Monday, August 13, 2018

ගාල්ලෙන් වැඩ ඇරඹිම - සයුරේ දසවසක් - 2

ඇදුම්  බැගයත් උරයේ එල්ලාගෙන ඇළුමිනියම් ලෝහයෙන් තනා තිබු කුඩා ගැන්වේය (Gang Way) තරණය කිරිම ලෙහෙසි කටයුත්තක් නොවිය. බඩුබාහිරාදිය පටවා නැති හිස්ව තිබෙනා නෞකාවක ගැන්වේ  එක නැගිම මහගිරිදඹය තරණය කිරිමක් සේය. තුම්මුනින් දහඩිය දමමින් නැවේ මේන් ඩෙක් (Main Deck) එකට ගොඩවුනු පසුව හාත්පස නිරීක්ෂණය කරන්නට වීමි. 


මේ තියෙන්නේ මාගේ මුුල්ම නෞකාවේ පැරණි ඡයාරූපයක්


විවිධ වර්ණ  ඕවරෝල් (Overall) හැඳ සිටිනා නැවියන් පිරිසක් එක් පසෙකින් තට්ටුවේ තීන්ත ආලේප කරමින් සිටියහ. තවත් කිහිප දෙනෙකු ඩෙරික් (Derrick) එකක සිට පහළට ආ වයරයක (Wire rope) ග‍්‍රීස් තවරමින් සිටියහ. තවදුරටත් එතැන රැඳිය නොහැකි වූයේ පරීක්ෂාකාරී ඇස් කිහිපයක් මා දෙසට යොමු වන්නට වීම බැවිනි. මේන් ඩෙක් එක හරහා ඇවිද ගොස් ඇකමඩේෂන් (Accommodation) එකට ඇතුලුවුනෙමි. යන එන මාර්ගයක් සොයාගත නොහැකිව වට පිට බලද්දි මා ඉදිරියට ආ පුද්ගලයෙකුගෙන් නැවේ කපිතාන්වරයා කොහේදැයි ඇසුවෙමි.
”අද කැප්ටන් ගෙදර ගිහිල්ලා. ඇයි මොකක්ද වුවමනාව?”
”මම ටේ‍්‍රනින්......... මේ මගේ ඩොකිියුමන්ට් ටික දෙන්න.”
”ආ...... උඩට ගිහිල්ලා වම් පැත්තේ කැබින් එකේ චීෆ් ඔපිසර් ඇති. එයාට දෙන්න.”
කට කොනකට මද සිනාවක් නගා ගත් ඔහු මාගේ හිස සිට දෙපතුළ දක්වා විමසිලිමත් බැල්මක් දැමීය. ඔහු කී මග සළකුණු ඔස්සේ තරප්පු පෙළ නැග ඊළඟ තට්ටුවේ පිහිටි කාමර පෙළකට ඇතුලූ වීමි. එක සමාන වසා තිබූ දොරටු වලින් යුතු කාමර පෙළෙහි චීෆ් ඔපිසර්ගේ කාමරය එකවරම සොයා ගත නොහැකිවුනි. එහෙත් එම කාමරයෙහි ඉහළින් නම සඳහන් වීම නිසාවෙන් කාමර කිහිපයක් පසුකරගෙන ගොස් සොයාගත් නියමිත කැබීන් කාමරයේ දොරට තට්ටු කිහිපයක් දැමූ පසු
”එන්න.”
ඇතුලතින් ආරාධනයක් ලැබුණි. කුඩා කාමරයේ මේසය මත කඩදාසි ගොඩක් තබාගෙන ලියමින් සිටි පුද්ගලයෙකු මා දෙසවත් නොබලා තම රාජකාරියේ යෙදී සිටියේය. මැදිවිය පසු කරමින් සිටින තළෙලූ හා මුහුණ පුරා රැවුල වවා සිටියෙකු වූ ඔහු දෙස නිහඬව බලා සිටියේ ඔහුගේ කාර්යය අවසන් වන තුරුය. මාගේ නිහඬතාවය නිසාවෙන් තම වැඩ කොටස නවතා දමා හිස ඔසවා බලා තම උපැස් යුවල ගලවා අතට ගත්තේය.
”ඇයි?”
”මම අලූතින් ආපු ටේ‍්‍රනින්.....”
”කෝ ඔයාගේ ඩොකිියුමන්ට්ස් ටික දෙන්න. මම කැප්ටන් ආපුවාම බාර දෙන්නම්.”
මා අත තිබූ ලිපිකවරය ඔහුට භාර කළෙමි. ඔහු එය විවෘත කර අදාල සියලූ දේ එතැන ඇද්දැයි පරීක්ෂාකර බලා
”එහෙනම් දැන් ගිහිල්ලා චීෆ් ඉන්ජිනියර්ව මුණ ගැහෙන්න. එයා දැන් නම් ඇත්තේ එන්ජින් රූම් එකේ. එන්න කෝකටත් අපි බලමු කැබින් එකේ ඉන්නවාද කියලා.”
ඔහු තම අසුනින් නැගිට මා කැටිව වම් පැත්තේ කැබින් පෙළට රැගෙන ගියේය. එහි වූ දොරකට තට්ටු කළ ඔහු දොර විවර කර බැලීය.
තෙල් ගෑවුණු  ඕවරෝලයක් හැඳ කැබිනයේ වූ කුඩා සෝපාවේ නිදා හුන් ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා එකවරම කාමරයේ දොර විවර කරන හඬින් තිගැස්සී අවදිවුනි.
”ආ මෙන්න අලූත් ගෝලයෙක් ඇවිල්ලා.”
ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා තම සෝපාවේ අසුන් ගත්තේය.
”කොහෙන්ද ගාල්ලේ එකෙන්ද?”
”ඔව්”
”නම මොකක්ද?”
”අසංග”
”ගෙවල්?”
”ගල්කිස්සේ”
”ඔයාලගෙ එකෙන් ආව කෙනෙක් ඉන්නවා එයාව දන්නවාද?”
”ඔව් චීෆ් එයා මගෙ බැච් එකේ.”
”ඉන්න.”
