Friday, October 16, 2020

පළිගු කිරිල්ලී - දාහහතරවන කොටස


පළිගු කිරිල්ලී - දාහහතරවන කොටස


                  දින කිහිපයක් ගෙවි ගොස් යළිත් තම දිවියේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට ඉන්දිරා සමත් වූවාය. දහවල් පාසල නිමවී තම යෙහෙළිය දීපිකා සමඟින් පාරට බැස්සාය.

“ඉන්දිරා කවුද උඹේ නම කියලා කතා කළා. අර අතත් වනනවා.”

“කෝ බං කවුද?”

“අර දැන් මේ පැත්තට  එන්නේ.”

ඉන්දිරා ඇය කියු ඉසව්වට දෑස් යොමු කළා ය. පාසල නිමවී යන ළමුන් අතරින් එකවරම තම දර්ශන පථයට අසුනොවුනත් පසුව දුටු දසුනෙන් ඇගේ සිරුර එකවරම ගල් ගැසුණි.

“කවුද ඒ?”

“තාත්තා.”

දීපිකාද බියට පත්වීය. ඇය තම යෙහෙළිය දෙසට ඇවිද එන ඔහු දෙස විසල් කරගත් දෑසින් බලා සිටියා ය.

“ඉන්දිරා දුවේ.”

ඉන්දිරා තම සොහොයුරා, කෝලිතව සොයන්නට මෙන් දෑස් ළමුන් අතරින් දිවයැව්වා ය. පන්තියේ ළමුන් කිහිපදෙනෙකු ඉන්දිරා දෙස හා ජයවීර දෙස බලමින් ඔවුන් පසුකර ගියෝය. 

“ඇයි?”

“නිකං මම බලන්න ආවා.”

“ඇයි තාත්තේ අපිට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ?”

“මොකක්ද මම කළේ?”

“ඉස්කෝලේට බීගෙන ආවා මදිවට දැන් මෙතනටත් ආවා. ඇයි මට ලැජ්ජා කරන්නේ?”

“තාත්තා දූව බලන්න එන එක ලැජ්ජාවක්ද ඉන්දිරා?”

ඔහු බිඳුන හඬින් ඇසීය. 

“අනේ තාත්තේ ආයේමත් මෙහෙට එන්න එපා.”

ආයාචනාත්මක ලෙසින් කී ඉන්දිරා ඈතට වී ඔවුන් දෙස බලාසිටි දීපිකා දෙසට දිව ගියා ය. ගැඹුරු හුස්මක් පපුව පිරෙන්නම ඉහළට ඇඳගත් ඈ “යමු දීපිකා” කීවාය.


තම දියණිය කී වදන් වලට වඩා ජයවීරගේ සිත රිදවාගත්තේ ඇය තමන් මහමඟ තනිකර දමා දිවගිය බැවිනි. තමන්ගෙන් ඈත්ව දිවගොස් මිතුරිය සමග එක්වූ ඉන්දිරා ඈතට ගමන් කරන අයුරු ඔහු බොහෝ වේලාවක් බලා සිටියේ කඳුළු පටලයෙන් පිරිගොස් බොඳවුනු දෑසිනි.

“ඒ තාත්තා ද?”

“ඔව්.”

“මොකටද ඇවිල්ලා තියෙන්නේ?”

“අනේ මන්දා ඇයි මටම මේ කරදර කරන්නේ?”

ඉන්දිරා ශෝකයෙන් බරවුනු මුක්කන් හඬින් කීවාය.

“මම එයාට මීට පස්සේ එන්න එපා කිව්වා.”

“ඇයි එහෙම කිව්වේ තාත්තාට දුක හිතෙයිනේ.”

“ඇයි ඔයා එයාගේ දුක ගැන විතරක් හිතන්නේ? එයා මෙතන ඇවිල්ලා මටනේ ලැජ්ජා කරන්නේ. දැන් අපේ පන්තියේ ළමයි කී දෙනෙක් බල බලා ගියාද? තාත්තාට පොඩි මාමාත් මෙහෙට එන්න එපා කිව්වා. ඒත් එයා අහන්නේ නෑ.”

ඇය හඬන්නට ආසන්න වෙමින් කීවාය. 

“උඹ ඕවා ගණන් ගන්න එපා. එයාට ආස ඇතිනේ තමන්ගේ දුවව බලන්න.”

දීපිකා කෝපයට පත් ඉන්දිරාව අස්වැසීමට මෙන් කීවා ය. ඈ නිවසට ගොඩවුනු වහාම සුදු නැන්දාව සෙව්වා ය. නිවසේ පිළිකන්න පසෙක දමා තිබූ දර කැබලි ගොඩක් කුඩා කැබලි වලට කඩා දමමින් නොතෙමෙන ලෙස පිළිවෙළකට බිත්ති කණ්ඩිය අසළ අඩුක්කරමින් සිටි සුදු නැන්දා දුටු සැණින්ම ඉන්දිරා මෙතෙක් සඟවාගෙන සිටි කඳුළු ගංගාව මුදා හැරියේ සිදුවූ සියලු දේ ඈට කියමිනි. 

“අනේ මෙහෙමත් මිනිහෙක්. මට නිකමට හිතුනා ඔහෝම දෙයක් සිද්ධවෙයිදෝ කියලාත්. උඹේ අම්මාවත් දැලේ දාගත්තේ ඔහොම තමයි. අපි කොච්චරවත් කිව්වාද ඔය මිනිහා එක්ක තියෙන සම්බන්දේ අත්හරින්නය කියලා. එදා අපි කියාපුවා එයා ඇහැව්වා නම් මෙහෙම දෙයක් එයාට වෙන්නේ නෑ.” 

මෙතෙක් ඉන්දිරා පවසනා දේ සාවදානව අසා සිටි ඈ කීවාය. පසුදිනම දිනේෂ්වත් උකුලේ රුවාගෙන තැපැල් කන්තෝරුවට ගිය සුදු නැන්දා පොඩි මාමාගේ කන්තෝරුවට දුරකථන ඇමතුමක් ලබාගත්තා ය. ඈ පෙරදින ජයවීර විසින් සිදුකල ක්‍රියාව ඔහුට සැල කළා ය. තවදුරටත් ජයවීරට මුණනොගැසී පුළුවන් තරම් මඟහැර සිටිමට උත්සාහ කරන ලෙස ඉන්දිරාට පවසන ලෙසින් සුදු නැන්දාට උපදෙස් ලැබිණ.  



                                                                * * * * *



              බස්නැවතුම අසළ හෝටලයකට රැගෙන ගියත් කෑමට රුචියක් නොවූ වියෝවේදනාවෙන් පෙළෙමින් සිටි ඉන්දිරා හා කෝලිත තෙහෙට්ටුවෙන් හේබාගිය අයුරක් පෙන්වීය. ත්‍රීරෝද රථයකට කතා කරගත් ජයවීර ඔවුන් නංවාගෙන පිටත්වුණි. ඉන්දිරා සිටියේ පොඩි මාමා සමග ඇතිකරගත් කෝපය  හා කළකිරිම මුසුව ගිය සිතුවිල්ලක නියැලෙමිනි. කුඩා නිවසක් අද්දර ත්‍රීරෝද රථය නැවත්වීය. 

“හා බහිමු.”

පැවසු ජයවීර ඉක්මණින් රථයෙන් බැස නිවසේ දොරගුළු හැර ඇතුලට ගියේය. රථයෙන් එළියට බැස්ස ඉන්දිරා කුඩා නිවස හා අවට දෙස හොඳ විමසිලිමත් බැල්මක් හෙලූවාය. කෝලිත තම බෑගයද රැගෙන ඉන් බිමට බැස්සේ ඉන්දිරා කිහිපවරක් ඔහුට බසින ලෙස කී පසුවය. ගෘහභාන්ඩයන්ගෙන් තොර අඳුරු සාලය පසු කර එහි තිබුනු එකම කාමරයට ඉන්දිරා හිස පෙව්වාය. කුඩා පැදුරු කඩමාල්ලක් මත උරයක් නොමැති කිළිටි කොට්ටයක් හා ඇකිළී ගිය රෙද්දක් කාමරයේ බිම වැතිර තිබෙනු ඈ දුටීය. කාමරයේ බිම පුරා විසිර තිබූ සිගරට් කොට ඇගේ නෙත ගැටුණි. හට්ටි මුට්ටි ඇතිලියන්ගෙන් තොර මුළුතැන්ගෙයින් පිළුනු ඉඳුල් ගඳ හමන්නට ගෙන තිබුනේ එහි විසිරි තිබූ පරණ පාන් කැබලි හා හොඳි දමාගෙන ආ ග්‍රොසරි බෑග් වලිනි. පිටුපස දොරද ජනෙල් පලු කිහිපයක්ද විවරකල ඉන්දිරා නිවස පිරිසිදු කරන්නට කොස්සක් සෙව්වා ය.    

“මේ ගෙදර ඉන්නේ කොහොමද? මේකේ  නිදාගන්න ඇඳක්වත් නෑනේ?”

කාමරය එබී බැලූ කෝලිත පුලුටුකරගත් මුහුණින් යුතුව ඇවිත් ඉන්දිරාගෙන් ඇසීය. 

“දැනට අපිට බිම තමයි නිදාගන්න වෙන්නේ.”

“මට බෑ බිම බුදියන්න. අපිට සුදු නැන්දාගේ ගෙදර හොඳට නිදාගන්නවත් ඇඳක් තිබුනානේ.” 

“කෑ නොගහ ඉන්නවා. අරවා මේවා කියවන්නේ නැතිව ඉන්න කියලා නේද පොඩි මාමා කිව්වේ?”

“අම්මා ගෙදර තිබ්බ බඩු මූට්ටු ටික විකුණලා දැම්මේ නැත්නම් බිම බුදියන්න වෙන්නේ නෑ. ටික දවසක් ඉවසලා හිටපල්ලා මම ඇඳක් අරගෙන දෙන්නම්.”

කෝලිතගේ කතාව ඇසුනු ජයවීර සාලයේ සිට කාමරයට නැඹුරුව කීය. 

“තාත්තේ අපිට ඔක්කෝමට ඉස්සල්ලා ඕනේකරන්නේ මේසයක්. පොත් පාඩම් කරන්නවත් මේස පොඞ්ඩක් තියෙන්න ඕනේ.”

“ආච්චිගේ ගෙදර තිබුනා මේසයකුයි පුටුවකුයි. මම හවසට අරගෙන එන්නම්.”

ගෙදරින් රැගෙන ආ ඇඳුම් බෑගයත් පොත් පත් දැමූ පෙට්ටියත් කාමරයේ මුල්ලක තබා තාත්තාට කියා අසල්වැසි නිවසකින් කොස්සක් ඉල්ලාගත් ඉන්දිරා නිවස අතුපතුගා පිරිසිදු කිරීම ඇරඹීය. මුහුණ බෙරි කරගත් කෝලිත කිසිදු වැඩක් නොකර බිම වාඩි ගත්තේය.

“ඔහෝම ඉදලා හරියන්නේ නෑනේ ලොකු මල්ලි මට පොඞ්ඩක් උදව්කරන්න.”

“මට බෑ.”

“ඔයා උදව් නොකලොත් ඉතිං මේ දුහුවිලි ගොඬේ තමයි බුදියන්න වෙන්නේ.”

“මට මේ කබල් ගෙදර ඉන්න බෑ. මට සුදු නැන්දලාගේ ගෙදර යන්න ඕනේ.”

ඔහු මුරණ්ඩු ලෙසින් දෑසට කඳුලු පුරවාගෙන කීවේය. ඈට සුදු නැන්දලාගේ නිවසින් පිටත්ව එද්දී පොඩි මාමා දුන් අවවාදය මතක් විය.

“ඉන්දිරා දුවේ අපිට තවත් මෙහේ ඔයාලව තියාගන්න බෑ. මමත් සුදු නැන්දත් ගොඩාක් උත්සාහ කළේ ඔයාලව මෙහේ තියාගන්නයි. දන්නවානේ නීතියෙන් වුනත් ඔයාලගේ අයිතිය තියෙන්නේ තාත්තාටයි.”

ඔහු බරවුනු නාසයෙන් කතා කරමින් ඉන්දිරාගේ හිස අතගෑවේය. 

“ජයවීර බී ගත්තාම කේන්තියන මිනිහෙක්. අම්මත් නැති නිසා තවත් එයාට කේන්ති යන ගතිය වැඩි වෙලා ඇති. ඒ හින්දා දුවේ එයා එක්ක අනම්මනම් කතා කියලා රණ්ඩු සරුවල් කරගන්න එපා. මල්ලීටත් මේවා තේරෙන්නේ නෑ. ඒ නිසා පොඞ්ඩක් එයා ගැනත් බලන්න වෙයි.” 

පොඩි මාමගේ කතාව සුදු නැන්දාත් අනුමත කළාය. 

“රත්නපුරේ ගිහිල්ලා ලියුම් කරදහියයක් වත් අපිට එවාපං. මම පොඩි මාමත් එක්ක පුළුවන් වේලාවක ඇවිල්ලා යන්න එන්නම්.”


ඇය තම ගවුම් වාටියෙන් දෑස් තෙත මාත්තු කරගත්තා ය. ජයවීර හැන්දෑවෙද්දී අම්මාගේ ගෙදරින් රැගෙන ආ කුඩා මේසය හා පුටුවත් පැදුරු කොට්ට කිහිපයත් කාමරයෙ ඇතුළතින් තැබීය. 

“මේසේ කකුලක් කැඩිලානේ.”

කකුල කැඩී අවපැහැ ගැන්වුනු අංගවිකල මේසය දෙස බැලූ කෝලිත අවඥාවෙන් මෙන් තාත්තාට කීවේය.

“කකුලට පොඩි රෙපයාර් එකක් දාගන්න පුළුවනි කුලරත්න බාස්ට කිව්වාම. එතකම් ඕක බිත්තිය පැත්තට හේත්තු කරලා තියපං.”

ඔහු කෝලිත දෙස නොකැමැත්තෙන් බලමින් කීය. රාත්‍රිය වන විට ජයවීර හෝටලයකින් රැගෙන ආ කොත්තු රොටි පාර්සල් දෙකක් ඉන්දිරා අතට පත් කළේය. පිඟානක් වත් නොතිබුනායින් මේසය මත දිග හැරගත් කොත්තු රොටි පාර්සලය දෙස මඳවේලාවක් බලා සිටි කෝලිත හොඳි පාර්සලය විවර කර දෙන මෙන් ඉන්දිරාගෙන් ඉල්ලා සිටියේය. දතින් කොනක් සිදුරු කළ ඈ තද ගුරු පැහැගත් මස් හොඳි බැගයෙන් අඬක් පමණ කෝලිතගේ රොටි පාර්සලයට හැලුවා ය. මේසය මත තබාගෙන කෑමට පුටුවක් නොතිබුනායින් කොත්තු රොටි පාර්සලය බිම එලාගත් පැදුරක තබාගෙන ඉතිරි හොඳි හලා ගත්තා ය. 

දින කිහිපයක් ඇවෑමෙන් යළිත් ඉන්දිරා හා කෝලිත ප්‍රථමයෙන් ගිය පාසැල් වලටම ඇතුළත් කිරීමට ජයවීර සමත්විය. එහෙත් රත්නපුරේ වාසය කිරීමට කෝලිතගේ කිසිදු කැමැත්තක් තිබුනේ නැත. ඔහු නිතර සුදු නැන්දා ගේ ගෙදර යාමට අවශ්‍ය බව කියමින් කොඳුරන්නට විය. යළිත් ඉන්දිරා හට තම පැරණි මිතුරියන් හමුවීය. ගෙවුන කාලය තුළ ඔවුන් ශාරිරික මෙන්ම මානසිකවද වැඩී ඇති බව ඉන්දිරාට තේරුම් ගියේ ආගිය කතාවලින් පසුය.  පාසල් නිමවිමෙන් පසුව ආච්චිඅම්මලාගේ නිවසට ගොස් තාත්තා එනතෙක් රැඳී සිටිමට නියමකර තිබුණි. සැප පහසුකම් හා ගෘහභාණ්ඩයන්ගෙන් තොරවූ කුලී නිවසේ පැදුරු කෑල්ලක වැතිර නිදද්දී ඉන්දිරාට අම්මා නිරන්තරයෙන්ම සිහිපත්වන්නට විය. නොදුරු රටක බැල මෙහෙවර කරන්නට අම්මා ගියේ තමන් හා මල්ලිලා දෙන්නාගේ අනාගතය සුබදායි කරවන්නටවූවත් මේ වනවිට සියල්ලන්ගේම වර්තමානය දුක්ඛයන්ගෙන් පිරි ඇති බව සිතුණි. බාල මල්ලි දිනේෂ්ගේ කිරි සිනහව ඉන්දිරාගේ මතකයට නිතරන්තර පිවිසුනි. ඇය ඔහුව අමතක කරන්නට උත්සාහ කළා ය. ජයවීර කෙතරම් උත්සාහ කලත් දරුවන්ට අඩුපාඩු නොවන්නට කටයුතු කළ හැකිවූයේ නැත. දින කිහිපයක් නොබී සිටින්නට උත්සාහ කලත් තමන්ට දරුවන්ගෙන් ලැබෙන පීඩනයද පීඩාවක් වූවා සේය. ඔහු යළිත් මත් පැනට යොමුවන්නට පටන් ගති. නිවසේ අඩු පාඩුකම් පවසන විටදී කන්නොදී මඟහරින තාත්තා ගැන ඉන්දිරාට ඇතිවූයේ ඉවසනු නොහැකි තරහක්ම විය. එම නිසාම පොඩි මාමා ඉන්දිරා හා කෝලිත බැලීමට රත්නපුරයට ආවේ පාසල් පොත්  කිහිපයක් ගැනීමට සල්ලි එවන ලෙස කියමින් ඈ යවන ලද ලිපියට අනුවය. 

“මම ආවේ ඉන්දිරාගේ ලියුම දැකලා අක්කා ගිහිල්ලා බලලා වරෙන් කියලා නිතරම මට කං කෙඳිරිගාන්න පටන් ගත්ත නිසයි. දුව දන්නවානේ මම ජයවීරට කැමති නෑ, ජයවීර මටත් කැමති නෑ කියලා?” 

නිවසට ගොඩවූ පොඩි මාමා නිවසේ අවට දෙස සුපරික්ෂාකාරි බැල්මක් හෙලීය. ගෘහභාණ්ඩයන්ගෙන් තොරව ඇති හිස් සාලය නිවසට ගෙන දුන්නේ මූසල පෙනුමකි. ඔහුට දරුවන් වෙසෙන නිවස සිත් නොගත්තේය. ඉන්දිරා නිවසේ තිබූ එකම කෑම මේසයේ පුටුව කාමරයෙන් රැගෙන විත්  සාලයෙන් තැබුවේය.

“ඉදගන්න පොඩි මාමේ”

“කෝ දැන් ජයවීර?”

“තාත්තා වැඩට ගියා පොඩි මාමේ.”

“ඔය දරුවන්ට මේ ගෙදර ඉන්න පුළුවනිද? ජයවීර වැඩට ගියාම තනියෙන් නේද ඉන්නේ? දවල්ට කන්න බොන්නේ එහෙම කොහොමද?”

“තාත්තා කියලා තියෙන්නේ ආච්චිගේ ගෙදර යන්න කියලා. එහෙන් කන්න දෙනවා.”

“ඒ ගෑනි අම්මා එක්ක තරහයි නේද?”

“මුලදි නම් අම්මාට එක එක දේවල් කිය කියා බැන්නා. මොනවා කරන්නද අපි ඇහුනේ නෑ වගේ ඉන්නවා.”

පොඩි මාමාට ඇතිවූයේ විශාල දුකකි. ජයවීර හොඳින් කාබී ඉගෙනුම ලබන්නට තම දරුවන්ට ඉඩ නොදී මේ කරනා විකාරය දරු සෙනෙහස දැයි සිතුවේය.

“කෝ මල්ලි?”

“සෙල්ලම් කරන්න කියලා ගියා. මේ පැත්තේ කොල්ලෝ ටිකක් එක්ක එකතුවෙලා දැන් සෙල්ලම තමයි.”

“තාත්තා පාඩම් වැඩ බලන්නේ නැද්ද? ඔහොම සෙල්ලම් කරන්න ගියොත් පාඩම් වැඩ වලට පාඩුවෙයි.”

“තාත්තා ඉස්සරත් අපේ වැඩ බැලුවේ නෑනේ පොඩි මාමේ. මල්ලි නම් පහුගිය ටිකේ මෙහේ හිටියේ කැමැත්තෙන් නෙමෙයි.”

“ඇයි?”

“හපුතලේ දලා එන්න වුනු එකට නම් එයා කැමති නෑ. නිතරම එහේ යන්න ඕනේ කියලා අඬන්න ගත්තා. ඔය සෙල්ලම් කරන්න යන එකත් මම නතර නොකලේ එයාට සුදු නැන්දා අමතක වෙන්න අරින්නයි.”

“ඔය දරුවෝ මේ ගෙදර කොහොම ඉන්නවද මන්දා. මම පුළුවන් තරම් උත්සාහ කළා, එත් අපිට බෑ ඔය දරුවෝ අපේ ගෙදර තියාගන්න. ඒක නීතියෙන් තහනම්. අම්මායි තාත්තායි නීතියෙන් වෙන්වෙලා ඔයාලගේ භාරකාරත්වය උසාවියෙන් අම්මාට පැවරුවොත් විතරයි ඔයාලව තාත්තාගෙන් වෙන් වෙන්න පුළුවන් වෙන්නේ. මට පෙනෙන විදිහට තමාලි කැමති නෑ තාත්තාගෙන් නීතියෙන් වෙන් වෙන්න. තාත්තා ඔයාලව අපෙන් අරගත්තේ පොලීසියට ගිහිල්ලා කියලා ඔයාලා දන්නේ නැතිව ඇති.”

පොඩි මාමා තම සිතුවිලි එක දිගට කියාගෙන යන්නට විය. 

“මම අක්කාත් එක්කත් කිව්වේ දැන් ඔයාලා ඉන්නේ ජයවීර එක්ක නිසා තමාලිට ඉක්මනටම ඇවිල්ලා මේ ප්‍රශ්නේ බේරුමක් කරගන්න කියන්නයි.”

“අම්මාට කියන්න ඕනේ නෑ පොඩි මාමේ. තව ටික කාලයයිනේ තියෙන්නේ. එයා ඔය ටික දවසත් ඉදලා ආපුදෙන්.”

“ඒවුනාට අපි එයාට නොදන්වා ඉන්න එක හොඳ නෑ නේද?”

