Friday, June 18, 2021

හෝරස්ගේ දරුවා - විසිතුන් වන දිගහැරුම Son of Horus - 23




   

 පොලීසියට අවශ්‍යය කරන පුද්ගලයෙකුවූ සුදු මහත්තයා මිතුරෙකුගේ සෙවනගල ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් සිටියදී අත්අඩංගුවට පත්වෙන්නේ මේ අතරතුරේදීය. කොළඹ රැගෙන ආ ඔහුව පොලීස් ප්‍රශ්න කිරීම් වලින් පසුව රංග හා එක්ව ස්ටැන්ලිගේ නිවස කොල්ලකෑ බවත් බඩු සැඟවූ ස්ථානය රංග හා තමා ඇරෙන්නට වෙනත් කිසිවෙකු නොදන්නා බවත් පාපොච්චාරණය කළේය. භාණ්ඩ සඟවා ඇත්තේ තම මිත්තනියගේ නිවසේ බව කියූ බැවින් විශේෂ පොලීස් කණ්ඩායමක් සුදුමහත්තයා කඩුවෙල ආත්තම්මාගේ නිවසට රැගෙන ගියේය. 

දෑත් එක්කර දා තිබූ විලංගු සහිතව සුදු මහත්තයා සොල්දරයට ගොඩවන්නේ තවත් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු සමඟිනි. අවුරුදු සියයක් පමණ පැරණි එම නිවසේ සොල්දරයට ගොඩවෙද්දී දිරාපත්ව ගිය ලෑලී කිරී කිරී හඬනංවමින් මරණීය ආදෝනාවක් නැගීය. සොල්දර තට්ටුවේ රැදීහුන් කළු බළලෙක් තම පුලිගු බෝල මෙන් අඳුරේ දිලසෙන දෑසින් සුදු මහත්තයා දෙස මඳ වේලාවක් බලා සිට කිසිඳු කලබලයක් නොමැතිව සොල්දරයේ හිඩැසකින් පිටව ගියේය. දුහුවිල්ලෙන් වැසුනු ලට්ටලොට්ට වලින් පිරුණු එහි පැවතුනේ දැඬි දුර්ගන්ධයකි. කිහිප දෙනෙක් සොල්දරයට ගොඩවීමෙන් ඇවිස්සුනු දුහුවිල්ල ඔවු න්ට කිවිසුම් පිටකරවාලන්නට සමත්වීය. සොල්දරයේ ඉහළට නැඟ ආ පොලිස් නිලධාරින්ට තමන් බඩු සඟවා ඇති ස්ථානය පෙන්නා දුන් සුදු මහත්තයා යළි පහළට බසින්නට සුදානම්වෙද්දී බළලෙකුගේ මූසළ කෑගැසිල්ල ඇසෙන්නට පටන්ගති. දෙඅත් මාංචුලා තිබූ බැවින් ඔහුට සුපුරුදු පරිදි තරප්පුවෙන් බැසීමට නොහැකි විය. සමබරතාවය තබා ගැනීමට ඔහුට වැඩි බරක් යොදන්නට සිඳුවූ නිසාදෝ දිරාපත්ව තිබුනු සොල්දරයට නගින ලෑලී තරප්පුව එකවරම කඩාගෙන පහළට ඇද වැටුනි. දුලී වලාවක් ඔවුන් සිටි කාමරය වසාගත්තේ විශාල ශබ්දයක් සමඟින්ය. සිමෙන්ති පොලවේ මුනින් අතට වැතිරුනු  සුදු මහත්තයාව කැඩී ගිය සොල්දරයේ ලෑලී වලින් වසාගෙන තිබීය. පොලීස් පිරිස ඉක්මනින් ලෑලී කැබලි ඉවත්කර සොයාගන්නා විට ඔහු සිටියේ සිහිමඳ ගතියෙනි. නාසයෙන් මෙන්ම දෙකනින්ද රුධිරය නොනවත්වා ගලා එන්නට විය. වහාම පොලිස් ජිප් රියේ පටවාගත් සුදුමහත්තයා රැගෙන ඉක්මනින් කොළඹ ජාතික රෝහල බලා පිටත්විය. ජීප් රියේ රෝහලට යන අතරතුරේදී සිරුරේ වෙර යොදමින් නැගිට ගන්නත්, මුවින් කිසිඳු හඬක් පිට නොවුනත් යමක් පවසන්නත් උත්සාහකළ හෙතෙම ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුව පෙනි පෙනිම තම අවසන් සුසුම් පොඳ වාතලයට එක්කළේය.  




   එස් එස් පි මනෝජ් පෙරේරාගෙන්  නාරදට ඇමතුමක් ලැබෙන්නේ මේ අතරතුරේදීය. 

“ප්‍රොපෙසර් මම එස් එස් පි මනෝජ්.”

“ඇයි මිස්ටර් මනෝජ් ආපහු හොරකමක්ද?”

“නැහැ. ස්ටැන්ලි වික්‍රමපාලගේ නඩුව තියෙනවා. ඉතින් රජය පැත්තෙන් ප්‍රොපෙසර්ව සාක්ෂිකාරයෙක් වශයෙන් දාන්නයි අපි අදහස් කරගෙන ඉන්නේ.”

