Monday, July 11, 2022

අන්දුබයියාගේ මුදාහැරීම



             ඔන්න කාලේකට පස්සේ අන්දුබයියාගේ කතන්දරයක් අරන් කොළොම්පුරයා ආයෙත් කොළොම්පුරේට ගොඩබැස්සා. නැන්දාම්මාගේ දේපල ලියාගන්න මාරම ට්‍රයි එකක් දුන්න අපේ සිරිකුමාර මහත්තයා දන්නවා නේද? දන්නේ නැත්නම් මෙන්න මෙතනට කොටලා කාලේකට ඉස්සරින් ලිව්ව අභිරහස කතන්දරේ කියවා එන්නකෝ. හරි දැන් නොදන්න උදවිය කියවාලා එනකම් දන්න උදවියටයි මේ කතන්දරේ කියන්න යන්නේ.
අපේ සිරිකුමාර මහත්තයා නැන්දම්මාගේ සීන් එක ලීක්වුනාට පස්සේ ගෙදරටත් මේක පදිරිවුනා. දන්නවානේ අපේ මෑන් මොළකාරයානේ. මිනිස්සු තමන්ට කෙලවුනාම එල්ලෙන්නේ ධර්මයේ. අපේ මිනිහා ගෙදරටත් අනික් උන්ටත් හොඳ මිනිහා වෙන්න ධර්මය පැත්තට බැස්සා. ආන් දැන් උපාසක සිරිකුමාර වෙලා. මස් මාලු අනුභවයෙන් වැලකිලා  ඔපිසියේ මේසේ ලඟ බුදු පිලිමයක් තියලා පන්සිල් පද ඇතුලු පොස්ටරයක් එහෙමත් බිත්තියේ ගැහැව්වා. මේක කියවන ඔහේලා පල්ලා මේ සිරිකුමාරයා අපිත් එක්ක විසේසයෙන් අන්දුබයියා එක්කත් සෙට්වෙලා කරන අමෘතපානයත් අතැහැරියා. හැබැයි දවසක් මම දැක්කා දවසක සිරිකුමාර මහත්තයා මස්කඩේක ඉන්නවා.

"ඈ බං උඔ මස් මාලු කන්නේ නෑතිව වෙජිටේර්යන් වෙලා නේද ඉන්නේ?"
"ඔව්"
"එතකොට උඔ මොකටද අර හරක් මස්කඩේ උන්නෙ?"
"මම වෙජිටේරියන් උනාට ගෙදර උන් වෙජිටේරියන් වෙලා නෑ බං."
"ඉතිං උබේ ධර්මය කියලා දීලා ගෙදර අයත් වෙජිටේරියන් කරවන්න පුලුවන්නේ."
"පිස්සුද බං ඕවා මෙහෙට කිව්වාට ගෙදරට හරියන්නේ නෑ. උඹ හදන්නේ මට ඉන්න ගෙදරත් නැති කරන්නද? " 
ඇහැව්වාම මෙන්න මිනිහා දුන්න උත්තරේ.

               තව දවසක අපේ අන්දුබයියාට සිරිකුමාර මහත්තයා ධර්මය ගැන හොඳ දේශණාවක් දෙසනවා. අන්දුබයියාත් එකත්පසව දේශණාවට ඇහුන්කන් දෙනවා. මමත් කන්දීලා බැලුවාම මෙයා කියන්නේ මස් කෑමේ විපාකයි. වෙජිටේරියන් වෙලා සතෙකුගේ ජිවිතයක් මරණින් බේරා ගැනීම ගැනයි. සිරිකුමාර මහත්තයා දුන්නා දේසනාවක් මස්වලට මළ පෙරේත අන්දුබයියාත් එදා කොම්පැනියේ බුෆේ එකේ තිබුනු කුකුල් මස් ව්‍යාංජනයත් කන්නේ නැතිව අතහැරියා. ඒවුනාට පස්සේ දවසක කෑවා. මේ ධර්ම් දේශණාව ඇහුවාට පස්සේ අන්දුබයියාටත් හිතුනා සතෙකුට අභයදානයක් දෙන්න. හැබැයි තනියම මේ අභයදාන සීන් එකට තනියම බරපැන යෙදන්න මිනිහා කැමති නෑ. දන්නවානේ පොර මහ මසුරා කියලා. කරන පවක් තනියම නොකර කට්ටිය සෙට්කරගෙන කරන උන්දෑ මේ පිනටත් කට්ටිය සෙට්කරගන්නට හිතුවා. කොහෙන්දෝ ප්ලාස්ටික් කැටයක් අරන් ඇවිත් එයාගේ මේසේ ඉස්සරායින් තිබ්බේ ගවයෙක් මරණින් මුදවාගෙන අභයදානය දෙන පිංකැටය කියලා බොඩ් කෑල්ලකුත් එහෙම ගහලයි. මුලින්ම කැටේට රුපියල් සීයයක් එහෙම දාලා අපි ලඟටත් එහෙම කැටේ එව්වේ සම්මාදමක් දමන්නයි. අපිත් පුලු පුලුවන් හැටියට සම්මාදම් කළා. පිං තකා කරණ වැඩක් නොවැ. අන්දුබයියාව හමුවෙන්න එන නානාප්‍රකාර ව්‍යාපාරික මහත්තුරුගෙන් ඒ කැටයට සම්මාදම් ලැබෙන්න උනා. හැබැයි එයා ලඟට එන්නේ එකම කන්ඩායමක් හින්දා මුලින් මුලින් සල්ලි කැටේට වැටුනත් පස්සේ පහුවෙන්න කැටයේ මට්ටම උඩට ගියේ නෑ. හැමදාමත් කාටද පුලුවන් පිනට දෙන්න.

