Monday, November 30, 2020

පළිගු කිරිල්ලී - විසි දෙවන කොටස



                    ඉරාකය විසින් කුවේටය ආක්‍රමනය කිරීමෙන් තමාලිගේ මැදපෙරදිග දෙඅවුරුදු සේවා කාලය නොසිතුවිරූ ලෙසින් මාස කිහිපයකට දීර්ඝ විය. තමාලිව නිවසේ තනිකරවමින් ඇගේ හාම්පුතුන් කුවේටයෙන් යුරෝපා රටකට පැනගත්තේය. ඔවුන්ගෙන් කිසිඳු පිළිසරණක් නොමැතිව අනෝරා දුක් විදිමින් සිටි ඈ මාස කිහිපයක පඩි සල්ලිද නොමැතිව ලංකාවට පැමිණියා ය. කිසිඳු ලිපිගනුදෙනුවක් සිදු නොවුනු බැවින් තමාලි හා හල්දුම්මුල්ල අතර සන්නිවේදනයක් නොවීය. ලංකාවට ආ ඈ තම ඇඳුම් බෑගයන් රැගෙන හල්දුම්මුල්ලේ නිවසට ගොඩවන විට සුදු නැන්දා විශ්මයට පත් විය.

“ආ... තමාලි. අපි මේ ගිනිපත්තුවෙලා හිටියේ උඹගෙන් ආරංචියක් නැතිව. කොයි වේලාවේද ලංකාවට ආවේ?”

“අද පාන්දර ආවේ. හරිම මහන්සියි. මේ බෑග් එක උස්සන් ඇවිල්ලා. තව බෑග් එකක් පහළ ගෙදරකින්  තිබ්බා. කෝ දිනේෂ්?”

“ඔන්න ඔය පිළිකන්න පැත්තේ සෙල්ලම් කරනවා. ඇයි අපිට දැන්නුවේ නැත්තේ එනවා කියලා?”

“කොහේ දන්නන්නද? පණ බේරාගෙන ආපු එකත් මදිද?”

“කෝ ශ්‍රියා? ඒකිත් ආවාද?”

“එයාගේ ගෙදර බබායි මමායි ශ්‍රියාවත් අරගෙන වෙන රටකට ගියා. ඇයි දන්නේ නැද්ද?”

“ඒකීගේ මහඋන් යුද්දේ පටන් ගත්තු දවස්වලම මෙහේ ඇවිල්ලා අඬලා හැපිලා ගියේ. ඒකී වෙන රටක ඉන්නවා කියලා නිකමටවත් කිව්වේ නෑ.”

“මම හිටපු ගෙදර උන් යුද්දේ පටන්ගන්නකොටම මාව ගෙදර දාලා වෙනින් රටකට ගියා නිවාඩුවකට යනවා කියලා. මම හිටපු ගෙදර මහ මිනිහා පොලීසියේ වැඩ කරන්නේ, ඌ වෙලාසනින් දැනගෙන ඉදලා තියෙනවා ඉරාකේ සදාම් හුසේන් යුද්දේකට එනවා කියලා.”

“යුද්දේ නිසා උඹලට කරදරයක් වුනේ එහෙම නෑ නේද?”

“අපි ඉන්න පැත්තට යුද්දේ ලොකුවට ආවේ නැතිවුනත් අපි වින්දේ මාරම දුකක් සුදු නැන්දේ. අපිට තිබුනු ලොකුම ප්‍රශ්නේ තමයි කඩවල් එහෙම වහලා නිසා කන්න කෑම බීම එහෙම නැති එක. සමහරදාට වතුර එහෙමත් නැතිවෙනවා.”

“උඹ තනියම ගෙදරටවෙලා හිටියාද?”

“තනියම නම් නෙමෙයි. තවත් ලංකාවේ ගෑණු ළමයි කිහිප දෙනෙක් අපේ ගෙදර මාත් එක්ක හිටියා. ඒක නිසා එච්චර ප්‍රශ්නයක්වුනේ නෑ.”

“ගෙදර අය නැතිව කොහොමද තට්ට තනියම එහේ දුක් වින්දට උඹේ ඇඟ වැටිලා නෑ. හිටියට වඩා පාට නම් වැටිලා.”

“එහේ රටවල් කොච්චර රස්නේ උනත් එළියට එනවා අඩුයිනේ. අනේ සුදු නැන්දේ කාට හරි කියලා අනික් බෑග් එක ගෙදරට ගෙන්න ගන්න. හෙට විතර ඉන්දිරාව බලන්න රත්නපුරේ යන්නත් තියෙනවා.”

ඇගේ කතාවෙන් සුදු නැන්දා මඳකට තිගැස්සී ගිය නමුදු ඇය එය තමාලිට පෙන්වූයේ නැත.

“ඇඳුම් බෑග් එක ගෙන්න ගන්න මම කවුරුහරි යවන්නම්. දැන් ඔය ඇඳුම් එහෙම මාරු කරගත්තා නම් හොඳයි නේද?”

සුදු නැන්දා කුස්සිය දෙසට යමින් පැවසීය. තමාලි ඇඳුම් මාරු කිරීම පසෙකලා පිළිකන්න දෙසට ගියේ දිනේෂ්ව බැලීමටය. පොල් කටු කිහිපයක් ළඟ තබාගෙන ඒවාට වැලි පුරවමින් සෙල්ලම් කරමින් ඉන්නා දිනේෂ් දෙස බලාගෙන සිටි තමාලිගේ සිත දරු සෙනහසින් උතුරා යන්නට විය. ඇය දිනේෂ්ව ඇමතුවා ය.

“පොඩි පුතේ දිනේෂ්. . . ” 

එකවරම නන්නාදුනන කටහඬක් ඇසීමෙන් තම දැහැනින් මිදුන කුඩා දිනේෂ් කටහඬ ඇසුන දෙසට හිස හරවා බැලීය. ඔහු තමා අසළ සිටින නොහඳුනන කාන්තා රුව දෙස දෑස් විසල්කරගෙන බලා සිටින්නට විය. තමාලි තව දුරටත් ඔහු දෙස බලා නොසිට වැලි අතගාමින් සිටින දිනේෂ්ව වඩාගත්තා ය. එහෙත් නොහඳුන අයෙකු වඩාගත්තායින් කලබලයට පත්වූ ඔහු හඬන්නට මෙන් මුහුණ බෙරි කරගෙන සුදු නැන්දා ඇමතීය. කුස්සියෙන් පිළිකන්නට එබුනු ඈ දිනේෂ් අස්වසන්නට විය. 

“බොරුවට බයවෙන්නේ ඔය ඉන්නේ අම්මානේ. වෙනදාට අම්මා කෝ තාම ආවේ නැත්තේ කිය කියා ඉන්නේ ඇයි මේ බොරුවට කෑ ගහන්නේ?”

ඈ යළිත් කුස්සියට එබුණාය. දිනේෂ්ව වඩාගෙන නිවස තුළට ගිය තමාලි ඈගේ බෑගයෙන් ගත් කුඩා සෙල්ලම් කාරයක් හා චොකලට් පෙත්තක් ඔහු අතට පත් කළා ය. ඉන් යම් තරමකට මෙල්ලවූ ඔහු තරමක කුලෑටිකමකින් යුතුව සෙල්ලම් කාරය අතට ගත්තේය.

“පොඩි මාමා ළඟදී ආවේ නැත්ද?”

“නෑ මේ සුමානේ එයි.”

“මම හිතාගෙන හිටියේ හෙටම රත්නපුරේ ගිහිල්ලා ඉන්දිරාවයි කෝලිතවයි බලලා එන්න කියලා. එත් මම පස්සේ කල්පනා කළා පොඩි මාමා එනකම් ඉදලාම එයත් එක්ක රත්නපුරේ යන්නය කියලා. එහෙම නේද හොඳ?”

“උඹ රත්නපුරේ යන්න ඕනේ නෑ.”

“ඇයි සුදු නැන්දා බයද මම ජයවීරත් එක්ක ආයෙමත් පැටලෙයි කියලා?”

“උඹලා පවුල් කනවා දකින්න මම විතරක් නෙමේ පොඩි මාමත් කැමතියි. එදා අපි හැදුවේ උඹලාව ආපහු එකතුකරන්න තමයි.”

“ආයෙමත් එයත් එක්ක පවුල් කන්න මම කොහොමටවත් කැමති නෑ. මට ජයවීරට වඩා වටින්නේ මගේ දරුවෝ. ළමයි ගැන හිතන්න තමයි මම රට ගිහිල්ලා දුක් වින්දේ.”

“සල්ලි වලින් උඹලාගේ දරුවන්ගේ ජීවිතවලට වුණු විනාසේ වහන්න බෑ තමාලි.”

“එයාගෙන් අයින් වෙච්චි එක විනාසයක් වෙන්නේ කොහොමද?”

තමාලි නිවසට එනවිට ඇදන් ආ ඇඳුම මාරු කරගැනීමට කාමරයට ගියේ සුදු නැන්දාගෙන් ප්‍රශ්න කරමින්ය. සුදු නැන්දා සුවිශාල උභතෝකෝටිකයකට මැදිව සිටියේ තමාලිට පසුගිය දේවල් කියන්නේ කෙලසකදැයි සිතමින්ය. ඇඳුම් උනා වෙනකින් සැරසීගෙන කාමරයෙන් පිටව ආ තමාලිට පාසල් නිමවි නිවසට ආ කෝලිත හමුවිය. කෝලිතටත් අම්මා දැක ඇස් අදහාගැනීමට නොහැකිවූ ලෙසින් මඳ වේලාවක් ඈ දෙස බලා සිටියේය. ජයවීර විසින් රත්නපුරයට කැඳවාගෙන ගොස් ඇතියි සිතු කෝලිත හල්දුම්මුල්ල නිවසේදී  දැකීම ඈට විශ්වාස කල නොහැකි සිදුවීමක්ම විය.

“මේ කෝලිතත් ඉන්නේ.” 

තමාලි ඔහුව බදාගෙන දෙකපුල් සිපගනිමින් කීවාය. සුදු නැන්දාට කිසිවක් කීව නොහැකිව මුව ගොළුව ගොස් තිබුණි.

“කෝ අක්කා? අක්කාත් ආවද? එයා තාම නැත්තේ පන්ති ගිහිල්ලාද?”

කෝලිත අම්මාගේ පැනයට පිළිතුරු දීගත නොහැකිව සුදු නැන්දා දෙස බැලීය. 

“මට කිව්වේ ජයවීර ළමයින්ව රත්නපුරේ අරන් ගියා කියලානේ. මොකද එයාට කරගන්න බැරිව ආයෙමත් මෙහෙට ගෙනල්ලා දැම්මාද?”

තවදුරටත් තමාලිට සඟවා තබා ගැන්මෙන්  සිදුවන්නේ අවැඩක්මැයි සිතු සුදු නැන්දා ඇයට ඇත්ත විස්තර කියන්නට තීරණය කළේය.

“තමාලි අපිට පහුගිය ටිකේ පොඩි පොඩි ප්‍රශ්නය වගයක් සිද්ධවුනා.”

“ඇයි? මොකක්ද?”

“මේ විස්තර ඔයාට දන්නලා එවන්න විදිහක් තිබුනේ නෑ.”

සුදු නැන්දාගේ කතාවෙන් තමාලි තරමක කලබලයකට පත්වූවාය. 

“ඇයි ජයවීර එහෙම ආයෙමත් කරදර කරන්න ආවවද්ද?”

“නෑ එහෙම එකක් නෙවි.”

“එහෙනම් මොකක්ද? තෙපර බබා ඉන්නේ නැතිව මොකදවුනේ කියන්න.”

ඇය නොරිස්සුමෙන් කීවා ය. එහෙත් තම කතාව හදිසියේ කියන්නට තරම් හදිසියක් සුදු නැන්දාට නොතිබුනි. පුළුවන් තරම් කල් අරන් හිමිහිට යළිත් කතාව පටන් ගත්තා ය. 

“ජයවීර නැතිවුනා.”

“මොකක්? ජයවීර?........   මොනා වෙලාද? එකත් එකටම බීලා වැඩිවෙලා වෙන්නැති.”

තමාලි තැකීමක් නොගෙනම කීවාය. ඈට ඔහුගේ වියෝයය පිළිබඳව හඳතුළ කිසිඳු ශෝකයක් හට ගත්තේ නැත. 

“එහෙනම් ඒ කරදරෙත් ඉවරයි.”

“අපුරුයි උඹ ඔහොම කියන හැටි. ඒ උඹේ කසාඳ මිනිහා නේද?”

“සුදු නැන්දා දන්නේ නෑ එයා දුන්න දුක් කන්දරාව. එයා මට කරපු අපහාස. මම හොර මිනිස්සු එක්ක බුදියලා දරුවෝ හදාගත්තා කිව්වා.”

“මේ තමාලි ඕවා මේ දරුවෝ ඉස්සරා කියන දේවල්ද?”

“නෑ මම මේ කිව්වේ ජයවීර ආයෙමත් ළමයි ඉල්ලලා කරදර කරන එක ඉවරයි කියලා. ඒකයි මේ කෝලිතයි ඉන්දිරායි මෙහේ ඉන්නේ. කෝ තාම ඉන්දිරා ආවේ නෑනේද? අද පන්ති ගියාද?”

සුදු නැන්දා යළිත් ගොළුවත රකින්නට මෙන් නිහඬව තමාලි දෙස බලා සිටියා ය. ඇගේ බැල්මේ රැඳි ගුප්තාර්ථය දැක ගත් තමාලිට ඉවෙන් මෙන් යමක් තේරුම් ගියා ය.

“සුදු නැන්දේ ඔයාලා මට නොකියා හංගන දෙයක් මෙතන තියෙනවා. අවුරුදු දෙකහාමාරක් අරාබියේ දුක් විදලා විදලා මෙහෙට ආවම ඔයාලත් මට මේ මොනවාද හංගන්නේ. කියන දෙයක් මෙතන හංගන්නේ නැතිව කියන්න.”

“ඉන්දිරා .......  ඉන්දිරා මීට මාස කිහිපයකට උඩදී කොල්ලෙක් එක්ක පැනලා ගියා.”

තාමාලිට සුදු නැන්දාගේ වඳන් පෙළ සිහිනයකින් ඇසෙන්නාක් සේ දැනුණි. කඨෝර වැලිකතරේ දුක්විදිමින් සිට පොදිබැඳ ගෙන ආ සියලු ප්‍රාර්ථනාවන් සුන්නද්දූලි වී යනවාක් මෙන් දැනුණි. ඈට චිත්තාවේගයන්  හා කෝපයන් පාලනය කර ගැන්මට හැකිවූයේ නැත.

“මොකක් ? කොහේදීද ? මෙහේ ඉන්නැන්ද්දීද?”

“නෑ, රත්නපුරේ ජයවීර ළඟ ඉන්නැද්දී.”

“අනේ මගේ කෙල්ල. මුන්ට මොනවා තේරෙනවාද?  දැන් කෝ ඉන්දිරා? ගෙදර එක්ක ගෙන ආවද?”

“නෑ.”

“ඇයි එන්න බෑ කියනවාද?”

“ඉන්දිරා මුණගැහුනේ නෑ තමාලි.”

 “නැත්නම් ඉන්න තැනක්වත් හොයා ගත්තාද?”

“තාම නෑ.”

තමාලි පිස්සියක් මෙන් වියරුවෙන් සුදු නැන්දා වෙත කඩාපැන්නේ ඉන්දිරා තවම ඉන්නා තැනක් සොයාගත නොහැකිවූ බව ඇසීමෙනි. 

“තාම නෑ? මොකක්ද මේ ඔයාලා කරලා තියෙන්නේ? මෙච්චර දවසක් යනකම් අඩුම තරමේ ඉන්න දිහාවක් ගැනවත් සෝදිසි කරලා බැලුවේ නැතිද? අයියෝ මගේ කෙල්ල. රස්තියාදුකාරයෙක්ට අහුවෙලා අමාරුවේ වැටිලාද දන්නේ නෑ.”

“උඹ හිතන්නේ එහෙමද? මමයි පොඩි මාමායි මෙච්චර දවසක් කළේ එයාව විතරක් නෙමෙයි උඹ ගැනත් හොයපු එකම තමයි.”

“එහෙනම් හොයාගන්න බැරිවුනේ?”

“උන් දෙන්නා ඉන්නවායි කියන දිහාවල් වලට පොඩි මාමා ගිහිල්ලා බැලුවා. ඒත් ඒ දිහාවල් වලට උන් ඇවිල්ලා නෑ. අපි පොලීසියට පවා දැන්නලා තියෙන්නේ. හැමදාම දිගටම නිවාඩු දාගෙන ඒ ළමයාව හොයන්න යන්න පොඩි මාමාට බෑනේ. ”

“එතකොට ජයවීර මැරෙන්න ඉස්සරද කෙල්ල ගියේ? ඒ මිනිහාවත් දරුවා ගැන හෙව්වේ බැලුවේ නැද්ද?”

“ඒ මිනිහාට ඒකේ වගක් නෑ. ඌ බී ගත්තු ගමන්මයි හිටියේ.”

“පැනලා ගියයි කියන කොල්ලා කොහේ එකෙක්ද? කාගේ කවුද කියලා දන්නවාද?”

“ඒ කොල්ලා හපුතලේම එකෙක්. හාල්අටුතැන්නේ ඉන්න මගේ යාළුවෙකුගේ පුතෙක්.”