ඔහු මේසය පසෙක තිබූ ටෙලිෆෝනය ගෙන අංකයක් ඔබා කාටදෝ ඇමතුමක් දීය. විනාඩි පහක් ඇතුළත මගේ බැච් මේට් කඩ්ඩා ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාගේ කාමරය ඉදිරියේ දිස්විය. ඔහු මා දෙස බලා මද සිනහවක් පෑවේය.
”ඔව් චීෆ්”
මෙයා ඔයාගෙ බැච් එකේ නේද?
”ඔව් චීෆ්”
”එහෙනම් මෙයාව එක්කගෙන ගිහිල්ලා කැබින් එක පෙන්නන්න. ඊට පස්සෙ එන්ජින් රූම් එකට එක්කන් ගිහිල්ලා සෙකන්ඩ් ඉන්ජිනියර්ට භාර දෙන්න.” කී ඔහු යළිත් තම කුඩා සෝපාවේ ඇලවිය.
”යමු මචං.”
කඩ්ඩා මට ඉස්සර විය. මා ඔහු පිටිපසින් ගමන් කළේ පිටසක්වලින් ආ ජීවියෙකු මෙනි. යළිත් තරප්පු පෙළ තට්ටුවක් බැස ආ අපි
”මේ තියෙන්නෙ අපේ මෙස් රූම් (Mess Room) එක එහායින් තියෙන්නේ ගැලිය.(Galley)”
 කී ඔහු මෙස් එක අසලින් වූ තරප්පු පෙළක් බැස යට තට්ටුවට මා රැගෙන ගියේය. පහළ තට්ටුවට තරප්පු පෙළ මතින් පහලට ආ පසු මේ තට්ටුව වම්  හා දකුණු පසට ඇලිවේ එක දෙපසට බෙදී යයි. මැදින් වූයේ එන්ජින් කාමරයයි. තරප්පු පෙළ පසුපසින් ඇතුළට විහිදුන කුඩා පැසේජයක් වූයේ නැවේ සුක්කානම් කාමරය හෙවත් ස්ටියරින් රූම් එක හමුවෙයි. එය ආසන්නයේ වූ කාමරය වූයේ වියළි ආහාර ගබඩාවයි. මෙම තට්ටුව නැවේ ප‍්‍රධාන තට්ටුවට පහළින් වූ තට්ටුව වූ අතර නැව බඩු වලින් පිරුණු කල වතුර මට්ටමට ආසන්නයේ අඩි දෙක තුනක් පහළින් පැවතියේය. තරප්පු පෙළින් දකුණු පසට වන්නට වූ කාමර පෙළෙහි තුන්වන කැබින් කාමරය වෙත මාව රැගෙන ගිය කඞ්ඩා,
”මෙන්න මේ කැබින් එකේ තමයි දැනට ඉන්න වෙන්නෙ. පේනවා නේද ඔක්කොම කැබින් ගලවලා දාලා තියෙන්නෙ.” යි කීය.
”කොහෙද බං ඇඳුම් බෑග් එක තියන්නේ?”
හැම තැනම බෑග් ඇඳුම් කැඩුම් දමා ඉතාමත් අපිළිවෙළකට තිබූ එම කැබින් කාමරයේ බෑගය තබා ගැනීමටවත් ඉඩක් නොතිබූ ගානය. ඇඳ ඇතිරිලි පොඩිවී ගොස්ය. කොට්ටයේ උරය පවා කිළිටි වී ගොස් ඇත. එම කැබින් කාමරයේ ඇඳවල් දෙකක් වූ අතර ඉහළින් හා පහළින් වශයෙන් ඩබල් ඇඳන් දෙකකින් යුක්තවුනි.
”දැනට ඔය උඩ ඇඳින් තියහං. එහෙනම් ඉක්මනට  ඕවරෝල් එක දාගෙන පහළට වරෙන්. මම දැන් ඩියුටි ඉන්නෙ. ඉක්මනට පහළට යන්න  ඕනෙ.”
”මචං මාර බඩගිනියි බං. තාම දවල්ට කාලාත් නෑ.”
”දැන් කෑම තියෙයිද දන්නෑ. වරෙන් ගැලියට ගිහිල්ලා බලමු.”
අප දෙදෙනා තරප්පු පෙළ නැග ඉහළ තට්ටුවේ වූ මුළුතැන්ගෙට පිවිසියෙමු. මුළුතැන්ගෙට එබී බැලූ කඞ්ඩා එහි වූ අරක්කැමියාගෙන් කෑමට යමක් තිබේදැයි විමසීය. ඒ වන විටත් නැවේ සියල්ලන්ම කෑම ගෙන අවසන් වී ඇති බවත් දැනට උයපු භාජන සෝදා දමමින් සිටින බවත් ඔහු පැවසීය. ඉතිරි වූ අලූකෙහෙල් ව්‍යාංජනයක් හා බත් ලැබුනායින් මා ඉක්මනින් කටට දෙකට ගිලදැමුවේ ඉතාමත් කුසගින්නේ සිටි බැවිනි. පහළ තට්ටුවේ තිබූ කැබින් කාමර වල බිත්ති වෙන් කර තිබූ ෆෝමිකා ඇල වූ ලෑලි විශේෂයක් වූ අතර මේ  පැනල (Paneling) හා යකඩ තහඩුව අතර ඇතුළතින් ගිනි නොගැනීමට ග්ලාස්වුල් (Glass Wool)නම් පරිවාරක ද්‍රව්‍ය යොදා තිබුනි. නැව් බඳහි දිරාපත් වූ සමහර කොටස් කපා දමා අලූත් යකඩ තහඩු යොදා පෑස්සුම් කරන බැවින් පහළ තට්ටුවේ කැබින් කාමරයෙහි ලෑලි පැනලින් ගලවා දමා තිබුණි. ඇලි වේ එක නොහොත් ගමන් ගන්නා පැසේජයේවත් යෑමට නොහැකි වන පරිදි තැනින් තැන කාමරවලින් ගැලවූ ලෑලි ගොඩ ගසා තිබුණි. කැබින් කාමර ගලවා දැමීම නිසාවෙන් එම කාමර වල විසුවන් නොගලවා තිබු කාමරවල තම ඇඳුම් හා බඩු බාහිරාදිය තබා තිබුණායින් එම කාමර වූයේ යකා නැටූ පිට්ටනියක් සේ ඉතා අපිරිසිදුව දිස් වූනි. 

