේ ශිපර් එක ඇයට කොහොමටවත් විවර කරගත නොහැකි විය.

“සල්ලි අතේ තියාගෙන නෙමෙයිද බස් එකට නගින්නේ? කෝ ඉක්මන් කරන්න. ”     

කොන්දොස්තර කොලුවා යළිත් වරක් කෑගැසුවේය. ඉන්දිරා ශිපර් එක විවර කිරිමට කිහිපවරක් එහාට මෙහාට එය අදිද්දී ස්වේචාවෙන්ම එය විවර කර දීමට අසුනේ හුන් තරුණයා ඉදිරිපත් විය. ඔහු විවර කර දුන් සාක්කුවෙන් මුදල් ගත් ඈ ටිකට්පතක් ලබාගත්තා ය. මෙතෙක් එම තරුණයා දෙස නොබලා සිටි ඉන්දිරාට මෙවර ඔහු දෙස බලන්නට හැකි විය. කොණ්ඩය කොට වන්නට කපා පැත්තට පීරා හුන් තලෙළු ඔහු තරමක හැඬි දැඩිවූවත් ප්‍රියමනාප පෙනුමැති පුද්ගලයෙකු විය. කල උපකාරයට මඳ සිනහවකින් ඔහුට සංග්‍රහ කළ ඉන්දිරා යළිත් වරක් කවුළුව දෙසට නෙත් යොමු කළා ය. බස් රථය පැල්මඬුල්ලට ළඟාවෙද්දී තරුණයාගේ අසුනේ කවුළුව ආසන්නයේ හුන් තැනැත්තා මෙන්ම තවත් මඟින් කිහිපදෙනෙක් ඉන් බැස යන්නට තම ආසනවලින් නැඟී සිටියෝය. හිස්වන අසුන් ලබා ගැනීමට සිටගෙන සිටි කිහිපදෙනෙක් පොරකන්නට වුනි. ඉන්දිරාව තල්ලුකර දමමින් ආසනය ලබා ගැනීමට සැරසෙද්දී බෑගය සීට් එක උඩින් තබා එය ඇයට වෙන්කර තබන්නට ඔහු කාරුණික විය. 

“ඉදගන්න නංගි.”   

මෙතෙක් වේලාවක් අපහසුවෙන් එකම ඉරියව්වෙන් බසයේ සිටගෙන සිටි ඉන්දිරා යුහුසුලුව එහි වාඩිගත්තේ දෙකකුල් වලට මඳ ඉසුඹුවක් ලබාගැන්මටය. ඈට හිදගැනීමට ඉඩලබාදෙනු වස් බෑගය තම උකුලට ගත් ඔහු තවත් අසුනේ කෙළවරට වී ඇයට ආසනයේ ඉඩ සකස් කර දුනි. අසුනේ හිදගත් වහාම තම බෑගය ඔහු වෙතින් ආපසු ගත් ඉන්දිරා මෙතෙක් වේලාවක් අතේ සිරකරගෙන සිටි ටිකට්පත මිලදීගෙන ඉතිරිව තිබූ මුදල් යළිත් බෑගයේ පැති සාක්කුවට මුදා හැරියා ය. තවත් වරත් ඔහු දෙසට කෘතවේදි සිනහවකින් සංග්‍රහ කළ ඈ “බොහෝම ස්තුතියි අයියා.” කීවාය.

ඔහුත් ඇයට සිනහවක් පෑවේය. ඉන්දිරා යළිත් කවුළුවෙන් ඉවත බලාගත්තා ය. ඉදිරියට දිවෙන බස් රථයේ අධික වේගයට කවුළුවෙන් එන සුළං රැල්ල ඇගේ කෙස් කළඹ අවුල් කරවන්නට විය. ඉන්දිරා ඉක්මනින් කවුළුව මඳක් වසා දැමීය. පසුකර ඇදෙන ගස්වැල් දෙස බලාහුන් ඇයව මෙතෙක් දුරක් සිටිගෙන ගමන් කල නිසාවෙන් ගතේ වේලාගෙන සිටි තෙහෙට්ටුව ඉක්මනින්ම නින්දකට කැඳවා ගනු ලැබිණ. 

“නංගි... නංගි නැගිටින්න.”

එකවරම තිගැස්සී ගිය ඉන්දිරා දැස් විවර කර බැලීය. 

“ආ මෙන්න. මෙන්න මේ රෝල්ස් එක කාලා බීම එක බොන්න.” 

ඔහු තම අතේ තිබූ කඩදාසි පාර්සලයක් හා බීම බෝතලයක් ඇයට දිගුකළේය. 

“මේ කොහේද?”

“ලෙල්ලුපිටිය හරියේ. බස් එක තේ බොන්න නැවැත්තුවා. ඔයා නිදි හින්දා කතා කළේ නෑ. තිබහත් ඇති නේද? ආ මෙන්න. මේක කාලා ඉන්න.”

ඉන්දිරාට එකවරම කිසිවක් සිතාගන්නට අපහසු වීම නිසා ඔහු දෙස මඳ වේලාවක් බලා සිටියාය. 

“ගන්න. මම මේක ඔයාටමයි අරගෙන ආවේ. ”

ඔහුගේ දඟකාර සිනාහව හා දිඳුලන දෑසේ ආකර්ෂණයට නතුව ගිය ඈ ඔහු දුන් පාර්සලය අතට ගත්තා ය. මේවන විටත් ඇයටත් කුසගින්නක් හා තිබහක් දැනෙන්නට පටන් ගෙන තිබුණි.

“කෝ ඔය බෑග් එකත් එක්ක කන්න බෑනේ. මේ සීට් එක උඩින් තියන්න.”

ඔහු ඉන්දිරාගේ උකුලේවූ ගමන් මල්ල හිස්ව තිබූ ඔහුගේ අසුන මත තැබීය. කඩදාසි පාර්සලයේ බිත්තර රෝලස් දෙකක් තිබූ අතර ඇය ඉන් එකක් අතට ගත්තා ය. බඩගින්නට වඩා දැඬිවූ පිපාසය නිසා ඉන්දිරා ඉක්මනින් රෝල්සය කා බීම බෝතලය බී හමාර කළා ය. 

“බෝහෝම ස්තුතියි අයියේ.”

“බස් එක අඳින්නයි යන්නේ. කෝ දෙන්න හිස් බෝතලේ මම ගිහිල්ලා දීලා එන්නම්.”  

හිස් බීම බෝතලය ඉන්දිරාගෙන් ලබාගත් ඔහු බසයට නඟින සෙනග අතරින් රිංගා ඉන් බැස යනු ඇය දුටුවාය. කොන්දොස්තර කොලුවාගේ විධානයෙන් බස් පිටත්වීම ඇරඹුනත් බැසගිය තරුණයා ආපසු බස් රථයට ආබවක් පෙනෙන්නට නොවීය. ඉන්දිරා කිහිපවරක් ඉදිරිපස දොරටුවත් පිටුපස දොරටුව දෙසත් විමසිලිමත් වූවත් ඔහු ඇතුළේ සිටින බවක් දක්නට නොවීය. කිසිවෙකු වාඩි නොගෙන සිටින අසුනට ඉව වැටුනු සිටගෙන සිටින කිහිපදෙනෙක් විමසිලිමත් වන බව ඈට පෙනිණ. තමන්ට උපකාර කල නොදන්නා පුද්ගලයාට බස් එක අද්දන්ට කලියෙන් නැඟගන්නට නොහැකිවූවාදැයි ඈගේ සිත කියන්නට විය. ඉන්දිරා කරකියාගන්නට දෙයක් නොමැතිව කිහිපවරක් එහා මෙහා බැලුවාය. වේගවත්වූ හෘද ස්පන්දනයේ ශබ්දය එළියට ඇසෙන්නාක් මෙන් විය. බස් එක නවත්වන්නට කියා කෑගසන්නට ඇයට සිතුනි. 

“මෙතන කවුරුත් නැද්ද?”

අසුන අද්දිරින් සිටගෙන සිටි මැදිවියේ පුද්ගලයා ඉන්දිරාගෙන් විමසීය. 

“නෑ ඉන්නවා. බීම බෝතලේ දීලා එන්නම් කියලා ගියා.”

“දැන් බස් එක පිටත් වෙලානේ. මේ බෑග් එක දාලද ගියේ?”

අසුන මත තිබූ ඉන්දිරාගේ ගමන් මල්ල පෙන්නා ඔහු ඇසීය. 

“නෑ එක මගේ.”

“බෑග් එකේ තිබුන දෙයක්වත් අරගෙන බැහැලා ගිහිල්ලාද දන්නේ නෑ. කෝකටත් බලන්න.”

“කොටියෙක් ද දන්නේ නෑ. කෝකටත් බස් එක නවත්තලා සර්ච් කරන්න කියන්න.”

මැදිවියේ පුද්ගලයා ආසන්නයේ සිටි අයෙකුද ඔහු හා එක්වෙමින් කීවේය. 

“ඔයාගේ බෝයිෆ්‍රෙන්ඞ් ද බැස්සේ?” 

වම්පසින් සිටගෙන සිටි කාන්තාවක් සමච්චලයට මෙන් ඇසුවා ය. 

ඔවුන් ප්‍රශ්න අසද්දී අසල සිටි එකා දෙන්නාද ටිකෙන් ටික ඉන්දිරා දෙස බලන්නට වූයෙන් ඇය ආයාසයෙන් එම තත්වයට මුහුණ දුන්නා ය. ඊළඟ නිමේෂයේදී කොහේදෝ සිට කඩාවැටුනාක් මෙන් සෙනඟ පීරාගෙන තරුණයා තම ආසනය කරා පැමිණුනි. ඉන්දිරාගෙන් නොයෙකුත් ප්‍රශ්න ඇසූ සියල්ලන්ම කිසිවක් නොවූ ආකාරයට එකවරම මුනිවත රකින්නට විය. වහාම තම බෑගය අසුනින් ඉවත් කරගෙන ඔහුට හිඳ ගැනිමට ඉඩසලසා දුන් ඈට තම හිසමත තිබුන මහා බරකින් නිදහස්වූවාක් මෙන් දැනින. ඉන්දිරා නුරුස්සනාසුලු බැල්මකින් ඔහු දෙස බැලුවාය. 

“ඔයා කොහේද ගියේ?”

ඔහු ඉන්දිරාගේ මුහුණ දෙස බලා මඳ සිනාවක් පා ඉවත බලාගත්තායින් ඇගේ සිතේවූ නොරිස්සුම කෝපයක පෙරළීමට වැඩි වේලාවක් ගතවූයේ නැත.       

“ඔයාටනං හිනා. මට නේ මෙතන ප්‍රශ්නයක් ආවේ.” 

“සොරි නංගි. මම බීම බෝතලේ දීලා එලියට එද්දිමයි බස් එක ඇද්දුවේ. දුවලා ඇවිල්ලා බස් එකේ එල්ලුනා.”     

“බස් එකට නැග්ගානං ඔයා සීට් එකට ඇවිල්ලා වාඩි වෙන්න මෙච්චර වේලාවක් ගියේ ඇයි? කොහේද හිටියේ?”

“ෆුට්බෝඞ් එකේ.”

ඔහු තම දඟකාර සිනාහව පා ඉන්දිරාට කීවේය. 

“ඔයාට නං හිනා මෙතන මිනිස්සු මගෙන් අහපුවාට නං හිනාවෙන්න නෙමෙයි වහ බොන්නයි හිතුනේ. බස් එකෙන් බැස්සේ ඔයාගේ බෝයිද? සල්ලි අරන් පැනලා ගියාද? බෑග් එකේ බෝම්බද? අනේ මන්ද තව මොන මොනවාද කිව්වා. මම කොච්චර බය උනාද.”

“ඔයාට ප්‍රශ්නයක් වෙයි කියලානම් හිතුවේ නෑ නංගි. බස් එකට නඟිද්දි මගේ කකුල පෑරුණා. ඇතුලට  එන්න බැරුවයි මම ෆුට් බෝඞ් එකේ හිටියේ.”

“ඇයි කකුලට මොකද වෙලා තියෙන්නේ?”

“මම සෙල්ලම් කරද්දී වැටිලා කකුල පෙරලුනා. ඒකට බෙහෙත් ගන්න මේ කොළඔ යන ගමන්. බස් එකට දුවලා එද්දි ආයෙමත් කකුළ පෑරුණා. රිදිල්ල අඩුවෙනකම් ඉදලා තමයි ෆුට් බෝඞ් එකෙන් ඇතුලට ආවේ.”

ඔහු නවාගෙන සිටි වම් කකුළ අසීරුවෙන් මෙන් දිග හැරිය. 

“අනේ සොරි අයියා. මම දැනන් හිටියේ නෑ එහෙම දෙයක්. මෙතන මිනිස්සු අහපු දේවල් වලට මට ටිකක් තරහා ගියා. මට උදව් කරන්න ගිය හින්දා නේද ඔයාට මේක සිද්ධවුනේ අනේ සමාවෙන්න.”

“ඒකට කමක් නෑ නංගි. දැන් කොහොමටත් බෙහෙත් ගන්නනේ යන්නේ.” 

“කොහෙන්ද බෙහෙත් ගන්නේ ? කොළඹ මහ ඉස්පිරිතාලෙන්ද? ” 

“නෑ ආමි හොස්පිටල් එකෙන්.”

“ ආමි හොස්පිටල් එකෙන් බෙහෙත් දෙන්නේ ආමි අයටනේ. අයියා ආමි එකේද?”

“ඔව්. මම ආමි එකේ රගර් ටිම් එකට සෙල්ලම් කරනවා. ප්‍රැක්ටිස් කරද්දී වැටුණා. ”     

“අනේ මම නිසා තවත් තුවාලේ වැඩි උනාද මන්දා.” 

“කොහොමත් ටික දවසක් යනකං සෙල්ලම් කරන්න නම් බැරිවෙයි. ඒත් මේ සැරේ මැච් ටික මිස් වෙන එක තමයි දුක.”

ඔහු තම හඬ බාල කරමින් දුක්ඛිත ලෙස පැවසුවායින් ඉන්දිරාට ඔහු පිළිබඳ ඇතිවුයේ විශාල දුකකි.     

“ඒක නෙමෙයි මෙච්චර වේලාවක් ඔයත් එක්ක කතා කළාට ඔයාගේ නම ගම වත් දන්නේ නෑනේ. ”

“මම ඉන්දිරා. ඉන්නේ හපුතලේ.”

“හපුතලේ කොහේද?”

“හල්දුම්මුල්ලේ.”

“ඉතිං මේ කොහේද යන්නේ?” 

“කොළඹ ගාමන්ට් එකක වැඩ කරනවා. ගෙදර ඇවිත් යනින් ගමන්.”

“කොළඔ කොහේද?”

“අයියෝ ඔයා හරියට රහස් පොලිසියෙන් වගේනේ ප්‍රශ්න අහන්නේ.”

“හරි ඔයා කියන්න අකමැතිනම් කමක් නෑ.”

“අත්තිඩියේ.”

බස් රථය කොළඹට ළඟාවන විට ඔවුන් දෙදෙනා දිගුකලෙක පටන් හඳුනන දෙදෙනෙකු තරමට සමීපවි සිටියහ. ඉන්දිරා තම ජිවිතයේ එක් පැතිකඩක්වූ අසාර්ථක විවාහය හා මල්ෂා ගැනත් ඔහුට අනාවරණය කළා ය. පිටකොටුවේදී ඔහු ඉන්දිරාව මොරටුව බසයකට නංවාලූයේ ඇගේ අත්තිඩියේ ලිපිනයද ඉල්ලා ගැනිමෙන් පසුවය. පිටත්වීමට ආසන්න වන විට බසයෙන් බැස අතවනා සමුගත් ඔහු තරමක අසිරුවෙන් ඇවිදයනු දුටු ඈගේ නෙතු අඟට කඳුළක් මතුකලේය. ඔහු තමන්ට උපකාර කිරීමට ගොස් කකුලේ අමාරුව වැඩිකර ගැනීමත් කිසිදෙයක් සොයා නොබලා ඔහුට දොස් පැවරීම ගැනත් ඇය පශ්චාස්තාප වූවා ය. ඔහු වෙන්ව ගිය පසු ඉන්දිරාට විශාල කාන්සියක් දැණුනි. ජිවිතයේ ඉතා ළගින් ඇසුරුකල සංසාරගත පුද්ගලයෙකුසේ ළෙංගතුව කතාබස් කළ ඔහුගේ නමවත් අසාගැනීමට නොහැකිවූ බව ඈට සිහිපත්වුයේ කොටුව දුම්රියපළත් පසුකල පසුවය. 