“ඔය යස අගේට එළිවෙන්නේ. මගේ කෙල්ලට මඟුල් කපුකම කෙරුවේ සුදු නැන්දාද? මම ඔයාලගේ කීම අහන්නේ නැතිව ජයවීරත් එක්ක ගිය පළිය ගත්තේ මගේ කෙල්ලගෙන්ද සුදු නැන්දේ?”

තමාලි කෝපයෙන් සාලයේ එහාමෙහා යෑම නවතා පුටුවක හිඳගෙන හඬන්නටවූවා ය.

“උඹට පිස්සුද තමාලි, අපි උඹට එහෙම කරනවාද? මේ කෙල්ල ආමරාවතිගේ පුතත් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒකට ජයවීර ඉන්දිරාට මොනවා කිව්වාද දන්නේ නෑ. නැත්නම් මේ කෙල්ලට පැනලා යන්න තරම් හේතුවක් තිබුනේ නෑ.”

ඈට තම පපුවෙන් නැඟ ආ දරුකැක්කුමත් කෝපය හා ආවේගයත් පාලනය කරගත නොහැකිවූවාය. යළිත් පුටුවෙන් නැඟිට වියරුවෙන් මෙන් සුදු නැන්දා වෙතට ඇවිද ගියාය.

“අර මූසල කාලකන්ණියාට දරුවෝ දුන්නේ ඇයි? මේ ඔක්කෝටම වග කියන්න ඕනේ ඔයාලා දෙන්නායි. මට මගේ දරුවා හොයලා දෙන්න ඕනේ. නැත්නම් උඹලාට බලාගන්න වෙන්නේ මගේ මිනිය තමයි.”

තමාලිගේ වියරු ස්වරූපය දුටු සුදු නැන්දාද බියවූවා ය. ඈද නිරුත්තරවී ගොසිණි. ඉන්දිරා කොල්ලෙකු හා පැනයාමේ සියලු වරදකාරිත්වය සුදු නැන්දාට පවරමින් කෑ ගසන තමාලිගේ වියරු හැසිරීම දෙස කෝලිත පාෂාණිභූතව බලා සිටින්නට විය.

“මම මෙච්චර දුක්විද විද නැහිලා නැහිලා ලංකාවට ආවේ මෙව්වා දකින්නටද? මීට වඩා හොඳයි ඉරාක්කාරයන්ගෙන් මැරුම් කෑවානම්.”

තමාලිට පුරා අවුරුදු දෙකහාමාරකටත් ආසන්න කාලයක් විදි දුක් කන්දරාවන්, වියෝ වේදනාවන් එකවර පැන නැංවී ඉන් දැවෙන්නාක් මෙන් වීය. ඈට විලාපනගමින් හඬන්නට ඇවසි විය. දෑතින්ම මුහුණ වසාගෙන හයියෙන් හඬමින් සිටි තමාලිගේ කෙහෙරැලි අතරින් සනීපදායි ස්පර්ෂයක් ගමන් කරන්නට විණි. ඈ හිස ඔසවා බැලීය. තමන් අසළ සිටගෙන සිටි සුදු නැන්දා තමාලිව තම හින පෙදෙසට ඇගේ හිස හේත්තු කරගත්තා ය. ඇගේ හින දෙපසින් දෑත් යවා තදින් බදාගත් තමාලි දෑස් පියාගෙන ඉකි ගසන්නට විය.

“උඹ අපිට දොස් කියන්න එපා. මමයි පොඩි මාමායි කොච්චරවත් උත්සාහ කළේ දරුවෝ දෙන්නාව අපි ළඟ තියා ගන්න. ඒත් එකට නීතියෙන් ඉඩක් නෑ. උඹ දන්නවානේ අම්මාට වාගේම තාත්තාටත් දරුවන්ගේ අයිතිය තියෙනවා කියලා. දැන් මේවාට කළබල වෙලා අඬලා දොඬලා වැඩක් නෑ. පොඩි මාමාට ආරංචියක් ඇවිල්ලා තියෙනවා කොළඔ ඉන්නවා කියලා. ඉස්සල්ලා උන් දෙන්නාව හොයාගෙන බලමු මොකක් ද කරන්න වෙන්නේ කියලා.”

“එහෙම කොහේවත් ඉන්න එකෙකුට දෙන්න මම දරුවෝ හදලා නෑ.” 

“ඒත් තමාලි දැන් ඒ දරුවෝ බැඳලා නම්? අපිට කරන්න දෙයක් නෑ. අනික රැයක් ගෙදරින් පිට හිටිය කෙල්ලක් ගැන කියන්න දෙයක් ඉතිරිවෙලා නෑ.”  

“වේලක් නොකා කහට ඩිංගක් බීලා ලංකාවේ හිටියානම් මගේ දරුවන්ට මෙහෙම වෙන්නේ නෑ.”

ඇය යළිත් විලාප තියන්නවූවාය. ඇඟිලි දෙකක් කටේ රුවාගෙන හඬමින් විලාප තියන නොදන්නා ගැහැණිය දෙස විසල් කරගත් දෙනෙතින් යුතුව දිනේෂ් සුදු නැන්දා අසළටවී බලා සිටින්නට විය. කෝලිතද අම්මාගේ හැඬුම දෙස බලා සිටියේ සසලවූ සිතිණි. අම්මා නිවසට ආ සතුට ඉන්දිරාගේ පැනයාමේ සිද්ධිය විසින් යටපත් කර දැමීම ගැන කෝලිත පසුවූයේ කනස්සල්ලකිනි. ඔහු අක්කාට වෛරකරන්නට මෙය තවත් එක් සිදුවීමක් විය. එහෙත් සුදු නැන්දා  පමණක් විජිත ගැන දන්නා රහසක් තමාලිට හෙලිනොකරන්නට ප්‍රවේසම්වුණා ය. 

පොඩි මාමා සති අන්තයේ නිවාඩුවට නිවසට පැමිණෙන විට තමාලිගේ ආගමනය දුරකථනය මඟින් දැනගෙන තිබුණි. ඒවන විටත් ඔහු ඉන්දිරා සිටිනා ඉසව්වක් ගැන තොරතුරක් දැනගෙන එම ස්ථානය පිළිබඳව තොරතුරු තහවුරු කරගෙන සිටියේය.

“තමාලි මම හොයාගත්තා ඉන්දිරා ඉන්න දිහාව.”

“කොහේද?”

“මිනිහා කිරිබත්ගොඩ පැත්තේ ලර්නරස් එකක වැඩලු.”

“එතකොට ඉන්දිරා? ”

“ඉන්දිරාත් ඇත්තේ ඒ කිට්ටුව තමයි. කෝකටත් අපි හෙටානිද්දාම කිරිබත්ගොඩ පැත්තේ සෝදිසි කරලා බලමු.”

“තව කල් යව යව ඉන්නේ මොකටද? අපි හෙටම ගිහිල්ලා බලමු.”

තමාලිගේ නොයිවසිල්ල වැඩිවූවායින් පසුදාම කිරිබත්ගොඩ කැදවාගෙන යන්නට පොඩි මාමාට සිදුවිය. කිරිබත්ගොඩ හන්දියේ තිබූ රියදුරු පුහුණු පාසල් කිහිපයකට ගොඩවැදී අසා දැනගත් පරිදි විජිත එක් රියදුරු පාසලක පුහුණු කරන්නෙකු වශයෙන් සේවය කරන බව දැනගන්නට ලැබිණ. විජිතගේ නවාතැන කොහේදැයි සොයාබලා එහි යන්නට තමාලිත් පොඩි මාමාත් සැරසුණි. 



නිවසේ අයිතිකාර ගෙහිමියාගේ කැඳවීමකින් පිරුනු කුස දරාගෙන අපහසුවෙන් ඇනෙක්සියේ දොරකඩට ආ ඉන්දිරා එකවරම ගල්ගැසුණේ අම්මා හා පොඩි මාමා දැකීමෙනි. ලිහිල් ඇඳුමකින් සැරසී අපහසුවෙන් දොරකඩට ආ ඉන්දිරා දුටුමනින්ම තමාලිගේ සිත තුළවූ කෝපය නිවිගියා ය. දෑස් තුළ රජයමින් තිබූ කෝපගින්න දුක් ගින්නකට පරිවර්ථනයවී තමාලිගේ දෑසින් කඳුළු වැගිරෙන්නට විණි. අම්මාට හා පොඩි මාමාට මුහුණ දීගත නොහැකිව බිම බලාගත් ඉන්දිරා උළුවස්සට හේත්තුව ඉකිබිදින්නට පටන්ගත්තා ය. තමාලිගේ බොඳවූ දෑසින් මීට වසර දෙකහමාරකට පෙර දුටුව ඉන්දිරාට වඩා වෙනස් කෙනෙකු දුටුවා ය. පිරුනු කුසත් කිරෙන් පිරි බරවෙමින් තිබූ ළැමත් ඇයට තවදුරටත් ළමිස්සියකගේ පෙනුම ගෙනාවේ නැත. වාවාගත නොහැකිවූ දරුස්නෙහයෙන් ඉදිරියට ආ තමාලි ඉන්දිරාව වැළඳගෙන කොපුල් තදින් සිපගන්නටවූයේ තදින් හඬාවැලපෙමිණි. ඉන්දිරාගේ හැඬුමද අම්මා සමඟින් එක්වුණි.

“ඇයි දුවේ මම එනකම් ඉන්න බැරිවුනේ? ඇයි රත්තරනේ මට මෙහෙම කෙරුවේ?”

ඇය හඬමින් අසන්නටවූවාය. 

“මට සමාවෙන්න. මට සමාවෙන්න අම්මේ.”

දෙකට නැමුනු ඉන්දිරා තමාලිට වඳින්නට උත්සාහ කළා ය. නමුත් ඉදිරියට නෙරා ආ පිරුනු උදරය ඇයට බාදා කළේය. යුහුසුලුව ඇගේ දෙවුරෙන් එසවූ තමාලි කඳුලින් පෙඟුනු මුහුණ ලේන්සුවෙන් පිසදැමුවා ය.

“මේ කාලෙට බඩ තදවෙන්න නැවෙන්න එහෙම නරකයි.”

ඇගේ පිරුනු කුස පෙදෙස පිරිමදිමින් හඬන්නටවූවා ය. නිවැසියන් කිහිපදෙනෙකුද ඉන්දිරා හා තමාලිගේ හඬාවැටීම දෙස බලා ඉන්නටවූවායින් පොඩි මාමාද ඉන් අපහසුතාවයකට පත්වුණි.

“මේ මෙතන මිනිස්සුත් බලාගෙන ඉන්නවා ඇතුලට ගිහිල්ලා කතා කළොත් හොඳයි නේද?”

අම්මාටත් පොඩිමාමාටත් ඇතුළට එනු පිණිස ඉන්දිරා දොරකඩින් මෑත්විය. ඇතුලට පිවිසි තමාලිගේ දෑසට සියල්ලක්ම අසුකරගන්නට මෙන් එහි අහුමුලු දෙස පවා විමසිලිමත් බැල්මක් හෙළීය. කුඩා කාමර කෑල්ලක් බදු සාලයේ වූයේ ප්ලාස්ටික් පුටුවක් හා ස්ටුලයක් ඇරෙන්නට වෙන කිසිඳු දෙයක් එහි නොවීය. එම කාමරෙයන් අඬකට වඩා අඩු කුඩා කුස්සි කෑල්ලක් එයටම යාබදව තිබුණි. කුඩා භූමිතෙල් ළිපක් හා අලුමිනියම් හට්ටි දෙක තුනක් එහි බිම තබා තිබෙන අයුරු එයට හිස පෙවූ තමාලිගේ නෙතට අසුවිය. දෑතින්ම දෙකපුල් දිගේ බේරුනු කඳුළු වැල් පිසදාගත් ඉන්දිරා බරවී තිබූ නාසයෙන් කතා කරන්නට විය. 

“ඉන්න මම තේ ටිකක් වත් කරන්නම්.”

“ඕනේ නෑ දුවේ. දැන් තේ බොන්න බෑ.”

තමාලි ඉන්දිරාව වැළැක්වූවා ය. තිබෙන එකම පුටුව අතින් පිසලූ ඈ එය පොඩි මාමා අසලින් තිබ්බේ ඔහුට වාඩි ගනු පිණිසය. එහෙත් ඔහු එහි වාඩි නොගෙන හිටගෙන සිටි බැවින් තමාලිද සිටගෙන ඉන්දිරා හා කතා කරන්නට විය. අසන්නට කොතරම් ප්‍රශ්න තිබුනත් ඒවා එකවිටම ඉන්දිරාගෙන් නොඇසිය යුතුනොවේදැයි තමාලි සිතන්නට විය. නිහැඬියාව බිඳ හෙලමින් තමාලි කතා කරන්නට විය.

“විජිත එක්ක කෙළින්ම මේ ගෙදරටද ආවේ?”

“නෑ. අපි ටික දවසක් එයාගේ යාළුවෙක්ගේ ගෙදර නතරවෙලා හිටියා.”

 “විජිත එනකොට රෑ වෙනවාද?”

“හය හයාමාර විතර වෙනවා. ඒත් පෙළක්දාට වේලාසනින් ගෙදර එන දවසුත් තියෙනවා.”

“මම පොඞ්ඩක් එළියට ගිහිල්ලා එන්නම්.”

කී පොඩි මාමා අම්මලා දූලාට නිදහසේ කතා බස් කරගනු පිණිස නිවසින් එළියට බැස ගියේය. ඉන්දිරාගේ කිරෙන් බරවෙමින් තිබෙන ළැමත් පිරුනු කුසත් දෙස බැලූ තමාලි “දැන් මාස කීයක් වෙනවාද?” ඇසීය.

“හතක් වෙනවා ලබන සතියට.”

“ක්ලිනික් එකට එහෙම රෙජිස්ටර් වුණාද?”

“ඔව්. මේ ළඟ තියෙනවා ආණ්ඩුවේ ක්ලිනික් එකක්.”

“මේ ගෙදර පොඩි එකෙක් තියා ගන්න පුළුවනිද? ඔයාලා ඒහෙට ආවොත් හොඳයි නේද?”

“පුළුවන් විදිහට ඉන්නවා. අනික විජිත කැමති නෑ එහෙට ආයෙමත් යන්න. පුළු පුළුවන් විදිහට බඩු මුට්ටු ටිකක් ගන්නයි ඉන්නේ.”

“මම ඇඳක් අරන් දෙන්නම් දරුවෙක් එක්ක බිම බුදියන්න බෑනේ.”

ඉන්දිරා කිසිවක් නොකියා බිම බලාගත්තා ය. ඊයම් බරු සේ හදවතේ කිඳා බැස යන අම්මාගේ ඒ කියමන ඇසීමෙන් ඇගේ සිතට විශාල දුකක් හට ගත්තා ය.

“ඔයා දුක් විදින්නේ නෑ නේද?”

“නෑ අම්මේ. අපි සංතෝසෙන් ඉන්නවා. ඇයි එහෙම ඇහැව්වේ?”

“ඔයාගේ ඇඟ පොඞ්ඩක් ඇදිලා ගිහින් හින්දා.”

“පහුගිය ටිකේ කන්න බොන්න බැරිව අප්පිරියාවුනා ඒක වෙන්න ඇති.”

“කන්න බොන්න නැති වුනත් ඔයාලා හොඳින් සංතෝසෙන් ඉන්නවා නම් මට ඇති.”

තමාලිගේ පපුවේ හිරවුනු යමක් එළියට එන්නට නොහැකිවූ ආකාරයෙන් රිදුම් දෙන්නට විය. ඇය අපහසුවෙන් යටි තොල විකා ගත්තා ය.

“ඇයි දුවේ මේවාගේ ඉක්මන් තීරණගත්තේ? ඔයා තාම ඉන්නේ ඉගෙන ගන්න වයසේ. අඩු ගානේ ඔයා මටවත් ලියලා එවන්න තිබුනා සම්බන්ධයක් තියෙනවා කියලා. ඇයි දෙයියනේ මෙහෙම මෝඩ වැඩ කරගත්තේ?”

තමාලිගේ දෑසේ වියලුනු කඳුළු වැල් යළි අලුත් විය. ඈ බිඳුනු හඬින් කතා කළා ය. 

“විජිත ඔයාව කසාද බැන්දාද?”

ඉන්දිරා යාන්තමින් හිස සෙලෙව්වා ය. ඒ විගසමවාගේ පොඩි මාමා ගෙට ගොඩවූයේ බඩුමලු දෙකක් ද රැගෙනය. ඔහු ඒවා ස්ටුලය උඩින් හිමිහිට තැබීය.

“මේවා අපටද? මෙච්චර ගොඩක්? ගෙනාපු බඩුත් තියෙනවා.”

“වැඩිවුනාට කමක් නෑ, නරක් වෙන දේවල් නොවෙයි.”

ඔහු ස්ටුලය අසළින් අහකට වෙන ගමන් කීවේය. ඉන්දිරා යළිත් නිහඬ විය. ඇගේ දෙනෙත් ස්ටුලය මතවූ බඩුමලු දෙසට එල්ලවී තිබූ නමුත් සිත වෙන ඈතකට ඇඳි ගොස් තිබුණි.

“අම්මා කවදාද ලංකාවට ආවේ?”

එකවරම නිහැඬියාව බිඳ දමමින් යමක් මතක්වූ කලෙක මෙන් ඉන්දිරා ඇසුවා ය.

“දැන් දවස් හතරක් විතර වෙනවා.”

“දන්නේ කොහොමද මම මෙහේ ඉන්නේ කියලා?”

