Saturday, June 23, 2018

සිංහබාහුගේ ස්විකා සාදය. Tuica (tswee-ka) හා බොස්ෆරස් ඔස්සේ රුමේනියාවට

සිංහබාහුව මතකයට ආවර්ජනය වුයේ මීට පෙර ලියු බ්ලොග් පොස්ටුවක් සදහා මාගේ පැරණි ඡයාරූප ගොන්නක් යලි පරිගණක තිරය මත දිග හරිද්දිය. එකල ජර්මානු නැව් සමාගමකට අයත්වු  මා සේවය කල නෞකාවේ දෙවන එංජිනේරුවරයා ලෙසට පත්ව ආ රුමේනියන් ජාතිකයාට තිබු හතරුස් මුහුනත් නොඋස් ස්ථුල සිරුරත් මෙන්ම ඔහුගේ මදක් වැවුන රිදිවන් කොන්ඩය නිසාත් අපි විසින් රෙජිස්ටර් කල නාමය වුයේ සිංහබාහුය. විදේශිකයන්ට නොතේරෙන ලෙසින් ඔවුන් ගැන කතාකරන්නට ශ‍්‍රී ලාංකික අප යොදාගත්තේ සිංහල භාෂාවයි. ඔවුන්ගේ තනතුරු නාමය ඉංග‍්‍රිසියෙන් නොකියා ඉන්නට හැකි තරම් උත්සාහ කලෙමු. නෞකාවේ ඉන්ජිනේරුවරයාට මෝලේ දෙකා නමින් හදුන්වද්දි මොහුට අපි සිංහබාහු වශයෙන් කතා කලෙමු. දෙකාට සිංහබාහු ලෙසින් කවුරු නම තිබ්බාද දැන් නම් මතකයේ නැත. සමහර විට මා වෙන්නට පුළුවන. පසුකලෙක ඔහු මේ සමාගමේම වෙනත් නෞකාවක ප‍්‍රධාන එංජිනේරුවරයා ලෙසින් උසස්විම් ලබා පැමිනෙද්දි ඒහි සේවයේ සිටි මාහටද ඔහුත් සමගින් එක්වන්නට ලැබුනි. සිංහබාහු ඉතා හිත හොද මනුස්සයෙක් විය. සිංහබාහු යන නාමය අපටත් පහසුවුයේ රුසියන් හෝ බල්ගේරියන්කාරයින්ගේ දිව පටලැවෙන නම් උච්චාරනය අපහසුවු බැවිනි. 



අප සේවය කල නෞකාවේ ගමන් මාර්ගය වැටි තිබුනේ මැලේසියාව චිනය තායිවානය යලිත් මැලේසියාව ගොස් ලංකාව පසුකර රතුමුහුදට ඇතුලුවි ඊජිප්තුවටද ඉන්පසුව සුවස් ඇල (Suez Canal)  හරහා ගමන්කර මධ්‍යධරනි මුහුදේ සිරියාව ලෙබනනය ග‍්‍රිසියද ඉන්පසුව කළු මුහුදට (Black Sea ) ගොස් රුමේනියාව හා යුක‍්‍රීනය යන රටවල් වලට ගමන් කිරිමය. මේ සියලුම රටවල වරායන් වලට ගොස් යලිත් මැලේසියාව එනතෙක් එක ගමන්වාරයක් සම්පුර්ණ කිරිමට දෙමසකට අඩු කාලයක් ගතවුනි. ඒ අනුව ඔහුගේ රටවු රුමේනියාවේ කොන්ස්තන්තා වරායටද (Port of Constanța) මසකට වරක් යායුතුවිය.බෙලාරුස් බොස්නියාවහා හර්සගොවිනියාව  බල්ගේරියාව කෞඒශියාව ජෝජියාව හංගේරියාව මොල්ඩෝවියාව පෝලන්තය රුමේනියාව  රුසියාව සර්බියාව ස්ලෝවකියාව ස්ලෝවේනියාව තුර්කිය හා යුක‍්‍රීනය යන රටවල් ගනනාවකින් වටවු කළු මුහුදට පිවිසෙන්නට තිබුනේ එකම එක පටු සමුද්‍ර මාර්ගයක්පමණි.




