Tuesday, April 27, 2021

හෝරස්ගේ දරුවා - නමවන දිගහැරුම Son of Horus - 9

 


වේගය පාලනය කරගත නොහැකිවුනු පිම්මේ ආ හොර හරක් පවාගත් ලොරියක් ගුණසිරිගේ වෙළද සැල තිබූ නිවසේ ගේට්ටු පලු සුනු විසුනු කරමින් එතැන රැදි හුන් ගුණසිරිද තලා මිරිකා දමා මිදුල මැද තිබූ අඹ ගසේ හැපී නතරවී තිබුනි. තම පියාගේ අවසන් කටයුතු සදහා ලංකාවට ආ අසේල හා අමිලද තීරණය කළේ තමන් කවුරුත් ලංකාවේ නොසිටන බැවින් ඔවුන්ගේ රටට අම්මාව රැගෙන යාමයි. වයලට් එකහෙලාම විරුද්ධවූවත් ගුණසිරිගේ පාර්ශවයේ ඥාතින්ගේ බලවත් ඇවිටිල්ලද හේතුවෙන් පසුව ඈ එයට එකඟත්වය පලකළාය. මාසයක් පමණ ලංකාවේ රැඳී සිටි ඔවුන් යළිත් ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව ගියේ පියාගේ තුන්මාසයේ පින්කම වන විට ලංකාවට පැමිණ ඇයව රැගෙන යළි එම රටට පිටත්වීමේ බලාපොරොත්තුව ඇතිවය. වයලට්ට ඔස්ටේ්‍රලියාවට යෑමට අවශ්‍ය පාස්පෝට් හා වීසා ඇතුලු අනෙකුත් රාජකාරි සියල්ලක්ම භාරවූයේ ගුණසිරිගේ ඥාති පියරත්ත ඉස්කෝලේ මහත්තයා වෙතටය.

“පියරත්න මහත්තයෝ අපේ මනුස්සයාගේ කඩේ බඩු මුට්ටු වලට මක්කයි කොරන්නේ? මේ ඩිංගට එළියේ තිබ්බ එව්වානං උස්සාන ගොහිං කියන්නේ. මහත්තයා මළාට පස්සේ තිලකරත්නයා ඉන්ට බැරිය කියලා නතරවුනායින්නේ හොරු බඩු උස්සාන යන්ට පටන්ගත්තේ.”

“ඒක තමයි මමත් කල්පනා කළේ වයලට් අක්කේ.”

“මේ පැත්තේ පරණ බඩු කඩකාරයෝ ආවා මහත්තයාගේ බඩු ඉල්ලන්. මම කීවා පියරත්න මහත්තයාගෙන් අහන්ටය කියලා.”

“ඒක හොඳයි අක්කේ මගෙන් කිහිපදෙනෙක්ම අහගෙන ආවා ඒත් මම හරි උත්තරයක් දුන්නේ නැහැ. උන් බලාපොරොත්තුවෙන්නේ කුණුකොල්ලෙට මෙව්වා ගන්නයි.”

ඒත් මෙහෙම කඩේ වහලා තියෙන එක හොඳයැ? ගෙවල් අයිතිකාරයොත් මගෙන් ඇහැව්වා.”

“මාත් කල්පනා කළේ මේ සාප්පුව තියෙන ගෙදර ඉක්මනටම අයිතිකාරයන්ට පවරන්න තමයි. ඊට ඉස්සර මේ බඩුටික විකුණලා දාමු.”

“අපේ මහත්තයා ඔය කඩේට වැදිලා කොළේ හම්බුකරපු එක විතරයි නෙවැ. පිං අතේ වැඩ කළානං ඔය විදිහට මරණයක් සිද්ධවෙන්නේ නැහැ නොවැ.“

ඇය කිමෝනාවේ අතින් දෑසට උනා ආ කඳුළු බිඳුවක් පිසදාගත්තාය. 

