Showing posts with label කොළොම්පුරේ මගේ කතන්දර. Show all posts
Showing posts with label කොළොම්පුරේ මගේ කතන්දර. Show all posts

Monday, May 4, 2026

කොළොම්පුරයාගේ වෙසක් කූඩු කතා වස්තුව

 වෙසක් සිරියෙන් රටම බබලන්න මැයි මාසේ උදාවෙලා තියෙද්දි කොළොම්පුරයාගේ මතක ගබඩාවේ දුහුවිල්ලෙන් වැසිලා ගිහින් තිබුන පරණ සිද්ධියක් මතකයට නැගුනා. අපේ සකල බ්ලොග් වාසි හුදි ජනයාගේ පහන් සිතුවිලි උදේසා මෙන්න කොළොම්පුරයා අකුරු කරනවා. 



මේ කියන කාල වකවානුවේ පාරවල් ගානේ වෙසක් කාඩ් කඩවල් තිබුනාට දැන්වාගේ විදුලි බුබුලු කඩ, බෞද්ධ කොඩි කඩ, වෙසක් කූඩු කඩ තිබුනේ නෑ. කොළොම්පුරයාගේ අතිජාත මිතුරෙක් වෙච්චි බඩාගේ තාත්තාගේ කඩකාමර දෙකත් ඊට යාබදව බඩාගේ ගෙදරත් රත්මලානේ  ගාලුපාරට මුහුණලායි තිබුනේ. ඔය කියන ස්ථානයේ කොළොම්පුරයා බඩා හා අනිත් පාසල් මිත්‍රකැල වෙසක් එකට කරපු බොහෝ දේවල් මතක ගබඩාවේ ඉතිරිවෙලා තියෙනවා. පසුව අකුරු කරන්නම් හොදේ... 

ඉතිං බඩාගේ පියානන් වෙසක් එකට මාසෙකට කලියෙක් මුලු පවුලම එකතුතරන් පටන් ගන්න ව්‍යාපෘතියක් තිබුනා. ඒක තමයි වෙසක් කූඩු වෙළදාමට සැකසීම. දැන්වාගේ අටපට්ටමේ සැකිල්ල විතරක් විකුනන්නේ නැතිව සියල්ල අලවා නිමකර විකිනිම තමයි එයාලා  කරේ. මේ කියන අවුරුද්දේ කොළොම්පුරයාත් ගෙදර නාවික පාඨමාලව ඉවරකරලා නො නැව් කොම්පැනියේ ඉදිද්දි තමයි බඩා කිව්වේ මේ පාර එයලා වෙසක් කූඩු හදන්නේ නැති බවත් පුලුවන්න නම් උඹ වැඩේ කරපන් කියලා. කොළොම්පුරයාගේ නැන්දාගේ බාලයා වුනු මධුරත් රස්සාවක් හොයමින් ඉන්න හින්දා මේ වැඩේට එයත් හොදම සුදුස්සා උනා. කොහොමින් හරි දෙන්නාත් එක්ක කතාබහ කරලා වැඩේට බැස්සා. වෙසක් කූඩු සියයක් හදන්නයි දෙන්නාගේම ප්ලෑන. මුලින්ම කරන්න ඕනේ බට හොයාගන්න එක. කූඩු හදන්න ගන්න පොඩි උන බට දැන්වාගේ පාරවල් වල හැමතැනම විකූනන්න නෑ. තිබුනත් බට අරන් ප්‍රවාහනය කරගන්න වාහනත් නෑ ගන්න සල්ලිත් නෑ. ඔන්න ඒ පාර තමයි කොළොම්පුරයාගේ පාසැල් මිතුරෙක් වුනු හිරාන් උදව්වට ආවේ. හිරාන් හිටියේ කොළොම්පුරයා ගෙවල් පාරට අල්ලපු පාරේ. එයාගේ ගෙදර අලුතින් නිමකරපු කෑම කාමරය සාදන්න ගෙනාපු උන බට ගොඩාක් කොන්ත්‍රාත් කරුවා ගෙනිහිල්ලා නැති බවත් ඒවා අවශ්‍ය නම් ගන්න පුලුවන් බවත් දැනගත්තා. දැන් මධුරත් කොළොම්පුරයාත් රැට රැට හිරාන්ගේ  ගෙදරින් උනබට දෙක දෙක කරේ තියාගෙන එනවා. දවල්ට අරන් එන්න ලැජ්ජයි නේ. කොල්ලොනේ. 

මේ ලොකු උන බට කූඩු හදන්න ගන්න පොඩි බට වාගේ නොවේ පලන්න පවා හරිම අසීරුයි. දෙන්නාගෙන් වැඩිම කාලයක් ගෙවුනේ බට පලන්නයි නියමිත ගානට සයිස් කරන්නයි. මේ බටවල මදය ගනකම් හින්දා ඒවා අඩු කරන්නත් සිදුවුනා. මේ හින්දා කොළොම්පුරයාගේ ගෙදර මිදුල පුරා බට කෑලී හැමතැනම විසිරිලා. බට කැපිල්ලෙන් පස්සේ කූඩු හැදිල්ල පස්සට දාලා අලවන සව් කොල ගන්න කොළඹ මැලිබන් විදියට යන්නයි දෙන්නාගෙම කල්පනාව. 

"මැලිබන් විදියේ තමයි සව් කොල තියෙන්නෙ. වෙලාසනින් ගිහිල්ලා අරගන්න එක තමයි හොද නැතිනම් ලංවෙද්දි කොල ගනන් යනවා"

 බඩාගේ පියානන්ගෙන් උපදෙස් ලැබුනා. කොළොම්පුරයයි මධුරයි දෙන්නා එක්ක බසයේ නැගිලා පිටකොටුවෙන් බැහැලා මැලිබන් විදිය හොයාගෙන ගියා. දෙන්නා එක්ක හොදටම වෙහෙසිලා කඩවල් ගානේ ගිහිල්ලා ගනන් බලලා සුදු සව් කොල රීම් එකකුත් අනෙක් පාටින් දුසිම් ගනනින්ද කළු ඩිමයි කොලත් අරගත්තා මතකයි. ඔන්න දැන් සව් කොලත් හරි දැන් තමයි කූඩු හැදිල්ල තියෙන්නේ. කූඩු හැදිල්ලත් ලේසි නෑ කොහොම හරි දෙන්නා එක්ක කූඩු එකසිය පහලොවක් වගේ ගනනක් හදලා නිමකලා. මේ වැඩේට අමතර උදව් එහෙමත් ටික ටික  දෙන්නාටම ලැබුනා. නැත්නම් කොහොමද දෙන්නා මේක කරන්නේ.  මගදි වැඩේ අතහැරලා දාන්නත් හිතුනත් ගෙනාපු සව් කොල වලට මොකද කරන්නේ කියලා හිතුන නිසා වැඩේ නතර කෙරුනේ නම් නෑ. කුඩු අලවන්න යොදාගත් කාමරේ පොලවේ පවා කැපුන සව්කොල කෑලි ඇලවිලා මුලු පොලවම ගන්න දෙයක් නෑ. කළු ඩිමයි කොල වලින් ධර්ම චක්‍රයක් කපලා සුදු හතරුස් කොටුවල ඇලෙව්වාම ලයිට් එලියට ලස්සනට පෙනෙන්න ගන්නවා.  රැලි දාලා ඇලෙව්ව කූඩු ටික ඉරාගන්නේ නැතිව තියාගන්න එකත් ලේසි වැඩක් නොවෙයි. අනික කූඩු කූඩු එකසිය පහලොවක් වගේ ගනනක් තියන්න තැනත් හොයන්න අමාරුවුනේ නෑ. කොළොම්පුරයාට තමන්ගේ කාමරේ කූඩුවලට ඉඩදීලා සාලේ නිදාගන්නත් උනා. කොහොමින් හරි දෙන්නා එක්ක කරපු ප්ලෑනේ හැටියට වෙසක් ලබන්න දවස් හයකට කලියෙන් වැඩේ හමාර කරලා වෙළදාම් කරන්න සෙට්වුනා. වෙසක් කූඩු හැදුවාට දැන් කොහේද වෙළදාම් කරන්නේ? ඔන්න ඔය අවස්ථාවේ කොළොම්පුරයාගේ හැම මංගල්ලයකටම සපොට් දෙන අතිජාත මිතුරෙක් වන චන්දන අයියා උදව්වට එන්නේ. එයාට තිබුන හයර් දුවන මිට්සුබිෂි වෑන් එක දෙනවා කූඩු වෙළදාම් කරන්න යන්න. කොළොම්පුරයාට වාහන එලවන්න ලාවට පුලුවන් උනත් ලයිසම් කඩදාසියක් එතකොට අරන් නෑ. කූඩු බිස්නස් එකේ පලමු දිනය උදාවෙනවා. කොළොම්පුරයයි මධුරයි එක්ක චන්දන අයියා වෑන් එකේ කූඩු පුරවන් දැන් ගාලු පාරේ විකුණන්න තැනක් හොයනවා. අන්තිමේදි ගල්කිස්ස ආසන්නයේ තැනක පේමන්ට් එක උඩ වෑන් එක නවත්තන්න තැනක් හමුවෙනවා. 

මෙන්න මේ තාප්පය අයිනේ තමයි වෑන් එක නවත්තලා තිබුනේ. 


" මල්ලි අද මගේ ඇගටත් හරි නෑ එත් යාලුවෙක් කතා කරනවා සෙට්වෙන්න. ඔෂන් බ්ලික් හෝටලේ මම ඉන්නවා වැඩේ ඉවරවුනාම කතා කරන්න. "

කියලා චන්දන අයියා වෑන් එකයි අපිවයි දාලා  යනවා. වෙසක් කූඩුවක් රුපියල් සියයක මුදලකට මිල නියමකරගෙන වෑන් රථයේ පිටු පස දොර ඇරලා කූඩු තුනත් විතර එල්ල ගෙන දෙන්නාත් එක්ක බලාගෙන හිටියාට කවුරුවත් කූඩු ගන්න එන්නේ නෑ. ඇත්තටම දෙන්නටම ලැජ්ජත් එක්ක කූඩු විකුණන්න. ඔන්න ඔය වෙලාවේ කොළොම්පුරයත් එක්ක නැව් කෝස් කරන්න ගිය මේ වන විට ප්‍රධාන නාවික නිළධාරියෙක් විදිහට නෞකාවල සේවය කරන වන්නියා කඩාපාත්වෙන්නේ.

" ඇයි තොපිලට ලැජ්ජද හැංගිලා ඉන්නේ "

කියලා අහලා අපේ පලමු වෙසක් කූඩුව මිලදි ගන්නේ වන්නියා එවාගේම කූඩු විකුණන්නත් උදව් වෙනවා. පලමු දවසේ කූඩු දෙකක් පමණයි විකිනෙන්නේ. දෙන්නාටම දැන් තරු විසික් වෙලා ඉන්නනේ ඇයි බොලේ වියදම් කරපු සල්ලිවත් හොයාගන්න බැරිවෙයිදෝ කියලා. දෙවනි දවසෙ වැඩේට උදේම බහින්න කියලා හිතාගෙන චන්දන අයියා බලන්න යනකොට පොර ඇදේ ඉන්නවා හොදටම උණ හැදිලා.  වදෙන් පොරෙන් මිනිහාව ලෑස්තිකරන් දොස්තර වික්‍රමසිංහ ලගට අරන් ගිහින් බෙහෙත් අරන් දීලා ගෙදර එක්කන් එනවා. එදත් හවස තමයි බිස්නස් එකට බහින්න වෙන්නේ. එත් උණ හැදිච්ච කෙනෙකුගෙන් ඉල්ලන්න පුලුවන්ද වෑන් එක?  