ඒ තුර්කියේ ස්තාන්බුල් අගනුවර පසුකර බොස්ෆරස් සමුද්‍ර සන්ධිය (Bosphorus strait ) ඔස්සේය. ඉතාමත් ආකර්ෂණිය සුන්දර පටු මුහුදු මාර්ගයක්වු එහි ගමන් කරද්දි මුහුද අද්දරට වෙන්නට කදු ගැටයන් හි ඉදිකර ඇති ඉපැරනි බලකොටුද මුහුද අද්දරට වෙන්නට ඉදිකර ඇති හොටල් හා අවන්හල්ද හොදින් දර්ශණයවෙයි. එසේම ස්තාන්බුල් නුවරට ආසන්නයේදි ඇතින් පෙනෙනා සුවිශාල මුස්ලිම් පල්ලිද ඉවුරු දෙක යාකරමින් ගොඩනගා ඇති දැවැන්ත පාලම් යටින්ද කුඩා බෝට්ටු හා මගිප‍්‍රවාහන නෞකාවන් පසුකරමින් ගමන් කරන්නට සිදුවෙයි. සෞම්‍ය කාලගුණයක් ඇති රාත‍්‍රි නොවන බොහෝ අවස්ථාවලදි නැව් තට්ටුවට පැමිණ මෙම සුන්දර පටු මුහුදු මාර්ගය පසුකරයන අයුරු බලා සිටින්නට අසාකලෙමි. 




බොස්ෆරස් පසුකර කළුමුහුදට ඇතුලුවන නෞකාවේ ඊලග නැවතුම වන්නේ රුමේනියාවේ කොන්ස්තන්තා වරායයි (Port of Constanța). විශාල වරායක්වුවත් ඇතුලත නැව් තිබුනේ සීමිත ගනනක් බව මගේ මතකයයි. ජැටියන් හි තිබු පැරණි දොඹකර සිහිපත් කරන්නේ වෙලක මාලුන් ඩැහැගන්නට බෙල්ල නවාගෙන බලා සිටිනා කොකුන් රූනක් සේය.  කොන්ස්තන්තා හි නැව් ගොඩනගන ෆිප්යාඩ් එකක්ද විය. පැරණි කොමියුනිස්ට් රටක්වු රුමේනියාවේ කොමියුනිස් ක‍්‍රමයේ ගරාවුටුනු නාෂ්ඨාවිශේෂ ලෙසින් මේ වරායත් දොඹකරත් සිහිපත් කරවන්නට වුනි. එකල නැගෙනහිර යුරෝපයේ තිබු විශාල හා නෞකාවන් විශාල වශයෙන් ආගිය වරායක් ලෙසින් පැවතුනායි අසන්නට ලැබින. අප කොන්ස්තන්තා වරායට ගොඩබට හැටියෙම සිංහබාහු ලකලැස්තිවෙන්නේ තම නිවෙසට යන්නටයි. 


රුමේනියාවේ කොන්ස්තන්තා වරාය (Port of Constanța)