“මම දන්න මහත්තයෙක් ඉන්නවා කොළඹ බඩු වෙන්දේසි කරන. අපි එයාට කියමු මේ බඩු ගැන. එයාගෙන් උපකාරයක් ගන්න ඇහැකිවෙයි. අපිට මේ සුමානේ කොළඹ යන්න තියෙනවානේ, පාස්පොට් කන්තෝරුවටයි ඇම්බසි එකටයි. ඒ ගමන්ම අපි එයාවත් මුණගැහෙන්න යමු.” 


පියරත්න සමඟින් කොළඹ ආ වයලට් බත්තරමුල්ලේ පිහිටි සුප්‍රකට වෙන්දේසිකරුවෙකුවූ ස්ටැන්ලි වික්‍රමපාල මහතාගේ නිවසට ගොඩවැදුනේ කලින් කරන දැනුම්දීමෙන්ය. අඩි පහක් පමණ උසැති මඳ ස්ථුල ශරිරයක් හිමි ස්ටැන්ලි වික්‍රමපාල පියරත්නගේ පාසල් සමකාලීනයෙකි. තවමත් අවිවාහකව දිවිගෙවන ඔහු තම දෙමහල් නිවසේ ඉහළ මාළයේ පදිංචිව සිටින අතරම පහළ මාලය යොදාගත්තේ වෙන්දේසි කිරීමට නියමිත බඩු භාණ්ඩ රඳවා තබාගන්නා ගබඩාවක් ලෙසින්ය. විශාල තාප්පයකින් වටවූ එම නිවසේ ඉදිරිය රෝලර් ෂටර් ගේට්ටුවකිනුත් පසෙකින් කුරුබිලියක්වන් කුඩා ගේට්ටුවත් ඇරෙන්නට කිසිවෙකුටවත් එම නිවසත් මිදුලවත් පෙනෙන්න හැකි නොවීය. විදුලි බොත්තම ඔබා ඔවුන් ගේට්ටුව ඇතුලු පැත්තේ මුරකුටියේ හුන් සිකුරිටිකරුවාට දන්වා නිවසට ඇතුලුවුනි. ස්ටැන්ලිගේ ඉහල මාලයද යම් යම් බඩුමුට්ටු වලින් පිරි තිබුනු අතර වටිනා බඩු තැන්පත්කර තැබීමට විශාල සේප්පු දෙකක්ද වෙනම කාමරයක රඳවා තිබුනි.

“ආ පියරත්න ගිය සැරේ ඔයා මාව මුණගැහෙන්න ආවා කියලා පණිවිඩේ මට ලැබුනා. මම ඒ දවස්වල ගියා පිටරට චිත්‍ර වෙන්දේසියකට. කෝ ගාල්ලට ආවත් මට ඉස්පාසුවක් නැහැනේ ඔයාව බලලා යන්න මේ වැඩ ගොඩ අස්සේ.”

“මිනිස්සුන්ට වැඩ රාජකාරි බහුලවෙනකොට එහෙම වෙනවා නේ.”

”ඔයා අද එනවා කිව්ව නිසා මම අද උදේ ඉඳලා බලා උන්නා. ඉතිං පියරත්න මොකද්ද හදිසිය.”

“මේ ඉන්නේ මගේ අක්කා කෙනෙක්. අර මේ ළඟදි හික්කඩුවේ හොර හරක් පටවපු ලොරියක් ඇන්ටික් සාප්පුවක් කඩාගෙන ගිහිල්ලා එක්කෙනෙක් මළේ.”

“ඔව් මම පත්තරේ දැක්කා. ඉතිං.”

“ඒ මේ අක්කාගේ මහත්තයා තමයි නැති වුනේ.”

“ඕ අයි සී.”

ස්ටැන්ලි තම නළල රැළි වට්ටා ගත්තේය. 

“එයාගේ සාප්පුව කරගෙන යන්න කෙනෙක් නැහැ. මෙයාලගේ පුත්තු දෙන්නාම ඉන්නේ රට. මේ අක්කාත් එහෙට ගෙන්නගන්නයි පුතාලා හදන්නේ. ඉතිං ස්ටැන්ලි අපේ ගුණසිරි අයියාගේ සාප්පුවේ තියෙන බඩුටික විකුණලාදාන්නයි අක්කා හදන්නේ මම ආවේ ස්ටැන්ලිට පුළුවන්නම් හොඳ මිලකට අයියාගේ බඩුටික අරගන්න කියන්නයි.”

