Tuesday, September 22, 2020

පළිගු කිරිල්ලී - එකළොස් වන කොටස


 අම්මා ඇඳේ වැතිර පොඩි මල්ලි දිනේෂ්ට කිරි පොවනා දෙස බැලූ ඉන්දිරා කාමර දොරේ තිර රෙද්ද හිමිහිට පහළට දමා කාමරයෙන් පිටට ආවා ය. ලොකු මල්ලි කෝලිත මිදුලේ වැලි හාරමින් පොල්කටුවකට පුරවනු බලා සිටි ඈ මුහුණ සෝදාගෙන ගෙට එන ලෙසින් ඔහුට අණ කළා ය. ස්භාවයෙන්ම නිහඬ චරිතයක්වූ කෝලිත ඉන්දිරා හා එක්ව සෙල්ලම් කිරීමට නොකැමති විය. හපුතල් කන්ද දෙසින් ආ සීතල සුළඟ ඉන්දිරාගේ සිරුරේ හිරිගඬු නංවාලමින් හමා ගියේය. කිසිවක් කරන්නට නොහැකි අලස කමක් ඈට දැනුනායින් යළිත් අම්මා සොයා නිදන කාමරයට ගියා ය. තනපුඩුව කටේ තිබියදී නින්දට වැටුනු දිනේෂ්ව අසලින් වැතිර සිටිනා අම්මාගේ වැසී තිබූ දෙනෙත් යළි විවරවූයේ ඉන්දිරා කාමරයට පැමිණි හඬිනි.

“කෝ මල්ලි?”.

“අර එළියේ සෙල්ලම් කරන්නේ.”

“එයාට ගෙට එන්න කියන්න. ඇදිරිවැටිච්ච වෙලාවට එළියේ ඉන්න හොඳ නෑ.”

“මම කතා කළාට ආවේ නෑ.”

“කෝ සුදු නැන්දා?”

“කුස්සිය පැත්තේ හිටියා. දර ගොඩ පැත්තට ගියාද දන්නේ නෑ.”

“මෙයාව පොඞ්ඩක් බලා ගන්න. ඔය කොට්ට ටික වටේට තියන්න පෙරළෙන්න බැරිවෙන්න. මම මල්ලිගේ ඇඟ සෝදලා ගෙට එක්කන් එන්නම්.”

දිනේෂ්ව ඉන්දිරාගේ බාරයට තබා තමාලි මිදුල දෙසට පිය මැන්නා ය. සුව නින්දකට වැටි සිටි පොඩි මල්ලිට පෙරළිමට නොහැකිවන පරිදි කොට්ට කිහිපයක් ඔහු වටේට තැබීය. කොට්ටයකට ඔළුව තබාගත් ඉන්දිරා කෙටි නින්දකට වැටුනේ නොදැනිමය. පොල් ගෙඩියක් බිඳින හඬින් ඇහැරුනු ඉන්දිරා හිස ඔසවා මල්ලි දෙස බැලීය. ඔහු තැබූ ලෙසම කුඩා ඇඟිල්ලක් මුව තුල රඳවාගෙන නිදනවා දුටු  ඈ හිමිහිට ඇඳෙන් බැස කුස්සිය දෙසට පියවර තැබීය. 

“දැන් මේ වතුවල කුලී වැඩට ගිහිල්ලා වැඩක් නෑ සුදු නැන්දේ. දැන් මේ පැත්තේ උක් වැවිල්ලත් අඩුවේගෙන යන්නේ. එළවළු වගාවල් වලට විරකෝන් ගම පැත්තේ දෙමළ අය අඩු පඩියට එනවා.”

“ඕවායේ නැහිලා නැහිලා සෙච්චමක් ගන්නේ මොකටද?”

සුදු නැන්දා ගාමින් සිටි පොල් බෑය අතට ගනිමින් ඇසුවා ය.

“ඒක තමයි මමත් හිතුවේ. ඒත් ඉතිං වියදමට කීයක් හරි ලැබුනදෙන් කියලා තමයි වැඩට ගියේ. පොඞ්ඩාත් දැන් ලොකු එකේ වෙනින් රස්සාවක් වත් හොයාගන්න ඕනේ.”

“මෙහෙ කොහේද රස්සාවල්? පොඩි මාමට කියලා මන්ත්‍රීතුමාගේ ලිස්ට් එකටවත් දාගන්න බලමු.”

“මම හිතුවේ රට රස්සාවකට යන්නයි කියලා.”

“මොකක්? උඹට පිස්සුද?”

“මෙහේ සොච්චමකට නැහිලා පුළුවනිද මුන්ට කන්න අදින්න දෙන්න? ඉස්සරාහට තව කොච්චරක් වියදම් තියෙයිද? පොඩි මාමාට පුළුවන්කමක් නෑ අපි ගැන බලන්න. එයා මේ කරන හරිය මදැයි.”

“ඒවුනාට පොඩි මාමා කැමතිවෙන එකක් නෑ.”

“එයාටත් පැන්ෂන් යන්න ළඟයි නේද?”

“මම හිතන්නේ තව අවුරුදු දෙකක් විතර තියේ.”

“ඒ ගැන හිතලා තමයි මේ තීරණය ගත්තේ. ඉතිං කොහොමද අපි එයාට බරක් වෙන්නේ?”

“උඹට කවුද රට රස්සා ගැන කිව්වේ?”

“පහළ වංගුවේ ශ්‍රියා තමයි කිව්වේ.”

“ඉතිං බං මෙහේ කොහේද රට යවන තැන්? ඒවාට කොළඹ යන්න වෙයි නේද?”

“බණ්ඩාරවෙල ටවුමේ තියෙනවාලූ. ඒකෙන්ලූ මිරහවත්තේ ඉන්න ශ්‍රියාලගේ ලොකු අම්මාගේ දුව ඩුබායි ගියා කියන්නේ. වැඩත් අඩුයිලූ ලොකු පඩියත් එහෙම ගෙවනවා කිව්වේ.”

“ඔය කියන තැනින් නිකන්ද රට යවන්නේ?”

“නෑ සල්ලි ගන්නවා. රුපියල් විසිදාහක් ද කොහේද.”

“විසි දාහක්? කොහේ තියෙන සල්ලිද බං? අනේ මේ උඹ පිස්සු නටන්නේ නැතිව ඉදින්.”

“ඒක මං ණයට හරි හොයගන්නම් කෝ. අනික මේ ඒජන්සිය පොඩි මාමාගේ මන්ත්‍රිතුමාගේ ඥාතියෙක්ගේ කියන්නේ. එයා කිව්වා නම් භාගයක් ගෙවලා යන්න පුළුවන්ලු ඉතිරි භාගේ ගෙවන්න ඕනේ රට ගියාට පස්සේලු.”

“භාගයක් හරි ගෙවන්න කොහෙන්ද සල්ලි?”

“ඒක මම හොයාගන්නම් කෝ. ජයවීර හිරේ ඉදන් මේ ළමයින්ගේ වියදමට සල්ලි එවන එකක් යෑ. මම නේ මෙච්චර දවසක් නැහුනේ. මම ගිහිල්ලා එනකම් මේ පොඩි උන් ටික සුදු නැන්දා බලාගන්න ඕනේ.”

 තමාලිගේ දෑසට උනා ආ කඳුළු බිඳු කිහිපය පිටි අල්ලෙන් පිසදාගත්තා ය. 

“උඹ මේ අඬන්නේ දැන්ම රට යන්න ළඟයි වගේනේ. උඹ මේ කුලී වැඩට ගියාමත් ළමයි බලාගත්තේ මමනේ. ඉන්දිරායි කෝලිතවයි බලාගන්න එකනම් ලොකු වැඩක් නෙමේයි. ඒත් මේ පොඩි එකා? ඒකාට අම්මව ඕනෑ කරන කාලේ නේද?”

“දැන් අවුරුද්දත් පහුවුනානේ. මොනවා කරන්නද සුදු නැන්දේ අපි නොකා නොබි හරි උන්ට කන්න දෙන්න ඕනේ, උගන්න ඕනේ. සල්ලි කියන ඒවා කොච්චර තිබුනත් මදි.”

කුස්සියේ උළුවස්සට හේත්තුවූ ඉන්දිරා අම්මාත් සුදු නැන්දාත් අතරවූ කතාවට නිහඬව සවන්දීගෙන සිටියා ය. ඇයට අම්මා පිටරටකට යන විස්තරය ඇසූ විගසින්ම ක්ෂණික සතුටක් සිතපුරා දිවයන්නට විය. එහෙත් අම්මා පිටරට යන්නේ තමා හා මල්ලිලා දෙන්නා මෙහි දමා බව අවබෝධ වෙද්දී ඇතිවූ සතුට වියැකී යන්නට විය.   

“දැන් ජයවීරත් නිදහස් වෙන්න ළඟ ඇති නේද?”

“මං හිතන්නේ තව කල් තියෙනවා. වන්දිය ගෙවන්නත් බැරිවුන එකේ හිරේ ඉන්න එක දික්වූනා.”

“ජයවීර ඇවිල්ලා උඹව හොයයිද දන්නේ නෑ.”

“ඔය මිනිහට ඕවායේ ගානක් නෑ. කොහෙන් හරි බොන්න අරක්කු ටිකක් ලැබුනා නම් ගෑණියි ළමයිනුයි අමතකයි. අම්මාගේ තුරුල්ලට වෙලා අරක්කු බිබී ඉන්නේ නැතැයි.”

සුදු නැන්දා පොල් බෑය ගා ඉවරවූ පසු බත් වළඳත් රැගෙන හිරමණයෙන් නැගිට්ටේ දණ හිසට අත තබා හින් කෙදිරියක් නගමින්ය.

“එන්න එන්නම දණහිස් අමාරුව වැඩි වෙනවා. හෙලේ නැගලාම තමයි මේ ලෙඬේ හැදුනේ.”

බත් වලඳ තමාලිගේ අතට පත් කල සුදු නැන්දා පොල් කටුව පිළිකන්නට විසීකළා ය.

“බැලුවොත් කුස්සියේ තමයි. ඉන්දිරා ගිහිල්ලා පොතක් පතක් බලාගන්න.”

ඔවුන්ගේ කතාවකට කන් දී සිටිය නිසාවෙන් තමාලි ඉන්දිරාට සැරවීය. සුදු නැන්දාගෙන් අවසර ගැනිමට අපහසු නොවූවත් පොඩි මාමාගෙන් එය හිතන තරම් ලේසිපහසු කටයුත්තක් නොවන බව ඈ තේරුම් ගෙන සිටියා ය. සති අන්තයේ හල්දුම්මුල්ලට එන පොඩි මාමාට රට රස්සාව ගැන කියන ආකාරය කිහිපවිටක් අත්හදා බැලීය. සති අන්තයේ නිවසට ආ පොඩි මාමා නිස්කාන්සුවේ සිටින වේලාවක් අල්ලා ගැනිමට තමාලි හොර බැළලියක සේ කුරුමාණම් අල්ලන්නට විය. නිවසට ආ පසුත් නිකං සිටිමේ පුරුද්දක් නොමැති පොඩි මාමා වත්තේ වැඩි තිබූ තක්කාලි පඳුරු වලට සාත්තු කිරිමට පටන්ගති. තේ කෝප්පයක්  රැගෙන පොඩි මාමා සිටින ඉසව්වට ගිය තමාලි 

“ආ මෙන්න පොඩි මාමේ.”

තක්කාලි පඳුරකට කොම්පොස්ට් පොහොර දමමින් සිටි ඔහු තමාලිගේ කටහඬ ඇසී පඳුරුගොන්න අතරින් නැඟී සිටගත්තේය.

“ආ මේ ළමයානේ. ඇයි අද වැඩට ගියේ නැද්ද?”

ඔහු තම සරමින් අත් පිසදාගෙන තේ කෝප්පය අතට ගන්නා අතරේ දී ඇසීය. 

“නෑ මේ දවස්වල වැඩ නෑ. අනික දැන් මේ පැත්තේ අය උක් වැවිල්ලත් අතහරිනවා. දැන් ඉස්සරවාගේ හොඳ මිලක් නැතිලු.”

“ආ එහෙමද?”

“මම වෙන රස්සාවක් හොයාගන්නයි බලන්නේ.”

“මම නම් කැමති නෑ තමාලි රස්සා කරනවාට. මේ ළමයින්ව බලාගෙන  ගෙදරට වෙලා ඉන්න.”

“මට බෑ නිකං කකා බිබී ඉන්න. අනික අපේ වියදම් පොඩි මාමාට දරන්න බෑ.”

“තනිකඩ මට වෙන වියදම් කොහේද තියෙන්නේ? මොකද මැරුනාම මේවා අරගෙන යන්නේ නෑ.”

“මම දන්නවානේ රජයේ සේවකයින්ට ලැබෙන පඩිය. ජයවීරටත් ලැබුනේ කීයද?”

“උඹ දන්න ඉටි ගෙඩිය. ඒකා ඩ්‍රයිවර් එකෙක්නේ. මගේ පඩිය ජයවීරගේ පඩිය එක්ක බලන්න එපා.”

“ඒත් ඉතිං පොඩි මාමාට කුරුණෑගල බෝඩිමටයි කෑමටයි බස් එකටයි ගියාම කීයද ඉතුරුවෙන්නේ. ඔය පඩියෙන් අපිටයි සුදු නැන්දටයි සලකන්න පුළුවනිද?”

“මට පුළුවන් නිසානේ මම කරන්නේ. මටත් බයක් සැකක් නැතිව කුරුණෑගල ගිහිල්ලා ඉන්න පුළුවන් වූනේ ඔයලා මෙහේ ඉන්න නිසයි. නැත්නම් සුදු නැන්දා තනියෙන් දාලා යන්නේ කොහෝමද?”

