සුචිත්‍රාද හොර බැළලියක මෙන් ඔහු පසුපසින් ඇදීගියේ අවට කිසිවෙකුට තම මුහුණ නොපෙනෙනු පිණිස හිස බිමට නැඹුරු කරගනිමින්ය. කාමරයට ඇතුලුවූ වහාම කාමරයේ දොර වසාදමා අගුල්ලූ ඔහු වායු සමීකරණයේ රිමෝටය ගෙන එය ක්‍රියාත්මක කරවීය. අන්දමන්ද ලීලාවෙන් තවමත් කාමරයේ මැද සිටගෙන කාමරයේ වටාපිටාව දෙස නෙත් යොමු කරමින් සිටි සුචිත්‍රාව දුටු ඔහු සෙමින් ඇගේ පිටුපසින් පැමිණ තරයේ වැළඳ ගත්තේය. එකවරම සිදුවූ දෙයින් තිගැස්සීමකට ලක්වූ ඕ වහා අනෙක් පසට හැරෙත්ම ඩේමියන්ගේ දඟකාර දෙතොල් අතරට ඇගේ දෙතොල් අසුවිය. සුචිත්‍රා තම දෑස අඬවන් කරමින් එම අනුරාගී මිහිරට අනුගතවෙද්දී ඈ තම දෑත්ද ඩේමියන් වටා පැටලුනේ ඉබේටමය. අතොරක් නැතිව ඇගේ දෙතොලත් ගෙලත් උරාබීමෙන් නොනැවතිව සා පිපාසාවෙන් පෙලුනු අයෙකුමෙන් ඔහු ඇගේ සිරුරේ රසතැන් සොයමින් දිවයන්නට පටන්ගති. මෙතෙක් සිරකරගෙන හුන් හැඟීම් සමුදායන්ට පුපුරා විසිරයන්නට ඉඩහල ඈ ඔහුගේ රස කැලැතීම් වලට අනුබල දෙමින් එම රිද්මයට ඒකාත්මික වූවාය. ඩේමියන් ජවාධික තුරගෙකුසේ ඇයව කිහිපවිටක් මිහිරෙන් මත්කරලමින් අවසන දැඬි සුසුමක් හෙලමින් නිහඬවිය. ගස්කොලන් අඹරවමින් හමාගිය සුවිශාල චණ්ඩමාරුතයක් එකවරම නැවතී ගොස් දැඬි නිශ්ශබ්දතාවයක් ඇතිවූවාක් මෙන් හාත්පස පරිසරයම නිහඬ බවින් පිරීගියේය. වායුසමිකරණයෙන් පිටවන සිසිල් සුළඟ පරදා ඔවුන්ගේ ගතින් දහඩිය ගලන්නට වූයෙන් තවමත් කිටිකිටියේ සුචිත්‍රාව වැළඳගෙන සිටි ඩේමියන් ඔහුගේ බැඳීම සෙමින් ලිහිල් කෙරුවේය. ඒ අවසරයෙන් සුචිත්‍රා පොරවනයක් ගෙන තම නිරුවත් සිරුර වසාගත්තීය.
