Wednesday, September 26, 2018

ලොක්කාගේ ජරාවැඩක් - සයුරේ දසවසක් - 5

පහන් කණුවලින් දැල්වෙන කහපැහැති විදුලි එළි ගණදුර පලවාහරින්නට දුබල උත්සාහයක් ගනිමින් සිටියි. දහවල තිබුන ජනාකීර්ණ බව තුරන් වෙමින්  තම කැදැල්ලට කූඩුවෙන්නට යුහුසුලුුව දුවනා  මිනිසුන් තවමත් පිටකොටුවේ විදිවල විය. එන්ජිමේ අමතර කොටස් කිහිපයක් බහාලු මගේ ඇඳුම් බෑගයක් රැගෙන අමාරුවෙන් බසයෙන් බැස ගත්තෙමි. මා සිතට නැගුනේ දැන් මා මේ බඩු ටික සමඟින් කුමක් කරන්නේදැයි. මේ වෙලාව වන විට අප නැව් සමාගම වසා ඇති බැවින් එහි යාමෙන් පලක් තිබේදැයි සිතන්නට වීමි. එකල ජංගම දුරකථන හැම අයෙකු සතුව නොතිබූ කාලවකවානුවක් විය. මේ වන විට විවෘතව ඇති කොළඹ කොටුවේ දුරකතන හලක් සොයාගෙන යන්නට විශාල බාදකය වුයේ මා අත බරැති බෑගයයි. දුරකතන හල් හොයන්නට නොගොස් මොරටුව බසයක නැගී ගත්තේ ගෙදර යන්නටය. නිවසට ගොඩවූ වහාම මා විසින් මිස්ටර් ..... මස් ගේ දුරකථන අංකයට ඇමතුමක් දුන් නමුත් ඔහු එයට පිලිතුරු දුන්නේ නැත. පනිවිඩය දීමට  ඊළග විකල්පය වු ඇසිස්ටන් ටෙක්නිකල් සුපරින්ටන්ඞ් වෙත දුරකථන ඇමතුමක් ගත්තෙමි. මා පැමිනි බසය කොළඹ පැමිනෙන විටත් බොහෝ රැු බෝවි ඇති බැවින් බසයක නැගි දැන් ගෙදරට ආ බවත් දැනුම් දුන්නෙමි.
”එහෙනම් පුතා හෙට උදේම බඩු ටිකත් අරගෙන කම්පැනියට එන්න.”
ඔහු පැවසීය.



      දින ගණනාවකට පසු ගෙදරින් ලැබූ රසවත් ආහාරය වූ අම්මාගේ කෑම වේලකින් සප්පායම් වී ආගිය තොරතුරු කතාකර සිට මා නින්දට වැටෙන විටත් මධ්‍යම රාත‍්‍රිය ආසන්න වීය. උදේ හතට පමණ කම්පැනියට යන්නට ලැහැස්ති වී ගමන් මල්ලත් රැගෙන ගල්කිස්ස හන්දියට ගියෙමි. බරති බෑගයත් සමගින් හිටගෙන මගින් ගෙන් තෙරපුන බස් වලට නැගීම අමතක කර දමා මට්ටක්කුලිය බලා දිවෙන ගල්කිස්සෙන් ගමන් ආරම්භ කරන බසයකට ගොඩවිමි. අංක 155 දරන මට්ටක්කුලිය බස් තම සුපුරුදු මග කෙටිල්ල නිසා කම්පැනියට ගොඩවන විටත් උදේ දහයට ආසන්න වී තිබුණි. පිළිගැනීමේ නිලධාරිනියකුට මා ආ කාරණාව කියූ පසු මිස්ටර් ......මස් සිටි කාමරයට යන්නැයි පැවසුවාය. වසා තිබූ කාමරයේ දොරට දෙවරක් තට්ටු කළ මා බෝල අගුල කරකවා කාමරයට ඇතුලූ වුනෙමි. කාමරයේ දොර අරිත්ම වායු සමනයේ සීතල සුළගත් සමගින් තද සිගරට් දුමක් ආඝ‍්‍රහනය විය. මිස්ටර් ....මස් සුව පහසු පුටුවකට වී සිටි ඔහු මා දෙස ගණනකට නොගෙන සිිගරට් දුම උරන්නට විය.

”මිස්ටර් ......මස්?”
”ඔව්”
”මම .........න නැවෙන් එව්වා මිස්ටර් .....මස්ට මේ ස්පෙයාර්ස් ටික භාරදෙන්න කියලා.”
”ආ ඉදගන්න.”
”තෑන්ක් යූ.”
”කෝ බඩු ටික ගෙනාවද?”
”ඔව් මේ තියෙනවා.”
”ඇයි පරක්කු වුණේ?”
”බස් එක එනකොට රැ වුනා. රැවෙලා මෙහෙට ඇවිල්ලා වැඩක් නැති නිසා මම එහෙමම ගෙදර ගියා. මම මිස්ටර් ........ත්නට කෝල් එකක් දීලා පණිවිඬේ කිව්වා. ”
”ගෙවල් කොහේද?”
”ගල්කිස්සේ”
”මොකක්ද රැන්ක් එක?”
”ටේ‍්‍රනිං ........”
........ මස් මහතා දුරකතනය ගෙන කාටදෝ ඇමතීය. තප්පර කිහිපයක් ඇතුලද කාමරය ඇතුලට පිවිසියේ උපැස්යුවලක් පැලදගත් අඩි හයක් පමන උසැති හීන්දෑරි පුද්ගලයෙකි. ඔහු මගේ බෑගය ලබාගෙන එහිවු අමතර කොටස් කිහිපය ඉවතට ගත්තේය. 
”මිස්ටර් .........මස් තව මොකක්ද මෝටර් එකක් තියෙනවා කිව්වා නේද අරගෙන යන්න.”
ඔහු උරමින් සිටි සිගරට්ටුව අලූ බදුනේ ඔබා පොඩි කළේය. භාගෙට තිබුණු සිගරට්ටුවෙන් දුම් රැල්ලක් ඉහළ නැගී ගොස් කැරලි නංවමින් අතුරුදහන්වන්නට විය. කාමරයේ සිගරට් දුම පිරිම නිසාවෙන් හුස්ම ගැනීමට නොහැකි වූවාක් මෙන් මට දැනෙන්නට විය.
”කෝ  ........ අර මොටර් දෙක?”
” ආ .... මිස්ටර්  ........මස් ඉන්න බලන්න. මම හිතන්නේ ඒවා තාම වර්ක් ෂොප් එකේ. ”
”මට කිව්වේ එක මොටර් එකයි කියලා...”

”නෑ. මෝටර් දෙකක් තියෙනවා. තව ඒවා ලැබුණෙ නැහැ. ඒක ගෙනාවම මම කියන්නම්. එතකම් එළියෙන් වාඩිවෙලා ඉන්න.”
ඉක්මනින් අසුනින් නැගිටගත් මා කාමරයෙන් එළියට පැනගත්තේ දුමෙන් පිරුණු එහි රැදි සිට තවදුරටත් කැස්සක් ඒම වළක්වාගෙන සිටිය නොහැකි වූ බැවිනි. කාමරයට පසෙකින් වූ සෝපාවක අසුන් ගත් මා බොහෝ වේලාවක් රැඳී සිටියේ ඔහුගෙන් ඇමතුමක් ලැබෙන තුරුය. දහවල් දොළහටත් ආසන්න වූ නමුත් මෝටරය ලැබෙන පාටක් නොමැත. තද කුසීතකමක් මෙන්ම බඩගින්නක්ද දැනෙන්ට විය. ඈනුම් දෙක තුනක් පිටව ගියේ ලොබියේ වායුසමිකරනයෙන් ගලා ආ තද සීතල නිසාවෙනි. කාමරයේ දොර විවර කරගෙන එළියට ආ මිස්ටර් .......මස්  අත රෙදි අතපිස්නාවකින් ආවරනය කල කෑම පෙට්ටියක් විය. ඔහු දිවා ආහාරය ගැනිමට යනවා විය යුතුය. අසුන්ගෙන සිටි මා දෙස හැරී බලා,
”තාම මෝටර් දෙක ආවෙ නැද්ද?” යි මාගෙන් විමසීය. ඔහුගේ පැනයෙන් අන්දුන් කුන්දුන් වූ මා නැතැයි හිස සෙලෙවිමෙන් පැවසුවෙමි.
” මිස්ටර් .....මස් තාම මෝටර් දෙක ලැබුණෙ නැද්ද?”
”එහෙනම් තව ටිකකින් අරන් එයි. ඔය ළමයා කාලද ඉන්නේ?”
”නෑ.”
”එහෙනම් ගිහිල්ලා දවල්ට කාලා එන්න.”
”නෑ දැන්ම කන්න තරම් බඩගින්නක් නෑ.”
”එහෙනම් ඉන්න දැන් මෝටර් දෙක දැන් එවයි.”

           බිත්තියේ වූ ඔරලෝසුවේ වේලාව දහවල් එක පසුවිය. කාමරයෙන් එළියට ගිය ......මස් යළිත් තම කාමරයට ගියේ ලොබියේ සිටි මා දෙසවත් නොබලාය. ක‍්‍රම ක‍්‍රමයෙන් කුසගින්නද දැඩිවෙයි. තටු හකුලාගත් කුකුළෙකු සේ එක තැනකට වී සිටීමද කළ නොහැකිකමෙන් පෙලන්නට විය.
දහවල් දෙකට ආසන්නය. තවදුරටත් මෙසේ බලා සිටීමෙන් පලක් නොවන තැන මා ටෙක්නිකල් සුපිරින්ටන්ඞ් තැනගේ කාමරයට යළිත් ඇතුල් වුයෙමි.
”එක්ස්කියුස්මී මිස්ටර් .....මස්.”
”ඔව්”
”තව පරක්කු වෙයිද දන්නෑ නේද මෝටර් දෙක ලැබෙන්න?”
ඔහු මා දෙස නොපහන් ලෙස බැලීය.
”නෑ තව ටිකකින් ඒක එවනවා කිව්වා. ඇයි?”
”නැවෙන් කිව්වෙ දවල් දොළහ පහුවෙලා බස් එකට නගින්න එපා කියලා හවසට පාර වහන නිසා. දැන් ටි‍්‍රන්කෝ ගියොත් පාරේ ඉන්න වෙන්නේ. ඒ නිසා මෝටර් දෙක හෙට උදේට ගන්නම්. මම දැන් ගෙදර ගිහිල්ලා හෙට උදේට එන්නම්.”
”හා කමක් නැහැ. මෝටර් දෙක ගේනකම් බලලා ඒක සිකුයුරිටි එකෙන් තියලා යන්න.”
මා දෙස නොබලා ඔහු තවත් සිගරට්ටුවක් දල්වා ගත්තේය.
මේ මිනිහට මොළයක් නැද්දැයි සිතුනේ සිකුරිටි ගාඞ් රූම් එකෙන් මෝටර් දෙක තැබීමට මා මෙතන රැුඳී සිටිය යුතුද යන්න සිහිපත් වන විටය. සමාගමේ ඉහළ නිලධාරියෙකු හා වාද නොකළයුත්තක් බැවින් මා තවදුරටත් එහි රැඳී නොසිට කාමරයෙන් එළියට බැස්සෙමි. යළිත් සුපුරුදු අසුනේ වාඩිගත්තේ කෝපයෙන් පුපුරමින්ය. සමාගම් ගොඩනැගිල්ලේ ඉහළ මාලයට කොළඹ වරාය මනාව දිස්වන ලෙස සවිකර තිබූ වීදුරු කවුලූව දෙසට මා පියවර තැබුවේ තවත් එකතැන රැදෙන්නට බැරිම තැනය. ඉන් පෙනෙන කොළඹ වරායත් නැව්තටාකාංගනයේ දොඹකර දෙසත් දෑස් යොමා බලා සිටියත් බඩගින්නත් මනසේ වැඩ කරන මෝටර් දෙකේ ප‍්‍රශ්නයත්  නිසා එහි කිසිදු සුන්දර බවක් දකින්නට නොහැකි වුනි. ......මස් මහතා තම කාමරයෙන් පිටව ගියේ මා දෙසවත් නොබලාය. මොටර් දෙක බාරගෙන ආරක්ෂක කුටියේ තබන්නට මා  මෙතැන තබා ගන්නේ  ඇයිදැයි සිතාගත නොහැකිවිය. ඇත්තෙන්ම සිත තුළ වූයේ නොමද කෝපයකි.

             මා කවුලූවෙන් බලා සිටින විට කොළඹ අදුරු කරගෙන වැස්සක් ඇද හැලෙන්නට පටන්ගත්තේය. ත‍්‍රිකුණාමගේ සිට කොළඹට රැගෙන ආ අමතර කොටස් මා වෙතින් ලබාගත් කෙට්ටු හීන්දෑරී උස පුද්ගලයා වීදුරු කවුලූව දෙසට ඇවිද ආවේ විශාල ලිපිගොනු කිහිපයක්ද කිහිල්ලේ රුවාගෙනය.
”චා වැස්සක් වැටෙන්න වුනානේ. දැන් ඔක්කොම වැඩ අප්සට් යනවා.”
කීවේය.
”ආ ඔයා තාම ඉන්නවාද?”
”ඔව් මෝටර් දෙකක් දෙනවා කිව්වාට තාම දුන්නෙ නැහැ. දුන්නත් දැන් ඒවා අරන් යන්න විදිහකුත් නෑ පාර වහන හින්දා.”
”ඔව් මග තමයි ඉන්න වෙන්නෙ. දැන් මොකක්ද කරන්නේ?”
”මම මිස්ටර්.......මස්ට කිව්වා මෝටර් දෙක දැන් අරන් යන්න බෑ කියලා. හෙට ඒ දෙක අරගෙන යන්න ඉන්නේ.”
”ඔව් ඒක හොඳයි.”
”මිස්ටර් ..... මස් කියනවා මට මෝටර් දෙක බාර අරගෙන සිකුරිටි රූම් එකෙන් තියලා යන්නලූ. ඔය මෝටර් දෙක සිකුරුටි රූම් එකෙන් තියන්න මම අවශ්‍ය නෑනෙ.  දැන් මට හොඳටමබ ඩගිනියි. දවල්ට කාලත් නෑ.”
”ඔයා  ඕනෙ නෑ. ඔයා යන්න මම ඒ දෙක ආවම සිකුරිටි රූම් එකෙන් තියලා යන්න කියන්නම්.”
ඔහු පැවසීය.
ඇත්තෙන්ම මා පත්ව සිටි අපහසුතාවයෙන් ගලවා ගැනීමට ආ ඉටු දෙවියෙකු සේ ඔහු ඒ මොහොතේ පිහිටට ආවේය.
”එහෙනම් මිස්ටර් .......ල් ඔයා මිස්ටර් .......මස්ට කියනවාද මෝටර් දෙක ඔයා සිකුරුටි රූම් එකෙන් තියනවා කියලා. නැත් නම් ඒ කමට ප‍්‍රශ්නයක් වෙයි.”
”හරි ඔයා යන්න මම ඒක බලාගන්නම්.”
මා ටික වේලාවක් එහි රැඳී  සිටියේ වැස්ස තරමක් හෝ පායන තුරුය. බිම් මහලේ ආරක්ෂක කුටියේ හුන් මැදිවියේ පුද්ගලයාට තව තව ටිකකින් ගෙන එන මෝටර් දෙකක් මෙහි තබා ගන්නා ලෙසත් මා හෙට උදෙන්ම පැමිණ එය ගෙන යන බවත් ඔවුනට පවසා ඉක්මනින් සමාගමේ භූමියෙන් පිටවුයෙමි. බසයක නැගී ගෙදරට එන විටත් සවස පහට ආසන්න වීය. ගෙදර ආපසුත් මා කල්පනා කළේ විශාල හා බරැති මෝටර් දෙකක් කෙසේ ත‍්‍රිකුණාමලයට රැගෙන යා යුතුද කියායි.

