Tuesday, December 20, 2016

මගේ සැන්ටා ක්ලෝස් My Santa Claus







 











‘‘ක‍්‍රිස්මස් ළඟ එනවා පුතාලා සැන්ටා ක්ලෝස්ට ලෙටර්ස් ලිව්වාද?”  
හවස වැඩ ඇරිලා ගෙදර යනින් ගමන් අපේ ගෙදරටත් ගොඩවුන සීයා මගෙන් ඇහැව්වා.
‘‘නෑ සීයේ තාම නෑ. සැන්ටාගෙන් ඉල්ලන තෑග්ග හිතා ගන්න බෑ.”
‘‘අපෝ හිත හිත ඉන්න බෑ. ඉක්මනට ලෙටර් ටික පොස්ට් එකට දාන්න  ඕනේ. ඉක්මණට ඩිසයිඞ් කරගන්න  ඔයාට  ඕනෑ කරන තෑග්ග ගැන. පරක්කුවුනොත් පොස්ට් එකට දාන ලෙටර් යන්නේ නෑ. දැන්ම ලියලා දෙන්න. යු මස්ට් රයිට් නව්.”
‘‘ඉක්මනට ලියන්න බෑ.”
‘‘එහෙම නම් අයි විල් කම් ටුමාරෝ. හෙට එනවා ලෙටර් එක ලියලා තියන්න. අයියාටත් කියන්න.” 
‘‘හා සීයේ.”
‘‘ගුඞ් නයිට් ගොඞ් බ්ලෙස් යූ.”
කියා මගේ හිස සිඹලා සීයා ගෙදරින් පිටවෙලා ගියා.
ලංකා පොලීසියේ පොලීස් පනිවිඩ හුවමාරු අංශයේ සේවයෙන් විශ‍්‍රාම ගත් අපේ සීයා එ්වන විට රජයේ ප්‍රොජෙක්ට් එකක් සඳහා පැමිණි එංගලන්ත සමාගමක සේවය කෙරුවා. උප්ත්තියෙන් කතෝලිකයෙක් වෙච්චි එයා කිසිම දිනෙක පල්ලියකට නම් ගියේ නෑ. එහෙම තියා බයිබලයක් අතින් අල්ලනවාත් අපි දැකලා තිබුනේ නෑ. කොහොමටත් එයා ළඟ බයිබලයක් තිබුනෙත් නෑ. එයා කිව්වේ හපාකන නපුරු බල්ලන් වගේ තමයි මිනිස්සු. උන්ව බැදලා තියෙන දම්වැල තමයි ආගම කියන්නේ කියළා. 

                     ඔන්න ඉතිං අයියාගේ ඇක්සයිස් පොතකිං පිටුවක් කඩාගෙන ලියුමක් ලියන්න ගත්තා. මොන්ටිසොරි යන කාලේ ලියුම් ලියන්න දන්නවාද? නෑනේ. ඉතිං අම්මාගේ උදව්වෙන් ඇක්සයිස් කොලයේ පැන්සල් කොටයෙන් කැත අකුරු දෙතුන් පාර මක මකා රවුම් කල හැටි මතක්වෙනවා.  හැබැයි ඉතිං වැඬේ හරි ඉන්ටරස්ටින්. මොකද  නත්තලට තෑගි ලැබෙනවානේ. බෞද්ධ අපිට සිංහල අවුරුද්දට වඩා ආසාකරන කාලයක්වුනේ නත්තල තමයි. සිංහල අවුරුද්දට තෑගී ලැබෙන්නේ අළුත් ඇඳුම් කට්ටලයක් විතරයි නේ. මේ ලෝකේ  ඕනේම පුංචි දරුවෙක්ට සෙල්ලම් බඩුවක් ලැබෙනවා කියන්නේ මහමෙරක්වාගෙනේ. 

