ලගදි දවසක කොළොම්පුරයාලේ කාර්්‍යාලිය සගයෙක් වෙච්චි සිරිකුමාර මහත්තයා රස්සාවේ වැඩකටයුතු ඉවර කරලා හවස් අතේ ගම්බිම් බලායන්න කොළොම්පුරයාගේ දඩුමොනර යන්තරේ නැගිලා යද්දි තමා මේ කතාව ආපහු කොළොම්පුරයාට මතක් කෙරුවේ. සිරිකුමාර මහත්තයා කොළොම්පුරයාගේ ඔෆිස්මෙට් වාගේම ගම්මෙට් ඒ කියන්නේ ගමේ පොරක්. ඉතිං කොළොම්පුරයා ගෙදර යනිං ගමන් සිරිකුමාර මහත්තයාව මගින් හලාගෙන යන්න පුලුවන්නේ. දන්නවානේ අපේ සිරිකුමාර මහත්තයා? කොළොම්පුරයාගේ බ්ලොග් එකේ මිට ඉස්සරින් ලියවුනු අභිරහස කතාවේ කතානායකයා. නොදන්න අයට පුලුවන් මෙතනට කොටලා ඒක කියවලා එන්න. සිරිකුමාර මහත්තයා ඉස්සර හරි ජොලි පොර දැන් පැස්සොන් යන්න ලග හින්දාද මන්දා පොර මසක් මාලුවකින් වාගෙම නැටුං තෙලෙන් තොරවෙලා මාරම සිල්වත් දැහැමි උපාසක වෙලා. ගොඩපෙරකදෝරු අලි අමාරුකාර අමරසිරියාත් අන්දුබයියාත් කොරොනා ඉවරඋනත් එක්කම පැන්සොන් ගියාට පස්සේ ඔෆිස් පාටියකදි නැටුං තෙලෙන් සප්පායම්වෙලා අඩව්වක් කස්තිරමක් අල්ලන්න පොරවල් නැත්තටම නැතිව ගියා. ඔෆිස් පාටියක් කියන්නේ දැන් ඉතිං මලගෙයක්වාගේ අති සෝචනියයි මිත්තරවරුනි. හරි හරි වටේ නොගිහින් අපේ කතාවට බහිමු නේද?
ඔන්න මීට අවුරුදු කිහිපයකට කලියෙන් අපේ සිරිකුමාර මහත්තයා දැහැමි ජිවිතයට බැස්ස අලුතමවාගේ බොරු සීලවන්තයොත් අපේ පොරට ලංවෙන්න ගත්තා. බණ පද පන්සල් ආරම අසපු ගැනමයි දැන් හැමෝම සිරිකුමාර මහත්තයා එක්ක කථාව. වෙසක් දවසකටවක් පන්සල් නොයන දේවදත්ත නිකායේ කොළොම්පුරයා ඕවාට යන්නෙත් නෑ අල්ලන්නෙත් නෑ. ඔය අස්සේ කවුදෝ කඩපුලියෙක් පොරට කියලා මරණයට කැපවුනු අසරණ ගවයෙක් මරණින් නිදහස් කරවුමු කියලා. අපේ සිරිකුමාර මහත්තයාවාගේ දැහැමි පොරවල් එනකොටම මස්කඩේ නානලාගේ කරල පැහෙනවා. ගවයාගේ මිලට වඩා දෙගුනයක මිලක් කියලා හොද ලාබයකුත් නානලා හොයාගෙන එයාලා ගොඩ යනවා නෙව. සුදු පාට වැස්සියෙක් උනා නම් ගාන දෙගුණයකට වඩා වැඩිවෙනවා. කළු පාට හරි වස්සෙක් උනා නම් අනිවා ඌ මස්කඩේ කොක්කේ තමා. මොකද ඌට කිරි අම්මා ලේබලය වදින්නේ නෑ නෙව. ආර්ථික වටිනාකමක් ගන්න බැරි මෙන්න මේ සත්තුන්ගෙන් ගවයා එළුවා කුකුලා පිරිමි සතෙක් වෙන එක අනිවාර්්‍යයෙන්ම කොක්කේ එල්ලෙන්නම වෙනවා. දැන් කරත්ත අදින්නයි කුඹුරු සීසාන්නයි හරක් ගන්නේ නැති නිසා හරක් යන්නේම මසට තමා. ඕං ආයෙත් පිට පැන්නා නේ.