            අප නිවස අසල ත‍්‍රීරෝද රථ ගාලක දන්නා හඳුනන පුද්ගලයෙකුට පසුදා ගමනට කතා කරගත්තෙමි. උදේම නැගිට ලක ලැහැස්ති වී නිවසේ වැඩට සිටි මනිවද කැටිව ත‍්‍රීරෝද රියෙන් සමාගමේ කාර්්‍යාලයට පිටත්වුනෙමු.    .........ල් මහතා මා හට පොරොන්දු වූ පරිදි මෝටර් දෙක ආරක්ෂක නියාමක කුටියේ තබා තිබුනි. අඩි එක හමාරක් පමණ දිග කිලෝ විසි පහක් හෝ තිහක් පමණ බරකින් යුත් මෙම මෝටර්දෙක තනි පුද්ගලයෙකුට වුවත් ඔසවා ගැනීමට පහසු කටයුත්තක් නොවීය. මනිගේ සහායෙන් එම මෝටර් දෙක ත‍්‍රීරෝද රථයේ පටවා ගත් අප කෙලින්ම ගුණසිංහපුර බස් නැවතුම්පලට පිටත්වුයෙමු.  ත‍්‍රිකුණාමලයට දිවෙන ඉන්ටර්සිටි බසයක මා හිදගත් අසුනේ යට එක මෝටරයක්ද අනෙක් මෝටරය දොරට ඉදිරියේ අසුන යටද තැබුවෙමි. මෝටර් දෙක පටවා ගත් පසු මනීව ආපසු නිවසට පිටත් කර හැර අසුනේ සුව පහසුව හරිබරි ගැහී ඉදගෙන දෑස් පියාගත්තේ බසය පිටත්ව යනතෙක්ය. බසය කොළඹින් පිටත්ව මද දුරක් ගමනේ යෙදෙද්දී මට දෙවියන් සිහිවුනි. මෙසේ මෝටර් දෙකක් රැගෙන ත‍්‍රිකුණාමලය බලා යන මා සන්තකයේ මොටර් දෙකහි අනන්‍යතාවය හා මෙය ගෙනියන්නේ කුමකටදැයි පැවසු ලිපියක් නොතිබුන බවත් සිහිපත් විය.  එවැනි ලිපියක් සමාගම් කාර්්‍යාලයෙන් ලබාදුන්නේ නැතිබවත් එසේම මා එවැනි ලිපියක් ලබානොගත් බවත් මතක් වුනි. දිවයිනේ යුධ වාතාවරණය පවතින මෙවැනි අවදියක යුද්දධය ඇවිලී යන ත‍්‍රස්තවාදින් ගැවසෙන ප‍්‍රදේශයකට තහනම් බඩු රැගෙන යන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව මට නිරායාසයෙන් සිහිවුනි.  නැවෙන් එන විට දුන් ලිපියද මා සන්තකව නොතිබුනි. කරන්නට දෙයක් නැත. වෙන  ඕනෑම දෙයකට මුහුණ දෙන්නට හිත හදාගන්නවා මිස වෙන විකල්පයක් තිබුනේ නැත. ඇත්තෙන්ම යුද්ධය පැවති සමයක කොළඹ සිට ත‍්‍රිකුණාමලය හා යාපනය වැනි ප‍්‍රදේශවලට නැව් මඟින් ආහාර පාන බඩු භාණ්ඩ ප‍්‍රවාහනය කරනා නාවික සමාගමක පළපුරුදු නිලධාරීන් විසින් නැවකට ආධුනියකු වූ මා හට කිසිදු නීතිමය තත්ත්වයක් හෝ වගකීමක් ගන්නා බවට ලිපියක්වත් නොදී විශාල මෝටර් දෙකක් සමඟින් පිටත් කර එවිම ඔවුන්ගේ නොසැළකිලිමත්කම විදහාපාන්නක් විය. කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා හමුදා හා පොලිස් මුරපොළවල් හයක් පමණ පන්නා ගෙන ත‍්‍රිකුණාමලයේ ග‍්‍රීන් පාර අසලින් බසයෙන් බැස මෝටර් දෙකත් බිමට බාගන්නා තෙක් කිසිදු පරීක්ෂාවකට ලක් නොවී ඒමට හැකිවීම එක්තරා විස්මයට කරුණක් විය. යුද්ධය තිබු කාලසිමාවේ විශාල ලෙස ජීවිත හානි සිදු වුයේ අප ආරක්ෂක අංශවල තිබෙනා මෙවැනි දුර්වතාවයෙන් බැවින් බව පසුකාළිනව වැටහුනි. දෙදෙනෙකු හා එක්ව පැටවු මෝටර් දෙක ඉතා අපහසුවෙන් තනිව බිමට බාගත් මා ත‍්‍රීරෝද රථයකට අඩගැසුවෙමි. මෝටර් දෙකක් එක ත‍්‍රීරෝද රථයකට පැටවිය නොහැකි බැව් පවසමින් ඔවුන් මා මග හැරගියෝය. මා පත් වූයේ මහත් අසීරුතාවයකටය. එකක් රැගෙන යන්න නම් අනෙක මග දමා යා යුතුය. ගී‍්‍රන්  පාරේ මිටර පනහක දුරකවත් පිහිටා නැති නැව් නියෝජිතයාගේ කාර්යාලයට මේ මොටර් දෙක රැගෙන යන්නට ත‍්‍රීරෝද රථයකට වැඩි මුදලක් ගෙවිමට එකඟ කරගන්නට සිදුවුනි. යළිත් ඉතා අපහසුවෙන් ත‍්‍රීරෝද රියෙන් බිමට බා ගත් එම මෝටර් දෙක එක බැගින් ඔසවාගෙන ගොස් නියෝජිතයාගේ කාර්යාලයේ ඉස්තෝප්පුවේ තැබුවත් එහි සිටි කිසිවෙකුත් මා හට එම මෝටර්දෙක රැගෙන ඒමට උදව් කළේ නැත. ද්‍රවිඩ ජාතිකයන් වූ ඔවුන් මා එම කටයුත්ත අපහසුුවෙන් කරද්දී කිසිවක් නොදැක්කා සේ ඉවත බලා යනු දැක ඇතිවූයේ ඉමහත් කෝපයකි. විශාල මොටර් දෙකක් තනිවම බිමට බාන්න හා පටවන්න ගොස් මා හිටියේ බොහෝ සෙයින් හෙම්බත්වි ගෙනය. නැව් නියෝජිතයා හමුවී මෝටර් දෙකක් සමාගමෙන් රැගෙන ආබවත් ඒවා සමගින් නැව වෙත මා රැගෙන යන ලෙස පැවසීමි.

”කෝ ලේටර්ස්?”
”මොන ලෙටර්ස්ද?”
”කෝ මෝටර් දෙකත් එක්ක ලෙටර් එකක් දුන්නේ නැද්ද?”
”නෑ මොකටද?”
”මේක වරායෙන් ඇතුලට ගෙනියන්න බෑ. කම්පැනියෙන් ලෙටර් එකක් අරගෙන ආවේ නැද්ද?”
ඔහු මගේ ඇඟට ගොඩ විය.
”මොන ලියුමක්ද? මට මේක මෙහෙට අරන් එන්නවත් ලියුමක් දුන්නේ නැති කොට.”
”දැන් මේ නැවට අරන් යන්න බැහැ. නැවේ අය බලන් ඉන්නවා මේක ගේනකම්. ඔයා පරක්කු වෙලත් ආවෙ.”
”මොන පරක්කුවෙලාද? උදේම බස් එකට දා ගත්තේ. කොහොමත් කොළඹ ඉදන් මෙහෙට එන්න පැය හයක්වත් යනවානේ.”
දැන් මේකට ලියුමක් ආපහු කම්පැනියෙන් අරගෙන එන්න  ඕනේ. ඔහු දුරකතනය ගෙන සමාගමට ඇමතුමක් ගන්නට විය. අධික තෙහෙට්ටුව මා විඩාවට පත්කර හමාරය. සමාගමේ නිලධාරින් හෝ මේ නැව් නියෝජිතයා හෝ කලයුතු එහෙත් මා ලවා අමාරුම වැඬේ කරගත් පසුත් කිසිදු ස්තූතියක්වත් නොමැතිව ලියුමක් ගැන මොහු ඇසීම මා හට ගෙන දුන්නේ කෝපයකි. ටෙක්නිකල් සුපිරින්ටන්ඞ්වරයාගේ වගකීමක් වූයේ එවැනි ලිපියක් ඇවැසි නම් එය මා අත ත‍්‍රිකුණාමලයට එවීමයි. කිසිදු ලියවිල්ලක් ලබානොදී මෙලෙස වගකීමෙන් තොරව කළ ක‍්‍රියාවෙන් නියෝජිතයාද අසරණ වී සිටියි.

”මේච්චර දුරක් චෙක් පොයින්ට් වලින් බේරිලා මෙතනට ගෙනාවේ මොන ලියුමක් වත් නැතිව. ඔයාට මේ මෝටර් දෙක ගෙනියන්න බැරි නම්  ඕවා මෙහෙ තියාගන්න. මාව නැවට ගිහිල්ලා දාන්න.”
අවසානයේදී මා කීවෙමි. ඔහු ටික වේලාවක් රැඳී සිටින ලෙස මා හට දන්වා ද්‍රවිඩ බසින් මොනවාදෝ කියමින් එළියට බැස ගියේය. මද වේලාවකින් බෝට්ටුකරු පැමිණ ඔහු හා යන්නට වේලාව හරි බව සංඥා කළේය.  සුපුරුදු මුහුදු ගමනින් පසු ප‍්‍රීමා ජැටියට අප බෝට්ටුව ළඟාවෙද්දී පාන්පිටි ගෝනි පැටවීමේ කාර්යයන් සිදුවෙමින් පැවතුනි.
ගමන් තෙහෙට්ටුව හා බඩගින්නද මා පෙලන්නට විය. නැවට ගොඩවූ මා ඉක්මනින් ගැලියට ගොඩවූයේ ඒ වන විටත් දිවා ආහාරය වේලාවද පසුවී තිබූ බැවිනි. ප‍්‍රධාන අරක්කැමියා මා දෙස විමතියෙන් මෙන් බැලීය. ඉක්මනින් ආහාර ගැනීමෙන් පසුව ඇඳුම් ගලවා දමා  ඕවරෝල් එකෙන් සැරසී ගෙන ඒන්ජින් කාමරය වෙත ගියෙමි. කඞ්ඩාද මා වෙත අමුතු බැල්මක් හෙලීය.

”ඇයි බං මොකද වුණේ?”
”මොනවා වෙන්නද කොළඹ ගියා බඩු ටික බාරදුන්නා. මෝටර් දෙක අරගෙන ආයෙත් ටි‍්‍රංකොවලට ආවා.”
”දවස් දෙකයිනෙ බං.”
මම ඔහුව ගණනකට නොගෙන පැවසුයෙමි. මද වේලාවකින් ප‍්‍රධාන ඉන්ජිනේරුතුමා හමුවන ලෙස පණිවිඩයක් මා වෙත ලැබිනි. ඔහු දුන් රුපියල් දාහේ ඉතිරි මුදල්ද සමඟින් මා ඔහුගේ කාමරය වෙත පියවර තැබුවෙමි. ඔහු වෙතින් ලැබුනේ එතරම් ප‍්‍රියමනාප සුහද පිලිගැනිමක් නොවිය.
”කෝ මෝටර් දෙක?”
”ඒක ඒජන්ට් ගාව චීෆ්”
”ඇයි ඒක අරගෙන ආවේ නැත්තේ?”
ඔහු තරමක කෝපයෙන් මෙන් ඇසීය.
”එයාට ඒක අරගෙන එන්න ලියුමක් නැහැයි කිව්වා. ඒ නිසා ඒවා තියාගෙන මාව එක්කගෙන ආවා.”
”ඇයි මිනිහෝ ලියුමක් එහෙන් අරගෙන එන්න එපැයි. ඇයි එහෙට පරක්කු වෙලා ගියේ?”
”එදා කොළඹට යනකොට ? දහය විතර වුනා. ඉතිං මම මිස්ටර් .........ත්නට කෝල් කරලා කිව්වා. පහුවෙනිදා උදේම ගිහිල්ලා බඩු ටික භාර දුන්නා.”
”ඇයි එදා මෝටර් ටික අරන් ආවේ නැත්තේ?”
”ඇයි චීෆ්නෙ කිව්වෙ හවස් වෙලා එන්න එපා කියලා. එයාලා මෝටර් දෙක හවස දෙක පහු වෙනකම් ඉදලාත් මට දුන්නෙ නැහැ. මට කිසිම ලියුමකුත් දුන්නෙත් නැහැ. ලියුම් ගන්න හිටියා නම් මේ වෙලාවටවත් එන්න වෙන්නේ නෑ.”
මා අත තිබූ ඉතිරි මුදල් ඔහු අතට පත් කරමින් කිවෙමි.

ඔහු තරමක නොරිස්සුමකින් මෙන් මා හට යන්නට කීවේය. පසුව නැවේ කිහිපදෙනෙකු මා සමාගමට ගොස් මොකද වීයැයි විමසන්නට විය. නිවසට ගොස් ආපසු නැවට එන්නට ලැබීම ගැන සතුටකින් පසුවූ මා හට එය එකවරම වැටහුනේ නැත. පසුව තේරුම් ගිය පරිදි සමාගමේ ටෙක්නිකල් සුපිරින්ටන්ඞ්ට සර් නොකියා මිස්ටර් කියා ඇමතීමෙන් ඔහුගේ උදහසට ලක්වි මොටර් දෙකේ ප‍්‍රමාදය මා පිටින් යවා ඇති බව වටහා ගතමි. ඇත්තෙන්ම මා හට ඔහු කෙරෙහි ඇති වූයේ දැරිය නොහැකි කෝපයකි. නැවකට ආධුනිකයෙක් වූ මා වෙත කිසිදු ලියවිල්ලක් නොමැතිව අධික යුධ වාතාවරණයක් සහිත කාලයක එවැනි ප‍්‍රදේශයකට මෝටර් දෙකක්ද සමඟින් පිටත් කරහැරීමෙන්ද ඔවුන්ගේ ප‍්‍රමාදය වසාගන්නට මා යොදවාගෙන එදින මොටර් දෙක පිටත් කර එවන්නට නොහැකි වූ බව ඔවුන් නැවේ ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාට හා කපිතාන්වරයාට දන්වා ඇත. එකළ ජංගම දුරකතන බහුල ලෙසින් භාවිතා නොවූ බැවින් නැවේ ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාට නියමිත දිනයේදී සමාගමෙන් මෝටර් දෙක මාහට බාර නොදුන් බව දන්වන්නට නොහැකි විය. යම් හෙයකින් නැවට එම විස්තරය දන්වාලිය හැකි වූවා නම් මා නිර්දෝෂී වන්නට තිබුනි. 


සයුරේ ආ මඟ 

 

Saturday, September 15, 2018

නැවෙන් ති‍්‍රකුණාමලයට බසයෙන් කොළඹට - සයුරේ දසවසක් - 4


බලන බලන අත දිස්වන්නේ තද නීල වර්ණ මහා සාගරයත් සිතිජයත් ලා නිල් පැහැති ගුවන්තලයත් පමණි. අප මහා ජලකදක් මැද තනිවි ඇති සේයකි. විටෙක චන්ඩ වන සාගරය විටෙක සාන්තදාන්ත ලෙසින් හැසිරේ. මහා සාගරයත් ගැහැණියකගේ සිතක් මෙන් යැයි කවුදෝ කීවේ මේ නිරන්තර වෙනස්වන සුුලු බව නිසා විය හැකිය.
 



ඈතින් දිස්වන්නේ ප‍්‍රීමා පිටි  කම්හලයි

 මුහුදු ගමනේ දෙවන දවසත් නිමා විය. පලමු දිනයේ මෙන් නැව් තට්ටුවේ නිදාගැනීමට නොගියේ පෙරදිනමෙන් පැද්දිල්ලට බියෙන් අවදි වී සිටීමට සිදුවන බැවිනි. අපගේ මෙස් රුමයේ ලෑලී බංකුවක් උඩ නිදාගන්නට ගියත් එය සිතු තරම් පහසුවුයේ නැත. වැඩවසම් යුගය සිහිපත් කරවන මේ නෞකාවේ නැවියන්ගේ මෙස් රුම් හි හිදගන්නා බංකු සියල්ල හැඩගැසු ප්ලයිවුඩ් ලීයෙන් සැකසූ කුෂන් රහිත එවායි. එහෙත් නිලධාරින්ගේ මෙස් රූමයේ තිබුනේ සැප පහසු කුෂන් වලින් සැකසු පුටුය. පැතලි මෙට්ටයක් උඩ සැප පහසුවට නිදාගත් මෙමට දෙපැත්තට පැද්දෙන නැවක හැඩගැසු බංකුවේ නිදා ගැනිම කොතරම් අපහසුකාරිවුවත් නිදන්නට වෙන තැනක් නොමැති බැවින් වෙන විකල්පියක් තිබුනේ නැත. නැවට අනුයුක්ත කල පෑස්සුම්කරුවෝ දෙන්නෙකුත් අනෙක් බංකු දෙක අල්ලාගෙන සිටියේය. ඩියුටි මාරුවෙන අයත් විටෙන් විටෙ එහා මෙහා යාමත් නින්දට බාදාකරවන්නක් වුනි. පසුදා අවදිවන විට සිරුරේ එක් පැත්තක් තලා දැමුවාක් මෙන් දැනෙන්නට වුයේ හැඩගැසු බංකුව නිසාය.   

මුහුදු ගමනේ තුන්වන දිනය ඇරඹුනි. අපහසුවෙන් කෑම ටිකක් ගලනාලයෙන් පහලට තල්ලුකරවාගෙන එන්ජින් කාමරයට ඇතුල්වුනිමි. ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාගේන් අණ ලැබුනේ එන්ජින් කාමරයේ වර්ක්ෂොප් හි තිබූ මළබැදුනු ඇණ හා මුරිච්චි පිරවූ බාල්දි කිහිපයක් පෙන්වා ඒවා සුද්දකර ඇණ හා මුරිච්චි එකට සවි කර දෙන ලෙසය. ඇන කිහිපයක් සුද්දකරද්දී ඔහු කීවේ නෞකාවේ පිටුපස තට්ටුවට ගොස් මේ  ක‍්‍රියාව සිදුකරන ලෙසය. ඞීසල් බාල්දියක්, ඇණ බාල්දියක් හා වයර් බුරුසුවක් ගත් මා ඒවා රැගෙන නැවේ පිටුපස තට්ටුවට ගිියෙමි. එකින් එක ඇණය බැඟින් ගෙන ඞීසල්වල පොඟවා වයර් බුරුසුවෙන් පිරිසිදු කරන්න පටන්ගත්තා පමණි.
”ඔය මොනවද මල්ලි කරන්නෙ?”
”මේ ඇණ තෝරලා පොට හොඳට තියෙන ඒවාට මේ නට් දාලා ගන්න කිව්වා.”
”කවුද කිව්වේ?”
”චීෆ් ඉන්ජිනියර්.”
”දැන් කීයක් විතර තේරුවාද?”
සුද්දකල ඇණ පහක් පමණ ඔහුට පෙන්වුවෙමි.
”මිනිහට පිස්සුද කොහෙද. මේක කරන්න පුළුවන් වැඩක්ද. උඹට මාසයක් විතර යයි ඔය ඇණ බාල්දි ටික සුද්ද කරන කොට. ඔය පොට ගිය ඇණ වැඩක් ගන්න පුළුවන් ඒවා විතරක් තොරලා අනික්වා මුහුදට විසික් කරපං.”
ජයතිස්ස අයියා පවසා යන්නට ගියේය. පැවරු වැඩය ලේසියි හිතුවාට බැංකුවක ඇණ තියාගෙන ඞීසල්වල දැමු ඇණ සුද්ද කිරීමට කොතරම් අසීරුද යන්න මට පසක් වූයේ වයර් බුරුසුවේ වානේ කම්බි මාගේ ඇඟිලිවල වැදී තුවාල වී ඞීසල්වලට දැවිල්ල ඇල්ලීමෙන්ය. වැඩකට ගත නොහැකි ඇණමුරිච්චි පිරිසිදුකරන්නට කියා වැඩක් පැවරා ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා මා නැවේ තට්ටුවට දැමුවේ ටිකෙන් ටික නැවේ පැද්දීමට ඔරොත්තුදීමට හැකිවන ලෙස යැයි මට අද හිතෙයි.


             පැවරු වැඩය අවසන්වුයේ නැත. වෙන වැඩක් පැවරු නැති බැවින් පසුදිනටත් මා ඇණ සුද්ද කරන්නට පටන් ගතිමි. මෙය කොතරම් මෝඩ වැඩක් දැයි මටම පසක් වූයේ සුද්ද කළ හැකි වූ ඇණ සංඛ්‍යාව දුටු විටය. මළකඩ සුද්ද කළ පසු ඇණයේ පොට තුවාල වී හෝ වෙනයම් දෝෂ සහිතයක් වූයේ නම් මා එම ඇණය සුද්ද කිරීමට යොදනු ලැබූ කාලයත් මාගේ ශ‍්‍රමයත් නිරපරාදේ වැයකිරිමක් විය. ඔයිලර්වරයා කී පරිදි ඇණය අතට ගත් ප‍්‍රථම අවස්ථාවේදීම එය මදක් නිරීක්ෂණය කර නැවේ ගන්වෝල් එකට උඩින් මුහුදට එකින් එක විසික් කළෙමි. මෙසේ ගාල්ල වරායේ සිට ත‍්‍රිකුණාමලයට යන තෙක් ලීටර් විස්සේ තීන්ත බාල්දි පහක් පමණ පුරවා තිබූ ඇණ හා මුරිච්චි විශාල සංඛ්‍යාවක් එකින් එක  ඇණය බැගින් මුහුදට විසි කරදැමින. අවසානයේ මා නැවේ වර්ක් ෂොෆ් එකට ගොස් දැමුවේ තීන්ත බාල්දියේ හතරෙන් එකක් පමණ අඩු ඇණ සංඛ්‍යාවකි.


