Monday, June 7, 2021

හෝරස්ගේ දරුවා - විසි වන දිගහැරුම Son of Horus - 20


සිමෙන්ති පොළවෙන් නැගෙන සීතල පරයා ඉන් නිකුත්වෙන දැඬි මුත්‍රා දුගඳ නාසයට තදින් දැනෙන්නට වූයෙන් බිම වැතිර හුන් කපිල හිමිහිට හිස ඔසවා බැලීය. කිහිපදෙනෙක් තමාව බලහත්කාරයෙන් වෑන් රථයක දමාගෙන එහි බිම හොවා ඔවුනගේ දෙපාවලින් අනිමින් රැගෙන ආ හැටි ඔහුගේ මතකයට නැගුනි. අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ ඒකකයක් මගින් රැගෙන ආ බව නොදත් හෙතෙම සිතුවේ විරුද්ධ කණ්ඩායමක ගොඳුරක් වී ඇතිබවය. ආන්තරාවක රතු එළි කපිලගේ මනසේ රඟ දෙන්නට විය. දෑත් හා දෙපා බැඳ තිබුනායින් කිසිවක් කරගැන්මට නොහැකි වූ නමුත් හිස දෙපසට සොලවා දෑස් බැඳ තිබුනු කඩතුරාව බුරුල් කර ලෙහාගන්නට සමත්වුනි. දෑස් අඳුරට සකස්වනතෙක් කාලය ගත් ඔහු කාමරය මඳ අඳුරේ වුවද නිරීක්ෂණය කරන්නට පටන්ගත්තේය. එකඳු වාකවුළුවක් හෝ ජනේලයක් නොමැති කුඩා කාමරයක තමා රඳවා ඇතිබව හෙතෙම තේරුම් ගත්තේය. වෑන් රියේ ගැස්සීම් හා වලවල්වල වැටීමෙන් සිරුරේ මස්පිඬු තැලී නැගෙන විඩාවද එම කාමරයේ රජයන මරණීය නිහඬතාවයද නිසාවෙන් කපිලට නොදැනිම නින්ද ගියේය. එක්වරම යටිබඩ හරහා වැදුනු පා පහරින් කපිල අවදිවූයේ උගුරෙන් කෙඳිරියක් පිට කරමින්ය. උදර පෙදෙසින් නැගෙන වේදනාව විඳ දරාගන්නට මෙන් සිමෙන්ති පොළවේ වැතිර හුන් කපිල කිහිප සැරයක්ම හැකිළි දිග හැරුණි.

“නැගිටපිය මූසල වේස බල්ලා.” 

එකවරම කාමරයේ විදුලි එළි දැල්වුණාවෙන් අඳුරට හුරුව තිබූ කපිලගේ දෑස් යළිත් නිලංකාර වී ගියේය. යළිත් එළියට දෑස් සකස් වූ පසු තමන් දෙසට නැඹුරුව සිටිනා සුදු පැහැති අත්කොට බැනියමක් ඇද ඇති මැදිවියේ මඳක් තරබාරු මිනිසෙකු හා කෙසැඟි නමුත් ශක්තිමත් සිරුරක් හිමි තරුණයෙක් එහි ඉන්නා අයුරු දුටීය.

“නැගිටපං”  කී කෙසැඟි තරුණයා කපිලගේ බෙල්ලෙන් අල්ලා නැගිටුවාලීය. 

“බුදු සර් ගහන්න එපා. මේ කොහෙද මම ඉන්නේ? මොකටද සර් මාව මෙහෙට ගෙනාවේ?”

“ගෙනාවේ ඇයි කියලා තව ටිකකින් තේරෙයි, එතකන් ප්‍රශ්න අහන්නේ නැතිව කට වහගෙන හිටපන්.” 

මැදිවියේ මිනිහා කපිලට තර්ජනාත්මකට පවසා පසෙක තිබූ කබල් ලෑලී පුටුවක් තමා ළඟට ඇදගත්තේය. 

“ආ දැන් වාඩිවෙයන්.”


ඇණ මුරිච්චි සියල්ල බුරුල් වී තිබූ පුටුවේ ඔහු වාඩිගත් සැණින් කිරි කිරි හඬ නංවාලමින් පසෙකට ඇලවීගියේ කඩාවැටෙන්නට මෙනි. එම කාමරයේ කුඩා මේස කබලක් හා තවත් මෙවැනිම කඩාවැටෙන්නට ආසන්නවූ ලැලී පුටුවක් තිබෙනවා කපිලගේ දෑසට අසුවිය. තරබාරු මැදිවියේ මිනිහා තම තළෙළු පැහැ ගත් තෙල් බේරෙන මුහුණ කපිලගේ මුහුණට ළං කළ අතර ඔහුගේ බුලත් කහට බැඳුනු මුවින් තද මත්පැන් මිශ්‍ර දුගඳක් වහනය විය. කටේ කුණුගඳට කපිලගේ බඩදඟලා ඔක්කාර ගතියක් මතුව ආවේය.

“ආ වේසිගේ පුතෝ තෝ නේද රංගයාව මැරුවේ?”

කටින් විසුරුනු බුලත් කෙළ බිඳු කපිලගේ මුහුණ පුරා විසිරුණි. මුවින් වචනයක් පිට නොකළ ඔහු තමාගෙන් ප්‍රශ්න අසන්නා දෙස බලාගෙන සිටියේය.

“ඇයි බල්ලෝ කතාකරන්න තොගේ කට නැද්ද?” 

ක්ෂණිකයෙන් කම්මුල හරහා පතිතව ගිය අතුල් පහරෙන් හෙතෙම පැත්තකට ඇලවී ගියේ කබල් පුටුවෙන් කෙඳිරිලි හඬක් නංවාගෙනමය.

“මම දන්නේ නැහැ. මම මොකවත් දන්නේ නෑ.”

“ද න් නේ නෑ,  ආ...... . තෝ  දන්නේම නෑ? තොත්ත බබා දන්නේම නෑ. හිටපන් තෝ දන්න හැටි පෙන්නන්න” 

කියමින් කෙසෙඟ තරුණයා කපිල බැඳ දමා සිටි පුටුව සමඟින් බිම ඇද වැටෙන සේ පා පහරක් එල්ල කළේය. බිම වැටුනු කපිලගේ හිස සිමෙන්ති පොළවේ ගැටි බොල් හඬක් නැගීය. හිස පිටුපසින් නැග ආ තියුනු වේදනාව ඔහුගේ දෑස් කෙවිනි තුළින් කඳුළු බිඳු පිටකරන්නට සමත් විය. 

“නැගිටපන් යකෝ.”  කියමින් යළි පාපහරක් බඩ පෙදෙසට එල්ල කළේ නමුදු එය වැදුනේ ඉලඇට දෙසටය. වේදනාවෙන් දෑස් නිලංකාරවුනු කපිල කෙදිරි ගෑවේය.  

“කවුද යකෝ උඹලා? ඇයි මාව මෙහෙට ගෙනාවේ? මට යන්න දීපල්ලා.”

වේදනාවෙන් කෑගසා ඔහු මඳක් හති හැරියේය.

“මුගේ කටේ සැර. හිටපිය අපි කවුද කියලා පෙන්නන්න.” 

කෙසැඟි තරුණයා බිම වැතිරහුන් කපිලගේ කෙස්වැටියෙන් අල්ලා ඉහළට ඔසවද්දී ඔහු ඉබේම ඉහළට එසවී නැඟිට ආවේය. ඔහුගෙන් දිගින් දිගටම රංගගේ මරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට වුනි. අසන ප්‍රශ්න වලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරමින් දඩබ්බර ගතියක් පලකළ ඔහුගෙන් පිලිතුරක් ගන්නට අසමත් විය. 

”උඹව කතාකරවන හැටි දන්නවා.” 

කපිලගේ ඔලුවෙන් අල්ලා ගත් කෙසැඟි තරුණයා හිස තදින් බිත්තියේ ඇන්නේය. මොළ කෑලී ගැලවීයන්නාක් මෙන් කපිලට දැනුණි. “අම්මා  හ්” කියා කෑගැසුවත් කටින් පිටවූයේ හීන් හඬක් පමණකි.  

“සොමේ අර ඇස්ලොන් බටේ අරන් වරෙන් මුව කතා කරවන්න. ගලවපිය ඔය ඇඳන් ඉන්න ගොමස්කඩ.”

දහඩියට ඇඟට ඇලී තිබූ දුහුවිල්ලෙන් අවපැහැ ගැන්වුනු කපිලගේ ඇඳුම් ඉරා පුර්ණ නිරුවත් කරවීය. කාමරයෙන් පිටතට ගිය සෝමේ නැමති මැදිවියේ තැනැත්තා බැටැන් පොලු වලට වඩා දිගින් යුතු වැලි පිරවූ පීවීසී බට දෙකක් රැගෙන පැමිණ කපිල දෙස රවා බැලීය.

“මුගේ අම්මාට. . . .          අපිට පව් පුරවන්න මෙතන එනවා.”

“ආ දැන් ඉතිං නිදාගනින්.” 

කී කෙසෑඟි මිනිහා කපිලව මේසය මතට මුණින් අතට හිටින සේ පෙරලා දැම්මේ තැලුනු මස් පිඬු තවත් වේදනාවෙන් රිදවාලමින්ය. සිඳුවන්නට යනදේ ඉවෙන් මෙන් තේරුම්ගත් කපිලගේ සිරුර බියෙන් වෙව්ලන්නට වීය. ප්ලාස්ටික් බටය නිරුවත් පිට දිගේ එහාමෙහා කළ සෝමේ නැමැත්තා තට්ටම් වලට සෙමින් තට්ටුවක් දැම්මේ ඔහුගේ සිරුර පුරා හී ගඬු නංවාලමින්ය. 

“දැන්වත් කියපං උඹ නේද රංගව මැරුවේ? ස්ටැන්ලිගේ ගෙදර කොල්ල කෑවේ?”

“බුදු සර් ගහන්න එපා මම දන්නේ නැහැ. මම මේ මොකවත් දන්නේ නෑ.” 

යළිත් ප්ලාස්ටික් බටය තට්ටම් හරහා දෙකකුල් දිගේ පහළට රැගෙනවිත් යටිපතුල් කිතිකවන්නාක් මෙන් ඇතිල්ලීය. ඊළඟට ලැබෙන පහර ගැන හා එහි ප්‍රබලත්වය ගැන පෙර දැනුවත් වී හුන් කපිල දෑස් තදින් පියාගත්තේ ඉන් නැගෙන වේදනාව විඳ දරාගැනීමටය. එස්ලොන් බටය ගුවනේ පාවී අවුත් දෙපතුල් හරහා වැදී ඉන් නැගුනු ප්‍රබල කම්පනය දෙකකුල් හරහා ඉහළ නැඟ මුළු සිරුරම සළිත කරවමින් හිස් මුදුණෙන් පිටවීගියේ හිස් කබල කැබලි සියයකට කැඬි ගියාක් මෙන් වී දෑස් නිලංකාර කරවමින්ය.

“බුදු අම්මෝ  හ් ..” 

“බුදු සර් ගහන්න එපෝ .  මම දන්නේ නැතෝ .”

දෙවන පහර වදින්න පෙර කපිල කෑගසා කීවේය.

ඔහු එක්වරම ආවේසවුවෙක් මෙන් අතේවූ පොල්ලෙන් හොඳින් සංග්‍රහකරන්නට පටන්ගත්තේ මේසයේ මුනින් වැටී හුන් කපිල කෙතරම් විලාප දුන්නත් ආයාචනා කළත් නෑසුනාසේය. ලැබෙන පහරක් පහරක් ගානේ ඇටකටු සිසාරා යන තියුණු වේදනාවෙන් සළිතව ගිය කපිල මුළු ගතේම දහිරිය ගෙන කෑ ගන්නට පටන් ගත්තේය. කොතරම් කෑ ගැසුවත් කනකට නොගෙන නොනවත්වා එල්ල කළ ප්‍රහාරය ඔහු නැවැත්වූයේ කපිලගේ සිහි විසඥවීමෙන් පසුවය. කපිලගේ කෑ ගැසීම නතරවූවත් සමඟම පහරදීමත් නතරකළ ඔහු ඌරෙකුමෙන් හති හැරියේය. ඉදිරියට නෙරා ආ උදරය තාලයක් නොමැතිව වේගයෙන් උස් පහත් වෙමින් වෙහෙස පහකරන්නට උත්සාහ කරන්නට විය.

“මුට සිහි නැතිවුනා වාගේ.” 

ඔහු තම අතේ තිබුනු වැලි පිරවූ ප්ලාස්ටික් බටය අනෙකාට දෙනගමන් කීය.

“ඕකා ටිකක් නිදා ගත්තාවේ. වැඩිය ගැහැව්වොත් මූ මැරෙයි. යමං මහන්සිය යන්නත් එක්ක ප්ලෙන්ටියක් බීලා එන්න.” 

ඔවුහු කපිලව මේසයෙන් බිමට ඇඳ දමා කාමරයෙන් පිටත්ව ගියහ.

අධික පිපාසයක් සමඟින් යළි සිහි ලැබගත් කපිල කෙදිරිලි හඬින් වතුර ඉල්ලීය. තොල් පටවල් පිපිරී ගලාගිය රුධිරයෙන් කටට දැනෙන්නාවූ ලුණූ රසයෙන් පිපාසය තවත් දැඬිව දැනෙන්නට වුනි. වම් ඇසට උඩින් වැදුනු පහරකින් එය ඉදිමී ඇසෙන් අඬක් පමණ වැසී ගොසින්ය. මුළු සිරුරම වණයක් මෙන් ඇඳුම්කන්නට පටන්ගෙන ඇත. තවදුරටත් කතා නොකර සිටීමෙන් පලක් නොවන බවත්, තවත් මෙසේ පහරකෑමට නොහැකි බවත් කපිල වටහාගත්තේ දෙවන වරටද කෙසැඟි තරුණයා පොල්ලත් අතැතිව පැමිණි පසුවය. 

“ආ උඹ නැගිට්ටාද?”

“වා... තු...ර,  වා....තුර ටිකක් දෙන්න.”

“ඇයි උඹට මහන්සිද? ආ ටිකක් බීපං. උඹ කෑවේ ටිකයි. තව කන්න තියෙනවා.”

අතට ගත් වතුර බෝතලයෙන් ටිකක් බිම වැතිර සිටි කපිලගේ හිසට වත් කළේය. හිසේවූ කුණු දුවිලි සෝදාගෙන පහලට ගලා ගිය දහඩිය මිශ්‍ර ජලය මුවට ගන්නට දිව එළියට දමමින් ඔහු යම් තරමකට තොලකට තෙමා ගත්තේය. 

මැදිවියේ මිනිසා කාමරයට ඇතුල්වූයේ ලා නිල් පැහැති නයිලෝන් කඹයක් රැගෙනය.

“මේක ගෙනාවේ උඹව එල්ලන්න. දැන්වත් කියපං අඬු කඩාගන්නේ නැතිව තෝ නේද රංගයාව මැරුවේ?” 

“බුදු සර් මම නෙමෙයි, රංගව මැරුවේ මංජුයි.”