ඉන්දිරා ගල්කිස්සට ළඟාවෙද්දී බිම් කළුවර වැටෙන්නට ආසන්න වෙමින් පැවතුනායින් අසල කඩයකින් ඉදිආප්ප මුලක්ද රැගෙන බේකරියහන්දිය බසයකට නැගුනා ය. බෝඩිම් කාමරයට ඇතුල්වෙද්දී දිය රෙද්දකින් සැරසුන දීපිකා ඉදිරියට ආවාය.

“මෙච්චර වෙලා පරක්කු මොකද කියලා බැලුවා. දැන්ද බං එන්නේ? ”

“බස්වලට නගින්නවත් තියා හිතන්නවත් බෑ. එච්චරටම සෙනඟ.”

“ඕක ඉතිං අපේ පැත්තේ තියෙන කරදරයක්නේ. මොකක්ද ඔය අතේ?”

“ඉදිආප්ප.”

“ඉදිආප්ප? කෝ ගෙදරින් අරන් එන්න කියපු බත් පාර්සලේ? උඹ අරන් ආවේ නැද්ද? මම මේ බලන් හිටියේ සුදු නැන්දාගේ කෙහෙල් කොළේ ඔතාපු බත් ටිකක් කන්න. උඹ ඒ දවස්වල ඉස්කෝලෙට අරන් ආපූ බත් මුල මතක්වෙනකොටත් කටට කෙළ උනනවා.”

“ගෙනාවා. ඒක මම දුන්නා. . . ”

“කාටද හිඟන්නෙක්ටද?”

“නෑ... කොල්ලෙක්ට. ” 

“මොකක්? කොල්ලෙක්ට? මම මේ බලන් ඉන්නවා බත් මුල අරන් එනකම්. උඹ එක කොල්ලන්ට දන්දෙනවා.” 

දීපිකා තරහ මූණක් පෙන්නා වැලක තිබූ ගවුමක් දිය රෙද්දට උඩින් හැඳ ගත්තා ය. ගවුම යටින් අත දමා දිය රෙද්ද පහළට ඇද ගලවා දැමූවේ සමච්චල් සිනාහවක් පාමිනි. 

“මොකක් හරි හොරයක් තියෙනවා. මට පේන්නේ කොල්ලෙක්ගෙන් ලයින් පාරක් වැඩ කරලා වගේ.”

ඉන්දිරාට සිනහාවක් පා ඇගේ ගමන් මල්ල පසෙකින් තැබීය.

“කියපං. කියපන් කොහේ කොල්ලෙක්ද? ගමේ පොරක් ද? නැත්නම් පරණ ලව් එකක්ද?”

මෙතෙක් වේලාවක් ඔවුන්ගේ කතාවට සවන් දී සිටි අමාලි ඇසුවාය.


“මොන ලව්ද බං? පොඞ්ඩක් හිටපල්ලා වෙච්ච දේ කියන්න. මේ දාඩියට මුළු ඇඟම ඇලෙනවා වාගේ. ඇඟ පොඞ්ඩක් හෝදගෙන එන්නම්. ” 

“මේකි පරක්කුවෙලා ආවේ එක තමයි. ”

අමාලි දීපිකාට කීවාය. සබන් පෙට්ටිය හා තුවාය අතට ගෙන නාන කාමරය වැදුන ඈ ඉක්මනින් ඇදහුන් ඇදුම් උනා දමා යට සාය තනමත්තට ඔසවාගත්තා ය. ඇඳුම් කිහිපය සෝදා දමා පයිප්යෙන් කඩා හැලෙන සිසිල් ජල ධාරාවට තම කය දොවාලන්නට සැරසුනි. බසයේ හමුවූ තරුණයාගේ දඟකාර කඩවසම් මුහුණ ඇගේ සිත අභියස සැරිසරන්නට පටන්ගත්තා ය. ඔහුත් සමඟින් බසයේ ගත කළ හෝරා කිහිපය යළිත් මතකයට නඟා ගැනීමට ඉන්දිරා කඩා හැහෙලන ජලය යටටවී දැස් පියන්පත් තදින් වසාගත්තා ය. හිස මත පතිතව ගත පුරා සැරිසරා පහලට ගලා බසිනා සිසිල් ජල කදම්බයට ඇගේ ගතේ නැගඑන උණුසුම පළවාහරින්නට නොපුළුවන් විය.

“ඒයි ඉන්දිරා මොනවාද බං කරන්නේ. දැන් කොච්චරවෙලාද? අපිටත් ඇඟ සෝදගන්න තියෙනවා.”     

නාන කාමරයට එබුනු ඉනෝකා කෑගැසීය.

ඉනෝකාගේ ගෝරණාඩුව ඇසුන දීපිකා කාමරයෙන් එළියට බැස්සා ය. දීපිකා දුටු ඉනෝකා ඉක්මනින් නාන කාමරය අසලින් ඉවත්වුනේ “මුන්ට මදනේ ගහලා ගිනියම.”පවසමින්ය. දීපිකා ඉනෝකා දෙස ඔරවා බැලීය. 

“මොකද උඹ මනෝ පාර ගහනවාද? ඔහොම නෑවොත් උඹට සීතලේ හැදෙයි.”

“හරි බං මම එනවා.”     

ඉක්මනින් සබන් ගා ගත් ඈ නෑම අවසන් කර එළියට ආවේ සේදු ඇඳුම් වැලට දමන අටියෙනි.  

“දැන් දාන්න එපා ඉන්දිරා. ඔය ඇඳුම් ටික බාල්දියේ දාලා තියලා හෙට උදේට වැලට දාන්න.”    

වසන්ති අක්කා ඉන්දිරාට කීවා ය. මේවන විටත් වැලේ වනා තිබූ ඇඳුම් කිහිපය යළි බාල්දියට දමා ගත් ඉන්දිරා කාමරයේ අයිනකට වන්නට තැබීය. 

“කෝ බං උඹේ කතාව? මොකදවුනේ කියලා කියපං ඉක්මනට.”

“මේකිටනේ කතාව අහන්න හදිස්සිය. පොඞ්ඩක් හිටපන් අමාලි කොණ්ඬේ තෙත යවාගන්නකං. හරියට ඇඟවත් පිහිදගන්නේ නැතිවයි මම එළියට ආවේ ඉනෝකගේ කෑගැහිල්ලට.”

“ඉන්දිරාට කෑගැහැව්වාට මොකද දැන් බලපන් ඕකි නාන කාමරෙන් එළියට එන්නේ කීයටද කියලා.” 

වසන්ති අක්කා දීපිකා දෙසට හැරි කීවාය. ඉන්දිරා තම දිගු කෙස් වැටිය පහතට හෙලා තුවායෙන් තෙත යවන්නට විය. 

“උඹ බස්එකේ කොල්ලා ගැන හිත හිතා දන්නේ ම නැතිව නෑවා නේද? දැන් තෙත කොණ්ඬේ පිටින් නිදාගෙන හදාගනින් පීනසේ.”  

තෙත කොණ්ඩයට උඩින් තුවාය ඔතාගත් ඉන්දිරා තම ගමන් මල්ල ලිහා එහි තිබූ ඇඳුම් එකින් එක තෝරන්නට විය. 

“ඒයි මොකද බං කරන්නේ? අපිට බඩගිනිත් එක්ක. කෝ උඹේ කතාව?”

“බඩගිනිනම් ගිහිල්ලා කාපල්ලකෝ.”

“මේන් බලපල්ලා මේකිගේ ආඩම්බර. ඔච්චර අගේ කරන්න ඕනේද?”

“හරි බං මම මේ මතක් කලේ කොහෙන් පටන්ගන්නද කියලා.”

“එහෙනම් එක දුර ගිය කතාවක් වාගේ.”

“අමාලි පොඞ්ඩක් හිටපන් බං ඉන්දිරාට කියන්න දීලා.”    

ඉන්දිරා බුරු ඇදේ වාඩිගත්තේ තම කතාව ආරම්භ කිරීමටය. ඈ ඔහු හමුවු තැන් පටන් කොළඹට පැමිණෙන තෙක් සිදුවූ සියලු දෑ ඔවුනට පැවසුවා ය. එහෙත් ඉන්දිරාගේ ජීවිතයේ දීපිකා හැරෙන්නට බෝඩිමේ කිසිවෙකු නොදන්නා පැතිකඩක් ඇය නාදුනන තරුණයාට හෙළිකල විත්තියක් නොකීවා ය. 

“අන්තිමේදි අපිට කන්න ගෙනාපු බත්මුලත් ඌට අරගෙන යන්න දුන්නා.”

“හමුදාවේ කොල්ලෙක්නේ බං. ගෙදරක හදපු කෑම එකක් හුඟ කාලෙකින් කාලා නෑ කිව්වා. මට දුකත් හිතුණා. ”

“අනුකම්පාව භූමිකම්පාවක් වෙලා.”

“බත් මුල අතට අරගෙන ඉම්බා.”  

“කාවද? උඹවද? කිව්වේ නැද්ද උඹේ සුදු නැන්දව ඉඹින්න කියලා?”

“ආමි එකේ මොනවාද කරනවා කිව්වේ?”

“රගර් ටීම් එකේ සෙල්ලම් කරනවා කිව්වා.”

“රගර් ඒ මොකක්ද බං දීපිකා ඒ?”

“මමත් මේ ඇහැව්වාමයි.”

“යාපනේ ආමි එකේ කොල්ලෝ යුද්ධ කරද්දී මෙහේ උන් සෙල්ලම් කරනවාද බං? මට පෙන්නේ ඌ මේකිට බොරු කියලා තියෙන්නේ.”   

“උඹ දන්න ඉටි ගෙඩිය. ආමි තියෙන්නේ යුද්ධ කරන්න විතරක් නෙමේ.”

“එහෙනම් ?” 

“ඇයි බං හමුදාවේ බෑන්ඞ් එක නැටුම් කන්ඩායම් තියෙන්නේ ඔය නිදහස් දිනේට එහෙමත් නටන්නේ.”

“හරි බං බෑන්ඞ් තියෙනවා කියමුකෝ එත් ඔය කියන සෙල්ලම අපි ජීවිතේට අහලා නෑනේ.”

“මම අහලා කියන්නම් කෝ.”     

“කොහෙන් අහන්නද ආමි කොල්ලාගේ ඇඞ්රස් එකවත් ඉල්ලගන්නේ නැතිව. අඩුම තරමේ ඌගේ නමවත් අහගත්තානම්. බලපං දීපිකා මේකී වගේ මෝඩ එළදෙනෙක්.”

“මොකටද බං. ඒ කොල්ලා මට උදව් කළා, කතා කළා, කරපු උදව්වට හරියන්න මගේ බත්මුල දුන්නා එච්චරයි. තව වෙන මොනවද? ”     

“මේන්න මේකීට ඩෝං ගියා. වරෙන් බං යන්න කන්න.” 

බූරු ඇදෙන් නැගී සිටි අමාලි දීපිකාට අඬගසා කුස්සි කෑල්ල දෙසට පිය නැඟුවා ය. එළියට ඇද දමා තිබූ ඇඳුම් සියල්ල යළිත් බෑගය තුළට එබූ ඈ හවස රැගෙන ආ ඉදිආප්ප මුල ගෙන කුස්සිය දෙසට ගියා ය. තනිව කතාකිරීම සුදුසු වේලාවක් සොය සොයා සිටි දීපිකාට පසුදින වැඩටයන අතරේදි ඉන්දිරා හා කතාවට එක්වන්නට හැකිවුණි. 

 “ඉන්දිරා මම ඊයේ මේ ගැන කියන්නයි හිටියේ. එත් බෝඩිමේ අනිත් උන් ඉන්න නිසා කියන්නත් බෑ. උඹ දන්නවානේ මම මීට ඉස්සරත් කියලා ඇති නේද උඹට ආයෙමත් කසාදයක් කරගන්න කියලා.”

“ඔව් ඉතිං?”

“උඹේ ජීවිතයේ ඇත්ත තත්වය දැනගෙන ආශ්‍රය කරලා බඳින්න පුළුවන් කෙනෙක් ගැන බලපන්. උඹ දිහා බැලුවාම උඹේ වයසට මෙච්චර ලොකු දරුවෙක් ඉන්නවා කියලා කියන්න බෑ. දැන් උනත් මේ පැත්තේ කොල්ලෝ එහෙම උඹට ලයින් පාර දානවානේ.”  

“ජීවිතේ එක පාරක් වැරදිලා තියෙනකොට කොහොමද බං තවත් කෙනෙක් ගැන හිතන්නේ?”  

“ඕක මොකක්ද බං ඔයිට වඩා ජීවිතේ වරද්ද ගත්ත ගෑණු කසාද බැඳලා හොඳින් පවුල් කන්නේ නැද්ද?”

“එහෙම වෙන්න නම් මාව වගේම මගේ පවුලේ තත්වයත් හොඳට තේරුම් ගත්ත කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් හොයාගන්න එක නම් ලේසි වෙන්නේ නෑ.” 

“ බලපන්කෝ උඹේ හිමිකාරයා නියම වේලාවට උඹව හොයාගෙන එයි. ” 

“එයි එයි බලාගෙන හිටපන් මේන් කියලා එයි. ”   

ඉන්දිරා සමච්චලයට මෙන් සිනාසුනි.

“අර කොල්ලා හොඳද?”   

“මොන?”

“උඹට ඒ ටිකට අමතක උනාද? අර බස් එකේදි හම්බවුනු.”

“ආ එයාද? එයානම් ටිකක් හොඳ පාටයි. එත් බං කොහොමද එකපාරටම මිනිහෙක් හොඳයි කියන්නේ? විජිතත් ඉස්සර කොච්චර හොඳයිද? කාළයකට පස්සේ නේ මිනිහාගේ වෙස් මුහුණ ගැලවිලා ඇත්ත මූණ පෙනෙන්න ගත්තේ.”

“ඇත්තටම ඉන්දිරා උඹට ඔය මිනිහාව අමතක කරන්න බැරිද? මොකක් හරි කතා කළොත් අන්තිමේදි ඉවර වෙන්නේ විජිතගෙන්.”

“මට විජිත කරපුවා මැරෙනකම් අමතක කරන්න බැරිවෙයි. එයා හින්දා මම වින්ද දුක දන්නේ මම විතරයි. ඒවා උඹට උනෝතින් උඹත් ඌට ජීවිත කාලේටම වෛර කරයි.”   

කී ඉන්දිරා දෑසට ඉනු කඳුළු පිටි අල්ලෙන් පිසදාගෙන දීපිකාවත් පසුකරගෙන ඉක්මන් ගමනින් වැඩපලට පානඟන්නට විය. 

“ඒයි පොඞ්ඩක් හිටපං බං. උඹට ඩෝං ගියානේ.”

පසු පසින් දිව ආ දීපිකා ඇගේ බාහුවෙන් අල්ලා ගත්තා ය.

“ඒක නෙමෙයි උඹ ගිය වැඬේ කරගත්තාද?”

“ඉස්කොලේ දාන වැඩෙන් භාගයකටත් වඩා හරි. ඉතිරි හරිය කරගන්න ආයෙත් යන්න වෙයි. මම හිතන්නේ දුවව වල්හපුතැන්නේ අපේ ඉස්කෝලෙට දාගන්න පුළුවන් වෙයි.”

“දෙයියන්ගේ පිහිටෙන් කෙල්ලගේ ඉස්කෝලේ වැඬේ හරි යයි.”