                ගාල්ලෙන් පිටත්වු අප නෞකාව ත‍්‍රිකුණාමලය වරායට ආසන්නයට පැමිණිමට දින හතරකට ආසන්න කාලයක් මුහුදු ගමනක් ගතකරමින්ය. ලංකාවේ ජනවාර්ගික යුද්ධය දරුණුවට පැවති ඒ දිනවල උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල නැව් ගමනාගමනය ගොඩබිමින් ඉතා දුරින් අන්තර්ජාතික මුහුදු සීමාවට ආසන්නයේ ගමන් කළේ මුහුදු කොටින්ගේ ප‍්‍රහාරවලට ලක්විමට ඉඩඇති බැවින්ය. ත‍්‍රිකුණාමලය වරායට ඇතුලූවෙද්දී කලින් මාගේ සුපුරුදු ඩියුටිය වූ ස්පැනරයක් ගෙන එන්ජිමේ කුඩා සිලින්ඩරය අසලට වි එයට තට්ටු කිරීමට සූදානම්වුයෙමි. නැව ජැටියට හේත්තු කළ පසු එන්ජින් කාමරයේ සියලූ වැඩ කටයුතු අවසන් කරවන්නට තවත් පැය භාගයක් පමණ වේලාවක් ගතවිය. ලංකාවේ විශාලතම හා ස්වභාවික වරායක් වූ ත‍්‍රිකුණාමලය වරාය ගැන අසා තිබුණත් කිසි දිනෙක ලංකාවේ නැගෙනහිර ප‍්‍රදේශයට පැමිණ තිබුණේ නැත. එන්ජිමේ වැඩ කටයුතු ඉවර වූ වහාම ඉන් එළියට බට මා ඉක්මනින් ඉහළට දුවවිත් ප‍්‍රධාන තට්ටුවට ආවේ  ති‍්‍රකුණාමලය දකින්නටය. අප නෞකාව පැමිණ නවත්වා තිබුනේ ලංකාවට පාන් පිටි සපයන ප‍්‍රීමා සමාගම් භූමියේ තිබු ජැටියේය. ඈතින් ක‍්‍රීම් පැහැති විශාල බම්බු කිහිපයක් එකිනෙකට යාකර සිටවා තිබෙන අයුරින් තනවා තිබූ තිරිඟු ඇට ගබඩා සංකීර්ය දිස්වුනිි. නැව නවතා තිබූ ජැටිය ආසන්නයේ විශාල ගබඩාවක් විය. ඉතා පිරිසිදු තත්ත්වයෙන් වූ එම සමාගම් භූමියේ පාන්පිටි පිටි බිඳුවක්වත් දක්නට නොවීම මා පුදුමයට පත් කළේය. ගල්කිස්සේ තැපැල් කාර්්‍යාලය පසුකර ඉදිරියට ගිය විට ධර්මෝදය විද්‍යාලය ඉදිරිපිට තිබු පාන්පිටි ගබඩාව සිහිපත්වුනි. පාන්පිටි ඇගපුරා නාගෙන පියර බබ්බු සේ සිටි සේවකයින් හා හැමතැනම හැලුණු පාන්පිටිද ඉන් නැගුණු පුස්ගඳ අනුව මා සිතා සිටියේ පාන්පිටි නිපදවන ප‍්‍රිමා සමාගමත් එසේ ඇති ලෙසිනි. මල්ගස් වවා සුන්දර ලෙසින් ඇති පී‍්‍රමා සමාගම ඉතා පිරිසිදු ස්ථානයක් විය.




අප නැවේ ප‍්‍රධාන ඉන්ජිනේරුතුමා මා සොයාගෙන ආවේය.
”ඔය ළමයගෙ ගෙවල් කොළඹද?”
”ඔව් චීෆ්.”
”කොහේද?”
”ගල්කිස්සේ.”
මම පිළිතුරු දුනිමි.
”පුළුවන්ද අද ගෙදර ගිහිල්ලා එන්න.”
ඔහුගේ එම වදන් ඇසූ විගසම හිසේ මලක් පිපුණා වැනි සංතෝෂයක් ඇතිවිය.
 ”පුළුවනි.”
”එහෙනම් ගිහිල්ලා ඇඳගෙන එන්න.  ආ ඔයා ගාව බෑග් එකක් තියෙනවා නම් ඒකත් අරගෙනම එන්න.”
මගේ සතුට උතුරා යන්නට විය. ඉක්මනින් එන්ජින් කාමරයට දිව ගොස් කඞ්ඩාට මම කොළඹ යන බව පවසා සිටියෙමි. ඔහුට එය අදහා ගත නොහැකි වූවා සේ මා දෙස විමතියෙන් මෙන් බලා සිටියේය. ඉක්මනින් කැබින් කාමරයට දිව ගොස් යුහුසුලූව මගේ කුඩා බෑගයේ ඇඳුම් සියල්ලම එළියට ඇද දමා බෑගය ගත්තෙමි. යුහුසුලුව හැඳ පැළඳගත් මා ගමන් මල්ල රැගෙන ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා හමුවීමි.
 ”මේ බඩු ටික බෑග් එකට දාගන්න.”
ඔහු තම කැබින් කාමරයේ පසෙක තිබූ ඉටි කොළයක දවටා තිබූ යම් කිසි දෙයක් මාගේ ගමන් මල්ල තුළට දැමීය.
 ”මෙන්න මේ ලියුම අරගෙන යන්න. ගිහිල්ලා කම්පැනියේ මිස්ටර් .......මස්ව මුණ ගැසෙන්න. දන්නවානේ එයා කවුද කියලා?”
”නෑ චීෆ්.”
”මිස්ටර් .......මස් තමයි ටෙක්නිකල් සුපරින්ටන්ඩන්ඞ්. එයාට ගිහිල්ලා මේ බඩු ටික භාර දෙන්න. එයා දෙයි මෝටර් එකක්. ඒක අරගෙන ආපහු ඉක්මනටම මෙහේට එන්න  ඕනේ. හරිද?”
”හරි චීෆ්.”
”මතක ඇතිව ඔයාගේ පාස්පොට් එකයි සීඞීසී එකයි කැප්ටන්ගෙන් අරගෙන යන්න. මේ ලියුම ආමි එකෙන් හරි පොලීසියෙන් හරි චෙක් කළොත් පෙන්නන්න. මෙන්න තියෙනවා මිස්ටර් .......මස්ගේ ටෙලිෆෝන් නොම්බරේ බැරි වෙලාවත් එයාට ගන්න බැරි වුනොත් මේ එයාගේ ඇසිස්ටන්ගේ නොම්බරේත් මේ එක්කම ලියලා තියෙනවා. එයාට කතා කරන්න. අදම ගිහිල්ලා මේ බඩු ටික කම්පැනියට භාරදෙන්න යනකොට හවස් වෙයි. හෙට උදේම මෝටර් එක අරගෙන ආපහු එන්න.”
”හොඳයි චීෆ්”
”මතක තියාගන්න දවල් දොලහ පහුවෙලා කොළඹින් ත‍්‍රිකුණාමලේට එන බස්වල නගින්න එපා.”
”ඇයි චීෆ්”
”මෙහේට එන්න පැය හයකට වඩා යනවා. හවස හයෙන් පස්සේ හබරනින් මෙහාට පාර වහනවා ආමි එකෙන්. ඒ නිසා හවස් වෙලා බස් එකට නගින්න එපා. මෙන්න මේ සල්ලි තියාගන්න බස් එකේ වියදමට.”
ඔහු රුපියල් දාහක නෝට්ටුවක් මා අතට පත් කළේ ලිපි දෙකක්ද සමඟින්ය. පාස්පෝට් එකේ සීඞීසී යත් මා සුරතට පත්විය.
 ”පොඞ්ඩක් ඉන්න දැන් ඒජන්ට් එයි. එයා ඔයාව ටවුමට අරගෙන යයි. එතනින් කොළඹට යන්න ඉන්ටර්සිටි බස් තියෙනවා.”


              කිසිදා නොදැකපු ත‍්‍රිකුණාමලය බස් නැවතුම පිළිබඳව චිත‍්‍රයක් මනසට නගා ගැනීමට උත්සාහ කළෙමි. පහළ තට්ටුවට ගිය මා මෙස් රූම් එකේ මේසයක් මත ගමන් මල්ල තබා එහි ටික වේලාවක් රැඳී සිටියේ ත‍්‍රිකුණාමලයේ අප නැව් සමාගම් නියෝජිතයා එන තුරුය. නියෝජිතයාගේ ප‍්‍රමාදය සිතේ නොවසිල්ල ක‍්‍රමක් ක‍්‍රමයෙන් වැඩිවෙන්නට වුනි. මද වේලාවකින් පට පට ශබ්දයක් මුහුද දෙසින් ඇසෙන්නට විය. ලීයෙන් සාදන ලද කොළ පැහැති පැරණි පන්නයේ කුඩා බෝට්ටුවක් ජැටියට අල්ලා නැවැත්වීය. ඉන් ගොඩ බැසගත් ද්‍රවිඩ තරුණයන් දෙදෙනෙකු යම්කිසි බඩු භාණ්ඩද තොගයක් ජැටියට ගොඩබා එවා ඔසවාගෙන අප නැවට ගොඩ විය. නැව් නියෝජිතයා යැයි සැළකෙන පුද්ගලයාද විශාල ෆයිල් කවරයක්ද කිහිල්ලේ රුවාගෙන කැප්ටන් සොයා ඉහළමාලයට ගියේය. තවදුරටත් මා මෙස් රූමයේ රැඳී සිටියේ නොඉවසිලිමත්කමකිනි. යළිත් පහළ තට්ටුවට ආ ඔහු තමන් සමඟ පැමිණි මැදිවියේ පුද්ගලයෙකුට දෙමළ බසින් මා පෙන්වා යමක් පැවසීය.
”ආ මහත්තයා තව ටිකක් වෙලා ඉන්න වෙයි. දැන්ම යන්නෙ නැහැ.”
”දැන් අපි මේ බෝට්ටුවේද යන්නේ?”
”ඔව් මහත්තයා.”
”මම හිතුවේ වාහනයකින් එයි කියලා. ඇයි අපි බෝට්ටුවක යන්නේ? ඇයි මේ ප‍්‍රීමා එකෙන් එළියට යන්න බැරිද? ”
”ප‍්‍රීමා ෆැක්ටරියේ ගේට්ටුවෙන් අපිට යන්න බැහැ. කස්ටම් එකකක් නැති හින්දා. ඒ නිසා අපි බෝට්ටුවෙන් ජැටියට ගිහිල්ලා එතැනින් තමයි එළියට යන්නේ.”
”එතකොට එතැනද කස්ටම් එක තියෙන්නේ?”
”ඔව් මහත්තයා. කස්ටම් එකයි වරාය පොලීසියයි එතැන තමයි තියෙන්නේ.”
කොණ්ඩය කොටට කපා සිටි මැදිවිය පසු කරමින් සිටින එම බෝට්ටු ක‍්‍රියාකරවන්නා ගැලියෙන් ලබා දුන් තේ එකක් මා සිටි මේසයට එහායින් වූ මේසයක පුටුවක වාඩිගෙන බොන්නට විය. ඒ වන විට තේ වේලාවද පසුවූ බව දැනුනද කෑමට හෝ බීමට පිරියක් නොතිබුණේ මා දැන් යන්නට සුදානම් වන ගමන ගැන සිත තුළ වූ උද්යෝගය හෙයිනි. තවත් අඩහෝරාවක් පමණ ගෙවීගියේ මා සිතින් කොළඹට යන ගමන ගැන සිතුවිලි ගොනු කරමින් සිටිනා විටදීය. 


”යමු මහත්තයා.”
බෝට්ටුකරු මා හට කථා කළේය. තරමක් බරින් යුත් ගමන් මල්ලද ඔසවා ගත් මා ඔහු පිටුපසින් ඇකඩමේෂන් එකෙන් එළියට බැස නැවේ ප‍්‍රධාන තට්ටුවට ගියෙමි. ගොඩබිම් නිවාඩුවක් අරන් ටවුමට යන්නට සිටි නැවේ නාවිකයන් කිහිපදෙනෙකුද අපගේ බොට්ටු ගමනට එක්ව සිටියේය. නැවෙන් බැස ජැටියට ආ අප කුඩා බෝට්ටුවට ගොඩවීමු. ලෑන්ඞ් මාස්ටර් අත්ට‍්‍රැක්ටරයක් මෙන් අතින් හෑන්ඞ් ක‍්‍රෑන්ක් කිිහිප වාරයක් කිරීමෙන් අනතුරුව කුඩා බෝට්ටුවේ එන්ජිම පට පට හඬින් පණ ගන්වාගත හැකිවිය. එහෙට මෙහෙට පැද්දි පැද්දී පැරණි ලෑලි බෝට්ටුව දියරළ කපාගෙන ත‍්‍රිකුණාමල වරායේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර වූ මගී ජැටිය වෙත යාත‍්‍රා කරන්නට විය. දියරළ බෝට්ටු බඳේ වැදී කැඞී බිඳී විසිරෙන සිහින් දිය බිඳු අප සිරුර තෙමාලන්නට විය. බෝට්ටුවේ පැති ආසනයේ කෙළවරට වී විසිරෙන දියබිඳුවලින් තෙමිමෙන් වැළකීමට උත්සාහ කළෙමි. තවත් අඩහෝරාවකට නොඅඩු කාලයක් අප මෙසේ වරාය තුළ යාත‍්‍රා කර ජැටිය වෙත ළඟා විය. පි‍්‍රමා ජැටියේ සිට බෝට්ටුවෙන් අප ආ මෙම මගී ජැටිය මඟින් කින්නියා හෝ මුත්තූර් වෙත මගීන් රැගෙන යාම ඒම සිදු කරනා කුඩා ප‍්‍රමාණයේ නැව් සේවයක් එහි දියත් විය. පසු කලෙක රාත‍්‍රියේ එහි නවතා තිබූ කුඩා නෞකාව LTTE මුහුදු කොටි ත‍්‍රස්තවාදීන් විසින් විනාශ කරන ලද්දේ මෙම මගී ජැටියටද තරමක විශාල අලාභහානියක් ද සිදු කරමින්ය. රේගුවට මා සතු ලිපියද බෑගය තුළ වූ එන්ජිමේ අමතර කොටස් කිහිපයද ඔවුනට පෙන්නා අවසර ගතිමි. 

මගි නැව් ජැටිය


           ඇත්තෙන්ම අප ඇවිත් සිටියේ ත‍්‍රිකුණාමලය නගර මධ්‍යයට නොවේය. බස් රථයක නැග ටවුුමට යා යුතු විය. අප සියළුදෙනා බසයක නැග ත‍්‍රිකුණාමලය නගරයට ගියෙමු. නැවේ සිට අපත් සමගින් ආ එකා දෙන්නා නගරයේ විසිර ගියෝය. පසුව බැලීමේදී මාත් සමඟින් කොළඹ යන බසයට ගොඩවීමට නැවේ නිලධාරියෙකුද එක්වී සිටිනු දැකීම තනිව නොදන්නා පළාතක අතරමංවූවෙකුට අසල්වාසියෙකු මුණ ගැසීම තරම් ප‍්‍රීතිමත් විය. මම ඔහු හා කතා කරන්නට උත්සාහ කළත් ඔහු මා නොතැකූ ලෙසින් සිටින්න උත්සාහ කළේය. බස් නැවතුමට ගොස් කොළඹ යන ඉන්ටර්සිටි බසයක් සොයා බැලූවත් ඒ වන විටත් කොළඹ බලා යන බසය පිරී ඇති බැවින් ඊළඟ බසයට එනතෙක් තව වේලාවක් රැදී සිටින්නට සිදුවිනි. මා සමඟින් නැවෙන් ආ පුද්ගලයා වෙනත් අසුනක අසුන් ගත් අතර මා වෙනත් අසුනක් සොයා ගොස් කවුලූවක් අතර හිඳගතිමි. බසය බොහෝ වේලාවක් පණගන්වා තබාගෙන සිට ගමන් ආරම්භ කලේය.


            දින ගණනාවකින් නිල්ල පිරුණු ගහකොළක් දැකීමට හැකි වීම දෙනෙතට ප‍්‍රිය දසුනක්ම විය. සුළඟ කපාගෙන ඉදිරියට දිවෙන බස්රථයේ කවුලූවෙන් පිටත සිරි නරඹමින් සිටින මා හට තැන තැන බාගෙට ගඩොලෙන් ඉදි වුණු හා කැඞී බිඳී ගිය ගෙවල් ඒවා වසාගෙන කැලය වැවි තිබෙනු දුටුවිට යුද්ධය විසින් මේ පළාතේ ජන ජීවිතය කොතරම් දරුණු ලෙස බිලිගෙන ඇතිද යන්න පසක් විය. බසය හබරන කන්තලේ පසුකර ඉද්ද ගැසුවා වාගේ දිවෙන හබරන කැළෑව මැදින් ගොස් හබරන නගරයට සේන්දු විය. කන්තලේ සිට හබරන තෙක් වූ කැළෑ මාර්ගයේ දෙපසින් මීටර් සියයක් පමණ කැලය ඇතුලට කපා දමා සුද්ධ කර තිබුණේ කොටින් විසින් ක්ලේමෝ හෙවත් පැති බෝම්බ පාර අද්දර ගස්වලට තබා හමුදා බස් රථවලට එල්ල කර පුපුරුවා හැර විශාල මිනිස් ඝාතන කර තිබුණ බැවිනි. දින කිහිපයකට පෙර ත‍්‍රස්තවාදීන්ගේ බෝම්බයකට අහිංසක සිවිල් වැසියන් ගමන් ගත් බස් රථයක්ද අසුවී බොහෝ දෙනෙක් මිය ගිය බව බසයේ වූ කෙනෙකු කියනවා ඇසුනි.
 කන්තලේ සිට හබරන හන්දිය තෙක් එන මාර්ගයේ හමුදා පොළවල් කිහිපයක් අප හට පසු කරන්නට විය. ඔවුන් ආරක්ෂක හමුදා සේවකයින් හැර සමාන්‍ය ජනයා ඇතුලු අනෙක් අයට බස් රථයෙන් බිමට බසින්නට අණ කර මගීන්ගේ හැඳුනුම්පත් හා බෑග්මලූ පරීක්ෂාකර බැලීය. ප‍්‍රධාන පොලේ මුරපොලක් ඇරෙන්නට මා අනෙක් මුර පොළවල්වලින් බසයෙන් බැස නොගියේ ආරක්ෂක අංශයේ සාමාජිකයෙකු නොවුණත් රටේ පිළිගත් රැුකියාවක නියැලූනු ආරක්ෂක අංශයට බෙහෙවින් උපකාරීවන සේවයක නියැලූනු කෙනෙකු හැටියටය. හබරනට සේන්දු වූ බසය තේ පානය සඳහා මද වේලාවක් නවතාලීය. දහවල් ආහාරයද මග හැරුණු නිසාවෙන් දැඩි කුසගින්නෙන් පෙලෙන්නට වුනි. එහෙත් බත් කෑමට තරම් වේලාවක් බසය නතර නොකර සිටින බැවින් ඉක්මන් කෙටි ආහාරයක් හා කූල් බීම බෝතලයකින් සෑහෙන්ට පුළුවන් විය. 