පිට හරහා වැදුනු බට පහරින් කැරකී විසිවුනු කපිල වේදනාවෙන් මිරිකෙමින් කෑගැසීය.

“ඔය කියන්නේ. ඇයි බල්ලෝ තෝට ඕක ඉස්සෙල්ලා කියන්නනේ තිබුනේ අපිව මහන්සි කරන්නේ නැතිව.” 

සෝමේ යලිත් තවත් පහරක් දුන්නේ එසේ කියමිනි. 

“ගහන්න එපා සර්, ගහන්න එපා. තව ගුටි කන්න බෑ, මාව මැරෙයි. මේ ඔක්කෝම කළේ මංජුයි.  ස්ටැන්ලිව මැරුවෙත් ඌ තමයි.”

රංගගේ මෙන්ම ස්ටැන්ලි වික්‍රමපාලගේ මරණයත්, කොල්ලකෑ මුදල් හා බඩු භාණ්ඩ වලට සිඳුකළදේ හෙතෙම නිලධාරින්ට වැමෑරුවේ ඉන් අනතුරුවය. 




     කුමාරි හා පියරත්න මහතා එක්ව සකස්කළ විශේෂ වාර්තාව රැගෙන මහාචාර්ය නාරද අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පියමැන්නේ පොලිස් අධිකාරි මනෝජ් වෙත එය ලබාදීමටය. 

“ආ ප්‍රොපෙසර් නාරද, මම දැන් මේ මතක් කළා විතරයි.”

“ඇයි මිස්ටර් මනෝජ් ? වාර්තාව හදලා ඉවරද කියලා අහන්නද?”

“ඒකත් එක කාරණාවක් තමයි.”

“මම දැන් අරගෙනයි ආවේ.”

“ඒක හොඳයි, මොකද දැන් අපිට මේ වාර්තාව අවශ්‍යය වෙන වේලාව.”

“එතකොට අනිත් කාරණාව?.”

“අපි ස්ටැන්ලිගේ මර්ඩර් එකට අවශ්‍යය කරන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. දැනට මේ මිනිහාගෙන් ගත්තු කටඋත්තර අනුව මම කරපු නිගමනේ හරි.”

“ඒ කියන්නේ?”

“මේ කල්ලිය අලුතෙන් ෆෝම් වෙච්චි කණ්ඩායමක්. ඒ නිසයි අපිට කල්ගත වුණේ මේ ගොල්ලන්ව අයිඩෙන්ටිෆයි කරගන්න. මේ කණ්ඩායම ලීඩ් කරපු එක්කෙනයි තවත් හාදයෙකුයි මේ කල්ලියේම එකෙක් මරලා. ඒකා තමයි ස්ටැන්ලිගේ ගෙදර කොල්ලකන්න ප්ලෑන් කරපු මොළකාරයා.”

“එතකොට මේ කල්ලියේ ඇතුලේ අයම එකාට එකා මිනී මරාගෙන තියෙනවා?”

“ඔව්, සල්ලි බෙදාගන්න.” 

නාරදගේ මුහුණට බැරෑරුම් පෙනුමක් අරගත්තේ ඒ කතාව ඇසු කල්හිය. ඔහු මඳක් තම අතේ තිබූ වාර්තාව දෙස බලා හුන්නේය. 

“එහෙනම් අපි අනුමාන කළාත් හරි. අද්භූත යමක් මේ බඳුනේ තියෙනවා.”  

“මොකද්ද පොප්‍රෙසර් මේ කියන්නේ?”

“ශාපයක්.”

“සාපයක්?”

“ඔව් ශාපයක්, පාරාවෝ ශාපයක්. මම මේ ගැන විස්තර කරනවාට වඩා හොඳයි ඔයාම මගේ මේ වාර්තාව කියවලා බැලුවොත්. අපහැදිලි තැනක් තිබුනොත් මගෙන් අහන්න. මම හිතන්නේ නැහැ ඔයාට මේ වාර්තාවේ අපහැදිලි තැන් ඇතෙයි කියලා.”

“හොඳයි මම ඒක බලන්නම්.”

මනෝජ් වාර්තාව අතට ගන්නා ගමන් කීවේය.

“දැන් ඔය බඳුන ඔයාලා හොයාගත්තාද? එක විනාශකරලා නැහැ නේද?”

“තවම නැහැ. මේක තියෙන තැන අපි දන්නවා ඒත් ඒක ගන්න ගිහිල්ලා පොලීසියට අවශ්‍යය කරන පුද්ගලයාට පැනලා යන්න දෙන්න බැහැ. මිනිහා අපේ දැළට වැටෙනකං පොඩ්ඩක් බලාගෙන ඉන්න වෙනවා.”

“බඳුන ඔයාලා හොයා ගත්තු ගමන් මටත් දන්වන්න. මටත් මේක ටිකක් පරික්ෂාකරලා බලන්න ඕනේ.” 

“හොඳයි, අපි ප්‍රොපෙසර්ට කියන්නම්.”

පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් ඉවතට පැමිණි නාරද දුරකථනයෙන් කුමාරිට මෙන්ම පියරත්න මහත්තයාටත් ඔවුන්ගේ අනුමානය හරි බවත් පොලීසියෙන් බඳුන තිබෙන දිශාව සොයාගෙන ඇති බවත් සැලකර සිටියේය.


    දින කිහිපයක් ගෙවී ගියේ කපිලව අතුරුදහන් කරවීම සියල්ලන්ටම අමතක කරවාලමින්ය. එම දින කිහිපය නිවසින් බැහැරව ආරක්ෂිතව කල්ගත කළ මංජු සැමදා අරක්කුවල පිහිටෙන් නිදි සුව ලැබුවේය. ඇතැම් දිනවල පෙනෙන විකාරරූපි ස්වප්නවලින් බියට පත්ව දහඬියෙන් පෙගී අවදිවන මංජු යළිත් නින්දට වැටෙන්නේ අමු අරක්කු උගුරු කිහිපයක් බෝතලයෙන් කටට හලාගත් පසුවය. කපිලගේ ඉස්සීම ආණ්ඩු පක්ෂයේ වැඩක් නිසා එය තම ජීවිතයට තර්ජනයක් නොමැති බව සලකා යළි නිවෙස වෙත ආවේය. නිවසට ආ දින සිටම පිලිකන්න දෙසින් ඇසෙන මූසළ බළල් කෑ ගැසීම් නිසාවෙන් හරි හැටි නින්දක් වත් ලබාගන්නට නොහැකි වූයේය. වෙනදා සිටි සමීපතයින්වූ රංග චුට්ටා අද සඳහටම වෙන්වී ගොසින්ය. කපිල හා සුදු මහත්තයා අතුරුදහන්වී ඇත්තේය. මංජුට වෙනදා නොදැණුන පාළුවක් කාන්සියක් දැනුනේ නමුදු වෙනත් යහළුවන් ළංකරගෙන මදුවිත පිරීමට බියක්ද සිතේ ඇති විය. තනිවම අරක්කු බොතලයක් ළංකරගත් හෙතෙම පාළුව යන්නත් එක්කම හින්දි චිත්‍රපටයක් නැරඹීමට පටන් ගත්තේය. පිටුපස දොරට තට්ටු කරන හඬක් ඇසී දොර විවරකල බැලූ ඔහු දුටුවේ තම මිත්‍ර චුට්ටා අසුචි නාගෙන  දොර අභියස පිලිකන්නේ සිටගෙන සිටින අන්දමය. 



“මොකෝ බං මේ?”

“එනකොට ජරා වළකට වැටුණා බං. අනේ ළිඳ ළඟට ගිහින් වතුර පනිට්ටුවක් ඇඳලා දීහං හෝදගන්න.”

“ඇයි මේ තියෙන්නේ බාත්රූම් එක එකට පලයන්කෝ.”

“මේ මළ ජරාව එක්ක ඕකට යන්න බෑ. ළිඳට ගිහිල්ලා හෝද ගමු.”

චුට්ටා තම අයෝමය අඬුවක් වන් හස්තයෙන් මංජුගේ බාහුව අල්ලාගෙන එළියට ඇදගත්තේ බලහත්කාරයෙන් ළිඳට රැගෙන යාමට මෙන්ය. ඔහුගේ අතේ තැවරි තිබූ අසුචි තලියක් ඇඟිලිකරු අතරින් එළියට පැන්නේ මහා කුණු දුගඳක් නිකුත් කරවාලමින්ය. 

“චී ඔය මළජරාව මගේ ඇගෙත් ගෑවෙනවා, අහකට වෙලා පලයන්.”

“උඹට මාව මේ වළට දාන්න නම් හොඳයි ඇගේ ගෑවුනොත් නරකයි.”

මංජුට එකවරම චුට්ටාගේ මුහුණ දෙස බැලින. අසුචි ජරාව හිසේ සිට පහලට වැක්කෙරෙන ඔහුගේ උදරයේ වූ විශාල වණයක් තුළින් ඉහිඳ පණුවන් රොත්තක් නලියමින් එළියට අවුත් බිමට වැටෙන්නට පටන්ගත්තේය. යමක් කියන්නත් පෙර එකවරම පිටුපසින් කළුවරේ සිට මතුව ආ දෙදෙනෙක් ඔහුව වැසිකිලි වළට තල්ලුකර දැමීය. කරවටක් අපජලයේ ගිලුණූ මංජු වළෙන් ගොඩ ඒමට දඟලද්දි පිටු පසින් අවුත් වැසිකිලි වළට තල්ලු කළ රංග හා ස්ටැන්ලි හා එක්වූ චුට්ටා අසුචි ගොඩේ එරී ගොඩ ඒමට දඟලන මංජු දෙස දොඹ ගෙඩිමෙන් විශාල රතුවූ දෑසින් බලමින් වියරු හිනාවන් පාමින් සිටියෝය. ඉවසිය නොහෙන දුර්ගන්ධය දසත පැතිරෙන්නට විය. භිතියෙන් මුසපත්ව තව තවත් දැගලීමේදි මංජු අසුචි වලේ එරෙනු විනා ගොඩ ඒමක් කළ නොහැකිවුනි. කෑගැසීමට මුව විවර කරද්දී කටපුරා පිරුණු අසුචි නිසා හුස්ම හිරව ගොස් පතුලක් නොපෙනෙන කළුවර අගාදයකට මංජු තල්ලු වී ගියේය. 

හුස්ම හිරවුනු කලෙක මෙන් දෑතින්ම උගුර අල්ලන් අවදිවූ මංජුට එකවරම නිවස තුලින් බළලෙක්ගේ මූසළ ඈඩියාව ඇසෙන්නට වුනි. තදින් හතිලෑ හෙතෙම කළුවරෙම අතගා සොයාගත් සෝඩා බෝතලේ උගුරට දෙකට බී අවසන් කළේය. දහඩිය දමන්නට පටන් ගත් නිසා ඇඳ සිටි කමිසය ගලවා වීසික්කළ ඔහු දත්කූරු සපමින් කෑ ගසන බළලුන්ට සාප කළේය. ඒ එක්කම ඉදිරිපස දොරට තදින් තඩිබාන හඬින් ඔහුගේ කෝපය ඉහවහා ගියේය. දොරට තඩිබාන්නේ කවුදැයි නොවිමසාම එය විවර කළ මංජුට දෑස් නිලංකාරවන විදුලි පන්දම් එළියක් මුහුණටම එල්ලවිය.  

“කවුද යකෝ? ඔය හුත්. . .  අහකට අරගනින්.”

“තමුසෙද මංජු කියන්නේ?”

ගොරහැඩි හඬින් විදුලි පන්දම අල්ලා සිටි පුද්ගලයා ඇසීය. විදුලි පන්දම් එළියෙන් දෑසම නිලංකාරවීමෙන් ප්‍රශ්න කරන පුද්ගලයා හෝ එළියේ සිටින්නේ කවුරුන්දැයි හඳුනාගැනීමට නොහැකිවූවත් ඔහු ඒ සදහා අසාර්ථක උත්සාහයක් දැරීය. මංජු පිළිතුරුදීමට මඳක් ප්‍රමාද කළේ අනතුරක සේයාවක් තමන්ට දැනෙන්ට වූවායින්ය.

“ඇයි කතා නැත්තේ. තමුසේ නේද මංජු?”

වහා දොර වසා නිවස ඇතුලට පැනගන්නට කළ උත්සාහයේදි ඔහුට පෙර ඉක්මන්වූ එළියේ හුන් පුද්ගලයා විසින් මංජුගේ යටිබඩ හරහා දුන් පා පහරින් ඔහුගේ දෙකනින් ගිනිසැරයක් පිටවූවා සේ දැණින. යටිකය අල්ලාගෙන නැමුනු මංජුගේ පිට හරහාද පහරවල් කිහිපයක් එල්ලවුනි. බිම ඇදගෙන වැටුනු පසුවත් තවත් පහරවල් කිහිපයක්ම එල්ලවුනේ ඔහුව බෙලහින කර අවනත කරගැනීම පිනිසය. කෑගැසීමට කෙසේවෙතත් කෙදිරිගෑමටවත් ගතේ පණක් ඉතිරිව නොතිබූ මංජුගේ දෑත් විලංගුලා බිමදිගේ ඇඳගෙන ගොස් පාරේ අයිනකට වන්නට නවතා තිබුනු ජිප් රියේ නංවාගෙන ඔවුන් පිටත්ව ගියෝය. 

                                     මතුසම්බන්ධයි.......

Thursday, June 3, 2021

හෝරස්ගේ දරුවා - දහනම වන දිගහැරුම Son of Horus - 19

 


කතාබස් කරගත් ලෙසම පියරත්න දෙහිවල හන්දියෙන් බසයෙන් බසින විට උදෑසන අටට පමණ විය. ඒ වන විටත් දෙහිවල මංසන්ධියේ ගුවන් පාලම යටටවන්නට තම මොටර් රථය නවතාගෙන ඔහු එනතෙක් නාරද මඟ බලාගෙන සිටියේ වෛද්‍ය පාරේ වූ තම නිවෙසට කැදවාගෙන යාමටය. කුමාරි පියරත්න මහත්තයාව ඉතා සාදරයෙන් පිළිගත්තාය. උදෑසන ආහාරයෙන් පසු සාකච්ඡාවට ඔවුන් එක්වූහ.

“නාරද මහත්තයා කිව්ව හෝඩුවාව නොවෙන්න මම තාමත් ගාල්ල පීර පීර මේ බඳුන හොයාගත්තු අයව හොයනවා.”

“ඒ හෝඩුවාව දුන්නේ කුමාරි තමයි.”

“නාරද කුමාරි දෙස කෘතඥතා බැල්මක් හෙලමින් පැවසීය.”

“මේ පියසෝම මම හොඳට දන්නා අඳුණන කෙනෙක්නේ. මිනිහා හොඳ පිහිනුම්කාරයා. ගෙදර පොඩි රණ්ඩුවක් ගිය වේලාවේදි පියසෝමගේම මස්සිනා තමයි එයාව මැරුවේ. මේ බලන්න මුලින්ම පියසෝම ඊළඟට උපනන්ද ඊටපස්සේ ගුණසිරි අන්තිමට ස්ටැන්ලි. මේ හැමෝම මැරිලා තියෙන්නේ ස්වභාවික හේතුවකින් නෙමෙයි නේද?”