        කෑවායින් නොකෑවායින් මා පහළ තට්ටුවේ කැබින් කාමරයට ගොස් ඇඳුම් මාරුකරගෙන එන්ජින් කාමරය (Engine room) වෙත ගමන් කළෙමි. අපගේ කැබින් කාමර වූ තට්ටුවට තරපුවෙන් බැස වම්පසට හැරී මීටර් පහක් පමණ ඉදිරියට ගිය විට දකුණු පැත්තට වන්නට වූ යකඩින් නිමවු ජල මුද්‍රිත දොරක් (Water tight Door)විය. මෙම යකඩ දොර වටේට ඇති අඟුල් එළියෙන් හා ඇතුළින් විවර කළ හැකි ලෙසින් ඇති අතර එවා තදකර ජලය ඇතුළට කාන්දු නොවනා සේ මුද්‍රා තැබිය හැකි වන ලෙසින් සකසා තිබුණි. මෙම දොර විවර කරන සෑම විටකදීම එන්ජින් කාමරය තුළින් නැගෙනා කඨෝර ශබ්දයන් එළියට ගලා ඒම සිදුවන්නට විය. එහි අගුල පන්නා දොර විවර කරගෙන එන්ජින් කාමරයට ඇතුලූ වූ විගසම කන් අඩි පලන්නාක් මෙන් එහි වූ අධික ශබ්දය මොළය සිසාරා ගමන් කරන්නට විය. ඉහළ සිට පහළට දිවෙනා විවිධාකාර වූ පයිප්ප බටද යන්ත‍්‍ර සූත‍්‍රයන්ද මාගේ දෙනෙත් වලට අසුවුනි. මෙයට පෙර නාවික පුහුණු පාසලේ ඉගෙනුම ලබද්දී ගාල්ල වරායේ තවත් නෞකාවකට අපව ගෙනවිත් පෙන්වූ එන්ජින් කාමරය ලෙසින් නොව හතර අත ගලවා දැමූ යන්ත‍්‍රසූත‍්‍ර වල කොටස් හා විවධාකාර ප‍්‍රමාණයෙන් යුතු ලොකු කුඩා පයිප්පද විය. සමහර ස්ථානයන් හි පොලවට අතුරා තිබු යකඩ තහඩු නොමැතිවිය. තැනක ඉතාමත් අපිළිවෙළකට දැමූ යකඩ තහඩු ගොඩකි. මා හිමිහිට තරප්පු පෙළ බැස පහළ තට්ටුවට ගොඩ බැස්සෙමි. 