"මල්ලි එලවන්න පුලුවන් කෙනෙක්ට කියලා වෑන් එක අරන් යන්න."

කියලා පොර යතුර කොළොම්පුරයාට දෙනවා. යතුර ලැබුනත් දැන් කාටද කියලා වෑන් එක එලවන්නේ? මධුරගේ ලොකු අයියාට කියා අදාල ස්ථානයට වෑන් එක ගෙනියන්නට හැකිවෙනවා. එදා නම් කූඩු පහක් විකුණගන්න කොළොම්පුරයාට පුලුවන් වෙනවා. පසුවදා හොදටම උණ වැඩිවි චන්දන අයියා කළුබෝවිල රෝහලට ඇතුලු කරවන්නටද සිද්ධවෙන්නේ මේ අතරතුරයි. කොළොම්පුරයාගේ කූඩු බිස්නස් එකට උදව්කරන්නට වුනු පොරෙන්දුව ඒ විදිහටම රැකපු චන්දන අයියා එයාගේ වෑන් රථයේ යතුර පහුවෙනිදාත් කොළොම්පුරයාට ලබාදෙනවා වෙන කෙනෙකු ලවා වැඩය කරගන්නයි කියමින්. 

ඒ අතරේ ගල්කිස්සේ  HNB බැංකුවට නිල් හා සුදු පාටින් කූඩු පහලොවකුත් Five Star බේකරියට තනිකරම තැඹිලි පාටින් කූඩු දහයක ඕඩරයක් එනවා.  ආයෙත් කූඩු හදන්න බැරි හින්දා අලවපු කූඩු ඉරලා තමයි එයලාගේ පාටින් අලවන්න සිදුවුනේ.

මේ අතරේ මධුර පොඩි ස්පිකරයක් හයිකරලා සින්දුවක් එහෙම දාගන්න පුලුවන් විදිහටත් කොළෙම්පුරයා ගාව තිබුන ටියුබ් ලයිට් සර්කිට් එකකින් වාහනේ බැටරියට සවිකරන් එළිය ගන්න පුලුවන් විදිහටත් වැඩේ කරගන්නවා. 

ටිකෙන් ටික වෙසක් එකට දින ලංවෙද්දි කූඩු වෙළදාම වැඩිවෙලා උදේ ගෙනියන කූඩු දවල් වෙද්දී මදි වෙනවා. මේ අවස්ථාවේදි පිහිට වෙන්නේ මධුරගේ ලොකු අයියා තමයි. ලග තිබුන පේ ෆොන් පෙට්ටියකින් මධුරගේ ගෙදරට ඇමතුමක් දීලා මධුරගේ අයියාගේ පර්ජෝ 404 කාර් එකෙන් කොළොම්පුරයාගේ ගෙදර ඉදන් කූඩු ඇදලා ලොකු උදව්වක් කරන්නේ. මේ අතරේ සමහර මිනිස්සු තමන් ආපු කාර් එක දැක්කාම ගාන වැඩියෙන් කියයි කියලා ඈතින් නතර කරලා ඇවිත් රුපියල් සියයට විකුණන කූඩුවත් හෙට්ටු කරලා අඩුවට ඉල්ලන හැටිත් කොළොම්පුරයා හොදටම අත්විදින්න ලැබුනා. කොහොමින් හරි වෙසක් දිනයේ දහවල් වෙනකොට අපේ කූඩු විකිණිල්ලේ අවසන් අදියරට ඇවිල්ලා. ඉතිරි කූඩුවලින් පහක් චන්දන අයියාටත් කොළොම්පුරයාගේ ගෙදරට හා මධුරගේ ගෙදර බෙදාගෙන වැඩේ අවසන් කෙරුනා. වෙසක් පොහොය දිනය වෙනකොට චන්දන අයියා රෝහලෙන් ගෙදරට ඇවිල්ලා තිබුනත් කොළොම්පුරයාට එයාව බලන්න යන්නවත් වේලාවක් ඉස්පාසුවක් ලැබුනේ නෑ.  වෙසක් පොහොය දිනයේ කැළණි පන්සලට පිත්තල පහණක් පුජා කරන්න හිතන් හිටපු වන්නියාට චන්දන අයියාගේ වෑන් රථයේ හයර් එකක් යන්න අල්ලලා දුන්නේ කොළොම්පුරයයි එත් ලෙඩා දුකා වෙච්චි චන්දන අයියාට ඒ හයර් එක යන්න බෑ. 

"මල්ලි එලවන්න පුලුවන් කෙනෙක් එක්ක ගමන ගිහින් එන්න. මට හයර් එක එපා."

 කියලා වන්නියාට යතුර දෙනවා. 

"දන්න උඹට යතුර දුන්න එක නොවෙයි වැඩේ නොදන්න මට චන්දන අයියා එයාගේ වෑන් එකේ යතුර දුන්න එකයි මාර."

වන්නියා අදටත් ඒක කියනවා.  කොළොම්පුරයාගේ පාසල් මිතුරෙක් වූ චන්නියාට චන්දන අයියා හමුවන්නේ ඒ විදිහටයි. ඒ හමුවිමෙන් වන්නියාත් චන්දන අයියාත් මිතුරන් බවටත් පත්වෙන්නේ මේ වෙසක් කූඩු වෙළදාම හින්දයි. 

කොහොමින් හරි වියදමි අඩුකරලා මධුරත් කොළොම්පුරයාත් රැපියල් 3500 බැගින් බෙදාගන්න පුලුවන් වෙනවා. අද කාලේ රුපියල් 3500 ක් ලොකු ගන්නක් නොවුනත් එදා ඒක අපේ මහන්සියේ තරමට ලොකු ගානක් වෙනවා. එදා කොළොම්පුරයාගේ වෙසක් කූඩු බිස්නස් එකේ ආදායම් වියදම් පොඩි පොතක ලියලා තිබුනා. සමහරවිට තාමත් ඒ පොත ගල්කිස්සේ ගෙදර පොත් දාපු පෙට්ටියක රැදිලා ඇති. 

ඔන්න ඔහොමයි කොළොම්පුරයාගේ වෙසක් කූඩු කතා වස්තුව අවසන් වෙන්නේ.   


Monday, May 20, 2024

මහා දන්සල

 මහා දන්සල  


පිං කැමති ඇත්තෝ ඇති තරම් කොටාබාන්නට වරෙල්ලා...

Wednesday, March 20, 2024

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

 නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries 



තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ. නැව් විවිධ මෙහෙයුම් එනම් භාණ්ඩ හැසිරවීම, යාත්‍රා සුරක්ෂිත කිරීම සහ ජීවිතාරක්ෂක අරමුණු සඳහා පවා ඒවා යොදා ගනි. මෙම උපකරණ සාමාන්යයෙන් ක්‍රියාත්මක වන්නේ තට්ටු දෙපාර්තමේන්තුව - Deck Department  යටතේ ඇති යාත්‍රා කාර්ය මණ්ඩලය විසිනි. එවැනි උපකරණ ක්‍රියාත්මක කිරීමේදී නිසි ලෙස සහ වඩාත් ආරක්ෂිතව භාවිතා කිරීමට යම් පුහුණුවක් සහ නිපුණතාවක් අවශ්ය වෙනවා.




නිර්වචනය අනුව තට්ටුව යනු Level /Floor  මට්ටම හෝ මහල වේ. යාත්‍රාවේ කාලගුණයට නිරාවරණය වන තට්ටුව ප්‍රධාන  තට්ටුව Main Deck නමින් හදුන්වයි. එයට ඉහළින් Accomodation හි පිහිටා ඇති අනෙකුත් තට්ටු A Deck, B Deck, C Deck යනුවෙන් නම් කරනු ලබයි. ඒවා සාමාන්යයෙන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සිටින තට්ටු පහළින් ද. සහ ඉහළින් නාවික නිලධාරීන් සිටිනා තට්ටු පිහිටා ඇත. ඉහළින්ම ඇත්තේ   Bridge Deck ය. එය  යනු යාත්‍රාව පාලනය කරනා  Wheel house පිහිටා ඇති තට්ටුවයි. ඊට පහලින් ඇති තට්ටුව  විශේෂයෙන් කපිතාන්වරයා ජීවත් වන තට්ටුවයි.
Under deck යට තට්ටුව තට්ටුවට පහළින් ඇති මහල් වේ. මෙම තට්ටු එන්ජින් කාමර අවකාශය සඳහා වෙන් කර ඇත. එන්ජින් කාමරය නැව් මෙහෙයුම් සඳහා අත්යවශ්ය යන්ත්රෝපකරණ රාශියකින්
සමන්විත වේ. යට තට්ටුවේ යන්ත්රෝපකරණ - Under Deck Machineries  ලෙස හඳුන්වනු ලබන්නේ එය නිරාවරණය වන තට්ටුවට පහළින් තබා ඇති බැවිනි. එයට උදාහරණ වන්නේ ජනක යන්ත්ර, ප්‍රධාන එන්ජිම, සුක්කානම, සිසිලන, පොම්ප, සම්පීඩක, බොයිලේරු යනාදියයි.
මෙම උපකරණය ක්‍රියාත්මක කළ හැක්කේ සහ නඩත්තු කරනු ලබන්නේ එන්ජින් කාමරයේ නඩත්තු කිරීමේ හැකියාව ඇති එන්ජින් දෙපාර්තමේන්තුවේ Engine Department  පුද්ගලයින් විසිනි.

තට්ටු යන්ත්රෝපකරණ වර්ග භාවිතය අනුව
■ භාණ්ඩ හැසිරවීම - Cago Handling 
බොහෝ තට්ටු යන්ත්රෝපකරණ භාවිතා කරනුයේ භාණ්ඩ හැසිරවීම සඳහා. විශේෂයෙන් නැව් තුළට සහ ඉන් පිටතට භාණ්ඩ පැටවීම සහ බෑම සඳහා යි. නැව්වල ඇති භාණ්ඩ ඉතා විශාල වන අතර ඒවා ආරක්ෂිතව හා කාර්යක්ෂමව රැගෙන යාමට බර යන්ත්රෝපකරණ අවශ්ය වේ. මෙම භාණ්ඩ පටවා ගත් පසු කාලගුණය මත එය හිස්ව විවෘතව තැබිය නොහැකි අතර එම නිසා ඇතැම් තට්ටු යන්ත්ර සූත්‍ර ද ඒවා නිසියාකාරව සුරක්ෂිත කිරීමට යොදා ගනී. දොඹකර සහ භාණ්ඩ රදවාතබන ස්ථාන Cargo Hatch/ Cargo Hold

■ යාත්‍රා ආරක්ෂාව - Vessel Security 
නැංගුරම් දැමීම හෝ නැංගුරම් ලෑම Anchoring  යනුවෙන් හැඳින්වෙන අවස්ථාවලදී යාත්‍රා චලනය නතරකිරිම සිදුවේ. ඒ සඳහා නැංගුරම, වින්ඩ්ලාස් සහ මුරිං වින්ච්  Anchor Windlass, Mooring Winches  වැනි තට්ටු යන්ත්රෝපකරණ භාවිතා කරනු ලැබේ. යාත්‍රාව සුරක්ෂිතව තබා ගැනීමට මෙම තට්ටු යන්ත්රෝපකරණ එකට ක්‍රියා කරයි.

■ ආරක්ෂාව -Safety 
මුහුදු කොල්ලකරුවන් සේ නෞකාවකට ලණුවක එල්ලී නැගිමට නොව  යාත්‍රාවට නැගිමට යොදාගන්නා Gangway   ද තවත් තට්ටු යන්ත්රෝපකරණයකි.  එය නිසි ලෙස හා ආරක්ෂිතව නැව්වලට ගොඩවිම හා බැසීම සඳහා භාවිතා කරයි.

වැඩ කිරීමේ මූලධර්මය අනුව තට්ටු යන්ත්රෝපකරණ වර්ග.

