Monday, June 7, 2021

හෝරස්ගේ දරුවා - විසි වන දිගහැරුම Son of Horus - 20


සිමෙන්ති පොළවෙන් නැගෙන සීතල පරයා ඉන් නිකුත්වෙන දැඬි මුත්‍රා දුගඳ නාසයට තදින් දැනෙන්නට වූයෙන් බිම වැතිර හුන් කපිල හිමිහිට හිස ඔසවා බැලීය. කිහිපදෙනෙක් තමාව බලහත්කාරයෙන් වෑන් රථයක දමාගෙන එහි බිම හොවා ඔවුනගේ දෙපාවලින් අනිමින් රැගෙන ආ හැටි ඔහුගේ මතකයට නැගුනි. අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ ඒකකයක් මගින් රැගෙන ආ බව නොදත් හෙතෙම සිතුවේ විරුද්ධ කණ්ඩායමක ගොඳුරක් වී ඇතිබවය. ආන්තරාවක රතු එළි කපිලගේ මනසේ රඟ දෙන්නට විය. දෑත් හා දෙපා බැඳ තිබුනායින් කිසිවක් කරගැන්මට නොහැකි වූ නමුත් හිස දෙපසට සොලවා දෑස් බැඳ තිබුනු කඩතුරාව බුරුල් කර ලෙහාගන්නට සමත්වුනි. දෑස් අඳුරට සකස්වනතෙක් කාලය ගත් ඔහු කාමරය මඳ අඳුරේ වුවද නිරීක්ෂණය කරන්නට පටන්ගත්තේය. එකඳු වාකවුළුවක් හෝ ජනේලයක් නොමැති කුඩා කාමරයක තමා රඳවා ඇතිබව හෙතෙම තේරුම් ගත්තේය. වෑන් රියේ ගැස්සීම් හා වලවල්වල වැටීමෙන් සිරුරේ මස්පිඬු තැලී නැගෙන විඩාවද එම කාමරයේ රජයන මරණීය නිහඬතාවයද නිසාවෙන් කපිලට නොදැනිම නින්ද ගියේය. එක්වරම යටිබඩ හරහා වැදුනු පා පහරින් කපිල අවදිවූයේ උගුරෙන් කෙඳිරියක් පිට කරමින්ය. උදර පෙදෙසින් නැගෙන වේදනාව විඳ දරාගන්නට මෙන් සිමෙන්ති පොළවේ වැතිර හුන් කපිල කිහිප සැරයක්ම හැකිළි දිග හැරුණි.

“නැගිටපිය මූසල වේස බල්ලා.” 

එකවරම කාමරයේ විදුලි එළි දැල්වුණාවෙන් අඳුරට හුරුව තිබූ කපිලගේ දෑස් යළිත් නිලංකාර වී ගියේය. යළිත් එළියට දෑස් සකස් වූ පසු තමන් දෙසට නැඹුරුව සිටිනා සුදු පැහැති අත්කොට බැනියමක් ඇද ඇති මැදිවියේ මඳක් තරබාරු මිනිසෙකු හා කෙසැඟි නමුත් ශක්තිමත් සිරුරක් හිමි තරුණයෙක් එහි ඉන්නා අයුරු දුටීය.

“නැගිටපං”  කී කෙසැඟි තරුණයා කපිලගේ බෙල්ලෙන් අල්ලා නැගිටුවාලීය. 

“බුදු සර් ගහන්න එපා. මේ කොහෙද මම ඉන්නේ? මොකටද සර් මාව මෙහෙට ගෙනාවේ?”

“ගෙනාවේ ඇයි කියලා තව ටිකකින් තේරෙයි, එතකන් ප්‍රශ්න අහන්නේ නැතිව කට වහගෙන හිටපන්.” 

මැදිවියේ මිනිහා කපිලට තර්ජනාත්මකට පවසා පසෙක තිබූ කබල් ලෑලී පුටුවක් තමා ළඟට ඇදගත්තේය. 

“ආ දැන් වාඩිවෙයන්.”