         පසෙකවූ ඞීසල් තෙල් බාල්දියකට යමක් දමමින් සිටි මාගේ මිතුරා මා හට ඔහු සමඟින් එන ලෙස ඉඟි කළේය. මා මේ වන විට සිටියේ අධික ශබ්දයෙනුත් මේ වන විට එන්ජින් කාමරයේ ක‍්‍රියාකාරිත්වයේ තිබෙන විදුලි උත්පාදක යන්ත‍්‍ර දෙකකින් ශබ්දයෙනුත් රස්නයෙනුත් තෙහෙට්ටු වීගෙනය. කඞ්ඩාගේ පසුපසින් ගිය මා එන්ජින් කාමරයේ පසෙක වූ යම් වැඩක නිරත වූ කෙනෙක් ළඟට ගොස් ඔහුගේ කනට කොඳුරා යමක් කිව්වේය. ඔහු තම වැඩය නවතා මා දෙස තම පරීක්ෂාකාරී නෙත් යොමුකර හිසේ සිට පාදාන්තය තෙක් පරීක්ෂාකර බැලීය. පසෙක යම් වැඩක සිටි දෙදෙනෙකු පෙන්වා ඔවුන්ට උදව් කරන ලෙස කී ඔහු යළිත් තම වැඩයට හිස යොමා ගත්තේය. පසෙක ගලවා තිබූ යම්ක් සවි කරමින් සිටි දෙදෙනෙකු වෙත මා ගිය අතර  කැබලිවලට ගලවා දමා තිබූ එම උපාංගය කුමක්දැයි හඳුනාගත නොහැකි වූ මම ඔවුන් කරනා දෙය දෙස බලා සිටින්නට වීමි. අධික ශබ්දය නිසාවෙන් ඔවුන් පවසනා කිසිදු දෙයක් මාගේ සවනට නොවැටුන බැවින් මා ඔවුන් දෙස බලා සිටිනු විනා වෙන කළ හැකි දෙයක් නොවුණි. පසුව දැනගත් පරිදි එය ටියුබ් වර්ගයේ එන්ජින් ඔයිල් කූලර් (Tube type Lubricating Oil Cooler) එකක් විය.  ඔවුන්ගේ වැඩ දෙස බලාසිටින්නෙකු එතැන සිටීම නොරිස්සූ ඔවුන් දෙදෙනා මා එම කූලරයේ කවරය ඔසවාලීමට උදව් කරන ලෙස මාගේ කනට කෑගසා කීවෝය. චේන් බොලොක්කයක් ආධාරයෙන් ඔසවා ගත් එය පයිප්ප කිහිපයක් ඇතුළතින් රිංගා ගොස් සවි කිරීම ඉතා අසීරු කටයුත්තක් විය. නියමිත  ඇණ තව්වලට සරිලන සේ එම කවරය සමපාත කරගැනීමට මා මාගේ දෑත්වලින් එම කවරය ඔසවාගෙන රඳවාගෙන සිටියේ ඇණ තව්වට ඇණයක් රිංගවා කවරය සවි කරගැනීමේ මූලික කොටස සම්පූර්ණ වන තෙක්ය. එහි වූ අධික බර මි හට දරාගත නොහැකිව මිගේ දෑත් වෙව්ලන්නට පටත්ගත්තේය. කෙසේ හෝ ඇණ තව්වකට ඇණයක් රිංගවාගෙන කූලර් කවරය සවිකරගැනීමට හැකිවීම මාගේ නාවික ජීවිතයේ පළමුව කළ වැඩය විය. ඉන් අනතුරුව එම කවරයට අදාළව තෙල් හා ජලය රැගෙන එන හා පිටවන නල එයට සවිකර අවසන්කරන්නට හැකිවුනි. එම කූලර්කවරය (Cooler Cover) සවිකරමින් සිටිඑක් අයෙකුවුයේ සමාගමෙන් තාවකාලිකව මෙම නැවට අනුයුක්ත කර එවන ලද දෙවන ඉන්ජිනේරුවරයෙකුය. ඔහු වැඩ අවසානයේ මගේ පිටට තට්ටුවක් දමමින් එන්ජින් කාමරයෙනි එළියට යන්නට ගියේ සිගරුට්ටුවක් දල්වා ගැනීමට විය යුතුය.
        