ස්ටැන්ලි ටික වේලාවක් නළල කැසුවේය. 

“බඩු ගොඩාක් තියෙනවාද?”

“ගොඩාක්නම් නැහැ ඒත් වටිනා ඒවා තියෙනවා. ඒ පැත්තේ ඇන්ටික් බඩු වෙළෙන්දෝ අක්කාට වෙළදාම් කරන්න බැරි විත්තියත් රට යන විත්තියත් දන්න නිසා ඒවා කුණුකොල්ලේට තමයි ඉල්ලනනේ.”

“මේකයි පියරත්න ප්‍රශ්නේ. මට දැන් බඩු ගෙනවිත් තියන්න තැනක් නැති එකයි. ඔයලා දකින්න ඇතිනේ මගේ ගබඩාවත් ගෙදරම විත්තිය. මේවා පිට තැනක තියන්න බෑ ආරක්ෂාව මදි නිසා. පේනවා නේද බඩුවලින් පිරිලා. ලබන මාසේ මගේ වෙන්දේසි දෙකක් තියෙනවා ඒ නිසා බඩු අඩුවෙනකං මම තීරණය කරලා හිටියේ තවත් බඩු ගන්නේ නැහැ කියලා. ඒත් කමක් නැහැ පියරත්න නිසා ඇවිල්ලා බලන්නම්.”

පියරත්න ස්ටැන්ලිගෙන් සමුගත්තේ ඔහුට පැමිණීමට දිනයක්ද ලබාගෙනයි. ස්ටැන්ලි පැමිණීමට පෙර පියරත්න විසින් එම බඩුභාණ්ඩ යළිත් ලැයිස්තුගතකළේය. ගුණසිරි විසින් ලියන ලද අදාළ බඩුභාණ්ඩ ලබාගත් තැනැත්තා, තමා විසින් අදාළ බඩුභාණ්ඩ විකුණු තැනැත්තා ආදී අනෙකුත් විස්තර සටහන් කර තිබූ පොත, එම භාණ්ඩ වලට මිල නියම කිරීමට විශාල පිටිවහලක් ලබාදුන්නේය. කතාබස් කරගත් පරිදි ස්ටැන්ලි වික්‍රමපාල හික්කඩුවේ ඇන්ටික් සාප්පුවට පැමිණියේ භාණ්ඩ පරික්ෂා කිරී මටය. 

“පියරත්න මේකේ බඩු ගොඩක් තියෙනවානේ?”

“ඔව් මමත් හිතුවේ බඩු ටිකයි කියලා දැන් බලනකොට මෙයා මැරෙන්න දවස් දෙක තුනකට ඉස්සර බඩු තොගයක්ම අරගෙන ඇවිල්ලා තියෙනවා.”

“බොරු කියන්න අවශ්‍ය නැහැ පියරත්න මෙතන ගොඩක් හොඳ තත්වයෙන් තියෙන බඩුයි තියෙන්නේ. ඒ නිසා මේ බඩුවල වටිනාකම වැඩියි. සමහර ඒවා වැඩිය වටින්නේ නෑ.”

“ස්ටැන්ලි කැමති විදිහක් කියන්න.”

“හොඳයි පියරත්න මම බඩුටිකම අරගන්නම්. මම හොඳ ඒවා විතරක් අරගෙන වටින්නේ නැති ඒවා විතරක් මෙහේ දාලා යන එක හොඳ මදි. ඒ නිසා කල්පනා කරලා ඔක්කෝටම හොඳ සාධාරණ මිලක් කියන්නම්.”