”ගෙවල් කොහෙද?”
”ගල්කිස්සේ”
”ඔය බඩු ටික කම්පැනියට බාරදෙන්නද යන්නේ?”
”ඔව් මට කිව්වා මිස්ටර්.......මස්ට දෙන්න කියලා. ඔයත් කොළඹද යන්නේ?”
”නෑ මම කුරුණෑගලින් බහිනවා. චීෆ් ඉන්ජිනියර්ගේ ගෙදර තියෙන්නේ ඉබ්බාගමුවේ එහෙට ගිහිල්ලා දෙන්න යමක් තියෙනවා ඒකදීලාම ගෙදර යනවා.”
බනිස් කෑල්ලක් හපමින් මෙතෙක් වේලාවක් මා හා කතා නොකර සිටි නිලධාරියාද කතා කරන්නට විය.
”කීයක් දුන්නද වියදමට කියලා?”
”රුපියල් දාහක්.”
ඔහු යළි තම හිස සෙලෙව්වේය. කෑම බීමවල බිල ඔහු විසින් ගෙවා දමන ලද්දෙන් මා හට වියදම් කරන්නට වූයේ බස් ගාස්තු පමණි. කුරුණෑගල ඉබ්බාගමුව අසලින් බසයෙන් බැස ගත් ඔහු යළි කිසි දිනෙක මාගේ ජීවිතයේ හමුනොවුනි. යළිත් බසය කොළඹ බලා පිටත්වන්නට විය. හවස දෙක පසුවී ත‍්‍රිකුණාමලයෙන් පිටත් වූ බසය රාත‍්‍රී නමයත් පසුවී කොළඹ බස් නැවතුමට ළඟා විය.
 


සයුරේ ආ මඟ 






Monday, September 3, 2018

සී සික් සමගින් පළමු මුහුදු ගමන. - සයුරේ දසවසක් - 3

නැව් බදේ හැපෙන මුහුදු රළ ශබ්දය විටින් විට ඇසේ තවමත් කළුවර පහව ගිහින් නැත. පාන්දර වැටුන පින්නෙන් සිරුර තෙමිගොසිනි. තැන නුපුරුදු වුවත් මාහට අවදිවන්නට වුයේ අපත් සමගින් නිදා උන් එකා දෙන්නා නැගිට යන්නට පටන්ගත් පසුය. මා මෙන් කැබින් කාමර අහිමිව සිටි කිහිපදෙනෙකු සමගින් පෙරදින රාත‍්‍රියේ බෝට් ඩෙක් (Boat Deck) හි කාඩ්බෝඩ් කැබැල්ලක් එලාගෙන නිදාගත් බව සිහිපත් විය.




                නෞකාවක ගෙවන දෙවන දිනයත් උදාවුනි. දවසේ වැඩ පටන්ගන්නට පෙර උදේ පාන්දරම සිදුකලයුතු පිරිසිදු කිරිමේ වැඩ රාජකාරි සියුලු පුහුණුවන්නන්ට බෙදා දී තිබුණි. මෙස් රූම් පිරිසිදු කිරිම ඇලිවේ අතුගා මොප් කිරිම හා නානකාමර හා වැසිකිලි සෝදා පිරිසිදු කිරිම මේ අතරින් කිහිපයක් විය.එකිනෙකා තමන්ට පැවරුනු පිරිසිදු කිරිමේ රාජකාරිවලට එක්වුනු අතර වැඩක් පැවරුනු නොලැබු මා ඇලිවේ එකක් පිරිසිදු කිරිමට එක්වුනි. එදින පුරාවටම විවිධාකාර වැඩ රාජකාරිවලට උපකාර කිරීමට මා හට සිදුවිය. 

        සවස් වරුවේ ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා මා හට පැවරූ විශේෂ රාජකාරියක් වූයේ එන්ජින් කාමරයට ඉහළින් වූ ඩෙක් හෙඞ් (Deck Head) එක වෙල්ඩර්වරුන් විසින් කපාදැමීමේදී එන්ජින් කාමරයට වැටෙනා ගිනි අඟුරුවලට වතුර ගසා නිවාදැමීමයි. විවිධාකාර ලිහිසි තෙල් ඩීසල් හා ග‍්‍රීස් ඇතුලු තෙල් මංඩිවලින් ද තෙල්මිශ‍්‍ර වාතයෙන්ද පිරුණු තැනක් වූ එන්ජින් කාමරය ගිනි ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පැවතියේය. මා හට ලීටර් විස්සේ කෙමිකල් බැරලයක් කපා සාදා ගන්නා ලද වතුර බාල්දියක් හා කුඩා කෝප්පයක් ලබාදුනි. ඉහලින්වු යකඩ තහඩුව කපා දැමීමේදී පහලට ඇද වැටෙන උණු යබොර ගුලි වැටෙන වැටෙන වාරයක් පාසා වතුර ටික ටික විසි කිරීමට සිදුවිය. මුලින් හිටගෙන මේ ක‍්‍රියාව සිදුකලත් පැය කිහිපයකට පසුව ඇතිවු කකුල් කෙඩෙත්තුව අධික විම නිසා කුඩා ලෑලි බංකුවක් ළඟට ඇදගත් මා එහි වාඩිගෙන වතුර විසි කිරිම සිදුකලෙමි. 

       සවස් වරුවත් අවසන් වී රාත‍්‍රිය උදා විය. ඉහළ යකඩ තහඩුව කපා අලූතින් යෙදු තහඩුව වෙල්ඩින් කිරීම අරඹීය. මුළු දවස පුරා අධික ලෙස වැඩ කළ මා සිටියේ හෙම්බත් වීගෙනය. තද කුසගින්නක් මෙන්ම නිදිමතද මා වෙලා ගනිමින් පැවතියේය. රාත‍්‍රී අටට පමණ ඉහළින් වැටෙනා වෙල්ඩින් යබොර කැබලි නැවතී ඇති බව නිරීක්ෂණය කළෙමි. මා හට එන්ජින් කාමරය තනි කර දමා ඉහළ තට්ටුවට ගොස් බැලිය නොහැක්කේ යළිත් ඔවුන් වැඩ ආරම්භ කළහොත් යන බිය මා සිතෙහි හොල්මන් කරන්නට පටන් ගත් බැවිනි. තව පැයක් පමණ බංකුව මතට වි බලාසිට  ඕනෙ දෙයක් වෙන්නයි සිතා මා ඉහළ තට්ටුවට ගොස් ඔවුන් වැඩ කරමින් සිටි කැබින් කාමරයට එබී බැලූවෙමි. පෑස්සුම්කරුවන් දෙදෙනා පෙනෙන්නට නොසිටියහ. ඔවුන් තම වැඩය නවතා දමා ගොස් ඇති බව මට වැටහුණි. ඔවුන් වැඩ කරන තෙක් මා මෙහි නිදි කිරමින් කුසගින්නේ එන්ජින් කාමරයේ වතුර බාල්දියත් සමඟින් දිටියදී ඔවුන් වැඩය නවතා දමා හොඳින් නා කියාගෙන රාත‍්‍රී ආහාරයද ගෙන නින්දට වැටී ඇති බව දැක ඇති වූයේ දැඩි කෝපයකි. මේ පිස්සු නැව අත්හැර ගෙදර බලා යාමට තරම් කලකිරීමක් මා සිතට ඇති වූයේ කෑමට කිසිවක් නොවූ බැවිනි. එදින පටන් මා පළමුව ඉගෙන ගත් දෙය නාවික ජීවිතයේදී වේලාවට වැඩ කිරීමය. සියල්ලන්ම ඉටු කරන්නේ රාජකාරියයි. අරක්කැමියාද සිය රාජකාරිය නිමා කර ඉතිරි වූ ව්‍යංජන සියල්ල විසි කර දමා භාජන සෝදා දමයි.
     
            තවත් දින කිහිපයක් ගාලූ වරායේ ගෙවී ගොස් නැවේ කරමින් සිටි අලූත්වැඩියා කටයුතු යම් තරමකට අවසන් කරගැනීමට හැකිවිය. දැන් ඇත්තේ වරායෙන් පිටත්ව ත‍්‍රිකුණාමලය වරාය දක්වා ගමන් ආරම්භ කිරීමටය. සියල්ල සූදානම්ව ඇත. එන්ජින් කාමරයේ වූයේ දැඩි කලබල ගතියකි. නැවේ කාර්යයමණ්ඩලය ලකලැහැස්ති වෙයි. කඞ්ඩා මා හට කථා කළේය.
”මචං ස්ටෑන්ඞ් බයි (Stand-by) දාලා තියෙන්නේ. උඹත් එන්ජින් රූම් එකට වරෙන්.”
මේ වන විට ප‍්‍රධාන එන්ජිම ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියහ. නාවික පුහුණු පාසලේදී ඉගෙන ගත් ක‍්‍රියාවලිය මාගේ මනසට යළිත් මතක් විය. එහෙත් මෙම අවස්ථාවේදී විය යුත්තේ නිරීක්ෂකයෙකු වීම පමණි. ඔයිලර්වරයෙකු (Oiler) දිව ගොස්  සම්පීඩන වායුව (Compressed Air) ටැංකිවලට පිරවීම සඳහා කොම්ප්‍රෙෂර්ය (Air Compressor) ස්ටාර්ට් කළේය. එන්න එන්නම එන්ජින් කාමරේ ශබ්දය දෙසවනට උසුලාගත නොහැකි වන ලෙසින් වැඩිවන්නට විය. ප‍්‍රධාන එන්ජිම දෙසැරයක් පමණ පණ ගන්වා වාමාවර්තව හා දක්ෂිණාවර්තව කරකවා බැලූවේය. විදුලි කාර්මිකවරයා මීටර් පැනල් සියල්ල පරීක්ෂාකර බැලීය. සියල්ල නිවැරදි ලෙස කි‍්‍රයාකරනවාදැයි පරික්ෂාකර බලා අවසන්විය.  ටෙලිග‍්‍රාෆය (Telegraph) නැව ඉදිරියට ධාවනය වන්නට ඩෙඞ් ස්ලෝ එහෙඞ් (Dead slow ahead) සංඥාව දක්වන්නට විය. විදුලිකාර්මිකවරයා සංඥාව දැක්වූ වේලාව බෙල් බුක්හි (Bell Book) සටහන් කරගත්තේය. ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා ටෙලිග‍්‍රාෆ්හි ලීවරය නියමිත ස්ථානයට පත්කර එහි නාදවන සීනුව තනරකර එන්ජිම ඉදිරියට ධාවනය කිරීමට ලීවරය ඉහළට දැමීය. මහත් ශබ්දයක් නංවමින් එන්ජිම ක‍්‍රියාකිරීම ඇරඹීය. එන්ජිමේ ධාවන වේගය වැඩි කිරීමට පුවරුවේ තිබු පැරණී අතින් කරකවන මහන මැසිමක් රෝදයක් වැනි රෝදයක් කරකවමින් එහි වේගය ඩෙඞ් ස්ලෝ එහෙඞ් හි නියමිත වේගයට එන්ජිම පත් කරවීය.    
            
                 දෙවන ඉන්ජිනේරුවරයා මා හට කථාකොට ප‍්‍රධාන එන්ජිමේ වම්පස කුඩා මෝටරයක් වැනි සිලින්ඩරාකාර කොටසක් පෙන්වා එහි අසල කම්බියකින් එල්ලා තිබූ ස්පැනරයක් ගෙන ලෑස්තිව සිටින ලෙසත් ඔහුගෙන් ලැබෙන සංඥාවකට අනුව එම සිලින්ඩරාකාර කොටසට මොකක්දෝ කරන ලෙස මාගේ කනට කර පැවසීය. මට මෙලෝ දෙයක් නොතේරුණ නමුත් මා ඔහු කී ලෙසට එම උපාංගය අසලට වී ස්පැනරයත් අතට අරන් සූදානම්ව සිටියෙමි. නැවේ බ්රිජ් එකෙන් නිකුත් වූ සංඥාව ටෙලිග‍්‍රාෆයෙන් නිකුත් විය. ප‍්‍රධාන එන්ජිම යළි පණ ගැන්වූ ඉන්ජිනේරුවරයා එකවරම කලබල වී මට තට්ටු කරන ලෙසිින් සංඥා කළේය. මාහට කුමක් කරන්නද කියා සිතාගත නොහැකිවිය. එක වරම අසල සිටි ඔයිලර් ජයතිස්ස අයියා මා අත තිබූ ස්පැනරය උදුරාගෙන එකදිගට සිලින්ඩරාකාර කොටසට තඩිබාන්නට විය. දෙවන ඉන්ජිනේරුවරයා දිවවිත් නතරකරන්නට පවසනතුරු ඔහු එයට තට්ටු කරමින් සිටියා මතකය. පසුව දැනගන්නට ලැබුණ පරිදි මෙම සිලින්ඩරාකාර කොටසින් සිදුකරන්නේ එන්ජිම ක‍්‍රියාකරවන ස්ථානයේ වූ වේගය පෙන්නුම් කරන මීටරයට අවශ්‍ය සංඥාව ලබාදීමයි. එන්ජිම ඉදිරියට ධාවනය වෙද්දී එහි දෝෂයක් නොපෙන්වුවත් පසුපසට ධාවනය වන විට එය සමහර අවස්ථාවලදී හරිහැටි ක‍්‍රියානොකරයි. එයට පිළියමක් ලෙස කිහිපවාරයක් තට්ටු දැමූ විට නියමිත ලෙසින් ක‍්‍රියාත්මකවි වේගය පෙන්නුම් කිරිම සිදුකරයි. එතැන් පටන් මම සෑම විටම මෙම නෞකාව වරායකට පිවිසෙන හා පිටවන අවස්ථාවලදී ස්පැනරය ගෙන කුඩා සිලින්ඩරාකාර කොටසට තට්ටු දැමීමට සූදානමින් සිටින්නට පටන්ගතිමි. 

               නෞකාව ගාල්ල වරායෙන් පිටත් විය. ටිකෙන් දියඹට ඇදෙන නෞකාව ගොඩබිමෙන් ඇත්වෙමින් සිටියාය. රූමස්සල කදුවැටිය කුඩා වෙමින් දර්ශණපථයෙන් මිදෙන්න ආසන්නය. එන්න එන්නම මුහුද රළු ස්වභාවයක් ගෙන එන්නට වුනි. තද නීලවර්ණ මහා සාගරය සුදෝසුදු පෙන කැටි අහුරක් නෞකා බදේ හැපෙමින් නැංවන්නට වුයේය. දෙපැත්තට පැද්දෙන බඩු කිසිවක් පටවා නොතිබු හිස් නෞකාව චන්ඩ මුහුදු රළට පැරදුනා සේය. ගාල්ලෙන් පිටත්වූ පළමු දිනයේ සුපුරුදු පරිදි මා ඇතුලූ තවත් කිහිප දෙනෙක් නැවේ ප‍්‍රධාන තට්ටුවට ඉහළින් වූ තට්ටුවක එළිමහනේ බිමට කාඞ්බෝඞ් කැබැල්ලක් දමාගෙන කිළිටි කොට්ටය හිසට තබාගෙන නිදාගන්නට ලෑස්ති වීමු. නැව පැද්දෙන බැවින් මා හට තිබූ විශාලතම බිය වූයේ පැත්තට රෝල් වී ගොස් නැවේ වැටට යටින් මුහුදට වැටේ යැයි සිතට නැගුනායිනි. නින්ද මා අහලකටවත් නොපැමිණියේය. අහස් තලේ කුඩා තරු කැට දෙස බලමින් සිටින මා හට නැවේ එන්ජිමෙන් ඇසෙන ඝෝරනාදයද දුම් බටයෙන් පිටවන දුමද සඳඑළියෙන් දිස්විය. නොනිදා රැය පහන්කල පසු දින මාගේ හිස බමන්නට විය. රාත‍්‍රියේ නිදිමැරීමෙන් වූ තෙහෙට්ටුවද නැවේ පැද්දීම නිසා ඇතිවු කෑම අරුචියද  නිසා උදේ කෑමවේල ගත්තේද නැත.

     ප‍්‍රධන ඉන්ජිනේරුවරයා උදේම වැඩක් ලෙසින් නැවේ ඉදිරිපස වූ හදිසි අවස්ථාවලදී යොදාගන්නා ජෙනරේටර් කාමරය (Emergency Generator Room) පිරිසිදු කරන ලෙසින් පැවරීය. පිරිසිදු කිරීමට අවශ්‍ය රෙදි කැබලි බාල්දියක් ඇතුලූ දේවල් රැගෙන නැවේ ඉදිරියට ගියේ හොඳින් වාත‍්‍රාශය ලැබෙන තට්ටුවේ රාජකාරිය වඩා හොඳ යැයි සිතමින්ය. එන්ජින් කාමරයේ පවතින තෙල් මිශ‍්‍ර වාත‍්‍රාශ‍්‍රය ආඝ‍්‍රහනය කළ විට බඩදගලා එන ඔක්කාරය නිසා තට්ටුවට වී සිටීමට ප‍්‍රිය කළෙමි. නැවේ ඉදිරිපස පැද්දීම වැඩි බව වැටහුණේ එහි වැඩ කරද්දීය. නෞකාවක් දෙපැත්තට පැද්දීම රොලිං (Rolling) ලෙසත් ඉදිරියට හා පිටුපසට පැද්දීම පිචිං (Piching) ලෙසත් හඳුන්වයි. මේ නෞකාව විටෙක රෝලිනුත් විටෙයක පිචිංනුත් සිදුවන්නේ බඩබොකු එළියට ඇද දමන්නට තරමේ සීසික් ඇතිකරවමින්ය. මෙම පැද්දීම වැඩි වෙත්ම කෙලින් සිටගෙන ඉන්නටත් නොහැකි කරමින් විසිවි යයි. පැවරූ වැඩ කොටසින් තුන්කාලක් නිම කිරීමට නොහැකිව දොර අසලට වී වාඩි ගත්තෙමි. හිස කැරකැවීම තවත් වැඩිවේගන එන්නට විය. ඔක්කාර ගතියක් දැනුණත් මා හට වමනය මෙතෙක් නොවීය. හිතට දිරිගත් මා කෙසේ හෝ මෙම වැඩය නිම කරනවා යැයි සිතා ගතිමි. ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා මාගේ වැඩ පරීක්ෂා කිරීමට එහි එන විටත් මා වැඩ කරමින් සිටියෙමි. ඔහු ඉමර්ජන්සි ජෙනරේටර් රූම් එක පරීක්ෂා කර බලා තවත් පිරිසිදු විය යුතු තැන් පෙන්වා පිටත්ව ගියේය.