සුචිත්‍රා ඩේමියන්ගෙන් මිදී යළි නිවසට පැමිණෙන විටත් උපනන්ද පැමිණ සිටියේ නැත. ඇය තම කුඩා මොටර් රථය ගරාජයේ දමා සාලයට ගොඩවද්දි උපනන්ද සුචිත්‍රාගේ සුරතගෙන සිටිනා මඟුල් පින්තුරය ඇගේ නෙතට අසුවිනි. උපනන්ද ඉමහත් සතුටක් උතුරායන සේ සිනාසීගෙන සිටින එම පින්තුරය දෙස මොහොතක් ඈ බලාසිටියාය. තමා විශාල ද්‍රෝහිකමක් ඔහුට කළායැයි සිතුවිල්ලක් සිතට නැගෙද්දී තම පපුව මත මහ විශාල බරක් තැබුවාක් මෙන් ඇය හට දැණුනි. මෙතෙක් වේලාවක් සිතේ දෝරේගලාගිය ඩේමියන්ගෙන් ලැබූ මිහිර එකවරම යටපත්වී එම ද්‍රෝහි සිතුවිල්ල ක්ෂණිකව ලැව්ගින්නක් සේ තම ශරිරය පුරා දිවයන්නට විය. ඇය මංගල පින්තුරයෙන් දෑස් ඉවතට ගනිද්දී බිත්ති කබඩයේ තිබූ බඳුනේ හිස තමා දෙස නෙත් යොමු කර බලාසිටින්නාක් මෙන් ඈට පෙනෙන්නට වුනි. එයින් යම් ආකර්ෂණාත්මක අමුත්තක් දැනුනායින් එය දෙස මෙහොතක් බලාහුන් සුචිත්‍රා තම දෙනෙත් ආයාසයෙන් ඉවත්කරගෙන ඉක්මණින් පඩිපෙළ නැග නිදන කාමරයට දිවගියේ තමාගැන ඇතිවූ පාපකාරී සිතුවිලිවලින් පුරවාගෙනය. නානකාමරයට දිවගොස් සිසිල් දියෙන් තම කය දොවා දමා එම පව් සෝදාහරින්නට ඈට වුවමනාවිය. ඇසිල්ලකින් ඇඳුම් උනාදමා නානකාමරයේ වතුර මල යටටවූයේ අද දවසේ උපනන්දට ද්‍රෝහිවීමෙන් කළේ බරපතල වැරැද්දක් බව සිහියට නගමිනි. තමා විවාහක ගැහැනියක් බව අමතකරදා ඩේමියන් හා එක්වීමෙන් කළේ කෙතරම් බරපතල වරදක්දැයි ඈට සිතුනායින් හිස ටයිල් බිත්තියේ දෙවරක්ම ගසාගත්තාය.
තවදුරටත් උපනන්දට මුහුණ දීමට නොහැකියාවකින් පෙලුනු ඈ රාත්‍රි අහරද නොගෙන ඉක්මනින් ඇඳට වැටුනේ උපනන්ද නිවසට ගොඩවදිද්දීය. ඔහු කාමරයට ආ විගස තදනින්දක පසුවන විලසින් ඈ තම දෑස් තදින් පියාගෙන සිටි අතර නිදන කාමරයට ආ උපනන්ද නිදන සුචිත්‍රා දෙසබලා සෙමින් ඇඳුම් මාරුකරගෙන තම ව්‍යාපාරයේ ලිපි හා ගිණුම් කටයුතු පිරික්සන්නට යළිත් කන්තෝරු කාමරයට පිළිපන්නේය. ඇඳට ගොඩවූවත් නින්ද අහලකටවත් නොපැමිණියේ සුචිත්‍රාගේ වරදකාරි හැඟුම් පරදවමින් ඩේමියන් හා ගතකල රසවත් මොහොතේ මිහිරි සිතුවිලි ඉස්මතුව එද්දීය. ඇයටත් නොදැනීම යළි ඇගේ ගත උණුසුම්වී එම රසය ඉල්ලා සිටින්නට විය. උපනන්ද හා විවාහ වී අවුරුදු කිහිපයක් ගතවූවත් ඩේමියන්ගෙන් මෙන් රසවත් මිහිරක් කිසිදාක ඔහුගෙන් ඇයට ලැබී නොතිබුනි. එම අනුරාගී රසය නැවත ඇයව කැඳවන්නට මෙන් ශරිරයේවූ කාමගින්න යළි යළිත් බුරබුරා නැගෙන්නට විය. ඩේමියන් හා උපනන්ද අතර දෝලනය වෙමින් විසිරෙන අපමණ සිතුවිලි එක්රැස්කරන්නට ඈ උත්සාහ ගනිද්දී නිවසට ඈතින් බළලුන්ගේ පොරකෑමකට ආසන්න කෑගැසුම් ශබ්දයන් ඇසෙන්නට වුනි. එහෙත් ගතේවූ වෙහෙස විසින් ඇසිපිය බර කරමින් ඕ නින්දට වැටුනාය.