“තව ටික කාලෙකින් පොඩි මාමා පැන්ෂන්, එතකොට පුළුවන්ද? බෑනේ, එකයි මම ඔයාලට බරක් නොවී රස්සාවක් කරන්න හිතුවේ. අනික මේ ළමයින් ලොකු මහත්වෙනකොට කොච්චරක් වියදම් තියෙනවාද?”

“තමාලිට රස්සාවක් කරන්න ඕනේම නම් මම මන්ත්‍රීතුමාට කියලා බලන්නම්. එත් ඉතිං මේ පැත්තේ රස්සාවල් අරගන්න බෑ.”

“මම බැලුවේ රට රස්සාවකට යන්නයි.”

“රට රස්සාවක්? එතකොට මේ පොඩි උන්?”

“සුදු නැන්දා බලා ගන්නම් කිව්වා.”

“එයාට පුළුවනිද මේ පොඩි ළමයි බලාගන්න?”

“හදිසියකට අහළ පහළ කවුරුහරි කතා කරගන්න පුළුවනි නේ.”

“පොඩි දරුවාට දැන් අවුරුද්දක්වත් නෑ නේද? මේ ළමයින්ට අම්මා ඕනේ කාලේ රට ගිහිල්ලා පුළුවනිද තමාලි?”

“දිනේෂ්ට අවුරුද්ද ඉවරයි. එයාලගේ අනාගතේ හදන්න තමයි මම මේ කරන්න යන්නේ.”

තමාලිගේ නෙත් කෙවණි තුළ රැඳීහුන් කඳුළු බිංදු හිමිහිට ගලායන්නට විය. ඇය බිඳුණු කටහඬින් පොඩි මාමා ඇමතුවා ය.

“මමත් මේ දේ කරන්න යන්නේ කැමැත්තකින් නෙමෙයි. අම්මා මැරුනා. තාත්තා දාලා ගියා. ඊට පස්සේ මාව දෙමව්පියන් වගේ බලාගත්තේ ඔයාලා. මම මදිවට තව ළමයි තුන්දෙනෙකුත් එක්ක ඇවිත් ඔයාලාට බරක් වෙන්න බෑ. මේ කරන උපකාර වලට ජාති ජාතිත් ණයගැතියි පොඩි මාමේ.”

“දැන් කොහේ ඒජන්සියකින්ද යන්න හදන්නේ?”

“බණ්ඩාරවෙල ටවුමේ තියෙන්නේ අල් අමායා කියලා ඒජන්සියක්.”

“කීයක් ගන්නවාද?”

“හරියටම දන්නේ නෑ. පහළ වංගුවේ ශ්‍රියා කිව්වේ විසිදාහක් විතර ගන්නවා කියලා. මන්ත්‍රීතුමාගේ ඥාතියෙක්ගේ ඒජන්සියක්ලූ. මන්ත්‍රීතුමා කිව්වා නම් සල්ලි භාගයක් ගෙවලා යන්න පුළුවන්ලූ. ඉතිරි භාගේ ගෙවන්න ඕනේ රට ගියාට පස්සේලූ.”

“එතකොට ශ්‍රියාත් යන්නද හදන්නේ?”

“ඔව් පොඩි මාමේ. එයාත් ඉන්න හින්දා බයක් නෑ.”

“එහෙම නම් හොඳයි. මම දන්නවා ඔය කියන තැන. මම මන්ත්‍රිතුමා හම්බුවෙලා ඔය ගැන කතා කරගන්නම්.”

තමාලිට ඇතිවූයේ නොමඳ සතුටකි. වැඩි වෙහෙසක් නොලබාම පොඩි මාමාගේ අවසරය ලැබීම ඇයට සිතාගත නොහැකි විය. පොඩි මාමා බී අහවරවූ තේ කෝප්පය රැගෙන ඈ ගෙට දිව ගියේ සතුටින් ඉපිලෙමිනි.

ඇය සඳුදා දිනය වනතෙක් බලා සිටියේ ශ්‍රියා සමඟින් බණ්ඩාරවෙල ඒජන්සිය වෙත යාමටය. අඩු වයසින්ම කසාද මිනිහා මළ වැන්දඹුවක්වූ ශ්‍රියා කෝලිතට අවුරුදු දෙකක් පමණ වයසින් බාල දියණියක් සමඟින් අසරණව සිටියා ය. දෙදෙනා එකව ඒජන්සියට ගොස් පාස්පෝට් සැදීම හා අනෙකුත් අවශ්‍ය කරුණුද දැනගෙන ආහ.

දෙසතියකින් පමණ පොඩි මාමා පැමිණ තමාලි බලාපොරොත්තු නොවූ ආරංචියක් පැවසුවේය.

“ඔන්න මම මන්ත්‍රිතුමාට කතාකලා. ඒජන්සිය කරන්නේ මන්ත්‍රිතුමාගේ නෝනායි එයාගේ මල්ලියි. බයවෙන්න දෙයක් නෑ. එයාලා මං වෙනුවෙන් යමක් කරලා දෙයි.”

“ඔක්කෝටම කලින් පාස්පෝට් එක හදාගන්න යන්නත් ඕනේ.”

“ඒකට අපි දවසක යමුකෝ.”

පොඩි මාමාගේ යහළුකම නිසාවෙන් ඒජන්සියට ගෙවන ගාන රුපියල් පන්දාහකින් පමණ අඩුකර ගැනීමට හැකි විය. සඳුදා දිනයක නිවාඩුවක් ගත් පොඩි මාමා තමාලිවත් රැගෙන කොළඹ පැමිණියේ ඇගේ ගමන්බලපත්‍රය සකසා ගැනීමේ කටයුතුවලටය. මේ සියල්ලටම වියදම් පොඩි මාමා විසින් දැරුවේ ලැබුණු විටක දෙන්න යැයි පවසමින්ය.

“පොඩි මාමේ දැන් ඒජන්සියට බඳින්න සල්ලි හොයාගන්නේ කොහොමද?” 

“ඒක තමයි මාත් මේ කල්පනා කලේ. මං ළඟත් එච්චර සල්ලියක් නෑ.”

“ණයට ගන්නවත් බලමුද?”

“මම ණයට සල්ලි ගන්න කැමතිම නෑ. ඒත් ඉතිං මේ වැඬේට සල්ලි ඕනෙම නේ. බලමු මම දන්න මිනිහෙක් ඉන්නවා.”

“අපිට භාගයයිනේ ඕනෑ වෙන්නේ.”

“ඒවුනාට දුවේ ඇඳුම් ටිකක් බෑග් එකක් එහෙම ගන්න ඕනේ නේද?”

“ඔව් ඒකත් ඇත්ත. මට බෑග් එකක් ගන්න අමතක උනා.”

“එහෙනම් අපි දහදාහක් විතර ණයට ගමු.”

දින කිහිපයකින් පොඩි මාමා විසින් අවශ්‍ය මුදල ණයට රැගෙන විත් තමාලි අතට පත්කෙරුවේය. නියමිත මුදල ඒජන්සියට ගෙවූ තමාලි පොඩි මාමාත් එක්ව ඇඳුම් කිහිපයක් හා බෑගයක්ද මිලදීගෙන නිවසට ආවා ය. ඉන්දිරා තමාලි හමුවට පැමිණියේ ඇගේ සිතේ පැසවමින් තිබූ කරුණක් දැන ගැනිමටය.

“අම්මා රට යන දවස ලඟයිද?”

“තාම නෑ දුවේ. ඇයි එහෙම ඇහැව්වේ?” 

“නෑ නිකං.”

“දුව කැමති නැද්ද මම රට යනවාට?”

“මම කැමතිද නැද්ද කියලා අම්මා අහලා නෙමෙයිනේ රට යන්න හැදුවේ.”

“මට කරන්න දෙයක් නැති නිසයි මේ තිරණේ ගත්තේ. තවත් පොඩි මාමාට බරක්වෙන්න බෑ.”

“ඒත් පොඩි මාමා කැමති නෑ නේද?”

“පොඩි මාමාගේ අකමැත්තක් නෑ. අනික මං එයාට ඇත්ත පහදලා දුන්නා. මේ රට රාජ්ජවල යන්නේ උඹලාගේ ඉදිරිය ගැන හිතලා. තාත්තා පිස්සෙක් වගේ බීලා නාස්තිවුනාට මට උඹලාව පාරට ඇදලා දාන්න බෑ.” 

“එවුනාට අම්මේ අපිට තාත්තාත් නැතිවූනා දැන් අම්මාත් නැතිවෙන්නයි යන්නේ. අපි ගැන බලන්න කවුරුත් නැති වෙනවා.”

ඉන්දිරා හඬමින් කීවා ය.

“මම යන්නේ නොඑන්නම නෙමෙයිනේ. සුදු නැන්දා, පොඩි මාමා ඔයාලව බලාගනියි.” 

තමාලි ඉන්දිරාව තුරුළට ගෙන ඇගේ හිස අතගාමින් කීවා ය. 

“අවුරුදු දෙකක් කියන්නේ ලොකු කාලයක් අම්මේ. අපි මේ තියෙන විදිහකට ඉමු.”

ඉන්දිරා නොනවත්වාම ඉකිගසමින් අඬන්නට විය.

“අවුරුදු දෙකත් ඉක්මනටම ගෙවිලා යයි. මම මේ ගමන යන්න හදන්නේ අපිට ඉන්න ගෙයක් දොරක් හදාගන්න, උඹලාට උගන්නන්න. ඉස්සරාට තව කොච්චරක් දේවල් කරන්න තියෙනවාද.”

 ඉන්දිරාව තම පපුතුරේ තබා තදින් වැළදගත් තමාලි තම කඳුළු පිටවයානොදී මුක්කම් හඬකින් කීවා ය.

ඉන්දිරා හිස ඔසවා තමාලිගේ මුහුණ දෙස බැලීය. ඇගේ හැඬීමෙන් රතුවගිය දැසින් කඳුළුවැල් නොනවත්වාම ගලා හැලෙන්නට වීය.

“අපිට ඔය ගෙවල් දොරවල් ඕනේ නෑ අම්මේ.”

කී ඈ තමාලිගෙන් මිදී කාමරයට දිව ගොස් ඇඳේහි වැතිර හඬන්නටවුනි. දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා තමන් කරන්නට හදනදේ නතර කිරීමට තමාලි බලාපොරොත්තු නොවීය. එහෙත් ඉන්දිරාත් පොඩි මාමාත්  කියන දේ යම් තරමකට හෝ සත්‍යයක් ඇති බව ඇය තේරුම්ගෙන තිබුණි. සති දෙකකින් පමණ ඒජන්සියෙන් පණිවිඩයක් ලැබුනේ ටිකට් ලැස්තිකර ඇති බැවින් රට යෑමට ඊළඟ සුමානයේ දිනයක් දැනුම් දෙනු බවටය. එම ආරංචියෙන් තමාලිට ප්‍රීතියක් ඇතිවූවත් එම සතුට අභිබවා දුක නැග එන්නටවූයේ දිනෙන් දින රට යෑමට නියමිත දිනය වෙත ළඟා වෙත්දීය. ඉන්දිරා ඉන් පසුව අම්මාත් සමඟින් රට රස්සාව ගැන කතා නොකර සිටියා ය. නිවසේ ඇතිවන කළබගෑනිය දෙස තෘෂ්ණිම්භූතව බලා සිටිනා කෝලිත දෙස ඉන්දිරා බැලුවේ සානුකම්පිතවය. කිසිවක් නොදන්නා ඔහු සිතුවේ අම්මා තමන්වත් රැගෙන කොහේ හරි යන්නට සැරසෙන බවය. 

“ටිකට් එක හරි කියලා කිව්වා පොඩි මාමේ.”

“දැන් කවදාද යන්න තියෙන්නේ.”

“ලබන සුමානේ මැද විතර.”

“දැන්මම බඩු ටික ලෑස්ති කරගන්න. සමහරවිට එක පාරම කියන්න පුළුවන් හෙට ප්ලෙන් එක තියෙනවා කියලා.”

“බඩු ටික බෑග් එකට දාන්න විතරයි තියෙන්නේ.”

“යන දාට ගෙදර අයත් එයාර්පෝට් එකට එක්කන් යනවාද?”

“ශ්‍රියාලගේ ගෙදර අයනම් ශ්‍රියාව ඇරලන්න එයාර්පෝට් එකට යනවා. මටත් පුළුවනි එයාලත් එක්ක යන්න. පොඩි මාමා යමු මාත් එක්ක.”

“එහෙම නෙමෙයි අපේ කට්ටියත් එක්ක යමු.”

සුදු නැන්දා ඔවුන්ගේ කතාව මැදට පැන කීවේය.

“ඔය ගමනට ගොඩක් වියදම් යනවානේ. මම හැදුවේ පොඩි මාමාව විතරක් එක්කගෙන යන්න.”

“මම වියදම බලාගන්නම්. මේ පොඩි උන් ප්ලෙන් එකක් දැකලා නැතිව ඇති. එයාර්පෝට් එකේ තියෙනවා නැරඹුම් කුටියක්. ඒකට ගියාම ප්ලෙන් උඩ නග්ගනවා බලන්න පුළුවනි.”

“එයලාට දුක වැඩිවෙයි මම යනවා දැකලා.”

“දැක්කත් නොදැක්කත් එයාල කොහොමත් දුක්වෙනවානේ.”

“දැන් මට යන්න හිතෙන්නෙත් නෑ පොඩි මාමේ. කෙල්ල කැමතිම නෑ මම රට යනවාට.”

“ඒක තමයි මම කිව්වෙ. උන්ට ආදරේ ඕනේ කරන දවස්වල උඹලා රට යනවා.”

“අනේ පොඩි මාමේ මාව අඬවන්නේ නැතිව ඉන්න.”

“අපේ ගෙදර අයත් ගමනට එනවා කියලා ශ්‍රියා ළමයට කියන්න. කට්ටිය වැඩි නිසා වෙනින් වාහනයක් කතා කරගන්න වෙයි. වියදමින් භාගයක් මම දෙන්නම් කියන්න.”

