Tuesday, November 15, 2016

ඔය කණ නෙමෙයි අනිත් කණ

 

අපේ රටේ ජාතික ක‍්‍රිඩාව වොලිබෝල් වුවත් දැන් ලංකාවේ වොලිබොල් ගහන උන් අඩුය. ගම්පහ ස්ටේෂන් එක ඉදිරිපිට තිබෙන වොලිබොල් ස්මාරකය ගැන දැන් ඉන්නා ගම්පහ කොල්ලෙක් වත් දන්නවාද කියා සිතිම සැක සහිතය. වොලිබොල් ගහන උන්ගේත් රටේත් ජනප‍්‍රියතම ක‍්‍රිඩාව වෙන්නේ ක‍්‍රිකට්ය. මට කි‍්‍රකට් අරහංය. ඒ මං කුඩා දවස්වල අයියා ඇතුලූ සම වයසේ කොලූ නඩය මාව කි‍්‍රකට් ගහන්නට කැදවාගන්නේ නැති නිසාය. වලව්වක් බදුවු සුවිශාල මිදුලක් සහිත අල්ලපු වත්තේ පිහිටි නිවසේ සිටි පෙරේරා ඇන්ටිගේ හා අන්කල්ගේ මුනුපුරන් වු මහේන් හා ජීවක හා එක්ව අයියාගේ සම වයසේ කොල්ලන් හා කි‍්‍රකට් ක‍්‍රිඩාකරන ලද්දේ එ් සුවිශාල මිදුලේදීය. බැට්කරන්නට මිස පන්දු රකිනවා කියන්නේ මහ එපාම කරපු කම්මැලි වැඩක්වු නිසාද පලමු බෝලයෙන් අවුට්වුන විටදි අවුට් එක නොදි රන්ඩුකිරිමෙන්ද අවසානයේ විකට් පොල්ලක් හෝ බැට් එකක් රැගෙන ගෙදරයෑම නැත්නම් ගහකට නැගිම වැනි අසමජ්ජාති ක‍්‍රියාවන් හින්දාද ඔවුන් සෙල්ලම් කිරිමට තියා අම්පයර් කිරිමටවත් කතා කලේවත් නැත. ඉතිං කොහොමද කි‍්‍රකට් වලට කැමති වෙන්නේ? අනුහයේ වර්ල්ඞ් කප් කාලේ අපේ ලංකා කණ්ඩායම ඔස්ටේ‍්‍රලියාවට, ඉන්දියාවට නෙලන බැලිල්ල බලන්න විතරක් රූපාවාහිනියක් ඉදිරිපිට වාඩිගත් මම දැන් කලාන්තරයකින් කි‍්‍රකට් මැච් එකක් බලා නැත. අඩුම තරමේ ලංකා කණ්ඩායමේ නායකයාවත් කවුද කියා අඳුන්නනේවත් නැත. දැන් අල්ලපු වත්තේ සුවිශාල නිවසත් එහි මිදුලත් නැත. එහි තට්ටු පහලොවකින් යුතු මහල් නිවාස සංකීර්නයක් ඉදිවෙමින් තිබෙන්නේ අපේ ගෙදරට හුලං ටිකක් වත් එන්නට තිබු ඉඩකඩත් අහුරාලමින්ය. අල්ලපු ගෙදර ක‍්‍රිකට් ගහපු කාලේ සිදුවු සිද්ධින් ගැන පසුව ලියන්නෙමි.