කී දීපිකා ෆැක්ටරියේ කුඩා ගේට්ටුවෙන් ඇතුළට පියමැන්නා ය. ඉන්දිරා ගමේ ගොස් පැමිණි සැණින් සතියක් ගෙවි ගියා ය. හදවතේ කොණක කුඩා මතක සැමරුමක් ඉතිරිකරමින් බස් රථයේ හමුවූ තරුණයා පිළිබඳ මතකය ඇගේ මනසින් වියැකීගියේ ඇයටත් නොදැනීමය. 

“ඉන්දිරා .. . මේ ඉන්දිරා ළමයෝ ... ” 

“ඇයි ඇන්ටි?”


ඇන්ටි කතා කළේ ඇයි?...... මතුසම්බන්ධයි.......


මෙම නවකතාවේ වර්තමානයේ සිදුවන සිදුවිම් දේවල් කළු පාටින්  හා අතිතාවර්ජනා කොටස් නිල් පැහැයෙන් දක්වා ඇත.  

Friday, October 16, 2020

පළිගු කිරිල්ලී - දාහහතරවන කොටස


පළිගු කිරිල්ලී - දාහහතරවන කොටස


                  දින කිහිපයක් ගෙවි ගොස් යළිත් තම දිවියේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට ඉන්දිරා සමත් වූවාය. දහවල් පාසල නිමවී තම යෙහෙළිය දීපිකා සමඟින් පාරට බැස්සාය.

“ඉන්දිරා කවුද උඹේ නම කියලා කතා කළා. අර අතත් වනනවා.”

“කෝ බං කවුද?”

“අර දැන් මේ පැත්තට  එන්නේ.”

ඉන්දිරා ඇය කියු ඉසව්වට දෑස් යොමු කළා ය. පාසල නිමවී යන ළමුන් අතරින් එකවරම තම දර්ශන පථයට අසුනොවුනත් පසුව දුටු දසුනෙන් ඇගේ සිරුර එකවරම ගල් ගැසුණි.

“කවුද ඒ?”

“තාත්තා.”

දීපිකාද බියට පත්වීය. ඇය තම යෙහෙළිය දෙසට ඇවිද එන ඔහු දෙස විසල් කරගත් දෑසින් බලා සිටියා ය.

“ඉන්දිරා දුවේ.”

ඉන්දිරා තම සොහොයුරා, කෝලිතව සොයන්නට මෙන් දෑස් ළමුන් අතරින් දිවයැව්වා ය. පන්තියේ ළමුන් කිහිපදෙනෙකු ඉන්දිරා දෙස හා ජයවීර දෙස බලමින් ඔවුන් පසුකර ගියෝය. 

“ඇයි?”

“නිකං මම බලන්න ආවා.”

“ඇයි තාත්තේ අපිට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ?”

“මොකක්ද මම කළේ?”

“ඉස්කෝලේට බීගෙන ආවා මදිවට දැන් මෙතනටත් ආවා. ඇයි මට ලැජ්ජා කරන්නේ?”

“තාත්තා දූව බලන්න එන එක ලැජ්ජාවක්ද ඉන්දිරා?”

ඔහු බිඳුන හඬින් ඇසීය. 

“අනේ තාත්තේ ආයේමත් මෙහෙට එන්න එපා.”

ආයාචනාත්මක ලෙසින් කී ඉන්දිරා ඈතට වී ඔවුන් දෙස බලාසිටි දීපිකා දෙසට දිව ගියා ය. ගැඹුරු හුස්මක් පපුව පිරෙන්නම ඉහළට ඇඳගත් ඈ “යමු දීපිකා” කීවාය.


තම දියණිය කී වදන් වලට වඩා ජයවීරගේ සිත රිදවාගත්තේ ඇය තමන් මහමඟ තනිකර දමා දිවගිය බැවිනි. තමන්ගෙන් ඈත්ව දිවගොස් මිතුරිය සමග එක්වූ ඉන්දිරා ඈතට ගමන් කරන අයුරු ඔහු බොහෝ වේලාවක් බලා සිටියේ කඳුළු පටලයෙන් පිරිගොස් බොඳවුනු දෑසිනි.

“ඒ තාත්තා ද?”

“ඔව්.”

“මොකටද ඇවිල්ලා තියෙන්නේ?”

“අනේ මන්දා ඇයි මටම මේ කරදර කරන්නේ?”

ඉන්දිරා ශෝකයෙන් බරවුනු මුක්කන් හඬින් කීවාය.

“මම එයාට මීට පස්සේ එන්න එපා කිව්වා.”

“ඇයි එහෙම කිව්වේ තාත්තාට දුක හිතෙයිනේ.”

“ඇයි ඔයා එයාගේ දුක ගැන විතරක් හිතන්නේ? එයා මෙතන ඇවිල්ලා මටනේ ලැජ්ජා කරන්නේ. දැන් අපේ පන්තියේ ළමයි කී දෙනෙක් බල බලා ගියාද? තාත්තාට පොඩි මාමාත් මෙහෙට එන්න එපා කිව්වා. ඒත් එයා අහන්නේ නෑ.”

ඇය හඬන්නට ආසන්න වෙමින් කීවාය. 

“උඹ ඕවා ගණන් ගන්න එපා. එයාට ආස ඇතිනේ තමන්ගේ දුවව බලන්න.”

දීපිකා කෝපයට පත් ඉන්දිරාව අස්වැසීමට මෙන් කීවා ය. ඈ නිවසට ගොඩවුනු වහාම සුදු නැන්දාව සෙව්වා ය. නිවසේ පිළිකන්න පසෙක දමා තිබූ දර කැබලි ගොඩක් කුඩා කැබලි වලට කඩා දමමින් නොතෙමෙන ලෙස පිළිවෙළකට බිත්ති කණ්ඩිය අසළ අඩුක්කරමින් සිටි සුදු නැන්දා දුටු සැණින්ම ඉන්දිරා මෙතෙක් සඟවාගෙන සිටි කඳුළු ගංගාව මුදා හැරියේ සිදුවූ සියලු දේ ඈට කියමිනි. 

“අනේ මෙහෙමත් මිනිහෙක්. මට නිකමට හිතුනා ඔහෝම දෙයක් සිද්ධවෙයිදෝ කියලාත්. උඹේ අම්මාවත් දැලේ දාගත්තේ ඔහොම තමයි. අපි කොච්චරවත් කිව්වාද ඔය මිනිහා එක්ක තියෙන සම්බන්දේ අත්හරින්නය කියලා. එදා අපි කියාපුවා එයා ඇහැව්වා නම් මෙහෙම දෙයක් එයාට වෙන්නේ නෑ.” 

මෙතෙක් ඉන්දිරා පවසනා දේ සාවදානව අසා සිටි ඈ කීවාය. පසුදිනම දිනේෂ්වත් උකුලේ රුවාගෙන තැපැල් කන්තෝරුවට ගිය සුදු නැන්දා පොඩි මාමාගේ කන්තෝරුවට දුරකථන ඇමතුමක් ලබාගත්තා ය. ඈ පෙරදින ජයවීර විසින් සිදුකල ක්‍රියාව ඔහුට සැල කළා ය. තවදුරටත් ජයවීරට මුණනොගැසී පුළුවන් තරම් මඟහැර සිටිමට උත්සාහ කරන ලෙස ඉන්දිරාට පවසන ලෙසින් සුදු නැන්දාට උපදෙස් ලැබිණ.  



                                                                * * * * *



              බස්නැවතුම අසළ හෝටලයකට රැගෙන ගියත් කෑමට රුචියක් නොවූ වියෝවේදනාවෙන් පෙළෙමින් සිටි ඉන්දිරා හා කෝලිත තෙහෙට්ටුවෙන් හේබාගිය අයුරක් පෙන්වීය. ත්‍රීරෝද රථයකට කතා කරගත් ජයවීර ඔවුන් නංවාගෙන පිටත්වුණි. ඉන්දිරා සිටියේ පොඩි මාමා සමග ඇතිකරගත් කෝපය  හා කළකිරිම මුසුව ගිය සිතුවිල්ලක නියැලෙමිනි. කුඩා නිවසක් අද්දර ත්‍රීරෝද රථය නැවත්වීය. 

“හා බහිමු.”

පැවසු ජයවීර ඉක්මණින් රථයෙන් බැස නිවසේ දොරගුළු හැර ඇතුලට ගියේය. රථයෙන් එළියට බැස්ස ඉන්දිරා කුඩා නිවස හා අවට දෙස හොඳ විමසිලිමත් බැල්මක් හෙලූවාය. කෝලිත තම බෑගයද රැගෙන ඉන් බිමට බැස්සේ ඉන්දිරා කිහිපවරක් ඔහුට බසින ලෙස කී පසුවය. ගෘහභාන්ඩයන්ගෙන් තොර අඳුරු සාලය පසු කර එහි තිබුනු එකම කාමරයට ඉන්දිරා හිස පෙව්වාය. කුඩා පැදුරු කඩමාල්ලක් මත උරයක් නොමැති කිළිටි කොට්ටයක් හා ඇකිළී ගිය රෙද්දක් කාමරයේ බිම වැතිර තිබෙනු ඈ දුටීය. කාමරයේ බිම පුරා විසිර තිබූ සිගරට් කොට ඇගේ නෙත ගැටුණි. හට්ටි මුට්ටි ඇතිලියන්ගෙන් තොර මුළුතැන්ගෙයින් පිළුනු ඉඳුල් ගඳ හමන්නට ගෙන තිබුනේ එහි විසිරි තිබූ පරණ පාන් කැබලි හා හොඳි දමාගෙන ආ ග්‍රොසරි බෑග් වලිනි. පිටුපස දොරද ජනෙල් පලු කිහිපයක්ද විවරකල ඉන්දිරා නිවස පිරිසිදු කරන්නට කොස්සක් සෙව්වා ය.    

“මේ ගෙදර ඉන්නේ කොහොමද? මේකේ  නිදාගන්න ඇඳක්වත් නෑනේ?”

කාමරය එබී බැලූ කෝලිත පුලුටුකරගත් මුහුණින් යුතුව ඇවිත් ඉන්දිරාගෙන් ඇසීය. 

“දැනට අපිට බිම තමයි නිදාගන්න වෙන්නේ.”

“මට බෑ බිම බුදියන්න. අපිට සුදු නැන්දාගේ ගෙදර හොඳට නිදාගන්නවත් ඇඳක් තිබුනානේ.” 

“කෑ නොගහ ඉන්නවා. අරවා මේවා කියවන්නේ නැතිව ඉන්න කියලා නේද පොඩි මාමා කිව්වේ?”

“අම්මා ගෙදර තිබ්බ බඩු මූට්ටු ටික විකුණලා දැම්මේ නැත්නම් බිම බුදියන්න වෙන්නේ නෑ. ටික දවසක් ඉවසලා හිටපල්ලා මම ඇඳක් අරගෙන දෙන්නම්.”

කෝලිතගේ කතාව ඇසුනු ජයවීර සාලයේ සිට කාමරයට නැඹුරුව කීය. 

“තාත්තේ අපිට ඔක්කෝමට ඉස්සල්ලා ඕනේකරන්නේ මේසයක්. පොත් පාඩම් කරන්නවත් මේස පොඞ්ඩක් තියෙන්න ඕනේ.”

“ආච්චිගේ ගෙදර තිබුනා මේසයකුයි පුටුවකුයි. මම හවසට අරගෙන එන්නම්.”

ගෙදරින් රැගෙන ආ ඇඳුම් බෑගයත් පොත් පත් දැමූ පෙට්ටියත් කාමරයේ මුල්ලක තබා තාත්තාට කියා අසල්වැසි නිවසකින් කොස්සක් ඉල්ලාගත් ඉන්දිරා නිවස අතුපතුගා පිරිසිදු කිරීම ඇරඹීය. මුහුණ බෙරි කරගත් කෝලිත කිසිදු වැඩක් නොකර බිම වාඩි ගත්තේය.

“ඔහෝම ඉදලා හරියන්නේ නෑනේ ලොකු මල්ලි මට පොඞ්ඩක් උදව්කරන්න.”

“මට බෑ.”

“ඔයා උදව් නොකලොත් ඉතිං මේ දුහුවිලි ගොඬේ තමයි බුදියන්න වෙන්නේ.”

“මට මේ කබල් ගෙදර ඉන්න බෑ. මට සුදු නැන්දලාගේ ගෙදර යන්න ඕනේ.”

ඔහු මුරණ්ඩු ලෙසින් දෑසට කඳුලු පුරවාගෙන කීවේය. ඈට සුදු නැන්දලාගේ නිවසින් පිටත්ව එද්දී පොඩි මාමා දුන් අවවාදය මතක් විය.

“ඉන්දිරා දුවේ අපිට තවත් මෙහේ ඔයාලව තියාගන්න බෑ. මමත් සුදු නැන්දත් ගොඩාක් උත්සාහ කළේ ඔයාලව මෙහේ තියාගන්නයි. දන්නවානේ නීතියෙන් වුනත් ඔයාලගේ අයිතිය තියෙන්නේ තාත්තාටයි.”

ඔහු බරවුනු නාසයෙන් කතා කරමින් ඉන්දිරාගේ හිස අතගෑවේය. 

“ජයවීර බී ගත්තාම කේන්තියන මිනිහෙක්. අම්මත් නැති නිසා තවත් එයාට කේන්ති යන ගතිය වැඩි වෙලා ඇති. ඒ හින්දා දුවේ එයා එක්ක අනම්මනම් කතා කියලා රණ්ඩු සරුවල් කරගන්න එපා. මල්ලීටත් මේවා තේරෙන්නේ නෑ. ඒ නිසා පොඞ්ඩක් එයා ගැනත් බලන්න වෙයි.” 

පොඩි මාමගේ කතාව සුදු නැන්දාත් අනුමත කළාය. 

“රත්නපුරේ ගිහිල්ලා ලියුම් කරදහියයක් වත් අපිට එවාපං. මම පොඩි මාමත් එක්ක පුළුවන් වේලාවක ඇවිල්ලා යන්න එන්නම්.”


ඇය තම ගවුම් වාටියෙන් දෑස් තෙත මාත්තු කරගත්තා ය. ජයවීර හැන්දෑවෙද්දී අම්මාගේ ගෙදරින් රැගෙන ආ කුඩා මේසය හා පුටුවත් පැදුරු කොට්ට කිහිපයත් කාමරයෙ ඇතුළතින් තැබීය. 

“මේසේ කකුලක් කැඩිලානේ.”

කකුල කැඩී අවපැහැ ගැන්වුනු අංගවිකල මේසය දෙස බැලූ කෝලිත අවඥාවෙන් මෙන් තාත්තාට කීවේය.

“කකුලට පොඩි රෙපයාර් එකක් දාගන්න පුළුවනි කුලරත්න බාස්ට කිව්වාම. එතකම් ඕක බිත්තිය පැත්තට හේත්තු කරලා තියපං.”

ඔහු කෝලිත දෙස නොකැමැත්තෙන් බලමින් කීය. රාත්‍රිය වන විට ජයවීර හෝටලයකින් රැගෙන ආ කොත්තු රොටි පාර්සල් දෙකක් ඉන්දිරා අතට පත් කළේය. පිඟානක් වත් නොතිබුනායින් මේසය මත දිග හැරගත් කොත්තු රොටි පාර්සලය දෙස මඳවේලාවක් බලා සිටි කෝලිත හොඳි පාර්සලය විවර කර දෙන මෙන් ඉන්දිරාගෙන් ඉල්ලා සිටියේය. දතින් කොනක් සිදුරු කළ ඈ තද ගුරු පැහැගත් මස් හොඳි බැගයෙන් අඬක් පමණ කෝලිතගේ රොටි පාර්සලයට හැලුවා ය. මේසය මත තබාගෙන කෑමට පුටුවක් නොතිබුනායින් කොත්තු රොටි පාර්සලය බිම එලාගත් පැදුරක තබාගෙන ඉතිරි හොඳි හලා ගත්තා ය. 