සාමාන්‍යයෙන් රුමේනියාවේ කොන්ස්තාන්තා වරායේ අපගේ නෞකාව පැය විසිහතරකට වඩා නවතා තිබෙන අතර කොළඹ වරායේ මෙන් බහාලුම් ගොඩබෑම් හා පැටවිම් සිඝ‍්‍රගාමිව සිදුනොවිනි.  නෞකාව පිටත්විමට පැය කිහිපයකට පෙර නිවෙස බලාගිය සිංහබාහු යලි ටැක්සියකින් හෝ ඔහුගේ බිරිද විසින් පදවාගෙන ආ මොටර් රථයකින් ආපසු ආවේය. මාගේ මතකයේ සටහන්වි තිබු අයුරින් එම මොටර් රථය රුසියාවේ නිෂ්පාදිත ලාඩා මොඩලයේ මොටර් රථයක් විය. නිවසින් රැගෙනා  බඩුමුට්ටු අතින් කටින් එල්ලාගෙන නැවේ ගැන්ග්වේ (Gang way) එක නගිනා සිංහබාහු ඩෙක් එකට පැමින හතිිදමන්නට පටන් ගනියි.අසල සිටිනා කවුරුන්හෝ උදව්වට කතා කරගන්නා ඔහු රථයේ  ඩිකියේ අසුරාගෙන ආ ලිටර් පහේ හෝ ලීටරයේ ප්ලාස්ටික් ජල බෝතල් දෙක තුනක් නැව තුලට ඔසවාගෙනවිත් දෙන මෙන් ඉතා බැගැපත්ව ඉල්ලා සිටියි. 
රුමෙනියාවේ වරායෙන් පසුව අප නෞකාවෙ ඊලග නැවතුම වුයේ යුක‍්‍රීනයයි. ඔඩෙසා වරාය (Odesa)  හා ඉලිචෙවුස් වරායන්( port of ilyichevsk) හිදි බහාලුම් පැටවිමෙන් හා ගොඩබෑමෙන් පසු කළුමුහුදෙන් පිටතට පැමින මධ්‍යධරණි මුහුදටත් ඉන් පසුව සුවස් ඇල හරහා රතු මුහුදටත් පැමිනෙන තෙක් කාලය තරමක විවේකය අඩු කාර්‍යයබහුල කාලසිමාවක්විය. එහෙත් ඉන් පසුව උදාවෙන දිර්ඝමුහුදු ගමන  රතුමුහුදේ සිට ඉන්දියන් සාගරය හරහා මැලේසියාව දක්වා දින හත අටක කාලය තරමක් විවේකි කාලසිමාවක්විය. මෙම නෞකාවේ සේවයේ නියතු කාර්්‍යමන්ඩලයේ වැඩි දෙනෙක් ලාංකිකයෝ වුවත් එන්ජින් දෙපාර්තුමෙන්තුවේ ලාංකිකයන් සිටියේ මා ඇතුලුව තවත් දෙදෙනෙකු පමනකි. දකුනේ මාතරින් ආ දිනේෂ්ද මා මෙන්ම අවිවාහකයෙකුවු අතර නුවරින් ආ ඒකනායකද නාවික හමුදාවේ සේවයෙන් ඉවත්ව වෙළද නාවිකයෙකු ලෙසින් එකතුවු විවාහකයෙකු විය.අප හැරෙන්නට අනෙක් අය වුයේ හයේ හතරේ හැඩි දැඩි එහෙත් පොඩි එකෙක් මෙන් අහිංසක පුට්ටුවා නමින් අප හදුන්වපු ෆිටර්වරයාත්  (Fitter) හද්දා  නාකියෙක්වු විදුලි ඉන්ජිනේරුවාත් පෝලන්ත ජාතිකයන් වු අතර හතරවැනි ඉන්ජිනේරුවරයා රුසියානුවෙකු විය. රතුමුහුදට වැටි ඇරඹුනු දිර්ඝ මුහුදු ගමනක් ඇතුලත එක්තරා දිනෙක සිංහබාහු නොහොත්  අපගේ දෙවන ඉංජිනේවරයා මා ඇමතිය. මාහට සවස් කාලයේ වැඩක් නොමැති නම් අනෙක් දෙදෙනා සමගින් තම කැබිනයට පැමිනෙන මෙන් ඉල්ලා සිටියේය. සිංහබාහුගේ ඉල්ලීම දිනේෂ්ට හා ඒකනායකට පවසා සවස 5ට සේවයෙන් මිදි ගියෙමි. 