          මැතිනිගේ ආණ්ඩුවේ අන්තිම කාලේ උපන්න අපි ළමා කාලය ගතකරන්න ලැබුනේ ජේ ආර් පප්පාගේ විවෟත ආර්ථිකේ පටන් ගත්තු අවදියේ තමයි. රජයේ සේවයෙකු වෙච්චි තාත්තාගේ සොච්චම් පඩියෙන් පවුල නඩත්තු කරන්නයි ගෙවල් හදන්නයි තිබුන හින්දාත් දැන් කාලේවාගේ  ඕනේ කෑල්ලක් රුපියල් පනහට සෙල්ලම් බඩු පෙමන්ට් වල වැහිවැහැලා නොතිබුනු හින්දාත් නත්තලට සෙල්ලම් බඩුවක් ලැබෙනවා කියන එක අපිට මාරම සතුටක් වුනා. ඔන්න සීයා ඊලඟ දවසේ ඇවිල්ලා ලියුම සැන්ටා ක්ලෝස්ට තැපැල් කරන්න කියලා අරන්ගියා. ඊට පස්සේ අපේ වැඬේවුනේ නත්තල එනකම් නොවසිල්ලෙන් ඇඟිලි ගැනපු එක. සැන්ටා ක්ලෝස් කියන්නේ කවුද? එයා මොන වගේද?  කියලා අම්මාට තාත්තාට කරදරයක් වෙනකම් ප‍්‍රශ්න ඇහැව්වා. ඉතිං එ්කාලේ අපේ ගෙවල් වල ටිවි තිබුනේ නෑනේ. චැනල් එකකට තිබුනෙත් අයි.ටි.එන් එක විතරයි. එක බලන්නත් ටිවි එකක් තිබුන අපේ නැන්දලාගෙ ගෙදරට යන්න වෙනවා. අනික දැන්වාගේ හැම කඩපිලකම රතුපාට ලෝගුවක් ඇදලා බඩට කොට්ටයක් බැදන් කැත වෙස් මුණකට පුළුන් ටිකක් අලවාගෙන අත වන වනා නටන නත්තල් පප්පලා හිටියෙත් නෑ.   

          ඇ`ගිලි ගැන ගැන මඟ බලාගෙන හිටපු නත්තල අත ළඟටම ආවා. නත්තල් ලබන දවසේ අපේ පාසල් බෑග් හිස්කරලා ඇද විට්ටමේ එල්ලන්න කියළා අම්මාගෙන් උපදෙසකුත් ලැබුනා. එ් සැන්ටාට තෑගි දාලා යන්නට. ඔන්න ඉතිං රෑට නිදාගන්නේම නෑ. සැන්ටා ක්ලෝස්ව බලන්න බලන්න  ඕනේ හින්දා. සමහර නත්තල් දවස්වලට අම්මාගෙන් ගුටියකුත් එහෙම කාලා තියේනවා නිදාගන්නේ නැතිව පිස්සු කෙලකෙල ඉන්න නිසා. එත් ඉතිං අපේ නිදි දෙව්දුව අපිට චාන්ස් එකක් දුන්නේම නෑ. සැන්ටා එන්න ඉස්සරින් කොහොම හරි නින්ද ගිහිල්ලා. පසුවෙන්දාම නැගිටලා බලන්නේ බෑග් එක දිහා. ඉල්ලපු සෙල්ලම් බඩුවට වඩා තෑගී වලින් පිරිලා ගිහිල්ලා. මොන්ටිසොරි බෑග් එකට දාන්න ඉඩ මදි නිසා වෙනින් බෑග් එකකටත් පිටරට ටොෆි, චොකලට්, පුංචි පුංචි සෙල්ලම් බඩු, රතිංඤා, අහස් කූරූ, නිලා පැකට් බමරචක‍්‍ර  සැන්ටා අල්ලගන්න බැරිවුන දුක නැතිවෙලා ගිහිල්ලා. 

                     අපි ටයි මාමා කිව්ව ටයිටස් තොටවත්ත මහත්තයාගේ හදයා පිච්චර් එක බලපු දා ඉදන් මට  ඕනේවුනේ අස්සයෙක්ව තමයි. ඉතිං මම එ් අවුරුද්දේ නත්තලට සැන්ටා ක්ලොස්ගෙන් ඉල්ලූවේ අස්සයෙක්වයි. සැන්ටා ක්ලෝස් මට අස්සයෙක්ව තෑගි දුන්නා. හැබැයි මට අමතකවුනා එයාගෙන් ඉල්ලන්න ඇත්තම පන තියෙන අස්සයෙක්  ඕනේ කියලා. එත් ලැබුනේ නැගලා පදින්න පුළුවන් ලී අස්සයෙක්. පොඞ්ඩක් විතර හිතට දුකක් නම් ආවා. 

