Monday, August 13, 2018

ගාල්ලෙන් වැඩ ඇරඹිම - සයුරේ දසවසක් - 2

ඇදුම්  බැගයත් උරයේ එල්ලාගෙන ඇළුමිනියම් ලෝහයෙන් තනා තිබු කුඩා ගැන්වේය (Gang Way) තරණය කිරිම ලෙහෙසි කටයුත්තක් නොවිය. බඩුබාහිරාදිය පටවා නැති හිස්ව තිබෙනා නෞකාවක ගැන්වේ  එක නැගිම මහගිරිදඹය තරණය කිරිමක් සේය. තුම්මුනින් දහඩිය දමමින් නැවේ මේන් ඩෙක් (Main Deck) එකට ගොඩවුනු පසුව හාත්පස නිරීක්ෂණය කරන්නට වීමි. 


මේ තියෙන්නේ මාගේ මුුල්ම නෞකාවේ පැරණි ඡයාරූපයක්


විවිධ වර්ණ  ඕවරෝල් (Overall) හැඳ සිටිනා නැවියන් පිරිසක් එක් පසෙකින් තට්ටුවේ තීන්ත ආලේප කරමින් සිටියහ. තවත් කිහිප දෙනෙකු ඩෙරික් (Derrick) එකක සිට පහළට ආ වයරයක (Wire rope) ග‍්‍රීස් තවරමින් සිටියහ. තවදුරටත් එතැන රැඳිය නොහැකි වූයේ පරීක්ෂාකාරී ඇස් කිහිපයක් මා දෙසට යොමු වන්නට වීම බැවිනි. මේන් ඩෙක් එක හරහා ඇවිද ගොස් ඇකමඩේෂන් (Accommodation) එකට ඇතුලුවුනෙමි. යන එන මාර්ගයක් සොයාගත නොහැකිව වට පිට බලද්දි මා ඉදිරියට ආ පුද්ගලයෙකුගෙන් නැවේ කපිතාන්වරයා කොහේදැයි ඇසුවෙමි.
”අද කැප්ටන් ගෙදර ගිහිල්ලා. ඇයි මොකක්ද වුවමනාව?”
”මම ටේ‍්‍රනින්......... මේ මගේ ඩොකිියුමන්ට් ටික දෙන්න.”
”ආ...... උඩට ගිහිල්ලා වම් පැත්තේ කැබින් එකේ චීෆ් ඔපිසර් ඇති. එයාට දෙන්න.”
කට කොනකට මද සිනාවක් නගා ගත් ඔහු මාගේ හිස සිට දෙපතුළ දක්වා විමසිලිමත් බැල්මක් දැමීය. ඔහු කී මග සළකුණු ඔස්සේ තරප්පු පෙළ නැග ඊළඟ තට්ටුවේ පිහිටි කාමර පෙළකට ඇතුලූ වීමි. එක සමාන වසා තිබූ දොරටු වලින් යුතු කාමර පෙළෙහි චීෆ් ඔපිසර්ගේ කාමරය එකවරම සොයා ගත නොහැකිවුනි. එහෙත් එම කාමරයෙහි ඉහළින් නම සඳහන් වීම නිසාවෙන් කාමර කිහිපයක් පසුකරගෙන ගොස් සොයාගත් නියමිත කැබීන් කාමරයේ දොරට තට්ටු කිහිපයක් දැමූ පසු
”එන්න.”
ඇතුලතින් ආරාධනයක් ලැබුණි. කුඩා කාමරයේ මේසය මත කඩදාසි ගොඩක් තබාගෙන ලියමින් සිටි පුද්ගලයෙකු මා දෙසවත් නොබලා තම රාජකාරියේ යෙදී සිටියේය. මැදිවිය පසු කරමින් සිටින තළෙලූ හා මුහුණ පුරා රැවුල වවා සිටියෙකු වූ ඔහු දෙස නිහඬව බලා සිටියේ ඔහුගේ කාර්යය අවසන් වන තුරුය. මාගේ නිහඬතාවය නිසාවෙන් තම වැඩ කොටස නවතා දමා හිස ඔසවා බලා තම උපැස් යුවල ගලවා අතට ගත්තේය.
”ඇයි?”
”මම අලූතින් ආපු ටේ‍්‍රනින්.....”
”කෝ ඔයාගේ ඩොකිියුමන්ට්ස් ටික දෙන්න. මම කැප්ටන් ආපුවාම බාර දෙන්නම්.”
මා අත තිබූ ලිපිකවරය ඔහුට භාර කළෙමි. ඔහු එය විවෘත කර අදාල සියලූ දේ එතැන ඇද්දැයි පරීක්ෂාකර බලා
”එහෙනම් දැන් ගිහිල්ලා චීෆ් ඉන්ජිනියර්ව මුණ ගැහෙන්න. එයා දැන් නම් ඇත්තේ එන්ජින් රූම් එකේ. එන්න කෝකටත් අපි බලමු කැබින් එකේ ඉන්නවාද කියලා.”
ඔහු තම අසුනින් නැගිට මා කැටිව වම් පැත්තේ කැබින් පෙළට රැගෙන ගියේය. එහි වූ දොරකට තට්ටු කළ ඔහු දොර විවර කර බැලීය.
තෙල් ගෑවුණු  ඕවරෝලයක් හැඳ කැබිනයේ වූ කුඩා සෝපාවේ නිදා හුන් ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා එකවරම කාමරයේ දොර විවර කරන හඬින් තිගැස්සී අවදිවුනි.
”ආ මෙන්න අලූත් ගෝලයෙක් ඇවිල්ලා.”
ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා තම සෝපාවේ අසුන් ගත්තේය.
”කොහෙන්ද ගාල්ලේ එකෙන්ද?”
”ඔව්”
”නම මොකක්ද?”
”අසංග”
”ගෙවල්?”
”ගල්කිස්සේ”
”ඔයාලගෙ එකෙන් ආව කෙනෙක් ඉන්නවා එයාව දන්නවාද?”
”ඔව් චීෆ් එයා මගෙ බැච් එකේ.”
”ඉන්න.”
ඔහු මේසය පසෙක තිබූ ටෙලිෆෝනය ගෙන අංකයක් ඔබා කාටදෝ ඇමතුමක් දීය. විනාඩි පහක් ඇතුළත මගේ බැච් මේට් කඩ්ඩා ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාගේ කාමරය ඉදිරියේ දිස්විය. ඔහු මා දෙස බලා මද සිනහවක් පෑවේය.
”ඔව් චීෆ්”
මෙයා ඔයාගෙ බැච් එකේ නේද?
”ඔව් චීෆ්”
”එහෙනම් මෙයාව එක්කගෙන ගිහිල්ලා කැබින් එක පෙන්නන්න. ඊට පස්සෙ එන්ජින් රූම් එකට එක්කන් ගිහිල්ලා සෙකන්ඩ් ඉන්ජිනියර්ට භාර දෙන්න.” කී ඔහු යළිත් තම කුඩා සෝපාවේ ඇලවිය.
”යමු මචං.”
කඩ්ඩා මට ඉස්සර විය. මා ඔහු පිටිපසින් ගමන් කළේ පිටසක්වලින් ආ ජීවියෙකු මෙනි. යළිත් තරප්පු පෙළ තට්ටුවක් බැස ආ අපි
”මේ තියෙන්නෙ අපේ මෙස් රූම් (Mess Room) එක එහායින් තියෙන්නේ ගැලිය.(Galley)”
 කී ඔහු මෙස් එක අසලින් වූ තරප්පු පෙළක් බැස යට තට්ටුවට මා රැගෙන ගියේය. පහළ තට්ටුවට තරප්පු පෙළ මතින් පහලට ආ පසු මේ තට්ටුව වම්  හා දකුණු පසට ඇලිවේ එක දෙපසට බෙදී යයි. මැදින් වූයේ එන්ජින් කාමරයයි. තරප්පු පෙළ පසුපසින් ඇතුළට විහිදුන කුඩා පැසේජයක් වූයේ නැවේ සුක්කානම් කාමරය හෙවත් ස්ටියරින් රූම් එක හමුවෙයි. එය ආසන්නයේ වූ කාමරය වූයේ වියළි ආහාර ගබඩාවයි. මෙම තට්ටුව නැවේ ප‍්‍රධාන තට්ටුවට පහළින් වූ තට්ටුව වූ අතර නැව බඩු වලින් පිරුණු කල වතුර මට්ටමට ආසන්නයේ අඩි දෙක තුනක් පහළින් පැවතියේය. තරප්පු පෙළින් දකුණු පසට වන්නට වූ කාමර පෙළෙහි තුන්වන කැබින් කාමරය වෙත මාව රැගෙන ගිය කඞ්ඩා,
”මෙන්න මේ කැබින් එකේ තමයි දැනට ඉන්න වෙන්නෙ. පේනවා නේද ඔක්කොම කැබින් ගලවලා දාලා තියෙන්නෙ.” යි කීය.
”කොහෙද බං ඇඳුම් බෑග් එක තියන්නේ?”
හැම තැනම බෑග් ඇඳුම් කැඩුම් දමා ඉතාමත් අපිළිවෙළකට තිබූ එම කැබින් කාමරයේ බෑගය තබා ගැනීමටවත් ඉඩක් නොතිබූ ගානය. ඇඳ ඇතිරිලි පොඩිවී ගොස්ය. කොට්ටයේ උරය පවා කිළිටි වී ගොස් ඇත. එම කැබින් කාමරයේ ඇඳවල් දෙකක් වූ අතර ඉහළින් හා පහළින් වශයෙන් ඩබල් ඇඳන් දෙකකින් යුක්තවුනි.
”දැනට ඔය උඩ ඇඳින් තියහං. එහෙනම් ඉක්මනට  ඕවරෝල් එක දාගෙන පහළට වරෙන්. මම දැන් ඩියුටි ඉන්නෙ. ඉක්මනට පහළට යන්න  ඕනෙ.”
”මචං මාර බඩගිනියි බං. තාම දවල්ට කාලාත් නෑ.”
”දැන් කෑම තියෙයිද දන්නෑ. වරෙන් ගැලියට ගිහිල්ලා බලමු.”
අප දෙදෙනා තරප්පු පෙළ නැග ඉහළ තට්ටුවේ වූ මුළුතැන්ගෙට පිවිසියෙමු. මුළුතැන්ගෙට එබී බැලූ කඞ්ඩා එහි වූ අරක්කැමියාගෙන් කෑමට යමක් තිබේදැයි විමසීය. ඒ වන විටත් නැවේ සියල්ලන්ම කෑම ගෙන අවසන් වී ඇති බවත් දැනට උයපු භාජන සෝදා දමමින් සිටින බවත් ඔහු පැවසීය. ඉතිරි වූ අලූකෙහෙල් ව්‍යාංජනයක් හා බත් ලැබුනායින් මා ඉක්මනින් කටට දෙකට ගිලදැමුවේ ඉතාමත් කුසගින්නේ සිටි බැවිනි. පහළ තට්ටුවේ තිබූ කැබින් කාමර වල බිත්ති වෙන් කර තිබූ ෆෝමිකා ඇල වූ ලෑලි විශේෂයක් වූ අතර මේ  පැනල (Paneling) හා යකඩ තහඩුව අතර ඇතුළතින් ගිනි නොගැනීමට ග්ලාස්වුල් (Glass Wool)නම් පරිවාරක ද්‍රව්‍ය යොදා තිබුනි. නැව් බඳහි දිරාපත් වූ සමහර කොටස් කපා දමා අලූත් යකඩ තහඩු යොදා පෑස්සුම් කරන බැවින් පහළ තට්ටුවේ කැබින් කාමරයෙහි ලෑලි පැනලින් ගලවා දමා තිබුණි. ඇලි වේ එක නොහොත් ගමන් ගන්නා පැසේජයේවත් යෑමට නොහැකි වන පරිදි තැනින් තැන කාමරවලින් ගැලවූ ලෑලි ගොඩ ගසා තිබුණි. කැබින් කාමර ගලවා දැමීම නිසාවෙන් එම කාමර වල විසුවන් නොගලවා තිබු කාමරවල තම ඇඳුම් හා බඩු බාහිරාදිය තබා තිබුණායින් එම කාමර වූයේ යකා නැටූ පිට්ටනියක් සේ ඉතා අපිරිසිදුව දිස් වූනි. 