දැන් ඉතිං සිරිකුමාර මහත්තයා ඔෆිස් වැඩ අස්සේ කල්පනා කරන්නේ මේ අසරණ සතාව නිදහස් කරන වැඩේ ගැනමයි. දුප්පත් අපේ සිරිකුමාර මහත්තයාට කොයින්ද අනේ එච්චර සල්ලියක්. ගෙදරට ගෙනියන පඩි සල්ලිත් ගෞහමුලික භාර්්‍යාතුමෝ අරගෙන පස්සේ බස් ගාස්තුව ඇතුලු සියල්ලම එතුමිය සීරුවට කිරිලා මැනලා තමයි ආපහු දෙන්නේ. එහෙම නැතිව ලවක් දෙවක් නැතිව සල්ලි වියපැහැදම් කරන්න කාටද පුලුවන් මේ ආර්ථික අහේනි කාලේ.
"මචං උඹ මේසේ උඩ කැටයක් තියලා මරණයට කැපවුනු අසරණ ගවයෙක් නිදහස් කිරිම කියලා ගහපං. එතකොට උඹ ලගට එන කස්ටමර්ලා මේක කියවලා කියක් හරි කැටයට දායිනේ. අනික උඹෙන් වැඩක් කරගන්න උඹ ලගට එන උන් ලොකු ගානක් එහෙම දාන්නත් පුලුවන් නේ. ඒ සල්ලි වලින් උඹට පුලුවන් වෙයි සතා නිදහස් කරන වැඩේට ගානක් හොයා ගන්න."
සතා නිදහස් කරන වැඩේට සල්ලි හොයාගන්න අපුරු ක්‍රමය අපේ අන්දුබයියා සිරිකුමාර මහත්තයාට කියලා දුන්නා. සිරිකුමාර මහත්තයාට මේක ඇහුවාම හිසේ මලක් පිපුනා වාගේ උනා.
"මචං නියම අයිඩියාවක් නේ. අදම මේක කරන්න ඕනේ."
පියන් කොලුවා එලියට පිටත් කරපු සිරිකුමාර මහත්තයා ප්ලාස්ටික් කැටයක් ගෙනවිල්ලා කාටත් පෙන්න පුලුවන් විදිහට මේසය උඩින් තිබ්බා. අර කිව්වා වාගේ ප්‍රින්ට් අවුට් එකකුත් අරගෙන කැටේට ඇලව්වා. වැඩේට ආරම්භයක් විදිහට සිරිකුමාර මහත්තයාම රුපියල් සියයකුත් කැටේට දැම්මා. ගෙදර යන්න විතරක් බස්ගාස්තු අතේ තියෙන පොරට කොහෙන් රුපියල් සීයක් ආවද මන්දා. අපිත් ඉතිං හොද වැඩකට සම්මාදම් නොවි බැරි නිසා කැටේට සල්ලි දැම්මා. අදින්න පුබ්බකගේ ඥාති සම්බන්ධයක් තියෙන අන්දුබයියා අවුරුදු ගානක් පරණවුනු පොට්ට කාසි කිහිපයක් ලාච්චිචුවේ පතුල අතගාලා හොයාගෙන ඒක කැටේට දාලා රුපියල් දාහක්මාරක් දැම්ම වාගේ සිරිකුමාර මහත්තයාට ලොකු ටෝකක් එහෙම දෙන්න ගත්තා.
"ඔන්න මමත් සල්ලි දැම්මා. උඹ හරකෙක් නිදහස් කරනවා කියලා අපේ සල්ලි එහෙම පිල්ලි ගහන්න එහෙම එපා."
දැන් අපේ හැමෝමගේම කතාව සිරිකුමාර මහත්තයා කැටේ සල්ලි වලින් අසරණ සතා නිදහස් කරන හැටි ගැනයි. අපිත් ඉතිං සිරිකුමාර මහත්තයාගේ මේසය පැත්තේ යන හැම සැරේම කරන්නේ අර කැටේ හොලවලා බලනවා ඒක පිරිලාද කියල බලන්න. සති මාස ගෙවිලා අවුරුද්දක් විතර ගෙවිලා ගියා එත් අනේ අර කැටේ පිරුනේම නෑ. හැමදාමත් ඒක එකම ප්‍රමාණයයි තිබුනේ.
"මෙතනට එන කී දෙනෙක් මේ කැටේට සල්ලි දානවද ඒත් මේක පිරෙන්නේ නැති එකත් ප්‍රශ්නයක්. කියන්නත් බෑ මු උපාසකයාවාගේ ඉදගෙන දාන දාන සල්ලි උස්සනවාද කියලා." අමරසිරියා කියාපි.