                     අපි නත්තල් දවසම ගතකලේ ලැබුනු තෑගීවල උද්දාමයෙන් තමයි. පස්සේ බලද්දි අපිට විතරක් නොවෙයි නත්තල් සීයා තෑගි දිලා තියෙන්නේ නැන්දලා බාප්පලාගේ දරුවන්ටත් අපිට වාගේම සැන්ටා ක්ලෝස් සලකලා තිබුනා. අපි ඉල්ලපු තෑග්ගට වඩා හොඳ තෑග්ගක් වෙන අය ඉල්ලා අරගෙන තියෙනනා දකින කොට පොඩි ඊරිසියාවක් එහෙම නැගුනා. නිවාඩු මාසේ ගෙවිලා ගිහිල්ලා ඉස්කෝලේ යන්නෙත් ලැබුනු නත්තල් තෑගීවල උද්දාමෙන් තමයි. නත්තල් සමරන්නේ නැති, තෑගී ලැබුනේ නැති අපේ පන්තිවල ළමයින්ට මේ අපේ සැන්ටා ක්ලෝස් රෑට ඇවිල්ලා තෑගී දුන්නා කියලා ලොකුවට කීමත් අපිට තිබුන එක වීරකමක්. පස්සේ කාලේක  ඕවා කියන්න ගියාම සමහර ලමයින්ගෙන් ලැබුනේ සමච්චල් කතන්දර තමයි.

                     තවත් ටික කාලයක් යනකොට අපේ පවුල් වලට තවත් කට්ටිය එකතුවුනා. ඒ කියන්නේ තව නංගිලා මල්ලිලා නැන්දලා බාප්පලා  එයාලගේ පවුල් වලට එකතුකරගත්තා. එහෙම ආවා කියලා අපේ සැන්ටා ක්ලෝස් එයාලවත් අපිවත් නොසලකා හැරියේ නෑ. අපේ තෑගීවල කොටස අඩුවුනේත් නෑ. අපිත් ටිකක් විතර ලොකු මහත්වෙද්දි අයියා නම්  කිව්වේ මේ තෑගී දෙන්න රෑට එන්නේ සීයා තමයි කියලා. එත් අතටම අල්ලගන්න නැතිව කොහොමද කියන්නේ සැන්ටා ක්ලෝස් කවුද කියලා. අපි නත්තල් දා රෑට නැගිටලා හිටියත් නිදි දෙව්දුව හැම පාරම අපිව පැරුද්දුවා. හැබැයි මගේ හිතෙත් සීයා ගැන පොඩි සැකයක් එහෙම  ඇතිවෙලා තිබුනේ සැන්ටා ක්ලෝස් එයාගේ යාළුවෙක් කිව්ව එක ගැන නම්. 

            ඔන්න එක පාරටම අපේ සීයා වැඩ කරපු අර එංගලන්ත කොම්පැනිය අපේ රටේ කරගෙන ආපු ප්‍රොජෙක්ට් එක නවත්තලා දාලා ආයෙමත් එයාලගේ රටට ගියා. සීයාගේ රස්සාවත් නැතිවුනා. එයාට කියලා ඉතිරිවුනේ අරසොච්චම් පැන්ෂන් පඩිය විතරයි. එකෙන් ඉතිං හවසට අඩියක් එහෙම ගහලා සීයාත් පොඩි කොල්ලෙක් වාගේ හිටියා. ඔන්න ඒ අවුරුද්දේ අපේ සීයා ලොකු නත්තල් පාටියක් නැන්දලාගේ ගෙදර දැම්මා. සීයා එයාගේ දුවලා පුත්තු මුනුපුරෝ මිනිපිරියෝ වෙච්චි අපිටත් එන්න කිව්වා. මෙච්චර කාලයක් අපි නොදැක්ක අපේ සැන්ටා ක්ලෝස් මොන්ටිසෝරියේදි තෑගි දෙන්න ආපු වේලාවේ දැක්කා වාගේ රතුපාට ලොගුවක් ඇදලා ඇවිල්ලා අපිට තෑගීත් බෙදුවා. සීයා පැත්තකට වෙලා හිනා වෙවි බලාගෙන හිටියා. හැබැයි මේ පාටිය නිසා වෙනදා හම්බුවෙන පිටරට ටොෆි චොකලට් එහෙම වැඩිපුර ලැබුනේ නෑ. රතිංඤා අහස්කූරුත් අඩුවෙලා නම් තිබුනා. හැබැයි එදායින් පස්සේ අපේ සැන්ටා ක්ලෝස් ක්ලොස් වෙලාම ගියා. එයා ආපහු අපිට තෑගී දෙන්න ආවේ නෑ. ඒ ගැන සීයාගෙන් ඇහුවාම එයා කිව්වේ වෙනම කතාවක්. අපි දැන් ලොකු ළමයි නිසා දැන් තෑගි දෙන්න පොඩි ළමයි හොයාගෙන ගිහිල්ලා කිව්වා. එත් ඉතිං බාප්පලාගේ පොඩි මල්ලිලාට නංගිලාට එයා තෑගී දෙන්න ආවෙත් නෑ. පස්සේ දවසක සීයා කිව්වා සැන්ටා ක්ලෝස් තරහාවෙලා වෙන්න ඇතියි කියලා. 