         මෙසේ ඉතා වෙහෙසකර දිනයක් අවසානයේ අපට නාගැනීමටවත් ජලය නැවේ නොමැති වූයේ ජලය පොම්ප කිරීමට යොදා ගන්නා මෝටරය ක‍්‍රියා විරහිත වී තිබුණු බැවිනි. සැන්දෑ කලූවර වැටෙන තෙක් අප වැඩ කළ බැවින් අඳුරේම බාල්දියකුත් ගෙන මමත් කඞ්ඩාත් ගාලූවරායේ වූ ළිඳකට ගියේ හොඳ හැටි නා ගැනීමටය. අවුරුදු කිහිපයකට පසුව මා යළිත් එම ළිඳ පිහිටි ඉසව්ව සොයා බැලූවත් ළිඳ හොයාගත නොහැකි විය. ගාලූ වරාය පරිශ‍්‍රයේ අලූතින් ගොඩ නැගූ සිමෙන්ති කම්හල්වලට එම ළිඳ වැසී යන්නට ඇතැයි අනුමාන කළෙමි. සීතල මුහුදු සුළං වැදි වැදී සීතලෙන් වෙවුලමින් නාගත් අයුරුත් අඳුරේ ගිලූණු වරාය භූමියේ තරු එළියෙන් ළිඳ වෙත ගිය අයුරු තවමත් මා හදවතේ නොමැකෙන සටහනක් ලෙසින් තැන්පත් වී තිබේ.