පොඩි මාමාගේ ඉල්ලීම නිසාවෙන් තමාලිගේ පවුලේ අයත් රැගෙනයාමට ශ්‍රියා කැමැත්ත පලකලා ය. ශ්‍රියාත් තමන් සමඟින් ගුවන්ගතවන බැවින් තමාලිගේ සිතේ රැඳීහුන් බිය තුනිවීගොස් තිබුණි. දිනෙන් දින ගෙවිගොස් තමාලි ගුවන් ගතවන දිනයද ළඟාවිය. තමාලි මෙරට රැඳීසිටින අවසන් රාත්‍රිය පුරාවටම නිදිවර්ජිතව හුන්නා ය. තම දරුවන් තනිකර දමා යෑමට සිදුවීම ගැන මතක්වෙන මතක්වෙන වාරයක් පාසාම ඇයට හැඬුම් එන්නට විය. තමාලිට ඉන්දිරා, කෝලිත හා ළදරු දිනේෂ් දමා යාමට කිසිසේත්ම සිත හදාගත නොහැකිවිණි. විටෙක රට රස්සාවට නොයා හිදින්නට සිතුන අතර තවත් විටෙක මෙතරම් අමාරුවෙන් ලබාගත් අවස්ථාව හැර දමන්නේ කෙසේදැයි සිතුවා ය. ආපසු හැරෙන්නට ප්‍රමාද වැඩි බව ඇයට නිරන්තරයෙන් සිහිපත්වුනි. තම දරුවන්ගේ සිත් කැලඹිමකට පත්වන බැවින් ඇය දැඩි ආයාසකින් තම දුක පිටට යානොදී සිත තුළම දැඩි කරගත්තා ය. පසු දින උදෙන්ම අවදිවූ සුදු නැන්දා ඉන්දිරාවත් සහායට ගනිමින් කිරිබතක් පිළියෙළ කළාය. අම්මාගේ රට යෑම ගැන අවබෝධයක් නොතිබූ කෝලිත සිතා සිටියේ ඔවුන්ව කැන්දාගෙන අම්මා විනෝද චාරිකාවක් රැගෙන යන බවය. එහෙයින් ඔහු සිටියේ ඉතාමත් සතුටිනි. වෙලාසනින්ම පාර අද්දර නිවසක්වූ ශ්‍රියාගේ නිවසට තමාලිගේ ඇදුම් බෑගය ගෙනගොස් තැබූ පොඩි මාමා යළිත් කන්ද නැඟ නිවසට ගොඩවිය.

“ඔන්න බෑග් එකත් පහල ශ්‍රියාලාගේ ගෙදරින් තිබ්බා.”

“මොකට කරදරවුනාද පොඩි මාමේ ඒක යනකොට අරගෙන යන්න තිබුනානේ.”

“ඔය වේලාවල් වලට මහන්සිවෙන්නේ මොකටද. වාහනේ එන වෙලාව අල්ලලා ශ්‍රියාලාගෙදරට ගියාම ඉවරයිනේ.”

කිරිබත කොතෙක් රසවත්වූවත් තමාලිට කටකට දෙකකට වඩා කෑ හැකි නොවිය. සිතේවූ බරගතිය බඩපපුව පුරවාදා තිබුණි. දෑසට උනා ආ කඳුළු බිඳු දෙකක් කාටත් හොරෙන් කිරිබත් පිඟානට වැටුණි. පිටි අල්ලෙන් දෑස් පිසදාගත් තමාලි ඇනූ කිරිබත් කටවල් දෙකක් කෝලිතට කැව්වා ය. ඉන්දිරාත් කිරිබත් කැල්ලකට වඩා ආහාරයට ගත්තේ නැත. සුදු නැන්දා කොතරම් බලකලත් තමාලි පිඟානේ ඉතිරිවූ  කිරිබත් ටික එසේම තබා මේසෙන් නැගිට්ටා ය. නිවසේ සියල්ලන්ම හැඳපැළඳගෙන ලැස්තිවූවායින් නිවසින් පිටත්වන්නට වේලාව හරි යැයි පොඩි මාමා දැන්විය. කුඩා දිනේෂ්වත් කරපින්නාගෙන සුදු නැන්දා ඇතුළු සියල්ලන්ම කිසිදු කතාබහකින් තොරව වැස්සට හේදී ගල්මතුව කඩතොළුවූ පාරදිගේ පහළට බසින්නට විය. ශ්‍රියාගේ නිවස අද්දර ඉදිරියෙන් පොල් මලක් රදවන ලද පැරණි පෙනුමැති වැන්රියක් නවතා තිබුණි. සියල්ලන්ටම පෙර වෑන් රථයේ ඉදිරිපස අසුනට ගොඩවූ ශ්‍රියාගේ පියා අනෙක් අයට රථයට නැග අසුන් ගන්නා ලෙසින් කීවේය. නිවෙස් දෙකේ සියල්ලන්ටම වෑන් රථයේ ඉඩකඩ සිමාවූවත් එකිනෙකා හරිබරි ගැසී අනෙකාට වාඩිවිමට ඉඩ සලසා ගත්හ. සියල්ලන්ගේම මුහුණුවල පැවතියේ දොම්නස් ස්භාවයකි. එහෙයින්ම සියල්ලන්ම තම අසුන්වලටවී  කතානොකර සිටියහ. එන්ජිම සැර දමමින් හෙමින් සෙමින් ඉදිරියට ඇදෙද්දී තමාලිගේ සිත මෙන්ම ශ්‍රියාගේ සිතද හඬාවැටෙන්නට වුණි. ඉන්දිරා කවුලුවෙන් පිටත වෑන් රථය පසුකර හැල්මේ දිවෙන ගස්වැල් දෙස අරමුණකින් තොරව බලා සිටියා ය. මෙම ගමන කෝලිතට හා දිස්නාට කලෙකින් පසු විනෝදවීමට ලැබුන අවස්ථාවක්සේ ඔවුන් අවට සිරි නරඹමින් සිටියහ. වෑන් රථයේ තදබදය නොරිස්සු කුඩා දිනේෂ් කෑගසා අඬන්නටවූ නමුත් මඳ වේලාවකට පසුව තමාලිගේ ඇකයේ නින්දකට වැටුනි. දහවල් වන විට ඔවුන් රැගත් වෑන් රිය කටුනායක ගුවන් තොටුපලට ලඟාවීය. කිරි උරද්දීම නින්දට වැටුනු දිනේෂ්ගේ කටේ රුවාගෙන සිටි තන පුඩුව සිමින් මුදවාගෙන ඔහුව සුදු නැන්දා අතට පත්කල තමාලි වෑන් රථයෙන් බිමට බැස්සා ය. සවස තුනට ඩුබායි බලා ගුවන්ගතවන ගුවන්යානය පිටත්විමට නියමිතව තිබුනෙන් තාමලිට හා ශ්‍රියාට ඇතුලට යෑමට වේලාව හරි බව පොඩි මාමා පැවැසීය. තමාලි දණගසා වැඳ වැටුනු ඉන්දිරාව තම තුරුළට ගෙන හිස සිම්බාය. මෙතෙක් වේලාවක් යටපත් කරගෙන තිබූ ඉන්දිරාගේ දුක දෝරගලායන්නට පටන්ගති. කෝලිතද ඉන්දිරා හා එක්ව හඬා වැටෙන්නට විය.

“පොඩි මාමායි සුදු නැන්දායි කියනදේ අහලා දඟවැඩ කරන්නේ නැතිව ඉන්න ඕනේ. අම්මා ඉක්මනටම එනවා. එනකොට මගේ පුතාට සෙල්ලම් බඩු ගොඩාක් අරගෙන එන්නම්.”

ඇය කෝලිතගේ මුහුණ අතගා යළිත් වරක් ඔහුව සිප ගනිමින් කීවා ය. 

“ඉන්දිරා මල්ලිලා දෙන්නා හොඳට බලාගන්න ඕනේ. පාඩම් වැඩ අතපසු කරගන්නේ නැතිව හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා හොඳට ඉගෙන ගන්න ඕනේ.”

ඉන්දිරා හිස වැනුවාය. තමාලි තම කඳුළු ලේන්සුවෙන් පිසදාගෙන පොඩි මාමා හා සුදු නැන්දාට වැඳ ආචාර කළාය. සුදු නැන්දා අත රැඳීහුන් දිනේෂ් අම්මාගේ වතට බරවූයේ ඇයට අරගන්නයි කියන්නට මෙනි. තම දෑත් දිගුකල සැනෙන් ඇගේ අතට පැන්න දිනේෂ්ගේ දෙකපුල් සිපගත් තමාලි යළිත් සුදු නැන්දාට බාර කළාය. 

“සුදු නැන්දේ පොඩි එකාව හොඳට බලාගන්න. කිරි නැතිව අඬයිද දන්නේ නෑ.”

“දැන් අඬන්නේ නැතිව ආපූ ගමන යන්න. අපි එයාලා ගැන බලාගන්නම්.”

එජන්සියේ අයෙකු පැමිණ ඔවුන්ට රට යන අනෙක් කාන්ඩය හා එකතුවන ලෙසින් පැවසීය.

“දැන් ඇතුළට ගියානම් හොඳයි.”

පොඩි මාමා ටිකට් කවුන්ටර් දෙස බලාගෙනම කීය. ඇය ශ්‍රියා සමඟින් ගුවන් තොටපුලේ ඇතුළට ගියේ යළිත් වරක් ලෙන්සුවෙන් දැස් පිසදාගනිමිනි. වීදුරු දොරෙන් ඇතුළට ගිය තමාලි තවත් වරක් පිටත සිට ඈ දෙස බලා සිටිනා ඉන්දිරා හා කෝලිත දෙසට අත වැනුවා ය. අම්මා ලේන්සුවෙන් කඳුළු පිසිමින් ඇතුළට ඇවිද යන දසුන ඉන්දිරාගේ දෑසට නැඟුණු කඳුළු පටලයෙන් බොදවීගියා ය. 

“දැන් මෙතන ඉදලා වැඩක් නෑ. ඔක්කෝමල්ලා යමු ප්ලෙන් නග්ගනවා බලන්න.”

පොඩි මාමා සියල්ලන්ටම ඇසෙන සේ කීවේය. 

“ඔව් ඔව් මෙතන ඉදලා වැඩක් නෑනේ. යමු ගිහිල්ලා බලමු.”

ශ්‍රියාගේ පියාත් එයම අනුමත කළායින් පොඩි මාමා පිටුපසින්  ඔවුන් ඇවිදයන්නට විය. නැරඹුම් මැදිරියේ ප්‍රවේශ පත්‍ර කවුන්ටරයට මුදල් ගෙවා ඇතුලුවූ ඔවුන් ඉඩකඩ ඇති තැනක වාඩිගත්හ. ඈත අහසේ ශබ්ද නගමින් ගමන් ගන්නා ගුවන්යානා මෙතරම් විශාලදැයි කෝලිතට සිතාගත නොහැකිවිය. ඔහු විශ්මයෙන් මෙන් තොටුපලේ නවතා තිබෙන ගුවන් යානා ගණන් කරන්නට විය. ඈතින් නවතා තිබූ ගුවන් යානයක් හිමිහිට ගමන් කරන්නට විය. 

“අන්න අක්කේ අරක යනවා. අර අර පේනවාද?”

ඉන්දිරා ඔහු පෙන්වූ ඉසව්වට නෙත් යොමු කළාය. විශාල ගුවන් යානයක් එහි එන්ජිමෙන් විශාල හඬක් නගමින් ධාවන පථය දෙසට ගමන් කරන්නට විය. 

“ඔය ප්ලෙන් එකේද අම්මා යන්නේ?”

“දන්නේ නෑ මල්ලි පොඩි මාමාගෙන් අහන්න.”

ඔහුට එම ප්‍රශ්නය පොඩි මාමාගෙන් අහන්නටවත් තම නෙත ඉන් අහකට ගන්නට නොහැකි විය. ධාවන පථයේ කෙලවරට ගමන් කල ගුවන් යානාව එහි මඳ වේලාවක් රැදී සිටින්නට විය. එකවරම ධාවන පථය දිගේ ශබ්ද නගමින් හැල්මේ දිව යන්නට වූ එම යානාව පොළවෙන් මිදී අහසට පාව ගියේය. ඉහළට නැංවූ යකඩ කුරුල්ලා අහස්කුසයේ නොපෙනි ගියේ ඉන්දිරා කෝලිත මෙන්ම කිසිදා ගුවන් යානාවක් ඉහළට නැගයනු නොදැක තිබූ ශ්‍රියාගේ පවුලේ අයටද විශ්මයක් දනවමිනි. ඈතින් නවතා ඇති තවත් ගුවන් යානාවක් අසලට බස්රථයක් සෙන්දුවූයේ මඟින් පිරිසක් රැගෙනය.

“අන්න බස් එකක් ප්ලෙන් එක ළඟට ගියා. බලන්න ප්ලෙන් එකේ තරමයි බස් එකේ තරමයි.” 

පොඩි මාමා ඒ දෙකහි විශාලත්වය සංසන්ධනාත්මකව පෙන්වන්නට උත්සාහ  කළේය. 

“සමහරවිට මේක වෙන්නැති අම්මා යන ප්ලෙන් එක.”

බසයෙන් බිමට බට මිනිසුන් එකා දෙන්නා තරප්පු පෙළ නගිමින් ගුවන්යානයට ගොඩවන්නට විය. පළමු බසය පිටත්වන්නට ආසන්න වෙද්දී තවත් එවැනිම බසයක් මඟින් රැගෙන ගුවන් යානාව කරා සේන්දු විය. 

“මේක වෙන්න ඇති නේද මාමේ අම්මා යන?”

“දන්නෑ දුවේ. සමහරවිට මේක වෙන්නත් ඇති.” 