“ඔය බඳුනේ වැඩවලට ගිහිල්ලා මගේ අධ්‍යාපන වැඩයි රස්සාවේ වැඩයි දෙකම ඇන හිටිලා තියෙන්නේ. ඒ මදිවට මගේ සිතත් හොදටම කලකිරිලා ඉන්නේ. මම මගේ යුතුකම ඉෂ්ට කළා මිස්ටර් මනෝජ්, බොහොම කණගාටුයි මේ වැඩේට මට සහභාගි වෙන්න බැරි වෙනවා. මිස්ටර් මනෝජ් වෙන විදිහක් යොදාගන්න.”

“ඒත් ප්‍රොපෙසර් ඔයා තමයි මේ බඳුනේ මුල් හිමිකාරයන්ව සොයාගෙන ගියේ. මේ ගැන පුරාවිද්‍යාව ඇසුරෙන් උසාවියට කරුණු දක්වන්න ඕනේ. ඒ නිසා ඔබතුමා ඇත්ත වශයෙන්ම මේ නඩුවට අවශ්‍යය වෙනවා.”

“ඒත් මට ඔය උසාවිවල කාලය මිඩංගුකරන්න විදිහක් නෑ. උසාවියට කරුණු දක්වන්න පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවෙන් කෙනෙක් යොදාගන්න. දැන් මේකේ ශාපයක් ගැබ්වෙලා තියෙන කතාව පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවෙන්වත් ඇමතිතුමාවත් පිළිගන්නේ නැහැ. අනික මගේ කීමට කන්නොදී එයාලාට අවශ්‍යය දේවල් කරනවා. ඒ නිසා මම ඔය දේවල් වලට තවදුරටත් ගෑවෙන්න කැමති නෑ.”

“බොහොම කණගාටුයි ප්‍රොපෙසර් වෙච්චිදේට. එදා තිබ්බ පුවත්පත් සාකච්ඡාවට ප්‍රොපෙසර්ව කැදෙව්වේ නැති එක එයාලගෙන් සිඳුවෙච්ච ලොකු වැරැද්දක්, ඒත් ඒක සිද්දකළේ පොලීස් දෙපාර්තුමේන්තුවෙන් නොවෙයි.”

“කමක් නෑ වෙච්චිදේ වුණා. කෝ දැන් බඳුන? කොහෙද ඒක තියලා තියෙන්නේ?”

“ඒක අපේ දෙපාර්තුමෙන්තුවේ විශේෂ කාමරයක තියලා තියෙනවා.”

“ඕක මිනිස් ඇසුරෙන් ඇත්ව තියන එක තමයි හොඳ.”

“අපිත් ඒක කල්පනා කළා. මේකේ ආරක්ෂාවට තියලා තියෙන අයගෙන් අපිට කම්ප්ලෙන් ආවා එක එක සද්ද ඇහෙනවා කියලා.”

“ඔය මොනවාගේ සද්දද?”

“විශේෂයෙන් බළල්ලු පොරකාගන්නවා වගේ සද්ද.”

“බළලා කියන්නේ පාරාවුන්ගේ පුජනීය සත්වයෙක්.”

“ප්‍රොපෙසර් ඇවිල්ලා පොඩ්ඩක් බැලුවානම් හොඳයි.”

“ඒ නමුත් මිස්ටර් මනෝජ් ඉස්සෙල්ලාවාගේ මට මගේ වැඩ පාඩුකරගෙන ඔය වැඩවලට සහභාගිවෙන්න වේලාවක් නැහැ. බොහෝම කණගාටුයි.” 

“ආ තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා, ඇමතිතුමා ලැහැස්තිවෙන්නේ ඔය බඳුන ඊජිප්තුවට අරන් ගිහින් එහෙ පුරාවිද්‍යා එකට බාර දෙන්න.”

“ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. කොහොම හරි මේක නවත්තන්න ඕනේ.”

එස් එස් පි මනෝජ්ගේ දුරකථන ඇමතුමෙන් පසුව නාරද පියරත්න මහතාට ඇමතුමක් දී දුරකථන සංවාදය ගැන කීවේය. 

“මේ ඇමතියාට පිස්සුද මන්දා, අපි ඔච්චර එපා කියද්දීත් මේක ඊජිත්තුවට බාරදෙන්න යන එකනේ ප්‍රශ්නේ? මට පෙනෙන්නේ එයා මේකෙන් ලකුණු දාගන්න වගේ ලෑස්තිය.”

“මට දුක මෙච්චර මහන්සිවෙලා හොයාගත්තු දෙය මේ මිනිහා පිළිගන්නේ නැති එකනේ. ඕනෑ දෙයක් කරගත්තාවේ කියලා පැත්තට වුණානම් ඉවරයි.” 

“ඒත් නාරද මහත්තයා, ඔයා එහෙම පැත්තකට වුනොත් වෙන්නේ ලොකු විනාශයක් ඕක කොහොම හරි නවත්තන්න ඕනෑ. ඔබතුමා ඇයි ලේකම්ට හරි ඇමතිතුමාට හරි කතාකළේ නැත්තේ?”

