Showing posts with label අන්දු බයියාගේ රස කතා. Show all posts
Showing posts with label අන්දු බයියාගේ රස කතා. Show all posts

Saturday, February 15, 2025

සිරිකුමාර මහත්තයාගේ නිදහස් කිරිල්ල

ලගදි දවසක කොළොම්පුරයාලේ කාර්්‍යාලිය සගයෙක් වෙච්චි සිරිකුමාර මහත්තයා රස්සාවේ වැඩකටයුතු ඉවර කරලා හවස් අතේ ගම්බිම් බලායන්න කොළොම්පුරයාගේ දඩුමොනර යන්තරේ නැගිලා යද්දි තමා මේ කතාව ආපහු කොළොම්පුරයාට මතක් කෙරුවේ. සිරිකුමාර මහත්තයා කොළොම්පුරයාගේ ඔෆිස්මෙට් වාගේම ගම්මෙට් ඒ කියන්නේ ගමේ පොරක්. ඉතිං කොළොම්පුරයා ගෙදර යනිං ගමන් සිරිකුමාර මහත්තයාව මගින් හලාගෙන යන්න පුලුවන්නේ.  දන්නවානේ අපේ සිරිකුමාර මහත්තයා?  කොළොම්පුරයාගේ බ්ලොග් එකේ මිට ඉස්සරින් ලියවුනු අභිරහස කතාවේ කතානායකයා. නොදන්න අයට පුලුවන් මෙතනට කොටලා ඒක කියවලා එන්න. සිරිකුමාර මහත්තයා  ඉස්සර හරි ජොලි පොර දැන් පැස්සොන් යන්න ලග හින්දාද මන්දා පොර මසක් මාලුවකින් වාගෙම නැටුං තෙලෙන් තොරවෙලා  මාරම සිල්වත් දැහැමි උපාසක වෙලා. ගොඩපෙරකදෝරු අලි අමාරුකාර අමරසිරියාත් අන්දුබයියාත් කොරොනා ඉවරඋනත් එක්කම පැන්සොන් ගියාට පස්සේ ඔෆිස් පාටියකදි නැටුං තෙලෙන් සප්පායම්වෙලා අඩව්වක් කස්තිරමක් අල්ලන්න පොරවල් නැත්තටම නැතිව ගියා. ඔෆිස් පාටියක් කියන්නේ දැන් ඉතිං මලගෙයක්වාගේ අති සෝචනියයි මිත්තරවරුනි. හරි හරි වටේ නොගිහින් අපේ කතාවට බහිමු නේද?



ඔන්න මීට අවුරුදු කිහිපයකට කලියෙන් අපේ සිරිකුමාර මහත්තයා දැහැමි ජිවිතයට බැස්ස අලුතමවාගේ බොරු සීලවන්තයොත් අපේ පොරට ලංවෙන්න ගත්තා. බණ පද පන්සල් ආරම අසපු ගැනමයි දැන් හැමෝම සිරිකුමාර මහත්තයා එක්ක කථාව. වෙසක් දවසකටවක් පන්සල් නොයන දේවදත්ත නිකායේ කොළොම්පුරයා ඕවාට යන්නෙත් නෑ අල්ලන්නෙත් නෑ. ඔය අස්සේ කවුදෝ කඩපුලියෙක් පොරට කියලා මරණයට කැපවුනු අසරණ ගවයෙක් මරණින් නිදහස් කරවුමු කියලා. අපේ සිරිකුමාර මහත්තයාවාගේ දැහැමි පොරවල් එනකොටම මස්කඩේ නානලාගේ කරල පැහෙනවා. ගවයාගේ මිලට වඩා දෙගුනයක මිලක් කියලා හොද ලාබයකුත් නානලා හොයාගෙන එයාලා ගොඩ යනවා නෙව. සුදු පාට වැස්සියෙක් උනා නම් ගාන දෙගුණයකට වඩා වැඩිවෙනවා. කළු පාට හරි වස්සෙක් උනා නම් අනිවා ඌ මස්කඩේ කොක්කේ තමා. මොකද ඌට කිරි අම්මා ලේබලය වදින්නේ නෑ නෙව. ආර්ථික වටිනාකමක් ගන්න බැරි මෙන්න මේ සත්තුන්ගෙන් ගවයා එළුවා කුකුලා පිරිමි සතෙක් වෙන එක  අනිවාර්්‍යයෙන්ම කොක්කේ එල්ලෙන්නම වෙනවා. දැන් කරත්ත අදින්නයි කුඹුරු සීසාන්නයි හරක් ගන්නේ නැති නිසා හරක් යන්නේම මසට තමා. ඕං ආයෙත් පිට පැන්නා නේ.

 දැන් ඉතිං සිරිකුමාර මහත්තයා ඔෆිස් වැඩ අස්සේ කල්පනා කරන්නේ මේ අසරණ සතාව නිදහස් කරන වැඩේ ගැනමයි. දුප්පත් අපේ සිරිකුමාර මහත්තයාට කොයින්ද අනේ එච්චර සල්ලියක්. ගෙදරට ගෙනියන පඩි සල්ලිත් ගෞහමුලික භාර්්‍යාතුමෝ අරගෙන පස්සේ බස් ගාස්තුව ඇතුලු සියල්ලම එතුමිය සීරුවට කිරිලා මැනලා තමයි ආපහු දෙන්නේ. එහෙම නැතිව ලවක් දෙවක් නැතිව සල්ලි වියපැහැදම් කරන්න කාටද පුලුවන් මේ ආර්ථික  අහේනි කාලේ.

"මචං උඹ මේසේ උඩ කැටයක් තියලා මරණයට කැපවුනු අසරණ ගවයෙක් නිදහස් කිරිම කියලා ගහපං. එතකොට උඹ ලගට එන කස්ටමර්ලා මේක කියවලා කියක් හරි කැටයට දායිනේ. අනික උඹෙන් වැඩක් කරගන්න  උඹ ලගට එන උන් ලොකු ගානක් එහෙම දාන්නත් පුලුවන් නේ. ඒ සල්ලි වලින්  උඹට පුලුවන් වෙයි සතා නිදහස් කරන වැඩේට ගානක් හොයා ගන්න."

සතා නිදහස් කරන වැඩේට සල්ලි හොයාගන්න අපුරු ක්‍රමය අපේ අන්දුබයියා සිරිකුමාර මහත්තයාට කියලා දුන්නා. සිරිකුමාර මහත්තයාට මේක ඇහුවාම හිසේ මලක් පිපුනා වාගේ උනා.

"මචං නියම අයිඩියාවක් නේ. අදම මේක කරන්න ඕනේ."

පියන් කොලුවා එලියට පිටත් කරපු සිරිකුමාර මහත්තයා ප්ලාස්ටික් කැටයක් ගෙනවිල්ලා කාටත් පෙන්න පුලුවන් විදිහට මේසය උඩින් තිබ්බා. අර කිව්වා වාගේ ප්‍රින්ට් අවුට් එකකුත් අරගෙන කැටේට ඇලව්වා. වැඩේට ආරම්භයක් විදිහට  සිරිකුමාර මහත්තයාම රුපියල් සියයකුත් කැටේට දැම්මා. ගෙදර යන්න විතරක් බස්ගාස්තු අතේ තියෙන පොරට කොහෙන් රුපියල් සීයක් ආවද මන්දා. අපිත් ඉතිං හොද වැඩකට සම්මාදම් නොවි බැරි නිසා කැටේට සල්ලි දැම්මා. අදින්න පුබ්බකගේ ඥාති සම්බන්ධයක් තියෙන අන්දුබයියා අවුරුදු ගානක් පරණවුනු පොට්ට කාසි කිහිපයක් ලාච්චිචුවේ පතුල අතගාලා හොයාගෙන ඒක කැටේට දාලා රුපියල් දාහක්මාරක් දැම්ම වාගේ සිරිකුමාර මහත්තයාට ලොකු ටෝකක් එහෙම දෙන්න ගත්තා.

"ඔන්න මමත් සල්ලි දැම්මා. උඹ හරකෙක් නිදහස් කරනවා කියලා අපේ සල්ලි එහෙම පිල්ලි ගහන්න එහෙම එපා."



දැන් අපේ හැමෝමගේම කතාව සිරිකුමාර මහත්තයා කැටේ සල්ලි වලින් අසරණ සතා  නිදහස් කරන හැටි ගැනයි. අපිත් ඉතිං සිරිකුමාර මහත්තයාගේ මේසය පැත්තේ යන හැම සැරේම කරන්නේ අර කැටේ හොලවලා බලනවා ඒක පිරිලාද කියල බලන්න. සති මාස ගෙවිලා අවුරුද්දක් විතර ගෙවිලා ගියා එත් අනේ අර කැටේ පිරුනේම නෑ. හැමදාමත් ඒක එකම ප්‍රමාණයයි තිබුනේ.

"මෙතනට එන කී දෙනෙක් මේ කැටේට සල්ලි දානවද ඒත් මේක පිරෙන්නේ නැති එකත් ප්‍රශ්නයක්. කියන්නත් බෑ මු උපාසකයාවාගේ ඉදගෙන දාන දාන සල්ලි උස්සනවාද කියලා."  අමරසිරියා කියාපි.

"ඔව් ඔව් බලපං කැටේ යටින් හිලක්වත් තියේනවාද කියලා."

අපේ උසුලු විසිලු අහගෙන  සිරිකුමාර මහත්තයා කරබාගෙන හිටියා මිස පොර නොවෙයි ඒවාට කේන්ති ගත්තේ.



ඇත්තම සිද්ධවුනේ සිරිකුමාර මහත්තයා ලගට එන්නේ එකම කට්ටියක් නෙව ඉතිං එයාලා මුලින් සල්ලි දැම්මාට හැමදාමත් ඕකට සල්ලි දැම්මේ නෑ. ඒ නිසා කවදාවත් කැටය පිරුනේත් නෑ. අපිත් මුලදී සල්ලි දැම්මාට ඊට පස්සේ කීයක්වත් කැටේට දැම්මේ නෑ නොවැ. මගේ වැඩෙත් සිරිකුමාර මහත්තයා හමුවෙන්න ගියාම කැටේ හොලවලා බලලා "කවදාද බං උඹ මේ අසරණ සතා නිදහස් කරන්නේ?" කියලා අහන එකයි. අනේ අසරණ පොරටත් මේක හිසරුදාවක් වෙලා දැන්.