            දවසක් බලනකොට මෙන්න බොලේ කැටේ තිබුන තැන කැටේ නෑ. බොඩ් කෑල්ල විතරක් ඉතිරි වෙලා තිබුනා. ආයෙමත් අර සීල් පෑඩ් එකට උනුදේම අන්දුබයියාලේ කැටේටත් වෙලාද කියලා හැමොම කසුකුසු ගාන්න පටන්ගත්තා නෙව. සුමානයක් ගතවෙලා ගියා කැටේට වෙච්චි දෙයක් නෑ.

"මචං අන්දු කැටේට ලොකු ගානක් එකතුවෙලා තියෙන්න ඇති නේද?
ඔව් බං.'
"ඒහෙනම් ෂුවර් එකටම ඒකට ශොට් එක කවුරුහරි දෙන්න ඇති. උඔ යනකොට කැටේ ලාච්චුවට දමලා යන්නයි තිබුනේ."
"කවුද බං හිතන්නේ පිනක් දහමක් කරගන්න වැඩකටත් මෙහෙම කරයි කියලා."
"මට හිතෙන්නේ අන්දුබයියාම මේ කැටේ උස්සලා අභයදාන සීන් එක නතරකරලා දාන්නයි හදන්නේ."
"අනේ පලයන් යන්න ..@*&%^$#........"
අපේ කාකාස මහතාත් ගෙදර ගිහිල්ලා උන්නු නිසා මේ කැටේ නැති වෙච්චි එක ගැන විස්තරයක් හොයාගන්නත් නෑ. මිනිහත් හොඳ ඕපාදුපයා හින්දා නොදන්න දෙයක් නෑ. සුමානයක් විතර හොඳ නිවාඩුවක් අරගත්තු කාකාස මහත්තයත් ආපහු ඔපිස් එකට ආවා. එයාගේ බෑග් මල්ලේ තිබිලා අර අභයදාන පිංකැටේ එළියට ආවා.
"මෙන්න බොලේ නැතිවෙච්චි පිං කැටේ. මූ තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ."
"මම අරගත්තු එකක් නෑ. මේක තිබුනේ මගේ බෑග් එකේ. මම ගිහිල්ලා බෑග් එක අදිනකොට මෙන්න මේකත් තිබුනා. " 
මෙච්චර දවසක් ගොලුවා කසාය බීලාවාගේ උන්නු අන්ඩපාල ගොඩපෙරකදොරු අමරසිරියා අත කටින් වහගෙන හිනාවෙන්න ගත්තා. බැලින්නම් අමරසිරියා ගෙදරයන්න ආපු කාකාස ගේ බෑග් එකට අන්දුබයියාගේ අභයදාන පිං කැටේ ඔබලා. සතියකට පස්සේ ආපහු පිං කැටේ අපේ ඔපිස් එකට ආවේ දියතලාවේ රවුමක් ගහලයි. පිංකැටේ නැතිවුනාට එක එක කතා අපෙන් අහලා මලඅතේ තියන් හිටපු අන්දුබයියාගෙන් හොදහැටි ලුනු ඇඹුල් කරපිංචා ගොරකා එක්ක සියඹලා අනන හැටි අමරසිරියා අහගත්තා.  