සයුරේ ආ මඟ 

පළමු කොටස - පැද්දෙන පොල් ලෙල්ලක් - සයුරේ දසවසක්  


 අටුවාව​

ගැන්වේ  Gangway - නෞකාවකට ගොඩවිමට හා බැසීමට ඇති තරප්පුව 
ඕවරෝල්  Overall -  වැඩට අදිනා ඇදුම
මේන් ඩෙක්  Main Deck - නෞකාවක ප‍්‍රධාන තට්ටුව
ඩෙරික්  Derrick  - දොඹකරයක් වැනි යන්ත‍්‍රයක්
ඇලිවේ  Alleyway  - කැබින් කාමරවලට පිවිසිමට ඇති පටුමාර්ගය

මෙස් රූම් - Mess Room -නැවියන්ගේ ආහාර ගන්නා කාමරය
ගැලිය  Galley - නෞකාවක මුළුතැන්ගෙය
ඇකමඩේෂන්  Accommodation - නෞකාවක නැවියන් සියලු දෙනා වාසය කරනා කැබින් කාමර ඇති ස්ථානය

Overall

Derrick

Mess room

Cabin

Main Deck

Galley

Alleyway

Gangway


30 comments:

  1. නියමා...............යි

    දිගටම ලියමු

    ReplyDelete
  2. මේ කතා වගේම කොටු දාන්න වෙන කතාත් ලියන්න ඕනා දිගටම.. දැන් මත්පැන් බිව්වත් කොටු දාන්නවනේ... හේ හේ හේ... නැව් කතා කියවන්න මාත් ආසයි.

    ReplyDelete
    Replies
    1. ලේ කදුලින් හා දහදියෙන් ගෙවුනු මගේ ජිවිතේ එක් පැතිකඩක් හිතෙන තරම් සුන්දර නෑ.මෙතෙක් කලක් මෙය අකුරැ කලේ නැත්තේ යළි මතකයට නගන්න ඇති අකමැත්ත නිසා අරෑ.

      Delete
  3. මින්ස්සුන්ට ඉගනෙගන්න තියන්නෙ ක්‍රම ‌‌ද‌ෙකයි. තමන්‌ග‌ෙ අත්දැකීම් හා අනුන්ග‌ෙ අත්දැකීම්. තමන්ග‌ෙ අත්දැකීම‌ෙන් ඉගනෙගන්න එක දුෂ්කර හා කටුක එකක්. තමන්ග‌ෙ අත්දැකීම් හා දැනුමත් අනිත් අයගෙ ඒවත් නිදහසේ අනිත් අයට ලබාදීම තමයි ඔය අධ්‍යපනය කියල කියන්න‌ෙ. සමාජයක් දියුණු ‌වෙන්න නම් කලින් පරම්පරාව තමන්ගෙ අත්දැකීම් හා දැනුම ඊලඟ පරම්පරාවට නිදහසේ ලබාදිය යුතුයි. නිදහස් අධ්‍යාපනයේ වැදගත්කම ඒ්කයි. ඒ්ක හුදෙක් ආතල් සටන් පාඨයක් ‌නෙමේ.සමාජයක දියුණුව, අනාගතය ‌වෙනුවෙන් ඒ්ක අත්‍යාවශ්‍යයි. ඒ්ක සමාජයක පුරවැසි වගකීමක්. ඔබ ඒ් වගකීම ඉටුකරන පුරවැසියෙක්. මගේ ආචාරය ඔබට...

    ReplyDelete
    Replies
    1. ඇනොනිමස්ගේ අදහසට මාත් ස්තුතියි කියනවා.