“අම්මාට අපි රත්නපුරේ හොඳින් ඉන්නවා කියලා අරින්න. අපි මෙහේ දුක් විදිනවා කියලා නම් යවන්න එපා. අම්මා ගෙදර ආපුවාම බලමු. අනික අම්මා තාත්තාගෙන් දික්කසාද වෙන එකට නම් මමත් කැමති නෑ.”

“එත් ඔය දෙන්නා දුක් විදිනවා අපිට බලන් ඉන්න බෑ. ඔය රට රස්සාව දාලා ලංකාවට එන්න කියන්නයි මම හිතාගෙන ඉන්නේ.”

“ඕනේ නෑ පොඩි මාමේ. අපිට දැන්  මේ හිටියා වාගේ ඉතුරු ටික දවසත් ඉන්න පුළුවනි.”

ජයවීර නිවසට එන්න ප්‍රථමයෙන් පොඩි මාමා පිටව ගියේ ඉන්දිරා අතට රුපියල් පන්සියයක මුදලක්  පත්කරමින්ය. කන්තෝරුවේ දුරකථන අංකය ඈ අතට පත්කර හදිසි අවස්ථාවකදි කතා කරන ලෙස ඉල්ලීමක්ද කරමින් ඔහු හල්දුම්මුල්ලට පිටත්ව ගියේ හේබාගිය සිතකිනි. තමාලිගේ දරුවන්ට මෙලෙස දුක් විදින්නට සිදුවූ වරදකාරිත්වයට තමාද කොටස් කරුවෙකුවූ බව පොඩි මාමාට සිතුනි. හල්දුම්මුල්ලට ගිය පොඩි මාමා අක්කාට සියලු තතු හෙලිකළේය. බඩු මුට්ටුවක් නොමැති පාළු ගූඪ නිවසක ඉන්දිරාත් කෝලිතත් තට්ට තනියම ජීවත්වීම ගැන සුදු නැන්දා විස්සෝප වූවාය. ඉන්දිරාගේ අදහස් සුදු නැන්දා ද සනාථ කළායින් පොඩි මාමා තමාලිට රැකියාව අතහැර ලංකාවට එන්න කීමේ අදහස අත්හැර දැමීය.


දරුවන් සමඟින් රත්නපුරේ කුලී නිවසේ වාසයට පැමිණි ජයවීර මුල් දින කිහිපයේ අරක්කු පොදක්වත් තොල නොගහා ඉතා හොඳ පියෙකු වශයෙන් භූමිකාවක් රඟ දැක්වන්නට විය. එහෙත් තාත්තාගේ හොඳ පියා භූමිකාව අවසන්වී බීමට ඇබ්බැහිකම යළි යළිත් වැඩෙද්දී කෝලිත තවත් මුරණ්ඩුවෙමින් පාසලේ ඉගෙනුම් වැඩද අතපසු කරන්නට පටන්ගන්නට විය. සුදු නැන්දාට ඉතා කීකරු දරුවෙකුවූ ඔහු ඉන්දිරාගේ තවරටු නොතකා හරිමින් තම සම වයස් කොලු රෑනට එකතුව රෑ බෝවන තෙක් සෙල්ලම් කරන්නට විය. මහන්සිවි ගෙදරට එන ඔහු ආහාරයෙන් පසු ඉන්දිරා අසළ පැදුරු කෑල්ලේ සුව නින්දකට වැටෙන අතර යළිත් අවදිවන්නේ පසු දින හිරු එළිය බිමට වැටී තවත් අඬ හෝරාවකට පසු ඉන්දිරාගේ කෑගැසිල්ල සමඟිනි. පැදුරු කෑල්ලේ ඇලවුනු ඉන්දිරා සෑම දිනකම පාහේ සුසුම්ලමින් ප්‍රාර්ථනා කළේ අම්මා මෙරටට එන දිනය ඉක්මනින් උදාවේවා යැයි සිතමින්ය. රාත්‍රී ආහාරය රැගෙන ගෙට ගොඩවදිනතෙක්  කුසගින්නේ ඉන්දිරා හා කෝලිත තාත්තා එන මං බලාසිටින්නට වූ දින ගණන වැඩි වන්නට විය. ඉන්දිරා කෙසේ හෝ කෑම උයාගන්නට පටන්ගත්තා ය. එතැන් පටන් තම රාත්‍රි ආහාරය රැගෙන ඒමේ යුතුකම් කොටසද අතහැර දැමූ ජයවීර තවත් රෑ බෝවන තුරු මදුවිත ඇසුරට වැටුණි. වේලාසනින් ගෙදරට පැමිණි දිනක හැරෙන්නට බොහෝ රෑ වෙන තෙක් බීමත් කමේ වෙලුනු ජයවීර බෙදා තියන රාත්‍රී ආහාරය පවා නොකෑවේය. කාමර කෑල්ලේ නිදන ඉන්දිරා අසලින් පැදුරක් එලා ගන්නා තාත්තාගේ සිරුරෙන් එන දහඩිය මිශ්‍ර අරක්කු ගඳද ගෙරවිල්ලද ඉන්දිරාගේ නින්ද පලවාහරින්නට විය. නොබෝදිනකින් තාත්තාගේ ගෙරවිල්ලද ඈට හුරුපුරුදු විය. 

යම් කිසි නුහුරු සීතල ස්පර්ශයක් තම කඳ කලවා හරියෙන් දැනුණු ඉන්දිරා නිදිමතේම තම අතින් එය එහාට කළා ය. පසෙකට ගොස් තිබූ පොරෝනාව ගෙන යළිත් කකුල් දෙක වසා ගත් ඈ මෙතෙක් වැතිර හුන් ඉරියව්ව වෙනස් කළා ය. යළිත් තම පොරෝනාව මතින් යමෙක් තම කලවා ස්පර්ශ කරන බව නින්දත් නොනින්දත් අතර සිටි ඉන්දිරාට වැටහුණි. දෙකකුල් වසාගත් පොරෝනාව පසෙකට අඳිනවා මෙන් දැනුනායින් තිගැස්සී ගිය ඈ තිත්ත කළුවරේ මේ සිදුවන්නේ කුමක්දැයි බලන්නට දෑස් විවර කර තම හිස එසව්වා ය. නොසිතූවිරු මොහොතක එකවරම පිඹුරු ගහනයට පත්වුනු ගොදුරක් ලෙසින් කළු පැහැති රුවක් තමාව තදින් වැලඳගත්තායින් මුලු සිරුරම පාෂාණිභූතවූවාක් මෙන් ඈට දැනුණි. තප්පර කිහිපයක් යන්නට මත්තෙන් ඉන්දිරාගේ මනසේ රතු එළි දැල්වෙන්නට විය. ඈ තමා වෙලාගෙන සිටි ග්‍රහණයෙන් ගැලවෙන්නට දැඟලීය. තම නාස්පුඬු කඩාගෙන ඉහමොළ දක්වා යන අරක්කු දුගඳක් දැනිණ. ඈට බඩ දඟලා ගෙන ඔක්කාරයට එන්නට මෙන් දැනෙන්නට විය. දඟලන්නට දඟලන්නට තමා වෙලාගන්නා ග්‍රහණය දැඬිවූවායෙන් ඇය මඳ වේලාවකින් හෙම්බත්වුණි. පුරුෂාධිපත්‍යය ඇයව නතුකරගනිද්දී මෙතෙක් වෙලා ඇගේ ගොළුව තිබු මුවින් “අනේ තාත්තේ.” යැයි කියැවුණි.

දැස් අගින් පිටවූ කඳුලක් කොට්ටය මතට වැටී නොපෙනී ගියේ උඟුරෙන් නැඟ ආ ඉකිය හැඬුමකට පෙරලෙද්දීය. මුළු සිරුරම තලා දැමුවාක් මෙන් රිදුම් දෙන්නට විය. බඩවත දිගේ පහලට අතගාගෙන ගොස් කිසිඳු සංවේදනාවක් නොදැනි හිරි වැටුනාක් මෙන් තිබෙනා යටිකය අතගා බැලීය. ඉහළට රෝල්වුනු ගවුම පහළට තල්ලුකර දැමූ ඉන්දිරා බියකරු සිහිනයක් දැක බියපත්ව අවදිවූ කෙනෙකු මෙන් බියෙන් ගැහෙන්නට විණි. සිරුර හපයක් කළ ඔහු තම කාරිය ඉෂ්ට සිද්ධ කරගත් පසු සිරුර මතින් අනෙක් පසට පෙරළී හති හරිනා ශබ්දය ඇගේ දෙසවනට ඇසෙන්නට විය. ඉන්දිරාට ලොවට ඇහෙන්නට කෑ ගසා හඬන්නට අවැසි විය. ලොවම නිදන රාත්‍රියක තම දුක පවසාලන්නට අම්මා ඇතුළු කිසිවෙකු නොමැතිවීම ගැන ඈ දුක්වූයේ අන්ධකාර රාත්‍රියේ තම යොවුන් දිවිය අඳුරට ඇද දැමූ තාත්තාට ඈ සාප කරමින්ය. 

ඉන්දිරාට වූ ව්‍යසනය තමාලී දැනගනියිද? ... මතුසම්බන්ධයි.......

Monday, October 5, 2020

පළිගු කිරිල්ලී - දහතුන්වන කොටස

පළිගු කිරිල්ලී - දහතුන්වන කොටස 


 “කවුද ඉන්දිරා කියන්නේ?”

ගුරුවරයෙකු නොසිටි කාල පරිච්ඡේදයක පන්ති කාමරය තුළට ආ කාර්යාලයේ සේවයේ නියතු සුමනේ මාමා විමසීය. එක්වරම පන්තිය දැඬි නිහඬතාවයක ගිලුණි. සියල්ලන්ගේ දෑස් ඉන්දිරා දෙසට යොමුවීම නිසාවෙන් ඉන්දිරා දැඬි අපහසුතාවයකට මුහුණ දුන්නා ය. ඈ අසීරුවෙන් මෙන් තම අසුනින් නැගිටගත්තාය.

“ම...ම ... මම ඇ...යි? ”

“ඔය ළමයාට ඔෆිස් එකට එන්නයි කිව්වා.”

වෙනින් යමක් විමසන්නටත් ප්‍රථමයෙන් පන්තියෙන් එළියට බට හේ ඉක්මනින්ම අතුරුදහන් විය. වික්ෂිප්ත වූ ඉන්දිරා නොදැනිම තම අසුනේ ඉන්දවුණි.

“මොකෝ බං? ”

“දන්නේ නෑ.”

තමා වෙත යොමුව ඇති දෑස් මඟ හරිමින් ඉන්දිරා පහත් හඬින් දීපිකා සමඟ කතා කළා ය. 

“ඇයි උඹට කොල්ලෙක් දුන්න ලියුමක්වත් අහුවෙලාද?”

“පිස්සුද බං?”

“පිස්සු නෙමෙයි. නැත්නම් උඹට ඔෆිස් එකට එන්නයි කියයිද? ”

“පලයන් යන්න බං මාව තවත් බයකරන්නේ නැතිව.”  

“මම මොකටද උඹව බයකරන්නේ? මම ඇහැව්වේ එහෙම දෙයක් නම් ලෙඩක් තමා.”

“විකාරද? මම ඔය ලියුම් ගණුදෙනුවලට ගියේ නෑනේ.”

“එහෙනම් මොකටද? උඹ පිචර් එකක් බලන්නවත් එහෙම ගියාද?”

“මම එක සැරයක් කිව්වානේ එහෙම එකක් නෑ කියලා. ප්‍රින්සිපල් මැඩම් ද දන්නේ නෑ කතා කෙරුවේ. අනේ බං මට කලන්තේ වගේ.” 

“උඹ බයවෙන්න දෙයක් නෑනේ වැරද්දක් කෙරුවේ නැත්නම්. හරි බං දැන්වත් කෙඳිරිගගා ඉන්නේ නැතිව පලයං ඔෆිස් එකට.”

අපහසුවෙන් මෙන් අසුනින් නැගිටගත් ඉන්දිරා හිමිහිට පන්තියෙන් පිටව ගියේ ව්‍යාකූලව ගිය මනසින්ය. ඔෆිස් කාමරයට ඈ ගැහෙන සිතෙන් යුතුව ඇතුල්වූවා ය.

“ආ ඔය ළමයද ඉන්දිරා කියන්නේ?”

“ඔව් මැඩම්.”

“පි. ජයවීර කියන්නේ තාත්තාද?”

“ඔව්.... මැඩම්.”

“ගිහිල්ලා බලන්න අර ස්ටාෆ් රූම් එකට එහා කාමරේ ඉන්නේ ඔයාගේ තාත්තාද කියලා.”

විනය පාලක චිත්‍රාංගනී මැඩම්ගේ තියුණු බැල්මට හසුවූ ඉන්දිරා මැඩම්ගේ වදන් ඇසුවනම ගල්ගැසුණා ය. එකවරම ස්ටාෆ් රූම් එක සොයාගත නොහැකිව මෙන් ඈ කිහිප වරක් එහා මෙහා බැලූවාය. 

“ඇයි මොකද බයවෙලා වාගේ? යන්න අර කාමරේ.”

චිත්‍රාංගනී මැඩම් පෙන්වූ කාමරයට දෙසට ඇවිද ගිය ඉන්දිරා එයට හිසපොවා එබී බැලීය. කාමරයේ තිබූ මේසයක් අද්දර ලෑලී පුටුවක අසුන්ගෙන සිටි ඔහුගේ අවුල්වූ කොණ්ඩයත් සුපුරුදු සරම හා කමිසයත් දුටුවනම ඕ තම තාත්තා හඳුනාගත්තා ය. නොසිතු මොහොතක පාසල වෙත පැමිණීම නොරිස්සූ ඉන්දිරා තම හැඟීම් පිටව යා නොදී සඟවාගත්තා ය. 

“ඇයි?”

ඉන්දිරාගේ කටහඬ ඇසුනු ජයවීර තම කල්පනා ලොවින් මිදි එකවරම හැරී බැලීය. ඔහු තම ළෙන්ගතු සිනහව පාමින් අසුනින් නැගිට ඉන්දිරා වෙත ආවේ අත රැඳි පාර්සලයකුත් ඇය වෙත දිගුකරමින්ය. 

“නිකං ආව ඉන්දිරාව බලලා යන්න.”

“මාව බලන්න නම් ගෙදරට එන්න එපැයි.”

“මේ ළඟකට ආවා එකයි.”

ඉන්දිරා කිසිත් නොකියා කාමරයෙන් පිටත කවුරුන් හෝ බලාහිදියිද කියා විමසිලිමත් විය. ඇගේ නිහඬතාවය බිඳ හෙලමින් ජයවීර කතා කරන්නට විය.

“ඉන්දිරා මල්ලිත් එක්ක අපේ ගෙදර යන්න එන්න ඕනේ.”

“අපිට දැන් ගෙදරක් නෑනේ.”

“මම කුලියට ගෙයක් අර ගත්තා.”

“අම්මා කැමතිවෙන එකක් නෑ.”

“අම්මා උඹලාව දාලා ගිහිල්ලානේ. මම හෙට අනිද්දාම එනවා ඔයාලව එක්කගෙන යන්න.”

“අම්මා අපිව දාලා ගිහිල්ලා නෑ. එයා ගියේ රට රස්සාවකට.”

“ ආ මෙන්න මල්ලිටත් දීලා යාළුවොත් එක්ක කන්න.”   

“ඇයි තාත්තේ මෙහෙට ආවේ. දැන් ළමයිනුයි ටීචර්ස්ලායි එක එක ඒවා අහයි. මට පාඩුවේ ඉන්න දෙන්න. තාත්තාට මාව බලන්න ඕනේම නම් ගෙදරට එන්න තිබුණා නේද? අයේමත් ඉස්කෝලේට එන්න එපා. ඇවිල්ලා මට ලැජ්ජා කරන්නත් එපා.”

ඉන්දිරා තම කැකෑරෙන ආවේගයන් වදන් බවට පත්කරවාලමින් ජයවීරගේ මුහුණට දමා අනින්නාක් සේ කියා දැමුවා ය. ඇගේ හඬ කැඩී උඟුරෙන් ඉකියක් පිටවුණි. පිටිඅල්ලෙන් තම දෑස් පිදාගත් ඈ යළි පන්තියට යන්නට ආපසු හැරුණා ය.

“ආ මේක අරන් යන්න. කළුතරින් අරන් ආවේ.”

ජයවීර තම බිඳුණු හඬින් ඇයට කතාකර අත තිබූ වයින් බිස්කට් පාර්සලය දිගු කළේය. 

“මට එපා. ඕකත් අරගෙන යන්න.”

කී ඉන්දිරා කාමරයෙන් එළියට ආවා ය. ඇය පිටව යන අයුරු බලා සිටි ජයවීර තම අත තිබූ පාර්සලය තදින් මිරිකාගත්තේය. කාමරයෙන් ඇවිද යනු විමසිලිමත්ව බලා සිටි චිත්‍රාංගනී මැඩම් ඉන්දිරාව ඇමතීය. මැඩම්ගේ හඬින් තිගැස්සී ගිය ඉන්දිරා ඇය ඉදිරියට ආවේ යළිත් බියට පත්වය. ඉන්දිරාගේ දෑස් කෙවණි තුළ පොදිකන කඳුළු ගුලිය චිත්‍රාංගනී මැඩම්ගේ විමසිලිමත් දෑස් මගහරිනු බැරිවිණි. 

“ඉන්දිරා ඒ තාත්තා නේද?”

“ඔව් මැඩම්.”

“ඇයි හදිසියක්ද?”

චිත්‍රංගනී මැඩම් ඇසූ පැනයෙන් වික්ෂිප්තවූ ඉන්දිරා මඳක් මුනිවත රැක්කා ය. කිවයුතු කිසිවක් සිතාගත නොවීය. මුවින් එකදු වචනයක් පිටකරගත නොහැකිව ගොත ගසන්නට විය. 

“මේ මේ.. දන්නේ නෑ මැඩම්. මාව බලලා යන්නලු.”

ඉන්දිරා බිම බලාගෙන පිළිතුරු දුනි.

“ඇයි තාත්තා ඉන්නේ  ඔයාලත් එක්ක නෙමෙයිද?”

“නෑ.”

“අම්මා?”

“රට රස්සාවකට ගියා.”

ඇය බිඳුණු හඬින් පවසද්දී ඇස් කෙවණි තුල පොදිකෑ කඳුළු ගුලිය නිහඬව පහළට ගලා යන්නට විය.

“දැන් ඔය ළමයා කඳුළු පිහිදා ගන්න. මුණ හෝදගෙන පන්තියට යන්න.”

“හොඳයි මැඩම්.”

“ඔය ළමයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට ඇවිල්ලා කියන්න හරි ද?”

ඉන්දිරා අත තිබූ ලේන්සුවෙන් දැස් පිසදාගෙන චිත්‍රාංගනී මැඩම් දෙස බැලීය. මැඩම් ඉන්දිරාගේ හිසට අත තබා ළෙන්ගතු ලෙසින් සිනාහවක් පා ඔෆිස් කාමරය දෙසට ඇවිද ගියා ය. ඈ ඉක්මනින්ම කාර්යාලයේ පිටත තිබුනු පයිප්පය වෙත ගොස් මුහුණකට සෝදාගත්තා ය. තාත්තා පිටත්ව ගියාදැයි බැලීමට ඇයට මතක්වූයේ යළිත් පන්තියට ගමන්ගන්නා අතරවාරයේදීය. එහෙත් යළිත් හැරී ගොස් බැලීමට ඇගේ සිත ඉඩ දුන්නේ නැත. බිමට නැඹුරුකරගත් නෙතින් යුතුව පන්ති කාමරයට ගොඩවූ ඈ තම අසුනේ වාඩිගත්තා ය. කෙල්ලන් කිහිපදෙනෙකු ඈ වටකරගත්තේ සියලු කාරණා දැනගනු පිණිසය. 

“ඇයි ඉන්දිරා මොකටද කතා කලේ?”

“මුකුත් නෑ.”

“එහෙනම් මොකටද ඔෆිස් එකට එන්න කිව්වේ?”

කටකාර එකියෙකු වූ චතුරානි ඇසුවා ය. 

“අපේ තාත්තා ඇවිල්ලා තිබුණා. එකයි.”

“ඇයි උඹලාගේ තාත්තා ගෙදර නෙමෙයිද ඉන්නේ?”

යළිත් චතුරානිගෙන් පැණයක් එල්ලවුණි. ඇගේ ප්‍රශ්නයෙන් මඳක් තැති ගත් ඉන්දිරා කිසිත් වෙනසක් නොපෙන්වා 

“නෑ තාත්තා කොළඹනේ වැඩ කරන්නේ. මේ හදිසියකට ආපූ ගමන් මාව බලලා යන්න ඇවිල්ලා.”

“අපි හිතුවේ වෙනින් එකක්.”

දීපිකා එක්වරම ඇය දෙස රවා බැලීය. 

“උඹලාගේ මිම්මෙන් මෙයාවත් මනින්න ආවද. දැන් දැන ගත්තානේ කාරණාව.”

ඇය කෝපයෙන් කීවාය. දීපිකාගේ විරෝධය හමුවේ චතුරානි ඇතුළු කෙල්ලන් පිරිස යළි තම අසුන් කරා ගියහ. පෙර සුදානම් නොවූ ප්‍රශ්න වැලකට නොපැකිලව උත්තර බඳින්නට හැකිවිම ඇයටම අදහා ගත නොහැකි විය. 

“ඇත්තටද තාත්තා ආවා කිව්වේ?”

දීපිකා කෙල්ලන් පිටව යතතෙක් හිඳ හොර රහසින් ඇසුවාය.

“ඔව්.”

“එහෙනම් මොකටද ඇඬුවේ?”

“ඇඬුවා? මම?”

“උන්ට බොරු කළාට මට බොරු කරන්න එපා. උඹේ ඇස් දෙකත් එක්කම රතුවෙලා. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?”

“මම පස්සේ කියන්නම්.”

විවේක කාලය තෙක් දීපිකා ගතකලේ ඉන්දිරාගේ ප්‍රශ්නය දැන ගැනීමේ කුහුලෙන් යුතුවය. සීනුව නාදවූ පසුව අසුනෙන් නැඟිටගත් දීපිකා

“යමු කැන්ටිම ගිහිල්ලා කතා කරමු.”

“බෑ මට බඩගින්නක් නෑ.”

“බොරුවට බඩගින්නේ ඉන්නේ නැතිව යමං බං.”

“උඹ ගිහිල්ලා කාපං බං.”

“මම කන්න මොනවා හරි අරගෙන එන්නම්.”