ඇණ මුරිච්චි සියල්ල බුරුල් වී තිබූ පුටුවේ ඔහු වාඩිගත් සැණින් කිරි කිරි හඬ නංවාලමින් පසෙකට ඇලවීගියේ කඩාවැටෙන්නට මෙනි. එම කාමරයේ කුඩා මේස කබලක් හා තවත් මෙවැනිම කඩාවැටෙන්නට ආසන්නවූ ලැලී පුටුවක් තිබෙනවා කපිලගේ දෑසට අසුවිය. තරබාරු මැදිවියේ මිනිහා තම තළෙළු පැහැ ගත් තෙල් බේරෙන මුහුණ කපිලගේ මුහුණට ළං කළ අතර ඔහුගේ බුලත් කහට බැඳුනු මුවින් තද මත්පැන් මිශ්‍ර දුගඳක් වහනය විය. කටේ කුණුගඳට කපිලගේ බඩදඟලා ඔක්කාර ගතියක් මතුව ආවේය.

“ආ වේසිගේ පුතෝ තෝ නේද රංගයාව මැරුවේ?”

කටින් විසුරුනු බුලත් කෙළ බිඳු කපිලගේ මුහුණ පුරා විසිරුණි. මුවින් වචනයක් පිට නොකළ ඔහු තමාගෙන් ප්‍රශ්න අසන්නා දෙස බලාගෙන සිටියේය.

“ඇයි බල්ලෝ කතාකරන්න තොගේ කට නැද්ද?” 

ක්ෂණිකයෙන් කම්මුල හරහා පතිතව ගිය අතුල් පහරෙන් හෙතෙම පැත්තකට ඇලවී ගියේ කබල් පුටුවෙන් කෙඳිරිලි හඬක් නංවාගෙනමය.

“මම දන්නේ නැහැ. මම මොකවත් දන්නේ නෑ.”

“ද න් නේ නෑ,  ආ...... . තෝ  දන්නේම නෑ? තොත්ත බබා දන්නේම නෑ. හිටපන් තෝ දන්න හැටි පෙන්නන්න” 

කියමින් කෙසෙඟ තරුණයා කපිල බැඳ දමා සිටි පුටුව සමඟින් බිම ඇද වැටෙන සේ පා පහරක් එල්ල කළේය. බිම වැටුනු කපිලගේ හිස සිමෙන්ති පොළවේ ගැටි බොල් හඬක් නැගීය. හිස පිටුපසින් නැග ආ තියුනු වේදනාව ඔහුගේ දෑස් කෙවිනි තුළින් කඳුළු බිඳු පිටකරන්නට සමත් විය. 

“නැගිටපන් යකෝ.”  කියමින් යළි පාපහරක් බඩ පෙදෙසට එල්ල කළේ නමුදු එය වැදුනේ ඉලඇට දෙසටය. වේදනාවෙන් දෑස් නිලංකාරවුනු කපිල කෙදිරි ගෑවේය.  

“කවුද යකෝ උඹලා? ඇයි මාව මෙහෙට ගෙනාවේ? මට යන්න දීපල්ලා.”

වේදනාවෙන් කෑගසා ඔහු මඳක් හති හැරියේය.

“මුගේ කටේ සැර. හිටපිය අපි කවුද කියලා පෙන්නන්න.” 

කෙසැඟි තරුණයා බිම වැතිරහුන් කපිලගේ කෙස්වැටියෙන් අල්ලා ඉහළට ඔසවද්දී ඔහු ඉබේම ඉහළට එසවී නැඟිට ආවේය. ඔහුගෙන් දිගින් දිගටම රංගගේ මරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට වුනි. අසන ප්‍රශ්න වලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරමින් දඩබ්බර ගතියක් පලකළ ඔහුගෙන් පිලිතුරක් ගන්නට අසමත් විය. 

”උඹව කතාකරවන හැටි දන්නවා.” 

කපිලගේ ඔලුවෙන් අල්ලා ගත් කෙසැඟි තරුණයා හිස තදින් බිත්තියේ ඇන්නේය. මොළ කෑලී ගැලවීයන්නාක් මෙන් කපිලට දැනුණි. “අම්මා  හ්” කියා කෑගැසුවත් කටින් පිටවූයේ හීන් හඬක් පමණකි.  

“සොමේ අර ඇස්ලොන් බටේ අරන් වරෙන් මුව කතා කරවන්න. ගලවපිය ඔය ඇඳන් ඉන්න ගොමස්කඩ.”

