Tuesday, February 6, 2018

"මං ආදරෙයි"

 ඈත අතිතයේ බොහෝ සිදුවිම් ගොන්නක් මනසේ යලි රගදැක්වෙන්නට පටන් ගත්තේ ආරාධනා පත‍්‍රයක් මගේ සුරතට පත්වුනු නිසයි.  "ප‍්‍රගියා"  ඒ අපි කවුරුත් ඔහුව ඇමතුව නම. ප‍්‍රගියා මට මුලින්ම මුණ ගැහෙන්නේ එක වසරේ පංතියට පාසල් යන මුල්ම දවසේදි. එකම පංතියට වැටුන අපි දෙන්නා ඊළග අවුරැද්දේ වෙන පංතියකට වැටුනා කියලා මතකයි. ගල්කිස්සේ අපේ ගෙවල් ආසන්නයේ ගෙවල් කිහිපයකට එහා ⁣හිටිය ප්‍රගියා ක්‍රිකට් ගහන්න සෙල්ලම් කරන්න ආවේ අපේ අල්ලපු ගෙදර පෙරේරා අැන්ටිලාගේ වත්තටයි. ප්‍රගියාගේ අයියයි මගේ අයියයි පෙරේරා ඇන්ටිගේ මුණුපුරෝ වෙච්චි මහේන් හා ජිවක දෙන්නයි දොස්තර අබේනායකගේ පුතාලා දෙන්නාසොහාන්, නිලාන් එක්ක සමන් සහ සමන්ගේ මල්ලී  සංජීව එක්කලා අපි සෙල්ලම් කළා.




සමහරදාට මේ වත්තේ සෙල්ලම් කරන්නේ පාසල් වශයෙන් දෙකට බෙදිලා. තොමසුවන් ගොඩට ජීවක මහේන් නිලාන් සොහාන්  එකට එකතුවෙද්දි අනිත්වුන් ටික හේනපාරේ කනිෂ්ඨයේ (දැන් ලලිත් ඇතුලත්මුදලි මහාවිද්‍යලය) කන්ඩායම වුන. තෝමසුවන්  පෙරේරා ඇන්ටිගේ ගෙදර ඉස්තෝප්පුවේ පැවිලියන් එක කරගෙන හිටපු නිසා අපිට තිබ්බේ  වත්ත වටේ වවලා තිබුන ඉපිල් ඉපිල් ගහක සෙවනට වෙලා හරි තාප්පයක් උඩට වෙලා ඉන්නයි. උන්ගේ ඉඩමක සෙල්ලම් කරන නිසා වැඩි බලතල තිබුනේ තොමසුවන් ගේ කන්ඩායමටයි. ඒ නිසාම කන්ඩායම් දෙකම භේදබින්න වෙලා ගුටි ඇන නොගෙන තරහා වෙලා ගෙවල් වලට යනවා. ඒ තරහා මරහා හින්දාම සෙල්ලමේ අවසානය දක්වා ගෙනගිහිල්ලා කි‍්‍රකට් ගැහිල්ල නතරවුනාදැයි  කියන්න ශක්තියක් දැන් මතක ගබඩාවේ නෑ. පෙරේරා ඇන්ටිගේ සුවිශාල ගෙදර බිමට සමතලා කරලා දැම්මාට පස්සේ අපි සෙල්ලම් කරපු අර විශාල වත්ත අවුරුදු ගනනාවක්ම කැලේ වැවිලා යන්න ඇරලා තිබ්බා. අපි දුව පැනලා සෙල්ලම් කරපු ලස්සන වත්ත යටකරගෙන අහස උසට නැගුන මහල් දාහතරක තට්ටු නිවාසය දැන් දකිනකොට නම් හිතට ඇතිවෙන්නේ විශාල දුකක් තමයි.


ගල්කිස්සේ තපෝදනාරාමය පන්සලේ අරඹපු මුතුහර රූපවාහිනි  ළමා සමාජයේ ආරම්භයේදි සමාජිකයෝ වෙන්නත් අපේ සහෝදරටයෝ එක්ක මටත් ප‍්‍රගියාටත් පුලුවන් වුනා. එක සැරයක් මාසික සභාවාරයකට ඉදිරිපත් කරන්න කෙටි නාට්‍යක් කරන්න ප‍්‍රගියා මාත් එක්ක අපේ ගෙදරදි පුරුදුවුනා මට මතකයි. හැබැයි පුරුදුවුනත්  පස්සේ ඒ නාට්‍ය කෙරුනේ නැත්තේ මගේ තියෙන සභාවක් ඉදිරියට යන්න තියෙන ලැජ්ජාශිලි බව හින්දා වෙන්නත් ඇති.