ඈ ඩෙස්කයට ඔළුව තබාගෙන දෑස් පියාගත්තා ය. අපිළිවෙලකට හැඳ පොඩිවුණු ඇඳුමෙන් යුතුව පාසලට පැමිණ සිටි තාත්තාගේ රුපකාය ඇගේ මනසේ විද්‍යාමාන විය. කලකින් නොකැපූ අවුල්ව ගිය කොණ්ඩය අතින් සකසමින් තමන් හා කතාකල අයුරු යළිත් සිහිපත් වුණි. තාත්තා ගැන සිහිපත්වෙද්දී මෙතෙක් වේලාවක් සිතේ ඇවුලුණු තරහව කෙමෙන් කෙමෙන් අඩුවීගොස් ඔහු පිළිබඳව දුකක්ද හට ගැනුණි. තමා තාත්තාට කතා කළ අයුරු සැර වැඩියැයි සිතීය.

“ඉන්දිරා උඹ නිදිද? නැගිටපං.”

ඇය දෑස් හැර ඔළුව උස්සා බැලුවාය. මාළු පාන් බනිස් ගෙඩි දෙකක් දැමූ කුඩා ඉටි බෑගයක් මේසය මත තැබූ දීපිකා ඈට කන්නට ආරාධනා කළාය.   

“ආ කන්න.”

“එපා.”

“මේ පිස්සු නැතිව කාපං බං.”

බෑගය විවරකර මාළුපාන් බනිසයක් අතට ගන්නා ගමන් කීවා ය. කෑමට පිරියක් නොතිබ්බත් දීපිකාගේ බලවත් පෙරෙත්ත නිසා ඉන්දිරා බනිස් ගෙඩියක් අතට ගත්තා ය. 

“ඉතිං මොකදවුනේ?”

“වෙනදාට ගෙදර ඇවිල්ලා එයා සුදු නැන්දාට කියන දේ අද මට කිව්වා.”

“ඒ මොකක්ද?”

“අපිව ආපහු රත්නපුරේ එක්කගෙන යනවාලු. අම්මා මේ වාගේ දේවල් සිද්ධවෙනවා කියලා දන්නවා නම් කීයටවත් රට රස්සාවකට යන්නේ නෑ.”

“ දැන් ඔය මාළුපාන් එක කාපං. ඔය මැස්සෝත් වහනවා.”

මාළුපාන් ගෙඩියෙන් කැබැල්ලක් කඩාගෙන හපන්නට ගත් ඉන්දිරාට එකවරම පිට උඟුරේ ගියේ දැස් වලින් කඳුළු පිට කරවමිනි. ඇය නොනවත්වා කහින්නට විය. තමන් කමින් සිටි බනිස් ගෙඩිය පසෙකලා ඉන්දිරාගේ පිටට තදින් තට්ටු කරන්නටවූ දීපිකා කැස්ස අඩුවූ විට වතුර බෝතලය දිගුකළා ය. කහිමින්ම වතුරු උගුරු කිහිපයක් පානය කළ ඕ කඳුළු පිටවූ දෑස් පිසදාගත්තා ය. 

“කතා නොකර කාලා ඉදපං.”

“මේ ඇති, මට කන්න පිරියක් නෑ.”

“නෑ නෑ උඹ මේක කන්නම ඕනේ. බලපන් උඹ මේක කාලා නෑනේ.”

යළිත් වරක් දීපිකාගේ බල කිරීම මත මාළුපාන් ගෙඩිය ආහාරයට ගත්තේ අකමැත්තෙනි. වතුර බී අහවර වෙනතෙක් දීපිකා කල්යල් බැලූවාය. 

“අම්මා මොකද කියන්නේ?”

“සමහරවිට අම්මා දැන් දන්නවාත් ඇති. ඒත් මට සැකයි අම්මාට මේ ගැන දන්වලා තියෙනවාද කියලත්. සුදු නැන්දා මේවා කියලා යවන්න බයයි, අම්මා බයවෙයි කියලා.”

“එතකොට සුදු නැන්දයි මාමයි කැමතිද ඔයාලව යවන්න?”

“එයාල නම් කැමති නෑ. එයාල තාත්තාට කිහිප සැරයක් එහෙට එන්න එපා කිව්වා.”

“දැන් උඹ කැමතිද එහෙට යන්න?”

“මං දන්නේ නෑ බං, මට මේවා හිතනකොටත් ඔළුව පිස්සු වෙනවා. තාත්තා ඇවිල්ලා අපිව එහෙට එක්කන් යන්න හදනවා, රණ්ඩු කරනවා. එක්කෝ ඕනේ දෙයක් වෙන්නයි කියලා එහෙට යන්නත් හිතයි.”

“මට නම් හිතෙන්නේ අම්මා එනකම් මෙහේ හිටියොත් හොඳයි කියලා.”

“මට එහෙමත් හිතෙනවා. ඒත් මට දුක තාත්තාට අපිව බලන්න මෙහෙට එන්න එපා කිව්ව එකට.”

ඉන්දිරා නෙත් තුළ ගුලි ගැසුනු කඳුළු කැට ලේන්සුවෙන් පිසදා ගෙන තදින් හුස්මක් ගත්තා ය. 

“එන්න එපා කිව්ව එක හොඳයි. තාත්තා නිතරම මෙහෙට එන්න ගත්තොත් ඒක මේ ඕපාදූප මලු වලට හොඳ මාතෘකාවක් වෙයි.”

විවේක කාලය අවසන්වීමේ සීනුව නාද වෙද්දී දීපිකා තම අසුනේ හිඳගත්තාය. ඉන්දිරා ද බෑගයෙන් පොතක් රැගෙන එහිවූ අකුරු පෙළ දිගේ අරමුණකින් තොරව දැස් දිවයවන්නට වුණි. 


පොඩි මාමාගේ උපදෙස් මත සුදු නැන්දා ලියා යවන ලද ලිපියට තමාලිගේ පිළිතුරු ලිපියද ඉක්මනින් පොඩි මාමා අතට පත්විය. එය කියවූ ඔහු සුදු නැන්දාට පැවසුවේ තමාලිගේ තීරණය තමාද අනුමත කරනා බවයි. ජීවිතයේ බරක් පතලක් නොගත් බේබද්දෙකුවූ ජයවීර තම ළමයින්ගේ ආරක්ෂාව හා රැකවරණය ලබාදෙනු ඇතැයි සිතිය නොහැකි බැවින් ඔහු පිළිබඳව විශ්වාස නොකරන ලෙසින් ඇය ඉල්ලා සිටියා ය. 

“මේ ලියුමේ කියලා තියෙන්නෙත් ජයවීරට දරුවෝ දෙන්න එපා කියලානේ. අපිට කරන්න තියෙන්නෙත් එච්චරයි.”

“එක නම් එහෙම තමයි එත් මේ මිනිහා ඔය කතා අහයිද මල්ලියේ?”

“ජයවීර ඊට පස්සේ ආවේ නැද්ද?”

“නෑ. මම කිව්වේ ජයවීරට මල්ලි ඉන්න දවසට එන්න මිසක් සතියේ දවස් වලට මෙහේ ඇවිල්ලා මාත් එක්ක රණ්ඩු අල්ලන්න එපායි කියලායි.”

“සමහර විට අද හෙට මේ පැත්තේ එන්නත් පුළුවනි.”

“ඔය මිනිහාට වැඩක් නැද්ද මන්දා මෙහේටම එන්නේ.”


                                                      * * * * *

දින කිහිපයකින් සුපුරුදු පරිදි ජයවීර නිවසට පැමිණියේ ළමයින්ව රැගෙන යන බව පවසමින්ය. පොඩි මාමා තමාලිගේ තීරණය පැවසු විගස ජයවීර අධික කෝපයට පත්ව රෞද්‍ර ලෙසින් හැසිරෙන්නට විය.  

“යකෝ මම ඉල්ලුවේ මගේ දරුවෝ. තොපිට පුළුවනිද මට මගේ  දරුවන් නොදී ඉන්න. තොපිලා දන්නේ නෑ මේ ජයවීර කවුද කියලා.” 

ඔහු ඉස්තෝප්පුවේ තිබූ වේවැල් පුටුවකට පයින්  පහරක් එල්ල කළේය. වටයක් කැරකී ගිය පුටුව පිල් කණ්ඩියේ හැපි උඩුබැලි අතට වැටුනේ කකුල් හතරම ඉහළට ඔසවාගෙනය. ඉන්දිරාගේ සායේ එල්ලුනු කෝලිත බිය රැඳුනු දෑසින් තාත්තා දෙස බලා සිටියේය. මෙතෙක් වේලාවක් පසෙකට වී බලා සිටි සුදු නැන්දා පුටුවට පයින් ගැසූ විගසම ඉස්තෝප්පුවට කඩාගෙන පැන්නාය.

“මේ ජයවීර ගෙදර බඩුමූට්ටු කඩා බිදලා දාන්න උඹ කවුද? මම ඉලපත ගන්න කළියෙන් මෙතනින් පලයන්.”       

“උඹේ ඉලපතට කවුද බං බය වෙන්නේ? යකෝ හිරේ ගිය මට මේවා මොනවාද?”

පොඩි මාමා ඉක්මනින් සුදු නැන්දා වෙත ළංවූයේ ඇයව ආරක්ෂා කිරීමටය.

“අක්කේ මෙතනින් අහකට පලයන්.”

ඇගේ බාහුවකින් අල්ලාගත් පොඩි මාමා සාලයට ඇඳගෙන ගියේය.

“මේ තිරිසන් මිනිහා එක්ක මොන කතාද? මෙන්න මෙහේ ඇතුළට වෙලා ඉන්නවා. මේ ඉන්දිරා මම කියනකම් ඇතුලෙන් දොර වහගෙන ඉන්න. ” 

කී පොඩි මාමා මිදුලට බැස්සේ කෝපයෙන් පිපිරෙන කේන්තියක් සමඟින්ය. ජයවීර ඒවන විටත් මිදුලේ තබා තිබූ මල්පෝච්චි කිහිපයක් කඩා බිඳ දමා තිබුනේ පයින් ඇනිමෙනි. 

“ජයවීර නවත්තපන් මිනිහෝ ඔය කරන අසමජ්ජාති වැඬේ.”

මිදුලේ තිබූ මල් ගස් උදුරා විසිකරමින් සිටි ජයවීර ඉස්තෝප්පුව දෙසින් ආ පොඩි මාමාගේ ගැඹුරු හඬින් තිගැස්සී ගියේය. උගුල්ලා අතට ගත් ඇන්තුරියම් ගසක් ඔහු පසෙකට විසීක්කළේය. වියරු වැටුනු පොඩි මාමා  පසෙක තිබුනු වැටමාර ඉන්නක් උදුරා ගත්තේ අසුරු සැනකිණි.

“මගේ ගෙදරට ඇවිල්ලා ගෙදර බඩු පොඩි කරලා චංඩිකම් කරන්න දෙන්න බෑ. හොඳ හිතිං මෙහෙන් තොලොංචි වෙලා පලයන්.”

“උඹ පොල්ලක් ගත්තේ මට ගහන්නද?”

“ඔව් ගහනවා තමයි. තවත් නම් ඉවසන්නේ නෑ ජයවීර.”

ඔහු වැටමාර ඉන්න උරුක් කරමින් පැවසීය. ජයවීරගේ මෙන්ම පොඩි මාමාගේ කෑ ගැසීම ඇසුනායින් අසළ පහල ගෙවල් වලින් එකා දෙන්නා ගෙවත්තට එබී බලන්නට විය. 

“ගහපං ඇයි මොකද බලා ඉන්නේ ගහලා මරපං.”

ජයවීර තම කෙරුම්කාරකම පෙන්වන්නට මෙන් පපුවට දැතින්ම ගහගෙන ගහගෙන යන්නට විය.  

“මගේ දරුවෝ දෙන්නා දෙන්නේ නැතිව මම මෙතනින් යන්නේ නෑ.”

“මේ ජයවීර මගේ යකා අවුස්සගන්නේ නැතිව මෙතනින් පලයන් යන්න. අපිවත් පව්කාරයන් කරන්න එනවා.”

“තොපිලා දන්නේ නෑ මම කවුද කියලා. මම ආයෙත් එන්නේ නිකම් නෙමේ. මගේ උන් දෙනතුරු මම එනවා.”

කී ජයවීර දෙවට අද්දරින් පහළට බැස ගියේ කලබගෑනියේ හඬ ඇසී මිදුලට එකා දෙන්නා ඇදී එද්දීය. 

“ඇයි පොඩි මාමේ මොකක් හරි ප්‍රශ්නයක්ද?”

වැනි වැනී පහළට බසිනා ජයවීර දෙස බැලූ උඩහ ගෙදර ගයාන් ඇසීය.

“මේ අපේ තමාලිගේ මනුස්සයානේ. බීගෙන ඇවිල්ලා පොඩි රණ්ඩුවක් ඇල්ලුවා. දැන් හරි.”

තම අතේ තිබූ වැටමාර පොල්ල පසෙකට වීසිකර දමා ඇවිත් සිටි අයට සිනාහවකින් සංග්‍රහ කළේ තම සිතේ පැසවන කෝපය සඟවා ගනිමින්ය.

“ලොකුවට සද්දේ ඇහුනා. අපි මේ දුවන් ආවේ ඒකයි.”

ගුණසෝම ගයාන් දෙස බලමින් කීවේය. 

“මොකද කරන්නේ මාමේ ඔය මිනිහා අල්ලලා දෙකක් දීලා පොලීසියට දෙමුද?”

“ඕනේ නෑ ළමයිනේ දැන් ප්‍රශ්නේ ඉවරයිනේ.”

“ඒවුනාට මිනිහා ආයෙත් එනවා කියලා නේද ගියේ?”

“බිව්වාම හිතට ගන්න චණ්ඩිකම්නේ ළමයිනේ. වෙරි ගියාම ඔක්කෝම හරි. අපි කලබල වෙන්න නරකයි.”

“ඔය මිදුල එහෙම අස්කරගන්න උදව් ඕනේද?”

“එපා ළමයිනේ. දැන් රෑ වුනානේ. මේ කරුවලේ සතා සරුපයා වුනත් ඉන්න පුළුවනි. මට හෙට අස්පස් කරගන්නම්.”

“එහෙනම් අපි ගිහිල්ලා එන්නම්.”

“පොඩි මාමේ මොකක් හරි උවමනාවක් එහෙම තියේනම් අපිට කියන්න.”

ගයාන් ගුණසෝම සමඟින් පිටවී යන ගමන් කීවේය.

තාත්තාගේ  හා පොඩි මාමාගේ කෑගැසිල්ල ගෙතුළට වැදී හුන් ඉන්දිරා අසා සිටියේ බියෙන් ගැහෙමින්ය. ඇගේ තුරුල්ලට වී සිටි කෝලිත පොඩි මාමා තාත්තාට කෑගසාගෙන යන හඬ ඇසී ඈ අතහැර සුදු නැන්දාගේ බෙල්ල බදාගත්තේය. එකවරම රණ්ඩුවේ ශබ්දය අඩුවීගියායින් ඉන්දිරාගේ බිය තවත් වැඩි වින. අහේතුක බිය ඇගේ සිත හිරිවට්ටටන්නට පටන්ගෙන තිබුනේ තාත්තා ගෙදරට ගොඩවූ මොහොතේදී පටන්ය. දෙකම්මුල් දිගේ පහළට ගලා ගිය කඳුළු ගවුම් වාඩියෙන් පිසදාගත් ඈ මිදුල දෙසට හොඳින් කන්දුන්නා ය. තාත්තාට හෝ පොඩි මාමාට හෝ කරදරයක් නොවේවායි ඇයගේ සිත මුරගාන්නට විය. පොඩි මාමා සරමෙන් දැත් පිසදමමින් ගෙතුළට වදිද්දී තාත්තාට කරදරයක් ඔහුගෙන් සිදුවූවාදැයි යළිත් ඇගේ සිතට බියක් ඇතුලු විය.

“කෝ ජයවීර?”

“මට බැන බැන ගියා.”

“ඇති යන්තම් මිනියක් දෙකක් මැරෙන්නේ නැතිව.”

“මිනිහා හැදුවේ කෑකොස්සන් ගහලා අපිව බය කරවන්නයි. වටේ පිටේ අය එකතුවෙද්දී මිනිහා හිමිහිට මාරු වුනා.”

“බී ගත්තාම ජයවීර නියම තිරිසනා. අපොයි අර ඉස්කෝලේ යන නොදරුවෙක්නේ බස් එකට යට කරලා මැරුවේ.”

“ඇති අක්කේ. දැන් තියෙන දෙයක් ඉක්මණටම රත්කරලා කන්න දෙන්න. නිදාගත්තාම ඔය සිද්ධි ඔක්කෝම අමතක වෙලා යාවි.”

තවමත් සුදු නැන්දාගේ බෙල්ල බදාගෙන සිටිනා කෝලිත දෙස බලා පොඩි මාමා පැවසුවායින් ඈ කෝලිතගේ දෑත් බෙල්ලෙන් මුදවාගෙන ඉන්දිරාට බාර කළා ය. නිවසේ ඇතිවන රණ්ඩු සරුවල් ආදිය ගැන හාන්කවිසියක් වත් නොදන්නා ලෙසින් ඇඟිල්ලක් මුවතුළ රඳවාගෙන නිදි ලොවට වැඳී සිටින පොඩි මල්ලි දිනේෂ් ගැන සොයා බැලූ ඉන්දිරා ඇද තෙමාගෙන සිටින කලිසම් පොඩිය ගලවා ඉවත් කළා ය. 

“ඇයි අක්කේ තාත්තා මෙහේ ඇවිල්ලා රණ්ඩු කරන්නේ?”

කෝලිත තම නිදිමත බේරෙන ඇස්වලට කඳුළු කැට පුරවාගෙන ඇසීය.

“අපිව රත්නපුරේ එයාගේ ගෙදරට එක්කන් යන්නලූ.”

“අපෝ එයා එක්ක යන්න බෑ. එයා ගාව අමුතු ගඳක්නේ තියෙන්නේ.”

කී කෝලිත ඉක්මනින් සුදු නැන්දා සොයා කුස්සිය දෙසට දිවගියේය. 

රාත්‍රී බත්පත අතට ගත් ඉන්දිරාට එය කෑමට ගැනීමට තරම් පිරියක් තිබුනේ නැත. නොසිතුවිරූ ලෙස ඇතිවූ කලබගෑනියෙන් පොඩි මාමාත් සුදු නැන්දාත් පීඩා විදී මානසික තෙහෙට්ටුව ඔවුන්ගේ කෑම රුචිය පළවාහැර තිබුණි. ඔවුන් තම සිත තුළ පැවති පීඩනය ඉන්දිරාට හෝ කෝලිතට නොපෙන්වාලීමට උත්සාහ කරන්නට විය. බත් පත අතට ගත්තද යළි යළිත් මනසට නැගෙනා අප්‍රසන්න සිතුවිලි බත් කටවල් දෙක තුනකට සීමා කළේය. බත් ව්‍යාංජන එකට ඇනූ පොඩි මාමා පිළිකන්නේ  තිබූ තහඩු කැබැල්ලක් මතට දැමීය. මෙතෙක් වෙලා බත්පත අතගාගා සිටි ඉන්දිරා ද බත් පිගාන හලා සෝදා දැම්මා ය. නිවසේ සියල්ලන්ගේ සියලුම කටයුතු අකර්මණ්‍යය කර දැමුවාක් මෙන් කිසිවෙකුත් කතා බහකින් තොරව සිටින්නට විය. සුදු නැන්දාත් ඉවුම් පිහුම් කළ ව්‍යංජන ඇතිලි කිසිවක් නොසෝදා නින්දට වැටුණි. 


ගවුමට උඩින් ඇද සිටිනා එහෙන් මෙහෙන් වුල් ලිහී ඉරුනු ස්විටරය අස්සෙන් සීතල සුළං රැල්ලක් දොර හැර ඉස්තෝප්පුවට ගොඩවූ ඉන්දිරාගේ ගතේ හී ගඬු නංවාලමින් හමා ගියේය. ඇය තම දෙඅත් පපුව මත්තෙන් බැද ගත්තේ ළයට වදිනා සීතලෙන් මිඳීම සඳහාය. උදෑසන මීදුමෙන් වැසුනු ගස්කොළන් හේතුවෙන් මිදුල පුරා තිබුයේ මඳ අඳුරකි. එහෙත් අඳුර මැදම ඉස්තෝප්පුවේ කෙළවරට පැමිණි ඈ හාත්පස සිසාරා බැල්මක් හෙලුවේ වෙනදා නොවෙන වෙනසක් දැනුන බැවිනි. දෑස් අඳුරට හුරුවනතෙක් සිටි ඉන්දිරා මිදුලට බැස්සේ ඉදළ ගනු පිණිසය. කැඩුනු මල් පෝච්චියක කොටසක් ඇගේ පාදයේ වැදුනායින් ඈ විමසිලිමත්වූවාය. ඉන්දිරාට අදහාගත නොහැකිවූයේ තමන් මෙතෙක් දිනක් ආසාවෙන් රැකබලාගෙන සාත්තු සප්පායම් කල ඇන්තුරියම් පෝච්චි පෙරළා දමා පැළ උදුරා විසීකර තිබෙනු දුටුවිටය. ඇගේ පපුව දා ගෙන යනු දැනින. තාත්තා පෙරදින සැන්දෑවේ මිදුලේ අල්ලපු අඩව්ව යළි ඇගේ මතකයට රැගෙන ආවේය. උදෑසන සීතල පරයා ඇඟේ උණුසුම වැඩිවූයේ ලේ ගමනාගමනය වැඩිකරමින්ය. කෝපයත් ශෝකයත් දෙකම ඇගේ සිත වෙලාගත්තා ය. මඳ වේලාවක් බිම වැතිර පණ නල යදින මල් පැළ දෙස බලා සිටි ඕ තම සිත යළි තදකරන් තැලී පොඩි නොවුනු පැළ සීරුවෙන් එකතු කළේය. මිදුල යම් තරමකට හෝ පිළිවෙලකට සකසා ගන්නට ඈට හෝරාවක් පමණ ගතවිය. කොතරම් හල්දුම්මුල්ලට එන්න එපා කීවත් තාත්තාගේ කරදර එන්න එන්නම වැඩිවෙනවා මිස අඩුවීමක් නොවෙන බව කල්පනා විය. තාත්තා පාසලට පැමිණීම කෝලිතට මෙන්ම සුදු නැන්දාටද රහසක්ව තබාගත්තේ ඇයි දැයි ඇයට නොතේරුණි.

 

“ඉන්දිරා ජයවීරට චිත්‍රාංගනී මැඩම් එන්න කිව්වා.”