        කෑවායින් නොකෑවායින් මා පහළ තට්ටුවේ කැබින් කාමරයට ගොස් ඇඳුම් මාරුකරගෙන එන්ජින් කාමරය (Engine room) වෙත ගමන් කළෙමි. අපගේ කැබින් කාමර වූ තට්ටුවට තරපුවෙන් බැස වම්පසට හැරී මීටර් පහක් පමණ ඉදිරියට ගිය විට දකුණු පැත්තට වන්නට වූ යකඩින් නිමවු ජල මුද්‍රිත දොරක් (Water tight Door)විය. මෙම යකඩ දොර වටේට ඇති අඟුල් එළියෙන් හා ඇතුළින් විවර කළ හැකි ලෙසින් ඇති අතර එවා තදකර ජලය ඇතුළට කාන්දු නොවනා සේ මුද්‍රා තැබිය හැකි වන ලෙසින් සකසා තිබුණි. මෙම දොර විවර කරන සෑම විටකදීම එන්ජින් කාමරය තුළින් නැගෙනා කඨෝර ශබ්දයන් එළියට ගලා ඒම සිදුවන්නට විය. එහි අගුල පන්නා දොර විවර කරගෙන එන්ජින් කාමරයට ඇතුලූ වූ විගසම කන් අඩි පලන්නාක් මෙන් එහි වූ අධික ශබ්දය මොළය සිසාරා ගමන් කරන්නට විය. ඉහළ සිට පහළට දිවෙනා විවිධාකාර වූ පයිප්ප බටද යන්ත‍්‍ර සූත‍්‍රයන්ද මාගේ දෙනෙත් වලට අසුවුනි. මෙයට පෙර නාවික පුහුණු පාසලේ ඉගෙනුම ලබද්දී ගාල්ල වරායේ තවත් නෞකාවකට අපව ගෙනවිත් පෙන්වූ එන්ජින් කාමරය ලෙසින් නොව හතර අත ගලවා දැමූ යන්ත‍්‍රසූත‍්‍ර වල කොටස් හා විවධාකාර ප‍්‍රමාණයෙන් යුතු ලොකු කුඩා පයිප්පද විය. සමහර ස්ථානයන් හි පොලවට අතුරා තිබු යකඩ තහඩු නොමැතිවිය. තැනක ඉතාමත් අපිළිවෙළකට දැමූ යකඩ තහඩු ගොඩකි. මා හිමිහිට තරප්පු පෙළ බැස පහළ තට්ටුවට ගොඩ බැස්සෙමි. 