                 ටිකන් ටික අපිටත් සැන්ටා ක්ලොස්ගේ තෑගී අවශ්‍යවුනේ නෑ. අපිත් ඉතිං ලොකු මහත්වෙනකොට පොඩි පොඩි සෙල්ලම් බඩු වලට වඩා ආසාවෙන්නේ ලොකු ලොකු සෙල්ලම් වලටනේ්. සීයාත් ටිකෙන් ටික වියපත්වෙමින් තවත් අවුරුදු කිහිපයක් ගෙවුනා. ඔන්න එක අවුරුද්දක නත්තල් මාසේ ළංවලා දවසක් අපේ ගෙවල් පැත්තේ ආපු සීයා අයියාව හෙව්වා. ඒ වෙනකොට අයියා එ ලෙවල් විභාගේ කරලා ඉවර වෙච්චි ගමන් වාගේ රස්සාවකට යනවා. එදා අයියා ගෙදර හිටියේ නෑ. මම දන්නවා සීයා මොකටද අයියා හොයාගෙන එන්නේ කියලා. හවසට පොඩි අඩියක් එහෙම ගහන්න සල්ලි අතමාරුවක් එහෙම කරගන්න එයා අයියාව හොයනවා. එ් එයාගේ පැන්ෂන් එක ඉවරවෙලා තිබුනොත් තමයි. 
‘‘කෝ පුතේ අයියා?” 
‘‘අයියා ගෙදර නෑ සීයේ. ඇයි?”
‘‘පුතේ කුඞ් යු ගිව් මි ෆිෆ්ටි රුපීස්. අයි කැන් ගිව් යු නෙකස් මන්ත් වෙන් අයි ටෙක් පැන්ෂන්.” 
‘‘අයියෝ සීයේ මං ළඟ සල්ලි නෑනේ.” 
‘‘වට කැන් ඩු නව්. පුතා අම්මාගෙන් වත් ඉල්ලගන්න බැරිද?”

මම දන්නවා සීයා අම්මාගෙන් සල්ලි ඉල්ලන්න යන්න නෑ. එයා මේ සල්ලි අරන් බොන විත්තිය දන්න නිසා අම්මා එයාට බොන්න නම් සල්ලි දෙන්න කැමති නෑ. එකයි සීයා මගෙන් ඇහැව්වේ.
‘‘ඉන්න සීයේ මම බලන්නම්.” 
අම්මාගේ සල්ලි වගයක් තිබ්බ තැනකින් රුපියල් තිහක් හොයාගත්තු මම සීයාට දුන්නා. 
‘‘තර්ටි මදි පුතා. එනිවේ කමක් නෑ. වට්ටු ඩු නොට්ටු කලට.” 
එයා මගෙන් රුපියල් තිහ ගත්තා. 
‘‘ආ සීයේ නත්තලූත් ළඟයි නේද? කෝ එ් කාලේ අපිට තෑගී දුන්න සීයාගේ යාළු සැන්ටා ක්ලෝස්?”
සීයාගේ බොරපාට ගැන්වුනු ඇස්වලට ආ කඳුළු මටට නොපෙනෙන්න සඟවාගෙන මං දුන්න රුපියල් තිහත් අරන් ගෙදරින් එළියට බැස්සේ බිඳුනු කටහඬින් මට මෙහෙම කියාගෙනයි. 
‘‘පුතාලගේ සැන්ටා ක්ලෝස් බංකොලොත් වුනා පුතේ.”