දින දෙකකට පසුව වික්‍රමපාල සියලු බඩුභාණ්ඩ ඇන්ටික් සාප්පුවෙන් අස්කරගෙන බත්තරමුල්ලට ගෙනගියේ පියරත්න අපේක්ෂා කල මිලට වඩා වැඩි මුදලක්ද ගෙවමින්ය. සාප්පුව තිබූ නිවෙස යළි අයිතිකරුවන්ට පැවරූ පියරත්න ගුණසිරිගේ තුන්මාසයේ බණ හා දානමය පින්කම හොඳින් සිඳුකරලීමටද උදව් උපකාර කළේය. පින්කමෙන් පසුව අසේල හා අමිල වයලට්වද රැගෙන ඔස්ටේ්‍රලියාවට පිටත්වී ගියේය. 



     හික්කඩුවේ සිට ගෙනෙන ලද භාණ්ඩවල විස්තර අඩංගු ගුණසිරිගේ වාර්තා කියැවූ ලිපිකාරිණි වත්සලා වහා පහත මාලයට බැස්සේ ස්ටැන්ලි මහතාගේ ආවතේවකරු ශාන්ත හමුවීමටය. වැඩි උගත්කමක් නොමැති පුද්ගලයෙකුවූ ශාන්ත මේවන විට සිටියේ නවතම භාණ්ඩ තොගයේ වර්ගීකරණ හා ලේබල් කිරීමේ කටයුතුවල නියැලෙමෙන්ය.

“ශාන්ත අයියේ ඔයා මෙතන අමුතු හැඩයක් ගත්තු භාජනයක් තියෙනවා දැක්කාද?”

“ඇයි මොකකටද?”         

“බලන්න එහෙම එකක් තියෙනවාද කියලා.” 

“භාජන නම් ගොඩක් තිබුනා. ඔයා ඔය කියන්නේ මොන විදිහේ එකක් ගැනද? මොකකටද අමුතු භාජන හොයන්නේ ගෙදර බත් උයන්නද?”

“ශාන්ත අයියේ මේක විහිළුවකට ගන්න එපා. මේක ගුණසිරිගේ රෙකෝඩ්ස්වල තියෙන විස්තර අනුව නම් හුඟාක් වටින එකක්.”

“ඔය භාජනේ මොනවාගේද?”

“මමත් මීට ඉස්සර දැකලා නැහැනේ කොහොමද දකින්නේ නැතිව කියන්නේ? විස්තරේට අනුව නම් ඒකට මුණක් වගේ හැඩයක් ගත්තු පියනක් තියෙනවා. ඔයාට මතකද ඒවගේ එකක් මෙතනට ගෙනාවා කියලා.”

“මට ළාවට වගේ නිච්චියක් තියෙනවා මෙහෙට අරගෙන ආවා වගේ. අපි හොයලා බලමු.”

“ආ මේ තියෙන්නේ ඔයාගේ අතිශය වටිනා මැටිගොඩ.”

“බලන්න මේක දිහා ඔයා මේවගේ අමුතු බුජමක් මීට ඉස්සර දැකලා තියෙනවාද? මේකේ හැඩයේ වෙනසකුත් පේනවානේද?”

“ඔයා කියනකම් මට ඒක තේරුනේ නැහැ. ඇත්ත තමයි මම මේවගේ එකක් දැක්කමයි.”

“මේක ලැබිලා තියෙන්නේ මුහුදේ යට තිබිලා කියලා ඒ මනුස්සයා එයාගෙ රෙකෝඩ් බුක්එකේ නෝට් කරලා තියෙනවා. මටනම් පේන්නේ මේක හුඟක් වටිනා එකක් වගෙයි.”

“මුහුදේ යට තිබිලා ගොඩට ගත්තු පළියට වටිනාකම් වැඩිවෙනවාද? මේක නිකම් මැටි භාජනයක් විතරයිනේ.”

“ශාන්ත අයියේ ඔයා සර්ගේ ඇසිස්ටන්කමටනම් හරි යන්නේ නැහැ. ඔය වාගේ මෝඩ කතා සර්ට ඇහෙන්නනම් කියන්න එපා. මේක අතන මෙතන තියන්නේ නැතිව සර්ගේ වටිනා බඩු තියෙන සේප්පුවෙන් වත් තියමු.”