රාති‍්‍ර ආහාර වේලෙන් පසුව කැබිනයට වි ටිකක් ඇලවි සිටි බැවින් වෙලාව ගතවෙනවා දැනුනේ නැත. සිංහබාහුගේ ඇරයුම මතක්වුයේ දුරකතනය නාදවෙද්දිය. දිනේෂ් අනෙක් පසින් මා අමතා තමා ඉන්නේ සිංහබාහුගේ කැබින් කාමරයේ බවත් ඉක්මනින් එහි පැමිනෙන ලෙසින් කිවෙය. ඉක්මනින් ටී ෂර්ටයක් දමාගත් මා ඊලග තට්ටුවේ තිබු සිංහබාහුගේ කැබිනය වෙත පිය නැගුවෙමි. දොරට තට්ටුවක් දමා එයට ඇතුල් වෙද්දි මා දුටුවේ අපගේ මුළු එන්ජින් කාර්්‍යයමන්ඩලයසිංහබාහුගේ කැබිනයේ අසුන්ගෙන සිටින බවය. ඒ වන විටත් අරඹා ඇති සාදයේ මා ඔවුන් සමගින් එක්වුවිට එතැන නොසිටියේ ප‍්‍රධාන ඉංජිනේරුවරයා පමණි. සිංහබාහුගේ මෙසේ කොන්තන්තා  වරායෙන් නිවසට ගොස් රැගෙන ආ ප්ලාස්ටික් ජල බෝතල් ටීපෝව උඩ තිබුනි. කටගැස්ම සදහා ටීපෝව මත තිබු දුම්ගසන ලද අමු මාළුද (Smoked Fish) වයිට් චිස්ද (white cheese)පෙති කැපු හොම් මේඩ් සලාමිද (Salami) විය. ඌරු මාංශ පුරවා සොසේජස් මෙන් සකසා පවනේ වියලා ගත් සලාමි හැඩය දැක්කාම සිහිපත් වෙන්නේ වෙලුනු බලු බෙට්ටක් ය. 
සලාමි (Salami)




සිංහබාහු ගෙන ආ ප්ලාස්ටික්  ජල බෝතල් වල තිබුනේ රුමෙනියානුවන් විසින් නිවසේ පිලියෙල කරගන්නා ස්විකා නම් Tuica (tswee-ka) මත්පැන් බවත් කිසිදු මිශ‍්‍ර කිරිමකින් තොරව අමුවෙන්ම බිම ඔවුන්ගේ සිරිත බවත් ඔහු අපසමගින් පැවසීය. නොදන්නා මත්පැන් පානය කිරිමෙන් පසුවදාට විදින්නට සිදුවන දුක් කරදරයන් ගැන හොදහැටි අත්දැකීම් ඇති බැවින් සිංහබාහුගේ ස්විකා බොන්නට අදිමදි කලෙමි.එසේම කිසිදු බියක් වන්නට හේතුවක් නොමැතිබවත් හෙට උදේට මාර ෆිට් එකක් ඇතිව වැඩ කිරිමට හැකි බවත් මේවා ගෙදර නිපදවාගන්නා දේවල් නිසා තම බිරිදද පානයකරනා බවත් සිංහබාහු කීය. රෝමයට ගියා නම් රෝමන් කාරයෙකු සේ හැසිරිය යුතු බැවින් සිංහබාහුගේ ඉල්ලීම මත විදුරුවකට වත් කරගත් ස්විකා ටික ඔසවා සියල්ලන්ටම ජයපතා උගුරට වත්කරගතිමි. ගලනාලය කකාරවාගෙන ස්විකා ගලාගෙන ගියේ කට කජුලෙල්ලක් සේ අපි‍්‍රයාවෙන් අඹරවාගෙනය. වයිට් චිස් කැල්ලක් කටට දා ගත් නමුත් කටේ ඇතිවු අවුල නැතිවුයේ නැත. අප පුට්ටුවා නමින් හදුන්වන නෞකාවේ ෆිටර් වරයා දුම්ගසන ලද මාලු කැල්ලක් කන ලෙසින් මාලු තසිම පිලිගැන්විය. කරවල වෙන්නට තරමට නොවෙලුනු  දුම්ගැසු මාලුන් ප‍්‍රමාණයෙන් සාලයන් තරමේ එවා විය. කිසිදා ආහාරයට නොගත් දුම් ගැසු තැම්බුනු අමු මාළු කැල්ලක් කඩාගෙන විකුවෙමි. එහිවුයේ  අමුතු රසයකි.