බොහෝ විට, තට්ටු උපකරණ විදුලි හෝ හයිඩ්රොලික් පද්ධති මගින් බල ගැන්වේ. අපි ඉලෙක්ට්රෝ හයිඩ්රොලික් කියන විට පද්ධතිය සමන්විත වන්නේ විද්යුත් ධාවකය සහ හයිඩ්රොලික් ක්‍රියාකාරක වලිනි. විද්යුත්  බලය මගින්ද යන්ත්රෝපකරණ ක්‍රියා කළ හැකි බැවින් විදුලි මෝටරයන්ටද විදුලි බලය සපයයි. විද්යුත් බලය මගින් පොම්පය චලනය වන අතර එමඟින්  හයිඩ්රොලික්ස් තරලයට පීඩනය ලබා දෙයි, එමඟින් යන්ත්රයේ චලනය වීමට ඉඩ සලසයි.

බොහෝ අවස්ථාවන්හිදී, තට්ටු යන්ත්රෝපකරණ කොතරම් වැදගත්ද යත්, නැව් විදුලිය විසන්ධි වන අවස්ථාවකදී පවා ඒවා ක්‍රියාත්මක වීමට කටයුතු කර ඇත.තට්ටු

 යන්ත්රෝපකරණ ලැයිස්තුව සහ ඒවායේ භාවිතය.

■ භාණ්ඩ රඳවන හැච් - Cargo Hatch

 භාණ්ඩ ප්‍රවාහනය කරන නැව්වල භාණ්ඩ රඳවන ආවරණය කරනයන් Cargo Hatch Covers  ජලයෙන් ආරක්ෂිත Water tight  ලෙස නිපදවා ඇත. මෙම ආවරණ විශාල බැවින් එය හයිඩ්රොලික් ඒකකයක් මගින් විවෘත කිරිම හා වැසිම ක්‍රියාත්මක වේ. ටිලර්/ජොයිස්ටික් භාවිතයෙන් මෙම විශාල රඳවන ආවරණ විවෘත කිරීම සහ වැසීම හයිඩ්රොලික් පාලනය කරයි.



■ ගැන්ග්වේ - Gangway 
Gangway  යනු කලින් සඳහන් කළ පරිදි නෞකාවට ගොඩවිම හා ඉන් බැසිම සඳහා භාවිතා කරන පඩිපෙලකි. මෙම මාර්ගය නෞකාවෙන් පහළට පහත් කර ආරක්ෂා ලෙස තබන අතර මෝටරයක් භාවිතයෙන් හෝ පඩිපෙලට පෙර සකස් කරන ලද කඹයක් මගින් ඉහළට සහ පහළට ඉස්සිම හෝ බෑම පහසු කරවයි. නෞකාවට  භාණ්ඩ පැටවීමේදී හා බෑමේදී සහ වඩදිය බාදිය මත යාත්‍රාවේ උස Draft  වෙනස් වන බැවින් මෙය ස්වයං චලනය විම සිදුවේ.



■   මුරිං වින්ච් - Mooring Winches
Mooring Winches  යනු යාත්‍රාව තොටුපළට හෝ වෙනත් යාත්‍රාවක ගැටගැසිමට සිදුකිරීමට භාවිතා කරන කඹය තද කිරීමට හෝ ලිහිල් කිරීමට භාවිතා කරන මෝටරයෙන් හෝ හයිඩ්රොලික් මගින් ධාවනය වන වින්ච් බෙර Winch Drums වේ. මුරිං වින්ච් යාත්‍රාව තොටුපළ හෝ වෙනත් යාත්‍රාවක ගැටගසා ඇති අපේක්ෂිත ස්ථානයෙන් ඉවතට ගසාගෙන යාම වළක්වයි. එමෙන්ම භාණ්ඩ පැටවීමේදී හා බෑමේදී සහ වඩදිය බාදිය මත යාත්‍රාවේ උස Draft  වෙනස් වන බැවින් කඹයන් ලිහිල් කිරිම හෝ තද කිරිම ස්වයං ලෙස ක්‍රියාත්මක විමටත් සැකසිය හැකිවේ.






■   වින්ඩ්ලාස් - Windlass
වින්ඩ්ලාස්  නෞකාවක නැංගුරම් ලෑමේ ක්‍රියා පිලිවෙතහිදි නැව් නැංගුරම් දැමීම සහ යළි එසවිම කිරීම සඳහා භාවිතා කරන අතර නැංගුරම් වින්ච් මෝටර සමඟ සම්බන්ධ වේ. Winch මෙන් නොව Windlass  යනු Anchor Chain Locker  ලෙස හඳුන්වන නිශ්චිත ස්ථානයකට යන  නැංගුරමේ දම්වැල පෙරළෙන බෙර Gypsy wheel සහිත වේ. සරලව කිවහොත්, වින්ඩ්ලාස් යනු දම්වැල ලොකරය තුළට සහ ඉන් පිටත මුහුදට ගෙන යන පුලියක් වැනි ය.



■ නැංගුරම - Anchor 
නැවේ ඉදිරියේ වම් හෝ දකුණු පස Port Side and Starboard Side නැංගුරම් දක්නට ලැබේ. යාත්‍රාව මුහුදේ යම් ප්‍රදේශයක ස්ථානගත කිරීම සඳහා නැංගුරම් දමනු ලැබේ. නැංගුරම බිම දැමූ පසු යාත්‍රාව රඳවා තබා ගැනීමට සහ දියඹේ පාවි ගසාගෙන යාම වළක්වා ගැනීමට මුහුදු පත්ලේ හිර කරති.




■ කැප්ස්ටන්  Capstan 
නැවෙහි සවි කර ඇති මෙම කැප්ස්ටන් සිරස් සිලින්ඩරාකාර බෙරයකි. මෙම උපකරණ මුරිං ලණු භ්‍රමණය කරවමන් ලණු ඇදීමට සහ මුරිං කඹයන් හි ආතතිය තබා ගැනීමට භාවිතා කරන මුරිං වින්ච් වලට බෙහෙවින් සමාන ය.




■ දොඹකර - Cranes, Derricks and Davits 

බර වස්තූන් එසවීම සඳහා දොඹකර භාවිතා කරනු ලබන අතර මේවා ඒවායේ අරමුණ අනුව දොඹකර ප්‍රධාන තට්ටුවේ සවිකර ඇත. භාණ්ඩ දොඹකර සාමාන්ය භාණ්ඩ ප්රවාහන යාත්‍රාවල බහුලව දක්නට ලැබේ. ඒවා භාණ්ඩ තොග නෞකාව තුළට සහ පිටතට බෑමට භාවිතා කරයි. ඩේවිට්ස් Davits කුඩා ප්‍රමාණයේ දොඹකර ජීවිත ගලවා ගැනීමේ බෝට්ටු සහ ජීවිතාරක්ෂක යාත්‍රා මුහුදට හෙලීමට භාවිතා කරයි. අවසාන වශයෙන්, ආහාරපාන සපයන  දොඹකරය - Provision Crane  යනු සාමාන්යයෙන් ටොන් 2ක ගෙන යා හැකි ධාරිතාවක් ඇති කුඩා දොඹකරයක් වන අතර ඒවා නෞකාවක ආහාරපාන සඳහා ආහාර, ජලය සහ අමතර කොටස් එසවිම හා බෑමට භාවිතා කරයි.

Crane



Derrick



■ ජීවිතාරක්ෂක උපකරණ - Life Saving Appliances ( LSA)

නැවේ තට්ටුව වටා, ගලවා ගැනීමේ බෝට්ටු, ජීවිතාරක්ෂක බෝට්ටු සහ ජීවිතාරක්ෂක Life Rafts  වැනි LSA - Life Saving Appliances  සොයා ගත හැකිය. ඒවා ඇත්ත වශයෙන්ම තට්ටු යන්ත්රෝපකරණ ලෙස වර්ගීකරණය කර නැත, කෙසේ වෙතත් මෙම උපකරණ මුහුදේ ජීවිත බේරා ගැනීම සඳහා භාවිතා කරයි. නැව් අතහැර දැමීමේ Abandon  අවස්ථාවන්හිදී නෞකාවෙන් ඉවත්විම සඳහා යාත්‍රා කාර්ය මණ්ඩලය සඳහා ඇති අවසාන විසඳුම ලෙස පාවිච්චිවේ.
Life Boat and Davit




තට්ටු යන්ත්රෝපකරණ තේරුම් ගැනීම එතරම් සංකීර්ණ නොවේ, සාරාංශයක් ලෙස, තට්ටු යන්ත්රෝපකරණ යනු තට්ටුවේ පිහිටා ඇති නැව් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී යාත්‍රා කාර්ය මණ්ඩලයට සහාය වන යන්ත්‍ර වේ.

Monday, October 17, 2022

ලේගිරිස්

   


අල කොමසාරිස් ධුරන්දර ඩ්‍රැස්කියා මහත්තයා අල කොමසාරිස් තනතුරත් බාරගෙන සීතල  නුවරඑළීයේ පදිංචියට ගිය විත්තිය බ්ලොග් ලොවේ හැමෝම දන්නා කියන කාරනාවක් නේ. ඉතිං මේකා ඔය සීතල පැත්තේ ඉන්නකොට කාන්සිය පාලුව සීතල යන්නත් එක්ක මධ්‍යපාන ටිකක් අරන් අල බංගලාව සුද්ධ පවිත්‍ර කරන්න ආපු ලෙච්චිමී කෙනෙකුත් එක්ක අඩව්වක් එහෙම අල්ලන්න පුලුවන් කියලා අල කොමසාරිස් නෝනා නගාගේ හැදිමිටේ දිග මොළ පොඩියේ තඩි සිතුවිල්ලක් පහළවුනා. ඒ බරපතල සිතුවිල්ල නිසා මේ අලකොමාට තනිකඩ සීන් එකෙන් නුවරඑළියේ අල බස්සන්න හිතන් හිටපු එකටත් කෙළවුනා නේ බං. අන්තිමේදි නෝනා නගාගේ ආඥාවට යටත්ව එහෙට යනකොට නෝනයි පොඩි අලයයි විතරක් නොවේයි තමන්ගේ මහගෙදර උන්නු ලේගිරිසාවත් අඬගහන් අලුත් පලාතේ පදිංචියට ගියා. දැන් මේක කියවන ඔහෙලාත් බලයි කවුද මේ ලේගිරිස්? මොකටද ලේගිරිසාව අරන් යන්නේ කියලා. මේ ලේගිරිසා කියන්නේ අලකොමාගේ මහගෙදර ආවතේව කරන් හිටපු අලයා එක්ක පොඩිකාලේ ඉදන් හැදුන කොල්ලෙක්. මේ ලේගිරිසා අලයාගේ මුත්තාගෙන් ගෙදර වැඩට හිටපු හින්නිහාමිට සුලු අත්වැරදීමකින් සිදුවු අවකල් ක්‍රියාවක් හින්දා උත්පාදවුන එකියක් වුනු මැගිලියාට සෙල්ලං බාප්පාගේ සෙල්ලමකින් සිද්දවුනු පොඩි වැරද්දකින් මෙලොවට ආපු කොල්ලෙක්ලු. හොද නැඩයා උනත් ලේගිරිසාට පොඩි නුහුගුනයක් තිබ්බා. පොඩ්ඩක් මොඩ පහේ ගතියත් ඉක්මනින් පනින මල අතට ගැනිල්ලත් උගේ ගතිය උනා. දන්නවානේ ලේ ඥාතිගෙන් ලැබෙන දරුවන්ට ඇතිවන ලෙඩ. 