ඉන්දිරාට යළිත් වරක් අම්මාව සිහියට නැඟුනි. ගුවන් යානයට පිවිසෙන තරප්පුපෙල අසළ සිටිනා මගීන් අතරින් අම්මා හඳුනාගැනීමට ඈ උත්සාහ කළා ය. ඉතා කුඩාවට දිස්වන මිනිස් රූ අතරින් අම්මාව වෙන්කර සොයා ගැනීම ඉතා අපහසු බව ඈට තේරුම් ගියේ එය දැසට ගෙනදුන් පීඩාවක්වූ බැවිනි. තවත් හොරාවකින් පමණ එම ගුවන් යානයත්  අහස්කුස තුලට වැදී නොපෙනී ගියේ ඉන්දිරාගේ සිතට දුකක් ඉතිරිකරවමින්ය. ඈ තම කඳුළු මල්ලිට නොපෙන්වා සඟවාගත්තීය. කෝලිතට අම්මා සිහියට නොනැගුනේ ගුවන් යානා පිළිබඳව ආසක්තව සිටි බැවිනි. සුදු නැන්දාත් තම නෙත් අග මෝදුවු කඳුළු බිඳු කිහිපය පිසදාගන්නවා දුටුවා ය.

“දැන් ඔය මදැයි බලන් හිටියා. දැන් ම පිටත් උනොත් අපිට ගොඩාක් රෑ වෙන්න කලියෙන් ගෙවල්වලට යාගත්තෑති.”

තම ශෝකය අන් අයට නොපෙන්නා සිටි ශ්‍රියා නැන්දාගේ පියා කීවේය. ගුවන් යානා අහසට පියඹායන ස්ථානයෙන් මිදී ඒමට කෝලිත කැමත්තක් දැක්වූයේ නැත. ඔහුට තවත් වේලාවක් එතැන රැඳී ඉන්නට ඇවැසි විය.  

“තුනුරුවන්ගේ පිහිටාරක්ෂාව ලැබෙන්න ඕනේ. ළමයි දෙන්නා පරිස්සමෙන් ගිය රස්සාව කරගෙන ආපහු ලංකාවට එන්න සලසවා දෙන්න.”

සුදු නැන්දා අහස දෙස බලමින් මොනවාද මුමුණන්නට විය. අම්මාගේ වෙන්විම ගැන නොදත් පොඩි මල්ලි, දිනේෂ් පොඩි මාමාගේ උරයට වී ඇඟිල්ලක් උරමින් නින්දට වැටි සිටියහ. යළි නිවසට ආ පසුව ඉන්දිරා කිසිවක් නොකානොබීම ඇඳට වැටුනේ ගමන් තෙහෙට්ටුවටත් වඩා අම්මාගේ වියෝවෙන් සිතට නැඟුණු  ශෝකය නිසාය. 

ඉන්දිරාට අම්මා නැතිවග මතක්වූයේ පසුදා අවදිව මුළුතැන්ගෙය දෙසට ගිය විටදීය. මුළු නිවසම ගූඪ නිහැඬියාවක ගිලී ඇති බවක් ඈට දැනෙන්නට විණි. කිසිදා නොවුවිරු පාළුවක් හා කාන්සියක් සිරුර පුරා දිව යන්නටවූවායින් ඇය හිමිහිට ඉස්තෝප්පුව දෙසට ඇවිද ගියා ය. හින් පොදවැස්සක් බිම තෙමමින් තිබුණි. උදෑසන සීතල සුළං රැල්ලක් ඇඟ දැවටී හිරිගඬු නංවමින් හමා යන්නට විය. ඉන්දිරා තම දෑත් ළයට තමා තද කරගත්තාය. පොළවේ සීතල නිරුවත් දෙපාවලට දැනුනේ හීන් ඉදිකටු තුඩකින් අනින්නාක් මෙන්ය. එහෙත් මහා පාළුවකින් වෙලාගත් ඇගේ සිතට මේ කිසිවක් පිවිසුනේ නැත. අම්මා මේ වනවිට කුමක් කරනවා ඇද්ද? තාමත් ගුවන් යානයේ ගමන් කරනවාද? නැතිනම් ඩුබායි රටට ගිහිල්ලාද? ඇගේ සිතේ දහසක් ප්‍රශ්න නලියන්නට විය. අම්මා අපව දමා නොගියානම් යැයි තවත් වරක් ඉන්දිරාගේ සිතට නැඟුනි. ඇගේ නෙත් අගට එක්රැස්වූ කඳුළු  පිටවන්නට නොදී සිත දැඬි කරගත්තා ය. 

මාස කිහිපයක් ගෙවීගියේ අම්මාගේ අඩුව නිසා දැනුන නිවසේ පාළුව සංකාව හා වියෝවේදනාව කාලය විසින් සමනය කරමින්ය. ඈ අම්මා නොමැතිබව තම සොහොයුරන්ට නොදැනෙන්නට සලස්වන්නට සුදු නැන්දා සමඟින් උත්සාහ කළාය. අම්මාගෙන් ලිපියක් ලැබෙන තුරු ආසාවෙන් මඟ බලා සිටිනා කෝලිත එහිවූ විස්තර අසන්නට වඩා ප්‍රියවුයේ කවරයේ ඇති මුද්දරය ගලවා ගැනීමටය. තමාලිට වැඩ කරන්නට ලැබුනු නිවසේ නිවැසියන්ගෙන් කරදරයක් නොවීය. එහෙත් දහ දෙනෙකු සිටිනා පවුලකට උයා පිහීම හා අනෙකුත් වැඩ රාජකාරි බහුල බව ලියා එව්වා ය. 

දිනක් සුදු නැන්දා නිවසින් පහළට බැස පාර අද්දරටවී තමන් පාසල් නිමව එනතෙක් පෙරමඟ බලා සිටිනා අයුරු ඉන්දිරාට අදහාගත හැකි නොවීය. එය ඇගේ සිතේ යම් තරමකට අවිනිශ්චිතභාවයක් ඇති කරවන්නට විය. සුදු නැන්දාගේ මුහුණේවූයේද තරමක කලබලයටපත්වූ ලෙසකි. එය දුටු ඉන්දිරාද තැතිගත්තා ය.


සුදු නැන්දාගේ අමුතු කලබලය කුමක්ද?   මතුසම්බන්ධයි........


මෙම නවකතාවේ වර්තමානයේ සිදුවන සිදුවිම් දේවල් කළු පාටින්  හා අතිතාවර්ජනා කොටස් නිල් පැහැයෙන් දක්වා ඇත.  




Monday, September 14, 2020

පළිගු කිරිල්ලී - දසවන කොටස


https://kolompure.blogspot.com
පළිගු කිරිල්ලී - දසවන කොටස 


තමා ඉගෙනගත් වල්හපුතැන්නේ පාසලට මල්ෂාව ඇතුළත් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන සකස් කර ගැනීම සඳහා දින දෙකක නිවාඩුවක් අනුමත කරගත් ඉන්දිරා සෙනසුරාදා දින හපුතලේ යෑමට ඉටාගත්තා ය. නිවාඩු ගැනීමේ අපහසුව නිසා රැකියාවට පැමිණ මාස එකහමාරක් පසුවූවත් ඈට මල්ෂාව බලන්න හපුතලේ යෑමට නොහැකිවිය. සුදු නැන්දා වරින්වර දන්වා එවූ පරිදි වෙලාසනින් අවශ්‍ය ලිපි ලේඛන කටයුතු සකස්කරගෙන තිබීම පහසුවක් බව ඇයටද ඒත්තුගොස් තිබුණි. 
සෙනසුරාදා දින උදේම පිටත්වීමට තම බෑගය සකස්කරගත් ඉන්දිරා පසුගිය මාසේ වැටුපෙන් මල්ෂාට මිලදීගත් පාවහන් දෙක හා කොණ්ඩා කටු පැකට්ටුවද, අම්මා ගෙනවිත් දුන් කුඩා ගවුම් පොඩි දෙකද අනෙක් අයට නොපෙනෙන්නට දීපිකාට පෙන්නුවා ය. 

“හරි ලස්සනයි ඉන්දිරා. පව් කෙල්ලට ගොඩාක් ආස හිතෙයි.”
“ඒක තමයි මම මේ සෙරප්පු දෙකත් ඒකටම මැච් වෙන්න ගත්තේ.”     
“බලාගෙන අනිත් අය එන්න ඉස්සර ඕවා පැක් කරගනින්. නැත්තම් උන් අහයි මේ ගවුම් පොඩි කාටද කියලා.”     
ඉන්දිරා යුහුසුලුව ගවුම් පොඩි දෙක දැමූ බවුන් පේපර් බෑගය තම ගමන් මලලේ පතුලට එබුවාය. 
“දැන් මෙහේ ඉඳලා පිටකොටුවට යන්න දන්නවාද?”     
“හෙට පාන්දර අම්මා එනවා කිව්වා බස් ස්ටැන්ඞ් එකට ගිහින් බස්සන්න. ඔයත් හිතන්නේ අම්මා වාගේමයි. මම අවුරුදු හතරක් ජීවත්වුනේ කඩවත ගනේමුල්ල පැත්තේ, ඒ නිසා මමත් කොළඹ ගැන දන්නවා.”
“උඹ ඒ පැත්ත ගැන දැනන් හිටියාට මේ පැත්ත ගැන දන්නේ මොනවාද? උදේ පාන්දරයි මහ රෑටයි බේකරි හන්දියේ ඉදලා ගල්කිස්සට යන්න බස් නෑ. එක්කෝ පයින් යන්න ඕනේ, නැත්නම් ත්‍රීවිල් එකක වැඩි ගාණක් ගෙවලා යන්න වෙනවා.”
“දැන් අම්මා ආවට හැමදාම අම්මාට මාව අරගෙන යන්න ගෙනල්ලා බස්සන්න එන්න පුළුවන්ද? ඉස්සරාට මේවා මට තනියම කරගන්න වෙනවානේ.”
“ඒක නෙමෙයි හෙට ගෙදර ඇඳන් යන්න ඇඳුමක්වත් ගත්තාද?”
“ගිය මාසේ පඩිය බෝඩිම් කුලිය ගෙවලා කන්න බොන්න වියඳමට අතට කීයක් හරි තියාගෙන ඉතිරිවා ගෙදරට යැව්වාම කොහේද ඇඳුම් ගන්න සල්ලි?”
“ඒක ඉතිං මෙතන ඉන්න හැමොටම එකයි. ඒත් උඹටම කියලා ඇඳුමක් දෙකක් එහෙම ගන්නත් එපැයි. හැමදාමත් එකම ඇඳුම් අඳින්න පුළුවන්ද?”
“ලබන මාසේ පඩියෙන් වත් ඇඳුමක් ගන්නවා බං.”
“ආ මේක ඇඳං ගෙදර ගිහිල්ලා වරෙන්.”
ඇය තම ඇඳුම් බෑගයෙන් ඉවතටගත් අලුත් ඇඳුමක් ඉන්දිරා වෙත දිගු කළා ය.
“එපා දීපිකා මම මේ තියෙන ඇඳුමක් ඇඳන් යන්නම්.”
“පිස්සු නැතිව මේක ඇඳන් පලයන්. මෙහේ හැමෝම වාගේ එක එකාගේ ඇඳුම් මාරුකරගෙන අඳිනවා.”

කී දීපිකා ගවුම ඉන්දිරාගේ උරහිස මතට දමා කාමරයෙන් එළියට බැස්සා ය. කපුරු බෝල සුවඳ වහනය වන දීපිකාගේ ගවුම දෙස බලා සිටි ඉන්දිරා එය තම සිරුරට ඉදිරියෙන් අල්ලාගෙන එය ගැළැපේදැයි බලන්නට විය. ගවුමෙන් නැගෙන කපුරු පුසුබ නැහැයෙට අල්ලා ආග්‍රහණය කල ඕ හෙට දිනයේ ගමනට අඳින්නට තම බෑගය උඩින් තැබීය.  

පසුදින පාන්දරින් අවදිවූ ඉන්දිරා දීපිකා දුන් අලුත් ගවුමෙන් සැරසී අම්මා එනතෙක් බලා සිටින්නට විය. තමාව රැගෙන යාමට අම්මා ගල්කිස්සට ඇවිත් අත්තිඩියට පයින් ඇවිදන් හෝ මේ ගමන එන බව ඇය හොඳාකාරව දැන සිටියා ය. අම්මාගේ නොසැලෙන ආත්මශක්තිය පිළිබඳ ඉන්දිරාට ඇතිවූයේ අභිමානයකි. ත්‍රීරෝද රථයක් බෝඩිම ඉදිරිපිට නතරකරන හඬ ඇසුණු ඉන්දිරා ලෑලී දොර විවර කරගෙන බෝඩිම් කාමරයෙන් එළියට බැස්සා ය. ත්‍රීරෝද රියෙන් යහුසුලුව බැසගත් තමාලි ලෑලී පටිවලින් සැකසු ගේට්ටුව විවර කරගෙන වත්තට ඇතුළුවිය. නයිටියට උඩින් හවුස් කොට් එකක් හැදගත් දීපිකා ඉන්දිරාගේ ගමන් මල්ල රැගෙන එළියට බැස්සා ය. 

“යමු ඉක්මනට. එහෙනම් දීපිකා දුවේ අපි යන්නම්.”   
“හොඳයි ඇන්ටි. ඉන්දිරා පරිස්සමෙන් ගිහිල්ලා එන්න. බුදු සරණයි.”   
දීපිකා තම අතේ වූ බෑගය ඉන්දිරාගේ අතට පත්කළා ය. 
“ඒයි මතක ඇතිව සුදු නැන්දාගේ බත් මුලක් අරගෙන වරෙන්.”     