“මටත් ඔය ගැන සිහියට ආවේ කුමාරි කිව්වාට පස්සේ තමයි.”

“මට පේන්නේ නාරද මහත්තයෝ මේ බඳුනේ අද්භූත දෙයක් සැඟවිලා තියෙන්න පුලුවනි. මේ මැරුණු  හැමෝම ඔය අපි හොයන බඳුන හිමි කරගත්තු අයයි. එහෙම නම් ඊළඟට කවුද?”

“ස්ටැන්ලිගෙන් පස්සේ දැනට මේක තියෙන්නේ හොරු අතේනෙ. එහෙම නම් අපිට මේක ඇත්තක්ද කියලා බලන්න පුලුවනි ඔය හොරුන්ගෙන් කවුරු හරි මැරුණොත්. එහෙම උනොත් අපිට කියතැකි මේකේ අද්භූත බලයක් තියෙනවා කියලා.”

“ඇයි නාරද ඔයාට හිතෙන්නේ නැද්ද මේ බඳුනේ ශාපයක් තියෙනවා කියලා. හරියට පාරාවෝ ශාපය වගේ (Curse of Pharahos).”

“කුමාරි මේක ඒ විදිහටම සිද්ධ වෙන ශාපයක්ද කියලා කියන්න බැහැ.”

“මොකක්ද නාරද මහත්තයා ඔය කියන ශාපය?”

“මෙහෙමයි පියරත්න මහත්තයා, පාරාවොන්ගේ සොහොන් ගැබ්වල ඒගොල්ලන්ගේ මෘත ශරීර තැන්පත් කරද්දි විශාල වශයෙන් ඒ මියගිය රජතුමා හරි පුද්ගලයා හරි පාවිච්චි කළ භාණ්ඩ වලින් පුරවලා තියලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ ඒ පුද්ගලයා මළවුන්ගේ ලෝකයෙන් පිටවෙලා යළිත් ආත්මයක් ලැබුනාම ඒවා පාවිච්චියට ගන්න. පියරත්න මහත්තයාට මතකද ටූටන්කාමුන් රජතුමාගේ සොහොන්ගැබේ තිබිලා හමුවුනු නිධන්කරලා තිබුන භාණ්ඩ?”



“ඔව්. මට මතකයි පත්තරවල ලියලා තිබුනා සමහර භාණ්ඩ රත්තරන් වලිනුත් හදලා තිබුනා කියලා.”

“ඉතිං මේවාගේ නිධන් කරලා තිබුනු වස්තුන් අරගන්න ආඳිකාලේ ඉදලාම සොර සතුරන්ගෙන් ආක්‍රමණ එල්ලවුනු නිසා පූජකයෝ මේ සොහොන් ආරක්ෂාකරගන්න ආරක්ෂාකාරී පියවරන් අරන් තිබුනා. ඒවායේ ඇතුළට ගිහිල්ලා ඒ මියගිය පාරාවන්ගේ නින්දට බාධාකරපු යම් කෙනෙක්වේද, ඔවුන්ට ශාප කරලා තිබ්බා.”

“ආ මෙන්න නාරද මේ පොතේ ("The Mummy's Curse: Mummymania in the English-speaking World", Jasmine Day) ඔය කියන ශාපය ගැන ලියවෙලා තියෙනවා.”

කුමාරි නාරදගේ පුස්තකාලයෙන් රැගෙන ආ තවත් පොතක් ගෙන නාරදගේ අතට පත්කළාය.

“මේ තියෙන්නේ එහෙම ලියැවුනු ශාපයක්. මේක නමයත් දහයක් අතර රාජවංශයේ ඇන්කාටිෆි රජතුමාගේ සොහොනේ ලියලා තියෙන්නේ.” 

“කවුරුන් හෝ පුද්ගලයෙක් මෙම මෘතශරීරයේ බහාලුමට (මිනිපෙට්ටියට) අයහපත් හෝ දුෂ්ටකමක් සිඳුකළානම් ඔහු ලබාදෙන කිසිඳු දෙයක් හේමන් නම් දෙවියා පිළිනොගනියි. එසේම ඔහුගේ උරුමක්කාරයන්ටත් උරුම වශයෙන්වත් නොලැබෙයි.”

( The tomb of Ankhtifi (9–10th dynasty) contains the warning: "any ruler who... shall do evil or wickedness to this coffin... may Hemen [a local deity] not accept any goods he offers, and may his heir not inherit". )

“මේ තවත් එහෙම ලියාපු ශාපයක් තියෙනවා. මේක තියෙන්නේ නවයත් දහයත් අතර රාජවංශයේ හිටපු  ක්හෙන්ටිකා ක්හේකී රජතුමාගේ සොහොන්ගැබේ.”

“මාගේ සුසානඝරයට ඇතුළු වී අපවිත්‍ර කරන සියල්ලන්ටම විනිශ්චයක් ඇත. එනම් ඔහුගේ අවසානයයි. මම පක්ෂියෙකුගේ ගෙළ කඩාදමන්නාක් මෙන් ඔහුගේ ගෙළ කඩාදමමි. මා විසින් ඔහුට බියද සන්ත්‍රාසයද ඇති කරවමි.”    

(The tomb of Khentika Ikhekhi (9–10th dynasty) contains an inscription: "As for all men who shall enter this my tomb... impure... there will be judgment... an end shall be made for him... I shall seize his neck like a bird... I shall cast the fear of myself into him".)

“එතකොට ඔය වාගේ ශාපයක් බලපාල නේද ටූටන්කාමුන් සොහොන් ගැබට ඇතුල්වුනු අයත් මැරුනේ?”

“ඒ සොහොන් ගැබේ සාපයක් ලියැවිලා තිබුනා කියලා සොයාගෙන නැහැ පියරත්න මහත්තයා. නමුත් මේ සොහොන සොයාගෙන එයට ඇතුළුවුනු අය ඉතා කෙටි කාලයකින්ම මියගියා කියලා පොත්වල ලියැවිලා තියෙනවා.”

“ආ මෙන්න නාරද මේ පොතේ ("Howard Carter and the Discovery of the Tomb of Tutankhamun", H. V. F. Winstone. )  තියෙන්නේ ඒ ටූටන්කාමුන් සොහොන් ගැබ සොයාගත්තු විස්තරයි.”

කුමාරි ලබාදුන් පොත අතට ගත් නාරද ටූටන්කාමුන් රජතුමාගේ සුසානඝරය සොයාගැනීමේ පරිච්ඡේදය පියරත්න මහතාට විස්තර කරන්නට විය.

“මේ පාරාවෝ සුසානඝරය පිහිටලා තියෙන්නේ රජවරුන්ගේ නිම්නයේ. (Vally of kings)   KV62 නමින් තමයි දැන් මේ සොහොන් ගැබ හඳුන්වන්නේ. හොවාඩ් කාටර් එක්දාස් නමසිය විසිදෙකේ නොවැම්බර් හතර වෙනිදා (1922 නොවැ.04) මේ සොහොන් ගැබට ඇතුලුවන පඩිපෙළක් සොයාගෙන තියේනවා. නොවැම්බර් විසිනමය තමයි එයාලා මේ සොහොන් ගැබ විවෘත කළේ. එහිදි තමයි මෙතෙක් මිසර පාරාවෝ සොහොන් ගැබ්වලින් සොයා නොගත්තු වටිනා දේවල් හමුවෙලා තියෙන්නේ. ඒවා සමහරක් අදටත් කයිරෝ කෞතුකාගාරයේ ආරක්ෂිතව තැන්පත් කරලා තියෙනවා. 




මුලින්ම මේ ටූටන්කාමුන් සොහොනේ ශාපය බලපාල මියගියේ කානවන් සාමිවරයා idñjrhd ^ Lord Carnarvon- 1923-04-25 & එයා අප්‍රේල් විසිපස්වෙනිදා 1923 දි මදුරු දෂ්ඨයක් විෂවීමෙන් මියගියා කියලයි කියන්නේ. ඊට පස්සේ ජෝර්ජ් ජේ ගවුල්ඩ් ^George Jay Gould I – 1923-05-16 &මැයි දාසය උණ රෝගයකින්. අලි කමාල් ෆාම් බේ කුමාරයා ( Prince Ali Kamel Fahmy Bey – 1923-.06-10 )ජූලි දහය මිය ගියේ එයාගේ බිරිඳ වෙඩි තියලා. කර්නල් හර්බට් (Colonel The Hon. Aubrey Herbert – 1923-09-26සැප්තැම්බර් විසිහය දත්ගලවන්න ගිහිල්ලා මැරුණා. කොටිපති වුල්ෆ් ජොයිල් (Woolf Joel – 1923-.09-17 අප්‍රිකාවේදි වෙඩි තියලා මැරුවේ නොවැම්බර් දාහහත් වෙනිදා. සර් ආචිබෝල්ඩ් ඩග්ලස් (Sir Archibald Douglas-Reid – 1924-01-15) ලෙඩවෙලා මැරුණා ජනවාරි පහලොව 1924 දි. සර් ලී ස්ටැක් (Sir Lee Stack -1924-09-19 ) වෙඩි තියලා මැරුවා ඒ අවුරුද්දේම නොවැම්බර් දහනවවෙනිදා.” 

”ඉතිං නාරද මහත්තයෝ ඔය සොහොන සොයාගත්තු හොවාඩ් කාටර් මැරුණේ නැද්ද?”

“එයාට ටිකක් කල් ජීවත්වෙන්න වාසනාව තිබුනා. (Howard Carter – 1939-03-02)

එයා මැරුණේ 1939 මාර්තු දෙවනිදා. මම මේ කිව්වේ ටික දෙනෙක්ගේ නම් විතරයි. මේ පාරාවෝ සෙහොන් ගැබ සොයාගන්න උදව් උපකාර කළ මුලින් එකට ඇතුලු වුණු තවත් අය විවිධ රෝගාබාද හදිසි අනතුරුවලින් අකාලයේ මියගියා.”

“එහෙමනම් ඔය කියන විදිහෙ ශාපයක් මේ බඳුනෙත් තියෙන බව මට හිතෙනවා. අපි මේක ඉක්මනටම හොයාගන්න ඕනේ තවත් කවුරු හරි මේකේ ශාපෙන් මැරෙන්න ඉස්සර වෙලා.”

“ඔයගොල්ලෝ පැත්තකට වෙලා හිටියොත් හොඳ බවයි මටනම් පේන්නේ.”

“ඇයි කුමාරි?”

“ඇයි කියන්නේ, ඔයාලා ඔය බඳුන අතට අරගෙන ඒකේ තියෙන ශාපෙට ලක්වෙන්න ඕනේ නැහැනේ. පොලීසිය අවශ්‍යය කාරනා කටයුතු කරගනියි. අපිට තියෙන්නේ එයාලට අවශ්‍යය වෙන තොරතුරු ටික දීලා බලන්න ඉන්න විතරයි.”

“ඔහොම ආත්මර්ථකාමි විදිහට හිතන්න එපා කුමාරි. ඒ බඳුනේ ශාපයට ලක්වෙන බව පෙන්නේ ඒක ළඟ තියාගත්තොත් විතරයි.”

“නාරද මහත්තයා කිව්වා නේද මේ වාගෙම තවත් බඳුන් තුනක් තියෙන විත්තිය? එහෙම නම් මේක ඒ අනිත් බඳුන් තුනෙන් වෙන් කෙරුනු නිසාද දන්නේ නැහැ.”

“එහෙම වෙන්නත් පුලුවනි.”

“පියසෝමට හමුවෙච්ච ගිලුණු නැවේ සමහර විට ඔය අනිත් බඳුන් තුනත් තියෙනවා වෙන්න පුලුවන්.” 

“ඒ ළමයා කිව්වා නේද ඒ නැව තියෙන ස්ථානය දන්නේ නැහැ කියලා?”

“ඔව්. නමුත් එයා මට කිව්වේ පියසෝම කීව ඉසව්ව රූමස්සල හරියේ වෙන්න ඕනේ කියලා තමයි. මට තියෙන අනික් ප්‍රශ්නේ තමයි නාරද මහත්තයෝ, මොකටද මේ වැඩකට නැති බඳුන් ලංකාවට අරගෙන ආවේ කියලයි?”

“ඇයි මතක නැද්ද පාරාවරුන්ගේ සොහොන් ගැබ් වල තිබ්බ වස්තුව මංකොල්ල කෑවා. ඉතිං කොල්ලකාපු වස්තුව එක්කෝ මේ හොරුන් තමන්ගේ රටවල් වලට අරගෙන ගියා හරි මේවා මංකොල්ලකාරයින්ගෙන් මිලදී ගත්තු අය තමන්ගේ රටවල් වලට අරගෙන ගියා වෙන්නත් පුළුවන්. එහෙම නිධන් වස්තුන් අරගෙන ගිය නැවක් මේ රූමස්සල හරියේ ගිලුණා වෙන්නත් පුළුවනි.”

“මම පොඩි කාලේදි අහලා තියෙනවා ගාල්ල හරියේ රත්තරං පුරවාපු නැවක් ගිලිලා තියෙනවා කියලා. ඔය කතාව පියසෝමත් මගෙන් ඇහැව්වා. මෙච්චර කාලයක් මම හිතන් හිටියේ මේ රත්තරන් නැවේ කතාව බොරුවක් වෙන්නැති කියලා. මම පියසෝමට කිව්වෙත් එහෙම නැවක් ආවනම් ඔය නැව කුඩා රාවණා මහා රාවණා ලයිට් හවුස් අතරෙ තියෙන ගල්පර වල හැපිලා ගිලෙන්න ඇතිය කියලයි.”


“අපේ සමුද්‍ර පුරාවිද්‍යා අංශයෙන් අහන්න ඕනේ ගාල්ල ප්‍රදේශයේ ගිලුණු නැව් වල විස්තර තියෙනවාද කියලා. මේ ගැන වැඩි විස්තර හොයලා බලන්න ඕනේ. ”

“ සමහරවිට මේ නැව ගිලුණෙත් ඔය කියන ශාපය බලපාලද දන්නේ නැහැ?”

“එහෙම වෙන්නත් පුලුවන් කුමාරි. ඒත් එකපාරටම මිනිස්සු ගොඩාක් මරාදාන්න ඔය බඳුනේ තියෙන අද්භූත බලවේගවලට පුලුවන්ද?”

“සාමාන්‍යයෙන් දැන් කාලේ වාගේ ඉස්සර නාවික ගමනාගමනය ඉක්මන් නෑ. රුවල් නැව් මාස ගණනාවක් තිස්සේ යාත්‍රාකරනවානේ, ඉතිං කවුද දන්නේ ඔය නැව ලංකාව හරියට එනකොට නැවේ හිටපු නාවිකයින්, මිනිස්සු ශාපයේ බලපෑමෙන් මැරුණාද කියලා.”

කුමාරි කීවාය.

