Friday, August 6, 2021

ප්‍රචන්ඩ රළ මැද අනතුරක් - සයුරේ දසවසක්

දස වසරක මාගේ නාවික දිවියේ ලැබූ අත්දැකීම් හා සිදුවීම් බොහොමයි. ඒවා හොඳ හා නරක සම්මිශ්‍රණයක් වෙනවා. මෙතැන් පටන් ලියවෙන්නේ නාවිකයෙක්ගේ නාවික දිවියේ ලබන්නට තිබෙන නරකම සිදුවීම් අතරින් දරුණුම එකකි.  මෙය  මාගේ බ්ලොගයට ලියනවාද නැද්දයි බොහෝ වාරයක් සිතමින් හුන් දෙයක්. එදා  මා සමඟින් මේ සිදුවීමට මුහුණ දුන්න සැමගේ සිත් සතන්වල මේක අමතක වෙලා නැතිව ඇතියි සිතමි. 


මුහුදු රළ නැව් තට්ටුවට වඩා ඉහළින් වැදෙනා අන්දම

ජර්මානු නැව් සමාගමකට අයත් 2003 වසරේ ජර්මනියේ ගොඩනැගූ කන්ටේනර් බාහාලුම් (Container vessel) නෞකාවක සේවයට එක්වන්නට ලැබෙන්නේ 2004 නොවැම්බර් මාසයේදීය. වසරක සේවා කාලයකින් පසුව මාස 3 කට ආසන්නව නිවසේ රැදී යළිත් එම නෞකාවට එක්වන්නේ එක පිට කරන දෙවන සේවා කාලයක් වශයෙනි. අපට නියමිත කාලසටහනට අනුව 2006 වසරේ ජූනි මස 25 ඉරුදින දහවල් කොළඹ වාරයේ ජය බහලුම් පර්යන්තය වෙත පැමිණිය යුතු වුවත් සවස් වෙනතෙක් කොළඹ වාරය ආසන්නයේ පාවෙමින්  (Drift) රැදී සිටියේ නියමු මැදිරියෙන්  ( Pilot Station - පයිලට් ස්ටේෂන්) කැදවිමක් ලැබෙන තුරුය. කෙසේ හෝ නෞකාව ජැටියට ගැටගසා අවසන්වෙද්දී සවස 7 පසුවන්නට ඇත. කොළඹ වරාය අවට මහ සයුර තරමක රළු කැළඹිලි ස්භාවයක් ගෙන තිබූ අතර දිය කඩනයකින් වටව තිබුනත් වරාය ඇතුලත මුහුදටත් එය  තරමකට බලපා තිබුනි. නෞකාවේ සේවයේ නියුතු ලාංකික අපගේ නිවෙස් වල සාමාජිකයින් වරාය බලපත්‍ර රැගෙන පැමිණ තිබුනේ නැවට ගොඩවැදී පියා හෝ දරුවා සමඟින් ටික වේලාවක් හෝ ගත කරන්නටය. කොළඹට එන ගමනේදී නැවේ ලාංකික සියල්ලන් ලක ලෑස්ති වෙන්නේ සතියකට කලින් සිටයි. තමන්ගේ කැඹින් කාමර සුද්ද පවිත්‍ර කර අලුත් ඇද ඇතිරිලි දමා අඬ නිරුවත් පින්තුර සහිත කැලැන්ඩර් ඉවත්කර බුදු රූප දේව රූප එම ස්ථානයන්ට වැඩම්මවාලන්නට කටයුතු කරමින්ය. බොහෝ චින හා ඒ ආශ්‍රීත අවට රටවල් වලින් නැවට ආහාර හා අනෙකුත් අත්‍යාවශය දව්‍ය ලබා ගැනීමේදී එම සේවා සපයන ආයතන (Ship Chandler) වලින් අනුගාහක තෑගි වශයෙන් කැප් තොප්පි කාඩ් පැක් අඬ නිරුවත් කාන්තා රූපවලින් හැඬවුනු කැලැන්ඩර ආදිය ලබා දෙයි. නැවේ බොන්ඩඩ් ස්ටෝරුවෙන් ලබා ගන්නා විස්කි බෝතලයක් කොකා කෝලා හෝ ෆැන්ටා කේස් එකක් තබා ගන්නේ නිවෙස් වලින් එන අයට සලකන්නටය. 