උපනන්දගේ කඩාවැටුනු විසිතුරු මත්ස්‍ය අපනයනය කිරීමේ ව්‍යාපාරය නැවත නගාසිටුවීමට ඔහු වෙහෙසෙන අතර සුචිත්‍රා හා ඩේමියන්ගේ රහස් සම්බන්ධය වර්ධනය වූයේ ෂෙරිල්ටත් රහසිනි. ඩේමියන් විසින් සුචිත්‍රාට ඉගැන්වූ පරිදි ඔහු කාන්තා පිහිටාධාර සුබසාධක සංවිධානයේ කොළඹ ප්‍රධාන කර්යාලයේ ව්‍යාපාර උපදේශකයෙකු බවත් මේ දිනවල පවත්නා ගාලු දිස්ත්‍රික්කයේ කාන්තා කුඩාකර්මාන්ත ව්‍යාපාර උපදේශන කටයුතුවලට පැමිණ ඇති බවත් පවසමින් උපනන්දට ඔහුව හඳුන්වා දෙනු ලැබුවාය. ව්‍යාපාර පිලිබදව ඩේමියන් සතු දැනුම නිසාවෙන් උපනන්ද හා ඩේමියන් ඉක්මනින් යහලුවන් බවට පත්වූයේ ඔවුන්ගේ රහස් සම්බන්ධය තවත් පහසු කරවමිනි. ඩේමියන් උපනන්දගේ නිවසට යාම් ඊම් කිරීම නිතර සිඳුවූ බැවින් මාටින් හෝ තංගම්මා ඔහුගේ පැමිණීම එතරම් ගණන්ගතයුතු දෙයක් ලෙස සැලකුවේ නැතුවායින් සුචිත්‍රාත් ඩේමියනුත් ඉඩ ලැබෙන සෑම විටම පෙම්සුව වින්දින්නට වූහ.
★ ★ ★ ★ ★
විසිතුරු මත්ස්‍ය අපනයනය කරන්නන්ගේ වාර්ෂික සම්මේලනය කොළඹ බන්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබුනායින් එහි සාමාජිකයෙකු වූ ඔහු උපනන්දටද එයට සහභාගිවීමට අරාධනා ලැබී තිබුනි. ඔහු ඒ හරහා හෝ තම කඩාවැටුනු ව්‍යාපාරය යළි නගාසිටුවීමට අවශ්‍ය උපකාර බලාපොරොත්තු වෙමින් එයට යෑමට ලැහැස්ති විය. රියදුරු මාටින් සමඟින් උපනන්ද උදෙන්ම කොළඹ පිටත්වූ පසු ඩේමියන් හා තනිවීමට මෙවැනි අවස්ථාවක් ලැබෙන තුරු බලාහුන් සුචිත්‍රා ඉක්මනින් ඩේමියන් හට ඇමතුමක් දුන්නාය.
“ඩේමියන් අද උපේ කොළඹ ගියා. අර මම කිව්වේ ඒ ගොල්ලන්ගේ සම්මේලනයට. එයා හෙට තමයි ආයෙත් එන්නේ. අද මම තනියම.”
“ඇයි බබාට පාළුද?”
“පාළු නිසා තමයි මම ඔයාට කතාකළේ.”
ඈ නොරිස්සුමෙන් කීවාය.
“හරි හරි මම එන්නම්කෝ බබාගේ පාළුව යන්නත් එක්ක. හැබැයි මට දැන්ම එන්න විදිහක් නම් නැහැ. අද මට මීටින් වගයක් තියෙනවා. ඒවා ඉවරවෙන්න ටිකක් දවල්වෙයි. මම ඒවා ඉවරවුණු ගමන් එන්නම්.”