         පසෙකවූ ඞීසල් තෙල් බාල්දියකට යමක් දමමින් සිටි මාගේ මිතුරා මා හට ඔහු සමඟින් එන ලෙස ඉඟි කළේය. මා මේ වන විට සිටියේ අධික ශබ්දයෙනුත් මේ වන විට එන්ජින් කාමරයේ ක‍්‍රියාකාරිත්වයේ තිබෙන විදුලි උත්පාදක යන්ත‍්‍ර දෙකකින් ශබ්දයෙනුත් රස්නයෙනුත් තෙහෙට්ටු වීගෙනය. කඞ්ඩාගේ පසුපසින් ගිය මා එන්ජින් කාමරයේ පසෙක වූ යම් වැඩක නිරත වූ කෙනෙක් ළඟට ගොස් ඔහුගේ කනට කොඳුරා යමක් කිව්වේය. ඔහු තම වැඩය නවතා මා දෙස තම පරීක්ෂාකාරී නෙත් යොමුකර හිසේ සිට පාදාන්තය තෙක් පරීක්ෂාකර බැලීය. පසෙක යම් වැඩක සිටි දෙදෙනෙකු පෙන්වා ඔවුන්ට උදව් කරන ලෙස කී ඔහු යළිත් තම වැඩයට හිස යොමා ගත්තේය. පසෙක ගලවා තිබූ යම්ක් සවි කරමින් සිටි දෙදෙනෙකු වෙත මා ගිය අතර  කැබලිවලට ගලවා දමා තිබූ එම උපාංගය කුමක්දැයි හඳුනාගත නොහැකි වූ මම ඔවුන් කරනා දෙය දෙස බලා සිටින්නට වීමි. අධික ශබ්දය නිසාවෙන් ඔවුන් පවසනා කිසිදු දෙයක් මාගේ සවනට නොවැටුන බැවින් මා ඔවුන් දෙස බලා සිටිනු විනා වෙන කළ හැකි දෙයක් නොවුණි. පසුව දැනගත් පරිදි එය ටියුබ් වර්ගයේ එන්ජින් ඔයිල් කූලර් (Tube type Lubricating Oil Cooler) එකක් විය.  ඔවුන්ගේ වැඩ දෙස බලාසිටින්නෙකු එතැන සිටීම නොරිස්සූ ඔවුන් දෙදෙනා මා එම කූලරයේ කවරය ඔසවාලීමට උදව් කරන ලෙස මාගේ කනට කෑගසා කීවෝය. චේන් බොලොක්කයක් ආධාරයෙන් ඔසවා ගත් එය පයිප්ප කිහිපයක් ඇතුළතින් රිංගා ගොස් සවි කිරීම ඉතා අසීරු කටයුත්තක් විය. නියමිත  ඇණ තව්වලට සරිලන සේ එම කවරය සමපාත කරගැනීමට මා මාගේ දෑත්වලින් එම කවරය ඔසවාගෙන රඳවාගෙන සිටියේ ඇණ තව්වට ඇණයක් රිංගවා කවරය සවි කරගැනීමේ මූලික කොටස සම්පූර්ණ වන තෙක්ය. එහි වූ අධික බර මි හට දරාගත නොහැකිව මිගේ දෑත් වෙව්ලන්නට පටත්ගත්තේය. කෙසේ හෝ ඇණ තව්වකට ඇණයක් රිංගවාගෙන කූලර් කවරය සවිකරගැනීමට හැකිවීම මාගේ නාවික ජීවිතයේ පළමුව කළ වැඩය විය. ඉන් අනතුරුව එම කවරයට අදාළව තෙල් හා ජලය රැගෙන එන හා පිටවන නල එයට සවිකර අවසන්කරන්නට හැකිවුනි. එම කූලර්කවරය (Cooler Cover) සවිකරමින් සිටිඑක් අයෙකුවුයේ සමාගමෙන් තාවකාලිකව මෙම නැවට අනුයුක්ත කර එවන ලද දෙවන ඉන්ජිනේරුවරයෙකුය. ඔහු වැඩ අවසානයේ මගේ පිටට තට්ටුවක් දමමින් එන්ජින් කාමරයෙනි එළියට යන්නට ගියේ සිගරුට්ටුවක් දල්වා ගැනීමට විය යුතුය.
        

         මෙසේ ඉතා වෙහෙසකර දිනයක් අවසානයේ අපට නාගැනීමටවත් ජලය නැවේ නොමැති වූයේ ජලය පොම්ප කිරීමට යොදා ගන්නා මෝටරය ක‍්‍රියා විරහිත වී තිබුණු බැවිනි. සැන්දෑ කලූවර වැටෙන තෙක් අප වැඩ කළ බැවින් අඳුරේම බාල්දියකුත් ගෙන මමත් කඞ්ඩාත් ගාලූවරායේ වූ ළිඳකට ගියේ හොඳ හැටි නා ගැනීමටය. අවුරුදු කිහිපයකට පසුව මා යළිත් එම ළිඳ පිහිටි ඉසව්ව සොයා බැලූවත් ළිඳ හොයාගත නොහැකි විය. ගාලූ වරාය පරිශ‍්‍රයේ අලූතින් ගොඩ නැගූ සිමෙන්ති කම්හල්වලට එම ළිඳ වැසී යන්නට ඇතැයි අනුමාන කළෙමි. සීතල මුහුදු සුළං වැදි වැදී සීතලෙන් වෙවුලමින් නාගත් අයුරුත් අඳුරේ ගිලූණු වරාය භූමියේ තරු එළියෙන් ළිඳ වෙත ගිය අයුරු තවමත් මා හදවතේ නොමැකෙන සටහනක් ලෙසින් තැන්පත් වී තිබේ.

සයුරේ ආ මඟ 

පළමු කොටස - පැද්දෙන පොල් ලෙල්ලක් - සයුරේ දසවසක්  


 අටුවාව​

ගැන්වේ  Gangway - නෞකාවකට ගොඩවිමට හා බැසීමට ඇති තරප්පුව 
ඕවරෝල්  Overall -  වැඩට අදිනා ඇදුම
මේන් ඩෙක්  Main Deck - නෞකාවක ප‍්‍රධාන තට්ටුව
ඩෙරික්  Derrick  - දොඹකරයක් වැනි යන්ත‍්‍රයක්
ඇලිවේ  Alleyway  - කැබින් කාමරවලට පිවිසිමට ඇති පටුමාර්ගය

මෙස් රූම් - Mess Room -නැවියන්ගේ ආහාර ගන්නා කාමරය
ගැලිය  Galley - නෞකාවක මුළුතැන්ගෙය
ඇකමඩේෂන්  Accommodation - නෞකාවක නැවියන් සියලු දෙනා වාසය කරනා කැබින් කාමර ඇති ස්ථානය