එදා මහ රාත්‍රියේදි නෞකාව පිටු පසින් බැඳ දමා තිබූ කඹයක් (Aft Mooring rope) කැඩියන්නේ අසුබයන් කියාපාන්ට මෙනි. මේ හදිසි අවස්ථාවට සියල්ලන් කැදවූ අතර අපේ එකෙකු දෙන්නෙකු සිටියේ ගෙවල් වලින් ආ නෑයන් සමග සෙට්වී හොද හැටි බිමත්වයි. රුමේනියන් ජාතික ප්‍රධාන නිලධාරිතුමා (Chef Officer -C/O) වැඩට බැස්ස අතර විංචිය (Mooring Winch) හසුරවමින් කැඩුනු කඹය ඉවත් කර වෙනත් කඹයක් දමන්නට සැරසුනි. මේ වැඩයට මා ඇතුලු තවත් කිහිපදෙනෙකු සම්බන්ධවු අතර මැදිවියේ හුන් සමාන්‍ය නැවියෙක් (Ordinary Seaman - OS) බමර පදමින් සිටියේ කරන කියන දේවල් හතර අතේ පටලවමින්ය. ඔහු බීමත්ව සිටින බව හොදින් ප්‍රධාන නිලධාරියාට නිරික්ෂනයවිය. නැවියාට ඒ කටයුත්තේ කාර්්‍යයන් කරන්ට නොදී අප ඔහුව බේරාගනිමින් පැයකට ආසන්න කාලයක් ගතකර ඒ යුද්ධය අවසන් කරන්නට හැකිවුනි. බහාලුම් ගොඩබා හා පටවා අවසන්ව 26 වන දින පාන්දර දෙක හෝ තුන අතර කාලයකදී අප නෞකාව පිටත් වන්නට සැරසුනි. නින්දට වැටි සිට අවදිව වෙනත් වැඩක යෙදි ආපසු ඇදට වැටුනත් එකවරම නින්ද වැලදගන්නේ නැත. ඇදට වැටුන විගස ස්විචයක් නිවා දමන්නාක් සේ නින්දට වැටෙනා කෙනෙකු නොවූ මා බොහො වේලාවක් ඇදේ එහාට මෙහාට පෙරලෙමින් නින්ද ලබන්නට වැයම් කරන්නෙකි. නින්දට වැටි ටික වේලාවකින් දුරකථනය නාද වි නැව පිටත්වීමට ආසන්න බවත් එයට සුදානම් වි නැවේ පසුපස කොටසේ ස්ටේෂන් වන ලෙස දැනුම් දුනි.  තද නින්දේ හුන් මා බොහෝ අසීරුවෙන් නැඟිට පසුපස කොටසට ගියෙමි. එහි අණ දෙන්නා ලෙසින් සිටි තුන්වන නිලධාරියා (3rd Officer) අපි ගෑණු පිටර් ලෙසින් හැදින්වූ අඩි හයකට වඩා උස් යුකීනීයානු කෙසග දිග් දන්ඩෙකු විය. ඒවන විටත් තරමක බඹර පදමින් හුන් සමාන්‍ය නැවියා පිස්සු කෙලින්නට විය. කෙසේ හෝ ඔහුගේ වැඩ කොටසත් අප විසින් කරමින් වැඩය ගොඩදාගන්නට හැකිවිය. නැව කොළඹ වරායෙන් පිටත්වු පසුව යළිත් නින්දට වැටුනෙමි.

 සුපුරුදු පරිදි අවදිව මෙස් කාමරයට ගොස් උදෑසන පාතරාසය ගනිද්දී ආරංචි වුයේ සමාන්‍ය නැවියා තුන්වන නිලධාරි ගෑණු පිටර් සමඟින් වලියක් දාගෙන ගුටිකා ඇති බවය. ඔහු ගේ ඇස වටේටම නිල් පැහැ රවුමක් සිටින්නට ගෑණුපිටර් අත දිගහැර මුෂ්ඨි ප්‍රහාරයක්  එල්ලකර තිබුනි. ඔහු මේ පිලිබදව කැප්ටන්ට පැමිණිලි කර තිබුනේ සමාන්‍ය නැවියා සිටියේ බීමතින් බවත් ඔහු රණ්ඩුවට පැමිණ පහර දුන් බැවින් තමාත් පහරදුන් බවයි. රාජකාරි වේලාවේ බීමතින් සිටිම හා සේවය පැහැර හැර රන්ඩු කරගැනීම නැවේ සේවයෙන් ඉවත් කෙරෙන්නක් බැවින් අප සියල්ලන් පවසා සිටියේ ඔහු බීමතින් සිටියේ නැත කියාය. අවසානයේ මේ ප්‍රශ්නය ප්‍රධාන නිලධාරියා විසින් විසදා දැමුවේ නැව බැඳ දමා තිබූ කඹය කැඩුනු අවස්ථාවේ ඔහු දුව පැන හොදින් වැඩ කළ බවත් ඒ මොහොතේ බීමතින් සිටි බවක් තමන්ට නොදැනුනු බව කියමින්ය. ඇත්තෙන්ම ඔහු කීවේ බොරුවකි. නෞකාවේ  ශ්‍රී ලාංකික කැප්ටන් අපේ මිනිහා බේරාගන්නට උත්සාහ කළේද නැත.  අන්තිමේදි ගුටිකාපු අය විසින් සමාව ඉල්ලාගෙන දුරදිග නොයවා ගැටලුව විසදාගත්තෝය. 

එළියට බැසීම මරුවාට අතවැනීමකි.