“අයියෝ මීටින් අදම දාගත්තාද? ඉක්මනටම එන්න බලන්න. ඔන්න මම බලන් ඉන්නවා.”
ඩේමියන් හා එක්ව සිටින කළ ලබාදෙන සතුට කිසිකලෙකත් උපනන්දගෙන් සුචිත්‍රාට ලැබී නැතැයි ඈට සිහිවිය. වරෙක ඈට පසුතැවිල්ලක් ඇතිවූයේ මෙතෙක් ඇගේ රහස් සම්බන්ධයක් ඇතිබව නොදැන තමාට කිසිඳු වෙනස්කමක් නොකර සලකන උපනන්දට ද්‍රෝහිවීම පිළිබඳවයි. නමුත් ඩේමියන් ගැන සිතෙන විටෙක එම සිතුවිලි පරදා අනුරාගී මිහිරෙන් මන් මත්කරන හැඩිදැඬි රූපකාය ඇගේ සිහියට නිරන්තරව නැගෙන්නට විය.
“ඩේමියන් තමයි මගේ ලෝකය එළිය කළේ. මෙච්චර කාලයක් මම මේ ගෙදරට හිරවෙලා ලෝකයක් නොදැක සිටිය කාලය ඉවර කළේ ඔයා තමයි. මට දැන් ඔයා නැතිව බෑ.”
ඈ හිමිහිට තමාටම මුමුනාගත්තීය. එදිනට නියමිත වැඩ රාජකාරි ඉක්මනින් ඉවරකලත් ඩේමියන්ට හවස්වෙනතෙක් එම කටයුතුවලින් මිදීමට පුලුවන් කමක් නොවීය. ඔහු සවස්වරුවේ කෙටි නිවාඩුවක් දමා ඉක්මනින් සුචිත්‍රා සොයාගෙන උපනන්දගේ නිවසට පැමිණියේ වන මලකට ඇදෙන බඹරෙකු විලසිනි. ඔවුනට කිසිවෙකුගෙන් හෝ අවට පරිසරයෙන්ද බාධාවක් අවහිරයක් නොවන බැවින් ඩේමියන් සුචිත්‍රාව රැගෙන උඩුමහලේ වූ නිදන කාමරයට වැදුනේ රිසිසේ පෙම් සුව විඳීමටය.
විසිතුරු මත්ස්‍ය අපනයනයකරුවන්ගේ වාර්ෂික මහසභා රැස්වීම සවස තුන වනවිට අවසන්වූයෙන් එදින සවස්වරුවේ එම ව්‍යාපාරයේ නියැලි ව්‍යාපාරිකයන්ගේ සුහද හමුව ගල්කිස්ස මහ හෝටලයේ පැවැත්වීමට නියමිතව තිබුනි. උපනන්ද මහසභා රැස්වීම අවසන එම සුහඳ හමුවට යාමට තවත් වේලාව ඉතිරිව ඇති බැවින් තමා වෙන්කරගත් හෝටලයේ කාමරයට ගොඩවැදුනේ අද දිනයේ වෙහෙසාකාරීබව නිවාගැන්මට නා කියාගෙන මඳ අස්වැසිල්ලක් ගැනීමටය. තම කාමරයට පිවිසි උපනන්ද හෙට දිනයේ යොදාගත් වැඩපිළිවෙළ ගැන අධ්‍යයනයක්ද කළේය. දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ ආදායම් නිලධාරින් හමුවී තම ව්‍යාපාරය කඩාවැටී ඇති බැවින් යම් බදු නිදහසක් ලබාගැන්මට හා අර්ථසාධක අරමුදලේ මුදල් නොගෙවා සිරිවර්ධන විසින් කරන ලද මුල්‍ය වංචාව පිළිබඳව ඔවුන් දැනුවත් කර එම අරමුදලට බැරවිය යුතු මුදල් ගෙවීමට යම් සහන