ත්‍රීරෝද රිය පිටත් වෙද්දිම දීපිකා කීය. ඉන්දිරා අම්මා පැමිණි ත්‍රීරෝද රියෙන් ගල්කිස්ස හන්දිය බලා ගියේ පිටකොටුව බස් නැවතුම දක්වා ධාවනය බස්රථයකට ගොඩවීමටය. උදෑසන හිරුඑළිය ගොඩබිමට වැටෙන්නට ආසන්නවූවත් බස් නැවතුම දැඩි අඳුරකින් වෙලී තිබුණි. බස් නැවතුමට එහායින් පිහිටා තිබූ මලානික එළියක් විහිදුවාලූ පහන් කණුවක් යට බස්රථයක් එනතෙක් කිහිපදෙනෙක් එහි රැදීහුන්හ. පාරිභෝගිකයෙක් එනතෙක් ඈතින් පිහිටා තිබූ පාළු බස් නැවතුමකට වි රෑ සමනලියක් එහාමෙහා වෙමින් නොවසිල්ලෙන් බලා සිටිනු ඉන්දිරා දුටුවා ය. දුරගමන් සේවා බසයකට නැග පිටකොටුවෙන් බැස ගත් ඔවුන් බදුල්ල බස් රථගාල දෙසට ඇවිද යන්නට විය.

“ඔය බස්වල එක එක ජාතියේ මිනිස්සු යනවා ඒ නිසා පරිස්සමෙන් යන්න. බස් එකේ පස්සේ සීට් වල වාඩිවෙන්න එපා. පුළුවන් නම් ගෑනු කෙනෙක් ළඟින් වාඩිවෙන්න.” 
බදුලු බසයට ගොඩවීමට පෙර තමාලිගෙන් අවවාදයක් ලැබුණි. 
“උඹ සුදු නැන්දා එක්ක පැටලෙන්න එහෙම එපා. අපිට දැන් තියෙන එකම පිහිට එයා විතරයි.”
අම්මාගේ අවවාද නොරිස්සුවත් ඉන්දිරා කිසිවක් නොකියා මුනිවත රකින්නට විය.
“උඹටත් තාත්තෙක් නැතිව ගියා දැන් උඹේ දුවටත් තාත්තෙක් නැතිව ගිහිල්ලා. කොයි ප්‍රශ්නේ තිබුනත් දුක් විඳ විඳ හරි තාත්තාත් එක්ක හිටියානම් අද මේවා සිද්ධ වෙන්නේ නෑ නේද කියලා මට නිතරම මතක්වෙනවා.” 
තමාලි අත්බෑගයෙන් ගත් ලේන්සු පොඩියෙන් දෑස් පිසගනිමින් කීවා ය. අම්මාගේ කතාවට නිහඬව සවන්දී සිටි ඉන්දිරාගේ හදවත එකවරම නතරවූ බවක් ඈට හැඟෙන්නට විය. තමා කිසිකලෙකවත් නොසිතූ කිසි කලෙකවත් නොකියූ අම්මාගේ ඇතුළු හදෙන් පිටවූ වදන් ටික ඇගේ පපුව පසාරු කරගෙන කිදා බසින්නාක් මෙන් දැනෙන්නටවූවාය. තම මුව ගොළුවි ඇති බවත් කිසිඳු වචනයක් වත් පිටකරගත නොහැකිව දෙතොල් ගල්වී ඇති ලෙස දැනෙන්නට විනි. 

අසීරුවෙන් වචන ගලපාගත් ඉන්දිරා “මම ගිහිල්ලා එන්නම්.”  පවසා බස් රථයට ගොඩවිය. කවුලුවක් අද්දර වාඩිගත් ඈ අම්මා බස්ගාලෙන් පිටව යන සැටි කඳුළු පටලයෙන් වැසීගත් නෙත් කොණෙන් දුටුවා ය. හිරගෙදරට ගිය තාත්තාද සැමුවෙල් මුදලාලිට සින්නවූ රත්නපුරේ නිවසද අතහැර අවනිශ්චිත අනාගතය දෛවයට භාරදී ජීවිතයේ නව ඇරඹුමක් ලබන්නට හල්දුම්මුල්ලේ සුදු නැන්දලාගේ නිවසට තම දරුවන් දෙදෙනාව රැගෙන පොඩි මාමා සමඟින් ගිය ගමන ගැන අම්මා අද පශ්චාත්තාප වන බව ඉන්දිරාට වැටහුණි. එදා අම්මා කල සේම අද තමාත් තම දියණිය මල්ෂාත් රැගෙන නිවසින් අභිනිෂ්ක්‍රමණය කර ඇත්තේ එකල අම්මාට මෙන්ම අද දවසේත් තමාටත් ක්ෂේම භුමියක් වූ සුදු නැන්දාගේ නිවසටමවීම ගැන ඈට සිහිපත්විය. එදා අම්මාගත් තීරණය ගැන අද ඈ පසුතැවිලි වන්නාක් සේ නුදුරු අනාගතයේදීද තමාටත් මල්ෂා ගේ අනාගතය අඳුරු කරවීම පිළිබඳව ළතැවෙන්නට විය හැකිදැයි අහේතුක බියත් හිතට නැගෙන්නට විණි.  

කොළඹින් පිටත්වුනු බස්රිය හැල්මේ දිවයන්නට වූ අතර කවුලුවෙන් පිටත බලාසිටි ඉන්දිරා තම ජීවිතයේ පුර්වාපර සන්ධි ගලපා ගනිමින් අතීතස්මරණය කරගැනීමට උත්සාහ කළා ය.
                                 *     *      *       *       *      *      *      *       *       *


ළිපට ඇතුලුකල වියළි දර ඉපලට ගිනි ඇවලුනේ අඳුරු මුලුතැන්ගෙයි එක් පෙදෙසක් ක්ෂණිකයෙන් ඒකාලෝක කරමින්ය. ළිපෙන් බුරබුරා නැගෙන ගිනි දලු වලින් මැවෙන අඳුරු සෙවනැලි රූප දැලි වැකුනු බිත්ති විචිත්‍රවත් කරවන්නට විනි. ළිප් ගල් තුනකට මැදිව සිටිනා කළු ගැසුනු කේතලයේ කෙමිනිය තුළින් හින් ජලවාෂ්ප දුමාරයක් නිකුත් කලේ වතුර නැටිමට ආසන්න බව පෙන්විමටය. වියළි දරකෝටු කැබැල්ල ඉක්මනින් දැවි ගියායින් ගිනිදලුවල ශක්තිය අඩුවී ගොසින් අඳුරුසෙවනැලි යළිත් මුලුතැන්ගෙයි රජකරවන්නට විය. ඇඟ කිලිපොළායන හපුතලේ සීතලට නුහුරු බව නිසාදෝ ළිප ළඟ වකුටුව හුන් ඉන්දිරා ඉන් නැග එන උණුසුම ලබාගන්නට තවත් දර කැබැල්ලක් ඇතුළු කළා ය. චිත්ත රෙද්දකින් දෙවුර පොරවාගත් තමාලි තේ හැදීමට කුස්සියට අතුළුවූවා ය. ළිප අසල කුඩා බංකුවක ගුලිව ළිපට දර කෝටු කැබැලි ඇතුල් කරමින් සිටිනා ඉන්දිරා ඈ දුටුවාය. 

“ඔයා මොකද ඔය කරන්නේ? දර ටිකත් ඉවර කරනවා මදිවට දැන් ඇඟ පුරාමත් දැලි ගා ගන්නවා”
“අද හරිම සීතලයි අම්මේ. එකයි මම මේ ළිප ළඟට වෙලා ඉන්නේ.”
“සීතලයි කියලා ළිප ළඟට වෙලා ඉන්නේ නැතිව ඉස්කෝලේ වැඩක් බලා ගන්න.” 
ඉන්දිරා ළිප ළඟින් නැගිට්ටේ අකමැත්තෙනි. තමාලිගේ දෙවුර වසා ගෙන තිබු චිත්ත රෙද්ද යළි සකසා ගනිද්දී ඇගේ යන්තමින් ඉදිරියට මෝරා ඇවිත් තිබූ උදරය ඉන්දිරා දුටුවාය. එහෙත් ඈ ඒ ගැන එතරම් තැකිමක් නොකර නිවසේ ඉදිරිපසට පියමැන්නා ය. හවුස්කෝටයට උඩින් ඉදිරිපසින් විවරකල හැකි ස්විටරයකින් සැරසීගත් සුදු නැන්දා ප්ලාස්ටික් බාල්දියකට වතුර රැගෙන පිටුපස දොරින් කුස්සියට ඇතුළු විය. 
“බලන්න මේ කෙල්ල සීතලයි කියලා මෙතන වකුටුවෙලා දර ටික නිකං අවුලෝලා දානවා.”
“මමත් කිහිප විටක්ම මේ කෙල්ලට කිව්වා අලුත් ඉස්කෝලේ පාඩම් වැඩ එහෙම ඇතිනේ, ඒවා බලා ගන්න කියලා කොහේද කියන එකක් අහන එකක්යෑ.”    
“මම ඉස්කෝලේ වැඩ කරලා තියෙන්නේ සුදු නැන්දේ.” 
මුලුතැන්ගෙට නුඳුරු කාමරයේ ඇඳේ වැතිර ගන්නා ගමින් ඉන්දිරා පැවසුවා ය.
“පොඩි මාමා මන්ත්‍රීතුමාට කියපු හින්ද තමයි කෙල්ලවයි කොල්ලවයි දෙන්නාම වල්හපුතැන්නේ ඉස්කෝලේට දාගන්න හම්බවුනේ. නැත්නම් ඉතිං හල්දුම්මුල්ලේ ගමේ ඉස්කෝලෙට තමයි යවන්න වෙන්නේ.”
“පොඩි මාමාට මන්ත්‍රීතුමා සලකනවා. ගිය සැරේ ඡන්දේට පොඩි මල්ලී තමයි මේ පැත්තේ කොල්ලෝ ටික අල්ලන් ඡන්ද වැඩ ටික කරලා දුන්නේ. මම හිතන්නේ දෙන්නා එකට ඉස්කෝලේ හිටයද කොහේද.”    
“පොඩි මාමට පිං සිද්ධ වෙන්න මෙහෙ වැටිලා ඉන්න දුන්නා මදිවට තවත් මේ විදිහට පොඩි මාමාට බරක් වෙලා ඉන්න බෑ සුදු නැන්දේ.”
“ඉතිං?”  
“ළමයින්ගේ වියදම් එහෙම තනියම පොඩි මාමාට දරන්න පුළුවන්ද? ඒක නිසා මම රස්සාවක් හොයාගන්න බැලුවා.”
සුදු නැන්දා නුරුස්සනාසුලු බැල්මක් තමාලි කෙරහි හෙලුවාය.
“ඔන්න ඉතිං කිව්වා එකක්. බඩදරු උඹට පුළුවන්ද රස්සාවල් කරන්න. මේ පිස්සු නැතිව ඉදිං.”     
“ළමයා හම්බවෙනකං හරි රස්සාවක් කරන්න පුළුවන් නම් පොඩි මාමට තියෙන බර ටිකක් හරි අඩු වෙනවානේ.”
“දැන් කොහෙද උඹ ඔය කියන රස්සාවල් තියෙන්නේ බඩිං ඉන්න ගෑණුන්ට දෙන?”
“ගෑණුන්ට ළමයි ලැබෙන්න ඉන්නවා කියලා රස්සාවල් නැතිවුනේ නෑනේ.”
“උඹ දන්න ඉටි ගෙඩිය. රස්සාව නැතිවෙන්නේ නැත්තේ ඉස්තිර කට්ටියට විතරයි. බඩක් අරං එන උන්ව කවුද වැඩට ගන්නේ? නැත්නම් පොඩි මල්ලීට පුළුවන්නේ මන්ත්‍රිතුමාට කියලා රස්සාවක් හදාදෙන්න.”     
“ස්ථිර රස්සාවක් නෙමෙයි මම කිව්වේ.”
“එහෙනම්?”
“ඔය මොකක් හරි කුලී වැඩක් වගේ ගෙදර බර අඩු කරගන්න කීයක් හරි ලැබෙන.”
“කුලීවැඩ නම් ඔය උක්වතුවල ඕනෑ තරම් තියෙන්නේ. හැබැයි උඹ වැඩට යනවාට පොඩි මාමා කැමතිවෙයිද දන්නේ නෑ.”     
“නිකං ගෙදරට වෙලා කකා බිබී ඉන්න බෑනේ නැන්දේ. මම එයාව කැමති කරගන්නම්. ඔයා මට ඔය කියන උක් වතුවල කුලී වැඩක් අල්ලා දෙන්න.”
“මට ඒ වැඬේ කරලා දෙන්න පුළුවන්. ඒත් පොඩි මල්ලීගෙන් බැනුම් අහන්න වෙයිද මන්දා?”  

දින කිහිපයකට පසු තමාලිට සුදු නැන්දාගේ සහායෙන් උක්වතුවල කම්කරු රැකියාවක් සොයාගැනීමට හැකිවිය. සුදු නැන්දා පැවසූ පරිදි පොඩි මාමාගේ කැමැත්ත ලබාගැනීම ඉතා අසීරු කාර්්‍යයක්ම විය. කෙසේ හෝ ඇගේ බලවත් ඇවටිල්ල මත අවසානයේදී එයට ඔහු එකඟ විය. ගර්භණි සමයේ කොතෙක් ශාරිරික අපහසුතා තිබුනත් ඇය ඒවා විදදරාගනිමින් තම තෙවැනි දරුවා බිහිවෙනතෙක් උක්වතුවල කුලීවැඩට ගියා ය. 