දින කිහිපයක් ඇවෑමෙන් යළිත් ඉන්දිරා හා කෝලිත ප්‍රථමයෙන් ගිය පාසැල් වලටම ඇතුළත් කිරීමට ජයවීර සමත්විය. එහෙත් රත්නපුරේ වාසය කිරීමට කෝලිතගේ කිසිදු කැමැත්තක් තිබුනේ නැත. ඔහු නිතර සුදු නැන්දා ගේ ගෙදර යාමට අවශ්‍ය බව කියමින් කොඳුරන්නට විය. යළිත් ඉන්දිරා හට තම පැරණි මිතුරියන් හමුවීය. ගෙවුන කාලය තුළ ඔවුන් ශාරිරික මෙන්ම මානසිකවද වැඩී ඇති බව ඉන්දිරාට තේරුම් ගියේ ආගිය කතාවලින් පසුය.  පාසල් නිමවිමෙන් පසුව ආච්චිඅම්මලාගේ නිවසට ගොස් තාත්තා එනතෙක් රැඳී සිටිමට නියමකර තිබුණි. සැප පහසුකම් හා ගෘහභාණ්ඩයන්ගෙන් තොරවූ කුලී නිවසේ පැදුරු කෑල්ලක වැතිර නිදද්දී ඉන්දිරාට අම්මා නිරන්තරයෙන්ම සිහිපත්වන්නට විය. නොදුරු රටක බැල මෙහෙවර කරන්නට අම්මා ගියේ තමන් හා මල්ලිලා දෙන්නාගේ අනාගතය සුබදායි කරවන්නටවූවත් මේ වනවිට සියල්ලන්ගේම වර්තමානය දුක්ඛයන්ගෙන් පිරි ඇති බව සිතුණි. බාල මල්ලි දිනේෂ්ගේ කිරි සිනහව ඉන්දිරාගේ මතකයට නිතරන්තර පිවිසුනි. ඇය ඔහුව අමතක කරන්නට උත්සාහ කළා ය. ජයවීර කෙතරම් උත්සාහ කලත් දරුවන්ට අඩුපාඩු නොවන්නට කටයුතු කළ හැකිවූයේ නැත. දින කිහිපයක් නොබී සිටින්නට උත්සාහ කලත් තමන්ට දරුවන්ගෙන් ලැබෙන පීඩනයද පීඩාවක් වූවා සේය. ඔහු යළිත් මත් පැනට යොමුවන්නට පටන් ගති. නිවසේ අඩු පාඩුකම් පවසන විටදී කන්නොදී මඟහරින තාත්තා ගැන ඉන්දිරාට ඇතිවූයේ ඉවසනු නොහැකි තරහක්ම විය. එම නිසාම පොඩි මාමා ඉන්දිරා හා කෝලිත බැලීමට රත්නපුරයට ආවේ පාසල් පොත්  කිහිපයක් ගැනීමට සල්ලි එවන ලෙස කියමින් ඈ යවන ලද ලිපියට අනුවය. 

“මම ආවේ ඉන්දිරාගේ ලියුම දැකලා අක්කා ගිහිල්ලා බලලා වරෙන් කියලා නිතරම මට කං කෙඳිරිගාන්න පටන් ගත්ත නිසයි. දුව දන්නවානේ මම ජයවීරට කැමති නෑ, ජයවීර මටත් කැමති නෑ කියලා?” 

නිවසට ගොඩවූ පොඩි මාමා නිවසේ අවට දෙස සුපරික්ෂාකාරි බැල්මක් හෙලීය. ගෘහභාණ්ඩයන්ගෙන් තොරව ඇති හිස් සාලය නිවසට ගෙන දුන්නේ මූසල පෙනුමකි. ඔහුට දරුවන් වෙසෙන නිවස සිත් නොගත්තේය. ඉන්දිරා නිවසේ තිබූ එකම කෑම මේසයේ පුටුව කාමරයෙන් රැගෙන විත්  සාලයෙන් තැබුවේය.

“ඉදගන්න පොඩි මාමේ”

“කෝ දැන් ජයවීර?”

“තාත්තා වැඩට ගියා පොඩි මාමේ.”

“ඔය දරුවන්ට මේ ගෙදර ඉන්න පුළුවනිද? ජයවීර වැඩට ගියාම තනියෙන් නේද ඉන්නේ? දවල්ට කන්න බොන්නේ එහෙම කොහොමද?”

“තාත්තා කියලා තියෙන්නේ ආච්චිගේ ගෙදර යන්න කියලා. එහෙන් කන්න දෙනවා.”

“ඒ ගෑනි අම්මා එක්ක තරහයි නේද?”

“මුලදි නම් අම්මාට එක එක දේවල් කිය කියා බැන්නා. මොනවා කරන්නද අපි ඇහුනේ නෑ වගේ ඉන්නවා.”

පොඩි මාමාට ඇතිවූයේ විශාල දුකකි. ජයවීර හොඳින් කාබී ඉගෙනුම ලබන්නට තම දරුවන්ට ඉඩ නොදී මේ කරනා විකාරය දරු සෙනෙහස දැයි සිතුවේය.

“කෝ මල්ලි?”

“සෙල්ලම් කරන්න කියලා ගියා. මේ පැත්තේ කොල්ලෝ ටිකක් එක්ක එකතුවෙලා දැන් සෙල්ලම තමයි.”

“තාත්තා පාඩම් වැඩ බලන්නේ නැද්ද? ඔහොම සෙල්ලම් කරන්න ගියොත් පාඩම් වැඩ වලට පාඩුවෙයි.”

“තාත්තා ඉස්සරත් අපේ වැඩ බැලුවේ නෑනේ පොඩි මාමේ. මල්ලි නම් පහුගිය ටිකේ මෙහේ හිටියේ කැමැත්තෙන් නෙමෙයි.”

“ඇයි?”

“හපුතලේ දලා එන්න වුනු එකට නම් එයා කැමති නෑ. නිතරම එහේ යන්න ඕනේ කියලා අඬන්න ගත්තා. ඔය සෙල්ලම් කරන්න යන එකත් මම නතර නොකලේ එයාට සුදු නැන්දා අමතක වෙන්න අරින්නයි.”

“ඔය දරුවෝ මේ ගෙදර කොහොම ඉන්නවද මන්දා. මම පුළුවන් තරම් උත්සාහ කළා, එත් අපිට බෑ ඔය දරුවෝ අපේ ගෙදර තියාගන්න. ඒක නීතියෙන් තහනම්. අම්මායි තාත්තායි නීතියෙන් වෙන්වෙලා ඔයාලගේ භාරකාරත්වය උසාවියෙන් අම්මාට පැවරුවොත් විතරයි ඔයාලව තාත්තාගෙන් වෙන් වෙන්න පුළුවන් වෙන්නේ. මට පෙනෙන විදිහට තමාලි කැමති නෑ තාත්තාගෙන් නීතියෙන් වෙන් වෙන්න. තාත්තා ඔයාලව අපෙන් අරගත්තේ පොලීසියට ගිහිල්ලා කියලා ඔයාලා දන්නේ නැතිව ඇති.”

පොඩි මාමා තම සිතුවිලි එක දිගට කියාගෙන යන්නට විය. 

“මම අක්කාත් එක්කත් කිව්වේ දැන් ඔයාලා ඉන්නේ ජයවීර එක්ක නිසා තමාලිට ඉක්මනටම ඇවිල්ලා මේ ප්‍රශ්නේ බේරුමක් කරගන්න කියන්නයි.”

“අම්මාට කියන්න ඕනේ නෑ පොඩි මාමේ. තව ටික කාලයයිනේ තියෙන්නේ. එයා ඔය ටික දවසත් ඉදලා ආපුදෙන්.”

“ඒවුනාට අපි එයාට නොදන්වා ඉන්න එක හොඳ නෑ නේද?”

“අම්මාට අපි රත්නපුරේ හොඳින් ඉන්නවා කියලා අරින්න. අපි මෙහේ දුක් විදිනවා කියලා නම් යවන්න එපා. අම්මා ගෙදර ආපුවාම බලමු. අනික අම්මා තාත්තාගෙන් දික්කසාද වෙන එකට නම් මමත් කැමති නෑ.”

“එත් ඔය දෙන්නා දුක් විදිනවා අපිට බලන් ඉන්න බෑ. ඔය රට රස්සාව දාලා ලංකාවට එන්න කියන්නයි මම හිතාගෙන ඉන්නේ.”

“ඕනේ නෑ පොඩි මාමේ. අපිට දැන්  මේ හිටියා වාගේ ඉතුරු ටික දවසත් ඉන්න පුළුවනි.”

ජයවීර නිවසට එන්න ප්‍රථමයෙන් පොඩි මාමා පිටව ගියේ ඉන්දිරා අතට රුපියල් පන්සියයක මුදලක්  පත්කරමින්ය. කන්තෝරුවේ දුරකථන අංකය ඈ අතට පත්කර හදිසි අවස්ථාවකදි කතා කරන ලෙස ඉල්ලීමක්ද කරමින් ඔහු හල්දුම්මුල්ලට පිටත්ව ගියේ හේබාගිය සිතකිනි. තමාලිගේ දරුවන්ට මෙලෙස දුක් විදින්නට සිදුවූ වරදකාරිත්වයට තමාද කොටස් කරුවෙකුවූ බව පොඩි මාමාට සිතුනි. හල්දුම්මුල්ලට ගිය පොඩි මාමා අක්කාට සියලු තතු හෙලිකළේය. බඩු මුට්ටුවක් නොමැති පාළු ගූඪ නිවසක ඉන්දිරාත් කෝලිතත් තට්ට තනියම ජීවත්වීම ගැන සුදු නැන්දා විස්සෝප වූවාය. ඉන්දිරාගේ අදහස් සුදු නැන්දා ද සනාථ කළායින් පොඩි මාමා තමාලිට රැකියාව අතහැර ලංකාවට එන්න කීමේ අදහස අත්හැර දැමීය.


දරුවන් සමඟින් රත්නපුරේ කුලී නිවසේ වාසයට පැමිණි ජයවීර මුල් දින කිහිපයේ අරක්කු පොදක්වත් තොල නොගහා ඉතා හොඳ පියෙකු වශයෙන් භූමිකාවක් රඟ දැක්වන්නට විය. එහෙත් තාත්තාගේ හොඳ පියා භූමිකාව අවසන්වී බීමට ඇබ්බැහිකම යළි යළිත් වැඩෙද්දී කෝලිත තවත් මුරණ්ඩුවෙමින් පාසලේ ඉගෙනුම් වැඩද අතපසු කරන්නට පටන්ගන්නට විය. සුදු නැන්දාට ඉතා කීකරු දරුවෙකුවූ ඔහු ඉන්දිරාගේ තවරටු නොතකා හරිමින් තම සම වයස් කොලු රෑනට එකතුව රෑ බෝවන තෙක් සෙල්ලම් කරන්නට විය. මහන්සිවි ගෙදරට එන ඔහු ආහාරයෙන් පසු ඉන්දිරා අසළ පැදුරු කෑල්ලේ සුව නින්දකට වැටෙන අතර යළිත් අවදිවන්නේ පසු දින හිරු එළිය බිමට වැටී තවත් අඬ හෝරාවකට පසු ඉන්දිරාගේ කෑගැසිල්ල සමඟිනි. පැදුරු කෑල්ලේ ඇලවුනු ඉන්දිරා සෑම දිනකම පාහේ සුසුම්ලමින් ප්‍රාර්ථනා කළේ අම්මා මෙරටට එන දිනය ඉක්මනින් උදාවේවා යැයි සිතමින්ය. රාත්‍රී ආහාරය රැගෙන ගෙට ගොඩවදිනතෙක්  කුසගින්නේ ඉන්දිරා හා කෝලිත තාත්තා එන මං බලාසිටින්නට වූ දින ගණන වැඩි වන්නට විය. ඉන්දිරා කෙසේ හෝ කෑම උයාගන්නට පටන්ගත්තා ය. එතැන් පටන් තම රාත්‍රි ආහාරය රැගෙන ඒමේ යුතුකම් කොටසද අතහැර දැමූ ජයවීර තවත් රෑ බෝවන තුරු මදුවිත ඇසුරට වැටුණි. වේලාසනින් ගෙදරට පැමිණි දිනක හැරෙන්නට බොහෝ රෑ වෙන තෙක් බීමත් කමේ වෙලුනු ජයවීර බෙදා තියන රාත්‍රී ආහාරය පවා නොකෑවේය. කාමර කෑල්ලේ නිදන ඉන්දිරා අසලින් පැදුරක් එලා ගන්නා තාත්තාගේ සිරුරෙන් එන දහඩිය මිශ්‍ර අරක්කු ගඳද ගෙරවිල්ලද ඉන්දිරාගේ නින්ද පලවාහරින්නට විය. නොබෝදිනකින් තාත්තාගේ ගෙරවිල්ලද ඈට හුරුපුරුදු විය. 

යම් කිසි නුහුරු සීතල ස්පර්ශයක් තම කඳ කලවා හරියෙන් දැනුණු ඉන්දිරා නිදිමතේම තම අතින් එය එහාට කළා ය. පසෙකට ගොස් තිබූ පොරෝනාව ගෙන යළිත් කකුල් දෙක වසා ගත් ඈ මෙතෙක් වැතිර හුන් ඉරියව්ව වෙනස් කළා ය. යළිත් තම පොරෝනාව මතින් යමෙක් තම කලවා ස්පර්ශ කරන බව නින්දත් නොනින්දත් අතර සිටි ඉන්දිරාට වැටහුණි. දෙකකුල් වසාගත් පොරෝනාව පසෙකට අඳිනවා මෙන් දැනුනායින් තිගැස්සී ගිය ඈ තිත්ත කළුවරේ මේ සිදුවන්නේ කුමක්දැයි බලන්නට දෑස් විවර කර තම හිස එසව්වා ය. නොසිතූවිරු මොහොතක එකවරම පිඹුරු ගහනයට පත්වුනු ගොදුරක් ලෙසින් කළු පැහැති රුවක් තමාව තදින් වැලඳගත්තායින් මුලු සිරුරම පාෂාණිභූතවූවාක් මෙන් ඈට දැනුණි. තප්පර කිහිපයක් යන්නට මත්තෙන් ඉන්දිරාගේ මනසේ රතු එළි දැල්වෙන්නට විය. ඈ තමා වෙලාගෙන සිටි ග්‍රහණයෙන් ගැලවෙන්නට දැඟලීය. තම නාස්පුඬු කඩාගෙන ඉහමොළ දක්වා යන අරක්කු දුගඳක් දැනිණ. ඈට බඩ දඟලා ගෙන ඔක්කාරයට එන්නට මෙන් දැනෙන්නට විය. දඟලන්නට දඟලන්නට තමා වෙලාගන්නා ග්‍රහණය දැඬිවූවායෙන් ඇය මඳ වේලාවකින් හෙම්බත්වුණි. පුරුෂාධිපත්‍යය ඇයව නතුකරගනිද්දී මෙතෙක් වෙලා ඇගේ ගොළුව තිබු මුවින් “අනේ තාත්තේ.” යැයි කියැවුණි.

දැස් අගින් පිටවූ කඳුලක් කොට්ටය මතට වැටී නොපෙනී ගියේ උඟුරෙන් නැඟ ආ ඉකිය හැඬුමකට පෙරලෙද්දීය. මුළු සිරුරම තලා දැමුවාක් මෙන් රිදුම් දෙන්නට විය. බඩවත දිගේ පහලට අතගාගෙන ගොස් කිසිඳු සංවේදනාවක් නොදැනි හිරි වැටුනාක් මෙන් තිබෙනා යටිකය අතගා බැලීය. ඉහළට රෝල්වුනු ගවුම පහළට තල්ලුකර දැමූ ඉන්දිරා බියකරු සිහිනයක් දැක බියපත්ව අවදිවූ කෙනෙකු මෙන් බියෙන් ගැහෙන්නට විණි. සිරුර හපයක් කළ ඔහු තම කාරිය ඉෂ්ට සිද්ධ කරගත් පසු සිරුර මතින් අනෙක් පසට පෙරළී හති හරිනා ශබ්දය ඇගේ දෙසවනට ඇසෙන්නට විය. ඉන්දිරාට ලොවට ඇහෙන්නට කෑ ගසා හඬන්නට අවැසි විය. ලොවම නිදන රාත්‍රියක තම දුක පවසාලන්නට අම්මා ඇතුළු කිසිවෙකු නොමැතිවීම ගැන ඈ දුක්වූයේ අන්ධකාර රාත්‍රියේ තම යොවුන් දිවිය අඳුරට ඇද දැමූ තාත්තාට ඈ සාප කරමින්ය. 