කාලසීමාවක් ඉල්ලාසිටීම ඔහුගේ අභිප්‍රාය විය. එහෙත් යම් අතපසුවීමකින් එම කරුණු අඩංගු ෆයිල් කවරය නොව වෙනත් ඒවැනිම ෆයිල් කවරයක් රැගෙන අවුත් තිබුණේය. පසු දින යොදාගත් වැඩපිළිවෙළ ෆයිල් කවරය අමතකවීමන් අවලංගු කළ නොහැක්කක් වීම නිසා උපනන්ද වහාම රියදුරු මාටින් අමතා සුහඳ හමුවට යළි සහභාගිවීමට යළි කොළඹට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ගාල්ලේ තම නිවසට ඉක්මනින් පදවන ලෙසට අණකළේය. එහෙත් නොසිතූ ලෙසම උපනන්දගේ වාහනය විශාල වාහන තදබදයකට හසුවූයේ කොස්ගොඩ පසුකරනවාත් සමඟය. ගාලු පාර හරහා අනතුරකට ලක්ව පෙරලී තිබූ කන්ටේනරයක් රැගත් විශාල ලොරියක් නිසාවෙන් එම තදබදයෙන් මිදීමට උපනන්දට පැයකට වඩා කාලයක් ගතවිනි.
සවස කොළඹින් පිටත්වූ ඔවුන් යළි ගාල්ලට ළඟාවනවිට රාත්‍රි අටට පමණවිය. යළි කොළඹ බලා ඒමට උපනන්ද මෝටර් රථය ගෙවත්තට ඇතුලු නොකර මාර්ගයේ අයිනකට වන්නට නවතා කුඩා ගේට්ටුවෙන් ගෙවත්තට ඇතුලුවිය. තම ගෙවත්තේ නතරකර තිබුනු ඩේමියන්ගේ ඩයිහට්සු ටෙරියෝස් ජිප්රථය දුටු උපනන්දගේ සිතට විමතියක් ගෙනදුන්නේ තමා නිවසේ නැති අතරවාරයේ හා අවේලාවේ ඔහු තම නිවසේ කුමක් කරන්නේදැයි යන්නයි. ඔහු හෙමිහිට ගෙමිදුල හරහා ඇවිද අවුත් ප්‍රධාන දොර විවරකරගෙන සාලයට ඇතුලු විනි. බිත්ති කොනක දල්වා තිබූ පහනේ මලානික එළියෙන් සාලයේ පැවති දැඬි අඳුර මඳකට අඩු කරමින් පැවතිනි. පසෙක තිබුනු ග්‍රෑන්ඩ් ෆාදර් ඔරලෝසුවේ බට්ටා රිද්මානුකුලව එහාට මෙහාට පැද්දෙනු විනා වන කිසිඳු පණැති ප්‍රාණියෙකු එහි සිටියේ නැත. ඔහුගේ සිතට යම්කිසි අමුත්තක් දැනුනි. බිත්ති කබඩයේ වූ බඳුන දෙසට එකවරම උපනන්දගේ ඇස දිවගියේ ඒ දෙසින් යම් කිසි කෙනෙකු තමාදෙස බලාසිටින්නාක් මෙන් දැනුන බැවිනි. එයින් දෑස ඉවතට ගත් උපනන්ද හිමිහිට ප්‍රැන්ටිය දෙසට පියවර තැබුවේ නිවස පිටුපස වෙළ දෙසින් ආ බළලුන්ගේ පොරකාගැනීමේ මූසල ශබ්දයන් ඇසුනු බැවිනි. කුස්සියේ තංගම්මා රාත්‍රී කැම සකසමින් සිටින අතර එකවරම ආ උපනන්ද දුටුමනින්ම ඈ තැතිගත්තාය.
“මහත්තයා ... මහත්තයා දැන්ද ආවේ?”
“ඩේමියන් මහත්තයා කොයි වේලාවේද ආවේ?”