ඔන්න එක සති අන්තයක එක පාරටම අර කැටය අතුරුදහන් උනා. මේකට මොකද උනේ කියලා අහන්න පියන් කොලුවාත් හිටියේ නෑ. එයා මාසයක් හමාරක් එක දිගට වැඩ කරලා ගෙවල් දොරවල් වලට ගිහින් පවුල් පන්සල් බලා එන්න එපැයි. කොලුවා නිවාඩුදාලා ගමේ ගිහිල්ලා. දැන් කැටේ හොරු අරන් ගිහිල්ලා කියලා අමරසිරියා අපිටත් පනිවිඩය එව්වා. අපිටත් ඕනේ වෙඩ්මක් අවමංගුලක් කරගන්න හින්දා පැනගෙන ගියා සිරිකුමාර මහත්තයාගේ මේසය ලගට.  

"මචං කැටේ කොච්චර සල්ලි තිබුනාද?"

අන්දුබයියා ඇහැව්වා.

"දන්නේ නෑ බං."

සිරිකුමාර මහත්තයා අසරණ ලෙසින් කිව්වා.

"ඇයි උඹ ගනන් කලේ නැද්ද?"

"මම කැටේ කැඩුවේ නෑ."

"එහෙනම් නෝනාද කැඩුවේ?"

සිරිකුමාර මහත්තයාට මේ කිසි දෙයක් තේරුනේ නෑ.

"මචං ඇත්ත කියපං  හොද ගානක් එකතුවෙලා තිබුන හින්දා උඹ නේද කැටේ ඉස්සුවේ?" මම කෙලින්ම ඇහැව්වා.

"වෙන්න පුලුවන් මූ උස්සලා ඒක පියන් කොල්ලාගේ පිටට දාන්න ගහපු ගේමක්ද දන්නේ නෑ." අන්දුබයියා මැදට පැනලා ඇහැව්වා.  

"කැටේ සල්ලි ටික ටික උස්සලා දැන් ඒකේ සල්ලි නැතිවුනාම උඹ කැටේ අතුරුදහන් කලා නේද?"

අමරසිරියා කිව්වා විතරයි උපාසක සිරිකුමාර මහත්තයාට ආලවකයා වැහුනා වාගේ යක්ෂ සේනාධිපතියා හිස මුදුනටම ආරුඪ උනේ ක්ෂණිකයෙන්. පොර මේසේ උඩ තිබ්බ පේපර්වේට් එක අතට අරන් හිදගෙන හිටිය පුටුව පස්සට දාලා නැගිට්ටා.  කොකටත් ආරක්ෂාකාරි පියවරක් ලෙසට මාත් පස්සට පැනලා පාංශූදේහධාරි අන්දුබයියාට මුවාවුනා.

"යකෝ තොපිට මේක විහිලු මම උස්සනවාද මගේ කැටේ?"

තවදුරටත් සිරිකුමාර මහත්තයාට විහිලු කිරිම කිරිමෙල් නඩුවක් යන මිනිමැරුමක් දක්වා දිගගැස්සෙන බව අවබෝධ කරගත් මංතුමා අන්දුබයියාත් ඇදගෙන ආපහු අපේ මේස වෙතට ආවා. මොකද හතර පෝයටම සිල් සමාදම් වෙන උපාසකයොත් මිනිමරුවෝ වෙන අවස්ථාවල් උදාවෙනවා නෙව.  

කැටේ අතුරුදහන් වෙලා දවස් පහකට පස්සේ අපේ පියන් කොලුවා ආපහු වැඩට වාර්තා කලා.

"බලන්නකෝ මහත්තයෝ මම බලංගොඩ හරියේදි තේ බොන්න  බස් එක නැවැත්තුවාම බෑග් එක ඇරලා බැලින්නම් සිරිකුමාර මහත්තයාගේ පිං කැටේ ඒක ඇතුලේ."

"ඈ එහෙනම් උඹද පිං කැටේ ඉස්සුවේ?"

"මට මොකටද පිං කැටයක්? ෂුවර් එකටම මේ වැඩේ කරන්න ඇත්තේ අමරසිරි මහත්තයා තමයි. මේ කැටේට කුරුමානම් අල්ල  අල්ල හිටියේ එයා තමයි."

පියන් කොලුවා එයාගේ සැකය කෙලින්ම අමරසිරියාට එල්ල කෙරුවා. අමරසිරියා උගේ ඉස්සාරට  පැනපු බොල්ලෑ දත නොපෙනෙන්න කට අතින් වහන් හැමදාමත් දාන කින්ඩි හිනාව දැම්මා. ඒ කියන්නේ පියන් කොලුවා ගෙදර යන්න කලියෙන් උගේ ඇදුම් බෑග් එකට පිංකැටේ හොරාට ඔබලා නෙව. මේ සිද්ධියෙන් පස්සේ සිරිකුමාර මහත්තයාට පිංකැටේ චේතනාව එපාවුනාද මන්දා . එයා මේ පිංකැටය කඩලා බලන්න ඔනේ කිව්වා. අපි ඔක්කෝම ඉන්නැද්දී එයා කැටය කැඩලා සල්ලි ගැන්නා. අතිසෝචනියයි  මිත්ත්‍රවරුනි පිං කැටෙි එකතුවෙලා තිබ්බ සල්ලි වලින් යාන්තමට හරක් මස් කිලෝ එකක් ගන්න පුලුවන් ගානක් මිස හරකෙක් ගන්න නම් බෑ.

"යකෝ මෙකෙන් මොන සත්තු නිදහස් කිරිල්ලක්ද?" අන්දුබයියා ඇහැව්වා.

"ඔන්න ඔකත් අරන් හවසට යමං හෙට්ටියාවත්තේ බෝලෙ මේසේ රෙස්ටුරන්ට් එකට." කෑම බීම අංක එක කරගත්තු අමරසිරියාත් කට දැම්මා.

"තොපිලාට පිං අතේ වැඩක් උනත් විහිලු. ඔය බොන සල්ලි මේකට දැම්මා නම් අද කැටෙත් පිරිලා සතා නිදහස් කරගන්නත් තිබුනා. බොලාගේ උදව් නැතිවාට කමක් නෑ මම කොහොම හරි සතෙක් මරණින් නිදහස් කරනවා."

සිරිකුමාර මහත්තයා සල්ලි ටික අතේ ගුලිකරන් සපත කලා. කැටය මේසය උඩින් අයින් වුන නිසා අපිත් ආපහු කැටය ඇදන් විහිලු කරන්න ගියෙත් නෑ. අපිටත් මේක අමතක වෙලා ගිහින් තව මාස හයක් විතර ගෙවිලා ගියා. ඔන්න ආයෙත් දවසක සිරිකුමාර මහත්තයාට පොඩි ලිෆ්ට් එකක් ඕනවුනා ගෙදර යන ගමන් මගින් බහින්න.

"මචං අර අසරණ සතාව මරණින් නිදහස් කරාද?"

නිකං යන්නත් බෑනේ වල්පල් ටිකක් කතාවට ඇදලා ගත්ත මං මගදි අර සතා නිදහස් කරන වැඩේ ගැනත් ඇහැව්වා.

"ඔව් මම කරා."

"එච්චර සල්ලියක් එකතුවුනේ නෑනේ. උඹ අතින් දාලද සතා බේරාගත්තේ?"

"උඹ දන්නවානේ මං මාස පඩියෙන් රෝල ගහන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා. අපි හැදුවේ සතෙක් මරණින් මුදවා ගන්න නේ. ඉතිං ඒකට හරකෙක්ම වෙන්න ඕනේ නෑනේ."

"එතකොට මොකාද මරණින් බේරාගත්තෙ?"

"අර රත්මලානේ බෙලෙක්කඩේ හංදියේ තියෙන මස්කඩ පේලිය උඹ දන්නවානේ?"

"ඔව් ඉතිං?"

"ලොකු සල්ලියකුත් අතේ නැති හින්දා ඔතනට මරන්න ගෙනාපු කුකුලෙක් මරණින් බේරාගත්තා මචං."

"දැන් කෝ කුකුලා? කොහේටද නිදහස් කලේ?"

"මචං කුකුලා ගෙදර ගෙනිච්චාම ගෑණි ඇගට කඩන් පැන්නා මෙහේ කුකුලෙක් හදන්න ඉඩ කොහේද කියලා. මොනා හරි කියලා තියාගන්න තිබුනා කිකිලියෙක් උනානම් කුකුලාගෙන් බිත්තර ගන්නත් බෑනේ."

"ඉතිං?"

"ඒපාර කුකුලව ඉඩ තියෙන හින්දා ඉස්සරා ඉන්න මස්සිනාගේ වත්තට දැම්මා. පස්සේ උන්ගෙනුත් බරබරේ කුකුලාගෙන් මල්පාත්තියක්වත් තියාගන්න බෑ හැමතැනම පහුරුගානවා කියලා."

"ඉතිං උඹ ඌව වෙන දිහාකට දුන්නාද?"

"නෑ බං එයාලා ඌව නිදහස් කරලා."

"ඈ බං ඒ කොහේටද?"

"කුකුලාගෙන් මලවදේ හින්දා මස්සිනාගේ ගෙදර පාටියක් තිබුන දාක අනිත් මස්සිනාලා එකතුවෙලා ඌව උගේ කුකුල් ජිවිතයෙන් නිදහස් කරලා මචං."

සිරිකුමාර මහත්තයා බොහෝම කණගාටුවෙන් කිව්වා.





