Friday, October 30, 2026

සීයා සහ පෙට්ටිය - හොල්මන් කතාවේ දෙවන කොටස

මෙහි මුල් කොටස බලන්න ඩ්‍රැකියාගේ බ්ලොගය බලන්න



 නුවරඑළියේ ඩ්‍රැකී කොළඹට එයි..
ඩ්‍රැකීගේ පරම්පරාව නුවරඑළියේ විශාල අර්තාපල් වත්තක් සහ තට්ටු තුනක බංගලාවක් හිමි ධනවත් පරම්පරාවක්.
හැබැයි නුවරඑළියේ සීතල ඩ්‍රැකීට ලොකු ප්‍රශ්නයක් වුණා.
රෑට ලේ බොන්න කෙනෙක් හම්බ වුණත්, ලේ අයිස් වතුර වගේ සීතලයි.
දවසක් මිනිහෙක්ව අල්ලගෙන බෙල්ලට ළං වුණා.
“අනේ මහත්තයෝ, පොඩ්ඩක් ඉන්න. මේ ලේ ටිකක් රත් කරලා බොන්න පුළුවන්ද?”
මිනිහා කෑගහගෙන දිව්වා.
ඒ මදිවට ඩ්‍රැකී අර්තාපල් කන්න පුරුදු වුණා. උදේට තම්බපු අල, දවල්ට අල කරි, රෑට අල බැදුම්.
මාස හයක් යනකොට ඩ්‍රැකීගේ තියුණු දත් දෙක ගෙවිලා ගියා.
එදා ඉඳන් ඩ්‍රැකීට වැම්පයර් රස්සාවත් එපා වුණා.
“ලේ බොන්න දත් නෑ. අල කන්න නම් දත් තිබුණත් වැඩක් නෑ. මේ ජීවිතේට මොකද කරන්නේ?”
අන්තිමේ ඩ්‍රැකී කොළඹට ආවා.
කොළඹට ආවට පස්සේ පත්තරේ රැකියා දැන්වීම් බැලුවා.
එක දැන්වීමක තිබුණා:
“මාළු  දෙපාර්තමේන්තුවට නව සේවකයන් බඳවා ගැනේ. අයදුම්කරුවන්ට මාළු පිළිබඳ දැනුම තිබීම අමතර සුදුසුකමකි.”
ඩ්‍රැකීගේ ඇස් දෙක දිලිසුණා.
“මාළු ගැන දැනුම අමතර සුදුසුකමක් විතරයිනේ! මං අයදුම් කරනවා!”
ඒ දැන්වීමේ තව පොඩි අකුරින් ලියලා තිබුණු දෙයක් ඌ දැක්කේ නෑ.
“අදාළ තනතුරට පත්වීම ලබාදීම සඳහා පුරප්පාඩු අනුමැතිය සහ අනෙකුත් ලියකියවිලි සම්පූර්ණ විය යුතුය.”
ඩ්‍රැකී ඒක දැක්කත් නැහැ. දැක්කත් තේරුම් ගත්තෙත් නැහැ.
සීයා මිනී පෙට්ටියට බැහැලා නිදාගන්න හදනකොටම ඩ්‍රැකී දුවගෙන ආවා.
“සීයේ! සීයේ! මට අලුත් ආරංචියක් තියෙනවා!”
සීයා ඇස් දෙක ඇරලා බැලුවා.
“මොකද බං? මගේ මරණ සහතිකේ හම්බ වුණාද?”
“නෑ සීයේ. මං රස්සාවකට යන්න තීරණය කළා!”
“රස්සාවකට? උඹට පිස්සුද පුතේ? උඹ වැම්පයර් කෙනෙක්නේ!”
“ඒක තමයි සීයේ! මං දැන් ලේ බොන්නෙත් නෑ. දත් දෙකත් ගෙවිලා. හොල්මන් කරලා වැඩක් කරගන්නත් බෑ. ඒ නිසා මං රජයේ රස්සාවකට යනවා!”
සීයාගේ ඇස් දෙක උඩ ගියා.
“මොන දෙපාර්තමේන්තුවටද?”
ඩ්‍රැකී පපුව ඉස්සරහට දාලා කිව්වා,
“මාළු දෙපාර්තමේන්තුවට සීයේ! මාළුන්ට ලේ තියෙනවා. මට ලේ බොන්න බැරි වුණාට මාළුන්ට තියෙන ප්‍රශ්න විසඳන්න පුළුවන්නේ!”