පහළ පංතියක කුඩා ළමයෙක් පංති කාමරයේ දොරටුවෙන් හිස ඇතුළට යොමුකර කීවේය. ඇගේ පණිවිඩය ඇසුනු විගසින් මෙතෙක් වෙලා පංතියේ තිබූ ගෝසාව එක්වරම අඩුවී ගියේය. එකා දෙන්නා  ඉන්දිරා දෙස බලන්නට පටන්ගත්තේ ඉන් අනතුරුවය. 

“දැන් උඹ චිත්‍රාංගනී මැඩම්ව යාළු කරගෙන වගේ?”

දීපිකා පන්තියට ඇසෙන අයුරින් තම හඬ වැඩිකර ඇසුවා ය.

“පිස්සුද බං?”

“හරි හරි ගිහිල්ලා වරෙන්කෝ. අපිටත් උදව්වක් එහෙම මැඩම්ට කියලා ගන්න බැරියෑ.”

අසුනින් නැගිට සිටගන්නටත් නොහැකි ලෙසින් ගතේ වාරු නොමැතිව ගියාසේ ඈට දැනුණි. පාසලට පැමිණි තාත්තාට කිසි දිනෙක තමා බලන්නට පාසලට නොපැමිණෙන ලෙසින් පැවසුවායින් ඔහු යළිත් නොඑනු ඇතැයි ඈට සිතුනද කටගොන්නක් බීගත් තාත්තා බීමතින් පාසලට පැමිණ ඇත්දැයි සිත තුළ බිය සංකා හොල්මන් කරන්නට විණි. ගතට වාරු ගෙන  පන්තියෙන් පිටමන්වූ ඉන්දිරා චිත්‍රාංගනී මැඩම් සොයාගෙන කාර්යාලයට ගියා ය. ස්ටාෆ් රූම් එක දෙසට යද්දීම ඉන්දිරා ඇමතූ චිත්‍රාංගනී මැඩම්

“ඉන්දිරා ඉන්න මම එනකම්.”

ඇය ඉක්මනින් ස්ටාෆ් රූම් එකෙන් එළියට පැමිණ ඉන්දිරාගේ බාහුවෙන් අල්ලාගෙන චිත්‍ර පන්තිය දෙසට පිය නගන්නට විය.

“යමු.”

“ඇයි මැඩම්?”

“මට පොඞ්ඩක් කතා කරන්න තියෙනවා. අපිට නිස්කලංකේ කතා කරන්න පුළුවන් චිත්‍ර පන්තියේදි.”

චිත්‍රාංගනී මැඩම් ඇගේ බිය රැඳි දෙනෙත් වලට එබී බලා මඳහසක් නංවමින් කීවා ය. පාසල් භූමියේ නිස්කලංක තැනක  පිහිටා තිබුනු  චිත්‍ර පන්තියේ ඒ වන විට කිසිවෙකු රැඳී සිටියේ නැත. ඔවුන් දෙදෙනා පන්ති කාමරයේ පසෙක තිබු යකඩ පුටු දෙකක වාඩි ගත්හ.

“ඉන්දිරා  ඔයාගේ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද?”

චිත්‍රාංගනී මැඩම් ඇසූ පැනයෙන් ඉන්දිරාගේ මුව ගොළුවුනි. කිසිදු උත්තරයක් දීමට නොහැකිවූ ඈ බිම බලාගත්තා ය. ඉන්දිරාට තම දෑස් කඳුළු වලින් පිරියන්නාක් මෙන් දැනෙන්නට විය.

“බය නැතිව කියන්න ළමයෝ. මම ඉන්නවා ඔයාගේ ඕනෑම දෙයකට.”

“අපි.... අපි ඉන්නේ අම්මාගේ පොඩි මාමාලගේ ගෙදර. අම්මා රට රස්සාවකට ගියා.”

“ඉතින් පොඩි මාමාලාගේ ගෙදරින් කරදරයිද?”

“අනේ නෑ මැඩම්, එයාලා අපිට හොඳට සලකනවා. තාත්තා තමයි නිතරම ඇවිල්ලා එයාලට කරදර කරන්නේ.”

“ඒ මොකටද?”

“අපිව එක්කගෙන යන්න.”

“දැන් තාත්තා ඉන්නේ කොහේද?”

“රත්නපුරේ. අපි ඉස්සර හිටියේ එහේ.”

“ඇයි දැන් මාමා ගේ ගෙදර ඉන්නේ? අම්මායි තාත්තයි දික්කසාද වෙලාද?”

ඉන්දිරා තම පවුලේ සිදුවූ සියලු විස්තර චිත්‍රාංගනී මැඩම්ට පැවසුවා ය. ඇගේ කතාව සාවධානව අසා සිටි ඕ ගැඹුරු හුස්මක් හෙළීය. 

“දැන් මට තේරෙනවා මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා.”

“ඇයි මැඩම්?”

“ඔයාගේ තාත්තා අදත් මෙහෙට ආවා ඔයාව බලන්නයි කියලා.”

“අදත් ආවා? කෝ දැන් තාත්තා.”

ඉන්දිරා විමතියෙන් මෙන් ඇසීය. 

“එයා ඇවිල්ලා තිබුනේ පාසලකට එන්න ඕනෑ විදිහකට නෙමෙයි. ඒ නිසා අපි එයාට පොඞ්ඩක් අවවාද කරලා පිටත් කළා.”

ඉන්දිරාට ඇතිවූයේ බලවත් ලෑජ්ජාවකි. ඇගේ දෙකන් රත්වේගෙන එනු දැනින. යළිත් දැස් කඳුළු පටලයකින් බොඳ කරවාලන්නට විය.

“තාත්තා බීලාද හිටියේ මැඩම්?”

“ඔව්. ඔය ළමයාගේ මාමාට හෙට අනිද්දාට විතර ඉස්කෝලෙට ඇවිල්ලා යන්න කියන්න.”

“අනේ මැඩම් පොඩි මාමාට කියන්න බෑ.”

“ඇයි ඒ?”

“මම ගෙදරට කිව්වේ නෑ තාත්තා මීට ඉස්සෙල්ලා ඉස්කෝලේට ඇවිත් ගියා කියලා.”

“ඒත් ප්‍රින්සිපල් මැඩම් තමයි ඔයාලගේ ගෙදර වැඩිහිටියෙක්ට එන්නයි කියලා තීරණය කළේ.”

ප්‍රින්සිපල් යන වචනය ඇසු විගසින්ම ඇය නොසන්සුන් විය. දෑස් අභියස රැඳීහුන් කඳුළු කම්මුල් තෙමමින් පහළට රූටා වැටෙන්නට වූයේය. 

“ඔය ළමයා බය වෙන්නේ මොකටද? අපි හදන්නේ ඔයාලට හොඳක් කරන්නනේ.”

ඉන්දිරා කිසිවක් නොකියා බිම බලාගත්තා ය. අසුනින් නැගිටගත් චිත්‍රාංගනී මැඩම් මේසය මතවූ තම බෑගයෙන් එළියට ගත් උණුවතුර බෝතලය විවර කර කෝප්පයට තේ හැලුවා ය. 

“බොන්න.”

“එපා මැඩම්.”

“බොන්න ඉන්දිරා, මේක බීලා පන්තියට යන්න.”

චිත්‍රාංගනී මැඩම් තේ කෝප්පය ඉන්දිරාගේ අත මත තැබීය. 


පාසල නිමවී සවස් වරුවේ නිවසට පැමිණි ඉන්දිරා සුදු නැන්දා හා කතාබස් කර ගැනුමට සුදුසු අවස්ථාවක් එනතුරු කල් ගත්තා ය. නිවසට ආ පසු පොඩි මල්ලි දිනේෂ් බලා කියා ගැනීමට උදව්වීම ඇගේ දින චරියාවේ කොටසක් විය. ඉන්දිරාට අවනත නොවන කෝලිත සුදු නැන්දා ඉදිරියේ ඉතා කීකරුව හැසිරෙන අයුරු ඈට හිතාගත නොහැකි විය. සවස දිනේෂ්ට කවා නිදි කරවූ පසු සුදු නැන්දාට ලැබෙන විවේකය තෙක් ඈ බලා සිටියා ය. අතේ වූ පොත පසෙකින් තැබූ ඉන්දිරා සුදු නැන්දා කරා ගියාය.

“සුදු නැන්දේ ”

“ඇයි?”

“අද තාත්තා ඉස්කෝලෙට ඇවිල්ලා තිබුණා.”

“ඒ මොකටද? එයාව උඹට හම්බවූනාද?”

“නෑ තාත්තාව හම්බවූනේ නෑ.”

“එහෙනම් උඹ කොහොමද දන්නේ එයා ඉස්කොලේට ආවා කියලා?”

“අපේ චිත්‍රාංගනී මැඩම් කිව්වා.”

“එහෙනම් මොකටද එයා ඉස්කොලේට ආවේ? කියපන්කෝ තෙපරබබා ඉන්නේ නැතිව.”

සුදු නැන්දා නොවසිලිමත්ව ඇසුවා ය.

“කෝ මට කියන්න දෙනවාද? මැදට පැනලා ප්‍රශ්න අහන්නේ නැතිව කියනදේ අහගන්න.”

“හා හා කියපන් ඉතිං.” 

“මාව මුණගැහෙන්න කියලා ඉස්කෝලෙට ඇවිත් තියෙන්නේ. තාත්තාව ආපහු හරවලා යවලා. චිත්‍රාංගනී මැඩම් මාව ඔෆිස් එකට ගෙනල්ලා මගෙන් ගොඩාරියක් ප්‍රශ්ණ ඇහැව්වා.”

“ජයවීරව හරවලා ඇරියේ එකත් එකටම ඔය මනුස්සයා බීලා ඉන්න ඇති.”

“ඔව් නැන්දේ, බීලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා ආපහු යවලා.”

“එයා ආපු කාරණාව කියලා නැතිද?”

“දන්නේ නෑ. එත් චිත්‍රාංගනී මැඩම් කිව්වා ගෙදරින් කවුරු හරි වැඩිහිටියෙක්ට කතා කරලා ඉස්කෝලේ ප්‍රින්සිපල් මැඩම්ව මුණගැහෙන්න එන්න කියලා.”

“හප්පෝච්චියේ මේ මිනිහා දැන් ඒ පාර ඉස්කෝලේටත් ගිහිල්ලා එතනත් රණ්ඩු අල්ලන්න පටන් අරගෙනද? මංනම් දන්නේ නෑ ඕවායේ ගිහිල්ලා කතා කරන්න. මාමාට කියමු ඇවිල්ලා ඒකට යන්නය කියලා.”

“මේ සති අන්තේ එන එකක් නෑ නේද?”

“එහෙම කියලා බෑ එයාට එක දවසකට වත් එන්නයි කියලා මම පණිවිඩයක් අරින්නම්.”

“එපා සුදු නැන්දේ මට බැනුම් අහන්න වෙයි.”

“ඒ මොටද උඔට බනින්නේ? එයා ප්‍රින්සිපල් මැඩම් එක්ක කතා කරගනියිනේ.”


පොඩි මාමා නිවසට පැමිණියේ පසු දින පාසලට යෑම සදහා එක් දින නිවාඩුවක් අනුමත කරවාගෙනය. නිවසට පැමිණ සුදු නැන්දාගෙන් විමසන තෙක් ඔහු සිතාගෙන සිටියේ ඉන්දිරා හෝ කෝලිතගේ කුමක් හෝ වරදක් නිසා තමාව කැඳවා ඇති බවය. ඉන්දිරා හා කෝලිත පාසලට පිටත්වූ පසුව උදේ නමයට පමණ පොඩි මාමාද පාසල වෙත පිටත්වීය. පාසල නිමවූ පසු ඉන්දිරා යළි නිවසට පැමිණියේ දෙගිඩියාවෙනි. ඇගේ සිත නොසන්සුන්කමකින් පිරීයන්නට විය. පොඩි මාමා තමන්ට කුමක් කියයිද යන්න ඇගේ යටිසිත පෙළන්නට පටන්ගත්තා ය.

“කෝ බං පොඩි මාමා?”

ඉන්දිරා දුටු විගසම සුදු නැන්දා විමසීය. ඈ එයින් විමතියට පත් වුනි.

“මම දැක්කේ නෑ. පොඩි මාමා ඉස්කෝලේට ගිහින් ආවේ නැද්ද?”

“ඇයි බං උදේ නමයට විතරනේ මල්ලි ගියේ.”

“මට නම් කතා කලේ නෑ. ප්‍රින්සිපල් මැඩම් මොකක් කිව්වාද දන්නේ නෑ.”

“මම මේ බලන් ඉන්නේ එයා එනකම් තමයි.”

“මෙච්චර වෙලා ඉස්කෝලේ ඉන්න විදිහක් නෑ. පොඩි මාමා වල්හපුතැන්නේ යාළුවෙක් වත් මුණ ගැහෙන්න යන්න ඇති.”

ඉන්දිරා කැන්වස් සපත්තුවේ ලේස්පටිය බුරුල් කර ගලවා දැම්මා ය. ගවුමක් ගෙනවිත් ඉන්දිරා දෙසට විසීකල සුදු නැන්දා

“ආ මේක ඇඳගනින් අර ගවුම මම හෝදලා දැම්මා.”

පාසල් නිල ඇඳුම උරහිසින් පන්නා දැමූ ඈ සුදු නැන්දා දුන් ගවුම හැඳගත්තාය.  

“හැබැයි සුදු නැන්දේ එයා ඉස්කෝලෙට ආවානම් මට චිත්‍රාංගනී මැඩම් කතා කරනවානේ. හෙට තමයි මැඩම්ගෙන් මේ ගැන අහන්න වෙන්නේ.”

“උඹ කියන්නේ පොඩි මාමා ඉස්කෝලේට ආවේ නෑ කියලාද?” 

“මං දන්නේ නෑ. ඇයි මට එයාලා කතා නොකළේ?”

“උඹට කතා කරන්නම ඕනේද? ඒවා වැඩිහිටියෝ කතා කරගත්තාම ඇතිනේ.”

ඉන්දිරා හා කෝලිත ගැලවූ පාසල් ඇඳුම් අව්වට දැමීමට යනින් ගමන් සුදු නැන්දා කීවා ය. දවස කෙමෙන් කෙමෙන් ගෙවී යමින් සැන්දෑ කාලයත් නිමවීමට ආසන්නව ආවත් පොඩි මාමා නිවස නොපැමිණිම සුදු නැන්දාගේ නොවිසිලිමත්බව වැඩි කරවන්නට විය. ඇය නිරන්තරයෙන් දෙවට අද්දරට ගොස් හෙල නැගගෙන පොඩි මාමා එනවා ඇද්දැයි විමසිලිමත් විය. සුදු නැන්දාගේ හදට අතුළුවූ විශාල බියක් සිත තලා ගිනි අවුලවාලන්නටවූවායින් ඈ නිවසේ සියලු වැඩ අතපසු කර පොඩි මාමා එනතෙක් බලා සිටියා ය. කිහිප විටක් නුරුස්සනාසුලුව අහේතුක ලෙස ඉන්දිරාට බැණ වැදුනු අතර ඇය සිටියේ පොඩි මාමා ගැන සිතමින් මානසික පීඩනයකට පත්වීගෙනය.  හිරු අවරට යන්නට ආසන්න වෙමින් ගස් කොළන් අතරින් තම දිනයේ අවසන් හිරු කිරණ පොළව වෙත යොමු කරවද්දී මඳ අඳුරත් සමඟින් පොඩි මාමා නිවසට ගොඩවුණි. උදයේ හැඳ පැළඳගෙන ගිය සුදු කමිසය හා කලිසම බොහෝ පොඩිව කිලිටිවී ගොසිනි. ඉස්තෝප්පුවේ වේවැල් පුටුවේ ඈඳීගත් ඔහු කමිසයේ උඩ බොත්තම් කිහිපයක් ගලවා දැමීය. කොණ්ඩය අවුල්ව ගොස් දුහුවිල්ලෙන් නැහැව කළුව ගිය පොඩි මාමාගේ හෙම්බත්වූ මුහුණ ඔහු පසුවන මහන්සි සහගත තෙහෙට්ටුව කියාපාන හොඳ කැඩපත් විය. ඔහු දුටු විගසම ළඟට දිව ගිය සුදු නැන්දාගේ දුක්දොම්නස් පෙණුම ක්ෂණිකයෙන් දූරීභූතවී ගොස් තිබුණි. 

“ඉන්දිරා දුවේ ඉක්මනට පොඩි මාමට ඇඟ හෝදාගන්න වතුර ටිකක් රත්වෙන්න තියාපං. ඒ ගමන්ම තේ ඩිංගකුත් හදාපං.”

ඇය සාලයේ දොර අසල සිටම ඉන්දිරාට කෑගැසීය. ඉන්දිරා ගේ සිත තුළ මෙතෙක් වෙලා සැඟව සිටි බිය යළිත් කරලියට නැගවිත් පෙරළි කරන්නට විනි. පුටුවේ දිග ඇදුනු පොඩි මාමා මඳ වේලාවක් මිදුල දෙස නිහඬව බලා සිට වතුර ටිකක් ඉල්ලා සිටියේය. යහුසුළුව ගෙට දිව ගිය සුදු නැන්දා ඉන්දිරා වතුර රත්කරනවාදැයි බලා වතුර වීදුරුවක්ද රැගෙන ගොස් දුන්නා ය. 

 “කොහේද මල්ලියේ ගියේ? මම මේ ගිනි පත්තුවෙලා බලං හිටියේ.”

එක හුස්මට වතුර වීදුරුව බී අවසන් කළ ඔහු හිස් වීදුරුව ඇය අතට පත් කළේය.

“ඉස්කෝලෙන් පස්සේ මම පොඩි ගමනක් ගියා.”

“ අපිව බය කරවන්නේ නැතිව ඇවිල්ලා කියලාම ගියා නම් නේද හොඳ ?”

“ඇවිල්ලා කියලා යන්න වේලාව මදි. අනික මොකට බය වෙන්නද?”

“අර පෝරිසාදයා ඉන්නේ අපිත් එක්ක වෛයිරෙන් නේ ඉතිං ඕකා මොකක් හරි නොසණ්ඩාල වැඩක් එහෙම කළොත්.”

“අක්කා බොරුවට බය වෙලා. එත් මම හිතුවේ නෑ මෙච්චර පරක්කුවෙයි කියලා”

“කොහේද ගියේ?”

පොඩි මාමා දෙකට නැමී අදිනාසර ගැටය ලිහා දමා සපත්තු දෙක ගලවාලීය. මේස් දෙක කකුලෙන් ඉවත් කල ඔහු සපත්තු දෙක තුළට නොදමා එහි උඩින් තැම්පත් කර කකුලින් පුටුව යටට තල්ලු කර දැමීය. තේ කෝප්පය රැගෙන ආ ඉන්දිරා සුදු නැන්දා අතට දී ඇයට මුවාව සාලයේ දොර අසළ රැඳුනි.

“ජයවීර ඉස්කෝලෙට ඇවිල්ලා තියෙන්නේ බීගෙනයි ඉන්දිරාව බලන්නයි කියාගෙන. මුරකාරයාට පොඞ්ඩක් සැක හිතිලා තියෙනවා මේ මිනිහා ඉන්නේ බීලා විත්තිය. මුරකාරයා ඉස්කෝලේ ඇතුළට යන්න දීලා නෑ. ඒත් කොහොමින් කොහොම හරි මිනිහා ඇතුළට ඇවිල්ලා. පස්සේ ප්‍රින්සිපල් මැඩම්ට මේ ගැන දන්වලා තියෙනවා.”

“මෙහෙටත් බී ගෙන එනවා වාගේ එහෙටත් යන්නනැති. මොකටද මෙයා ඉස්කෝලෙට ගියේ?”

“ඒක නම් දන්නේ ජයවීරම තමයි. එත් ජයවීර මිටත් ඉස්සරින් ඉස්කෝලෙට ඇවිල්ලා ඉන්දිරාව මුණගැහිලා  තියෙනවා”   

එය ඇසුණ විගසින්ම ඉන්දිරාගේ මුළු සිරුරම පණ නැතිව ගියාක් මෙන් බියෙන් සලිත වන්නට විය. සුදු නැන්දා එකවරම ඇයට පිටුපසින්  සිටි ඉන්දිරා දෙස හැරී බැළීය. සුදු නැන්දාගේ දෑස්වල මෝදුවෙමින් තිබෙන කෝපයක් ඉන්දිරා දුටුවා ය.

“මේ කියන්නනේ ඇත්තද?”

ඇගේ නෙත් දෙස එක එල්ලේ බැලීමට අපහසු වූ ඉන්දිරා නිහඬව බිම බලා ගත්තා ය. ඉන්දිරාගෙන් පිළිතුරක් නොලඳ බැවින් ඇගේ කෝපයේ ආවේගය ඉහළ ගියේය. ඉන්දිරාගේ බාහුවෙන් අල්ලා පොඩි මාමා ඉදිරිපසට ඇඳගත් සුදු නැන්දා කෝපයෙන් දිදූළන දෑසින් ඈ දෙස බලා සිටින්නට විය. ඉන්දිරා තවදුරටත් නිහඬව සිටින්නටවූවා ය. ඉන් කෝපය ඉහවහා ගිය සුදු නැන්දා ඇගේ බාහුවෙන් අල්ලාගෙන තවරටු කරන්නට මෙන් දෙපසට හෙලවන්නටවූවා ය. ඉන්දිරාගේ කම්මුල් දෙපසින් කඳුළු වැල් දෙකක් පහළට ගලායන්නට විණි.

“මොකද සද්ද නැතිව ඉන්නේ කියනවා පොඩි මාමා කියන්නේ ඇත්තද?”

“ඔව් ආවා.”

ඇය ඉකියක් සමඟින් කීවාය.

“කවදාද?”

“දැන් මාසෙකට විතර ඉස්සර. මම තාත්තාට ආයෙමත් ඉස්කෝලෙට එන්න එපායි කිව්වා.” 

“එයා මොකක්ද එහෙට ඇවිල්ලා කිව්වේ?”

“ළඟදීම අපිව රත්නපුරේ ගෙදරට එක්කන් යන්න එනවා කිව්වා. මම කිව්වා අපිට මෙහේ හොඳයි අපිට පාඩුවේ ඉන්න දෙන්නයි කියලා. එච්චරයි.”

“ඇයි ළමයෝ ඕක මෙච්චරකල් නොකියා හිටියේ?”

පොඩි මාමා ප්‍රශ්න කළේය.

“ඒක නෙන්නම් මොන ප්‍රශ්නේ ආවත් අපිට කියන්නනේ තිබුනේ.”

“මම තාත්තාට කිව්වානේ ආයෙත් ඉස්කෝලේට ඇවිල්ලා අපිට ලැජ්ජා කරන්න එපා කියලා. මම හිතුවේ නෑ තාත්තා ආපහු එයි කියලා.”