             මේක ක‍්‍රිකට් ගැන සිදුවිමක් නොවුනත් මෙයට ක‍්‍රිකට්වල සම්බන්ධයක් ඇත්තේය. මේ සිද්ධිය වුනේ මගේ වයස අවුරුදු දාහතර පහලොව ගැටයා කාලේදි විතරය. දවසක්දා අයියා එක්ක ගොරියක් දාගත්තේ එයා බලමින් සිටි ක‍්‍රිකට් මැච් එක තිබෙන චැනල් එක වෙනස් කර වෙනින් චැනල් එකක් දාන්න යාමේදිය. මල හොද එකෙන් පැන්න අයියා දකුණු අතින් කණ හරහා පහරක් එල්ලකලේ බවුන්සර් පන්දුවකට ෂොට්කට් එකක් දමා මිඩිල්ලෙග් හි තර්ඞ් මෑන් අතරින් දෙසැරයක් බිම වැදි ගිය හයේ පහරක් ලෙසිනි. කන හරහා පතිතවුන පාරින් මගේ ඇස් නිලංකාරවි ඔලූව වටා මී මැස්සන් රංචුවක් කැරකෙන්නාක් සේ පෙනෙන්නට විය. ඔළුව වටේ කැරකුණ මී මැස්සන් ටික එකා දෙන්නා කණ ඇතුලට රිංගාගත්තා වාගේය. එ් කියන්නේ ඇතුලෙන් ගුමු ගුමු සද්දයක් එන්නට පටන්ගෙන තිබුණි. කණට ගහපු එක ගැන අම්මාට පැමිණිලි කලත් ඇගෙන් අයියාට ලැබුනේ බැනුම් පමණක් විය. මොන දහදුරා වැඬේ කලත් ඌ හැමදාම අම්මාගෙන් බේරෙන්නේ ලොකු පුතා විම නිසාය. කණ හරහා පාරක් කා සුමානයක් පමණ ගතවි ගියත් කණ ඇතුලට ගිය මී මැස්සන් ටික එළියට ආවේ නැත. මී මැසි සීන් එක මුලින් අම්මාට කියුවෙමි. අම්මා තාත්තාට කියා පසුදාට කලූබෝවිල ඉස්පිරිතාලේ යන්නට ලැස්තිවෙන්නැයි කීවාය. ආණ්ඩුවේ ඉස්පිරිතාලවල් ගානේ ගොස් පොලිම් වල පරිප්පු කන්නට අකමැත්තෙන්ම උනත් කණේ  තියෙන මී මැසි නාදේ අයින් කරගන්නට පාන්දරින් ලෑස්තිවුනිමි. ප‍්‍රයිවේට් ඉස්පිරිතාල වලින් බෙහෙත් ගන්නට අපිට ලොකු වත්කමක් තිබුනේද නැත.
             සීයාගෙන් තාත්තාට උරුමවු සුපර්කබ් නයින්ටියේ නැගුන අපි දෙන්නා පාන්දරම අත්තිඩිය පාරෙන් ගොස් කළුබෝවිල ඉස්පිරිතාලෙට ගියෙමු. ඔය සුපර් කබ් නයින්ටිය තාත්තාට සීයා දුන් පසු කිසිදු මෙන්ටේන් එකක් සරිවිස් කිරිල්ලක් තියා අඩුම තරමේ හේදුවේත් නැතිය. කෑලි හැලි හැලී දුව දුවා සිටි සුපර් කබ් නයින්ටිය අවසානයේ අවසන් හුස්ම හෙලා අපේ ගෙදර උඩ තට්ටුවේ රෝද දෙකක් නැතිව කඳ විතරක් පෑසේජයක දිරාපත්වෙමින් ඇත. පාන්දර ගියත්  ඕපිඩි එකේ දිගු පොලිමක් විය. මා ලෑලී බංකුවක ඉදුවා තාත්තා පිටත්වුනේ දොස්තරට කියන්නට  ඕනේ දේවල් දාහක් දේ මට කියාදිමෙන් පසුවය. දැන් කණේ අමාරුව තියෙන්නේ මටද තාත්තාටද කියා සිතා ගන්නට බැරිවුනි. සංගිත පුටු තරගයකට ගියා සේ බංකුවලින් බංකුවලට මාරුවෙමින් ගොස් තුන්ඩුවක් ලියාගෙන  ඕපිඩි වෛද්‍යවරයා හමුවිමි. මගේ ලෙඬේ කියන්නත් කලියෙන් කණට දමන්නට බෙහෙතක් නියම කල ඔහු මේ බෙහෙත පැය හයකට වරක් බිංදු දෙකබැගින් දමා අඩුවක් නැතිනම් පසුදින තියෙන ඊඑන්ටි ක්ලිනික් එකට යොමු කරවා ඇති බැවින් එයට එන ලෙස දැන්විය. බෙහෙත් පෝලිමේද ටික වේලාවක් ගතකර කණට දමනා බෙහෙත් කුප්පියද රැගෙන බසයේ නැග ගෙදර ගියෙමි. 
       