සීයා ටික වෙලාවක් ඩ්‍රැකී දිහා බලාගෙන හිටියා.
“පුතේ, උඹට මාළු අල්ලන්න පුළුවන්ද?”
“බැහැ.”
“පීනන්න පුළුවන්ද?”
“බැහැ.”
“බෝට්ටුවක් පදින්න පුළුවන්ද?”
“බැහැ.”
“එහෙනම් උඹ මාළු දෙපාර්තමේන්තුවට ගිහින් මොනවද කරන්නේ?”
ඩ්‍රැකී හිනාවෙලා කිව්වා,
“සීයේ, ඒවට තමයි මං රජයේ රස්සාවකට යන්නේ! ඒවා දන්නවා නම් මං ධීවරයෙක් වෙන්න එපැයි!”
 සම්මුඛ පරීක්ෂණය
ඩ්‍රැකී මාළු  දෙපාර්තමේන්තුවට ගිහින් සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියා.
නිලධාරියා ඇහුවා,
“ඔබට මාළු වර්ග කීයක් හඳුනාගන්න පුළුවන්ද?”
“සර්, මාළු වර්ග හරියටම දන්නේ නෑ. හැබැයි ලේ වර්ග නම් හොඳට හඳුනනවා!”
නිලධාරියා කණ්ණාඩිය උඩින් බැලුවා.
“ඒක කොහොමද මේ තනතුරට අදාළ වෙන්නේ?”
“සර්, මං වැම්පයර් කෙනෙක්නේ. අවුරුදු ගාණක් ලේ ගැන පළපුරුද්ද තියෙනවා!”
නිලධාරියා අනෙක් නිලධාරියාගේ කනට කොඳුරලා කිව්වා,
“මෙයාට පළපුරුද්ද නම් තියෙනවා. හැබැයි අපේ දෙපාර්තමේන්තුවට මාළු ගැන පළපුරුද්දක් තියෙන කෙනෙක් ඕනෑ!”
ඊළඟ ප්‍රශ්නය:
“ඔබට මුහුද ගැන දැනුමක් තියෙනවද?”
“ඔව් සර්. සඳ එළියේ මුහුද ලස්සනයි කියලා දන්නවා.”
“මුහුදේ මත්ස්‍ය සම්පත සංරක්ෂණය ගැන දන්නවද?”
“සර්, මං අල සංරක්ෂණය ගැන නම් දන්නවා!”
නිලධාරියා මේසයට අත ගැහුවා.
“හරි! ඔබට තනතුර ලැබුණා!”
ඩ්‍රැකී සතුටින් නැගිට්ටා.
“ඇත්තටම සර්?”
“ඔව්. අපේ කාර්යාලයේ මාළු ගැන දන්න අය අඩුයි. අල ගැන දන්න කෙනෙක්වත් ඉන්න එක හොඳයි!”
 පත්වීමේ ලිපිය
ඩ්‍රැකී පත්වීමේ ලිපිය ගන්න ඊළඟ සතියේ කාර්යාලයට ගියා.
“සර්, මගේ පත්වීමේ ලිපිය සූදානම්ද?”
“ඔබේ ලිපිය සූදානම්. හැබැයි අත්සන තවම නෑ.”
“ඇයි සර්?”
“අත්සන් කරන නිලධාරියා රැස්වීමක.”
ඩ්‍රැකී ඊළඟ දවසේ ආවා.
“අද අත්සන් කරනවද සර්?”
“අද එතුමා නිවාඩු.”
ඊළඟ දවසේ:
“අද?”
“අද එතුමා රාජකාරි ගමනක්.”
ඊට පස්සේ:
“අද?”
“අද පද්ධතිය වැඩ කරන්නේ නෑ.”
ඩ්‍රැකීට ඉවසන්න බැරි වුණා.
“සර්, මං වැම්පයර් කෙනෙක්. මං අවුරුදු ගාණක් ජීවත් වෙලා තියෙනවා. ඒත් මේ පත්වීමේ ලිපිය ගන්න යන කාලය බැලුවම මටත් විශ්‍රාම යන්න හිතෙනවා!”
නිලධාරියා සන්සුන්ව කිව්වා,
“ඉවසීම රාජ්‍ය සේවයේ වැදගත් ගුණාංගයක්.”
