Monday, June 14, 2021

හෝරස්ගේ දරුවා - විසිදෙවන වන දිගහැරුම Son of Horus - 22

 


 විශාල ප්‍රමාණයේ ජනාධිපතිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයකින් අලංකාර වී තිබුන අති සුබෝපභෝගි ගෘහභාණ්ඩ වලින් සමන්විත වායුසමනය කළ සීත කාමරයේ ඇමතිතුමාගේ මේසයට ඈතින් තිබූ සැප පහසු සෝපාවක නාරද හා පියරත්න අසුන් ගත්තෝය. එදින උදෑසන අටහාමාර පමණ වන විට බත්තරමුල්ලේ සුවිසල් ගොඩනැගිල්ලේ අටවන මහලේ වූ අමාත්‍යංශයට පිවිස ලේකම්තුමා හමුවූ ඔවුන්ව කිසිදු පමාවකින් තොරව ඇමතිතුමාගේ කාමරය වෙත රැගෙන ගියේ ඇමතිතුමා බලාගෙන සිටින බව පවසමින්ය. ඇමතිතුමාගේ හිඳගන්නා සිහාසනයක් බඳුවූ විශාල අසුනත් තිබුනත් ඇමතිතුමා එහි නොවීය. අඩි පහකට නොඋස් හිස කඳ බඩ යාවෙන්නට ආසන්න මුග්ධ පෙනුමැති අමාත්‍යතුමා එම කාමරයට වෙනත් දොරටුවකින් ඇතුල්වූයේ කාටදෝ බැණවදිමින්ය. කාමරයේ රැඳී හුන් නාරද හා පියරත්න දෙස බලා අමුත්තන් දෙදෙනෙක් අසුන්ගෙන සිටින බවක් ගණනකට නොගත් ඔහු තම ජංගම දුරකථනයේ සංවාදය නතර නොකළේය. 

“අයිසේ තමුසෙලාට බැරිද ඕවා පබ්ලික් නොවෙන්න කරගන්න. මම තමුසෙලාව දාලා තියෙන්නේ මගේ පුතාව ඔය වාගේ වැඩවලින් පොඩ්ඩක් බේරගෙන එන්නනේ. දැන් තමුසෙලා බුරුවෝ රැලවගේ අර ෆෙරස්ට් එකේ මිනිහාට ගැහැව්වා. හරි අයිසේ ඌ කටගහගෙන ආවානම් තමුසෙලාට තිබුනේ එතැනදි නෙමෙයිනේ ඒකාගේ කට වහන්න. කෝ දැන් ශාලක? යන්න කියනවා හපුතලේ වත්තට. දැන් පත්තරකාරයොත් ඇවිස්සිලා ඇති. කෝ දැන් කපාපු කොට ලොඩ් එක? එක අරගෙන ආවාද? හරි එහෙම නම් ශාලකට කියනවා වත්තට ගිහිල්ලා මට කොල් එකක් දෙන්නය කියලා.”

ඇමතුම විසන්ධි කළ ඔහු සීනුවක් හඬවා පියන් කෙනෙකු ගෙන්වා ගත්තේය.

“අයිසේ ගිහිල්ලා එන්න කියනවා සුමිත්ට.”

එක කනක පුංචි අරුංගලයක් පලදාගත් මදාවි පෙනුමැති තරුණයෙකු තම හැඬිදැඬි සිරුර ලෙලවමින් කාමරයට ඇතුල්වීය.

“අන්න මේ සැරෙත් ශාලක ෆොරස්ට් එකේ එකෙකුට ගහලා. ගිහිල්ලා බලනවා ඌ මොන හොස්පිටල් එකේද ඇඩ්මිට් වෙලා ඉන්නේ කියලා. අනංමනං පත්තරවලින් කුණු ඇදලා ගඳ ගස්සන්න කලියෙන් ඌගේ කට පොඩ්ඩක් වහලා දානවා. දැන් ඒකාට මොකක්ද වෙලා තියෙන්නේ?”

“ඔලුව පොඩ්ඩක් තුවාල වෙලා සර්.”