ඉන්දිරාට වූ ව්‍යසනය තමාලී දැනගනියිද? ... මතුසම්බන්ධයි.......

මෙම නවකතාවේ වර්තමානයේ සිදුවන සිදුවිම් දේවල් කළු පාටින්  හා අතිතාවර්ජනා කොටස් නිල් පැහැයෙන් දක්වා ඇත.  

Monday, October 5, 2020

පළිගු කිරිල්ලී - දහතුන්වන කොටස

පළිගු කිරිල්ලී - දහතුන්වන කොටස 


 “කවුද ඉන්දිරා කියන්නේ?”

ගුරුවරයෙකු නොසිටි කාල පරිච්ඡේදයක පන්ති කාමරය තුළට ආ කාර්යාලයේ සේවයේ නියතු සුමනේ මාමා විමසීය. එක්වරම පන්තිය දැඬි නිහඬතාවයක ගිලුණි. සියල්ලන්ගේ දෑස් ඉන්දිරා දෙසට යොමුවීම නිසාවෙන් ඉන්දිරා දැඬි අපහසුතාවයකට මුහුණ දුන්නා ය. ඈ අසීරුවෙන් මෙන් තම අසුනින් නැගිටගත්තාය.

“ම...ම ... මම ඇ...යි? ”

“ඔය ළමයාට ඔෆිස් එකට එන්නයි කිව්වා.”

වෙනින් යමක් විමසන්නටත් ප්‍රථමයෙන් පන්තියෙන් එළියට බට හේ ඉක්මනින්ම අතුරුදහන් විය. වික්ෂිප්ත වූ ඉන්දිරා නොදැනිම තම අසුනේ ඉන්දවුණි.

“මොකෝ බං? ”

“දන්නේ නෑ.”

තමා වෙත යොමුව ඇති දෑස් මඟ හරිමින් ඉන්දිරා පහත් හඬින් දීපිකා සමඟ කතා කළා ය. 

“ඇයි උඹට කොල්ලෙක් දුන්න ලියුමක්වත් අහුවෙලාද?”

“පිස්සුද බං?”

“පිස්සු නෙමෙයි. නැත්නම් උඹට ඔෆිස් එකට එන්නයි කියයිද? ”

“පලයන් යන්න බං මාව තවත් බයකරන්නේ නැතිව.”  

“මම මොකටද උඹව බයකරන්නේ? මම ඇහැව්වේ එහෙම දෙයක් නම් ලෙඩක් තමා.”

“විකාරද? මම ඔය ලියුම් ගණුදෙනුවලට ගියේ නෑනේ.”

“එහෙනම් මොකටද? උඹ පිචර් එකක් බලන්නවත් එහෙම ගියාද?”

“මම එක සැරයක් කිව්වානේ එහෙම එකක් නෑ කියලා. ප්‍රින්සිපල් මැඩම් ද දන්නේ නෑ කතා කෙරුවේ. අනේ බං මට කලන්තේ වගේ.” 

“උඹ බයවෙන්න දෙයක් නෑනේ වැරද්දක් කෙරුවේ නැත්නම්. හරි බං දැන්වත් කෙඳිරිගගා ඉන්නේ නැතිව පලයං ඔෆිස් එකට.”

අපහසුවෙන් මෙන් අසුනින් නැගිටගත් ඉන්දිරා හිමිහිට පන්තියෙන් පිටව ගියේ ව්‍යාකූලව ගිය මනසින්ය. ඔෆිස් කාමරයට ඈ ගැහෙන සිතෙන් යුතුව ඇතුල්වූවා ය.

“ආ ඔය ළමයද ඉන්දිරා කියන්නේ?”

“ඔව් මැඩම්.”

“පි. ජයවීර කියන්නේ තාත්තාද?”

“ඔව්.... මැඩම්.”

“ගිහිල්ලා බලන්න අර ස්ටාෆ් රූම් එකට එහා කාමරේ ඉන්නේ ඔයාගේ තාත්තාද කියලා.”

විනය පාලක චිත්‍රාංගනී මැඩම්ගේ තියුණු බැල්මට හසුවූ ඉන්දිරා මැඩම්ගේ වදන් ඇසුවනම ගල්ගැසුණා ය. එකවරම ස්ටාෆ් රූම් එක සොයාගත නොහැකිව මෙන් ඈ කිහිප වරක් එහා මෙහා බැලූවාය. 

“ඇයි මොකද බයවෙලා වාගේ? යන්න අර කාමරේ.”

චිත්‍රාංගනී මැඩම් පෙන්වූ කාමරයට දෙසට ඇවිද ගිය ඉන්දිරා එයට හිසපොවා එබී බැලීය. කාමරයේ තිබූ මේසයක් අද්දර ලෑලී පුටුවක අසුන්ගෙන සිටි ඔහුගේ අවුල්වූ කොණ්ඩයත් සුපුරුදු සරම හා කමිසයත් දුටුවනම ඕ තම තාත්තා හඳුනාගත්තා ය. නොසිතු මොහොතක පාසල වෙත පැමිණීම නොරිස්සූ ඉන්දිරා තම හැඟීම් පිටව යා නොදී සඟවාගත්තා ය. 

“ඇයි?”

ඉන්දිරාගේ කටහඬ ඇසුනු ජයවීර තම කල්පනා ලොවින් මිදි එකවරම හැරී බැලීය. ඔහු තම ළෙන්ගතු සිනහව පාමින් අසුනින් නැගිට ඉන්දිරා වෙත ආවේ අත රැඳි පාර්සලයකුත් ඇය වෙත දිගුකරමින්ය. 

“නිකං ආව ඉන්දිරාව බලලා යන්න.”

“මාව බලන්න නම් ගෙදරට එන්න එපැයි.”

“මේ ළඟකට ආවා එකයි.”

ඉන්දිරා කිසිත් නොකියා කාමරයෙන් පිටත කවුරුන් හෝ බලාහිදියිද කියා විමසිලිමත් විය. ඇගේ නිහඬතාවය බිඳ හෙලමින් ජයවීර කතා කරන්නට විය.

“ඉන්දිරා මල්ලිත් එක්ක අපේ ගෙදර යන්න එන්න ඕනේ.”

“අපිට දැන් ගෙදරක් නෑනේ.”

“මම කුලියට ගෙයක් අර ගත්තා.”

“අම්මා කැමතිවෙන එකක් නෑ.”

“අම්මා උඹලාව දාලා ගිහිල්ලානේ. මම හෙට අනිද්දාම එනවා ඔයාලව එක්කගෙන යන්න.”

“අම්මා අපිව දාලා ගිහිල්ලා නෑ. එයා ගියේ රට රස්සාවකට.”

“ ආ මෙන්න මල්ලිටත් දීලා යාළුවොත් එක්ක කන්න.”   

“ඇයි තාත්තේ මෙහෙට ආවේ. දැන් ළමයිනුයි ටීචර්ස්ලායි එක එක ඒවා අහයි. මට පාඩුවේ ඉන්න දෙන්න. තාත්තාට මාව බලන්න ඕනේම නම් ගෙදරට එන්න තිබුණා නේද? අයේමත් ඉස්කෝලේට එන්න එපා. ඇවිල්ලා මට ලැජ්ජා කරන්නත් එපා.”

ඉන්දිරා තම කැකෑරෙන ආවේගයන් වදන් බවට පත්කරවාලමින් ජයවීරගේ මුහුණට දමා අනින්නාක් සේ කියා දැමුවා ය. ඇගේ හඬ කැඩී උඟුරෙන් ඉකියක් පිටවුණි. පිටිඅල්ලෙන් තම දෑස් පිදාගත් ඈ යළි පන්තියට යන්නට ආපසු හැරුණා ය.

“ආ මේක අරන් යන්න. කළුතරින් අරන් ආවේ.”

ජයවීර තම බිඳුණු හඬින් ඇයට කතාකර අත තිබූ වයින් බිස්කට් පාර්සලය දිගු කළේය. 

“මට එපා. ඕකත් අරගෙන යන්න.”

කී ඉන්දිරා කාමරයෙන් එළියට ආවා ය. ඇය පිටව යන අයුරු බලා සිටි ජයවීර තම අත තිබූ පාර්සලය තදින් මිරිකාගත්තේය. කාමරයෙන් ඇවිද යනු විමසිලිමත්ව බලා සිටි චිත්‍රාංගනී මැඩම් ඉන්දිරාව ඇමතීය. මැඩම්ගේ හඬින් තිගැස්සී ගිය ඉන්දිරා ඇය ඉදිරියට ආවේ යළිත් බියට පත්වය. ඉන්දිරාගේ දෑස් කෙවණි තුළ පොදිකන කඳුළු ගුලිය චිත්‍රාංගනී මැඩම්ගේ විමසිලිමත් දෑස් මගහරිනු බැරිවිණි. 

“ඉන්දිරා ඒ තාත්තා නේද?”

“ඔව් මැඩම්.”

“ඇයි හදිසියක්ද?”

චිත්‍රංගනී මැඩම් ඇසූ පැනයෙන් වික්ෂිප්තවූ ඉන්දිරා මඳක් මුනිවත රැක්කා ය. කිවයුතු කිසිවක් සිතාගත නොවීය. මුවින් එකදු වචනයක් පිටකරගත නොහැකිව ගොත ගසන්නට විය. 

“මේ මේ.. දන්නේ නෑ මැඩම්. මාව බලලා යන්නලු.”

ඉන්දිරා බිම බලාගෙන පිළිතුරු දුනි.

“ඇයි තාත්තා ඉන්නේ  ඔයාලත් එක්ක නෙමෙයිද?”

“නෑ.”

“අම්මා?”

“රට රස්සාවකට ගියා.”

ඇය බිඳුණු හඬින් පවසද්දී ඇස් කෙවණි තුල පොදිකෑ කඳුළු ගුලිය නිහඬව පහළට ගලා යන්නට විය.

“දැන් ඔය ළමයා කඳුළු පිහිදා ගන්න. මුණ හෝදගෙන පන්තියට යන්න.”

“හොඳයි මැඩම්.”

“ඔය ළමයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට ඇවිල්ලා කියන්න හරි ද?”

ඉන්දිරා අත තිබූ ලේන්සුවෙන් දැස් පිසදාගෙන චිත්‍රාංගනී මැඩම් දෙස බැලීය. මැඩම් ඉන්දිරාගේ හිසට අත තබා ළෙන්ගතු ලෙසින් සිනාහවක් පා ඔෆිස් කාමරය දෙසට ඇවිද ගියා ය. ඈ ඉක්මනින්ම කාර්යාලයේ පිටත තිබුනු පයිප්පය වෙත ගොස් මුහුණකට සෝදාගත්තා ය. තාත්තා පිටත්ව ගියාදැයි බැලීමට ඇයට මතක්වූයේ යළිත් පන්තියට ගමන්ගන්නා අතරවාරයේදීය. එහෙත් යළිත් හැරී ගොස් බැලීමට ඇගේ සිත ඉඩ දුන්නේ නැත. බිමට නැඹුරුකරගත් නෙතින් යුතුව පන්ති කාමරයට ගොඩවූ ඈ තම අසුනේ වාඩිගත්තා ය. කෙල්ලන් කිහිපදෙනෙකු ඈ වටකරගත්තේ සියලු කාරණා දැනගනු පිණිසය. 

“ඇයි ඉන්දිරා මොකටද කතා කලේ?”

“මුකුත් නෑ.”

“එහෙනම් මොකටද ඔෆිස් එකට එන්න කිව්වේ?”

කටකාර එකියෙකු වූ චතුරානි ඇසුවා ය. 

“අපේ තාත්තා ඇවිල්ලා තිබුණා. එකයි.”

“ඇයි උඹලාගේ තාත්තා ගෙදර නෙමෙයිද ඉන්නේ?”

යළිත් චතුරානිගෙන් පැණයක් එල්ලවුණි. ඇගේ ප්‍රශ්නයෙන් මඳක් තැති ගත් ඉන්දිරා කිසිත් වෙනසක් නොපෙන්වා 

“නෑ තාත්තා කොළඹනේ වැඩ කරන්නේ. මේ හදිසියකට ආපූ ගමන් මාව බලලා යන්න ඇවිල්ලා.”

“අපි හිතුවේ වෙනින් එකක්.”

දීපිකා එක්වරම ඇය දෙස රවා බැලීය. 

“උඹලාගේ මිම්මෙන් මෙයාවත් මනින්න ආවද. දැන් දැන ගත්තානේ කාරණාව.”

ඇය කෝපයෙන් කීවාය. දීපිකාගේ විරෝධය හමුවේ චතුරානි ඇතුළු කෙල්ලන් පිරිස යළි තම අසුන් කරා ගියහ. පෙර සුදානම් නොවූ ප්‍රශ්න වැලකට නොපැකිලව උත්තර බඳින්නට හැකිවිම ඇයටම අදහා ගත නොහැකි විය. 

“ඇත්තටද තාත්තා ආවා කිව්වේ?”

දීපිකා කෙල්ලන් පිටව යතතෙක් හිඳ හොර රහසින් ඇසුවාය.

“ඔව්.”

“එහෙනම් මොකටද ඇඬුවේ?”

“ඇඬුවා? මම?”

“උන්ට බොරු කළාට මට බොරු කරන්න එපා. උඹේ ඇස් දෙකත් එක්කම රතුවෙලා. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?”

“මම පස්සේ කියන්නම්.”

විවේක කාලය තෙක් දීපිකා ගතකලේ ඉන්දිරාගේ ප්‍රශ්නය දැන ගැනීමේ කුහුලෙන් යුතුවය. සීනුව නාදවූ පසුව අසුනෙන් නැඟිටගත් දීපිකා

“යමු කැන්ටිම ගිහිල්ලා කතා කරමු.”

“බෑ මට බඩගින්නක් නෑ.”

“බොරුවට බඩගින්නේ ඉන්නේ නැතිව යමං බං.”

“උඹ ගිහිල්ලා කාපං බං.”

“මම කන්න මොනවා හරි අරගෙන එන්නම්.”

ඈ ඩෙස්කයට ඔළුව තබාගෙන දෑස් පියාගත්තා ය. අපිළිවෙලකට හැඳ පොඩිවුණු ඇඳුමෙන් යුතුව පාසලට පැමිණ සිටි තාත්තාගේ රුපකාය ඇගේ මනසේ විද්‍යාමාන විය. කලකින් නොකැපූ අවුල්ව ගිය කොණ්ඩය අතින් සකසමින් තමන් හා කතාකල අයුරු යළිත් සිහිපත් වුණි. තාත්තා ගැන සිහිපත්වෙද්දී මෙතෙක් වේලාවක් සිතේ ඇවුලුණු තරහව කෙමෙන් කෙමෙන් අඩුවීගොස් ඔහු පිළිබඳව දුකක්ද හට ගැනුණි. තමා තාත්තාට කතා කළ අයුරු සැර වැඩියැයි සිතීය.

“ඉන්දිරා උඹ නිදිද? නැගිටපං.”

ඇය දෑස් හැර ඔළුව උස්සා බැලුවාය. මාළු පාන් බනිස් ගෙඩි දෙකක් දැමූ කුඩා ඉටි බෑගයක් මේසය මත තැබූ දීපිකා ඈට කන්නට ආරාධනා කළාය.   

“ආ කන්න.”

“එපා.”

“මේ පිස්සු නැතිව කාපං බං.”

බෑගය විවරකර මාළුපාන් බනිසයක් අතට ගන්නා ගමන් කීවා ය. කෑමට පිරියක් නොතිබ්බත් දීපිකාගේ බලවත් පෙරෙත්ත නිසා ඉන්දිරා බනිස් ගෙඩියක් අතට ගත්තා ය. 