“ඔයාට පිස්සුද වත්සලා ඒකේ දාලා බැනුම් අහන්න වෙයි. එයා මේ බඩු ලෝඩ් එකම ගත්තේ එච්චර කැමත්තකින් නෙමෙයි. එහෙට ගියෙත් යාළුවාට බැරිය කියන්න බැරි නිසයි.”

“හරි හරි ඔයා බය නැතිව ඉන්න මම ඒක බලාගන්නම්කෝ. ඔයා මේක එතනින් තියන්නකෝ.”

වත්සලාගේ බලවත් ඇවටිල්ල මත ශාන්ත උඩු මහලේ විශේෂිත වටිනා භාණ්ඩ ආරක්ෂා ඇතිව තබන සේප්පුවේ එය රැදවීය. එදින වෙනත් ව්‍යාපාරික කටයුත්තකට සහභාගිවී සිට නිවසට පැමිණි ස්ටැන්ලිට වත්සලා විසින් අලුත් භාණ්ඩවල තක්සේරු වටිනාකම් ගුණසිරිගේ වාර්තාව සමඟින් සංසදනාත්මකව විග්‍රහ කළාය.



“සර් මේ බඩු එක්ක ගොඩාක් වටිනා එකක් බව පෙනෙන විශේෂ එකක් තිබුනා. ඒක මං උඩ කාමරේ සේප්පුවේ දැම්මා.”

“ඒ මොකක්ද?”

“එන්න සර් මම පෙන්නන්නම්.”

වත්සලා සේප්පුව විවර කර බඳුන පෙන්නුවාය. පරිස්සමින් එය අතට ගත් ස්ටැන්ලි එය වටේට කරකවමින් පරික්ෂා කරන්නට විය.

“ඔයා කිව්වා හරි මමත් මේවගේ එකක් දැක්කාමයි. මොකද්ද මේ පියන උඩ තියෙන්නේ ඔලුවක්ද?”

“මටත් හිතෙන්නේ ඒක ඔලුවක් වාගේ. මේක හුගක් කල් මුදේ තිබිලා විනාශ වෙලා හින්දා මොනවාගේ මුණක්ද කියලා හිතාගන්න බැහැ.”

“වට්? මූදේ තිබිලා? කවුද කිව්වේ?”

“ඇයි සර්, සර්මනේ ගෙනාවේ ගුණසිරිගේ රෙකෝඩ් බුක් එක. එයා ඒකේ ලියලා තියෙනවා මේ ගැන විස්තර. මේක හුඟාක් වටිනා එකක් කියලත් තියෙනවා.”

“ගුඩ් වර්ක් වත්සලා වෙරි ගුඩ්. එහෙනම් ශාන්තට කියලා මේකේ ඈන්ගල් කිහිපයකින් ෆොටෝස්  අරගෙන අපේ වැලියුබල් අයිටම් ෆයිල් එකට දාන්න.”

ස්ටැන්ලි කාමරයෙන් එළියට එන ගමන් යම්කිසිවක් මතක්වූ කලෙක මෙන් නැවතී ආපසු හැරී බැලීය.

“වත්සලා මටනං හිතෙනවා මේක කවුරු හරි භුතයෙක්වත් බන්ධනය කරලා මූදට විසික්කරපු එකක්ද දන්නේ නැහැ.”

“එහෙනම් සර් ඕකෙන් ඇලඩින්ගෙ කතාවෙ වගේ භූතයෙක් මතුවෙයිද දන්නේනෑ.”

“එක තමයි, කෝකටත් අද රෑට මම ඕක ටිකක් අතුල්ලලා බලන්න ඕනේ.”

කී ස්ටැන්ලි කොක්හඬලා සිනාසෙමින් පහතමාලයට බැස්සේය.

“ශාත්ත අයියේ ඔයානම් මාර බය ගුල්ලෙක් තමයි. ඔන්න සර්ට කිව්වා මම අරක සේප්පුවෙන් තිබ්බා කියලා. ආ ඒක නෙමෙයි සර් කිව්වා මේ බුජමේ ෆොටෝස් ටිකක් අරගෙන ෆයිල් එකට දාන්න කියලා. මතක ඇතිව වෙනස් ඈන්ගල්ස් වලින් අරගන්න.”