අල බැහැලාද එහෙම බලන්න විසිට් දාන දවස්වලට අල කොමා ගේ ටිකිරිස් වැඩවල ඔත්තු බලන්න එහෙම විස්වාසවන්ත ලේගිරිසාවත් එක්කගෙන ගියා. ලේගිරිසා අල කොමා එක්ක රාජකාරි ගියාම අලකොම් නගාගේ තනියත් වැඩිවුනා. කොහොම නමුත් අල කොමා ලේගිරිසාව ගෙදර නගා එක්ක තනියෙන් තිබ්බේ නෑ. මිනිහා දන්නවා නෙව ලේගිරිසාට තියෙන්නේත් වල් මුත්තාගෙත් සෙල්ලං බාප්පාගෙත් ලේ කියලා.  ලේගිරිසාට වඩා ගෑනු කෙනෙක් ගෙදර ඉන්න එක හොදයි කියලා අලකොමා හිතුවේ ඔය අතරේදි තමයි. අන්තිමේදි අලකොමා ගෙදර වැඩටත් නගා ගේ ඉවුම් පිහුම් වලට අත්උදව් දෙන්නත් පොඩි අලයාගේ තනියට සෙල්ලම් කරන්නත්  ආගරපතන පැත්තෙන් කමලානි එක්කගෙන ආව.

 

එනකොට ගිංතොට තුනිලෑලී කම්මලේ පිට පලු කෑල්ලක් වාගේ ආපු කමලානි කෙල්ලත් අලකොමසාරිස් බංගලාවේ සැප කෑම ටික අල්ලලා ගිහිල්ලා හොදට ආරලා මොරලා ආවා. අලකොමා ගේ සැපත් අල්ලලා ගියාද මන්දා.  කමලානිගේ තෙල් බේරෙන හැඩ කඳ දැක්කාම අලකොමා තොලකට ලෙවකාලා කෙළ පෙරෙන්න ගන්නවා. ඒක නෝනා නගා ටත් පොඩ්ඩක් විතර නොන්ඩි වෙලාත් තිබුනා.  ඔහේලා දන්නවානේ අපේ අලකොමා කොහෙමත් කොබා නේ.  

ඔහොම ටික කාලෙකට පස්සේ අල කොමාට කමලානිගෙන් නිදහස් වෙන්න හිතුනා. මිනිහා මුට්ටිය නොකඩා බෙල්ලත් නොකපා වැඩේ කරගන්නේ කොහොමද කියලා හිතුවා. දන්නවනේ මිනිහා කට්ටයා නෙව. අලකොමාම ලේගිරිසාගේ ඔලුවට කමලානි ගැන අනම් මනම් දාලා ලේගිරිසාටත් කමලානි ගැන පොඩි මෙව්වා එකක්  හැදුනා. දවසක් රෑ පානේ ඇදේ දපලා ඉන්නැද්දි කමලානිට ලේගිරිසාව ජෝඩුකරන යෝජනාව නෝනා නගා ට අලකොමා කිව්වා.

"ලේගිරිසාට දැන්ම කසාදයක් කරලා දෙන්න ඔනේ. දවසක් දෙකක් මිනිහා මම නයිටියක් ඇදන් හිටපු දිහා මහ වනචර බැල්මක් දැම්මා."
"ඒක තමයි මම ලේගිරිසාට ඉක්මනින්ම බන්දලා දෙන්න හදන්නේ. ලේගිරිසාව සුවර් නෑනේ."  
"අපොයි මම දන්නේ නැද්ද ඔයාගේ හැටියෙන්ම කියතෑකි නේ පරම්පරාවේ අයගේ හැටි. ඔයත් කමලානි දිහා බලනවා වැඩියි කියලත් මට හිතෙනවා.
මිනිහානම් කමලානිට කැමති පාටයි. එත් කමලානි ඔය මෝඩයාට කැමති වෙයිද?"
අලයා කතන්දරේ වෙන පැත්තකට හැරෙව්වා.
"කොහොම හරි කැමති කරවාගමු.
අපේ ගනේමුල්ලේ මුත්තාගේ ඕවිටි කෑල්ලෙන් පර්චස් 20 ක් මුගේ අම්මාට ලියලා දෙනවා කියලා තමයි ඒ දවස් වල හිටියේ. මැගිලින් මැරුණ හින්දා ඒක දෙන්න බැරිවුන එකේ ලේගිරිසාට ඒක ලියලා දෙනවා කියමු. උන්ටත් කලක් යන්න එපැයි නේ."
"ඔයාට පිස්සුද අනේ 20ක් දෙන්නේ දහයක් දෙනවා කියමු."
කොහොමින් කොහොම නෝනාත් අලකොමාත් කමලානිට ලේගිරිසා ගැන කිව්වා. මුලදි අකමැතිවුන කමලානියත් පස්සේ කල්පනා කරලා බැලුවා. යන එන මං නැතිවුන ආගරපතනේ කමලානිටත් කොළඹට කිට්ටුවෙන් ගෙයක් දොරක් හදාගන්නට ඉඩං කෑල්ලක් ලැබෙනවා කියන්නෙත් ලොකු දෙයක් නේ. අන්තිමේදි ඒකි ලේගිරිසාට කැමැත්ත දුන්නා. වැඩට හිටිය එකා වුනත් පොඩි කාලේ ඉදන් එකට හැදුන එකා වෙච්චි ලේගිරිසාට කසාදයත් හොදට කරලා දෙන්න අලකොමාත් හිතුවා. 

ලේගිරිසා මුලින් කැමතිවෙලා උන්නත් පස්සේ මගුලක් ගන්නවාට කැමතිවුනේ නෑ. කමලානිත් බැලුවා මේ මොකද මේ මිනිහාට උනේ කියලා. බැලින්නම් මලපොතේ අකුරක් නොදන්න ලේගිරිසා කසාද සහතිකේට අත්සන් කරන්න බැරි හින්දයි මේ පස්ස ගහන්නේ. අකුරු සෑස්තරේ ටිකක් දන්නා කමලානිත් ගේම අතහැරියේ නෑ. ලේගිරිසාට ලේගිරිස් කියලා අත්සන ලියන්න ඉගැන්නුවා. ගොන් අලියාවාගේ උන්නාට අපේ ලේගිරිසා දවස් ගානක් අමාරුවෙන් අමාරුවෙන් නම ලියාගන්න පුලුවන්වුනා.

මගුලට අරාධනා කරන්න නෑ සනුහරයක් නැති ලේගිරිසාගේ පොඩියට ගන්නා උත්සවයට අපේ බ්ලොග් කාරයෝ කිහිප දෙනෙක්ටත් අල කොමි මහතැන් උත්සවයට ආරාධනා කළා. අශ්ඨක කියන්න අපේ නිදි ලොක්කාට කිව්වාම එයා එයාගේ මිත්‍ර පන්සල් සීයා දේවාල මාමාට වැඩෙි පැවරුවා. පස්සේ මගුල් පොරුගහලා කරන මගුලක් ගන්නේ නැතිව රෙජිස්ටර් වැඩේ විතරක් කරන්න කියලා නෝනා නගා ගේ බලවත් ඉල්ලීම උඩ පොරු නැග්ගීම කැන්සල් කෙරුවා. ලේගිරිසාගේ පැත්තෙන් සාක්කියට අත්සන් තියන්න වැටමාර අධිපති ප්‍රාජේ මහත්තයාටත් කමලානිගේ පැත්තෙන් අත්සන් කරන්න දෙමළ නයන්නා ප්‍රසන්නයාත් කැමතිවුනා.
සුන්දර නුවරඑළියේ වැසිබර කාළගුණයක් තිබුන දවසක ඔන්න මගුල් උත්සවය ඇරඹුනා. නමියාගේ විදියේ නමියා හිටු කියලා පරණ තඩි කැමරා කටුවකින් පොටෝ කෑලි අල්ලනවා. පස්සේ තමයි අපි දන්නේ මේකා උස්සන් ඇවිත් තියෙන්නේ අර ආදිකාලේ රීල් දමන පොටෝ යන්තරයක් නෙව. හොදම වැඩේ කියන්නේ කොච්චර පොටෝ කෑලි ඇල්ලුවත් මේකා ඒකට රීල් එකක්වත් දාලා නොවෙයි ඉදලා තියෙන්නේ. සීතල යන්න එක්ක පොඩියට පොඩ්ඩක් වැඩියෙන් හීනියට එකක් අරගත්තු නිදි ලොක්කාගේ අතිජාත මිත්‍ර නෙවිල් ගොයියා ආහාර කෙසේවෙතත් පාන ගැන සොයා බලනවා. පරණ සැටියක් තියලා එකේ පිටිපස්සෙන් අල වැල් ටිකක් එල්ලලා බැලුන් බෝල ටිකක් පුම්බලා ගහලා සෙටිබැක් එකක් හදලා දුන්නේ කොළොම්පුරයා තමයි. කාලෙකට පස්සේ ලංකාවට සැපත්වුනු කොළඹ ගමයා මහත්තයාත් ඇවිල්ලා හිටියා. කොළඹ ගමයා ලංකාවට එනවා කියලා වෙලාසනින් දන්නවා නම් දෙමළ නයන්නව කපලා සාක්කියට අත්සන් කරන්න දමන්න තිබුනානේ කියලා හිතුන අලයා විස්සෝප වෙන්න ගත්තා.

අලකොමසාරිස් මහතැන්ගේ පරණ කෝට් බෑයක් අමාරුවෙන් ඇගට රිංගවාගත්තු මනමාල ලේගිරිසා හිටියේ මරන්න ගෙනියන හරකෙක් ගානට බයවෙලා. නෝනා නගා එයාගේ පරණ සාරියක් කමලානිට අන්දවලා මේකප් පාරක් දාලා දුන්නා. හැබැයි මනමාලිට අඩුවෙන් මේකප් කරලා වැඩියෙන් ලස්සනවුනේ නෝනා නගා තමයි.

විවාහ ලේකම් මහත්තයාත් වේලාව අල්ලලා ආවා.එයා ඉක්මණට රෙජිස්ටරේ කරන්න සුදානම් කරපු රවුම් මේස පොඩ්ඩේ අර මහදැන මුත්තාගේ පොත වාගේ විසාල පොත දිග ඇරගත්තා. මනමාලි කමලානිත් මනමාල ලේගිරිසාත් පුටුදෙකේ ඉන්දුවා. දෙපැතේතෙන් සාක්කියට අත්සන් ගහන වැටමාර ලොක්කාත් දෙමල නයාත් හිටගත්තා. ලේගිරිසා අමාරුවෙන් ලැජ්ජාවට වාගේ ඇඹරුනා. ඔන්න  දෙන්නාව හිටවලා පොරොන්දුවත් විවාහ සහතිකේට අත්සන් ගහන වැඩෙත් ආවා. බොහෝම කලබල වෙලා උන්නු ලේගිරිසා ලෙගිරිස් කියලා අත්සන ගහන තැන ලිව්වා.
"අනේ ඉක්මනට ලේ යන්න කරන්න ලේ යන්න කරන්න."
ඒක දැකපු කමලානි කලබලවෙලා හිමිහිට ලේගිරිසාට කිව්වා.
"මොකෑ.. ලේ යන්න කරන්න?
හරි බං එව්වා කරන්නේ රෑටනේ මෙච්චර දවසක් නැති හදිසියක් දැන් මොකද? පොඩ්ඩක් ඉවසලා හිටාං රෑවෙනකම්."
ලේගිරිසා කිව එක රෙජිස්ට්‍රාර් ලොක්කාටත් වැටාධිපතිටත් ඇහුනා.  මේකට කමලානි ගොඩාක් ලැජ්ජා උනා. රෙජිස්ටර් වැඩෙන් පස්සේ කමලානි අප්සෙට් එකෙන් ඉන්නවා දැකපු අලකොමා  නෝනා නගාට හොරෙන් ඒකි ලඟට ලංවුනා.
"ඇයි බං මෙච්චර හොඳ දවසේ අප්සෙට් එකෙන් ඉන්නේ? උබට දුකද මාව දාලායන්න?"
"නෑ මහත්තයා මම අත්සන් කරද්දී ලේගිරිස්ට ලේ යන්න කරන්න කිව්වා."
"ඈ ලේ යන්න? ඇයි බං උඹ දැක්කේ නැද්ද නෝනා හිටපු නැති රෑනේ මම උඹට ලේ යන්න කලේ."
"ආ එදාද? ඒ ලේ ගියේ මහත්තයාගේ කරගැටයක් කැඩුනු හින්දා නේ."