“කොහෙ කතාකරන්නද එයාලා මගේ කෝල් එකටවත් ආන්සර් කරන්නේ නැතිව. තවත් මට මේ ගැන කුමාරිට කියන්නත් බැහැ. එයාටත් තරහායනවා. මම මේ අන්තිම වතාවට විතරක් උත්සාහ කරලා බලන්නම්.” 

“හොඳයි මහත්තයෝ. තව සැරයක් උත්සාහ කරලා බලන්නකෝ.”



බත්තරමුල්ලේ සුවිශාල ගොඩනැගිල්ලේ අටවන මහලට ගොඩවූ නාරද අමාත්‍යංශයේ පිළිගැනීමේ නිලධාරිනිය සිටි කවුන්ටරය වෙත ළංවීය. මේසය පසෙකවූ පරිගණක තීරයට නෙත් යොමුකරන් හුන් සූරූපිනිය ඔහු ආබවක් නොදැක්කාසේ තම වැඩයේ නිරතවෙමින් සිටියාය. තවත් විනාඩියක වඩා කාලය කාදමමින් සිටි නාරදට එය දැනුනේ හෝරාවක් එතැන රැඳුනු විලසිණ. නොඉවසිලිමත්ව එහාමෙහා බැලූ නාරද සෙමින් කවුන්ටරයට තට්ටුකළ නමුත් ඈ තම දෑස් තිරයෙන් ඉවතට නොගෙනම

“ඇයි?” ඇසුවාය.

“ඇමතිතුමා හමුවෙන්න පුලුවන්ද?”

“අද ඇමතිතුමා නෑ. අද පාර්ලිමේන්තු දවස. මහජන දිනය ලබන සඳුදා. එදාට එන්න.” 

“එහෙනම් ලේකම්තුමා ඉන්නවාද?”

“ඉන්නවා.”

“එයාව හමුවෙන්න ඕනේ කියන්න.”

“ඇපොයිමන්ට් එකක් දාලාද ආවේ?” 

“නැහැ.”

“එහෙනම් අමාරුයි. පස්සේ ඇපොයිමන්ට් එකක් දාලා එන්න. ඇපොයිමන්ට් නැතිව කාවවත් එවන්න එපා කියලා තියෙන්නේ.” 

ඇය තම නිරතවූ වැඩයේ යෙදෙමින් නාරද දෙස නොබලාම කීවාය. 

“එයාට කියන්න ප්‍රොපෙසර් නාරද බණ්ඩාර ඇවිල්ලා ඉන්නවා, අත්‍යවශ්‍යය වැඩකට කියන්න.”

නාරදගේ කෝපය මුසුව ගිය ගැඹුරු හඬින් තිගැස්සුනු ඈ ඉක්මනින් දෑස් පරිගණකයෙන් ඉවත්කරගෙන ඔහුදෙස විමසිලිමත් බැල්මක් හෙලුවාය.

“සර් අතනින් වාඩිවෙලා ඉන්න. මම පණිවිඩේ දෙන්නම්.”

බයාදු හඬින් කී ඈ යුහුසුලුව දුරකථනය ගෙන ඇමතුමක්දී යළිත් නාරද දෙස විමසිලිමත් බැල්මක් හෙළා පරිගණකයට නෙත් යොමුකළාය.  

මඳවේලාවක් සැටියේ රැදුනු නාරදට පිළිගැනීමේ කවුන්ටරයේ සුරුපිනියගෙන් කැඳවීමක් ලැබිණ. ලේකම්තුමාගේ නිලකාමරයට ඇතුල්වෙද්දී ෆයිල් කවරයක් දිගහැරගෙන ලේකම් සේනක දිසානායක එහි කුමක්දෝ කුරුටු ගාමින් සිටියහ.

“ආ ප්‍රොපෙසර් ඉදගන්න. මොකක්ද කාරණේ?”

ඔහු තම ඔරලෝසුව දෙස බලමින් ඇසීය.

“මිස්ටර් සේනක මට ආරංචියක් ආවා ඇමතිතුමා අර බඳුන ඊජිප්තුවට බාර දෙන්න යනවා කියලා. ඒක ඇත්තද?”

“ඔව් ඒක ඇත්ත.”

“ඒත් අනෙක් බඳුන් තුන තවම හොයාගෙනත් නෑනේ?”

“ඒවා හොයාගන්න අපිට අවශ්‍යය මුදල් ප්‍රතිපාදන නැහැ. ඒවා සොයාගන්න අපිට වෙනින් රටවල් වලින් අධාර උපකාර අවශ්‍යය වෙනවා. ඒ නිසා ඔය රටෙන් ආධාර උපකාර එහෙම ලබාගන්න ඇමතිතුමා කටයුතු කරගෙන යනවා.”

“ඔය රටේ තත්ත්වය මම හොඳට දන්නවා. එහෙම දෙයක් ඒ රටෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?”

“ඇමතිතුමා විශේෂ වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා.”

“මොකක්ද ඒ වැඩ පිළිවෙළ මිස්ටර් සේනක?”