“ඇයි දරුවෝ ඉන්න දිහාවක් අපිට දන්නලා එවන්න බැරිද? අපි ඔයාලට කරදරයක් කරනවාද? බලන්න අපි කොච්චර බය වුනාද, කොච්චර මහන්සිගත්තාද ඔයාලව හොයන්න?” 

පොඩි මාමා නෝක්කාඩුවක ස්වරූපයෙන් කීය. ඉන්දිරා යළිත් නිහඬවෙමින් බිම බලාගත්තා ය. ඇගේ සිත තුළ අම්මාටත් පොඩි මාමාටත් කියාගත නොහැකි බොහෝ දේ සැඟවී සුරැකී තිබුණි. සියල්ල සඟවාගත් යටි සිත මොරගාන්නටවූයේ ඒ කුණු ගද ගහන ජරා අතීතයේ තම ජීවිතයේ වූ හැලැප්පීම් සියල්ල වමාරන්නට මේ කාලය නොවන බවය. එබැවින් ඈ නිහඬවූවා ය. කාමරය තුළ යළිත් නිහැඬියාව රජයන්නට ඉඩ නොදුන් පොඩි මාමා “අපි දැන් යමුද තමාලි?” යැයි ඇසීය. 

“පොඩි මල්ලි සුදු නැන්දාත් එක්ක ඇති නේද? අම්මා පුළුවන් නම් ලොකු මල්ලිවත් හල්දුම්මුල්ලට ගෙන්න ගන්න. එයා තාත්තා එක්ක හිටියොත් හොඳටම නරක්වෙයි. දැනටමත් අපි කියන දේවල් අහන්නේ නෑ.”

“නෑ දුවේ කෝලිතත් ඉන්නේ සුදු නැන්දා එක්ක තමයි.”

“ඇයි තාත්තා මල්ලිව ආයෙමත් ගෙදර ගෙනල්ලා දුන්නාද?”

“ඔයා දන්නේ නැතිව ඇති තාත්තා නැතිවුනා කියලා.”

“තාත්තා නැතිවුනා?”

ඇයට තම දෙසවන් තුළට ගලා ආ වදන් පෙළ අදහාගන්නට මඳ වේලාවක් ගතවූණි. 

“තාත්තා අරක්කු බීලාම සිරෝසීස් කියන ලෙඬේ හැදිලා තියෙනවා. ඔයා ගෙදරින් ගියාට මාස දෙකකට විතර පස්සේ ඔය සිරෝසීස් ලෙඬේ වැඩිවෙලා ලේ වමනේ දාන්න පටන් අරන්. පස්සේ එයාව රත්නපුර ඉස්පිරිතාලේට ඇඞ්මිඞ් කරලා. එහිදි තමයි නැතිවෙලා තියෙන්නේ.”

“අම්මා කොහොමද දන්නේ? අම්මාට මෙහෙන් දන්වලා එව්වාද?”

“නෑ. මමත් දන්නේ ලංකාවට ආවට පස්සේ. ”

“තාත්තා නැතිවුනේ මං හින්දාද මන්දා”

ඇය තම දෑසට උණා ආ කඳුළු නිදහසේ ගලායන්නට ඉඩ හැරියා ය.

“අඬන්න දෙයක් නෑ දුවේ එයාගේ බීමත්කම නිසා එයාටයි අපිටයි මේ වෙන්න තියෙන ඔක්කෝම විනාස වුනේ.”

තමාලි ඉන්දිරාගේ අස්වසාලීය. තවදුරටත් ජයවීර සිහිපත් කරමින් කතාබස් කිරීම පිළිබඳව නොසතුටට පත්වූ පොඩි මාමා එම මාතෘකාව වෙනස් කරනු වස් තමාලි ඇමතීය. 

“තමාලි දුවේ දැන් පිටත්වුනොත් ගොඩාක් රෑ වෙන්න කලියෙන් ගෙදරට යාගන්න පුළුවන් වෙයි.”

ඉන්දිරා අසළට ගිය තමාලි තම හැන්ඞ් බෑගයෙන් ගත් මුදල් නොට්ටු කිහිපයක් අතමිට මොලවාලීය.

“ඔයාට මොකක් හරි ඕනේ නම් මට දන්වන්න. නැත්තනම් පොඩි මාමාගේ කත්තෝරුවේ නොම්බරේට පොස්ට් ඔෆිස් එකෙන් කතා කරලා කියන්න. ඔයා ගාව තියෙනවා නේද කන්තෝරුවේ නොම්බරේ?”

ඇගේ හිස ආදරයෙන් අත ගෑ ඈ කීවාය. ඉන්දිරා කඳුළු පිරි දෙනෙතින් යුතුව බලාගෙන හිස සෙලෙව්වා ය. 

“අපි යන්නම් දුවේ විජිත එනකොට රෑ වෙයිනේ.”

ඉන්දිරා අපහසුවෙන් වුවත් දෙකට නැමි අම්මාට වැන්ඳා ය.

 “තුනුරුවන්ගේ පිහිටයි.”

තමාලි ඇගේ දෙකපුල් සිපගනිමින් කීවාය. අම්මාගෙන් මිදුනු ඈ පොඩි මාමාටත් වැන්දේ ඔහුගේ විරෝධය මැදය. නිවසින් එළියට බට තමාලි ඉන්දිරා දෙස බැලීය. ඈ ඒවන විටත් කොන්දට අත තබාගෙන උළුවස්සට හේත්තුවීගෙන සිටියා ය. අම්මා පිටු පසින් ඇවිද එන්නට අඩිය තැබූ ඈට “ඔයා ගෙදරට යන්න.”

කී තමාලි පොඩි මාමා සමඟින් පටුමග ඔස්සේ පියමං කරන්නට විය. ඔවුන් වංගුවෙන් හැරී නොපෙනි යනතෙක් බලා සිටි ඈට ඇතිවූයේ විශාල දුකක් හා පාළුවකි. ඈ අපහසුවෙන් ඇවිදගොස්  ගෙතුළට වැදිණ. අතේ ගුලිවී තිබූ සල්ලි කොළ දෙසවත් නොබැලූ ඈ ඒවා තම ඇඳුම් බෑගය තුලට දමා වසා දැම්මා ය. පාළුව හා කාංසිය විසින් පෙළනු ලැබූ ඉන්දිරා පොඩි මාමා ගෙනෙවිත් තිබුනු බඩු මල්ල දිගැහැර බැලීය. කෑමට අවශ්‍ය කරන වියලි ආහාර, කිරිපිටි මෙන්ම ඇපල්, දොඩම් හා චිස් පෙට්ටියක්ද එම මල්ලේ විය. මෙම බඩු ගැන්මට පොඩි මාමාට රුපියල් දාහකට ආසන්න මුදලක් වැයවෙන්න ඇති යැයි ඉන්දිරා අනුමාන කළා ය. විජිතට තමන් සිටිනා තත්වය දැන දිය යුතු පෝෂ්‍යදායි ආහාර සපයාලීමට තරම් වත් කමක් නොමැතිවීම ගැන ඇය දුක්වූවා ය. විජිත හා එක්ව ගෙවන ජිවිතයක් ගැන සිහින මැවූ ඉන්දිරාට සත්‍ය තත්වය වැටහුනේ ඔහු හා එක්ව නිවසින් පිටමංව ආ පසුවය. ඔහු සතුව වෑන් රථයක් නොමැති බවත් එම රථය ඔහුගේ ඥාතියෙකුට අයත් බවත් දැනගත්තේ ඉන් අනතුරුවය. විජිත මෙතෙක් කලක් ඥාතියාගේ වෑන් රථයේ රියදුරුකම විතරක් කළ බවත් පැන ආ දිනයේදීම කීවේය. යළිත් එම රථයේ රියදුරුකමට යන බව කීවත් ඔහු යළි කිසිඳු දිනෙක එහි නොගියේය. ඉන්දිරා විසින් ඒ පිළිබඳ විමසිමේදී පරස්පර විරෝධි කාරණාවන් පවසන්නට වූවායින් ඒ ගැන යළිඳු අසන්නට ඇය බියවූවා ය. හාල්අටුතැන්නේ විජිතගේ නිවසට යන්නටද අදිමදි කළේ විවිධ හේතු ගෙන හැර දක්වමිනි. විජිත සමඟින් හෝටල් කාමරයක දවස ගතකර එළියට එද්දී තාත්තාට අසුවීමත් හා තමා ගැබ්බර වී සිටින බව එදිනම හෙළිවීමත් තම නිවසින් පැන එන්නට කාරණාව ඉක්මන් විය. එහෙත් මේවනතෙක් විජිත තමාව විවාහකර ගන්නට උත්සාහ නොකරන්නේ ඇයිදැයි ඉන්දිරාට නොතේරුණු විශාල ප්‍රෙහෙලිකාවක් තිබුණි. තැනින් තැනට මාරුවී ගෙන ගොස් අවසානයේදී විජිත දන්නා අඳුනන කෙනෙකු මාර්ගයෙන් කිරිබත්ගොඩ රියදුරු පුහුණු පාසලක ලද රැකියාවෙන් ලැබුනේද සොච්චම් පඩියකි. ඉන් නිවසේ කුලිය සඳහා වෙන්කල පසුව කෑමට වියදම් කිරීමට පවා හරිහමන් මුදලක් ඉතිරිවූයේ නැත. කොළඹ රටේ දිවි ගෙවන්නට කොතරම් මුදල් සම්බාරයක් වියදම් කරන්නට වෙයි දැයි ඉන්දිරාට සිතාගත නොහැකිවුණි. විජිත එනතෙක් කරන්නට කිසිවක් නොමැති වූවායින් ඉන්දිරාට ඒ කාමර කෑල්ලේ ජීවිතය ඕලාකාරිවී තිබුණි. භූමිතෙල් ළිප දල්වා තේ කහට ටිකක් රත් කරගත් පසු හොර්ලික්ස් බෝතලේ අඩියේ බැදුනු සීනි ස්වල්පය හැන්දෙන් හූරා අල්ලට දා ගත්තා ය. කුස්සියේවූ ලෑලී බංකුවට වී සීනි ඇට කිහිපයක් හපමින් තේ කහට රසබලමින් හුන් ඉන්දිරාට පොඩි මාමා ගෙනවිත් දුන් බඩු මල්ලේ වූ සිනි කිලෝව මතක් වුණි. බංකුවෙන් නැගිට ගොස් එය රැගෙන ඒමට නොහැකි තරම් මුළු සිරුරම කුසීත කමකින් වෙලී ඇතැයි ඈට දැනුණි. තේ කහට බොන අතරතුරේදී තාත්තාගේ වියෝය යළිත් සිතට නැඟ ආවේය. තාත්තා අකාළයේ මියගියේ තමන් විජිත හා පැන ගිය හිතේ වේදනාවට අරක්කු බීමෙන් දැයි ඉන්දිරා සිතන්නට වුණි. එහෙත් අම්මා සමඟින් රත්නපුරේ ගෙදර වාසය කරද්දීද තාත්තා නොසෑහෙන්න අරක්කු බිව් වග යළිත් ඈට සිහිපත් වීය. තාත්තාගේ මිය යෑම ගැන වරදකාරිත්වයක් හෝ ශෝකයක් ඉන්දිරාට නොදැනුනේ ඔහුගෙන් ලැබු අනේකවිද පීඩාවන්ට ඈ මැදිවූ බැවිනි. එයත් තවත් අයෙකුගේ මරණයක් ලෙසින් සලකා සිතෙන් අමතක කරවාලන්නට උත්සාහ කළා ය. විජිත නිවසට ගොඩවූයේ මේ අතරවාරයේදීය. 

“ඇයි මේ තේ බොන්නේ? රෑට කන්නේ නැද්ද?”

“පස්සේ කනවා. දැන්ම කන්න පිරියක් නෑ.” 

“කන්න බැරිනම් බොරුවට හදන්න එපා. අපරාදේ වීසිකරන්න වෙනවා නේ.”

“දන්නවාද වැඩක් අද අම්මලා මෙහෙට ආවානේ.”

“අම්මා මෙහේ ආවා? අම්මා ලංකාවට ඇවිල්ලා එහෙනම්. සුදු නැන්දාද එක්කගෙන ආවේ? ”

“පොඩි මාමා එක්කයි ආවේ. අම්මා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ගිය සුමානේලු.”

“එහෙනම් මං ගැන සෝදිසි කරපු පොර තමයි පොඩි මාමා.”

“ඒ කියන්නේ?”

“අපේ සුමනේ අයියාගෙන් අහලා තියෙනවා මං ගැන, එයා තමයි මට කිව්වේ කවුද වයසක පොරක් විජිත කියලා හපුතලේ පැත්තේ කෙනෙක් මෙහේ වැඩකරනවාද කියලා ඇහැව්වා කියලා.”

“පොඩි මාමා මාව හොයලා තියෙනවා හරියට.”

“අම්මා මොකද කිව්වේ? බැන්නාද?”  

“නෑ අම්මා ඇඬුවා හොඳටම. ඇයි මෙච්චර ඉක්මන්වුනේ කියලා ඇහැව්වා. තව ටිකක් ඉගෙන ගන්න තිබුනා නේද කියලත් ඇහැව්වා.”

“ඉතිං ඔයා මෙනවාද කිව්වේ? තව ඉවසගෙන ඉන්න බැරිවුණා කියන්න නේද තිබුනේ.”

“මේ පිස්සු කතා කියන්න එපා. වෙන්න තියන දේ වුණාම ඔයත් එක්ක යනවා මිසක් බඩක් උස්සන් ඉස්කෝලේ යතෑකිද?”

ඉන්දිරා නොමනාපයෙන් මෙන් විජිතට කීවාය. 

“මම බලහත්කාරකමක් කරලා නෑ හරිද?”

“හරි හරි මම කැමැත්තෙන් නේ ආවේ.”

“අම්මා රට බඩු මොකවත් අරන් ඇවිල්ලා තිබුනේ නැද්ද?”

“නෑ. කුවේට් වල යුද්දෙට අහුවෙලා අමාරුවෙන් පන බේරාගන ආපු එකත් මදැයි. ඒක නෙමෙයි පොඩි මාමා බඩු වගයක් එහෙම අරගෙන ඇවිල්ලා තිබුණා.” 

“කෝ බලන්න.”

ඇය පෙන්වූ බඩු මලු දෙක විවර කර බැලූ විජිත එහිවූ චීස් පෙට්ටිය විවරකර චීස් කැබැල්ලක්  හපන්නට විය. දරුකුසකුත් දරාගෙන සිටිනා මේ අවස්ථාවේදි තම පුරුෂයාගෙන් ලැබිය යුතු පෝෂ්‍යදායි ආහාර නොලැබ තම මවගේ මාමාගෙන් ලැබූ චීස් පෙට්ටියද රසකර කමින් සිටිනා විජිතව දුටු ඉන්දිරාට ඇතිවූයේ කළකිරීම මුසු වේදනාවකි.

“මේ මාසේ ගෙවාගන්නේ කොහොමද කියලා හිත හිතා හිටියේ, හොඳ වේලාවට මේ ස්විප් එක ඇදුණා.”

කියමින් තවත් චීස් කැබැල්ලක් කඩාගෙන කෑ විජිතව දුටු ඉන්දිරාගේ නෙතට කඳුළු බිඳු ඒකරාශිවුනි. අල්ලේ ඉතිරිවූ සීනි කැට කිහිපය කටට හලාගත් ඈ චීත්තයේ කොනකින් අත පිසලාගෙන බංකුවෙන් නැගී සිටියා ය. 

“අම්මාලා ආපු එක ඔයාට පෙන්නේ ස්විප් එකක් ඇදුනා කියලාද? අනික ඔය ටික දැන්ම කාලා දැම්මාම ඉතුරු මාස භාගේට තියාගන්නේ මොනවාද?” 

පිටි අල්ලෙන් පිටට පනින්නට වෙරදරණ කඳුළු පිසදාගත් ඈ ඇසීය.

“ඔන්න ඉන්දිරා බබාට ඩෝං ගියා. කන බොන දෙයක් කාලා බීලා ජොලියේ ඉන්න ඕනේ පස්සේ වෙන දේවල් පස්සේ බලමු. හරිද?”

ඇගේ නිතඹට තට්ටුවක් දැමූ විජිත කුස්සිය පැත්තට ගියේ ඇද සිටි ටීෂර්ටය ගලවා දමමිණි. 

“දැන් දිනත් ළංවෙන්න තියෙන්නේ. ඉස්පිරිතාලෙට යන්න ඕනේ කරන බෙඞ් ජැකට්, චීත්ත එහෙම ලෑස්ති කරගෙන ඉන්න කිව්වා. බබාට ඕනේ කරන බඩු මුට්ටු ටිකක් එහෙම අරගන්නත් ඕනේ.”

“තව දවස් තියෙනවානේ.”

“එහෙම බලං ඉන්න බෑ. හදිසියේ අමාරුවුනොත් කියලා බඩු ලෑස්ති කරගෙන ඉන්න කියලා මිඞ්වයිෆ් නෝනා කිව්වා.”

“අම්මාගෙන් හරි පොඩි මාමා ගෙන් කීයක් හරි අතමාරුවක් ඉල්ල ගමු දැන් නම් මාගාව සල්ලි නෑ.”