දහඩියට ඇඟට ඇලී තිබූ දුහුවිල්ලෙන් අවපැහැ ගැන්වුනු කපිලගේ ඇඳුම් ඉරා පුර්ණ නිරුවත් කරවීය. කාමරයෙන් පිටතට ගිය සෝමේ නැමති මැදිවියේ තැනැත්තා බැටැන් පොලු වලට වඩා දිගින් යුතු වැලි පිරවූ පීවීසී බට දෙකක් රැගෙන පැමිණ කපිල දෙස රවා බැලීය.

“මුගේ අම්මාට. . . .          අපිට පව් පුරවන්න මෙතන එනවා.”

“ආ දැන් ඉතිං නිදාගනින්.” 

කී කෙසෑඟි මිනිහා කපිලව මේසය මතට මුණින් අතට හිටින සේ පෙරලා දැම්මේ තැලුනු මස් පිඬු තවත් වේදනාවෙන් රිදවාලමින්ය. සිඳුවන්නට යනදේ ඉවෙන් මෙන් තේරුම්ගත් කපිලගේ සිරුර බියෙන් වෙව්ලන්නට වීය. ප්ලාස්ටික් බටය නිරුවත් පිට දිගේ එහාමෙහා කළ සෝමේ නැමැත්තා තට්ටම් වලට සෙමින් තට්ටුවක් දැම්මේ ඔහුගේ සිරුර පුරා හී ගඬු නංවාලමින්ය. 

“දැන්වත් කියපං උඹ නේද රංගව මැරුවේ? ස්ටැන්ලිගේ ගෙදර කොල්ල කෑවේ?”

“බුදු සර් ගහන්න එපා මම දන්නේ නැහැ. මම මේ මොකවත් දන්නේ නෑ.” 

යළිත් ප්ලාස්ටික් බටය තට්ටම් හරහා දෙකකුල් දිගේ පහළට රැගෙනවිත් යටිපතුල් කිතිකවන්නාක් මෙන් ඇතිල්ලීය. ඊළඟට ලැබෙන පහර ගැන හා එහි ප්‍රබලත්වය ගැන පෙර දැනුවත් වී හුන් කපිල දෑස් තදින් පියාගත්තේ ඉන් නැගෙන වේදනාව විඳ දරාගැනීමටය. එස්ලොන් බටය ගුවනේ පාවී අවුත් දෙපතුල් හරහා වැදී ඉන් නැගුනු ප්‍රබල කම්පනය දෙකකුල් හරහා ඉහළ නැඟ මුළු සිරුරම සළිත කරවමින් හිස් මුදුණෙන් පිටවීගියේ හිස් කබල කැබලි සියයකට කැඬි ගියාක් මෙන් වී දෑස් නිලංකාර කරවමින්ය.

“බුදු අම්මෝ  හ් ..” 

“බුදු සර් ගහන්න එපෝ .  මම දන්නේ නැතෝ .”

දෙවන පහර වදින්න පෙර කපිල කෑගසා කීවේය.

ඔහු එක්වරම ආවේසවුවෙක් මෙන් අතේවූ පොල්ලෙන් හොඳින් සංග්‍රහකරන්නට පටන්ගත්තේ මේසයේ මුනින් වැටී හුන් කපිල කෙතරම් විලාප දුන්නත් ආයාචනා කළත් නෑසුනාසේය. ලැබෙන පහරක් පහරක් ගානේ ඇටකටු සිසාරා යන තියුණු වේදනාවෙන් සළිතව ගිය කපිල මුළු ගතේම දහිරිය ගෙන කෑ ගන්නට පටන් ගත්තේය. කොතරම් කෑ ගැසුවත් කනකට නොගෙන නොනවත්වා එල්ල කළ ප්‍රහාරය ඔහු නැවැත්වූයේ කපිලගේ සිහි විසඥවීමෙන් පසුවය. කපිලගේ කෑ ගැසීම නතරවූවත් සමඟම පහරදීමත් නතරකළ ඔහු ඌරෙකුමෙන් හති හැරියේය. ඉදිරියට නෙරා ආ උදරය තාලයක් නොමැතිව වේගයෙන් උස් පහත් වෙමින් වෙහෙස පහකරන්නට උත්සාහ කරන්නට විය.