Overall

Derrick

Mess room

Cabin

Main Deck

Galley

Alleyway

Gangway


Monday, August 6, 2018

පැද්දෙන පොල් ලෙල්ලක් - සයුරේ දසවසක් - 1


මේ තියෙන්නේ මාගේ මුුල්ම නෞකාවේ පැරණි ඡයාරූපයක්

සාගර තලය මත සුදෝ සුදු පෙනකැටි මාවතක් අවරපෙත්තෙන් නිර්මානය කරමින් නෞකාව දියඹට ගමන් කරන්නට විය. අළු පැහැයෙන් කුඩාවට දිස්වන ගාළු කොටුපවුරත් සුවිශාල රූමස්සල කදුවැටියත් අමුතුම හැඟුමක් සිතට හටගන්වන්නට වුනි. ජීවිතයේ නවුම් ඇරඹුමක් සනිටුහන් කරමින් ටිකෙන් ටික දියඹට ඇදෙන මා සිටි කුඩා නෞකාව පාවෙන පොල්ලෙල්ලක් සේ හතර අතට පැද්දෙන්නට පටන් ගත්තාය. මාගේ පළමු රස්සාව සයුරට වැටුනු පොල් ලෙල්ලක් සේ හතර අතට පැද්දෙන නැවකින් ආරම්භකරන්නට සිතුවේ නැත. ගාලූවරායෙන් එලියට පැමිණි අප මේ ගමන් කරමින් සිටින්නේ ත‍්‍රිකුණාමල වරාය දක්වායි. දෙසවනට යවුලකින් අනින්නාක් බඳු එන්ජින් කාමරයේ ප‍්‍රධාන එන්ජිමෙන් නැගෙන ඩොක ඩොක ශබ්දයත් ජෙනරේටර් හා අනෙකුත් යන්ත‍්‍ර සූත‍්‍ර වලින් නැගෙන ඝෝෂාවත් කෙමෙන් කෙමන් වැඩිවෙන්නට පටන්ගති. එන්ජින් කාමරයේ ඇතුළත උෂ්ණත්වයද රත්වු එන්ජිමෙන් නැග එන තෙල් වාෂ්පද සිරුරට අමුත්තක් දනවන්නට පටන්ගෙන ඇතිසේය. ගාලූ වරායෙන් පිටවන තෙක් මැනුවරින් (Maneuvering)අවස්ථාවේ එන්ජින් කාමරයේ වැඩට සිටි සියළු දෙනාගේ ශීඝ‍්‍ර කලබලකාරිත්වය නැව ෆුල්එවේ ( Full away)  දුන් පසු අවසන් විය. මැනුවරින් යනු (Maneuvering) වරායෙන් පිටතට හෝ ඇතුලට ගැනිමේදි නෞකාව හැසිරවිමයි. ෆුල්එවේ ( Full away)යනු නැව වාරයෙන් පිටත්ව කිසිදු බාදාවකින් තොරව ගමනාත්තය දක්වා යාමට උපරිම වේගයෙන් ගමන් කිරිමට අණ ලැබිම හැඳින්විමයි. ක‍්‍රමක් ක‍්‍රමයෙන් පැද්දිල්ල වැඩිවත්ම වාගේ හිස බමන්නට පටන්ගෙන සේය. රළු මුහුදේ චණ්ඩභාවයට ඔරොත්තු නොදෙන තරමට පැරණි නැවක් වූ මෙහි ප‍්‍රධාන එන්ජිම හතිහලමින් නැව ඉදිරියට ගෙනි යන්නට දඟලයි. තවදුරටත් බඬේ දැඟලිල්ල ඉහළට ඔසවාගෙන එමින් වමනය නවතාගත නොහැකි වන බව දැනුන බැවින් ඉක්මනින් නැව් තට්ටුව වෙත දිව්වෙමි. මට මුහුදු අසනිපය නැත්නම් සී සික් වැළදි ඇත. තාත්තා කිව්වේ සී සික් එක නැති කරගැනීමට මඳ වේලාවක් මුහුද දෙස බලා සිටීමෙන් හා ෆෙෂ් එයාර් වැදුනාම සියල්ල හරියන බවය. නැවේ පිටුපස බොලාඩයක් උඩ වාඩිගත් මා ඈත දියඹේ ඉහල පහල යන සිතිජය දෙස බලාගෙන සිටින්නට වීමි. මද වේලාවක් ඒ දෙස බලාගෙන සිටින විට බඬේ ඔක්කාර ගතිය පහවී යා හැකියැයි මමත් විස්වාස කලෙමි.
”ඒයි අසංග ඔතන මොකද බං කරන්නේ?”
”අන්න උඹව දෙකා හොයනවා.”
”පොඞ්ඩක් ඔලූව කැරකෙන්න ගත්තා ඒකයි එලියට ආවේ.”
ඇයි උඹට සීසික් ද?
වගේ තමයි.
”උඹට සී සික් කියලා නිකං ඉන්න නම් හම්බවෙන්නේ නෑ. වැඩකරපං. වැඩ කළාම  ඕක හරියනවා.”
දැනුමුත්තෙකු සේ කඞ්ඩා කීවේය. කඩුගන්නාවේ සිට පැමිණ මා සමඟින් එකට නාවික පුහුණු පාසලේ උගත් බැච්මේට් එකෙකුවු ඔහුට අප කවුරුත් ඇමතුවේ සැබෑ නාමයෙන් නොව කඞ්ඩාට යන අනවර්ථ නමින. කඞ්ඩා මීට මාස දෙකකට පෙර මේ නැවට සේවය සඳහා එක්වි තිබුණි. එකට නාවික පුහුණු පාසලේ ඉගෙනගත් සියල්ලන් ඉන් පිටව නෞකාවලට සම්බන්දවුවත් මාහට එම අවස්ථාව හිමිවන්නේ මාස තුනක් පමණ ගිය පසුය. එසේ වුයේ පුහුණුව අවසානයේදි මා හට තදබල ලෙසින් අසනීප වු බැවිනි.


”යමං ඉක්මනට.”
කඞ්ඩා යළිත් මා හට කතා කර එන්ජින් කාමරය දෙසට ඇවිද ගියේය.
මා නාවිකයෙකු වන්නේ තාත්තා නිසාය. තාත්තාගේ අභිප‍්‍රායවුයේ ඔහු බලාපොරෝත්තුවු අංශයෙන් ඉගෙනිම නිමවු පසුව නාවික රැකියාවකට සම්බන්ධ කිරිමයි. එහෙත් ඔහුගේ සිහින බිඳ දැමු මා නාවිකයෙකු කිරිමේ බලාපොරොත්තු අතහැර තිබු අවදියක තාත්තාගේ අනුදැනුමෙන් තොරව මම විසින්ම නාවිකයෙකුවිමය.

එකට සිටි මිතුරන් හා ඥාතින් සියල්ලන්ම රන්කහවුනෙන් සපිරුණු යසඉසුරක් දකින්නට මැදපෙරදිග රටවල් හි රස්සාවන් සොයා ඉගිල්ලෙද්දි ........ සංස්ථාවේ රැකියාව කර රජයේ සේවයේ සොච්චම් පඩියෙන් පවුලක් නඩත්තු කරන්නට නොහැකි බව තේරුම් ගත් තාත්තා එකදාස් නමසිය අසුහතරේදි රස්සාවට ආයුබෝවන් කීවේය. ඒ මා කුඩා අවදියේදියේය. වෙළඳ නාවිකයෙකු වී විදුලි අංශයේ නිලධාරියෙක් ලෙසින් ග‍්‍රීක නැව් වල තාත්තා සේවය කරන කල්හි මා පාසල් අධ්‍යාපනයෙන් පසුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ පූර්ණ කාලීන පාඨමාලාවකට සම්බන්ධවුයෙමි. ලංකා ගමනාගමන මන්ඩලයට අනුයුක්තව තිබු ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ පූර්ණ කාලීන පාඨමාලාවකට සම්බන්ධවීම එකල ඉතාම අමාරු කාර්්‍යයක් විය. තෝරාගැනිමේ තරගවිභාගයත් සම්මුඛ පරික්ෂණයත් අමාරු කඩයිම් මෙන්ම පුල් එකක් ලෙසින් හඳුන්වන තල්ලූවක් නැතිනම් පාඨමාලාවකට සම්බන්ධවිමට පහසුවුයේ නැත. එ් වැටකඩුලූ සියල්ලෙන්ම පැනගෙන ටෙක් එකට ඇතුලත්විමට අවස්ථාව පෑදුනි. තාත්තාට අවශ්‍ය වූයේ මා විදුලි කාර්මික ශිල්පය හැදෑරීමට යවා එම අංශයෙන් නාවිකයෙකු කිරීමටය. එහෙත් අවාසනාවකට මෙන් පළමු වසරේ ලකුණුවලින් මා තේරී පත්වූයේ වෙනත් පාඨමාලාවක් සඳහායි. එහෙත් තාත්තාත් ඔහුගේ අතිජාත මිත‍්‍ර ජර්මන් ටෙක් හී හිටපු ආචාර්යවරයෙකුවු කීර්ති පෙරේරා අංකලූත් උත්සාහ කළේ මා කෙසේ හෝ විදුලි කාර්මික පාඨමාලාවට තල්ලූ කරවාලීමටය. එහෙත් විදුලි කාර්මික පැත්තට මාගේ කිසිදු කැමැත්තක් නොතිබුණු අතර තේරුනු අංශය වෙනස් කිරිමට අකමැති වූවෙමි. එ් පළමු වරට ඔහුගේ සිහිනය බිඳ දැමු අවස්තාව විය.