“අපි මේ බඳුන යොදාගෙන විශේෂ කටයුතු කිහිපයක් කරන්නයි ඉන්නේ. මුලින්ම අපි මේ බඳුන හා සම්බන්ධ පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන දේශන වගයක් ඊජිප්තු පුරාවිද්‍යාඥයින් කිහිප දෙනෙක් ලංකාවට ගෙන්වලා කරන්න සැලසුම් සකසලා තියෙනවා. ඒවාගේම දෙරට අතර රාජතාන්ත්‍රික සබදතා ශක්තිමත් කරගන්න මේක උපකාර කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් අපට පුලුවන්වෙයි මේ ගවේෂණයට උදව්ගන්න.”

“මේකෙන් කොහොමද රාජතාන්ත්‍රික සබදතා ශක්තිමත් වෙන්නේ?”

“ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඊජිප්තු ආණ්ඩුවට ඔය බඳුන පරිත්‍යාගකරන්නයි හදන්නේ.”

“එතකොට මේකෙ තියෙන මේ ශාපය?”

“එයා කියලා තියෙන්නේ ඕක ඊජිප්තුවට දුන්නාට පස්සේ අපිට ඔය ශාපය බලපාන්නේ නැතෙයි කියලා. ඉතිං අපි ඔය බඳුන තියාගත්තොත් විතරයිනේ ප්‍රශ්නයක් වෙන්නේ. එහෙම නේද ප්‍රොපෙසර්?”

“එහෙම ලේසියෙන් ශාපෙන් ගැලවෙන්න පුලුවන් කියලා හිතනවාද? එතකොට එහෙ මිනිස්සුත් මේ ශාපයට ගොඳුරක් වෙයි. මේකේ තියෙන මේ ශාපයේ බලය වැඩිවීමක් මට පෙනෙනවා. දැන් බලන්න මේක හිමිකරගත්ත හැමෝම මියගියා. ඔය බඳුන ළඟ නැතිවුනත් හොර කණ්ඩායමේ හැමෝමත් විනාශවුණා.”

සේනක දිසානායක මඳ වේලාවක් නිහඬව කල්පනාවක යෙදී සිටියේය.

“මටත් ඔයා කියනදේ තේරෙනවා නමුත් ඇමතිතුමා ඒක පිළිගන්නේ නැහැනේ.”

“ඒක එයාට පිළිගන්න පුලුවන් විදිහට පැහැදිලි කරලා දෙන්න උත්සාහකරන්න ඕනේ.”

“ඉතිං දැන් ඔය බඳුනට කරන්න ඕනෑ මොකක්ද?”

“ඔය බඳුන හිමි පාරාවෝ සොහොන් ගැබේ තැම්පත් කරන්න පුලුවන්ද? අපි දන්නේ නැහැ මොන පාරාවෝ රජතුමාට හරි රැජිනකට හරි අයිති සොහොන් ගැබකින් මේක අරගෙන ආවාද කියලා. අනික් කාරනේ තමයි අපිට ඒ විස්තර හොයන්න කොපමණ කාලයක් යයිද? එතකම් අපි කොහේද මේක තියාගන්නේ? විස්තර හොයාගන්න යන කාලය අතරතුර කීදෙනෙක් මේකට බිලිවෙයිද?” 

“එහෙනම් අපි මේකට මොකද කරන්නේ?”

“අපිට කරන්න පුලුවන් කාරණා දෙකයි. පලමු එක මේක විනාශකරන එක. හැබැයි මේ බඳුන විනාශකරන්න ගිහිල්ලා එකේ තියෙන බලපෑමෙන් තව විශාප විනාශයක් වෙයිද කියන එක. දෙක තමයි මේක ආපහු තිබුනු තැනටම දාන එක.”

“ඒ කියන්නේ මුහුදට?”

“ඔව්, ආපහු මුහුදට. එතකොට ඔය ගිලුණු නැවේ විස්තර එහෙම හොයාගෙන අවශ්‍යය නම් අපිට ආපහු ගොඩට ගෙනල්ලා ඒ පාරාවෝ සොහොනේ තැම්පත් කරන්න පුලුවනි. ඕක අපි දැනටමත් ළඟ තියාගත්තා වැඩියි. මේකෙන් ලොකු විනාශයක් සිඳුවෙන්න පුලුවන්. දැන් බලන්න ඔය බඳුන අරගෙන යාත්‍රා කරපු රුවල් නැව මුහුදුබත් වෙන්න ඇත්තේ බඳුනේ තියෙන අද්භූත බලයේ බලපෑමෙන් කියලා හිතන්න වෙනවා. ඒ නැවේ මිනිස්සු කීදෙනෙක් ඉන්න ඇතිද? දැනටමත් ජීවිත කීයක් නිරපරාදේ නැතිවෙලාද කියලා හිතලා බලන්න.”

”මට පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා.”

“මිස්ටර් සේනක අපි මේ වැය කරන කාලයත් ඉතා වැදගත්. පුලුවන් ඉක්මනටම, අදම හරි තව සැරයක් ආපහු මගේ වාර්තාව කියවන්න.”

නාරද අසුනින් නැගීසිටියේය. 

“එතකොට ඔබතුමාට තේරෙයි මම කියනදේ බරපතල කම.”