“ඒහෙම හිතන්නත් පුළුවන්. නාරද මහත්තයෝ මට හිතෙනවා නැව කුණාටුවට අහුවෙනකොට ඒක හසුරවාගන්න හිටපු නැවියන් මදිවෙලා මුහුදුබත් වුණාද කියලත්.”

“ඔය ගිලුණු නැවෙන් තමයි ඒගැන හෝඩුවාවක් අරගන්න තියෙන්නේ.”

“නාරද මහත්තයෝ ඔය රූමස්සල හරියේ විශාල ගල් පරයන්, දියවැල් එහෙමත් තියෙනවා, පළපුරුදු කිමිඳුම්කාරයෙකුට ඇරෙන්න අපිට බැහැ ඔය වගේ තැන්වල කිමිඳෙන්න.”

“ඔන්න ඉතිං දැන් කිමිඳෙන්න ද හදන්නේ? මේ ඔය වාර්තාව පොලීසියට දීලා අපේ වැඩක් කරගනිමු.”

කුමාරිගේ නොමනාපය යළිත් වරක් ඇගේ මුවින් එළියට පැන්නාය. 

“කුමාරි ඔයා බයවෙන්න එපා. අපි කිමිදෙන්න දන්නෙත් නැහැ, ඒකට අවශ්‍යය විශේෂ උපකරණත් අපිට ඇත්තෙත් නැහැ. අනික මේ නැවේ ඔය කියන පුරා වස්තුන් තිබුනොත් ඒවා අපේ රටට කොපමණ වැදගත් වෙනවාද? මේවා ඔය ගිලුණු නැව් වල කෑලි ගලවලා විකුණන අයගේ අතට පත්වෙලා විශාල අපරාධයක් වෙන්න පුලුවනි.”

නාරද පුටුවෙන් නැගී සිටිමින් කීවේය. 

                                       


සැන්දෑ හිරු අවරට යන්නට ආසන්න වෙමින් ඇත. ප්‍රධාන පාරක් නොවුවත් කොළඹ රැකියාවලට ගොස් බස්රථවල තෙරපී හෙම්බත්ව ලහිලහියේ නිවෙස් වලට දිවයන මිනිස් පොදිය සවස් වෙද්දී ටික ටික අඩුවෙමින් පැවතිණි. දවස පුරා වෙහෙසීමෙන් ගතේවූ තෙහෙට්ටුවත් මෙන්ම බස් රථවල තැම්බී දහඩියෙන් පෙගුණු ඔවුන්ට අවට කිසි දෙයක් ගැන සැළකිලිමත්වීමට කාළයක් නොවුවාසේය. කපිලගේ නිවසට යාර කිහිපයක් නුදුරෙන් නවතා තිබුනු කළු වීදුරු සහිත සුදු වෑන් රථයේ රියදුරුට අනෙක්පස අසුනේ හුන් මැදිවියට ආසන්න පෙනුමැති පුද්ගලයා ඉන් බැස අසළ කඩයක් වෙත පියනැගුවේ පාර දෙස සුපරික්ෂාකාරී වෙමින්ය. කඩයේ ඉදිරිපස තාප්පයට හේත්තුවී සිගරට්ටුවක් උරමින් සිටි හැඩිදැඬි පෙනුමැති තරුණයා කඩයට ආ පුද්ගලයා දෙස බලා යළි පාර දෙසට නෙත් යොමු කර ගත්තේය. ඔහු තම ඔරලෝසුව දෙස කිහිපවරක් බැලුවේ තමා හමුවීමට බලාපොරොත්තුවන්නා ප්‍රමාදැයි කියන්නාක් මෙන්ය. කපිල තම සුපුරුදු දිනචරියාව රංගගේ මරණින් පසු දින කිහිපයක් අතහැර නිවසතුළට වී කාලය ගෙවූ නමුත් එය ඔහුටම තිත්තවී තිබුනි. ඒ නිසාම රංගගේ මරණින් පසු ප්‍රථම වරට කපිල නිවසින් දොට්ට බැස්සේය.

 පාරට බට ඔහු තම සුපරික්ෂාකාරි දෑස් අවට පරිසරය දෙස කිහිපවරක් දියෑව්වේ තමාට මංජුගෙන් අනතුරක් සිදුවෙතැයි සිතට නිරන්තරව වඳදෙන්නාක් වූ බැවිනි. සෙමින් සෙමින් විමසිලිමත්ව පාරට අවතිර්ණ වූ ඔහු තම නිවස පසුකළ විටම තම ඇවිදීමේ වේගය වැඩි කළේය. කඩපිලටවී දෙවන සිගරට්ටුව පත්තුකරමින් හුන් තැනැත්තා එය වරක් උරා පාරට වීසිකරමින් පාර හරහා මාරුවීමට මෙන් කපිල ඉදිරියට ආවේය. සිගරට්ටුව වීසිකල සංඥාවෙන් සුදු වෑන් රියේ පැතිදොර විවර කරගෙන එළියට ආ තරුණයින් තිදෙනා ක්ෂණිකව කපිලව අල්ලාගත්තේ ඔහුට සිතන්නවත් ඉඩක් නොතබාය. කඩේ බඩු ගැනීමට ගොස් සිටි තැනැත්තාත් බඩු ගැනීම පසෙකලා හිනතුරේ රුවාගෙන තිබූ කුඩා ප්‍රමාණයේ රිවෝල්වරයක් රැගෙන පාරට පැන අනෙක් තිදෙනාට ආරක්ෂාව දුන්නේය. පණගන්වාගත් වෑන් රිය එන්ජිම සැරදමමින් පාර අවහිරකමින් නවත්වාලූයේ ඔවුනට නැග ගැනීමටය. කැපූ පණුවෙකු මෙන් මරුවිකල්ලෙන් දඟලමින් තරුණයින්ගෙන් මිදී පැනයාමට කපිල උත්සාහ කරන අතරතුරේදි ඔවුන් ඔහුව හාල් මුට්ටයක් ඔසවා වීසිකරන්නාක් මෙන් වෑන් රිය තුලට ඇද දැමීය. නිමේෂයකින් ටයර් කෑගස්සවමින් දූළිවලාවන් අවුස්සාලමින් සුදුපැහැති වෑන් රිය නොපෙනී ගියේය. තප්පර කිහිපයක් තුළ සිදුවූ මෙම ජවනිකාව දෙස කඩයේ මුදලාලි තෘෂ්නිම්භූතව ගල්ගැසී බලා සිටිනු විනා කළහැකි දෙයක් නොවුයේ සිතා ගැනීමටවත් කාලයක් ඉතිරිව නොතිබූ බැවිනි.    

කපිලව සුදුවෑන් එකකින් උස්සලා යන්න ප්‍රදේශය පුරා ලැව්ගින්නක් සේ ප්‍රචාරය වූයේ කපිලගේ අම්මා හඬමින් අතුරුගිරිය පොලීසියට පැමිණිල්ලක් කිරීමට දිව ගිය හෙයිනි. මාලඹේ අවන්හලකට වී යහළුවන් පිරිසක් සමඟින් මදුවිතෙන් සප්පායම් වෙමින් හුන් මංජුට එම ආරංචිය කණවැකුනේ  එය සිදුවී තවත් පැය එකාහමාරකට පමණ පසුවය. 

“මම ඕක වෙයි කියලා හිතුවා, ඡන්දේ දවස්වල මූ වැඩකලේ අර . . . . පක්සෙටනේ.”

ආරංචියෙන් ඔහුගේ සිත සැලුනත් තම සිතට නැගුනු බියමුසු පීඩනය පිතට නොපෙන්නා මඳක් කල්පනාකාරිව සිට කීවේය. 

“ඒකනම් ඇත්ත මංජු අයියා. අපේ ගෙවල් පැත්තේ හිටිය කැම්පස් ගිය කොල්ලෙක්, ඒකා ඒ පක්සේ යුනියන් කාරයෙක්ද කොහෙද. දැන් දවස් පහකට ඉස්සර වෙලා අන්න ඌවත් ඉස්සුවා.”

“ඔය දිනන්නේ නැති පක්සවලට සෙට් වෙන්නේ නැතිව අපිවාගේ දිනන පැත්තට සපෝට් එක දෙන්නයි තිබුනේ.”

“ඒක ඇත්ත මංජු අයියා. ඔය කපිලයා බැහැගෙනනේ ඒ පක්සෙට වැඩකළේ. දවසක් මාත් එක්කත් වලියට ආවා උන්ගේ පොස්ටර් වහලා අපේ ඒවා ඇලෙව්වා කියලාත්.” 

“කෝකටත් අපේ යාළුවෙක් හින්දා ඒකාගැන පොඩ්ඩක් හොයලා බලමු.”  

තවත් අරක්කු උගුරක් කටට හලාගන්නා ගමන් මංජු කීවේය. වෙනදා මෙන් බොහෝ රාත්‍රි වෙනතෙක්  අවන්හලේ මදුවිත පුරමින් කල් ගතනොකළ ඔහු ඉක්මනින් එතැනින් ඉවත්ව ගියේ කපිලගේ ඉස්සීම පිළිබදව දැඬි සැකයක් හිතේ ආරෝපණය වූ බැවිනි. 

අතුරුගිරිය පොලීසියේ ඇන්ට්‍රියක් වැටෙන්නේ කපිල සුරේන්ද්‍රව නාදුනන පිරිසක් විසින් පැහැරගෙන යාමක් ලෙසින්ය. එහෙත් ඒ පිළිබඳව සොයාබැලීමටවත් කිසිඳු පොලීස් කණ්ඩායමක් කපිලගේ නිවෙස පිහිටි ඉසව්වටවත් නොගියේ ඉහළින් ආ නියෝගයක් බලපෑමෙන්ය. පොලීසියෙන් සොයා නොබැලු කාරණාවත් ආණ්ඩු විරෝධී දේශපාලන පක්ෂයට උදව් උපකාර කිරීම නිසා සිදුවුවක් ලෙස තහවුරුවීමට ඉන් හොඳටම ඉඩකඩ සැලසුනේය. මංජුගේ කටට ආ දෙයක් ලෙස හෙතෙම මුලින් ප්‍රකාශකළත් ප්‍රදේශවාසින්ගෙන්ද ඒ මතයම ප්‍රකාශ වූයෙන් ඔහුද එය ඇත්තක් ලෙසින් පසුව විශ්වාස කරන්නට පෙළඹිණි. 

                                     මතුසම්බන්ධයි.......

Monday, May 31, 2021

හෝරස්ගේ දරුවා - දහඅට වන දිගහැරුම Son of Horus - 18

 



  එස් අයි කරුණාපාල පැමිණ සිටියේ එස් එස් පි මනෝජ් වෙත වැදගත් ආරංචියක් රැගෙනය.

“සර් අතුරුගිරිය පොලිස් එරියා එකෙන් මර්ඩර් කේස් එකක් වාර්තාවෙනවා. ඒත් එක්කම තව පුද්ගලයෙක් අතුරුදහන්වෙලා කියලා පැමිණිල්ලකුත් ලැබිලා තියෙනවා.”

“එහෙනම් ඒ ගැන මට ඉක්මනටම සොයලා බලලා වාර්තාකරන්න. අපේ ටීම් එකක් එහෙට යවන්න. ඒ ගමන්ම ඒ පොලීසියෙන් විස්තරත් දැනගෙන එන්න.”

“හොඳමයි සර්.”  

 අතුරුගිරිය ප්‍රදේශයට ගිය එස් අයි කරුණාපාල ඇතුළු පොලීස් කණ්ඩායම රංගගේ නිවසට ගොස් පරික්ෂාකර එස් එස් පි මනෝජ් වෙත වාර්තා කළේය.

“කවුද මරලා තියෙන්නේ?”

“රංග නිශාන්ත කියලා හාදයෙක්. මිනිහා ෆොසස් ඉදලා ඇබ්සන්ට් වෙච්ච කෙනෙක්. මිනිහා බජාර්කාරයෙක් කියලා ඒ පැත්තේ මිනිස්සුනම් කියන්නේ. අපේ පොලිස් රෙකෝඩ්ස්වලට නම වැටුනේ නැතිවුනාට පහරදීම්, බිය වැද්දීම්, කප්පම් වගේ සුළු සුළු කේස් වලට පැටලිලා ඒවා ලීඩ්කරලා තියෙනවා.”

“මර්ඩර් එකට පස්සේද අනික් මිනිහා අතුරුදහන් වෙලා තියෙන්නේ?”

“නැහැ ඉස්සෙල්ලා.”

“කවුද ඔය මිසින් වෙච්ච පුද්ගලයා?”

“චුට්ටා කියලායි කියන්නේ සර්. ඒවුනාට මිනිහාගේ ඇත්ත නමින් කවුරුත් දන්නේ නැහැ. ගයාන් ප්‍රේමලාල් තමයි නියම නම. ඔය මැරුනු හාදයාගේ යාළුවෙක් තමයි අතුරුදහන් වෙච්ච චුට්ටා කියන හාදයා.”

“වෙනින් කල්ලියක පලිගැනීමකටද මේ මර්ඩර් එක කරලා තියෙන්නේ?”

“එහෙම වෙන්නත් පුලුවන්. ඒත් මේක හොරකමකට ඇවිල්ලා කරපු එකක් වගේ පේන්නේ.”

“එහෙම හොරකමක් කරපු බවක් පේනවාද?”

“වත්තේ කෙසෙල් පඳුරු ගොන්නේ කිහිපදෙනෙක් හැංගිලා ගොඩාක් වෙලා ඉදලා ඔත්තු බලලා තියෙනවා. තැලිච්ච කෙසෙල් කොළයි බිපූ සිගරට් කොටවලින් එතැන හිටිය බව දැනගන්න පුලුවනි. ඒවාගේම ගෙදර බඩු මුට්ටු ඇදලා දාලා තියෙනවා. අපිට පේන විදිහට හොරකමකට ඇවිල්ලා කරපු එකක් වාගේ පෙන්නුවාට ගෙදර වටිනා බඩු එකක්වත් අරගෙන ගිහිල්ලා නැහැ. වෙන මොකක් හරි ගෙදර තියෙන්න ඇති. සමහර විට ඒවා ගෙනියන්න මංකොල්ලෙකට ඇවිල්ලා මේ මර්ඩර් එක කළාද දන්නේ නැහැ.”

“එහෙමනම් ඒ විදිහට හොයන්න තරම් ඒ ගෙදර මොනවා හරි වටිනා දෙයක් තිබිලා තියෙනවාද?”

“නැහැ සර්, මම ගෙදර අයගෙන් කටඋත්තර ගත්තා. එයාලා කියන්නේ ගෙදර විශේෂ වටිනා යමක් තිබ්බේ නැහැ කියලයි.”

“එහෙමනම් ඔය මැරුණු කෙනා ගාව ආයුධ තිබුනාද දන්නේ නැහැ. ඒවා ගන්න ඇවිල්ලා මැරුවා වෙන්නත් පුලුවන්. කෝකටත් මිනිහාගේ යාළුවෝ ගැන හොයලා බලන්න. ඇඟිලි සලකුණු අංශයෙන් ඇවිල්ලා ප්‍රින්ට් එහෙම කොපි කරගන්න ඇතිනේද?”