නැව කොළඹ වාරයෙන් පිටත්වූ පසුව දිගින් දිගටම ප්‍රචන්ඩ මුහුද රළ අපිට බාදා කරන්නට විය. දැවැන්ත නෞකාවක් වූ මෙය චන්ඩ රළ විසින් කුඩා පොල් ලෙල්ලක් මෙන් උස්සා වීසිකළේය. දෙපැත්තට මෙන්ම ඉදිරියට හා පසුපසට පැද්දෙන නැවක සිටගෙන සිටිමත් කෙතරම් අපහසුද කියා එම අවස්ථාව විදි අයකුට විනා වෙන අයට පහදා දීම අසීරුය. එන්ජින් කාමරයේ වෙනදා කෙරෙන කාලසටහන් වැඩ නොකෙරුනු අතර ලාංකික අප තිදෙනාටත් ( එන්ජින් අංශයේ අනෙක් අය සියල්ලන්ම යුක්කීන රුසියානු හා පෝලන්ත රටවල අයයි ) වර්ක් ශොප් එකට වී කුමක් හෝ සැහැල්ලු වැඩක් කරගන්නා ලෙසින් උපදෙස් ලැබිණ. 26 පාන්දර කොළඹ වරායෙන් පිටත්වූ අප නෞකාටව් මීළග ගමනාන්තයවන්නේ සුවදි ආරාබියේ ජෙඩාහ් වරායයි (Jeddah). මෙය දින පහක් හෝ හයක් ගතව ගමනක් විය. දරුණු රළ පහරින් පිඩාවිදින දෙවැනි දිනයත් උදාවුනි. සැමගේ තිබුනේ උදයෝගිමත් ප්‍රබෝධමත් භාවයක් නොව මැලවුනු මුහුණුය. එන්ජින් කාමරයේ අප තිදෙනා වැඩහලට වි තෙල් පිසදමන්නට ගෙනා රෙදි ගොනියක් මතට හිදගෙන කතාවකට වැටි හුන්නෙමු. උදෑසන නවයට පමණ නෞකාවේ හදිසි අවස්ථා දැන්විමේ සීනුව (General Alram)  නාදවන්නට විය. චන්ඩ කුණාටු මුහුදක් මැද හදිසි අවස්ථාවක්  මා තැතිගත්තා මිස  දෙවියන් සිහිවුනේ නම් නැත. මොන හදිසි අවස්ථාවක වුවත් පළමුව තුරුලු කරගතයුත්තේ තමාගේ ජීවිතාරක්ෂක ජැකට්ටුවයි බැවින් එය රදවා ඇති මාගේ කැබිනය වෙත දිව්වෙමි. ඇත්තෙව්ම නෞකාවේ පහල තට්ටුවක සිට තවත් තට්ටු හතක් හෝ අටක් පමණ ඉහළින් ඇති මාගේ කැබිණයට ගොස් එහි ඇති ජීවිතාරක්ෂක ජැකට්ටුව (Life Jacket) ගැනීමට යෑම හදිසි අවස්ථාවක කොතරම් අනුවන ක්‍රියාවක්දැයි දැන් සිතට නැගේ. එම කාලවකවානුවේ නිපදවු නවිනතම නෞකාවක්වූ එහි අමතර ජීවිතාරක්ෂක ජැකට්ටු තිබුනේ ජීවිතාරක්ෂක බෝට්ටුය අසළ පෙට්ටියක දමාය. හදිසියේ නැව පෙරලි මුහුදුබත්වූවොත් ජීවිතය ගලවාගන්නට අඩුම අවස්ථාවක් හමුවන්නේ එන්ජින් කාමරයේ අයවලුන් හටයි. 

        අනෙක් දෙදෙනා කොහේ ගියාදැයි සෙව්වේ නැතිව මා මගේ කැබිනයට ගොස් ජැකට්ටුව ගත්තෙමි. හදිසියකදී ජීවිතාරක්ෂක බෝට්ටුව අසළට රැස්විය යුතුවුවත් එළියට බැසීම කළහැක්කක් නොවීය. කවුදෝ කීවේ නැවේ පාලනය කරනා වීල් හවුසිය (Wheel House/ Bridge) යන ලෙසයි. ජීවිතාරක්ෂක ජැකට්ටුව රැගෙන විල් හවුසියට ගිය මාහට මහත් ලෙසින් කැළඹුනු අයුරින් හුන් කපිතාන්වරයා පැවසුවේ ඩෙක් ඔෆිස් එකට යන ලෙසය. යළිත් තට්ටු පහක් බැස ඩෙක් ඔෆිස් එකට ගිය විට කාටදෝ අනතුරක් සිදුව ඇතිබවක් ඉක්මනින් ඔහුව රැගෙන එන්නට නෞකාවේ ඉදිරියට යන ලෙසත් අණ ලැබින. ඒවන විට මාගේ අනෙක් සගයන් දෙදෙනා ස්ටෙචරයක්  (Stretcher, Neil Robertson Typeරැගෙන ඉදිරියට ගොස් තිබුනි. කකුලේ දණහිස මට්ටම දක්වා උසට නෞකා තට්ටුවට වදිනා මුහුදු රළ අතරින් ඉදිරියට යෑමත් ඉතා අසීරුය. නෞකාවේ මැදක් වන්නට යන අතරේදී ස්ටෙචරයට දමාගත් කිසිවෙකු අසීරුවෙන් ඔසවාගෙන එන අපේ අය හමුවිය. ස්ටෙචරයේ නෞකාවේ ප්‍රධාන නිලධාරියා එහි සිටි අතර කකුලකින් ලේ නොනවත්වා ගලන්නට විය. ඔහු උදේ අටට අවසන් වන තම ඩියුටිය අවසන්කර නෞකාවේ ඉදිරියට ගොස් තිබුනේ රුසියානු ජාතික බෝසන් වරයාත් (Boatswain) සමඟින්ය . ඒ නියමාකාරයෙන් නොවැසුනු කවුලුවක් හරහා ඉදිරියේ තිබු බෝසන් රූම් හා තින්ත ගබඩා කාමර සියල්ල මුහුදු ජලය පිරි එලාමය නාදවීම ගැන සොයා බැලීමටය. Forecastel Deck වෙතට ගිය ඔහුට ඉදිරියෙන් ඈදී ආ දරුණු රළ පහරකට අසුවිය. ඉන් ඔහු විසිවගොස් ඇති අතර එම රළ පහරින් ඔහු පාදය බිදි තුවාල ලබා තිබුනි.