පහේ ශිෂ්‍යත්වේ පාස්වෙලා ප්‍රගියා ඉසිපතනෙට ගියා. වෙනින් පාසලකට ගිය හින්දා වාගෙම සෙල්ලම් කරද්දි ඇතිවෙච්චි පොඩිපොඩි රණ්ඩුත් එකත් එක්ක ටිකක් විතර අපේ මිතුරැකම් අඩුවෙලා ගියේ ක්‍රිකට් ගහන්න එන කට්ටියත් නැතිවුනේ එන්න එන්නම වයසින් වැඩෙද්දි පාසල් වැඩ වලට මුල්තැන දෙන්න ඔනෑවුන හින්දා වෙන්න ඇති. ප‍්‍රගියා ඉදහිට දැක්කත් කතාබහ යාළුමිත‍්‍රකම් අඩුවෙලාම ගිහිල්ලා තිබුනා. පස්සේ කාලෙක ආපහු මට ප‍්‍රගියා මුණගැහෙන්නේ අපි සාපෙල ලියන කාලේදි. ඒ කෝකිල සේනාරත්න සර්ගේ ගනන් පංතියේදි. තව පිස්සු කොලින සෙට් එකක් එක්ක විශාරද පි.වි නන්දසිරි මහතාගේ කනිටුපුත් සජනත් අපිත් එක්ක හිටියා මතකයි.  විභාගයට ඔන්න මෙන්න කියලා  කොකිල සර් අපිව අතරමං කලාම මමයි ප‍්‍රගියයි සෙනසුරාදා දවසක උදේම කොච්චියේ නැගලා රාගම ගියා කෝකිල සර් කරන පන්තියක් හොයාගෙන. සර් තක්කුමුක්කු වුනා අපි දෙන්නා එහේ ආවාම. ආපහු සර්ව කැමතිකරවා ගත්තා අපිව අතරමං නොකර පන්තිය කරවන්න.

 ඒ වෙනකොට ප‍්‍රගියා අරිසෙන් අහුබුදු ශූරින්ගේ සක්විති රාවණ නාට්‍යයේ මුවපොව්වාගේ චරිතය එහෙමත් රගපාලා තියේනවා. ඔය අතරේදි නාට්‍ය රගපෑමේ පිස්සුව තියෙන සෙට් එකක් ප‍්‍රගියාට මුණගැහෙනවා. ඒ තමයි ගල්කිස්සේ හිටපු ජනප‍්‍රිය නිලියක්වු චම්පා ශි‍්‍රයාණිගේ මල්ලිලා රොහාන් හා රුවන් දෙන්නා එක්ක මගේ සහෝදරයාත් තව කිහිප දෙනෙක් එකතුවුන එක. එක එක නාට්‍ය සම්මාන උළේලවල් වලට යන්නත් කෙටි නාට්‍ය හදන්නත් වාගේම ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ හා Alliance Française 
එකේ පෙන්වන විත‍්‍රපටි බලන්නත් අපි පුරුදුවෙලා තිබුනා කිව්වොත් හරි. ඒ කාලේ තරුණ සේවා සභාවෙන් කරපු යෞවුන සම්මාණ නාට්‍ය උළේලවල් අතහැරියේ නෑ. පසුකාලෙක මහණදම්පුරපු පුනරුත්ථාපන කොමසාරිස් ධුරය දැරු බි‍්‍රගේඩියර් ආනන්ද විරසේකර මහතා එක්ක ලීල් ආනන්ද ගජණායක මහතා ඔය කියන නාට්‍ය උළේලවල්කෙරේව්වා. පොඩි පොඩි නාට්‍ය උලේළවල් වලට නාට්‍ය හදපු ඔය කියන කාලේ ප‍්‍රගියා සරසවි සම්මාන නාට්‍ය උළේලේදි හොදම නාට්‍ය අධ්‍යක්ෂනයටත් සම්මාන අරගත්තා. මට තාම මතකයි ඒ සම්මාන උළේල තිබුනේ නිතිඥ ජොන්ද සිල්වා සමරු රගහලේදි. ඒ නාට්‍යයේ මට මතක විදිහට මගේ සහෝදරයාත් රගපෑවා.