       
           සිව් වසර අවසානයේදී ජර්මන් ටෙක් එකේ අවසන් විභාගයෙන් පසුව ඉන් එළියට බැස්ස මා, මිතුරන් හා එක්ව රැකියා සොයා යන්නට වුනි. සිළුමිණ සන්ඬේ ටයිම්ස් ඔබ්සවර් පත්තර පෙරලාගෙන ජොබ් හන්ටින් යද්දි අපේම බැජ්එකේ සමහර මිතුරන් විභාගයේ ප‍්‍රතිඵල පිටවන්නටත් පෙර ඔවුන්ගේ ඉහළ සම්බන්ධතා වලින් ලංකාවේ සුපිරි කොම්පැනි වල හොඳ වේතනයන් සහිත රැකියාවන් වලට සම්බන්ධවිය. යළිත් වරක් තාත්තා ඔහුගේ සිහිනය යතාර්ථයක් බවට පත් කරගන්නට මට්ටක්කුලියේ නාරා ආයතනය අසළ තිබු නාවික පුහුණු පාසලක නාවික විදුලි කාර්මිකයන් සඳහා සය මසක පාඨමාලාවේ ආරම්භක දේශණයට මා කැදවාගෙන ගියේය. ගල්කිස්සෙන් 155 මට්ටක්කුලිය බසයකට නැගුන අප දෙදෙනා රාසමුන කන්දේ පිට්ටනිය අසළින් බැස නාරා ආයතනය සොයමින් පිට්ටනිය මැදින් ගිය අයුරු අදටත් සිහිපත්වේ. වයර් කෑල්ලක් හොල්ඩරයකට අමුනාගන්නට හැකි තරමේ විදුලිය පිළිබඳ මුළික දැනුමක් ඇති මාහට ඉන් ඔබ්බට තියෙන න්‍යාත්මක පාඩම් කිසිවක් මොලයට නම් ගියේ නැත. පළමු දිනයෙන්ම එ් නාවික විදුලිකාර්මික පාඨමාලාවට ආයුබෝවන් කියන්නට හේතු ලෙසින් මා කිව්වේ මේ කෝස් එක කලාට එම ආයතනයෙන් පළමු සය මසින් පසුව පුහුණුවන විදුලි ශිල්පියෙක් විදිහට නැව් නගින්නට නැව් දෙන්නේ නැති බවය. ලංකාවේ නාවිකයින් නැව් වලට සම්බන්ධ කරනා අතලොස්සක්වු නැව් එ්ජන්ත කොම්පැනි වලට ගොස් රස්තියාදු වන්නට සිදුවන බවත් එ් නිසා කෝස් එකට වියදම් කරන මුදල් අපතේයන බවත්ය. පුහුණුවන විදුලි ශිල්පින් නැව් වල සේවයට ගන්නේ අඩුවෙන් බව තේරුම්ගත් තාත්තාද එය අත්හැරිම ගැන කිසිවක් කීවේ නැත. මෙවැනි පුහුණු පාඨමාලාවලින් පසුව ෂිපින් ඔෆිස් එකෙන් ලබාදෙන සිඩිසි (CDC) නැතහොත් අඛන්ඩ මුදාහැරිමේ සහතිකය සහිතව එළියට එන බොහෝ දෙනෙකුට සිදුවන්නේ මහමග රස්තියාදු වෙමින් නැව් එජන්තයින් පසුපස යන්නටය. මේ අතර සිටිනා වංචාකාර රැවටිලිකරුවන් එසේ පැමිනෙන්නන් හට වැඩි වැටුප් සහිත නෞකාවන් ගැන සිහින මවා දී රුපියල් ලක්ෂගනන් රැගෙන පැනයයි. මා එසේ කීවේ නාවික ක්‍ෂත‍්‍රයේ රැකියාවකට ඇති අකමැත්ත නිසා නොවුවත් එ්වන විටත් වංචාකරුවන්ට රැවටුනු බොහෝමයක් ගැන දැනුවත්ව සිටිමය. දෙවන වරටත් තාත්තාගේ බලාපොරොත්තු බිඳ දැම්මෙමි. ඉන් පසුව ඔහු මාහට නාවික ක්‍ෂත‍්‍රයේ රස්සාවල් සෙවිම අතහැර දැමිය. 