            දහවල් බිංදු දෙක කණට දැම්මාට එතරම් අවුලක් තිබුනේ නැත. ඊළඟ බිංදු දෙක දැමු විට කණ ඇතුලේ සිටි මී මැස්සන් ටික එළියට යන්නට මෙන් දඟලන්නට පටන්ගත්තේය. කණ ඇතුලෙන් එන වේදනාව දරන්නට බැරි තරම් වුණි. බාප්පාගේ දෙවනි දුව දිල්හානි අක්කා නර්ස් කෙනෙකු ලෙස එවකට වැඩ කලේ කළුබෝවිල ඉස්පිරිතාලේය. මා එම බෙහෙත් කුප්පියත් රැගෙන ඇය හමුවෙන්නට ගියෙමි. එ් දිනවල ඇගේ නයිට් ශිෆ්ට් එක වැටි ඇති බැවින්  දිවා කාලයේ නිවසේ සිටියාය. ඈ කීවේ එම බෙහෙත් ටික ඊළඟ පැය හයේදිත් පාවිච්චි කර හෙට උදෙන්ම ඊ එන් ටි ක්ලිනික් එකට එන මෙන්ය. ගෙදරින් කිව්වේද ඈ කිව් දේමය. එහෙත් කවුරු කිව්වත් එම බෙහෙත දැමිමෙන් කණේ සිටින මී මැස්සන්ට පිස්සු හැදෙන බැවින්ද අවසානයේ වේදනාවෙන් පිස්සු හැදෙන්නේ මාහට බැවින්ද ඊළඟ පැය හයෙන් දැමිය යුතු බෙහෙත් බිංදු දෙක මග හැරියෙමි. පසුදා පාන්දරින්ම යළිත් තාත්තාගේ තල්ලූ ස්ටාට් සුපර් කබ් නයින්ටියේ නැග කළුබෝවිල ගියේ මගේ කණට ගැසු අයියාගේ කණ දෙකම පලනවා වැනි අතිශය සාමදාන සංහිදියාත්මකම සිතුවිලි රැසක්ද සමගිනි. 

          කළුබෝවිල රෝහලේ ඉහල මාලයේ තිබු එම ඊඑන්ටී සායනයේ දිගු පොලිමක් එවන විටත් තිබුනි. තාත්තා මා කැදවාගෙන ගොස් පොලිමේ එක් කෙලවරක නවත්වා දිල්හානි අක්කා හමුවන්නට පිටත්විය. පොලිමෙන් කසු කුසුවක් නැග එන්නට වැඩිවේලාවක් ගතවුයේ නැත. බැලින්නම්  මා වාඩිගෙන ඇත්තේ පොලිමේ ඉදිරිපසිනි. තවදුරටත් එලෙස හිටියෙත් අනිත් කණත් පලාගන්නට වෙන සින් එකක් ඇදෙන බව උප විඥාණය පොඩි වොනින් එකක් දෙන්නට විය. එහෙත් එකෙක්වක් මගෙන් අසන්නටවත් එතනින් එලවා දමන්නටවත් හයියක් ඇති කෂේරුකා තියෙන උන් නොවුනේ මාව එතැන ඉන්දවා ගිය මගේ තාත්තා කවුදැයි නොදන්නා නිසාය. බල පුලූවන්කාර කමක් නැති මට අහක යන පොරියෙල් කන්නට  ඕනේ නැති නිසා ඉක්මනින් එතනින් නැගිට පොලිමේ අගිස්සෙන් වාඩිගත්තෙමි. පොලිමේ අවසානයේ මට ඉදිරියෙන් සිටියේ මගේ වයසට මදක් වැඩිකොල්ලෙකි. ඔහු මොරටුවේ පි‍්‍රන්ස් ඔෆ් වේල්ස් විද්‍යාලයේ ඉගෙනගන්නා බව කතා බහට වැටුනු පසුව කීවේය. දිල්හානි අක්කා හමුවන්නට ගොස් ආපසු පැමිණි තාත්තා පෝලිමෙ අනිත් කෙලවරට ගියේ ඇයි දැයි මගෙන් විමසීය. දිල්හානි අක්කා තව ටිකකින් එන බවත් කී තාත්තා පිටත්විමට පෙර යළිත් කණේ අමාරුව ගැන දොස්තරට කියන හැටි ගැන උපදෙස් මාලාව රිපිට් කලේය. තාත්තා ගියපසු මොරටුවේ කොල්ලා සමගින් පොඩි චැට් එකක් දාගෙන සිටිද්දි දිල්හානි අක්කා මා බලන්නට ආවාය. තවම නොම්බරයක් දුන්නේ නැද්දැයි විමසු ඈ එසේ නම් තව ටිකකින් නොම්බර දෙනු ඇතැයි පවසා සායනයේ අයට මා ගැන පවසන්නම් කීවාය. තව ටිකකින් ඩියුටි  ඕෆ් වෙන බව නිසා සායනය පටන් ගන්නා තෙක් රැදෙන්නට නොහැකි බව කී ඈ පිටත්විය. පෝලිමේ සිටින  ඕනේම කෙනෙකුට නොම්බර නිකුත් කරන බැවින් පෝලිමේ සිට නොම්බරයක් ගන්නට නර්ස් කෙනෙකුගේ පිහිටක් අවශ්‍යවන්නේ නැතිය. තාත්තා ගොස් කී නිසා ඇගේ ගැලවිම පිනිස මා බලන්නට ආ දිල්හානි අක්කා බොරු රඟපෑමක් කර පිටත්ව ගිය බව එ් අවස්තාවේදිම මගේ කුඩා ටිකිරි මොළයට තේරුනි.