ඇය උපනන්දගේ පැනයට පිළිතුරක් දීමට මඳක් පැකිලෙන්නට විය.
“ඒ මහත්තයා .... ඒ මහත්තයා හවස තමයි ආවේ.”
ඈට වචන පැටලී ගොත ගැසුනි.
“කෝ දැන් ඒ මහත්තයායි සුචිත්‍රා නෝනයි?”
ඇය ගල් ගිල්ලාක් මෙන් නිශ්ශබ්දව සිටියාය. එසේ තම පැනයන්ට පිළිතුරු දීමට තංගම්මා පැකිලෙද්දී ඔහුගේ කෝපය නැග එන්නට විය.
“කියපන් කෝ උන්?”
උපනන්ද සෙමින් නමුත් තර්ජනාත්මකව ඇසීය.
“උ.. උ.. ඩ.... උඩ කාමරේ.”
එය ඇසුනු විගස එකවරම ආපසු හැරුනු උපනන්ද සෙමින් කල්පනාකාරිව තරප්පුව නැග උඩුමහලේ නිදන කාමරය වෙත ගමන් කළේය. නිවස අසළින් ඇසුනු බළලුන්ගේ මූසල කෑගැසිම් එකවරම වැඩිවූවාක් මෙන් ඇසෙන්නට විය. එකිනෙකට කිටි කිටියේ වෙලී රසයෙන් කුල්මත්වෙමින් පෙම් සුව විඳිමින් සිටි ඔවුනට අවට පරිසරයේ ශබ්දයන් ඇසුනේ නැත. නිදන කාමරය අසළ නැවතුන උපනන්ද දොර බෝලය කරකවා එය ඇරගැන්මට තම දෑතින්ම තල්ලුකර උත්සාහ කළ නමුදු එය ඇතුලතින් අගුල්ලා තිබූ බැවින් දොරට කන්දී බැලීය. කාමරයේ ඇතුලතින් තදින් හුස්ම ගන්නා හඬත් සුචිත්‍රාගේ රාගාන්විත කෙඳිරියන් ඔහුගේ දෙසවනින් රිංගා ගත්තෙ ඉහමොළ පුලුස්සා දමමින්ය. උපනන්දගේ මුළු ගතම කොපාග්නියෙන් ගිනිගෙන දැවෙන්නට වූයෙන් ඔහු තම සිරුරේ ඉහලම ශක්තිය යොදවා පයින් පහරක් දොරට දුනි. එකවරම කාමරයේ දොර විවරවී බිත්තියේ වැදෙන හඬින් තිගැස්සීගිය ඩේමියන් වහා සුචිත්‍රාගේ සිරුර මතින් නැගී සිටියේ මාරාවේෂයෙන් දොර අභියස සිටගෙන සිටිනා උපනන්ද දුටුසැනින්ය.
“පට්ට වේස පදුරු බැල්ලී මම උඹට.”
තම කේන්තිය ඉහවහා ගිය උපනන්දට කෝපයෙන් වෙවුලන දෙතොලින් කිසිඳු වචනයක් පිටකරගත නොහැකිවිය. කොපාග්නියෙන් ගිනිගෙන දැවෙමින් යක්ෂාරූඪව රතුව ගිය දෑසෙන් යුතුව සුචිත්‍රා දෙස බලාසිටිනා උපනන්ද දැක ඉමහත් බියට පත්වූ ඈ ඇද ඇතිරිල්ලක් ගෙන තම නිරුවත වසාගත්තාය. දියෙන් ගොඩගත් මසෙකු සේ ඈ ගැහෙමින් කම්පනයෙන් යුතුව බලාසිටිද්දී ඈ වෙත කඩාපැන්න උපනන්ද හෙන හඬ පුපුරන්නාක් මෙන් කම්මුල හරහා වේගවත් අතුල්පහර කිහිපයක් එල්ලකරන්නට වුනි. ඔහු වලක්වාලීමට කිසිඳු උත්සාහයක්වත් නොගෙන ඩේමියන් සෙළුකයින් යුතුව කාමරයේ කොනක වැටීතිබූ තම කලිසම සොයා දිවගොස් එය ඉක්මනින් ඇදගත්තේ මේ ස්ථානයෙන් පැනගැනීමේ අභිලාෂයෙනි. සුචිත්‍රාගේ තොල් පටවල් පුපුරා ලේ බිඳු කිහිපයක් ඇඳමතට වැටිනි. සුචිත්‍රාට පහර පිට පහර දුන් උපනන්ද ආපසු හැරී ඩේමියන් දෙස බලද්දී තම කලිසම කමිසයට යටකරමින් නිදන කාමරයේ දොරෙන් පිටව යාමට සැරසෙනවා දුටුවේය.