         යළිත් පත්තර පෙරලාගෙන රැකියා ඇබෑර්තු සොයද්දි අහම්බයෙන් මෙන් වෙළඳ නාවික පුහුණු පාඨමාලාවකට බඳවා ගන්නා බව දන්වා තිබෙන පත්තර දැන්වීමක් මාගේ නෙතු ගැටීන. පුහුණු පාඨමාලාවෙන් පසුව ඔවුන්ගේ මව් සමාගමේ නෞකාවලට අනුයුක්ත කරන බවත් එහි සඳහන් වුනි. පත්තර පිටුව දෙකට නවා ඩෙනිම් කලිසමේ පිටුපස සාක්කුවට ඔබාගෙන මා නාවිකයෙකු කිරිමේ උත්සාහය අතහැර දමා සිටි තාත්තාට ද නොකියා මාගේ අතිජාත පාසල් මිතුරා වන්නි සොයාගෙන ගියෙමි. අත්තිඩියේ මන්ත‍්‍රීමුල්ල පාරේ කෙළවරට වන්නට පිහිටා තිබූ එම කුලී නිවසට ගොඩ වදින විටත් ඔහු ළිඳ ළඟ රෙදි වගයක් සෝදමින් සිටියේය. මවුන්ටන් බයිසිකලය වැටට හේත්තු කළ මා
”මචං නැවක යන්න කෝස් එකක් තියෙනවා දාමුද?”
”නැව් කෝස්? ගෙදරින් නම් කියන්නේ  ඕපන් යුනිවසිටි එකේ කෝ්ස් එකක් කරන්න කියලා.”
” ඕපන් එකේ කෝස් කරලා කොච්චර කල් බලන් ඉන්නද? මං දානවා උඔ දානවානම් දාපං.”
මා අත තිබූ පත්තර කැබැල්ල ඔහු වෙත දිගු කළෙමි. වතුර බාල්දියෙන් දෑත් වල තිබූ සබන් සෝදා දැමූ ඔහු කලිසමේ පිටුපසින් තෙත මාත්තු කරගෙන මා අත තිබූ පත්තරය ලබා ගත්තේය.
”මේ මොකක්ද බං ඩෙක් රේටින් කියන්නේ ?”
”මමත් හරියටම දන්නේ නෑ ඩෙක් රේටින්ලා ඉන්නේ ඩෙක් එකේ වැඩටලූ.”
”ඒ කියන්නේ?”
”මචං එන්ජින් රේටින්ලා ඉන්නේ එන්ජින් කාමරේ. එන්ජින් රූම් එකේ තියෙන මැෂිනරිස් මේන්ටේන් කරන කට්ටිය. ඩෙක් රේටින්ලා තමයි නැව එලවන්නේ අනිත් වේලාවට නැවේ මලකඩ කඩලා පේන්ට් කරන්නයි තියෙන්නේ. වැඩි විස්තර  තාත්තාගෙන් අහගන්න පුළුවනි.”
මා දන්නා අයුරින් ඔහුට කියාදුනිමි.
”එහෙනම් උඹ දාන්නේ එන්ජින් රේටින් එකටද? මට නම් බෑ තෙල් මජං ගාගන්න.”
”හරි බං මං කොහොමත් එන්ජින් රේටින් තමයි දාන්නේ. උඹ කැමතිනම් ඩෙක් රේටින් බැරිනම් කුක්ට හරි දාන්න. දැන් උඹත් දානවද? ”
”පොඞ්ඩක් හිටපං බං අම්මාගෙන් අහලා බලන්නත්  ඕනේ. ”
මිතුරාගේ මවගේ එතරම් කැමැත්තක් නැව් පිළිබඳව නොවුවත් මාගේ බලවත් ඇවටිල්ල මත ඇය අකමැත්තෙන් වුවත් තම පුත‍්‍රයාට නාවික පුහුණු පාඨමාලාවට ඉල්ලූම්පතක් දැමීමට එකඟත්වය පලකළාය.
අප දෙදෙනාගේම සියලූම සහතික පත‍්‍රයන්හි ඡයාපිටපත් රැගෙන ඉල්ලූම් පතත් සමඟින් තැපැල් කළේ එන්ජින් හා ඩෙක් වශයෙන් වෙන් වෙන්වය.
මසකට පසුව දෙදෙනාටම වැල්ලවත්තේ ශාන්ත පීතර විද්‍යාලයේ පැවැත්වෙන තරග විභාගයට පෙනී සිටින ලෙසත් දන්වා ලිපියක් ලැබින. තරග විභාගයේ කඩඉමත් පසු කළ අප දෙදෙනා සම්මුඛ පරීක්ෂණයේ කඩුල්ලද පැනගතිමු. එකට ඉගෙනිම ලැබ එකට නැව් නගින්නට මගෙත් මිතුරාගෙත් සිහිනය වුනත් දෛවය අපව හරස් කරමින් මිතුරාට මට පෙරාතුව ගාල්ලේ පිහිටි නාවික පුහුණු පාසලට යන්නට ලැබුණි. මේ අවුරුද්දේ පටන් බැජ්එක කණ්ඩායම් දෙකක් ලෙසින් කඩා කොටස් දෙකකට ඉගැන්වීමට කටයුතු කළ බැවිනි. අද දිනයේ වන්නි නාවික නිලධාරියෙකු ලෙසින් කටයුතු කරන අතර ලංකාවේදි හැරෙන්නට ඔහුත් මාත් ඉන් පසු කිසිදිනෙක එකම නෞකාවක හෝ වෙන රටකදි හෝ අඩුමතරමින් වරායකදී හෝ මුණ නොගැසුනි. එනමුත් පාසල් කාලයේ සිට බැඳුන මිතුදම අදටත් සුරැකිව බැඳී ඇත්තේය.