ස්විකා අමුවෙන් පානය කරන්නට බැරිය කියු දිනේෂ් තම කැබිනයට ගොස් මිශ‍්‍ර කරන්නට  කොකාකෝලා කෑනයක් රැුගෙන ආවේය. එකනායකද කොකා කෝලා මිශ‍්‍රකරමින් ස්විකා පානය කරද්දි මා රුමේනියානු සිරිතට ගරුකරමින් අමුවේනම පානයක කරන්නටවිමි. පලමු විදුරුව තරම් අමාරුවක් දෙවැනි හා තුන් වන විදුරුවේ දි දැනුනේ නැත. සලාමි හා වයිටි චිස් ද ස්මා්ක් ෆිෂ් කමින්ද එකිනෙකාට විහිලු කරමින් සාදය ගෙවියද්දි  අමුවෙන් බිපු ස්විකා මත මා මාගේ  ලිමිට් එක ආසන්නයේ සිටිනා බව විඥාණයට අනතුරු අගවන්නට වුනි. වැඩේ හමාර කර මා පිටත්ව යන්නට උත්සාහ කලත්  සිංහබාහු ඇතුලු අපේ නඩය ඉඩදෙන්නේම නැත. බීපු ස්විකා හොදට පදම්වෙද්දි  සිංහබාහුටත් නොකියාම මාරුවි වැනිවැනි අමාරුවෙන් කැබිනයට ගොස් ඇදේ වැටුනි. මා යලි අවදිවුයේ පසුදා සේවයට යන්නට එලාමය වැදුනු පසුවය. ඔළුවට දෙකේ දෙකේ පොල්ලකින් ගැසුවාක් මෙන් හිස කෙලින්කරගන්නට බැරිය. ඇදෙන් බිමට බැහැගන්නට නොහැකියාවෙන් පෙලෙන්නට විමි. තදබල හිස රුදාවත් ඇගපත අමාරුවත් තිබුනත් කෙසේහෝ මෙස් එකට ගොස් තේ එකක් හාදාගෙන පානය කර එන්ජින් කාමරයේ පාලක මැදිරියට වාර්තා කලෙමි. ඒවන විට දිනේෂ් පැමින සිටියත් ඒකනායක පැමිණියේ ප‍්‍රමාදවිගෙනය. වෙනදා අපටත් කලියෙන් පාලක මැදිරියට විත් ප‍්‍රධාන ඉන්ජිනේරු සමගින් කෝපි කෝප්පයක් පානය කරමින් සිටිනා සිංහබාහු හෝ හතරානොවිය. එසේම පෝලන්ත ජාතික විදුලියා හෝ පුට්ටුවාද සිටියේ නැත. සිටිය එකම පුද්ගලයාවුයේ සිංහබාහුගේ සාදය නොදන්නා එයට නොපැමිනි ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා පමණි.වෙනදා ප‍්‍රබෝදමත්ව සිටිනා පිරිස කෙලින් කටින් හිටගන්නටත් බැරිව මැලවි සිටිනා අයුරු දුටු චිෆ් ගේ ඇස් උඩගියේය. 
තම අංශයේ සගයන් පෙරදා රාති‍්‍රයේ මොකක් හරි මගෝඩිවැඩක් කර ඇතිබව ඔහු අප දැක්මෙන් තේරුම්ගත්තේය. වැඩට නොපැමිනි අනෙක් අයගැන සොයා බැලිමෙන් පසුව මා වෙත පැමිණි ඔහු තමන්ටද නොකියා ඊයේ උඹලා මොකක්ද කලේ යැයි විමසීය. කිසිවක් නොකියා මද සිනාහවක් පෑමක් විතර කිරිමෙන් ඔහුට තේරුම් යන්නට හැරියෙමි. 
"උඹලා මොනවාදැයි බිව්වේ?" 