එසේ පවසා සේනක දිසානායකගේ නිල කාමරයෙන් පිටවී ගියේය. ඔහු පිටවනවාත් සමඟම මේසයේ මත දිගහැර තිබූ ලිපිගොනුව වසා දැමූ සේනක පීරිසියකින් වසා තිබුනු වතුර වීදුරුව ගෙන එක හුස්මට බී අහවර කළේය. පසෙක තබා තිබූ නාරදගේ වාර්තාව අතටගත් ඔහු උඩින් පල්ලෙන් පෙරලා බැලීය. යම් ප්‍රමාණයක් කියවාගෙන යද්දී නාරද කියූ දේවල් වල යම් සත්‍යතාවයක් ඇතෙයි ඔහුට වැටහෙන්නට වීය. වාර්තාව කියැවීම නතරකළ හෙතෙම කෙටි නිවාඩුවක් දමා එයත් රැගෙන නිවස බලා පිටත්විය. සවස්වරුවේ නිස්කලංකව වාර්තාව අතට ගත් සේනක සෙමින් එය අධ්‍යනය කරමින් කියැවීමට පටන්ගත්තේය. තම දෑස් තදින් පියාගත් ඔහුට කිසිදිනක දැක නොමැති පියසෝම, උපනන්ද, ගුණසිරි හා ස්ටැන්ලිගේද චිත්තරූප මැවී මනසේ සැරිසරන්නට විය. 

නාරද මෙපමණ ඇවටිලි කරමින් තමාට මෙය විනාශකරන මෙන් ඉල්ලා සිටින්නේ මෙහි තිබෙන බරපතලකම නිසාවෙන් බව පැහැදිලිවුනි.


   පසුදින උදයේම අමාත්‍යංශයට ගිය විගසින්ම තම අත තිබූ නාරද බන්ඩාරගේ වර්තාවේ පිටපතක් සකසා යළි ඇමතිතුමාගේ මේසය මතින් තබා නොවිසිලිමත්ව බලා සිටියේ ඇමතිතුමා කාර්යාලයට පැමිණෙන තුරුය. සුපුරුදු පරිදි ප්‍රමාදවී කාර්යාලයට පැමිණි ඇමති ගොර්ඩන් සිල්වා තම දෛනික රාජකාරි ඇරඹුවේ කාටදෝ තදින් දෝෂාරෝපණය කිරීමෙන් අනතුරුවය. ඔහුගේ දුරකථන ඇමතුම අවසානයේ කාමරයට සේනක දිසානායක ඇතුල්විය.

“ගුඩ්මොර්නින් සර්.”

“ඔව්, මොකද අද උදෙන්ම?”

“ඊයේ ප්‍රොපෙසර් නාරද මෙහෙට ආවා.”

“කවුද ප්‍රොපෙසර් නාරද කියන්නේ?”

“ඇයි සර් මතක නැද්ද ඔය මුහුදෙන් හොයාගත්තු බඳුනේ ශාපයක කතාවක් කිව්වේ.”

“ආ හරි හරි. ඉතිං?”

“එයා කියනවා ඔය බඳුන අපිට තියාගෙන ඉන්න හොඳ නැතිලු.”

“අයිසේ ඔය යකාට කිව්වේ නැද්ද ඔය සාපේ කතාව මට වැඩක් නැහැ කියලා. එයාට තියෙන වැඩක් කරගෙන ඉන්න කියනවා.”

“ඒත් සර් මමත් එයාගේ වාර්තාව ආපහු සැරයක් කියැව්වා.”

“ඉතිං.”

“ඒකේ ඇත්තත් තියෙනවා සර්. එයා කියන්නේ ඒක ආපහු ඊජිප්තුවට ගෙනියන්න හදන්න එපා එක විනාශකරන්න හරි ආපහු තිබුනු තැනටම දාන්න කියලා.”

“ඒක දාන්න කියන්නේ මුහුදටද? ඔය මිනිහාට පිස්සුද අයිසෙ?”

“ඔව් මුහුදට තමයි.”

“අයිසේ ඕනෑවට වඩා ඉගෙන ගත්තාම ඔලුව පිස්සු වෙනවා. දැන් ඕක මුහුදට දැම්මාම සාපේ හරියනවාද? ඊජිප්තුවට එපානම් අපේ කෞතුකාගාරයේ තැම්පත් කරලා තියනවා. දැන් තමුසෙත් බය වෙලානේ ඉන්නේ?”

“නැහැ සර්. සර්ට මේක කරන්න දෙන්න එපායි එයා කියන්නේ.”

“පිස්සුද අයිසේ? දැන් අපි යොදාගත්තු වැඩ පිළිවෙළ වෙනස් කරන්න පුලුවන්ද? ඊයේ අපේ තානාපතිතුමා කිව්වා එහෙ අපිව පිළිගන්න විශේෂ උත්සවයක් ලැස්තිකළා කියලා. අනික ඊජිප්තු ජනාධිපතිව ගෙන්නලා බඳුන බාර ගැනීමේ රාජ්‍ය උත්සවයකුත් තියෙනවා. ඒක නතරකරලා ඔය බඳුන මුහුදට දැම්මොත් අපි එයාලව හෑල්ලුවකට පත් කලා කියලා තිබුනු යාළුකමත් නැති කරගන්නවා. මගේ ඇමතිකමත් ගහලා යනවා. ඒ නිසා මොන සාපයක් තිබුනත් ඔය කෙහෙල්මල අරගෙන ඊජිප්තුවට යන්න වෙනවා.”