           නාවික පුහුණු පාසලේ මාස හයක පුහුණුවෙන් පසුව ඔවුන් කී පරිදිම එම ආයතනයේ මව් සමාගමට අයත් වෙළඳ නැව්වලට අපව අනුයුක්ත කරනු ලැබීය. පාඨමාලාවේ සිටි මිතුරන් නැව්වලට නගිනු ලැබුවත් මා හට එම අවස්ථාව ගිලිහි යන්නේ හදිසියේ ඇතිවු අසනීප තත්ත්වයක් උඩදීය. සැත්කම නිම වී දෙමසක විවේකයෙන් පසුව මා අප මව් සමාගමේ ප‍්‍රධාන කාර්්‍යාලයට වාර්තා කලේ ඔවුන් මා අනුයුක්ත කරනු ලැබූ නැවට යාමටය. සමාගමෙන් දැන්වූ පරිදි එම නැව ගාල්ල වරායේ තිබෙන බවත් කොළඹ ෂිපින් ඔෆිස් (Shipping Office) එකට ගොස් සයින් ඔන් වී (Sign on)එන ලෙසත් මා හට දන්වා ලීය.
කොළඹ ෂිපින් ඔෆිස් එකට ඔයා යන්න දන්නේ නැත්නම් පෙඞ්ඩක් වාඩිවෙලා ඉන්න. මම එහෙට යන තව කෙනෙක් එක්ක  යවන්නම්.
ඔහු කී පරිදි වාඩිගෙන සිටි මට ෂිපින් ඔෆිස් එකට යන තවත් නාවිකයෙකු හඳුන්වා දුන්නේ ඔහු සමගින් යන ලෙස දන්වමිනි. වෙළඳ නාවික කාර්යාලය කොළඹ වරාය පරිශ‍්‍රයේ එවකට පිහිටා තිබූනි. ඔහු මා කැටිව ති‍්‍රරෝද රථයක නැග ගාලූමුවදොර චෛත්‍ය පාර තෙක් ගමන් කලෙමු. චෛත්‍ය පාරේ මද දුරකින් වු ප‍්‍රදිපාගාරය අසළ නාවික හමුදාව හා පොලිසිය එක්ව මාර්ග බාදකයක් පිහිටුවා තිබිය. ති‍්‍රරෝද රියේ ගමන අවසන් කර මාර්ගබාදකයෙන් අවසර ගෙන ඉදිරිවට ගමන් කලෙමු.  වරාය ගේට්ටුවේ ආරක්ෂක කපොල්ලෙන්ද අවසරයගත් පසු ඔහු පෙන්වූ දිසාවට අනුව වම්පැත්තට මද දුරක් ගමන් කළෙමි. ගොඩනැඟිල්ලක ඉහළ මාලයේ පිහිටා තිබූ අඳුරු පැහැගත් වෙළඳ නාවික කාර්යාලයේ ඇතුළත වූයේ අඳුරු ගුප්ත පරිසරියකි. නැව් නැගීමට හෝ නැවෙන් බසින ලද නාවිකයින් කිහිපදෙනෙක්ද තම ලිපි ලේඛන වල වැඩ කරගැනිමට ඇතුළත වාඩි ගෙන සිටියහ. විශාල කන්තෝරු මේස අරක්ගත් මැදිවිය පසුකරමින් සිටිනා ලිපිකරුවන් හා ලිිපිකාරිනියන් තම රාජකාරියට කැප වී සිටින්නාක් මෙන් මේසයට හිස නැඹුරු කරගෙන සිටිනු මට පෙනුණි. සමාගමෙන් දුන් ලිපිය ඉදිරිපත් කර නාවික හා වෙළඳ අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක ටයිප් කරන ලද මාගේ නම හා හැඳුනුම්පත් අංක යෙදු  තාවකාලීන නැව් නැගීමට අවසර දෙන ලිපියක් මා අතට පත් විය. එහි පහතින් මා නැගීමට නියමිත  නැවේ නමත් අද දිනයත් සඳහන් කර රවුම් කුඩා රබර් මුදුවක් තබා තිබුණි. ලිපිලේඛණ වැඩ අවසන්වු පසු මා කැටුව ආ පුද්ගලයා ගැන සොයා බලද්දි ඔහුගේ සයින් ඔන්විම අවසන් කරගෙන තිබුනි.
"එහෙනම්  මල්ලි ඔයාගේ වැඩ ඉවරයිනේ එහෙනම් ඔයා ආපහු කොම්පැනි එකට යන්න. මම නැවකට පොඞ්ඩක් ගිහිල්ලා එන්නම්."
කී ඔහු මා තනිකර වරායේ ඉදිරියට ගමන් කලේය. වරායට ඇතුළුවිමේ  බලපත‍්‍රයක් නොමැතිව වරාය තුල පිහිටි වෙළඳ නාවික කාර්යාලයට පමණක් ඇතුලූවිය හැකිවුවත් ඉන් ඔබ්බට ගමන් කල නොහැකිය. එහෙත් ඔහු කිසිදු ගනනක් නොමැතිව ඉදිරියට ගමන් කලේය.
ඔහුත් පිටමන් වි ගිය පසු තනිවු මා කිසිදා මින් පෙර නොගිය චෛත්‍ය පාරේ තට්ට තනියම අවට සිරි නරඹමින් පයින් ආපසු ගමන් කළෙමි. ඉන්ටර්කොන්ටිනල් හොටලය ඉදිරියෙන් හැරි ජනාධිපති මාවත ඔස්සේ ජනාධිපති මන්දිරය දෙසට ඇවිද ගියෙමි. එවකට ත‍්‍රස්තවාදී කලබල තිබුණත් ජනාධිපති මන්දිරය ඉදිරියෙන් පයින් යෑමට කිසිදු බාධාවක් නොවීය. නැවට සයින් ඔන් වී යළිත් ආ පාරෙන්ම කොටුවට පැමිණි මා දැඩි අව් රශ්මියෙන් පීඩා විඳ දහඩියෙන් නැහැවී ගොස් තිබුණි. බසයක නැගුණු මා නැව් සමාගමට පැමිණියේ ෂිෆින් ඔෆිස් එකෙන් සයින් ඔන් වී ආබවට දැන්වීමය. සමාගමේ නිලධාරියෙක් මාගේ ලිපිවල ඡයා පිටපත් රැගෙන අවසන්ව
”නැව තියෙන්නෙ ගාල්ලේ. දන්නවානෙ වරාය තියෙන තැන.”
මම හිස සෙලෙව්වෙමි.
”මෙන්න මේ ලියුම එමිගේෂ්න් එකට එයාලා එම්බාකේෂන් එක ගහයි. ආ මේක වරායේ සිකුරිටි එකට දෙන්න ගේට් පාස් එක ගන්න. මේ ලියුමයි ටෙම්පරි සී ඞී යී එකයි කැප්ටන්ට දෙන්න. එහෙනම් ගිහිල්ලා පරිස්සමෙන් වැඩකරන්න. ගුඞ් ලක්.”
කී ඔහු මා හට අතට අත දී සුබ පැතීය. තට්ට තනිමය නොදන්නා පළාතකට මාරු කර යැවූවකු සේ මගේ සිතට නුහුරු හැඟීමක් ද ඇති වුනි.
ඔහු පසෙක වාඩිගෙන සිටි කෙනෙකු මා හට පෙන්වා,
”අර ඉන්න එක්කෙනා හදිසියේ බහිනවා එයාගෙ රිලිෆ් විදිහටයි ඔයාව යවන්නේ” යි කීය.
මා ඔහුට මදහසක් පෑවෙමි.
තළෙලූ මාගේ සමවයස් පෙනුමැති කොණ්ඩය තරමකට කැරලි ගැසුණු ඔහු මා සමඟින් සිනාසුනි.
”මොන බැච් එකේද?”
”.......... එකේ. ඔයා?”
”මමත් ......... තමයි. ෆ‍්‍රස්ට් එන්ටේක් එකේ. කොහේද ගෙවල්?”
රොෂාන් නම් වූ ඔහු කලූතර ප‍්‍රදේශයේ බවත් වෙනින් නැවකට මාරු කර ඇති බැවින් ඉන් බැස යන බවත් මාගේ බැජ් මේට් කෙනෙකු වන කඩුගන්නාව එහි සිටින බවත් ඔහු මා හට සැලකර සිටියහ. කඞ්ඩා එහි සිටිනු ඇසීමත් සමඟින් මාගේ සිත ප‍්‍රීතියෙන් පිනා ගියේ තට්ට තනියම කිසිවෙකුත් නොහඳුනන නැවක සේවයට යාමට වඩා දන්නා කියන එකෙකු හෝ එහි සිටිනු බැවිනි.
”හෙට උදේ මම නැවට යනවා මගේ බඩු ටික ගන්න. ඔයත් එනවානම් එකට යන්න සෙට් වෙමු.”
හා කොහේදිද සෙට්වෙන්නේ?
”එහෙනම් ගාල්ලෙන් බැහැලා හරි මාතර බස් එකක හරි ඇවිල්ලා සම්බෝධිය ගාවින් බහින්න. මම උදේ 10ට විතර සම්බෝධිය ගාව ඉන්නම්.”
රොෂාන් කීවේය.