ඔහු එය එතරම් තැකීමකට ලක් නොකර කී අයුරු දැක ඉන්දිරා කෝපයෙන් හීල්ලුනි. දෙමව්පියන්ට දුක් ගින්දර දී නිවසින් පැන ආ මදිවාට තව මුදල් ඉල්ලමින් කරදර කරන්නට පුළුවන්දැයි ඈට සිතුණි. පියෙකු වන්නට සිටින විජිතගෙන් කුසයේ සිටින දරුවාට කිසිදු සෙනෙහසක් දක්වන පාටක් තිබුනේද නැත. අපහසුවෙන් ඉන්නා ඉන්දිරාගෙන් තම කායික අවශ්‍යතා පිරිමසාගන්නට තරමට ඔහු කෲර විය. විටෙක ඈට ඔහුව පිළිකුල් වීමට තරම් විජිතගේ දැඬි ලිංගික අවශ්‍යතා බලවත්වුණි. රාගම රෝහලේදී ඉන්දිරා වැදූ බිළිඳු දියණියට මල්ෂා යනුවෙන් පොඩි මාමා නම තැබීය. ඉන්දිරා හා විජිත වෙසෙනා කුඩා කාමර කෑල්ලේ බිළිඳියත් සමඟින් වෙසෙන්නට ඉඩකඩ මදි හෙයින් තමාලි ඇඞ්වාන්ස් ගෙවා වැඩි ඉඩකඩක් ඇති ඇනෙක්සියක් කුලියටගෙන දුන්නා ය. 


* * * * *


“ගෙදර කවුද?”

නිවසේ මිදුල දෙසින් ආගන්තුක ගැහැණු කටහඬක් ඇසුනායින් ඉන්දිරා පැදුරේ හෙවා කිරි දෙමින් සිටි කුඩා මල්ෂා ගෙන් තම තන පුඬුව ඉවතට ගෙන බ්‍රෙෂියරයේ රඳවා ගත්තා ය. අඬ නින්දේ පසුවූ  මල්ෂාව අනෙක් පසට පෙරලා කොට්ට කිහිපයක් මල්ෂා වටා තැබූ ඈ ඇඳ සිටි චීත්තය තදකර ගැට ගසමින් දොර දෙසට ඇවිද ආවා ය. 


මෙවර ඉන්දිරා  හමුවට ආවේ කවුද? මතුසම්බන්ධයි........

Friday, November 20, 2020

පළිගු කිරිල්ලී - විසි එක්වන කොටස

 


                       රෑනට පිටව යන ළමුන්ට යන්නට ඉඩ හැර වෙන්ව පාරට ආ ඈ සුපුරුදු බස් නැවතුම දෙසට ඇවිද ආවේ විජිතගේ රුව දැකිනා බලාපොරොත්තුවෙනි. ඈත තියාම බස් නැවතුම දෙසට තම නෙතු යොමුකරවාගෙන ආ බැවින් ඔහු එහි සිටිනා බව දැක ගත්තා ය. විජිතගේ කඩවසම් රූපකාය දුටු විගසින් තම හදවත කොනක ඇතිවූ සියුම් මිහිරක් මුළු සියොලඟම කිතිකවාගෙන යනු දැනිණ. ඉන්දිරා එන පෙරමඟ දෙස බලමින් සිටි විජිතට ඇගේ රුව පාරේ ඈතින් දර්ශනය වෙද්දී මුවට නැඟුනු සිනහාවකින් ආලෝකමත් විය. විජිතගේ දැසට තම දෑස යාවූ විගසින් තිගැස්සුනු ඈ බිමට නැඹුරු කරගත් හිස යළි එසෙව්වේ බස් නැවතුමත් පසුකළ පසුවය. 

“කොහේද මේ නොදැක්කා වාගේ යන්නේ.”

පිටු පසින් පැමිණි ඔහු ඇසීය.    

“මෙතන කතා කරන්න පුළුවනිද? ඒකයි මම බස් හොල්ට් එක පහුකරගෙන ගියේ.”

“අයියෝ මම හිතුවේ ඔයා මාත් එක්ක තරහා වෙලා කියලා.”

“මං මොකටද තරහා ගන්නේ?”

විජිතගේ සිතට වැඩි ජවයක් ලබාදීමට ඉන්දිරාගේ වදන් සමත්විනි.

“මෙතන කතා කරන්න බැරිනම් අපි කොහේට හරි ගිහිල්ලා මොනවා හරි බොන ගමන් කතා කරමු.”

“බෑ අයියේ , දන්නවානේ මට තියෙන ප්‍රශ්න අනික පරක්කුවෙන්නේ නැතිව ගෙදර යන්න ඕනේ. අපි යනින් ගමන් කතා කරමු.”

“ඔව් ඒකත් හොඳයි.”

ඉන්දිරාත් විජිතත් අතර නිහැඬියාවක් හටගත් නිසාවෙන් ඔවුන් මුනිවත රකිමින් ඉදිරියට පියවර නැඟුහ. ඉන්දිරා කතා නොකරන්නේ ඈගේ වූ කුලෑටිකම නිසා බව අවබෝද කරගත් විජිත නිහැඬියාව බිඳ හෙලමින් කතා කරන්නට විණි. 

“මම හිතුවේ අද එන්නේ නැතිව ඇති කියලා.”

“නෑ ටිකක් විතර පරක්කුවුනා. තව ළමයෙක් ගෙන් ටියුට් එකක් ඉල්ල ගන්න ගියා.”

ඉන්දිරා විජිත හමුවන බලාපොරොත්තුවෙන් ප්‍රමාදවූ බවක් නොකීවා ය.

“කෝ සුදු නැන්දාට ලිව්වේ නැද්ද?”

“ලිව්වා.”

“අනිත් ලියුම බැලුවාද?”

විජිතට අගල් කිහිපයක් පසු පසින් සෙමින් ආ ඉන්දිරාගේ දෙකපුල් ලැජ්ජාවෙන් රතුවෙනවා ඈ දෙස හැරී බැලූ ඔහුගේ නෙතට අසුවිය. බිම බලාගත් ඈ නිහඬව ඔහු පසුපසින් ඇවිද එන්නට විය. 

“මගේ ලියුම බැලුවාද?”

“බැලුවා.” 

“ඉතිං උත්තරයක් ලිව්වාද?”

“අනේ මන්දා අයියේ. මට ඔව්වා තේරෙන්නේ නෑ. මම තාම ඉගෙන ගන්න ළමයෙක්.”

“ඒක මම දන්නවා. එත් ඉගෙනිමට අපේ ආදරය බාධාවක් වෙන්න දෙන්නේ නැතිව කරමු.”

“අයියා දන්නවානේ අපේ ගෙවල්වල ප්‍රශ්න. පස්සෙන් පහු සුදු නැන්දාගෙන් බැනුම් අහන්නත් සිද්ද වෙයිද මන්දා.”

“ඔයා බය නැතිව ඉන්න. කෝ සුදු නැන්දාට ලිව්ව ලියුම ගෙනාවද?”

“ඔව්, මෙන්න.”

ඇය තම බෑගයේ කුඩා සාක්කුවක් හැර ඉන් එළියට ගත් ලියුම් කවරයක් ඔහු අතට පත් කළාය.

“මගේ ලියුමට උත්තරේ කෝ?”

“ඒකත් එතනම ඇති.”

“හරි ෂොක් තව ටිකෙන් ලියුම සුදු නැන්දා අතට ගිහිල්ලා දෙනවා.”

බිමට නැඹුරු කරගත් ඇයගේ වත පුරා සිහින් සිනා රැල්ලකින් ඒකාලෝක වනවා ඔහු දුටුවේය. විජිත තම ගමනේ වේගය අඬාල කරමින් ඉන්දිරා අසළට ළංවීය. විජිතගේ දකුණු පැත්තේ ගමන් කළ ඉන්දිරාගේ වම් බාහුව ඔහුගේ සිරුරේ යන්තමින් ස්පර්ෂ විණි. 

“කෝ අයියාගේ වෑන් එක ?”

“ඒක මෙතනට අරන්න එන්න බෑනේ. මම අර පැත්තේ පාක් කළා.”

“අයියා දැන් යන්න. මට දිගටම ඔයත් එක්ක කතා කර කර යන්න බෑනේ.”

“ඔයා ඔතන ඉන්න. මම ටක්ගාලා වෑන් එක අරන් ඇවිත් ගේ ගාවින් බස්සන්නම්.”

“අපෝ එකනම් කරන්න එපා. මේ කතා කරන ටිකත් නැති කරගන්නයි වෙන්නේ.”

“එහෙනම් නංගි පරිස්සමින් යන්න.”

ඔහු යාන්තමින් ඇගේ සිනිඳු අත්ලෙන් අල්ලාගනිමින් පැවසුවේය. සිරුර පුරා දිව ගිය විදුලි සැරයක්වන් නුහුරු හැඟීම් සමුදායක් ඉන්දිරාගේ ගත පුරා දිවගියේ සියලු සංවේදයන් කුල්මත් කරවමිනි. ඉන්දිරා හිස සෙලවා නොකැමැත්තෙන්වූවත් ඉදිරියට ඇඳුණා ය. ආපසු හැරුනු විජිත උඩු සාක්කුවේ බහාලූ ලියුම් කවරය එළියට ගෙන ඒ දෙස බලා යළිත් සාක්කුවට දමාගත්තේය. වෑන් රථයට ගොඩවූ වහාම ඇගේ ලිපි කවරය කඩා දමා සුදු නැන්දාට ලියූ ලිපියත් ඉන්දිරාගේ ලිපියත් වෙන්කරගත්තේ නොවසිල්ලෙනි. 



බීමතින් නිවසට ආ ජයවීර මේසයේ බෙදා තිබූ කෑම පිඟාන හැර බැලීය. 

“ඉන්දිරා මේවාද ඉව්වේ? මේවා කන්න පුළුවනිද?”

තාත්තාගේ ගෝරණාඩුවෙන් තිගැස්සීගිය ඕ නිහඬව බලා සිටියා ය. කෑම පිඟාන වසා දැමූ ඔහු ඉන්දිරාට බැන වදින්නට පටන්ගති.

“දැන් කෑමක්වත් හරියට හදන්නේ නෑ. පන්ති යනවා කියලා යනවා කොහේ දීපංකරේ යනවද දන්නේ නෑ. උඹට මීට පස්සේ හරියට කෑම ටිකවත් හදන්න බැරි නම් ඔය ඉගෙනිල්ලත් නවත්තලා දාන්න ඕනේ.”

තාත්තාගේ බැන වැදිම් ඉන්දිරා ඉවසා සිටියේ තම කෝපය මුසු ආවේගයන් ස්වයං පාලනයකට නතුකරවාලමින්ය.

“ගෑනුන්ට මොන ඉගෙන ගැනිලිද. ගෙදර fදාරේ වැඩ පලක් කරන්න ඉගෙන ගන්නවා මිසෙක. උඹත් මේ සැරේ විභාගෙන් පස්සේ ගෙදර නතර වෙන්න ඕනේ.”

 එහෙත් තම සීමා පවුරු බිදගෙන එන කෝපය නතරකරවා ගන්නට ඇයට මෙවර නොහැකිවුණි. 

 “තාත්තේ කන්න බොන්න හදන්න මේ ගෙදර උයන්න තියෙන්නේ මොනවාද? තියෙන දේ තමයි මම මේ පුළුවන් හැටියට හැදුවේ.”

“උඹ මාත් එක්ක කට කියවගෙන එන්න හදන්න එපා.”

 “මොනවාද අපිට මෙහේ දුන්නේ? කන්නත් නෑ නිදාගන්නත් නෑ මේවා ගෙවල්ද? අම්මා දන්නවා නම් අපි මෙහේ විඳින දුක. අපිට අපේ පාඩුවේ එහේ ඉන්න නොදී මෙහේ ගෙනාවා.”

“පර බැල්ලී තෝ අම්මාවාගේ රැස්පට් මටත් දාන්න ආවාද? ඒවට එන්න එපා. උඹ දන්නේ නෑ මේ ජයවීර කවුද කියලා.” 

ඔහු හිඳගෙන සිටි කෑම මේසයේ පුටුව පසෙකට තල්ලුකරවමින් නැගිටින්නට තැනුවේය. එහෙත් බමන මතින් සිටි ඔහුට එකවර වාරුගෙන සිටගැනීමට නොහැකිව විසිව ගොස් යළිත් එම පුටුවේම හින්දුණි. වැද්දුම් ඇණ බුරුල්ව ගිය අබලන් කබල් පුටුව කිරි කිරි හඬකින් තම අඳෝනාව පිටකරවාලමින් ඔහුගේ බර දරාගත්තේය. 

“තොට දෙනවා පට්ට බැල්ලී කන පුපුරන්න.” 

යළිත් වාරු ගෙන සිටගත් ඔහු ඇයගේ කම්මුල හරහා අතුල් පහරක් ගැසීය. කිස්ගාමින් ඇදී ආ අතුල් පහරේ සැර අගේ හිස මුදුනෙන් පිටකරවාලන්නට වූයේ ඉන්දිරාගේ කෝපය තවත් තීව්‍රර කරමිණි. 

“තව එක පාරක් හරි අත ඉස්සුවොත් තාත්තා කියලා බලන්නේ නෑ මම යනවා පොලීසි.”

“හහ් පොලීසි. පලයන් පොලීසි ගිහිල්ලා කරයි මට.”

“ඔව් මම යනවා තමයි, ගිහිල්ලා කරපු කියපු ඔක්කෝම කියනවා.”

ඉන්දිරාගේ ගිනි සැර විහිදුවන වඳන් පෙළත් දවාහළුකරවනා සුළු දෑසත් දෙසත් බැලූ ජයවීර තිගැස්සී ගියේය. තම කෝපය පිට කරවාලන්නට මෙන් පුටු කබලට පයින් ඇන්නායින් එය විසීව ගොස් බිම ඇද වැටුනේ වටයක් ද කැරකීගෙනය. දෙපයට වාරුගත් ඔහු නිවසින් පිටව ගියේ දොරද මහඬින් වසා දමමිණි. මෙතෙක් සිඳුවූයේ කුමක් දැයි සිතාගත නොහැකිවූ කෝලිත ඉන්දිරා දෙස විසල් කරගත් නෙතෙන් බලා සිටින්නට විය. කෝපාග්නියෙන් ඇවිළුණු සිතෙන් හටගත් කඳුළු කැට වරුසාවක් දෙකම්මුල් තෙමාලමින් ඇදවැටෙද්දී ඇය තම කෝපය පාලනය කරගන්නට උත්සාහ කළා ය. තාත්තාගේ බත් පත මේසය මත එලෙසම තිබෙන්නට හැර කාමරයේ මුල්ලක තිබූ පැදුරක් බිමට එලා ගත් ඕ නිදාගන්නට සැරසුණි. 

තාත්තාගේ තාඩන පීඩන වලට ලක්වෙමින් ගෙවන දුක්ඛිත දිවියට යම් තරමකට හෝ අස්වැසිල්ලක් ලබාදීමට විජිතගේ ආදරය සමත්වෙතැයි ඈට සිතුණි. තාත්තාගේ බේබදුකමත් සල්ලාලකමත් නිසා ඉන්දිරාට රත්නපුරේ ගෙදර විසීම පවා නීරස වෙමින් පැවතුන අවදියක විජිතව මුණ ගැසීම ඉඩෝරයට හසුව කේඩෑරි ගැසුණ පැළයකට ලැබූ දියපොදක් සේ නැවුම් අශ්වාදයන් පණ නල ගසා අවදිවීමක් විය. 


ඊළඟ අඟහරුවාදා දිනයේදී විජිත සුපුරුදු බස්නැවතුම අසලට වී සිටියේ ඉන්දිරා පැමිණෙන තුරුය. ඔහු එතැයි බලාපොරොත්තුවූ ඉන්දිරාද පන්තියේ ළමුන් පිටව යනතෙක් මඳක් රැඳී සිට ගොළුබෙලි ගමනින් බස් නැවතුම දෙසට ඇවිද ආවා ය. ඇයගේ නෙතු දක්නට ආශා කළ එම රුව බස් නැවතුමට මඳක් එහාට වෙන්නට සිටිනවා දුටුවා ය. 

“ඇයි පරක්කුවුනේ? අදත් ටියුට් එකක් ඉල්ල ගන්න නැවතුනාද?”

“නෑ, විජිත අයියා ඇවිල්ලා ඇති කියලා හිතුන නිසා.”

“ඇයි, මම එනවාට අකමැතිද? ඒකද මඟ අරින්න හදන්නේ?”

සෙමෙන් සෙමෙන් ඇවිද ගිය ගමන එකවර නතර කර ඉන්දිරා දෙසට හැරුනු විජිත ඇසුවේය. 

“නෑ අයියෝ, මම පන්තියේ ළමයි එක්ක ආවොත් කොහොමද කතා කරන්නේ? අනික ළමයි ඔක්කෝම දැන ගනියිනේ.”

ඇගෙන් ලද ප්‍රතිපිළිතුරක් සමඟින් විජිතට ලැජ්ජාවක් සිත තුළ හට ගත්තේ තමන් ඉන්දිරාගෙන් අසනා ලද්දේ මෝඩ පැනයක් බව අවබෝධවීමෙන්ය. ඇය තමන්ටත් වඩා කල්පනාකාරිව සිතාබලා කටයුතු කර ඇතැයි පසක්විය. 

“ළමයි යනකම් ටිකක් පරක්කුවෙලා ආවේ ඒකයි.”

“ඔව් ඒක හොඳයි.”

“ඔයා සුදු නැන්දාට ලියුම දුන්නාද?”

“ඔව්. එදාම දුන්නා. ඇයි?”

“නෑ සුදු නැන්දා ඇහැව්වේ නැද්ද එයාගේ ලියුමට උත්තර මෙච්චර ඉක්මනට හැරෙන තැපැලෙන් ආවේ කොහොමද කියලා?” 