“ඉතිං මොකදවුනේ?”

“වෙනදාට ගෙදර ඇවිල්ලා එයා සුදු නැන්දාට කියන දේ අද මට කිව්වා.”

“ඒ මොකක්ද?”

“අපිව ආපහු රත්නපුරේ එක්කගෙන යනවාලු. අම්මා මේ වාගේ දේවල් සිද්ධවෙනවා කියලා දන්නවා නම් කීයටවත් රට රස්සාවකට යන්නේ නෑ.”

“ දැන් ඔය මාළුපාන් එක කාපං. ඔය මැස්සෝත් වහනවා.”

මාළුපාන් ගෙඩියෙන් කැබැල්ලක් කඩාගෙන හපන්නට ගත් ඉන්දිරාට එකවරම පිට උඟුරේ ගියේ දැස් වලින් කඳුළු පිට කරවමිනි. ඇය නොනවත්වා කහින්නට විය. තමන් කමින් සිටි බනිස් ගෙඩිය පසෙකලා ඉන්දිරාගේ පිටට තදින් තට්ටු කරන්නටවූ දීපිකා කැස්ස අඩුවූ විට වතුර බෝතලය දිගුකළා ය. කහිමින්ම වතුරු උගුරු කිහිපයක් පානය කළ ඕ කඳුළු පිටවූ දෑස් පිසදාගත්තා ය. 

“කතා නොකර කාලා ඉදපං.”

“මේ ඇති, මට කන්න පිරියක් නෑ.”

“නෑ නෑ උඹ මේක කන්නම ඕනේ. බලපන් උඹ මේක කාලා නෑනේ.”

යළිත් වරක් දීපිකාගේ බල කිරීම මත මාළුපාන් ගෙඩිය ආහාරයට ගත්තේ අකමැත්තෙනි. වතුර බී අහවර වෙනතෙක් දීපිකා කල්යල් බැලූවාය. 

“අම්මා මොකද කියන්නේ?”

“සමහරවිට අම්මා දැන් දන්නවාත් ඇති. ඒත් මට සැකයි අම්මාට මේ ගැන දන්වලා තියෙනවාද කියලත්. සුදු නැන්දා මේවා කියලා යවන්න බයයි, අම්මා බයවෙයි කියලා.”

“එතකොට සුදු නැන්දයි මාමයි කැමතිද ඔයාලව යවන්න?”

“එයාල නම් කැමති නෑ. එයාල තාත්තාට කිහිප සැරයක් එහෙට එන්න එපා කිව්වා.”

“දැන් උඹ කැමතිද එහෙට යන්න?”

“මං දන්නේ නෑ බං, මට මේවා හිතනකොටත් ඔළුව පිස්සු වෙනවා. තාත්තා ඇවිල්ලා අපිව එහෙට එක්කන් යන්න හදනවා, රණ්ඩු කරනවා. එක්කෝ ඕනේ දෙයක් වෙන්නයි කියලා එහෙට යන්නත් හිතයි.”

“මට නම් හිතෙන්නේ අම්මා එනකම් මෙහේ හිටියොත් හොඳයි කියලා.”

“මට එහෙමත් හිතෙනවා. ඒත් මට දුක තාත්තාට අපිව බලන්න මෙහෙට එන්න එපා කිව්ව එකට.”

ඉන්දිරා නෙත් තුළ ගුලි ගැසුනු කඳුළු කැට ලේන්සුවෙන් පිසදා ගෙන තදින් හුස්මක් ගත්තා ය. 

“එන්න එපා කිව්ව එක හොඳයි. තාත්තා නිතරම මෙහෙට එන්න ගත්තොත් ඒක මේ ඕපාදූප මලු වලට හොඳ මාතෘකාවක් වෙයි.”

විවේක කාලය අවසන්වීමේ සීනුව නාද වෙද්දී දීපිකා තම අසුනේ හිඳගත්තාය. ඉන්දිරා ද බෑගයෙන් පොතක් රැගෙන එහිවූ අකුරු පෙළ දිගේ අරමුණකින් තොරව දැස් දිවයවන්නට වුණි. 


පොඩි මාමාගේ උපදෙස් මත සුදු නැන්දා ලියා යවන ලද ලිපියට තමාලිගේ පිළිතුරු ලිපියද ඉක්මනින් පොඩි මාමා අතට පත්විය. එය කියවූ ඔහු සුදු නැන්දාට පැවසුවේ තමාලිගේ තීරණය තමාද අනුමත කරනා බවයි. ජීවිතයේ බරක් පතලක් නොගත් බේබද්දෙකුවූ ජයවීර තම ළමයින්ගේ ආරක්ෂාව හා රැකවරණය ලබාදෙනු ඇතැයි සිතිය නොහැකි බැවින් ඔහු පිළිබඳව විශ්වාස නොකරන ලෙසින් ඇය ඉල්ලා සිටියා ය. 

“මේ ලියුමේ කියලා තියෙන්නෙත් ජයවීරට දරුවෝ දෙන්න එපා කියලානේ. අපිට කරන්න තියෙන්නෙත් එච්චරයි.”

“එක නම් එහෙම තමයි එත් මේ මිනිහා ඔය කතා අහයිද මල්ලියේ?”

“ජයවීර ඊට පස්සේ ආවේ නැද්ද?”

“නෑ. මම කිව්වේ ජයවීරට මල්ලි ඉන්න දවසට එන්න මිසක් සතියේ දවස් වලට මෙහේ ඇවිල්ලා මාත් එක්ක රණ්ඩු අල්ලන්න එපායි කියලායි.”

“සමහර විට අද හෙට මේ පැත්තේ එන්නත් පුළුවනි.”

“ඔය මිනිහාට වැඩක් නැද්ද මන්දා මෙහේටම එන්නේ.”


                                                      * * * * *

දින කිහිපයකින් සුපුරුදු පරිදි ජයවීර නිවසට පැමිණියේ ළමයින්ව රැගෙන යන බව පවසමින්ය. පොඩි මාමා තමාලිගේ තීරණය පැවසු විගස ජයවීර අධික කෝපයට පත්ව රෞද්‍ර ලෙසින් හැසිරෙන්නට විය.  

“යකෝ මම ඉල්ලුවේ මගේ දරුවෝ. තොපිට පුළුවනිද මට මගේ  දරුවන් නොදී ඉන්න. තොපිලා දන්නේ නෑ මේ ජයවීර කවුද කියලා.” 

ඔහු ඉස්තෝප්පුවේ තිබූ වේවැල් පුටුවකට පයින්  පහරක් එල්ල කළේය. වටයක් කැරකී ගිය පුටුව පිල් කණ්ඩියේ හැපි උඩුබැලි අතට වැටුනේ කකුල් හතරම ඉහළට ඔසවාගෙනය. ඉන්දිරාගේ සායේ එල්ලුනු කෝලිත බිය රැඳුනු දෑසින් තාත්තා දෙස බලා සිටියේය. මෙතෙක් වේලාවක් පසෙකට වී බලා සිටි සුදු නැන්දා පුටුවට පයින් ගැසූ විගසම ඉස්තෝප්පුවට කඩාගෙන පැන්නාය.

“මේ ජයවීර ගෙදර බඩුමූට්ටු කඩා බිදලා දාන්න උඹ කවුද? මම ඉලපත ගන්න කළියෙන් මෙතනින් පලයන්.”       

“උඹේ ඉලපතට කවුද බං බය වෙන්නේ? යකෝ හිරේ ගිය මට මේවා මොනවාද?”

පොඩි මාමා ඉක්මනින් සුදු නැන්දා වෙත ළංවූයේ ඇයව ආරක්ෂා කිරීමටය.

“අක්කේ මෙතනින් අහකට පලයන්.”

ඇගේ බාහුවකින් අල්ලාගත් පොඩි මාමා සාලයට ඇඳගෙන ගියේය.

“මේ තිරිසන් මිනිහා එක්ක මොන කතාද? මෙන්න මෙහේ ඇතුළට වෙලා ඉන්නවා. මේ ඉන්දිරා මම කියනකම් ඇතුලෙන් දොර වහගෙන ඉන්න. ” 

කී පොඩි මාමා මිදුලට බැස්සේ කෝපයෙන් පිපිරෙන කේන්තියක් සමඟින්ය. ජයවීර ඒවන විටත් මිදුලේ තබා තිබූ මල්පෝච්චි කිහිපයක් කඩා බිඳ දමා තිබුනේ පයින් ඇනිමෙනි. 

“ජයවීර නවත්තපන් මිනිහෝ ඔය කරන අසමජ්ජාති වැඬේ.”

මිදුලේ තිබූ මල් ගස් උදුරා විසිකරමින් සිටි ජයවීර ඉස්තෝප්පුව දෙසින් ආ පොඩි මාමාගේ ගැඹුරු හඬින් තිගැස්සී ගියේය. උගුල්ලා අතට ගත් ඇන්තුරියම් ගසක් ඔහු පසෙකට විසීක්කළේය. වියරු වැටුනු පොඩි මාමා  පසෙක තිබුනු වැටමාර ඉන්නක් උදුරා ගත්තේ අසුරු සැනකිණි.

“මගේ ගෙදරට ඇවිල්ලා ගෙදර බඩු පොඩි කරලා චංඩිකම් කරන්න දෙන්න බෑ. හොඳ හිතිං මෙහෙන් තොලොංචි වෙලා පලයන්.”

“උඹ පොල්ලක් ගත්තේ මට ගහන්නද?”

“ඔව් ගහනවා තමයි. තවත් නම් ඉවසන්නේ නෑ ජයවීර.”

ඔහු වැටමාර ඉන්න උරුක් කරමින් පැවසීය. ජයවීරගේ මෙන්ම පොඩි මාමාගේ කෑ ගැසීම ඇසුනායින් අසළ පහල ගෙවල් වලින් එකා දෙන්නා ගෙවත්තට එබී බලන්නට විය. 

“ගහපං ඇයි මොකද බලා ඉන්නේ ගහලා මරපං.”

ජයවීර තම කෙරුම්කාරකම පෙන්වන්නට මෙන් පපුවට දැතින්ම ගහගෙන ගහගෙන යන්නට විය.  

“මගේ දරුවෝ දෙන්නා දෙන්නේ නැතිව මම මෙතනින් යන්නේ නෑ.”

“මේ ජයවීර මගේ යකා අවුස්සගන්නේ නැතිව මෙතනින් පලයන් යන්න. අපිවත් පව්කාරයන් කරන්න එනවා.”

“තොපිලා දන්නේ නෑ මම කවුද කියලා. මම ආයෙත් එන්නේ නිකම් නෙමේ. මගේ උන් දෙනතුරු මම එනවා.”

කී ජයවීර දෙවට අද්දරින් පහළට බැස ගියේ කලබගෑනියේ හඬ ඇසී මිදුලට එකා දෙන්නා ඇදී එද්දීය. 

“ඇයි පොඩි මාමේ මොකක් හරි ප්‍රශ්නයක්ද?”

වැනි වැනී පහළට බසිනා ජයවීර දෙස බැලූ උඩහ ගෙදර ගයාන් ඇසීය.

“මේ අපේ තමාලිගේ මනුස්සයානේ. බීගෙන ඇවිල්ලා පොඩි රණ්ඩුවක් ඇල්ලුවා. දැන් හරි.”

තම අතේ තිබූ වැටමාර පොල්ල පසෙකට වීසිකර දමා ඇවිත් සිටි අයට සිනාහවකින් සංග්‍රහ කළේ තම සිතේ පැසවන කෝපය සඟවා ගනිමින්ය.

“ලොකුවට සද්දේ ඇහුනා. අපි මේ දුවන් ආවේ ඒකයි.”

ගුණසෝම ගයාන් දෙස බලමින් කීවේය. 

“මොකද කරන්නේ මාමේ ඔය මිනිහා අල්ලලා දෙකක් දීලා පොලීසියට දෙමුද?”

“ඕනේ නෑ ළමයිනේ දැන් ප්‍රශ්නේ ඉවරයිනේ.”

“ඒවුනාට මිනිහා ආයෙත් එනවා කියලා නේද ගියේ?”

“බිව්වාම හිතට ගන්න චණ්ඩිකම්නේ ළමයිනේ. වෙරි ගියාම ඔක්කෝම හරි. අපි කලබල වෙන්න නරකයි.”

“ඔය මිදුල එහෙම අස්කරගන්න උදව් ඕනේද?”

“එපා ළමයිනේ. දැන් රෑ වුනානේ. මේ කරුවලේ සතා සරුපයා වුනත් ඉන්න පුළුවනි. මට හෙට අස්පස් කරගන්නම්.”

“එහෙනම් අපි ගිහිල්ලා එන්නම්.”

“පොඩි මාමේ මොකක් හරි උවමනාවක් එහෙම තියේනම් අපිට කියන්න.”

ගයාන් ගුණසෝම සමඟින් පිටවී යන ගමන් කීවේය.

තාත්තාගේ  හා පොඩි මාමාගේ කෑගැසිල්ල ගෙතුළට වැදී හුන් ඉන්දිරා අසා සිටියේ බියෙන් ගැහෙමින්ය. ඇගේ තුරුල්ලට වී සිටි කෝලිත පොඩි මාමා තාත්තාට කෑගසාගෙන යන හඬ ඇසී ඈ අතහැර සුදු නැන්දාගේ බෙල්ල බදාගත්තේය. එකවරම රණ්ඩුවේ ශබ්දය අඩුවීගියායින් ඉන්දිරාගේ බිය තවත් වැඩි වින. අහේතුක බිය ඇගේ සිත හිරිවට්ටටන්නට පටන්ගෙන තිබුනේ තාත්තා ගෙදරට ගොඩවූ මොහොතේදී පටන්ය. දෙකම්මුල් දිගේ පහළට ගලා ගිය කඳුළු ගවුම් වාඩියෙන් පිසදාගත් ඈ මිදුල දෙසට හොඳින් කන්දුන්නා ය. තාත්තාට හෝ පොඩි මාමාට හෝ කරදරයක් නොවේවායි ඇයගේ සිත මුරගාන්නට විය. පොඩි මාමා සරමෙන් දැත් පිසදමමින් ගෙතුළට වදිද්දී තාත්තාට කරදරයක් ඔහුගෙන් සිදුවූවාදැයි යළිත් ඇගේ සිතට බියක් ඇතුලු විය.

“කෝ ජයවීර?”

“මට බැන බැන ගියා.”

“ඇති යන්තම් මිනියක් දෙකක් මැරෙන්නේ නැතිව.”

“මිනිහා හැදුවේ කෑකොස්සන් ගහලා අපිව බය කරවන්නයි. වටේ පිටේ අය එකතුවෙද්දී මිනිහා හිමිහිට මාරු වුනා.”

“බී ගත්තාම ජයවීර නියම තිරිසනා. අපොයි අර ඉස්කෝලේ යන නොදරුවෙක්නේ බස් එකට යට කරලා මැරුවේ.”

“ඇති අක්කේ. දැන් තියෙන දෙයක් ඉක්මණටම රත්කරලා කන්න දෙන්න. නිදාගත්තාම ඔය සිද්ධි ඔක්කෝම අමතක වෙලා යාවි.”

තවමත් සුදු නැන්දාගේ බෙල්ල බදාගෙන සිටිනා කෝලිත දෙස බලා පොඩි මාමා පැවසුවායින් ඈ කෝලිතගේ දෑත් බෙල්ලෙන් මුදවාගෙන ඉන්දිරාට බාර කළා ය. නිවසේ ඇතිවන රණ්ඩු සරුවල් ආදිය ගැන හාන්කවිසියක් වත් නොදන්නා ලෙසින් ඇඟිල්ලක් මුවතුළ රඳවාගෙන නිදි ලොවට වැඳී සිටින පොඩි මල්ලි දිනේෂ් ගැන සොයා බැලූ ඉන්දිරා ඇද තෙමාගෙන සිටින කලිසම් පොඩිය ගලවා ඉවත් කළා ය. 