“එහෙම නම් කැළේ ඇතුලේදි ලිස්සලා වැටිලා ඌගේ ඔලුව ගහක වැදිලා තුවාල වුණා කියන්න කියනවා. හරිද?”

“හොඳමයි සර්.”

“ආ දැන් කොහෙද තියෙන්නේ උන්ගෙන් උස්සපු තුවක්කුව?”

“ඒක සර්ගේ බංගලාවෙ තියෙනවා.”

“හරි මම ඒක පොලීසියට බාරදෙන්නම්. තමුසේ දැන් ගිහිල්ලා මම කියපු විදිහට කරනවා.”

සංවාදය අවසන්ව ඇමතිතුමා පියරත්නගෙත් නාරදගෙත් මුහුණ දෙස බැලූයේ ප්‍රශ්නාර්ථයක් තම මුහුණට නගාගනිමින්ය.

“ඔය මහත්තුරු කවුද? මොකටද ආවේ?”

සැප පුටුවේ අසුන්ගත් ගොර්ඩන් සිල්වා ඇමතිතුමා තම මේසය ඉදිරිපිට අසුන්ගෙන සිටින දෙදෙනා දෙස නුරුස්සනා බැල්මක් හෙලමින් ඇසීය.

“මම ප්‍රොපෙසර් නාරද බණ්ඩාර. ඔබතුමා මට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුනා.”

“මේ සර් අර මුහුදෙන් හොයාගත්තු ඊජිප්තු බඳුනේ වාර්තාව ලියලා තිබුනේ.”

ඒ අවස්ථාවේම කාමරයට ආ අමාත්‍යංශ ලේකම්තුමා කීවේය.

“ආ හරි හරි මට දැන් තමයි මතක් උනේ. මේවා කොහෙ මතක් වෙන්නද අපේ කොල්ලා කරන නහර වැඩ හින්දා.”

තම මුග්ධ පෙනුම කටුස්සෙකුසේ ක්ෂණිකව වෙනස් කරගත් ඔහු තම කපටි ආකර්ෂණීය සිනාව මුහුණට ආරූඪ කරගත්තේය. 

“ආයුබෝවන් මහාචාර්යතුමා.” 

තම අසුනින්වත් නොනැගිටම ඇමතිතුමා කීවේය. 

“මම ප්‍රොපෙසර්ගේ වාර්තාව කියැව්වා. මට කියන්න පුලුවන්ද ඔය බඳුන කොච්චර පැරණි එකක්ද කියලා? ”

“මෙහෙම එකපාරටම මේ බඳුන මෙච්චර පැරණි එකක් කියන්න බැහැ.”

“ඒ ඇයි?”

“මේකේ කාල වකවානු හොයන්න නම් පරීක්ෂණ කිහිපයක් කරන්න වෙනවා. එක ක්‍රමයක් තමයි කාබන් කාලනිරීක්ෂණ ක්‍රමය. ඒවාගේම මේ බඳුන් කාලාණුරූපව හැඩයෙන් සහ සාදපු දාව්‍ය ආදියේ වෙනස්කම් සිදුවුණා. ඒ නිසා මේක සෑදු කාල වකවානු පිරමීඩ වල ඉතිහාසයෙන් හොයාගන්න පුලුවනි. එහෙම කාලය හොයන කොට ඇත්තටම මේක කීවෙනි රාජ වංශයේ සොහොන් ගැබක එකක්ද කියලා අපිට හොයාගන්න පුලුවන් වෙයි. ඒවාගේ දේවල් කරන්න අපිට අඩුම තරමේ ඊජිප්තුවේ පුරාවිද්‍යාඥයින්ගෙන් වත් සහයෝගයක් අවශ්‍යය වෙනවා.”

“ඒ කියන්නේ එහෙම කාලසීමාවක් තාම ප්‍රොපෙසර්ට හොයාගන්න පුලුවන් කමක් තිබුනේ නැද්ද?”