      Delete
  4. අසංග, නැව්වල දිගටම අලුකෙසෙල් දෙනවද? මං අහලා තිබුනේ නම් හිර ගෙදර එහෙම කරනවා කියලයි, ඔනෙකමින්ම. මේකත් එහෙම දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ. මේ නැව ලංකාවේ එකක් නේ. කැප්ටන්ලා ලාභ බඩු නැවට ගෙන්නලා කෑම ගෙන්න ගිය සල්ලි හොරෙන් ගන්නවා. වැඩ කරන අයට එක කෑම වේලකුත් කැප්ටන්ලාට වෙනම කෑම වේලකුත් හදවාගෙන කාපු කැත වැඩ මේ අපේ රටේ මිනිස්සු එක්ක හිටපු නැව් වලදි අත්දැක්කා. මේ ගැන ඉදිරියේදි ලියවෙයි. අනික මට මේ සිද්ධිය මතක තිබුනේ කන්න දෙයක් නැතිව අළුකෙහෙල් ව්‍යාංජනෙත් එක්ක බත් කාපු එක. එලවලු එහෙම ලැබෙනවා අඩුයි. මස් මාලු තමයි වැඩිපුර. පිටරට නැව් වල නම් උදේට බිත්තර සමග සෙසේජස් එහෙම අනිවාර්්‍යයෙන්ම තියෙනවා. මේ ලංකාවේ නැව් වල තිබුනා ප්ලාස්ටික් ඉදියාප්ප. මමයි නම දැම්මේ. ඉදියාප්ප වේලලා පැකට් කරලා. උනු වතුරට දාලා ගත්තාම හරි. එත් ඉදිආප්ප නිකං ප්ලාස්ටික් වලින් හදලා වාගේ ගැහැව්වත් කැඩෙන්නේ නෑ.

      Delete
  5. https://www.goodreads.com/book/show/7224820-doctor-at-sea

    One of my favourite books.

    ReplyDelete
  6. හොඳට යනවා. ස්තූතියි.

    පොඩි යෝජනාවක් කරන්නද? ඔබට දිග කතාවක් ලියන්න තියන නිසා පරිසරය විස්තර කිරිම් ටිකක් අඩුයි කියල හිතනවා. නැවේ එක එක ස්ථාන ගැන ලින්ක් දාලා තිබෙන එක ඇත්ත නමුත් වඩාත් හොඳ ක්‍රමය ස්ථානයට අදාල පිංතූර මේ පෝස්ට් එකේම දාන එකයි. එතකොට අපට පරිසරයට අනුගත වෙන්න ලේසියි.

    අපි කුඩා කාලෙ ,නැව්වල වැඩකරන්න ගිය දන්න කියන අයව අපි දැක්කෙ, දිවිය ලෝකෙ ගිහිල්ලා ආපු අය වගෙ. ඒත් යතාර්ථය එච්චර සුන්දර නෑති බව දනිමි.

    ReplyDelete
    Replies
    1. යෝජනාවට ස්තූතියි. මේ පොස්ට් එක මම හදන්නම්. මේ නැව් රස්සාවේ හොද වැටුපක් ගෙවන්නේ මේ දුෂ්කරතාවයන් අවධානම් හා අන්තරාකාරි රස්සාවක් හින්දා. ලෙඩක් දුකක් කරදරයක් එහෙම උනොත් ඉතිං දෙයියන්ගේම පිහිට තමයි. දැන් තියෙන නවින පහසුකම් හින්දා මේ රැුකියාවේ තියෙන අවධානම අඩුවෙලා තියෙනවා.

      Delete
  7. අලුත් රැකියාවක පලවෙනි දවස කියන්නේ පුදුම තරම් මානසිකව වෙහෙසකර දවසක්. හැබැයි ඒක දැනෙන්නේ ෆීල්ඩ් එකට අලුත් නම් විතරයි. ෆීල්ඩ් එකේ පරණ වෙලා අත්දැකීම් ලැබුනාම රැකියා ස්ථානය වෙනස්වීම කියන එක පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. ඒත් ඉතින් කැපිලි කාරයෝ ඉරිසියා කාරයෝ ඉන්න තැන්වල නම් කොයිතරම් එක්ස්පීරියන්ස් තිබ්බත් පලවෙනි දවස වෝර්ම් වෙල්කම් එකක් ලැබෙන්නේ නැහැ.