අල කොමා කමලානිගේ කතාවෙන් කුණුවෙච්චි අලයක්වාගේ ඇඹරිලා ගියා නෙව.  


Wednesday, August 24, 2022

ස්ටේෂන් පෙන්නීම


   

ඔන්න කොළොම්පුරයාගේ හිතාදර ගුරුජී අන්දුබයියාගේ විර වික්‍රම ඇඟපත සුලලිත වෙලා කිලිපොලා යන අති සුන්දර කතන්දරයක් අරන් ආවා.
ඔන්න එක්තරා සෙනසුරාදා දිනයක කොළොම්පුරයාගේ ඔපිසියට අසුබදායි සුබ ආරංචියක් ආවා. ඒ කොළොම්පුරයා රාජකාරිකොරන ආයතනයේ හා අංශයේ  GM ලොක්කෙකුගේ පියානන් කළුරිය කළ විත්තිය. දන්නවානේ කට්ටියට මළගෙදරකට යෑම කියන්නේ ට්‍රිපක් ගියාසේ තමයි. අනික කාගේ මළගෙදරකට නොගියත් මේ මළගෙදරට සහභාගිවෙන්නම ඕනේ. මොකද කොළොම්පුරයාත් එම GM යටතේ ඇති අංශයේ වැඩ රාජකාරිකරන උදවිය හින්දා. කොළොම්පුරයාගේ ඔපිසියේ දෙවැනි බොසාගේ පදිංචිය නුවර. එයාට නුවර ඉදන් දිනපතා කොළොම්පුරයට එන්න යන්න බැරි නිසා බෝඩිමක තමයි නතරවෙලා උන්නේ. මේ කියන කාලේ අපේ දෙවැනි බොසාට තිබුනා ටවුන්එස් වෑන් රථයක්. ඒකෙන් සති අන්තයට නුවර ගොහින් ආපහු සදුදා උදේම කුකුලත් අතින් අරන් සෙකංඩගලින් සල්පිටි කෝරලේ ගෙන්දගම්පොළාවට නැත්නම් කොළොම්පුරයට මංගච්චනවා. එයාත් ලෑස්තිවුනේ සෙනසුරාදා දිනයක්වුන හින්දා මළගෙදරට සහභාගිවෙලා ඒගමන්ම ගෙදර යන්න පුලුවන් නිසයි. අපිත් එයාගේ වෑන් රථයෙන්ම කුරුණෑගල යන්නයි දැන් ලෑස්තිය. ලොකු බොසා තියෙන වැඩ ටිකත් ඉවරකරගෙන හවස්වෙලා එන විත්තියක් කිව්වා. එයත් එක්ක එන්න එයාට මුට්ටි අල්ලන කිහිප දෙනෙක් නතරවුනා. අපි කට්ටිය දවල්ට කාලා එහෙම වෑන් රථයට ගොඩවැදුනා. 
       කොහොමත් බීමට ලැදි අන්දුබයියා පෑලියගොඩට එන්නත් පෙරම කොළොම්පුරයා ඇතුලු කිහිප දෙනාට කොදුරන්න ගත්තා. ඒ ඉතිං මළගෙදරට යන්න ඉස්සර මේ සොකජනක අවස්තාව සමරන්න. මේ වැඩේ නොකෙරුවෙත් අන්දුබයියාගෙන් බේරිලා ආපහු ඔපිස් එකේ වැඩකරලා හමාරයි. අපිත් අනුමැතිය දීලා අහවරවෙලා බොසාට කියලා දැල් කඩයක් අසළ නවත්වාගත්තගෙන දැල් කඩේ ලඟට ගිහින් සම්මාදම්ක් දැම්මා. එත් ඉතිං අන්දුබයියා සාක්කුවට අත දැම්මාට අත එළියට එන්නෙත් නෑ සල්ලි එන්නෙත් නෑ. අපේ අන්දුබයියා කවදාවකත් මුදල් පසුම්බියක් නැතිනම් පර්ස් එකක් පාවිච්චි කරන්නේ නෑ. අත දැම්මාම එළියට ආපහු නොඑන හින්දා අන්දුබයියාට තියෙන්නේ රබර් සාක්කුයි කියලයි සමහරුන් එහෙම කියන්නේ. කොළොම්පුරයා නම් එහෙම කියලා නෑ ඔහේලා පල්ලා සත්තයි. අන්දු බයියාගේ සාක්කුවට ගිය අත එහෙමම තියෙද්දී වැඩිපුර සල්ලිය බාගේ තියෙන උන්ගේ අනුග්‍රහයෙන් බියර් කෑන් කිහියක් වෑන් රථයට වැඩැම්මෙව්වා. ගෙනාපු හැටියේම කෑන් එකක් කඩාගෙන චියර්ස් නොකියාම ඇදලා ඇරිය අන්දු බයියා ඉදලා තියෙන්නේ මාර තිබහකින් කියලා දුකකුත් ඇතිවුනා. GM ලොක්කා හින්දා වැඩිය ගසලා මළගෙදරට යන්නත් බෑ. අන්තිමේදි යන්නතම් සන්තම් ප්‍රමාණයකින් අපිට සැනසෙන්නට උනත් අන්දුබයියා අපේ ඒවාටත් වග කිව්වා නෙව. කුරුණෑගල නගරය පහුකරන් අනුරාධපුර පාරේ මාස්පොතට ගිහින්  මළ ගෙදරටත් සෙන්දුවුනා. අපේ කට්ටිය කදුක්මුසු මුහුණක් දාගෙන මළගෙදරටත් ගොඩවෙලා GM ලොක්කාටත් ආචාරකෙරුවා. ගෙදරින් එළියට ඇවිත් ප්ලාස්ටික් පුටු ටිකක වාඩිවුන සෙට් එක උන්නේ කතා කරන්න මාතෘකාවක් නැතිවයි. GM ලොක්කාත් අපේ උදවිය ලඟට ඇවිත් කතාවකට මුලපිරුවා. ලොක්කාට වැඩිය මුහුණ දෙන්න බැරි හින්දා අන්දුබයියා කොළොම්පුරයාවත් අඩගහගෙන ගේට්ටුව පැත්තට ගියා.
"ඇයි අන්දුබයියේ මෙහෙට ආවේ? අතන උන්නා නම් මාරි එකක් කාලා නෙස්කැෆේ එකක් බෙන්න තිබ්බා නේ."
"බම්බු නෙස්කැෆේ යකෝ අතන හිටියා නම් GM ගේ කතාවට සෙට් වෙන්න වෙනවානේ."
"ඉතිං මොකෝ?"
"මොකෝ තමයි ඇයි උකන්නෝ අපි බීලා කියලා ඌට දැනෙනවානේ."
අන්දුබයියා බීලා හිටියත් මාර මිටරයකින් නෙව ඉදලා තියෙන්නේ.  

        පාරට ආපු අපි ට කරන්න දෙයකුත් නෑ දෙන්නා එක්ක එහා වත්තේ පොල් ගස්වල පොල්වලූ ගනිනවා ඇරෙන්න. ඒ අස්සේ අපේ පියන් කොලුවාත් දෙවැනි බොසාගේ වෑන් එකෙන් බාගත්තු ශොකාප්‍රකාශ බැනර් මිටියක් උස්සාගෙන එතනට කඩාවැටුනේ නැතැ.

"අන්දුබයියා මහත්තයා මේ බැනර් ටික මේ පේන හරියකින් එල්ලන්න කියලා බොස් මහත්තයා කිව්වා."
"කිව්වා නම් උඹම එල්ලා ගනිං. මේ ඇදුම් පිටින් උඹ කියන්නේ අපිට ගස් බඩගාන්න කියලාද?"
අන්දුබයියා කොලුවාට කඩාගෙන පැන්නා. ඌත් අන්දුබයියාට බයවෙච්චි පාර බැනර් මිටියත් එතැන අතහැරලා මළගෙදර දිහාට දිව්වා. ටික වේලාවකින් මෙන්න අපේ දෙවැනි බොසාත් අපි දිහාට ආවේ අනෙක් උන් දෙන්නාවත් අරගෙනයි.

"අන්දුබයියා මේ බැනර් ටික එල්ලන්න හොද තැනක් කියන්න කෝ."
"මෙව්වා එල්ලන්න කෝ ලණු? කට්ටියට දෙන්නා දෙන්නා දෙපැත්තෙන් අල්ලාගෙන තමයි ඉන්න වෙන්නේ."
"හරි මම ලණු ගෙනත් දෙන්නම් ඔයා මළගෙදරට එන අයට පේන තැනක් බලලා තියන්නකෝ."
අන්දුබයියාගේ හැටි දන්නා දෙවැනි බොසා එහෙම කියලා පියන් කොලුවක් අරන් කඩයක් හොයාගෙන පාර පැත්තට ගියා.

"ගනිං අන්දුබයියේ ඔය බැනර් එකක් මෙන්න මෙතන එල්ලන්න."
"පකෝ ඔතැන හරියන්නේ නෑ. පාරට පෙන්නේ නෑ. මෙන්න මෙතැන උඩින් එල්ලාපං."
කොහු ලණු ගෙනාවට පස්සේ අපිත් මිනිහාට මුල් තැන දිගෙන බැනර් ටිකත් එල්ලා අහවර කළා. දැන් හවස පහටත් කිට්ටුකරලා අපේ ලොකු බොසා තාමත් නෑ.  ලොක්කා එක්ක එන්න හිතාගෙන නතරවුනු එකෙක් අපිට කොල් එකක් අරන් කියපි තාමත් බොසා එක්ක ඔපිස් එකේ ඉන්නේ පොඩි වැඩක් ඉවරකරලාම යනවා කිවිවා කියලා.  මිනිහාත් එක්ක එන්න හිටියා නම් අපිටත් වෙන්නේ මළගෙදර නයිට් එකක් අදින්න. අන්දුබයියා බැලුවේ ලොකු බොසා ආවානම් එයාගේ වාහනේ ආපහු කොළඹ එන්නයි. දැන් ඒකත් හබක්. කොළඹට එන්න ඉන්නේ කොළොම්පුරයයි අන්දුබයියායි විතරයි. පියන් කොලුවාත් ලොකු බොසා ආවාම එන්නම් කියලා මළගෙදරට සපෝට් එකටත් එක්ක නතරවුනා.

"බොසා එනකම් ඉන්නේ නැත්නම් උඹලාව කුරුණෑගල ටවුමෙන් දාන් යන්නම්. " 
මළගෙදරට ආයුබොවන් කියලා දෙවැනි බොසා නුවර යන්න ලෑස්තිවෙනගමන් කීවා. ඔන්න ඔහේ කියලා වෑන් එකට ගොඩවුන අපි දෙන්නාවත් කුරුණෑගල ටවුමෙන් හලාගෙන දෙවැනි බොසා ඉගිල්ලුනා.