බහාලුම් නෞකාවක තට්ටුව මතත් කන්ටේනර් බහාලුම් පටවන අතර ඉදිරියට යන්නට ඇත්තේ දෙදෙනෙකුට ඇගේ නොවැදි මාරුවිය හැකි පමණ පටුමාර්ගයක් පමණි. එවැනි මාර්ගයක දිගින් දිගටම දණහිසටත් වඩා උසට වදිනා රළ අතරින් ස්ටෙචරයක අඩිහයහාමාරක් පමණ උස හැඩිදැඩි සිරුරති කෙනෙකු පටවාගෙන එමත් බොහෝම අසීරුය. අප මාරුවෙන් මාරුව ස්ටෙචරය උසවාගෙන එද්දී එකවරම නැග ආ දරුණු රළ පහරකින් මාගේ එන්ජින් කාමර සගයා වන අමිල මුහුදට නොවැටි දිවි බේරාගත්තේ අසළ තිබු කනුවක් බදා ගනිමිනි. කවුදෝ කෑගසමින් කීවේ අප ඉන්නා ස්ටාබර්ට් පැත්තට රැල්ල නොවදින අයුරින් නැව හරවන්නට කැප්ටන්ට දන්වන ලෙසයි. ඔහු එය කළාදැයි නොදනිමි.  


නැව් තට්ටුවට වදිනා චන්ඩ රළ අතරන් අපගේ දිවි බේරාගෙන තුවාලවූ ප්‍රධාන නිලධාරියාත් රැගෙන ඇකමඩේෂන් හි තිබෙන හොස්පිටල් නමින් හැදින්වෙන රෝහල් කාමරයට පැමිනියෙමු. මේවනවිටත් අනතුර සිදුවී පැය භාගයකට වඩා ගතව තිබුනි. රබර් බුට් දෙකක් පැලද හුන් ප්‍රධාන නිලධාරියාගේ එක් පාදයක් බිදි ගොස් තිබුනේ රබර් බුටයට ඉහලිනි. ඔහු ඇඳ සිටි ඔවර්රෝලය ඉරාගෙන කකුපේ ඇට කටු ඉවතට පැමිණ තිබුනි. රෝහල් කාමරයේහි තිබෙනා ඇදක ස්චෙරය පිටින්ම ඔහුව හොවා තබන්නට ලාංකීක දෙවන නිලධාරියාගෙන් අණක් ලැබුනේ ඉක්මනින්ම ඔහුව වෙනත් නැවෙන් පිටත්කරහරින්නට බලාපෙරොත්තුව පිටදැරිවය. ලීපටි සහිත කැන්වස් රෙදිවලින් මසා ඇකිලිය හැකිසේ නිපදවා තිබු මේ ස්චෙරය උඩ නිදා සිටිම තරමක් අසීරුය  (Stretcher, Neil Robertson Type. මද වේලාවකින් ලාංකික කපිතාන්වරයාත් එතැනට පැමිණි අතර ප්‍රධාන නිලධාරියාය පහසු වන්නට රෝහල් ඇදේ හිස පැත්ත ඔසවා තබන්නය අණදුනි. ඉක්මනින් ඔහුව ගොඩබිමකට යවන බව ප්‍රධාන නිලධාරියාය කී ඔහු එතෙක් මොෆින් එන්නත් (Morphine)  කළයුතු බව කීවේය. මෝෆින් එන්නත් කිරීමට ප්‍රධාන නිලධාරියාගෙ කැමත්තක් තිබුනේ නැත. අසීරුවෙන් ඔහුව පැත්තට පෙරලා ඔවරොලයේ පිටුපසින් කොටසක් කපා තට්ටමකට මොෆින් එන්නත් කෙරුනි. රබර් බුටය ගැලවිමට කිසිවෙකුත් උත්සාහ නොකල අතර කැඩුනු කකුල එහා මෙහා නොදුවන්නට පතුරුතබා බැඳ දැමුවෙත් නැත. තවදුරටත් මෙසේ බලා සිටිමෙන් පලක් නොවන බැවින් මා මාගේ අනෙක් එන්ජින් අංශයේ සගයාත් සමඟින් එන්ජින් කාමරයේ ලී පතුරු සොයන්නට දිවගියෙමු.  ඉක්මනින් ලී පතුරු ඉරාගෙන ගෙනවිත් දුන්නද එය බාවිතා කළේද නැත. නෞකාවක වෛද්‍ය නිලධාරියා වන්නේ දෙවන නිලධාරියායි. ඔහුගේ තීරණවලට හෝ කපිතාන්ගේ තිරණ වලට පිටින් යෑමේ හැකියාවක් අපට නොතිබුනි. අවසානයේ කපිතාන් සියල්ලන්ටම තම තමන්ගේ රාජකාරිවලට යන ලෙස පැවසුවායින් අප එතැනින් ඉවත්ව ගියෙමු. දහවල් කෑම විවේකයේදි පැමිණ රෝහල් කාමරයට හිසදමා බැලීමේදි දකින්නේ සාමාන්‍ය නැවියෙක් මොෆින් නිසා නින්දකට වැටුන ප්‍රධාන නිලධාරියා අසළින් තබා තිබුනු අයුරුය. හවස තුනේ තේපානයට එන්ජින් කාමරයෙන් එළියට පැමිණ අනෙක් අයගෙන් විමසීමේදි දැනගන්නට ලැබෙන්නේ දෙවන නිලධාරියා හෝ වගකිවයුතු කිසිවෙකුත් රෝහලට පැමිණ නැති අතර දුරකථනයෙන් එතැන සිටිනා නැවියාට පැරසිටමොල් දෙන්නට උපදෙස් දී ඇති බවයි. අවසානයේදි පැය කිහිපයක් කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව හුන් අසරණ ප්‍රධාන නිලධාරියා අධික රුධිර වහනයෙන් මෙලොව හැරගියේය.