Wednesday, August 24, 2022

ස්ටේෂන් පෙන්නීම


   

ඔන්න කොළොම්පුරයාගේ හිතාදර ගුරුජී අන්දුබයියාගේ විර වික්‍රම ඇඟපත සුලලිත වෙලා කිලිපොලා යන අති සුන්දර කතන්දරයක් අරන් ආවා.
ඔන්න එක්තරා සෙනසුරාදා දිනයක කොළොම්පුරයාගේ ඔපිසියට අසුබදායි සුබ ආරංචියක් ආවා. ඒ කොළොම්පුරයා රාජකාරිකොරන ආයතනයේ හා අංශයේ  GM ලොක්කෙකුගේ පියානන් කළුරිය කළ විත්තිය. දන්නවානේ කට්ටියට මළගෙදරකට යෑම කියන්නේ ට්‍රිපක් ගියාසේ තමයි. අනික කාගේ මළගෙදරකට නොගියත් මේ මළගෙදරට සහභාගිවෙන්නම ඕනේ. මොකද කොළොම්පුරයාත් එම GM යටතේ ඇති අංශයේ වැඩ රාජකාරිකරන උදවිය හින්දා. කොළොම්පුරයාගේ ඔපිසියේ දෙවැනි බොසාගේ පදිංචිය නුවර. එයාට නුවර ඉදන් දිනපතා කොළොම්පුරයට එන්න යන්න බැරි නිසා බෝඩිමක තමයි නතරවෙලා උන්නේ. මේ කියන කාලේ අපේ දෙවැනි බොසාට තිබුනා ටවුන්එස් වෑන් රථයක්. ඒකෙන් සති අන්තයට නුවර ගොහින් ආපහු සදුදා උදේම කුකුලත් අතින් අරන් සෙකංඩගලින් සල්පිටි කෝරලේ ගෙන්දගම්පොළාවට නැත්නම් කොළොම්පුරයට මංගච්චනවා. එයාත් ලෑස්තිවුනේ සෙනසුරාදා දිනයක්වුන හින්දා මළගෙදරට සහභාගිවෙලා ඒගමන්ම ගෙදර යන්න පුලුවන් නිසයි. අපිත් එයාගේ වෑන් රථයෙන්ම කුරුණෑගල යන්නයි දැන් ලෑස්තිය. ලොකු බොසා තියෙන වැඩ ටිකත් ඉවරකරගෙන හවස්වෙලා එන විත්තියක් කිව්වා. එයත් එක්ක එන්න එයාට මුට්ටි අල්ලන කිහිප දෙනෙක් නතරවුනා. අපි කට්ටිය දවල්ට කාලා එහෙම වෑන් රථයට ගොඩවැදුනා. 
       කොහොමත් බීමට ලැදි අන්දුබයියා පෑලියගොඩට එන්නත් පෙරම කොළොම්පුරයා ඇතුලු කිහිප දෙනාට කොදුරන්න ගත්තා. ඒ ඉතිං මළගෙදරට යන්න ඉස්සර මේ සොකජනක අවස්තාව සමරන්න. මේ වැඩේ නොකෙරුවෙත් අන්දුබයියාගෙන් බේරිලා ආපහු ඔපිස් එකේ වැඩකරලා හමාරයි. අපිත් අනුමැතිය දීලා අහවරවෙලා බොසාට කියලා දැල් කඩයක් අසළ නවත්වාගත්තගෙන දැල් කඩේ ලඟට ගිහින් සම්මාදම්ක් දැම්මා. එත් ඉතිං අන්දුබයියා සාක්කුවට අත දැම්මාට අත එළියට එන්නෙත් නෑ සල්ලි එන්නෙත් නෑ. අපේ අන්දුබයියා කවදාවකත් මුදල් පසුම්බියක් නැතිනම් පර්ස් එකක් පාවිච්චි කරන්නේ නෑ. අත දැම්මාම එළියට ආපහු නොඑන හින්දා අන්දුබයියාට තියෙන්නේ රබර් සාක්කුයි කියලයි සමහරුන් එහෙම කියන්නේ. කොළොම්පුරයා නම් එහෙම කියලා නෑ ඔහේලා පල්ලා සත්තයි. අන්දු බයියාගේ සාක්කුවට ගිය අත එහෙමම තියෙද්දී වැඩිපුර සල්ලිය බාගේ තියෙන උන්ගේ අනුග්‍රහයෙන් බියර් කෑන් කිහියක් වෑන් රථයට වැඩැම්මෙව්වා. ගෙනාපු හැටියේම කෑන් එකක් කඩාගෙන චියර්ස් නොකියාම ඇදලා ඇරිය අන්දු බයියා ඉදලා තියෙන්නේ මාර තිබහකින් කියලා දුකකුත් ඇතිවුනා. GM ලොක්කා හින්දා වැඩිය ගසලා මළගෙදරට යන්නත් බෑ. අන්තිමේදි යන්නතම් සන්තම් ප්‍රමාණයකින් අපිට සැනසෙන්නට උනත් අන්දුබයියා අපේ ඒවාටත් වග කිව්වා නෙව. කුරුණෑගල නගරය පහුකරන් අනුරාධපුර පාරේ මාස්පොතට ගිහින්  මළ ගෙදරටත් සෙන්දුවුනා. අපේ කට්ටිය කදුක්මුසු මුහුණක් දාගෙන මළගෙදරටත් ගොඩවෙලා GM ලොක්කාටත් ආචාරකෙරුවා. ගෙදරින් එළියට ඇවිත් ප්ලාස්ටික් පුටු ටිකක වාඩිවුන සෙට් එක උන්නේ කතා කරන්න මාතෘකාවක් නැතිවයි. GM ලොක්කාත් අපේ උදවිය ලඟට ඇවිත් කතාවකට මුලපිරුවා. ලොක්කාට වැඩිය මුහුණ දෙන්න බැරි හින්දා අන්දුබයියා කොළොම්පුරයාවත් අඩගහගෙන ගේට්ටුව පැත්තට ගියා.
"ඇයි අන්දුබයියේ මෙහෙට ආවේ? අතන උන්නා නම් මාරි එකක් කාලා නෙස්කැෆේ එකක් බෙන්න තිබ්බා නේ."
"බම්බු නෙස්කැෆේ යකෝ අතන හිටියා නම් GM ගේ කතාවට සෙට් වෙන්න වෙනවානේ."
"ඉතිං මොකෝ?"
"මොකෝ තමයි ඇයි උකන්නෝ අපි බීලා කියලා ඌට දැනෙනවානේ."
අන්දුබයියා බීලා හිටියත් මාර මිටරයකින් නෙව ඉදලා තියෙන්නේ.  

        පාරට ආපු අපි ට කරන්න දෙයකුත් නෑ දෙන්නා එක්ක එහා වත්තේ පොල් ගස්වල පොල්වලූ ගනිනවා ඇරෙන්න. ඒ අස්සේ අපේ පියන් කොලුවාත් දෙවැනි බොසාගේ වෑන් එකෙන් බාගත්තු ශොකාප්‍රකාශ බැනර් මිටියක් උස්සාගෙන එතනට කඩාවැටුනේ නැතැ.

"අන්දුබයියා මහත්තයා මේ බැනර් ටික මේ පේන හරියකින් එල්ලන්න කියලා බොස් මහත්තයා කිව්වා."
"කිව්වා නම් උඹම එල්ලා ගනිං. මේ ඇදුම් පිටින් උඹ කියන්නේ අපිට ගස් බඩගාන්න කියලාද?"
අන්දුබයියා කොලුවාට කඩාගෙන පැන්නා. ඌත් අන්දුබයියාට බයවෙච්චි පාර බැනර් මිටියත් එතැන අතහැරලා මළගෙදර දිහාට දිව්වා. ටික වේලාවකින් මෙන්න අපේ දෙවැනි බොසාත් අපි දිහාට ආවේ අනෙක් උන් දෙන්නාවත් අරගෙනයි.

"අන්දුබයියා මේ බැනර් ටික එල්ලන්න හොද තැනක් කියන්න කෝ."
"මෙව්වා එල්ලන්න කෝ ලණු? කට්ටියට දෙන්නා දෙන්නා දෙපැත්තෙන් අල්ලාගෙන තමයි ඉන්න වෙන්නේ."
"හරි මම ලණු ගෙනත් දෙන්නම් ඔයා මළගෙදරට එන අයට පේන තැනක් බලලා තියන්නකෝ."
අන්දුබයියාගේ හැටි දන්නා දෙවැනි බොසා එහෙම කියලා පියන් කොලුවක් අරන් කඩයක් හොයාගෙන පාර පැත්තට ගියා.

"ගනිං අන්දුබයියේ ඔය බැනර් එකක් මෙන්න මෙතන එල්ලන්න."
"පකෝ ඔතැන හරියන්නේ නෑ. පාරට පෙන්නේ නෑ. මෙන්න මෙතැන උඩින් එල්ලාපං."
කොහු ලණු ගෙනාවට පස්සේ අපිත් මිනිහාට මුල් තැන දිගෙන බැනර් ටිකත් එල්ලා අහවර කළා. දැන් හවස පහටත් කිට්ටුකරලා අපේ ලොකු බොසා තාමත් නෑ.  ලොක්කා එක්ක එන්න හිතාගෙන නතරවුනු එකෙක් අපිට කොල් එකක් අරන් කියපි තාමත් බොසා එක්ක ඔපිස් එකේ ඉන්නේ පොඩි වැඩක් ඉවරකරලාම යනවා කිවිවා කියලා.  මිනිහාත් එක්ක එන්න හිටියා නම් අපිටත් වෙන්නේ මළගෙදර නයිට් එකක් අදින්න. අන්දුබයියා බැලුවේ ලොකු බොසා ආවානම් එයාගේ වාහනේ ආපහු කොළඹ එන්නයි. දැන් ඒකත් හබක්. කොළඹට එන්න ඉන්නේ කොළොම්පුරයයි අන්දුබයියායි විතරයි. පියන් කොලුවාත් ලොකු බොසා ආවාම එන්නම් කියලා මළගෙදරට සපෝට් එකටත් එක්ක නතරවුනා.

"බොසා එනකම් ඉන්නේ නැත්නම් උඹලාව කුරුණෑගල ටවුමෙන් දාන් යන්නම්. " 
මළගෙදරට ආයුබොවන් කියලා දෙවැනි බොසා නුවර යන්න ලෑස්තිවෙනගමන් කීවා. ඔන්න ඔහේ කියලා වෑන් එකට ගොඩවුන අපි දෙන්නාවත් කුරුණෑගල ටවුමෙන් හලාගෙන දෙවැනි බොසා ඉගිල්ලුනා.