ඩ්‍රැකී හෙමින් කිව්වා,
“ඔව් සර්. මං ඒක තේරුම් ගත්තා. ඒකනේ මේ දෙපාර්තමේන්තුවේ හැමෝම ඒ ගුණාංගය පුරුදු කරන්නේ!”
අන්තිමේ මාස තුනකට පස්සේ ඩ්‍රැකීට පත්වීමේ ලිපිය ලැබුණා.
තනතුර: සංවර්ධන සහකාර — මාළු දෙපාර්තමේන්තුව.
වැටුප: මාසිකව.
රාජකාරි: අදාළ පරිදි.
ඩ්‍රැකී සතුටින් ගෙදර ගියා.
සීයා ඇහුවා,
“පුතේ, රස්සාව ලැබුණද?”
“ඔව් සීයේ!”
“එහෙනම් දැන් මගේ මරණ සහතිකේත් ඉක්මනට ගන්න පුළුවන් වෙයි නේද?”
ඩ්‍රැකී ටිකක් නිහඬ වුණා.
“සීයේ, ඒක වෙන දෙපාර්තමේන්තුවක වැඩක්නේ!”
සීයා ඔළුවේ අත ගහගත්තා.
“අනේ පුතේ, උඹට රජයේ රස්සාවක් ලැබුණාට පස්සේ මට තවත් අසරණ වෙන්න වුණා!”


 ඩ්‍රැකීගේ පළමු රාජකාරි දිනය
පළමු දවසේ උදේ ඩ්‍රැකී කාර්යාලයට ගියා.
වේලාව උදේ 8.30යි.
කාර්යාලය විවෘත වෙලා තිබුණා. හැබැයි කවුරුත් ඇවිත් හිටියේ නෑ.
9.15ට එක් මහත්තයෙක් ආවා.
9.45ට තව මහත්තයෙක් ආවා.
10.00ට තේ විවේකය පටන් ගත්තා.
10.45ට තේ විවේකය ඉවර වුණා.
11.00ට ඩ්‍රැකී තමන්ගේ මේසය ළඟට ගියා.
මේසය උඩ ෆයිල් හතළිහක්.
ඩ්‍රැකී එකක් අරගෙන බැලුවා.
ඒකේ තිබුණේ ධීවර බෝට්ටුවකට අනුමැතිය ලබාදීමේ ඉල්ලීමක්.
තවත් ෆයිල් එකක තිබුණේ මාළු අස්වැන්න පිළිබඳ වාර්තාවක්.
තුන්වැනි ෆයිල් එකේ තිබුණේ වසර පහකට පෙර ඉදිරිපත් කළ වාර්තාවකට අදාළ පැහැදිලි කිරීමක්.
ඩ්‍රැකීට හිතුණා:
“මං හිතුවේ මාළු අල්ලන එක අමාරුයි කියලා. මේ ෆයිල් අස්සේ මාළුවෙක් හොයන එක ඊට වඩා අමාරුයි!”
ඒ වෙලාවේ අංශ ප්‍රධානියා ආවා.
“ඩ්‍රැකී, ඔය ෆයිල් ටික බලලා අවශ්‍ය පියවර ගන්න.”
“හොඳයි සර්. කොච්චර ඉක්මනටද?”
“හදිසි ඒවා ඉස්සෙල්ලා කරන්න.”
“හදිසි ඒවා මොනවද සර්?”
“ෆයිල්වල රතු පාටින් ලියලා තියෙන ඒවා.”
ඩ්‍රැකී ෆයිල් බැලුවා. හැම ෆයිල් එකකම රතු පාටින් ලියලා තිබුණේ “හදිසි” කියලා.
“සර්, මෙතන හැම එකකම හදිසි කියලා තියෙනවා!”
අංශ ප්‍රධානියා හිනාවෙලා කිව්වා,
“ඒක තමයි අපේ කාර්යාලයේ ක්‍රමවේදය. හැම වැඩක්ම හදිසි. ඒ නිසා කිසිම වැඩක් හදිසියේ කරන්න බෑ!”
ඩ්‍රැකී පුටුවට බර වුණා.

මාසයකට පස්සේ ඩ්‍රැකීට මුහුදු මත්ස්‍ය අස්වැන්න පිළිබඳ වාර්තාවක් සකස් කරන්න භාර දුන්නා.
ඩ්‍රැකී දත්ත ඉල්ලුවා.