“තෝ කොහේද යන්නේ, ඔහොම හිටපන් වේස බල්ලා.”
කියමින් උපනන්ද ඩේමියන් වෙත කඩාපැන්නේය.
“තොට මං යන්න දෙන්නේ නැහැ මං තොපි දෙන්නාව මරලා දනවා.”
උපනන්ද ඩේමියන්ගේ ගෙල තම දෑතින් අල්ලා සිරුරේ මුළු ශක්තිය යොදවා හිරකළේය. මලපුඬුවකට ගෙල සිරවූ සතෙකුසේ එයින් ගැලවීමට ඩේමියන් තවතවත් දඟලද්දී මාරාවේෂයෙන් සිටි උපනන්ද තම සිරුරේ ශක්තිය යොදවමින් තවත් හිරකළේය. කලු ඉංගිරියාව ඉහළට නැග අක්ෂිගෝලයෙන් එළියට පනින්නට සේ දෑස් ඉදිරියට නෙරාවිත් හුස්ම හිරවී උගුරෙන් ගොර හඬ නංවමින්ද උපනන්දගේ දෑතේ පුඬුවට හසුව මරණය දකිමින් දඟලන ඩේමියන් දුටුව සුචිත්‍රාට කෑගැසුනි.
“අනේ එපා උපේ එපා. ඔයා මිනී මරන්නද හදන්නේ? අනේ ඩේමියන්ව අතාහරින්න.”
ඇය ඔහුගේ දෑතේ එල්ලී ඩේමියන්ව බේරාගැනීම පිණිස ඔහු හා පොරබදන්නට විය. සුචිත්‍රාගේ දිගු නිය වලට ඔහුගේ දෑත් සීරි හම ඉරීයද්දී ඔවුනගේ පොරබැදීම තරප්පු පෙළ අසලටම ඇදී ආවේය. ඇගේ දැඬි උත්සාහය හමුවේ උපනන්දගේ දෑතින් ඩේමියන්ගේ ගෙල බේරාගන්නට හැකිවුනි. ඩේමියන් ඒ ඇසිල්ලෙන් උපනන්දගෙන් බේරි පැන ගන්නවාත් සමඟින් දණ්ඩෙන් පහරකෑ නයෙකු සේ කිපුනු ඔහු එකවරම අනෙක් පස හැරී සුචිත්‍රාගේ ගෙල දෑතින් මිරිකා අල්ලා ගත්තේය.
“හිටපිය පට්ට බැල්ලී මං තෝවත් මරලා දාන්න.”
“අනේ ඩේමියන් මාව බේරාගන්න මේ මිනිහා මාව මරන්න හදනවා.”