"ඒයි අන්දුබයියේ කොහේද මේ යන්නේ? මේ බස් ස්ටෑන්ඩ් එක පැත්තට නොවෙයි නේද?"
"බජ්ජහුරස් බං මං මේ පොඩි පොට් එකක් හොයනවා."
"අයියෝ අර මළගෙදරින් දාලා එන්නයි නේ තිබුනේ."
"ඔය ලැට් හොයන් ගෙවල් අස්සේ රිංගන්න බෑ."
"හොයන්න බැරිනම් GM ලොක්කාගේ ගෙදරට එහා පැත්තේ පොල්වත්තට ගියානම් නිදහසේ හුළං වැදීගෙනම කරන්න තිබුනා නේ."
"මේ උඹ පොඩ්ඩක් හිටපං කෑගහන්නේ නැතිව."
මිනිහා රිචඩ් පොත් සාප්පුව පැත්තට පිස්සුවෙන් වාගේ ඇවිදන් යනවා.
"මේ මිනිස්සු ඉන්න අස්සේ කොහේද ලොක්කා තාප්ප? හොටලයකට ගිහිල්ලා දැම්මා නම් ඉවරයිනේ."
අන්දුබයියා ගාල කඩාගත්තු මී හරකාවාගේ හයියෙන් හයියෙන් පාර දිගේ ඇවිදින්න ගත්තා. කොළොම්පුරයාත් මිනිහා පස්සේ දුවනවා. අන්තිමේදි පොත් සාප්පුව ලඟ තිබුණ හදන කඩ කැල්ලක් අස්සට පැනලා අන්දුබයියාගේ බර හෑල්ලු කරගත්තා. කොළොම්පුරයා ඇගේ ලේ වතුරකරන් බලන් හිටියේ අනුන්ගේ කඩ කෑලි අස්සේ මුත්‍රා කරන එකාට නෙලන ජවනිකාවක සාක්කිකරුවෙක් වෙන්න ලැබෙන එකට.  

"ඒයි උඹට බඩගිනි නැද්ද?"
බජ්ජහුර හෑල්ලුකරන් කඩ කෑල්ල අස්සෙන් එළියට ආපු අන්දුබයියා ඇහැව්වා.
"බඩගිනියි තමයි කොහේද මාරි එකක් කාලා නෙස්කැෆේ බොන්න තිබුනු චාන්ස් එකත් නැති කළානේ."
"තෝ මාරියි නෙස්කැෆෙ බොන එක ගැනමයි ඈඩියාව. ඔච්චර මාරි කන්න පෙරේතද?"
"නෑ බිස්කට් කෑවානම් මෙහෙ හොටල් ගානේ රිංගන්න ඕනේ නැනේ. බියර් බීලා අතේ සල්ලිත් නෑ. බස්එකේ යන්න මදි වෙයිද මන්දා?"
"අනේ තොගේ සල්ලි. කොයි වෙලාවෙත් නෑ කියාගත්තු ගමන්. යකෝ සල්ලි තියෙන්නේ වියදම් කරන්න මිසක් පොදි ගහන්න නෙමෙයි."

අන්දුබයියා මංතුමාට බැන බැන කන්න හොටලයක් හොයන් එහෙට මෙහෙට කැරකෙනවා. අන්තිමේදි පැරකුම්බා විදියේ රන්සිළු හෝටලයට ගොඩවෙලා  අන්දුබයියාගේ ජාතික ආහාරය වුනු කොත්තුවක් අරන් දෙන්නාත් එක්ක බෙදාගෙන රසබැලුවා. අපරාදේ කියන්න බෑ කොන්තුවේ බිල ගෙව්වේ අන්දුබයියාම තමයි.  ප්ලෙන්ටි දෙකකුත් බීලා අහවරවෙලා දෙන්නාත් එක්ක ආයෙමත් පාරට වැටුනා. දැන් හවස හයටත් කිට්ටුවෙලා තාමත් කොළොම්පුරයා කුරුණෑගල ටවුමේ.
  
"මේ ලොක්කා අපිට කොච්චිය නැග්ගානම් ඉක්මණට කොළඹ යන්න තිබුනා. මෙහේ බස් එනකම් බලන් ඉන්නේ නැතිව ස්ටේෂමට යමුද? දැන් මේ වෙලාවට කොළඹට කොච්චියක් නැතිවෙන්න බෑ. ස්ටේෂම තියෙන තැන ඔයා දන්නවානේ?"

මගේ යෝජනාවට අන්දුබයියාත් කැමතිවුනා. දැන් දෙන්නාත් එක්ක ස්ටෙෂම බලා ගමනේ යෙදෙන්න ගත්තා. සියල්ල දන්න මිනිහා වගේ අන්දුබයියා යනවා යනවා නවතින පාටක් නෑ. ස්ටෙෂම මේ ලඟ ඇතියි හිතපු කොළොම්පුරයාත් අන්දුබයියා පස්සෙන් යනවා.
"මේ ලොක්කා ස්ටෙෂම තව දුරද?"
කිලොමිටරයක් විතර ඇවිදපු කොළොම්පුරයා ඇහැව්වා.
"නෑ මේ ලඟ."
කොළොම්පුරයාට ඉස්සරවෙලා ගිය අන්දුබයියා පාරේ ගිය මනුස්සයෙක්ගෙන් මොනවාදෝ අහලා ආයෙමත් ඇවිදින්න ගත්තා.
"ස්ටේෂම තියෙන තැනද ඇහැව්වේ?
නෑ මේ ලඟ ඉස්පිරිතාලයක් තියේනවාද ඇහැව්වා උඹව ඇඩ්මිඩ් කරන්න. කට වහන් වරෙන්."
තවත් කිලොමිටරයක් විතර ඇවිද්දාත් ස්ටේෂමක් තියා රේල් පාරක් වත් කොළොම්පුරයා දැක්කෙ නෑ. දැන් කුරුණෑගලට ඇඳිරියත් වැටිලා ඉවරයි තවම දෙන්නා ඇවිදිනවා.
"අන්දුබයියේ තව දුරද?"
"අර ලයිට් හරියේ."
මිනිහා ඈත තියෙන විදුලි බුබුලු ගොඩාක් දැල්වෙන හෝටලයක් පෙන්නුවා. ආපහු ඇවිදින්න ගත්තා. ඈතින් දැක්ක විදුලි බුබුලු තියෙන හොටල් කිහිපයකුත් පහුකරන් තවත් කිලෝමිටරයක් විතර ගියා එත් ස්ටේෂම නෑ. කොළොම්පුරයාට දැන් හොදටම මහන්සියි තොහෙට්ටුයි. ඒ අස්සේ සපත්තුවකින් කකුල කැපෙන්නත් අරගෙන.
"මේ ලොක්කා ඔයා දන්නවාද ස්ටේෂම තියෙන තැන. මේ යන්නේ හරි පාරේද? මෙහෙම ගියොත් කොළඹට ඇවිදින්න පුලුවන්වෙයි."  
මිනිහා කිසිම සද්දයක් දැන් නෑ. කතාකලත්  ඇහුනේ නැති ගානට අන්දුබයියා යනවා. මෙච්චර දුර ආපු එකේ ආයේ හැරිලා යන්නත් බෑ. දැන් කොහොම හරි ස්ටේෂමට ගිහින් කොළඹට යනවා යන දැඬි අධිෂ්ඨානයෙන්  කකුලත් නොන්ඩි ගසමින් කොළොම්පුරයාත් ඉදිරියට යනවා.
එන්න එන්නම අන්දුබයියා හා කොළොම්පුරයා අතර පරතරය වැඩිවෙලා ගිහින් කොළොම්පුරයාට වඩා මිටර් 150ක් විතර ඉදිරියෙන් අන්දුවා ඇවිදිනවා. දහඩියෙන් නෑවුනු කොළොම්පුරයාට මලේ උපරිම ඇවිල්ලා හිටියේ. මේ අතරේ ප්‍රධාන පාරෙන් හැරුනු අන්දුබයියා තවත් පාරක් ඔස්සේ යන්න ගත්තා. තවතා තිබූ තෙල් බවුසර් පෝලිමක් පසුකර ගියාට පස්සේ කුරුණෑගල තෙල් සංස්ථාවේ තොග ගබඩාවේ විශාල තෙල් ටැංකි කිහිපයකුත් කොළොම්පුරයාට දකින්න ලැබුනා. එතැන හිටිය කෙනෙකුගෙන් යමක් ඇසූ අන්දුබයියා කුඩා දෙවටක් අස්සෙන් රිංගුවා. ඔහු පස්සෙන් ගිය කොළොම්පුරයාට හැතැක්ම ගානක් ඇවිද ගිය පිනෙන් රේල් පාර දකින්න ලැබුනා. රේල් පාර දිගේ ආපස්සට ඇවිදආ පසුව කුරුණැගල දුම්රිය ස්ථානය දර්ශණය වුනේ ටවුමට වඩා ගොඩාක් ඈතින් ස්ටේෂම හදපු උන්ගේ මව්ගුණ සිහිකරමින්. නොන්ඩි ගසමින් ආපු කොළොම්පුරයා වඩා ඉදිරියෙන් හිටිය අන්දුබයියා ස්ටේෂමටත් ගොඩවෙලා අවසන්.

"ඒයි  කොළඹ කොච්චිය දැන් පැය භාගෙට කලින් ගිහිල්ලා ආයේ එකක් තියෙන්නේ රෑ එකලොහටලු."
එකේ හිටපු කාගෙන්දෝ අහලා අන්දුබයියා කිව්වා. කොළොම්පුරයාගේ ඉවසීමේ සිමාව පැන්නා.
"මේච්චර දුර මේ ස්ටේෂම තියෙනවා කියලා ඔයා දන්නේ නැද්ද?"
"නෑ මම දන්නවා."
"දන්නවා බම්බුව. දන්නවා නම් තොගේ ආච්චිගෙ අහවල් අවයවයකටද  මෙච්චර දුර පයින් ආවේ?"
"උඹනේ කිව්වේ කොච්චියේ යන්න ඕනේ කියලා ඉතිං මම ආවේ උඹට ස්ටේෂම තියෙන තැන පෙන්නන්න."
උපරිම කේන්තියෙන් හිටපු කොළොම්පුරයා අන්දුබයියාගේ හත්මුතු පාරම්පරාවේ අටවෙනියාව මතක් කර කර ආපහු ප්‍රධාන පාරට ඇවිත් කුරුණෑගල බසයක නැගලා ටවුමට ඇවිත් කොළඹ එන බසයකට ගොඩවුනා. දැන් මේක කියවන උන්නැහෑලාට පුලුවන්නම්  හත්මුතු  පරම්පරාවේ අටවෙනියා නම් කරලා අල කොමසාරිස් ඩ්‍රැස්කියා  හාමු මහත්තයාගේ  ඇන්ටික් පන්නයේ භාවිතයෙන් ඉවත්කරන ලද  මොටවූ උල්දත් යුගල දිනාගන්න.
අන්දුබයියා ඇවිදපු දුර

ගුගල් දෙයියාගේ සිතියම් පොජජෙන් බැලුවාම අන්දුබයියා කොළොම්පුරයාට කුරුණෑගල ස්ටේෂම පෙන්වන්න කිලෝමිටර් දෙකහාමාරක් පමණ  පයින් ඇවිද්දවලා තියේනවා.  අදටත් අන්දුබයියා පවසන්නේ එයා කුරුණෑගල  ස්ටේෂම තියෙන තැන දන්නා බවත් කොළොම්පුරයාව ඇවිද්දුවේ සරිර සවුක්කිය උදෙසා යහපත් පරමාර්ථයෙන් හා ස්ටේෂම තියෙන දුර පෙන්නීමට පමණක් බවයි.