“මුට සිහි නැතිවුනා වාගේ.” 

ඔහු තම අතේ තිබුනු වැලි පිරවූ ප්ලාස්ටික් බටය අනෙකාට දෙනගමන් කීය.

“ඕකා ටිකක් නිදා ගත්තාවේ. වැඩිය ගැහැව්වොත් මූ මැරෙයි. යමං මහන්සිය යන්නත් එක්ක ප්ලෙන්ටියක් බීලා එන්න.” 

ඔවුහු කපිලව මේසයෙන් බිමට ඇඳ දමා කාමරයෙන් පිටත්ව ගියහ.

අධික පිපාසයක් සමඟින් යළි සිහි ලැබගත් කපිල කෙදිරිලි හඬින් වතුර ඉල්ලීය. තොල් පටවල් පිපිරී ගලාගිය රුධිරයෙන් කටට දැනෙන්නාවූ ලුණූ රසයෙන් පිපාසය තවත් දැඬිව දැනෙන්නට වුනි. වම් ඇසට උඩින් වැදුනු පහරකින් එය ඉදිමී ඇසෙන් අඬක් පමණ වැසී ගොසින්ය. මුළු සිරුරම වණයක් මෙන් ඇඳුම්කන්නට පටන්ගෙන ඇත. තවදුරටත් කතා නොකර සිටීමෙන් පලක් නොවන බවත්, තවත් මෙසේ පහරකෑමට නොහැකි බවත් කපිල වටහාගත්තේ දෙවන වරටද කෙසැඟි තරුණයා පොල්ලත් අතැතිව පැමිණි පසුවය. 

“ආ උඹ නැගිට්ටාද?”

“වා... තු...ර,  වා....තුර ටිකක් දෙන්න.”

“ඇයි උඹට මහන්සිද? ආ ටිකක් බීපං. උඹ කෑවේ ටිකයි. තව කන්න තියෙනවා.”

අතට ගත් වතුර බෝතලයෙන් ටිකක් බිම වැතිර සිටි කපිලගේ හිසට වත් කළේය. හිසේවූ කුණු දුවිලි සෝදාගෙන පහලට ගලා ගිය දහඩිය මිශ්‍ර ජලය මුවට ගන්නට දිව එළියට දමමින් ඔහු යම් තරමකට තොලකට තෙමා ගත්තේය. 

මැදිවියේ මිනිසා කාමරයට ඇතුල්වූයේ ලා නිල් පැහැති නයිලෝන් කඹයක් රැගෙනය.

“මේක ගෙනාවේ උඹව එල්ලන්න. දැන්වත් කියපං අඬු කඩාගන්නේ නැතිව තෝ නේද රංගයාව මැරුවේ?” 

“බුදු සර් මම නෙමෙයි, රංගව මැරුවේ මංජුයි.”

පිට හරහා වැදුනු බට පහරින් කැරකී විසිවුනු කපිල වේදනාවෙන් මිරිකෙමින් කෑගැසීය.

“ඔය කියන්නේ. ඇයි බල්ලෝ තෝට ඕක ඉස්සෙල්ලා කියන්නනේ තිබුනේ අපිව මහන්සි කරන්නේ නැතිව.” 

සෝමේ යලිත් තවත් පහරක් දුන්නේ එසේ කියමිනි. 

“ගහන්න එපා සර්, ගහන්න එපා. තව ගුටි කන්න බෑ, මාව මැරෙයි. මේ ඔක්කෝම කළේ මංජුයි.  ස්ටැන්ලිව මැරුවෙත් ඌ තමයි.”

රංගගේ මෙන්ම ස්ටැන්ලි වික්‍රමපාලගේ මරණයත්, කොල්ලකෑ මුදල් හා බඩු භාණ්ඩ වලට සිඳුකළදේ හෙතෙම නිලධාරින්ට වැමෑරුවේ ඉන් අනතුරුවය. 




     කුමාරි හා පියරත්න මහතා එක්ව සකස්කළ විශේෂ වාර්තාව රැගෙන මහාචාර්ය නාරද අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පියමැන්නේ පොලිස් අධිකාරි මනෝජ් වෙත එය ලබාදීමටය. 