මියගිය පසුවත් රබර් බුටය ගලවා ඉවත් නොකළ

රබර් බුටය ගලවා ඉවත් කළ පසු





 අප විසින් නැවේ ශිතාගාරයේ  (cool roon) පළතුරු හා කිරි ආහාර ගබඩාව හිස්කර පොලතින් බොඩි බෑගයක දමන ලද ප්‍රධාන නිලධාරියාගේ සිරුර තැම්පත් කළෙමු. තවත් දින තුනක් පමණ ගෙවි ගියේ මුලු නෞකාවම මූසල කරවමින්ය. ප්‍රචන්ඩවූ සයුර  දිගටම අපට පහරදුන්නාය. අනතුරින් පසුව සිදුවූ අභාග්‍ය සම්පන්න සිදුවීමෙන් කිසිවෙකුගෙත් මුහුනුවල සිනහවක් දකින්ට නොලැබුනි. 


ශීතාගාරයේ තැම්පත් කළ සිරුර




අවසන් වරට ලීයු ප්‍රධාන නිලධාරියාගේ අත් අකුරු





නියමිත ලෙසින් ප්‍රතිකාර කළේ නම් අකාලයේ මිය නොයා අදටත් ඔහු ජීවතුන් අතර සිටින්නට තිබුනි. ඔලුව ඉහළට සිටින්නටත් තුවාලවූ කකුල පහළට සිටින්නටත් තැබිමෙන් රුධිර වහනය වැඩිවීමත්. රබර් බූටය ගලවා රුධිර වහනය නවතා දමන්නට කටයුතු නොකිරීමත් නිසා ප්‍රධාන නිලධාරියා ගලවාගන්නට නොහැකි විය. ඔහු මියගිය පසුව රබර් බුටය ගලවා ඉවත් කළ අතර එය රුධිරයෙන් පිරි තිබූ බව පසුව දැනගතිමි. ඔහු මියගියේ  වෛද්‍ය නිලධාරියාවු දෙවන නිලධාරියාගෙත් කපිතාන්ගෙත් නොසැකිල්ල නිසා බවත් ඔවුන්ගේ අණට ඉහලින් යන්නට නොහැකි බැවින් සියල්ලන් සිටියේ කරබාගෙන බවත් මෙහි ලියන්නට සිදුවේ. මේ කාල සීමාවේ තවත් සිදුවිම් බොහෝ සිදුවූවත් ලිපිය දිග වැඩිවන බැවින් නොලියමි.

ඒ සිදුවීම සිදුව වසර ගනනාවක් ගතවූවත් එය මතකයට එන සෑම වාරයකදීම අපට ඔහු බේරාගන්නට තිබූ බවට අදටත් මාගේ හදවත මුරගායි.  






42 comments:

  1. එක හුස්මට කියෙව්වා. හරිම කලකිරීමක් ඇති වුනා වගේම බයකුත් ඇතිවුනා. මෙවැනි නොසැලකිලිමත්, අඥාදායකයින් යටතේ, මහ සයුරක් මැද කොටුවෙන එක කොච්චර භයානකද කියලත් හිතුනා. හරියට හොරර් ෆිල්ම් එකක් බැලුව වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ජීවිතයේ ගෙවුනු මූසලම දවස් ටික එ දවස් ටිකයි. මෙතැන නොලියවුනු මේ දැතර මැදි සිදුවීම් හා ඊට පසු සිදුවීම් ගොඩාක් තිබුනා. නැවේ chife mate ට මෙවැනි දෙයක් උනා නම් පොඩි rank වල හිටපු අපිට මොන සරණක්ද කියලා හිතුනා. නාවික රස්සාව අත හරින්නත් මෙය බලපාන්නත් ඇති.

      Delete
  2. අනුවණ ලොක්කො හැම තැනමත් සිටිති ලොවේ
    වැඩිවෙන තරමටම උන්, අපි අමාරුවේ
    වැටෙනව නේද කියලත් කවුරුද හිතුවේ
    නොහිතපු අය වැඩියි, දැන් අපි ගිලෙන නැවේ!

    ReplyDelete
    Replies
    1. මැරුනු එකාගේ කටේ පස් වැටුනත්
      නොමළ උන්ගේ බඩ පුරවයි උනු බත්
      චන්ඩ රළින නැව නොවුවත් දියබත්
      සාක්කි නැතිව උන් සැම ගැලවෙත්

      Delete
  3. https://readcomiconline.li/Comic/Mutiny

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/Category:Naval_mutinies
      නැව්වල කැරලි.
      ඔබතුමාල කැරලි ගහල නැද්ද?

      Delete
    2. කැරලි ගැහුවොත් එක්කෝ මුහුදේ නැත්නම් ඊලග පෝට් එකෙන් දන්නෙම නැතිව reliever ඇවිත් නැව එනකම් පියර් එකට වෙලා ඉදිවි. ගෙදර ගිහින් නැව් රස්සාව නැතිව ලනු කැරලි අඹරන්නයි තල කැරලි හදන්නයි වෙන්නේ.

      Delete
    3. https://www.latimes.com/archives/la-xpm-1991-07-16-vw-2465-story.html

      Delete
  4. ඔබතුමාට මෙවැනි සිදුවීම් වලදී ජීවිතය ගලවා ගන්නට හැකිවූයේ ඔබතුමා ගුණයහපත් ක්‍රිස්තියානිකාරයෙක් නිසා. දෙවියන් කෙරෙහි ඇති අචල විශ්වාශය ඉදිරියටත් තබා ගන්න මහත්මයා.