අන්දුබයියාගේ ස්ටේෂන් පෙන්නීම මෙතැනින් නිමියේයැ.

.

Monday, July 11, 2022

අන්දුබයියාගේ මුදාහැරීම



             ඔන්න කාලේකට පස්සේ අන්දුබයියාගේ කතන්දරයක් අරන් කොළොම්පුරයා ආයෙත් කොළොම්පුරේට ගොඩබැස්සා. නැන්දාම්මාගේ දේපල ලියාගන්න මාරම ට්‍රයි එකක් දුන්න අපේ සිරිකුමාර මහත්තයා දන්නවා නේද? දන්නේ නැත්නම් මෙන්න මෙතනට කොටලා කාලේකට ඉස්සරින් ලිව්ව අභිරහස කතන්දරේ කියවා එන්නකෝ. හරි දැන් නොදන්න උදවිය කියවාලා එනකම් දන්න උදවියටයි මේ කතන්දරේ කියන්න යන්නේ.
අපේ සිරිකුමාර මහත්තයා නැන්දම්මාගේ සීන් එක ලීක්වුනාට පස්සේ ගෙදරටත් මේක පදිරිවුනා. දන්නවානේ අපේ මෑන් මොළකාරයානේ. මිනිස්සු තමන්ට කෙලවුනාම එල්ලෙන්නේ ධර්මයේ. අපේ මිනිහා ගෙදරටත් අනික් උන්ටත් හොඳ මිනිහා වෙන්න ධර්මය පැත්තට බැස්සා. ආන් දැන් උපාසක සිරිකුමාර වෙලා. මස් මාලු අනුභවයෙන් වැලකිලා  ඔපිසියේ මේසේ ලඟ බුදු පිලිමයක් තියලා පන්සිල් පද ඇතුලු පොස්ටරයක් එහෙමත් බිත්තියේ ගැහැව්වා. මේක කියවන ඔහේලා පල්ලා මේ සිරිකුමාරයා අපිත් එක්ක විසේසයෙන් අන්දුබයියා එක්කත් සෙට්වෙලා කරන අමෘතපානයත් අතැහැරියා. හැබැයි දවසක් මම දැක්කා දවසක සිරිකුමාර මහත්තයා මස්කඩේක ඉන්නවා.

"ඈ බං උඔ මස් මාලු කන්නේ නෑතිව වෙජිටේර්යන් වෙලා නේද ඉන්නේ?"
"ඔව්"
"එතකොට උඔ මොකටද අර හරක් මස්කඩේ උන්නෙ?"
"මම වෙජිටේරියන් උනාට ගෙදර උන් වෙජිටේරියන් වෙලා නෑ බං."
"ඉතිං උබේ ධර්මය කියලා දීලා ගෙදර අයත් වෙජිටේරියන් කරවන්න පුලුවන්නේ."
"පිස්සුද බං ඕවා මෙහෙට කිව්වාට ගෙදරට හරියන්නේ නෑ. උඹ හදන්නේ මට ඉන්න ගෙදරත් නැති කරන්නද? " 
ඇහැව්වාම මෙන්න මිනිහා දුන්න උත්තරේ.

               තව දවසක අපේ අන්දුබයියාට සිරිකුමාර මහත්තයා ධර්මය ගැන හොඳ දේශණාවක් දෙසනවා. අන්දුබයියාත් එකත්පසව දේශණාවට ඇහුන්කන් දෙනවා. මමත් කන්දීලා බැලුවාම මෙයා කියන්නේ මස් කෑමේ විපාකයි. වෙජිටේරියන් වෙලා සතෙකුගේ ජිවිතයක් මරණින් බේරා ගැනීම ගැනයි. සිරිකුමාර මහත්තයා දුන්නා දේසනාවක් මස්වලට මළ පෙරේත අන්දුබයියාත් එදා කොම්පැනියේ බුෆේ එකේ තිබුනු කුකුල් මස් ව්‍යාංජනයත් කන්නේ නැතිව අතහැරියා. ඒවුනාට පස්සේ දවසක කෑවා. මේ ධර්ම් දේශණාව ඇහුවාට පස්සේ අන්දුබයියාටත් හිතුනා සතෙකුට අභයදානයක් දෙන්න. හැබැයි තනියම මේ අභයදාන සීන් එකට තනියම බරපැන යෙදන්න මිනිහා කැමති නෑ. දන්නවානේ පොර මහ මසුරා කියලා. කරන පවක් තනියම නොකර කට්ටිය සෙට්කරගෙන කරන උන්දෑ මේ පිනටත් කට්ටිය සෙට්කරගන්නට හිතුවා. කොහෙන්දෝ ප්ලාස්ටික් කැටයක් අරන් ඇවිත් එයාගේ මේසේ ඉස්සරායින් තිබ්බේ ගවයෙක් මරණින් මුදවාගෙන අභයදානය දෙන පිංකැටය කියලා බොඩ් කෑල්ලකුත් එහෙම ගහලයි. මුලින්ම කැටේට රුපියල් සීයයක් එහෙම දාලා අපි ලඟටත් එහෙම කැටේ එව්වේ සම්මාදමක් දමන්නයි. අපිත් පුලු පුලුවන් හැටියට සම්මාදම් කළා. පිං තකා කරණ වැඩක් නොවැ. අන්දුබයියාව හමුවෙන්න එන නානාප්‍රකාර ව්‍යාපාරික මහත්තුරුගෙන් ඒ කැටයට සම්මාදම් ලැබෙන්න උනා. හැබැයි එයා ලඟට එන්නේ එකම කන්ඩායමක් හින්දා මුලින් මුලින් සල්ලි කැටේට වැටුනත් පස්සේ පහුවෙන්න කැටයේ මට්ටම උඩට ගියේ නෑ. හැමදාමත් කාටද පුලුවන් පිනට දෙන්න.

            දවසක් බලනකොට මෙන්න බොලේ කැටේ තිබුන තැන කැටේ නෑ. බොඩ් කෑල්ල විතරක් ඉතිරි වෙලා තිබුනා. ආයෙමත් අර සීල් පෑඩ් එකට උනුදේම අන්දුබයියාලේ කැටේටත් වෙලාද කියලා හැමොම කසුකුසු ගාන්න පටන්ගත්තා නෙව. සුමානයක් ගතවෙලා ගියා කැටේට වෙච්චි දෙයක් නෑ.

"මචං අන්දු කැටේට ලොකු ගානක් එකතුවෙලා තියෙන්න ඇති නේද?
ඔව් බං.'
"ඒහෙනම් ෂුවර් එකටම ඒකට ශොට් එක කවුරුහරි දෙන්න ඇති. උඔ යනකොට කැටේ ලාච්චුවට දමලා යන්නයි තිබුනේ."
"කවුද බං හිතන්නේ පිනක් දහමක් කරගන්න වැඩකටත් මෙහෙම කරයි කියලා."
"මට හිතෙන්නේ අන්දුබයියාම මේ කැටේ උස්සලා අභයදාන සීන් එක නතරකරලා දාන්නයි හදන්නේ."
"අනේ පලයන් යන්න ..@*&%^$#........"
අපේ කාකාස මහතාත් ගෙදර ගිහිල්ලා උන්නු නිසා මේ කැටේ නැති වෙච්චි එක ගැන විස්තරයක් හොයාගන්නත් නෑ. මිනිහත් හොඳ ඕපාදුපයා හින්දා නොදන්න දෙයක් නෑ. සුමානයක් විතර හොඳ නිවාඩුවක් අරගත්තු කාකාස මහත්තයත් ආපහු ඔපිස් එකට ආවා. එයාගේ බෑග් මල්ලේ තිබිලා අර අභයදාන පිංකැටේ එළියට ආවා.
"මෙන්න බොලේ නැතිවෙච්චි පිං කැටේ. මූ තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ."
"මම අරගත්තු එකක් නෑ. මේක තිබුනේ මගේ බෑග් එකේ. මම ගිහිල්ලා බෑග් එක අදිනකොට මෙන්න මේකත් තිබුනා. " 
මෙච්චර දවසක් ගොලුවා කසාය බීලාවාගේ උන්නු අන්ඩපාල ගොඩපෙරකදොරු අමරසිරියා අත කටින් වහගෙන හිනාවෙන්න ගත්තා. බැලින්නම් අමරසිරියා ගෙදරයන්න ආපු කාකාස ගේ බෑග් එකට අන්දුබයියාගේ අභයදාන පිං කැටේ ඔබලා. සතියකට පස්සේ ආපහු පිං කැටේ අපේ ඔපිස් එකට ආවේ දියතලාවේ රවුමක් ගහලයි. පිංකැටේ නැතිවුනාට එක එක කතා අපෙන් අහලා මලඅතේ තියන් හිටපු අන්දුබයියාගෙන් හොදහැටි ලුනු ඇඹුල් කරපිංචා ගොරකා එක්ක සියඹලා අනන හැටි අමරසිරියා අහගත්තා.  

              ඕං පිංකැටේ තියලා අවුරුද්දක් විතර පහුවෙලාත් ගියා. හැබැයි කැටේ තාම පිරුනේ නෑ. අන්දුබයියාගේ මේසේ ලඟට යන අපේ කටේම තිබුනේ කැටේ ගැනයි. දැන් කැටේ සල්ලි වලින් අභයදානය දෙන්න පුලුවන් නේද කියලා.