“දැන් මේකට මොකද්ද කරන්නේ මල්ලියේ?”

“මම ගියා ජයවීරව මුණගැහෙන්න රත්නපුරේට. මිනිහා ඒවෙලාවේ හිටියේ නෑ. මම සැමුවෙල් මුදලාලිගේ කඬේට වෙලා හිටියා එනකම්ම. ඒකයි මෙච්චර පරක්කුවුනේ.”

“ජයවීර ආවද?”

“සැමුවෙල් මුදලාලිටත් මම කිව්වා මෙයාගේ මේ බීමත්කම නිසා ආයෙමත් ලොකු අනතුරක් කරගනියි කියලා. මුදලාලිනම් එක ගණන්ගත්තෙ නෑ. එයා කියන්නේ ලොරියේ වැඩ කරද්දී ජයවීර බීලා ඉන්නේ නැතිලු.”

“මල්ලි ජයවීරට කිව්වේ මොකක්ද”

සුදු නැන්දා නොවිසිලිමත්ව ඇසුවාය.

“ඇත්ත තමයි මිනිහා ලොරිය අරන් කඬේට එනකොට නම් බීලා නෑ. මම පැත්තකට අඬගහගෙන ගිහිල්ලා පොඞ්ඩක් සැර කළා. ආයෙමත් මේ ළමයින්ට කරදර කරන්න හල්දුම්මල්ල පැත්ත පළාතේ එන්න එපයි කියලා.”

“ඔය ජයවීර තිරිසනෙක් වාගේ බීගත්තාම. ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නෑ.”

“ජයවීර ආපහු ඉස්කෝලේට එන එකක් නෑ. ප්‍රින්සිපල් මැඩම් ජයවීරට හොඳටම අවවාද කරලා ඒ විතරක් නෙමෙයි ආපහු ආවොත් පොලීසියට කතා කරලා භාර දෙනවා කිව්වාලු.”

“ඒත් මල්ලියේ ඔයවාගේ ගමනක් තනියම ගියේ ඇයි? මිට පස්සේ හිතුවක්කාරෙට තීන්දු ගන්න එපා.”

“අක්කා බොරුවටනේ බය වෙලා තියෙන්නේ.”

“මම බයවෙන එක සාධාරණයි. ජයවීර බී ගත්තාම තිරිසනාවාගේ, හොඳ නරක තේරෙන්නේ නෑ. ඔය මිනිහා මොකක් හරි නරක දෙයක් කලොත් ”

“මම තාත්තාට කියනවා ආයෙමත් අපිට කරදර කරන්න එන්න එපා කියලා.”   

ඉන්දිරා හඬමින් කීවාය.


                                                      * * * * *


දින කිහිපයක් ගෙවි ගොස් යළිත් තම දිවියේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට ඉන්දිරා සමත් වූවාය. දහවල් පාසල නිමවි තම යෙහෙළිය දීපිකා සමඟින් පාරට බැස්සාය. කෝලිත ඉන්දිරාව පසුකර ඉදිරියෙන් ගමන් කලේ තම යහළුවන් පිරිසක් හා එක්කය.

“ඉන්දිරා කවුද උඹේ නම කියලා කතා කළා. අර අතත් වනනවා.”

“කෝ බං කවුද?”

“අර දැන් මේ පැත්තට  එන්නේ.”

ඉන්දිරා ඇය කියූ ඉසව්වට දෑස් යොමු කළා ය. පාසල නිමවී යන ළමුන් අතරින් එකවරම තම දර්ශන පථයට අසුනොවුනත් පසුව දුටු දසුනෙන් ඇගේ සිරුර එකවරම ගල් ගැසුණි.


කවුද ඒ?.....මතුසම්බන්ධයි..........

Friday, October 2, 2020

පළිගු කිරිල්ලී - දෙළොස්වන කොටස

 

පළිගු කිරිල්ලී - දෙළොස්වන කොටස

දිනක් සුදු නැන්දා නිවසින් පහළට බැස පාර අද්දරටවී තමන් පාසල් නිමව එනතෙක් පෙරමඟ බලා සිටිනා අයුරු ඉන්දිරාට අදහාගත හැකි නොවීය. එය ඇගේ සිතේ යම් තරමකට අවිනිශ්චිතභාවයක් ඇති කරවන්නට විය. සුදු නැන්දාගේ මුහුණේවූයේද තරමක කලබලයටපත්වූ ලෙසකි. එය දුටු ඉන්දිරාද තැතිගත්තා ය.

“ඇයි සුදු නැන්දේ? ඇයි මෙතන කරන්නේ?”

“නෑ මම මේ පොඞ්ඩකට පහළට ආවා දැන් උඹලා එන නිසයි මඟ නතරවෙලා උන්නේ.”

සුදු නැන්දා ඉන්දිරාට සැකයක් ඇති නොවනා ලෙසින් කීවාය. එහෙත් ඇගේ ස්වරයේ යම් තරමකට බියපත්වූ බවක් ඉන්දිරාට දැනෙන්නට වුණි.

“එහෙනම් යමු.”

“ඉන්දිරා දුවේ අපි පොඞ්ඩක් ශ්‍රියා නැන්දලාගේ ගෙදරටත් ගිහිල්ලා එමුද?”

“ඇයි එයාලට මොකක් හරි කරදරයක්ද?”

“උඹට පිස්සුද? මම මේ නිකං යන්නේ ලබන සුමානේ සිල් ගන්න යනවාද අහන්නයි.”

“ඕක අහන්න මේ තදියමේ යන්න ඕනෑද? අපි පස්සේ වෙලාවක යමු. දැන් හොඳටම බඩත්ගිනියි.”

“මෙතනට ආපු එකේ ඔය පොඞ්ඩත් ගිහිල්ලා එමුකෝ.”

“මල්ලිත් ආවේ බඩගිනියි කිය කියා. කෝ පොඩි මල්ලි? එයාව ගෙදර තනියම දාලාද සුදු නැන්දා මෙහේට ආවේ?”

“එයා ගැන බය වෙන්න දෙයක් නෑ. මම එයාව බලාගන්න දීලා ආවේ. මාත් එක්ක එහෙට යමුකෝ.”

“මට බඩගින්නක් නෑ අක්කේ.”

“මෙයාට අර කෙල්ල එක්ක නටන්න තියේනම් බඩගින්නක් නෑ තමයි. එහෙනම් ඔය දෙන්නා ගිහිල්ලා එන්න මම ගෙදර යන්නම්.”

“මම කිව්වානේ යමු කියලා. මගේ තරහා අවුස්ස ගන්නේ නැතිව යමල්ලා.”

“ගිහිල්ලා ඉක්මණටම එමු.”

ඉන්දිරාගේ සිත තුළ හට ගැනුන කුහල තවත් වර්ධනයවූවා මිස එය නැතිවුයේ නැත. කිසිදාක නොවු අයුරින් සුදු නැන්දා හැසිරෙන අකාරය ඈට මහත් ප්‍රෙහේලිකාවක්ම විය. ශ්‍රියාගේ අම්මා ඔවුන් ආ පෙර මඟට ආවේ පොඩි මල්ලි දිනේෂ්ව ද වඩාගෙනය. ඉන්දිරාගේ සිත තුළ නලියමින් සිටි කුහුල්සහගතත්වය ඇස් පණාපිටම ඔප්පු විය. එසේනම් සුදු නැන්දා නිවසින් බැහැරව දිනේෂ්වත් රැගෙන පහළ වංගුවට ඇවිත් තිබේ. තමන්ටද බොරුවක් කියා ශ්‍රියා නැන්දලාගෙදරට කැන්දාගෙන යාම කුමක් අරභයා සිදු කළාදැයි සිතාගත නොහැකි විය. අම්මාට කරදරයක්වත් සිදුවුණිදැයි සිතේ තීගැස්මක් හටගති. දිනේෂ්ව සුදු නැන්දා අතට පත්කල ශ්‍රියා නැන්දා ගේ අම්මා ආයාසයෙන් මෙන් සිනාසී

“ළමයි දෙන්නා ආවද? බඩගිනිත් ඇති නේද? ඉන්න මම කන්න මොනවා හරි ගෙන්නම්.”

කියා මුළුතැන්ගේය දෙසට පියමැන්නා ය. සුදු නැන්දාද ඉන්දිරාගේ ප්‍රශ්න වලින් වැලෙකෙන්නට මෙන් ඇය පසුපසින් ඇවිද ගියාය. ඉන්දිරාගේ සිතහි හටගත් තීගැස්ම සුදු නැන්දා කෙරහි ඇතිවූ කෝපයක් ලෙසින් වර්ධනය වෙමින් පැවතුණි. කිසිවක් ගැන විමසිලිමත් නොවන ලොකු මල්ලි ටිපෝව යට තිබූ පොටෝ ඇල්බම් එකින් එක එළියට අදින්නට වුණි.  

“ආ මෙන්න. අත් දෙක හෝදාගෙන ඇවිල්ලා කාලා හිටියානම්.”

ශ්‍රියා නැන්දා ගේ අම්මා ගෙන ආ බත් පිඟන් දෙකක් ඉන්දිරාටත් කෝලිතටත් දිගුකළාය. දැඩි කුසගින්නක පසුවු කෝලිත අත් සේදීම පසෙකලා බත් කෑම ආරම්භකලේ ඉන්දිරාගේ කෝපය වැඩි කරවමිනි.

“ඔය මොකක්ද මල්ලි කරන්නේ? අත් සෝදන්නේ නැතිව කෑම කන්න එපා. තැනකට ආවත් ඉන්න දන්නේ නෑ.”

“මේ තමුසෙට ඕනේ නම් අත් හෝදලා කනවා. මට බඩගිනියි.”  

ඔහු බත් පිඟානෙන් හිස ඔසවන්නේ නැතිවම කීවේය. ඉන්දිරාගේ සිතේ හටගත් දැඩි කලබලකාරිත්වය නිසා පෙර තිබූ කුසගින්නද දැනුනේ නැත. බත් පිඟාන අතගානවා දුටු ශ්‍රියා නැන්දාගේ අම්මා 

“ඔය ළමයා කාලා නෑනේ. පිඟාන අතගගා කල්පනා කර කර ඉන්නේ නැතිව බත් ටික කන්න. ඉස්සෙල්ලා බඩගිනියි කිව්වා නේද?”

 කෑමට ඇති පිරිය පහව ගොස් බැවින් ඉන්දිරා බත් පිඬු කිහිපයක් අමාරුවෙන් උගුරෙන් පහළට තල්ලූ කරගත්තාය. සුදු නැන්දා තමන්ගෙන් වසන් කරනා කුමක් හෝ කරුණක් ඇතැයි සිතුනි. කිසිවක් නොවුවිරු ලෙසින් මොවුන් හැසිරෙන ආකාරය පිළිබඳ ඇයට සිතාගත නොවීය. කුමක් හෝ ව්‍යසනයක් සිදුවෙමින් තිබෙන්නාක් බැව් ඉන්දිරාගේ පරිණත වෙමින් පැවති විඥානයට පසක් විය. කටට දෙකට බත්පත ගිලදැමු කෝලිත මිදුලට පැන්නේ ඉන්දිරා තම සිතුවිලි හා අරගලයක යෙදිමින් සිටිනා අතරතුරේදීය. ආහාර ගැනිම පසෙකලු ඈ සුදු නැන්දාව සෙව්වා ය. ඒවන විටත් කෝලිත ශ්‍රියා නැන්දාගේ දියණිය දිස්නා හා එක්ව මිදුලේ බට්ටා පනිමින් සිටිනවා නෙතු ගැටින. පාසල ඇරී ගෙදර එනතෙක්ම අතරමඟදීම බඩගිනියි කියමින් කන් කෙඳිරිගෑ කෝලිතගේ බඩගින්න ශ්‍රියා නැන්දලාගේ ගෙදරට යන්න කතා කලවිට අතුරුදහන්වූ හේතුව දිස්නා බව ඇයට වැටහුණි. අම්මා ඇරලවීමට ගුවන්තොටුපලට ගිය ගමනේදී ලෙකු මල්ලි දිස්නා සමඟින් මිතුරුවන්නට ඇතැයි ඈ සිතුවා ය.

“ශ්‍රියා නැන්දලාගේ අම්මේ කෝ සුදු නැන්දා?”

“සුදු නැන්දා ගෙවල් පැත්තේ ගියා.”

“ගෙදර ගියා? ඇයි අපිව මෙහේ දාලා ගියේ?”

ඉන්දිරා ඇගෙන් ප්‍රශ්න කළා ය.

“මං දන්නේ නෑ. ඔය ළමයා සුදු නැන්දා ආවම එයාගෙන්ම අහගන්න.”

“කෝ එතකොට පොඩි මල්ලි? එයාවත් අරගෙනද ගියේ?”

“නෑ ඒ දරුවා අර කාමරේ නිදි.”

“මටනම් තේරෙන්නේ නෑ මේ විකාර. මගේ ඔළුවත් එක්කම කකියනවා.”

“පොඞ්ඩක් ඉන්න සුදු නැන්දා එනකම්. එයාගෙන්ම අහගත්තෑකි විස්තරේ.”

යළිත් සාලයට ගිය ඉන්දිරා ටිපෝව මතවූ කාන්තා පුවත්පතක් ගෙන එහි පිටු පෙරලන්නට විය. මඳ වේලාවකින් දෙනෙත් බරකරමින් නින්ද ඇයට අතවනන්නට විය.

“ඉන්දිරා. ළමයෝ නැගිටින්න.”

ඇය නිදිබර දෑස සෙමින් විවර කළා ය. පොඩි මල්ලි දිනේෂ්ව කරපින්නාගත් සුදු නැන්දා සැටිය අද්දරට වී සිටියා ය. 

“යමු ළමයෝ.”

“කෝ ලොකු මල්ලි?”

“අර ඉන්නේ එළියේ. ඉන්න මම එයාටත් කතා කරන්නම්.”

සුදු නැන්දා කෝලිතට ගෙදර යන්නට කතා කළා ය. දිස්නා හා එකතුව සෙල්ලමට වැටීහුන් කෝලිතට ගෙදර යන්නට සිතක් නොවීය.

“මම තව ටිකකින් එන්නම්. සුදු නැන්දලා යන්න.”

“දැන් ඇති සෙල්ලම් කළා යමං ගෙදර.”

“ඔයලා යන්නකෝ වද නොදී මම තව ටිකකින් එන්නම්.”

ඔහු තම සෙල්ලම නවතා කේන්තියෙන් මෙන් කීවේය. සුදු නැන්දා ඔහුගේ සෙල්ලමට ඉඩ දී ඉන්දිරා සමඟින් යන්නට මිදුල බැස්සාය.

“නංගියේ අපි ගිහිල්ලා එන්නම්. පස්සේ වෙනින් වේලාවක මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්නම්.”

කුඩා දිනේෂ් වඩාගත් සුදු නැන්දා පිටුපසින් පාසල් බෑගය කරහි එල්ලාගත් ඉන්දිරා තාර පාරට අවතීර්ණ විය. එළවළු ගෝනි පටවා ගත් ඩෙලිකා වෑන් රථ දෙකක් ඔවුන් පසුකර හපුතලේ දෙසට ධාවනය වුණි. ඉන් නැගුන කිරි කිරි ශබ්ඳයට මෙතෙක් වේලාවක් සුදු නැන්දාගේ උරයට හිස රඳවාගෙන අඬ නින්දේ සිටි දිනේෂ් හිස ඔසවා බැලීය. ඔහු තම කුඩා දෙනෙත් විශාල කර කිසිදා නොදුටුවක් සේ එදෙස බලා සිටිනු පිටුපසින් ආ ඉන්දිරා දුටුවා ය. පාරෙන් අතුරු පාරකට හැරුනු සුදු නැන්දා ගල්මුල් පෑදුණු මඟ දිගේ හෙල නගින්නට පටන්ගත්තාය. වැඩි දෙනෙක් භාවිතා නොකරන අතුරු මාර්ගයක් ඔස්සේ තමන්ව රැගෙන යන සුදු නැන්දා ගැන වූයේ විමතියකි.

“ඇයි මේ පාරෙන් යන්නේ?”

“මේක ළඟයි.”

“මේක යන්නේ අර සොහොන ළඟින්නේ.”

“මොක ළඟින් ගියත් අපිට මොකෝ බං. බය නැතිව වරෙන් යන්න.”

දහවල් සිටම සුදු නැන්දාගේ අමුතු හැසිරීම ගැන ඇයට විමසීමට සිත්විය.

“ඇයි අපිව ශ්‍රියා නැන්දලාගේ ගෙදර නැවැත්තුවේ?”

“පොඞ්ඩක් හිටපං බං ගෙදරට යනකම්.” 

ඇය දිනේෂ්ව වඩාගෙන සිටි උරය මාරුකරමින් කීවා ය. ව්‍යාකූලවූ දහසක් සිතුවිලි එකිනෙක ගැටෙද්දී නිහඬව පා එසවූ ඉන්දිරාගේ සිත තුළ නිහඬබව රජ කළේ නැත. වැස්සට පස් හේදී ගිය මානා පඳුරු වලින් සෙවණවූ මාර්ගයේ ඇති දැඩි පාළු ස්භාවය ගෙන දුන්නේ ගූඪ නිහැඬියාවකි. කඳු බෑවුමේ පස් කපා සැදූ සොහොන් පිටිය මානා පඳුරුවලින් වැසීයමින් පැවතුනේ එම ගූඪ භාවය තහවුරු කරමින්ය. සුදු නැන්දා මොකට මේ කැලෑ පාරවල් වල යනවාද මන්දා යැයී ඇගේ සිත මොරගාන්නට විය. අඬ හෝරාවකට අඩු කාලයකදී නිවසට ළඟාවූවත් ඔවුන් දෙදෙනා සිටියේ දැඩි වෙහෙසකරවය. 

“මහ එපාකරපු පාරක්. ළඟ වුනාට මහන්සිය.”

ඉන්දිරා පොත් බෑගය මේසය උඩින් තබමින් කීවාය. දිනේෂ්ව බිමින් තැබූ සුදු නැන්දා කළයෙන් වතුර කෝප්පයක් නවාගෙන එක හුස්මට බී අහවර කළේය.

“දැන්වත් කියනවාද අපිව ශ්‍රියා නැන්දලාගේ ගෙදර නැවැත්තුවේ ඇයි කියලා?” 

“ගෙදර ඇවිල්ලා හුස්මක් කටක් ගන්නවත් හම්බවුනේ නෑනේ. ගිහිල්ලා ඔය ඉස්කෝලේ ඇඳුම් ටික ගලෝලා වරෙන්.”

“නෑ මට මේවා ගලවන්න ඉස්සරින් දැනගන්න ඕනේ.”

“අනේ මන්දා උඹත් හරියට උඹේ අම්මා වගේමයි. මුරණ්ඩුකම නම් අඩුවක් නෑ.”

“ඔය කතා කියලා ප්‍රශ්නෙන් මගාරින්නද හදන්නේ?”

සුදු නැන්දා මැටි පොළව අතගාමින් සිටි දිනේෂ්ව නැවත වඩාගෙන ඇඳෙන් හිද ගත්තා ය. 

“අද හරි වැඬේ සිද්දවුනේ. උඹලාගේ ඉස්කෝලේ ඇරෙන්න පැයකට එකාමාරකට කලියෙන් විතර උඹලාගේ තාත්තා ජයවීර මෙහෙට ආවා.”

“තාත්තා ... මෙහේට ...?”

කාලෙකට පසුව තාත්තා යන වචනය ඇසුනායින්  ඉන්දිරාට එය අදහාගත නොහැකි විය.

“කෝ තාත්තා? එයා ගියාද?”

“ගියා වෙන්නැති.”

“ඇයි එයාට යන්න දුන්නේ? මොනාද එයා කිව්වේ?”

“ජයවීර හොඳටම බීලයි හිටියේ. මං හිතන්නේ ගිය සුමානේ විතර තමයි හිරෙන් එළියට එන්න ඇත්තේ. උඹලාගේ අම්මාව ඇහැව්වා.”

“අපිව ඇහැව්වේ නැද්ද?”

“ඇහැව්වා.”

“ඉතිං.”

“මම කිව්වා මෙහේට ආපු තමාලියෙක් නෑ කියලා.”

සුදු නැන්දාගේ ඒ වඳන් සියල්ල කාලෙකින් නොදුටු තම පියාණන් එනතෙක් බලාසිටි ඉන්දිරාගේ හදවත පාරවන්නට විය. සුදු නැන්දා ගැන සිතේ ඇතිවූ කළකිරිම මුසු කෝපය ඈ මුදාහැරියා ය.

“ඇයි එහෙම තාත්තට කිව්වේ?”

“එහෙම නොකියා පුළුවන්ද? හොඳටෝම බීලා අසිහියෙන් ඉන්න කෙනෙකුට.”

“සුදු නැන්දා තාත්තට බොරුවක් නේ කියලා තියෙන්නේ.”

“උඹලා මෙහේ ඉන්නවා කියලා තාත්තට දැනගන්න ඉඩ තියන්න එපා කියලයි අම්මා කිව්වේ.”

“අපි මෙහේ ඉන්නවා කියලා තාත්තා දැනගත්තාම මක් වෙනවාද?”අනික සුදු නැන්දා බොරු කිව්වාම කොහොමද තාත්තා අපිව හොයාගන්නේ?”

“ඔය මිනිහා උඹලාගේ අම්මාත් එක්ක ඉන්නේ තරහින්.”

“එයා අම්මාත් එක්ක තරහාවුනාට අපිත් එක්ක තරහා නෑනේ.”

“අනේ මේ උඹ දන්න දේ. ඔය මිනිහා එක්ක අම්මා ආයෙමත් පවුල් කන්න යන එකක් නෑ.”

“මෙච්චර දුර ගෙවාගෙන අපිව බලන්න ආව තාත්තව, එයා කෑවද බිව්වාද බලන්නේ නැතිව පන්නා ගත්තා නේ.”

“මම එයාව පන්න ගත්තේ නෑ ඉන්දිරා. ජයවීර පිලට වෙලා මොන මොනවද මන්දා කියව කියව හිටියා. මම තේ එකක් හදාගෙන එනකොට බිම වැටිලා බුදී.”

“පව් මහන්සියට නින්ද යන්නැති ඉතිං නැගිට්ටවලා තේ එක දුන්නේ නැද්ද?”

“බීලා නිදාගත්තු මිනිහාව කාටද පුළුවන් නැගිට්ටවන්න. මම ඉක්මනට ගෙවල් දොරවල් වහලා දාලා දිනේෂ්වත් අරගෙන පාරට පැන්නේ උඹලාව ඔය මිනිහාව මුලිච්චි වෙන එක නවත්තන්නයි.”