උක්වතුවල උක් කැපීම සඳහා ගොස් ඉතා වෙහෙසට පැමිණි තමාලි ඇගේ හිස පැළදී තොප්පිය මේසය මත තැබීය. කළෙන් නවාගත් වතුර ජෝග්ගුව එක හුස්මට බී අහවකර කරන තෙක් ඈ දෙස නෙත් නොහෙලා බලා සිටි ඉන්දිරාට ඉදිරියට නෙරා අවුත් තිබූ අම්මාගේ උදරය ආශ්වාස ප්‍රශ්වාසයෙන් ඉහළ පහළ යනු දැකීය. ඈට තම මව ගැන ඇතිවූයේ විශාල සංවේගයකි.

“අම්මාට පුළුවන්ද ඔය විදිහට මහන්සි වෙන්න. පොඩි මාමාත් අකමැති එකේ අම්මා ඔය උක් කපන වැඩ වලට නොගිහිල්ලා ඉන්න.”
“එහෙම නොගිහිල්ලා කොහොමද උඹලාගේ කෑම් බීම් වියදම් හියදම් හොයන්නේ? ඇයි උඹේ තාත්තා හිරේ ඉදන් සල්ලි එවනවාද?” 
තමාලි එසේ ඇසුවායින් ඉන්දිරා මඳක් නිහඬවූ නමුත් ඇගේ මතකයෙන් ඈත්ව සිටි තාත්තාව සිහියට රැගෙන ආවේය.
“අම්මේ තාත්තා බලන්න යන්නේ නැද්ද?”
“එයාව බලන්න එන්න එපා කියලා කිව්වාට පස්සේ තවත් මොකට ඔය හිර ගෙවල් ගානේ රස්තියාදු වෙන්නද?”
“එදා අම්මත් එක්ක තරහට එන්න එපා කිව්වාට දැන් අම්මා එනකම් බලන් ඉන්නවා ඇතිනේ. මටත් ආසයි තාත්තා බලන්න යන්න. අපි යමුද?”
“එයා බලන් හිටපුවාදෙන්. මම කැමති නෑ එයාව බලන්න යන්න. අනික මම මෙහෙම බඩත් උස්සන් එතැනට ගියාම එයා තවත් මාත් එක්ක වෛර බඳිනවා. අනික බීලා පිස්සු නටලා හිරේ ගියා මදිවට අන්තිමේදී වැටිලා උන්නු ගේ කෑල්ලත් සැමුවෙල් මුදලාලියාට සින්න කරලා දීලා අපිව පාරට ඇදලා දැම්මා. එත් කමක් නෑ මේ මිනිහා මගේ බඬේ ඉන්න එකාත් ඌගේ නෙමෙයි කිව්වා. මට ඔය තිරිසනාව දකින්නවත් කැමති නෑ.”     
හෙම්බත්ව පැමිණි තමාලිගේ ගතේ තෙහෙට්ටුව ක්ෂණිකයෙන් කෝපයකට පෙරලිණ. ඇය අතේවූ වතුර ජෝග්ගුව මේසය මත තබා කුස්සියෙන් එළියට බැස්සාය.
“මම මෙතන නැහෙන්නේ උඹලට උගන්න ගන්නයි. ඔය අනම් මනම් ගැන හිතන්නේ නැතිව ඉස්කෝලේ වැඩක් කරගනිං. වැඩක් නැත්නං රෑට කන්න පරිප්පු හොද්දක් වත් හදන්න උදව්වෙයං.”     
 ඇගේ පිළිතුරෙන් විපිළිසරවූ ඉන්දිරා තවත් තාත්තා ගැන අම්මා සමඟින් කතාවට යෑම නොමැනවයි සිතා කරබාගත්තා ය. 

ප්‍රසුතියට දිනවකවානු ආසන්න වෙද්දී අවශ්‍ය කරන දේවල් තමාලිගෙන් අසා දැනගත් පොඩි මාමා ඒ සියල්ල සම්පාදනය කරදුනි. එය ඈට විශාල පහසුවක් විය. තමාලිට රෝහල් ගතවන්නට නියමිත දිනය ඉක්මනින් එලඹුනි.
“ඉන්දිරා මම ඉස්පිරිතාලේට ගිහිල්ලා එනකං මල්ලිව බලාගෙන පරිස්සමෙන් ඉන්න ඕනේ. මල්ලිට පොඩි මමාටයි සුදු නැන්දටයි කරදර කරන්න දෙන්න එපා.”  
රෝහලට පිටත්ව යන්නට පෙර ඉන්දිරාගේ හා කෝලිතගේ මුහුණු සිඹ තමාලි පැවසුවා ය.   

“කෝලිත. පුතේ අක්කාට කරදර කරන්න එපා. සුදු නැන්දා කියන දේ අහගෙන හොඳ පුතාවගේ ඉන්න ඕනේ.” 
ඉන්දිරා අම්මාට සමුදුන්නේ දණින් වැටී වැඳ නමස්කාර කිරීමෙනි. ඉන්දිරා අම්මාට වඳිනු දුටු කෝලිතද ඇයට වැන්ඳේ කඳුළු පිසදමමිණි. යළිත් වරක් කෝලිතගේ හිස අතගෑ තමාලි ගෙයින් එළියට පැමිණ සීරුවෙන් ගල් පඩි බැස පාරට යන්නට විය. කොට්ටයක් කිහිලි ගන්නාගෙන අම්මාගේ රෙදි පෙරදි පිරවූ බෑගයත් ගත් සුදු නැන්දා තමාලිගේ පිටුපසින් ගල්පඩි බසින්නට විණි. පිරුණු උදරයත් ඔසවාගෙන අසීරුවෙන් ගල්පඩි බැස යමින් සිටි තමාලිගේ පිටකොන්ද දෙසින් ආ වේදනාවට මඳකට නැවති කොන්දට අත තබාගත්තා ය. නිවසේ දොර අභියස රැඳී හුන් ඉන්දිරා ගල් පඩි කිහිපයක් බැස කොන්දට අත තබාගෙන හති අරින අම්මා දුටුවා ය.  තමා දෙස නෙත් යොමා බලා සිටින දරු දෙදෙනා දෙස ආපසු හැරී බැලූ තමාලිට පිටකොන්දෙන් නැග ආ වේදනාව අමතක විය. ඈ ආයාසයෙන් මුවට සිනාහවක් නගා ගත්තා ය. 
“බස් එකට පරක්කුවෙනවා, යමු නේද?”     
සුදු නැන්දා තමාලිට මතක් කලායින් ඇය යළිත් පහළට ආරක්ෂාකාරි ලෙස සීරුවෙන් පියනගන්නට විය.  
“පරිස්සමෙන් බහින්න දුවේ ගල් පඩි ලිස්සන්න පුළුවන්.”    
 අම්මා නොපෙනි යනතෙක් බලා සිටි ඉන්දිරා ඉකි ගසමින් සිටි කෝලිතවත් කැටිව ගෙතුලට ගියා ය.

දින කිහිපයක් රෝහලේ රැඳුනු තමාලි නිවසට පැමිණියේ ඉන්දිරාට හා කෝලිතට මල්ලියෙකු සමඟිනි. දරු ප්‍රසුතියෙන් පසු නිවසට පැමිණි තමාලිගේ සියලු ආවතේව කටයුතු සුදු නැන්දා කරට ගත්තේ අම්මා කෙනකු තම දරුවෙකුට කරන්නාක් මෙනි. 

“කෝ කොලුවාගේ උපන් වේලාව? ඒක වේලාසනින් ගේන්න එපෑයි.”
“ඇයි? ඒ මොකටද?”
සුදු නැන්දා පොඩි මාමාගෙන් විමසීය. 
“ වේලපත්කඬේ හදන්න යවලා නමට අකුරු ඉල්ල ගන්න එපෑයි. මේ දරුවාට නමක් දාන්නේ නැතිවද ගෙදර ගෙනාවේ?  දැන් උප්පැන්නේ හදන්න කොළඹ යන්න වෙයි.”
“එහෙම වෙන්නේ නෑ සුදු නැන්දේ දැන් ඉස්සරවාගේ උප්පැන්නේට නම දීලා ළමයාව ගෙදර එක්කගෙන එන්න ඕනේ නෑ.”
“එහෙනම්?”
“සුමාන දෙකක් ඇතුලත පුළුවන් අපිට හොඳ නමක් හදාගෙන ඇවිල්ලා දාන්න.” 
“ඉස්සර එහෙම නෑ නේද නංගියේ. ළමයාට නමක් නොදි ටිකට් කපන්නේ නෑ.”
ළදරුවා දිහා බලාගෙන සිටි පොඩි මාමා කීය.  
“කළුපහනේ පොඩි මහත්තයාට කියලා වේලපත්කඬේ හදාගත්තානම්, එයා හොඳයි වේලාවල් එහෙම බලන්න.”
“මං හෙට දිහාට එහාට ගිහිල්ලා වේලාව දීලා එන්නම්.”    

කළුපහනේ පොඩි මහත්තයා විසින් දී තිබූ අකුරු වලට අනුව ළදරුවාට දිනේෂ් යන නම තැබීය. අලුත උපන් සිඟිත්තා සීරුවට අතට ගත් ඉන්දිරා තම සහෝදරයාව තුරුළුකරගත්තා ය.

අලුත උපන් සිඟිත්තාට කුමක්වෙයිද?    මතුසම්බන්ධයි........

මෙම නවකතාවේ වර්තමානයේ සිදුවන සිදුවිම් දේවල් කළු පාටින්  හා අතිතාවර්ජනා කොටස් නිල් පැහැයෙන් දක්වා ඇත.  

Tuesday, September 8, 2020

පළිගු කිරිල්ලී - නව වන කොටස


https://kolompure.blogspot.com/
පළිගු කිරිල්ලී - නව වන කොටස       
අවුරුද්දෙන් භාගයකටත් වැඩි කාලයක් ගෙවි ගොස් තිබුණත් සුදු නැන්දාගේ උපකාරයෙන් නිවස ආසන්නයෙන්  පිහිටා තිබූ පන්සලේ පෙර පාසලට මල්ෂාව ඇතුළත් කර ගැනීමට හැකිවුණි. මල්ෂා රැගෙන යෑම එම හා ඇගේ අනෙකුත් කටයුතුද සුදු නැන්දා ස්වෙච්ඡාවෙන් බාරගත්තේය. මල්ෂාද ටිකෙන් ටික ඇයවෙත නැඹුරුවූයේ සුදු ආච්චි යැයි ආමන්ත්‍රණය කරමින්ය. ඥාතීන්ට හා අසල්වැසියන්ට මුහුණ නොදි එළිපහලියකට නොබැස නිවස තුළටවී කාලය කාදැමිම ඉන්දිරාට කිසිසේත්ම කල නොහැකි කාර්්‍යයක්ම විය. අවුරුදු කිහිපයක් කොළඹට නුදුරුව ගතකල ජීවිතයට හුරුව සිටි බැවින් හල්දුම්මුල්ලේ ජිවිතය ඕලාකාරී ලෙස ඉන්දිරාට හැගෙන්නට වුණි. මඟ බලාගෙන සිටියත් හේමමාලි අක්කාට යැවූ ලිපියටද පිලිතුරක් නොලැබිණ. ඇයට විජිතව සිහිවූයේ මාස එකහාමාරක් පමණ ගතවූවත් ඔහුගැන කිසිඳු ආරංවියක් නොලැබුනු හෙයින්ය. බඩු මුට්ටු පටවාගෙන නිවසින් පිටවීම ගැන ඔහු අධික කෝපයට පත්ව සිටින ඇතැයිද, එය සමනයවූ වහාම විජිත තමා සොයාගෙන හල්දුම්මුල්ලට ඒමට හැකි බව ඇයට යළිත් මතක් විය. ඉක්මණින් හපුතලෙන් පිටමංවීම සියලු ගැටලුවලට විසඳුමක් නොවුණත් යම් සහනයක් ගෙන දෙන්නක් බව ඇයට හැගුණි. ඇය ඉක්මනින් පාසල් මිතුරියක්වූ දීපිකාට තම ජීවිතයේවූ හැලහැප්පීම් ගැන ලියා ලිපියක් තැපැල් කළා ය. දින කිහිපයකට පසු දීපිකාගෙන් පිලිතුරක්ද ඇයව ඇමතීමට දුරකථන අංකයක්ද ලැබිණ. ලිපිය ලද සැනින් ඉන්දිරා හල්දුම්මුල්ල තැපැල් කන්තෝරුවෙන් ඇමතුමක් ගෙන දීපිකාට කතා කළා ය. ඇමතීමෙන් පසුව ඈ තමා ගත් තීරණය ගැන සුදු නැන්දාට පවසන්නට විය. 