ඉන්දිරා කට කොනකට සිනාවක් නගා ගනිමින් ඇසුවා ය.

“අපොයි බය වෙන්න එපා මම කියලානේ තියෙන්නේ ඔයාව මම නිතරම දකිනවා කියලා. අනික මට සුදු නැන්දා කියලා තියෙන්නේ ඔයා ගැන පොඞ්ඩක් සොයලා බලලා සෝදිසියෙන් ඉන්නය කියලා.”

“අපෝ හරි මිනිහෙක්ටනේ වැඬේ බාර දීලා තියෙන්නේ.”

“ඇයි මම නරක මිනිහෙක් ද?”

“අන්න ඒක තමයි වැඬේ. මම දන්නේ කොහොමද ඔයා හොඳ ද නරකද කියලා.”

“එහෙමනම් නරක මිනිස්සු එක්ක කතා කරන්න එපා.”

ඔහු බොරු නොමනාපයක් පෙන්වා ඇය තනිකර ඉදිරියට ඇවිද යන්නට විය. පසුපසින් දිව ආ ඉන්දිරා ඔහුගේ බාහුවෙන් අල්ලා නතර කළා ය.

“අනේ අයියේ මම ඔයාට තරහා යන්න දෙයක් කිව්වේ නෑනේ.”

ඇය සිහින් හඬින් පැවසීය. ඔහු කඳුලින් බරවුනු ඇගේ දෑස් දෙස බැලීය. 

 “මේ මෙතන නම් අඬන්න හදන්න එපා. මිනිස්සුත් බල බලා යනවා.”

බරව ගිය නාසය අත්ලේ ගුලිවුනු ලේන්සුපොඩියෙන් පිසදාගත් පසු ඇය කලබලෙන් මෙන් වට පිට බැලුවා ය. 

“ඉතිං ඔයානේ මාව අඬවන්න හදන්නේ. අනේ මෙතනිං ඉක්මනට යන්නත් ඕනේ.”

“අදවත් මට ඔයා එක්ක ටිකක් කතා කරන්නවත් බැරිද?”

“අපි වෙනින් දවසක කතා කරමු.”

“ඔයාට බැරිද එක දවසක් පන්ති නොගිහින් එන්න?”

“අනේ පන්ති නොගිහින් කොහොමද?”

“එහෙනම් ඔයා ගෙදර යන්න.”

ඔහු තරමක නොරිස්සුමක් සහිතව කිවේය. ඇයට ඔහුගේ ක්ෂණික වෙනස තේරුණ තමුත් එය වටහා ගැන්මට අපොසත් විය. විජිත ආපහු හැරී තම වෑන් රථය නවතා තිබෙන ඉසව්ව වෙත ගමන් කළේ ඉක්මන් ගමනෙනි. වෙනදා මෙන් පරිස්සමින් යන්න යැයි දයාබරිතව පවසන ඔහු එකපාරටම කේන්තියක් ගෙන පිටව යන අයුරු දෑසට උනා ආ කඳුළු අතරින් ඈ බලා සිටියා ය. නිවසට එනතෙක් තම වේඳනාව සිතේ තද කරන් ආ ඉන්දිරා දුක පිටව යන්නට හඬා වැලපෙන්නට විය. එදින නිවසේ වැඩ පලක්වත් හරි හැටි කරන්න හිත් නොදුන් නිසා නොකා නොබීම ඈ නින්දට වැටුනා ය.

“මොකෝ බං? ඇයි මේ අසනීපයක්වත්ද?”

“නෑ. ඇයි?”

පසුදින පාසලේදී ඉන්දිරා දුටු චමිලා ඇසුවා ය. ඉන්දිරා සිතේවූ දුක හංගාගෙන වියලුනු සිනහවක් පෑවා ය. 

“උඹ මොකද ඇදිලා ගිහින්? ඇයි ඊයේ ඇඬුවාද?”

“නෑ..”

“ආ ඊයේ අඟහරුවාදා නේ, ඇත්ත කියපං මොකද කොල්ලා එක්ක තරහා වුණාද?”

“අනේ මන්දා මෙහෙම දුක් විදින්නද මේ ආදරය කරනවා කියන්නේ?”

“ඇයි මොකදවුනේ?”

“එකපාරටම තරහා වෙලා ගියා.”

“එහෙම තරහා වෙන්න මොකක් හරි හේතුවක් ඇතිනේ.”

“එයා එක්ක පොඞ්ඩක් කතා කරන්න එන්න බැරිද ඇහැව්වා. ඒත් දන්නවානේ මට මේ ටියුෂන් පන්ති වලටත් යනවාට තාත්තා කැමති නැති විත්තිය.”

“ඉතිං.”

“මම කිව්වා පරක්කුවෙන්න බෑ කියලා. ඊට පස්සේ පන්ති නොගිහින් දවසක් හම්බවෙමුද කියලා ඇහැව්වා.”

“ආ ඕකටද තරහා වුනේ. මම දන්නවා ෂුවර් එකටම උඹ බෑ කියන්න ඇති.”

“ඔව්.”

“එකනේ මොඩියේ විජිත තරහා වෙලා ගියේ. උඹ ඔය හදන්නේ කොල්ලාව නැති කරගන්නයි.”

“ඉතිං මට එහෙම යන්න බෑනේ.” 

“අපිත් ඉදලා හිටලා පන්තියක් කට් කරලා ෆිල්ම් එකක් බලන්න එහෙම යනවා.”

“ඒ ගැන මට කියලා නෑනේ.”

“පිස්සුද බං එහෙම කියන්න යනවාද? අනික ගෙවල් වලට හොරෙන් කරන වැඩක්නේ.”

“උඹ මට කියන්නේ පන්ති කට් කරලා එයත් එක්ක යන්න කියලාද?”

“හැමදාම නෙමෙයිනේ.”

“හරි බලමු.”

“බලන්න වෙන්නේ ආපහු කොල්ලාව යාළු කරගන්න තමයි.”

ඒ ගැන මතක්කළායින් ඉන්දිරාගේ දෑසට යළිත් කඳුළු පිරුණි.

“ඔන්න දැන් ආයෙත් අඬන්න හදනවා. පිස්සු නැතිව හිටපං. ඔන්න බලපං ලබන සුමානේ මිනිහා වෙනදා ඉන්න බස් හෝල්ට් එකේ ඉදියි.”

“මම හිතන් නෑ විජිත ආයෙත් ඒවිය කියලා.”

“දැන් ඔය කඳුළු පිහිදාගෙන හිටපං දැන් පන්ති පටන්ගන්නත් වෙලාව හරි.”

දින ගණනාවක්ම යන තෙක් ඉන්දිරා සිටියේ සිත් තැවුලෙනි. එමනිසා ඇය පන්තියේ ඉගෙනුම් වැඩවලට පවා කිසිඳු රුචියක් දැක්වූයේ නැත. ඇය ඔහුගේ රුව සෑම දිනෙකම දකින්න ලැබෙයි සිතමින් කල්ගෙවීය.

චමිලාගේ අනාවැකිය නිවැරදි කරමින් ඊළඟ අඟහරුවාදා දිනයේදී සුසන්ත සර්ගේ පන්තිය අවසන්ව නිවසට යන ඉන්දිරාට විජිතව මුණ ගැසුණි. විජිත දුටු වහාම තැන නොතැන නොබැලූ ඉන්දිරා ඔහු ළඟට දිව ගියා ය. දින කිහිපයකින් නොකැපූ රැවුල නිසා විජිතගේ මුහුණට ගෙන දුන්නේ සෝබරිත පෙනුමකි. ඔහුගේ නෙත් දෙක දිහා බලාසිටීමට පවා ඉන්දිරාට අපහසු විය. ඇය විශාල වැරද්දක් කළ එකියෙක සේ දෑසට කඳුළු පුරවා ගත්තා ය. 

“මේ මෙතන අඬන්න නම් එපා.”

විජිත තරමක රළු හඬකින් පැවසීය.

“ඇයි අයියේ මට මෙහෙම රිද්දන්නේ?”

“මම කරපු දෙයක් නෑ.”

“නෑ ඔයා හරිම නපුරුයි.”

“මම කරපු නපුරු කමක් නෑ. මමත් ආසයි මම ආදරය කරන කෙල්ලගේ අතින් අල්ලගෙන කතා කරන්න. නිස්කලංක තැනකට වෙලා ඉන්න. ඇයි ඔයාට බැරි මම කියන තැනකට එන්න. මේ පාරවල් ගානේ බයෙන් ගැහී ගැහී කතා කරන්න පුළුවනිද?”

“මම ඔයා කියන ඕනේම තැනකට යන්න එන්නම්.”

“අන්න ඒ විදිහට එන්න.”

විජිතගේ වත පුරා ඇඳීගියේ නැවුම් සිනහවකි. ඉන්දිරා ආයාසයෙන් යටපත් කර ගත් නෙතු අඟ පොරකමින් තිබූ කඳුළු ලේන්සුවෙන් පිසදාගෙන ඔහුදෙස බැලීය.

“දැන් යමු.”

“මේ දැන්?”

“නෑ මෝඩි මෙතන ඉන්නද  කල්පනාව, ගෙදර යමු.”

මෙතක් වේලා හේබාගොස් තිබූ ඇගේ වතකමල සිනහාවකින් අලංකාරවී ගියේය. 

“කවද ද ආයෙත් පන්ති තියෙන්නේ?”

“අනේ අයියේ ගණන් පන්ති නම් කට් කරන්න බෑ. සෙනසුරාදාට තියෙන්නේ විද්‍යාව පන්තිය.”

“හරි එහෙනම් මම වෑන් එක තියාගෙන ඉන්නවා ගෙවල් ළඟ වංගුවේ කොට්ටම්බා ගහ ගාව.”

ඇය බිම බලාගෙන හිස සැලුවා ය.


සෙනසුරාදා දිනය ළංවෙත්ම ඉන්දිරාගේ සිතේ නොසන්සුන්තාවය වැඩිවන්නට විණි. විටෙක ඔහු සමඟින් තනිවී කතා බස් කරනු අයුරු සිහින මැව්වාය. තවත් විටෙක ඔහු හා යන ගමන ගැන බියවූවා ය. සෙනසුරාදා දිනය ඉක්මනින්ම ළඟා වීය. එදින වෙනදාටත් වඩා කල්ගෙන හොඳින් හැදපැළද ගත්තීය. බිත්තියේ එල්ලා තිබුණ කුඩා කණ්නාඩිය අතට ගෙන තම හැඳි ඇඳුමේ හැඩ බලන්නට ඈ නිරර්ථක වෑයම යෙදුනි. ඇගේ හැඩවැඩවීම දුටු කෝලිත විකාර යැයි කියමින් සිනාසෙන්නට විය. දෙමොලෙන් පිටි කොටන්නාක් සේ ඉන්දිරාගේ හදවත ගැහෙන්නටවූයේ පොත්පත් ටික රැගෙන නිවසින් එළියට බැස පාරට අවතිර්ණවූ පසුවය. අවට වටාපිටාව දෙස හොරහින් බලමින් වංගුව අසළ කොට්ටම්බා ගහ ආසන්නයට එද්දී වෑන්රථට නවතාගෙන ඈ එන පෙරමඟ බලමින් සිටිනා විජිතගේ රුව දෑසට අසුවිණි. වෑන් රථයට නඟින්දෝ නොනඟින්දෝ යැයි උභතෝකෝටික ප්‍රශ්නයකට ඈ හදවතින් මුහුණ පා එය විසදීමට පෙරළිකරමින් සිටින්නට විය. 

“නඟින්න.”

“ඉක්මනින් නඟින්න ඉන්දිරා කවුරු හරි එන්න කලියෙන්.”

“ඉස්සරහින් නඟින්න බෑ. මම පිටි පස්සෙන් එන්නම්.”

 ඔහු රියදුරු අසුනේ සිටම පසුපසට නැමී පිටුපස පැති දොරහි අඟුල විවර කරවීය. ඈ fදාර වසා අසුනේ හරිබරිගැසීමටත් පෙර ඔහු වෑන් රථයේ එන්ජිම පනගන්වා අහවර විය.  

“අන්න හොඳ ළමයා. දැන් තමයි ඔයාට මොලේ පැදීගෙන එන්නේ.”

“අපි මේ කොහේද යන්නේ? ”

“අපේම තැනක්, අපේම ලොවක් හොයන්න තමයි.”

ඔහු සිනාසෙමින් ගියරයක් මාරු කරවීය. වෑන් රථයේ ඇතුලතින් පිච්ච මල් සුවඳ වහනය වන්නට විය. සුවඳ එන්නේ කොහෙන්දැයි බැලූ ඈට ඩෑෂ් බෝඩය අසළ වූ සුවඳ කැටයක් දක්නට ලැබුණි. 

“ඔයා නම් හිනාවෙයි. මම කොච්චර බයෙන්ද මේ ආවේ. ගෙවල් ළඟ කවුරු හරි දැක්කානම් තාත්තාට කියනවා ෂුවර්.”

ඔහු දෙස සොම්නසින් බැලූ ඉන්දිරා කීවාය.

“හරි දැන් බය වෙන්න දෙයක් නෑ. ඔයා ඉන්නේ මාගාවනේ තාත්තාටවත් දැන් ඔයා මගෙන් අරගන්න බෑ.”

“ගොඩක් දුර යන්න එපා අයියේ පන්ති ඉවර වෙන්න ඉස්සරින් යන්න ඕනේ.”

“හරි ළමයෝ අපි දුර යන්නේ නෑ.”

මඳ දුරක් ධාවනය කල වෑන් රථය චිත්‍රපටි ශාලාවක් ඉදිරියේ නතරකෙරුණි. ඇය චිත්‍රපටි ශාලාව දැක විගසින් කලබලයට පත්විය. 

“අනේ අයියේ ඕකට නම් යන්න බෑ. කවුරු හරි දකියි.”

“ඔන්න ඉතිං පටන්ගත්තා බෑ බෑ කියන්න. කිව්වේ නම් ඕනේම දිහාවකට එන්නම් කියලා දැන් බෑ කියනවා. මොකක්ද මේ වැඬේ.”

ඔහු කෝපයෙන් කලුව ගිය මුහුණ ඇය දෙසට හරවා කීය. 

“ඔන්න ඉතිං තරහා ගත්තා.”

“මේ වේලාවට වැඩිය සෙනග එන්නේ නෑ. අනික පිච්චර් එක දැන් පටන් අරගෙන තියෙන්නේ. කවුරුවත් දකින්නේ නෑ. ඔය පොත්ටික වෑන් එකේ තියලා බහින්න.”

ඔහු ඇයව කැටිව ශාලාව ඇතුලට ගියේ බොක්ස් සීට් ටිකට් දෙකක් ද රැගෙනය. මින් පෙර එකම එක වතාවක් ළමා චිත්‍රපටයක් බලන්න පාසලෙන් ගොස් තිබුනු පසු ඉන්දිරා චිත්‍රපට ශාලාවකට ඇතුල්වන දෙවන අවස්ථාව මෙය විය. ඇතුල්වන විටත් චිත්‍රපටය ප්‍රදර්ශනය වෙමින් පැවතිණ. සේවකයා පෙන්වන ලද බොක්ස් සීට් එකට ඔවුන් ඇතුළුවන විටත් අනෙක් පස අසුනේ සිටි පෙම්වත්තු ප්‍රේම සාගරයක කිමිඳෙමින් සිටියහ. ඉන්දිරාලාගේ ආගමනයෙන් එකට වෙළී වෙනම ලොවක තනිව හුන් ඔවුන් දෙදෙනා යළි මිහිපිටට ගෙන්වාලන්නට සමත්වුණි. ක්ෂණිකයෙන් දෙදෙනා මෑත්වූ අතර කොල්ලා තමන්ගේ අඩවියට පැමිණ ආදරයට බාධාකළවුන් දෙස නොමනාපයෙන් මෙන් බැලීය. ඉන්දිරා හා විජිත තම අසුන් වල වාඩිගත්තේ තිරයේ දිවෙන චිත්‍රපටය දෙස බලමිණ. කලුවරේම ඉන්දිරාගේ සුරත විජිත සෙමෙන් අල්ලා ගත්තේය. සීතලව ගිය සිනිඳු අත්ලක පහස ඔහුට දැනුණි. විජිතගේ අතැඟිලි වලට තම අත පිරිමදින්නට ඉඩ හැර තිරයේ දිවෙන රූපරාමු දෙස බලාගෙන ඉන්නට විය. මඳ වේලාවක් අතැඟිලි හා වෙලී තිබූ අත අතහැර ඇගේ පටුපසින් දමා උරහිස කොනකින් අල්ලාගති. එකවරම නුහුරු හැඟුමකින් ගැස්සීගිය ඈ තම උරය ස්පර්ෂකලේ විජිත බව දැන නිහඬව සිටියාය. උරයෙන් අල්ලා තමාවෙත ළංකරගත් ඔහු ඇගේ කම්මුලක් සෙමෙන් සිපගත්තේය. ඔහු කළ ක්‍රියාවෙන් තම සර්වාංගයේ සංවේදනයන් ආදරණිය හැඟුම් වලින් කළතාලන්නට විය. එහෙත් අනෙක් පස සිටිනා යුවල සිහිව ගිය ඈ ලැජ්ජාවෙන් ඇඹරුණි.

“එපා අයියේ එහා පැත්තේ අය දකිවි.”

ඉන්දිරා සිහින් හඬින් ඔහුගේ කනට පැවසුවා ය.

“දැක්කත් මොකද? දැන් එයාලට අපිව පෙන්නේ නෑ. ඔයා ටිකක් ඒ පැත්ත බලන්නකෝ.” 