    නැව් ජීවිතේ දුක ඇති. ඒ ගැන මට අත්දැකීම් නැහැ. ඒත් දන්නා කියන කෙනෙක් ඇහුවොත් නැවෙන් බැහැල එන්නද කියල මමනම් කියන්නේ එන්න එපා කියල. මොකද නාවේ කෑම බීම ඉඳුම් හිටුම් එක්ක පැය අටක සේවයට ලබන වැටුප සහ නිදහස නැවෙන් බැහැපු සීමන් කෙනෙකුට ගොඩබිමේදී ගන්න සෑහෙන්න දුක් විඳින්න වෙනවා. බටහිර රටකට නැව ආවාම නැවෙන් බැහැල මිසින් වෙච්ච අය සෑහෙන්න පිරිසක් පහුගිය වසර අට ඇතුලත හමුවෙලා තියෙනවා. එයාල බහුතරයක් නැවෙන් බැහැල රටක නවතින්න ගතපු තීරණේ ගැන ජීවිතේ තියෙනකල්ම කනගාටු වෙනව.

    ReplyDelete
    Replies
    1. සැප පහසුකම් තියෙන වැඩ අඩු දිවියලෝක වාගේ නැව් වාගේම කිසිම පහසුකමක් නැති අමු අපායවල් වාගේ නැව්ත් තියෙනවා. ඒවාග්ම තමයි වැඩි වැටුප් සහ අඩු වැටුප්. කන්න බොන්න ඉදුම්හිටුම් ඔක්කෝම නොමිලේ ලැබෙන පඩියම ඉතුරු කරන්න පුලුවන් රස්සාවක්. හැබැයි ගොඩබිමක රස්සාවක් වාගේ නොවෙයි අදාල කාලසිමාවෙන් පස්සේ කිසිදු වගකිමක් නෑ. හම්බකරපුවා නැති නාස්තිකලොත් අනාතයි.එහෙම වෙච්චි අය ඔනේතරම් ඉන්නවා. මගේ මුල් නැව් ඔක්කෝම අමු අපායවල් (Rust Buckets). පස්සේ දිවිය ලෝකේ ගියා......

      Delete
  8. නැව් කතා අගෙයි. අපිට ඉතිං කවදාවත් නැවකට ගොඩවෙන්න බැරි වෙච්ච හින්ද ඔය දේවල් අහන්න ආසයි. දිගටම යං.

    ReplyDelete
  9. බොහෝම... බොහෝම. කාලෙකින් නේ අසංග දැක්කේ හරවක් ලිපියක් සමගින් හරිම සතුටුයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,ගුණසිංහ මහත්මයාගේ අඩවියත් බොහෝකාලයකින් යාවත්කාලීන වෙලා නෑනොවැ. ඉක්මනින් පොස්ටුවක් දැම්මොත් හොදානේද?

      Delete
  10. හම්මේ ගියා වගේ .. ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔහොම යද්දි කමියලාවත් මගදි මුණගැහෙයිද මන්දා...........

      Delete
  11. නියමයි අසංඟ අයියේ...!

    ReplyDelete
  12. වැඩිය අත්විඳන්න අත්දනින්න නොලැබෙන දෙයක් ගැන ලිව්වාට තුති
    විචාරක දියණිය

    ReplyDelete
  13. ෂා ... නියමයි නේ .... ගොඩක් දේ ඉගෙනගත්තා . හරිම වටිනා ලිපියක් අසංග අය්යේ .

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

පළිගු කිරිල්ලී - දාහහතරවන කොටස

පළිගු කිරිල්ලී - දාහහතරවන කොටස                   දින කිහිපයක් ගෙවි ගොස් යළිත් තම දිවියේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට ඉන්දිරා සමත් වූවාය....