දිනේෂ් ලගට ගිය ඔහු ඇසීය.
"සෙකනඩ් ඉන්ජිනියර් ගෙනාපු ස්විකා."
"මයිගෝඩ් උඹලාට පිස්සුද ස්විකා ජරාවල් බොන්න. උඹලා ඔක්කෝටම දැන් හොදටම  අමාරු බවනම් පේනවා. අද වැඩි වැඩක් නැති නිසා රෙස්ටි එකේ ඉන්නයි" කී ඔහු කෝපි කෝප්පය  තොලගාන්නට විය. කොන්ට්‍රෝල් රූම් එකෙන් එලියට ආපසුව මා වෙත පැමිනි ඒකනායක පැවසුවේ ඔහුගේ පපුව රිදෙන බවත් වැඩක් කරන්නට තියා කෙලින් හිටගෙන ඉන්නටවත් බැරි බවය. ස්විකා බි පපුවේ අමාරුවක් හැදෙන්නට බැරි බැවින් ඒ ගැන විමසද්දි ඔහු කිවේ සිංහබාහුගේ සාදය අතරතුර හා පසුව බොහෝ සිදුවිම් ගොඩාක් වුනු බවයි. 
මා වෙරිමරගාතේ කැබිනයට ගිය පසුව නාකි විදුලි ඉන්ජිනේරුවරයා හැඩි දැඩි පුට්ටුවාගේ බිරිද ගැන කියු මොකක්දෝ විහිලුවකට අරඹයා කරගත් වාදය පසුව දබරයකින් අවසන්වෙන්නට ගිය බවත් අමාරුවෙන් ඔවුන් දෙදෙනා වෙන්කර කැබිනයට යවා සාදය හමාර කෙරු බවයි.  පසුව ඒකනායක සිගරට්ටුවක් ඉල්ලා ගැනිමට දිනේෂ් ගේ කැබිනයටගිය බවත් ඔහු එහි නොසිටිය හෙයින් පහල මෙස් එකට ගිය විට එහි සිටි දිනේෂ් බදාගන්නට මෙන් කෑගසාගෙන දිව විත් ගොනෙක් අනින්නාක් සේ ඔලුවෙන් පපුවට ඇන්න බවත්ය. ඒ ඇන්න පාරට පපුව සිරවිමක් එක්කම සිහි නැතිවුවාක් මෙන් දැනුන බවත්ය. බිපු වෙරි මතය සියල්ලම නැතිවි ගියත් පපුවේ අමාරුව තවමත් තිබෙන බවත්ය. සිංහබාහුගේ සාදයෙන් දිනේෂ් මෙස් එකට ගොස් ඇත්තේ හපන්නට දෙයක් සොයාගැනිමට බවත් හොදටම වෙරිමරගාතේ  ඔහු කල කී දෙයක් වත් ඒකනායකට ඔළුවෙන් ඇන්න එක මතක නැතිබවත් එත් තදින් හිස ඇදුම්කන බවත් දිනේෂ් මේ සිද්දිය ගැන අසද්දි කිවේය. කෙසේ නමුත් එදා දහවල් වනතෙක්ම සිංහබාහු හා විදුලියා හා පුට්ටුවා වැඩට නොපැමිනි අතර අමාරුවෙන් ඉන්නා අයව එන්ජින් අංශයේ තබා ගැනිමට නොහැකි බැවින් දහවල් කෑමන් පසුව වැඩට නොපැමින ගිහිල්ලා නිදා ගන්නා ලෙසින් චීෆ් ගෙන් උපදෙස් ලැබින. පසුදා ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාගෙන් අපට ස්විකා බොන්නට දිම ගැන හොදහැටි බැනුම් ඇසු සිංහබාහු යලි කිසි දිනෙක කොන්තන්සා වලින් ගෙදර ගොස් ස්විකා ගෙන ආවත් අපට කතාකර සාදයන් දැම්මේ නැත.  