    ReplyDelete
    Replies
    1. ඔබත් පොසයිඩන් දෙවිපිහිටාධාර නිරතුරුවම ලැබේවා..

      Delete
  5. වෛද්‍ය නිලධාරියට දාල තියෙන්නෙ මාර පොරක්නෙ. ඔය වගේ මිනිස්සුත් එක්ක මුහුදක් මැද කොටු උනොත් දෙයියන්ටවත් බේරගන්න හම්බවෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. දෙවැනියා මැරුනු කෙනාගේ තැන ගන්න බලාගෙන හිටියාදෝ කියලත් පස්සේ වෙච්චි දේවල් වලින් හිතුනා.
      ලංකාවේ වෙළද නාවික කාර්්‍යාලයේ තියෙන්නේ අමුතුම නිති. මේවා අන්තර්ජාතික නිතියක්ද දන්නේ නෑ. සාමාන්‍ය නාවිකයින්ට සෑම අවුරුදු 3 කටම සැරයක් මුලික ප්‍රථමාධාර පාඨමාලාවක් කරලා සහතිකයක් ගන්න ඔනේ. නමුත් නැවේ නිලධාරින්ට කරන්න තියෙන ඇඩ්වාන්ස් මෙඩිකල් පාඨමාලාවේ සහතිකය ජීවිත කාලයටම වලංගුයි. උන්ගෙන් බේත් ගත්තොත් සොරිම තමා. තමන්ගේ හිසට තම අතමය සෙවනැල්ල කියලා කියමනක් තියේනවානේ...

      Delete
    2. මටත් එන හැඟීම, වෘතීයමය නොසැලකිල්ල නිසා වූ මරණයක් කියලයි. මරණයකට වඩා අනියම් මිනීමැරුමක්. අනතුර සිදුවුනේ හොඳ චේතනාවෙන් රාජකාරිය කරන්න ගිහිල්ලා නෙව? එකම ප්‍රශ්නය, අදාල ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කලාද කියන එක. එහෙම වුනත්, සතෙක් වගේ මැරෙන්න ඇරියෙ ඔය ලොක්කො අමනුස්සයොද?

      මරණ එකයි, මැරෙන එකයි රස්සාවට කරන සොල්දාදුවන්ට ඔයිට වඩා සැලකිල්ලක් ලැබෙනවා.

      Delete
    3. අනපේක්ශිත අනතුරක් මරණය වලක්වාගන්න හොදටම අවස්තාව තිබුනා. අහිංසක මෝඩ OS කෙනෙක් අල්ලාගෙන බොරු සාක්කි හදලා කොම්පැනියට රිපොර්ට් එකක් යවලා එයාලා බේරුනා.

      Delete
  6. අඩේ... සෙකන්ඩ් ඔෆිසර්ගේ වැඩවලට කැප්ටන්ට ඇඟිලිගහන්නත් බැරිද?

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නාගේම වැරදි නිසානේ මෙහෙම උනේ. මම මේක ලිව්වා මිසක් වෙන එකෙක් වත් මේ ගැන වචනයක් කතා කරලා නෑ.

      Delete
    2. සැලෙන්න එපා! මෙහෙම ඒවා කියවන ලොකු ලොක්කො, උපදේශකයෝ, තොරතුරු එකතු කරන්නො අපේ රටේ නෑ... මම කියන්නේ රාජකාරියෙන් කරන්නට ඉන්නා අය.

      Delete
    3. මේක කියයෙව්වත් මේ නිති වෙනස් නොවේවි. මේ නිති හින්දා නාවික පුහුනු පාසල් හොදට හම්බ කරගන්නවා.

      Delete
  7. නිල බලයෙන් ලබන වෛද්‍ය පත්වීමක්? පුදුමයි.

    ReplyDelete
    Replies
    1. සෑම වෙළද නැවකම එහෙම තමයි. ඕනෑ නම් Radio medical assistance/ advice ගන්න පුලුවන්.

      Delete
  8. කැප්ටන්ලා දෙදෙනෙකු ඇයි?

    ReplyDelete
    Replies
    1. මට තේරුනේ නෑ..
      ලොව ඕනෑම නැවක ඉන්නේ එක කපිතාන් කෙනයි නමුත් මීට පෙර ලංකාවේ නැව් සමාගමකට අයත් නැවක කපිතාන්ලා දෙන්නෙකු සිටියා. මටත් එහි සේවය කරන්නත් සිදුවුනා. මාර අච්චාරුවක් තමයි.

      Delete
    2. ඔබේ ලිපියේ එක් තැනක කැප්ටන් කියා ඇත තවත් තැනක ශ්‍රී ලාංකික කැප්ටන් කියා ඇත. පැත්ත අවසානයේ කපිතාන් යැයි කියා ඇත. මට අපැහැදිලි වුනේ ඒ නිසයි. ලිපිය ආරම්භයේදීම මෙම නැවේ ැප්ටන් ශ්‍රී ලාංකික කියයි කියවන්නට ලැබුණි නම් ඉන්පසු කැප්ටන් හෝ කපිතාන් ඇයි සඳහන් කරන හැම තැනකම අපට ඒ කවුද කියා වැටහේ.

      -රසික

      Delete
    3. සමාවෙන්න මම පුලුවන් තරම් උත්සාහ කළේ සිංහල භාෂාවෙන් ලියන්නයි.

      Delete
  9. මට හිතාගන්න බැරි, ඔය වගේ පට්ට කාළකන්ණි වැඩ කරන නැවියො, (සමහරක් මං කියන්නෙ) ගෙදර ආවම පොදු සමාජයෙ හැසිරෙන්නෙත් ඔය විදිහට ද?