          එන්න එන්නම පෝලිම දිගුවුයේ කණේ අමාරුකාරයින් උගුරේ අමාරුකාරයින්ගෙනි. සමහරු කණ අල්ලන් කෙදිරිගාති. උදේ පාන්දර ආ නිසා දැන් එන්න එන්නම බඩගින්නත් තිබහත් වැඩිවෙමින් තිබුනි. පෝලිම දමා යන්නටත් බැරිය. උදේ හතහාමාර හෝ අට පසුවෙද්දි සුරුපි වෛද්‍යතුමියක් අප පෝලිම පසුකරන් සායනයට ගියාය. ඇය බැලූවොත් කණේ අමාරුව නිකම්ම හොදවෙන බව මම පි‍්‍රන්ස් ඔෆ් වේල්ස් කොල්ලාට කීවෙමි. ටික වේලාවකින් පප්පා ටයිප් එකේ නාකි ඩොකෙක් අප පසුකරන් ගියේ අමුතුම අන්දමේ වෝක් එකකිනි.

‘‘අර බලපං අර නාකි මැන්ටල් ඩොකා යන හැටි.  ඕකාත් ඊ එන් ටි එකේ ඩොකෙක්ද දන්නේ නෑ?”
‘‘වෙන්න ඇති. අද හෙටම කූරියා ගහන්න විසා ඇවිල්ලා ඉන්න වයසක පොරක්කේ. හැබැයි මචං මැන්ටලේගේ කන් ඇහේනවාද කියලා ඉස්සෙල්ලාම චෙක් කරලා බලන්න  ඕනේ.”

         මොරටුවේ කොල්ලා හා මම මැන්ටලේ ගැන කියමින් තරමක විනෝදයක් ලැබුවෙමු. දොස්තරලා දෙන්නා සායනයට ගියපසු කනේ අමාරුකාරයින්ගේ බොරු අසාධ්‍ය තත්වය වැඩිවිය. අපගේ මානුෂිය ගුණාංගයින් පිරුණු හොඳ හිතේ තිබෙන්නාවු දුර්වලතාවයන්ගෙන් ප‍්‍රයෝජනයට ගෙන පෝලිමෙන් පිට පැන ඉක්මණින් සායනයට රිංගාගන්නට කපටි කෛරාටික ලෙඞ්ඩු කිහිප දෙනෙක්ට හැකිවිය. සැබවින්ම අමාරුව ඇතිවුන් නොසිටියාද නොවේ. සායනය ඇරඹුණි. බංකුවෙන් බංකුවට ඉදිරියට ගිහින් සායනයේ දොර අසළටම යන්නට හැකිවිය. එක ලෙඩෙකු තරුණ වෛද්‍යවරියටද අනෙක් ලෙඩා නාකි මැන්ටල් වෙදා ගාවටද යවන්නට ඇටෙන්ඩන් කටයුතු කරන්න විය. තරුණ දොස්තර තුමිය වෙත යන්නට හැකි වේවායි මම දෙවියන්ට කීවෙමි. අවසානයේ දෙවියන් මගේ මුහුණ ළඟින් ගොස් බැලූවේ පි‍්‍රන්ස්  ඕෆ් වේල්ස් කොල්ලා දිහාය. මට ටිකට් එක ඇඳුනේ මැන්ටල් ඩොකා ළඟට යන්නටය. ස්කින් වලින් වට කෙරු දොස්තරගේ කුඩා කුටියේ දෙපැත්තෙන් ස්ටැන්ඞ් වල සවිකල විදුලි ලාම්පු දෙකක් විය. කනප්පුවක් වැනි කැරකෙන කුඩා බංකුවේ මා වාඩිගත්තේ ගුඞ් මොනිං ඩොක්ටර් කියාගෙන නමුත් බස්සෙකු සේ මා දෙස බලාසිටි ඔහු හුම් සද්දයක්වත් නැගුවේ නැත.