“එහෙම කාල සීමාවක් මේ බඳුන පොලීසියෙන් හොයාගන්න ගිය කාලය අතරතුරේදී මට මගේ පෞද්ගලික යාළුමිත්‍රකම් යොදාගෙන හරි විශ්ව විද්‍යාලයේ මාර්ගයෙන් හරි යම් තරමකට හෝ හොයාගන්න තිබුනා. ඒත් මම එහෙම නොකළේ මේ ගැන වෙනත් තුන්වෙනි පාර්ශවයකට තොරතුරු නොයන්නයි. මේක කොහේ හැදුවත්, කොහේ තිබුනත් දැන් අයිති ලංකා ආණ්ඩුවටයි. මේකට මැදිහත්වෙන්න ඕනේ ආණ්ඩුවයි. එහෙම නේද ඇමතිතුමා?”

“ඔව්. ඔව්. .. ඒක හරි. දැන් මේ බඳුනේ වටිනාකම කීයද?”

“වටිනාකම මිල කරන්න බැහැ.”

“මේක නිකං මැටි භාජනයක් විතරයිනේ. මට නම් වටිනාකමක් පේන්න නෑ.”

“හදලා තියෙන්නේ මැටියෙන් වෙන්න පුලුවන් නමුත් ඇමතිතුමා මේකේ පුරාවිද්‍යාත්මකව තියෙන වටිනාකම මිලකරන්න බැරි විත්තියයි මම කීවේ.”

“දැන් මොකකද්ද මේ තියෙනවායි කියන ශාපයක කතාව?”

“ඔය බඳුනේ යම් අද්භුත බලපෑමක් හෝ ශාපයක් ගැබ්වෙලා තියෙනවායි හිතනවා. බඳුන හිමිකරගත්ත සැම පුද්ගලයෙක්ම මියගියේ ස්වභාවික අයුරින් නෙමෙයි.”

“ඇයි නාරද මහත්තයා ඕක ළඟ තියාගත්තු මංකොල්ලකාරයෝ ටිකත් ජීවත්වුනේ නැහැනේ.” 

මෙතෙක් නිහඬව හුන් පියරත්න මහත්තයා නාරදගේ කතාවට ඌනපුර්ණයක් එක් කළේය.

“මේ මොන පිස්සු කතාද ප්‍රොපෙසර්. මිනිස්සු මැරුණේ උන්ගේ කරුමෙට නැතිව ශාපයක් බලපාල නෙමෙයි. දැන් ඔය යුද්දෙන් දහස් ගණන් මැරෙන්නේ ඒ සාප නිසාද?”

“එහෙම කියන්න එපා ඇමතිතුමා ඔය පාරාවන්ගේ ශාපයන් බලපාල මියගිය අයගේ නම් ලැස්තුවක් වාර්තාව එක්ක දීලා ඇති. ලෝකේ දෙවිවරු ඉන්නවා කියලා ඔබතුමා පිළිගන්නවානම් අපිට නොපෙනෙන අද්භූත දේවල්ද තියෙනවා කියන එකත් පිළිගන්න වෙනවා නේද?”

යලිත් පියරත්න මහතා ඇමතිතුමාගේ කතාව මැද්දට පැන තරමක කෝපයෙන් කීවේය.

“හරි, හරි දැන් ඔය කියන ශාපේ නවත්තන්න අවශ්‍යය කරන්නේ මොකක්ද?” 

“අපිටත් ඒක හිතාගන්න බැහැ. නමුත් අනුමාන කරන විදිහට මේකේ අනිත් බඳුන් තුනත් අරගෙන ඒවා එකට තියලා කීවෙනි රාජවංශයට අයත්ද කියලා සොයලා බලන්න වෙනවා. ඒකට ගිලුණු නැව හොයාගෙන එකේ තියෙන අනිත් බඳුන් තුන ගොඩට අරගන්න සිද්ධ වෙනවා. අනිත් කරණාව තමයි අපිට ඊජිප්තුවෙන් මේ පිළිබඳව විශේෂඥ දැනුම අරගන්න සිද්ධ වෙනවා.”

“ඔය ගිලුණු නැවක් ගැන කිව්වා නේද? දැන් එකේ පුරාවස්තු එහෙම තියෙනවාද?”

ඇමතිතුමා විශේෂ උනන්දුවකින් ඒ කාරණාව ඇසීය.