විජිතට මුවාව තිබෙන බැවින් අනෙක් පස සිටි ජෝඩුව ඈට නොපෙණුනි. ඇය හොරහින් ඔවුන් දෙස බැලුවාය. ප්‍රේමාලිංගනයෙන් වෙලුනු ඔවුන් දෙදෙනාට ඉන්දිරාලාව ගණනක් නොවීය. 

“මෙන්න මේ පැත්තට හැරෙන්න.”

කෙඳුරුමක් වැනි හඬකින් කියමින් ඉන්දිරාගේ මුහුණ ඔහු වෙත හරවා ගත්තේය. ඇසිල්ලෙන් ඉන්දිරාගේ සිනිඳු දෙතොල් ඔහු තම දෙතොලට මැදිකරගත්තේ එහි රසමදිරා උරා බෙන්නටය. විජිත ඉන්දිරාව ඔහුගේ අණසකට නතුකරගනු ලැබුවේ ඇගේ සිරුරේ සංවේදී තැන් ආක්‍රමණය කරමිණ. අනුරාගී ප්‍රේමාලිංගනයන්ගේ සම්භෝගයෙන් මෙතක් වේලාවක් ඉන්දිරා වෙළාගෙන තිබූ විළිබිය ඈතට පලවා හරිනු ලැබීය. චිත්‍රපටයේ විවේකය සඳහා වන සීනුව හඬවන තෙක් ඔවුන් ආස්වාදනීය ලොවක අතරමංව සිටියහ. ශාලාවේ විදුලි පහන් ක්‍රමක් ක්‍රමයෙන් ආලෝකමත් වෙද්දී ඉන්දිරා ඉක්මනින් තම ඇඳුම් සකසා ගත්තා ය. විදුලි එළියට පෙර සුදානම් වන්නට අනෙක් පසවූ ජෝඩුව ප්‍රමාදවූවා වැඩිය. ශාලාව ඒකාලෝක වෙද්දී ඔවුන් යහුසුලුව තම එහාමෙහාව ගිය සළුපිලි සකස්කර ගනිමින් සිටියහ. ඉක්මනින් ඇඳුම් සකසා ගැනීමට හැකිවීම ගැන ඉන්දිරා සැනසුම් සුසුමක් හෙලීය.

“මේ මම මොනවා හරි බොන්න අරන් එන්නම්. ”

“ඕනේ නෑ.”

“නෑ ඉන්න.”

කී විජිත අසුනින් නැඟිට අපනශාලාව වෙත පිටව ගියේය. ඒවන විටත් අනෙක් පසවූ තරුණයාද තම පෙම්වතිය අසුනේ තනිකර ගොස් තිබුණි. ඉන්දිරා තරුණිය දෙස බලද්දී ඈද ඉන්දිරා දෙස බලා මඳහසක් නැගුවා ය. ටිකෙන් ටික විවේක කාලය ගෙවීයද්දි අනෙක් පස තරුණියද සිටියේ තනිවම බැවින් ඉන්දිරා බිය වූයේ නැත. මඳ වේලාවකින් පොප්සිකල් දෙකක් රැගත් තරුණයාද තම පෙම්වතිය සමඟ එක්විය. චිත්‍රපටය පටන් ගන්නට පළමු සීනුව හැඬවුණි. විජිත අසුනට පැමිණියේ නැත. ශාලාව අඳුරුවෙද්දී ගෙවී යන මොහොතක් මොහොතක් පසා ඈ බියවූවා ය. කර කියාගන්නට කිසිවක් නොමැතිව චිත්‍රපට ශාලාවේ දෙනොදාහක් දෙනා අතර අතරමංවූවාක් මෙන් දැනි දෑස් අඟට කඳුළු එක්කාසුවුණි. එකවරම කොහෙදෝ සිට පාදූර්භූතවූ විජිත කලබලයෙන්මෙන් අසුනේ හිඳගත්තේ අතරැඳි සිසිල් බීම බෝතලය ඇගේ ඔඩොක්කුවේ තබමින්ය.

“කොහේද ඔයා මෙච්චර වෙලා හිටියේ?”

“ඇයි බයවුනාද ඔයාව දාලා ගියා කියලා?”

“මම හරියට බයවූනා.”

“ඔච්චර බයවෙන්න එපා මම කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ.”

ඇගේ සුරතින් අල්ලා ගනිමින් ඔහු කීවේය.

“අර පැත්තේ බෝයිත් ඉක්මනට ආවා. ඇයි ඔයා පරක්කුවුනේ?”

“කැන්ටිමේ සෙනග හිටියා. මම ටිකක් අඩුවෙනකම් ටොයිලට් එකට ගියා.”

විජිතගේ සිරුරෙන් හමා ආ සිගරට් දුගදක් ඇගේ නහයට දැනුණි. 

“ඔයා සිගරට් බිව්වා නේද?”

“නෑ.”

“බොරු කියන්න එපා. ඔයා බිව්වා. තව මට බොරුත් කියනවා.”

ඔහුගේ සුරතට හසුව තිබූ ඇගේ සුරත මුදවාගන්නට තැත්කළා ය. එහෙත් විජිතගේ ග්‍රහණය වැඩිවූවා මිස ඇයට අත මුදවා ගන්නට නොහැකිවුණි.

“දන්නේ කොහොමද?”

“තාත්තා සිගරට් බිව්වාම එයා ගාවත් ඔය ගඳමයි එන්නේ. මම කැමති නෑ සිගරට් බොන අයට.”

ඇය නොමනාපයෙන් මෙන් කීවා ය.

“ඉදලා හිටලා එකක් බොනවා.”

විජිත වරදක් කළ එකෙකු සේ මිමිනීය. 

“මාව මෙතන දාලා ඔයා පරක්කුවුනේ ඔය සිගරට් බොන්න ගිහිල්ලා තමයි.”

ඔහු කිසිත් නොකියා මුනිවත රැකීය. ඇය යළිත් තම අත ඔහුගෙන් මුදාගන්නට උත්සාහ කළා ය. එහෙත් ඔහු ඇගේ අත අතහැරියේ නැත. මඳ වේලාවක් විජිත හා ඉන්දිරා නිහඬව තිරයේ දිවෙන රුපරාමු දෙස බලා සිටියහ.

“ඔය බීම එක බොන්න.”

විජිත නිහැඬියාව බිඳ දමමින් කතා කළේය. තම අත බීම බෝතලයක් රැඳී තිබෙන බව මතක්වූයේ එවිටය. ඇය බීම බෝතලයෙන් උගුරු කිහිපයක් බී විජිතට දිගුකළා ය. 

“ඔයා බොන්න.”

“නෑ මට ඇති අයියේ ඔයා බොන්න.”

අඬ අඳුරේ දිලෙන දෑස් දෙස මඳක් බලා සිටි විජිත බීම බෝතලය ගෙන එක හුස්මට බී අහවර කළේය.

“මම අයියා ගැන වැඩි විස්තරයක්වත් දන්නේ නෑනේ.”

“ඕවා කිය කිය ඉන්න වේලාවක්ද මේ? පස්සේ විස්තර කතා කරන්න පුළුවනි.”

ඇගේ කරට උඩින් අත යවා යළිත් තුරුලට ගත් ඇගේ රස මදිරා සොයායන්නට ඔහුට ඇවසි වීය.  


විජිත ඉන්දිරාගේ රස මදිරා වලින් සෑහීමකට පත්වේද?  මතුසම්බන්ධයි.....



Tuesday, November 17, 2020

පළිගු කිරිල්ලී - විසි වන කොටස



යටිකයෙන් නැගෙන වේදනාවත් සමඟින් උදේ අවදිවූ ඉන්දිරාට සිරුරේ තැලී පොඩිවුණු අත්පා වලින් නැගෙන වේදනාවන්ට වඩා සිත තුළ කැකෑරෙන දුක් වේදනාවන් බලවත් විය. පෙර දින රාත්‍රියේ ගෙවුනු ඒ මූසල හෝරාව ගැන යළිත් සිහිපත්වෙද්දී මුළු සංර්වාංගයම බියෙන් සසළ වන්නට විය. නෙත් බොදකරමින් නැග ආ කඳුළු පටලය තුළින් බිම වැතිර ගොරොද්දේ අදිමින් නිදන තාත්තා ඈ දුටුවා ය. අප්‍රාණික සිරුර අවදිකරවාගෙන අමාරුවෙන් වූවත් ඈ නාන කාමරය වෙත ගමන් කළා ය. යටි බඩ තදකරමින් නැගෙන මුත්‍රා බර හෑල්ලුකරගනීමට නාන කාමරයේ බිම ඇන තබාගත්තේද අමාරුවෙනි. රාත්‍රි ඇඳුමේ සටහන්ව තිබුනු රුධිර සලකුනු ඇගේ නෙතට අසුවිය. ඇඟලා සිටි ගවුම ඉවත් නොකරම වතුරමල යටට වූ ඉන්දිරා ඉන් වෑහෙන ජලයට සිරුර තෙමාලන්නට ඉඩදුණි. මෙතෙක් වේලාවක් තදකරගෙන සිටි තම දුක්ඛදෝමනස්සයන් ඉරිතලා ගිය හද විදාරණය පුපුරවාගෙන පිටාරගලන්නට විය. කිලිටිවීගිය සිරුර පවිත්‍ර කරදෙන මෙන් ඈ දෙවියන්ගෙන් යැද්දා ය. ඇය තම තැලී පොඩිවුනු මල් කෙමියෙන් නැගුනු රුධිර සළකුන රැගත් ගවුම ගලවා අසලවූ බාල්දියකට දැමීය. අඩ හෝරාවකට ආසන්න වේලාවක් සුසුම්ලමින් වතුරමල යට සිටි ඉන්දිරා සීතලෙන් ගැහෙන්නට විය. උඩින් පල්ලෙන් ඇඟ පිසදාගත් ඈ නිරුවත් සිරුර වැහෙන්නට තුවාය පටලාගෙන තෙත කොණ්ඩය පිටින්ම කාමරයට පිවිසියා ය. කාමරය හරහා ඇද ඇති වැලක තිබූ ගවුමක් ගෙන ඇඟලාගත්තේ තවමත් බිම වැතිර නිදනා තාත්තා දෙසවත් නොබලමින්ය. තෙත බේරෙන කොණ්ඩයෙන් ගවුමේ පිට පෙදෙසම තෙත් කරවාලන බව ඈට සිහිපත් නොවීය. නිහඬවම කුස්සියට ගොස් කේතලය ළිප මත තැබුවාය. දර කැබලි හා තැවුරුනු භූමිතෙල් වලට ඇවිලුනු ගිනිදැල් බුර බුරා නැගෙන සේම ඇගේ සිත තුළින්ද දුක, පිළිකුල හා වෛරය මුසු කෝපයක් නැඟ එන්නට විණි. ළිප ළඟ ඇන තියාගෙන සිටින්නට ඉඩ නොදෙන්නට මෙන් යටිකය රිදුම් දෙන්නට පටන්ගති. එහෙත් ඉන් නැඟෙන වේදනාව ඉවසාගෙන ළිපේ ගිනිදලු වලින් ලැබෙන උණුසුම විඳ ගන්නට ඈ තවත් ළිප ළඟට ළංවිය.          


ඉන්දිරාගේ පාසල් ගමනද ටිකෙන් ටික අඩාලවූයේ නිවසේ කටයුතු වලට වැඩි කාලයක් මිඩංගු කිරීමට සිදුවීම හේතුවෙනි. ඇගේ පාසල් ගමනට අකුල් හෙලූ ජයවීරගේ මව කෙල්ලන් පාසල් යැවිය යුතු නැතැයි ජයවීරට නිතරම පවසන්නට විය. අම්මා පිළිබඳ අවලාද ඈනුම්පද නිරන්තරයෙන් ජයවීරගේ මවගේ මුවින් එල්ලවන්නට වීම ඉන්දිරාටත් කෝලිතටත් ආච්චිගේ නිවසට යෑමද අප්‍රසන්න වන්නක් විය. මුලින්ම රාත්‍රි කෑම සකසා ගන්නට පටන්ගැනුමෙන් පසුව ටික දිනකින් දහවල් අහාරයද උයාපිහා ගන්නට ඉන්දිරා සමත්වූවාය. එතැන් පටන් ආච්චිගේ ගෙදර ගොස් කෑම ගැනීම ටිකෙන් ටික අඩුවිනි. තමාලිගේ දරුවන් බලාගැනීම ගැන අකමැත්තෙන් හුන් ජයවීරගේ මව ඉන් සතුටු විය. ගැහැණු ළමයෙකු ගෙදරදොරේ වැඩ ඉගෙන ගත යුතු යැයි පවසමින් ඉන්දිරාගේ ඉවුම්පිහුම් වලට අවශ්‍ය හට්ටි වලං ආදිය මෙන්ම කලමණාද ජයවීර අත නිවසට එවීය. පාසලේ ඉගෙනුම් කටයුතුවලට යෙදවීමට තරම් නිරවුල් මනසක් ඉන්දිරා සතුව නොතිබුණි. අධික බීමත්ව කාමාග්නියෙන් දැවෙමින් නිවසට එන තාත්තා නිසා ජීවිතයේ ලබන අමිහිරි හා දිර්ඝ රාත්‍රීන් කිහිපයක් මෙසේ ගෙවීයන්නට විය. ඈ තම ඇතුළු හදටම සිමාවූ රහස කිසිවෙකුටත් කියාගත නොහැකිව මානසික පීඩනයකින් දුක්වින්දා ය. ඉන්දිරාගේ දුක කියන්නට හෝ අසන්නට කිසිවෙකු රත්නපුරයේ සිටියේද නැත. අම්මා ලංකාවට ගෙන්වා ගැනීමට සුදානම්වූ පොඩිමාමා තමා විසින් වැලැක්වූයේ ඇයිදැයි යළි යළිත් ඉන්දිරා ඇතුළු හදින් ප්‍රශ්න කළා ය. සුදු නැන්දාට හා පොඩි මාමාට ලියා යවන ලිපිද ටිකෙන් ටික අඩුවීගෙන ගියේය. ඉන්දිරාගෙන් ලැබෙන ලිපි අඩුවීම එතරම් දෙයක් ලෙසින් පොඩි මාමා නොසැලකුමුත් සුදු නැන්දා ඔහුට නිතරම ඒ ගැන කියන්නට විය. ඇගේ ලිපි අඩුවීම ගැන ඔහු කීවේ පාසලේ පාඩම් වැඩ වලට කාලය මිඩංගු කිරීම පසෙකලා හල්දුම්මුල්ලට ලිපි ලියන එක නොකල යුත්තක් බැවින් ලිපි නොලිව්වාට බිය විය යුතු නැත යන්නය. ඉන්දිරා හා කෝලිත හල්දුම්මුල්ලෙන් ගිය පසු ඔවුන්ව දැක බලාගැනීමට නොහැකිවීම ගැන සංකාවෙන් මෙන් සිටි සුදු නැන්දා තමාලිගෙන් ලැබී තිබූ ලිපියක් ද රැගෙන දිනේෂවත් කැටුව රත්නපුරයට පැමිණියේ තම යෙහෙලියකුගේ පුතෙකු සතු වෑන්රථයකිනි. සුදු නැන්දා හා දිනේෂ්ව දුටු කළ ඉන්දිරාගේ සිත තුළ ලැඟුම්ගෙන තිබූ සියලු දුක්ඛ දෝමනස්ස අන්ධකාර සළු පහව ගොස් හිරු මෙන් ප්‍රභාමත්විය. ඇය දිවගොස් කුඩා මල්ලි දිනේෂ්ව වඩාගත්තා ය. කලකට පසුව දුටු නිසාදෝ ඉන්දිරාගේ පහස නුහුරු බැවින් දිනේෂ් සුදු නැන්දා වෙතට යන්නට දැඟෑලීය. කෝලිතව තමා ළඟට ඇදගත් සුදු නැන්දා ඔහුව තුරුල් කරගත්තා ය. 

“මල්ලි කිව්ව එකනම් ඇත්ත උඹලා මේ පාළු ගෙදර ඉන්නේ කොහොමද?”

බඩු මුට්ටුවලින් තොර හිස් සාලය දෙස බැලූ ඈ ඇසීය. ඉන්දිරා වියැලුනු සිනහාවක් පා ඇතුළු කාමරයේ තිබූ එකම පුටුව සාලයෙන් ගෙනවිත් තිබ්බා ය.

“ජයවීර ගෙදර පෙරළන්න හැදුවා ළමයි දෙන්නා ඒකාට බාරදෙන්න කියලා දැන් උඹලාට කන්න තියෙනවාද බොන්න තියෙනවාද කියලාවත් බලන්නේවත් නැති පාටයි.” 

සුදු නැන්දා ජයවීරට දෙස් තියන්නට පටන් ගත්තා ය. ඉන්දිරා බොහෝ ලැජ්ජාවට පත්වූයේ සුදු නැන්දා සමඟින් පැමිණි පිටස්තරයාට හිඳ ගැනීමට පුටුවක් නොමැතිවීම ගැනය. ඉක්මනින් අල්ලපු ගෙදරට කොලිත යවා පුටුවක් ඉල්ලාගන්නට ඉන්දිරා සමත්විය. ඉන්දිරා ගේ පිරිපුන් නව යොවුන් වතකමල දුටු විජිත හිදගැනීමට පුටුවක් නොමැති නිසා වාහනයට වී සිටින්නට වූ අදහස වෙනස් කරගත්තේය. සුදු නැන්දා සමඟින් ආ තරුණයාගේ නෙතු කැල්මන් නිරතුරුව තමා දෙසට එල්ලවන බව ඉන්දිරාට වැටහුණි. 