“ආ ප්‍රොපෙසර් නාරද, මම දැන් මේ මතක් කළා විතරයි.”

“ඇයි මිස්ටර් මනෝජ් ? වාර්තාව හදලා ඉවරද කියලා අහන්නද?”

“ඒකත් එක කාරණාවක් තමයි.”

“මම දැන් අරගෙනයි ආවේ.”

“ඒක හොඳයි, මොකද දැන් අපිට මේ වාර්තාව අවශ්‍යය වෙන වේලාව.”

“එතකොට අනිත් කාරණාව?.”

“අපි ස්ටැන්ලිගේ මර්ඩර් එකට අවශ්‍යය කරන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. දැනට මේ මිනිහාගෙන් ගත්තු කටඋත්තර අනුව මම කරපු නිගමනේ හරි.”

“ඒ කියන්නේ?”

“මේ කල්ලිය අලුතෙන් ෆෝම් වෙච්චි කණ්ඩායමක්. ඒ නිසයි අපිට කල්ගත වුණේ මේ ගොල්ලන්ව අයිඩෙන්ටිෆයි කරගන්න. මේ කණ්ඩායම ලීඩ් කරපු එක්කෙනයි තවත් හාදයෙකුයි මේ කල්ලියේම එකෙක් මරලා. ඒකා තමයි ස්ටැන්ලිගේ ගෙදර කොල්ලකන්න ප්ලෑන් කරපු මොළකාරයා.”

“එතකොට මේ කල්ලියේ ඇතුලේ අයම එකාට එකා මිනී මරාගෙන තියෙනවා?”

“ඔව්, සල්ලි බෙදාගන්න.” 

නාරදගේ මුහුණට බැරෑරුම් පෙනුමක් අරගත්තේ ඒ කතාව ඇසු කල්හිය. ඔහු මඳක් තම අතේ තිබූ වාර්තාව දෙස බලා හුන්නේය. 

“එහෙනම් අපි අනුමාන කළාත් හරි. අද්භූත යමක් මේ බඳුනේ තියෙනවා.”  

“මොකද්ද පොප්‍රෙසර් මේ කියන්නේ?”

“ශාපයක්.”

“සාපයක්?”

“ඔව් ශාපයක්, පාරාවෝ ශාපයක්. මම මේ ගැන විස්තර කරනවාට වඩා හොඳයි ඔයාම මගේ මේ වාර්තාව කියවලා බැලුවොත්. අපහැදිලි තැනක් තිබුනොත් මගෙන් අහන්න. මම හිතන්නේ නැහැ ඔයාට මේ වාර්තාවේ අපහැදිලි තැන් ඇතෙයි කියලා.”

“හොඳයි මම ඒක බලන්නම්.”

මනෝජ් වාර්තාව අතට ගන්නා ගමන් කීවේය.

“දැන් ඔය බඳුන ඔයාලා හොයාගත්තාද? එක විනාශකරලා නැහැ නේද?”

“තවම නැහැ. මේක තියෙන තැන අපි දන්නවා ඒත් ඒක ගන්න ගිහිල්ලා පොලීසියට අවශ්‍යය කරන පුද්ගලයාට පැනලා යන්න දෙන්න බැහැ. මිනිහා අපේ දැළට වැටෙනකං පොඩ්ඩක් බලාගෙන ඉන්න වෙනවා.”

“බඳුන ඔයාලා හොයා ගත්තු ගමන් මටත් දන්වන්න. මටත් මේක ටිකක් පරික්ෂාකරලා බලන්න ඕනේ.” 

“හොඳයි, අපි ප්‍රොපෙසර්ට කියන්නම්.”

පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් ඉවතට පැමිණි නාරද දුරකථනයෙන් කුමාරිට මෙන්ම පියරත්න මහත්තයාටත් ඔවුන්ගේ අනුමානය හරි බවත් පොලීසියෙන් බඳුන තිබෙන දිශාව සොයාගෙන ඇති බවත් සැලකර සිටියේය.