"ඔව් ඔව් බලපං කැටේ යටින් හිලක්වත් තියේනවාද කියලා."
අපේ උසුලු විසිලු අහගෙන සිරිකුමාර මහත්තයා කරබාගෙන හිටියා මිස පොර නොවෙයි ඒවාට කේන්ති ගත්තේ.
ඇත්තම සිද්ධවුනේ සිරිකුමාර මහත්තයා ලගට එන්නේ එකම කට්ටියක් නෙව ඉතිං එයාලා මුලින් සල්ලි දැම්මාට හැමදාමත් ඕකට සල්ලි දැම්මේ නෑ. ඒ නිසා කවදාවත් කැටය පිරුනේත් නෑ. අපිත් මුලදී සල්ලි දැම්මාට ඊට පස්සේ කීයක්වත් කැටේට දැම්මේ නෑ නොවැ. මගේ වැඩෙත් සිරිකුමාර මහත්තයා හමුවෙන්න ගියාම කැටේ හොලවලා බලලා "කවදාද බං උඹ මේ අසරණ සතා නිදහස් කරන්නේ?" කියලා අහන එකයි. අනේ අසරණ පොරටත් මේක හිසරුදාවක් වෙලා දැන්.
ඔන්න එක සති අන්තයක එක පාරටම අර කැටය අතුරුදහන් උනා. මේකට මොකද උනේ කියලා අහන්න පියන් කොලුවාත් හිටියේ නෑ. එයා මාසයක් හමාරක් එක දිගට වැඩ කරලා ගෙවල් දොරවල් වලට ගිහින් පවුල් පන්සල් බලා එන්න එපැයි. කොලුවා නිවාඩුදාලා ගමේ ගිහිල්ලා. දැන් කැටේ හොරු අරන් ගිහිල්ලා කියලා අමරසිරියා අපිටත් පනිවිඩය එව්වා. අපිටත් ඕනේ වෙඩ්මක් අවමංගුලක් කරගන්න හින්දා පැනගෙන ගියා සිරිකුමාර මහත්තයාගේ මේසය ලගට.
"මචං කැටේ කොච්චර සල්ලි තිබුනාද?"
අන්දුබයියා ඇහැව්වා.
"දන්නේ නෑ බං."
සිරිකුමාර මහත්තයා අසරණ ලෙසින් කිව්වා.
"ඇයි උඹ ගනන් කලේ නැද්ද?"
"මම කැටේ කැඩුවේ නෑ."
"එහෙනම් නෝනාද කැඩුවේ?"
සිරිකුමාර මහත්තයාට මේ කිසි දෙයක් තේරුනේ නෑ.
"මචං ඇත්ත කියපං හොද ගානක් එකතුවෙලා තිබුන හින්දා උඹ නේද කැටේ ඉස්සුවේ?" මම කෙලින්ම ඇහැව්වා.
"වෙන්න පුලුවන් මූ උස්සලා ඒක පියන් කොල්ලාගේ පිටට දාන්න ගහපු ගේමක්ද දන්නේ නෑ." අන්දුබයියා මැදට පැනලා ඇහැව්වා.
"කැටේ සල්ලි ටික ටික උස්සලා දැන් ඒකේ සල්ලි නැතිවුනාම උඹ කැටේ අතුරුදහන් කලා නේද?"
අමරසිරියා කිව්වා විතරයි උපාසක සිරිකුමාර මහත්තයාට ආලවකයා වැහුනා වාගේ යක්ෂ සේනාධිපතියා හිස මුදුනටම ආරුඪ උනේ ක්ෂණිකයෙන්. පොර මේසේ උඩ තිබ්බ පේපර්වේට් එක අතට අරන් හිදගෙන හිටිය පුටුව පස්සට දාලා නැගිට්ටා. කොකටත් ආරක්ෂාකාරි පියවරක් ලෙසට මාත් පස්සට පැනලා පාංශූදේහධාරි අන්දුබයියාට මුවාවුනා.
"යකෝ තොපිට මේක විහිලු මම උස්සනවාද මගේ කැටේ?"
තවදුරටත් සිරිකුමාර මහත්තයාට විහිලු කිරිම කිරිමෙල් නඩුවක් යන මිනිමැරුමක් දක්වා දිගගැස්සෙන බව අවබෝධ කරගත් මංතුමා අන්දුබයියාත් ඇදගෙන ආපහු අපේ මේස වෙතට ආවා. මොකද හතර පෝයටම සිල් සමාදම් වෙන උපාසකයොත් මිනිමරුවෝ වෙන අවස්ථාවල් උදාවෙනවා නෙව.