“ඔව් මම පොඩි කාලේදි අහලා තියෙනවා රත්තරන් පුරවාපු නැවක් මුදේ ගිලුණා කියලා. දැන් අපි අනුමාන කරන්නේ මේ නැව කුණාටුවකට අහුවෙලා මුහුදුබත්වෙච්ච මුහුදු කොල්ලකාරයින්ගේ නැවක් වෙන්න ඕනේ කියලයි.” 

“ඒ කියන්නේ පියරත්න මහත්තයා ඔය ගොල්ලෝ ඉස්සර ඉදන්ම දන්නවා මෙහෙම නැවක් තිබුණ බවක්?”

“නෑ ඇමතිතුමා එහෙම කතාවක් අහලා විතරයි තිබුනේ. අපි හිතුවේ ඒක පුරාවෘත්තයක් පමණයි කියලා. මේකෙන් ඒ කතාව ඇත්තක් කියලා යම් තරමකට අනුමානයක් කරන්න පුලුවන්.”

“දැන් ඔය නැව ගිලිලා තියෙන තැන දන්නවාද?”

“හරියටම තැනක් කියන්න බෑ. අනුමාන කරන්නේ රූමස්සල හරියේ තමයි ඇත්තේ කියලා. මේක හොයන්න නම් අපේ සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයෙ මාර්ගයෙන් රූමස්සල අවට මුහුදු ප්‍රදේශය ගවේෂණය කරන්න වෙයි.”

“ලේකම්තුමා මේ අපිට සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයක් කියලා එකක් තියෙනවාද?”

“ඔව් සර් තියෙනවා. ඒත් සර් මේවාගේ ලොකු වැඩකට යොදන්න තරම් සම්පත් මදි.” 

“ඒක ඇත්ත අපේ සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය නම් තියෙන්නේ ප්‍රාථමික අවධියේ.”

“හරි අයිසේ එයාලට ඒක කරන්න පුලුවන්ද කියලා බලන්නත් එක්ක ශක්‍යතා අධ්‍යනයක් කරලා වාර්තාවක් එවන්න කියනවා.”

“ඒහෙම නොවෙයි ඇමතිතුමා, ඔය ගාල්ල අවට විතරක් නොවෙයි ලංකාවේ ගොඩක් තැන්වල මේවාගේ පැරණි රුවල් නැව් ගිලිලා තියෙනවා. ඒවායේ තියෙන පුරාවස්තු හොයාගන්නත් එක්කම මේ වැඩෙත් කරන්න රාජ්‍ය හරි රාජ්‍ය නොවන සංවිධාන මාර්ගයෙන් වෙනින් රටවල්වල අධාර ලබාගන්න.” 

“ඉදිරිකාලයේදි එහෙම වැඩකට යොදාගන්නත් මගේ අදහසක් තියෙනවා. හොඳයි මම ඒ ගැන සලකා බලන්නම්. එහෙනම් ප්‍රොපෙසර් මට අද යොදාගත්ත වැඩ කිහිපයක්ම තියෙනවා. බොහෝම ස්තුතියි පැමිණීමට.” 

තවදුරටත් කතා කිරීමට ඉඩක් නොතියා ගොර්ඩන් සිල්වා ඇමතිතුමා ඒකපාර්ශවිකව නාරද හා පියරත්න සමඟ තිබූ සාකච්ඡාව හමාරකළේය. 

“අයිසේ ඔය ගිලුණු නැව තියෙන තැන මුන් දෙන්නා දන්නවාද කොහෙද?”

කාමරයෙන් ඔවුන් පිටත්වුනු වහාම සේනක දෙස හැරුනු ඇමති සිල්වා ඇසීය.

“මම හිතන්නේ නැහැ එයාලා දන්නවා කියලා. දන්නවානම් නොකියා ඉන්න මිනිහෙක් නොවෙයි නාරද බණ්ඩාර.”

“රත්තරං තියෙන නැවක් ගිලිලා තියෙනවා, මෙන්න මෙතැනයි තැන කියලා අපේ පුතණ්ඩියාට කීවානං මිනිහා කොල්ලෝ ටිකක් අරගෙන ගිහින් මුහුද හිදලා හරි මුළු නැවම ගොඩට ඇඳලා තියෙයි.”