“ඇයි අක්කේ තාත්තා මෙහේ ඇවිල්ලා රණ්ඩු කරන්නේ?”

කෝලිත තම නිදිමත බේරෙන ඇස්වලට කඳුළු කැට පුරවාගෙන ඇසීය.

“අපිව රත්නපුරේ එයාගේ ගෙදරට එක්කන් යන්නලූ.”

“අපෝ එයා එක්ක යන්න බෑ. එයා ගාව අමුතු ගඳක්නේ තියෙන්නේ.”

කී කෝලිත ඉක්මනින් සුදු නැන්දා සොයා කුස්සිය දෙසට දිවගියේය. 

රාත්‍රී බත්පත අතට ගත් ඉන්දිරාට එය කෑමට ගැනීමට තරම් පිරියක් තිබුනේ නැත. නොසිතුවිරූ ලෙස ඇතිවූ කලබගෑනියෙන් පොඩි මාමාත් සුදු නැන්දාත් පීඩා විදී මානසික තෙහෙට්ටුව ඔවුන්ගේ කෑම රුචිය පළවාහැර තිබුණි. ඔවුන් තම සිත තුළ පැවති පීඩනය ඉන්දිරාට හෝ කෝලිතට නොපෙන්වාලීමට උත්සාහ කරන්නට විය. බත් පත අතට ගත්තද යළි යළිත් මනසට නැගෙනා අප්‍රසන්න සිතුවිලි බත් කටවල් දෙක තුනකට සීමා කළේය. බත් ව්‍යාංජන එකට ඇනූ පොඩි මාමා පිළිකන්නේ  තිබූ තහඩු කැබැල්ලක් මතට දැමීය. මෙතෙක් වෙලා බත්පත අතගාගා සිටි ඉන්දිරා ද බත් පිගාන හලා සෝදා දැම්මා ය. නිවසේ සියල්ලන්ගේ සියලුම කටයුතු අකර්මණ්‍යය කර දැමුවාක් මෙන් කිසිවෙකුත් කතා බහකින් තොරව සිටින්නට විය. සුදු නැන්දාත් ඉවුම් පිහුම් කළ ව්‍යංජන ඇතිලි කිසිවක් නොසෝදා නින්දට වැටුණි. 


ගවුමට උඩින් ඇද සිටිනා එහෙන් මෙහෙන් වුල් ලිහී ඉරුනු ස්විටරය අස්සෙන් සීතල සුළං රැල්ලක් දොර හැර ඉස්තෝප්පුවට ගොඩවූ ඉන්දිරාගේ ගතේ හී ගඬු නංවාලමින් හමා ගියේය. ඇය තම දෙඅත් පපුව මත්තෙන් බැද ගත්තේ ළයට වදිනා සීතලෙන් මිඳීම සඳහාය. උදෑසන මීදුමෙන් වැසුනු ගස්කොළන් හේතුවෙන් මිදුල පුරා තිබුයේ මඳ අඳුරකි. එහෙත් අඳුර මැදම ඉස්තෝප්පුවේ කෙළවරට පැමිණි ඈ හාත්පස සිසාරා බැල්මක් හෙලුවේ වෙනදා නොවෙන වෙනසක් දැනුන බැවිනි. දෑස් අඳුරට හුරුවනතෙක් සිටි ඉන්දිරා මිදුලට බැස්සේ ඉදළ ගනු පිණිසය. කැඩුනු මල් පෝච්චියක කොටසක් ඇගේ පාදයේ වැදුනායින් ඈ විමසිලිමත්වූවාය. ඉන්දිරාට අදහාගත නොහැකිවූයේ තමන් මෙතෙක් දිනක් ආසාවෙන් රැකබලාගෙන සාත්තු සප්පායම් කල ඇන්තුරියම් පෝච්චි පෙරළා දමා පැළ උදුරා විසීකර තිබෙනු දුටුවිටය. ඇගේ පපුව දා ගෙන යනු දැනින. තාත්තා පෙරදින සැන්දෑවේ මිදුලේ අල්ලපු අඩව්ව යළි ඇගේ මතකයට රැගෙන ආවේය. උදෑසන සීතල පරයා ඇඟේ උණුසුම වැඩිවූයේ ලේ ගමනාගමනය වැඩිකරමින්ය. කෝපයත් ශෝකයත් දෙකම ඇගේ සිත වෙලාගත්තා ය. මඳ වේලාවක් බිම වැතිර පණ නල යදින මල් පැළ දෙස බලා සිටි ඕ තම සිත යළි තදකරන් තැලී පොඩි නොවුනු පැළ සීරුවෙන් එකතු කළේය. මිදුල යම් තරමකට හෝ පිළිවෙලකට සකසා ගන්නට ඈට හෝරාවක් පමණ ගතවිය. කොතරම් හල්දුම්මුල්ලට එන්න එපා කීවත් තාත්තාගේ කරදර එන්න එන්නම වැඩිවෙනවා මිස අඩුවීමක් නොවෙන බව කල්පනා විය. තාත්තා පාසලට පැමිණීම කෝලිතට මෙන්ම සුදු නැන්දාටද රහසක්ව තබාගත්තේ ඇයි දැයි ඇයට නොතේරුණි.

 

“ඉන්දිරා ජයවීරට චිත්‍රාංගනී මැඩම් එන්න කිව්වා.”

පහළ පංතියක කුඩා ළමයෙක් පංති කාමරයේ දොරටුවෙන් හිස ඇතුළට යොමුකර කීවේය. ඇගේ පණිවිඩය ඇසුනු විගසින් මෙතෙක් වෙලා පංතියේ තිබූ ගෝසාව එක්වරම අඩුවී ගියේය. එකා දෙන්නා  ඉන්දිරා දෙස බලන්නට පටන්ගත්තේ ඉන් අනතුරුවය. 

“දැන් උඹ චිත්‍රාංගනී මැඩම්ව යාළු කරගෙන වගේ?”

දීපිකා පන්තියට ඇසෙන අයුරින් තම හඬ වැඩිකර ඇසුවා ය.

“පිස්සුද බං?”

“හරි හරි ගිහිල්ලා වරෙන්කෝ. අපිටත් උදව්වක් එහෙම මැඩම්ට කියලා ගන්න බැරියෑ.”

අසුනින් නැගිට සිටගන්නටත් නොහැකි ලෙසින් ගතේ වාරු නොමැතිව ගියාසේ ඈට දැනුණි. පාසලට පැමිණි තාත්තාට කිසි දිනෙක තමා බලන්නට පාසලට නොපැමිණෙන ලෙසින් පැවසුවායින් ඔහු යළිත් නොඑනු ඇතැයි ඈට සිතුනද කටගොන්නක් බීගත් තාත්තා බීමතින් පාසලට පැමිණ ඇත්දැයි සිත තුළ බිය සංකා හොල්මන් කරන්නට විණි. ගතට වාරු ගෙන  පන්තියෙන් පිටමන්වූ ඉන්දිරා චිත්‍රාංගනී මැඩම් සොයාගෙන කාර්යාලයට ගියා ය. ස්ටාෆ් රූම් එක දෙසට යද්දීම ඉන්දිරා ඇමතූ චිත්‍රාංගනී මැඩම්

“ඉන්දිරා ඉන්න මම එනකම්.”

ඇය ඉක්මනින් ස්ටාෆ් රූම් එකෙන් එළියට පැමිණ ඉන්දිරාගේ බාහුවෙන් අල්ලාගෙන චිත්‍ර පන්තිය දෙසට පිය නගන්නට විය.

“යමු.”

“ඇයි මැඩම්?”

“මට පොඞ්ඩක් කතා කරන්න තියෙනවා. අපිට නිස්කලංකේ කතා කරන්න පුළුවන් චිත්‍ර පන්තියේදි.”

චිත්‍රාංගනී මැඩම් ඇගේ බිය රැඳි දෙනෙත් වලට එබී බලා මඳහසක් නංවමින් කීවා ය. පාසල් භූමියේ නිස්කලංක තැනක  පිහිටා තිබුනු  චිත්‍ර පන්තියේ ඒ වන විට කිසිවෙකු රැඳී සිටියේ නැත. ඔවුන් දෙදෙනා පන්ති කාමරයේ පසෙක තිබු යකඩ පුටු දෙකක වාඩි ගත්හ.

“ඉන්දිරා  ඔයාගේ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද?”

චිත්‍රාංගනී මැඩම් ඇසූ පැනයෙන් ඉන්දිරාගේ මුව ගොළුවුනි. කිසිදු උත්තරයක් දීමට නොහැකිවූ ඈ බිම බලාගත්තා ය. ඉන්දිරාට තම දෑස් කඳුළු වලින් පිරියන්නාක් මෙන් දැනෙන්නට විය.

“බය නැතිව කියන්න ළමයෝ. මම ඉන්නවා ඔයාගේ ඕනෑම දෙයකට.”

“අපි.... අපි ඉන්නේ අම්මාගේ පොඩි මාමාලගේ ගෙදර. අම්මා රට රස්සාවකට ගියා.”

“ඉතින් පොඩි මාමාලාගේ ගෙදරින් කරදරයිද?”

“අනේ නෑ මැඩම්, එයාලා අපිට හොඳට සලකනවා. තාත්තා තමයි නිතරම ඇවිල්ලා එයාලට කරදර කරන්නේ.”

“ඒ මොකටද?”

“අපිව එක්කගෙන යන්න.”

“දැන් තාත්තා ඉන්නේ කොහේද?”

“රත්නපුරේ. අපි ඉස්සර හිටියේ එහේ.”

“ඇයි දැන් මාමා ගේ ගෙදර ඉන්නේ? අම්මායි තාත්තයි දික්කසාද වෙලාද?”

ඉන්දිරා තම පවුලේ සිදුවූ සියලු විස්තර චිත්‍රාංගනී මැඩම්ට පැවසුවා ය. ඇගේ කතාව සාවධානව අසා සිටි ඕ ගැඹුරු හුස්මක් හෙළීය. 

“දැන් මට තේරෙනවා මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා.”

“ඇයි මැඩම්?”

“ඔයාගේ තාත්තා අදත් මෙහෙට ආවා ඔයාව බලන්නයි කියලා.”

“අදත් ආවා? කෝ දැන් තාත්තා.”

ඉන්දිරා විමතියෙන් මෙන් ඇසීය. 

“එයා ඇවිල්ලා තිබුනේ පාසලකට එන්න ඕනෑ විදිහකට නෙමෙයි. ඒ නිසා අපි එයාට පොඞ්ඩක් අවවාද කරලා පිටත් කළා.”

ඉන්දිරාට ඇතිවූයේ බලවත් ලෑජ්ජාවකි. ඇගේ දෙකන් රත්වේගෙන එනු දැනින. යළිත් දැස් කඳුළු පටලයකින් බොඳ කරවාලන්නට විය.

“තාත්තා බීලාද හිටියේ මැඩම්?”

“ඔව්. ඔය ළමයාගේ මාමාට හෙට අනිද්දාට විතර ඉස්කෝලෙට ඇවිල්ලා යන්න කියන්න.”

“අනේ මැඩම් පොඩි මාමාට කියන්න බෑ.”

“ඇයි ඒ?”

“මම ගෙදරට කිව්වේ නෑ තාත්තා මීට ඉස්සෙල්ලා ඉස්කෝලේට ඇවිත් ගියා කියලා.”

“ඒත් ප්‍රින්සිපල් මැඩම් තමයි ඔයාලගේ ගෙදර වැඩිහිටියෙක්ට එන්නයි කියලා තීරණය කළේ.”

ප්‍රින්සිපල් යන වචනය ඇසු විගසින්ම ඇය නොසන්සුන් විය. දෑස් අභියස රැඳීහුන් කඳුළු කම්මුල් තෙමමින් පහළට රූටා වැටෙන්නට වූයේය. 

“ඔය ළමයා බය වෙන්නේ මොකටද? අපි හදන්නේ ඔයාලට හොඳක් කරන්නනේ.”

ඉන්දිරා කිසිවක් නොකියා බිම බලාගත්තා ය. අසුනින් නැගිටගත් චිත්‍රාංගනී මැඩම් මේසය මතවූ තම බෑගයෙන් එළියට ගත් උණුවතුර බෝතලය විවර කර කෝප්පයට තේ හැලුවා ය. 

“බොන්න.”

“එපා මැඩම්.”

“බොන්න ඉන්දිරා, මේක බීලා පන්තියට යන්න.”

චිත්‍රාංගනී මැඩම් තේ කෝප්පය ඉන්දිරාගේ අත මත තැබීය. 


පාසල නිමවී සවස් වරුවේ නිවසට පැමිණි ඉන්දිරා සුදු නැන්දා හා කතාබස් කර ගැනුමට සුදුසු අවස්ථාවක් එනතුරු කල් ගත්තා ය. නිවසට ආ පසු පොඩි මල්ලි දිනේෂ් බලා කියා ගැනීමට උදව්වීම ඇගේ දින චරියාවේ කොටසක් විය. ඉන්දිරාට අවනත නොවන කෝලිත සුදු නැන්දා ඉදිරියේ ඉතා කීකරුව හැසිරෙන අයුරු ඈට හිතාගත නොහැකි විය. සවස දිනේෂ්ට කවා නිදි කරවූ පසු සුදු නැන්දාට ලැබෙන විවේකය තෙක් ඈ බලා සිටියා ය. අතේ වූ පොත පසෙකින් තැබූ ඉන්දිරා සුදු නැන්දා කරා ගියාය.

“සුදු නැන්දේ ”

“ඇයි?”

“අද තාත්තා ඉස්කෝලෙට ඇවිල්ලා තිබුණා.”

“ඒ මොකටද? එයාව උඹට හම්බවූනාද?”

“නෑ තාත්තාව හම්බවූනේ නෑ.”

“එහෙනම් උඹ කොහොමද දන්නේ එයා ඉස්කොලේට ආවා කියලා?”

“අපේ චිත්‍රාංගනී මැඩම් කිව්වා.”

“එහෙනම් මොකටද එයා ඉස්කොලේට ආවේ? කියපන්කෝ තෙපරබබා ඉන්නේ නැතිව.”

සුදු නැන්දා නොවසිලිමත්ව ඇසුවා ය.

“කෝ මට කියන්න දෙනවාද? මැදට පැනලා ප්‍රශ්න අහන්නේ නැතිව කියනදේ අහගන්න.”

“හා හා කියපන් ඉතිං.” 

“මාව මුණගැහෙන්න කියලා ඉස්කෝලෙට ඇවිත් තියෙන්නේ. තාත්තාව ආපහු හරවලා යවලා. චිත්‍රාංගනී මැඩම් මාව ඔෆිස් එකට ගෙනල්ලා මගෙන් ගොඩාරියක් ප්‍රශ්ණ ඇහැව්වා.”

“ජයවීරව හරවලා ඇරියේ එකත් එකටම ඔය මනුස්සයා බීලා ඉන්න ඇති.”

“ඔව් නැන්දේ, බීලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා ආපහු යවලා.”

“එයා ආපු කාරණාව කියලා නැතිද?”

“දන්නේ නෑ. එත් චිත්‍රාංගනී මැඩම් කිව්වා ගෙදරින් කවුරු හරි වැඩිහිටියෙක්ට කතා කරලා ඉස්කෝලේ ප්‍රින්සිපල් මැඩම්ව මුණගැහෙන්න එන්න කියලා.”

“හප්පෝච්චියේ මේ මිනිහා දැන් ඒ පාර ඉස්කෝලේටත් ගිහිල්ලා එතනත් රණ්ඩු අල්ලන්න පටන් අරගෙනද? මංනම් දන්නේ නෑ ඕවායේ ගිහිල්ලා කතා කරන්න. මාමාට කියමු ඇවිල්ලා ඒකට යන්නය කියලා.”

“මේ සති අන්තේ එන එකක් නෑ නේද?”

“එහෙම කියලා බෑ එයාට එක දවසකට වත් එන්නයි කියලා මම පණිවිඩයක් අරින්නම්.”

“එපා සුදු නැන්දේ මට බැනුම් අහන්න වෙයි.”