කැටේ අතුරුදහන් වෙලා දවස් පහකට පස්සේ අපේ පියන් කොලුවා ආපහු වැඩට වාර්තා කලා.
"බලන්නකෝ මහත්තයෝ මම බලංගොඩ හරියේදි තේ බොන්න බස් එක නැවැත්තුවාම බෑග් එක ඇරලා බැලින්නම් සිරිකුමාර මහත්තයාගේ පිං කැටේ ඒක ඇතුලේ."
"ඈ එහෙනම් උඹද පිං කැටේ ඉස්සුවේ?"
"මට මොකටද පිං කැටයක්? ෂුවර් එකටම මේ වැඩේ කරන්න ඇත්තේ අමරසිරි මහත්තයා තමයි. මේ කැටේට කුරුමානම් අල්ල අල්ල හිටියේ එයා තමයි."
පියන් කොලුවා එයාගේ සැකය කෙලින්ම අමරසිරියාට එල්ල කෙරුවා. අමරසිරියා උගේ ඉස්සාරට පැනපු බොල්ලෑ දත නොපෙනෙන්න කට අතින් වහන් හැමදාමත් දාන කින්ඩි හිනාව දැම්මා. ඒ කියන්නේ පියන් කොලුවා ගෙදර යන්න කලියෙන් උගේ ඇදුම් බෑග් එකට පිංකැටේ හොරාට ඔබලා නෙව. මේ සිද්ධියෙන් පස්සේ සිරිකුමාර මහත්තයාට පිංකැටේ චේතනාව එපාවුනාද මන්දා . එයා මේ පිංකැටය කඩලා බලන්න ඔනේ කිව්වා. අපි ඔක්කෝම ඉන්නැද්දී එයා කැටය කැඩලා සල්ලි ගැන්නා. අතිසෝචනියයි මිත්ත්‍රවරුනි පිං කැටෙි එකතුවෙලා තිබ්බ සල්ලි වලින් යාන්තමට හරක් මස් කිලෝ එකක් ගන්න පුලුවන් ගානක් මිස හරකෙක් ගන්න නම් බෑ.
"යකෝ මෙකෙන් මොන සත්තු නිදහස් කිරිල්ලක්ද?" අන්දුබයියා ඇහැව්වා.
"ඔන්න ඔකත් අරන් හවසට යමං හෙට්ටියාවත්තේ බෝලෙ මේසේ රෙස්ටුරන්ට් එකට." කෑම බීම අංක එක කරගත්තු අමරසිරියාත් කට දැම්මා.
"තොපිලාට පිං අතේ වැඩක් උනත් විහිලු. ඔය බොන සල්ලි මේකට දැම්මා නම් අද කැටෙත් පිරිලා සතා නිදහස් කරගන්නත් තිබුනා. බොලාගේ උදව් නැතිවාට කමක් නෑ මම කොහොම හරි සතෙක් මරණින් නිදහස් කරනවා."
සිරිකුමාර මහත්තයා සල්ලි ටික අතේ ගුලිකරන් සපත කලා. කැටය මේසය උඩින් අයින් වුන නිසා අපිත් ආපහු කැටය ඇදන් විහිලු කරන්න ගියෙත් නෑ. අපිටත් මේක අමතක වෙලා ගිහින් තව මාස හයක් විතර ගෙවිලා ගියා. ඔන්න ආයෙත් දවසක සිරිකුමාර මහත්තයාට පොඩි ලිෆ්ට් එකක් ඕනවුනා ගෙදර යන ගමන් මගින් බහින්න.
"මචං අර අසරණ සතාව මරණින් නිදහස් කරාද?"
නිකං යන්නත් බෑනේ වල්පල් ටිකක් කතාවට ඇදලා ගත්ත මං මගදි අර සතා නිදහස් කරන වැඩේ ගැනත් ඇහැව්වා.
"ඔව් මම කරා."
"එච්චර සල්ලියක් එකතුවුනේ නෑනේ. උඹ අතින් දාලද සතා බේරාගත්තේ?"
"උඹ දන්නවානේ මං මාස පඩියෙන් රෝල ගහන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා. අපි හැදුවේ සතෙක් මරණින් මුදවා ගන්න නේ. ඉතිං ඒකට හරකෙක්ම වෙන්න ඕනේ නෑනේ."
"එතකොට මොකාද මරණින් බේරාගත්තෙ?"