“සර්, මේ මාසේ මාළු අස්වැන්න කොච්චරද?”
“පසුගිය මාසේ වාර්තාව බලන්න.”
“පසුගිය මාසේ වාර්තාවේ දත්ත නෑ සර්.”
“එහෙනම් ඊට කලින් මාසේ වාර්තාව බලන්න.”
“ඒකෙත් නෑ.”
“එහෙනම් ගිය අවුරුද්දේ වාර්තාව බලන්න.”
“සර්, ඒකෙත් දත්ත නෑ!”
නිලධාරියා බොහොම සන්සුන්ව කිව්වා,
“හරි. එහෙනම් මේ මාසේ වාර්තාවේත් දත්ත ලැබී නැති බව සඳහන් කරන්න.”
ඩ්‍රැකී පුදුම වුණා.
“සර්, එහෙම නම් මාළු අස්වැන්න ගැන අපි දැනගන්නේ කොහොමද?”
“ඊළඟ මාසේ වාර්තාවෙන්.”
ඩ්‍රැකී එදා රෑ සීයාට මේ ගැන කිව්වා.
සීයා ඇහුවා,
“ඉතිං පුතේ, වාර්තාව සම්පූර්ණ කළාද?”
“ඔව් සීයේ. මාළු නැති වාර්තාවක් හැදුවා.”
“ඒක කොහොමද?”
ඩ්‍රැකී හිනා වෙලා කිව්වා,
“සීයේ, අපේ කාර්යාලයේ මාළු අල්ලන්නේ ධීවරයෝ. දත්ත අල්ලන්නේ නිලධාරීන්. හැබැයි අපි දෙගොල්ලන්ටම අහුවෙන්නේ ෆයිල් විතරයි!”
ඩ්‍රැකීට මුහුදට යන්න නියෝගයක්
දවසක් අංශ ප්‍රධානියා ඩ්‍රැකීට කිව්වා,
“හෙට ඔබ මුහුදට ගිහින් මාළු කටයුතු නිරීක්ෂණය කරන්න.”
ඩ්‍රැකී බය වුණා.
“සර්, මට පීනන්න බෑ.”
“ඒක ප්‍රශ්නයක් නෙවෙයි. බෝට්ටුවක යන්න.”
“සර්, මට බෝට්ටුවක් පදින්නත් බෑ.”
“ඔබට බෝට්ටුවක් පදින්න කිව්වේ නෑ. නිරීක්ෂණය කරන්න කිව්වේ.”
පහුවදා ඩ්‍රැකී බෝට්ටුවකට නැග්ගා.
ධීවරයෙක් ඇහුවා,
“මහත්තයා, මුහුද ගැන දන්නවද?”
“නෑ.”
“මාළු ගැන?”
“නෑ.”
“එහෙනම් මොනවද දන්නේ?”
ඩ්‍රැකී පපුව ඉස්සරහට දාලා කිව්වා,
“මං රාජ්‍ය නිලධාරියෙක්!”
ධීවරයා ටිකක් වෙලා බලාගෙන ඉඳලා කිව්වා,
“එහෙනම් මහත්තයා, මේ මුහුදේ වැඩ ටික අපි කරගන්නම්. ඔබතුමා බෝට්ටුවේ වාඩි වෙලා නිරීක්ෂණය කරන්න.”
ඩ්‍රැකීට ඒ අදහස හොඳට ගැළපුණා.
පැය තුනකට පස්සේ බෝට්ටුව ආපහු ගොඩබිමට ආවා.
අංශ ප්‍රධානියා වාර්තාව ඉල්ලුවා.
“කොහොමද ඩ්‍රැකී, මුහුදේ තත්ත්වය?”
ඩ්‍රැකී වාර්තාවේ ලිව්වා:
  • මුහුද නිල් පාටය.
  • බෝට්ටුව පාවෙයි.
  • ධීවරයෝ මාළු අල්ලති.
  • මාළු ජලයේ ජීවත් වෙති.
  • මුහුදේදී පීනන්න නොදන්නා අයට ජීවිතාරක්ෂක කබා අවශ්‍ය වේ.
අංශ ප්‍රධානියා වාර්තාව කියවලා සතුටින් කිව්වා,
“නියමයි! මේක ඉතා පුළුල් අධ්‍යයනයක්!”