"ඒයි අන්දුබයියේ කොහේද මේ යන්නේ? මේ බස් ස්ටෑන්ඩ් එක පැත්තට නොවෙයි නේද?"
"බජ්ජහුරස් බං මං මේ පොඩි පොට් එකක් හොයනවා."
"අයියෝ අර මළගෙදරින් දාලා එන්නයි නේ තිබුනේ."
"ඔය ලැට් හොයන් ගෙවල් අස්සේ රිංගන්න බෑ."
"හොයන්න බැරිනම් GM ලොක්කාගේ ගෙදරට එහා පැත්තේ පොල්වත්තට ගියානම් නිදහසේ හුළං වැදීගෙනම කරන්න තිබුනා නේ."
"මේ උඹ පොඩ්ඩක් හිටපං කෑගහන්නේ නැතිව."
මිනිහා රිචඩ් පොත් සාප්පුව පැත්තට පිස්සුවෙන් වාගේ ඇවිදන් යනවා.
"මේ මිනිස්සු ඉන්න අස්සේ කොහේද ලොක්කා තාප්ප? හොටලයකට ගිහිල්ලා දැම්මා නම් ඉවරයිනේ."
අන්දුබයියා ගාල කඩාගත්තු මී හරකාවාගේ හයියෙන් හයියෙන් පාර දිගේ ඇවිදින්න ගත්තා. කොළොම්පුරයාත් මිනිහා පස්සේ දුවනවා. අන්තිමේදි පොත් සාප්පුව ලඟ තිබුණ හදන කඩ කැල්ලක් අස්සට පැනලා අන්දුබයියාගේ බර හෑල්ලු කරගත්තා. කොළොම්පුරයා ඇගේ ලේ වතුරකරන් බලන් හිටියේ අනුන්ගේ කඩ කෑලි අස්සේ මුත්‍රා කරන එකාට නෙලන ජවනිකාවක සාක්කිකරුවෙක් වෙන්න ලැබෙන එකට.  

"ඒයි උඹට බඩගිනි නැද්ද?"
බජ්ජහුර හෑල්ලුකරන් කඩ කෑල්ල අස්සෙන් එළියට ආපු අන්දුබයියා ඇහැව්වා.
"බඩගිනියි තමයි කොහේද මාරි එකක් කාලා නෙස්කැෆේ බොන්න තිබුනු චාන්ස් එකත් නැති කළානේ."
"තෝ මාරියි නෙස්කැෆෙ බොන එක ගැනමයි ඈඩියාව. ඔච්චර මාරි කන්න පෙරේතද?"
"නෑ බිස්කට් කෑවානම් මෙහෙ හොටල් ගානේ රිංගන්න ඕනේ නැනේ. බියර් බීලා අතේ සල්ලිත් නෑ. බස්එකේ යන්න මදි වෙයිද මන්දා?"
"අනේ තොගේ සල්ලි. කොයි වෙලාවෙත් නෑ කියාගත්තු ගමන්. යකෝ සල්ලි තියෙන්නේ වියදම් කරන්න මිසක් පොදි ගහන්න නෙමෙයි."

අන්දුබයියා මංතුමාට බැන බැන කන්න හොටලයක් හොයන් එහෙට මෙහෙට කැරකෙනවා. අන්තිමේදි පැරකුම්බා විදියේ රන්සිළු හෝටලයට ගොඩවෙලා  අන්දුබයියාගේ ජාතික ආහාරය වුනු කොත්තුවක් අරන් දෙන්නාත් එක්ක බෙදාගෙන රසබැලුවා. අපරාදේ කියන්න බෑ කොන්තුවේ බිල ගෙව්වේ අන්දුබයියාම තමයි.  ප්ලෙන්ටි දෙකකුත් බීලා අහවරවෙලා දෙන්නාත් එක්ක ආයෙමත් පාරට වැටුනා. දැන් හවස හයටත් කිට්ටුවෙලා තාමත් කොළොම්පුරයා කුරුණෑගල ටවුමේ.
  
"මේ ලොක්කා අපිට කොච්චිය නැග්ගානම් ඉක්මණට කොළඹ යන්න තිබුනා. මෙහේ බස් එනකම් බලන් ඉන්නේ නැතිව ස්ටේෂමට යමුද? දැන් මේ වෙලාවට කොළඹට කොච්චියක් නැතිවෙන්න බෑ. ස්ටේෂම තියෙන තැන ඔයා දන්නවානේ?"

මගේ යෝජනාවට අන්දුබයියාත් කැමතිවුනා. දැන් දෙන්නාත් එක්ක ස්ටෙෂම බලා ගමනේ යෙදෙන්න ගත්තා. සියල්ල දන්න මිනිහා වගේ අන්දුබයියා යනවා යනවා නවතින පාටක් නෑ. ස්ටෙෂම මේ ලඟ ඇතියි හිතපු කොළොම්පුරයාත් අන්දුබයියා පස්සෙන් යනවා.
"මේ ලොක්කා ස්ටෙෂම තව දුරද?"
කිලොමිටරයක් විතර ඇවිදපු කොළොම්පුරයා ඇහැව්වා.
"නෑ මේ ලඟ."
කොළොම්පුරයාට ඉස්සරවෙලා ගිය අන්දුබයියා පාරේ ගිය මනුස්සයෙක්ගෙන් මොනවාදෝ අහලා ආයෙමත් ඇවිදින්න ගත්තා.
"ස්ටේෂම තියෙන තැනද ඇහැව්වේ?
නෑ මේ ලඟ ඉස්පිරිතාලයක් තියේනවාද ඇහැව්වා උඹව ඇඩ්මිඩ් කරන්න. කට වහන් වරෙන්."
තවත් කිලොමිටරයක් විතර ඇවිද්දාත් ස්ටේෂමක් තියා රේල් පාරක් වත් කොළොම්පුරයා දැක්කෙ නෑ. දැන් කුරුණෑගලට ඇඳිරියත් වැටිලා ඉවරයි තවම දෙන්නා ඇවිදිනවා.
"අන්දුබයියේ තව දුරද?"
"අර ලයිට් හරියේ."
මිනිහා ඈත තියෙන විදුලි බුබුලු ගොඩාක් දැල්වෙන හෝටලයක් පෙන්නුවා. ආපහු ඇවිදින්න ගත්තා. ඈතින් දැක්ක විදුලි බුබුලු තියෙන හොටල් කිහිපයකුත් පහුකරන් තවත් කිලෝමිටරයක් විතර ගියා එත් ස්ටේෂම නෑ. කොළොම්පුරයාට දැන් හොදටම මහන්සියි තොහෙට්ටුයි. ඒ අස්සේ සපත්තුවකින් කකුල කැපෙන්නත් අරගෙන.
"මේ ලොක්කා ඔයා දන්නවාද ස්ටේෂම තියෙන තැන. මේ යන්නේ හරි පාරේද? මෙහෙම ගියොත් කොළඹට ඇවිදින්න පුලුවන්වෙයි."  
මිනිහා කිසිම සද්දයක් දැන් නෑ. කතාකලත්  ඇහුනේ නැති ගානට අන්දුබයියා යනවා. මෙච්චර දුර ආපු එකේ ආයේ හැරිලා යන්නත් බෑ. දැන් කොහොම හරි ස්ටේෂමට ගිහින් කොළඹට යනවා යන දැඬි අධිෂ්ඨානයෙන්  කකුලත් නොන්ඩි ගසමින් කොළොම්පුරයාත් ඉදිරියට යනවා.
එන්න එන්නම අන්දුබයියා හා කොළොම්පුරයා අතර පරතරය වැඩිවෙලා ගිහින් කොළොම්පුරයාට වඩා මිටර් 150ක් විතර ඉදිරියෙන් අන්දුවා ඇවිදිනවා. දහඩියෙන් නෑවුනු කොළොම්පුරයාට මලේ උපරිම ඇවිල්ලා හිටියේ. මේ අතරේ ප්‍රධාන පාරෙන් හැරුනු අන්දුබයියා තවත් පාරක් ඔස්සේ යන්න ගත්තා. තවතා තිබූ තෙල් බවුසර් පෝලිමක් පසුකර ගියාට පස්සේ කුරුණෑගල තෙල් සංස්ථාවේ තොග ගබඩාවේ විශාල තෙල් ටැංකි කිහිපයකුත් කොළොම්පුරයාට දකින්න ලැබුනා. එතැන හිටිය කෙනෙකුගෙන් යමක් ඇසූ අන්දුබයියා කුඩා දෙවටක් අස්සෙන් රිංගුවා. ඔහු පස්සෙන් ගිය කොළොම්පුරයාට හැතැක්ම ගානක් ඇවිද ගිය පිනෙන් රේල් පාර දකින්න ලැබුනා. රේල් පාර දිගේ ආපස්සට ඇවිදආ පසුව කුරුණැගල දුම්රිය ස්ථානය දර්ශණය වුනේ ටවුමට වඩා ගොඩාක් ඈතින් ස්ටේෂම හදපු උන්ගේ මව්ගුණ සිහිකරමින්. නොන්ඩි ගසමින් ආපු කොළොම්පුරයා වඩා ඉදිරියෙන් හිටිය අන්දුබයියා ස්ටේෂමටත් ගොඩවෙලා අවසන්.

"ඒයි  කොළඹ කොච්චිය දැන් පැය භාගෙට කලින් ගිහිල්ලා ආයේ එකක් තියෙන්නේ රෑ එකලොහටලු."
එකේ හිටපු කාගෙන්දෝ අහලා අන්දුබයියා කිව්වා. කොළොම්පුරයාගේ ඉවසීමේ සිමාව පැන්නා.
"මේච්චර දුර මේ ස්ටේෂම තියෙනවා කියලා ඔයා දන්නේ නැද්ද?"
"නෑ මම දන්නවා."
"දන්නවා බම්බුව. දන්නවා නම් තොගේ ආච්චිගෙ අහවල් අවයවයකටද  මෙච්චර දුර පයින් ආවේ?"
"උඹනේ කිව්වේ කොච්චියේ යන්න ඕනේ කියලා ඉතිං මම ආවේ උඹට ස්ටේෂම තියෙන තැන පෙන්නන්න."
උපරිම කේන්තියෙන් හිටපු කොළොම්පුරයා අන්දුබයියාගේ හත්මුතු පාරම්පරාවේ අටවෙනියාව මතක් කර කර ආපහු ප්‍රධාන පාරට ඇවිත් කුරුණෑගල බසයක නැගලා ටවුමට ඇවිත් කොළඹ එන බසයකට ගොඩවුනා. දැන් මේක කියවන උන්නැහෑලාට පුලුවන්නම්  හත්මුතු  පරම්පරාවේ අටවෙනියා නම් කරලා අල කොමසාරිස් ඩ්‍රැස්කියා  හාමු මහත්තයාගේ  ඇන්ටික් පන්නයේ භාවිතයෙන් ඉවත්කරන ලද  මොටවූ උල්දත් යුගල දිනාගන්න.
අන්දුබයියා ඇවිදපු දුර

ගුගල් දෙයියාගේ සිතියම් පොජජෙන් බැලුවාම අන්දුබයියා කොළොම්පුරයාට කුරුණෑගල ස්ටේෂම පෙන්වන්න කිලෝමිටර් දෙකහාමාරක් පමණ  පයින් ඇවිද්දවලා තියේනවා.  අදටත් අන්දුබයියා පවසන්නේ එයා කුරුණෑගල  ස්ටේෂම තියෙන තැන දන්නා බවත් කොළොම්පුරයාව ඇවිද්දුවේ සරිර සවුක්කිය උදෙසා යහපත් පරමාර්ථයෙන් හා ස්ටේෂම තියෙන දුර පෙන්නීමට පමණක් බවයි.

අන්දුබයියාගේ ස්ටේෂන් පෙන්නීම මෙතැනින් නිමියේයැ.

.