ප.ලි. 
රස්සාවක් කරන කාලෙක අපේ නත්තල් සීයාට හොඳ නත්තල් තෑග්ගක් දෙන්න හිතාගත්තත් මම ලොකු මහත්වෙලා රස්සාවක් කරන කාලේ වෙනකොට සීයා සවර්ගස්ථ වෙලා කාලයක් ගෙවිලා ගිහිල්ලා.එත් අදටත් හැම අවුරුද්දකම නත්තල් දවසකටම  ආර්. ඒ. ෆ‍්‍රැන්සිස් පෙරේරා නම්වු මගේ සැන්ටා ක්ලෝස් ව සිහිපත් වෙනවා. ඒ සැම වෙලාවකටම දෙසවනට දෝංකාර දී ඇහෙන්නේ 
‘‘පුතාලගේ සැන්ටා ක්ලෝස් බංකොලොත්වුනා පුතේ.” 
සීයාගේ වචන ටිකයි.  

28 comments :

  1. මේ පාර උඹ සැන්ටා වෙලා උඔලගේ ගෙවල් පැත්තේ සොට් එකක් දාන උන්ට බෝතලයක් අරං ලගට ගිහින් වක්කරල දියං

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ සොට් එක දාන සෙට් එකට බොතල් අරන් දිලා පිරිමහන්න ඇත්ත සැන්ටා ක්ලෝසටවත් බැරිවෙයි. මම සැන්ටා වෙලා ලගකදි බොතලයක් අරන් අටංතුමාලගේ ගෙවල් පැත්තේ එංඤං කෝ.

      Delete
    2. මං බිම නැවැත්තුවා

      Delete
    3. ඈ බං උඹ ඔය සහතික ඇත්තමද කියන්නේ?

      Delete
  2. Replies
    1. මගේ හිතේ අවුරුදු ගානක් තෙරපුන දුක ලිව්වා.

      Delete
  3. Replies
    1. now days all are selling Christmas....
      ඔබටත් සුබ නත්තලක් වේවා.

      Delete
  4. වයසට ගියාම ලොකු අසනීපයක් නැත්නම් පොඩි අඩියක් ගහන්න කීයක් හරි දෙන එක පිනක්.
    මං දන්න බ්ලොග් ලියන කෙනෙක් ඉන්නවා ඔහු තමන් සමග වැඩකරලා විශ්‍රාම ගිය අය සමහරකට මාසෙට ගාණක් දෙනවා ඔවුන්ගේ පවුල්වලින් ඔවුන්ට විනෝදවෙන්න සල්ලි නොලැබෙන නිසා

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මමනම් පැන්ෂන් එකක් ලැබෙන රස්සාවක් නොකරන හින්දා නාකි කාලේ අඩියක් ගහන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.
      ඔබටත් සුබ නත්තලක් වේවා.

      Delete
    2. කවුද හැබැට ඒ , මටත් උෟගාව රස්සාාවක් ඉල්ලලා දෙන්ඩඩකො ...මාසයක් දෙකක් වැඩ කරල පැංසොං යන්ඩ හිටං

      Delete
  5. බොන කන අයවලුන්ගේ අතේ සතේ නැති වුවද හිත හොදය

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත තමයි.
      ඔබටත් සුබ නත්තලක් වේවා.

      Delete
  6. සංවේදී කථාවක්. ප්‍රාජේ තමයි පාර කිව්වෙ

    ReplyDelete
    Replies
    1. කොළොම්පුරේට ගොඩවැදුනු ඉයන්ව සාදරෙන් පිලිගන්නවා. ඔබට ස්තූතියි.
      ඔබටත් සුබ නත්තලක් වේවා.