“දැන් ඉන්දිරා මල්ලි එහෙම පාඩම් වැඩ කරගෙන යනවාද? උඹලාගේ තාත්තාට නම් ඒවා බලන්නවත් වෙලාවක් ඇතිය කියලා මට නම් හිතෙන්නේ නෑ.”

“මල්ලි නම් දැන් පාඩම් වැඩ කරනවා හොරයි. සෙල්ලමට වැටිලා. ඔය දැනුත් ගෙදර ඉන්නේ සුදු නැන්දා ඉන්න හින්දයි.”

“අනේ මේ බොරු කියන්නේ නැතිව ඉන්නවා. මෙයා තමයි වැඩිපුර ඉස්කෝලේ යන්නේ නැත්තේ.”    

“ඇයි ඉස්කෝලේ නොයන්නේ? ලබන අවුරුද්දේ නේද විභාගේ තියෙන්නේ? ඒකට ලැස්තිවෙන්න ඕනේ නේද?”

“තව එකට කල් තියෙනවානේ.” 

“එහෙම  කියලා බෑ ඉන්දිරා අනිත් ළමයි එහෙම පන්ති යනවාත් ඇතිනේ.”

“අමතර පන්ති යන්න නම් ලැබෙන්නේ නෑ තමයි. ඉස්කෝලේ වැඩ වලින් විභාගේ කරගන්න පුළුවනි.”

“ටියුෂන් පන්ති නොගියොත් නම් විභාගේ පාස් වෙන්න අමාරු තමයි.”

ඔවුන් ගේ කතාවට සවන් දී හුන් විජිත කීවේය.

“ඇයි ජයවීර සල්ලි දෙන්නේ නැද්ද?”

ඉන්දිරා මුවින් කිසිවක් නොදොඩා නිහඬව  බිම බලාගත්තා ය. 

“අම්මා එවන සල්ලි අපේ වියදමට ගන්නේ නෑ. ඒවා තියෙන්නේ උඹලාගේ ප්‍රයෝජනයට. මම සල්ලි දෙන්නම් උඹ පන්තිවලට පලයන්.”

“එපා සුදු නැන්දේ තාත්තා දැනගත්තෝත් එයා බනියි. අනික ඒ සල්ලිත් අරගෙන බොන්න වියදම් කරයි.”

“කවුද බං එයාගේ අතට සල්ලි දෙන්නේ.”

“ඇන්ටි මම නිතරම රත්නපුරේට හයර් එනවානේ ඕනේනම් මම ගෙනවිත් දෙන්නම්.” 

ඉන්දිරාගේ දෑස් දෙස බලාගෙන විජිත පැවසීය.

“ඔව් ඒකනම් හොදයි තමයි. මම මාස්පතා මේ ළමයා අතේ සල්ලි එවන්නම්. හොඳ පන්තියක් බලලා එකට යන්න ලෑස්තිවෙන්න.”

“තාත්තා කැමතිවෙයිද ටියුෂන් පන්ති යනවාට?”

“ඇයි එයා අකමැති වෙන්නේ? උඹලා දෙන්නා ඉගෙනගත්තෝතින් නේද තාත්තාට හොඳ.”

“ මෙහේ ආච්චි කැමති නෑ මම ඉගෙන ගන්නවාට. ගෑණු ළමයිට ලියන්න කියවන්නයි ඉගෙන ගත්තාම මදැයි කියනවා.”

“ඔය අම්මණ්ඩි කොහොමත් උඹලාගේ අම්මත් එක්ක ඉන්නේ තරහයින් නේ, ඒක වෙන්නැති ඔය වාගේ කතා කියන්නේ.”

“එවූනාට තාත්තාත් අහන්නේ එයා කියන කතා තමයි.”

“හරි ඔය ගැන බේරුමක් කරගන්න මම පොඩි මාමා ජයවීරව මුණගැහෙන්න එවන්නම්. උඹලාගේ ඉගෙනීම කඩාකප්පල් කරලා දාන එකනම් කොච්චර අපරාධයක්ද.”

“ඒක නම් ඇත්ත තමයි ඇන්ටි. අන්කල් ටියුෂන් පන්තිවල ගාස්තුව කෙළින්ම එතැනට ගෙවනවා කිව්වාම මෙයාලගේ තාත්තාට සල්ලි ගන්නත් බෑනේ.”

“ඔව් ඒ වැඬේ නම් හොඳයි විජිත.”

කෝලිත ඔවුන්ගේ සාකච්චාව දෙස බලා ගෙන සිටියේ විමතියෙනි. ඔහුටත් ටියුෂන් පන්ති යෑමට අවශ්‍යවූයේ ඉන් අනතුරුවය. එදින තවත් හෝරාවක් පමණ නිවසේ රැඳී සිටි සුදු නැන්දා හා විජිත රත්නපුරයෙන් පිටවගියේ ඉන්දිරා හට මුදල් හා අම්මා එවූ ලිපියක්ද අතට පත් කරවමින්ය. ඉන්දිරාට ඔවුන් පිටවයාම ගෙන දුන්නේ විශාල පාළුවක් හා කාන්සියකි. විජිතගේ දිඳුළන දෑස් නිරන්තරයෙන් තමා දෙසට යොමුවීම ඇගේ සිතට අමුත්තක් එක්කරවීය. ළගන්නාසුළු ඔහුගේ මඳ සිනහාවෙන් යුතු වතකමලත් ආකර්ෂණීය දෑසත් යම් කිසි ආත්මිය බන්දනයක් වෙතැයි ඈට සිතුණි. ප්‍රේමනිය බීජාංකුරයක් ඇගේ සිත පතුලේ තැම්පත් කරවන්නට විජිතගේ ගැඹුරු බැල්ම සමත්විය.


තවත් සති අන්තයක පොඩි මාමා රත්නපුරයට පැමිණියේ සුදු නැන්දා යෝජනා කළ පරිදි ඉන්දිරාගේ අමතර පන්ති ගැටලුව විසදන්නටය. ඔහු කෙළින්ම ජයවීර මුණගැසි ළමයින්ගේ අධ්‍යාපනය ගැන කතා කරන්නට වුණි. ඊළඟ අවුරුද්දේ සාමන්‍යපෙළ විභාගය පැවැත්වෙන බැවින් ඉන්දිරාගේ පාසලේ පන්තිවලට අමතරව ටියුෂන් පන්ති වලට යැවීම කළයුතු බවත් එසේ නොකර විභාගය පාස් කරගැනීම අසීරුවන බවත් ඔහුට පහදාදුණි. අම්මා විසින් ජයවීරගේ මනසට කවා තිබූ අදහස් ඉවත් කිරිමට පොඩි මාමාට විශාල වෑයමක් දරන්නට සිදුවුණි. තමන් විසින් අමතර පන්ති වල වියදම දරණ බැවින් ඒ ගැන ජයවීර අනවශ්‍ය බියට පත්විය යුතු නැතැයි පොඩි මාමා පැවසීය. අවසානයේ පොඩි මාමාට ජයවීර අවනත කරගත හැකිවිය. ඉන්දිරාව කැටුව රත්නපුරයේ අමතර පන්ති කිහිපයකට ගිය ඔහු ඉන්දිරාගේද අදහස් විමසා බලා ඇයට අමාරු විෂයන් කිහිපයක් සඳහා පන්තිවලට ඇතුලත් කරවීය. එම අමතර පන්තිවලට ඉතා කැමැත්තෙන් සහභාගිවූ ඉන්දිරාට සිත් තැවුල් දුක්සංකා නිවාගැනුමට එය යම් තරමකට හෝ ඉවහල්වන්නක් විය. පොඩි මාමාගේ දැඬි බලපෑමෙන් තාත්තාගේ සිතට ආච්චි ඇතුලත් කරනු ලද ගැහැණුන්ට ඉගෙනීම අවශ්‍ය නැත යන්න ඉවත්කර ගත හැකිවීම පිළිබඳ ඈ සතුටු විය.



* * * * *


සුසන්ත සර්ගේ ගණිතය පන්තිය හමාරවී එළියට බැස්ස සිසු සේනාව අතරින් ඉන්දිරා ඉදිරියට ඇදුනාය. ගමන් වියදම් ඉතිරිකරගනු වස් නිවෙස කරා පයින් ගමන් කිරීමට පෙළඹුනු ඈ නිවස කරාවූ කෙටි දුර යහුසුලුව අවසන් කරන්නට ඇවිද යන්නට විය. ආගන්තුක දෑසක් තමා දෙස බලා සිටිනු බස් නැවතුමේ සිටි සෙනග අතරින් ඇගේ නෙත ගැටිණ. පෙර දිනයක දැක ඇති හුරුපුරුදු මුහුණක් බව යාන්තමින් මතකයට නගා ගැනීමට හැකිවෙද්දී එම මුහුණ සෙනග අතරින් රිංගා ඇයව සොයාගෙන ඉදිරියට ආවේය. 

“ඉන්දිරා නංගි.”

ඉන්දිරා නොසිතූවිරූ ලෙසින් ඉදිරියට ආ තරුණයා දෙස කුහුල් සහගතව බලා සිටියා ය. 

“ඇයි අඳුනගන්න බැරිද? මම විජිත. ඔයාලගේ ගෙදර ආවේ සුදු නැන්දා එක්ක.”

“ආ මේ අයියානේ. මට අඳුනගන්න බැරිවුනා. අයියා මොකද මෙහේ කරන්නේ?” 

“මම මේ ළඟකට හයර් එකක් ආපූ ගමන්. අහම්බෙන් ඔයාව දැක්කේ. සුදු නැන්දාට කියන්න මොකවත් පණිවිඩ එහෙම තියේනවාද?”

“සුදු නැන්දා ඇවිල්ලා ගියාට පස්සේ ටියුෂන් පන්ති යන වැඬේ පොඩි මාමා කරලා දුන්නා. මට සුදු නැන්දාට ලියුමක්වත් යවන්න වේලාවක් තිබුනේ නෑ. ඉස්කෝලේ වැඩයි ටියුෂන් පන්තිවල වැඩයි, ඒ මදිවට ගෙදර වැඩයි හින්දා නිස්කලංකේ ලියුමක් ලියන්න බෑ. අම්මා එවපු ලියුමට උත්තර ලිව්වෙත් භාගයයි. පස්සේ එයාට අම්මාගේ ලියුමත් එක්කම විස්තර දාලා එකක් එවන්නම් කියන්න.”

“මම හෙට අනිද්දාට මේ පැත්තේ ආයෙමත් එනවා. ඔයා ඔය ලියුම ලියලා ඉවර කරලා තියන්නකෝ. මම ගිහිල්ලා සුදු නැන්දාට දෙන්නම්.”

“හා අයියේ.”

“නංගි පයින්ද ගෙදර යන්නේ? යමු මම ගෙදරට ඇරලවන්නනම්.”

“එපා අයියේ තාත්තාට කවුරු හරි කීවොත් මට ආයෙමත් මේ පන්ති යන එකත් නවත්තන්න වෙයි.”  

“එහෙනම් නංගි පරිස්සමෙන් යන්න. ” 

ඇය ඔහුට මදහසක් පා ගමන් ඇරඹීය. අහඹු ලෙස මුණ ගැසුනු කෙටි හමුවීමක් වූවත් ඔහුගෙන් මිදී යාමේදී කුඩා දුකක් ඈ සිතට පිවිසියා ය. මඳ දුරක් ගමන් කළ ඉන්දිරා යළිත් හැරී විජිත සිටි ඉසව්ව දෙස බැලීය. ඈත බස් නැවතුම අසළ සිට ඇය දෙස නෙත් යොමුකරවාගෙන හුන් විජිත යළි හැරී බැලූ ඉන්දිරාට අත වැනීය. ඔහු තමන් දෙස බලා සිටින අන්දම දුටු ඉන්දිරාගේ දෙකම්මුල් ලැජ්ජාවෙන් රතුවී ගියේය. විලියෙන් ඇඹැරුනු ඈ ඔහුට මඳ සිනහවක් පා ඉක්මනින් ඇවිද යන්නට විය. නිවසට ගිය පසුත් ඇයට විජිතව සිහිපත්වන්නට වුණි. තව මෙහොතක් දෙකක් ඔහු හා රැඳී සිට කතා කිරීමට හැකිවූවානම් යැයි සිත මොරගාන්නට විය. විජිත යළි දින කිහිපයකින් තමාව මුණ ගැසීමට එනවගක් කී බැවින් ඉක්මනින්ම සුදු නැන්දාට ලිපියක් ලියූ අතර අම්මාට භාගෙට ලියූ ලිපියද අවසන් කර තබාගත්තා ය.  දින කිහිපයක්ම ඉන්දිරා විජිත මුණගැසුනු බස් නැවතුම දෙස බලමින් සෙමෙන් ගමන්කළේ ඔහු එතැන සිටිදෝ විපරම් කරමින්ය. ඔහු එතැන නොමැතිබව දැන දැනත් යළිත් බස් නැවතුම දෙස නිරායාසයෙන් බැලෙන විත්තියක් ඉන්දිරාගේ  සිතට දැනුනි. ගෙවුනු දින කිහිපයත් ඈ බලාපොරොත්තුවූ රුව නොදැක ගෙවීගියේය. දිනෙක ගණිතය පන්තිය අවසන්වී එන විටම විජිත ඇය ඉදිරියට ඇවිද ආවේය. තම සිත දකින්නට ආසා කළ ඒ කඩවසම් රුව දුටු විගසින්ම ඇගේ සිතේ අමුතු කෝල බවක් දැනෙන්නට විය. ඇය ඔහුගේ දිදුළන අනුරාගී නෙත් දෙක දෙස නොබලා බිම බලාගත්තා ය.

“නංගි කොහෝමද? පන්තියේ වැඩ කරගෙන යනවාද?”

“හොඳයි අයියේ”

“මෙතන පාර මැද්දේ කතා කරන්න බෑනේ යමු අයිනකට. ”

ඔහු ඉන්දිරාව පාර අයිනේ වූ සෙවනක් ඇති ස්ථානයකට කැටිව ගියේය. ඉන්දිරා පාර දෙස නෙත් යොමු කරවූයේ තමා දන්නා කවුරුන් හෝ බලා සිටීදැයි බියෙනි. 

 “ඇයි නංගි මෙතන කතා කරන්න අමාරුද? වෙන තැනකට ගිහිල්ලා කතා කරමුද?”

“නෑ ඕනේ නෑ. මෙතන හොඳයි. අයියා සුදු නැන්දාට කිව්වාද මාව මුණගැහුනු බව?”

“ඔව් නංගි. කෝලිත මල්ලි ගැනත් ඇහැව්වා. මම කිව්වා එයාව නම් දැක්කේ නෑ කියලා.”

“සුදු නැන්දාට ඉතිං මල්ලිවම තමයි.”

“කෝ අර අම්මාට යවන්න ඕනේ කියපු ලියුම. තාම ලියනවාද?”

ඔහු තම අලංකාර සිනහව පාමින් ඇසුවේය.

“නෑ ලිව්වා.”

“එහෙනම් දෙන්න මම ගිහිල්ලා දෙන්නම්.”

ඇය බෑගයෙන් අරගත් ලිපි දෙකක් ඔහු අතට පත්කළා ය. ඉන්දිරාගෙන් ලද ලිපි දෙක දෙපැත්තට පෙරලා බැලුවේය.

“මොකක්ද මේ දෙකක්?”

“ඇයි එකක් අම්මාට යවන්න. අනික සුදු නැන්දාටයි පොඩි මාමාටයි.”

“මම හිතුවේ එකක් මටය කියලා.”

ඉන්දිරාගේ වත විලියෙන් රතුවිය.

“ඔයා හිතුවද මම කොල්ලන්ට ලියුම් දෙන කෙනෙක් කියලා?”

“අපෝ නෑ. මම විහිලුවට නේ කිව්වේ නංගි.”

ඇය යළිත් වට පිට බැලුවේ තම සිත තුළට පිවිසෙන සැක සහගත සිතුවිලි බැවිනි.

“එදා සුදු නැන්දා අමාරුවක් නැතිව ගෙදර යන්න ඇති නේද? අපිට තමයි පාළුව දැනුනේ.”

“එයාට ඇවිදින්න අමාරුයිනේ නංගි එදත් ගිහිල්ලා දණිස්වලට තෙල් සාත්තුවක්ද කොහේද කළා. ඇයි ඔයාගේ මල්ලි හරිම දඟ මල්ලක්නේ එයත් එක්ක එහෙට මෙහෙට දුවලාම දණිස් ගෙවිලාද කොහේද?”

“පව් සුදු නැන්දා. එයාට පුළුවනිද මන්දා පොඩි මල්ලිව බලා ගන්න. ආයිමත් දවසක එයාලට එන්න කියන්න.”

“අපෝ ඕක මොකක්ද, මම ආයෙමත් දවසක එයාලව එක්කන් එන්නම්.”

“හැබැයි තාත්තා නැති දවසක. සුදු නැන්දලා මෙහේ ආවාට තාත්තාගේ හිතේ එච්චර කැමැත්තක් තිබුනේ නෑ.”

“මටත් හිතුණා. නැන්දත් ඔය ගැනමයි කතා කර කර ගියේ.”

“තාත්තා නම් කියන්නේ සුදු නැන්දා තමයි අපේ ඔළුවලට ඕනේ නැති දේවල් දාන්නේ කියලා.”