‘‘දැන් සතියකට කලියෙන් අයියා එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා අයියාගේ අතින් පාරක් වැදුණා. දැන් ඩොක්ට කණ ඇතුලෙන් ගුම් ගුම් ගාන සද්දයක් එනවා.”
‘‘දැන් කොච්චර  දවසක්ද?”
‘‘සතියක් විතර.”
‘‘ඇයි ආවේ?”
‘‘කණෙන් සද්දයක් එන හින්දා.”
‘‘මෙච්චර පොඩි දෙයකටත් එන්න  ඕනේ නෑ. කණට බෙහෙත් දැම්මාද?”
‘‘ඔව්. ඊයේ  ඕපිඩි එකෙන් කණට දාන්න ඩොප් එකක් දුන්නා. දැම්මාට පස්සේ කන හොඳටම රිදෙන්න ගත්තා.”
‘‘කෝ මොකක්ද එ් බේත.”
මා ළඟ තිබු බෙහෙත් කුප්පිය ඔහුට පෙන්වුයෙමි.
‘‘කවුද මේක දුන්නේ?”
‘‘ ඕපිඩි දොස්තර.”
‘‘ඇයි දැම්මෙ?”
යකෝ මු අහන්නේ මාර ප‍්‍රශ්නනේ. දැන් අහනවා ඇයි දැම්මේ කියලා. මම දොස්තර වැඬේ දන්නවා නම් පෝලිමේ තැපලා මේ නාකි මැන්ටලේ ළඟට එනවාද?
‘‘ඕපිඩි දොස්තරනේ දාන්න කියලා දුන්නේ.”
‘‘කොච්චර දැම්මාද?”
‘‘පැය හයෙන් හයට බින්දු දෙක ගානේ.”
‘‘මේක දාන්න එපා. දැන් මේක වෙලා කොච්චර කල්ද?”
‘‘දැන් සතියක් විතර.”
‘‘මොකද උනේ?”
‘‘ අයියා එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා අයියාගේ අතින් පාරක් වැදුණා. දැන් ඩොක්ට කණ ඇතුලෙන් ගුම් ගුම් ගාන සද්දයක් එනවා.”
‘‘සතියක්? ඇයි මෙච්චර දවස් ගෙදරට වෙලා හිටියේ? එ් දවස්වලම ඇවිල්ලා බෙහෙත් ගන්න තිබුණානේ. ”

          දැන් මට ටිකක් විතර අංඥකොරෝස් වීගෙන එනවා වගේ දැනෙන්නට විය. මුලින් ආවේ ඇයි කියා ඇසු ඔහු දැන් ආවේ නැත්තේ කියලා අහනවාය. මේ දොස්තරයාගේ මැන්ටලේ පොඞ්ඩක් විතර නොවෙයි හොඳටම අස්පට් කියලා තේරුම් යන්න මේ වචන ටින හොඳටම ඇතිය. දෙපැත්තේ ලයිට් දෙක පත්තු කරගත්තු දොස්තරයා කාචයක් සවිකරගත්තු පොඩි ගජමැටික් එකක් අතට ගත්තා.
‘‘කොයි කණද?”
මම වම් කණ පෙන්නුයෙමි. මා ළඟට ලංවුනු දොස්තරයා අතේ තිබුනු ගජමැටික් එක මගේ දකුණු කණට ඔබලා කාචෙට ඇහැ තියාගත්තා.
‘‘ඩොක්ට ඔය කණ නෙමෙයි අනිත් කණ.”
මා පළමු පාරට දොස්තර මහත්තයාට කීවෙමි. දොස්තර මහත්තයාගෙන් කිසිම හැල හොල්මනක් නැත. මිනිහා කාචෙට ඇහැ තියාගෙන ඉන්නවා පමණි. මම දෙවනි වතාවටත් ගිය සැරේට වඩා හඬ පොඞ්ඩක් වැඩි කරලා
‘‘ඩොක්ට ඔය කණ නෙමෙයි අනිත් කණ.”
කිව්වා. ඔයලා හිතනවාද දොස්තරට ඇහුණා කියලා? පිස්සුද? කවුද දන්නේ මිනිහා බීරෙක්ද කියලා. මිනිහා නෙමෙයි කණකට ගත්තේ. තාමත් අර ගජමැටික් එක කණට ඔබාගෙන එ් පැත්තට මේ පැත්තට හරවා හරවා බලනවා පමණි. මගේ ඉවසීමත් අඩු වේගන යන්නට විය. පනුවෝ කාපු දත තියලා හොඳ දත් ගලවපු, උනට බෙහෙත් ගන්න ආපු එකාගේ අත කපලා දාපු අපේ ආණ්ඩුවේ ඉස්පිරිතාලවල ඉස්තරම් රත්තරන් දොස්තර මහත්තුරු ගැනත් එ් මොහොතේ සිහිවුණා. (හැබැයි යක්කු ගොඩාක් අතරේත් දෙවිවරු ටික දෙනෙක් එහෙම ඉන්නවා.) ඇගේ මයිල් කෙලින් වෙන කේස් එකක් බැවින් බැරි වේලාවත් හොඳ කණට මොනවා හරි බේතක් දමන්නට පුලූවන. එම නිසා මම ටිකක් සද්දේට තුන්වෙනි පාරටත් එයාට සිහි කැදවිමක් කෙරුවා.