ඩ්‍රැකී හිතුවා:
“මුහුදට ගිහින් මාළුවෙක්වත් අල්ලගත්තේ නෑ. ඒත් වාර්තාව නම් ගැඹුරුයි!”
 මාළු දෙපාර්තමේන්තුවේ අතිකාල
මාස කිහිපයකට පස්සේ ඩ්‍රැකීට අතිකාල දීමනා ගැන දැනගන්න ලැබුණා.
“සර්, මට අතිකාල දීමනා ගන්න පුළුවන්ද?”
“පුළුවන්. ඉස්සෙල්ලා අතිකාල ඉල්ලුම්පත්‍රය පුරවන්න.”
ඩ්‍රැකී පුරවලා දුන්නා.
ඊළඟ සතියේ ඇහුවා.
“සර්, මගේ අතිකාල දීමනාව?”
“ඔබේ ඉල්ලීම අනුමැතියට යවලා.”
තවත් මාසයකට පස්සේ:
“සර්, අතිකාල දීමනාව?”
“ගිණුම් අංශයට යවලා.”
ඊටත් පස්සේ:
“සර්?”
“අයවැය ප්‍රතිපාදන නෑ.”
ඩ්‍රැකීට තරහ ගියා.
“සර්, මං රෑ වැඩ කළේ නැද්ද?”
“වැඩ කළා.”
“එහෙනම් අතිකාල දීමනාව?”
“ඒකට ප්‍රතිපාදන නෑ.”
ඩ්‍රැකී ගෙදර ගිහින් සීයාට කිව්වා,
“සීයේ, මං රෑ වැඩ කළා. පඩිය ගත්තා. අතිකාල ඉල්ලුවා. ඒත් සල්ලි නෑ.”
සීයා හිනාවෙලා කිව්වා,
“පුතේ, උඹ දැන් නියම රාජ්‍ය සේවකයෙක් වෙලා!”
ඩ්‍රැකී පුදුම වුණා.
“ඒ කොහොමද සීයේ?”
“වැඩ කළාට සල්ලි නෑ කියන එකත්, වැඩ නොකළාට සල්ලි ලැබෙනවා කියන එකත් දෙකම උඹට දැන් අත්දැකීමෙන් තේරෙනවනේ!”
වසරේ හොඳම සේවකයා
වසර අවසානයේ මාළු දෙපාර්තමේන්තුවේ හොඳම සේවකයා තෝරන උත්සවයක් පැවැත්වුණා.
ඩ්‍රැකීත් අයදුම් කළා.
ඔහුගේ සේවා වාර්තාවේ මෙහෙම සඳහන් වුණා:
  • මාළු අල්ලලා නැත.
  • බෝට්ටුවක් පදවා නැත.
  • පීනා නැත.
  • නමුත් වාර්තා 147ක් සකස් කර ඇත.
  • ෆයිල් 286ක් අදාළ අංශවලට යොමු කර ඇත.
  • රැස්වීම් 62කට සහභාගි වී ඇත.
  • තේ විවේක 312ක් ලබාගෙන ඇත.
  • සීයාගේ මරණ සහතිකය තවමත් ලබාගෙන නැත.
විනිශ්චය මණ්ඩලය වාර්තාව කියවලා පුදුම වුණා.
“මේ තරම් ෆයිල් යොමු කරලා තියෙනවා! නියම සේවකයෙක්!”
අන්තිමේ ඩ්‍රැකීට “වසරේ කාර්යක්ෂමතා සම්මානය” ලැබුණා.
සම්මානය ගන්න වේදිකාවට නැග්ගාම ප්‍රධානියා කිව්වා,
“ඩ්‍රැකී මහත්තයා අපේ දෙපාර්තමේන්තුවට විශාල සේවයක් කරලා තියෙනවා. ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕනෑ.”
ඩ්‍රැකී මයික් එක අතට ගත්තා.
“මට මේ සම්මානය දුන්න එක ගැන ස්තුතියි. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.”
“මොකක්ද?”
“මං මාළු අල්ලලා නෑ. බෝට්ටුවක් පදවලා නෑ. මුහුද ගැනත් වැඩි දැනුමක් නෑ. එහෙනම් මට මේ සම්මානය ලැබුණේ මොන හේතුවකටද?”
ප්‍රධානියා හිනාවෙලා කිව්වා,
“ඔබ අපේ කාර්යාලයේ වැඩ බොහොමයක් අදාළ අංශවලට යොමු කරලා තියෙනවා!”