            දහවල් කෑම මට රුචි නොවීය. මාගේ නාවික පුහුණු පාසලෙන් මෙම නැවට අනුයුක්ත කල දෙවන අවසන් වසරේ ආධුනිකයෙක් වු අප  බක සිල්වා නමින් හැදින්වු එබි වරයෙකු (AB - Able bodied Seaman) මා හට කිව්වේ මුහුදු වතුර පානය කළ පසු සී සික් (Sea sick) ගතිය පහව යනු ඇතැයි කියාය. එහෙත් මා ඔහු පැවසූ පරිදි මුහුදු ජලය පානය කිරීම බැහැර කළෙමි. කඞ්ඩා කෙසේ හෝ කෑම කන ලෙසත් බල කළේය. පිගාන අතට ගත් මා කටවල් දෙකක් පමණ අමාරුවෙන් මෙන් උගුරෙන් පහළට යවා ගතිමි. සවස තේ පානය සඳහා යළිත් නැවේ ඉදිරියේ සිට නැවේ පසුපස පුප් ඩෙක් (Poop Deck) එක වෙත පැමිණෙන විටත් මා සිටියේ අඩක් පණ නැතිවය. මා හට මුහුදු ජලය පානය කරන ලෙස පැවසූ බක සිල්වා
”ඔහොම ඉඳලා හරියන්නෙ නැහැ. සී වෝටර් ටිකක් බීලා බලපන්. මුහුදත් කැළඹිලා තියෙන එකේ බඩත් කැළඹුනාම ඔක්කෝම හරියනවා.”
ඒ වන විට වහ දුන්නත් බොන තරමට මා මානසිකවද ශාරීරිකවද තෙහෙට්ටු වී සිටියෙමි. ප්ලාස්ටික් ජොග්ගුවක් ගත් ඔහු කුඩා ලණුවක එය ගැටගසාගෙන එහාට මෙහාට යනු නැව පිටුපස වූ බොලාඩයක්  (Bollard) උඩ වාඩිගෙන සිටි මාගේ නෙතට අසුවිය.
”ආ මෙන්න මේක බොන්න.”
අඬක් පිරුණු මුහුදු ජලය සහිත ප්ලාස්ටික් ජොග්ගුව මා වෙත දිගු කළේය. දෙසැරයක් නොසිතා ඉන් උගුරු කිහිපයක් ගිල දැමු පසු
”ඔහොම බෑ ඔක්කොම බීලා දාපං.”
කට කොනකින් සිනාසෙමින් ඔහු කීවේය. 

     ගැලියේ සිටි  ස්ටුවඩ් (Steward) මා දෙස බලාගෙන සිටියේය. ඔහු මාගේ නාවික පුහුණු පාසලේ එකම බැච් එකේ අරුක්කැමි පුහුණුවන්නෙකු විය. ලුණු වතුර උගුරු කිහිපයක් අපහසුවෙන් බී ගත් මා ඉතිරිය මුහුදට හලාදැමුවෙමි. ඉන් බඩහි දැගලිල්ල අඩුවක් නොවුණත් සිතට ඔසුවක් වුනි. එන්න එන්නම නෞකාවේ පැද්දිල්ල වැඩිවෙයි. ඉදහිට මුහුදු රළ ප‍්‍රධාන තට්ටුව ආක‍්‍රමණය කරන්නට සැරසෙයි. මාගේ බඩ දගලා ඔක්කාරයට ඒම වැළැක්විය නොහැකිවිය. එකවරම උගුරට ගලා ආ වමනය ගන්වෝ්ල් (Gunwale) එකෙන් පිටතට ඔලූව දමා මුහුදට පිට කළෙමි. මෙතෙක් වේලාවක් අපහසුවෙන් තද කරන් සිටි වමනය පිටකිරිම මෙවර නවතා ගත නොහැකි විය. වමනයට යන්න බඩේ කිසිවක් තිබුනේ නැත. මේ එන ඔක්කාරයට බොකු බඩවැල් සියල්ලද ගැලවි යන්නට මෙනි.  කඞ්ඩා පැමිණ මාගේ පිට අතගාන්නට පටන්ගත්තේය. කිහිප වාරයක් ඔක්කාර කල පසුව අමාරුවෙන් වමනය නතරකරගන්නට හැකිවිය. ටික වේලාවකින් ස්ටුවඞ් ගැලියෙන් එළියට පැමිණ,
”අරූ බක සිල්වා මූට බොන්න දුන්න සී වෝටර් අරන් ආවේ ටොයිලට් එකෙන්” යි කීවේය.
එය ඇසූ වහාම අපහසුවෙන් නතරකරගත් වමනය යලිත් ආරම්භවුයේ ඇතිවු අප‍්‍රියාව හේතුවෙනි. මෙවැනි කැඩා නෞකාවන් වල පිරිසිදු ජලය ගබඩාකර තබාගන්නා ටැංකි විශාල නොවන නිසා වැසිකිලිවල පාවිච්චිය සඳහා වූයේ මුහුදු වතුරයි. මුහුදු වතුර පාවිච්චිය මා හට එතරම් ප‍්‍රිය වූයේම නැත. වැසිකිලියේ වූ කරාමයෙන් මුහුදු වතුර ගෙනවිත් මා හට පෙවූ බව මතක් වෙන වාරයක් පාසා වමනය යෑම නතරකරගන්නට හැකිවුයේද නැත.

සයුරේ ආ මඟ 

පළමු කොටස - පැද්දෙන පොල් ලෙල්ලක් - සයුරේ දසවසක්   



අටුවාව 

බෝට් ඩෙක් (Boat Deck)  ජිවිතාරක්ෂක යාත‍්‍රා / බෝට්ටු රදවා තැබෙන නැව් තට්ටුව (a ship's upper deck on which lifeboats are stored)

ඩෙක් හෙඞ් (Deck Head) නැව් තට්ටුව යට පැත්ත  (A Deckhead is the underside of a deck in a ship. It bears the same relationship to a compartment on the deck below as does the ceiling to the room of a house.)


ස්ටෑන්ඞ් බයි (Stand-by) නෞකාව පිටත් විමට පෙර සුදානම් විම 
 
ටෙලිග‍්‍රාෆය (Telegraph)  නෞකාව පදවන ස්ථානයේ සිට එන්ජින් කාමරය හා නැවේ වේගය සදහා සංඥා  හුවමාරුව කරගන්නා උපකරනයක් (An engine order telegraph or E.O.T., also referred to as a chadburn, is a communications device used on a ship (or submarine) for the pilot on the bridge to order engineers in the engine room to power the vessel at a certain desired speed.)



ඩෙඞ් ස්ලෝ එහෙඞ් (Dead slow ahead) නෞකාව බොහෝම සෙමින් ඉදිරියට ගමන් කිරිම

සී සික් (Sea sick)  මුහුදේ ගමන්කිරිමේදි පැද්දිම නිසා ඇතිවන  වමනය (The signs and symptoms of motion sickness usually begin with a feeling of uneasiness followed by cold sweats and dizziness. Some people may exhibit pale skin and increased saliva production along with headache and fatigue. Nausea and vomiting usually occur after these initial symptoms.)

පුප් ඩෙක් (Poop Deck)  නැව පිටුපස තට්ටුව 

බොලාඩයක්  (Bollard)  නැව හි කඹගෙට ගැසිම සදහා ඇති කෙටි යකඩ කනුව 


ගන්වෝල් (Gunwale) නැවක නැව් තට්ටුවෙන් ඉහලට එසවුනු පැති බද-the upper edge of a ship's or boat's side 

 

Monday, August 13, 2018

ගාල්ලෙන් වැඩ ඇරඹිම - සයුරේ දසවසක් - 2

ඇදුම්  බැගයත් උරයේ එල්ලාගෙන ඇළුමිනියම් ලෝහයෙන් තනා තිබු කුඩා ගැන්වේය (Gang Way) තරණය කිරිම ලෙහෙසි කටයුත්තක් නොවිය. බඩුබාහිරාදිය පටවා නැති හිස්ව තිබෙනා නෞකාවක ගැන්වේ  එක නැගිම මහගිරිදඹය තරණය කිරිමක් සේය. තුම්මුනින් දහඩිය දමමින් නැවේ මේන් ඩෙක් (Main Deck) එකට ගොඩවුනු පසුව හාත්පස නිරීක්ෂණය කරන්නට වීමි. 


මේ තියෙන්නේ මාගේ මුුල්ම නෞකාවේ පැරණි ඡයාරූපයක්


විවිධ වර්ණ  ඕවරෝල් (Overall) හැඳ සිටිනා නැවියන් පිරිසක් එක් පසෙකින් තට්ටුවේ තීන්ත ආලේප කරමින් සිටියහ. තවත් කිහිප දෙනෙකු ඩෙරික් (Derrick) එකක සිට පහළට ආ වයරයක (Wire rope) ග‍්‍රීස් තවරමින් සිටියහ. තවදුරටත් එතැන රැඳිය නොහැකි වූයේ පරීක්ෂාකාරී ඇස් කිහිපයක් මා දෙසට යොමු වන්නට වීම බැවිනි. මේන් ඩෙක් එක හරහා ඇවිද ගොස් ඇකමඩේෂන් (Accommodation) එකට ඇතුලුවුනෙමි. යන එන මාර්ගයක් සොයාගත නොහැකිව වට පිට බලද්දි මා ඉදිරියට ආ පුද්ගලයෙකුගෙන් නැවේ කපිතාන්වරයා කොහේදැයි ඇසුවෙමි.
”අද කැප්ටන් ගෙදර ගිහිල්ලා. ඇයි මොකක්ද වුවමනාව?”
”මම ටේ‍්‍රනින්......... මේ මගේ ඩොකිියුමන්ට් ටික දෙන්න.”
”ආ...... උඩට ගිහිල්ලා වම් පැත්තේ කැබින් එකේ චීෆ් ඔපිසර් ඇති. එයාට දෙන්න.”
කට කොනකට මද සිනාවක් නගා ගත් ඔහු මාගේ හිස සිට දෙපතුළ දක්වා විමසිලිමත් බැල්මක් දැමීය. ඔහු කී මග සළකුණු ඔස්සේ තරප්පු පෙළ නැග ඊළඟ තට්ටුවේ පිහිටි කාමර පෙළකට ඇතුලූ වීමි. එක සමාන වසා තිබූ දොරටු වලින් යුතු කාමර පෙළෙහි චීෆ් ඔපිසර්ගේ කාමරය එකවරම සොයා ගත නොහැකිවුනි. එහෙත් එම කාමරයෙහි ඉහළින් නම සඳහන් වීම නිසාවෙන් කාමර කිහිපයක් පසුකරගෙන ගොස් සොයාගත් නියමිත කැබීන් කාමරයේ දොරට තට්ටු කිහිපයක් දැමූ පසු
”එන්න.”
ඇතුලතින් ආරාධනයක් ලැබුණි. කුඩා කාමරයේ මේසය මත කඩදාසි ගොඩක් තබාගෙන ලියමින් සිටි පුද්ගලයෙකු මා දෙසවත් නොබලා තම රාජකාරියේ යෙදී සිටියේය. මැදිවිය පසු කරමින් සිටින තළෙලූ හා මුහුණ පුරා රැවුල වවා සිටියෙකු වූ ඔහු දෙස නිහඬව බලා සිටියේ ඔහුගේ කාර්යය අවසන් වන තුරුය. මාගේ නිහඬතාවය නිසාවෙන් තම වැඩ කොටස නවතා දමා හිස ඔසවා බලා තම උපැස් යුවල ගලවා අතට ගත්තේය.
”ඇයි?”
”මම අලූතින් ආපු ටේ‍්‍රනින්.....”
”කෝ ඔයාගේ ඩොකිියුමන්ට්ස් ටික දෙන්න. මම කැප්ටන් ආපුවාම බාර දෙන්නම්.”
මා අත තිබූ ලිපිකවරය ඔහුට භාර කළෙමි. ඔහු එය විවෘත කර අදාල සියලූ දේ එතැන ඇද්දැයි පරීක්ෂාකර බලා
”එහෙනම් දැන් ගිහිල්ලා චීෆ් ඉන්ජිනියර්ව මුණ ගැහෙන්න. එයා දැන් නම් ඇත්තේ එන්ජින් රූම් එකේ. එන්න කෝකටත් අපි බලමු කැබින් එකේ ඉන්නවාද කියලා.”
ඔහු තම අසුනින් නැගිට මා කැටිව වම් පැත්තේ කැබින් පෙළට රැගෙන ගියේය. එහි වූ දොරකට තට්ටු කළ ඔහු දොර විවර කර බැලීය.
තෙල් ගෑවුණු  ඕවරෝලයක් හැඳ කැබිනයේ වූ කුඩා සෝපාවේ නිදා හුන් ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා එකවරම කාමරයේ දොර විවර කරන හඬින් තිගැස්සී අවදිවුනි.
”ආ මෙන්න අලූත් ගෝලයෙක් ඇවිල්ලා.”
ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා තම සෝපාවේ අසුන් ගත්තේය.
”කොහෙන්ද ගාල්ලේ එකෙන්ද?”
”ඔව්”
”නම මොකක්ද?”
”අසංග”
”ගෙවල්?”
”ගල්කිස්සේ”
”ඔයාලගෙ එකෙන් ආව කෙනෙක් ඉන්නවා එයාව දන්නවාද?”
”ඔව් චීෆ් එයා මගෙ බැච් එකේ.”
”ඉන්න.”
ඔහු මේසය පසෙක තිබූ ටෙලිෆෝනය ගෙන අංකයක් ඔබා කාටදෝ ඇමතුමක් දීය. විනාඩි පහක් ඇතුළත මගේ බැච් මේට් කඩ්ඩා ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාගේ කාමරය ඉදිරියේ දිස්විය. ඔහු මා දෙස බලා මද සිනහවක් පෑවේය.
”ඔව් චීෆ්”
මෙයා ඔයාගෙ බැච් එකේ නේද?
”ඔව් චීෆ්”
”එහෙනම් මෙයාව එක්කගෙන ගිහිල්ලා කැබින් එක පෙන්නන්න. ඊට පස්සෙ එන්ජින් රූම් එකට එක්කන් ගිහිල්ලා සෙකන්ඩ් ඉන්ජිනියර්ට භාර දෙන්න.” කී ඔහු යළිත් තම කුඩා සෝපාවේ ඇලවිය.
”යමු මචං.”
කඩ්ඩා මට ඉස්සර විය. මා ඔහු පිටිපසින් ගමන් කළේ පිටසක්වලින් ආ ජීවියෙකු මෙනි. යළිත් තරප්පු පෙළ තට්ටුවක් බැස ආ අපි
”මේ තියෙන්නෙ අපේ මෙස් රූම් (Mess Room) එක එහායින් තියෙන්නේ ගැලිය.(Galley)”
 කී ඔහු මෙස් එක අසලින් වූ තරප්පු පෙළක් බැස යට තට්ටුවට මා රැගෙන ගියේය. පහළ තට්ටුවට තරප්පු පෙළ මතින් පහලට ආ පසු මේ තට්ටුව වම්  හා දකුණු පසට ඇලිවේ එක දෙපසට බෙදී යයි. මැදින් වූයේ එන්ජින් කාමරයයි. තරප්පු පෙළ පසුපසින් ඇතුළට විහිදුන කුඩා පැසේජයක් වූයේ නැවේ සුක්කානම් කාමරය හෙවත් ස්ටියරින් රූම් එක හමුවෙයි. එය ආසන්නයේ වූ කාමරය වූයේ වියළි ආහාර ගබඩාවයි. මෙම තට්ටුව නැවේ ප‍්‍රධාන තට්ටුවට පහළින් වූ තට්ටුව වූ අතර නැව බඩු වලින් පිරුණු කල වතුර මට්ටමට ආසන්නයේ අඩි දෙක තුනක් පහළින් පැවතියේය. තරප්පු පෙළින් දකුණු පසට වන්නට වූ කාමර පෙළෙහි තුන්වන කැබින් කාමරය වෙත මාව රැගෙන ගිය කඞ්ඩා,
”මෙන්න මේ කැබින් එකේ තමයි දැනට ඉන්න වෙන්නෙ. පේනවා නේද ඔක්කොම කැබින් ගලවලා දාලා තියෙන්නෙ.” යි කීය.
”කොහෙද බං ඇඳුම් බෑග් එක තියන්නේ?”
හැම තැනම බෑග් ඇඳුම් කැඩුම් දමා ඉතාමත් අපිළිවෙළකට තිබූ එම කැබින් කාමරයේ බෑගය තබා ගැනීමටවත් ඉඩක් නොතිබූ ගානය. ඇඳ ඇතිරිලි පොඩිවී ගොස්ය. කොට්ටයේ උරය පවා කිළිටි වී ගොස් ඇත. එම කැබින් කාමරයේ ඇඳවල් දෙකක් වූ අතර ඉහළින් හා පහළින් වශයෙන් ඩබල් ඇඳන් දෙකකින් යුක්තවුනි.
”දැනට ඔය උඩ ඇඳින් තියහං. එහෙනම් ඉක්මනට  ඕවරෝල් එක දාගෙන පහළට වරෙන්. මම දැන් ඩියුටි ඉන්නෙ. ඉක්මනට පහළට යන්න  ඕනෙ.”
”මචං මාර බඩගිනියි බං. තාම දවල්ට කාලාත් නෑ.”
”දැන් කෑම තියෙයිද දන්නෑ. වරෙන් ගැලියට ගිහිල්ලා බලමු.”
අප දෙදෙනා තරප්පු පෙළ නැග ඉහළ තට්ටුවේ වූ මුළුතැන්ගෙට පිවිසියෙමු. මුළුතැන්ගෙට එබී බැලූ කඞ්ඩා එහි වූ අරක්කැමියාගෙන් කෑමට යමක් තිබේදැයි විමසීය. ඒ වන විටත් නැවේ සියල්ලන්ම කෑම ගෙන අවසන් වී ඇති බවත් දැනට උයපු භාජන සෝදා දමමින් සිටින බවත් ඔහු පැවසීය. ඉතිරි වූ අලූකෙහෙල් ව්‍යාංජනයක් හා බත් ලැබුනායින් මා ඉක්මනින් කටට දෙකට ගිලදැමුවේ ඉතාමත් කුසගින්නේ සිටි බැවිනි. පහළ තට්ටුවේ තිබූ කැබින් කාමර වල බිත්ති වෙන් කර තිබූ ෆෝමිකා ඇල වූ ලෑලි විශේෂයක් වූ අතර මේ  පැනල (Paneling) හා යකඩ තහඩුව අතර ඇතුළතින් ගිනි නොගැනීමට ග්ලාස්වුල් (Glass Wool)නම් පරිවාරක ද්‍රව්‍ය යොදා තිබුනි. නැව් බඳහි දිරාපත් වූ සමහර කොටස් කපා දමා අලූත් යකඩ තහඩු යොදා පෑස්සුම් කරන බැවින් පහළ තට්ටුවේ කැබින් කාමරයෙහි ලෑලි පැනලින් ගලවා දමා තිබුණි. ඇලි වේ එක නොහොත් ගමන් ගන්නා පැසේජයේවත් යෑමට නොහැකි වන පරිදි තැනින් තැන කාමරවලින් ගැලවූ ලෑලි ගොඩ ගසා තිබුණි. කැබින් කාමර ගලවා දැමීම නිසාවෙන් එම කාමර වල විසුවන් නොගලවා තිබු කාමරවල තම ඇඳුම් හා බඩු බාහිරාදිය තබා තිබුණායින් එම කාමර වූයේ යකා නැටූ පිට්ටනියක් සේ ඉතා අපිරිසිදුව දිස් වූනි. 