Wednesday, August 10, 2022

කොළොම්පුරයාගේ සැවුල් අන්දරය


පාද යාත්‍රාවේ ගිහින් ආපු නිදි ලොක්කාගේ සැප දුක අසන්නට දුරකතන ඇමතුමක් දුන් කොළොම්පුරයාට ලියන්නේ නැද්දයි අසමින් සොඳුරු තගත් දැම්ම බැවින් කප්පරක් රාජකාරි වැඩවල එරිලා හෙම්බත්වි ඉන්න අතරේම මේක ලියන්නට පටන් ගත්තා. කියවන සුවහසක් කොළොම්පුරේ සහෘදයින් හැමෝම නිදි ලොක්කාට මේ පොස්ටුව වෙනුවෙන් ස්තුතිය පුද කරන්න ඔනේ.

         මේ පොස්ට් එකේ මාතෘකාව වෙන්නේ සැවුල් අන්දරය නෙවැ. දන්නේ නැති උන්නෑහැලාට දැන ගන්න කියන්නේ සැවුලා කියන්නේ කුකුලා හරිද? ඉස්සර ආදිකාලේ අපේ කවිකාර උත්තමයෝ එක එක කුරුල්ලන් අතේ දෙවියන්ට සංදේශ ඇරියා. එවාට කියන්නේ සංදේශ කාව්‍ය කියලා. සීතාවක රාජසිංහ රජුගේ කාලයේ අලගියවන්න මුකවැටිතුමාත් ලිව්වා නොවැ සැවොල් සංදේශය හෙවත් සැවුල් අස්න කියලා සංදේශ කාව්‍යක්. සීතාවක රාජසිංහ රජුට සෙත් පතලා සපරගමුවේ සමන් දේවාලයේ වැඩසිටිනා සුමන සමන් දෙවිදුට සැවුලෙක් අත මේ සංදේශය ලියා යැවීමයි පරමාර්ථය වුනේ. වැඩි විස්තර මෙන්න මෙතනට කොටලා මේ බ්ලොගයෙන් බලා ගන්න පුලුවනි. 

Coat of arms of Galle


                ඔහේලා දන්නවාද පෘතුග්‍රිසිකාරයෝ ගාල්ලට දුන් ලාංජනයේ ඉන්නේ ගලක් උඩ ඉන්න කුකුලෙක්. පෘතුග්‍රිසිකාරයෝ කුණාටුවකට අසුවෙලා ගාල්ලට ආවාම මුලින්ම දැක්කා කියන්නෙ කුකුලෙක්ලු. ඔය ගාලු කොටුවේ තියෙන සමහර ස්මාරක ගොඩනැගිලි වල කුකුල් සලකුණ තියෙනවා. පැට්‍රල් තියේනවා නං ගාල්ල කොටුවත් සමුද කෞතුකාගාරයත් දැක බලාගෙන සැවුල් සලකුණ බලාගෙන ආවානම් හොදයි නේද? අදටත් ගාල්ල මහනගර සභාවේ ලාංජනයේ කුකුලා ඉන්නවා. ගාල්ල නැතිනම් ගොල් "Galle" කියන නම හැදෙන්න ඇත්තෙත් ලතින් බාසාවෙන්  "Gallus" කුකුලාට කියන  නම හින්දා වෙන්නැති. 




ලංකාවේ ජාතික පක්සියා වෙන්නෙත් වලි කුකුලා . "Sri Lankan Jungle Fowl / Ceylon Jungle Fowl" වඳවෙමින් පවතින අපේ රටට පමණක් ආවේණි්ක ආරක්ෂිත සත්වයෙක් තමයි වලි කුකුලා කියන්නේ. 

 කවුද ඩෝ චන්ඩි.....වලියට බර නැති අහිංසක වලි කුකුලා


කුකුල් කෙටවිල්ල "Cock fighting"   ලොවේ පැරණිම ක්‍රිඩාවක්. දේශගවේෂක ෆ්‍රඩිනන්ට් මැගලන් පිලිපීනය සොයාගන්ද්දි පවා එහි කුකුල් කෙටවිල්ල තිබුනා කියවෙනවා. කුකුල් කෙටවිල්ල හෙවත් පොර කුකුල් ක්‍රීඩාව ලංකාවේ තහනම් ක්‍රීඩාවක් උනත් තාම හොර රහසේ මේ වැඩේ කොරනවා. සැවුල් ඉතිහාසය දැනට ඇති නේද? ඔන්න ආපහු කතන්දරේට යමු.

කොළොම්පුරයාට පොඩි ඇගේ අමාරුවක් ආවා කොළොම්පුරේ නාගරික ජිවිතයෙන් මිදෙන්න. නාගරික පරිසරයෙන් වැඩිය ඈතකට නොවි පොඩ්ඩක් ඈතට ගිහින් අලුත් නිවසකට ගෙවැදුනු හින්දා ඉඩකඩ ඇති වත්ත පිටියකුත් ලැබුනා. සකල කළා කම්මැලි කොළොම්පුරයාට වැඩත් ලැබුනා ඉදහිට දනක් උසට වැඩෙන තණකොල කපලා සුද්ද ප්‍රවිත්‍ර කරන්න එහෙම. ඒ ඉන්න අතරේ කොළොම්පුරයාගේ අකලට පහළ වෙච්චි මොළේට ආවා අපුරු අයිඩියාවක් ගෙදර ආරක්සාවට කෙසේවෙතත් බොරුවට හරි ගෙදර බල්ලෙක් ඉන්න ඔනේ කියලා බලු තඩියෙකුත් හදන්න. ඔන්න කොළොම්පුරයා ඔපිස් ආව වෙලාවේ ඉදන් අන්තර්ජාලේ සැරි සරන්නේ බලුපැටියෙක් හොයමින්. අන්තිමේදි කදානේ බලුපැටව් විකුණන්නෙක් ගෙන් අරන් ආපු බිගල් වර්ගයේ සුනඛයා ටෙරි නාමය පටබැදගෙන ගෙදර සාමාජිකයෙක් උනා. මිනිස්සු එක්ක උන්නත් බල්ලා බල්ලාමයි හින්දා උගේ බලුගතිය වැඩිවෙලා අහුවෙන අහුවෙන එක කාලා දාලා අන්තිමේදි කොළොම්පුරයාගේ පුතන්ඩියා බංචියාගේ ඇස්කන්නාඩි දෙකත් විකලා දැම්මා. උගේ නැට්ටෙන් අල්ලලා විසික් කරන්න තරම් කේන්තියක් ආවට කොළොම්පුරයාම කරගත්තු මෝඩකමක් හින්දා ඉවසාවදාරාගෙන ඉන්නවා වෙන මක්කරන්නද?
ලැජ්ජාවට හැංගිලා


රෑ එළි වෙද්දි ලිං කැනලා කුඹුරක් සේ හාලා තියෙන සුපියල් වලින්ම බර ගානක් වියදම් කරලා මැලේසියන් තණකොල පිඩැලි අල්ලපු මිදුල දකින කොට ඇතිවෙන්නේ පට්ටම දුකක්. දම්වැලක් ගෙනවිල්ලා බැදලා දම්මාම බඩ පැලෙන්න බත් කාලා ගෙරෙවා ගොරවා නිදා ගැනිල්ල තමයි ටෙරියාගේ රාජකාරිය. ඕනෑම දෙයක් හිතට අල්ලලා තියෙන්නේ ටික දවසයි නොවැ ඉතිං බලු සුරතල් දැන් ඉවරයි. යකඩෝ මෙන්න කොළොම්පුරයත් අර නිදහස් සිතුවිලි එකේ රවි ලොක්කා වාගේ පදුරු තලන්නත් අරන් නෙව. හා හා යමුකෝ ආපහු කතාවට....

           සල්ලි වියදම් කරලා එකෙන් වියදමවත් පියවාගන්නට බැරි අහක යන ගොන් වැඩකට අත දාන්න ලඟදි ඉදන් කොළොම්පුරයාගේ අහවල් එකේ ඉත්තෑවෝ දුවන්න ගත්තා. වත්තේ ඉඩකඩ තියෙන එකේ ගම්කිකිලියෙක් හැදුවොත් බිත්තරයක් වත් කන්න පුලුවන්නේ කියලා මංතුමාට හිතුනා. හිතුනොත් එක කරලා කෙලෝගන්න කම් ඉවසිල්ලක් නැති කම තමයි කොළොම්පුරයාගේ තියෙන එකම මෝඩකම. ඕං ආපහු අන්තර් ජාලෙන් ගම් කිකිලියන් ගැන හොයා බැලිල්ල තමයි පළමු රාජකාරිය කොරගත්තෙ. ඒ අතරේ කොළොම්පුරයාගේ රාජකාරි ස්ථානයේම උසස් නිලධාරියෙක් වෙච්චි පරණ යාලුවෙක් මුණ ගැහුනා. බැලින්නම් එයත් මිට පෙර කුකුල් ගොවිපොලක් කරපු කෙනෙක්. යාලුවා ඉන්නෙත් කොළොම්පුරයාගේ අලුත් නිවාසයට කිලෝමිටර් පහක් විතර ඈතින්. කොළොම්පුරයාගේ කුකුල් ආසාව ඇහුවා විතරයි ඔන්න යාලුවාගේ සැඟවුනු කුකුල් ඇතිකිරීමේ ආසාවත් ආපහු පණ ගැහිලා ආවා නොවැ. එදා ඉදන් දෙන්නාගේම වැඩේ ගම් කිකිලියන් සොයන එකයි. කිකිලියන් ගෙනාවට දාන්න කූඩුවක් තියෙන්නත් එපැයි. වැඩ රාජකාරි අස්සේ කොහෙන්ද කුකුල් කූඩු හොයන්නේ? ආවා මරු අයිඩියාවක් කොළොම්පුරායේ කාබාසිනියාකාර ලිං හාරන බලු ටෙරියාගේ බලු කූඩුව මේ වැඩේට හරියටම හරි යනවා. ඉතිං සිනිදු සියුමැලි හාඩ්වෙයාර් එකට දුවලා ගිහින් ගෙනාව කුකුල් දැල් මිටර් කිහිපයක් ගැහැවා වටේටම දැල්. දැන් බලු කූඩුව කුකුල් කූඩුවක් උනා. අනේ අසරණ ටෙරියාගේ නිවහන නැතිවුනා.   මේ අස්සේ මුහුණු පොතේ තිබිලා පානදුරේ මාලමුල්ලේ ගම්කිකිලියන් වගයක් විකුණන්න තියෙනවා කියන ඇඩ් එකක් යාලුවා දැක්කා. එදා හවසම දෙන්නත් එක්ක ඒකත් බලන්න ගියා. යන කොට කලුවරත් වැටිලා ඒ මදිවට ලයිටුත් නෑ. එතැන තිබුනා පළමු මුරය බිත්තර දමාපු කිකිලියන් 9ක් විකුණන්න. දෙන්නාත් එක්ක කතාවෙලා එකෙක් රුපියල් එක්දාස් පන්සියය ගානේ කොළොම්පුරයා කිකිලියන් තුනක් හා ඉතිරි හයදෙනා මිතුරාත් මිලදිගත්තා. ගෙදර ගෙනාවට පස්සේ කොළොම්පුරයාගේ රාජකාරිය තමයි උන්ගේ සැපදුක් බැලිල්ල. සතුන්ට ලැදියාවක් දක්වන කොළොම්පුරයාගේ පුතන්ඩියා බංචි කුකුල් වැඩේ ස්වෙච්චාවෙන්ම බාරගත්ත නිසා කොළොම්පුරයා ඒ වැඩෙන් නිදහස් වෙලා ගියා.
කිකිලියන් තුන්දෙනා

දාපු පළමු බිත්තරේ




 ගෙනල්ලා දවස් දෙකකට පස්සේ කලුපාට කිකිලි දැම්මා බිත්තරයක්. ඊට පස්සේ දවසක තවත් බිත්තර දෙකක් ලැබුනා. අනේ දවසක සවස කලු කිකිලියව බංචිට කුඩුවට දාන්න අමතකවිමෙන් ඌ අතුරුදහන් වෙලා. කොළොම්පුරයා වැඩ ඇරිලා ඇවිත් රෑ වෙනකම්ම කළු කිකිලිව හෙව්වා නමුත් ආයෙමත් ලැබුනේ නෑ.