"මචං උඔ මරනින් ගලවා ගන්න ඉන්න එකා තාම ඉපදිලා නැද්ද?"
"උඔ මරනින් බේරාගන්න කොට ඌ මැරිලා තව සැරයක් හරකෙක් වෙලා ඉපදිලා තියෙයි."
"දැන්  කවදාද උබේ ඔය අභයදාන සීන් එක තියන්නේ? උඔ පැන්සොන් යන දාටද?"
"මට පේන්නේ අන්දුබයියා මේ කැටේ සල්ලි උස්සනවා. නැත්නම් මේක මෙලකටත් පිරිලා."
"ආ මූ පැන්සෙන් යන්න හදන්නේ කිරි හරකෙක් මරනින් මුදෝනවා කියලා.  නිකම්ම කිරිඑලදෙනෙක් මුටත් ලැබිලා එකෙන් කිරි විකුණලා ගානක් හොයාගන්නත් පුලුවන්නේ."

           අපේ කියවිල්ල අහලාම අන්දුබයියාට කැටේ මේසේ උඩ තියන් ඉන්න බැරිවුනා. ටික දවසකට පස්සේ කැටේ එතනින් අයින්වුනේ බොඩ් කෑල්ලත් එක්කමයි.

"මචං අන්දුබයියේ කෝ බං පිංකැටේ?"
අන්දුබයියා හොඳ මුඩ් එකක ඉන්න අවස්ථාවක් අල්ලලා මං උන්දෑ ලඟට ගිහිල්ලා ඇහැව්වා.
"ඒක මං අයින් කළා."
"ඇයි?"
"උඹලාගේ වදේ හින්දා"
"එතකොට කෝ එකතුවෙච්චි සල්ලී?"
"මම එකෙන් සතෙක් මරණෙන් මුදාහැරියා."
අපේ අන්දුබයියාගේ තරම හොදැහැටි දන්නා මමත් විස්මයෙන් ඇලිලා ගියා. මේකා මෙහෙම වැඩක් කරයිද කියලත් විස්වාස කරගන්නත් අමාරුයි.
"කැටේ පිරිලා තිබුනේ නෑ නේද? හරකෙක් බේරාගන්න තරම් සල්ලියක් එකතුවෙලා තිබුනාද?"
"මේ ලෝබ උකන්නෝ සල්ලි දැම්මේ නෑ බං. එකේ එච්චර සල්ලියක් එකතුවෙලා තිබුනේ නෑ."
"එතකොට උඔ ඉතිරි ගාන දාලා හරකෙක් මුදාගත්තා?"
"ඒ සල්ලියෙන් කොහේ හරක් ගන්නද?"
"එහෙනම්?"
"එකතුවෙච්චි සල්ලිවලින් ගන්න පුලුවන් කුකුලෙක් විතරයි. ඉතිං මම එළුවිල හංදියේ නානාගේ කුකුල් මස් කඩේ මරන්න හිටපු කුකුලෙක් බේරා ගත්තා."
"ඈ බං කෝ දැන් ඒ කුකුලා කොහේටද අතහැරියේ?"
"උන්ව පාරද දාන්න බෑනේ. මං අපේ මස්සිනාගේ වත්තට ඌව අතහැරියා."
එහෙනම් ඌ එහේ හොදට කරදරයක් නැතිව ඉන්නවා ඇතිනේ?
"මොන පිස්සුද මස්සිනාගේ වත්ත පහුරුගානවා කියලා උන්ගෙන් හරියට කම්ප්ලෙන්. නෑනාගේ මල් පාත්තියත් ඉවරයිලු."
"ආපහු ඌව උඹලාගේ ගෙදර ගෙනාවද?"
"නෑ බං ඌව මුදවාලා දැම්මා."
"මොකක් මුදවලා දැම්මා? ඇයි පහුරුගාන හින්දා ගෙටගහලාද තිබුනේ?"
"නෑ බං අපේ මස්සිනාගේ මස්සිනා කටාර් ඉදලා ආපු හින්දා ගෙදර පාටියක් සෙට්වුනා. උන්ට බයිට් මදිවෙලා ඒ කුකුලාව ජිවිතයෙන් මුදාහැරලා. මම ඒ කරදරෙන් මිදුනා. " 

Monday, January 24, 2022

තවසන්ඩ් තවුසන්ඩ

 


අන්දුබයියාගේ තවත් කතාවක් අරගෙන ඔන්න මේ නව වසරේ ආවා. මේක අන්දුබයියාට සිද්දවුන දෙයක්ද කියා මම දන්නේ නෑ. හැබැයි උන්නැහේ තමයි මේක දෙසාවඳාළේ. තමන්ට සිද්දවෙච්චි දේවල් අනුන්ට වාගේ දොඩන්න අපේ අන්දුබයියා හොඳහැටි දන්නවා නොවැ. අපි  මේකේ කතානායකයා විදිහටත් අන්දුබයියාව දාමු එහෙම හොඳයි නොවෙද? හරි එහෙනම් ඔහෙලාගේ අනුමැතිය ලැබුනා නේ.  



අපේ අන්දුබයියා කසාද බදින්න හිටපු කෙල්ලගේ ගෙදර අම්මා තමයි ගෘහමුලිකයාවුනේ තාත්තා අම්මාගේ කීමට එහෙම ගිහිල්ලා ගෘහස්ත සාමය කඩකරගෙන ප්‍රචන්ඩත්වයට ලක්වෙන්න කැමති නැති නිහතමානි පොරක්. අම්මාගේ ටිකක් නොවෙයි අමු ලෝබයි අන්දුබයියාට නොදෙවෙනි නෑ. සියලු වියහියදම් පාලනය උන්දෑ තමයි කරන්නේ. කොහොමින් කොහොම අපේ ලොක්කා කෙල්ලව කරකාර බැන්දා. කෙල්ලගේ අම්මා වියදම් අඩුකරගන්නත් එක්ක මංගල්ලය තිබ්බේ ගෙදර.  දන්නවානේ අන්දුබයියා ඊටත්වඩා මසුරා කියලා  පොර බැඳලා පැනිහද බලන්න හනිමුන් ගියේ නෑ. මිනිහත් ගෙදර කාමරයක පැනි හද බැලුවා. පහුවදා අන්දුබයියා උදේ නැගිටලා වැසිකිලි ගතවෙනකම් දෙරකඩ කුරුමානම් අල්ලපු කෙල්ලගේ අම්මා කෙල්ලගේ වැඩේ හරිද බලන්න ගියේ පොඩ්ඩක් ඔරේප්පු පිට පිපිරි පිපිරි. කෙල්ලත් ඇදේ ඇලවෙලා හිටියේ පෙරදා අන්දුබයියා එක්ක  අල්ලපු නෙයියාඩගමේ කෙඩෙත්තුවත් එක්ක. අම්මා ආවාම කෙල්ල ඇදුමත් සකස්කරගෙන ඇදේ වාඩි ගත්තා. 

"ආ බං කෙල්ලේ උඹ දන්නවානේ මේ මගුලට වියදම් කොරන්න සල්ලි හොයාගත්තේ අමාරුවෙන් කියලා. ඉතිං උඹ මට මෙහෙම කරන එක හරිද?"

කෙල්ල උඩ බිම බැලුවේ අම්මා මොනවාද මේ කියන හතර බීරි කතා කියලා

"මොකක්ද අම්මේ මේ කියන්නේ?"

"කියන්නේ අනේ උඹත් මේ අම්මාගේ දුවනේ මටත් කොලේ වහන්න එනවානේ. මම උඹට වඩා හොදට එවා දන්නවා." 

කෙල්ලට හින්දාඩිය දැම්මේ අන්දුබයියා එක්ක එහෙ මෙහෙ ගිහිල්ලා කොරපුවා එහෙම අම්මාගේ කනට වැටිලාද කියලා. එත්  දැන් අන්දුබයියාව බැඳලා නේ මොකක් උනත් මොකද?

"මට තේරෙන්නේ නෑ මොකක් කියනවාද කියලා තේරෙන්න කියන දෙයක් කියන්න. "

"උඹගේ අන්දුවා හිතන්න ඇති නේද මට ඔය ඉංගිරිස් කෑලි දන්නේ නෑ කියලා. මම ඉස්කොලේ ගිහිල්ලා ලොකු විභාග පාස් නොකෙරුවාට මමත් ඉංගිරිස් කෑලිත් දන්නවා. "

"මොන ඉංග්‍රිසියක් ද අම්මේ?"

"ඇයි මගුලට හම්බවුනු සල්ලි ටික උබේ මිනිහා වෙච්චි ලෝබ අන්දුවා මට දෙන්න වෙයි කියලා හොරාට ගැන්නේ." 

"අපි ගැන්න සල්ලියක් නෑ."

"අනේ පලයං බොරු නොකියා මේ  මගේ කන්දෙකට ඇහුන දේ බොරු වෙන්නේ කොහොමද? උඹලා සල්ලි ගැන්නේ ඉන්ටනෙට් එකත් දාගෙන."

"ඉන්ටනෙට්?"

"ඔව් අන්දුවා ඇදට කතා කලාම උඹ කිව්වේ ඉන්ටනෙට් එක දාලා එන්නම් කියලා. ඊට පස්සේ තමයි අන්දුවා මට නොතේරෙන්න තවසන්ඩ් තවුසන්ඩ් කිය කියා ගැන්නේ? මමත් ඕය සල්ලි ටික අල්ල ගන්න බලාගෙනම ඊයේ රෑ කාමරේ බිත්තියට කන් තියාගෙන උන්නේ. "

වැසිකිලියට ගිහින් කාමරේට ආපු අපේ අන්දුබයියා ආපහු හැරිලා වැසිකිලියටම දිව්වේ ඊයේ රෑ කෙල්ලට තව උස්සන්න තව උස්සන්න කියපු එක අම්මන්ඩි අහන් හිටපු එකට ලැජ්ජාවෙන්.  