        කෑවායින් නොකෑවායින් මා පහළ තට්ටුවේ කැබින් කාමරයට ගොස් ඇඳුම් මාරුකරගෙන එන්ජින් කාමරය (Engine room) වෙත ගමන් කළෙමි. අපගේ කැබින් කාමර වූ තට්ටුවට තරපුවෙන් බැස වම්පසට හැරී මීටර් පහක් පමණ ඉදිරියට ගිය විට දකුණු පැත්තට වන්නට වූ යකඩින් නිමවු ජල මුද්‍රිත දොරක් (Water tight Door)විය. මෙම යකඩ දොර වටේට ඇති අඟුල් එළියෙන් හා ඇතුළින් විවර කළ හැකි ලෙසින් ඇති අතර එවා තදකර ජලය ඇතුළට කාන්දු නොවනා සේ මුද්‍රා තැබිය හැකි වන ලෙසින් සකසා තිබුණි. මෙම දොර විවර කරන සෑම විටකදීම එන්ජින් කාමරය තුළින් නැගෙනා කඨෝර ශබ්දයන් එළියට ගලා ඒම සිදුවන්නට විය. එහි අගුල පන්නා දොර විවර කරගෙන එන්ජින් කාමරයට ඇතුලූ වූ විගසම කන් අඩි පලන්නාක් මෙන් එහි වූ අධික ශබ්දය මොළය සිසාරා ගමන් කරන්නට විය. ඉහළ සිට පහළට දිවෙනා විවිධාකාර වූ පයිප්ප බටද යන්ත‍්‍ර සූත‍්‍රයන්ද මාගේ දෙනෙත් වලට අසුවුනි. මෙයට පෙර නාවික පුහුණු පාසලේ ඉගෙනුම ලබද්දී ගාල්ල වරායේ තවත් නෞකාවකට අපව ගෙනවිත් පෙන්වූ එන්ජින් කාමරය ලෙසින් නොව හතර අත ගලවා දැමූ යන්ත‍්‍රසූත‍්‍ර වල කොටස් හා විවධාකාර ප‍්‍රමාණයෙන් යුතු ලොකු කුඩා පයිප්පද විය. සමහර ස්ථානයන් හි පොලවට අතුරා තිබු යකඩ තහඩු නොමැතිවිය. තැනක ඉතාමත් අපිළිවෙළකට දැමූ යකඩ තහඩු ගොඩකි. මා හිමිහිට තරප්පු පෙළ බැස පහළ තට්ටුවට ගොඩ බැස්සෙමි. 

         පසෙකවූ ඞීසල් තෙල් බාල්දියකට යමක් දමමින් සිටි මාගේ මිතුරා මා හට ඔහු සමඟින් එන ලෙස ඉඟි කළේය. මා මේ වන විට සිටියේ අධික ශබ්දයෙනුත් මේ වන විට එන්ජින් කාමරයේ ක‍්‍රියාකාරිත්වයේ තිබෙන විදුලි උත්පාදක යන්ත‍්‍ර දෙකකින් ශබ්දයෙනුත් රස්නයෙනුත් තෙහෙට්ටු වීගෙනය. කඞ්ඩාගේ පසුපසින් ගිය මා එන්ජින් කාමරයේ පසෙක වූ යම් වැඩක නිරත වූ කෙනෙක් ළඟට ගොස් ඔහුගේ කනට කොඳුරා යමක් කිව්වේය. ඔහු තම වැඩය නවතා මා දෙස තම පරීක්ෂාකාරී නෙත් යොමුකර හිසේ සිට පාදාන්තය තෙක් පරීක්ෂාකර බැලීය. පසෙක යම් වැඩක සිටි දෙදෙනෙකු පෙන්වා ඔවුන්ට උදව් කරන ලෙස කී ඔහු යළිත් තම වැඩයට හිස යොමා ගත්තේය. පසෙක ගලවා තිබූ යම්ක් සවි කරමින් සිටි දෙදෙනෙකු වෙත මා ගිය අතර  කැබලිවලට ගලවා දමා තිබූ එම උපාංගය කුමක්දැයි හඳුනාගත නොහැකි වූ මම ඔවුන් කරනා දෙය දෙස බලා සිටින්නට වීමි. අධික ශබ්දය නිසාවෙන් ඔවුන් පවසනා කිසිදු දෙයක් මාගේ සවනට නොවැටුන බැවින් මා ඔවුන් දෙස බලා සිටිනු විනා වෙන කළ හැකි දෙයක් නොවුණි. පසුව දැනගත් පරිදි එය ටියුබ් වර්ගයේ එන්ජින් ඔයිල් කූලර් (Tube type Lubricating Oil Cooler) එකක් විය.  ඔවුන්ගේ වැඩ දෙස බලාසිටින්නෙකු එතැන සිටීම නොරිස්සූ ඔවුන් දෙදෙනා මා එම කූලරයේ කවරය ඔසවාලීමට උදව් කරන ලෙස මාගේ කනට කෑගසා කීවෝය. චේන් බොලොක්කයක් ආධාරයෙන් ඔසවා ගත් එය පයිප්ප කිහිපයක් ඇතුළතින් රිංගා ගොස් සවි කිරීම ඉතා අසීරු කටයුත්තක් විය. නියමිත  ඇණ තව්වලට සරිලන සේ එම කවරය සමපාත කරගැනීමට මා මාගේ දෑත්වලින් එම කවරය ඔසවාගෙන රඳවාගෙන සිටියේ ඇණ තව්වට ඇණයක් රිංගවා කවරය සවි කරගැනීමේ මූලික කොටස සම්පූර්ණ වන තෙක්ය. එහි වූ අධික බර මි හට දරාගත නොහැකිව මිගේ දෑත් වෙව්ලන්නට පටත්ගත්තේය. කෙසේ හෝ ඇණ තව්වකට ඇණයක් රිංගවාගෙන කූලර් කවරය සවිකරගැනීමට හැකිවීම මාගේ නාවික ජීවිතයේ පළමුව කළ වැඩය විය. ඉන් අනතුරුව එම කවරයට අදාළව තෙල් හා ජලය රැගෙන එන හා පිටවන නල එයට සවිකර අවසන්කරන්නට හැකිවුනි. එම කූලර්කවරය (Cooler Cover) සවිකරමින් සිටිඑක් අයෙකුවුයේ සමාගමෙන් තාවකාලිකව මෙම නැවට අනුයුක්ත කර එවන ලද දෙවන ඉන්ජිනේරුවරයෙකුය. ඔහු වැඩ අවසානයේ මගේ පිටට තට්ටුවක් දමමින් එන්ජින් කාමරයෙනි එළියට යන්නට ගියේ සිගරුට්ටුවක් දල්වා ගැනීමට විය යුතුය.
        

         මෙසේ ඉතා වෙහෙසකර දිනයක් අවසානයේ අපට නාගැනීමටවත් ජලය නැවේ නොමැති වූයේ ජලය පොම්ප කිරීමට යොදා ගන්නා මෝටරය ක‍්‍රියා විරහිත වී තිබුණු බැවිනි. සැන්දෑ කලූවර වැටෙන තෙක් අප වැඩ කළ බැවින් අඳුරේම බාල්දියකුත් ගෙන මමත් කඞ්ඩාත් ගාලූවරායේ වූ ළිඳකට ගියේ හොඳ හැටි නා ගැනීමටය. අවුරුදු කිහිපයකට පසුව මා යළිත් එම ළිඳ පිහිටි ඉසව්ව සොයා බැලූවත් ළිඳ හොයාගත නොහැකි විය. ගාලූ වරාය පරිශ‍්‍රයේ අලූතින් ගොඩ නැගූ සිමෙන්ති කම්හල්වලට එම ළිඳ වැසී යන්නට ඇතැයි අනුමාන කළෙමි. සීතල මුහුදු සුළං වැදි වැදී සීතලෙන් වෙවුලමින් නාගත් අයුරුත් අඳුරේ ගිලූණු වරාය භූමියේ තරු එළියෙන් ළිඳ වෙත ගිය අයුරු තවමත් මා හදවතේ නොමැකෙන සටහනක් ලෙසින් තැන්පත් වී තිබේ.

සයුරේ ආ මඟ 

පළමු කොටස - පැද්දෙන පොල් ලෙල්ලක් - සයුරේ දසවසක්  


 අටුවාව​

ගැන්වේ  Gangway - නෞකාවකට ගොඩවිමට හා බැසීමට ඇති තරප්පුව 
ඕවරෝල්  Overall -  වැඩට අදිනා ඇදුම
මේන් ඩෙක්  Main Deck - නෞකාවක ප‍්‍රධාන තට්ටුව
ඩෙරික්  Derrick  - දොඹකරයක් වැනි යන්ත‍්‍රයක්
ඇලිවේ  Alleyway  - කැබින් කාමරවලට පිවිසිමට ඇති පටුමාර්ගය

මෙස් රූම් - Mess Room -නැවියන්ගේ ආහාර ගන්නා කාමරය
ගැලිය  Galley - නෞකාවක මුළුතැන්ගෙය
ඇකමඩේෂන්  Accommodation - නෞකාවක නැවියන් සියලු දෙනා වාසය කරනා කැබින් කාමර ඇති ස්ථානය

Overall

Derrick

Mess room

Cabin

Main Deck

Galley

Alleyway

Gangway


Monday, August 6, 2018

පැද්දෙන පොල් ලෙල්ලක් - සයුරේ දසවසක් - 1


මේ තියෙන්නේ මාගේ මුුල්ම නෞකාවේ පැරණි ඡයාරූපයක්

සාගර තලය මත සුදෝ සුදු පෙනකැටි මාවතක් අවරපෙත්තෙන් නිර්මානය කරමින් නෞකාව දියඹට ගමන් කරන්නට විය. අළු පැහැයෙන් කුඩාවට දිස්වන ගාළු කොටුපවුරත් සුවිශාල රූමස්සල කදුවැටියත් අමුතුම හැඟුමක් සිතට හටගන්වන්නට වුනි. ජීවිතයේ නවුම් ඇරඹුමක් සනිටුහන් කරමින් ටිකෙන් ටික දියඹට ඇදෙන මා සිටි කුඩා නෞකාව පාවෙන පොල්ලෙල්ලක් සේ හතර අතට පැද්දෙන්නට පටන් ගත්තාය. මාගේ පළමු රස්සාව සයුරට වැටුනු පොල් ලෙල්ලක් සේ හතර අතට පැද්දෙන නැවකින් ආරම්භකරන්නට සිතුවේ නැත. ගාලූවරායෙන් එලියට පැමිණි අප මේ ගමන් කරමින් සිටින්නේ ත‍්‍රිකුණාමල වරාය දක්වායි. දෙසවනට යවුලකින් අනින්නාක් බඳු එන්ජින් කාමරයේ ප‍්‍රධාන එන්ජිමෙන් නැගෙන ඩොක ඩොක ශබ්දයත් ජෙනරේටර් හා අනෙකුත් යන්ත‍්‍ර සූත‍්‍ර වලින් නැගෙන ඝෝෂාවත් කෙමෙන් කෙමන් වැඩිවෙන්නට පටන්ගති. එන්ජින් කාමරයේ ඇතුළත උෂ්ණත්වයද රත්වු එන්ජිමෙන් නැග එන තෙල් වාෂ්පද සිරුරට අමුත්තක් දනවන්නට පටන්ගෙන ඇතිසේය. ගාලූ වරායෙන් පිටවන තෙක් මැනුවරින් (Maneuvering)අවස්ථාවේ එන්ජින් කාමරයේ වැඩට සිටි සියළු දෙනාගේ ශීඝ‍්‍ර කලබලකාරිත්වය නැව ෆුල්එවේ ( Full away)  දුන් පසු අවසන් විය. මැනුවරින් යනු (Maneuvering) වරායෙන් පිටතට හෝ ඇතුලට ගැනිමේදි නෞකාව හැසිරවිමයි. ෆුල්එවේ ( Full away)යනු නැව වාරයෙන් පිටත්ව කිසිදු බාදාවකින් තොරව ගමනාත්තය දක්වා යාමට උපරිම වේගයෙන් ගමන් කිරිමට අණ ලැබිම හැඳින්විමයි. ක‍්‍රමක් ක‍්‍රමයෙන් පැද්දිල්ල වැඩිවත්ම වාගේ හිස බමන්නට පටන්ගෙන සේය. රළු මුහුදේ චණ්ඩභාවයට ඔරොත්තු නොදෙන තරමට පැරණි නැවක් වූ මෙහි ප‍්‍රධාන එන්ජිම හතිහලමින් නැව ඉදිරියට ගෙනි යන්නට දඟලයි. තවදුරටත් බඬේ දැඟලිල්ල ඉහළට ඔසවාගෙන එමින් වමනය නවතාගත නොහැකි වන බව දැනුන බැවින් ඉක්මනින් නැව් තට්ටුව වෙත දිව්වෙමි. මට මුහුදු අසනිපය නැත්නම් සී සික් වැළදි ඇත. තාත්තා කිව්වේ සී සික් එක නැති කරගැනීමට මඳ වේලාවක් මුහුද දෙස බලා සිටීමෙන් හා ෆෙෂ් එයාර් වැදුනාම සියල්ල හරියන බවය. නැවේ පිටුපස බොලාඩයක් උඩ වාඩිගත් මා ඈත දියඹේ ඉහල පහල යන සිතිජය දෙස බලාගෙන සිටින්නට වීමි. මද වේලාවක් ඒ දෙස බලාගෙන සිටින විට බඬේ ඔක්කාර ගතිය පහවී යා හැකියැයි මමත් විස්වාස කලෙමි.
”ඒයි අසංග ඔතන මොකද බං කරන්නේ?”
”අන්න උඹව දෙකා හොයනවා.”
”පොඞ්ඩක් ඔලූව කැරකෙන්න ගත්තා ඒකයි එලියට ආවේ.”
ඇයි උඹට සීසික් ද?
වගේ තමයි.
”උඹට සී සික් කියලා නිකං ඉන්න නම් හම්බවෙන්නේ නෑ. වැඩකරපං. වැඩ කළාම  ඕක හරියනවා.”
දැනුමුත්තෙකු සේ කඞ්ඩා කීවේය. කඩුගන්නාවේ සිට පැමිණ මා සමඟින් එකට නාවික පුහුණු පාසලේ උගත් බැච්මේට් එකෙකුවු ඔහුට අප කවුරුත් ඇමතුවේ සැබෑ නාමයෙන් නොව කඞ්ඩාට යන අනවර්ථ නමින. කඞ්ඩා මීට මාස දෙකකට පෙර මේ නැවට සේවය සඳහා එක්වි තිබුණි. එකට නාවික පුහුණු පාසලේ ඉගෙනගත් සියල්ලන් ඉන් පිටව නෞකාවලට සම්බන්දවුවත් මාහට එම අවස්ථාව හිමිවන්නේ මාස තුනක් පමණ ගිය පසුය. එසේ වුයේ පුහුණුව අවසානයේදි මා හට තදබල ලෙසින් අසනීප වු බැවිනි.


”යමං ඉක්මනට.”
කඞ්ඩා යළිත් මා හට කතා කර එන්ජින් කාමරය දෙසට ඇවිද ගියේය.
මා නාවිකයෙකු වන්නේ තාත්තා නිසාය. තාත්තාගේ අභිප‍්‍රායවුයේ ඔහු බලාපොරෝත්තුවු අංශයෙන් ඉගෙනිම නිමවු පසුව නාවික රැකියාවකට සම්බන්ධ කිරිමයි. එහෙත් ඔහුගේ සිහින බිඳ දැමු මා නාවිකයෙකු කිරිමේ බලාපොරොත්තු අතහැර තිබු අවදියක තාත්තාගේ අනුදැනුමෙන් තොරව මම විසින්ම නාවිකයෙකුවිමය.