    ReplyDelete
    Replies
    1. දුෂ්ඨයෝ හැමතැනකම ඉන්නවානේ. කාට බොරු කළත් තමන්ගේ හදවත දන්නවා ඇතිනේ කරපු කියපු දේ..

      Delete
  10. ධීවරේ ඉන්න කාලෙ, අපේ සමහර නිලධාරි යනව, ලොකු බහුදින යාත්‍රාවල නිරීක්ෂණයට. ගිහිං ආවම ත් ඔය වගේ පට්ට මුස්පේන්තු, ඒකාධිපති, නීතිය සහ අයිතිවාසිකම් බල්ලට දාල වැඩ කරන එවුං ගැන විස්තර කියනව. අරක මාර ෂොකිං සිදුවීමක් නෙව. ඒ අතින් ගත්තම, අර පරණ පොත්වල කියන “කැප්ටන් ආහබ්“, “ලෝං ජෝන් සිල්වර්“ වගේ උදවිය හෙණ අහංසකයි කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ලාංකික අපේ ජාතියේ හැටියක් වෙන්න ඕනේ

      Delete
  11. මාත් ඇවිත් එක හුස්මට කියෙව්වා. ලියල තියෙන විදිහ නම් කියවන්න තරමක් අමාරුයි අසංග. ඒත් ලියල තියෙන කන්ටෙක්ස්ට් එක අනුව ඒකට සමාවක් දෙන්න පුළුවන්.

    මේ වගේ තක්කඩි, ආත්මාර්ථකාමී මිනිස්සු කොයි තැනත් ඉන්නව. ඉතින් සමහරවිට මුහුදෙ වෙන මොනිටර් කිරීමේ ක්‍රමවේදයක් හෝ මහා සමාජයේ බලපෑමක් හෝ ඉතාම අඩුවෙන් තියෙන නිසා, කොතනත් දකින්න තියෙන අඳරු පැත්තට තියෙන අවස්ථාව සහ නිදහස නැවකදි ගොඩක් ම හමු වෙනව කියල හිතෙනව.

    දැන් යනව අසංග මීට කලින් ලියල තියෙන ඒව කියවන්න. මුල ඉඳන් කියවන්න වෙලාව ලැබෙයි, ඒත් මුලින් ම කියවන්නෙ අසංග ලියල තියෙන කතා... වම්හ කිව්ව ඔයා හොඳ කතා දෙකක් ලියල තියෙනව කියල.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒකත් හිතන්න යමක්...

      Delete
    2. තාරා, මම ඔයාට රෙකමන්ඩ් කරන්නෙ, ඉස්සෙල්ලම කියවන්න “හෝරස් ගේ පුත්‍රයා“. පට්ට ක්ලැසික් කතාවක්. අනික් කතාව අර ඒකාලෙ සුගතපාල ද සිල්වා වගේ උදවිය ලියන විදිහෙ යාතාර්ථවාදී කතාවක්.

      (මම දන්නෑ ඉතිං ඔයාගෙ ටේස්ට් එක)

      Delete
    3. පළමුව ස්තූතියි කියන්න ඕනේ ගොඩවැදුනාට. වම්හටත් ස්තූතියි රෙකමදාරුවට. ඇත්තෙන්ම මේක ලියන්නත් බොහෝ කාලයක් ගත්තා. හරිම අසීරුවෙන් අකුරු කළේ තවම ජීවත්වෙලා ඉන්න මෙයට සම්බන්ද හා නැවේ වැඩකල අයගේ නම් මෙතැන සදහන් නොකරන්න. පරණ ඒවා කියවා හොද නරක කියන්න.

      Delete
    4. මාත් ඇප වෙනවා, හොරස්ගේ පුත්‍රයා මරේ මරු!

      Delete
  12. මාත් ඕක්කොම කියෙව්වා එක හුස්මටම.
    නැවක ගිහිල්ලම නැති නිසා මුලින්ම ටිකේ ආසාවක් ආවා. අන්තිමට නම් නැවකට යන්න ඕනිත් නැ වගේ හිතුනා. පවු අර මැරුණ කෙනා.

    ඇයි පහල නිලදාරීන් ට ඉහල නිලදාරීන්ව ප්‍රශ්න කරන්නවත් දෙන්නෙ නැත්තෙ? තාමත් එහෙමම ද?

    ReplyDelete
    Replies
    1. නැවක රස්සාවක් කියන්නේ හොද වැටුපක් ගන්න රුපිය අවප්‍රමාණය වෙන හින්දා තවත් වැඩි නමුත් අවධානම වැඩි රස්සාවක්. අනතුරක් කුමන රස්සවක් කළත් වෙන්න පුලුවන්.
      ඉහළ අයව ප්‍රශ්ණ කරන්න පුලුවන් තත්වයක් එදා තිබුනේ නෑ. අද තියේනවාද කියලා දන්නේ නෑ.