“ඔව් සර්. ඒත් මට පේන්නේ මර්ඩර් කේස් එකයි මිසින් වෙච්ච කේස් එකයි අතරේ සම්බන්ධයක් තියෙනවා වාගේ.” 

“කෝකටත් අපේ ඔත්තුකාරයෝ මළගෙදර පැත්තේ යවන්න.”

“හොඳමයි සර්.”

      එස් අයි කරුණාපාල ආචාරකර පිටත්වී ගියායින් පසු මනෝජ් මහාචාර්ය නාරද බණ්ඩාරට දුරකථන ඇමතුමක් ගත්තේය.

“ගුඩ් ආෆ්ටනුන් ප්‍රොපෙසර්, මම එස් එස් පි මනෝජ්.”

“ගුඩ් ආෆ්ටනුන් මිස්ටර් මනෝජ්.”

“කොහොමද ප්‍රොපෙසර් ඔය පැත්තේ අලුත් විස්තර එහෙම?” 

“මටත් ඔය ප්‍රශ්නේම අහන්න වෙන්නේ ඔබතුමාගෙන්ම තමයි. මම හැම තිස්සේම අපේ පැත්තෙ කෙරෙන ඉන්වෙස්ටිගේෂන් වල ප්‍රෝගෙස් එක මිස්ටර් මනෝජ් දන්වනවානේ. දැනට නම් කියන්න තරම් අලුත් විස්තර නැහැ. අපි ඔය බඳුන සොයාගත්තායි අනුමාන කරන පුද්ගලයාව හොයන ගමන් ඉන්නේ. තවම කියන්න තරම් හොඳ ආරංචියක් ලැබුනේ නැහැ.”

“අපි සැකකාරයෝ කියලා මංකොල්ලකාරයෝ කිහිපදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒත් උන්ව රිලීස් කරන්නවුණා. උන් නෙමෙයි මේක කරලා තියෙන්නේ. අපේ ඔත්තුකාරයෝ බත්තරමුල්ල අතුරුගිරිය, කඩුවෙල ඒරියා එකේ දාලා ඉන්නේ. හෙට අනිද්දා වෙනකොට තොරතුරක් දැනගන්න පුලුවන්වෙයි.”

මිස්ටර් මනෝජ් මට කතාකළේ ඉන්වෙස්ටිගේෂන්ස්වල ප්‍රෝගෙස් අහන්න නෙමෙයි නේද?”

“හරියට හරි, ප්‍රොපෙසර්ට තේරුනා. මං කතාකලේ වැදගත් වැඩකට. අපේ පොලිස්පතිතුමා එක්ක සාකච්ඡාවක් තිබුනා එතැනදී පොලිස්පතිතුමා ඉල්ලුවා ඔබතුමාගෙන් මේ බඳුන ගැන වාර්තාවක් අවශ්‍යයි කියලා.”

“ඉතිං මම එදා වාර්තාවක් දුන්නේ. ඇයි ඒක මදිද?”

“මදිනේන්නම්. එකේ මේ බඳුන ගැන වැඩි විස්තර දීලා තිබුනේ නැහැ. අනික ඒකෙ කොහෙවත් ඔයා කියලා නැහැ මේ බඳුන ඊජිප්තුවේ පාරාවෝ සොහොනක තිබුනු බඳුනක් බව. අපිට අවශ්‍ය වන්නේ මේ බඳුන ගැන මීට වඩා විශේෂ පුළුල් විස්තරයක්.”

“මොකටද ඒක?”

“මේ වාර්තාව අපිට දෙන්න වෙනවා ආරක්ෂක ලේකම්තුමාටයි, ඇමතිතුමාටයි. ඒවාගේම ජාතික හෙළ උරුමයන් පිලිබඳ අමාත්‍යංශයේ ලේකම්තුමාටයි  ඇමතිතුමාටයි. එයාලා දැනුවත් නොකර මේ කිසිම වැඩක් කරන්න බැහැ. ඒ නිසා අපිට ඉක්මනටම වාර්තාව අවශ්‍යය වෙනවා.”

“හොඳයි මට ටිකක් කල්දෙන්න. මම ඒ වාර්තාව සකස්කරලා කතාකරන්නම්.”

  එම දුරකථන ඇමතුමෙන් පසු නාරද පියරත්න මහත්තයා ඇමතුවේ ඔහුගෙන් වැඩි විස්තර දැනගැනීමටය.

“නාරද මහත්තයාට තවත් විස්තර එකතුකරගෙනම කතාකරන්නයි හිටියේ. දැන් කමක් නැහැ ඔබතුමා මට කතා කළානේ.”

“ඇයි මිස්ටර් පියරත්න අපි හොයන මනුස්සයා හම්බවුනාද?”

“නැහැ. අපිට අනුමාන කල පුද්ගලයා ගැන විස්තර හම්බවුණා.”

“කොහෙද ඉන්නේ? ගියේ නැද්ද මිනිහාව මුණගැහෙන්න?”

“මම අලුතින් පිහිටවපු කිමිඳුම්කරුවන්ගේ සමූපකාර සමිතියට ගිහිල්ලා විපරම් කෙරුවා. ඔය උපනන්ද මහත්තයාට එතැන දෙන්නෙක් විතර මාළු දීලා තියෙනවා. හැබැයි ඒ දෙන්නා මේ බඳුනක් හමුවෙච්ච කතාවක් දන්නේ නැහැ. ඊට පස්සේ මම ඇහැව්වා උපනන්දට මාළු සප්ලයි කරපු තව අය ඉන්නවාද කියලා?”

“ඉතිං ඒ අය මොනවාද කිව්වේ?”

“ඒ අය දන්නේ නැතෙයි කිව්වා.”

“එහෙම නම් මැරිච්ච කෙනෙක් ගැන ඇහැව්වේ නැද්ද?”

“ඊට පස්සේ මම ඒ හොඩුවාව ඔස්සේ හොයලා බැලුවා. එතකොට තමයි කිව්වේ ඉදලා හිටලා කිමිඳුම් කරපු කෙනෙක් මැරුණා නෙවෙයි මැරුවා කියලා. හැබැයි ඒ මැරුණු කෙනා උපනන්දගේ බිස්නස් එක පටන්ගන්න කාලේ මාළු සප්ලයි කරපු බවත් පස්සේ කාලේක මාළු සප්ලයි කළාද කියලා දන්නේ නැතෙයි කිව්වා. පස්සේ බැලින්නම් ඒ මම හොඳීන්ම දන්න අඳුනන කෙනෙක්නේ. මම එයාගේ මළගමටත් ගියා. බලන්නකෝ ඔය මනුස්සයාව මට ඉස්සරින් මතක්වුණේ නැති එකනේ ප්‍රශ්නේ.”

“එහෙනම් කුමාරිගේ අනුමානේ හරි. පියරත්න මහත්තයා ඒ ගෙදරට ගිහිල්ලා හොයලා බැලුවාද?”

“ගෙවල් පැත්තේ යන්න බැරිවුනා. මම ඊයේ තමයි මේ විස්තර හොයාගත්තේ. ඒවුනාට ඒ ගෙදර උදවිය දැන් ඒ ගෙදර නැති බවයි ආරංචිය.”

“එහෙනම් මිස්ටර් පියරත්න ඒ මනුස්සයාගේ ගෙවල් පැත්තේ ගිහිල්ලා ඒ උදවිය ඉන්න පැත්තක විස්තර හොයාගෙන එන්න. මට මේ මැරිච්ච කෙනාගේ විස්තර අවශ්‍ය වෙනවා. පොලිස්පතිතුමා මේ බඳුන ගැන වැඩි විස්තර ලියලා වාර්තාවක් ඉල්ලනවා. පොලිස් දෙපාර්තුමෙන්තුවෙන් ආරක්ෂක අමාත්‍යංශයට වාර්තාවක් සපයන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඔය විස්තරත් ඒකටම දෙන්න ඇහැකියිනේ.” 

“හොඳයි මම අදම ඒ පැත්තේ ගිහිල්ලා බලන්නම්.”



සුවිශාල කොස් ගසේ පහළ අත්තක බැඳ තිබූ හැලජන් ලාම්පුවෙන් නික්මුනු එළියෙන් ගෙවත්තේ පදාසයක් ඒකාලෝක කරවීය. නිවසට පසෙකින් ඉදිකර ඇති තාවකාලික ටකරන් මඩුවේ ප්ලාස්ටික් පුටුවල වාඩිගත් තරුණ මහලු පිරිසේ එකා දෙන්නා විවිධවූ මාතෘකාවන් කතාබස් කරමින් උන්හ. ඒ සැම කතාවක්ම ආරම්භවූයේ රංගගේ මරණය ගැන ඔවුනොවුනගේ අදහස් ප්‍රකාශකර ගැනීමෙනි. නිවසේ පිටුපසටවන්නට බිත්තියේ එල්ලා ඇති ටියුබ් ලයිට් එළියේ ආලෝකය මඳ කමින් හාත්පස සිසාරා පැතිරි තිබුනු අඬ අඳුරේ වාසිය ගත් තරුණ පිරිස ශෝකය දුරුකරනුවස් මත්පැන් පානය සඳහා ලකලැස්ති වෙමින් සිටියෝය.

“රංග නිශාන්ත තරුණ මහතාට නිවන් සුව අත්වේවා” “ මෙයට ශෝකයටපත් ප්‍රදේශවාසි තරුණ කැල” 

යැයි ඩිජිටල් තාක්ෂණයෙන් මුද්‍රණය කරන ලද රංගගේ රුව රැගත් විශාල ප්‍රමාණයේ බැනරයක් නිවස ඉදිරිපිට පාරේ සවිකිරීමට කොල්ලන් මෙහෙයවූයේ මංජුය. ඔහු රංගගේ මළගමේ විශාල කාර්යයභාරයක් කරට ගෙන ක්‍රියාකරන්නට පටන්ගත්තේ නිරන්තරයෙන් තම යහළු මිත්‍රයන්ට රංගගේ ගුණ වර්ණනා කරමින්ය. රංග ඇසුරුකළ සමාජයේ විවිධ තලවල වෙසෙන තරුණ යහළුවන් එක්කාසු කරගත් ඔහු අවට සැරසිලි කිරීම මෙන්ම කනත්තේ වල කැපීමද සිඳුකළේ තම අධීක්ෂණය යටතේය.



 කැරම් හා ඕමි සෙල්ලම්කරමින් සිටි කොල්ලන් අතරටද පිටුපස අරක්කු තිප්පොලටද ගොස් ඒවායේ කටයුතුද සොයාබලා අවශ්‍ය අඩුපාඩු පුරවාලන්නටද ඔහු වෙහෙසුනේ කාටවත් සැක නොසිතෙන පරිද්දෙනි. රාත්‍රිය මෝරා එන විට කාන්තාවන් හා මහල්ලන් එකා දෙන්නා අඩුවෙද්දි මංජුගේ සමවයස් තරුණයින් එකා දෙන්නා මළගෙදරට එක්වූයේ පහන් සිලට ඇදෙන මෙරුන් මෙනි. නිවසින් පිටත පාරේ අඳුරු මුල්ලක් අල්ලා ගත් තවත් තරුණයන් කිහිපදෙනෙක් සිගරට් උරන අතරම ගංජා සුරුට්ටුවක්ද අතින් අත හුවමාරු කරගත්හ. මෙසේ රංගගේ නිවසේ රැඳී හුන් යහළුමිත්‍රයින් අතර තම උකුසු ඇස් වලින් සියලු දේ නිරීක්ෂණය කරන්නන් මේ සියලු කතාබස් උහකා ගනිමින්ද පසුවුනි.

මේ අතර චුට්ටාගේ අතුරුදහන් වීම කිහිපදෙනෙක්ගේ සාකච්ඡාවට බදුන් වීමද සිදුවුනි. මංජු මෙසේ කටයුතු කරගෙන යද්දී කපිල මේ මළගමට සහභාගි නොවීය. මංජු අතින් රංග මැරුම්කෑ දින සිට කපිල නිවසින් එළියට බැස්සේද නැත. මංජු කොතෙක් උත්සාහකළත් ඔහුට කපිලව හමුවීමටද නොහැකිවුනි. තමා නිවසේ නොමැති බව සොයා එන මිතුරන්ට කියන ලෙස නිවැසියන්ට දන්වමින් හෙතෙම නිවසේම සැඟවුනේය. එසේම රංගගේ මරණය සිඳු කරන්නට ඇත්තේ මංජු හෝ චුට්ටා බව සැක කෙරු සුදු මහත්තයා මීළඟ ඉලක්කය වන්නේ තමන් බව ඔහුට ඉවෙන් මෙන් වැටහුනි. වැඩිය මළගෙදර නොරැදී අවශ්‍යය වේලාවන් වලට පමණක් පැමිණ ගිය අතර ඔහු රංගගේ භූමිදානයෙන් පසුව බදුල්ලේ නැන්දා කෙනෙකුගේ ගෙදර යන බව පවසා ප්‍රදේශයෙන් පලාගියේය. 

     එස් අයි කරුණාපාල ඔත්තුකරුවන්ගෙන් මළගෙදර සියලු තොරතුරු එක්රැස් කරගත් පසු එස් එස් පි මනෝජ් වෙත සිය වාර්තාව ඉදිරිපත් කළේය. රංග මංජු චුට්ටා කපිල හා සුදුමහත්තයා එක්ව සැදුනු කල්ලියේ විස්තර ඔවුන්ට එළිදරව් වුනත් ස්ටැන්ලි වික්‍රමපාල ඝාතනය මොවුන් කළ බවක් හෙළිවූයේ නැත. ඇතුලත බල අරගලයක් සඳහා මේ ඝාතනය කරන්න ඇතැයි සිතුව එස් එස් පි මනෝජ් මළගෙදරට නොආ කපිලව හා රංගගේ ගුණ කියමින් හැසුරුනු මංජුව සැක කළේය.

“කරුණාපාල මට මුන්ගේ ගැන් එක ගැන පොඩි සැකයක් තියෙනවා.”

“ඒ මොකක්ද සර්?”

“මුන් මේ අලුතින් ෆෝම් වෙච්චි කොල්ලෝ ටිකක්. ස්ටැන්ලි වික්‍රමපාලගේ මර්ඩර් කේස් එක මේවාගේ  අලුත් සෙට් එකක වැඩක් තමයි.” 

“එහෙනම් සර්, අතුරුගිරිය පොලීසියට මැසේජ් එකක් යවලා කපිලව ඇරෙස්ට් කරමුද? මිනිහාට දෙක වදිනකොට කියයි රංගව මැරුවේ ඇයි කියලා.”

“එපා. ඒ වැඩේ අපේ කොට්ඨාසයෙන් කෙරෙන්න ඕනේ. සමහරවිට මුන්ට දේශපාලන හයියක් තිබ්බොත් අපේ මහන්සිය අපරාදේ යනවා. ඒ නිසා කල් නොයවා කපිලව මෙහෙට අරගෙන එන්න වැඩ පිළිවෙළක් යොදන්න.”

“හොඳයි සර්.”