“හොඳමයි මැඩම්.”       

ශාන්ත සිනාසෙමින් පැවසීය. පසුදිනම ශාන්ත විසින් ලබාගන්නා ලද බඳුනේ පින්තුර ස්ටුඩියෝවක් මඟින් මුද්‍රණය කර වත්සලාට ලබාදුනි. 

“සර් මේ ෆොටෝස් ටික හොඳද?”

“කෝ බලන්න. ම්... හොඳයි ඒත් ටිකක් තව ශාප් වුනානං තමයි වඩාත් හොඳ. මේකෙ තියෙන අකුරු හොඳින් පෙනෙන්නේ එතකොටයි.”

“අපිත් ට්‍රයි කළා සර්. මේක වතුරේ තිබ්බ නිසාද කොහෙද ගොඩාක් අකුරු මැකිලා ගෙවිලා ගිහිල්ලා. අනික අපේ තියෙන කැමරා එකෙන් ගොඩාක් ශාප්කරලා ගන්න බැහැ.”

“කමක් නැහැ වත්සලා. දැනට මේ ඇති එහෙම ඕනේ වුනොත් අපි ස්පෙෂලි ස්ටුඩියෝ එකකට ගෙනහිල්ලා හොඳ ශාප් ෆොටෝස් ටිකක් අරගනිමු.”

“සර් මේක ළඟදි කරන වෙන්දෙසියට දාමුද?”

“එපා එපා මේක ටික දවසක් මා ළඟ තිබුනාදෙන්. මේ ගැන ටිකක් හොයලා බලන්න ඕනේ. ඒ විස්තර එක්කම මේකේ වටිනාකම වැඩිකරගන්න පුළුවන්. අර බෙරලියන්තු මාලයි මුතු මාල ටිකයි එක්කම පරණ බඩු වගයක් තිබුනේ නිධානයකින්ද කොහෙද ගත්තු, ඒවාත් එක්කම අපේ ස්පෙෂල් ඔක්ෂන් එකකටම දාමු.”

“එතකොට මේ චිත්‍ර ටික?”

“ඔව් ඒවාත් ඒකටම දාමු.”

“ඔයා ඒ අනෙක් වැලියුබල් අයිටම්වල ෆොටෝස් අරගෙන ෆයිල් කරන්න. ඔක්ෂන් එක රෙඩිකරද්දි මට ඒවායේ ඩිටේල්ස් ඕන වෙනවා. සමහරවිට මේක පිටරටකදි කරන්න සිද්ධවෙයිද කියන්නත් බැහැ.”   

“ඇයි ඒ සර්?”

“මෙහෙට වඩා වැඩි මිලකට අපිට ඔක්ෂන් කරන්න පුළුවන්නේ. අනිත් කාරණේ තමයි අපි ළඟ තියෙන සමහර වැලියුබල්ස් මෙහේ ඔක්ෂන් කරන්න පුළුවන් විදිහේ ලීගල් දේවල් නෙවෙයි. දැන් මේ බුජම වුනත් පුරාවස්තුවක් නම් ඔක්ෂන් කරන්න තහනම්නේ.”

“එහෙනම් කොහොමද සර් මේවා වෙන්දේසිකරන්නේ?” 

“ඔය ළමයා මගේ ගාව වැඩට ඇවිල්ලා වැඩි කාලයක් නැති නිසා මේකේ අගක් මුලක් තේරුමක් දන්නේ නැහැ. අපේ ඔක්ෂන් වලට එන්නේ සාමාන්‍ය මහජනතාව නෙමෙයිනේ. ඔය පොඩි මිනිස්සු දන්නේ නැහැ මේ පුරාවස්තු ඉහළ මිලකට වෙන්දේසිවෙනවා කියලා. අනික ඉහළ පැලැන්තියේ අය මේවා මාධ්‍යට ලීක් කරන්නෙත් නැහැ. අපේ පොලිටීෂන්ෂ්ලාගේ උදව් උපකාරවලින් තමයි මේවා වහගෙන කරගෙන යන්නේ. දැන් තේරුණාද? මම මේ කියපුවා කීයටවත් ඔයා පිටට කීම තහනම් හරිද?”