‘‘ඩොක්ට ඔය කනේ නෙමෙයි ලෙඬේ තියෙන්නේ අනිත් කනේ.”
‘‘අයිසේ තමුසේ හිතාගෙන ඉන්නේ මගෙත් කණ ඇහෙන්නේ නෑ කියලාද? මුලින්ම බලන්නේ ලෙඬේ තියෙන කණ නෙමෙයි  ඕයි හොඳ කණයි.”

          මල උපරිමයෙන්ම පැනපු දොස්තරයා මට බැනගෙන බැනගෙන ගියා. ඊට පස්සේ ලෙඬේ නැති කණට ගහන් හිටපු අර ගජමැටික් එක එළියට ඇදලා අරන් මී මැස්සෝ රංචුවක් රිංගලා මී වදයක් බැඳන් හිටපු මගේ ලෙඬේ තිබුන කණට හයියෙන් දමලා එබුවා. අපරාදේ කියන්නට බැරිය එ් අවස්ථාවේදිම නාකි මැන්ටල් දොස්තරයාගේ මියපරලොව ගිය මෑණියන් වහන්සේ ඇතුළු හත්මුතු පරම්පරාවේම මෑණියන්ලාට පිංපෙත් පමුණුවන්න සිහිපත්වුනා.

8 comments:

  1. ‘‘අයිසේ තමුසේ හිතාගෙන ඉන්නේ මගෙත් කණ ඇහෙන්නේ නෑ කියලාද? මුලින්ම බලන්නේ ලෙඬේ තියෙන කණ නෙමෙයි ඕයි හොඳ කණයි.

    කාල වරෙන්කො

    ReplyDelete
  2. ++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. හිනා කාල පණ යනව. හැක්..
    මමත් ඊඑන්ටී දොස්තරලගෙන් බේත් අරගෙන කණට, නහයට දාල හුමාලෙ අල්ලන්න ඔය වගේ කුප්පි හම්බඋනා.

    ReplyDelete
    Replies
    1. සිංහල බ්ලොක් ලෝකේ ඉතා සීඝ‍්‍රගාමිව පොස්ට් ලියන ඔය මහතාගේ අත්දැකිම් ටිකත් ලියමුකෝ අපිටත් බලා ගන්ට.

      Delete
  4. ආයෙ චැනල් මාරු කරනවද මල්ලි ? හැක්...

    ReplyDelete
    Replies
    1. දැන් ආවේත් ඉතිං උන්දෑ දත් නැතිව බත් කනවා.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

ප්‍රචන්ඩ රළ මැද අනතුරක් - සයුරේ දසවසක්

දස වසරක මාගේ නාවික දිවියේ ලැබූ අත්දැකීම් හා සිදුවීම් බොහොමයි. ඒවා හොඳ හා නරක සම්මිශ්‍රණයක් වෙනවා. මෙතැන් පටන් ලියවෙන්නේ නාවිකයෙක්ගේ නාවික දි...