Monday, November 1, 2021

කොටහේනේ කොටි මැරිල්ල



කොටහේනේ කොටි මැරිල්ල කළේ අන්දු බයියා. ඒකට මංතුමා පොඩි සපොට් එකක් දුන්නා තමයි. ඊට වඩා දෙයක් කළේ නෑ. කවුද මේ අන්දු බයියා? ඉස්සෙල්ලාම අන්දු බයියාව අදුන්වලා දෙන්න එපැයි නේ කතන්දරේ කියන්න කලියෙන්. අන්දු බයියා  කියන්නේ මගේ කාර්යාලිය සගයෙක්. මිනිහා මං වාගේ නොවෙයි හයේ හතරේ සද්දන්තයා.මේක සිද්ධවුනේ අපි උතුරු නැගෙනහිර යුද්ධය ජයගෙන අවුරුද්දක් විතර ගියාට පස්සේ. එයා පැන්සොන් යනකම් බලාගෙන උන්නා මේ කතන්දර ඔහේලාට කියන්න. දන්නවානේ මිනිහා දැනගත්තෙත් තව පිහි ඇනුමක් බඩේ බත් ඩිංග වාගේ සුවර් ෂොට්. මෑන් පොඩ්ඩක් නොවේ ගොඩාක් මසුරා. අනුන්ගෙන් කන්න කිව්වාට බොන්න මිනිහා රුසියා. බීවාට මිනිහා නොවෙයි සතයක් හොල්ලන්නේ. 

ඔන්න දවසක් අපි දෙන්නා ඕෆ් වෙන වෙලාවත් පන්නලා ඔටි පාරක් දමාගෙන ඉන්නවා. වෙලාව හවස හයට කිට්ටු කරලා තිබුනේ. 

"මල්ලි මොකද කරන්නේ ගහමුද?"

අන්දු බයියා මගෙන් ඇහැව්වා. මම මගේ අත කොනිත්තලා බැලුවේ ඔටි කරන අතරේ නින්ද ගහිල්ලා දකින්නේ හීනයක්ද කියලා. බැලින්නම් ඒක ඇත්තක්.

"මේ දැන්?"

"නැත්නම් හෙටද හු....තෝ?"

"කොහෙටද යන්නේ? මම නම් මේ පැත්තේ තැන් දන්නේ නෑ."

"හරි මං නේ උඹව අරන් යන්නේ. වරෙන් හයට ඕෆ් එක ගහලා යමං."

මගේ පෙර පිනකට පොරට පිනක් දහමක් කරගන්න හිතිලාද  නැත්නම් කොච්චියේ එද්දි ජැකක් සෙට් වෙච්චි සංතෝසෙටද මන්දා පොර සෙට් වෙන්ඩ කතා කරන්නේ.මාත් එක පයින් නොවේ දෙපයින්ම කැමැත්ත දුන්නා මොකද ඉබ්බෙක් ගෙන් පිහාටු ලැබෙනවා කියන්නේ ලෝක පුදුමයක් නේ. ඉතිං අපි දෙන්නා ඇදුම් එහෙම මාරුකරගෙන හයට කාඩ් එකත් අවුට් ගහලා පයින්ම හෙට්ටියාවත්ත හංදියට ආවා.  සැන්දෑ කලුවර කුරගගා එන වේලාවේ අන්දු බයියයි මංතුමයි කොරගගහා නොවේ ඩබල් එකේ හෙට්ටියාවත්ත හංදියට ආවා. හෙට්ටියක්ක හංදිය පහුකරලා කොටහේන පැත්තට එනකොට තියෙනවා බෝල මේසේ නමින් කවුරුත් හදුන්වන කේම්බ්‍රිජ් එකට ගොඩවුනා. මේකට කවුරුත් බෝල මේසේ කියන්නේ මේ රෙස්ටුරන්ට් එකේ බිලියඩ් මේසයක් තියෙන නිසා මිසක් මේස බෝල කරලා හදලා නොවේ. අපි දෙන්නාට වැඩිය බොන්නත් බැරි එකේ මුලන්ම භාගයක් කාරිය අරගෙන වැඩේට මුල පිරිවා. භාගෙට වග කියද්දි ඔපිසියේ ප්‍රස්න වලින් පටන් අරන් ගෙදර වැඩ, ගෙදර ප්‍රස්න, වරාවට නැව් ගොඩබාන හැටි, ලෝක දේශපාලනය ආදිය කතාකරන්ටවුනා. කොහොම නමුත් ලෝක දේශපාලනයෙන් සිරි ලංකාවේ අපිට හැමිනෙන දේශපාලනය ගැන කතා කරන්නට භාගේ මදි බව තේරුන හින්දා අපේ අන්දු බයියා ලොක්කා බය නැතිව තවත් කාලක් සදහා අනුමැතිය දුන්නා. මංතුමාත් ඒක ටක් ගලා ස්ථිර කළා මතකයි. එකත් ඉවර කරලා බිලත් සෙටල් කරලා දෙන්නා එක්ක බෝල මේසෙන් එලියට බහිද්දි හොදටම රෑ බෝවෙලා. ඉතිං අන්දු බයියා ලොක්කා එක්ක වැනි වැනි කොටහේන හංදිය දිහාවට පියවර  මැන්නා. හවසට බොහොම කාර්්‍යබහුල වෙන කොටහේන හෙට්ටියාවත්ත දැන් සාමකාමි වෙන්න පටන් අරන් තිබුනේ. 



"යමං මොනවා හරි කන්න. "

"දැන් මොනා කන්නද ලොක්කා ගෙදර ගිහිල්ලා කාලා බුදියන්නයි දැන් ඔනේ."

දැන් නම් ගහපු බඩු වැඩ කරන නිසා නිදිත්මතයි. ඔන්න වැරදි වැටහිම් ගන්නවා නම් දැන්ම කරෙක්ෂන් කරන්න ඕනේ ගහපු බඩු කිව්වේ මරදානේ ඉන්න බඩු නොවෙයි.

මංතුමා එහෙම කිව්වාට ලොක්කාට බයිට් ගිලලාත් බඩගින්නක් හැදිලා තිබුනේ. යමං කොත්තුවක්වක් කන්න කියලා ගියාට කොත්තු කඩයක් හොටලයක් ඒ හරියේ තිබුනේ නෑ.

"කොහේ තියෙන හොටල්ද ලොක්කා මෙහේ වරාය ලග තිබුනාට කන්න තැනක් නෑ."

"හිටහං මං බලන්නම්" කියලා පොර ත්‍රිවිල් මල්ලියෙක් ගාවට කිට්ටු කෙරුවා. 

"මල්ලි  පෝක් කොත්තුවක් කන්න පුලුවන් හොද කඩයක් නැද්ද?"

"මේ හරියේනම් නෑ අයියේ උඩහට හරි නැත්නම් ආමර් ස්ට්‍රිට් එකේ තමයි තියෙන්නේ. හැබැයි පෝක් තියේද දන්නේ නෑ."

"යමං උඩහට ඒ පැත්තේ ඇති." 

"මහලොකුවට හැමදේම දන්නවා කිව්වාට හෙටිටියාවත්තේ කන්න කෑම කඩයක් ගැනවත් ලොක්කා දන්නේ නෑ නේද." 

මමත් පොරගෙන් ඕලොක්කුවට  වගේ ඇහුවා. 

"හරි කටවහගෙන වරෙන් මමනේ උඹව අරන් යන්නේ."  කියලා අන්දු බයියා කොටහේන හංදියෙන් උඩහාට ඒ කියන්නේ දිපදුත්තාරාමේ පැත්තට කන්ද නගින්න ගත්තා. "මේ යකා මේ වෙරිමරගාතතේ ගෙදර යන්නේ නැතිව කොහේ යනවාද මන්දා"  කියලා මමත් මිනිහා පස්සෙන් වැටුනේ කරන්නට දෙයක් නැති හින්දයි. 

 කොටහේනේ කන්ද බාගයක් විකර නගිද්දී මෙන්න කොත්තු ගහන ආප්ප දාන හෝටලයක් තිබුනා. හැබැයි බෝඩ් ලෑල්ලෙන්ම මං දැන ගත්තා එකේ කොත්තු තිබුනත් පෝක් නම් තියෙන්න විදිහක් නෑ කියලා. 

මුස්ලිම් කාරයින්ට පෝක් හරාම් නේ ඉතිං කොහේද ලොවෙත් උන්ගේ හොටල් වලට ජෝක් එකටවක් පෝක් ගෙන්නේ නෑ. 

"ලොක්කා මේකේ පෝක් නෑ අහන්නත් එපා. කන්නයි වෙන්නේ. " පුටුවක ඈදි ගන්න ගමන් මං හිමිහට ලොක්කාට කෙදිරුවා. 

"සර් මොනවාද ඔනේ?"

"මොනවාද තියෙන්නේ  කොත්තු තියේනවාද? "

"ඔව් සර් තියෙනවා."

"එහෙනම් අපිට පෝක් කොත්තු දෙකක් දාන්න."

"සර් පෝක් කොත්තු නෑ. බිෆ් ,චිකන් ,මටන් තියේනවා."

"පෝක් නැතිව කොත්තු වැඩක් නෑ. පෝක් ටිකක් දාලා ගහලා දෙන්න බැරිද?"

"සර් මේක මුස්ලිම් හොටලයක් අපි පෝක් හදන්නේ නෑ." 

"එහෙමද එත් පෝක් නැතිව කාලා වැඩක් නෑ. ඒ ආසා උඹ කනවාද?"

"කනවා නම් කමු වෙන එකක් නෑ මේ වෙලාවේ. "

"ආයෙමත්  තව හෝටල් හොය හොය යන්න බැරි කමට මංතුමා කිව්වා."   

"එහෙනම් මට ගෙන්න ෆිෂ් ඉදියාප්ප කොත්තුවක්. උඹට මොනාද ඕනේ?"

"මට දෙන්න බිෆ් කොත්තුවක්. "

"යකෝ බිෆ් කන්න එපා. වෙන එකක් කාපං."

"නෑ මට බිෆ් එක හොදයි."

"එපා බිෆ් නැතිව චිකන් ගෙන්න."

"ඇයි."

"අසරණ සතෙක්නේ."

"එතකොට පෝක් හොද වෙන්නේ ඇයි?"

"ඒ උනාට බිෆ් කන්න එපා."

"මමනේ කන්නේ මට ඒක අදාල නෑ. මම කන එකට මම ගෙවන්නම්." 

"ඔව් මම ගෙවන්නේ නෑ."