 කිකිලියන්ට බිත්තර දාන්න කුකුලෙක් ඔනේ නැතිවුනත් කුකුලෙක් හිටියොත් බිත්තර දැමිල්ල වැඩි වෙනවා කියලා අර කුකුල් උපදේශක යාලුවා කිව්වා. දැන් දෙන්නා ආපහු කුකුලෙක් හොයනවා. ඔන්න පානදුරේ මාලමුල්ල පැත්තට වෙන්න කුකුල් ඇති කරන කෙනෙක් ගාව පැටවු ඉන්නවා කියලා යාලුවා සමගින් කොළොම්පුරයා පිටත්වුනා. එදත් එහෙට යද්දි කලුවර වැටිලා විදුලිය විසන්ධිවෙලා. කුඩු දෙකක හිටපු කිකිලි හා කුකුල් පැටවුන් දොලොස් දෙනෙක් සයිස් දෙකකින් ඉන්නවා. හැබැයි එකා දෙන්නා දෙන්නේ නෑ විකුණන්නේ ඔක්කෝම එකවරටයි. උන් ඔක්කෝම රුපියල් දහදාහයි. ඒ පාර දෙන්නා හය දෙනා බැගින් බෙදාගෙන උන් අරන් ආවා. තව බිත්තර දමන උන්ට දෙන හා පැටවුන්ට වැඩෙන කුකුල් කෑම කිලෝ පහ බැගින්ද වතුර දාන හා කෑම දාන භාජන දෙක බැගින්ද අරගත්තා. අරන් ආපු කිකිලි පැටවුන් පරණ කිකිලි දෙන්නා ඉන්න කුඩුවට දැම්ම ගමන් පටන් ගත්තා කොටන්න. උන් බේරෙන්න දුවනවා. හැංගෙන්න තැන් හොයනවා. රෑට විතරයි සාමකාමිව ඉන්නේ. ඊට පස්සේ දෙගොල්ලෝ වෙන් කළා. සතෙක් අරන් යයි කියලා එළියෙන් තියන්නත් බෑ නොවැ. 
                පහුවෙනිදාම ගියා ලී මඩුවට ගෙනාවා දෙකේ දෙකේ පොලු හා රිප්ප තොගයක්. සිනිදු සියුමැලි හාඩ්වෙයාර් එකෙන් ගෙනාවා අඩියක් රුපියල් 300 ගානේ ප්ලාස්ටික් කොටඩ් දැල් අඩි විසි පහකුත්. කපන්න කොටන්න ඇනගහන්න පටන් ගත්තා යුද්දේ. මේ අස්සේ විදුලිය කැපිල්ලත් ආවත් වැඩේ නතර නොකර විදුලි පන්දමක් දල්වාගෙනත් වැඩ ටිකත් කරගෙන ගියා. අන්තිමේදි අලුත් කූඩුව හදලා ඉවරවෙද්දී රාත්‍රි දොලහත් පහුවෙලා ඉවරයි. අලුත් කූඩුවත් බලුකූඩුවට වඩා ලස්සනට හා ඉඩකඩත් වැඩියෙන් හැදුනා. එත් බොලේ අලුත් කිකිලි පැටවුන් හය දෙනා දැම්මාමත් ලොකු තුන්දෙනා පොඩි තුන්දෙනාට කොටනවා අමර කෙටිල්ලක්. පස්සේ යාලුවෙයි කියලා තිබ්බත් උන් පොඩි සේට් එකට බරපතල විදිහට තුවාල කරලා. දැන් කොහේද මුන්ව දාන්නේ? බැරිම තැන උන් තුන්දෙනාව අරන් බෙටඩින් ගාලා එළියේ තියේන සේවක වැසිකිලියේ ඇතුලට දැම්මා. පහරදිම් වලින් බරපතල තුවාල ලබපු එක පැටියක් දින කිහිපයකින් නිවන් සුව සොයාගෙන යන්නම යන්න ගියා. 

ඉතිරිවුනු දෙන්නා


                      තව ඉරිදා දිනයක කොළොම්පුරයා විවේක සුවයෙන් ඉන්නා අතරේ කුකුල් උපදේශක යාලුවාගෙන් දුරකතන ඇමතුමක් ලැබුනා එළුවිල හංදියේ කඩයක කුකුල් නාම්බෝ වගයක් විකුනන්න ඉන්නවා ගන්නවා නම් ගිහින් එමුයි කිවිවා. ඔන්න කොළොම්පුරයාගේ ඉත්තෑවා ආයෙත් කුලප්පු වෙන්න ගත්තා. යාලුවා එක්ක ගිහින් රුපියල් දෙදහක් ගෙවලා කුකුල් නාම්බාවත් මොටෝසයිකලේ ගැටගහන් ගෙදර අරන් ආවා. දන්නවා නේ කොළොම්පුරයාගේ මොට්ට මොළේ තරම ගෙදර ගෙනාපු හැටියේම එළියේ උන්නු කිකිලියෝ දෙන්නා ගාවට කුකුල් නාම්බාව අත හැරියේ මෙන්න උඹලාට හස්බන්ඩෙක් අරන් ආවා කියලා. ටික වේලාවක් නිදැල්ලේ හිටපු නාම්බා බලන්න බංචි දුවගෙන ආවා විතරයි මෙන්න එක පාරටම ඌ කුඩුව උඩට පියඹලා ගියා. ඌව අල්ලන්න හදනකොටම අඩි දොලහක් විතර උස තාප්පෙට පියබලා ගිය කුකුල් නාම්බා පැන්නෙ නැද්ද අල්ලපු ගෙදරට. අඩි දොලහක් විතර උස තාප්ප බඩ ගාන්න බැරි කොළොම්පුරයා අල්ලපු ගෙදරට වටේ පාරෙන් යද්දි බංචිත් දුවගෙන ආවා. ඒ ගෙදරට ගිහින් අල්ලන් හදනකොට මෙන්න මේකා ඊට අල්ලපු ගෙදර වත්තට තාප්පේ උඩින් පියඹලා ගියා. දැන් මොකද කරන්නේ? ඒ ගෙදරට යන්න ඔනේ එහා පැත්තේ පාරෙන්. අනවසරෙන් තාප්ප උඩින් පනින්නත් බෑ නොවැ. ඔන්න දෙන්නා එක්ක ආයෙමත් වටයක් ගහලා ඒ ගෙදරටත් ගියත් මේ කැ% නාම්බා ආපහු පැන්නා ඉස්සෙල්ලා හිටපු වත්තට. ආයෙමත් වටයක් යන්න බැරිකමට අතපය විතරක් නොවේ බඩත් හුරාගෙන තාප්පෙන් පැන්නා ආයෙමත් අල්ලපු ගෙදරට. මේකා මංතුමා මෙහෙට ආපු ගමන් ආයෙමත් පැන්නා අල්ලපු වත්තට ගිහින් ඒ ගෙදර කොන්ක්‍රීට් ස්ලැබ් එක උඩටත් ඉගිලුනා. එතැන ගිහින් නිකං ඉන්නෙත් නැතිව කොචෝක් එකට හඬලන්නත් වුනා. දැන් කොළොම්පුරයා පැන්නා ආපහු ඒ වත්තට. දැන් ගෙවල් දෙකේ ඇන්ටිලා අංකල්ලා කොළොම්පුරයාගේ කුකුල් මෙහෙයුම නරඹනවා. බංචියත් බැරි බැරිගාතේ තාප්ප උඩින් පනිනවා. කුකුල් නාම්බා ඉගිලෙනවා කොළොම්පුරයා තාප්ප දිගේ අනුන්ගේ වතුවලට පනිනවා. කොළොම්පුරයා දවල්ට කාලත් නෑ බඩගින්න උපරිමේට ගිහින් දැන් මලේ මල පැනලා උන්නේ. රුපියල් දෙදහාට කෙලවුනත් කමක් නෑ උඹ පුලුවන් වේලාවක වරෙන්කෝ කියලා මංතුමා ගෙදර ගියා. ස්ලැබ් එක උඩට වෙලා හඬල හඬලා හිටපු කුකුල් නාම්බා කිකිලියන් හින්දා හවස්වෙලා ආපහු අපේ වත්තට බැස්සා විතරක් නොවේ කලුවර වෙද්දි කිකිලියෝ දෙන්නාත් එක්ක කුඩුවටත් රිංගුවා. යාන්තම් කෙළොම්පුරයාගේ සැවුල් මෙහෙයුම ඉවරකරගත්තා.
මේ ඉන්නේ කෑ%#  කුකුලා  

                     ඒ අස්සේ තවත් මිත්‍රයෙක් එයාගේ තාරා ජෝඩුවක් කොළොම්පුරයාට තෑගි කළා. කොළොම්පුරේ කියවන අය දන්නවානේ කොළොම්පුරයා නිකං දෙනවා නම් පිහි පාරක් උනත් බාරගන්න උත්තමයෙක් කියලා. ඉතිං තාරවන් ගෙනාවට පස්සේ තමයි ඊළග කේස් එක පත්තුවුනේ. මේකා කිනං තාරාවෙන් නොවෙයි අමුම අමු වලේ වල් තාරාවෙක්. මේකා කිකිලියන් පස්සේ පන්නගෙන ගිහිල්ලා උන්ට අතවර කරන්න ගත්තා. කුකුල් නාම්බා බලන් ඉන්නැද්දී මූ කිකිලියන් බලහත්කාරයෙන් දුෂණය කරන්න ගත්තා නොවැ. අන්තිමේදි බැරිම තැන තාරාවන් දෙන්නා ආපහු යාලුවාටම දීලා දැම්මා.

                එක ගම් කිකිලියක් අරන් ඇවිත් බිත්තර කන්න බලාගෙන හිතපු  කොළොම්පුරයා ගෙඩි සුපියල්ම තිස්දාහක් විතර වියදම් කරලා කූඩු හදලා  කිකිලියන් නමයකුයි (මියගිය  පැටවා හා අතුරුදහන්වූ කිකිලි ඇතුලුව) කුකුලෙකුයි  ගෙනාවා. මුලින් දාපු බිත්තර තුනට පස්සේ උන් තාම කිසිම බිත්තරයක් දැම්මේ නැත. කොළොම්පුරයා අතින් වියදම් කරමින් උන්ට කන්ඩ බොන්න දීලා කඩෙන් බිත්තර ගෙනවිත් කනවාය. බිත්තර දමන්නේ නැති එකට කුකුල් උපදේශක යාලුවා මේ ලඟදි ජීනියස් අයිඩියාවක් දුන්නා. ඒ කිකිලියන්ට බිත්තර දමන්නට අමතක වෙලා ඇති බැවින් බිත්තර මේ වාගේ කියලා හිතා ගන්නට කඩෙන් බිත්තර ටිකක් ගෙනවිත් කුඩුවේ ඇතුලින් තියන්නටය. අද හෙටම ඒ වැඩයත් කරලා බලන්නට කොළොම්පුරයා හිතා ගත්තා.

සැවුල් අන්දරය මෙතැනින් නිමියේය.          

කොළොම්පුරයාගේ වෙසක් කූඩු කතා වස්තුව

 වෙසක් සිරියෙන් රටම බබලන්න මැයි මාසේ උදාවෙලා තියෙද්දි කොළොම්පුරයාගේ මතක ගබඩාවේ දුහුවිල්ලෙන් වැසිලා ගිහින් තිබුන පරණ සිද්ධියක් මතකයට නැගුනා. ...