  කමල් අද්දරආරච්චි  මහේන්ද්‍ර පෙරේරා ජයන්ත චන්ද්‍රසිරි වැනි දැවැන්තයින් බිහිකරපු ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතා යටතේ අපේ මේ නාට්‍ය පිස්සෝ සෙට් එකම  ගියා රගපෑම ගැන හදාරන්න. මම හිතන්නේ ප‍්‍රගියා ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ එතුමාගෙන් තමයි. සාලමන් ෆොන්සේකා මහතාගේ අහිමිජීවිත නාට්‍යයේ දෙවන නිෂ්පාදනයේ කන්ඩි කියන චරිතයත් රගපෑවා. ඒ කාලේම වාගේ ප‍්‍රගියා සිරසේ විකාශයවුනු ගොඩාක් ජනප‍්‍රිය වෙච්චි ෆැන්ටසි ඇවිනිව් ටෙලියේ රංගනයෙන් දායකවුනා. අරුත්සුන් මෙගා ටෙලිනාට්‍ය වලට එකතුවෙලා සිනිබොල නළුවෙක් වෙන්න ගියේ නැති  ප‍්‍රගියා රූපවාහිනියේ විකාශය වුනු බොහොමයක් සම්භාව්‍ය ගනයේ ටෙලිනාට්‍යවු  අඹු දරුවෝ සවයංජාත කරුවලගෙදර ටෙලි වල රගපෑමෙන් දායකවුනා. මේ ළගදි ස්වාධින රුපවාහිනියේ විකාශයවුනු  නැගෙනහිර වෙරළෙන් ඇසෙන ටෙලියේත් රංගනයේ යෙදෙනවා මම දැක්කා. 


නළුවෙක්ම පමණක්ම නොවුන ඔහු රෝමියේ ජූලියට් කතාව වේදිකාවට ගෙනආවා. අතිසාර්ථකව තිරගතවු ධර්මයුද්ධය විත‍්‍රපටයේ තිරරචනාව කලෙත් මගේ මිතුරා ප‍්‍රගියා තමයි. ජිවිතයේ කාර්්‍යබහුලත්වය ඉදිරියේ අපි නිරතුරුවම නොදැක්කත් පැරණි මිතුරුකම් අමතක නොකල මා මිතුරා තමන්ගේ පළමු විත‍්‍රපටියේ මංගල දර්ශණය නරඹන්නටත් ආරාධනා පත‍්‍රයක් ගෙදරටම ඇවිල්ලා දෙන්න තරම් නිහතමානි වෙලා තිබුනා.




පසුගිය ජනවාරි 19 වෙනිදා කොළඹ රීගල් සිනමාහලේදි මංගල දර්ශණය පෙන්වු  මා මිතුරාගේ "මං ආදරෙයි" චිත‍්‍රපටිය කොළඹ රීගල් ගල්කිස්සේ ඔඩියන් ඇතුලු සිනමාහල් ගනනාවකම අති සාර්ථකව තිරගතවෙනවා. ඒ විතරක් නොවෙයි තමන්ට රගපෑම් හා අධ්‍යක්ෂනය ඉගැන්වු තම ගුරුවරයාවු ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතාට තම පලමු චිත‍්‍රපටියෙන්ම ආචාරය පුදකලා පමණක් නොවෙයි එතුමාගේ බිරිදට මේ මංගල දර්ශණය නරබන්නටත්  උත්සවයේ චාරිත‍්‍රානුකුල මංගල පහන් සිළු දල්වන්නටත් අරාධනා කරලා තිබුණු එක විශේෂත්වයක්. ප‍්‍රගිත් රත්නායක නම් ප‍්‍රතිභාපූර්ණ නළුවෙකුවු මා මිතුරාට කලා ලොවේ ජයකෙහෙලි නංවමින් තව දිගු ගමනක් යන්නට ලැබේවා කියා කොළොම්පුරේ බ්ලොගයෙනුත් ජය පතනවා.