      Delete
  13. හප්පා බොහොම දරුණු අත්දැකීමක් නේ මචං. නැව් වල ගිහින් තියෙන්නේ ඉංග්‍රීසි ඕඩයේ සහ රුසියාවේ පමණයි. ඒවා ඉතින් මගී නෞකා.
    -යුකීනීයානු - මේ යුක්රේනියානු කියන එකද ලීවේ. යුක්‍රෙනියන් වැසියන්.
    මට ප්‍රශං කිහිපයක් ආව . නාවේ ප්‍රථමාධාර දෙන අයෙකු අනිවාර්යයෙන්ම සිටිය යුතුයි නේද?
    සාමාන්‍යයෙන් helath & safety රූල් වලට අනුව හැමෝටම යම් හෝ පුහුණුවක් දෙන්නේ නැත්ද හදිසි අවස්තවකදී ක්‍රියා කරන්න. මා සිටි රටවල දෙන නිසා ඇහුවේ.
    ලේ ගලන කේ නවත්වන්න කකුල උඩින් කලිසමේ බෙල්ට් එකින් පටියකින් කවුරුවත් බැන්දේ නැත්තේ ඇයි ? ඒක සාමාන්‍ය හැමෝම දන්නා ප්‍රථමාධාර ක්‍රමයක් නේ. ඔයාලට එහෙම initiative එකක් ගන්න තහනම්ද ? කැප්ටන් ලට විරුද්ධව කවුරුත් complain කළේ නැත්ද? 1800 ගණන් වල පවා එංගලන්තයේ නැව් සම්බන්ධව එහෙම ක්‍රියා කලානේ. නැවක ලොග් බුක් එකක් තියනවනේ

    ReplyDelete
    Replies
    1. පලමුව කියන්න ඕනේ මියගිය නිළධාරියටෙ ඉහළින් හා පහලින් තනතුරු දෙකේ හිටියේ සිරි ලාංකිකයන් දෙදෙනෙක් විත්තිය. අපේ උන් ඉන්න තැන අවුල් ජාලයක් කියලා වෙනම කියන්න අවශ්‍ය නෑ නේද? කේලාම් බෙලි කැපිලි රන්ඩු ඇතුලු එකී මෙකී නොකී දේවල් රාශියක් තියේනවා.
      ප්‍රථමාධාර පහළ සේවකයන්ට අනිවාර්්‍යයෙන්ම අවුරුදු 3 කට සැරයක් කෝස් එකක් කරලා සහතිකය අලුත් කරන්නට ඕනේ වෙන්නේ ඉහල නිලධාරින්ට ජිවිතකාලයටම බලපාන ප්‍රථමාධාර කෝස් එකකින් සහතිකයක් ලැබෙන හින්දා වෙන්නැති.
      නැවේ මෙඩි්කල් ඔෆිස් කෙනෙක් පත්කරළා තියෙද්දි එයාගේ කටයුතුවලට පිටින් යන්න හයියක් තිබුනේ නෑ. අනික එතැන ඉන්නේ නැතිව ගිහිල්ලා වැඩ කරපියව් කියලා හොස්පිටල් රූම් එකෙන් පැන්නුවාට පස්සේ කළහැකි දෙයක් නෑ.
      තුන්වන නිලධාරි යුක්රේනියානු
      ප්‍රධාන එන්ජිනේරු බල්ගේරියන්
      දෙවනියා යුක්රේනියානු
      තුන්වැනියා රුසියානු
      පූට්ටුවා හෙවත් ෆිටර් පෝලන්ත
      විදුලියා පෝලන්ත
      බෝසන් රුසියානු
      උන් එකෙක් වත් මේ ගැන කතාකලේවත් නෑ. බෝසන් ඇරෙන්න අනෙක් උන් පැත්ත පලාතෙකට ආවෙත් නෑ.

      Delete
  14. දැනුයි කියෙව්වේ! මගෙ වත් පොතේ බෙදා හැරියාටදැනුයි කියවන්න ලැබුනේ! ඇත්තටම රැකියාව තුල මෙවන් අවසනාවන්ත සිදුවීම් වලට මුහුණ දෙන්නට සිදුවෙනවා; තීරන ගන්නා අයගේ අනුවන ක්‍රියා නිසාම!
    අනෙක ගොඩබිමදී වගේ නෙවෙයි මුහුද මැදදී ගන්න තීන්දු තීරන! අපේ රට දිහා බැලුවත් තේරෙණවනේ තීරණ ගැනීමට වන කල් මැරීම හා වැරදි තීන්දු ගැනීමෙන් මොනතරම් දෙනෙකුට ජීවිත අවදානමක් තියේද කියලා. ඉතිං මෙහෙම එකෙක් නැවක කප්පිත්තෙක් උනොත් අබ සරණයි! ඉස්සරහට වඩා රිවර්ස් එකට යයි නැව!

    මේ ගැන ගැඹුරින් කථා කරණ්න තිවුනු අවස්ථාවත් මග ඇරුණා! ඉදිරියේ බලමු!

    ReplyDelete
    Replies
    1. හරි වේලාවට හරි තින්දු ගන්න ඕනේ නැත්නම් ඒවා නැවත හරිගස්සන්න බැරි විදිහට වැරදෙනවා. අපේ රටත් දැන් යන්නේ රිවස් එකටවාගේ. අපේ හමුවත් කල්දැමිම ගත්තු නිවැරදි තීරණයක් වෙන්න ඇති.

      Delete
  15. Replies
    1. නාවිකයෙක් ලබනා අන්තිම දරුණු අත්දැකීමක් තමයි. බෝහෝම ස්තූතියි මුදියන්සේ මලයා ගොඩවැදුනාට

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

ප්‍රචන්ඩ රළ මැද අනතුරක් - සයුරේ දසවසක්

දස වසරක මාගේ නාවික දිවියේ ලැබූ අත්දැකීම් හා සිදුවීම් බොහොමයි. ඒවා හොඳ හා නරක සම්මිශ්‍රණයක් වෙනවා. මෙතැන් පටන් ලියවෙන්නේ නාවිකයෙක්ගේ නාවික දි...