“මගේ යාළුවෙක් කිව්වා කොළඹ ගාමන්ට් ෆැක්ටේරියක රස්සාවක් හොයලා දෙන්නම් කියලා.”
“කවුද ඔය යාළුවා?”
“දීපිකා. සුදු නැන්දාට මතකද අර හපුතලේ කළුපහන පැත්තේ ඉදලා වල්හපුතැන්නේ ඉස්කෝලෙට ආවේ.”
“මට එච්චර නිච්චියක් නෑ. ඒ ළමයා කොළඹ කොහේද ඉන්නේ?”
“අත්තිඩිය පැත්තේ තියෙන ගාමන්ට් පැක්ටේරියක.”     
“එතකොට මේ පොඩි කෙල්ල?”
“එයා මෙහේ හිටපුදෙන්. අනික කොළඹ  අරගෙන ගිහිල්ලා ඔය බෝඩිම්වල මෙයාව තියාගන්නත් බෑනේ. තියාගන්න පුළුවන් තැනක් හම්බවෙනකම් මට මාසෙකට සැරයක් හරි ඇවිල්ලා පුළුවන්නේ බලලා යන්න.”
“උඹ දැන් ඕක අම්මාත් එක්ක කිව්වාද?”
“නෑ දැන් කිව්වේ නෑ. එක දවසක් මම නිකමටවගේ කිව්වා. ඒත් එයා වැඩිය මනාප නෑ. එයා කියන්නේ  මට ගෙදරට වෙලා දුවව බලාගෙන ඉන්නලු.”
“ඒක නම් ඇත්ත තමයි”       
“අම්මාට ලැබෙන පඩියෙන් කොහොමද අපි ජීවත්වෙන්නේ? අම්මාට පුළුවන්ද මල්ලිලාගේ වියදම් මදිවට අපි දෙන්නෙක්ගෙත් වියදම් බලාගන්න? අනික මම ඉන්නවා කියලා දැනගත්තොත් විජිත මෙහෙටත් හොයාගෙන එයි.”  
“තාමත් මෙහෙට උඹව හොයාගෙන ඒ මිනිහා ආවේ නැත්තේ ඇයි කියලා ඊයේ රාත්තිරියෙත් මට මතක්වුනා. අනික අහළපහළ එක එකා උඹ ගෙදර ඇවිල්ලා තියෙන්නේ ඇයි කියලා දැන් අහන්න පටන් අරගෙන. ඊයේ උඩහගෙදර ප්‍රේමා මගෙන් ඇහැව්වා ඉන්දිරා ගෙදරට ආවේ කාලෙකට පස්සේ නේද කියලා.”
“ඒක මම දන්න නිසයි රස්සාවකට යන්න හැදුවේ.”
“කොහොමත් මේ කෙල්ල ඉන්න නිසා ගමේ උන් දැනගනියි උඹ මොකක් හරි හුටපටයක් කරගෙන ගෙදර ඇවිල්ලා කියලා.”
“උන්ට මොනවා කියන්න බැරිද. මම මේ ඉරිදා කොළඹ යන්න තමයි හිතන් ඉන්නේ. සදුඳාට පැක්ටේරියට එන්න කිව්වා.”      
“දැන් උඹ එහෙ එන විත්තියක් අම්මාට කියලාද තියන්නේ?”
“තවම නෑ. පස්සේ අම්මාට කෝල් එකක් දීලා කියනවා.”      
“එතකොට රාත්තිරියේ නවතින්නේ කොහේද?”
“අම්මා ඉන්න ගෙදර තමයි. ඒත් මට වැඩිය ඒ මහත්තයාව අල්ලන්නේ නෑ.”
“ඒ මිනිස්සුන්ගේ ගෙවල්වලට උඹලා රිංගන්න ගිහිල්ලා අම්මාගේ රස්සාවත් නැති වෙයිද දන්නේ නෑ. කෝකටත් රස්සාව හරි නොගියොත් ඉක්මණින් එහෙ ඉන්නේ නැතිව ආපහු වරෙන්.” 
“කොහොමටවත් මම ඒ ගෙදරනම් නතරවෙන්නේ නෑ. ඉක්මණින්ම බෝඩිමක් හොයාගන්න බැරිවූනොත් මම ආපහු ගෙදර එනවා.”
“එහෙමනම් ඔය ඇඳුම් කෑලී දෙක තුනක් විතර ගෙනහිල්ලා පස්සේ ඉතිරිවා ගෙනියන එකයි හොඳ.”
“ඒක තමයි මමත් කල්පනා කලේ.”   
ඉන්දිරා කීවාය.  

     ඉන්දිරා ඉරිදා උදෙන්ම කොළඹ බලා පිටත්වූයේ ඉතා අසීරුවෙන් මල්ෂාගෙන් සමුගෙනය. මඟින් මඟටම ඇයට මල්ෂාගේ පෙරදා සිටම හැඬිමෙන් හේබාගිය මුහුණු පොඩිය සිහිපත්විණි. දෑසට ඉනූ කඳුලු දැල්ල ආයාසයෙන් වලක්වාගත් ඈ කවුලුවෙන් ඉවත බලාගෙන පසුපසට දිවෙන ගස් වැල් දෙස අරමුණකින් තොරව බලා සිටියා ය. 
   පසුදා උදේ දහය වන විට අම්මා සමගින් අත්තිඩිය ප්‍රදේශයේ තිබූ “නිව් ස්ටාර් ඇපරල්ස් ” ඇඟලුම් කර්මාන්ත ශාලාව වෙත යන්නට හැකිවුණි. ගේට්ටුවේ සිකුරිටි කුටියට එබිකම් කල තමාලි දීපිකා ගැන විමසුවා ය. ගේට්ටුවෙන් පිටත රැඳීහුන් ඉන්දිරා වටාපිටාව සිසාරා විමසිලිමත් වෙද්දී ඇගේ නෙත ගාමන්ට් ගේට්ටුවේ අලවා තිබූ විශාල පොස්ටරයේ නතර විය. 

පුහුණු නුපුහුණු ජුකි මැෂින් ක්‍රියාකරවන්නියන් සඳහා ඇබෑර්තු ඇත. 
මුලික පඩිය රුපියල් දහදාහයි. 
පැමිණිමේ දීමනා, නිල ඇඳුම්, රක්ෂණය ඇතුළු තවත් දීමනා රැසක්  සමගින් රුපියල් 15,000/- වඩා උපයන්න.
නිව් ස්ටාර් ඇපරල්ස් 
සමගි මාවත
අත්තිඩිය. 

“මේ අපි දීපිකාට පණිවිඩයක් ඇරියා. එයා එනකම් ඔයාලා අර අතන තියෙන විසිටර්ලාගේ රූම් එකට ගිහිල්ලා වාඩිවෙලා ඉන්න.”  
සුවිශාල ගේට්ටුවේ එක් අන්තයක තාප්පයට අල්ලා ඉදිකල ආරක්ෂක කුටියට මඳක් එපිටින් පිහිටි කෙටි බිත්ති කණ්ඩි සහිත පාසල් පන්ති කාමරයක් බඳුවූ අමුත්තන්ගේ කාමරය පෙන්වා ආරක්ෂක නියාමකවරයා කීවේය. දිගු සැටියේ අසුන්ගත් ඔවුන් දෙදෙනා දීපිකා එනතෙක් නිහඬව පසුවූහ. ඉන්දිරා එම කාමරයේ බිත්තියෙන් පිටතට තම නෙත් දිව යවමින් තරමක් ඈතින් පෙනෙන කර්මාන්ත ශාලාව දෙස බලා සිටින්නට විය. මුව පුරා සිනාවක් නගාගත් දීපිකා ඔවුන් වෙත කඩිනමින් ඇවිද ආවා ය.

“ආ ඇන්ටිත් ආවද? මම හිතුවේ ඉන්දිරා විතරයි කියලා.”       
ඉන්දිරා දෙස සිනාවකින් සංග්‍රහ කරමින් තමාලි දෙස හැරී ඇසුවා ය. 
“නෑ එයාව ඉතිං තනියම එවන්නත් හොඳ නෑනේ. අනික මේ වැඩපොළ තියෙන තැනත් දැනගන්න එකත් හොඳයි නේ.”       
“ඔව් ඒක හොඳයි. ඉතිං කොහොමද කෙල්ලේ? ඊයේ නේද ආවේ?”
“ඔව් දීපිකා.”
“හොඳ වේලාවට ඔයා මට කතා කලේ දැන් මේකට කට්ටිය ගන්නවා. දකින්න ඇති නේද බෝඞ් එක? මේකේ පඩි අනික් ඒවා වලට වැඩි හින්දා වෙන ගාමන්ට් වල වැඩකරන අයත් එවායින් අස්වෙලා මේකට එනවා.”
“දැන් ළමයෝ මෙයාව නතරවෙන්නේ?”
“නතර වෙන තැන්ද? ඒවා මෙහේ ඕනෑ තරම් තියෙනවා. නැත්තේ සැප පහසුකම් විතරයි. මම ඉන්න තැනම ඉන්දිරාටත් නවතින්න පුළුවනි. තමාලි ඇන්ටි මට මෙතන වැඩි වෙලා ඉන්න බෑ ටාගට් කවර් කරන්න තියෙනවා. මම ඉන්දිරාව මැනේජර් මහත්තයා ළඟට එක්ක යන්නම්. ඇන්ටි මෙතන ඉන්න. ආ මේක හොඳට මතක තියාගන්න. මෙතන වැඩට ගන්නේ බැඳපු නැති අය. ඒ නිසා ඔයාගේ විස්තර කා එක්කවත් කියන්න එපා.”

ඉන්දිරා තම හිස දෙපසට වනමින් එයට එකඟතාවය දැක්වූවා ය. විශාල කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලේ ඇලුමිනියම් දොර විවර කරමින් දීපිකා පසුපසින් ඇතුලුවූ ඉන්දිරාට දර්ශනයවූයේ එක පෙළට එකාලෝක කරන ලද ටියුබ් ලයිට් යට ජුකී මැෂින් ක්‍රියාකරවන කෙල්ලන් සමුහයකි. එහි පසෙක ඉහළින් සකසන ලද විශාල වීදුරු දැමූ ඔෆිස් කාමරයට ඉන්දිරාව රැගෙන ගියා ය. යකඩ තරප්පුවකින් නැග ඔෆිස් කාමරයට ගිය විට මුළු ශාලාවම හොඳින් දර්ශනය වන පරිදි එය සකසා ඇති බව ඉන්දිරාට පසක්වුණි. ඇලුමිනියම් පාර්ටිෂන් වලින් වෙන්කෙරූ කාමරයේ හුන් කළමණාකරු හමුවූ දීපිකා, ඉන්දිරා තම ඥාති සහෝදරියක් බවත් රැකියාවක් බලාපොරොත්තුවෙන් පැමිණ ඇති බවත් පැවසුවා ය.  ඉන්දිරාගේ විස්තර අසා කළමණාකාර මහතා වැඩ පුහුණුවන නුපුහුණු සේවිකාවක් ලෙස බඳවා ගැනීමට හැකි බවත් ඉන්දිරාට හෙට සිට වැඩට පැමිණිය හැකි බවත් පැවසුවේය. තමන් නැවතී සිටින ස්ථානයේම නවාතැන් ගැනිීමට පහසුකම් සලසාදිය හැකි බව දීපිකා පැවසූ බැවින් ඉන්දිරා අම්මාත් සමඟින් දීපිකාගේ බෝඩිම වෙත යන්නට විය. ඔවුන් දෙදෙනා ප්‍රධාන මාර්ගයේ ගොස් බේකරිය හන්දියද පසුකර මඳ දුරක් ගමන්කර අතුරු මාර්ගයක් වූ ජනතා මාවතට පිවිසියහ. දීපිකා ලබාදුන් නොම්මරය අනුව නවාතැන්පොල වෙත ඔවුන් ළඟාවූහ. එක ළඟ ඉදිවූ කුඩා නිවාස කිහිපයක් අතර පිහිටි එම නිවසේ පසෙක කපරාරු නොකල අඩක් සිමෙන්ති බ්ලොක් ගලින්ද ඉතිරිය ලෑලී වලින් අවසන් කෙරූ කාමරයක් බෝඩිම් කාමරය ලෙසින් තමාලිට හා ඉන්දිරාට පෙන්වීය. රුපියල් පනහක්වත් නොවටිනා බාල ඉබ්බෙකු දමා යතුරුලූ ලෑලී දොර හිමිකාරිය විසින් විවරකර ඉන්දිරාට කාමරයේ ඇතුලත පෙන්නුවාය. සිමෙන්ති පොලව මත ගඩොල් කැට කිහිපයක් තබා එය මතින් තැබූ ලෑලී උඩින් ඇඳුම් බෑග් සියල්ල එක පෙළට තබා තිබුණි. කාමරයේ මුල්ලකට වන්නට ගොඩගසා තිබුනු පැදුරු ගොඩත් ඊට එහායින් අකුළන ලද බූරු ඇදකුත් විය. පසෙක තිබූ ලණු වැලක එල්ලා ඇති ගවුම් කිහිපයක් හා කාන්තා යට ඇඳුම් ගොඩකුත් ඉන්දිරාගේ නෙතු ගැටින. 

“මේක තමයි කාමරේ. ලැට් එකයි නාන පයිප්පෙයි එහා පැත්තේ.”
“ඇඳවල් නැද්ද?”
තමාලි ඇගෙන් ඇසුවාය.       
“ඇඳවල් දාන්න මේ කාමරේ ඉඩක් නෑ. පපුවේ මහන්සිය තියෙන ලෙඩ ළමයෙක් ඉන්නවා එයාට පොළවේ නිදාගන්න බෑ ඒ නිසා එයාට විතරක් බූරු ඇඳක් දුන්නා. අනෙක් අය නිදාගන්නේ බිම. අර තියෙන්නේ පැදුරු.”       
ඈ කාමරයේ එක් පසෙක ඇති ඇකිලූ පැදුරු ගොඩක් පෙන්නා මඳ නොරිස්සුමක් සහිතව තමාලිට කීවාය. 
“දීපිකාගේ නෑයෙක් කිව්ව නිසයි මම මේකට ගන්නේ. හැබැයි ළමයෝ මට මාසේ අන්තිමට කාමරයේ සල්ලි ඕනේ. වැඩ ඇරුනු ගමන් එක එක තැන්වල ඇවිදින්න නැතිව බෝඩිමට එන්න ඕනේ. මට බෑ මේ ළමයින්ගේ ගෙවල්වලට වග කියන්න. එහේ මෙහේ ගිහිල්ලා කොල්ලන් පටලාගෙන මෙහේට උන් එක්කන් එන්නත් එපා. මම ඒවාට කැමති නෑ. මොනවා හරි සම්බන්ධකම් තියෙනවානම් ඒක තම තමන්ගේ ගෙවල් වලට දන්වලා අවසර ඇතිව මිසක් ඔය ගෙවල්වලට හොරෙන් සම්බන්ධකම් තියාගන්න බෑ. මට ඔය එක එක ඒවා අහුවුනොත් නම් අනිවාර්්‍යයෙන්ම බෝඩිමෙන් යවනවා.”
“ඔව් එහෙම නීති රීති එක්ක තියෙන එක හොඳයි. මටත් බයක් සැකක් නැතිව දුව මෙහේ නවත්තලා යන්න පුළුවන්.”
තමාලි ඉන්දිරා දෙස බලමින් කීවාය.
“මේ ළමයා දැන් කවදා ඉදලාද වැඩට එන්නේ?”       
 “හෙට ඉදන් වැඩට එන්න කිව්වා.” 
“කෝ ඉතිං ඇඳුම් එහෙම ගෙනාවේ නැද්ද?”
 “වැඩිය අරගෙන ආවේ නෑ. ඒවා මේ ළඟ නෑ ගෙදරක තිබ්බා. ඇඳුම් ටිකත් අරගෙන හෙට උදේම එන්නයි හිතාගෙන ඉන්නේ.”
“ඔව් ඒකත් හොඳයි. එහෙනම් මට ඇඞ්වාන්ස් එකක් දීලා යන්න. මොකද වෙනින් ළමයි ඇවිල්ලා ගන්නවා කියලා යනවා ඒත් පස්සේ බැලින්නම් වෙනින් තැනකට ගිහිල්ලා.”