    දින කිහිපයක් ගෙවී ගියේ කපිලව අතුරුදහන් කරවීම සියල්ලන්ටම අමතක කරවාලමින්ය. එම දින කිහිපය නිවසින් බැහැරව ආරක්ෂිතව කල්ගත කළ මංජු සැමදා අරක්කුවල පිහිටෙන් නිදි සුව ලැබුවේය. ඇතැම් දිනවල පෙනෙන විකාරරූපි ස්වප්නවලින් බියට පත්ව දහඬියෙන් පෙගී අවදිවන මංජු යළිත් නින්දට වැටෙන්නේ අමු අරක්කු උගුරු කිහිපයක් බෝතලයෙන් කටට හලාගත් පසුවය. කපිලගේ ඉස්සීම ආණ්ඩු පක්ෂයේ වැඩක් නිසා එය තම ජීවිතයට තර්ජනයක් නොමැති බව සලකා යළි නිවෙස වෙත ආවේය. නිවසට ආ දින සිටම පිලිකන්න දෙසින් ඇසෙන මූසළ බළල් කෑ ගැසීම් නිසාවෙන් හරි හැටි නින්දක් වත් ලබාගන්නට නොහැකි වූයේය. වෙනදා සිටි සමීපතයින්වූ රංග චුට්ටා අද සඳහටම වෙන්වී ගොසින්ය. කපිල හා සුදු මහත්තයා අතුරුදහන්වී ඇත්තේය. මංජුට වෙනදා නොදැණුන පාළුවක් කාන්සියක් දැනුනේ නමුදු වෙනත් යහළුවන් ළංකරගෙන මදුවිත පිරීමට බියක්ද සිතේ ඇති විය. තනිවම අරක්කු බොතලයක් ළංකරගත් හෙතෙම පාළුව යන්නත් එක්කම හින්දි චිත්‍රපටයක් නැරඹීමට පටන් ගත්තේය. පිටුපස දොරට තට්ටු කරන හඬක් ඇසී දොර විවරකල බැලූ ඔහු දුටුවේ තම මිත්‍ර චුට්ටා අසුචි නාගෙන  දොර අභියස පිලිකන්නේ සිටගෙන සිටින අන්දමය. 



“මොකෝ බං මේ?”

“එනකොට ජරා වළකට වැටුණා බං. අනේ ළිඳ ළඟට ගිහින් වතුර පනිට්ටුවක් ඇඳලා දීහං හෝදගන්න.”

“ඇයි මේ තියෙන්නේ බාත්රූම් එක එකට පලයන්කෝ.”

“මේ මළ ජරාව එක්ක ඕකට යන්න බෑ. ළිඳට ගිහිල්ලා හෝද ගමු.”

චුට්ටා තම අයෝමය අඬුවක් වන් හස්තයෙන් මංජුගේ බාහුව අල්ලාගෙන එළියට ඇදගත්තේ බලහත්කාරයෙන් ළිඳට රැගෙන යාමට මෙන්ය. ඔහුගේ අතේ තැවරි තිබූ අසුචි තලියක් ඇඟිලිකරු අතරින් එළියට පැන්නේ මහා කුණු දුගඳක් නිකුත් කරවාලමින්ය. 

“චී ඔය මළජරාව මගේ ඇගෙත් ගෑවෙනවා, අහකට වෙලා පලයන්.”

“උඹට මාව මේ වළට දාන්න නම් හොඳයි ඇගේ ගෑවුනොත් නරකයි.”

මංජුට එකවරම චුට්ටාගේ මුහුණ දෙස බැලින. අසුචි ජරාව හිසේ සිට පහලට වැක්කෙරෙන ඔහුගේ උදරයේ වූ විශාල වණයක් තුළින් ඉහිඳ පණුවන් රොත්තක් නලියමින් එළියට අවුත් බිමට වැටෙන්නට පටන්ගත්තේය. යමක් කියන්නත් පෙර එකවරම පිටුපසින් කළුවරේ සිට මතුව ආ දෙදෙනෙක් ඔහුව වැසිකිලි වළට තල්ලුකර දැමීය. කරවටක් අපජලයේ ගිලුණූ මංජු වළෙන් ගොඩ ඒමට දඟලද්දි පිටු පසින් අවුත් වැසිකිලි වළට තල්ලු කළ රංග හා ස්ටැන්ලි හා එක්වූ චුට්ටා අසුචි ගොඩේ එරී ගොඩ ඒමට දඟලන මංජු දෙස දොඹ ගෙඩිමෙන් විශාල රතුවූ දෑසින් බලමින් වියරු හිනාවන් පාමින් සිටියෝය. ඉවසිය නොහෙන දුර්ගන්ධය දසත පැතිරෙන්නට විය. භිතියෙන් මුසපත්ව තව තවත් දැගලීමේදි මංජු අසුචි වලේ එරෙනු විනා ගොඩ ඒමක් කළ නොහැකිවුනි. කෑගැසීමට මුව විවර කරද්දී කටපුරා පිරුණු අසුචි නිසා හුස්ම හිරව ගොස් පතුලක් නොපෙනෙන කළුවර අගාදයකට මංජු තල්ලු වී ගියේය. 