"හරි මට ඕනේත් නෑ. මම කොහොමත් ඕනේම මසත් කනවා මිනිමස් ඇරෙන්න. "

කොහොමින් කොහෙම අන්දු බයියා පෝක් වල හොද කියමින් බිෆ් කනවාට  බේස් ඩ්‍රම් ලෙවල් එකේ අධි සංඛ්‍යාත වෙයිස් එකෙන් මට දොස්මුරේ දමමින් කෑමකාලා ඉවර කළා. ඒ අස්සේ  හොටලේ උන්නු ඩයල් එහෙමත් අපි දිහාට රබර් ඇස් දමනවා.

"මල්ලී මිට පස්සේ පෝක් ටිකක් හදන්න අපි හැමදාම එනවා මෙහෙන් කන්න." 

අන්දු බයියා කැසීයර් එකට බිල ගෙවද්දිත් පෝක් ඉල්ලා හිටියා. හැබැයි එකෙක් වත් මුකුත් කියන්න ගියේ නැත්තේ අපි බීලා හිටපු හින්දාද මන්දා.

කොහොමින් කොහොම වැඩි අතුරු ආන්තරාවක් නැතිව ඌරු මස් කන්නට ඉල්ලලා මුස්ලිම් හෝටලේ කුස්සිය ඇතුලේ මස් වෙන්නේ නැතිව එළියට බහින්න පුළුවන් උනා. 

දැන් දෙන්නා එක්ක කන්ද බැහැගෙන කොටහේන හංදිය පැත්තට එනවා. අන්දු බයියා කලිසමෙන් එළියට ඇදුන කමිසයේ එක පැත්තක් බාගෙට යටකරගෙන " තෝ මොකටද බිෆ් කෑවේ මම එපා කිව්වානේ."  ආයෙමත් මේකා මට බනින්න පටන්ගත්තා. මේකාගේ අධි සංඛ්‍යාත බේස් වෙයිස් එකෙන් බැනුම් අහගෙන ඉන්න මෙලෝ යකෙක්ට පුළුවන්ද මම වැඩේ වෙන පැත්තකට පෙරලන්න බලාගෙන පොරගේ ආස කෑම පෝක් ඇදලා ගත්තා.

"කෝ ලොක්කා ඔයා කිව්වේ මෙහේ ඕනා තරම් පෝක් තියේනවා කියලානේ." 

"යකෝ කොටහේනේ මෙච්චර කුරුසකාරයෝ ඉදලත් කෝ බං පෝක්? මට හිතෙක්කේ උනුත් දැන් හම්බයෝ එක්ක එකතුවෙලා උඹවාගේ බිෆ් කන්න අරන්."

පොර ඊළගට කතෝලිකයින්ට බනින්න ගත්තා. 

"මේ කොටහේනේ ඉස්සර තමයි හිටියේ කුරුසකාරයෝ දැන් වැඩි හරියක් ඉන්නේ දෙමළ. දෙමළ වැඩිවුනේ යුද්දේ එක්ක උන් කොළඹට ඇවිල්ලාද කොහේද. "

ඔහොම කියාගෙන අපි දෙන්නා කොටහේන වටරවුම ලගටත් දැන් ඇවිල්ලා.  දෙන්නා එක්ක ඊට ටිකාක් එහාට වෙන්න තියෙනා බස් නැවතුම දෙසට යන්න ගියේ ආමර් විදිය පැත්තට යන්න බස් එකක් ගන්න. බොලේ මෙන්න බස් නැවතුමට එහායින් බස් එකක් තියෙනවා ලොඩ් කරන්න බලාගෙන. කොන්දාත් බස්එකේ ඉස්සරා දොරගාව හිටගෙන ඉන්නවා.  

මේ තියෙන්නේ කොටහේනේ බස් හොල්ට් එක


"අන්දු බයියේ අන්න බස් එකක් තියෙනවා අදින්න කලියෙන් නගිමු. "

මම පොරවත් දාලා ඉස්සරාට ගියා. බස් එකට නගින්න සෙට් වෙලා ඉන්නැද්දී ඇහේ කොනෙන් දැක්කා ඉස්සරා දොර ගාව බදේ ගහලා තිබුන දම්පාට සෙමි ලක්ෂරි ස්ටිකරය. 

කොළඹ - පේදුරුතුඩුව

යකෝ මේක යාපනේ යන බස් එකක් නේ. 

"අන්දු  බයියා මේක යාපනේ යන එකක් " කියලා පොරටත් ඉන්වොමේෂන් එක දීලා කොන්දා එක්ක කතාවට වැටුනා. මේ වෙනකොට ඒ නමය මාර්ගය සම්පුර්ණයෙන්ම සුද්ද කරලා ඇරලා දුන්න අලුත නිසා යාපනේට නැත්නම් අපේ බොධිනි දොස්තර නෝනාට අනුව අනිත්කොනට යන්න හොල්සේල් බස් දුවන්න පටන් අරන් තිබුනේ රූට් පරමිට් එහෙම ඇතිවා හෝ නැතිවා. 

 හොදම සීන් කොන් එක සිද්ධවෙන්නේ දැන් තමයි. යාපනේට බස් එකක යන්න ආසාවක් ආවට යන්න කීයක් යනවාද වේලාව කොච්චරද කියලා සිතට එන සිතුවිලි කන්දරාව කටින් එළියට පැන්නේ බඩේ ඇල්කොහොල් උනුහුමේ තියෙන හින්දයි. 

"ආ මේක යාපනේද යන්නේ නැද්ද?"

"ගාන කීයද?"

"දැන් යනවාද? " 

"දැන් ගියොත් යාපනේට යනකොට වේලාව කීයට විතර වෙයිද?"

ඔය වාගේ පුරස්න ගොඩාක් මංතුමා කොන්දාගෙන් ඇහුවා මතකයි. අන්තිමට කොන්දා කිව්වේ "දැන් පිටත්වෙනවා. මහත්තයා යනවා නම් නගින්න කියලා. "

මේ බීපු මරගාතේ ගෙදරටත් නොකියා යාපනේ යන්න පිස්සුවක් නෑනොවැ.

"හරි මම පස්සේ එන්නම් යාපනේ යන්න"  කියලා අනිත් පැත්තට හැරුනේ අන්දු බයියාව සොයාගෙන. මට පස්සෙන් ආපු පොර නෑ. බැලින්නම් පොර ඉන්නවා බස් එකට ටිකාක් එහෙට වෙන්න තියෙන බස් හොල්ට් එකේ ඉන්න අවුරුදු දහඅට විස්සේ විතර සයිස් කොල්ලෝ පහක් වටකරන් අපේ පොරත් මොනවාද මන්දා උන් එක්ක ලොකු කතාවක පැටලිලා.  පොර ලගට යද්දී අධිසංඛයාතයෙක් ඇහෙනවා ලොකු දේසනාවක්.

"උබලා දන්නවාද උඹලා අපේ හමුදාවේ සිංහල කොල්ලෝ කීදාහක් මැරුවාද? අපේ අහිංසක මිනිස්සු කී දාහක් නිකං මලාද? "

 මගේ ඇගේ මයිල් අංසක අනූවට කෙලින් උනා. යකෝ මූ ඉල්ලන් ගම් පොරියල් එකක් කන්නයි හදන්නේ. ඒ විතරක් මදැයි මූ එක්ක ඉදලා අහිංසක මටත් කවන්නයි හදන්නේ. බිවෙත් එකට නම් සෙට්වෙන කෑමත් එකට බෙදාගෙන කන එකයි යුතුකම නේද? නිකං දුන්නොත් පිහිපාරක් උනත් බාරගන්න මිනිහා වෙච්චි මංතුමා විරයා සේ කොල්ලෝ මැදට පැන්නා. 

"උඹලා යාපනේද? " අන්දු බයියා ඇහැව්වා

"අනේ අයියා අපි දෙමළ උනාට එල්ටිටිඊ නොවේ. අපි යාපනේ ගිහිල්ලාත් නෑ දැකලාත් නෑ. අපි කොළඹ."  එක කොල්ලෙක් කිව්වා.

"හරි හරි මල්ලිලා වැඩේ ෂේප්. අපි යන්නනම් ගුඩ් නයිට්. යමු යමු ලොක්කා මොකක්ද මේ කතා දැන් තවත් රෑ වෙනවා. "

මං පොරගේ අතින් ඇදන් බස් හොල්ට් එකෙන් එළියට ආවා. 

"නෑ මං කියන්නේ  මුන් හින්දා අපේ සිංහල කොල්ලෝ කීයක් මලාද?"

"පිස්සුද ලොක්කා මේ කොල්ලෝ පොඩි උන්නේ."

"මුන් තමයි උන්ට සපොට් කළේ මෙහේ ඉදන්. හිටං උන්ට මම ආයෙත් කියලා දීලා එන්න. "

අන්දු බයියා මගේ අත ගසා දමලා ආයෙත් එතැනට යන්න හදන්න ගත්තා.

"මෙන්න මෙහෙ වරෙන් යන්න මේක උන්ගේ එරියා එක කන්නද හදන්නේ. "

"එහෙම කොහොමද යකෝ අපිට ගහන්නේ මේක අපේ රට."

කොහොමින් හරි මංතුමාට පුලුවන් වෙනවා අන්දුබයියාව එතැනින් එහාට අරගෙන යන්න. 

හයේහතරේ බොඩියක් තිබුනු අන්දු බයියාව බස් හොල්ට් එකේ උන්නු කොල්ලන් හිතන්න ඇත්තේ කරටි කැඩෙන්න ගහපු ආමි ඔපිසර් කෙනෙක් කියලා වෙන්නැති. යුද්දේ අවසාන වෙච්චි අලුතම හින්දා කවුරු කවුරුත් සලෙන්ඩර් පිටනේ හිටියේ. එදා ගම් පොරියල් එකක් සෙට් උනා නම් තාමත් අපි දෙන්නා කොටහේනේ හංදියේ ගුටි කනවා.  

එතැනින් ගැලවුනාට අන්දු බයියාගේ රස කතා ඉවර නෑ.


බලමුද විසදන්න?

වෘත්තාකාර උද්‍යානයක් වටා මීටර් 440ක වට ප්‍රමාණයක් ඇත. එම වට ප්‍රමාණය දිගේ මීටර් 5 බැගින් ගස් සිටුවා ඇත. සෑම තුන්වන ගසක් අසල බංකුවක් ද තබා ඇත...