              ඕං පිංකැටේ තියලා අවුරුද්දක් විතර පහුවෙලාත් ගියා. හැබැයි කැටේ තාම පිරුනේ නෑ. අන්දුබයියාගේ මේසේ ලඟට යන අපේ කටේම තිබුනේ කැටේ ගැනයි. දැන් කැටේ සල්ලි වලින් අභයදානය දෙන්න පුලුවන් නේද කියලා.

"මචං උඔ මරනින් ගලවා ගන්න ඉන්න එකා තාම ඉපදිලා නැද්ද?"
"උඔ මරනින් බේරාගන්න කොට ඌ මැරිලා තව සැරයක් හරකෙක් වෙලා ඉපදිලා තියෙයි."
"දැන්  කවදාද උබේ ඔය අභයදාන සීන් එක තියන්නේ? උඔ පැන්සොන් යන දාටද?"
"මට පේන්නේ අන්දුබයියා මේ කැටේ සල්ලි උස්සනවා. නැත්නම් මේක මෙලකටත් පිරිලා."
"ආ මූ පැන්සෙන් යන්න හදන්නේ කිරි හරකෙක් මරනින් මුදෝනවා කියලා.  නිකම්ම කිරිඑලදෙනෙක් මුටත් ලැබිලා එකෙන් කිරි විකුණලා ගානක් හොයාගන්නත් පුලුවන්නේ."

           අපේ කියවිල්ල අහලාම අන්දුබයියාට කැටේ මේසේ උඩ තියන් ඉන්න බැරිවුනා. ටික දවසකට පස්සේ කැටේ එතනින් අයින්වුනේ බොඩ් කෑල්ලත් එක්කමයි.

"මචං අන්දුබයියේ කෝ බං පිංකැටේ?"
අන්දුබයියා හොඳ මුඩ් එකක ඉන්න අවස්ථාවක් අල්ලලා මං උන්දෑ ලඟට ගිහිල්ලා ඇහැව්වා.
"ඒක මං අයින් කළා."
"ඇයි?"
"උඹලාගේ වදේ හින්දා"
"එතකොට කෝ එකතුවෙච්චි සල්ලී?"
"මම එකෙන් සතෙක් මරණෙන් මුදාහැරියා."
අපේ අන්දුබයියාගේ තරම හොදැහැටි දන්නා මමත් විස්මයෙන් ඇලිලා ගියා. මේකා මෙහෙම වැඩක් කරයිද කියලත් විස්වාස කරගන්නත් අමාරුයි.
"කැටේ පිරිලා තිබුනේ නෑ නේද? හරකෙක් බේරාගන්න තරම් සල්ලියක් එකතුවෙලා තිබුනාද?"
"මේ ලෝබ උකන්නෝ සල්ලි දැම්මේ නෑ බං. එකේ එච්චර සල්ලියක් එකතුවෙලා තිබුනේ නෑ."
"එතකොට උඔ ඉතිරි ගාන දාලා හරකෙක් මුදාගත්තා?"
"ඒ සල්ලියෙන් කොහේ හරක් ගන්නද?"
"එහෙනම්?"
"එකතුවෙච්චි සල්ලිවලින් ගන්න පුලුවන් කුකුලෙක් විතරයි. ඉතිං මම එළුවිල හංදියේ නානාගේ කුකුල් මස් කඩේ මරන්න හිටපු කුකුලෙක් බේරා ගත්තා."
"ඈ බං කෝ දැන් ඒ කුකුලා කොහේටද අතහැරියේ?"
"උන්ව පාරද දාන්න බෑනේ. මං අපේ මස්සිනාගේ වත්තට ඌව අතහැරියා."
එහෙනම් ඌ එහේ හොදට කරදරයක් නැතිව ඉන්නවා ඇතිනේ?
"මොන පිස්සුද මස්සිනාගේ වත්ත පහුරුගානවා කියලා උන්ගෙන් හරියට කම්ප්ලෙන්. නෑනාගේ මල් පාත්තියත් ඉවරයිලු."
"ආපහු ඌව උඹලාගේ ගෙදර ගෙනාවද?"
"නෑ බං ඌව මුදවාලා දැම්මා."
"මොකක් මුදවලා දැම්මා? ඇයි පහුරුගාන හින්දා ගෙටගහලාද තිබුනේ?"
"නෑ බං අපේ මස්සිනාගේ මස්සිනා කටාර් ඉදලා ආපු හින්දා ගෙදර පාටියක් සෙට්වුනා. උන්ට බයිට් මදිවෙලා ඒ කුකුලාව ජිවිතයෙන් මුදාහැරලා. මම ඒ කරදරෙන් මිදුනා. " 

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...