හුස්ම හිරවුනු කලෙක මෙන් දෑතින්ම උගුර අල්ලන් අවදිවූ මංජුට එකවරම නිවස තුලින් බළලෙක්ගේ මූසළ ඈඩියාව ඇසෙන්නට වුනි. තදින් හතිලෑ හෙතෙම කළුවරෙම අතගා සොයාගත් සෝඩා බෝතලේ උගුරට දෙකට බී අවසන් කළේය. දහඩිය දමන්නට පටන් ගත් නිසා ඇඳ සිටි කමිසය ගලවා වීසික්කළ ඔහු දත්කූරු සපමින් කෑ ගසන බළලුන්ට සාප කළේය. ඒ එක්කම ඉදිරිපස දොරට තදින් තඩිබාන හඬින් ඔහුගේ කෝපය ඉහවහා ගියේය. දොරට තඩිබාන්නේ කවුදැයි නොවිමසාම එය විවර කළ මංජුට දෑස් නිලංකාරවන විදුලි පන්දම් එළියක් මුහුණටම එල්ලවිය.  

“කවුද යකෝ? ඔය හුත්. . .  අහකට අරගනින්.”

“තමුසෙද මංජු කියන්නේ?”

ගොරහැඩි හඬින් විදුලි පන්දම අල්ලා සිටි පුද්ගලයා ඇසීය. විදුලි පන්දම් එළියෙන් දෑසම නිලංකාරවීමෙන් ප්‍රශ්න කරන පුද්ගලයා හෝ එළියේ සිටින්නේ කවුරුන්දැයි හඳුනාගැනීමට නොහැකිවූවත් ඔහු ඒ සදහා අසාර්ථක උත්සාහයක් දැරීය. මංජු පිළිතුරුදීමට මඳක් ප්‍රමාද කළේ අනතුරක සේයාවක් තමන්ට දැනෙන්ට වූවායින්ය.

“ඇයි කතා නැත්තේ. තමුසේ නේද මංජු?”

වහා දොර වසා නිවස ඇතුලට පැනගන්නට කළ උත්සාහයේදි ඔහුට පෙර ඉක්මන්වූ එළියේ හුන් පුද්ගලයා විසින් මංජුගේ යටිබඩ හරහා දුන් පා පහරින් ඔහුගේ දෙකනින් ගිනිසැරයක් පිටවූවා සේ දැණින. යටිකය අල්ලාගෙන නැමුනු මංජුගේ පිට හරහාද පහරවල් කිහිපයක් එල්ලවුනි. බිම ඇදගෙන වැටුනු පසුවත් තවත් පහරවල් කිහිපයක්ම එල්ලවුනේ ඔහුව බෙලහින කර අවනත කරගැනීම පිනිසය. කෑගැසීමට කෙසේවෙතත් කෙදිරිගෑමටවත් ගතේ පණක් ඉතිරිව නොතිබූ මංජුගේ දෑත් විලංගුලා බිමදිගේ ඇඳගෙන ගොස් පාරේ අයිනකට වන්නට නවතා තිබුනු ජිප් රියේ නංවාගෙන ඔවුන් පිටත්ව ගියෝය. 

                                     මතුසම්බන්ධයි.......

14 comments:

  1. උදෙම්ම කියෙව්වෙ කන ගමං

    ReplyDelete
    Replies
    1. කෑම එකේ රස වැඩි උනාද? මදි උනාද කියවද්දී..