“සර්ගේ කතාව ඇත්ත තමයි.”

“අයිසේ සේනක තමුසේ බය නැතිව එනවා මාත් එක්ක යන්න ඊජිප්තු ටුවර් එක. මාත් එක්ක ඉන්න කොට මොන සාපයක් වත් එන්නේ නැහැ. මොකද විරුද්ධ පැත්තේ උන් කියන්නේ මුලු රටේම සාපේ මම තමයි කියලානේ.”

ඔහු තම ස්ථුල සිරුර හොලවමින් හක හක ගා සිනාවෙන්නට විය.

දින කිහිපයකට පසුව ලේකම් සේනක දිසානායක දුරකථනයෙන් ඇමතූ නාරද ඇමතිතුමාගේ ප්‍රතිචාර කෙසේදැයි විමසිය.

“වැඩක් නැහැ ප්‍රොපෙසර් එයාගේ හිත වෙනස් කරන්න බැහැ. ඒක වෙනස් කරන්න පුලුවන් වෙන්නේ එක පුද්ගලයෙක්ට විතරයි.” 

“ඒ කවුද?”

“වෙන කවුද? ජනාධිපතිතුමාට විතරයි. අනික අපි ප්‍රමාද වැඩියි, ඒ ගමන යොදාගෙන ඉවරයි. ඒක නතරකරන්න විදිහක් නැහැ. ඒ ගමන නතර කරලා බඳුන මුහුදට දමන්නත් බැහැ.”

“ඇයි ඒ?”

“ඇයි කියන්නේ ප්‍රොපෙසර් ඒ වැඩෙන් මේ රටවල් දෙක අතරේ තියෙන සම්බන්ධකම් බිඳ වැටෙන්න පුලුවනි. ඊජිප්තුවේ ජනාධිපතිත් අපේ ඇමතිතුමාට රාත්‍රි භොජන සංග්‍රහයක් පිරිනමන්න කටයුතු සලසවාල තියෙනවා. දැන් කරන්න දෙයක් නැහැ ලබන සුමානේ අනිවාර්්‍යයෙන්ම ඇමතිතුමාගේ සංචාරය තියෙනවා. අපිට ඒක නතරකරන්න හැකියාවක් නෑ. අපි හිතමු හොඳ දෙයක් වෙන්න කියලා.”

අවසානයේදි සේනක දිසානායක කීවේය. ඔහුගේ කතාවෙන් පසුව දුර්මුඛව ගිය නාරද තම උත්සාහයන් අපතේ ගියාදැයි සිතමින් දුක්වීය. තවදුරටත් ඇමතිතුමා හෝ ලේකම් සේනක පසුපස ගොස් වැඩක් නැතෙයි සිතු ඔහු තම අතපසුව ගිය වැඩ ගැන සිතන්නට පටන්ගත්තේය. කුමාරි කියූ පරිද්දෙන් පසුගිය සියල්ලම තම මතකයෙන්ද බැහැරකළ ඔහු යළි සුපුරුදු ලෙසින් විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් වලට යොමුවූයේය. 


   දින කිහිපයක් ඉක්මණින් ගෙවීගිය අතර තවත් දිනෙක සවස විශ්ව විද්‍යාලයේ සිට නිවසට පැමිණි විගසම වාගේ නාරදට පියරත්න මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ.

“නාරද මහත්තයා ගෙදරද ඉන්නේ? එහෙනම් ඉක්මනටම නිවුස් දාන්න.”

“ඇයි මිස්ටර් පියරත්න?”

“ටිවි එක හරි රේඩියෝ එකහරි දාලා බලන්න.”

“ඇයි හදිස්සියේ, මොකක්ද තියෙන්නේ?”

“කිය කියා ඉන්න වේලාවක් නෑ. ඉක්මණටම ටීවි එක දාලා බලන්න.”

කී ඔහුගේ ඇමතුම විසන්ධි විය.

“ කුමාරි ඉක්මණට ටීවි එක දාන්න” 

යුහුසුලුව කුමාරි ඇමතු ඔහු රුපවාහිනිය ක්‍රියාත්මක කරන ලෙසින් කීවේය.


“මේ දැන් ලැබුනු විශේෂ පුවතක්. අද සවස කටුනායක ගුවන් තොටුපලින් ගුවන් ගතවූ . . . . . . . . . ගුවන්සේවයට අයත් යුඑල් අටසිය හැටපහ දරන ගුවන්යානය අනතුරකට පත්ව ඇති බව වාර්තාවේ. ගාල්ල ප්‍රදේශයේ රූමස්සල අසළ මුහුදට කඩා වැටුනායැයි අනුමාන කරන මෙම ගුවන් යානයේ මගීන් එකසිය හැට දෙදෙනෙක් හා කාර්යය මණ්ඩලයේ අට දෙනෙකුද සිටි බවක් වාර්තාවේ. දැනට එම ප්‍රදේශය විශේෂ ආරක්ෂිත රැකවල්ලා නාවික හමුදාව හා ගුවන් හමුදාව එක්ව අනතුරින් දිවි බේරාගත් අය සෙවීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. නිල නොවන ආරංචි මාර්ග අනුව ජාතික හෙළ උරුමයන් පිළිබඳ අමාත්‍ය ගොර්ඩන් සිල්වා හා ඒ මහතාගේ පවුලේ අය ඇතුළුව රජයේ නිලධාරින් පිරිසක්ද විශේෂ සංචාරයක් සදහා මෙම ගුවන්යානයෙන් පිටත්වූ බව සැලවේ. මෙම ගුවන් අනතුර පිළිබඳ තවත් තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් අතරතුරේදී බලාපොරොත්තු වන්න.”