හක හක ගා සිනාසුනු ඔහු 

“අයිසේ කාටවත් ඔය නැවේ විස්තරේ පබ්ලික් වෙන්න දෙන්න එපා නැත්නම් පුරාවස්තු අරගෙන්න මිනිස්සු පෝලිමේ යයි මුදේ පනින්න. ඊට පස්සේ අපිට පොලීසියෙන් මුරට දාන්නත් සිද්දවෙයි.”

“දැන් ඔය බඳුනට කරන්නේ මොකක්ද සර්?”

“මුහුදෙන් මෙහෙම බඳුනක් හොයාගත්තා කියලා මිඩියාවලට ඉන්ටවිව් එකක් දීලා කටුගෙදරට බාරදෙමු.”

“සර් මම කියන්නද වැඩක් සර්ට හොද පබ්ලිසිටි එකකුත් අරගන්න පුලුවන් විදිහෙ.” 

“මොකක්ද අයිසේ ඒ?”

“මුලින්ම අපි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වත් අරගෙන මේ බඳුන හමුවෙච්චි ආකාරය මීඩියාවලට දෙමු. ඊට පස්සේ මේක ඊජිප්තුව එක්ක තියෙන රාජ්‍ය සබඳතා ශක්තිමත් වෙන්න කියලා එහාට තෑගී කරමු.”

“අයිසේ ඕවා එහෙ ඕනෑ තරම් ඇතිනේ?”

“කොච්චර තිබුනත් මේවා පුරාවස්තුනේ සර් අනික මේක තිබුනේ ලංකාවේනේ. සර්ට පුලුවන්නේ අපිවත් අරගෙන ඊජිප්තුවට ටුවර් එකක් අරගන්න. එහෙන් පුරාවිද්‍යඥයින් කිහිපදෙනෙක් ගෙන්නලා මෙහෙ පොඩි දේශනයක් එහෙම සෙට්කරන්නත් පුලුවන්නේ. එතකොට උන් මේක උඩින්ම බාරගනියි.”

“අයිසේ තමුසෙගේ මොළේ තමයි මොළේ.”

ගොර්ඩන් සිල්වා ඇමතිතුමා තම ස්ථුල සිරුර සොළවමින් උද්දාමයෙන් සිනාසුනේය.

අමාත්‍යංශයේ සිට වාහන අංගනයට එනතෙක් නිහඬව සිටි පියරත්න මහතා රථයට ගොඩවැදුනු වහාම තම කෝපය වචන වලට පෙරලීය.

“මුං වාගේ නරුමයන්ටද අපි ඡන්දේ දීලා පාලකයෝ විදිහට පත්කරගෙන තියෙන්නේ. මේකා දන්න ජාතික හෙළ උරුමයක් වත් පුරාවිද්‍යාවක් වත් නැහැ. අඩුමතරමේ ඒවා ගැන කැක්කුමක්වත් නෑ.”

“ඒක ඇත්ත මිස්ටර් පියරත්න. සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයක් තියෙනවාද කියලවත් නොදන්න මිනිස්ටර්. එයාගේ පුතා නේද කාටදෝ ගහලා කිව්වේ?”

“බලන්න මුංගේ ළමයිත් හැදෙන්නේ මැරයෝ වාගේ. ජඩ ගති උප්පතියෙන්ම පිහිටලා තියෙනවා.”

“අපේ කාලයත් මහන්සියත් අපතේ ගියා කියලා මට හිතෙනවා මිස්ටර් පියරත්න.”

රිය පදවන ගමන් නාරද බන්ඩාර සිය කනස්සල්ල ප්‍රකාශ කළේය.  


    එසේ ඇමතිතුමා සමඟින් අමාත්‍යංශයේ තිබූ සාකච්ඡාව අවසන් වී දින කිහිපයකට පසුව රාත්‍රි අටේ පුවත් ප්‍රකාශයේදි පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් හා ඇමතිතුමා පැවැත්වු විශේෂ මාධ්‍ය හමුව විකාශනය කෙරුණි. ඔවුන් පියසෝම විසින් සොයාගත් බඳුන ගැන ප්‍රථම වරට මාධ්‍යට එළිදරව් කළ අතර මහාචාර්ය නාරද බන්ඩාර ගැන සඳහනක්වත් නොකළේය. කුමාරිට මේ පුවත් විකාශණය ගැන දැන්වු ඔහු යම් සිත් තැවුලකින්ම නින්දට වැටුනේ මාධ්‍ය හමුව ඔහුට වසන් කළ හෙයිනි. පසුදින ජාතික පුවත්පත් වල ප්‍රධාන පුවත වූයේ මුහුදින් ගොඩගත් බඳුනය. එහි ඡයාරූප සමඟින් විස්තර පලවී තිබුනි. 