“ඔව් සර් මට තේරුණා.”

මතුසම්බන්ධයි


14 comments:

  1. පිටරට ගෙනියන්නත් වෙන්නෙ අර කිව්ව උපකාරවලින් වහගෙන තමයි

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ පිටරට එන්නේ ඒකයි එහෙනං

      Delete
    2. ඔය අහුවෙන්නේ අලගිය මුලගිය තැන්....ඒක තමයි එච්චර පැරණි දේවල් වලට ආස....

      Delete
  2. ගන්න කෙනාට අවාසනාව ළඟා කරදෙමින් බඳුන දිගටම යයිද, චේන් එක කොතැනක හරි බ්රේක් වෙයිද.

    ReplyDelete
    Replies
    1. ඔන්න පොඩි ඉගියක් දෙන්නම් 12 වන කොටසදි තමයි බදුන ගැන දැන ගන්න පුලුවන් වෙන්නේ.ඊට පස්සේ කතන්දරේ වෙනස් වෙනවා බදුන ගන්න කෙනාට නොවේ කතාව කියවන කෙනාටයි... ( බය උනාද එහෙම වෙන්නත් බැරි නෑ)

      Delete
    2. ඒ කියන්නේ තව දෙන්නෙකුට විතර බඩු බනිස්.. :)))

      Delete
  3. නොඅසමි "සාපෙ තව අයටත් වැදෙනවද"
    නොසිතමි "දොළහ එළඹෙන්නේ කවදාද"
    කියවන කෙනෙකුටත් සාපය වැදෙනවද
    බයේ බෑ රජෝ, නිකරුනෙ මැරෙන්නද?

    ReplyDelete
    Replies
    1. නොඇසුවත් සාපෙ තව තව ලියලනවා
      නොසිතූවත් දොළහත් ළග ලියවෙනවා
      සිත සවි නම් මරුවත් බය වෙනවා
      රජකම් කලත් කළකම් සැමදා පළදෙනවා

      Delete
  4. බඳුන එංගලන්තේ පැත්තේ නම් එවැන්න එපා

    ReplyDelete
    Replies
    1. යන්න ඉස්සෙල්ලා හමුවුනේ නැනේ නැත්නම් බෑග් එකට දමන්න තිබුනා. නෑ...නෑ.... බදුන නෙවෙයි කතා පොත.

      Delete
    2. හම්බ වුනේ නැති එකේ සම්පුර්න වැරැද්ද ප්‍රා ජේ සහ එයාගේ පාට්නර් ඉන් ක්‍රයිම් ධම්මිකා ගේ. යාලුවෝ ටිකක් ලැහැස්ති කරල දෙන්න කිවම මෙන් ඒ දෙන්නගේ නම් දෙක ලිස්ට් එක මුලටම දාගෙන අර කවදාවත් දැකල නැති රවි කියල එහෙකුත් එක්ක ආවේ නැත. ඔන්න යාලුවෝ

      Delete
    3. කොරොනා ජරමර අස්සේ ලංකාවට ආවේ මොකක් හරි වැදගත් වැඩක් හින්දා වෙන්නැති කියලා අපි කතා කලේ නැත්තේ. කොහොම නමුත් මෙහෙ වැඩිවෙන්න ඉස්සර රට පැනගත්ත එක ලොකු දෙයක්.

      Delete
    4. මම ලිපියක් දෙකක් ලියන්න ඉන්නේ පැහැදිලි කරලා. සෑහෙන්න බිසී වෙලත් හිටිය. ඉතාමත් සීමිත පිරිසක් විතරයි හමු වුනේ

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

ප්‍රචන්ඩ රළ මැද අනතුරක් - සයුරේ දසවසක්

දස වසරක මාගේ නාවික දිවියේ ලැබූ අත්දැකීම් හා සිදුවීම් බොහොමයි. ඒවා හොඳ හා නරක සම්මිශ්‍රණයක් වෙනවා. මෙතැන් පටන් ලියවෙන්නේ නාවිකයෙක්ගේ නාවික දි...