පියරත්න ඉස්කෝලේ මහත්තයා මිනුවන්ගොඩ පියසෝමගේ නිවස සොයා පිටත්ව ගියේ පියසෝමගේ පවුල ගැන යම් තොරතුරක් දැන ගැනීමටය. එහි දැනට පදිංචිව සිටින යුවලගෙන් නිමාලි රැකියාව කරන හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයේ ලිපිනය ලබාගන්නට හැකිවිය. තවත් කල් නොදමා ආපයින්ම හික්කඩුව බලා පිටත්වීමට බස් රථයකට පියරත්න ගොඩවිය. බස් නැවතුම්පලේ සිට සංචාරක හෝටලයට පයින්ම ආ ඔහුට ඒ වන විටත් මද්දහනේ දැඬි හිරු රැසින් පීඩා විදින්නට සිදුවුනි. නළලින් රූරා හැලෙන දහඩිය ලේන්සුවෙන් පිස දමමින් හෝටලයට ගොඩවූ ඔහුට ඉදිරිපස පිලිගැනීමේ කවුන්ටරයේ සුරූපීනියන් දෙදෙනාගෙන් නිමාලිව එකවරම හඳුනාගත නොහැකිවූවත් නිමාලි පියරත්න මහතාව දැක සුපුරුදු ලෙන්ගතු සිනහව පා අසුනින් නැගී සිටියාය.



“පියරත්න සර් කාලෙකට පස්සේ දැක්කේ. උත්සවයකට ආපූ ගමනක් වෙන්න නම් බැහැ.”

“උත්සව වලට මේ විදිහට එනවාද දරුවෝ? මම මේ ළමයාව හමුවෙන්නමයි ආවේ.”

“ඇයි සර් මොකක් හරි ප්‍රශ්නයක්ද?”

“ඇය විමතියටපත්ව ඇසුවාය.”

“ඔය දරුවා කලබල වෙන්න එපා. මේක මේ පොඩි විස්තරයක් දැන ගන්නයි. ඔය ළමයාට පුලුවනිද කතාකරන්න? නැත්නම් පුලුවන් වේලාවක් කියන්න, මම එන්නම් ඔය දරුවාව හම්බවෙන්න.”  

“මෙච්චර දුරක් ඇවිදින් සර්ව ආපහු යවන්න පුලුවනිද? සර් අර ලොබියට ගිහිල්ලා සැටියක වාඩිවෙලා ඉන්න. මම ඉක්මනටම එන්නම්.”

නිමාලි පියරත්න මහතාව ලොබියට පිටත්කර හැරියාය. දුරකථන ඇමතුමක් මගින් කළමණාකරුගෙන් අවසරය ගෙන තම සහායිකාවට කවුන්ටරය පවරා ඉක්මන් ගමනින් ලොබිය වෙත ගමන්ගත්තාය. යුහුසුළුව තමන් වෙත කඩිසර ගමනින් එනු දුටු ඔහු ඇගේ සිතේ අතිවූ කැලඹිල්ල දුරුකරනු වස් ළෙන්ගතු සිනාවකින් සංග්‍රහ කළේය.

“කියන්න සර් මොකක්ද ප්‍රශ්නේ?”

“මට ඔය දරුවාව එක පාරටම ඇදින ගන්නත් බැරිවුනා නොවැ. දැන් ගොඩක් වෙනස් වෙලානේ. කෝ නංගි දැන් විභාගේ ගත්තාද?”

“ඔව් සර් රිසල්ට් එනකං ගෙදරට වෙලා ඉන්නවා.”

“දැන් මේ ළඟමද පදිංචි වෙලා ඉන්නේ?”

“ළඟමත් නැහැ සර්. ටිකක් පයින් යන්න ඕනේ. ඉතිං සර් කිව්වේ නැහැනේ ආපු විස්තරේ?”

“ඔය දරුවාගේ තාත්තා උපනන්ද මහත්තයාට මාළු අල්ලලා දුන්නාද?”

“ඔව් සර්. කිමිඳෙන එක එයා හරිම ආසාවෙන් කරපු දෙයක්නේ.”

“ඒ කියන්නේ එයා නැතිවෙනකම්ම මේ වැඩේ කළාද?”

“ඔව් සර්.”

“උපන්නද මහත්තයාට අර බඳුන දුන්නේ තාත්තාද?”

“නැහැ ඒක දුන්නේ මමයි.” 

“මම හිතුවා හරි. එහෙනම් මේ බඳුන හොයාගෙන තියෙන්නේ පියසෝම වෙන්න ඕනේ.”

“ඔව් තාත්තා කිමිඳුම් කරද්දි තමයි ඔය කියන බඳුන හම්බවෙලා තියෙන්නේ.”

“ඔයා දන්නවාද කොහොමද ලැබුනේ කියලා?”

“ඕක ගිලුණු පරණ නැවක් ළග තිබිලා තියෙන්නේ. ඔය කෙහෙල්මල් බඳුන හින්දා තමයි අපිට තාත්තාවත් නැතිවුනේ.”

නිමාලි බඳුන ලබාගත් අය මැරුණු විත්තියක් දන්නේ කෙසේදැයි ඇගේ එම කතාවෙන් පියරත්න මහතා විමතියට පත්වූයේය.

”තාත්තා රත්තරන් ගෙනාපු නැවක් මුදේ ගිලිලා තියෙනවා කියලා අහලා තිබුනා. එයාට දැක ගන්න ලැබුනු ගිලුණු නැවේ ඔය කියන රත්තරන් තියෙන්න ඇතිය කියලා විශ්වාස කළා. ඒවා හොයන්න යන වැඩ වලට අම්මා අකමැති වුණත් මමයි උදව්කළේ. තාත්තා ඒ වැඩ වලට නිතරම මූදේ කිමිඳුම් කරන්න ගිහිල්ලා රස්සාව නැතිකරගත්තා. ඊට පස්සේ වෙච්ච දේවල් සර්ට කියන්න අවශ්‍ය නැහැනේ, සර් දන්නවානේ.”

ඇය බිඳුනු හඬින් පියරත්න මහතාට කියද්දි දෙකපුල් අතරින් කඳුළු වැලක් රූරා හැලෙන්නට විය. 

“මට මතකයි පියසෝම දවසක් මගේ ගෙදරට ඇවිල්ලා ගාල්ල පැත්තේ ගිලුණු නැව් ගැන ඇහැව්වා.”

“ඔව් සර්ව ගිහින් මුණගැහෙන්න කීවෙත් මම තමයි.” 

ඇය ලේන්සුවෙන් කඳුළු පිසදමන ගමන් කීවාය. 

“නිමාලි ළමයා දන්නවාද තාත්තාට ඔය බඳුන ලැබිච්ච ගිලුණු නැව තියෙන තැන?”

“නැහැ සර්. තාත්තා මට කිව්වා එදා එයා කවදාවත් කිමිඳුනේ නැති හරියකට කිමිදෙන්න ගියා, එතැනදි තමයි මේ ගිලුණු නැව දැකලා තියෙන්නේ. මේක තියෙන්න ඇත්තේ රූමස්සල හරියේ වෙන්න පුලුවන්. ඇයි සර් මෙච්චර මේ බඳුන ගැන අහන්නේ?”

“ඔයා දන්නවාද ඔයා මේ බඳුන දුන්න උපනන්ද මහත්තයා මැරුණු විත්තිය.”

“ඔව්. ඒත් මේ විත්තියක් දැනගන්නකොට එයාගේ හත්දවසේ බණත් පහුවෙලා. අපිට තාත්තා නැතිවෙච්ච වෙලාවේ දෙවිකෙනෙක් වාගේ ඇවිල්ලා පිහිටවුණා. හිඟාකන්න වෙන තත්වයකට පත්වෙලා හිටිය අපේ පවුලට ගොඩ එන්න මාව මේ රස්සාවට දාලා උදව්උපකාර කළා. එයා නැත්නම් අපි මැරිලා ගොඩාක් කල් සර්.”

“මම ඒ විත්තියක් දන්නේ නැහැ.”

“සර් තාම මට කිව්වේ නැහැනේ ඇයි මේ විස්තර හොයන්නේ කියලා.”

“මේ බඳුන පුරා විද්‍යාත්මක වශයෙන් විශාල වටිනාකමක් තියෙනවා. අනික මට දැන් හිතෙන්නේ එදා ඔය දරුවා නොදැනුවත්ව හරි මේක උපනන්දට දුන්නු එකෙන් ඔය දරුවාත් පවුලේ අයත් බේරුනා කියලා.”

“ඒ කියන්නේ සර්? මට මේ මොකවත් තේරෙන්නේ නැහැ.”

“කමක් නැහැ, මේ වැඩි විස්තර කියලා ඔය දරුවාගේ ඔලුව අවුල් කරන්න අවශ්‍ය නැහැ. මම මේ ඇහැව්ව විස්තර කාටවත් කියන්න එපා. මම එහෙනම් ගිහිල්ලා එන්නම්.”

ඔහු සැටියෙන් නැගී සිටින ගමන් පැවසීය.

“ඉන්න සර්, සර් දවල්ට කාලත් නැතිව ඇති. අපි යමු රෙස්ටුරන්ට් එකට.”

“නැහැ නැහැ ළමයෝ අවශ්‍ය නැහැ.”

“යමු සර් ඇතුළට.”

ඈ පියරත්න මහත්තයාව හෝටලයේ භෝජනාගාරය වෙතට රැගෙන ගොස් දිවා ආහාරය ගැනීමට සැලැස්සුවාය. ගිලුණු නැව පිහිටා තිබෙන ඉසව්වක් මතකයට ආවොත් තමන්ට දැනුම් දෙන ලෙස ඉල්ලා තම දුරකථන අංකය ලබාදුන් ඔහු නිමාලිගෙන් සමුගෙන යළි ගාල්ලට පැමිණෙන විට බොහෝ සවස් වී තිබුනි. ඇගේ පතේ තෙහෙට්ටුව යන්නත් එක්කම හොඳින් නා කියාගත් හෙතෙම ඉස්තෝප්පුවේ වූ හාන්සිපුටුවේ වැතිර ගන්නේ බිරිඳ සාදා දුන් දුම් දමන තේ කෝප්පයක්ද රැගෙනය. පියරත්න මඳ වේලාවක් නිහඬව දෑස් පියාගෙන කල්පනා කරන්නට පටන් ගත්තේය. පියසෝම, උපනන්ද, ගුණසිරි, ස්ටැන්ලි මේ සියලු දෙනාම මියපරලොව ගොසින්ය. මෙහි යම් අභිරහසක් ඇතිබව ඔහුට වැටහුනි. දුරකථනයෙන් කතාබස් කරගන්නවාට වඩා නාරද හමු වී පුළුල් ලෙස සාකච්ඡාකර ගැනීම යහපත් බව ඉක්මණින් නාරදට ඇමතුමක් දුන් පියරත්න මහතා කීවේය. එය එකහෙලාම අනුමත කළ මහාචාර්ය නාරද බණ්ඩාර පියරත්න මහත්තයාට හෙටම දෙහිවලට එන ලෙස ආරාධනා කළේය.


මතුසම්බන්ධයි.......

Friday, May 28, 2021

හෝරස්ගේ දරුවා - දහහත් වන දිගහැරුම Son of Horus - 17

 


පොලීස් ජීප් රිය පසුදින නාරදගේ දෙහිවල වෛද්‍ය පාරේ නිවෙසට පැමිණියේ නියමිත වේලාවටය. පොලිස් නිලධාරින් දෙදනෙකු එම ජීප් රථයේ සිටියායින් නාරද තම මෝටර් රථයෙන් කුමාරිත් කැටුව මඩපාත බලා පිටත්විය. කවුරුත් හමුවිය නොහැකිය කී සුචිත්‍රාට තම නිවසේ දොරගුලු ඇරීමට සිදුවූයේ පොලීසියෙන් පැමිණීමත් සමඟය. නිවස තුළට වැඳ කාලය ගතකිරීමෙන්දෝ හේබාගිය පෙනුමක් ඇගේ තුරුණු රූසපුවෙන් දිස්වුනි. ජීවයෙන් තොර පාරජිත දෑස් වලින් අවට සිසාරා බැලූ ඈ කිසිවෙකුගේ නෙත් දෙස සෟජුව නොබලාම සැටියේ හිදගත්තාය. මුහුණ පහතට හරවාගෙන සුචිත්‍රා හිදි ඉරියව්වෙන් සිටිද්දී පොලිස් කොස්තාපල්වරයා නිහඬතාවය බින්දේය.

“අපිට මැඩම්ගෙන් කට උත්තරයක් ගන්න තියෙනවා.”

“ඇයි ඉන්ස්පෙක්ටර් මම ඔක්කෝම ස්ටෙට්මන්ට් මීට ඉස්සර දීලා තියෙනවානේ.”

සුචිත්‍රා නොකැමැත්තෙන් මෙන් කීවාය.

“අපි ආවේ මැඩම්ගේ හස්බන්ඩ්ට වෙච්ච ඇක්සිඩන්ට් එක ගැන ඉන්වෙස්ටිගේෂන් එකකට නෙමෙයි.”

“එහෙනම් මොකකටද?”

සුචිත්‍රා කෝපයෙන් මෙන් හිස ගස්සා අහක බලාගෙන ඇසීය.

“මිස්ටර් උපනන්දගේ ගාව තිබුනු ඇන්ටික් බඩුවක් ගැන දැනගන්න.”

පොලිස් කොස්තාපල් වරයාට ප්‍රථම නාරද ඈගෙන් විමසුවේය.

“එයා ළඟ ඇන්ටික් බඩු ගොඩාක් තිබුනා.”

“ඕ නාරද දෙසවත් නොබලා බිමට නැඹුරුකරගත් හිසින් යුතුව පිලිතුරු දුන්නාය.”

“ඒවාට මොකද කළේ?”

“ගෙදර විකුණන්න ඉස්සර ඇන්ටික් බඩු විකුණන සාප්පුවකට දුන්නා.”

“හික්කඩුවේ ගුණසිරි ඇන්ටික් සාප්පුවට.”

ඈ එකවරම හිස ඔසවා නාරද දෙස බැලුවේ විශ්මයට පත්වූ විලසය.

“ඔයාලා හැමදේම දැනගෙනද මගෙන් ප්‍රශ්න කරන්නේ?”

ප්‍රශ්න කිරීම් වලට තමාගේ නොකැමැත්ත ඇගේ මුවින් පිටවන්නට විය.

“මට මේ වෙච්ච දේවල් අමතක කරලා ජීවත්වෙන්න හදනවා. ඔයාලා ඇවිත් ආයේමත් ඒවා මතක් කරලා මගේ හිතට වද දෙන්නේ ඇයි?”

සුචිත්‍රා හඬන්නට මෙන් දෑසට කඳුළු පුරවාගෙන බිදුනු හඬින් ඇසීය.

“මිසිස් සුචිත්‍රා අපි ඔයාව ප්‍රශ්න කරලා මඩවන්න හදනවා නොවෙයි. අපිට අවශ්‍ය තොරතුරක් ලබාගන්නයි හදන්නේ. ඔයා අපිව හමුවෙන්න බැහැ කිව්ව නිසා තමයි අපිට පොලීසියේ පිහිට පතන්න වුනේ. අන්තර්ජාතිකව වටිනා වස්තුවක් ගැනයි අපි මේ හොයන්නේ.”