එකට සිටි මිතුරන් හා ඥාතින් සියල්ලන්ම රන්කහවුනෙන් සපිරුණු යසඉසුරක් දකින්නට මැදපෙරදිග රටවල් හි රස්සාවන් සොයා ඉගිල්ලෙද්දි ........ සංස්ථාවේ රැකියාව කර රජයේ සේවයේ සොච්චම් පඩියෙන් පවුලක් නඩත්තු කරන්නට නොහැකි බව තේරුම් ගත් තාත්තා එකදාස් නමසිය අසුහතරේදි රස්සාවට ආයුබෝවන් කීවේය. ඒ මා කුඩා අවදියේදියේය. වෙළඳ නාවිකයෙකු වී විදුලි අංශයේ නිලධාරියෙක් ලෙසින් ග‍්‍රීක නැව් වල තාත්තා සේවය කරන කල්හි මා පාසල් අධ්‍යාපනයෙන් පසුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ පූර්ණ කාලීන පාඨමාලාවකට සම්බන්ධවුයෙමි. ලංකා ගමනාගමන මන්ඩලයට අනුයුක්තව තිබු ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ පූර්ණ කාලීන පාඨමාලාවකට සම්බන්ධවීම එකල ඉතාම අමාරු කාර්්‍යයක් විය. තෝරාගැනිමේ තරගවිභාගයත් සම්මුඛ පරික්ෂණයත් අමාරු කඩයිම් මෙන්ම පුල් එකක් ලෙසින් හඳුන්වන තල්ලූවක් නැතිනම් පාඨමාලාවකට සම්බන්ධවිමට පහසුවුයේ නැත. එ් වැටකඩුලූ සියල්ලෙන්ම පැනගෙන ටෙක් එකට ඇතුලත්විමට අවස්ථාව පෑදුනි. තාත්තාට අවශ්‍ය වූයේ මා විදුලි කාර්මික ශිල්පය හැදෑරීමට යවා එම අංශයෙන් නාවිකයෙකු කිරීමටය. එහෙත් අවාසනාවකට මෙන් පළමු වසරේ ලකුණුවලින් මා තේරී පත්වූයේ වෙනත් පාඨමාලාවක් සඳහායි. එහෙත් තාත්තාත් ඔහුගේ අතිජාත මිත‍්‍ර ජර්මන් ටෙක් හී හිටපු ආචාර්යවරයෙකුවු කීර්ති පෙරේරා අංකලූත් උත්සාහ කළේ මා කෙසේ හෝ විදුලි කාර්මික පාඨමාලාවට තල්ලූ කරවාලීමටය. එහෙත් විදුලි කාර්මික පැත්තට මාගේ කිසිදු කැමැත්තක් නොතිබුණු අතර තේරුනු අංශය වෙනස් කිරිමට අකමැති වූවෙමි. එ් පළමු වරට ඔහුගේ සිහිනය බිඳ දැමු අවස්තාව විය.

       
           සිව් වසර අවසානයේදී ජර්මන් ටෙක් එකේ අවසන් විභාගයෙන් පසුව ඉන් එළියට බැස්ස මා, මිතුරන් හා එක්ව රැකියා සොයා යන්නට වුනි. සිළුමිණ සන්ඬේ ටයිම්ස් ඔබ්සවර් පත්තර පෙරලාගෙන ජොබ් හන්ටින් යද්දි අපේම බැජ්එකේ සමහර මිතුරන් විභාගයේ ප‍්‍රතිඵල පිටවන්නටත් පෙර ඔවුන්ගේ ඉහළ සම්බන්ධතා වලින් ලංකාවේ සුපිරි කොම්පැනි වල හොඳ වේතනයන් සහිත රැකියාවන් වලට සම්බන්ධවිය. යළිත් වරක් තාත්තා ඔහුගේ සිහිනය යතාර්ථයක් බවට පත් කරගන්නට මට්ටක්කුලියේ නාරා ආයතනය අසළ තිබු නාවික පුහුණු පාසලක නාවික විදුලි කාර්මිකයන් සඳහා සය මසක පාඨමාලාවේ ආරම්භක දේශණයට මා කැදවාගෙන ගියේය. ගල්කිස්සෙන් 155 මට්ටක්කුලිය බසයකට නැගුන අප දෙදෙනා රාසමුන කන්දේ පිට්ටනිය අසළින් බැස නාරා ආයතනය සොයමින් පිට්ටනිය මැදින් ගිය අයුරු අදටත් සිහිපත්වේ. වයර් කෑල්ලක් හොල්ඩරයකට අමුනාගන්නට හැකි තරමේ විදුලිය පිළිබඳ මුළික දැනුමක් ඇති මාහට ඉන් ඔබ්බට තියෙන න්‍යාත්මක පාඩම් කිසිවක් මොලයට නම් ගියේ නැත. පළමු දිනයෙන්ම එ් නාවික විදුලිකාර්මික පාඨමාලාවට ආයුබෝවන් කියන්නට හේතු ලෙසින් මා කිව්වේ මේ කෝස් එක කලාට එම ආයතනයෙන් පළමු සය මසින් පසුව පුහුණුවන විදුලි ශිල්පියෙක් විදිහට නැව් නගින්නට නැව් දෙන්නේ නැති බවය. ලංකාවේ නාවිකයින් නැව් වලට සම්බන්ධ කරනා අතලොස්සක්වු නැව් එ්ජන්ත කොම්පැනි වලට ගොස් රස්තියාදු වන්නට සිදුවන බවත් එ් නිසා කෝස් එකට වියදම් කරන මුදල් අපතේයන බවත්ය. පුහුණුවන විදුලි ශිල්පින් නැව් වල සේවයට ගන්නේ අඩුවෙන් බව තේරුම්ගත් තාත්තාද එය අත්හැරිම ගැන කිසිවක් කීවේ නැත. මෙවැනි පුහුණු පාඨමාලාවලින් පසුව ෂිපින් ඔෆිස් එකෙන් ලබාදෙන සිඩිසි (CDC) නැතහොත් අඛන්ඩ මුදාහැරිමේ සහතිකය සහිතව එළියට එන බොහෝ දෙනෙකුට සිදුවන්නේ මහමග රස්තියාදු වෙමින් නැව් එජන්තයින් පසුපස යන්නටය. මේ අතර සිටිනා වංචාකාර රැවටිලිකරුවන් එසේ පැමිනෙන්නන් හට වැඩි වැටුප් සහිත නෞකාවන් ගැන සිහින මවා දී රුපියල් ලක්ෂගනන් රැගෙන පැනයයි. මා එසේ කීවේ නාවික ක්‍ෂත‍්‍රයේ රැකියාවකට ඇති අකමැත්ත නිසා නොවුවත් එ්වන විටත් වංචාකරුවන්ට රැවටුනු බොහෝමයක් ගැන දැනුවත්ව සිටිමය. දෙවන වරටත් තාත්තාගේ බලාපොරොත්තු බිඳ දැම්මෙමි. ඉන් පසුව ඔහු මාහට නාවික ක්‍ෂත‍්‍රයේ රස්සාවල් සෙවිම අතහැර දැමිය. 

         යළිත් පත්තර පෙරලාගෙන රැකියා ඇබෑර්තු සොයද්දි අහම්බයෙන් මෙන් වෙළඳ නාවික පුහුණු පාඨමාලාවකට බඳවා ගන්නා බව දන්වා තිබෙන පත්තර දැන්වීමක් මාගේ නෙතු ගැටීන. පුහුණු පාඨමාලාවෙන් පසුව ඔවුන්ගේ මව් සමාගමේ නෞකාවලට අනුයුක්ත කරන බවත් එහි සඳහන් වුනි. පත්තර පිටුව දෙකට නවා ඩෙනිම් කලිසමේ පිටුපස සාක්කුවට ඔබාගෙන මා නාවිකයෙකු කිරිමේ උත්සාහය අතහැර දමා සිටි තාත්තාට ද නොකියා මාගේ අතිජාත පාසල් මිතුරා වන්නි සොයාගෙන ගියෙමි. අත්තිඩියේ මන්ත‍්‍රීමුල්ල පාරේ කෙළවරට වන්නට පිහිටා තිබූ එම කුලී නිවසට ගොඩ වදින විටත් ඔහු ළිඳ ළඟ රෙදි වගයක් සෝදමින් සිටියේය. මවුන්ටන් බයිසිකලය වැටට හේත්තු කළ මා
”මචං නැවක යන්න කෝස් එකක් තියෙනවා දාමුද?”
”නැව් කෝස්? ගෙදරින් නම් කියන්නේ  ඕපන් යුනිවසිටි එකේ කෝ්ස් එකක් කරන්න කියලා.”
” ඕපන් එකේ කෝස් කරලා කොච්චර කල් බලන් ඉන්නද? මං දානවා උඔ දානවානම් දාපං.”
මා අත තිබූ පත්තර කැබැල්ල ඔහු වෙත දිගු කළෙමි. වතුර බාල්දියෙන් දෑත් වල තිබූ සබන් සෝදා දැමූ ඔහු කලිසමේ පිටුපසින් තෙත මාත්තු කරගෙන මා අත තිබූ පත්තරය ලබා ගත්තේය.
”මේ මොකක්ද බං ඩෙක් රේටින් කියන්නේ ?”
”මමත් හරියටම දන්නේ නෑ ඩෙක් රේටින්ලා ඉන්නේ ඩෙක් එකේ වැඩටලූ.”
”ඒ කියන්නේ?”
”මචං එන්ජින් රේටින්ලා ඉන්නේ එන්ජින් කාමරේ. එන්ජින් රූම් එකේ තියෙන මැෂිනරිස් මේන්ටේන් කරන කට්ටිය. ඩෙක් රේටින්ලා තමයි නැව එලවන්නේ අනිත් වේලාවට නැවේ මලකඩ කඩලා පේන්ට් කරන්නයි තියෙන්නේ. වැඩි විස්තර  තාත්තාගෙන් අහගන්න පුළුවනි.”
මා දන්නා අයුරින් ඔහුට කියාදුනිමි.
”එහෙනම් උඹ දාන්නේ එන්ජින් රේටින් එකටද? මට නම් බෑ තෙල් මජං ගාගන්න.”
”හරි බං මං කොහොමත් එන්ජින් රේටින් තමයි දාන්නේ. උඹ කැමතිනම් ඩෙක් රේටින් බැරිනම් කුක්ට හරි දාන්න. දැන් උඹත් දානවද? ”
”පොඞ්ඩක් හිටපං බං අම්මාගෙන් අහලා බලන්නත්  ඕනේ. ”
මිතුරාගේ මවගේ එතරම් කැමැත්තක් නැව් පිළිබඳව නොවුවත් මාගේ බලවත් ඇවටිල්ල මත ඇය අකමැත්තෙන් වුවත් තම පුත‍්‍රයාට නාවික පුහුණු පාඨමාලාවට ඉල්ලූම්පතක් දැමීමට එකඟත්වය පලකළාය.
අප දෙදෙනාගේම සියලූම සහතික පත‍්‍රයන්හි ඡයාපිටපත් රැගෙන ඉල්ලූම් පතත් සමඟින් තැපැල් කළේ එන්ජින් හා ඩෙක් වශයෙන් වෙන් වෙන්වය.
මසකට පසුව දෙදෙනාටම වැල්ලවත්තේ ශාන්ත පීතර විද්‍යාලයේ පැවැත්වෙන තරග විභාගයට පෙනී සිටින ලෙසත් දන්වා ලිපියක් ලැබින. තරග විභාගයේ කඩඉමත් පසු කළ අප දෙදෙනා සම්මුඛ පරීක්ෂණයේ කඩුල්ලද පැනගතිමු. එකට ඉගෙනිම ලැබ එකට නැව් නගින්නට මගෙත් මිතුරාගෙත් සිහිනය වුනත් දෛවය අපව හරස් කරමින් මිතුරාට මට පෙරාතුව ගාල්ලේ පිහිටි නාවික පුහුණු පාසලට යන්නට ලැබුණි. මේ අවුරුද්දේ පටන් බැජ්එක කණ්ඩායම් දෙකක් ලෙසින් කඩා කොටස් දෙකකට ඉගැන්වීමට කටයුතු කළ බැවිනි. අද දිනයේ වන්නි නාවික නිලධාරියෙකු ලෙසින් කටයුතු කරන අතර ලංකාවේදි හැරෙන්නට ඔහුත් මාත් ඉන් පසු කිසිදිනෙක එකම නෞකාවක හෝ වෙන රටකදි හෝ අඩුමතරමින් වරායකදී හෝ මුණ නොගැසුනි. එනමුත් පාසල් කාලයේ සිට බැඳුන මිතුදම අදටත් සුරැකිව බැඳී ඇත්තේය.