උගුරෙන් ගොරහඬ නැගෙද්දී මරහඬින් කෑගසා සුචිත්‍රා ඩේමියන්ගේ උපකාර පැතුවාය. උපනන්දගේ දඬු අඬුවක් බඳු දෑතේ මලපුඬුවට හසුවී සිටි සුචිත්‍රාව බේරාගැන්මට ඔහු වහා එකවරම මැද්දට පැන උපනන්දගේ ඇලපත දෙසට පා පහරක් එල්ලකරමින් තල්ලූකර දැමීය. ඩේමියන්ගෙන් ඇලපත හරහා වැදුන අනපේක්ෂිත පහරෙන් සුචිත්‍රාගේ ගෙල අතැරුනු උපනන්ද ඒ සමඟම ලැබුනු තල්ලුවෙන් සිරුරේ සමබරතාවය රැක ගැනීමට නොහැකිව තරප්පු පෙළ මතින් පහළට පෙරළී ගියේය. නිවසේ ඇතිවූ කලබගෑනිය ඇසී මාටින් හා තංගම්මාත් සාලයට දිවවිත් බලනවිට තරප්පු පෙළ පාමුල නාසයෙන් හා කටින් උණු ලේ වගුරවමින් උපනන්ද වැතිර සිටියේය. තරප්පු පෙළින් පහතට දිව ආ සුචිත්‍රා පඩිපෙළ පාමුල අතපය සෙමින් ගැහෙමින් ලේ විලක් මැද සිටි උපනන්දගේ සිරුර දුටු විගස කෑගසමින් සිහිසුන්ව ඇඳවැටුනාය.
පාශය කාම සාපය වී කැරකීලා
ReplyDeleteසේරම කාරණා ඇත අන්දොස් වීලා
මේ ඉරණමද, කරුමෙද කියලා හිතලා
සිතා ගන්න බෑ, දෙනවද පහදාලා
කාමය සාපයක් කරවීලා
Deleteජීවිතයේ මේ සැම පැටලීලා
කරුමය එයි මරු සැංගිලා
ඉරණම කාටත් ඇත ලියවීලා
හපොයි
ReplyDeleteඅනේ අපොයි
Deleteදොරට පයින් ගහලා කඩන්න ශක්තිය තිබුනු මනුස්සයව පඩිපෙලින් වට්ටලනෙ. අය්යෝ අහිංසක මනුස්සයා.
ReplyDeleteබඳුනත් එක්කම දැන් නම් සුචිත්‍රාව ඩේමියන්ට අයිතිවෙයි. Buy one, get one free වගේ සීන් එකක්නෙ.
සිතේ ආවේගයට එන ශක්තියට දොරක් කඩන්න බැරි නෑ. හැබැයි පොර අල්ලලා හති වැටනු මැදි වයස් පහුකරපු මිනිහෙක්ට පඩි පෙලෙන් පහළට තල්ලු කරදමන්න පුලුවන් නේද? //ඇලපත හරහා වැදුන අනපේක්ෂිත පහරෙන් සිරුරේ සමබරතාවය රැක ගැනීමට නොහැකිව තරප්පු පෙළ මතින් පහළට පෙරළී ගියේය // කියන්නේ මේක අහම්බයෙන් සිදුවුන දෙයක් මිසක් සිතාමතා කරපු දෙයක් නොවන බවයි. Buy one, get one free ඩේමියන් සුචිත්‍රාව buy කරන ජාතියේ කෙනෙක් නොවේ.
Deleteබඳුන ගන්න කෙනාට බළල්ලු ටික නොමිලේ ලැබෙනවනෙ. මං කිව්වෙ ඒකයි. (අනිත් එක තාම ඩේමියන්ට බළලුන්ගේ සද්දෙ ඇහෙන්න පටන්ගත්තෙ නැහැනෙ).
Deleteහැක්... හැක්.. ඩේමියන් පූසියෝ බාරගත්තාට පුසෝ බාරගන්නේ නෑ...
Deleteප්‍රාග් දකුණු අධිවේගී කතාවක්?
ReplyDeleteමේ කතාව ලියන හා පාදක වෙන කාල වකවානුවේ දකුණු අධිවේගයක් හදලා නෑ.
Deleteබඳුන ඔඡ්ච්ර බලවත්ද
ReplyDeleteඒ බිල්ලත් හරි..
ReplyDelete