“හිරේ ඉදලා අපිව බලන්න ආව තාත්තාට අපිව මඟ අරවන්න කරපු වැඬේ නම් හරිම කැතයි සුදු නැන්දේ. ඇයි ඔය වාගේ වැඩ කරන්නේ?”

“මටයි උඹලාව උඹලාගේ අම්මා බාර දීලා ගියේ. ඒ වගකීම මම රකින්න ඕනේ. මම මඟ අරවන්න කරපු දෙයක් නෑ. අම්මා එපයි කියපු දේ කළා මිසක්.”

“තාත්තා ආයෙමත් එයිද? මේ කොහේහරි ගෙදරකට ගියාද දන්නේ නෑ.”

“ඒ නිසයි මම පස්සේ ඇවිල්ලා සෝදිසි කරලා බැලුවේ. ජයවීර යන්න ගිහිල්ලා.” 

“පව්, තාත්තා දවල්ට කෑම කාලවත් නැතිව ඇති.”

“ජයවීරට ඔයාලව බලන්න ඉඩ දෙන්න එපා කියලා තමයි තමාලි මට කියලා ගියේ. එයා කෑවේ නැතිවුනාට අඩුවක් නැතිව හොඳට බීලා නම් හිටියා. මට බෑ ජයවීරත් එක්ක රණ්ඩු අල්ලන්න.”

“තාත්තා අපිව බලන්න ආවේ අපිට තියෙන ආදරේට මිසක් රණ්ඩු අල්ලන්න නෙමෙයි.”

“ඔය මිනිහාට දරු කැක්කුමක් තිබුනානම් අර ගෙවල් දොරවල් බීලා බීලා නැති නාස්ති කරයිද?  අපි පිහිටවුනේ නැත්නම් අද උඹලාට අම්මත් එක්ක මහ පාරේ තමයි ඉන්න වෙන්නේ.”

සුදු නැන්දාගේ වදනින් මඳකට පසුබා ගිය ඉන්දිරා තරහින් ගස්සාගෙන කාමරයට වැදුණි. පාසල් නිල ඇඳුම ගලවා වෙනත් ගවුමක් හැදගත් ඈ පිලට වී මිඳුල දෙසින් එපිටට නෙත් යොමුකරවාගෙන සිටියේ තාත්තාගේ රුව දෙවට පාරෙන් මතුවේයැයි සිතමිනි. තව තවත් තාත්තා ගේ මතකය මනසට ගලාගෙන ඒම වලක්වාගත නොහැකිවූ ඈ පිල් කණ්ඩිය අසලින් හිදගත්තා ය. සුදු ඇඳුමේ දුහුවිලි නාගෙන ගෙට පැමිණි කෝලිත දෙස ඉන්දිරා බැලුවේ නොමනාපයෙනි.

“දන්නවාද වැඩක්? අද තාත්තා මෙහේට ඇවිල්ලා.”

“බොරු කියන්නේ නැතිව ඉන්නවා. එයා ඉන්නේ හිරේනේ.”

“බොරු නෙමෙයි. එයා නිදහස් වෙලාලු.”

“කෝ එහෙනම් තාත්තා? මෙහේට ආවද?”

“ඇවිල්ලා, ඒත් අපි මෙහේ ඉන්නවා කියලා සුදු නැන්දා කියලා නෑ. මම හිතන්නේ තාත්තා ආයෙමත් යන්නැති.”

“ආ එහෙමද.”

කී කෝලිත පාසැල් බෑගය මේසය මතට දමා කාමරයට වැදුණි. තමන්ගේ  වදන් ගණනකට නොගෙන ගිය ලොකු මල්ලි පිළිබඳව ඇතිවූයේ කේන්තියකි. ඔහුට කෑ ගසා බැන වැදීමට සිත්වූවත් තම ආවේගයින් පාලනය කර ගත්තේ සුදු නැන්දා ලොකු මල්ලි ගේ සහායට එන බව දන්නා බැවිනි. වෙනත් කිසිදු වැඩක් කෙරහි අවධානය කරගැනුමට නොහැකිවූ තැන ඉන්දිරා ඇඳට වැටුනේ පාළුව නිවසේ රජයන විටදීය. 

සති අන්තයේ පැමිණි පොඩි මාමාට ජයවීර නිවසට ආ බව දැනගත් පසුව හඳුනාගත නොහැකි යම් අනතුරක සේයාවක් වැනි දෙයක් දැණුනි. එහෙත් එය පිටතට නොපෙන්වා සමාන්‍යය පරිදි හැසිරිමට ඔහු වගබලා ගත්තේය. පිළිසිඳගෙන සිටින්නේ තම දරුවෙකු නොවන බව කියමින් බන්ධනාගාරයේ අමුත්තන්ගේ කුටියේදි ගැබ්බර තමාලිට ජයවීර බැන වැදුනු අයුරු පොඩි මාමාගේ මනසේ යළි යළිත් රඟදක්වන්න පටන්ගති. නොදුරු දිනෙක ජයවීර තමාලි තමාගේ අලුත උපන් දරු පැටියාවූ දිනේෂ් මෙහි රඳවා ඇතයි දැනගතහොත් කුමකින් කුමක් සිදුවෙයිද ඔහුට සිතාගෙත නොහැකි විය. සුදු නැන්දා පසෙකට කැඳවූ ඔහු ඉන්දිරා හා කෝලිත මෙන්ම අනතුරක තිබෙන කුඩා දිනේෂ්ගේ ජීවිතයද තමාලි යළි මව් බිමට පා තබන දිනය තෙක් රැක ගැනීම ඇගේ මෙන්ම තමාගේ වගකිමක් ලෙසත් පැවසීය. ජයවීරට දිනේෂ්ව නොපෙන්වා පුළුවන් තරම් ඔහුගෙන් ඈත්ව සිටින ලෙසත් ඉල්ලා සිටියේය. දින කිහිපයක් ගෙවියන තෙක් සුදු නැන්දා සිටියේ තරමක වට පිටාව පිලිබඳව විමසිලිමත් වෙමිනි. ජයවීර යළිත් නොපැමිනි බැවින් ඇගේ සිත තුළ ඇවිලුණු ගින්න ක්‍රමක් ක්‍රමයෙන් නිවී ගියේය. තාත්තා ගේ ආගමනය නිසාවෙන් ඔද්දල් වූ ඉන්දිරාගේ මනසද යළිත් ප්‍රකෘර්තිමත් වීය. 


                                              * * * * *


“සුදු නැන්දේ ඇයි මට බොරු කිව්වේ?”

“මොකක්ද ජයවීර?”

“අනේ මේ සුදු නැන්දේ උඹ මට සුදුළුණු පොඩිකරන්න එන්න එපා. මම දන්නවා තමාලි මෙහේ ඉන්න බව. කෝ එයාට එන්න කියාපං.”

“මෙහේ ඇති තමාලියෙක් නෑ. මට කරදර කරන්නේ නැතිව පලයන්.”

“එහෙනම් අර ළමයි ඉන්නේ? මම බලාගෙන හිටියේ ඉන්දිරයි කෝලිතයි ඉස්කෝලේ යනවා.”

ජයවීරගේ කතාවෙන් සුදු නැන්දා තිගැස්සී ගියා ය. ඇය නිහඬව ඔහු දෙස බලා සිටියේ පවසන්නට කිසි දෙයක් හිතා ගත නොහැකිවය.

“දැන්වත් මට බොරු කරන්නේ නැතිව තමාලිට එන්න කියාපං. නැත්නම්...” 

“නැත්නම් ඇයි මොකද? මේ ජයවීර මට තර්ජනය කරන්න එන්න එපා. උඹලාගේ ප්‍රශ්න උඹලා විසදගනිල්ලා.”

“විසදගන්න තමයි මම ඒකිට එන්නයි කියන්නේ.”

 “ළමයි එක්ක යන එන මං නැතිව මෙහේට ආවම මම ඉන්න දුන්නා තමයි. දැන් තමාලි මෙහේ නෑ.”

“ඇයි ඒකි කොහේ ගිහින්ද?”

“එයා රට ගියා.”

“රට ගියාද? නැත්තම් අරූත් එක්ක ගියාද?”

“කවුද අරූ කියන්නේ?”

සුදු  නැන්දා නොරිස්සුම් සහගත හඬින් ඇසීය.

“අරූ කියන්නේ මිල්ටා, වල් පාහරයා. මම හිරේ වැටෙනකම් හිටියා මගේ ගෑණිත් එක්ක බුදිය ගන්න. වල් බැල්ලීටත් ඕනේ වුනේ ඔය ටික කරගන්න තමයි.”

“ මම දන්නේ නෑ ඔය කියන මිල්ටෙක් ගැන. ඒකි ඔය උඹ හිතන් ඉන්න ජාතියේ වල් ගෑණියෙක් නෙමෙයි.”

“මට ඔය පරයා අහුවුනේ නෑ. හිරෙන් එනකොට ඌ රස්සාවෙන් අස්වෙලා ගිහිල්ලා. මට ආරංචිඋනේ උන් කොළඹ ඉන්නවා කියලා. එදා මෙහෙ ආවට පස්සේ මම උන් දෙන්නාව හොයන්න කොළඹත් ගියා. හැබැයි ඕකා මට අහුවුනොත් මම ලේසියෙන් ආපහු යන්න තියන්නේ නෑ.”

“ඇයි උඹ ඒ මිනිහාට මොකක් කරන්නද?”

“මම හිරේ ගිය එකෙක්, මට දැන් උලත් එකයි පිලත් එකයි බං.”

ජයවීර තම අතමිට මොලවා බිත්තියට පහරක් එල්ල කරමින් කීවේය. 

“අනේ මේ පිස්සු දොඩන්නේ නැතිව හිටහං.”

“ඇත්ත කියහං කෝ දැන් තමාලි?”

“මම දැන් එක වංගියක් කීවනේ ඒකි රට රස්සාවකට ගියා කියලා.”

“ඇයි අරූගේ සැප ඒකිට මදි වෙලාද?”

“මේ ජයවීර නිරපරාදේ තමන්ගේ ගෑණිට පද හදන්න එපා. මම කීවානේ ඒකී ඔය උඹ හිතන් ඉන්න විදිහේ දෙයක් කරගත්තේ නෑ.”

“මේ සුදු නැන්දේ මම පොඩි බබෙක් කියලා හිතන්න එපා. ඔය මිල්ටනයා මම රිමාන්ඞ් එකේ ඉන්න දවස්වල ඉදන් අපේ ගෙදර රිංගන්න ගත්තා කියලා අපේ අම්මා හිටං මට කිව්වා. ඒත් ඔය විත්තියක් විශ්වාස කලේ නෑ තමාලි ගැන හිතලා. ඌත් මගේ යාළුකම ඉස්සරාට දාගෙන මගේ ගෑණිටම කෙළියා.”

“තමාලි රට ගියේ ළමයි ගැන හිතලා.”

“ළමයි ගැන හිතලා නෙමෙයි ඒකිට මිල්ටාව මදිවෙලා අරාබියෝ එක්ක ළගින්නයි.”

“උඹ වැඩ කලේ ළමයි ගැන හිතලාද ජයවීර?”

“ළමයි? කොහේ ළමයිද?”

“ඇයි දැන් උඹට ළමයිනුත් නැද්ද?”

“කවුද දන්නේ උනුත් මිල්ටාගේද කියලා.”

“මේ උඹ මගෙන් මුකුත් අහගන්න එපා. රස්සාවත් නැති කරගත්තා මදිවට ඉන්න හිටින්න තැනත් නැතිකරලා දැම්මා. උඹෙන් ජාතක වේච්චි ළමයින්ට කන්න අඳින්න දෙන්නයි ඒකි රට රස්සාවකට ගියේ. චී උඹ ලැජ්ජා නැතිව කටේ දිවේ නොගැවී කියන වල් කතා.”

සුදු නැන්දා කෝපාග්නියෙන් දැවෙමින් කීවා ය. සුව නින්දකට වැටී හුන් දිනේෂ් එක්වරම අවදිවී හඬන්නට විය.

“ඔය අඬන්නේ මිල්ටාගේ එකා වෙන්නැති.”

“මිල්ටාගේ ද උඹේද කියලා බලන්න උඹ ඒ නොදරුවාව දැකලා තියෙනවාද?”

දෙපසට වැනෙමින් අයාසයෙන් අඩිය තබමින් ඉදිරියට ඇවිද ආ කුඩා දිනේෂ්  මින් පෙර නොදුටු ජයවීර දෙස බලා තම හැඬීම වැඩි කළේය. සුදු නැන්දා හඬමින් සිටි දිනේෂ්ව වඩාගෙන ජයවීර ඉදිරියට පැමිණියා ය. 

“මේ බලපන් මේ දරුවා උඹ වාගේ නෙමෙයිද?”

සුදු නැන්දා දෙසවත් හිස හරවා නොබැලූ ජයවීර ඉවතට හැරුණි.

“ඔන්න ඕකාව අරගෙන පලයන් සුදු නැන්දේ මාව පව්කාරයෙක් කරවන්නේ නැතිව.”

“උඹ මේ මොනවාද ජයවීර කියවන්නේ? මේ උඹේ දරුවෙක් මිස වෙන එකෙකුගේ නෙමෙයි.”

ඔහු සුදු නැන්දා දෙසවත් නොබලා නෑසුනා ලෙසින් තම අසුනින් නැගිට මිදුල දෙසට පා තැබීය. මින් පෙර නොදුටු තම පියාණන්ගේ විකාරරූපි මුහුණ දුටු දිනේෂ් තම හැඬුම තවත් වැඩි කරවීය. සුදු නැන්දා දිනේෂ්ව නළවාගන්නට තැත්කර ජයවීර දෙස බලද්දී බර අඩි තබමින් දෙවට අද්දරින් ඔහු පිටත්ව යනවා ඇගේ දසුනට අසුවිය. වැට මායිමේ ගස් ගොන්න අතරින් නොපෙනී ගිය ජයවීර දෙස බලා සිටි සුදු නැන්දා දිනේෂ්ව රැගෙන ගෙතුළට ගියා ය.

එදින හවස්වරුව වනතෙක් තම නිවසේ දෛනික කටයුතු වත් නිසි ආකාරයෙන් සිදු කරගැනීමටවත් සුදු නැන්දාට නොහැකිවූයේ ජයවීරගේ ආගමනය ගැන තම සිතට පීඩාවක් ගෙනදෙන්නටවූ බැවිනි. තාත්තා පැමිණි විත්තියක් ඉන්දිරාට නොකියා සිටින්නට සුදු නැන්දා ඉටා ගත්තීය. නිවසින් පිටවූ ජයවීර සවස් වනතෙක් යළි නොපැමිණි නිසාවෙන් ඔහු නොඑන ඇතැයි ඈ සිතුවා ය. දිනේෂ්ව බලා ගැනීම ඉන්දිරාට පවරා රාත්‍රී කෑමට කිසිවක් උයා පිසගැනුමට කුස්සියට ගිය සුදු නැන්දා කෝලිතට සෙල්ලම් කිරිම නවතා පොතක් බලාගන්නා ලෙස තවරටු කළා ය. 

“සු..දු නැන්...දේ... සුදු නැන්...දේ...” 

නිවසේ ඉදිරිපසින් ඇසෙන ජයවීරගේ කටහඬින් සුදු නැන්දා තිගැස්සී ගියා ය. නොසිතුවිරූ ලෙස යළිත් වරක් ජයවීර පැමිණ ඇත්තේ හොඳකට නොවන බව ඇගේ උපවිඥාණය අනතුරු අඟවන්නට විය. මැද කාමරයේ සිටි ඉන්දිරාද කුස්සියට පැමිණ සුදු නැන්දා දෙස විමතියෙන් මෙන් බැලීය. 

“ඉන්දිරා උඹ ඇතුළට වෙලා ඉදින් මම කවුද කියලා බලලා එන්නම්.”

ඇය නිවසේ ඉදිරියට යනවිටත් ප්‍රධාන දොරේ උළුවස්සට අත තබාගෙන සිටි ඔහු තම රත් පැහැ ගැන්වුණු දෑස් යොමා කෝපයෙන් මෙන් සුදු නැන්දා දෙස බලා සිටින්නට විය. කමිසයේ ඉදිරිපස බොත්තම් කිහිපයක් හැරදැමූ ඔහු තම පපුවට කිහිප වරක් කටින් හුළං පිඹගත්තේය. රත්පැහැ ගැන්වී තිබූ දෑසෙන්ම ඔහු බීමත්ව සිටිනා බව ඈට නිසැගයෙන්ම ඒත්තු ගියා ය. අවුල්වූ කොණ්ඩය අතින් සකස් කරමින් ඔහු පිල් කණ්ඩිය මත වාඩිවූයේ දෙපසට වැනි වැනි ඉදිරියට ඇවිද ගොසිනි.

“ඇයි ජයවීර මේ වෙලාවේ?”

“ඇයි ? .. ඇයි උඹ මම එනවාට මෙච්චර අකමැති?”

“මෙතන බී ගෙන ඇවිල්ලා පිස්සු නටන්නේ නැතිව ගෙදර පලයන්.”

“මම ආවේ මගේ ළමයි දෙන්නා බලන්න මිසක් උඹව බලන්න නෙමෙයි.”

“දරුවන්ට ආදරේ තියෙන නියම තාත්තා. ළමයි බලන්න ආවේ බීගෙන හතර ගාතෙන්ද?”

“මේ මගෙන් කුණුහරුප අහගන්න එපා. කෝ එන්න කියාපං ඉන්දිරාටයි කෝලිතටයි.”

“ඇයි උඹේ බේබදුකම පෙන්නන්නද?”

“ඉන්දිරා කෝ මෙහෙට වරෙල්ලා.”

“මේ ජයවීර මම කිව්වානේ එක සැරයක් අපිට අපේ පාඩුවේ ඉන්න දීලා පලයන් යන්න.”

“මට මගේ දරුවෝ බලන එක නවත්තන්න පුළුවන්ද ගෑණියේ.” 

එකවරම ජයවීර හිඳගෙන සිටි පිල්කණ්ඩිය මතින් නැගිට දොරකඩ අවුරා සිටින සුදු නැන්දාව පරඬැලක් විසිකරන්නාක් මෙන් පසෙකට ඇද දැමීය.

“පැත්තකට වෙලා හිටහං.”

කී ජයවීර සාලයට ප්‍රවිෂ්ට විය. ඉස්තෝප්පුවේ සිදුවන කලබගෑනිය දෙස බියරැඳි දෑසින් බලා සිටිනා ඉන්දිරාත් ඈගේ පිටුපසට මුවාවි හිස පමණක් එළියට දමාගෙන සිටිනා කෝලිතත් ඔහුගේ දර්ශනයට අසුවිය. 

“ආ මේ ඉන්නේ මගේ උන් දෙන්නා. ඇයි මම කතා කරලත් එළියට ආවේ නැත්තේ? අම්මා කිව්වාද තාත්තා ආවාම හැංගිලා ඉන්නයි කියලා?”

ඉන්දිරා කිසිත් නොකියා සිටි තැනටමවී ඔහු දෙසම බලාගෙන සිටියා ය. අරක්කු මතයෙන් අවසගවූ තම සිරුර අසීරුවෙන් කෙලින් කරවාගත් ඔහු ඇගේ ඉදිරියට පියවර තැබීය. අත රැඳි පොඩිව ගිය කළු පැහැති ඉටි බෑගය අනෙත් අතට මාරුකල ඔහු එය විවරකර යමක් සොයන්නට විය. 

“මම බදුල්ලෙන් අරගත්තා බූන්දි වගයක්. ආ මෙන්න.”

බෑගය තුලින් තෙල් වැකුණු කුඩා කඩදාසි බෑගයක් එළියට ගත් ජයවීර ඉන්දිරා දෙසට දිගුකළේය.

“අවුරුදු දෙකකින් විතර උඹලාව දැක්කේ නෑ.”

 ඔහු ඉන්දිරාගේ අතට බෑගය පත්කර ඇගේ හිස පිරිමදිමින් කීවේය. ජයවීරගේ රළු අතින් අපිළිවෙළකට සිදුකරනා හිස පිරිමැදිල්ල ඉන්දිරාට ගෙන දුන්නේ මහත් පීඩාවකි. ඉන්දිරාට ඔක්කාරයට එන්නාක් මෙන් දැනෙන්නට වුණේ තාත්තා කතා කරද්දී මුවෙන් හමා එන අරක්කු මිශ්‍ර දුගඳ වාතයත් සිරුරෙන් නැගෙන දහඩිය දුගඳත් නිසාය. ඇය ඔහුගෙන් හිස සඟවාගන්නට මෙන් අහකට හරවාගත්තා ය. තෙල් වැකුණු බූන්දි බෑගයේ රැඳී සිටි කුහුඹුවන් එකා දෙන්නා කලබලයෙන් මෙන් පිටතට අවුත් ඉන්දිරාගේ අත දිගේ ඉහළට නගින්නට වුණි. ජයවීර ඉන්දිරාගේ හිස පිරිමැදීම අතහැර ඈ පිටුපස සැඟව සිටිනා කෝලිතව අතින් අල්ලා එළියට ඇද ගති.

“මේ ඉන්නේ මගේ කොල්ලා ඇයි බයේද හැංගිලා ඉන්නේ?”

ඔහු කෝලිතගේ හිස තදින් පිරිමැද කම්මුලකට හාද්දක් දීමට මෙන් පහත්විය. කෝලිත තාත්තාගේ හාද්දෙන් මිදී ගෙතුළට දිවගියේ ක්ෂණිකයෙනි.

“ඇයි උඹලා මට කැමති නැති විදිහට ඉන්නේ? මට පේන්නේ අර පර බැල්ලී මුන් ඔක්කෝම විනාස කරලා.”

“මේ ජයවීර දැන් ඇති. ළමයි බලන්න ඕනේ නම් බීලා නැති වේලාවක වරෙන්.”

ඔහු සුදු නැන්දා දෙසට හැරුනේ රෞද්‍ර විලාසයෙනි.

“මේ නාකිච්චියේ උඹ මගෙන් මැරුම් කන්නේ නැතිව ඉදින්. මට යන්න කියන්න උඹ කවුද?”

තවදුරටත් මෙසේ බැණ අඬගසා ගැනිමේ අවසානය එතරම් සුබදායි නොවන බව ඉන්දිරාට වැටහුනි. ඕ ඉක්මනින් තාත්තා වෙත ආවාය. 

“මෙතන රණ්ඩු කරලා අපිට මේ ඉන්න තැනත් නැති කරලා දාන්නද තාත්තා හදන්නේ?”

ඇගේ කතාවෙන් ජයවීර මඳකට මෙල්ලවිය.

“උඹත් මට කියන්නේ යන්න කියලාද?”