           නාවික පුහුණු පාසලේ මාස හයක පුහුණුවෙන් පසුව ඔවුන් කී පරිදිම එම ආයතනයේ මව් සමාගමට අයත් වෙළඳ නැව්වලට අපව අනුයුක්ත කරනු ලැබීය. පාඨමාලාවේ සිටි මිතුරන් නැව්වලට නගිනු ලැබුවත් මා හට එම අවස්ථාව ගිලිහි යන්නේ හදිසියේ ඇතිවු අසනීප තත්ත්වයක් උඩදීය. සැත්කම නිම වී දෙමසක විවේකයෙන් පසුව මා අප මව් සමාගමේ ප‍්‍රධාන කාර්්‍යාලයට වාර්තා කලේ ඔවුන් මා අනුයුක්ත කරනු ලැබූ නැවට යාමටය. සමාගමෙන් දැන්වූ පරිදි එම නැව ගාල්ල වරායේ තිබෙන බවත් කොළඹ ෂිපින් ඔෆිස් (Shipping Office) එකට ගොස් සයින් ඔන් වී (Sign on)එන ලෙසත් මා හට දන්වා ලීය.
කොළඹ ෂිපින් ඔෆිස් එකට ඔයා යන්න දන්නේ නැත්නම් පෙඞ්ඩක් වාඩිවෙලා ඉන්න. මම එහෙට යන තව කෙනෙක් එක්ක  යවන්නම්.
ඔහු කී පරිදි වාඩිගෙන සිටි මට ෂිපින් ඔෆිස් එකට යන තවත් නාවිකයෙකු හඳුන්වා දුන්නේ ඔහු සමගින් යන ලෙස දන්වමිනි. වෙළඳ නාවික කාර්යාලය කොළඹ වරාය පරිශ‍්‍රයේ එවකට පිහිටා තිබූනි. ඔහු මා කැටිව ති‍්‍රරෝද රථයක නැග ගාලූමුවදොර චෛත්‍ය පාර තෙක් ගමන් කලෙමු. චෛත්‍ය පාරේ මද දුරකින් වු ප‍්‍රදිපාගාරය අසළ නාවික හමුදාව හා පොලිසිය එක්ව මාර්ග බාදකයක් පිහිටුවා තිබිය. ති‍්‍රරෝද රියේ ගමන අවසන් කර මාර්ගබාදකයෙන් අවසර ගෙන ඉදිරිවට ගමන් කලෙමු.  වරාය ගේට්ටුවේ ආරක්ෂක කපොල්ලෙන්ද අවසරයගත් පසු ඔහු පෙන්වූ දිසාවට අනුව වම්පැත්තට මද දුරක් ගමන් කළෙමි. ගොඩනැඟිල්ලක ඉහළ මාලයේ පිහිටා තිබූ අඳුරු පැහැගත් වෙළඳ නාවික කාර්යාලයේ ඇතුළත වූයේ අඳුරු ගුප්ත පරිසරියකි. නැව් නැගීමට හෝ නැවෙන් බසින ලද නාවිකයින් කිහිපදෙනෙක්ද තම ලිපි ලේඛන වල වැඩ කරගැනිමට ඇතුළත වාඩි ගෙන සිටියහ. විශාල කන්තෝරු මේස අරක්ගත් මැදිවිය පසුකරමින් සිටිනා ලිපිකරුවන් හා ලිිපිකාරිනියන් තම රාජකාරියට කැප වී සිටින්නාක් මෙන් මේසයට හිස නැඹුරු කරගෙන සිටිනු මට පෙනුණි. සමාගමෙන් දුන් ලිපිය ඉදිරිපත් කර නාවික හා වෙළඳ අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක ටයිප් කරන ලද මාගේ නම හා හැඳුනුම්පත් අංක යෙදු  තාවකාලීන නැව් නැගීමට අවසර දෙන ලිපියක් මා අතට පත් විය. එහි පහතින් මා නැගීමට නියමිත  නැවේ නමත් අද දිනයත් සඳහන් කර රවුම් කුඩා රබර් මුදුවක් තබා තිබුණි. ලිපිලේඛණ වැඩ අවසන්වු පසු මා කැටුව ආ පුද්ගලයා ගැන සොයා බලද්දි ඔහුගේ සයින් ඔන්විම අවසන් කරගෙන තිබුනි.
"එහෙනම්  මල්ලි ඔයාගේ වැඩ ඉවරයිනේ එහෙනම් ඔයා ආපහු කොම්පැනි එකට යන්න. මම නැවකට පොඞ්ඩක් ගිහිල්ලා එන්නම්."
කී ඔහු මා තනිකර වරායේ ඉදිරියට ගමන් කලේය. වරායට ඇතුළුවිමේ  බලපත‍්‍රයක් නොමැතිව වරාය තුල පිහිටි වෙළඳ නාවික කාර්යාලයට පමණක් ඇතුලූවිය හැකිවුවත් ඉන් ඔබ්බට ගමන් කල නොහැකිය. එහෙත් ඔහු කිසිදු ගනනක් නොමැතිව ඉදිරියට ගමන් කලේය.
ඔහුත් පිටමන් වි ගිය පසු තනිවු මා කිසිදා මින් පෙර නොගිය චෛත්‍ය පාරේ තට්ට තනියම අවට සිරි නරඹමින් පයින් ආපසු ගමන් කළෙමි. ඉන්ටර්කොන්ටිනල් හොටලය ඉදිරියෙන් හැරි ජනාධිපති මාවත ඔස්සේ ජනාධිපති මන්දිරය දෙසට ඇවිද ගියෙමි. එවකට ත‍්‍රස්තවාදී කලබල තිබුණත් ජනාධිපති මන්දිරය ඉදිරියෙන් පයින් යෑමට කිසිදු බාධාවක් නොවීය. නැවට සයින් ඔන් වී යළිත් ආ පාරෙන්ම කොටුවට පැමිණි මා දැඩි අව් රශ්මියෙන් පීඩා විඳ දහඩියෙන් නැහැවී ගොස් තිබුණි. බසයක නැගුණු මා නැව් සමාගමට පැමිණියේ ෂිෆින් ඔෆිස් එකෙන් සයින් ඔන් වී ආබවට දැන්වීමය. සමාගමේ නිලධාරියෙක් මාගේ ලිපිවල ඡයා පිටපත් රැගෙන අවසන්ව
”නැව තියෙන්නෙ ගාල්ලේ. දන්නවානෙ වරාය තියෙන තැන.”
මම හිස සෙලෙව්වෙමි.
”මෙන්න මේ ලියුම එමිගේෂ්න් එකට එයාලා එම්බාකේෂන් එක ගහයි. ආ මේක වරායේ සිකුරිටි එකට දෙන්න ගේට් පාස් එක ගන්න. මේ ලියුමයි ටෙම්පරි සී ඞී යී එකයි කැප්ටන්ට දෙන්න. එහෙනම් ගිහිල්ලා පරිස්සමෙන් වැඩකරන්න. ගුඞ් ලක්.”
කී ඔහු මා හට අතට අත දී සුබ පැතීය. තට්ට තනිමය නොදන්නා පළාතකට මාරු කර යැවූවකු සේ මගේ සිතට නුහුරු හැඟීමක් ද ඇති වුනි.
ඔහු පසෙක වාඩිගෙන සිටි කෙනෙකු මා හට පෙන්වා,
”අර ඉන්න එක්කෙනා හදිසියේ බහිනවා එයාගෙ රිලිෆ් විදිහටයි ඔයාව යවන්නේ” යි කීය.
මා ඔහුට මදහසක් පෑවෙමි.
තළෙලූ මාගේ සමවයස් පෙනුමැති කොණ්ඩය තරමකට කැරලි ගැසුණු ඔහු මා සමඟින් සිනාසුනි.
”මොන බැච් එකේද?”
”.......... එකේ. ඔයා?”
”මමත් ......... තමයි. ෆ‍්‍රස්ට් එන්ටේක් එකේ. කොහේද ගෙවල්?”
රොෂාන් නම් වූ ඔහු කලූතර ප‍්‍රදේශයේ බවත් වෙනින් නැවකට මාරු කර ඇති බැවින් ඉන් බැස යන බවත් මාගේ බැජ් මේට් කෙනෙකු වන කඩුගන්නාව එහි සිටින බවත් ඔහු මා හට සැලකර සිටියහ. කඞ්ඩා එහි සිටිනු ඇසීමත් සමඟින් මාගේ සිත ප‍්‍රීතියෙන් පිනා ගියේ තට්ට තනියම කිසිවෙකුත් නොහඳුනන නැවක සේවයට යාමට වඩා දන්නා කියන එකෙකු හෝ එහි සිටිනු බැවිනි.
”හෙට උදේ මම නැවට යනවා මගේ බඩු ටික ගන්න. ඔයත් එනවානම් එකට යන්න සෙට් වෙමු.”
හා කොහේදිද සෙට්වෙන්නේ?
”එහෙනම් ගාල්ලෙන් බැහැලා හරි මාතර බස් එකක හරි ඇවිල්ලා සම්බෝධිය ගාවින් බහින්න. මම උදේ 10ට විතර සම්බෝධිය ගාව ඉන්නම්.”
රොෂාන් කීවේය.
මා හට මග පෙන්වන්නෙකු ලැබීම ගැන ඉතා සතුටට පත්වීමි. ගෙදර ගිය මා, මා සතුව තිබූ කුඩා බෑගයට ඇඳුම් කිහිපයක් ගෙන තාත්තා විසින් මීට පෙර නැවක සේවය සඳහා අදිනු ලැබු  ඕවරෝල් එකක් හා ආරක්ෂක සපත්තු යුවලක් ද මා බෑගයට අසුරා ගතිමි. පසුදින උදයේම මා ලක ලැහැස්ති වූයේ මාගේ ප‍්‍රථම නෞකාවේ සේවය සඳහා පිටත්ව යෑමටයි. අම්මාට තාත්තාට වැඳ අවසර ගත් මා කුඩා බෑගයත් කරේ රුවාගෙන ගාලූ පාරට පැමිණියේ ගාල්ල බලා යන බසයකට ගොඩ වීමටයි. උදේ දහයට මා එනතුරු ගාල්ල සම්බෝධිය අසල රොෂාන් බලා සිටින්නට ඇත. එහෙත් මා නැගුණු ඉන්ටර්සිටිය අම්බලන්ගොඩ හරියේදී ලෙඩ දෙන්නට වූයේ බ්රේක් බයින්ඞ් කිරීමක් නිසාවෙනි. අසල ගරාජයකට දමා එය නිසි පරිදි සකසා ගෙන එන්නට හෝරාවකට අඩු කාලයක් මාහට අම්බලන්ගොඩ රැඳී සිටින්නට සිදුවිය. ගාල්ලේ සිට මාතර දක්වා දිවෙන මුහුදු මාවතේ ගාල්ල වරාය පිහිටී ඉදිරිපිට වූ සම්බෝධිය නම් ආබාධිතයින්ගේ නිවාසය අසලින් බැස ගතිමි. පාරෙන් දකුණු පැත්තට පැන බුදු පිළිමය පසු කරගෙන ඉදිරියට ගිය මා වරායේ ගේට්ටුව අසල තිබූ අවසර පත් ලබාගැනීමේ කවුලූවට නැවට නැගීම පිණිස වරායට ඇතුලූවීමේ එක්දින අවසර පත‍්‍රයක් නිකුත් කිරීමට අන දෙන ලිපිය එහි සිටි නිලධාරියාට දිගු කළෙමි. වෙළඳ නාවික කාර්යාලයේ ෂිපින් මාස්ටර්ගේ අත්සන යෙදු  එම ලිපියට වෙළද නැවියන් හට නොමිලයේ එක් දින අවසර පත‍්‍රයක් නිකුත් කළ යුතුවිය. ගාල්ල වරායේ ආරක්ෂකයින් මාගෙන් දිනක අවසර පත‍්‍රයක් සඳහා වැට් බදු සහිතව රුපියල් දොළහක් පමණ මුදලක් අයකර ගත්තේය. දොරටු අවසර පත‍්‍රයත් ලබා ගත් පසු ඊළඟට කළ යුතු වන්නේ ආගමන විගමන නිලධාරීන්ගෙන් පාස්පෝට් එකට එම්බාකේෂන් (Embarkation) රබර් මුද්‍රාව තබා ගැනීමයි. ගාල්ල වරායට ආගමන විගමන කුටියක් එකල නොතිබුණි. දැන් තිබෙනවාදැයි දන්නේ නැත. ඒ සියල්ල සිදු කළේ වරාය පොලීසිය විසිනි. පොලීසියට ඇතුලූ වී  ඕ අයි සී මහතා හමුවට ඔහුගේ කුටියට හිස පෙව්වෙමි. පැමිණි කාරණාව ඔහුට පැහැදිලි කර මාගේ සමාගමෙන් දුන් ලිපියද ගමන් බලපත‍්‍රයද ඔහුට ඉදිරිපත් කළෙමි. කිසිදා නොදැක්ක දෙයක් දැකගත්තා සේ ආගමන විගමන නිලධාරීන්ට දුන් ලිපියද මාගේ ගමන් බලපත‍්‍රයද දෙස මාරුවෙන් මාරුවට කිහිප විටක් බලාසිටි  ඕ අයි සී ද
”දැන් මොකද කරන්න කියන්නේ?”
ජීවිතයේ පළමු වතාවට නැව් නගින මා ගමන් බලපත‍්‍රයක් සමඟින් පොලීසියට  ගොස් තිබුනේද පළමු වතාවටය. කිසිදා නොදන්නා දෙයක් ගැන පොලීසියේ මහතා මාගෙන් කළ යුත්තේ කුමක්දැයි විමසයි. අන්දුන් කුන්දුන් වූ මා,
”ඔය පාස්පෝට් එකට එම්බාකේෂන් ගහලා දෙන්න.”
මුකුත් නොදන්නා මා වැඞ්ඩෙකු ලෙසින්  ඕ අයි සී ට කීවෙමි. මේසය මත වූ පොත්පත් ලිපි කිහිපයක් එහාට මෙහාට කර යතුරු කැරැල්ලක් සොයාගත්තේය. ඉන් මේස ලාච්චුවක් හැර රබර් මුද්‍රා කිහිපයක් ගෙන මේසය මතට අත හැරියේය.
”දැන් මේකෙන් මොකක්ද ගහන්න  ඕනෙ සීල් එක?”
ඔහු මාගෙන් යළිත් විමසයි. මම මෙලෝ දෙයක් දන්නේ නැත. මේ රබර් සීල් දැක්කෙත් එදිනමය.
ඔහු එකින් එක රබර් මුද්‍රා හරවා බලමින් මාගේ පිළිතුරක් එන තෙක් බලා සිටින්නට විය. තවදුරටත් බොරුවෙන් ඔහුව රැවටිය නොහැකි විය.
”මමත් දන්නෙ නෑ මමත් මේ පළවෙනි වතාවට නැවකට යන්නේ.”
සියල්ල දන්නා කෙනෙකු සේ හැසිරුනු මා දැන්  ඕ අයි සී  ට වඩා පහළට වැටුණි. නැව් වලට නවකයෙකු ඉදිරියේ ඔහු කිසිවක් නොදන්නා බව පෙන්වීමට පැකිලූනි. රබර් මුද්‍රා අතරින් හතරැස් මුද්‍රාවක් ගත් ඔහු එය තීන්ත පෑඩයේ ඔබා ගමන් බලපත‍්‍රයේ පිටු කිහිපයක් පෙරළා බැලීය.
”මෙතනින් ගැහැව්වාම හරිද?”
තාත්තාගේ ගමන් බලපත‍්‍රයේ පිටු සියල්ලක්ම පිරී ඇත්තේ එක එක රටවල සීල් වලිනි. මට එකවරම එය මතක් වුණි.
”ඔය වීසා තියන පිටුවක ගහන්න.”
තීන්ත පෑඩයෙ එබූ රබර් මුද්‍රාව රැගෙන කඩදාසි කැබැල්ලක තියා නිවැරදි පැත්ත සොයාගත් ඔහු එය ගමන් බලපත‍්‍රයේ තබා තද කළේය.
මාගේ කුළුදුල් නැව් ගමනේ පළමු ගමන් බලපත‍්‍රයේ ගාල්ල වරාය පොලීසියේ  ඕ අයි සී ගැහුවේ වැරදි සීල් එකකි. එය නැවකට ගොඩ වීමේදී ආගමන විගමන නිලධාරීන් විසින් ගමන් බලපත‍්‍රයේ යොදන එම්බාකේෂන් සීල් එක නොවීය. එම නිසා මා මාගේ පළමු නැවට ගොඩවි පිටත්ව ගොස් නැත.
වරායට ඇතුලූවීමේ අවසර පත‍්‍රය හා ආගමන විගමන සීල් ගැසීම යන කරුණු සියල්ල සපුරා ගෙන වරාය තුළට ඇතුලූ වන විටත් දහවල් එකත් පසු වී තිබුණි. දැරිය නොහැකි කුසගින්නකින්ද පෙලෙන්නට විය. දුහුවිල්ලෙන් පිරුණු ගාලු වරායේ ඇතුළත මාර්ගයේ බෑගය උරයේ එල්ලාගෙන ජැටිය දෙසට ගමන් කරන්නටවිමි. ඈතින් ජැටියේ නවතා ඇති නෞකාව දිස් විය. කලූ පැහැති බඳකින් හා ටොන් 1200 ක බරකින් යුතු පැරණි නෞකාවක් වු එහි බඩු පැටවීමට හා ගොඩබෑමට යොදා ගන්නා ඩෙරික් දෙක බැඟින් හතරක් එහි තිබුණි. කෙළින්ම නැව ළඟට යෑමට නොහැකි වන සේ ජැටිය කෙළවරින් හමුදා මුර පෙළක් දමා තිබුනායින් මා හට පරංගියා කෝට්ටේ ගියා සේ වටයක් ඇවිද ගොස් නැව අසලට ගමන් කළ යුතු විය.  ඈතින් කුඩාවට පෙනුනද නෞකාව ළඟට ගිය විට එය කොතරම් විශාලද කියා සිතාගන්නට හැකි විය. ජැටියට අවතිර්නවු මා ඉදිරි මාස කිහිපය ගතකරමින් රස්සාව කරන්නට යන නෞකාව හොදින් නිරික්ෂණය කරමින් එය අසළට ගමන්කලෙමි. නැව එක් පසෙක නැවේ බඳේ විශාල යකඩ තහඩු කොටසක් කපා දමා ඇතිබව ඈතදිම නිරික්ෂණයවුනි. පලංචියක නැග ගත් වෙල්ඩර්වරුන් දෙදෙනෙක් ගෑස් කටර් යොදාගෙන එම කැපුමේ කැපුම් දාරය සකසමින් සිටියහ.
ගිනි අව්වේ ඇවිද ආ මසියොළඟම දැන් දාඩියෙන් පෙඟී ඇත. නැවට ගොඩවෙන්නට තිබු ගැන්වේ (Gangway) අසලට ගොස් සිට ගත්තෙමි. මගේ දිවිය සම්පූර්ණයෙන්ම වෙනතකට හරවමින් ලොවක් දකින්නට යන අළුත්ම රැකියාවේ  ඕනෑම දුකක් විදින්නෙමි යැයි සිතා ගැඹුරු හුස්මකින් ලය පුරවාගෙන ගැන්වේ එක එක හුස්මට තරණය කර නැවේ තට්ටුවට ගොඩ වූයෙමි.

Thursday, July 5, 2018

කොළොම්පුරේගේ දෙක ඉවරයි.


කොළොම්පුරේගේ දෙක ඉවරයි කිව්වාම හිතුවා නේද......... නෑ නෑ එක නොවෙයි. වරද්ද ගන්න එපා මේ බ්ලොග් එකේ දෙක. නෑ බොලව් බ්ලොග් එක පටන් අරන් අවුරුදු දෙකක් ගෙවිලා ඉවරයි. මිට අවුරුදු ගනනාවකට බොහෝ කලියෙන් විජය පරිගණක සගරාවේ තිබුන ලිපියක් දැකලා ඒකේ තිබුන ආකාරයට බ්ලොගක් හදන්නට උත්සාහයක් දැරුවා. වර්ඩ් ප්‍රෙස් වලින් විතරයි සිංහල බ්ලොග් ලියන්න පුළුවන් ප්ලැට්ෆොම් එකක් තියෙනවා කියලා කිව්වේ. එකේ තිබුන උපදෙස් වලට අනුව බ්ලොග් එකක් අටවාගත්තත් සිංහලෙන් කොටාගන්න බැරිවුන හින්දා අන්තිමේදි අතහැරලා දමන්ට සිද්දවුනා. උන් එකේ සිංහල අකුරු කොටන්නට යුනිකෝඩ් ගැන ලියලා තිබුනේ නෑ නොවැ .  




කොටලා සිංහල කොහොමද බ්ලොගක්   හදන්නේ
 නෑ   සහයට   කවුරුත්  ලග පාතකවත්     උන්නේ
කිසිදා නොදැකපු එකෙකුයි උපකාරෙට     එන්නේ
නදුන් රනවිරටයි කොළොම්පුරේ ස්තූතිය දෙන්නේ

ඔන්න ඔහෝමයි කොළොම්පුරේගේ බ්ලොග් ආගමනය මීට අවුරුදු දෙකකට කලියෙන් සිද්දවුනේ. ඒ අතරේ වර්ඩ් ප්‍රෙස් ඇලජික් උනු කාට කාටත් සප් එක දෙන බ්ලොගෙක් උපදෙස් මාලාවක් දුන්නා බොලේ.

අරහෙම මෙහෙම හදපන්          කියාලා
අටමා නොවෙද දුන් උපදෙස්     නවාලා
පහුරේ දමාගෙන ගොස් අතහැර දමාලා 
දුන් පබ්ලිසිටියට ආවායි බෝ     තුමාලා

ඔය විදිහෙන් පස්සේ තමයි එකා දෙන්නා කොළොම්පුරේට එබෙන්න විතරක් නොවෙයි ගොඩවැදිලා යන්නත් ආවේ. ඊටත් පස්සේ  

පිපුනා නෙළුමන් අතරේ මතුව       මඩෙන්
සම්මානත් ගත්තා පැනලා තරග     හිඩෙන්
වැඩුනා මිතුරුකම් උන්දැලා කරපු  වැඩෙන්
අවසන ආවේ කාගේද කරපිටක්     උඩෙන් 

ටිකෙන් ටික දවස් ගෙවිලා ගියා. නෙළුම්යාය මල්යාය වසන්තයවල් නැතිවෙලා ගිහිල්ලා වෙන්නැති පරණ බ්ලොග් උන්නෑහැලත් අවාරෙට වැටෙන පොල් ඇට්ටි වාගේ ඉදහිටලා පොස්ට් එකක් දෙකක් පුරසිද්ධ කොරලා දාන්නේ. ඉස්තරම් බ්ලොගක් ලිව්ව විචාරක තුමාත් අපෙන් සමුගත්තා. ඉන්න බ්ලොගාලත් දැන් සකර්බර්ග් ගොය්යාගේ බුකියේ පැලපදියම් වෙලා. ඒවාගේම කොළොම්පුරේට වැඩියෙන් බ්ලොග් කියවන්නන් ආපු ලංකීය සිතුවිලි සින්ඩියත් ලගකදි වැහිලා ගියා. මිනිස්සු මේව්වා බලන්නේ නැත්නම් හත්දෙයියනේ මොන කෙං ගෙඩියකටද කාලය මිල මුදල් හා ඩේටා වියදම් කරන් බ්ලොග් ලියන්නේ කියලාත් හිතෙනවා.    
කොමෙන්ටු නොදැම්මත් කියවන නෝනා මහත්තුරු ඔක්කෝම බොහෝම වැදගත් වාගේම බ්ලොග් ලියන එකාලට පොඩි ආතල් එකක් කික් එකක් මොටිවේෂන් පාරක් උත්ප්‍රෙරකයක් තල්ලුවක් දෙන්නේ කොමෙන්ටුවක් කොටන උන්දැලා තමයි. විශේෂයෙන්ම ප‍්‍රසන් නයා, ප‍්‍රාජේ, මෙන්ඩා වාගේ බ්ලොග් නොලියන එත් කියවලා කොමෙන්ටු කොටන මහත්තුරුගෙන්. 

එන්න එන්නම බ්ලොගාලත් අඩු    වෙනවා
ලිපියට ලැබෙන ප‍්‍රතිචාරත් මදි       වෙනවා
ඩේටා පුච්චාගෙන අපි තාමත් අල   වෙනවා
හිතුනොත් කොළොම්පුරේත් යන්නම යනවා

ඉතිං සිංහල බ්ලොග් ශානර අවකාශයේ එල්ලිලා රැදිලා ඉන්න කොළොම්පුරේට ගොඩවුනු එකී මෙකී නොකී සියලු දෙනාටම හර්දයාංගම ටැන්කිව් එක පුදකරන ගමන් හැමොටම සැලුට් එකක් එහෙම ගහලා ඉඩපාඩුවක් ලැබුන වේලාවක ආයෙත් මේ ගෙන්දගං පොළවේ හමුවෙන්න බලාගෙන කොළොම්පුරේ යන්න යනවා.



මගේ නොවන මගේම කැබිනය හා මිලේනියම් එක සැමරිම - සයුරේ දසවසක්

මාගේ තුන්වන නෞකාව වූ කුමණේ සිටියදි 1999 වසරේ   ජනාධිපතිවරණය   පැවැත්වු අයුරුත් අපත් එයට සමගාමිව  ජනාධිපතිවරණය ක් පවත්වූ අයුරු පෙර ලියා ඇත්තෙ...