“ඔයාට මෙනවා හරි කියන්න තියේනවා නම් මට කියන්න මම ටක් ගාලා සුදු නැන්දාට පණිවිඬේ දෙන්නම්.”

“අයියා ඉන්න එක ලොකු හයියක්. ලොකු පිනක් .”

“ආ මෙන්න, මේක අරගන්න.”

වට පිටාව දෙස තම දෑස් දිව යැවූ විජිත කලිසම් සාක්කුවෙන් එළියට ඇදගත් දෙකට නැවන ලද ලියුම් කවරයක් ඇයට දිගු කළේය. 

“මේ මොකක්ද?”

“මේක සුදු නැන්දා ඔයාට දෙන්න කිව්වා.”

සුදු නැන්දාගෙන් කියූ බැවින් ඇය කිසිදු පැකලීමකින් තොරව ඔහු දුන් ලියුම් කවරය රැගෙන තම බෑගයේ රුවාගත්තා ය.

“මෙතන ඉදන් කතා කරන්න බැහැනේ. නංගිට ගෙදර යන්න පරක්කුවෙන්නේ නැත්නම් අපි බීම එකක් බෙන්න යමුද?”

ඇය නිවස මතක්වූ සැණින් කලබලයට පත්විය. 

“බෑ අයියේ දැන් තාත්තා ගෙදර එන වෙලාව එයා මම ටියුෂන් යනවාට කොහොමත් කැමති නෑ. පරක්කුවුනෝත් පන්ති යන එකත් නවත්තාවි. මම එහෙනම් යන්නම් අයියේ.”

අසරණ ලෙස ඉන්දිරා විජිත දෙස බලා යන්නට හැරුණා ය.

“මේ ඉන්දිරා ඔතන ලියුම් දෙකක් ඇති හරිද.”

“ලියුම් දෙකක්?” 

යළිත් ආපසු හැරුනු ඕ තම සිත තුළ හටගත් කුහල නිසා විමතියෙන් මෙන් විජිත දෙස බැලීය.

“එකක් සුදු නැන්දාගෙන්.”

“එහෙනම් අනික?”

“ඒක මගෙන්. කියවලා බලලා උත්තරයක් ලියලා තියන්න. මම ආපහු ලබන සුමානේ මේ පැත්තේ එනවා.”

විජිත සිය දිඳුළන දැසින් සිනහාසෙමින් කීවේය. ඉන්දිරාගේ සිත නොදන්නා අමුත්තකින් පිරීගියාක් මෙන් විය. ඈට මන්දමිත්සයක් ඔහුට පා යළිත් ගමන් ඇරඹීය. නිවසට එන්නට ගතවූ කාලය පිලිබඳව කිසිදු නිනව්වක් ඈට නොතිබුනි. ඉන්දිරා නොවසිලිවන්තව සිටියේ ඉක්මනින් විජිත දුන් ලිපිය කියවා බැලීමටය. වෙනදාමෙන් නිවසට ගොඩවැදුනු සැණින් ලොකු මල්ලි කෝලිත ගැන සොයා බලනා ඉන්දිරාගේ සුපුරුදු දින චරියාවද එදින වෙනස් වී තිබුණි. ඇය තම ඇඳුම් ගලවාදමන්නේවත් නැතිව බෑගයේ වූ ලියුම් කවරය අතට ගත්තා ය. වෙව්ලන අතැඟිලි වලින් දෙකට නැවූ මැනිලා ලියුම් කවරය දිගහැර එහි ඇතුල දෙස බැලීය. ඇගේ හෘද ස්පන්දනයද වේගවත්වී ඇති බවක් දැනෙන්නට විය. කොල දෙක දුටු විගසින් විජිතගේ ලිපිය ඈ ඇදින්නා ය. එක්සයිස් පොතක කොළයක ලියූ සුදු නැන්දාගේ ලිපිය කවරය තුළම තිබෙන්නට හැර ලා රෝස පැහැති ලියුම් ලියන කඩදාසියක ලියූ විජිතගේ ලිපිය අතට ගත්තා ය. 



මධු මල ලෙස මුඳු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි

ඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි......


නිසල රැයක.


ආදරණීය ඉන්දිරා නංගි වෙතටයි.


එදා ඔයාලගේ ගෙදර ආව දවසේ දැක්ක මුල්ම දිනේ දී මාව එක පාරටම ගැස්සිලා ගියා. සංසාර පුරුද්දක්ද මන්දා මට ඔයා දිහා නොබලා ඉන්න බැරිවුණා. ඔයා හිතුවාද දන්නේ නෑ මේ කොල්ලා වනචර කමකට බලනවා කියලා. මම හිතුවේ නෑ මගේ හිත එකපාරටම බැඳලා තියාගන්න පුළුවන් කෙල්ලෝ ඉන්නවා කියලා. එත් ඒක ඔයා බොරු කළා. ඔයාගේ තියෙන චාම් අහිංසක කමට මම හරිම කැමතියි. මම හැමදාමත් හිතුවේ චාම් අහිංසක කෙල්ලෙක්  ගැන ඒ මම ප්‍රාර්ථනාකළ කෙල්ල අහම්බෙන් හරි මට මුණ ගැහුනා.


අපමණ සිතුවිලි බිහිවි තෙරපි

එකිනෙක පැටලෙන්නේ

කොහොම පටන්ගෙන

මොනවා ලියන්නද

නැත මට වැටහෙන්නේ...


ඉන්දිරා නංගි ඔයාට බෝයි කෙනෙක් ඉන්නවාද? හිටියත් මම එයාට ඔයාව නම් අයිතිවෙන්න දෙන්නේ නෑ. ඔයාව අයිති මට විතරයි. මම ඔයාට ආදරෙයි. මම ඔයා ගැන බලාපොරොත්තු තියාගන්නවා. මම දන්නවා ඔයා මට කැමති විත්තිය. ඔයාගේ ඔය ලස්සන ඇස් දෙක දිහා බැලුවාම අකමැත්තක් නැති විත්තිය මට හොඳටම පේනවා. හැබැයි බොරුවටවත් ඔයා මට කැමති නැහැයි නම් කියන්න එපා. අද වගේම ඔයාව බලන්න ලබන සුමානේ ටියුෂන් පංන්තිය පැත්තේ එන්නම්. එනකොට මේ ලියුමට උත්තරයක් ලියාගෙන එන්න ඕනේ. ඔන්න මම මඟ බලාගෙන ඉන්නවා ඔය ලස්සන මුණ පොඞ්ඩයි  සිත වශී කරන හිනාවයි බලලා යන්න. 

මීට 

ඔබේම 

විජිත.



සිත ගොළු වෙනවා 

අත වෙව්ලනවා 

හදවත ගැස්සෙනවා

ලිපියේ කොළයට  මුහුණ යොමන විට

නෙත් දෙක පියවෙනවා........



ඉන්දිරා ඉක්මනින් විජිතගේ ලිපිය කියවා දැමුවා ය. සිත තුළ නළියන ප්‍රීතියෙන් සිරුරට නව ජවයක් ගෙන දුන්නාක් වැනි උද්යෝගයක් දැනුණි. දෑස් අඬවන් කළ ඉන්දිරා ළා රෝස  පැහැති කොළයෙන් එන සුවඳ විඳීමට නැහැයට අල්ලා හුස්මක් ඉහළට ඇඳගත්තා ය. දෙවන වරටද කියවා අවසන් කළ ඈ ලිපිය සීරුවට නමා අත්ලේ තබාගෙන මෙය තැබිය යුතු ස්ථානයක් ගැන සිතන්නට විය. කාඞ්බෝඞ් පෙට්ටියක බහා තිබූ පැරණි පාසල් පොත් ගොන්නෙන් එක් පොතක් අතට ගත් ඈ එහි පිට කවරය ගලවා එය තුළට ලිපිය ඇතුල් කළා ය. ඉන්දිරාගේ සිත ප්‍රබෝදයකින් පිරීගොස් තිබුණි. යළිත් වරක් විජිතගේ ලිපිය කියවීමේ ආසාව ඈ ඉතා අසීරුවෙන් මැඩ ගත්තා ය. කාමර බිත්තියේ ඇණයකින් එල්ලා තිබුනු කුඩා කැඩපත අතට ගත් ඕ ඉන් පිලිබිඹු වන තම වතකමල දෙස ටික වේලාවක් බලා සිටියා ය. කම්මුලක මෝදුවන කුඩා කුරුලෑවක් නියගින් මිරිකා හැරිය ඈ කැඩපතින් දිස්වන තම රුවට කට ඇඳකර විරිත්තා සිනාසුණි. යළිත් බිත්ති ඇණයේ එය රඳවා සාලයට ගොස් බැලුවේ කෝලිත මෙතෙක් ප්‍රමාද ඇයි දැයි සොයන්නටය. සාලයේ දොර අසළ රැඳුන ඉන්දිරාගේ සිත හිස් අවකාශයේ දිව ගොස් නතරවූයේ අද දින විජිත මුණගැසුනු සොඳුරු මොහොතටය. පාරේ රැඳී ඔහු හා කතාබහ කළ මොහොත ඇයට විශාල කාලයක් සේ දැනුණි. කෝලිත මෙසේ ප්‍රමාදවන බව දන්නවා නම්  තවත් ටික වේලාවක්  ඔහු හා රැඳීසිටීමට අවකාශ තිබූ බව සිතු ඈට දුකක්ද දැනුනි. වෙනදා තම සිත තළා පෙලු ළතැවුල් සියල්ල එකවර නිමාකරවූවාක් මෙන් දැනෙන්නට පටන් ගති. ලියුමේ වූ මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතය ඇගේ දෙසවන රැව්දෙන්නට විය. සෙමෙන් ගීත කණ්ඩයක් මුමුණමින් ඉන්දිරා නිවසේ වැඩ පලවල නිරත විය. තම සිතේ පිටාර ගලන සතුට කියාගන්නට කෙනෙකු නොමැතිවූවායින් ඇය බොහෝ දුක්වීය. රත්නපුර පාසලේ හිටිය හොදම යෙහෙළිය වූ නන්දිකා තමන් හල්දුම්මුල්ලට ගිය පසුව වෙනෙකුක හා මිත්‍රවූවායින් පෙර මෙන් වැඩි සම්බන්ධයක් ඔවුන් අතර නොතිබුණි. අම්මාගේ යෙහෙළියක්වූ කාන්ති ඇන්ටිගේ දියණිය චමිලා හා මිත්‍රකම දිගටම පැවතියේ අම්මා හා කාන්ති ඇන්ටි සමඟවූ සම්බන්ධතාවය නිසාවෙනි. ඇය පසු දිනම චමිලාට විජිතගේ ලිපිය ගැන කීවා ය. 

“උඹ විජිතට කැමති නම් ලියුමක් ලියපං.”

“අනේ මන්දා මට නම් බයයි බං.”

“මොකට බයවෙන්නද?”

“අපේ සුදු නැන්දා දැනගත්තෝතිං එහෙම.”

“දැන් උඹ ඉන්නේ සුදු නැන්දා ගාව නෙමෙයි නේද? අනික ඒ කොල්ලා සුදු නැන්දාගේ යාළුවෙකුගේ පුතෙක් කියලා නේද කිව්වේ. එහෙනම් අකමැති වෙනඑකක් නෑ.”

“උඹට පිස්සුද සුදු නැන්දාට ඕවා කියන්න පුළුවන්ද? අනික අපි තාම ඉගෙන ගන්න ළමයි. එයා අහයි උඹට මඟුල් විසේ ගහලද කියලා ?”  

“දැන් කවදාද ඔය කොල්ලා එනවයි කිව්වේ?”

“සුසන්ත සර්ගේ ගණන් ටියුෂන් පන්තිය ළඟටනේ. ආයෙමත් තියෙන්නේ ලබන අඟහරුවාදා.”

“අපරාදේ උඹ මගේ පන්ති තියෙන දවසට දාගත්තානම් මටත් විජිතව දකින්න තිබ්බා.”

“උඹේ පන්තියට මට එන්න බැරිවුනේ ඒ දවසට සෙනඟ වැඩි නිසානේ. නැත්තනම් මමත් සඳුදා පන්තියේ තමයි.”

“බල බල ඉන්නේ නැතිව අදම ලියුමක් ලියපං. ඉන්න මම ලියුම ලියන්න හොඳ කොළයක් අරන් දෙන්නම්.”

චමිලා තම බෑගයෙන් සුදු කොලයක් ගෙන ඈට දුන්නාය. 

“කොහොම ලියන්නද? මට කිසි දෙයක් හිතට එන්නේ නෑ.”

“අපෝ කුලුඳුලේ ලියන ලියුමනේ, හිටපං මම කියන්නම් උඹ ලියපං.” 

“මේකට අර උඹලා ලියන ජාතියේ ඒවා ලියන්න බෑ.”

“පිස්සුද ඉන්දිරා? එක පාරටම විජිතට කැමති කියලා කවුද ලියන්නේ? එතකොට පැනලා දුන්නා වාගේ. පොඞ්ඩක් අගේ කරලා මිනිහව ටිකක් විතර රස්තියාදු කරලා කැමැත්ත දෙමු.”

“එහෙම කරන කොට එයා වෙනින් කෙල්ලෙක් සෙට් කරගනියි.”

“එහෙම චපල උන් මොකටද? එහෙම නම් යන්න ගියාවේ.”

“මේක මෙතන ලියන්න පුළුවනිද? අපි පස්සේ ලියමු.”

“දැන්ම කවුරුවත් එන්නේ නෑ. ඔයා බය නැතිව ලියන්න ගන්න, මම වට පිටාව බලාගෙන කියන්නම්.”

චමිලාගේ උපදෙස් අනුව ඉන්දිරා විජිතට ලිපිය ලියා අවසන් කළා ය.  

“මේක දෙන්න බෑ.”

“ඇයි?”

“මේකේ තියෙන දේවල් වැඩියි වාගේ. මට මේක දෙන්න මහ මොකක් ද වාගේ දැනේනවා.”

“අනේ මේ පිස්සු නැතිව හිටපං බං. ඔය ලියුම හොදයි.”

“අනේ මන්දා.”

“කෝ අනෙක් අයට යවන්න ලියුම් ලිව්වාද?”

“ඔව්.”

“එහෙනම් ඒවත් එක්කම දිපං.”

“මට බය අපේ තාත්තා දැනගනිද කියලා.”

“අම්මා තාත්තා ගෙන් බේරිලා තමයි ඉතිං ලව් කරන්න වෙන්නේ. මොනාවුනත් හොඳ බරකාරයෙක් වෙන්නැති. නැත්නම් කොහෙන්ද වෑන්.”

ඉන්දිරාට තරමක ආඩම්බර කමක් සිත තුළට ඇතුල්වූයේ චමිලා පැවසු වදනින් පසුවය. ඇය ඔහු පදවාගෙන ආ වෑන් රථය සිහියට නගා ගැනිමට උත්සාහ කළා ය. සුදු නැන්දා සමඟින් නිවසට ආ දිනයේදී දැක තිබුනත් එය පිළිබඳව එතරම් උවමනාවකින් සොයා නොබැලුවේ මන්දැයි සිතා ගත නොහැකි විය. විජිත තමා මුණ ගැසීමට පැමිණි දෙවන වාරයේදි එම රථය නොතිබුන බව ඈට සිහිපත් විය.

“කොල්ලාගේ ගෙවල් කොහේද?”

“මමත් හරියටම දන්නේ නෑ හපුතලේ පැත්තේ වෙන්න ඇති.”

“ඒ කියන්නේ සුදු නැන්දලාගේ ගෙවල් කිට්ටුවද?”

“සුදු නැන්දලා ඉන්නේ හල්දුම්මුල්ලේ. හපුතලේ තියෙන්නේ ඊට ටිකක් දුරින්.”

“දැන් ඉතිං මිනිහාට හැමදාම හපුතලේටයි රත්නපුරේටයි හයර් දුවතෑකි.”

සුසන්ත සර්ගේ ගණිත පන්තිය අවසන් වන තෙක් ඉන්දිරා සිටියේ නොවසිල්ලෙනි. සුසන්ත සර්ගේ විමසිලිමත් උකුසු ඇසට පාඩමෙන් පිට සිත යොමු කරවාගෙන සිටි ඉන්දිරාව අසුවුනත් ඔහු එය එතරම් ගණනකට නොගත්තේය. පන්තිය අවසන් වූ වහාම පිටව නොගිය ඉන්දිරා මඳ වේලාවක් ගෙන අවුල්වූ කෙහෙරැලි ඇඟිලිතුඩින් සකසා ගත්තා ය. රෑනට පිටව යන ළමුන්ට යන්නට ඉඩ හැර වෙන්ව පාරට ආ ඈ සුපුරුදු බස් නැවතුම දෙසට ඇවිද ආවේ විජිතගේ රුව දැකිනා බලාපොරොත්තුවෙනි. ඈත තියාම බස් නැවතුම දෙසට තම නෙතු යොමුකරවාගෙන ආ බැවින් ඔහු එහි සිටිනා බව දැක ගත්තා ය. විජිතගේ කඩවසම් රූපකාය දුටු විගසින් තම හදවත කොනක ඇතිවූ සියුම් මිහිරක් මුළු සියොලඟම කිතිකවාගෙන යනු දැනිණ. 


ඉන්දිරා විජිතගේ ආදර දැළේ පැටලෙයිද? මතුසම්බන්ධයි.......


මෙම නවකතාවේ වර්තමානයේ සිදුවන සිදුවිම් දේවල් කළු පාටින්  හා අතිතාවර්ජනා කොටස් නිල් පැහැයෙන් දක්වා ඇත.  

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...