“ඒ මොටද උඔට බනින්නේ? එයා ප්‍රින්සිපල් මැඩම් එක්ක කතා කරගනියිනේ.”


පොඩි මාමා නිවසට පැමිණියේ පසු දින පාසලට යෑම සදහා එක් දින නිවාඩුවක් අනුමත කරවාගෙනය. නිවසට පැමිණ සුදු නැන්දාගෙන් විමසන තෙක් ඔහු සිතාගෙන සිටියේ ඉන්දිරා හෝ කෝලිතගේ කුමක් හෝ වරදක් නිසා තමාව කැඳවා ඇති බවය. ඉන්දිරා හා කෝලිත පාසලට පිටත්වූ පසුව උදේ නමයට පමණ පොඩි මාමාද පාසල වෙත පිටත්වීය. පාසල නිමවූ පසු ඉන්දිරා යළි නිවසට පැමිණියේ දෙගිඩියාවෙනි. ඇගේ සිත නොසන්සුන්කමකින් පිරීයන්නට විය. පොඩි මාමා තමන්ට කුමක් කියයිද යන්න ඇගේ යටිසිත පෙළන්නට පටන්ගත්තා ය.

“කෝ බං පොඩි මාමා?”

ඉන්දිරා දුටු විගසම සුදු නැන්දා විමසීය. ඈ එයින් විමතියට පත් වුනි.

“මම දැක්කේ නෑ. පොඩි මාමා ඉස්කෝලේට ගිහින් ආවේ නැද්ද?”

“ඇයි බං උදේ නමයට විතරනේ මල්ලි ගියේ.”

“මට නම් කතා කලේ නෑ. ප්‍රින්සිපල් මැඩම් මොකක් කිව්වාද දන්නේ නෑ.”

“මම මේ බලන් ඉන්නේ එයා එනකම් තමයි.”

“මෙච්චර වෙලා ඉස්කෝලේ ඉන්න විදිහක් නෑ. පොඩි මාමා වල්හපුතැන්නේ යාළුවෙක් වත් මුණ ගැහෙන්න යන්න ඇති.”

ඉන්දිරා කැන්වස් සපත්තුවේ ලේස්පටිය බුරුල් කර ගලවා දැම්මා ය. ගවුමක් ගෙනවිත් ඉන්දිරා දෙසට විසීකල සුදු නැන්දා

“ආ මේක ඇඳගනින් අර ගවුම මම හෝදලා දැම්මා.”

පාසල් නිල ඇඳුම උරහිසින් පන්නා දැමූ ඈ සුදු නැන්දා දුන් ගවුම හැඳගත්තාය.  

“හැබැයි සුදු නැන්දේ එයා ඉස්කෝලෙට ආවානම් මට චිත්‍රාංගනී මැඩම් කතා කරනවානේ. හෙට තමයි මැඩම්ගෙන් මේ ගැන අහන්න වෙන්නේ.”

“උඹ කියන්නේ පොඩි මාමා ඉස්කෝලේට ආවේ නෑ කියලාද?” 

“මං දන්නේ නෑ. ඇයි මට එයාලා කතා නොකළේ?”

“උඹට කතා කරන්නම ඕනේද? ඒවා වැඩිහිටියෝ කතා කරගත්තාම ඇතිනේ.”

ඉන්දිරා හා කෝලිත ගැලවූ පාසල් ඇඳුම් අව්වට දැමීමට යනින් ගමන් සුදු නැන්දා කීවා ය. දවස කෙමෙන් කෙමෙන් ගෙවී යමින් සැන්දෑ කාලයත් නිමවීමට ආසන්නව ආවත් පොඩි මාමා නිවස නොපැමිණිම සුදු නැන්දාගේ නොවිසිලිමත්බව වැඩි කරවන්නට විය. ඇය නිරන්තරයෙන් දෙවට අද්දරට ගොස් හෙල නැගගෙන පොඩි මාමා එනවා ඇද්දැයි විමසිලිමත් විය. සුදු නැන්දාගේ හදට අතුළුවූ විශාල බියක් සිත තලා ගිනි අවුලවාලන්නටවූවායින් ඈ නිවසේ සියලු වැඩ අතපසු කර පොඩි මාමා එනතෙක් බලා සිටියා ය. කිහිප විටක් නුරුස්සනාසුලුව අහේතුක ලෙස ඉන්දිරාට බැණ වැදුනු අතර ඇය සිටියේ පොඩි මාමා ගැන සිතමින් මානසික පීඩනයකට පත්වීගෙනය.  හිරු අවරට යන්නට ආසන්න වෙමින් ගස් කොළන් අතරින් තම දිනයේ අවසන් හිරු කිරණ පොළව වෙත යොමු කරවද්දී මඳ අඳුරත් සමඟින් පොඩි මාමා නිවසට ගොඩවුණි. උදයේ හැඳ පැළඳගෙන ගිය සුදු කමිසය හා කලිසම බොහෝ පොඩිව කිලිටිවී ගොසිනි. ඉස්තෝප්පුවේ වේවැල් පුටුවේ ඈඳීගත් ඔහු කමිසයේ උඩ බොත්තම් කිහිපයක් ගලවා දැමීය. කොණ්ඩය අවුල්ව ගොස් දුහුවිල්ලෙන් නැහැව කළුව ගිය පොඩි මාමාගේ හෙම්බත්වූ මුහුණ ඔහු පසුවන මහන්සි සහගත තෙහෙට්ටුව කියාපාන හොඳ කැඩපත් විය. ඔහු දුටු විගසම ළඟට දිව ගිය සුදු නැන්දාගේ දුක්දොම්නස් පෙණුම ක්ෂණිකයෙන් දූරීභූතවී ගොස් තිබුණි. 

“ඉන්දිරා දුවේ ඉක්මනට පොඩි මාමට ඇඟ හෝදාගන්න වතුර ටිකක් රත්වෙන්න තියාපං. ඒ ගමන්ම තේ ඩිංගකුත් හදාපං.”

ඇය සාලයේ දොර අසල සිටම ඉන්දිරාට කෑගැසීය. ඉන්දිරා ගේ සිත තුළ මෙතෙක් වෙලා සැඟව සිටි බිය යළිත් කරලියට නැගවිත් පෙරළි කරන්නට විනි. පුටුවේ දිග ඇදුනු පොඩි මාමා මඳ වේලාවක් මිදුල දෙස නිහඬව බලා සිට වතුර ටිකක් ඉල්ලා සිටියේය. යහුසුළුව ගෙට දිව ගිය සුදු නැන්දා ඉන්දිරා වතුර රත්කරනවාදැයි බලා වතුර වීදුරුවක්ද රැගෙන ගොස් දුන්නා ය. 

 “කොහේද මල්ලියේ ගියේ? මම මේ ගිනි පත්තුවෙලා බලං හිටියේ.”

එක හුස්මට වතුර වීදුරුව බී අවසන් කළ ඔහු හිස් වීදුරුව ඇය අතට පත් කළේය.

“ඉස්කෝලෙන් පස්සේ මම පොඩි ගමනක් ගියා.”

“ අපිව බය කරවන්නේ නැතිව ඇවිල්ලා කියලාම ගියා නම් නේද හොඳ ?”

“ඇවිල්ලා කියලා යන්න වේලාව මදි. අනික මොකට බය වෙන්නද?”

“අර පෝරිසාදයා ඉන්නේ අපිත් එක්ක වෛයිරෙන් නේ ඉතිං ඕකා මොකක් හරි නොසණ්ඩාල වැඩක් එහෙම කළොත්.”

“අක්කා බොරුවට බය වෙලා. එත් මම හිතුවේ නෑ මෙච්චර පරක්කුවෙයි කියලා”

“කොහේද ගියේ?”

පොඩි මාමා දෙකට නැමී අදිනාසර ගැටය ලිහා දමා සපත්තු දෙක ගලවාලීය. මේස් දෙක කකුලෙන් ඉවත් කල ඔහු සපත්තු දෙක තුළට නොදමා එහි උඩින් තැම්පත් කර කකුලින් පුටුව යටට තල්ලු කර දැමීය. තේ කෝප්පය රැගෙන ආ ඉන්දිරා සුදු නැන්දා අතට දී ඇයට මුවාව සාලයේ දොර අසළ රැඳුනි.

“ජයවීර ඉස්කෝලෙට ඇවිල්ලා තියෙන්නේ බීගෙනයි ඉන්දිරාව බලන්නයි කියාගෙන. මුරකාරයාට පොඞ්ඩක් සැක හිතිලා තියෙනවා මේ මිනිහා ඉන්නේ බීලා විත්තිය. මුරකාරයා ඉස්කෝලේ ඇතුළට යන්න දීලා නෑ. ඒත් කොහොමින් කොහොම හරි මිනිහා ඇතුළට ඇවිල්ලා. පස්සේ ප්‍රින්සිපල් මැඩම්ට මේ ගැන දන්වලා තියෙනවා.”

“මෙහෙටත් බී ගෙන එනවා වාගේ එහෙටත් යන්නනැති. මොකටද මෙයා ඉස්කෝලෙට ගියේ?”

“ඒක නම් දන්නේ ජයවීරම තමයි. එත් ජයවීර මිටත් ඉස්සරින් ඉස්කෝලෙට ඇවිල්ලා ඉන්දිරාව මුණගැහිලා  තියෙනවා”   

එය ඇසුණ විගසින්ම ඉන්දිරාගේ මුළු සිරුරම පණ නැතිව ගියාක් මෙන් බියෙන් සලිත වන්නට විය. සුදු නැන්දා එකවරම ඇයට පිටුපසින්  සිටි ඉන්දිරා දෙස හැරී බැළීය. සුදු නැන්දාගේ දෑස්වල මෝදුවෙමින් තිබෙන කෝපයක් ඉන්දිරා දුටුවා ය.

“මේ කියන්නනේ ඇත්තද?”

ඇගේ නෙත් දෙස එක එල්ලේ බැලීමට අපහසු වූ ඉන්දිරා නිහඬව බිම බලා ගත්තා ය. ඉන්දිරාගෙන් පිළිතුරක් නොලඳ බැවින් ඇගේ කෝපයේ ආවේගය ඉහළ ගියේය. ඉන්දිරාගේ බාහුවෙන් අල්ලා පොඩි මාමා ඉදිරිපසට ඇඳගත් සුදු නැන්දා කෝපයෙන් දිදූළන දෑසින් ඈ දෙස බලා සිටින්නට විය. ඉන්දිරා තවදුරටත් නිහඬව සිටින්නටවූවා ය. ඉන් කෝපය ඉහවහා ගිය සුදු නැන්දා ඇගේ බාහුවෙන් අල්ලාගෙන තවරටු කරන්නට මෙන් දෙපසට හෙලවන්නටවූවා ය. ඉන්දිරාගේ කම්මුල් දෙපසින් කඳුළු වැල් දෙකක් පහළට ගලායන්නට විණි.

“මොකද සද්ද නැතිව ඉන්නේ කියනවා පොඩි මාමා කියන්නේ ඇත්තද?”

“ඔව් ආවා.”

ඇය ඉකියක් සමඟින් කීවාය.

“කවදාද?”

“දැන් මාසෙකට විතර ඉස්සර. මම තාත්තාට ආයෙමත් ඉස්කෝලෙට එන්න එපායි කිව්වා.” 

“එයා මොකක්ද එහෙට ඇවිල්ලා කිව්වේ?”

“ළඟදීම අපිව රත්නපුරේ ගෙදරට එක්කන් යන්න එනවා කිව්වා. මම කිව්වා අපිට මෙහේ හොඳයි අපිට පාඩුවේ ඉන්න දෙන්නයි කියලා. එච්චරයි.”

“ඇයි ළමයෝ ඕක මෙච්චරකල් නොකියා හිටියේ?”

පොඩි මාමා ප්‍රශ්න කළේය.

“ඒක නෙන්නම් මොන ප්‍රශ්නේ ආවත් අපිට කියන්නනේ තිබුනේ.”

“මම තාත්තාට කිව්වානේ ආයෙත් ඉස්කෝලේට ඇවිල්ලා අපිට ලැජ්ජා කරන්න එපා කියලා. මම හිතුවේ නෑ තාත්තා ආපහු එයි කියලා.”

“දැන් මේකට මොකද්ද කරන්නේ මල්ලියේ?”

“මම ගියා ජයවීරව මුණගැහෙන්න රත්නපුරේට. මිනිහා ඒවෙලාවේ හිටියේ නෑ. මම සැමුවෙල් මුදලාලිගේ කඬේට වෙලා හිටියා එනකම්ම. ඒකයි මෙච්චර පරක්කුවුනේ.”

“ජයවීර ආවද?”

“සැමුවෙල් මුදලාලිටත් මම කිව්වා මෙයාගේ මේ බීමත්කම නිසා ආයෙමත් ලොකු අනතුරක් කරගනියි කියලා. මුදලාලිනම් එක ගණන්ගත්තෙ නෑ. එයා කියන්නේ ලොරියේ වැඩ කරද්දී ජයවීර බීලා ඉන්නේ නැතිලු.”

“මල්ලි ජයවීරට කිව්වේ මොකක්ද”

සුදු නැන්දා නොවිසිලිමත්ව ඇසුවාය.

“ඇත්ත තමයි මිනිහා ලොරිය අරන් කඬේට එනකොට නම් බීලා නෑ. මම පැත්තකට අඬගහගෙන ගිහිල්ලා පොඞ්ඩක් සැර කළා. ආයෙමත් මේ ළමයින්ට කරදර කරන්න හල්දුම්මල්ල පැත්ත පළාතේ එන්න එපයි කියලා.”

“ඔය ජයවීර තිරිසනෙක් වාගේ බීගත්තාම. ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නෑ.”

“ජයවීර ආපහු ඉස්කෝලේට එන එකක් නෑ. ප්‍රින්සිපල් මැඩම් ජයවීරට හොඳටම අවවාද කරලා ඒ විතරක් නෙමෙයි ආපහු ආවොත් පොලීසියට කතා කරලා භාර දෙනවා කිව්වාලු.”

“ඒත් මල්ලියේ ඔයවාගේ ගමනක් තනියම ගියේ ඇයි? මිට පස්සේ හිතුවක්කාරෙට තීන්දු ගන්න එපා.”

“අක්කා බොරුවටනේ බය වෙලා තියෙන්නේ.”

“මම බයවෙන එක සාධාරණයි. ජයවීර බී ගත්තාම තිරිසනාවාගේ, හොඳ නරක තේරෙන්නේ නෑ. ඔය මිනිහා මොකක් හරි නරක දෙයක් කලොත් ”

“මම තාත්තාට කියනවා ආයෙමත් අපිට කරදර කරන්න එන්න එපා කියලා.”   

ඉන්දිරා හඬමින් කීවාය.


                                                      * * * * *


දින කිහිපයක් ගෙවි ගොස් යළිත් තම දිවියේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට ඉන්දිරා සමත් වූවාය. දහවල් පාසල නිමවි තම යෙහෙළිය දීපිකා සමඟින් පාරට බැස්සාය. කෝලිත ඉන්දිරාව පසුකර ඉදිරියෙන් ගමන් කලේ තම යහළුවන් පිරිසක් හා එක්කය.

“ඉන්දිරා කවුද උඹේ නම කියලා කතා කළා. අර අතත් වනනවා.”

“කෝ බං කවුද?”

“අර දැන් මේ පැත්තට  එන්නේ.”

ඉන්දිරා ඇය කියූ ඉසව්වට දෑස් යොමු කළා ය. පාසල නිමවී යන ළමුන් අතරින් එකවරම තම දර්ශන පථයට අසුනොවුනත් පසුව දුටු දසුනෙන් ඇගේ සිරුර එකවරම ගල් ගැසුණි.


කවුද ඒ?.....මතුසම්බන්ධයි..........

මෙම නවකතාවේ වර්තමානයේ සිදුවන සිදුවිම් දේවල් කළු පාටින්  හා අතිතාවර්ජනා කොටස් නිල් පැහැයෙන් දක්වා ඇත.  

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...