      Delete
  7. පපුව පත්තුවෙන කතා ලියන්න එපා හාදයෝ. ෆ්‍රැන්සිස් පෙරේරලා නැති පාඩුව මකන්න අමාරුයි. ඒක පුරවන්න පුලුවන් පරම්පරාවක් හැදෙයිද කියන ප්‍රශ්නේ මට හිතෙනවා. ඒ පරම්පරාවත් එක්ක ඉන්න ලැබීමත් වාසනාවක්.

    ReplyDelete
    Replies
    1. මේක මගේ පපුවේ අවුරුදු ගානක් පත්තුවෙච්චි එකක්. මේක ලියන්න පාදකවුනේ බස්සිගේ සැන්ටා ක්ලොස් ගැන ලියවුනු ලිපියයි. පෙරේරලා කොහොමත් හොදට කන බොන හිත හොද මිනිස්සු නේ. අපිත් ඒ පරම්පරාවේ එක මුල් කෑල්ලක්.
      ඔබටත් සුබ නත්තලක් වේවා.

      Delete
  8. දුකයි. මමත් ඒ සීයාගේ වයසේ ඉන්න පැන්ෂන් කාරයෙක් නිසා තවත් දුකයි. ඒ සීයා දෙවියන් වහන්සේ ළඟ මෝක්ෂ සුවය ලබමින් ඇති. අපි, දැන් ඉන්න පරපුරට, සැබෑ නත්තල කියන්නේ මොකක්ද කියලා, අවබෝධ කරලා දෙමු. එතකොට සීයා දෙවියන් වහන්සේ ළඟ ඉඳලා, ඔබ දිහා බලා සතුටුවනු ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහස් වලට. දැන් ඉන්න අය හිතන්නේ සැබෑ නත්තල කියන්නේ කඩපිල් අයිනේ පාරේ නටන නත්තල් පප්පලාත් මැටියෙන් හදාපු ගවලෙනුත් නතත්ල් දැාල ගෙදර නත්තල් ගහක් හිටවන එකයි කියලා. ඔබ කියනා අයුරින් එහි අරුතයි අවබෝධ කරලා දෙන්නයි ඔනේ.
      ඔබ සීයා කෙනෙකුගේ වයසේ කිව්වාට මට හිතන් හිටියේ කොල්ලෙක් කියලා. අදහස් නම් තාම හොද ජවයෙන් යුතු කොල්ලෙක්ගේ වාගේ.

      Delete
  9. හිතට වැදුනු කතාවක්... සුබ නත්තලක් අයියේ...

    ReplyDelete
    Replies
    1. ඔබටත් නත්තලේ සැබෑ අසිරිය දැනෙන සුබම සුබ නත්තලක් වේවා.

      Delete
  10. සංවේදීව දැනුනා.. සුබ නත්තලක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි. ඔබටත් අසිරිමත් නත්තලක් වේවා.

      Delete
  11. හිතේ හැටියට විනෝද වෙන්න වියදම් කරලා එකපාරටම කරගන්න දෙයක් නැති උනාම,සිගරට් එකත් අනුන්ගෙන් බොන්න උනාම හිතට දැනෙන්න මහා බරක්.ඒ අස්සෙ තමුන්ගෙන් වැඩක් නෑ කියලා අනිත් අය අතෑරලා යන දිහත් බලන් ඉන්න එපැයි.ඒ උනත් සීයා පරණ මතකයන් එක්ක සතුටු වෙන්න ඇති.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. එයා ටිකෙන් ටික බොන්න පෙලෙබෙන්න ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති. මගේ සැන්ටා ක්ලෝස්ගේ අවසානය ලංවුනෙත් අපිව අතහැරලා යන්නවුනෙත් ඒ නිසා සිදුවු අනතුරකින්.
      පැපෝටත් සුබ නත්තලක් වේවා.

      Delete
  12. සුභ නත්තලක් හා සුභ නව වසරක් වේවා.
    හදවත රිදුනත් සීයා ආදරෙන් සිහිපත් කරන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් තව දින කිහිපයකින් ලබන්නාවු නව වසර සුබම සුබ නව වසරක් වේවා.

      Delete
  13. ‘‘පුතාලගේ සැන්ටා ක්ලෝස් බංකොලොත්වුනා පුතේ.” හදවතටම වැදුනා !!!

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න