ඩ්‍රැකී මයික් එකට කිව්වා,
“එහෙනම් ලබන අවුරුද්දේ මම මගේ වැටුපත් අදාළ අංශයකට යොමු කරනවා!”
ශාලාවම හිනාවෙන් පිරුණා.
මාළු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිය
ඩ්‍රැකී ආයෙත් සීයා හොයාගෙන ගියා.
“සීයේ, අපි මාළු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතියක් හදමු!”
සීයා පුදුම වුණා.
“ මාළුන්ටත්  වෘත්තීය සමිති තියෙනවද?”
“දැන් හදමු සීයේ! නරි, බස්සෝ, හොල්මන්, වැම්පයර්ලා ඔක්කොම එකතු කරමු!”
ඒ රාත්‍රියේම රැස්වීමක් කැඳෙව්වා.
සභාපති ලෙස සීයා තේරුණා.
ලේකම් ලෙස ඩ්‍රැකී තේරුණා.
නරිමොටා භාණ්ඩාගාරික වුණා.
බස්සා මාධ්‍ය ප්‍රකාශක වුණා.
Praසන්ன ජාතික සංවිධායක වුණා.
රැස්වීම පටන් ගත්තා.
සීයා කිව්වා,
“අපේ ප්‍රධාන ඉල්ලීම තමයි මරණ සහතිකය ඉක්මනින් ලබාදීම!”
නරිමොටා නැගිටලා කිව්වා,
“අපේ ඉල්ලීම තමයි රෑට හූ කියන අතිකාල දීමනාව!”
බස්සා කිව්වා,
“අපිටත් රාත්‍රී සේවා දීමනාවක් ඕනෑ!”
ඩ්‍රැකී කිව්වා,
“මට අල කෑම දීමනාවක් ඕනෑ. ලේ බොන්න බැරි නිසා මගේ වියදම වැඩියි!”
“ටොච් පාරවල් කාලම ඇගට අමාරුයි  ”
Praසන්ன කිව්වා,
අන්තිමේ තීරණය කළා ඊළඟ දවසේ රජයේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කරන්න.
පහුවදා  සියලුම දෙනාමාළු දෙපාර්තමේන්තුවේ  කාර්යාලය ඉදිරිපිටට ආවා.
නරිමොටා හූ කිව්වා.
බස්සා කෑගැහුවා.
හොල්මන් දම්වැල් ඇදගෙන සද්ද කළා.
ඩ්‍රැකී අල ගෝනියක් අරගෙන බිමට ගැහුවා.
Praසන්ன කෑලි පහේ ටෝච් එකක් වැනුවා.
“අපේ ඉල්ලීම් ඉටු කරනු! මරණ සහතිකය වහා ලබාදෙනු!”
ඒ වෙලාවේ කාර්යාලයේ ලොක්කා එළියට ආවා.
“මොකද මේ ?”
“අපි උද්ඝෝෂණයක් කරනවා!”
ඩ්‍රැකී කිව්වා.
“හරි. ඒකට අවසර ගත්තද?”
ලොක්කා ඇහැව්වා.
“උද්ඝෝෂණයකටත් අවසර ඕනෑද?”
“ඔව්. අදාළ අංශයෙන් අවසර ගන්න.”
ඩ්‍රැකීගේ කට ඇරුණා. වහගන්න අමතක වුණා.
 අවසානයේ සීයාගේ මරණ සහතිකය
අවුරුදු පහළොවක් ගත වුණා.
ඩ්‍රැකී මාළු දෙපාර්තමේන්තුවේ උසස්වීම් කිහිපයක් ලබාගෙන විශ්‍රාම යන්නත් ළං වුණා.
එක දවසක් සීයා කාර්යාලයට ආවා.
“පුතේ, මගේ මරණ සහතිකේ ගැන මොකද වුණේ?”
ඩ්‍රැකී තමන්ගේ මේසය උඩ තිබුණු ෆයිල් කන්ද දිහා බැලුවා.
“සීයේ, ඒක තවම ක්‍රියාත්මක වෙමින් පවතිනවා.”
“අවුරුදු කීයක්ද පුතේ?”
“අවුරුදු හතළිහකට කිට්ටුයි සීයේ.”
සීයා පුටුවක වාඩි වුණා.
“එහෙනම් පුතේ, මං දැන් මොකද කරන්න ඕනෑ?”