කී ඔහු යළි හැරී ගොස් පිල් කණ්ඩියේ වාඩිගත්තේ ඉන් අනතුරුවය. මඳ වේලාවක් කිසිදු කතාබහක් නොමැතිව කල්පනාවක නිග්මව සිටි ජයවීර.  

“උඹලාට මේ එක එකාගේ තැන්වල වැඩි දවසක් ඉන්න ලැබෙන්නේ නෑ. මම ඉක්මනටම අපේ ගෙදරට එක්කගෙන යනවා.” 

පිල් කණ්ඩිය මතින් නැගිටගත් ජයවීර මිදුලට බැස කළුවරේම ඇවිද යන්නට විය. විසිවෙන ගමනින් ඉදිරියට ගිය ඔහු ඉහළට නෙරා ආ මුලක පය වැදුනායින් වාරු නැතිව ගොස් දෙවට අසල වූ කණුවක් අල්ලාගෙන නැවතුනි. යළිත් වරක් ගෙදර දෙස හැරී බැලූ ඔහුට තමන් දෙස නෙත් යොමුකරවාගෙන  සිටින ඉන්දිරා හා සුදු නැන්දා දුටුවේය.  අල්ලාගෙන සිටි කණුව අතහැරිය හෙතෙම කළුවරේම දෙවට පාරේ පහළට බසින්නට විය. හොදහැටි බීගෙන ගෙදරට පැමිණි තාත්තා ගැන ඇතිවූ කෝපයත් ඉන්දිරාගේ සිතින් වියැකී ගියේ ඔහු අවසානයේදි පැවසු වදන් කිහිපයෙනි. කළුවරේම ගෙදරින් එළියට බැස ගිය තාත්තා ගැන ඉන්දිරාට ඇතිවූයේ දුකකි. සිහියකින් සිටිනා පුද්ගලයෙකුට වුවත් සෝදා පාළුවට ලක්ව කලකින් පිළිසකර නොකල ගල්මුල් වලින් බහුල පාරේ කළුවරේ පහළට බැසීම අසීරු කාර්්‍යයක් බැව් ඇය හොදාකාරව දැන සිටියාය. මිදුලට බට ඉන්දිරා වැට මායිමට දිවගියේ තාත්තා ආරක්ෂාකාරි ලෙසින්  පහළට බසිනු ඇතැයි සිතමින්ය. එහෙත් රාත්‍රි දැඬි ගනඳුර හා එක්වූ ගහකොළින් වටවුනු පාර එකලු කරන්නට මලානික සඳ එළියට පුළුවන් කමක් නොවීය. සිත බරකරවාගෙන එන හැඬුම අයාසයෙන් නතරකරගත් ඉන්දිරා යළිත් නිවසට දිව ගියා ය.

“උඹ මොකටද මේ කළුවරේ එළියේ දුවන්නේ? මෙ වේලාවේ සතාසරුපයෝ එළි බහිනවා.”

“සත්තු නෙමේයි යක්කු ආවත් මම ගියේ තාත්තා බලන්න.”

“එයාට යන්න පුළුවන් නිසානේ ගියේ. එත් මට සැකයි කෙලින් කටන් යන්න බැරි මිනිහා හෙලේ කොහේ හරි පත බෑවිලාද කියලා.”

“අපුරුයි සුදු නැන්දා කියන ලස්සන. තාත්තාව පන්නගෙන කියන කතා.”

“මම පන්නගත්ත එකක් නෑ ඉන්දිරා. එයා ආවා, එයා ගියා. එච්චරයි.”

“ඒවුනාට සුදු නැන්දා යුතුකමක් තිබුණා නේද එයාව මේ රෑ යවන්නේ නැතිව මෙහේ තියා ගන්න.”

“අපි යුතුකම් දන්නවා. එත් උඹේ තාත්තා උඹලට යුතුකම් හරියට ඉෂ්ට කළාද? මමයි පොඩි මාමයි නැත්නම් අද  උඹලා පාරේ හිඟනවා. ඒක මතක තියා ගනින්.”

සුදු නැන්දා කෝපයෙන් කියාගෙන ගෙතුළට වැදුණි. තාත්තා ගෙනා බූන්දි බෑගයට මේසය මත තනිවෙද්දී සුදු නැන්දාගේ කතාවෙන් රිදුණු සිත යළිත් පාරවාගත් ඉන්දිරා රාත්‍රියට නොකා නොබීම ඇඳට වැටුණා ය. 

පොඩි මාමා සති අන්තයේ නිවසට එනෙනතුරා එතෙක් සුදු නැන්දා ඉවසා සිටියේ දැඬි අපහසුතාවයකිනි. විටෙක ඇයට කුඩා දිනේෂ්වත් රැගෙන පොඩි මාමා හමුවීමට යෑමටද සිත්විය. එහෙත් රැකියාවක යෙදෙන තම සොහොයුරාගේ සිත කලබල කිරීම නොමැනවයි ඈට සිතුනායින් එම ගමන පිළිබඳව සිතුවිල්ල අතහැර දැමුවාය. පොඩි මාමා නිවසට පැමිණි පසු ඈ හිමිහිට පසුගිය දිනවල සිදුවුනු දේවල් එකින් එක පැවසුවා ය. 

“ජයවීර අපිත් එක්ක එච්චර ඇයි හොදැයියයක් තිබුනේ නැති නිසා ආයෙමත් මෙහෙට එයි කියලා හිතුනේ නෑ.”

“මමත් ඔහොමම හිතුවා. ජයවීර කොළඹත් ගිහිල්ලා තියෙනවා තමාලිව හොයන්න.”

“ඒ මොකටද? තමාලිගේ කවුරුත් කොළඹ නෑනේ?”

“එයා හිතන් ඉදලා තියෙන්නේ අර මිල්ටා ද මොකාද එක්කලා තමාලි පවුල් කනවා කියලයි. මේ මනුස්සයා ඉන්නේ මිල්ටා එක්ක වෛයිරෙන්. ඒ මිනිහාව අහුවුනොත් මොකෙන් මොකක් වෙයිද දන්නේ නෑ.” 

“මම දන්න තරමින් මිල්ටන් කියන්නේ හොඳ හාදයෙක්. ජයවීර වැඩකල බස් එකේ කොන්දොස්තර වැඬේ කලේ ඔය කියන මිල්ටන්. ජයවීර බීලා අර අහිංසක දරුවෙක් යට කරපු සිද්ධියට මිල්ටන්ටත් සාක්කි දෙන්න වුනා.”

“එහෙනම් එයා ජයවීරට විරුද්ධව සාක්කි දෙන්න ඇති.”

“නෑ, මම දන්න විදිහට නම් මිල්ටන් තමයි ජයවීරව බේරාගන්න තමාලිට උදව් උපදෙස් එහෙම දුන්නේ. කවුරු හරි මේ දෙන්නාව පටලලා බොරු බේගලයක් ජයවීරට කියලා තියෙනවා.”

“එහෙනම් අර ජයවීරගේ අම්මණ්ඩි වෙන්නැති.”

“මමත් හිතන්නේ එහෙම තමයි.”

“ඒත් තමන්ගේ දරුවාගේ දරුපැටව් පාරට ඇදලා දාන්න තරමේ ජරා වැඩක් අම්මා කෙනෙකුට කරන්න පුළුවනියෑ.”

“අපිට එහෙම කරන්න පුළුවන් කමක් නැතිවුනත් ඔය අම්මණ්ඩි තමාලිගෙන් පළිගන්න කළ වැඩෙන් අහිංසක පවුලක් කඩලා දැම්මා.”

“දැන් මේකට මොකද කරන්නේ පොඩි මල්ලියේ?”

“ඒක තමයි තමාලිට යන එන මං නැතුවායින් මෙහෙට එක්කරගෙන ආවට. ජයවීර හිරෙන් නිදහස් වෙලා ආවොත් මොකද කරන්නේ කියලා අපි හිතුවේ නෑ.”

“අනික කවුද හිතන්නේ තමාලි රට රස්සාවකට යයි කියලා.”

“ඒක තමයි අක්කේ මම මේ කල්පනා කෙරුවේ. තමාලි කිව්වානේ ආපහු ජයවීරත් එක්ක පවුල් කන්න අදහසක් නෑ කියලා.”

“එත් මේ මිනිහා ළමයි ටික ගෙදර අරන් යනවා කියලයි ගියේ.”

“ගෙනියන්න ගෙදරක් තියෙන්න එපායෑ. එතකොට දිනේෂ්වත් අරගෙන යනවාද? එහෙම ගෙනහිල්ලා ඒ දරුවාව බලාගන්නේ කවුද? එයාට පුළුවන්ද රස්සාවක් කරන ගමන් මේ කිරිසප්පයෙක් බලා කියාගන්න.”

“මේ වෙනකම් ඒ නොදරුවාගේ මුණවත් නොබලපු එකා ගෙදර අරන් ගිහින් බලා ගනියිද?”

“ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. මේ ළමයින්ව ජයවීරට භාර දෙන්න බෑ තමාලිගේ අවසරය නැතිව. හෙටම තමාලිට ලියුමක් දාන්න ජයවීර හිරෙන් නිදහස් වෙලා ආවා කියලා.”

“ජයවීර මෙතන රණ්ඩු අල්ලන්න ආවා කියලා දාන්න නරකයි. ඒ ළමයාට එතැන එක හිතින් වැඩ කරගන්නත් බැරිවෙයි.”

“ඔව් ඒකත් ඇත්ත.”

“මෙතන ප්‍රශ්න ඇතිවෙනවා කියලා රස්සාව දමලා මෙහේ දුවලා ආවොත් එහෙම.”

“තමාලි එච්චරම මෝඩ කෙනෙක් කියලා මමනම් හිතන්නේ නෑ. ඒත් අක්කේ  ඔය දුර රටවල් වල තනිවුනාම කරන කියන දේවල් වලට උපදෙසක් එහෙම දෙන්න කවුරුවත් නෑනේ. ඒක නිසා මේ විස්තර එයාට අඩුවෙන් ලියලා යවන එකයි හොඳ.”

“මම තමාලිට ලියුමක් ලියලා දෙන්නම් සඳුදාට මල්ලි යමින් ගමන් දාන්න. මල්ලි  ඉන්න වේලාවක හරි ජයවීර ආවානම් කරුණු කාරණා එහෙම පහදලා දෙන්න තිබුණා”

“ඔය මිනිහා අපි කවුරුවත් කියන දේවල් අහන එකෙක් නම් පවුල කඩා හිරුවාගන්නේ නැතිව හිරේ විලංගුවේ නොවැටී ඉන්න තිබුණා.”

“මට බය අර මිල්ටන් කියන හාදයාට කරදරයක්  එහෙම කරන්න ගිහිල්ලා ආයෙමත් වංගියක් හිරේ ළගින්න වෙයිද කියලා.”

“එක පාරක් හිරේ ගිය මිනිස්සු හිතන්නේ හිරේ ගිය එක චණ්ඩි වැඩ කරන්න පුළුවන් ලයිසන් එකක් කියලා. ඒකයි ජයවීරත් මමත් හිරේ ගිය එකෙක් කියලා කියවන්නේ.”

ජයවීරගේ ආගමනය නිස්කාන්සුවේ ගෙවිගිය තම ජීවිත වලට කෙතරම් බලපෑමක් සිදුකරවූවාදැයි පොඩි මාමා සිතන්නට විය. බේබදු ඇවතුම් පැවතුම් වලින් පරිපූර්ණ පුද්ගලයෙකුවූ ජයවීර අසරණ දරුපැටවුන් ටික අතරමං කර දැමීම පොඩි මාමාගේ සිතට ලොකු බරක් සේ දැනුණි.  තමාලිගේ රට යෑමට තමා අනුබල නොදුන් නමුත් අවසර දුන්නේ තම රජයේ සේවයෙන් ලැබෙන සොච්චම් පඩියෙන් සියල්ලන්ම නඩත්තු කිරිමට අපහසුවූ බැවින් බව යළිත් සිහිපත් විය.  

“ජයවීර ආයෙත් එන්න පුළුවනි. මිනිස්සු බී ගත්තාම තිරිසනුන්ට වඩා අන්ත වෙනවා. ඒ නිසා අක්කා ඒ මිනිහා එක්ක වාදෙට යන්න එපා. එදා අක්කාව තල්ලූ කරපු වෙලාවේ විසිවෙලා ගිහින් නරක තැනකට හරි වැදුනා නම් අපි තවත් අමාරුවේ වැටෙනවා නේද?”

“ඒක මතක්වෙක කොටත් මට ඔය මිනිහා එක්ක එන්නේ තරහක් තමයි. ඒ මදිවට මේ ඉන්දිරාත් ඔය තිරිසනාගේ පැත්තටමනේ කතා කරන්නේ.”

“අක්කා ඒ ගැන කළබල වෙන්න එපා. දරුවෝ කොහොමත් තමන්ගේ දෙමව්පියන්ට නේ ආදරේ. ඊටත් වැඩිය කෙල්ලෝ කොහොමත් තාත්තාටනේ කැමති. හැබැයි ජයවීරට මේ ළමයින් එක්ක ගැවසෙන්න දෙන්න එපා.”

“ඒ ඇයි?”

“එතකොට එයාට මේ දරුවන්ව එක්කගෙන යන්න හිතෙයි. තමාලි එනකම් එක වලක්වන එක තමයි අපිට කරන්න පුළුවන් එකමදේ.”

පුටුවෙන් නැඟිට ගත් පොඩි මාමා අතහි ඇල්වෙමින් තිබුණු කහට කෝපයේ අවසන් තේ උගුරු කිහිපය තොලගා බලමින් මිදුල දෙසට ඇවිද ගියේය. ගස් අතරින් පෙනෙන හපුතල් කන්ද දෙස මඳ වේලාවක් බලා සිටි ඔහු කෝපයේ අඩියේ තිබූ  මණ්ඩි සහිත තේ වතුර ටික මිදුලට විසීකර ආපසු හැරී ඉස්තෝප්පුවට ගොඩවිය. පොඩි මාමා තමන් දෙස බලා සිටිනා අක්කාගේ අතට තේ කොප්පය පත් කර “කෝකටත් අපි පරිස්සම් වෙන එක තමයි හොඳ.” කීවේ මෙතෙක් වේලාවත් ඔවුන් අතර ඇතිව තිබූ නිහැඬියාව බිඳ හෙලමින්ය.  


                                                      * * * * *

 දින සති ගෙවී ගියේ කාටත් හොරාමය. සුදු නැන්දා පොඩි මාමාගේ අදහසට අනුව ජයවීරගේ ආගමනයේ විස්තර ඇල් මැරුන ලීලාවෙන් ලියා තැපැල් කරන ලදී. ඔහු හිරෙන් නිදහස් වීමත් හා තමන් සොයාගෙන හල්දුම්මුල්ලට පැමිණීමත් යන කාරණා තමන්ට හා දරුවන්ට තර්ජනයක් නොවන බැව් වටහා ගත් තමාලි ජයවීරගෙන් තම දරුවන්ව ඈත් කර තබන ලෙසින් ඉල්ලා සිටියා ය. එහෙත් අනපේක්ෂිත මොහොතක යලිත් ජයවීර නිවසට ගොඩවූයේ තරමක බී මතිනි. සුදු නැන්දා එක්වරම නිවසට කඩා වැදුනු ජයවීර දැක තිගැස්සුනු මුත් ඒ වගක් නොපෙන්නා සිටීමට උත්සාහ දැරීය. ඈ කතා කරන්නට මුව විවරකරන්නට ප්‍රථමයෙන් තම හඬ අවදි කළ ඔහු

“කෝ මගේ දරුවෝ දෙන්නා?”

“උන් දෙන්නා ඉස්කෝලේ ගිහිල්ලා. ඇයි මේ වේලාවේ ආවේ?”

“මම මේ ළඟකට ආපු ගමන්. ඇයි මට එන්න එපාද කියන්නේ?”

“මම එන්න එපායි කිව්වේ නෑ නේ ජයවීර. මේ ළමයින්ට උන්ගේ පාඩුවේ ඉගෙන ගන්න ඉඩ දීලා උඹ උඹේ වැඩක් බලාගෙන හිටියා නම් නේද හොඳ?”

“ඔන්න ඉතිං අදත් උඹ මට දේශනාවල් දෙන්න ආවාද? මට දැන් ඕවා අහලාම ඇතිවෙලා බං.”

පොඩි මාමාගේ අවවාදය මතක්වූවායින් සුදු නැන්දා ජයවීර සමඟින් විවාදයට නොයා නිහඬවීය. 

“මම ලබන සුමානේ විතර මේ පැත්තේ එනවා ළමයි දෙන්නාව එක්කරගෙන යන්න.”

“එක්කරගෙන යන්න? කොහේද?”

“මගේ ගෙදර.”

“උඹට කියලා ගෙදරක් දැන් තියෙනවාද?”

“මගේ මහගෙදර තියෙන්නේ. මම හිතන් ඉන්නේ ගේ කෑල්ලක් කුලියට අරගන්නයි.”

“එතකොට මේ ළමයින්ගේ ඉස්කෝලේ ගමන?”

“ඇයි ඉස්සර ඉස්කෝලේ ගියේ නැද්ද? එකටම ආයෙත් යන්න බැරිකමක් නෑනේ.”

“දැන් උඹ රස්සාවක් කරනවාද?”

“ඔව්. සැමුවෙල් මුදලාලි ගාව වැඩ.”

“අර ගේ සින්න කරගත්තු එකා ගාව? උඹට පිස්සුද ආයෙමත් ඌ ගාවටම යන්න? උඹ හිරේ ඉන්නැද්දී මේ නොදරුවන් එක්කම පාරට ඇදලා දාලා ගේ ඩැහැගත්තු එකා ගාවටම?”

“මම උගස බේරගත්තු නැති එක මගේ වරදක්නේ. මුදලාලි මම හිරෙන් එනකම් ගේ බාර දෙන්න ඕනේ කමක් නෑ කියලා තමාලිට කියලා තියෙනවා. ඒත් මේ ගෑණි එකපාරටම මුණටම දමලා ගහන්නාවාගේ ගෙදර හිස් කරලා යතුර දීලා ඇවිත්.”

“උඹ ආයෙමත් ඇවිල්ලා ළමයි ඉල්ලුවාට මට එහෙම එකපාරටම වෙස්සන්තර ජාතකේ ජූතක බමුණාට ළමයි දන් දෙනවා වාගේ දෙන්න බෑ. තමාලි මේ ළමයි බලා ගන්න කියලා මටයි පොඩි මල්ලිටයි භාරදීලා ගියේ.”

“මම ඉල්ලන්නේ වෙන කාගෙවත් උන් නෙමෙයි මගේ ළමයි.”

“ඇයි ඉස්සර උඹ කිව්වේ මේ ඉන්නේ මගේ ළමයි නොවෙයි අර මිල්ටාද මොකාද එකාගේ ළමයි කියලානේ. ඇයි දැන් එක පාරටම සත්ත කරුණාව දැණුනේ?”

“පොඩි එකා කොහොමත් මගේ නෙමෙයි. මම ඉල්ලන්නේ මගේ ළමයි දෙන්නාව විතරයි.”

“එතකොට පොඩි දරුවා?”

“ඒකාව උඹ තියාගනිං.”

ඔහුගේ කතාවෙන් තම කෝපය ඇවිස්සීගෙන එන බව ඈට දැනුණි. එහෙත් මේ බීමත් මිනිසා සමග කතා කල යුත්තේ සංයමයකින් බව තම උපවිඥාණය යළි යළීත් අනතුරු හඟවන්නට විය. 

“මෙහෙම එකපාරටම ගහෙන් ගෙඩි එනවා වාගේ ළමයි උඹට භාර දෙන්න බෑ. මම පොඩි මල්ලිගෙන් අහලා බලලා කියන්නම්. ” 

“මගේ දරුවන් ඉල්ලන්න ඕනේ මේ පිට උන්ගෙන් නේ. හරි කියාපං පොඩි මාමා වැඩ කරන තැන. මම එතැනට ගිහිල්ලා එයාත් එක්ක කතා කරගන්නම්.”

“උඹ එයා ඉන්න දිහාවල් වල යන්න ඕනේ නෑ. එයා මේ සති අන්තේ නොවෙයි ඊළඟ එකේ ගෙදර එයි.”

“මට දවස් ගණන් බලන් ඉන්න බෑ. මම එයා හම්බුවෙන්න යනවා.”

“උඹට පිස්සුද? උඹ මෙහේ එනවා වගේ බීලා ගිහින් ඒ මිනිහාට ලැජ්ජා කරන්නද හදන්නේ?”

“මම එයාට ලැජ්ජා කරන්න යනවාද? පිස්සු කියන්නේ නැතිව මට කියහං කෝ වැඩ කරන තැන.”

“මම කීයටවත් උඹට එයා වැඩකරන තැන කියන්නේ නෑ. ඒ මනුස්සාට එයාගේ පාඩුවේ වැඩකරගෙන ඉන්න දීපන්.”

“ඇයි උඹලා හිතන් ඉන්නේ මම බේබද්දෙක් කියලාද?”

“හිතන්න දෙයක් නෑ උඹ කොහොමත් බේබද්දා තමයි. නැත්නම් ඉතිං.. ....”

“ඔන්න ආයෙමත් උඹේ චුර්ණිකාව පටන්ගත්තා. හැබැයි සුදු නැන්දේ උඹ මට එයා වැඩ කරන තැන නොකිව්වත් මට පුළුවන් එයාව හොයාගන්න.”

ඔහු කෝපයෙන් දිදුළන දෑසින් සුදු නැන්දා දෙස බැලීය.

“මම එයාව හොයාගන්නවා. උඹලා දන්නේ නෑ මේ ජයවීරට කරන්න පුළුවන් දේ.”

ඔහු නිවසින් බැහැරව ගියේ සුදු නැන්දාට මොනවාදෝ පවසමින්ය.


                                      * * * * * *

දින කිහිපයකට පසු ජයවීර පොඩි මාමා හමුවීමට ඔහුගේ කාර්යාලයට ගොඩවැදුනේය. කෙසේ හෝ පොඩි මාමා සොයාගෙන ඔහුගේ ඔෆීසියට යන බව සුදු නැන්දාට කල අභියෝගය ක්‍රියාවට නංවාළීම ඔහුගේ අභිප්‍රාය විය. ජයවීර සුදු නැන්දා හමුවීමට ගොස් ඇතිවූ කතා බහ ගැන නොදත් පොඩි මාමා ඔහු කිසිවිටකත් තමා හමුවීටම පැමිණෙතැයි නොසිතුවේය. කාර්යාල සේවක නන්දේ පොඩි මාමාගේ මේසය අසළට පැමිණියේ පණිවිඩයක් රැගෙනය.

“සර්... සර්ව හම්බවෙන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා.”