මා හට මග පෙන්වන්නෙකු ලැබීම ගැන ඉතා සතුටට පත්වීමි. ගෙදර ගිය මා, මා සතුව තිබූ කුඩා බෑගයට ඇඳුම් කිහිපයක් ගෙන තාත්තා විසින් මීට පෙර නැවක සේවය සඳහා අදිනු ලැබු  ඕවරෝල් එකක් හා ආරක්ෂක සපත්තු යුවලක් ද මා බෑගයට අසුරා ගතිමි. පසුදින උදයේම මා ලක ලැහැස්ති වූයේ මාගේ ප‍්‍රථම නෞකාවේ සේවය සඳහා පිටත්ව යෑමටයි. අම්මාට තාත්තාට වැඳ අවසර ගත් මා කුඩා බෑගයත් කරේ රුවාගෙන ගාලූ පාරට පැමිණියේ ගාල්ල බලා යන බසයකට ගොඩ වීමටයි. උදේ දහයට මා එනතුරු ගාල්ල සම්බෝධිය අසල රොෂාන් බලා සිටින්නට ඇත. එහෙත් මා නැගුණු ඉන්ටර්සිටිය අම්බලන්ගොඩ හරියේදී ලෙඩ දෙන්නට වූයේ බ්රේක් බයින්ඞ් කිරීමක් නිසාවෙනි. අසල ගරාජයකට දමා එය නිසි පරිදි සකසා ගෙන එන්නට හෝරාවකට අඩු කාලයක් මාහට අම්බලන්ගොඩ රැඳී සිටින්නට සිදුවිය. ගාල්ලේ සිට මාතර දක්වා දිවෙන මුහුදු මාවතේ ගාල්ල වරාය පිහිටී ඉදිරිපිට වූ සම්බෝධිය නම් ආබාධිතයින්ගේ නිවාසය අසලින් බැස ගතිමි. පාරෙන් දකුණු පැත්තට පැන බුදු පිළිමය පසු කරගෙන ඉදිරියට ගිය මා වරායේ ගේට්ටුව අසල තිබූ අවසර පත් ලබාගැනීමේ කවුලූවට නැවට නැගීම පිණිස වරායට ඇතුලූවීමේ එක්දින අවසර පත‍්‍රයක් නිකුත් කිරීමට අන දෙන ලිපිය එහි සිටි නිලධාරියාට දිගු කළෙමි. වෙළඳ නාවික කාර්යාලයේ ෂිපින් මාස්ටර්ගේ අත්සන යෙදු  එම ලිපියට වෙළද නැවියන් හට නොමිලයේ එක් දින අවසර පත‍්‍රයක් නිකුත් කළ යුතුවිය. ගාල්ල වරායේ ආරක්ෂකයින් මාගෙන් දිනක අවසර පත‍්‍රයක් සඳහා වැට් බදු සහිතව රුපියල් දොළහක් පමණ මුදලක් අයකර ගත්තේය. දොරටු අවසර පත‍්‍රයත් ලබා ගත් පසු ඊළඟට කළ යුතු වන්නේ ආගමන විගමන නිලධාරීන්ගෙන් පාස්පෝට් එකට එම්බාකේෂන් (Embarkation) රබර් මුද්‍රාව තබා ගැනීමයි. ගාල්ල වරායට ආගමන විගමන කුටියක් එකල නොතිබුණි. දැන් තිබෙනවාදැයි දන්නේ නැත. ඒ සියල්ල සිදු කළේ වරාය පොලීසිය විසිනි. පොලීසියට ඇතුලූ වී  ඕ අයි සී මහතා හමුවට ඔහුගේ කුටියට හිස පෙව්වෙමි. පැමිණි කාරණාව ඔහුට පැහැදිලි කර මාගේ සමාගමෙන් දුන් ලිපියද ගමන් බලපත‍්‍රයද ඔහුට ඉදිරිපත් කළෙමි. කිසිදා නොදැක්ක දෙයක් දැකගත්තා සේ ආගමන විගමන නිලධාරීන්ට දුන් ලිපියද මාගේ ගමන් බලපත‍්‍රයද දෙස මාරුවෙන් මාරුවට කිහිප විටක් බලාසිටි  ඕ අයි සී ද
”දැන් මොකද කරන්න කියන්නේ?”
ජීවිතයේ පළමු වතාවට නැව් නගින මා ගමන් බලපත‍්‍රයක් සමඟින් පොලීසියට  ගොස් තිබුනේද පළමු වතාවටය. කිසිදා නොදන්නා දෙයක් ගැන පොලීසියේ මහතා මාගෙන් කළ යුත්තේ කුමක්දැයි විමසයි. අන්දුන් කුන්දුන් වූ මා,
”ඔය පාස්පෝට් එකට එම්බාකේෂන් ගහලා දෙන්න.”
මුකුත් නොදන්නා මා වැඞ්ඩෙකු ලෙසින්  ඕ අයි සී ට කීවෙමි. මේසය මත වූ පොත්පත් ලිපි කිහිපයක් එහාට මෙහාට කර යතුරු කැරැල්ලක් සොයාගත්තේය. ඉන් මේස ලාච්චුවක් හැර රබර් මුද්‍රා කිහිපයක් ගෙන මේසය මතට අත හැරියේය.
”දැන් මේකෙන් මොකක්ද ගහන්න  ඕනෙ සීල් එක?”
ඔහු මාගෙන් යළිත් විමසයි. මම මෙලෝ දෙයක් දන්නේ නැත. මේ රබර් සීල් දැක්කෙත් එදිනමය.
ඔහු එකින් එක රබර් මුද්‍රා හරවා බලමින් මාගේ පිළිතුරක් එන තෙක් බලා සිටින්නට විය. තවදුරටත් බොරුවෙන් ඔහුව රැවටිය නොහැකි විය.
”මමත් දන්නෙ නෑ මමත් මේ පළවෙනි වතාවට නැවකට යන්නේ.”
සියල්ල දන්නා කෙනෙකු සේ හැසිරුනු මා දැන්  ඕ අයි සී  ට වඩා පහළට වැටුණි. නැව් වලට නවකයෙකු ඉදිරියේ ඔහු කිසිවක් නොදන්නා බව පෙන්වීමට පැකිලූනි. රබර් මුද්‍රා අතරින් හතරැස් මුද්‍රාවක් ගත් ඔහු එය තීන්ත පෑඩයේ ඔබා ගමන් බලපත‍්‍රයේ පිටු කිහිපයක් පෙරළා බැලීය.
”මෙතනින් ගැහැව්වාම හරිද?”
තාත්තාගේ ගමන් බලපත‍්‍රයේ පිටු සියල්ලක්ම පිරී ඇත්තේ එක එක රටවල සීල් වලිනි. මට එකවරම එය මතක් වුණි.
”ඔය වීසා තියන පිටුවක ගහන්න.”
තීන්ත පෑඩයෙ එබූ රබර් මුද්‍රාව රැගෙන කඩදාසි කැබැල්ලක තියා නිවැරදි පැත්ත සොයාගත් ඔහු එය ගමන් බලපත‍්‍රයේ තබා තද කළේය.
මාගේ කුළුදුල් නැව් ගමනේ පළමු ගමන් බලපත‍්‍රයේ ගාල්ල වරාය පොලීසියේ  ඕ අයි සී ගැහුවේ වැරදි සීල් එකකි. එය නැවකට ගොඩ වීමේදී ආගමන විගමන නිලධාරීන් විසින් ගමන් බලපත‍්‍රයේ යොදන එම්බාකේෂන් සීල් එක නොවීය. එම නිසා මා මාගේ පළමු නැවට ගොඩවි පිටත්ව ගොස් නැත.
වරායට ඇතුලූවීමේ අවසර පත‍්‍රය හා ආගමන විගමන සීල් ගැසීම යන කරුණු සියල්ල සපුරා ගෙන වරාය තුළට ඇතුලූ වන විටත් දහවල් එකත් පසු වී තිබුණි. දැරිය නොහැකි කුසගින්නකින්ද පෙලෙන්නට විය. දුහුවිල්ලෙන් පිරුණු ගාලු වරායේ ඇතුළත මාර්ගයේ බෑගය උරයේ එල්ලාගෙන ජැටිය දෙසට ගමන් කරන්නටවිමි. ඈතින් ජැටියේ නවතා ඇති නෞකාව දිස් විය. කලූ පැහැති බඳකින් හා ටොන් 1200 ක බරකින් යුතු පැරණි නෞකාවක් වු එහි බඩු පැටවීමට හා ගොඩබෑමට යොදා ගන්නා ඩෙරික් දෙක බැඟින් හතරක් එහි තිබුණි. කෙළින්ම නැව ළඟට යෑමට නොහැකි වන සේ ජැටිය කෙළවරින් හමුදා මුර පෙළක් දමා තිබුනායින් මා හට පරංගියා කෝට්ටේ ගියා සේ වටයක් ඇවිද ගොස් නැව අසලට ගමන් කළ යුතු විය.  ඈතින් කුඩාවට පෙනුනද නෞකාව ළඟට ගිය විට එය කොතරම් විශාලද කියා සිතාගන්නට හැකි විය. ජැටියට අවතිර්නවු මා ඉදිරි මාස කිහිපය ගතකරමින් රස්සාව කරන්නට යන නෞකාව හොදින් නිරික්ෂණය කරමින් එය අසළට ගමන්කලෙමි. නැව එක් පසෙක නැවේ බඳේ විශාල යකඩ තහඩු කොටසක් කපා දමා ඇතිබව ඈතදිම නිරික්ෂණයවුනි. පලංචියක නැග ගත් වෙල්ඩර්වරුන් දෙදෙනෙක් ගෑස් කටර් යොදාගෙන එම කැපුමේ කැපුම් දාරය සකසමින් සිටියහ.
ගිනි අව්වේ ඇවිද ආ මසියොළඟම දැන් දාඩියෙන් පෙඟී ඇත. නැවට ගොඩවෙන්නට තිබු ගැන්වේ (Gangway) අසලට ගොස් සිට ගත්තෙමි. මගේ දිවිය සම්පූර්ණයෙන්ම වෙනතකට හරවමින් ලොවක් දකින්නට යන අළුත්ම රැකියාවේ  ඕනෑම දුකක් විදින්නෙමි යැයි සිතා ගැඹුරු හුස්මකින් ලය පුරවාගෙන ගැන්වේ එක එක හුස්මට තරණය කර නැවේ තට්ටුවට ගොඩ වූයෙමි.

පළිගු කිරිල්ලී - දාහහතරවන කොටස

පළිගු කිරිල්ලී - දාහහතරවන කොටස                   දින කිහිපයක් ගෙවි ගොස් යළිත් තම දිවියේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට ඉන්දිරා සමත් වූවාය....