"අර රත්මලානේ බෙලෙක්කඩේ හංදියේ තියෙන මස්කඩ පේලිය උඹ දන්නවානේ?"
"ඔව් ඉතිං?"
"ලොකු සල්ලියකුත් අතේ නැති හින්දා ඔතනට මරන්න ගෙනාපු කුකුලෙක් මරණින් බේරාගත්තා මචං."
"දැන් කෝ කුකුලා? කොහේටද නිදහස් කලේ?"
"මචං කුකුලා ගෙදර ගෙනිච්චාම ගෑණි ඇගට කඩන් පැන්නා මෙහේ කුකුලෙක් හදන්න ඉඩ කොහේද කියලා. මොනා හරි කියලා තියාගන්න තිබුනා කිකිලියෙක් උනානම් කුකුලාගෙන් බිත්තර ගන්නත් බෑනේ."
"ඉතිං?"
"ඒපාර කුකුලව ඉඩ තියෙන හින්දා ඉස්සරා ඉන්න මස්සිනාගේ වත්තට දැම්මා. පස්සේ උන්ගෙනුත් බරබරේ කුකුලාගෙන් මල්පාත්තියක්වත් තියාගන්න බෑ හැමතැනම පහුරුගානවා කියලා."
"ඉතිං උඹ ඌව වෙන දිහාකට දුන්නාද?"
"නෑ බං එයාලා ඌව නිදහස් කරලා."
"ඈ බං ඒ කොහේටද?"
"කුකුලාගෙන් මලවදේ හින්දා මස්සිනාගේ ගෙදර පාටියක් තිබුන දාක අනිත් මස්සිනාලා එකතුවෙලා ඌව උගේ කුකුල් ජිවිතයෙන් නිදහස් කරලා මචං."
සිරිකුමාර මහත්තයා බොහෝම කණගාටුවෙන් කිව්වා.
නාඋකයා බයිසිමොටෝවෙද තාම යන්නේ? ඉන්ටර්කුලර් එකක් ගන්න තිබුනා නැව්කාරයෝ එක්ක හොදින් හිටියානං
ReplyDeleteඉන්ටකූලර් මොනාද ලොක්කා නැවකුත් අරගන්නයි ඉන්නේ පොඩි ගානක් මදි. අනික කාර් ආනයනයට ඉඩ දුන්නාට නැව් ආනයනයට තාම අවසර නෑ.
DeleteGood one
Deleteඅපිත් වරක් ඔහොම වැඩක් කළා. බත් කාල ඇවිත් ලියන්නං ඈ...?
ReplyDeleteමහත්තයා බත් කාලා එන්නම් කියලා ගියා ගියාමයි තාමත් නෑ.. පුදුම කෑමක් නොවැ කන්නේ....
Deleteකොහොම හරි කමක් නැහැ වැඩේ කලානේ . හරක වුනත් කුකුළා උනත් ජීවයක් නේ . අර අනිත් අයත් කුකුලටබ් ජිවිතේ දන් දීල පිනක් දහමක් කර ගන්න අවස්ථාවක් දීල තිබෙනවා .
ReplyDeleteආන්න හරි...ජීවිතේ දන්දීලා පිං අත්කරගන්න මඛාදේව රජතුමා රාස්සයාගේ කටට පැන්නා වාගේ.. සිරිකුමාර මහත්තයාට ඒ පිනම ඇති තුසිත දෙව්ලොව දිව්යාංගනාවන් පිරිවරාගෙන අමාමහ සම්පත්තිය ලබාගන්න.
Deleteනියම කතාව. හරකෙක් නිදහස් කරල පිං කියල ගහල අත්හැරියත්, අද කාලෙ මං හිතන්නෙ නෑ වැඩිකලක් ඉඳීවි කියලා.
ReplyDeleteමරණින් මුදාගෙන හදාගන්න කියලා වෙන කෙනෙකුට දීලා ඒ මිනිහා ආපහු මස් කඩේට විකුනපු සීන් එකක් ලගදි පත්තරේක තිබුනා.
Deleteසිරිකුමාර මහත්තයාගෙ අම්මටසිරි වෙන පිංකමක් නෙව මෙ කියෙව්වෙ හිටං 😅😁😁
ReplyDeleteසිරිකුමාර මහත්තයාගේ පිංකම් තව තියෙනවා පොඩ්ඩක් ඉන්ටකෝ....
Deleteටික කාලෙකට පහුව... කොලොම්පුරයාගෙ මේසෙ උඩත් කැටයක් තියේවිද දන්නෙ නෑ 😁
Delete