නාරද ඇයට පැහැදිලිකරද්දී මෙහෙකාරිය ඔවුන්ට තේ රැගෙන ආවාය. තේ පානය කිරීමට කාලයක් ගතවූවායින් මෙතෙක් ඇතිවෙමින් පැවති අප්‍රසන්න වාතාවරණය මඟහැරි ගියේය. අඬක් බී අහවරකළ තේ කෝප්පය පසෙක තැබූ නාරද සටහන් පොත රැගෙන යළි ලිවීමට කුමාරි සැරසෙන තෙක් මඳක් කල් ගත්තේය. 

“මට දැනගන්න පුළුවන්ද ඒ විකුණපු බඩු අතරේ විශේෂ හැඩයේ බඳුනක් වගේ එකක් තිබුනාද?”

“ඒ ගොඩේ බඳුන් කිහිපයක් තිබුනා. විශේෂ හැඩයේ එකක් තිබුනා වාගේ නම් මතකයි.” 

“මෙන්න මේකද?”

නාරද ෆයිල් කවරය තුලින් බඳුනේ ඡයාරුපයක් රැගෙන පෙන්වීය.

“ඔව් මේක තමයි. ඇයි මේක ගැන අහන්නේ?”

“ඒ ගැන පස්සේ කියන්නම්. ඔයාට කියන්න පුළුවන්ද මේක උපනන්දට ලැබුනේ කොහෙන්ද කියලා?” 

“මට මතක විදිහට උපනන්ද මැරෙන්න ඉස්සර මාසෙකට කලින් විතර අරගෙන ආවේ. එයා මේක දිහා බල බලා ඔය බඳේ කොටලා තියෙන අකුරු කියවන්නත් හැදුවා වාගේ මතකයි.” 

“එයා කිව්වාද මේක මුහුදෙන් අරගත්තු එකක් විත්තිය?”

“ඔව් එහෙම කතාවක් කිව්වා තමයි.”

“එතකොට මේක එයාට හමුවෙලා තියෙන්නේ කොහෙන්ද?”

“මට දුන්න කෙනාගේ නම මතක නැහැ. හැබැයි එයා උපේට මාළු අල්ලලා දුන්නු කෙනෙක් වෙන්න ඕනේ.”

“ඔය පුද්ගලයා කොහෙද ඉන්නේ?”

“මම දන්නේ නැහැ. අනික ඕවා මතක තියාගන්න තරම් වැදගත් කමක් තිබුනේ නැහැ.”

“කොහොම හරි අපිට මේ පුද්ගලයා හොයාගන්න වෙනවා. මිසිස් සුචිත්‍රා ඔයා දන්න කවුරු හරි ඉන්නවාද මේ පුද්ගලයාව දන්න කියන?”

“උපේ ළඟ වැඩකරපු නන්දන දන්නවා ඇති එයාව.”

සුචිත්‍රාගෙන් නන්දනගේ ලිපිනය ඉල්ලූමුත් ඈ එය නොදන්නා බව කීවාය. සුචිත්‍රාගෙන් ප්‍රශ්නකිරීම් වලින් සෑහිමකට පත්වූ නාරද බණ්ඩාර ඇයට ස්තුති කර එතැනින් පිටව ගියේ දුරකථන ඇමතුමක්දී එස් එස් පි මනෝජ්ටද තුතිකරමින්ය.


      නිවෙස බලා ගිය පසුව සවස් වරුවේ නාරද කුමාරි තබන ලද සටහන් පරීක්ෂා කරන්නට පටන්ගත්තේය. දුම් දමන තේ කෝප්පයක් රැගෙන නාරද වෙත ආ කුමාරි එය ඔහුට පිලිගන්වා මේසයේ අනෙක් පස පුටුවේ හිදගත්තේය.

“මේ බලන්න කුමාරි මේ බඳුන සොයාගත්තු එක්කෙනා ලඟටම අපි ඇවිල්ලා ඉන්නේ. අපිට මෙයාව ඉක්මණටම හොයාගන්න පුළුවන්වෙයි.”

“ඒත් නාරද නන්දන ඔය කියන මාළු අල්ලන එක්කෙනාව දන්නේ නැතිනම්?” 

“එහෙම වෙන්නත් පුළුවන්. ඒත් මම හිතන්නේ නැහැ එයා නොදන්නවා කියලා. එයා දන්නේ නැතිවුනත් එයා මාළු අල්ලන කවුරු හරි දන්න කෙනෙක් ඇතිනේ අපි එයාගේ මාර්ගයෙන් ඔය කියන පුද්ගලයාව හොයාගමු.”

“ඔයාට ෂුවර්ද ඔය පුද්ගලයා හරියටම මුහුදු මාළු අල්ලන කෙනෙක්මද කියලා?”

ඈ සැක පහල කළාය.

“මටත් ඒකම හිතුනා. නමුත් උපනන්දගේ ව්‍යාපාරය අනුව නම් එයාට මුහුදු මාළු සප්ලයි කරපු කෙනෙක් වෙන්න පුළුවනි.”

“ඇයි ඔයා පියරත්න මහත්තයාට කතාකරන්නේ නැත්තේ? එයා දන්නවා ඇති නේද ගාල්ල පැත්තේ මුහුදු මාළු අල්ලන අයව?”

“එයාට කියන්න ඕනේ නන්දනව හොයන්න කියලා.” 

    නාරද පියරත්න මහත්තයාට දුරකථන ඇමතුමක් දීමට ගිය අතරවාරේ කුමාරි යලිත් තම සටහන් පොත කියවන්නට පටන්ගත්තාය. නාරද පියරත්න මහතාට සුචිත්‍රා හමුවීමට ගිය බවත් ඇගෙන් වැඩි යමක් දැනගැනීමට නොහැකිවූ බවත් පැවසීය. මෙම බඳුන උපනන්දට ලබාදුන් පුද්ගලයා පිලිබඳව ඈ නොදන්නා බවත් මත්ස්‍යාගාරයේ පාලක නන්දනගෙන් බොහෝවිට මෙම පුද්ගලයා ගැන දැනගැනීමට හැකියාවක් ඇතිබව ඇය ප්‍රකාශ කළබවත් ඔහුට කීවේය. නන්දන ගැන සොයා බලන ලෙස පියරත්න මහතාගෙන් ඉල්ලා, ඇමතුමෙන් පසු ඔහු යළි කුමාරි වෙත ආවේය.

“මේ බලන්න නාරද මේක.”

“ඇයි මොකක්ද ප්‍රශ්නේ?”

“ඔයාට තේරුනේ නැද්ද මෙතන විශේෂ දෙයක් වෙලා තියෙනවා කියලා.”

“නැහැ. ඒ මොකක්ද?”

“මේ බලන්න මේ බඳුන අරගත්ත අය හැමෝම මැරිලානේ.”

“ඇත්ත නේන්නම් මට ඒක කල්පනාවකට ආවේම නැහැ.”

“අනික මේ බඳුන අරගත්ත අය වැඩි දවසක් ජීවත්වෙලා නැහැ. මේ බලන්න මෙයාලා හැමෝටම ස්වභාවික මරණයක් නෙමෙයි සිද්ධවෙලා තියෙන්නේ.”

“කෝ බලන්න කුමාරි.”

“මෙන්න. දැනට අපි දන්න විදිහට මුල්ම එක්කෙනා උපනන්ද එයා මේක ලැබිලා මාසෙකට විතර පස්සේ පඩිපෙළෙන් වැටිලා මළා.  ඊලඟට ගුණසිරි මේක අරගත්තා. එයා අරගෙන සති ගානයි එයාව ලොරියකට යට වුනා. ඊටත් පස්සේ ස්ටැන්ලි එයා මේක අරගෙන දවස් කිහිපයයි එයාවත් හොරුවගයක් මැරුවා. දැන් තේරෙනවාද මේකේ විශේෂත්වයක් තියෙන බව?”

“එක්සලන්ට් කුමාරි එක්සලන්ට්. ඔයාවයි යවන්න තිබුනේ පොලීස් ඉන්වෙස්ටිගේෂන් ටීම් එකට.”

නාරදගේ මුහුනේ ජයග්‍රාහි සිනාවක් ඇදුනි. කුමාරි කොතරම් දක්ෂ දැයි ඔහුට මෙවරද ඔප්පුකර පෙන්වූවාය.

“එහෙනම් මේ ඔක්කෝම අය මැරිලා තියෙන්නේ හදිසි අනතුරකින්. කුමාරි ඔයා නියම හෝඩුවාවක් තමයි හොයාගත්තේ.”

“ඉතින් නාරද අපිට හොයලා බලන්න පුලුවන්වෙයි මේ බඳුන මුලින්ම හොයාගත්තු එක්කෙනාත් මේවාගේම හදිසි අනතුරකින් මැරිච්ච කෙනෙක්ද කියලා.”

“සමහරවිට එහෙම වෙන්නත් පුලුවන්. අපි බලමුකෝ පියරත්න මහත්තයා නන්දනව හොයාගත්තායින් පස්සේ.” 

පසුදින හවස්වන විට පියරත්නගෙන් නාරදට දුරකථන ඇමතුමක් ලැබුනේ ඔහුගේ නන්දන සෙවීමේ බලාපොරොත්තුව බොඳ කරවමින්ය. උපනන්දගේ ව්‍යාපාරය වසා දැමුවායින් පසු රැකියා විරහිතයින්ගේ ගොඩට වැටුනු නන්දන ආර්ථික ප්‍රශ්න වලින් හෙම්බත්ව සිටි බවත්, මිනුවන්ගොඩ බිංගෙය අසළදි දුම්රියට පැන ඔහු දිවිනසාගෙන ඇතිබවත් සැල කළේය. 

“එහෙමනම් උපනන්දට මාළු අල්ලලා දුන්නු අයගෙන්වත් මේ ගැන හොයලා බලන්නවෙයි.”

“මිස්ටර් පියරත්නට පුළුවන්ද උපනන්දට මාළු අල්ලලා දුන්නු අයව හොයාගන්න?” 

“හොඳයි මම උත්සාහ කරන්නම්. ඒත් හරියට නමක් ගමක් නැතිව ඉක්මණටම හොයන්න අමාරුවෙයි. මේක බොහොම කල්ගතවෙන වැඩක්.”

“කොහොම හරි එයාව හොයාගන්න ඕනේ. අපි කල්ගත්තා වැඩියි, තවත් කල්ගතකර කර ඉන්න වේලාවක් නැහැ. දැනටමත් හොරු මේක විනාශකරලාද දන්නේ නැහැ.”

“මේ ලඟදි මුහුදේ විසිතුරු මාළු අල්ලන කිමිඳුම් කරුවන් එකතුවෙලා සමුපාකාර සමිතියක් පිහිටුවාගෙන තියෙනවා. මම ඒ පැත්තේ ගිහිල්ලා බලන්නම්. ඒත් මේ නමේ ප්‍රශ්නේ තමයි.” 

“මට තේරෙනවා මිස්ටර් පියරත්න සමහරවිට මේ පුද්ගලයා ගාල්ල ප්‍රදේශයේ කෙනෙක් නොවෙන්නත් පුලුවන්.”

“ඒක තමයි මාත් හිතුවේ. නන්දන නැතිව අපිට මෙතනින් එහාට යන්න පුලුවන් කමක් නැහැ.”

“ආ තව ඩිංගෙන් මට අමතක වෙනවා. බලන්න මේ ළඟකදි මාළු අල්ලපු කෙනෙක් මැරුණාද කියලා.”

“මැරුනු කෙනෙක්?”

“ඔව් මැරුනු කෙනෙක්. සමහර විට මේ මැරුනු පුද්ගලයා අපි හොයන කෙනා වෙන්නත් පුලුවන්.”

“ඒ කොහොමද නාරද මහත්තයා එහෙම කියන්නේ?”

“මෙහෙමයි,  උපනන්දට මේක ලැබුනා එයා මැරුණා. ඊටපස්සේ ගුණසිරි අරගත්තා එයත් මැරුණා. ඊළගට ස්ටැන්ලි, ස්ටැන්ලි අරගත්තා එයාත් මැරුවා. එහෙමනම් මේ බඳුන ඉස්සරෝම ලැබිලා ඇත්තේ අපි හොයන පුද්ගලයාටනම් එයත් මැරිලා වෙන්න පුලුවන්.” 

“තර්කානුකුලව බැලුවොත් එහෙම වෙන්නත් පුලුවන්. ඒත් සමහර විට මේ පුද්ගලයා ජීවතුන් අතර ඉන්නත් පුලුවන් නේද?”

“ඔයා කියන දේත් වෙන්න පුලුවන් මිස්ටර් පියරත්න, ඒත් අපි මේ අනුමානය ඔස්සේ ගිහිල්ලා බලමු. සමහරවිට මෙහෙම පුද්ගලයෙක් හිටියාද කියලා දැනගන්න පුලුවන් වේවි.”

“හොඳයි මම ඒ ගැන හොයලා බලලා කොල් එකක් දෙන්නම්.”



   චුට්ටාගේ මරණින් පසුව මංජු නිවසින් එළියට නොබැස හිටිය අතර කපිල හමුවන්නටද නොගියේය. දින කිහිපයකට පසු නොසන්සුන් ගමනින් මංජුව සොයා කපිල ආවේය. 

“මංජු අයියා අන්න අරහේ චුට්ටාගේ ගෙදර උන් ඌව හොයනවා.” 

“ඉතිං උඹ මොකද කලබල වෙන්නේ?”

“ඉතිං තමයි මම මේ ගිනි පත්තුවෙලා ආවේ.”

“ඇයි බං?”

“ඇයි කියන්නේ? දැන් කොයි වේලාවෙ හරි උන් මගෙන් අහනවා චුට්ටා කෝ කියලා.”

“උඹ බය වෙන්නේ නැතිව කියපං උඹ දන්නේ නැතෙයි කියලා.”

“උන් ඒකාව හොයලා ඊට පස්සේ යයි පොලීසියට චුට්ටා මිසින් කියලා.”

“කවුරු ඇහැව්වත් බය වෙන්නේ නැතිව කියපං දවස් ගානකිං ඌව දැක්කෙ නැහැ කියලා, එච්චරයි. දැන් කාටවත් ඒකා ඉන්න තැන හොයන්න බැහැ.”

“පොලීසියෙන් අපිව සැක කළොත්?”

“සැක කරන්න විදිහක් නැනේ චුට්ටා අපි එක්ක අන්තිමට හිටියා කවුරුත් දැකලා නැති නිසා.”

“ඒත් මට සැකයි එදා මාත් එක්ක මෙහේට එනවා කවුරු හරි දැක්කාද කියලා.”

“හරි හරි උඹ බය නැතිව හිටපං. අහුවුනොත් මාවනේ මාට්ටු වෙන්නේ.”

මඳක් කල්පනාවේ යෙදුන කපිල,

“එදා චුට්ටා වෙරි මරගාතේ කිව්ව දේවල් හරි තමයි.”

“මොකක්ද බං?”