“ගුවන් මාර්ගයෙන් පිටස්තරව ගමන් කර රූමස්සල මුහුදු ප්‍රදේශයට ගුවන් යානය කඩාවැටීම කාගෙත් කුතුහලයට ලක්වූ කතාබහක් විය. මෙය ත්‍රස්තවාදින්ගේ ක්‍රියාවක් යැයි සැක කරන බව ආරක්ෂක අංශ පැවසුවත් සත්‍යය එය නොවන බව දැන සිටියේ නාරද ඇතුලු තව කිහිපදෙනෙක් පමණි.”

“හෝරස්ගේ පුත්‍රයා තම සහෝදරයින් සොයා ගියේ එලෙසින්ය. ෴ 



29 comments:

  1. අඩෙඃ!! ආන්න ඒවටයි ක්ලැසික් එන්ඩිං කියන්නෙ...

    ReplyDelete
  2. https://www.sca-egypt.org/eng/RST_MISS_MP.html

    https://www.nbcnews.com/news/world/myth-pharaoh-s-curse-dismissed-egypt-prepares-ancient-mummies-parade-n1262959

    ReplyDelete
    Replies
    1. ලිංන්ක් ලබාදීමෙන් හා සාරවත් කතාබහකට මෙය යොමුකලාට ඔබට ප්‍රනාමය.

      Delete
  3. නාරදට කියන්න තිබුනෙ මෙහෙමයි- 'ඔය වගේ රාජ්‍ය තාන්ත්‍රික වැඩකට ඇමතිතුමා විතරක් යන එක හරි නෑනෙ කැබිනට් මණ්ඩලයම අරන් යන්න'කියලා. (එංගලන්තෙ කැබිනට් එක හොඳේ. අසංග ලිව්වෙ එහෙ කතාවක්නේ).

    ආයි බඳුන කවුරු හරි හොයාගත්ත තැනින් පටන් ගෙන තව කතාවක් ලියමු.

    ReplyDelete
    Replies
    1. එහෙම ඉදිරියක් ගැන හිතමින් ඉන්නවා. දිගටම කතාවේ රැදෙමින් අනර්ග ප්‍රතිචාර දැක්වූ ඔබට තුති පුදමි.

      Delete
  4. මදි, මදි, මදි! හොඳටම මදි
    එකෙක් ගිහින් හොඳටම මදි!
    අසංග මහත්තයෝ මෙහෙම කරමු. අර ඉංගිරිසි film එකක අල්ලලා ගියාම දෙවෙනි කොටසක් කරන්නේ, ඒ වගේ කරමු. මෙන්න පොඩි hint එකක්.

    'රටේ වෙනින් ලොක්කෙක් news බලයි... කපටි සිනහවක් සහිතව 'ගොර්ඩ්න්ට නියම බඳුන ගෙනියන්න නොදී, මිනිහටත් හොරෙන් එතනට ඉමිටේෂන් බුජමක් දැම්ම එක දැන් ඉතිං කවදාවත් එළි වෙන්නේ නෑ...." තමාටම කියා ගනිමින් බලවතා සේප්පුව විවෘත කරයි. සැබෑ බඳුන එතුලය..."

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙමත් හොදයි. කොහොමත් දේශපාලුවෝ කම්බා හොරු නේ...
      කවීත්වය විහිදා පාමින් කවියෙන් බ්ලොගය හැඩකළ ඔබට හදපිරි ප්‍රණාමය පිරිනමමී.

      Delete
    2. ඉමිටේෂන් බුජම ට ඔරිජිනල් සාපෙ අදාළ නෑ. එතකොට ප්ලේන් එක කඩං වැටිලා තියෙන්නෙ ඉමිටේෂන් සාපෙකින්... හැක්!

      Delete
    3. ඉමිටේෂන් බුජම ට ඔරිජිනල් සාපෙ අදාළ නෑ. එතකොට ප්ලේන් එක කඩං වැටිලා තියෙන්නෙ ඉමිටේෂන් සාපෙකින්... හැක්! x 2

      Delete
    4. පක්ෂේ නයකත්වය ගන්න තරගෙන් ගොර්ඩන් ඉවත් කරන්න විදෙස් කුමන්ත්‍රනයක් හින්දා ප්ලෙන් එකට වැඩේ දුන්නා. ඔක්කෝටම වැඩේ දුන්නේ නැත්නම් අනුකම්පාව උඩ ගෑනි හෝ දරුවා දියවන්නාවට යනවානේ.