කහ පැහැති ටිෂර්ටයක් ඇදසිටින්නේ සිංහබාහුය.ඔහු ලගින් ටයිගර් බියර් කෑනයක් අතැතිව ඉන්නේ මංතුමායි.




13 comments:

  1. බොහොම රසවත්....දිගටම ලියන්න සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. ගොඩවැදුනාටත් දිරිමත් කිරිමටත් ස්තූතියි ඔබට....

      Delete
  2. Nice experience, keep posting.. love to read

    ReplyDelete
  3. අටං පැටව් දෙදෙනා විසින් අටමාට ඇසෙන ලෙස කියවන ලද අතර , තිබෙන වචන සහ අවස්ථා ස්ථාන සහ ... වෙනත් දේසපාලන කතා තේරුම්කරන්නට ( රුමේනියාව රුසියාව නෙමෙයි නං .... සමුහ ආන්ඩු එහෙම) සැහෙන වේලාවක් ගතවිය ..... මෙව්වා රසය .... තනියම කියවන කාලය අවසන් වෙමින් තිබේ ....

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන එකත් හොදයි අටංතුමෝ එයාලත් එතකොට හොයයි මේ රටවල් කොහේද තියෙන්නේ කියලාවත්.තොරතුරැ හොයලා දැනුවත් වෙයි.

      Delete
  4. https://en.wikipedia.org/wiki/Steak_tartare කොහෙදිවත් කාල නැද්ද?

    ReplyDelete
    Replies
    1. බහුතරයක් ලංකාවේ උදවිය ඉන්න නැව් වලට කුක් එවන්නෙත් ලංකාවේ කෙනෙක්. ඔය රැමේනියන් බල්ගේරියානු කෑම අපට හරියන්නේ නෑ. උන් දන්නවා අපිට උන්ගේ එවා සෙට්වෙන්නෑ කියලා. ඉතිං එවාට කතා කරන්නේ නෑ. සමහර චිස් තියෙනවා නහය ලගට ගන්න බෑ මාර ගදයි.උන් එවා රසකර කර කනවා. ඔය රැමේනියන් ලිටර් 5 පෙට්ටි වයින් හරි ගෙදර හදපු කසිප්පු ගෙනාවම අපිටත් දෙනවා.එතකොට නම් මොනා කෑවද කියලා මතක නෑ.

      Delete
    2. දවසක් රස බලන්න ඕනකමට මෙහෙ තියන රුසියානු අවන්හලකදී රස කෑමක් කියල ඕඩර් කරන්න හදනකොට එතැන වේටර් මේ අමු මස් කියල කිව්වා නිසා හොඳම බාගය හෙන බර බරයක් දැම්ම :(

      සේරම අවුල් !

      Delete
  5. රුමේනියාවට ගොස් නැතත් උඹ ඔය සඳහන් කරපු ඉස්තාන්බුල්, බොස්පරස් වල මායියාත් සමග කරක් ගසා ඇත්තෙමි. මතකය නිවැරදි නම් ඔය මුල්ම පින්තූර කිහිපය ඉස්තාන්බුල් නගරයේ සිට කිලෝමීටර් 15 -20 ක් ඈතින් ඇති රුමෙලි බළකොටුව (රුමෙලි හිසාරි) සහ සුල්තාන් මෙහ්මට් පාලම විය යුතුය. බොස්පරස් පෙදෙස තුර්කියේ සංචාරය කරන්නන්ගේ බෙහෙවින් හිත්ගත් තැනක්.

    ඔය නොදන්නා මගුල් බොන්න ගොහින් වෙච්චි කරදර මතක් වෙනකොටත් හිනා යනවා බං, ඔය පහළින් දාල තියෙන්නෙ මට වෙච්චි ඇබැද්දියක් :

    කණ්ඩාගේ කොලම ~ මා දුටු ඇෆ්ගනිස්ථානය ~ VIII කොටස ~ කාබුල් ස්පෙෂල් නේපාලි අරිෂ්ඨ !

    ReplyDelete
    Replies
    1. අනේ බං ඔය තැන් පහුකරන් ගියාට එවාට ගිහිල්ලා නෑ. ස්තාන්බුල් වලට ගියාට එලි පහලියේ කරක්ගහන්න වේලාව අඩුයි. කන්ඩා වාසනාවන්තයි. නේපාලි අරිස්ට කතාව බැලුවා.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

ප්‍රචන්ඩ රළ මැද අනතුරක් - සයුරේ දසවසක්

දස වසරක මාගේ නාවික දිවියේ ලැබූ අත්දැකීම් හා සිදුවීම් බොහොමයි. ඒවා හොඳ හා නරක සම්මිශ්‍රණයක් වෙනවා. මෙතැන් පටන් ලියවෙන්නේ නාවිකයෙක්ගේ නාවික දි...