“බලන්න මෙච්චර දෙයක් කරලත් ඒ අයට අමතක වෙච්චි ඉක්මන. ඇමතිතුමා හරි පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවෙන් හරි ඔයාට මේ මාධ්‍ය හමුවට කැදවන්න තිබුනානේ.” 

කුමාරි නෝක්කාඩුවක ස්වරූපයෙන් නාරදට කීවාය.

“දැන් කෝ ඔය පොලීසියේ එස් එස් පි ලා අයි ජි පි ලා සද්ද නැහැ නේද? වැඩ කරගන්නකොට ඉන්න මිනිස්සු දැන් හොයාගන්නවත් නෑ.”

“කුමාරි පොලීසියේ අය නෙමෙයි මේක තිබ්බේ. මේක අර ඇමතියාට ලකුණු දාගන්න කරපු වැඩක්.”

“ඔයාගේ හම ගියා එයාලගේ නම ගියා එච්චරයි.”

ඈ කෝපගනිමින් පැවසුවාය.

පියරත්න මහතා උදෑසන පුවත්පත් බලා බඳුනේ ප්‍රවෘත්තිය දැක නාරද ඇමතීය.

“මොකද්ද මේ අමාත්‍යංශයෙන් කළේ? එයාලට අමතකවුණාද මේක හොයන්න නාරද මහත්තයාත් මහන්සිවුණා කියලා. දැන් නාරද මහත්තයා මේ බඳුන විතරද තියාගන්නේ? පුරාවිද්‍යා එකෙන් අනෙක් ඒවා ගැන හොයන්නේ නැද්ද?”

“අපි පොඩ්ඩක් ඉවසලා බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා.”

“ඇමතිතුමා කිව්වා නේද සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයෙන් ශක්‍යතා අධ්‍යනයක් කරලා වාර්තාවක් ලබාගන්නවා කියලා.”

“ඔව්, කිව්වා නම් තමයි. මම ඒ ගැනත් හොයලා බලන්නම්.”

ඔහු තම පෑරුණු සිත යටපත්කරගන්නට මෙන් කීවේය. නාරද දින කිහිපයක්ම ඇමතිතුමා හෝ අමාත්‍යංශ ලේකම් සම්බන්ධකරගන්නට උත්සාහ කළත් එය සඵල කරගැන්මට හැකියාවක් නොවුනායින් ඔහුගේ කෝපය මෙන්ම කනස්සල්ලද වැඩි කරවීය. අවසානයේදි පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට ගොඩ වැදුනේ අධ්‍යක්ෂක ජෙනාරාල්තුමා හමුවී සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයෙන් රූමස්සල අවට මුහුදු ප්‍රදේශය ගවේෂණය කරනවාදැයි පරික්ෂා කරන්නටය.

“ප්‍රොපෙසර් නාරද අපිට ඔය කියන ශක්‍යතා අධ්‍යනයක් කරන්න කියලා අමාත්‍යංශයෙන් දැනුම් දීලා නැහැ. අනික අපේ සමුද්‍ර ඒකකයේ තියෙන සම්පත් සීමිත බව ඔබතුමා නොදන්නවා නොවෙයිනේ. මීට ඉස්සර කරපු මුහුදු පර්යේෂණ වලට පිටරට වලින් අධාර උපකාර ලැබුනා. මතක ඇතිනේද ගාලු වරාය ගාව එක්දාස් හයසිය පනස්නමයේ ගිලුණූ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ ඇවොන්ඩ්ස්ටර්  [Avondster - 1659   Dutch East India (voc) Company]   නැවේ කරපු ගවේෂණය?  එක්දාස් නමසිය අනුතුනේදි Western Australian Maritime Museum    එකෙන් ඇවිල්ලා ගාලු වරාය ඇතුලේ එක්දාස් හයසිය හැටඑකේ ගිලුණු හර්කියුලීස් නැව සොයාගත්තා. ඒ ආපූ පුහුණු විදේශ කණ්ඩායම් නිසා තමයි ඒ නැවත් ඒ නැවේ පුරාවස්තුත් හොයාගත්තේ. 




“සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය ශක්තිමත් කරගන්න ඔයාලට මේක අවස්ථාවක් කරගන්න පුලුවනි.”

“ඇත්තම කිව්වොත් ප්‍රොපෙසර් අපේ ආණ්ඩුවෙන් මේ අමාත්‍යංශයට අයවැයෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදන මදිබව දන්නවානේ? එහෙම එකේ අලුතින් ප්‍රොජෙක්ට් පටන්ගන්න එක හිතන්නවත් බෑ.” 

“දැන් ඔය ඊජිප්තු බඳුනේ තියෙන ශාපය ගැන මොකක්ද හිතෙන්නේ? ඒකට ගන්න පියවර මොකක්ද?”

“මට ඒ ගැන වැඩි විස්තරයක් කියන්න අපහසුයි. ඇමතිතුමානම් මේ ගැන එච්චර තැකීමක් නැහැ.”

“ඒහෙම කියලා හරියන්නේ නැහැ අධ්‍යක්ෂකතුමා ඔයා පොඩ්ඩක් දැනුවත් වෙන්න මේ ශාපය ගැන. මේකේ බලපෑම ගැන ඇමතිතුමාව දැනුවත් කරන්න. නැත්නම් මේකෙන් දැනට වෙලා තියෙන දේවල්වලට වඩා විශාල විනාශයක් වෙන්නත් පුලුවන්.”

“එහෙනම් මට කියන්න මේකට මොකද්ද කරන්න කියන්නේ?”

“මට හිතෙන්නේ මේක ආපහු තිබුනු තැනට යවන එක.”

“පිරමීඩවලට යවන එක ඇමතිතුමාට කියලා කරන්න පුළුවන්.”

“එහෙට යවලා මේකේ ශාපය නැති කරන්න පුලුවන් වෙයි කියලා මට හිතෙන්නේ නැහැ. මොකද අපි දන්නේ නැහැ මේ බඳුන තිබුනු සොහොන් ගැබවත්, මේ බඳුන ඇතුලේ තැම්පත් කරලා තිබුනු ශරීර කොටස් අයිති මොන පුද්ගලයාටද කියලා?” 

“ඔව් ඒකනම් ඇත්ත. එහෙනම් මොකකද්ද කරන්නේ?”

“ආපිට රූමස්සල අවට මුහුදට දාන එක තමයි අවසානයේදී කරන්න වෙන්නේ.”

“පිස්සුද, ඕක ආපිට මුහුදට දාන්න ඇමතිතුමා කරන්න ඉඩ දෙයි කියලා ඔයා හිතනවාද?”

තවදුරටත් කතා කිරීමෙන් ඵලක්නොවන බව වැටහුනු මහාචාර්ය නාරද බණ්ඩාර ශාපය ගැන යළිත් වරක් මතක් කර ඔහුට ස්තුති කරමින් දෙපාර්තුමේන්තුවෙන් පිටවී ආවේ ඉතා විශාල පසුතැවිල්ලක් සිතේ රුවාගෙනය.

මතුසම්බන්ධයි

12 comments:

  1. 'අඩි පහකට නොඋස් හිස කඳ බඩ යාවෙන්නට ආසන්න': ඔහොමත් කියනවද handsome මිනිස්සුන්ට ආ. අර පිටිපස්සෙ තියෙන්නෙ ජනාදිපති කෙනෙක්ගෙ ෆොටෝ එකක්ද.. මලා.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ නම් නෑ අපේ රටේ ඉන්නේ ජනතා සේවකයෝ. එයලා කද බඩ යාවෙන්න තරම් සැප විදින්නේ නෑ. රටට ගමට සේවය කරන්න කබල් කාර් වල ගිහින් කොන්දේ ආමාරුව හදා ගන්නවා. ජනාධිපති තමයි සර්වබලධාරි එයාගේ අණින් එයාගේ දැක්මෙන් එයාගේ මගපෙන්විමෙන් තමයි මේ රට කෙරෙන්නේ. කවුරුත් එයාට උපදෙස් දෙන්නේ නෑ. එයාගෙන් උපදෙස් ගන්නවා. නිලධාරින් පවා වැඩ කරන්නේ එයාගේ අණට. පොලිස් පරික්ෂණයක් පවා කරන්න නම් එයා පොලිස්පතිට අණ දෙන්න ඔනේ. ඒ නිසා එයා දෙවියෙක් රාජකාරි කරන්න අත් ගොඩාක් තියෙන.

      Delete
  2. රටේ සේරම මැති ඇමතිලා, උන්ගෙ දරුවෝ එකම වාගෙයි
    එහෙම පොදු අය මෙහෙම තැනකට ඇදල ගැනුමත් හරිම වැරදියි
    දහදුරා වැඩ නොකරනා සහජාත පුත්තුත් ඉන්නවාමයි
    සාටකේකුත් පළන්දාලා ඇදල ගනිමුද තවත් රහ වෙයි!

    ReplyDelete
    Replies
    1. උගතුන් ගිය විට හැසිරෙති නූගතුන් සේම
      වැඩ්ඩෝ ගිය විට හැසිරෙති පුස්සන් සේම
      අවංකයෝ ගිය විට හැසිරෙති කම්බාහොරු සේම
      අරුමැති තැනකි බාලයින් රට කරවන සේම

      Delete
  3. https://www.bbc.com/future/article/20160210-inside-the-hunt-for-a-million-dollar-haul-of-ocean-gold
    https://www.seattletimes.com/seattle-news/the-ss-central-america-ship-of-gold-and-lost-lives/

    https://en.wikipedia.org/wiki/List_of_shipwrecks_of_Asia
    https://en.wikipedia.org/wiki/Belitung_shipwreck

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. ඉදිරියට වැදගත් වෙනවා.

      Delete
  4. ඇමතිතුමා ගේ ගෙදරට ඕක යවල පුතත් එක්කම වලපල්ලට ගියහම හරි නේද

    ReplyDelete
    Replies
    1. එකෙක් දෙන්නෙක් වලපල්ලට යවල වැඩක් වෙන්නෑ. ඒ් වගේ ම තව එකෙක් ආපහු එනවා. යවන්ඩ ඔ්නෙ, උන්ට ඡන්දෙ දෙන උංවත් එක්ක වල පල්ලට...

      Delete
    2. he he අන්න මම බඳුන් ටික දැම්මබ්‍රිටිෂ් මියුසියම් එකෙන් ගත්තේ

      Delete
    3. මියුසිම් එකේ ලොතු කෙලෙක්ෂන් එකක් තියේවාද?
      225 ක් හොයාගත්තොත් ඇති. බදුන් වලට රට පාලනය කරන්න දුන්නෙත් මිට වඩා හොදට කරයි.

      Delete
  5. ගාල්ලෙ සමුද්‍ර ප්‍රරාවිද්‍යා ඒ්කකයෙදි මට අහන්ට ලැබුණා, අද කාලෙ තියෙන ලොකුම අභියෝගය තමයි කුඩ්ඩො කිමිදිලා නැව්වල තියෙන යම් යම් දේ අරගෙන ඇවිත් විකුණන එක කියලා.

    ReplyDelete
    Replies
    1. කුඩිඩන් විතරක් නොවෙයි මේක කරන්නේ. දැන් මේවා කරන ජාවාරමක් තියේනවා. යකඩ ටිකත් ගොඩ අදිනවා.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

හෝරස්ගේ දරුවා - විසිතුන් වන දිගහැරුම Son of Horus - 23

     පොලීසියට අවශ්‍යය කරන පුද්ගලයෙකුවූ සුදු මහත්තයා මිතුරෙකුගේ සෙවනගල ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් සිටියදී අත්අඩංගුවට පත්වෙන්නේ මේ අතරතුරේද...