      Delete
    5. නිදි මේ කතාව තව ටිකක් දිග්ගස්සන්න තිබුන නේද. කොලොම්පුරේව අල්ලලා මුහුදට දාමුද , ශික් මෙඡාර හොඳට කියවගෙන ආපු එක

      Delete
    6. මුහුදට දාන්ඩ.... හැක් හැක්.. දන්නේ නැද්ද කොළොම්පුරයා පොසයිඩන්ගේ ආරක්ෂාව තියෙන නාවිකයෙක් විත්තිය.
      මුහුද මගේ ගොඩබිමයි
      නැව මගේ නිවසම තමයි
      සියළු බදුන් මගේ තමයි
      කොළොම්පුරයා මම තමයි

      Delete
    7. ඒක අමතක වුනානේ හේ හේ

      Delete
  5. වෙලාවට ගෙදර ගියේ පහුගිය ටිකේ.. ඒකෙන් එක හුසමට අන්තිම කොටස් දෙකම කියවන්න පුළුවන් උනා.. සුදු මහත්තය පොඩි එකා ගැන දුකයි.. ඒත් කරන්න දෙයක් නෑ.. අඟුරු කෑවානම් ගින්දර *න්න වෙනවම තමයි. :) ඇමති චරිතෙයි ලේකම් චරිතෙයි ඔක්කොටම හපන් පිළිගැනීමේ නිලධාරිනි චරිතෙයි පට්ට ඈ! අන්ගේ මාළු නටනවා ඒ ටික කියවද්දිත්.. ජයවේවා!

    දෙවෙනි කොටසක් ආයේ ලියමු.!

    ReplyDelete
    Replies
    1. ඔය දෙන උත්තේජන වල හැටියට ලියන්න බැරියෑ මැල්ලුම් ලියන්නාසේ...
      හදපතුලෙන් නැගෙන තුති කුසුම් පිලිගන්න..

      Delete
    2. //අන්ගේ මාළු නටනවා ඒ ටික කියවද්දිත්..//

      ඈහ්.. අන්ගේ මාලු නටනවා කිව්වා..? :D

      Delete
  6. අතිවිශිෂ්ඨයී.. බෝහොම ස්තූතියි

    ReplyDelete
  7. සුප්ප සුපිරි! තල් සූකිරි! මෙන්න මගේ මුද්‍රාව:- එළ!

    ReplyDelete
    Replies
    1. බොක්කෙන් ගලා එන හෘර්දයාංගම ලෙන්ගතුව සිරස නමා පිලිගනිමින් තුති පුදමි.

      Delete
  8. ඉවර වෙච්ච විධිය ආයේ දෙකක් නැහැ මල් හතයි. හැබැයි දුකයි ඉවර වුනාට. මේ දවස් වල බයෙන් ඉන්නේ බඳුන් වල ෆොටෝ ගහල මොන මගුලක් වෙයිද කියල.

    ReplyDelete
    Replies
    1. ඊයේ හිනෙන් හෝරස් පෙනුනා. හෝරස් පාරාවෝ බාසාවෙන් මොන මොනවාදෝ කිව්වා එව්වා මට මෙලෝ සම්මයක් තේරුනේ නෑ නොවැ. අන්ඩර දෙමළ ඊට වඩා හොඳයි. හොරස් ගොයියාට තේරුනා මට නොතේරුනු විත්තිය. එක පාරටම අතුරුදහන් වෙලා ගිහින් අරන් ආවා හයිරග්ලිෆ්ස් Hieroglyphs එකක්. එකේ තිබුනු අක්ෂර කියවලා බැලුවාම නෙව මගේ බඩ පපුව දැවිල්ල අල්ලන්ඩ ගත්තේ. අපේ කොළඹ ගමයා උන්නෑහෙට ඔය අක්ෂර නොදන්න හින්දා ඉංගිරිසියටම හැරෙව්වා. බලලා සෙත් සාන්තියක් හෙම කොරගන්නවා හොඳයි ඕං..
      "As for a Ceylonese man who shall enter and took Photos of my sons... impure... there will be judgment... an end shall be made for him... I shall seize his neck like a bird... I shall cast the fear of myself into him".

      Delete
    2. අප්පට සිරි!
      හොඳ වෙලාවට මං කයියෙන්ම වැඩේ දුන්නේ. හෝරස් ගොයියා කවි දන්නැහැ වෙන්ට...

      Delete
    3. හෝර්ස් ගොයියාත් හොද කවිකාරයෙක්ලු හැබැයි නිමල් ලොක්කාගේ කවි ටික හෝරස් ගොයියාට තේරෙන්නනම් හයිරග්ලිෆ්ස් Hieroglyphs වලින් ලියන්න ඕනේ පැපිරස් කොළයක..

      Delete
    4. මළ කෙලියයි , තොවිලයක් නටන්න වෙනවා , දන්නා කට්ටඩියෙක් ඉන්නවනම් කියන්න දේපැණිය නම් එපා. සුවර් නෑ

      Delete
  9. මේක මරු !
    අවසානය තව අන්තයකට දොරක් විවර කරලා... මෙන්න නියම කතා! නියමයි

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

කොටහේනේ කොටි මැරිල්ල

කොටහේනේ කොටි මැරිල්ල කළේ අන්දු බයියා. ඒකට මංතුමා පොඩි සපොට් එකක් දුන්නා තමයි. ඊට වඩා දෙයක් කළේ නෑ. කවුද මේ අන්දු බයියා? ඉස්සෙල්ලාම අන්දු බයි...