තමාලි ඉක්මනින් තම පසුම්බියෙන් ගත් රුපියල් පන්සියය ඇගේ අතට පත්කළා ය. පසුදා උදේම අවදිවූ තමාලි දීපිකාගේ බෝඩිම වෙත ඉන්දිරාව රැගෙන ගියේ පෙරදින රාත්‍රියේ අධික ලෙස බීමත්ම නිවසට පැමිණි සුන්දරලිංගම් මහතා අවදිවිමට ප්‍රථමයෙන්ය. ඔවුන් අත්තිඩියේ ජනතා මාවතේ වූ බෝඩිමට එනවිටත් දීපිකා ඇතුලු කෙල්ලන් සිටියේ නින්දේය. ඇදගැසිමෙන් තැන තැන හිදැස් ඇතිවුනු වල් ලී දොරට තමාලි හිමිහිට තට්ටු කළා ය. ඇතුලත විදුලි බුබුල දල්වා කබල් ලෑලී දොර හැරගෙන දීපිකා එළියට ආවා ය. කපුටු කුඩුවක් සේ අවුල්ව ගිය කොණ්ඩය ඇඟිලිතුඩුවලින් සකසමින් ඈ ඉන්දිරා සමඟින් සිනාසුනා ය. 

“තාම කට්ටිය නිදි. මමත් මේ ඇහැරගෙන හිටියේ ඉන්දිරා උදේම එනවා කිව්ව හින්දයි.”
“දැන් කීයටද වැඩට යන්නේ?”     
“උදේ අටට තමයි වැඩ පටන් ගන්නේ. ඔය කට්ටිය දවල් වෙනකම් නිදාගෙන ඉදලා තව ටිකකින් තමයි මාර යුද්ධය පටන්ගන්නවා.”     
“දීපිකා දුවේ මට පැක්ටේරියට ගිහිල්ලා මෙයාව බාරදෙන්න උදේ අට වෙනකම් ඉන්න වේලාවක් නෑ. සර් නැගිටින්න ඉස්සර ගෙදරට යන්නත් ඕනේ.”
“හරි ඇන්ටි ඔයා යන්න. එතැනට ගියා කියලා විශේෂ දෙයක් නෑ. මම ඉන්දිරාව බාරදෙන්නම්.”
“අනේ දුවේ මේ කෙල්ලව හොඳින් බලාගන්න. මතකයි නේ මෙයාගේ මෝඩකම්. ආපහු ඒවාගේ දේවල් සිද්ධකරගන්න ඉඩ දෙන්න එපා.”
“හරි හරි ඕවා මෙතන කියන්න ඕනේ නෑ, මම දන්නවා ජීවත්වෙන්න ඕනේ විදිය.”
ඉන්දිරා මඳ නොරිස්සුමකින් කීවා ය. 
“පරක්කුවෙනවානේ ඇන්ටි දැන් යන්න. අපිටත් ලැහැස්තිවෙන්න තියෙනවා.”
බෝඩිමෙන් එළියට ආ තමාලි ආපසු හැරී ගොස් ඉන්දිරා අතට මුදල් නොට්ටු කිහිපයක් පත්කර පිටත්විය.  
“යමු ඉන්දිරා ඇතුලට හැබැයි නිදන් ඉන්න අයගේ කකුල් පාගන්න එපා.”
ඇය ඉන්දිරාගේ ඇඳුම් බෑගය අතට ගන්නාගමන් පැවසුවාය. බිම එලූ පැඳුරු මත එක පෙළට වැතිර සිටින කෙල්ලන් සමූහයක් අතරින් එකෙකු දෙන්නෙකු තම නින්දට බාදාකරන ඔවුන් දෙස දෙස නොමනාපයෙන් ඔළුව උස්සා බලා යළි කොට්ටයට ඔබාගත්තාය.     
“ඔන්න ඔය කෙහෙල්මල් ලයිට් එක නිවපං බං තව ටිකක් නිදාගන්න දීලා.” 
කාමරයේ කෙළවරකට වෙන්න නිදා සිටි එකියක හිස ඔසවා බලා තම පොරවනයෙන් හිසත් සමඟින් වසා ගන්නා අතරතුරේදී කීවා ය.   
“යමු අපි එලියට ගිහිල්ලා තේ එකක් හදාගෙන බීලාම හිටිමු.”
ඇඳුම් බෑග් තබා ඇති ලෑල්ලේ බෑග් එහාමෙහා කර ඉඩක් පාදාගනිමින් ඇය පැවසුවා ය. කාමරයට යාබද කුස්සි කෑල්ලේ දර ළිපට ගිනි අවුලවා කේතලය එහි තැම්පත් කෙරූ දීපිකා පසෙකවූ බංකු කෑල්ලක් ගෙන ඉන්දිරාට හිදගන්නට ඉඩ සලසා දුණි.
“ඔන්න බලන්න තව ටිකකින් තමයි යුද්දේ පටන් ගන්නේ. ඔය කම්මැලිකමට නිදාගෙන ඉදලා පරක්කුවෙලා වැඩට දුවන්න ලැහෑස්තිවෙනවා.”
“උදේට කන්න උයන්න එහෙම නැද්ද?”
“සමහරුන්ට එයාලගේ පැක්ටේරිවලින් උදේටත් කන්න දෙනවා. අපිට උදේට කෑම දෙන්නේ නෑ. අල හොද්දක් හරි පරිප්පුවක් එක්ක පාන් කෑල්ලක් තමයි උදේට කන්නේ. රෑට මොනවා හරි රත්කරන් කනවා.”
“ඉතිං එක සැරේ උදේම බතක් මාලුවක් හදාගත්තාම රෑටත් කන්න ඇහැකියි නේද?” 
“ඒක අපි ඉස්සර කළා. දැන් ඒවා කරන්න බෑ මොකද මේ මියෝ පුසෝ එක්ක. ඒ මදිවට මේ කකුල් දෙකේ හොර පුසියෝ ඉන්නවා කෑම එකට බහින.”
“ඉතිං මෙතන ඔය ඔක්කෝම උයනවාද?”
“අර ලයිට් එක නිවපං කිව්ව එකියි තවත් නැට්ටිචියකුයි කඩෙන් කන්නේ. උන්ගේ ඔළුව ඉදිමිලා.”
තේ කොළ ගොටුවට දමා උණු වතුර වත් කරන ගමන් දීපිකා පැවසීය.    
“එයාලාගේ ගෙවල් කොහේද?”
“ඇයි හිතුවාද උන් දෙන්නා කොළඹ හතේ කියලා? අර නිදන් හිටපු එකි ඉනෝකා. ගෙවල් වැලිඔය පැත්තෙ. උන්ට නාන්නත් හැතැම්ම ගානක් යන්න ඕනේ. ඕකි මෙහෙට ආපු හැටි අමතකවෙලා.”

කහට කෝප්පය අතට ගත් ඉන්දිරාට අල්ලට සීනි ටිකක් ගෙන එය තොලගාන අතර කුස්සි කෑල්ල සිසාරා තම දෑස් දිවැව්වා ය. පිට පළු ලෑලී වලින් කිසිම පිළිවෙළක් නොමැතිව ආවරණය කර තිබූ මෙය කුස්සියකට වඩා දර මඩුවක් සේ ඇයට පෙනුණි. දිගින් දිගටම දුම් වැදිමෙන් කළු පැහැගැන්වුනු පිට පළු ලෑලී දුබුලු වලින් පිරි පැවතිනි. අඩු වොට් ගණනකින් යුතු විදුලි බල්බයේ මළානික එළිය පරදා ළිපෙන් නැග එන ගින්දර කුස්සි කෑල්ල ඒකාලෝක කරවන්නට විය. දීපිකා පරිප්පු මිටක් ගෙන දියට දැමීය. 

“ඉන්දිරා ඔයා ටිකක් එහායින් ඔය බංකුව තියාගන්න, දැනටමත් කොණ්ඬේ අළු රැඳිලා. ඇඳුම්වල දැලි ගාගෙන ගියොත් අපේ උන් අහයි ළිප්බොක්කේ ඉදලාද ආවේ කියලා.”
ඈ කී කතාවට දෙදෙනාම සිනාසෙන්නට විය.  
“ඔයා පරිප්පු හදන්නද යන්නේ?”
“මම මේක බලාගන්නම් ඔයා ගිහින් අර වංගුවේ කඩෙන් පාන් භාගයක් අරගෙන එන්න. අපි දෙන්නාට භාගයක් ඇතිනේ?” 
මඳ වේලාවක් ගත වෙද්දී එකා දෙන්නා පැදුරෙන් නැගිට ඈලීමෑළී කඩමින් එළියට එන්නට විය. තිබුනු එකම වැසිකිළිය ඉදිරිපිට දෙදෙනෙක් දත් බුරුසු කටේ රුවාගෙන බලා සිටින්නට වූයේ ඇතුළට ගිය කෙනා පිටතට පැමිනෙන තුරුය. වංගුවේ කඩෙන් පාන් භාගයක් මිලදීගත් ඇය ආපසු එන විට දඩි බිඩියේ කුස්සි කෑල්ලටවි තම අඩුම කුඩුම එහා මෙහා කරමින් සිටි එකියක් ඉන්දිරා දෙස බලා සිනාසුනා ය. 

“ආ ඔයාද මේ අලුතින් එනවා කිව්ව දීපිකාගේ යාළුවා? මේකේ ඇතුලේ ඉන්නේ නැතිව කාමරේට ගිහිල්ලා ඉන්න. දැන් අනිත් උන් ඇවිල්ලා ඔයාවත් පෙරළාගෙන උයන්න ගනියි.”
“ඉන්දිරා මේ ඉන්නේ වසන්ති අක්කා. කවුරු හරි මොනවා හරි කිව්වොත් වසන්ති අක්කාට කියන්න එයා බලාගනියි.”     
ඉන්දිරා වසන්ති දෙස බලා මඳ සිනාවක් පෑවාය. 
“හා යමු ගිහිල්ලා ඇතුළේ ඉදගෙන ඉන්න, මම මේ පරිප්පු හොද්ද හදාගෙන එන්නම්.”   
උදෑසන ආහාරයෙන් පසු ඔවුන් දෙදෙනා පාගමනින් නිව් ස්ටාර් ඇපරල් එකට ගමන් කරන්නට විය. 
“බෝඩිමේ ඉදලා ටිකක් දුර උනාට මේ හැමෝම වාගේ යන්නේ පයින් තමයි.”
දීපිකා ඉන්දිරා දෙස බලා කීවාය. 
“පයින් යන්න බැරි කමක් නෑනේ දීපිකා. පයින් යන්න පුරුදු වෙනවා නෙමෙයිනේ. අපි ඉස්කෝලේට ගියෙත් ආවෙත් පයින්මනේ.”
“ඒවූනාට මේ ටිකත් බස් එකේ යන එළදෙන්නුත් ඉන්නවා.”
“ඉතිං මේ ටික බස් හොල්ට් දෙකක්වත් දුර නෑනේ?”
“ඒක තමයි මම කිව්වේ අපේ ඉනෝකලා වාගේ බොරු සෝබන වැඩ කරන අය ඉන්නවා කියලා. ඒක නෙමෙයි අපේ වැඩපලේ ඉන්නවා ඔය ඕපාදුප හොයන ගෑණු ටිකක් පරිස්සමින් කතා කරන්න වෙයි.”
“ඉතිං එයාලා දැනගන්න හල්දුම්මුල්ලේ අය මෙතන නෑනේ.”     
“පිස්සුද බං මුන්ට පොඞ්ඩක් හරි සැක හිතුනොත් පන්න පන්න හොයනවා. ඒක නිසා පරිස්සමෙන්.”  

ඇය ෆ්‍රැක්ටේරියට ගේට්ටුවෙන් ඇතුල්වෙද්දිම පැවසීය. ඉන්දිරාව කැදවාගෙන ගොස් පුහුණු කිරිම් භාරව සිටින සාගරිකා මිස්ට භාර කෙරූ දීපිකා ඇගේ මැහුම් අංශයට පිටත් වීය. ඉන්දිරාගේ නම ගම විස්තර අසාගත් සාගරිකා මිස් ඇයව පැකින් අංශයට අනුයුක්තකර එහි වැඩ කරනා අයුරු පිළිබඳ පුහුණුවක්ද ලබාදුණි. මුලින් කිහිපයක් වැරදුනත් හොඳින් අසාගෙන තම වැරදි අඩුපාඩුකම් ඉක්මනින් මගහරවා ගැනිම සමත්විය.          

ඉන්දිරාගේ නව රැකියාව ? මතුසම්බන්ධයි......   

මෙම නවකතාවේ වර්තමානයේ සිදුවන සිදුවිම් දේවල් කළු පාටින්  හා අතිතාවර්ජනා කොටස් නිල් පැහැයෙන් දක්වා ඇත.  

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...