“අරුන් බඩු විකුණලා ඉතුරු සල්ලි බෙදන්නේ නැතෙයි කිව්ව එක. දැන් කොච්චර දවසක් ගියාද?”   

“ඌ කිව්ව එකත් ඇත්ත තමයි. මමත් ඔය ගැන හිතුවා. දැන් ටික දවසක් ඉදලා රංගයවත් සුදු මහත්තයාවත් දැක්කේ නැහැ.”

“එක තමයි අපි රංග අයියා ගෙන් අහමුද?”

“පිස්සුද බං ෂුවර් එකටම එකා කියයි දැන්ම බඩු විකුණන්න කල් වැඩියි කියලා.”

“අනික ඔය බඩු හුඟාක් වටිනවා. අපිට ඕවා විකුණන්නේ නැතිව බෙදලා දුන්නානම් හරිනේ. අපිට අවශ්‍යය වෙලාවට විකුණාගන්නත් පුලුවන්නේ.”

“ඒක ඇත්ත. මේවා හුඟාක් වටිනවා හින්දානේ ස්ටැන්ලිකාරයා ඔක්කෝම බඩු සේප්පුවේ දාලා තිබ්බේ.”

මංජුට එදා රංග එල්ලකල කම්මුල් පහරේ වේදනාවට සිතේ පිලිසිඳගත් වෛරය නැවත ඇතිවෙන්නට පටන්ගත්තේය.

“මට හිතෙන්නේ බඩු ටික ඇත්තේ රංගයාගේ ගෙදර. බලමුද මුගේ ගෙදරට පැනලා, රංගයටත් නොදැනෙන්න බඩු ටිකට ගේමක් දෙමු.” 

“පිස්සුද මංජු අයියා, එහෙම ලේසියෙන් කරන්න පුලුවන්ද?”

“ලේසියෙන් කරන්න නම් බැරිවෙයි. ඒත් මේච්චර ලොකු ගේම් එකක් දුන්නු අපිට මේකත් වැඩක් නෙමෙයි නේද?”

මංජු කල්පනාබරිතව සිට කීවේය.


    කපිල හා මංජු කතාබස් කරගත් පරිදි රංගගේ නිවෙස සෝදිසි කර ස්ටැන්ලිගෙන් කොල්ලකාගත් බඩුභාණ්ඩ සොරකම් කිරීමට සුදුසු දිනයක් එනතෙක් බලා සිටියහ. දෙසතියකින් පමණ ඉක්මනින් ඒ දිනය උදාවූයේ රංගගේ ඥාති සහෝදර දියණියක් වැඩිවියට පත්වීමේ කොටහළු උත්සවයක් සඳහා නිවසේ අය කූරුණෑගලට පිටත්ව ගිය බැවින්ය.

 ඥාතිමිත්‍රාදින්ගේ ඇසුරට වැඩි කැමැත්තක් නොමැති රංග නිවසේ ආරක්ෂාවටය කියා නතරවිය.

“බලපන් මම කිව්වා හරි නේද? මුගේ ගෙදර තමයි බඩු ඇත්තේ. ඒකයි මූ අර පාටියට නොගිහින් ගෙදර නතරවුනේ.

මංජු නොවසිල්ලෙන් කීවේය.

රාත්‍රි අටට පමණ රංගගේ වත්තට හොරෙන් ඇතුලුවූ ඔවුන් නිවෙස අසළ තිබූ කෙසෙල් පඳුරු ගොන්නක් අතරට වැඳගන්නේ නිවෙස හොඳින් දර්ශනයවන ආරක්ෂාකාරීව සැඟවී සිටීමට හැකිව තිබුනු එකම ස්ථානය බැවින්ය.

“ඔහොම හැංගිලා බලාගෙන ඉමු රංගයා ගෙදරින් යනකං.”

එහෙත් ඔවුන් බලාපොරොත්තු නොවුනු ලෙසින් සුදු මහත්තයා රංග සොයා පැමිණියේ ඒ අතරවාරයේදීය. 

“අන්න අරූත් ඇවිල්ලා. මංජු අයියා අද මූත් මෙහේ නවතියිද දන්නේ නැහැ.”

“කෑ නොගහා බලන් හිටපන්.”

“බලපං බං මංජු අයියා, අද මූං සෙට්වෙයි වාගේ. අරූ බෝතලයක්ද කොහේද අරන් ඇවිල්ලා තියෙන්නේ. අද අතහැරලා දාමූ බං.”

“පිස්සුද අදවගේ දවසක් ආයෙත් එන්නේ නැහැ. පොඩ්ඩක් ඉවසලා හිටහං.”

කෙසෙල් පඳුරු අස්සේ ඔවුන් විමසිලිමත්ව සිටිනා අතරේ රංග හා සුදු මහත්තයා අරක්කු බෝතලය පානය කිරීමට පටන් ගත්හ. ඔවුන් මදුවිතෙන් සප්පායම්වෙද්දි පඳුරු අස්සේ සිටි මංජු හා කපිලගේ රුධියෙන් මදුරුවන් සප්පායම්වීම අරඹා තිබුනි. කෙසෙල් කොළ ගොන්නක් අතරට පිටුපා ගිනිකුරක් ගසා දල්වාගත් සිගරට්ටුවෙන් උගුරු කිහිපයක් උරා කපිල අතට පත් කළේ ඔහු මදුරු දෂ්ටනයෙන් බේරීමට නොහැකිව දඟලමින් සිටි බැවිනි. තවත් පැය එකාහාමාරක් පමණ රංගගේ සුරා පානය ඇදීයද්දී සිගරට්ටු කිහිපයක් ද මංජු හා කපිල අහවරකර තිබුනි. ගීයක කොටසක් මුමුනමින් ඉස්තෝප්පුවට ආ සුදු මහත්තයා අතේවූ ෆිල්ටරය තෙක් දැවුනු සිගරට් කොටය තව පාරක් උරා මිදුලට වීසිකළේය. ඉස්තෝප්පුවෙන් මිදුලට බට සුදු මහත්තයා තරමක් වැනෙමින් ගේට්ටුව දෙසට ඇවිදයද්දී පසුපසින් ආ රංග ඔහු පිටව ගිය පසු ගේට්ටුව වසා දමා වත්තේ අනෙක් කෙලවරේ තිබූ කොස්ගස පාමුලට ගියේ මුත්‍රාබර හෑල්ලු කරගැන්මටය. අන්ධකාරේ පුලිඟු කැටමෙන් දිලිසෙන ඇස්වලින් යුතුව රංග දෙස බලා සිටි කළු බළලෙක් ඉක්මණින් තාප්පෙන් බිමට පැන දිව ගියාය. කොස් ගසට ළං වෙත්ම එහි වසා හුන් ලොකු මා වවුලෙක් සටසට හඬ නංවමින් ඉගිලී ගියේය. කොස් කොළ අතරින් සර සර හඬ එද්දී ඒ දෙස විමසිලිමත් වෙමින් ආ කාරිය හමාර කරගත් රංග සිවුරුවම්බාමින් ගෙට ගොඩවැඳී ඉදිරිපස දොර වසා දැමීය. වැඩි වේලාවක් ගත නොවී විදුලි පහන් නිවී නිවස අඳුරේ ගිලීයන්නේ රංග නිදා ගැනීමට සැරසුනු බව එළියේ රැක සිටි මංජුට සංඥා කරමින්ය. 

“දැන්නම් ඉන්න බැහැ බං.”

එක තැන ඇන තියාගෙන සිටීමෙන් හිරිවැටුනු දෙකකුල් ඉදිරියට දික්කරමින් කපිල කීවේය. 

“උඹ ඕනේ දෙයක් කර ගනින් මම යනවා.”

සිගරට් දුමාරයටවත් මෙල්ල නොවූ මදුරුවන් දෂ්ට කිරීමෙන් ඇගේ පුරා නැග තිබු පලු කසමින් මංජු දෙස අමනාපයෙන් බැලු කපිල කීවේය.

“තව ටිකක් ඉවසපන් අරූට නින්ද යනකං.”

“දැනටමත් මුන් මගේ ලේ පයින්ට් එකක් විතර බීලා. තව හිටියොත් ලේ නැතිව තමයි මැරෙන්න වෙන්නේ.” 

“මේ උඹ පිස්සු නැතිව හිටපං.” 

මංජු කෝපයෙන් දිඳුලන දෑසෙන් යුතුව කපිල දෙස ඔරවා බලමින් කීවායින් ඔහු තරමකට මෙල්ල වුනි.

තවත් පැය භාගයක් පමණ අසීරුවෙන් කෙසෙල් පඳුරු අස්සේ ගතකළ මංජු ඉන් එළියට බැස සෙමින් සෙමින් රංගගේ ගෙදර දෙසට ඇවිදගෙන එන්නට විය. නිවසේ පැති බිත්තියේ සවිකර තිබූ විදුලි මීටරය සොයාගත් මංජු ජංගම දුරකථනයේ විදුලිපන්දම දල්වා මීටරයේ පියුසය ගලවා විදුලිය විසන්ධිකර දැමීය. කපිලට කෙසෙල් පඳුරෙන් එළියට ඒමට අතින් සංඥා කළ ඔහු නිවසේ පිටුපස දෙසට ඇවිද ගියේය. අඩමානේට වසා ඇති දිරාපත්ව ගිය කුස්සියේ දොර ඉතා පහසුවෙන් විවරකරගත් ඔවුන් කුරුමාණමකට මානන සතෙකු විලසින් ගෙතුලට වැදගත්තේය. ඇතුලතවූ කෑලි කැපිය හැකි අන්ධකාරය දුරකථනයේ සිහින් විදුලි එළියේ පිහිටෙන් දුරලමින් ගෘහභාණ්ඩ වල නොවැදී ඇවිදින්නට ඉඩ සලසා දුන්නේය. සාලයේ තිබුනු කාලක් පමණ ඉතිරිව තිබූ අරක්කු බෝතලය දුටු කපිල අමුවෙන්ම උගුරක් කටට හලාගත්තේ කෙසෙල් පඳුරේ සැගවී සිටි තෙහෙට්ටුව මඟහරවා ගන්නට මෙන්ය. අනෙක් කාමර සෝදිසි කරන්නට කපිලට අණකල මංජු රංග නිදා සිටි කාමරයට එබී බැලුවේය. මදුවිතෙන් සප්පායම් වී නිදා සිටින රංගගේ පපුව රිද්මයානුකුලව ඉහළ පහළ යන්නේ උගුරෙන් නැගෙන මඳ ගොර හඬත් සමඟින්ය. රංග විසින් එල්ල කරන ලද කම්මුල් පහරේ වේදනාව දකුණු කම්මුල මත ඇඳුම්කනවා මංජුට දැනුනි. කෝපාග්නියෙන් තම සිරුර ගිනියම්ව සලිත වී යන්නට පටන්ගත්තේය. මාරයාගේ හෝරාව එලැඹි ඇතිසේය. හිනේ රුවාගෙන තිබූ කුඩා පිහිය අතට ගත් මංජු ඇඳට නැඟ අසළ වූ කොට්ටයක් ළඟට ඇදගත්තේය. සෙමින් රංගට ලංව කොට්ටයෙන් මුහුණට තබා තදකළේ කෑගැසීමටවක් ඉඩක් නොතබාය. එකවරම ගැස්සී අවදිවූ රංග කොට්ටයෙන් ගැලවීමට දඟලද්දී ඇසිල්ලකින් මංජු ගෙල හරහා පිහිපහරවල් දෙකක් ඇද දැම්මේ ගෙලේ රැදී තිබුනු රිදී මාලයද කැබලි වලට විසුරුවාලමින්ය. බල නහර කැපී වෙන්වුනු ගෙලෙන් පිටවන රුධිරය පයිප්පයකින් විදින්නාක් මෙන් සැමතැනම විසිරී යන්නටවුනි. රංගගේ දැඟෑලිල්ල අවසන්වන තෙක් මුහුණට තබා තද කරගෙන හුන් කොට්ටය හිමිහට ලිහිල් කළ මංජු ගැඹුරු හුස්මක් හෙලීය. මේ අතර කාමරයට ආ කපිල දුටු මංජු ඇඳෙන් බිමට බසින්නට තැත් කරද්දී රංගගේ මුහුණ මත තබා තිබූ රුධිරයෙන් පෙගුණු කොට්ටය පසෙකට වැටුනි. දෑස් අයාගෙන මුව විවරකරගෙන මැරී හුන් රංගගේ ගෙලේ කැපුම් තුවාලයෙන් වැස්සෙමින් තිබෙන රුධිරයෙන් මෙට්ටය පොඟවාලමින් තිබුනි. 



“මොකක්ද බං උඹ මේ කලේ?” 

දහඩියෙන් හා රුධිර බිඳු වලින් නැහැවී සිටි මංජු දැක ඇසීය.

“ඌ නැගිට්ටා බං.”

ලේ වැකුණු කුඩා පිහිය අතේ රුවාගෙන කපිල දෙසට හැරුනු ඔහු කීවේය. උණුසුම් රුධිරයෙන් නැහැවුනු මංජු අඬ අඳුරේ දිස්වුයේ මිනිකන රාක්ෂයෙකු විසලසින්ය. කෝපයෙන් වියරු වැටී සිටි මංජුගෙන් තමන්ටද අනතුරක්වෙයි සිතූ කපිල අතිශයෙන්ම බියටපත්ව පණසුන් රංගගේ නිසල සිරුර දෙස මඳක් බලාසිට එක්වරම පැන දිවයන්නට විය. 

“ඔහොම හිටපන්. දුවන්න එපා යකෝ හිටපන්.”

මංජු කෑගසා කපිලව නවත්වන්නට හැදුවත් ඔහු ඒවන විටත් නිවසින් එළියට පැන ගොස් හමාරය.  කපිල ආපසු හැරී නොබලාම පැන දිව්වේය.

කාමරය සිසාරා බැල්මක් හෙලූ මංජු කාමරයේ බඩුමුට්ටු ඇද දමමින් ස්ටැන්ලිගෙන් රැගෙන ආ දේවල් සොයන්නට වුනි. එහෙත් එම භාණ්ඩ කල් ඇතිව රංග හා සුදු මහත්තයා අත්තම්මාගේ නිවසේ සැඟවන ලද්දෙන් මංජුගේ සියලු බලාපොරොත්තු කඩවුනි. අපේක්ෂාභංගත්වයට පත්ව ගිය ඔහු රංගට සිඳුකල දේ ගැන පසුතැවෙන්නටවූයේ ඉන් අනතුරුවය. අරුණළු වැටෙන්නට ආසන්න වනතෙක් රංගගේ නිවසේ රැඳී හුන් මංජු කාටවත් නොපෙනෙන්නට නිවසින් පිටවයන අතරතුරෙදී ලේ වැකුණු පිහිය අසළ නිවසක ළිඳකට වීසිකළේය. 

මතුසම්බන්ධයි.......

පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම

 ගොඩක් දෙනෙක් පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම ගැන ලියන්න කියලා ඉල්ලලා තිබුනා. ඒ නිසා අද ඒ ගැන ලියන්න හිතුවා.  සමහර විට ඔයාගේ තාත්තා, සැමියා මේ රෝග ල...