අමාත්‍යංශයට යැවිය යුතු වැදගත් ලිපිලේඛන වගයක් පිරික්සමින් සිටි පොඩි මාමා නන්දේ තම මේසය අසළටම පැමිණෙනවා නොදැක්කේය. තමා බලමින් සිටි ලේඛනයෙන් හිස නොඔසවාම “කවුද?” ඇසීය.

“සර්.. සර්ගේ නෑදැයෙක් කිව්වා.”

“මගේ?”

පොඩි මාමා තම කරගෙන ආ වැඩය නවතා විමතිය රැඳි දෙනෙතින් ඔහු දෙස බැලීය.

“ඔව් සර්ගේ නෑයෙක් කිව්වා.”

“මො. . මොකක්ද නම? කෝ කොහේද ඉන්නේ.”

“අන්න අර අතන ඉන්නේ. නම නම් ජයවීරයි කියලායි කිව්වේ.”

පොඩි මාමා තම කණ්නාඩිය ගලවා ඉවත්කර නන්දේ පෙන්වන ඉසව්ව වූ කාර්යාලයේ දොරටුව වෙත නෙත් යොමුකරවීය. දොරටුව අසළ කණුවට පිටුපා තමා දෙස බලා ඉන්නා ජයවීරව දැක්කේය. ඔහු දුටුමනින්ම පොඩි මාමාගේ සිතට නැගුනේ නොපහන් හැඟුමකි. 

“හරි නන්දේ යන්න.”

තම සිතුවිලි ක්‍රෝධයකට පෙරළෙන්නට පෙර අසුනින් නැගිටගත් පොඩි මාමා ඉක්මන් ගමනින් එතැනට පියවර තැබීය. මඳක් කිලිටි පොඩිවුණු සරමක් හැඳ කමිසයේ උඩු බොත්තම් කිහිපයක් විවර කරගෙන සිටි ජයවීරගේ විලාසය දුටු කාර්යාලයේ කිහිප දෙනෙකු ඔහු දෙස විමසිල්ලෙන් බලනවා පොඩි මාමා දුටුවේය. අවුල්ව ගිය හිසකෙස් හා දින ගණනාවකින් නොකැපූ රැවුලත් මෙන්ම එක දිගටම මත්පැනෙන් සප්පායම් වීමෙන් ඉදිමිගිය දුහුවිලි වැකුණ මුහුණද ඔහුට ගෙන දුන්නේ පාදඩයෙකුගේ ස්වරුපයකි. ඔහු දුටුමනින්ම පොඩි මාමාට ඇතිවූයේ කෝපයකි.

“මේ මිනිහා මොකට මෙහේ ආවද මන්දා”

ඔහු සිතීය. ජයවීර ළඟට ගිය පොඩි මාමා ඔහු කතා කරන්නත් පෙර කතා කලේය.

“ආ ජයවීර. .. එන්න අපි යමු කැන්ටිම පැත්තේ.”

කී පොඩි මාමා තම සුපුරුදු ඉක්මන් ගමනින් ජයවීර පසුකර ගොඩනැගිල්ලේ කොරිඩෝවක ඉදිරියට ගමන් කරන්නට විය. ජයවීර ඔහු පිටුපසින් නිහඬව කැන්ටිම තෙක් ඇවිද ආවේය. ආපන ශාලාවේ රැදීහුන්නේ කිහිප දෙනෙක් පමණි. ඈත කෙළවරක වෙන්නට තිබූ මේසයක් වෙත ගිය පොඩි මාමා එහි අසුනක් එළියට ඇදගත්තේය.  

“වාඩි වෙන්න ජයවීර. ඉන්න මම බොන්න මොනවා හරි අරගෙන එන්නම්.”

කී ඔහු ආපන ශාලාවේ කවුන්ටරය දෙසට තම පසුපස සාක්කුවෙන් මුදල් පසුම්බිය එළියට අඳිමින් ඇවිද ගියේය. ජයවීර ෆෝමිකා අලවපු කැන්ටින් මේසය මත සිටිනා මැස්සන් දෙදෙනෙකු දෙස බලා සිටින්නට විය. ආපන ශාලාවේ කවුන්ටරයෙන් පොඩි මාමා තේ කෝප්ප දෙකක් ඇණවුම් කර එළවළු රොටි හා චයිනිස් රෝල්ස් දෙකක් රැගෙන එනවිට මේසය මත වසා සිටි මැස්සෙක් ජයවීර තම අත්ලෙන් ගසා මරා දමනු දුටුවේය. කෙටි ආහාර පීරිසිය ඔහු ඉදිරියෙන් තැබීය.  

“කන්න ජයවීර.”

ජයවීර නිහඬව එළවළු රොටියක් අතට ගත්තේය.

“ජයවීර මේ කොහේ යන ගමන්ද?”

“මම මේ හයර් එකක් යන ගමන්. මේ ළ ඟින් යන හින්දා පොඩි මාමාව බලන්න ආවා.”

“ආ දැන් ජයවීර රස්සාවක් කරනවාද?”

“ඔව් පරණ වැඩ කරපු තැන.”

“ඒ කියන්නේ ආයෙමත් ඩිපෝ එකේ රස්සාව ලැබුනාද?”

“නෑ එතන නෙමෙයි. සැමුවෙල් මුදලාලි ගාව.”

“ආ ඇත්තද?”

“මේ මිනිහාට ලැජ්ජා නැතිව ආයෙමත් සැමුවෙල් මුදලාලි ගාව රස්සාවට ගියානේ.”

 යැයි සිතමින් පොඩි මාමා අතට ගත් චයිනිස් රෝල්සයේ කෑල්ලක් සපන්නට විය. රෝල්සය කන අතරතුරේදී ජයවීරව හොඳින් නිරික්ෂණය කරන්නට මෙය හොඳ අවස්ථාවක් කරගත්තේය. කටට රහට කෑම වේලක් කුසට නොවැටුනු ජයවීර ඉතා කුසගින්නේ සිටියෙකුමෙන් කටට දෙකට එළවළු රොටිය ගිල දැමිය. 

“ආ තව එකක් කන්න.”

ජයවීර දෙස බැලු පොඩි මාමා පීරිසිය ඔහු වෙත දිගු කරණ ගමන් පැවසීය.

“ඔය ඇති.”

“නෑ නෑ ජයවීර කන්න. මම දැන් උදේට කාලා ආව ගමන්නේ.”

ජයවීර පීරිසියේ තිබූ අනෙක් රෝල්සය අතට ගෙන පොඩි මාමා දෙස බැලීය. 

“මම මේ ආවේ.. . . ”

“කතා කරන්න පස්සේ බැරියෑ ඉස්සෙල්ලා කාලා ඉමු.”  

ජයවීර රෝල්සය කන අයුරු දෙස බලා සිටි පොඩි මාමා වේටර්වරයෙකු රැගෙන ආ ප්ලෙන්ටිය ඔහුට පිළිගැන්විය.

තේ කෝප්පයෙන් උගුරු කිහිපයක් තොලගෑ ජයවීර

“මම මගේ ළමයි දෙන්නාව අරගෙන යන්නයි කියලා.”

“ජයවීර ඇයි ඔයා මෙහේ ආවේ ළමයි ගැන කතා කරන්න. ජයවීරට තිබුනේ අපේ ගෙදරට එන්නයි. අනික මේ වාගේ තැනක ඔය ගැන කතා කරන්න සුදුසු නෑ නේද?”

“මම සුදු නැන්දාට කිව්වා එයයි කිව්වේ පොඩි මාමාත් එක්ක කතා කරන්නයි කියලා.”

“මම හිතන්නේ නෑ අක්කා ජයවීරව මෙහේට එවයි කියලා.”

ජයවීර නිහඬව මේසය මත ඉහිරී තිබූ ජල බින්දුවක් මත ඇඟිල්ලෙන් ඉරි අදින්නට විය.

“දැන් ජයවීර යන්න. අපි මේ ගැන පස්සේ වේලාවක කතා කරමු.”

“ඒත් මේ....”

“ජයවීර ආයෙත් මෙහෙට එන්න එපා. කතා කරගන්න තියෙන දෙයක් අපි ගෙදරදී කතා කර ගම්මු. මම කැමති නෑ ගෙදර දේවල් කත්තෝරුවේ දි කතා කරනවාට.” 

කී පොඩි මාමා අසුනින් නැගිට ආපනශාලාවේ දොරටුව දෙසට පියනැඟීය. කිසිදු දෙයක් සිතාගත නොහි හිස් බැල්මෙන් පිටව යන පොඩි මාමා දෙස බලා සිටි ජයවීර මේසයට අත මිට මොළවා පහරක් එල්ල කළේ නැඟ එන කෝපය මැඩගනිමින්ය. 


සති අන්තයේ නිවසට පැමිණියායින් පසුව සුදු නැන්දා ජයවීර යළිත් නිවසට පැමිණෙමින් ඇතිකරනා මානසික පීඩනයෙන් ඇතිවී තිබෙන ප්‍රශ්නය ගැන පොඩි මාමා දැනුවත් කළා ය.

“ඇයි මේ වගක් අක්කා මට දැන්නුවේ නැත්තේ? මම කියලා තිබුණානේ මට ටෙලිග්‍රෑම් එකක්වත් එවන්නයි කියලා.”

“මල්ලිට මේවා කියලා හිත කලබල කරන්න හොඳ නෑ කියලයි හිතුවේ. අනික ඕවා ගැන හිත හිත රස්සාව හරියට කරගන්නත් බැරිවෙයි.” 

“ඔය මිනිහා මාව හොයාගෙන කන්තෝරුවටත් ආවනේ.”

පොඩි මාමා ජයවීර කන්තෝරුවට පැමිණීම හා සබැඳි සිද්ධි සියල්ලම සුදු නැන්දාට පැවසුවේය.

“ඔය මිනිහා එදා ඇවිල්ලා මගෙන් ඇහැව්වා කන්තෝරුව තියෙන්නේ කොහේද කියලා. එත් මම කිව්වේ නෑ. මට නොකිව්වාට මම දන්නවා හොයාගන්න, උඹලා දන්නේ නෑ ජයවීර කියන්නේ කවුද කියලා තමයි මිනිහා ගියේ.”

“මටත් පුදුම හිතුණා එක පාරටම මිනිහා කන්තෝරුවට ආවාම.”

“කවුද දන්නේ නෑ මල්ලිගේ කන්තෝරුව තියෙන තැන කිව්වේ.”

“ගමේ කාගෙන් හරි අහගන්න ඇති. මට තරහත් ආවා අක්කා මිනිහාව එහෙට එව්වා කිව්වාම.”

“අපොයි කියන මුසාවාද. ඔය බේබද්දාව එහෙට යවනවාද? මෙහෙට එනවා වාගේ බී ගෙන ආවම මල්ලි කොහොමද එතැන රස්සාව කරන්නේ. ”

“මම දන්නවා අක්කා එයාව එතැනට එවන්න තරම් මෝඩ නෑ කියලා. ජයවීර අද හෙටම මේ පැත්තේ එන්න පුළුවනි.”

“ජයවීර ආවොත් මොකද අපි කියන්නේ? මට මේ ගැන කල්පනා කරලාම ඔළුවත් තොන්තුවෙලා වගේ.”

“අක්කා කලබල වෙන්න එපා. එයාට මම ළමයි අරගෙන යන්න දෙන්නේ නෑ.”

පොඩි මාමා තම තීරණය සුදු නැන්දාට පැවසුවේය. ඇයත් එයම තහවුරු කළායින් පොඩි මාමාගේ සිතේහිවූ බර යම් තරමකට හෝ අඩුව ගිය බවක් දැනෙන්නට විය. 

පොඩි මාමා බලාපොරොත්තුවූ පරිදි ජයවීර නිවසට ගොඩවූයේ සැන්දෑ කළුවර වැටුණු ගොම්මනේදීය. ඔහු ඉස්තෝප්පු කණ්ඩිය මතට ගොඩවී කකුල් දෙක පඩියේ ගසා උගුර පෑදුවේ තමන් පැමිණි බව ඇගවීමට මෙනි. ඉස්තෝප්පුව දෙසින් උගුර පාදන හඬ ඇසී සාලයෙන් එළියට ආ පොඩි මාමාව දැක ජයවීර පිල් කණ්ඩිය දෙසට ඇවිද ගියේය.

“ජයවීර මෙහෙන් වාඩිගත්තා නම්.”

පොඩි මාමා ඉස්තෝප්පුවේ තිබූ වේවැල් පුටුවක් පෙන්වීය. 

“නෑ මෙතන හොඳයි.”

ඔහු තම සුපුරුදු පිල් කණ්ඩිය මත වාඩි ගත්තේ පොඩි මාමාට පිටුපාය. සුපුරුදු ලෙසින් කට ගෙන්නක් බීගෙන ජයවීර ඇවිත් ඇතැයි කවුරුත් සිතාගෙන සිටියද අද දින එසේ නොවීය. අරමුණකින් තොරව හිස් බැල්මෙන් දෙවට දෙස දෑස් දල්වා ගෙන බලා සිටිනා ජයවීර නිහඬතාව රැක්කේය. මඳ වේලාවක් ගතවූ තැන පොඩි මාමා නිහඬතාවය බිදිමින් ජයවීර හා කතාවට මුල පිරීය. 

“ජයවීර නොබීම ආ එක හොඳයි.”

“මට කාරණාවක් තියෙනවා කතා කරන්න.”

“ඔව්, අපි කතා කරමු.”

“එහෙනම් අපි කෙලින්ම කාරණාවට බහිමු.”

“මම දන්නවා ජයවීර ආ කාරණාව. ඒ කාරණාව හින්දානේ මගේ කන්තෝරුවට ආවේ.”

“මට මගේ ළමයි ඕනේ.”

“ජයවීරට ළමයි භාරදෙන්න බෑ.”

ඉස්තෝප්පුව දෙසට හැරුනු ජයවීර

“ඒ මොකද?”

“මට ළමයි තුන්දෙනා තමාලි භාර දීලා ගියේ එයා එනකම් බලා ගන්න.”

“ළමයි තුන් දෙනෙක් නෙමෙයි මම ඉල්ලන්නේ.”

“එහෙනම්?”

“මගේ ළමයි දෙන්නාව. මිල්ටගේ කොල්ලා මට එපා ඌ මගේ දරුවෙක් නෙමෙයි. ”

“තමාලිගෙයි ජයවීරගෙයි ප්‍රශ්න තියේනවා නම් ඒවා තමාලි ලංකාවට ආවම විසදගනිල්ලා. දැන් මේ ළමයින්ට පාඩුවේ තම තමන්ගේ අධ්‍යාපන කටයුතු කර ගෙනයන්න දීපල්ලා.”

“තමාලියෙක් එනකම් මට බලන් ඉන්න බෑ. මම ළමයි ඉල්ලන්නේ දරුවන්ගේ තාත්තා හැටියට.”

“ජයවීර දරුවන්ගේ තාත්තා බව මම දන්නවා ඒත් තනි තීරණයකට මට ළමයි භාර දෙන්න බෑ. තාත්තාට විතරක් නෙමෙයි දරුවෝ අම්මාටත් අයිතියි. අනික ජයවීර රස්සාවකට ගියාම කොහොමද දරුවෝ බලා ගන්නේ?”

“ඇයි මගේ අම්මා ඉන්නේ.”

“ඔයා හිතනවාද තමාලි කැමතිවෙයි කියලා ජයවීරගේ අම්මාට දරුවෝ බලාගන්න දෙන්න?”

“මගේ අම්මා පිට කෙනෙක් නොවෙයිනේ?”

“ජයවීර මේ ප්‍රශ්න වලට කලබල වෙලා හරියන්නේ නෑ. එදා හිරගෙදරදී තමාලිව ජරා විදිහට පන්නා ගත්තේ නැතිනම් අද මේ වාගේ ප්‍රශ්ණ ඇති නොවෙන්න තිබුණා. එහෙමනම් තමාලි රට රස්සාවලට නොගිහින් ළමයි එක්ක ඉන්නත් තිබුණා.”

“මේ පොඩි මාමේ මට සුදුළුණු පොඩි කරන්න එන්න එපා. තමාලි  වැරදි නෑ කියන්න එන්න එපා. මගේ ඇස් දෙකින් දැක්ක දේ මට බොරුයි කියන්න බෑ.”

“මේ ජයවීර මට තවත් බේගල් අරින්න එන්න එපා. හිරේ ඉදන් කොහොමද මිනිහෝ තමාලි වැරදි වැඩක හිටියා දැක්කා කියලා කියන්නේ?”

“මම දැක්ක දේ මම දැක්කා. ඒවායින් දැන් වැඩක් නෑ. මට මගේ ළමයි දෙන්නා දීපල්ලා. මිල්ටාට ජාතක වේචිච් එකාව මට එපා.”

“ජයවීර මේ අන්තිම වතාවටයි කියන්නේ ඒ දෙන්නාවත් තමාලිගේ අවසරය නැතිව දෙන්න බෑ.”

“මේක හරි කතාවක්නේ  මමයි උන්ගේ තාත්තා. උඹලා නෙමෙයි නේ?” 

තාත්තාගේ කටහඬ ඇසී ඉස්තෝප්පුවට ආ ඉන්දිරා හා කෝලිත බියපත් දෑසින් බලා සිටින්නට විය.

“මේ ජයවීර මෙතන කෑ කොස්සන් ගහලා නොදරුවන් බය කරවන්න එපා.”

ජයවීර දෙස බලා සිටිනා දරුවන් දුටු පොඩි මාමා

“අක්කේ මේ දරුවෝ මෙතනින් අහකට අරගෙන ගියානම්.”

සුදු නැන්දා යුහුසුලුව ඉස්තෝප්පුවට පැමිණියේ ඔවුන්ව එතැනින් ඉවත් කරවීමටය. නමුත් ඉන්දිරා දොර අසළින් ඉවත්ව යාමට අදිමදි කළා ය. ඇගේ අත තදින් අල්ලා ගත් සුදු නැන්දා ඉන්දිරාව ඇතුල් කාමරයකට රැගෙන ගියේ බලවත් අකමැත්ත පිටය. ඉන්දිරා දොර අසළින් ඉවත්වූ පසු තම අසුනින් නැගිටගත් පොඩි මාමා පිල් කණ්ඩිය දෙසට ඇවිද ගියේය.

“මම තමාලිට විස්තර දන්වලා ලියුමක් දමලයි තියෙන්නේ. එයාගෙන් උත්තරයක් ආවාම බලමු.” 

“මට එයාගෙන් මෙයාගෙන් උත්තර එනකම් බලන් ඉන්න බෑ. මට මගේ දරුවෝ දෙන්නා දීපල්ලා. දුන්නේ නැත්නම් මම දන්නවා කරන වැඬේ.”

පොඩි මාමා ජයවීරගේ හඬ අභිබවමින්

“ජයවීර මම දැන් එක සැරයක් කිව්වා මෙතන රණ්ඩු සරුවල් කරන්න එන්න එපා කියලා. තවත් මේ ගැන කතා කරන්න ඕනේ නෑ.”

ආපසු හැරුණු පොඩි මාමා සාලය දෙසට ගමන්ගත්තේය. පොඩි මාමාගේ පෞර්ෂත්වය හමුවේ නිහීනත්වයට පත්වූ ජයවීර තම කේන්තිය සහ ආවේගය පිටකරවාගත නොහැකිව අසහනදායි ලෙසින් හැසිරෙන්නට විය. කේන්තියෙන් පසුවන ඔහුව එලෙස නිවසින් පිටකරවාලිම නොමැනවයි පොඩි මාමා සිතුවේය.    

“අක්කේ මේ ජයවීරටත් එක්ක බත් බෙදලා සාලයෙන් පැදුරක් දාලා නිදාගන්න හදන්න.”

“නෑ මට කන්න ඕනේ නෑ. මම දැන් යනවා.”

කී ඔහු ඉක්මනින් පිල්කණ්ඩිය මතින් බැස මිදුල හරහා දෙවටට ප්‍රවිෂ්ට විය. සුදු නැන්දා ඉස්තෝප්පුවට එනවිටත් ඔහු දෙවට දිගේ කළුවරට මුහුව අතුරුදහන්වි තිබුණි.

“මම නම් හිතුවේ නෑ මිනිහා නොබී මෙතනට ඒවිය කියලා.”

“ඔය මිනිහාව හදලා ගන්න පුළුවනි අක්කේ.”

“ජයවීර බීම අත්හැරියොත් බල්ලෝත් අර මොනවාදෝ කන එක නවත්තයි. අපරාදේ අපේ කෙල්ල ඔය මිනිහාට අහුවුනානේ.”

“දැන් ඉතිං කරන්න දෙයක් නෑ ඉස්සරාට එන විදිහක් ගැන බලන එක තමයි කරන්න තියෙන්නේ.”

අඳුරු සෙවනැලි දඟ කරනා දෙවට දෙස නෙත් යොමාගෙන ඔහු පැවසීය. ඉස්තෝප්පුවේ රැඳුණු පොඩි මාමා රාත්‍රි ආහාරයට කතා කරනතෙක් සෙල් පිළිමයක් ලෙසින් එකම ඉරියව්වෙන් කල්පනාවේ නිග්මවිය.


                                                              * * * * *

“කවුද ඉන්දිරා කියන්නේ?”

ගුරුවරයෙකු නොසිටි කාල පරිච්ඡේදයක පන්ති කාමරය තුළට ආ කාර්යාලයේ සේවයේ නියතු සුමනේ මාමා විමසීය. එක්වරම පන්තිය දැඬි නිහඬතාවයක ගිලුණි. සියල්ලන්ගේ දෑස් ඉන්දිරා දෙසට යොමුවීම නිසාවෙන් ඉන්දිරා දැඬි අපහසුතාවයකට මුහුණ දුන්නා ය. ඈ අසීරුවෙන් මෙන් තම අසුනින් නැගිටගත්තාය.

“ම...ම ... මම ඇ...යි? ”

“ඔය ළමයාට ඔෆිස් එකට එන්නයි කිව්වා.”

වෙනින් යමක් විමසන්නටත් ප්‍රථමයෙන් පන්තියෙන් එළියට බට හේ ඉක්මනින්ම අතුරුදහන් විය. වික්ෂිප්ත වූ ඉන්දිරා නොදැනිම තම අසුනේ ඉන්දවුණි.


ඉන්දිරා ඔෆිස් එකට කැදෙව්වේ ඇයි ?........... මතුසම්බන්ධයි.......


පළිගු කිරිල්ලී - දාහහතරවන කොටස

පළිගු කිරිල්ලී - දාහහතරවන කොටස                   දින කිහිපයක් ගෙවි ගොස් යළිත් තම දිවියේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට ඉන්දිරා සමත් වූවාය....