ඩ්‍රැකී හෙමින් කිව්වා,
“සීයේ, මටත් දැන් විශ්‍රාම යන්න කාලේ හරි. මගේ සේවා ලිපිගොනුව හදනකොට ඔයාගේ මරණ සහතිකේ ගැනත් සඳහන් කරන්නම්.”
සීයා සතුටින් ඇහුවා,
“එහෙනම් මට සහතිකේ ලැබෙයිද?”
ඩ්‍රැකී හිස පහත් කරලා කිව්වා,
“සීයේ, මගේ විශ්‍රාම ලිපිගොනුව හදන්නත් තව අවුරුදු දෙකක් යයිලු!”
සීයා මිනී පෙට්ටියෙන් නැගිට්ටා.
“පුතේ, උඹ අවුරුදු ගාණක් රජයේ රස්සාව කළා. දැන්වත් මට ඇත්ත කියපන්. මේ රටේ වැඩ ඉක්මනට කරගන්න ක්‍රමයක් නැද්ද?”
ඩ්‍රැකී වටපිට බලලා රහසින් කිව්වා,
“තියෙනවා සීයේ. ඒ තමයි වැඩේ හරියට කරන නිලධාරියෙක් හොයාගන්න එක. හැබැයි එහෙම කෙනෙක් ඉන්නවාද කියන එකයි සැක.”
සීයා ආයෙත් මිනී පෙට්ටියට බැස්සා.
“එහෙනම් පුතේ, මට දැන් සහතිකේ එපා. මං මෙහෙමම ඉන්නම්.”
ඩ්‍රැකී ඇහුවා,
“ඇයි සීයේ?”
සීයා අන්තිමට කිව්වා,
“පුතේ, මං මැරුණේ එක පාරයි. ඒත් මගේ මරණ සහතිකේ ගන්න ගිහින් මං දහස් වතාවක් මැරුණා. දැන් මට තවත් මැරෙන්න බෑ!”
ඒ වෙලාවේ කාර්යාලයේ දුරකථනය නාද වුණා.
ඩ්‍රැකී ඇමතුම ගත්තා.
“හෙලෝ!”
“මේ මාළු දෙපාර්තමේන්තුවද?”
“ඔව්.”
“අපේ මාළු අස්වැන්න පිළිබඳ වාර්තාව තවම ලැබුණේ නෑ.”
ඩ්‍රැකී සන්සුන්ව උත්තර දුන්නා,
“ඒක අදාළ අංශයට යොමු කරලා තියෙන්නේ.”
“කවදාද?”
“අවුරුදු තුනකට කලින්.”
“එහෙනම් දැන් මොකද කරන්නේ?”
ඩ්‍රැකී තමන්ගේ විශ්‍රාම ලිපිගොනුව අතට ගත්තා.
“මහත්තයා, මම දැන් විශ්‍රාම යනවා. ඉතිරි වැඩ ටික මගේ අනුප්‍රාප්තිකයාට යොමු කරන්න!”
දුරකථනය විසන්ධි කළ ඩ්‍රැකී සීයා දිහා බැලුවා.
“සීයේ, මං යනවා. දැන්වත් මට නිදහසේ ජීවත් වෙන්න ඕනෑ!”
සීයා ඇහුවා,
“උඹට විශ්‍රාම වැටුප ලැබෙයිද පුතේ?”
ඩ්‍රැකී මොහොතක් නිහඬව හිටියා.
ඊට පස්සේ කිව්වා,
“සීයේ, ඒකට අදාළ ෆයිල් එක තවම අනුමැතියට යවලා!” 🤣🤣

සටහන: සියලුම රාජ්‍ය සේවකයන් කාර්යක්ෂම බැවින් මේ ඔවුන් ගැන කරන ප්‍රකාශයක් නොවේ.

No comments:

Post a Comment

අදහස් මෙතන නිදහස් කරන්න

සීයා සහ පෙට්ටිය - හොල්මන් කතාවේ දෙවන කොටස

මෙහි මුල් කොටස බලන්න ඩ්‍රැකියාගේ බ්ලොගය බලන්න  නුවරඑළියේ ඩ්‍රැකී කොළඹට එයි.. ඩ්‍රැකීගේ පරම්පරාව නුවරඑළියේ විශාල අර්තාපල් වත්තක් සහ තට්ටු තුන...