      Delete
    2. පොටෝ එක දැක්කම රස වැඩි වුණා

      Delete
  2. එක කාලෙක පාපෝච්චාරණ ඇත්තයි කියලා පිලිගන්නනම් වද දීම අවශ්‍ය අංගයක් වුනා.
    https://tortureum.com/history-of-torture/

    https://www.thegreatcoursesdaily.com/medieval-inquisition-trials-torture-and-sermons/


    https://en.m.wikipedia.org/wiki/Enhanced_interrogation_techniques

    ReplyDelete
    Replies
    1. හාවෙක් අත්අඩංගුවට ගන්න කැලේට ගිය පොලීසිය වලහෙක් අල්ලාගෙන ආවා. හොදටම ගුටි කාපූ වලහා අඩ අඩ කෑගහලා කියන්න ගත්තා.මම තමයි හාවා.. මම තමයි හාවා.
      ඔය විදිහට පාපොච්චාරනය වද 32කම දීලා තාම කරවගන්නවා.

      Delete
    2. ඕකෙ වෙන්නෙමුලින් පාපෝචාරණය නොකර වදෙන් බේරෙන්න බොරුවට ඔනෙම එකක් පිලිගැනීම.

      ඒක අර රෝමන්කාලෙ වහලුන්ට දුන්න වදදීම සංකල්පෙ (වද නොදී ලැබෙන පාපෝච්චාරණය නොපිලිගැනීම )අනිත් පැත්ත.

      දෙකෙන්ම බොරු කියවෙනව ඉතින්.

      Delete
    3. උදා.
      කසිප්පු නඩුවල බොහොම උනන්දුවෙන් ටක් ගාල වරදි පිලිගත්ත සමහරුන්ට වද දුන්නොත් උන් ඇත්ත කියයි බිස්නස් එක වෙන කෙනෙක්ගෙ ගාණක් දුන්න නිසා පිලිගත්ත කියල

      Delete
    4. වද දීලා පාපොච්චාරනය කරගෙන එලිදරව් වලකන්නට තමයි ආයුද පෙන්නන්න ගෙනියන්නෙ..
      කොහොමත් 88-89 කාලයන් වල වද දීම උපරිමයෙන් කෙරුනා නේද? බොහොමයක් පාපොච්චාරයන් නොකරම වදදීමෙන් මියගියා.

      Delete
    5. https://www.amnesty.org/en/documents/asa37/010/1999/en/

      Delete
  3. නරකත් හොඳක් වෙන තැන් නම් බොහොම ඇත
    වැඩියම වෙන්නෙ එය වෙන එක විපරීත
    බලය අතට ගත්තම මෝඩයො හැත්ත
    නිතරම යට ගැහෙයි -සත්තක ඇත්ත!

    ReplyDelete
    Replies
    1. කවියෙන් කියලා නෙවැ සහතික ඇත්ත
      ඇති නිසා උන්ටම කැපවූ පර ගැත්ත
      බලයට එන්නේ මොළ විපරිත හැත්ත
      වෙනසක් නැතොත් රට ගොඩ එන්නේ නැත්ත

      Delete
  4. දැන් ටිකක් වේගෙන් කතාව යනවා හරියට පොලිස් ඉන්වෙස්ටිගේෂන් රිපෝර්ට් එක එකපාර කියවනවා වගේ.. අපිව පොඩ්ඩක් වටේ යවල ගන්නවකො.. අර වත්සලා ල පියසෝම ගේ දුවල, අර තනියෙම හොරණ ඉන්න මනුස්සයට හොරෙන් කොටු පන්න ගෑනු කෙනා එහෙම පව් නැද්ද? උන්ටත් පොඩි සපෝර්ට් රෝල් එකක්වත් දෙනවකො අතරින් පතර.. අපිත් මේ වේලෙනවා මෙහෙ.. හෙහ්.

    ReplyDelete
  5. සුදු වෑන් කට්ටියක් නේද , ඒ ගොල්ලෝ ඕවත් කරනවද

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

හෝරස්ගේ දරුවා - විසිතුන් වන දිගහැරුම Son of Horus - 23

     පොලීසියට අවශ්‍යය කරන පුද්ගලයෙකුවූ සුදු මහත්තයා මිතුරෙකුගේ සෙවනගල ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් සිටියදී අත්අඩංගුවට පත්වෙන්නේ මේ අතරතුරේද...